Monday, December 30, 2013

වෙනස


ආදරයයි කැස්සයි හංගන්න බැරිලු. අපි ඉස්කෝලේ යන කාලේ ගෙවල්වලට ,ගුරුවරුන්ට සමහර විට යාලුවන්ට හොරෙන් පටන් ගන්න ප්‍රේමයන් ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම වෙලා ගෙදරට එහෙම නැත්තම් ගුරුවරුන්ට අහුවුනාම අම්මා එහෙමත් නැත්තම් තාත්තා එහෙමත් නැත්තම් ගුරුවරු කියපු ජනප්‍රිය කියමනක් තමයි "උඹලා කොහෙද අපිව තම්බන්නේ " කියන එක.

 එයාල එහෙම කියනකොට මට හිතිච්ච් දේ තමයි මෙයාලා නොකියා කියන්නේ "අපි ඕව කලේ උඹලට කලින්" කියන එකයි කියලා .

ඇත්තටම සමහර දෙමව්පියෝ පාසල් වියේදී විතරක් නෙවෙයි , සරසවි ඉන්න කාලේදී හරි රැකියාවක් කරන කාලේදී හරි තමුන්ගේ දුව පුතා ප්‍රේමයක පැටලුනා කියලා දැන ගත්තම හැසිරෙන්නේ හරියට ළමයා මිනීමැරුමක් කරපු ගානට , මේ තත්වය සාපේක්ෂව වැඩිපුර දකින්න ලැබෙන්නේ මව් පාර්ශවයෙන් නමුත් මෙහෙම අනවබෝධයෙන හැසිරෙන පියවරුනුත් ඕන තරම්.

නමුත් අද බොහෝ මව්පියන් මේ සම්බන්ධයෙන් බොහොම සැහැල්ලු ස්ථාවරයක් දරනවා. සමහර වෙලාවට දරුවන් තමුන්ට කොලේ වහමින් මේ සැරසෙන්නේ මොනවගේ දෙයක් කරන්නටද කියන එක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මුවගට නැගුනු සිනාවක් එක්කයි.

 එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.

බොහෝ වෙලාවට දෙමාල්ලන් මේ පිළිඹඳ එකිනෙකා කතාවෙන්වා, තමුන්ගේ සමාජ, අධ්‍යාපන තත්වයන් සහ තමන් නිවස තුල ගොඩ නගාගෙන තිබෙන ප්‍රතිරූපය අනුව මේ කතාබහ වෙනස් වෙනවා. එකම දේ ,එකම සිද්ධිය ගැන දෙවිදිහකට කතාවෙන්නේ කොහොමද?

ගීත සාහිත්‍යය ගත්තම එකම දේ දෙවිදිහකින් කතාවෙන අකාරය අපි දැකලා තියෙනවා. අපි ප්‍රබුද්ධ සහ සරල ගීත ලෙස එකම අර්ථය තියෙන ගීත දැකලා තියෙනවා. මේ ගීත දෙකත් මම මුලින් කී කාරනාව දෙයාකාරයකට කතාවෙන ගීත දෙකක්. තමුන්ගේ දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනාම අපි මේ ගීත දෙකෙන් මොන ගීතය තෝරා ගනීවිද කියන්න .


ගීත අංක 1

  

ගීත අංක 2 







Thursday, December 26, 2013

ආදරයේ අග්‍රඵලය

all pics from google

"ලොකු අම්මී ....ලොකු අම්මී ....දොර අරින්නකෝ හලෝ.... "

ලොකු නංගීගේ දියණියගේ හඬින් මා අවදි විය... අඃ හත හමාරත් පහුවෙලා .......නිවාඩු දවසනේ ..

"මොකද බට්ටි ..."

"දොර අරින්නකෝ...ඉතින් ......

මා දොර විවර කල සැනින් ..මගේ බෙල්ල බදාගත් කුඩා දැරිවිය ......"උම්මා ..හැපී බර්ත් ඩේ ලොකු අම්මී ...මේක ඔයාට .....මමයි හැදුවේ...ඉක්මනට ලැස්ති වෙන්න ,අම්මා එනවා කිව්වා ලොකු අම්මිව පහලට එක්කන යන්න කිරිබත් කපන්න ..."
කියා නැවත දිව ගියාය...තරප්පු පෙල දිගේ ය පහලට දිව යන හඬ මට තවමත් ඇසෙ .....'

මගේ සිත අතීතයට දිව ගියේ නිරායාසයෙනි.

*******

"නදී ...නදී......නදී.... මේ බලනවකො හලෝ.....මොකද මේ...."

සුමේධ මගේ ඇඟේ ඇතිල්ලෙමින් ...වැලමිටෙන් මට කිහිප වාරයක් ඇන්නේ මම කතා බහක් නැතිව සිටි නිසාම විය යුතුය. කතා කලයුතු වුවත් ..ඔහුගේ ප්‍රමාදයෙන් මගේ සිත ඒ වනවිට හොඳටම රිදී තිබුණි..

"නිකං ඉන්න සුමේධ........" මම හැඬුම් අතරින්ම පැවසුවෙමි.

"නිකන් ඉන්න ...මෙතන .........කමක් නැද්ද....?"

ඒ වදනට නම් මට සිනායන්නට ආවත් පෙර පැවති නුරුස්නා හැගීමෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවීය.

"ඔයාට හැදේම විහිළු.....බලන්න මම කොච්චර වෙලාද කියලා ඇවිත් .දැන් පැයකටත් වැඩියි....මිනිස්සු බලබල යනවා .....එහෙන් රස්තියාදු කාරයෝ වටේ කැරකෙනවා........මොකක්ද අනේ......තව ටිකක් වෙලා ගියානම් මං යනවා යන්න ..."

"ඔයා කීයටවත් මං එනකං යන්නේ නෑ කියලා මං දන්නවනේ පැටියෝ...."

"එක තමයි වැරැද්ද...? ඇත්තටම ඔයාට මගේ ගැන ඔයිට වඩා ටිකක වගකීමෙන් හිතන්න බැරිද සුමේධ..?"

"ඔන්න ඔන්න ඔන්න කෙල්ල සීරියස් වෙන්න හදනවා........මෙන්න මෙහාට එන්න ....."

"ඊයි ...මොකද අනේ වෙලා තියෙන්නේ ...මිනිස්සුත් බලාගෙන පිස්සුද ඔයාට ...."සුමේධ මාව තුරුළු කරන් මගේ කම්මුල මතට හාදුවක් දෙන්නට උත්සාහ කලෙන්...මට සියුම් ලැජ්ජාවක් ඇතිවිය ......."අඳුනන අයත් ඉන්නවාද මන්දා...?"

"ඉතින් අපි කාටවත් පෙන්නේ නැති තැනකට යමු........"

"කොහෙටද...

"අනේ අදනම් බා කියන්න එපා නදී , නිලන්ත මධු එක්ක ඇවිත් ඇති....නර්මදා බීච් හොටෙල් එකට ..."

"හොටෙල් එකට ....අනේ සුමේධ "

"අදට ඔන්න ඔහේ ගිහින් එමු.....අනේ යමු නදී...නැත්තන් අදත් අරුන් මාව බයිට් එකට ගනියි.

"අනේ සුමේධ ...අපි පාක් එකට සුමේධ යමු ?"

"පාක් එකට ...?"

"ඔව් ..ඇයි ......?"

"ඒ කියන්නේ ඔයාට බෑ ....හරි ......යමුකෝ ..."

******

"මොකද සුමේධ බුම්මගෙන ඉන්නේ .....හරිනම් මමයි කතා නොකර ඉන්න ඕනේ ..."

"ඉතින් කතා නොකර ඉන්නවා මට මොකද ......."

"සුමේධ........"............................. මාගේ අත ගසා දැමූ ඔහු බංකුවේ එහා කෙලවරදෙසට තල්ලුවිය.

" මොකක්ද සුමේධ ....පොඩ්ඩක් ලඟට එන්නකෝ......මොකද මේ බුම්මගෙන ....මම ඔයාට බැන්නේ නෑනේ පරක්කුවුනා කියලා"

එවර ඔහූ කට කොනකට නගාගත් අවඥාසහගත සිනාවක් සහිත බැල්මක් සමගින් මාදෙස බැලීය ...

"මෙතන ලඟට වෙලා ඉන්න බෑ ..ඔයා අඳුරන අය ඇතිනේ......අනික මිනිස්සුත් දකිනවනේ....හඃ .."

"ඉතිං අපි වැරදි දෙයක් කරන්නේ නෑනේ සුමේධ...."

"අනේ මේ නදී ...දැන් හිටියා ඇතිනම් යමු යන්න....'

"අයි අනේ මොකක්ද ඔයා කියන්නේ....දැන් මොකක්ද මං කරපුවරැද්ද?"

"වැරැද්ද...? මෙතන හිතේ හැටියට කතා කරන්න පුලුවන්ද නදී.... මිනිස්සු බලාගෙන.....අනික ඔයාට තමයි මම කොහේ හරි යන්න එන්න කිව්වම බැරි...."
ගිය බදාදා ට්‍රිප් එක යන කිව්වමත් බෑ... පෝය දවසේ සුමිතුයි නිශායි සුමිත්ලගේ ගෙදර ගිය දවසේ ආවෙත් නෑ ....."

"අනේ එහෙම ගෙදරින් එන්න දෙන්නේ නෑනේ සුමේධ ..."

"එහෙනම් නිශා ආවේ...මධු ආවේ .... ගෙදරට හැමවෙලේම ඇත්ත කියන්න ඕන නෑ නදී....'

"මටනම් බෑ සුමේධ ගෙදරට බොරු කියන්න ..අනික එදා වෙච්ච දේ ගැන නිශා දැන් ගොඩක් පසු තැවෙනවා ...."

"ඒ මොකටද......? කොහොමත් එයාලා මැරී කරන්න නේ ඉන්නේ... අනික  ආදරේ කියන්නේ ඔය ඔක්කොටම තමයි.......නැතුව මේ පාක් එකට වෙලා කුණු කුණු ගාන එකට විතරක් නෙවෙයි..."

මගේ ඇස් දෙකෙන් පලවූ විමතිය සුමේධ පැහැදිලිවම දැක ගන්නට ඇත.........

"සුමේධ ...........ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ආදරයක්ද...?"

"ඒ වගේ කියන්නේ මොකක්ද ...? ආදරේ කිව්වම ඒකට අරක් හොඳයි මේක නරකයි කියලා නෑ .....අපි දෙන්නා කවදා හරි මැරි කරන්න හිතාගෙනනේ ඉන්නේ..................?"

"ඉතිං ඒ ලස්සන දවසට ඉතුරු කරගන්නොන දේවල් ගන්න දැන්ම හදිසිවෙන්න ඕන නෑ නේද...?"

"ඔයාට කොච්චරවත් මාව විශ්වාස නෑ එකනේ හේතුව කෙලින්ම කියන්නකෝ ...අනේ මේ යමු යන්න "

"සුමේධ...."

"ඔයාට බැරිනම් ඉන්න මම යනවා ..."

******* 

එදයින් පසු නැවත සුමේධ මාවෙත් නොආවා පමණක් නොව මාගේ ඇමතුමකට පිළිතුරු දීමට තරම් වත් කාරුණික නොවූයේ මට සියල්ල එපා කරවමිනි.....දිවි තොර කරගැනීමට සිතා උඩු මහලෙන් බිමට පන්න මා නොමැරී බේරීමට තරම් අවාසනාවන්ත වූයේ මන්දැයි මට නොතේරේ...අද වනවිට මා සියල්ලන්ටම බරක් වෙමින් රෝද පුටුවකට වී සිටීමට සිදුවූයේ මන්ද....

මා ප්‍රිය කල ගීයක හඬ ඈතින් මෙන් ඇසෙයි ....













Wednesday, December 25, 2013

පික්පොකැට්


"විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද?  "

"ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .

වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,

"මං යනෝ..."

*******

"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "

එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......

"සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..........

ඒ ගමන් දැම්ම සිංදුවක් ,කොහොමත් උඹලට නොකිව්වට පාරට  බැස්ස වෙලේ ඉඳන් මල අතේ අරන් තමයි අපි යන්නේ...අවුරුදු ගානක් තිස්ස්සේ බස් එකට නැග්ග හෝල්ට් එක ළඟ අලුතෙන් දාපු ලොතරැයි කූඩුවේ  මේ කන්කරච්චලේට හුරුවෙන්නනම් මට කොහොමත් බැරිවුනා ...

"උදේ පාන්දර හිනාවෙලා එන්න මහත්තයා එන්න නෝනා ,කෝටි තුනක් ඇදුනෝත් හැමදාම හිනාවෙලා තමයි....එන්න එන්න අද අදිනවා අද අදිනවා...."

මූ ඒ ගමන මටද කියන්නේ ,කිව්වත් වගේ ඇදුනොත් එහෙම ගොඩම නේද...? ටිකට් එකක් ගමුද ...? එක්කෝ ඕන නෑ.... ඕව ඇදෙන්වනම් බැරියැ.... ...

"බස් සුමිත් ගේ සින්දු නැති බස් එකකට ගොඩවෙන්න ලැබේවා කියා හිතාගෙන මම ආපහු පාර දිහා බැලුවා ...."

*******

"නැග්ග අය ටිකට් ගන්න ....." කොන්දොස්තර කොළුවා කියනකොට මට හැමදාම වගේ අදත් හිනායන්න ආවා ...

