මිත්තරයෝ ටික

Thursday, March 21, 2013

මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ

හැට හැත්තෑව අසූව අනූව දශකයන් තුළ සිංහල ගීත සාහිත්‍යයක් බිහිවූ බවත්, ඉන්පසුව ඒ ස්වර්ණමය යුගය බිඳ වැටුණු බවත් ප්‍රසිද්ධ රහසකි. අසීමිත ලෙස ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා බිහිවීමත්, ඒවා කිසිදු ප්‍රමිතියකට හසු නොවීමත්, විවෘත ආර්ථිකයට ගොදුරු වූ ලාංකේය සමාජය එහි තරගකාරිත්වයට හසුවෙමින්, ගීත කලාව ධනෝපායන මාධ්‍යයක් බවට පත්කර ගැනීමත් මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධ

ක බව මගේ පෞද්ගලික හැඟීමයි.

මාධ්‍ය නිදහස ඉතා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්‍ෂණයක් බව සත්‍යයකි. රසවින්දනය සඳහා ද සමාජයේ ලිබරල් නිදහසක් තිබීම යහපත් ය. එහෙත් මේ ලිබරල් ලාංකේය ගීත සාහිත්‍යය බිඳවැටීම ඒ නිදහසේ ම ප්‍රතිවිපාකයකි. අද අපි ඒ විපාක භුක්ති විඳිමින් සිටින්නෙමු. මෙවැනි තත්ත්වයදී ප්‍රථමයෙන් ම බිඳ වැටෙන්නේ ලාංකික පද්‍ය සාහිත්‍යයයි. කවිය හා ගී පද මාලාවක් අතර වෙනසක් පවතියි.

ගී පදමාලාවක දී ගායනයට වැඩි ඉඩහසරක් ලබාදිය යුතු ය. එහෙත් සාර්ථක ගීයක් පසුපස උසස් කවිසිතුවිල්ලක් පවතී. අපේ රටට අද අහිමි වෙමින් පවතින්නේ එබඳු කවි සිතුවිලිවලින් පිරිපුන් රචකයන් ය. එහෙත් මේ බිඳ වැටීමෙන් ම යම් උසස් නිර්මාණයක් බිහිවන්නේ නම් එවැන්නක් සමාජයට හඳුන්වාදීම ජාතික වගකීමක් බව මගේ හැඟීමයි. ඒ වගකීම මඟ හරිමින් කුහක ලෙස කටයුතු කිරීම ද තම ගුරුකුල රැකගනිමින් ගෝත්‍රවාදී ලෙස කටයුතු කිරීමද ජාතික අපරාධයකි.

ඒ නිසා නවක ගීත රචකයකු හා සංගීතඥයකු ගේ දායකත්වයෙන් ප්‍රවීණයකුගේ මුවින් ගැයුණු අලුත් නිර්මාණයක් පිළිබඳ ව සටහනක් ඔබ හමුවේ තබමි. රචකයා රජී වසන්ත වෙල්ගම නම් වූ යෞවනයෙකි. සංගීතඥයා රුවන් දර්ශන දිසානායක නම් වූ යොවුන් සංගීතඥයකි. ගායකයා වූ කලි සුනිල් එදිරිසිංහ නම් වූ ප්‍රවීණ ගායකයාණන් ය.

මේ තරම් සියුමැළි ද කලුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා...

රචකයා ප්‍රථමයෙන් ම එක්තරා කල්පිත සිද්ධියක් මවාගනියි. එනම් අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා යාමයි. එවැනි සිතුවිල්ලක් පහළ වූ හේතුව වන්නේ කලුගල් මේ තරම් සියුමැළි ද යනුවෙන් සිතන්නටවත් බැරිනිසා ය. පැරණි කලා නිර්මාණ පිළිබඳ ව ඇතිවන විශ්මිත බව මේ තුළින් ප්‍රථමයෙන් ම මතුවෙයි. ඒ අතර අවුකන පිළිමය විශ්මිත බවෙන් සුවිශේෂවෙයි.

දැවැන්ත කළුගලකට බුද්ධ ලීලාව ආරෝපණය කරමින්, මහා කරුණාබර ගුණය ගල්කටුව හා මිටියට එක්කොට දෑස්වලට එක්කිරීම සැබැවින් ම විශ්මිත කටයුත්තකි. එහෙත් රචකයා ඒ විශ්මිත බව තුළ ජීවත් වෙමින් දේ්ශාභිමානය මර්දනය කිරීම නම මූලික අරමුණු කර නොගනී.

රචකයාට අවශ්‍ය වන්නේ මෙබඳු විශ්මිත නිර්මාණ කළ සැබෑ කලාකරුවන්ගේ ජීවිතවලට එබී බැලීමටයි. මෙහිදී මට එක්වර ම සිහිපත් වන්නේ සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනිය වෙනුවෙන් පබැඳි පද මාලාවකි.

”පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි”
(නන්දා මාලිනී – පහන් කන්ද කැසට්පටය)

රජී වසන්ත වෙල්ගමට හමුවන ගල්වඩුවා ද දුක්බර ජීවිතයක් ගතකරන්නෙකි. අහස විනිවිද යන මහා ප්‍රතිමාවක් නෙළු ඔහු කෙබඳු ජීවිතයක් ගත කරන්නේද? රචකයාට ඔහු හමුවන්නේ කලාවැව අසල ඉලුක් සෙවිලිකළ මැටි ගැසු පැල්පතක් තුළයි.

කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා”

එදා සිට අද දක්වා කලාකරුවන්ගේ ඛේදවාචකය මෙහි අන්තර්ගත ය. ටජ්මහල සමඟ ලියැවෙන්නේ සාජහන් ගේ නමයි. සීගිරිය සමඟ ලියැවෙන්නේ කසුප් රජුගේ නමයි. ඒ මහා කලාකෘති නම කළ කලාකරුවන් කොහිද? ඔවුන් පස් අතරේ නිහඬ ව වැළලී ගොසිනි. ඇතැම් ජනප්‍රවාද වලට අනුව මේ රජවරුන්ම ඔවුනට විවිධ පීඩා සිදුකර තිබේ.

එහෙත් මේ මහා කලාකරුවන් වූ කලී උපේක්‍ෂාව ප්‍රගුණ කළ පිරිසක් ම ය. මේ කලාකරුවා බලාසිටින්නේ කලාවැවේ මැරෙන ඉපදෙන රැලි දෙස ය. අනිත්‍ය ධර්මතාවය ඔහු කලාවැවේ රැලි මත්තෙන්ම අවබෝධකර ගනී. මහා කළුගලක් මත ගොඩනැඟෙන බුදුරුවට ඔහු තම ජීවිත ඥානයෙන් පෝෂණයවන ප්‍රතිභාව ද ඉවහල් කරගනී. ඒ මහා කලාකෘතිය නිමකිරීමේදී ලැබෙන ශාරීරික වේදනාවන් පවා ඔහුට ගෙනදෙන්නේ මිහිරකි. ඒ සැබෑ කලාකරුවාගේ ස්වභාවයයි.

රජී වසන්ත මේ කල්පිතයේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහු මිළඟට මේ ගල්වඩුවාගෙන් අසන්නේ ඉසුරුමුණියේ කළුගලක නෙළු සුන්දරිය කොහි සිටීද යනුවෙනි. එහිදී රචකයා කල්පනා කරන්නේ ඒ ඔහුගේ ම හද ඇඳි ප්‍රතිබිම්බයක් බවයි. රචකයාගේ සිතුවිල්ල සාධාරණ ය. මන්ද කලාකරුවාගේ හදවත බොහෝවිට ඔහුගේ නිර්මාණයන්ගෙන් හඳුනාගත හැකි බැවිනි.

ඉසුරු මුණියේ ඔබ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තාම තනිකඩ යැයි කියා...

මේ කලාකරුවා කෙරෙහි විශාල දයා අනුකම්පාවක් හටගන්නේ මේ අවසාන ප්‍රකාශය හේතුවෙනි. අනුන්ගේ ආදරය කැටයමට නඟන ඔහු තාම ජීවිතයේ තනිකඩයෙකි. ඇතැම්විට ඔහුගේ පෙම්බරිය ඔහු ව අතැර දමා යන්නට ඇත. මුතුබෙල්ලකු තම වේදනාව මුතු බවට පත්කරන්නා සේ මේ කලාකරුවා තම ජීවිතයේ ලද අනේකවිධ දුක්වේදනා නිර්මාණ බවට පත්කරයි.

සමස්ත අව්‍යාජ කලාකරුවන්ගේ යථාර්ථය මේ නිර්මාණය ඔස්සේ රචකයා විසින් ප්‍රදර්ශනය කරනු ලබයි. සැබවින්ම අවුකන පිළිමයට දෑස දුන් මිනිසා කලාකරුවෙකි. එසේ නම් රචකයා සොයා යන්නේ කලාකරුවකු ය. ඔහුට කලාකරුවා මුණගැසෙයි. ඔහු දුක වළඳන්නෙකි. ඒ මඟින් අව්‍යාජ කලාකරුවන් බහුතරයක්තම නිහතමානී බව නිසා ම, හුදෙකලා වන ආකාරය ප්‍රදර්ශනය වෙයි.