සල්ලි දීලා ටිකට් එක අතට ගත්ත මම සෙනග අස්සෙන් තෙරපීගෙන ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙන්න උත්සාහ කලේ පුරුද්දට වගේ, නැත්තම් බහින්න ගියාම හතරවටෙම ඉන්න එවුන්ගේ ගෙරවිලි පිප්පිලි බලන්න එපැයි. හැමදාමත් සාඩින් පැක්කරලා වගේ තියෙන බස් එකේ  මේ ගමන දිනචරියාවේ අංගයක්.

"මොන ඉස්සරහට යෑමක්ද ..? කිටිකිටියේ හිරවුණු මිනිස්සු ගෑනු අතරේ මගේ ගමන නිකම්ම නැවතුනා...

" නිකමට වගේ පිටිපස්සේ පර්ස් එක තිබ්බ සාක්කුවට මගේ අත යැව්නා...

"හත්දෙයියනේ......"  මගේ කන්දෙකෙන් පටන් ගත්ත ගින්දර පිටවීම ඇඟ පුරාම පැතිරෙන්න තප්පරයක්වත් ගියේ නෑ... බඩ පපුව පිච්චිලා ගියේ ....ඊයේ පෙරේදා කාපුවත් එක්කමයි.....

"පර්ස් එක නෑ....." කරන කියන දේ හිතන්නත් කලින් මගේ ඇස් දෙකටම කඳුළු පිරුණා.....

*******

" ඉස්සරනම් රුපියල් පනස් දාහක් ගෙනියන්න බෑග් එකක් ඕන ... එකට දැන්...පන්දාහේ කොළ දහයයි , මේ බලන්න විනීතා.. පර්ස් එකේ දැම්මට දැනෙන්නේවත් නෑ...."

"අනේ මේ පර්ස් එකේ දාගෙන ගිහින් ඕක නැති කරගන්නේ නැතුව ආරක්ෂා ඇතුව අරන් යන්න අනේ .....මල්ලිගෙන් වැඳලා වගේ සල්ලිටික ඉල්ල ගත්තේ ...නැත්තං අපරාදේ පරම්පරාගානක් තිබ්බ රත්තරන් බඩුටික නිකං සින්නවෙලා යනවා "

"නෑ විනීතා පර්ස් එකේ තමයි දාගෙන යන්න ඕන එතකොට කවුරුවත් සැක හිතන්නේ නෑ. මොකද මේ පඩි දවසුත් නෙවෙයි නේ.....මේ කාලේ කාගේවත් පර්ස් වල සල්ලි නෑ කියලා පොකට් කාරයෝ දන්නවා .."
අපි ඕනවට වඩා පරිස්සම වෙන්න් ගියොත් තමයි පොකට් කාරයොත් සැක හිතන්නේ ...නෝමල් විදිහට හිටියම ඉවරයි "

"ඕන එකක් ..සල්ලි ටික පරිස්සම් කරන් ගිහින් මගේ බඩුටික බේරගෙන එන්න..."

රෑ තිස්සේ වෙච්ච කතාබහ මගේ මතකෙට ආවේ ක්ෂණයෙන් ......දැන් මම විනීතට මොකද කියන්නේ දෙයියනේ...කොහොමඩ් මේ ණය ගෙවන්නේ ..බඩුටික බේරාගන්නේ......

*******

"මොකක්ද මිනිහෝ වෙලාතියෙන්නේ ....තියෙන වලත්තකම ......තොපේ ගෑනු දෙන්නේ නෑ කියලා අපේ පුකවල් පලිද ......"

මගේ ඉස්සරහම වගේ හිටපු කොට සායක් ඇඳගත්ත වෙස්මූණ වගේ මූණ පුරාම ලාටු උලාගත්ත ගෑනියෙක් කාටද මහා හයියෙන් බනිනවා ඇහිලා මම ආයෙත් පියවි ලෝකෙට වැටුනා.....

"මහත්තයා මේ මොකද තොට ඇම්මද ...? හැඩි දැඩි රස්තියාදු කාර පෙනුමක් තියෙන බෙල්ලේ පච්චයක් ගහපු මිනිහෙක් මගේ ෂර්ට් කොලට් එකෙන් අල්ලගත්තම තමයි මට තේරුනේ මේ බනින්නේ මටයි කියලා ...

"අනේ මං මුකුත් කරේ නෑ......"

'මුකුත් කරේ නෑ ...? මමත් බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් උඹ ඇඹරි ඇඹරි ඉන්නවා ..පරයා දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න ......" ඉහලට ගත්ත ඒ මිනිහගේ අත මගේ මූණ හරහා පත්වුණේ මට හිතන්න වෙලාවක් තියන්නේ වත් නැතුව ..

තරු විසිවෙන්නාවගේ දැනුණු මට ටික වෙලාවක් යනකන් කතා කරගන්න බැරුව හිටියේ .....

"හොඳ වැඩේ හම්පඩයට ...අනේ තැනක් යූ මල්ලි....මෙහෙම එවුන් එල්ලන්න ඕන ...ඒ ගමන අර ගෑණු මනුස්සයාගේ කටහඬ ආයෙත් ඇහෙද්දී ...

"ඇයි  ඇයි මොකද මොකද...කියාගෙන් කොන්ද්දෝස්තර මල්ලි එතනෙට ආවේ...

අනේ මං කාටවත් මුකුත් කරේ නෑ ...මගේ ...මගේ  පර්ස් එකට ගහලා ..."  මට ඇඬුම අතරින්ම කියවුනා....

"බස් එකම විනාඩියකට නිශ්ශබ්ද වුනාවගේ මට දැනුනා ...

"ඒක වැටිලද බලන්න මම හැරෙනේකොට මේ මිස්ගේ ඇඟේ වැදුනද දන්නේ නෑ ..අනේ මගේ පර්ස් එක ..."

මට ගහපු මනුස්සයා හිමින්ම ලිස්සලා වෙන පැත්තකට යනවා මට පෙනුනා....

"මහත්තයා කොහෙන්ද නැග්ගේ ..? සල්ලි ගොඩක් තිබ්බද ...?"

" කොට්ටාවෙන් .... පනස්දාහක් තිබ්බා ....."

මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබ්බ බස් එකෙක් සූ සූ සද්දයක් ඇතිවෙනවා වගේම
"පිස්සු යකෙක් පනස් දාහක් පර්ස් එකේ දාගෙන යන්නේ "
"දැන් ඉතින් ඕක හොයලා හමාරයි....""

"කොට්ටාවෙන් ....? මහත්තයා කොට්ටාවට පස්සේ කවුරුවත් බැස්සේ නෑ ...

"කවද්ද ඕයි තමුසෙලාගේ මේ ඉලව්වෙන්  මිනිහෙක් බැස්සේ ...මේකට පටවනවා විතරනේ බෑමක් නෑ ...ඒකනේ මෙහෙම වෙන්නේ ...අතපය හතර හොයාගන්නත් බෑ ....."  
ඒ අස්සේ තව කවුදෝ කෙනෙක් සියලු තරහා පිටකරා ...

එහෙනම් පර්ස් එක ගත්ත එකා ඇතුලේමයි ඇත්තේ ....ධර්මේ අයියා අල්ලමු පොලිසියට ...."

"ශික්..."  "අපෝ " "අදත් ඉවරයි දවසම"

*******

"ඕක ගත්ත එකා විසි කරන්න ඇති එලියට වැඩේ ලීක් වුනාට පස්සේ ..."

"ඔව් උන්ගේ එවුන් හැමතැනම ඉන්නවනේ ...."

"පව් "

"අදත් ඉතින් ෂෝට් ලීව් ...ඕවා කිව්වට පිළිගන්නෙත් නෑ අනේ ඔෆිස් එකෙන් හැමදාම පරක්කුවෙන එවුන් ඔයවගේ ඒවමනේ කියන්නේ ..."
 මිනිස්සු නොයෙක් කතා කියමින් පොලිසියෙන් පිටවුනේ කේන්තියෙන වගේ, වැඩි දෙනෙක් මගේ දිහාට හෙළුවේ තෝ අපේ දවසම කෑවා කියන්නාවගේ ..

"කරන්න දෙයක් නෑ මහත්තයා හැම කෙනෙක්ම චෙක් කලානේ ..."

"කමක් නෑ රාලහාමි බොහොම ස්තුතියි....."

මූණේ පැත්තක් රිදෙනවා ඉවසගන්න බැරුව .......

ගෙදර ආපු මට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පෙනුනේ ඉස්තෝප්පුවේ පරණ පත්තර ගොඩක් තෝරන විනීතා ..දෙයියනේ මම දැන් මේ ගෑනිට මොනවද කියන්නේ ..මට ඊයේ රෑ තිස්සෙම කිව්වේ  රත්තරන් බඩුටික බේරගන්න එක ගැන ...

"ආ ඔයා ආපහු ආවද ......කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ ....ඔයා පර්ස් එක මල් වාස් එක උඩ තියලා ගියේ ඇයි ...? අමතකවෙලාද?

"ඈ පර්ස් එක මල් වාස් එක උඩ ...?"

"ඔව් ඇයි ..? ...දෙයියනේ මොකද මේ මූණට වුනේ ...?






Tuesday, December 10, 2013

ගවයා ..?


මේ ලංකා සී නිව්ස් එකේ පළවුණු පුවතක් ,මේ ගැන මට නම් හිතුනේ මෙහෙමයි.


Tuesday, December 3, 2013

පිලිස්තීනුවා


"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා..............."

කව්ද මේ .....අලුත් ෆෝන් එකට සිම් එක දාපු ගමන්ම .........

මගේ හීනයක් වගේ තිබ්බ "ඇපල් 5S" ෆෝන් එක ගත්තට පස්සේ එන පලවෙනි ඇමතුමේ තිරයේ දිස්වෙන අංකය දිහා බලාගෙන මම කල්පනා කලා. 

දන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එක ඉසිසේල්ලාම ගන්න හොඳ නෑ. කවුද දන්නේ ලෙඩක්ද කියලා , පලවෙනි කෝල් එක එන්න ඕනේ සුබ ආරංචියක්.........

1 missed call from 07XXXXXXXX  කියලා තිරයේ සටහන් වුනාට පස්සේ මම ආයෙත් පත්තරේ බලන්න හදන්කොටයි දැක්කේ දිල් මගේ දිහා බලන් ඉන්නවා 

"මොකද දිල්" මගේ ප්‍රයිවට් සෙකට්‍රි, නම ඩිල්ශානි එත් මම හැමවෙලාවෙම කිව්වේ දිල් කියලා 

"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක ......, 5S එකකට කවුද සර් සිංහල සෝන්ගස් දාන්නේ ......"

"ඇයි මොකද වෙන්නේ....?"

"මොකද වෙන්නේ කියන්නේ අනේ ......හරිම ගොඩේනේ .....දාන්නකො හොඳ එන්ග්ලිෂ් සෝන්ග් එකක් .."
"ඉන්න මම ඩවුන්ලෝඩ් කරපු හොඳ එන්ග්ලිෂ් සෝන්ග්ස් ටිකක් තියෙනවා සර්ට දෙන්නං"

ඔලුව වනපු මම ආයෙත් පත්තරේ බල බල හිටපු ලිපිය දිහාට ඇස් යොමු කළා ...
"ගමේ බයියෙක් වුනු රන්බණ්ඩා සෙනවිරත්න ....."......පිස්සු,    ගමේ බයියෙක් කිව්වනං මිනිහව ඔය තරම් පිළිගනියිද රටේ මිනිස්සු.....එත් ඉතිං ආටිස්ට්ලට නම් ගමේ පොරක් කිව්වම හෙන මාකට් එකකුත් හැදෙනවනේ ....පත්තර විකුණගන්න මොනාහරි ලියන්නත් එපැයි .

මට ආයෙත් මගේ අලුත්ම ඇපල් ෆෝන් එක දිහා බැලුනේ නිකම්ම........අනේ අනේ යකෝ බස් එක අල්ලන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් දුවලා බස් එකේ එල්ලිලා ඉස්කෝලේ ගිය උඹ දැන් පාවිච්චි කරන්නේ ඇපල් ෆෝන් ආ ......


*******

"ඒයි මෙහෙ වරෙන් .....තෝ කොහෙද..."

"බදුල්ලේ ...."

"අම්මට හුඩු .....එයි මචන් මෙන්න මූ බදුල්ලේ කියන්නේ "

"ආ ඇත්තද .....පොඩ්ඩක් හිටපන් බලන්න ....." 

"මොකක්ද ඉස්කෝලේ..."

"බදුල්ල සෙන්ට්‍රල්"

"අප්පට බොල සෙන්ට්‍රල්  .....මීට පස්සේ කියපිය බදුලු මැදි මහා විදුහල කියලා ...හරිද ඇයි තොට සිංහල කතා කරන්න ලජ්ජද ....?"

"හා අයියේ..නෑ අයියේ ..."

"අයියේ ....යකෝ කියපිය ජෙෂ්ට උතුමා කියලා .....ගලවනවා කලිසම ඔලුවෙන් .....මොකද අඬන්නේ තෝ ගෑනියෙක්ද ...?

"බදුල්ලේ කොහෙද....?"

"ක ..ක ... කන්දකැටියේ ........!"

""කන්ද කැටියේ.........? කන්ද කැටිය කොහොමද උලමෝ බදුල්ලේ වුනේ ....ඒයි මේ බලපන් මෙයා බදුල්ලේ කන්ද කැටියේලු .....තෝ දන්නවද බෝල කන්ද කැටියට බදුල්ලේ ඉඳන් කිලෝමීටර් තිස් හතරක් තියෙනවා කියලා ....."

පරයෝ .....කොහේ ගියත් තමුන්ගේ ජාතකේ කියන්න ලජ්ජා වෙන්න එපා. තොපි වගේ එවුන් තමා අම්ම තාත්තාත් එක්ක අමතක කරලා ලංකාවේ සල්ලි වලින් ඉගෙනගෙන රට රටවල් වලට පැනලා කඹුරන්නේ ...'

රැවුලා එදා කියපු ටික මට ආපහු මතක්වුනේ ෆේස්බුක් එකේ ආපු රැවුලගේ රික්වෙස්ට් එක කන්ෆර්ම්  කරනකොට ...."රවින්ද්‍ර දෙනිපිටිය , සිඩ්නි ,ඕස්ට්‍රේලියා . ඒ ටික කියවනකොට නම් මට පොඩි හිනාවකුත් ගියා . කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .

*******
අර missed call එක ආයෙමත්
"මොකාද මේ"
ඒ නොම්මරේම ආපහු කෝල් එකක් ගත්ත මං " හෙලෝ හූස් පීකිං දෙයා ..අයි හැඩ් ත්‍රී මිස් කෝල්ස් ෆ්‍රොම් දිස් නම්බර්"
"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. නැත්තං තව ටික දවසකින් එන්න වෙන්නේ තාත්තගේ මළගමට තමයි."
 කියපු මල්ලි ලයින් එක කට් කළා

"වයි රමිත ....ඔහ් සොරි සර්.."

"නෝ මයි dad ඉස් නොට් වෙල් ...නීඩ් ටු සී හිම් සූන් "

"එහෙනම් ඔයා හෙට ගිහින් එන්න වැඩි වැඩක් නැති දවස්ක්නේ මතක් ඇතුව හවස අර සිනමන් එකේ තියෙන කොක්ටේල් එකට එන්න ."

"කීයටද ?"

"හතට"

*******

වාහනේ තනියම ඩ්‍රයිව් කරගෙන යනකොට මට ගෙදර දැන් කොහොම ඇතිද කියලා හිතෙන්න වුනා. ඇඳුම් බෑග් එකත් එල්ලගෙන පයින් ගිය මම අද අලුත්ම වාහනෙකින් ගෙදර යනවා. කොල්ලෝ කුරුට්ටෝ වාහනේ පස්සේ දුවගෙන ඇවිත් මේක හූරයිද දන්නේ නෑ.

ජීවිතයක් වෙනස් වෙච්ච හැටි.

"උඹේ ජීවිතේ වෙනස් කරන්න මම දාපු දහිරියට උඹ නියම වටිනාකම දුන්න පුතේ "
අප්පච්චි එහෙම කිව්වේ මම කැම්පස් තේරුනා කියලා දැනගත්තු දවසේ . ඇත්තටම කැම්පස් ගමනෙන් මගේ ජීවිතේ කවුරුවත් නොහිතපු විදිහට වෙනස් වුනා.ශානිකා මට හම්බ වුනේ ඒ කැම්පස් ගමනෙන්...

ශානිකාගේ තාත්තා , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්......සල්ලි තිබ්බට සතුට නෑ කියන කියමන සනාත කරන්න වගේ ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා. මේකතාව ෆැකල්ටිය පුරාම පැතිරුනේ ලැව් ගින්නක් වගේ. ෆැකල්ටියේ හැම ඉයර් එකේම වගේ එවුන් ශානිකා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

එදා තමයි මම ශානිකාගේ සියලු විස්තර දැනගත්තේ , ලස්සන කෙල්ලෙක් වෙච්ච ශානිකාගේ වටේ කැරකිච්ච එවුන් සුටුස් ගාලා වාෂ්ප වෙලා ගියේ ඒ සිද්ධියෙන් පස්සේ, 

නමුත් මේ සිද්ධියෙන් පස්සේ මට ශානිකා ගැන තිබ්බ උනන්දුව වැඩිවුනා.......
ශානිකා ...ශානිකා.....දැන් කවුරුවත් උඹට ට්‍රයි කරන්න එන්නේ නෑ....ශානිකාව මතක්වෙන හැම මොහොතකම මගේ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා වගේ මට දැනෙන්න ගත්තා , එත් ඒ ආදරය නෙවෙයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා.

ශානිකාට මේ වෙච්ච ඇබැද්දිය මගේ වාසනාවට වෙච්ච දෙයක් හැටියටයි මම දැක්කේ...මේ සිද්ධියෙන් පස්සේ ශානිකා කැම්පස් එන එක අඩුවුනා ..ටික ටික අඩුවුණ ගමන සම්පූර්ණයෙන්ම නවතින තැනට වැඩ සිද්ධ වුනා.....ඒත් මම හැම සති අන්තයකම ශානිකාව බලන්න එයාලගේ ගෙදරට ගියා.
 මම එන එක ගැන මුලින්ම එයාගේ තාත්තයි අම්මයි ගොඩක් සතුටුවුණා...ශානිකා ආපහු කැම්පස් යවන්න එයාගේ අම්මලාට ලොකු උවමනාවක් තිබ්බත් මට ඒ වුවමනවතිබ්බේ නෑ, ඒ විශාල මන්දිරෙන් එලියට බහින හැම වෙලාවකම මට පෙනුනේ එකම හීනයයි.

*****

ෆයිනල් එග්සෑම් ඉවර වුනු දවසට පහුවදා උදේම මම නැගිට්ටේ මගේ අරමුණට යන පලවෙනි පියවර තියන්න ...

"ගුඩ් මෝනිං පුතා.."

"ගුඩ් මෝනිං අංකල්"

"අද උදේම ....?"

"ඔව් අංකල් .....

ඒ දෙබසින් පස්සේ තමයිමගේ ජීවන පෙරලිය ආරම්භ වුනේ......

උදේ ආහාරයෙන් පස්සේ කතාව ඇදිලා යන අතරේ .....

"අංකල්....."

"ඔව් පුතා "

"ඇත්තටම අංකල් මම ආවේ වැද්ගත් කාරණයකට, අදින් අපේ කැම්පස් ලයිෆ් එකත් ඉවරයිනේ"

"මොකක්ද?.....කියලා ඇහුවත්  මම කියන්න යන කාරණේ දැනටමත් තෙරුම්ගත්ත් බවක් ඒ ඇස දෙකේ තිබුනා

"මම කැමතියි ශානිකාව කසාද බඳින්න ..."

ඒක ඇහුවම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන මම හිතලාම තිබුනේ නෑ.

අංකල් ඇස්දෙක පියාගෙන කවිච්චියට හේත්තුවුනා.......

හද්දා පිටිසර ගමක ලියිට් එළියක් දැකලා නැති. හැතැප්ම ගණන් පයින් යන බඹ හත අටක් ගැඹුර ළිං වලින් වතුර ඇදලා බීපු ...... මේ ඉහල සමාජයේ අහුකොන් වල එල්ලෙන්න හිතන්නවත් බැරි මන් වගේ කොලුගටයෙකුගෙන් මෙහෙම යෝජනාවක් එන්න තරම් තමන් අසරණ වුනාද කියලා ඒ ලක්ෂපති ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති.

කඳුළු පුරවාගත්ත ඇස දෙක ඇරලා මගේ දිහා බලපු අංකල්....

"මට මේකට කමතිවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ පුතා" කියලා එතනින් නැගිටලා ගියා......
එත් ශානිකාගේ අම්ම එතනම නැවතුනා
"අපි බලාපොරොත්තු වෙච්ච ලස්සන ලෝකය අපේ දුවට ගොඩ නගන්න බැරි බව අපි දැනගෙන හිටියා පුතා "

"එත් අපි නැති කාලෙක මේ දරුවට කෑම ටිකක් දෙන්න හරි කෙනෙක් ඉන්න ඕන කියලා අපි දන්නවා පුතා . අපි පුතාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ කෙල්ලට අඩුවක් පාඩුවක් කරන්නේ නැතුව කන්න බොන්න අඳින්න ටික දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ ." එහෙම කියපු අම්මත් අතින් කට තද කරන් කාමරේට දිව්වා.

මට පුදුම සතුටක් දැනුනේ...

එතැන් ඉඳන් අවුරුදු හතක් යනකොට ඒ හැම ව්‍යාපාරයක්ම දුවන්න පටන් ගත්තේ මට ඕන විදිහට ....ශානිකාගේ තාත්තගේ අභාවයත් එක්කම මම ඒ සියල්ලේ තනි අයිති කාරයා වුනා....තාත්තා සියලු දේ ශානිකාගේ නමට ලියලා තිබුනත් ශානිකාගේ මානසික තත්වය මත සියලු දේ පාලනය කිරීමේ බලය මට හිමි වුනේ නිතැතින්ම....ශානිකාගේ අම්මයි ශානිකයි එයාලගෙම ගෙදර කාමරේක කොටුවෙද්දී ,එයාලගෙම ගේ ඇතුලේ එයාල මගෙන් යැපෙන්නෝ බවට පත්වෙද්දී ශානිකාගේ අම්මා ඒ සේරම විඳගෙන ඉන්න හැටි මටම පුදුමයි.

******

පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්...

මේ ගමනට එන්න කිව්වට දිල් අකමැති වුනේ

"අපෝ ඔයාලගේ මමියි ඩඩියි මාව දකින්න කැමතිවෙන එකක් නෑ " ලොකු දෙයක් හදිසියෙවත් එන්න ලාස්තිවුනානම් මං හද්ද අමාරුවේ.

මීගහකිව්ලෙන් කන්දකැටිය පාරට හැරෙව්වේ "ලෙක්සස් එකක් යන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ" කියලා මටම කියාගන්න ගමන්...එත් පුදුමෙකට වගේ ලේන් දෙකට හදපු කාපට් පාරේ අලුත්ම වාහන කීපයක්ම යනවා දැක්කම මට නොරිස්සුමක් ආවේ ඇයිද කියන එක මටම ප්‍රශ්නයක්. ඉඳහිට පහුවෙන ගමේ මිනිස්සු, කොල්ලෝ කුරුට්ටෝ වාහනේ දිහා නොබලා "අපිට ඕවා ලොකු නෑ" කියන්නා වගේ යන එක ගැන මට ඇතිවුනේ ඇත්තෙන්ම කේන්තියක්.

ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද?

කොච්චර ගමට ආගන්තුක වුනත් අලුත් වෙලා වෙනස් වෙලා තියෙන ගමේ අනික් ගෙවල් අතරේ කිසිම වෙනසකට ලක් නොවුණු අපේ ගෙදර අඳුනගන්න මට නම් අමාරුවක් වුනේ නෑ.

*******

ගෙදරට හැරෙන දෙවැට ළඟ වාහනේ ටිකක් නවත්ත ගත්ත මම කල්පනාකරේ ගෙදර මිනිස්සුත් එක්ක කතාව පටන් ගන්නේ කොහොමද කියලා.
"වැඩිවෙලා ඉන්න බෑ වැඩ ගොඩගැහිලා කියලා "ඉක්මනට යන්න ඕන , ස්ටියරින් වීල් එකට අත තියෙනකොට ආයෙත් මතක් වුනේ බිස්කට් පෙට්ටියක් වත් ගෙනාවේ නෑ නේද කියලා...

"මෙන්න මයේ පුතාලට බූන්දි ගෙනාවා ....අපි ලොකු වෙනකම්ම් මල්ලිටයි මටයි බූන්දි අරන් එන එක තාත්තා කරපු දෙයක්...."

"උඹලයි තාත්තා උඹට හරි ආදරෙයි පුතේ .....උඹ පුංචි කාලේ දවසක් උඹව බඩ උඩ තියන් හුරතල් කරනකොට උඹ හුලිජ්ජ් කොලේ නැතයි ඒ මනුස්සයාගේ කටටම ...අනේ ඒ මනුස්සයා උඹ හුජ්ජ කොරලා ඉවර වෙනකම්ම කට අල්ලන් හිටියා හෙලෙව්වොත් දරුවට අමාරුවක් වෙයි කියලා"  අම්ම දවසක් මට කියපු ඒ කතාව මේ වෙලාවේම මතක් වුනේ ඇයි.?

"හරි ඉතින් දැන් ආපහු ගිහින් මොනවත් අරන් එන්න බෑනේ...අනික මෙච්චර වැඩ තියෙද්දී මම ආව එකම මදැයි .." කොහොම හරි සිතුවිලි සාධාරණීකරණය කරගත්ත මම ගේ දිහාවට වාහනේ හැරෙව්වා. මිදුලේ වාහනේ නවත්තනකොටම එලියට ඇවිත් බලපු මල්ලි මාව අඳුන ගත්තා .... වාහනෙන් බැහැපු මාව නොදැක්ක ගානට කමිසේ බොත්තම් පියවමින් මාව පහුකරගෙන ගියේ  "අම්මේ මං රන්ජිලයි දිහා යනවා " කියාගෙන .
"ඉරිසියාකාරයා "

"කවුද පොඩි පුතේ ආවේ " කියාගෙන පොල් අඩලයකුත් අතේ තියාගෙන ගෙයින් එලියට ආපු අම්මගේ අරුණු කට වහගන්න අම්මට සෑහෙන වෙලාවක් ගත වුනා...
 අන්තිමට අමාරුවෙන් කීප සරයක් උත්සාහ කරලා "ලොකුපුතේ " කියපු අම්මගේ ඇස දෙකෙන් කඳුළු කඩාවැටෙන්න ගත්තේ දුන්හිඳ ඇල්ලෙන් වගේ....