මේ නිර්මාණයට සංගීතය සපයන්නේ තරුණ සංගීතඥයෙකි. ඔහු පොළොන්නරුවේ ඈත පිටිසර ගමකින් බිහිවුණ ඉඳහිට කොළඹට එන, තරුණ සංගීතවේදියෙකි. පද රචනයක සමස්ත අර්ථය මනා ව ස්පර්ශ කිරීමේ හැකියාව මේ සංගීතඥයා සතු ව පවතී. බටනළාව, වයලීනය වැනි සංගීත භාණ්ඩ වැඩි අවස්ථාවලදී යොදාගෙන මේ කලාකරුවාගේ ශෝචනීය ඉරණම රසික හදවතට කාවැද්දීමට රුවන් දර්ශන දිසානායකයෝ සමත් වෙති. තරුණ සංගීතඥයන්ට ඔහු සපයා ඇත්තේ කදිම මාර්ගෝපදේශයකි.

අද අපට කනවැකෙන බොහෝ නිර්මාණ විවිධ නාදවලින් හිදැස් පිරවූ නිර්මාණ ය. වාර්තාමය පද මාලාවන්ට සංගීතමය සැරසිලි දමා රසිකයා ඉදිරියට ගෙන ඒම මෙහිදී සිදුවෙයි. එයට තවත් අරුත්සුන් රූපමාලාවක් එක්කරගනී. සින්දු අහන පරම්පරාවක් නොව සින්දු බලන පරම්පරාවක් එමඟින් බිහිවෙයි.

ගායක ගායිකාවන් ගේ විවිධ ඉරියව් නරඹමින් මානසික උත්තේජනයක් හා ලිංගික උත්තේජනයක් ලබන පරපුරක් ගොඩනැඟෙමින් පවතී. මේ පදරචකයන්ට හා සංගීතඥයන්ට උඩුගම්බලා පිහිනන්නට සිදුවන්නේ මෙබඳු පරිසරයක ය. එහෙත් මෙබඳු ගීත ගැයීමට මේ පරිසරයේ සුනිල් එදිරිසිංහයන්ට හැකිවීම, එක්තරා භාග්‍යයකි.

මම මනසින් අතීතයට ගමන් කරමි. අනුරාධපුර පොළොන්නරු රාජධානි කරා මගේ මනස ඇදී යයි. ඒ අතර මහා කළුගලක් දෙස බලාසිටින කුඩා මිනිසකු මට දිස්වෙයි. ඔහු අතේ ගල්කටුවක් ද මිටියක් ද ඇත. ඔහු ඒ ගල්කටුවෙන් මහා කළුගලට තට්ටු කරන්නට පටන් ගනියි.

දින සති මාස ගෙවී යයි. මහා බුදුරුවක් මා ඉදිරියේ දිස්වෙයි. ගල්කටුව හා මිටිය තම මල්ලට දමාගන්නා මේ මිනිසා, ගමන්මල්ල වෑ කන්දේ තබා වැවට බැස දියනා ගනියි. නැවත ගමන් මල්ල රැගෙන ඉලුක් සෙවිලි කළ තම මැටි පැල කරා ගමන් කරයි. ඒ පැල ඉදිවී ඇත්තේ කලාවැව අසලයි. පුරා හඳ පැලට ඉහළින් බැබළෙයි.

ඔහු මැටි පිල මත පැදුරක් එළා, රිදුම් දෙන තම ශරීරය පිරිමදිමින් කලාවැවේ මැරෙන උපදින රළ දෙස උපේක්‍ෂාවෙන් බලා හිඳියි. ඔහුට තමා ව අතහැර ගිය සුන්දරිය සිහිවෙයි. ඇය හා ගෙවු සොඳුපැ නිමේෂයන් සිහිපත් වෙයි. ඇය හා ගෙවු සොඳුරු නිමේෂයන් සිහිපත් වෙයි.

කඳුළු පිස නිදාගන්නා ඒ මිනිසා උදෑසනින් අවදි ව ගල්කටුව හා මිටිය තම ගමන් මල්ලේ දමා ගෙන ඉසුරුමුණිය දෙසට ගමන් කරයි.


(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.)

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..

කලා වැව ලඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා..

පද: රජී වසන්ත වෙල්ගම
තනු: දර්ශන රුවන් දිසානායක
හඬ: සුනිල් එදිරිසිංහ

Audio: http://www.youtube.com/watch?v=xg7v1AiA7-4
Audio: http://www.mediafire.com/?ue3q462o6jtoff0

4 comments:

  1. ගීතය අහලා තිබුනට..ඔයාගේ විචාරය නිසා වැදුනා බොක්කටම

    ReplyDelete
    Replies
    1. මගේ විචාරයක් නෙවෙයි බං ,උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.

      Delete
  2. මම ආසම එව්වායෙන් එකක්

    ReplyDelete
    Replies
    1. මේවගේ සින්දු වලට ආස නැත්තම් පුදුමයක්.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]