අම්මට වඳින්න ඕනේ කියලා හිත කිව්වට එකට මගේ කොන්ද නැමුණේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. මුළු පරිසරය පුරාම මට අමුතුම ආගන්තුක බවක් දැනෙන ගත්තේ ඒ අතරේදී. වාහනේ බොනට් එකට වැටුන අව්ව මගේ ඇස් දෙකට වැදිලා ඇස් නිලංකාර වෙන්න ගත්තා.

මම ගෙට ඇතුල්වුනේ උළුවස්සේ වදියි කියලා බයට වගේ ඔලුව නවාගෙන. ඒ යනකොට තාත්තා බිම වාඩිවෙලා සෙල්ලං කරත්තයක් ලණුවකින අදිනවා..

"තාත්තේ.."

"ඇයි ...කරත්තේනම් දෙනෙන් නෑ රජෝ....දැන් අපේ ලොක්කා ඉස්කෝලේ ඇරලා එනවත් ඇති. ලොකු කොල්ලා හරිම ආසයි මං හදන කරත්ත වල‍ට. ඌ ඉගෙන ගන්න රුසියා ,මේ සැරෙත් පන්තියේ පළවෙනියා වුනාම ඌට කරත්තයක් හදලා දෙන්න මම පොරොන්දු වෙලා තියෙන්නේ."

මට අම්මා දිහා බැලුනේ ඉබේම. අම්මගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා.
"පහුගිය කාලෙම තාත්තා උඹ ගෙදර එයි කියලා බලන් හිටියා මයේ පුතේ...උඹ එනකම් කියලා බලන් ඉඳලා ,කල්පනා කරලම දැන් තාත්තගේ සිහිය හොඳ නෑ පුතේ .....උඹට මේවයේ වසන්ට බෑ කියලා මට තේරෙනවා පුතේ ...උඹ නාවා කියලා අපේ අමනාපයක් නෑ මයේ පුතේ." මේ ටික කියන්න අම්මට සෑහෙන වෙලාවක් ගතවුනා, වචනයක් වචනයක් ගානේ උගුරේ හිරවුනා ...එත් මගේ ඇහෙන් කඳුලක් ආවේ නෑ..මට කිසිම හැගීමක් දැනුනේ නෑ....

මට මගේ අලුත් 5S ෆෝන් එක දිහා බැලුනේ ඉබේටම .... 1 unread message -- "darling don't forget ,the cocktail is on 7-00 o'colck -Dil "

"වැඩ ගොඩක් දාලා ආවේ අම්මේ මං යන්නොන"

Monday, November 25, 2013

මං ආයේ ලියන්නේ නෑ


මං ලිව්වා සමාජ සාරධර්ම ගැන
උන් මට හිනා වුනා ...
ඒ මොනවද කියලා ඇහුවා

මං ලිව්වා චේ ගැන, කස්ත්‍රෝ ගැන, මාටිං ලූතර් ගැන
ඒ මොක්කුද කියලා ඇහුවා .
උන් මට හිනාවුනා....

මං ලිව්වා හිට්ලර්, මුසෝලිනී ,ඉඩි අමීන් ගැන
කවුරුවත් කියෙව්වේ වත් නෑ ,
දැක්කේ නෑ වගේ හිටියා ..

මට එපා වුනා ..

ඊට පස්සේ

මං ලිව්වා සාහිත්‍යය ගැන
උන් හිනාවුනා
සාහිත්‍යය කන්නද කියලා ඇහුවා ...

මං ලිව්වා ඉහිහාසය ගැන
උන් හිනාවුනා...
මහාවංශය ලියන්නේ අපිට ඕන හැටියට ..උන් කිව්වා

මං ලිව්වා යුද්ධයේ සැබෑ විරුවෝ ගැන
උන් මට ඔරවන්න පටන් ගත්තා ...
ඇඟිල්ලේ තරමට ඉදිමියන් උන් මට කිව්වා ...

මං හැදුවා ජනතාව දැනුවත් කරන්න...
උන් හැමදාම රැවටෙන හැටි උන්ටම කියලා දෙන්න ...
උන් මාව හංවඩු ගැහුවා අධිරාජ්‍යවාදී බලල අතක් ....

මං ලිව්වා වංචාව ගැන ,දුෂණය , නාස්තිය ගැන ..
උන් මාව හොයන් ආවා...
කැඩුවා මගේ අතපය...

මං ලිව්වා ජනතාව පෙළගස්සන්න ...
අවදි කරන්න නිදි බරිත මනස .....
ආවා ශ්වේත වර්ණ දඬු මොනරයක් ....
අවසාන නිවේදනය ........එකඟවුනා ගිවිසුමකට
ලැබුනා කොම්පියුටරයක්, වාහනයක් ,ගෙයක්...
ආවා මං නැවතත්, කිසිදා නැවත දකිනට නොලැබේයයි සිතු මේ බිමටම

එතැන් පටන් ලිව්වා මං
එකතුවුණු හැටි අජේ දෙව්ගනුයි කාජලුයි ....
වෙන්වුණු හැටි ඇන්ජලීනා ජොලි බ්‍රැඩ් පීට්ගෙන් ...
නිරුවත් වුනු හැටි ලේඩි ගාගා ප්‍රසිද්ධියේ ...
අහා ....දශක ගණනක් නොතිබූ රැල්ල මාවෙතට
සම්මාන ලැබුවා මා ..ලෙසින් ජනතාවගේ කළා කරුවා ..යුගයේ මාධ්‍යව්දියා ....

ලැබූ ගම්වර බෝමයි .....
මදිවට උපදේශක පට්ටම රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන්....
මොනවයින්ද අඩු මට ......
කිම්ද ඇති පල අවදි කරවන්නට යාමෙන් මෝහනය වූ ජනයා

ඉතින් මින් මනත, උන් කියන දේ නැවත ලියනවා ඇර
කවදාවත්
මං ආයේ "ලියන්නේ" නෑ .....................!



Tuesday, October 29, 2013

සිකුරිටියාගේ රාත්‍රිය


තිගැස්සී ඇහැරුනෙමි ...
හොරෙක් ඇවිත්ද....? මොනවා ගෙනගොස් ඇත්දැයි නොදනිමි....
හපොයි ...මේ මාසේ පඩිය .....එකෙනුත් බාගයක් දැන් මේ නැතිවුණු කෙහෙල්මලට කපාගනියි.

හොඳම යාළුවා අද ආවේ නැද්ද ....?
කොහේ එන්නද .....පත්තු කරපු මදුරුකොයිලයේ සැර වැඩිය.....!
ආදරණීය මදුරු යාළුවා ....ඔබ නොහිටින්නට කවදාවත් පඩියක් ඉතිරි නොවනු ඇත....

අක්කර ගානක් වැඩබිමක් තනියම මුර කරන එක ලේසි වැඩක්ද....?

රෑ එලි වෙනකං ඇවිද ඇවිද පැයෙන් පැයට අස්සන් ගහන්ටම හතරකොනේ පොත් හතරකි ....
ඒකටනම් මක්වෙනවද ................
ඇහැරිච්ච වෙලාවට පොත් ඔක්කොම එකතුකරන් ඇවිත් එකසැරේ අස්සන කොරන එකනේ ...
එහෙම කොරලා ආපහු එල්ලනකොට පොත් ටික මාරුවෙලා .......හුටා 
එක බේරාගන්නට විසිටින් ඔෆිසරයාට රුපියල්ම දෙසීයක් දෙන්නට විය...
යුනිෆෝම්, කැප්, සපත්තු සහ බැජ් එකට කපා ඇත මේ මාසෙත් තවත් දෙදාහක්......!

දැන් ඇවිත් හොරෙක් .....
මේ මාසේ ගෙදර ගෙනියන්ට වෙන්නේත් ගෙනාපු කුට්ටමම විතරය....
ඩියුටිය එක දිගට අනූ හයක් පැයම ....

අල්ලා ගන්ට ඕනේ හොරාව ...........
හෙට උදේට වීරයෙක් ...මං එතකොට ...
ලොක්කා තැන්කු කියයි කට පුරාම.........
නොදකින්... එතකොට තමයි හිතෙන්නේ හොරාට දෙන්න තියෙන ඔක්කොම....

ඒ අල්ල පනල්ලේ මගේ ගෙට හොරු පැන ඇත...
හොරා ගන්නට නොව හොරා කන්නට.....
මොනවා කොරන්ටද මාස දෙකකට දවසක් විතරක් ගෙදර යනකොට ....
මං නොදෙන දේ කන්ට එපැයි මගේ ගෑනිත් කොහෙන් හරි  

ඒත් අදනම් අල්ල ගන්නවා බෙල්ල මුලින්...
මෙන්න බොලේ හොරා ඇඟේ ගෑවෙනවා ......හිටු තොට 
හරිම සිනිදුයි නොව හොරාගේ අතපය ....
හත් ඉලව්වයි ඉන්නේ ගෙදර ඇඳේ නොවේද ...?
මාස දෙකකට සැරයක් හරියට නිදාගන්ට තියෙන එකම දවස .....
එකත් නැතිකොරන්ටද හදන්නේ මේ ගෑණි ....
පල යන්ට අහකට ....

Friday, October 25, 2013

ප්‍රේමය නම්


"කම් ඉන් සර්....."

"තැනක් යූ ..."

"ඉට් සීම්ස් දැට් යූ කේම් ෆෝ ද ෆස්ට් ටයිම් අ ප්ලේස් ලයික් දිස් .....ආ... ඒනිවේ .....මිස්ටර් සුරේෂ් කෝල්ඩ් ඇන්ඩ් ටෝල්ඩ්මී  දැට් යූ විල් කම් "

"නිර්මාණී ආයුර්වේද සුව අසපුව .......විචිත්‍රවත් ඩිජිටල් නාමපුවරුව සිනාසෙමින් නගරය දෙස බලා හිඳියි. මා සමග ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යක්තව කතාකල උඩරට ඔසරිය හැඳි සුන්දර යුවතිය දෙස බලාසිටිත්දී මට සිහිවුනේ සුරේෂ් සහ මා අතර ඇතිවූ සංවාදයේ වචනපෙලයි.

"මචං හැමදාම උදේ ඔෆිස් යනවා බං. මාර ලස්සනයි. හරිම අහිංසක මූණක් තියෙන්නේ, වැදගත් පාටයි."

"කොහෙද වැඩකරන්නේ ...?"

"අර ස්පා එක තියෙන බිල්ඩින් එක දිහාට තමයි යන්නේ "

"එතන වෙන ඔෆිස් නෑ, ඔතන වැඩකරන එකක් නම් මචෝ උඹ ඔය කියන විදිහේ කුල කාන්තාවක් වෙන්න බෑ"

"ඇයි ....."

"ඇයි කියන්නේ මැට්ටෝ ඒක බඩුපොට් එකක්නේ ..."

"එතන ....? වෙන්න බෑ ඒක අයුර්වෙදික් ස්පා එකක්නේ ..."

"ස්පා......හැක හැක් හැක් හූ .....ස්පා....බම්බුව ස්පා........අද හවස උඹම ගිහින් බලපන් බොරුනම් මම අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්නං .........සමහර විට උඹේ ඔය ප්‍රේම සුරන්ගනාවිම අල්ලාගෙන උඹට සර්විස් එකක් දාගත්තහැකි."

*******

"සර්....සර්.....එක්ස්කියුස්මී සර්....."

ඔසරිය හැඳි සුන්දර යුවතියගේ කටහඬින් මා යලිත් පියවි ලොවට පැමිණියෙමි.

"සර්.....දැන්නම් අපි ළඟ මේ හයදෙනා විතරයි ඉන්නේ අනිත් අය එන්ගේජ්ඩ් ........"

මා අත ලැමිනේට් කල පින්තූර කිහිපයක් තබමින් ඇය නැවත දොඩමළු වූවාය......පින්තූර දෙස බලාසිටින මට අඳුරු කල සුවිසල් වීදුරු තුලින් මහපාර දිස්වෙයි පාරේ ගමන් කරන සියල්ලන්ම මා දෙස බලමින් මට සමච්චලයට සිනාසෙනු මට පෙනෙයි.

"වට් ඩු යූ තින්ක් සර්..."

ඔව් මේ ඇය නොවේද...? සුරේෂ් කීවේ සැබෑවක්ද ....

"මෙන්න මෙයා ...........මේ ඉන්නේ ...."

"ඕකේ  සර්............... වෙයිට් අ මිනිට් සර්....කියමින් නැවත කිරිගරුඬ පාට කවුන්ටරය දෙසට ඇදුනු යුවතිය ....රිසීවරය කනේ තබාගෙන අංක කීපයක් ඔබා ....      "නිශූ ...අ කස්ටම ෆෝ යූ " කියා නැවත මාදෙසට හැරුණි......
"සර්.....ප්ලීස් ගෝ ටු රූම් නම්බ සෙවන් ...."

"පේමන්ට්ස්.....?"

" දැට් හෑස් ඔල්රෙඩි ඩන් බයි මිස්ට සුරේෂ් සර්.......යූ හෑව් වන් අව සර්....."

"තෑන්ක් යූ"

"වෙල්කම් සර්"

"ඉදිරිපස ඇති රෙදි කඩයේ පිල මත සිටි බැල්ලියගේ ඇඟට නගින්නට උත්සාහ කල බලු පැටියා, දෙතුන් වරක් උත්සාහ කර අමාරුවෙන් නොවැටී බැල්ලියගේ පිටමත පාද තබාගෙන වටපිට බලන විටම කඩය තුල සිට පැමිණි කොලු ගැටයෙක් උන් දෙසට බේසමක තිබූ වතුර විසිකරනු ද උන් දෙදෙනා දෙපැත්තට දුවන අයුරුද කාමර අංක හත දෙසට ඇවිදගෙන යන මට අඳුරු පැහැ වීදුරුව තුලින් දිස්වන්නට විය.

 ******

" එන්න සර්...."
දනිස්සෙන් අඟල් හතරක් පමණ ඉහලට වන්නට රතු පැහැ අත්  නැති ඇඟටම ඇලුණු ගවුමක් ඇඳගෙන සිටි රූබර යුවතිය පෑ සිනහව මා කුල්මත් කිරීමට සමත් විය.

ඔව් මේ ඇයම තමා ......සුරේෂ් මහා හඬින් මට සිනාසෙනු මසිතේ ක්ෂණයකින මැවී පෙනී නැතිවී ගියේය.

මා උදේ දුටු කාර්යාලීය යුවතිය උදෑසන දුටු අඩි උස පාවහන් යුගලයෙන් නිදහස් වූ ,රතු නිය ආලේපන ගැලවූ නිරුවත් දෙපා යුග මනබඳනා සුළුය.

"සර් ...වොෂ් එකක් අරන් එන්න..... සර්...සර්...සර්....."

ඇයගේ මුහුණ දෙස මා බලා සිටියා වැඩියිවත්ද?
  එක අතකින් මා දෙසට සුදුපහ තුවායක් දිගුකරගෙන සිටි ඇය පාදයක ආධාරයෙන් විවර කල ලාච්චුවේ තිබූ උපත්පාලන කොපු පැකට්ටුවක් අතට ගනිමින් සිටින්නීය .

"එපා ..."

" එපා ........? එපා කියලා බෑ සර්.......වොෂ් එකක්නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා . අනික  අනිවාර්යයෙන් කොන්ඩම් දාන්නත් ඕන .........."

ඇය මෙසේ කියන්නේ කෙතරම් පහසුවෙන්ද ..?ඇත්තටම මට දැනෙන අපහසුතාවයෙන් බිඳක්වත් යට නොදනේන්නේද?

*******

"මට ...මට .....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" කතා කරන්න.............මාත් එක්ක............? මොනාද? ............."ඇය පුදුමයට පත්වූ සෙයකි.

මම ඇඳ මතින් වාඩිවුණේ තවත් හිටගෙන හිටියානම මා බිම අද වැටේවි කියන බියෙනි.

"මෙහෙන් වාඩි වෙන්නකෝ..........."

"මොකටද ........සර් ........මං හම්බ කරගෙන් කන එක නවත්තන්නද හදන්නේ ....අනේ ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න සර්...."

"ඇත්තටම මට ඕනේ ඔයත් එක්ක කතා කරන්න ..."

"මොනා කතාකරන්නද.....? කතාකර කර ඉන්න පැයකට අටදාහක් ගෙවන්න සර්ට පිස්සුද....."

"අටදාහක්.............?

"ඔව් ඇයි ඊට වඩා ගෙව්වද....."

"ඔව්....නෑ ...නෑ ....අටදාහ තමා...."

"ඔයාගේ නම මොකක්ද.....?"

"මගේ නමෙන් සර්ට වැඩක් නෑනේ ...සර් පත්තරෙන්ද .....ඔයාලා ඕව පත්තරවලට ලියලා සහතික ගනියි....විස්තර දුන්න කියලා අපිව මරයි මෙතන ,ආවනම් ආව වැඩේ කරගෙන් යන්න සර්  පව් නොදී...."

"මම පත්තරෙන් නෙවෙයි, පොඩ්ඩක් මම කියන දේ අහන්න "

"මොනා අහන්න ද..........ඔන්න ඕක ගලවලා වොෂ් එකක් දාගෙන එන්න , නැත්තං මෙතන තටමලා තටමලා අන්තිම මොහොතේ කුලප්පුව හැදෙනවා .....ඊ ලඟට අනිත් එකා දොරට ගහයි ....ඇයි යකෝ අපිත් මිනිස්සු නේද...මල වදේ....."

"මම ඔයාව හැමදාම උදේට දකිනවා ...ඔයා උදේට හරිම ලස්සනයි ...ඒත් අයි ඔයා මේ වගේ දෙයක් තෝරාගත්තේ ......ඇත්තටම මට ඔයා ගැන ආදරයක්..."

"මේ මහත්තයා ඔය බයිලා අහලා ඇතිවෙලා තියෙන්නේ .......ඔය හදන්නේ මෙතන සල්ලි නොදී මගදී අල්ලං කෙලින්න ...එව්වා සුම්මා මහත්තයෝ......බම්බුවේ ආදරේ...."

"නෑ දෙයියනේ....මම ඇත්තටම ඔයාට....."

"මම දැන් සැරයක් කිව්වා , තමුසෙලා මෙතන බයිලා ගහලා අන්තිමට කම්ප්ලේනුත් කරලා අපේ ගානෙනුත් ගානක් කපලා මාරු වෙන්නේ ......ඉක්මනට එනවා ඔය **ර ටික ගියාම ඕක හරියයි....."

" නෑ මට එහෙම දයක් ඕන නම් මම ඔයාව හොයාගෙන මෙතනට එන්නේ නෑ...."

"එහෙම දේකට මෙතනට එන්නේ නෑ.....?  .එතකොට එහෙම දේවල් වලට තමුසේ පන්සලටද යන්නේ මහත්තයා ......එහෙම නැත්තං මෙතෙන්ට ආවේ මල් පූජා කරන්නද?

"ඔයා නොදන්නවාට ඔයා පූජා කරන්න තරම් මලක් තමයි මට ......"

"තමුසෙට පිස්සුද .......මිනිහෝ.....මම දැන් බෙල් එක ගැහුවොත් තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදලා දායි...........එක කරගන්නද ඕනේ........."

"තමුසෙලා කම්ප්ලේන් කලොත් මමයි අමාරුවේ වැටෙන්නේ ....එකයි මෙච්චර වෙලා හරි තමුසෙට කිව්වේ.......නැත්තම් මෙලහකටත් මතක් හිටින පාඩමක් උගන්නලා....එනවා මෙතන ලව් කරන්න.........මහත්තයා ඔය වැදගත් කම පෙන්නනවා ඕන තැනදී......වේසියෙක් ලඟට ආවනම් ඒක කොරගෙන යනවා මනස්ගාත නොකර .......

"කෑ ගහන්න එපා .....මට ඕනේ ඔයාව මේ අපායෙන් ගොඩගන්න ...."

"හාහ් ...ඇත්තද ....ගොඩ අරන් වෙන අපායකට දාන්නද...? "

"නෑ මට පුළුවන් ඔයාව බාරගන්න ..."

"ඈ බොල මාව බාර අරං මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි උඹ කන්න දෙන්නේ උඹේ අහවල් එකද ...? මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා ...තමුසෙට එහෙම සල්ලි දෙන්න පුලුවන්ද දවසකට මට...? ආ......කතා කරනවා .......

දොර අරගත් ඈ කේන්තියෙන් පුපුරමින් කාමරයෙන් පිටවන්නට වූවාය ....
"මෙහෙම එවුන් දෙන්නෙක් ආවොත් මාසෙක වැඩ ඉවරයි.......කාලකන්ණි ...මුළු මූඩ් එකම කෑවා" ......ඇය කෑගසන හඬ ඈතින් ඇසෙන්නට වත්ම මට දැනුනේ බියකි........
ඉක්මනින් කාමරයෙන් එලියට පැමිණි මා .....වේගයෙන් අඩි තබමින් මෙතනින් එලියට යන්නට හදන විට ඔසරිය හැඳි යුවතිය............

"තැනක් යූ සර්......කම් අගේන් සර්.."

ඇය දෙසවත් නොබැලූ මා පාරට ආවේ කෙසේදැයි මටත් මතක් නැත........රෙදිකඩය අසල සිටින බැල්ලියගේ පිට උඩ තවත් බල්ලෙකු නගින්නට උත්සාහ කරයි.......ඌ ලොම් හැලිච්ච නාකි බල්ලෙකි.......


Wednesday, October 16, 2013

(සයිබර්) හොරු සමග හෙළුවෙන්


සයිලන්ට් සහන් ටිකදවසකට කලින් පළකරපු අකුණු සන්නායකයක් සාදාගන්නා ආකාරය කියන පොස්ට් එකේදී කියා තිබුනා ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත හැකිව තිබූ සමහර නිර්මාණ නිකම්ම එළිදක්වා ඇති වග . නමුත් එහි පාඨකයන් වූ අප බොහෝ දෙනෙක් කියාසිටියේ එවන් නිර්මානයක් නම්
අනිවාර්යයෙන් එහි පේටන්ට් බලපත්‍රය ඔහු විසින් ලබා ගත යුතු බවයි. නැත්තම් කොහේ හෝ සිටින අපතයෙක් ,නිකමෙක් එහි බලපත්‍රය ලබාගැනීමට පසුබට නොවන නිසා.

මොකද ලංකාව කියන්නේ බුද්ධිමය දේපල කොල්ලකෑමටම උපන් මාර පොරවල් සෙට් එකක්ම සිටින රටක් නිසා. මේ බව හොඳට පැහැදිලි වෙනවා රිඟින් ටෝන් මගින් අතරමැදි පුද්ගලයන් කෝටිපතියන් වනහැටි දැක්කම නිර්මාණයට සම්බන්ධ පිරිස් හිඟන්නන් බවට පත්වෙද්දී ,

කතෘ අයිතිය සුරැකීම කියන කාරණය කෙරෙහි අපේ රටේ තාමත් ඇත්තේ ඉතාමත් අඩු අවධානයක්.

ප්‍රදීප් ගුණරත්න ගැන මම හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ ...මොකද ඒ සහෝදරයා ගැන නොදන්න කෙනෙක් බ්ලොග් ලෝකේ ඉන්න විදිහක් නැති නිසා , කාලෙන් කාලෙට බොහොම අපූරු, විස්තරාත්මක, වැදගත් සෞඛ්‍ය පිලිබඳ  විවිධ අකාරයේ පොස්ටු ප්‍රදීප්ගේ පිටුවේ වැටුනා.

ඔහුගේ අරක්කු කියන මේ පොස්ටුව කාටත් මතක ඇති . අද මම දැක්කා ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම උස්සලා මෙන්න මෙතන දාලා . මේක දාලා තියෙන්නේ රූ (your cyber world ) කියන පිටුවේ

ඒ පිටුවේ පහලින් මෙන්න මෙහෙම කතාවකුත් ලියලා තියෙනවා


අලුතෙන් පටන් ගත්ත රූ .lk වෙබ් සයිට් එක අන්තර්ජාලයේ ලොකු වෙනසක් ඇති කරපු සයිට් එකක් .
අනිත් අය ලිංගිකත්වය පෙන්නලා මාර්කට් වෙද්දී අපි හැමදාම අපේ අයට දුන්නේ වැදගත් දෙයක් .
ඒක නිසයි අපි වේගයෙන්ම ඉදිරියට ඇදෙන්නේ ..

ඔයාටත් පුළුවන් අපිත් එක්ක , ඒ කියන්නේ රූ පවුලත් එක්ක එකතු වෙන්න .
මේක forum සයිට් එකක් නිසා ගොඩක් අය දන්නේ නැහැ මේකේ තියන වැදගත් කම ..
මෙතනින් අපිත් එක්ක එකතු වෙන්න ..
ජිවිතයට අලුත්ම අත්දැකීමක් එකතු කර ගන්න ..



ඉතින් රූ වැදගත් දෙයක් දෙන්න ඔයාලා උත්සාහ කරනකොට ඔබවෙත ලැබෙන හැම පොස්ටුවක්ම තොරතුරකම නියම අයිතිකරුවන් ගැන සොයා බැලීම ඔබේ යුතුකමක් බවයි මා හිතන්නේ 

මෙම රූ.lk පිටුව කරවන අය තමන් වෙත ලැබෙන පොස්ටු වල සුජාත භාවය තහවුරු කරගෙන පබ්ලිෂ් කරනවානම් හොඳ බවයි මගේ හැගීම . 

මේක දාලා තියෙන්නේ SASIKI කියලා නමකින් ඔහුගේ (ඇයගේ) ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ චේගුවේරා මං දන්නා චේගුවේරා කියන්නේ හොරෙක් නෙවෙයි , ඔහු අනුන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසුනා පමණයි. අනුන්ගේ දේවලට තමන්ගේ ලේබලය ගහගත්ත කෙනෙක් නෙවෙයි. 

එසේම sasiki කියන නිර්මාණ හොරාට කියන්න තිබෙන්නේ යමක් උපුටා ගැනීම හා උපුටා ගෙන පලකිරීම වරදක් නෙවෙයි, හැබැයි නියමාකාර අවසරයකින් පසු. ඒ වගේම ගත්තේ මෙතැනින් කියලා සඳහන් කිරීමත් යුතුකමක් .

ඉතින් අනුන්ගේ පොස්ටුවක් තමුන්ගේ වගේ පලකරන් එවුන් ඉන්න රටේ සහන් වගේ මනුස්සයෙක් හොයාගන්න වටිනා නිර්මාණයකට පේටන්ට්එක වෙන එකෙක් ගන්නේ නැතිවෙයි කියලා කියන්න පුලුවන්ද? 

මීට කලින් අටමගේ පොස්ටුවකුත් ඔය වගේ උස්සලා වෙන තැනක දාලා තිබුනා එදා ඒ උස්සපු එකාට අටමා කියපු කතාව ඉතාම උචිතයි 

"යකෝ ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කෑවනම් " 


Saturday, October 5, 2013

කඩතුරාව


"අනේ තිලකේ අයියේ මේ කතා පත්තරේට දාන්නකෝ...."

"අනේ වැඩක් නෑ සිංදුමී ....... ඔය පත්තරකාරයෝ පස්සේ යන්නයි , එක එකාට පින්සෙන්ඩු වෙන්නයි, මට ඕවා අල්ලන්නේ නෑනෙ.... අනික මම යවපු ඒවා හොඳම කතා විස්ස අතරටවත් ආවෙ නෑනෙ.....'

ඒ වුනාට අයියේ පත්තරේට දිගටම යවන්න කියලයි මම නම් කියන්නේ .........ඔයා මෙහෙම කතා ලියනව කියලා දන්නේ අපේ ඔෆිස් එකේ නිව්ස් ලෙටර් එක කියවන අය විතරනේ."

"ආ තිලකේ .....අදත් මරු කතාවක් දාල තියෙන්නේ , නරකද උඹට මේ රස්සාව දාල ගිහින් ලේඛකයෙක්ම වුනානම්.....නැද්ද සිංදුමී ........"
 කොහේදෝ ඉඳලා ආපු පියල් එහෙම කියලා සිංදුමී දිහාට ඇහැක් ඉඟිමරනවාත් සිංදුමී පියල්ට ඔරවනවාත් මම හොඳටම දැක්ක.

මුන් මේ මාව මුරුන්ගත්තේ තියන්නේ බොරුවටද එහෙනං, එහෙම වෙන්නත් බෑ පියලානේ මගේ කතාවක් අපේ  "නිව්ස් ලෙටර් 'එකේ පළවුණු ගමන් ඉස්සෙල්ලම කියවන්නේ .

*******

"අයිසේ පියල් සංස්කෘතික අමාත්‍යාංශේ  ඔෆිස් එකක් වුනාට මේකේ කිසි ගෝ එකක් නෑනෙ , පටන් ගමුකො සාහිත්‍ය ,සංස්කෘතිය , සභ්‍යත්වේ හරි බැරිනම් අසභ්‍ය හරි මොකක් හරි වැඩක්.......
ඩිරෙක්ටත් දවසක් ඇහුව මගෙන් ඉස්සර වගේ "මැගසින්" එක කරමුද කියලා, අර "රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප්  ප්‍රෝග්‍රෑම්" එකෙන් "ෆන්ඩ්ස්" දෙනවලු"

ටිකක් විනෝදකාමී සෙල්ලක්කාර චරිතයක් වෙච්ච "සී.සී.මහත්තයා "  දවසක් ලන්ච් ටයිම් එකෙදි කට්ටියත් එක්ක කනගමන් දාපු අදහස නිසා තමයි , නැවතිලා තිබිච්ච අමාත්‍යංශ මාසික සඟරාව නිව්ස් ලෙටර් නමින් ආපහු පටන් ගත්තේ ,

එකෙන් වුනේ පියල්ගේ වැඩත් මට කරගහන්න වුනු එකයි ....

"මචං පොඩ්ඩක් මේ ටීචර්ගේ වැඩේ බලපං.............. මචං ඔය යව්වන සමාජේ ලේකම් එයි පොඩ්ඩක් බලහන් ...............,මම අර මැගසින් එකේ වැඩකට පොඩ්ඩක් එලියට යනවා මචං."

මැගසින් එකේ වැඩ නැගලා ගියත් ස්වභාවයෙන්ම නිහඬ චරිතයක් වුනු මගෙන් කවුරුත් උදව් ඉල්ලුවෙත් නෑ , මං පැනලා දෙන්න ගියෙත් නෑ .

"මොනා වුනත් නිව්ස් ලෙටර් එක එලටම තියෙනවා ... ඇමැතිතුමාත් සුබපතලා තිබුනා ........"

එක නෙවෙයි කවුද බං මේ "R.D.T.R." කියන්නේ ......"

"කෝ...."

"මේ ..මේ කෙටිකතාව ලියලා තියෙන්නේ ..."

" නියමෙට තියෙනවා නේද පියල්......"

" ඔව් බං  මාත් බැලුවා කවුද කියලා .සිරාවට කතාව ගලපලා තියෙනවා.......ඩිරෙක්ටත් සී.සී. කාරයාගෙන් ඇහුවලු කවුද මේ කියලා.."

කට්ටිය "R.D.T.R." හොයන විදිහට මට හිනාවක් යන්න ආවත් සද්ද නැතුව හිටියේ තව ටිකක වාත කරන්න හිතාගෙන.

"ඇයි තිලකසිරි අයියා හිනාවෙන්නේ ..........." ඒ සිංදුමී
"අනේ පියල් ඔය තිලකේ අයියානේ ..."

"කවුද...."

"R.D.T.R. - රණේපුර දේවගේ තිලකසිරි රත්නායක .....අනේ මටත් අමතක් වෙච්ච හැටියක් " සිංදුමී හිසේ අත ගසාගෙන් කී තාලයෙන් මට සිංදුමී ගැන අමුතුම ලෙන්ගතුකමක් දැනුනා ..."

" ආ ... ඇත්තද .....ඇත්තද මචං .....හ්ම්  උඹත් දන්නා දේවල්..... කතාවත් නරකම නෑ ....."

පියල් ඒ ටික කිව්වේ එච්චර හිත හොඳකින් නෙවෙයිද කියලා දැන් හිතෙනවා........නරකම නෑ කිව්වේ ...ඉතින් ඉස්සෙල්ල කිව්වේ නියමෙට ගලපලා තියෙනවා කියලා ......

පියල් සින්දුමීට ඇහැක් ගහනව දැක්ක අගමන් මට මතක් වුනේ ඒ අතීත සිද්ධිය ......


ඒ වුනාට සිංදුමී හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්, මගේ නිර්මාණ වැඩියම අගය කරන්නේ එයානේ, මගේ ඔෆිස් වැඩත් කරලා දෙනවනේ මං ලියන වෙලාවට. මොන එහෙකට අර වගේ ගල් බමුනෙක්ව  බැඳ ගත්තද දන්නේ නෑ.
ඒ වෙලාවේ සින්දුමීගේ හස්බන්ඩ්ව මතක්වුනේ නිකම්ම

*******

නෙද්දකින් උගේ හැටි විතරක් වීරප්පන් වගේ ...

"කව්ද තිලකේ වීරප්පන්....................."

හුටා නාලිකාටත් ඇහිලා ...."නෑ මේ සිංදු .....නෙවෙයි මේ අර මේ....නළුවෙක් ඉන්නේ ...මිනිහා ආවනේ ඔෆිස් එකට දවසක්......"

"ඇයි මේ ...."

"තිලකේ අනේ පාන් ගෙඩියක් අරං එනවද....."

"මොකක්ද නාලිකා ඔයා ගිහින් ගෙන්නකෝ ...පේන්නැද්ද මම වැඩක්නේ................"

"අනේ ...ඉස්සරහ කඩේ වහලා .......හන්දියට යන්නොන ....මම කොහොමද මෙහෙම යන්නේ ... අනික තනියම ............."

"ආයේ ඉතින් තනියම ගියා කියලා මොකෙක්වත් ඔයාව උස්සන් යන්නේ නෑ, මං වගේ හරක් තව නෑ මේ රටේ "

"මොකක්ද කිව්වේ ......තිලකේ ..."

" නෑ මුකුත් නෑ ....මල්ලක් ගෙනත් දෙන්න කියල කිව්වේ ............"

"ඔයා දැන් අමුතුයි තිලකේ.....හැම තිස්සෙම අනුම්පද කියනවා.......කතා ලියනවා කියලා රෑ දෙගොඩහරියේ ඇහැරගෙන ..........මොකක්ද අනේ මේ........"

"හා හා දෙනවා ඕක මෙහාට.....දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට කොහොමත් ටිකක් ඇවිදින්න කරන්න ඕන.....කම්මැලි කමට ඉන්නේ නැතුව."

කඩේ යනකම්ම මට මතක් වුනේ සිංදුමී...........සිංදුමී වගේ ගෑනියෙක් බැඳ ගත්තනං අද මගේ ජීවිතේ කොච්චර සැහැල්ලුද.....? හරිම සංවේදී  කෙල්ල, එහෙම වුනානම් මමත් අද හොඳ ලේඛකයෙක් වෙන්නත් තිබ්බ ...

කොච්චර වුනත් හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කියන එක ඇත්ත. ..එකට අපේ ගෑණි....මෙලෝ රහක් නෑ, කිසිම සාහිත්‍ය රසයක් නෑනෙ.....මගේ එක කතාවක්වත් කියවලා තියෙනවද දන්නේ නෑ. සිංදුමී නම් මැගසින් එක පිටවෙනකම් ඉන්නේ කියවන්න.

"හින්දි වදන් මියුරු නදින් කියන ....සිංදුමී.....සින්දු නදී ඉවුර දිගේ එන්න සිංදුමී.........."

"මුදලාලි සිංදු දෙකක් දෙන්න...."

"සිංදු ..?"

"ඇයි නැද්ද.....ආ  සොරි මුදලාලි පාන් දෙකක්......"

ශික් වස විලි ලැජ්ජාවයි........ඉතුරු රුපියල් දෙක ගන්නවත් ඉන්නේ නැතුව මම ආපහු ආවේ මුදලාලියා කට කොනකට ගත්තු හිනාවදිහා බලන්න බැරි කමටමයි.

*******

"මගේ ඊලඟ කතාව ලියන්නේ ඔයා ගැන ..."

ෆයිල් එකක් තුරුළු කරන් කහපාට ඔසරිය ඇඳගෙන හිනාවෙවී ,මලක් වගේ මගේ මෙසේ ඉස්සරහ පිපිලා ඉන්න සිංදුමීට මම එහෙම කියනකොට සිංදුමී ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා......කොහොමත් සිංදුමී ඇස් ලොකු කරලා බලනකොට හරිම ලස්සනයි....මම සිංදුමීව දකින්න ආසම එයා ඇස් ලොකු කරලා බලන වෙලාවට තමයි

" මං ගැන ........? මං ගැන නම් කතා එකක් නෙවෙයි සීයක් ලියන්න තරම් දේවල් මගේ ජීවිතේ තියෙනවා අයියේ....."

සිංදුමී දුකෙන් වගේ අහක බලනවා දැක්කම මට දුක හිතුනා, සින්දුමීගේ නිකටෙන් අල්ලලා මූණ දිහා බලං ඔයා දුක් වෙන්න එපා කෙල්ලේ කියන්න හොඳටම ඕනෑකම තිබුනත් ඔෆිස් එක ඇතුලේ හිටපු නිසා මම ආයාසයෙන් ඒ හැගීම යටපත් කර ගත්තා.

"ඒක නෙවෙයි තිලකසිරි අයියේ ..කොහොමද දැන් නාලිකාට ...කවද්ද ඩිලිවරි එක..........කාසල්ද...?"

" ඔය ඉන්නේ........ තව මාස දෙකක් තියෙනවා.........."

"මං යනවා අයියේ....."

"සිංදුමී.................................!"

"ඇයි අයියේ..........................?"

"මගේ ජීවිතෙත් කතා ගොඩාක් ලියන්න තරම් දේවල් තියෙනවා සිංදුමී....."

 ආයෙත් ඇස් ලොකු කරලා මගේ දිහා බලපු සිංදුමී ඉක්මනින් එතනින් ගියා

උඹ මොකද එහෙම කිව්වේ .....නාලිකා මොකක්ද උඹට කරපු අඩුව.....මගේ හිත මගෙත් එක්ක වාදේට පැටලුනා ...........
 අඩුවක් නම් නෑ, ඒත් ජීවිතේ කිසි රසයක්, රිද්මයක් නෑ...  නාලිකාගේ වරදක් නෑ....ඒත් ඇති හොඳකුත් නෑ හරියට පතෝල වගේ ,
අතිරහ වුනත් හැමදාම කනකොට එපා වෙනවලුනේ, ඉතින් හැමදාම පතෝල කනකොට එපාවෙන එක අහන්නත් දෙයක්ද.................

*******
ඩිරෙක්ටර් ලඟ උදේ ඉඳන්ම හිටපු නිසා අද ඔයාට මේක පෙන්නන්නත් බැරිවුනා සිංදුමී ..පෙන්නන්න දෙයක් නෑ ඉතිං ,ෂුවර් එකටම ඔයා තමයි මේක පත්තරේට යවන්න ඇත්තේ , මොකද මේක මම පෙන්නුවේ ඔයාට විතරනේ , අනික මේ වෙනකම්ම ඒකෙ මුල් පිටපත ,ගෙදර මොකද තාම මැගසින් එකට දාන දවසත් ආවේ නෑනෙ,

ලංකාදීප පත්තරේ විමංසා අතිරේකේ මගේ කෙටිකතාවක් පලවෙලා ......අනේ අනේ සිංදුවෝ ඔයා මටත් හොරෙන්ම යැව්වා නේද පත්තරේට මාව සප්ප්‍රයිස් කරන්න. මට නිකම්වත් කිව්වේ නෑ. ඔයා හැමදාම මගෙන් අහනකොට පතරේට යැව්වද යැව්වද කියලා මට නිකමට හිතුනා ඔයා මෙහෙම දෙයක් කරයි කියලා .....

ඉන්නකෝ අල්ල ගන්න අද ..මිරිකනවා කන .......

අනේ ඉතින් නාලිකාට මෙහෙම රසවින්දනයක් තියෙනවනම්

*******

"සිංදුමී .......කෝ අද ඔයාගේ ප්‍රේම කුරුල්ලා............."
කෑම කන්න හිතාගෙන ලන්ච් රූම් එක පැත්තට යනකොට, වහලා තිබුන දොරට එහා පැත්තේ ඇහුනු පියල්ගේ කටහඬ නිසා මම දොර ලඟ ටිකක් නතර වුනා ......මූ මොනාද මේ සින්දුමීගෙන් අහන්නේ ...?

"කවුද තිලකසිරිද ...... ඔය ඩිරෙක්ටර් ලඟට ගිහින් උදේ ඉඳන්ම ..................."

"එක තමයි මම කෝල් කළා දෙතුන් පාරක්ම මොබයිල් එක ඕෆ්..............එක නෙවෙයි ,මිනිහා ඔයාට බොක්කෙන්ම ලව් නේ................."

"ආයෙත් අහලා ....මිනිහා මේ ලඟදි මට කියනවා ..එයාගේ ජීවිතේ කතාවක් ලියන්න තරම් දේවල් තියෙනවලු, ඊළඟ කතාව මගේ ගැනලු ......අම්මා  මාර ලවර්   අනේ......."

"කතාවක් ...ඔයා ගැන ......හැක් හැක් හා......මරුවට තියෙයි. තිලක සිංදු ප්‍රේම පුරාණය.............."

" කෑ ගහන්න එපා පියල් කාට හරි ඇහෙයි...... මට නම් බයත් එක්ක මිනිහව අපි අන්දනවා කියලා දැනගත්තොත් ....එහෙම අප්පා......................."

"අනේ ඉන්න, දවසක ඕකට හොඳ ලනුවක් දෙන්න ඕන ......ඕකා හිතන් ඉන්නේ මාටින් වික්‍රමසිංහ කියලා .."

"ඇත්තමයි සිංදුමී , ඌ ඔය ලියන කෙටිකතා නවකතා තියෙනවා නේද ....ඔය වගේ ඒවා අනන්ත පත්තර ,සඟරාවල තියෙනවා බං"

"ඇත්තටම කොහෙන්ද පියල් මෑන් කොපි කරන්නේ මේවා....මෑන් අන්තිමට දාපු එකත් මේ ළඟදි කොහෙන් හරි  කියෙව්වා වගේ මතකයි..........කියෙව්වා කියෙව්ව කිව්වට මම දෙක තුනකට වඩා මෑන්ගේ කතා කියවලා නෑ පියල්.........පව් අනේ .....මෑන් හිතන් ඉන්නේ මම මොනා නැතත් මෑන්ගේ කෙටිකතා කියවනවා කියලා  ...පිස්සා "

සිංදුමී මේ ඔයාමද .....ඔයාලා මාව අන්දපු එකද  මෙච්චර කල්  කලේ . දොර ඇරගෙන ගිහින් දෙන්නටම කන පුපුරන්න දෙන්න ඕන...මාව වෙව්ලන්න ගත්තේ කේන්තිය වැඩි කමටද මන්දා ....

කේන්තියෙන් පුපුර පුපුරා මම දොරට අත තියනකොටම ඔෆිස් එක පැත්තෙන් අපේ කා.කා.ස. සුමනසිරි දුවගෙන එනවා දැකපු මම පොඩ්ඩක් නතර වුනා

****

"සර් සර් සර්  ........සර්ව මම හැමතැනම හෙව්වා .... සර්ගේ නෝනා බාත්රූම් එකේ වැටිලා හොස්පිටල් ගෙනිච්චලු .....සර්ගේ මල්ලි ඇවිත් කියලා ගියේ ...සර්ට කෝල් ගන්න හැදුවලු ෆෝන් ඕෆ්ලු.  මෙන්න මේක දෙන්න කිව්වා දැන්ම පුලුවන්නම් හොස්පිටල් එකට යන්න කිව්වා සොයිසා එකට........."

කොලේක ගුලි කරලා තිබුණු මොනාදෝ ගුලියක් මගේ අතට දෙන ගමන් සුමනසිරි නොනවත්වාම කියාගෙන ගිය දෙයින් මගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නවගේ දැනුනා....

"දෙයියනේ නාලිකා ............."

"මොකක්දමේ ගුලිය .......ගුලි කරලා තිබබ කොලේ දිගෑරලා බැලුවේ මේ මොකක්ද කියලා ...නාලිකාගේ මාලෙයි ,කරාඹු දෙකයි........"

ඒවා ඔතලා තිබ්බ කොලේට මගේ ඇස් දෙක ගියේ ඉබේටම .............
........ලියුමක් රෙජිස්ටර් කරපු තුණ්ඩුවක් ......??????
.......නාලිකා කාටද රෙජිස්ටර් ලියුම් යවන්නේ .............????

දෙයියනේ නාලිකා එතකොට ඔයාද මේක කලේ . පොඩි වෙච්ච් කොලේ තිබුණු අකුරු මට බොඳවෙලා පෙනුනේ මගේ ඇස් දෙකට ආපු කඳුළු නිසා

ලැබිය යුතු -සංස්කාරක
                   විමංසා කෙටි කතා සංග්‍රහය
                   දිනපතා ලංකාදීප
                   **** මාවත , කොළඹ **

Sunday, September 29, 2013

කිරුල රජුන්ගෙයි .......




කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  You Tube
කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  MP 3 සින්දුව බාගන්න


විරෝධාකල්ප ගීත වලට අනූව දශකයේ ඉතා ඉහල ඉල්ලුමක් තිබිණි. එසේම ඒ සඳහාම වෙන් වූ නිර්මාණකරුවන් ,කලාකරුවන් ,ගායකයන් ජනතාවට අවශ්‍ය උද්දීපනය ඇතිකරලීමට උත්සාහ කලෝය. 1994 වසරේදී පවතී රජය බලයෙන් පහකර දමාලීමට මොවුන් සුවිසල් කාර්යභාරයක් ඉටුකලෝය.

නමුත් එය සැබෑ ජනතාවාදී සටනක්ද යන්න ප්‍රශ්නකාරී වූයේ එම සටනේ පුරෝගාමීන් වූ කළාකරුවන් බොහෝදෙනෙක් ඉන්පසු ලැබූ වරදාන හා වරප්‍රසාද නිසාය.

කලාකරුවන් හිඟන්නෝය යන  ප්‍රකට කියමන සැමදා එසේම සත්‍ය විය යුතුය යන්න අප අදහන්නේ නැත. නමුත් සාධාරන වැටුපක් ,ගෙවීමක්, සහනයක්, පිළිගැනීමක් මෙන්ම උසස් ජීවන තත්වයකට එහා ගිය සිවිල් බලයක් සහිත කෘතීම සත්වයෙකු වීමට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු උත්සාහ කල අන්දමත් ඒ මතින් තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනයටත් අසරණ භාවයකට ලක් කිරීමටත් දක්නට ලැබුණු විට එකල බොහෝ දෙනෙකු කලේ සැබෑ ජනතාවාදී සටනක් දැයි සිතේ.

ඒ කාලයේදී මෙන්ම අදද සෝමතිලක ජයමහ යනු , ලක්ෂ ගණන් ගීත ගයා නොමැති, ගීතය හෝ සංගීතය නිසා කෝටිපතියෙකු නොවූ ඉතාම සරල මිනිසෙකි.
 ඔහු ගීතයෙන් විප්ලව කරන්නට උත්සාහ කලේ නැත, ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ කලේ නැත, නව රිද්ම , නනස්ටොප් වලින් වැඩ දැම්මේද නැත.

එසේ වුවත් ඉතාම සරල පදමාලාවන් මෙන්ම ,සරල සංගීතයක් ඔස්සේ ඔහු ඉතාම ආකර්ශනීය ලෙස සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රබුද්ධ මනසද ආමන්ත්‍රණය කළේය. එහෙත් ඔහු ශ්‍රීලාංකීය සංගීතයේ හිමිකරුවෙකු මෙන් හැසිරී නොමැති නිසාත් ඔහු සාමාන්‍ය පන්තියේ මිනිසෙකු වීම නිසාත්, ඔහුගේ ගීත වල දිව උළුක් වෙන ,උගුරේ හිරවෙන වචන නොතිබූ නිසාත් ,කොටින්ම කියතොත් සරල වූ නිසාම මේ තරම් දීර්ඝ කාලයක් තුල ඔහුට ලැබිය යුතු ප්‍රචාරය කිසිදු රාජ්‍ය. පුද්ගලික මාධ්‍ය ආයතනයකින් ලබා දුන්නේද නැත.

කෙසේවෙතත් මේ සටහන් ඔහුගේ එක ගීතයක් පිලිබඳවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් අතින් ලියවුනු මේ ගීතය අද කාලයට කොතරම් ගැලපේදැයි සිතා බැලීම වටී .

එදා නීරෝ රෝමය ගිනි ගද්දී වීනා වැයුවාය යන්න අපි සිහිපත් කරන්නේ අපේ මව්බිම ගිනිගද්දී අපිම වීණා වයමිනි.

වරදවා වටහා නොගන්න .... මේ කියන්නේ මහින්ද රාජපක්ෂ බලයෙන් පහකළ යුතු බව නොවේ. මේ ආණ්ඩුව ගෙදර යවා අලි, ගිනිසිළු, සීනු හෝ කුරුටුගාමී ආණ්ඩුවක් පත්කලයුතු බව නොවේ.

දිනෙන් දින අප වෙලාගන්නා සමාජ ,සංස්කෘතික , අධ්‍යාපනික හා දේශපාලනික උවදුරු ගැන නෑසූකන්ව සිටීම ගැනයි. ඒ දේවල් ගැන ජනතාව නැසූ කනවා සිටිද්දී රට කරවන්නන්ද තම කිරුල රැක ගැනීමට පමණක් උත්සාහ කරමින් සැබෑ ජනතා වුවමනාවන්,යටපත් කරගනිමින් සංදර්ශන පවත්වමින් සිටින අයුරු ගැනයි.
 රජුන්ට ජනතාව සැබෑ ව්‍යසන වලින් ගලවා ගන්නට අවශ්‍ය නැතිවා මෙන්ම ජනතාවද තමුන් වලේ වැටී ඇති බව නොදැන සිටීමයි.

අසා බලන්න ..........................

කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි //
බරණි බරට පිරි මැණික් දිලෙන රට
රැකුනොත් මිස රන් කිරුළක් කොහිබෙද
කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි

චණ්ඩ නපුරු සාගරේ ගිලෙන් නැව් බලන්
අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදී බැඳන්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

අනතුර දැක ඇස් පියාන ඉන්න  රඟ බලව්
පෙරහෙලදිව සිරිත නොවෙයි හිතාලා බලව්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

Tuesday, September 24, 2013

කොන්දක්කා - (Lady Bus Conductor)

අනුමැතිය ලැබේ… කාන්තා කොන්දොස්තරවරියන් වැඩ අරඹයි…



නංගී නිමල්කා - මට අත වනනවා දැක්කා
වගේ නොදැක්කා - මම අනේ ආවේ මක්කා
චේ  මාලේලා - කස්ත්‍රෝ හැමෝම එක්කා
ඉන්නා ටී ෂර්ට් එකක් ඊයේ ගත්තා

හෝල්ට් එකේ බස් - හිටගෙන නොකර කතා බස්
ඉන්නා විට ඇස් - පොට යනවා වී අන්දොස්
අන්න එනවා බස් - හැමෝම කන්න හදයි මස්
පුදුමෙකි අයියෝ  මේ ෆුට් බෝඩ් එකම හිස්

සී.ටී.බී. බස් - නිකං වගෙයි තඩි හුඹස්
පෙම් මුළුවල කිස් - කොරනා කපල්ස් නෑ ලොස්
ටික්කො පනියි බස් - මැද්දට ගහනවා දඩ සිස්
ගන්නේ මොකද රිස් - අකමැති මං ආණ්ඩු බස්

අම්මප සිරා අනික් බස් - ලස්සන පවුද්ගලික බස්
කෙල්ලොත් නෑ ලොස් - අඳින්නේ පේන්නම බනිස්
නැග්ගම මේ බස් - ඇතුලට එකෙක් නෑ උසස්
කොන්දා සස් සස් -  කඩයි ටිකට් වෙලා බොස්

හොරණෑ සද්දෙට - කොන්දගේ නටනව මගේ කට
ටිකට් මොටද මට - යන්නේ අදත් මාටියට
හිතුවට එහෙමට - හොරාට යන්නට බෑ මට
කිංකිනි හඬ කට - කොන්දට ලැබුනේ කොහොමට

හිමිහිට ඇතුලට - පැනලා ඉඳගත් විට මට
හිතුනා ඇත්තට - මේ සුරලොවක්ද මිහිබට
යන්නේ කොහොමට - හොරාට පව් කොන්දක්කට
ඉතුරු සල්ලි මට - එපානේ එය කොන්දක්කට

වෙනදා රුපියල - ඉතුරු නැතොත් තියයි උල
කොන්දා එක්ක මල - දුන්නේ නැත්තං රුපියල
ඒ වුනාට බොල - ඉතුරු රුපියල් පහලව
නැතෙයි කියා මල - නෑ අක්කා එක්කල

එන්ට මල්ලි වාඩි වෙන්ට - අක්ක කියනකොට
ටිකට් නැතුව මට - යන්නට බෑනේ මාටියට
පැටලෙන වලියට - හැමෝම ඇඳලා පූසට
අක්ක නිසා මට - නිදහස් ඩ්‍රයිව කනේ කට

වවල ඇඟිලි වල - නියපොතු පාටයි රතුවට
කොට හැට්ටේ කර - පෙනෙයි බොඩියත් ලාවට
සාය ඇඳල කොට - යනවා ගමන ලතාවට
අක්කා කොන්දට - ගත්තේ කවුද කියන මට

කාන්තාවෝ කොන්දොස්තර - කරපු එකා වෙයි පින්බර
මෙච්චර ලස්සන සුන්දර - අක්ක අපේ කොන්දොස්තර
හිත හිත ලඳ කොන්දොස්තර - දැක ගන්නට වී ඉස්සර
නැග්ගා බසයට පස්සර - අයියෝ මං දුටු විස්තර

ලස්සන හීනෙට - වැදුනා කටු කුඩු වෙන්නට
හිතුවේ විසි අට - අක්කට ඒත් පනස් අට
ලේඩිස් කොන්දට - අයියෝ ඇප නෑ අප හට
ගනිල්ලා බසයට - ලස්සන අක්ක කෙනෙක් හෙට.

වනිතා කොන්දොස්තරලා  - ගන්නවා කිව්වට
මම හිතුවේ ගනියි කියලා - ගැට අඩු විස්සට
ඒ වුනාට අරන් ඇත්තේ - ගෑනු පැනපු හැට
අපිව ඇන්දු සේරම උන් පලයව් නිරයට



Monday, September 23, 2013

අලි සිහිනය



මගේ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න //

සාගල මග අකිල යමින්
බොත රස මධු පාආආනේ
මංගල කොළ එලි දැල්වේ
බුද්ධික දෙන් නෑඈඈනේ
අනර්කලී ගීතා වගේ
කෑලි අපිට නෑඈඈනේ
හිටපු පබා මාරු වුනා
රෝසිත් වයසයිනේ

මගේ සිහිනය .........
















වැටත් කඩන් අලිත් පනිති
සාටකයේ  සාආආපේ
පලා බබා තුනත් කැලේ
වලිගේ වත් නෑඈඈනේ
ආණ්ඩුවට පැනපු එවුන්
ගහනව මඩ බෝඕඕ සේ
තවත් එකෙක් එලවමු අපි
තිස්ස ගෙනෙන් මේඒඒසේ

මගේ සිහිනය .........

මේ තියෙන්නේ ඔරිජිනල් ගීතය

Saturday, September 21, 2013

පුංචි පහේ මං

                 
                
                             අම්මා

පුතේ මගේ හොඳ දරුවෙක් වෙන්නබලන්න
අනාගතේ අපි සැමගේමදිදුලවලන්න
අප්පච්චියි මමයි මියෙන දවසකඔන්න
අපිට ඕන ඔයාව ලොක්කෙක්කරවන්න


පුතා
  
ලොක්කෙක් නම් අම්මෙ කොහොම බැරිවද වෙන්න
දැන් ඒවට ක්‍රම සහ විධි තියෙයි නොදන්න
මගේ අනාගතෙ ගැන නම් එපා හිතන්න
මම දන්නවා තියෙන ඉහල තැනටම යන්න


අම්මා
  
ඔයා හිතන් ඉන්නේ ඩොක්ට කෙනෙක්ම වෙන්න
ඉංජිනේරු කෙනෙක් වෙන්න බැරිද බලන්න
එකවුන්ටන් කෙනෙක් වුනත් කම් නෑ ඔන්න
ගුරුවරයෙක් වීලා විදුහල්පති වෙන්න


පුතා
  
ඩොක්ට කෙනෙක් ඉංජෙක් විදුහල්පති වෙන්න
කැම්පස්වල කොච්චර කල් වේවිද ඉන්න
එහෙම ඉඳල අවුට් වෙලා ජොබක් හොයන්න
මටනම් බෑ පාරේ උපවාස කරන්න


අම්මා
  
එහෙනං උඹ හිතන් ඉන්නේ ක්‍රිකට්ගහන්න
රගර් බෝලේ අතේ තියන් ප්‍රැක්ටිස්යන්න
ටෙනිස් කැරම් බේස් බෝල් දිගට ගහන්න
ක්‍රීඩාවත් හොඳයි ඉතිං තැනකට එන්න


පුතා
  
පිස්සුද මට නම් බෑ ඉස්පෝට් කරන්න
මට ඕනේ ඇස්ට්‍රොලොජර් කෙනෙකුන් වෙන්න
එතකොට පුළුවන් ප්‍රසිඩන්ට් වුනත් නවන්න
මට ඕනෑ හැටියට පාලනේකරන්න
  
කැන්ගරු දේශේ අගමැති ගෙදර යවන්න
ලෑන්ඩ් කෲස් එකේ නැගලා රවුම් ගහන්න
සුනාමි එන දවසක් හරියටම කියන්න
එහෙම අයට මොනවද බැරි කියල කියන්න
  
කඳ සුරිඳුන් එක්ක වුනත් ෆිට් එකෙ ඉන්න
එයා උපන් දවසට පාටියක් දාන්න
කතරගමට දාස් ගණන් සෙනග යවන්න
ගේමට එන හැමටම පිලිකා හදවන්න
  
ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න
  

Saturday, September 14, 2013

විරිදු සුරල් (මාතලන් නිසා ලියූ ..........)



මිහින් රටේ මහා රජාට ගේමක් දෙන්න
නයි නළඟන එක්ක එන්න කෙන්ජි යවන්න
එක්ක ඇවිත් එජාපයේ ලොක්ක කරන්න
රනිල්ට වැඩි දෙයක් ඇහැකි ඈට කරන්න
යූ.එන්.පිය නග්ගන්න
නග්ගල රට අල්ලන්න

සෝමක්කගේ වාහිණියේ නිව්ස් බලන්න
මිණී හතයි රේප් දෙකයි ගණන් කරන්න
ඊට පස්සේ නයි.ටී.එන්. නිව්ස් බලන්න
ආශ්චර්යේ පාරදිගේ ඇවිදන් යන්න
පිල්ලෙ එක්කං එන්න
මල් පිපිලා පෙන්නන්න

විග්නේෂ්ගේ ප්‍රතිපත්තිය ඉරල දාන්න
ඉරල දාල කේ.පී. මහඇමති කරන්න
ජයලලිතා එක්ක එන්න රට පෙන්නන්න
ඒ ආවම මට පුළුවනි එයා බඳින්න
ප්‍රපෝසල් එක දෙන්න
ලොක්කට සමාව ගන්න

කවුන්සිලේ සිවුර ඇඳන් පුළුවන් ඉන්න
එහෙනං බොල මොකද බැරිද ගෑණු ඉඹින්න
හෙළ ජාතිය රකින ගමන් වොඩ්කා බොන්න
බීලා කොළඹ හතරවටේ කාර් පදින්න
දිල්කට එපා කියන්න
වෙන ප්‍රශ්නයක් අහන්න

ප්‍රාදේශිය ආණ්ඩුවේ ලොක්කා වෙන්න
එතකොට ලයිසොන් ලැබෙනවා රේප් කරන්න
නිල් බලකායේ ලොක්කට ගොටු අල්ලන්න
කවදා හරි පෙට්ටි හාරසීය කඩන්න
කඩල පාටි දාන්න
ලොකු ලොක්කොත් ගෙන්නන්න

බුද්ධ රූපේ පච්ච කොටල නිගරු කරන්න
එන්න එපා හරවල අපි යවනව ඔන්න
පන්සලේදි නිල් පාටින් ෆිල්ම් හදන්න
අවුලක් නෑ ඒකෙන් ආගම රැක ගන්න
බෙන්ස් කාර් ලබන්න
මහනායකවත් වෙන්න

බෝට්ටුවක් වත් එන්නැති පෝට් හදන්න
කටුනායක සිට මත්තල නොමිලේ යන්න
නොරොච්චෝලෙ මේ මාසෙත් මෙන්සස් ඔන්න
චීන්නුන්ට අරකත් දෙමු අරගෙන යන්න
ජිනීව කෙලින්ම යන්න
මිහින් එකට නගින්න

කොන්ඩේ බැඳපු චීනුන්ගෙන් ලෝන් ගහන්න
බෙහෙත් ටිකට වීදුරු කටු දාලම දෙන්න
පෙට්‍රල් ඩීසල් මොකටද කොලිටිය තියෙන
ලාම්පුතෙල් ගහල බැරිද කාර් දුවන්න
හිටියම වන්දි ගෙවන්න
ඇමතිට ජෝකර් වෙන්න

විදුලිය නැති මිනිහෙක් ඉන්නවද කියන්න
එක් පුද්ගල අදායම නගිනවා මෙන්න
ඒ වුනාට කාල බීල සතුටින් ඉන්න
දෙදාස් පන්සීයක් ඇති ගැනල බලන්න
මදිනම් වරෙල්ල යන්න
බන්දුගේ ටියුෂන් ගන්න

විදුලි පුටුවේ වුනත් ඉඳිමි අඬලා කියන්න
පපුවට ගහගෙන බබාලා වඩන් ඉඹින්න
දේශප්‍රේමෙ යමරෙට ඇත නැතුවට කන්න
අපිට රජෙක් ඉන්නව දෙවි පිහිටෙන් ඔන්න
කේතුමතිය මවන්න
චින්තනයෙන් කොරවෙන්න

මෙසිරිලකේ අසිරිය ඔබ හට පවසන්න
විරිදු පේලි ටිකකින් බෑ තේරුම් ගන්න
ආශ්චර්යේ ගෙයි වහලෙන් වැටේවි ඔන්න
එතකං කට උඩට කරන් බලාන ඉන්න
අපිටම චන්දය දෙන්න
දීලා දෙකට නැවෙන්න



ප.ලි. මේ විරිදු සුරල් ලියන්නට සිත්වූයේ අද මාතලන්ගේ

කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'


පොස්ටුවේ මුල් ටික කියවද්දීය .( විරිදු සුරල් තාලය සොයා ගැනීමට  රන්වල බලකායේ  පහත වීඩියෝව බලන්න )



Saturday, September 7, 2013

එගොඩහ යන්නෝ



"අද ටිකක් පරක්කුත් වුනා ..... දැනටත් කට්ටිය ඇවිත් බලන් ඉන්නවද දන්නේ නෑ "

"කමක් නෑ ඔහේ හිටපුදෙන් , දැන් උන් ඔක්කොටම අර පාලං කාරයොනේ ලොකු වෙලා තියෙන්නේ ...."

"සිරිමතී ආවද දන්නේනෑ ...., කමක් නෑ ආපුදෙන් .....පාලමේ වැඩකරන එවුන්ට කෑම දෙන්න ගත්තට පස්සේ එයත් ගානට වැඩියි දැන්...."

ඉස්සර හැමෝම ආවත් එන්.ජී.ඕ  සල්ලිවලින් වත්තෙම නලළිං ගහගත්තට පස්සෙ පාලුවට ගිය පොදු ළිඳේ  ඉතුරුවෙච්ච දිනපතා ගනුදෙනු කාරයෝන්ගෙන් හැමදාම පළමුවැනියා වෙච්ච රූපසිරි ,ළිංගැට්ට උඩට වෙලා දත් මදින ගමන් කල්පනා කලේ ඒ ටික.

සිරිමතීගේ මනුස්සයා සුගතරත්න ..... නගරසබාවේ කුනුලොරියේ ටැම්පරිය කරද්දී ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න ඉස්සර සුගතයියා හම්බවෙන්න රූපසිරි සිරිමතීලා දිහාවේ යනවා. .......

ටව්මයි ගඟෙන් මෙහා පැත්තේ තිබ්බ සුන්දර පුංචි ගම්මානයයි යාකරන මනුස්සයා තමයි රූපසිරි .......ගමේ හැමෝම රුපසිරිගේ පාරුවෙන් එගොඩ මෙගොඩ යනවා....රූපසිරි මේ රස්සාව බාරගත්තේ පරම්පරාවෙන් වගේ...... රුපසිරිගේ තාත්තා ,සීයා හැමෝම ගමේ කාගේත් ආදරයට ලක්වුණු මිනිස්සු, කවදාවත් ලෙඩක් දුකක් හැදුනත් ගඟ දෙපැත්ත  යාකරන එක පරම්පරාවේ වගකීමක් හැටියටයි රූපසිරි දැක්කේ.

උදේ පාන්දරම පාරුවේ යන කාන්ඩේ පළවෙනියා තමයි සුගතයිය , ඒ වගේම රෑ කළුවර වැටෙද්දී පාරුවෙන් එන අන්තිමයා වෙච්ච සුගතයිය එක්ක ආපහුඑන ගමං ,සිරිමතී උයල දෙන බත් කටක් කාල හෙම ගෙදර යන්නේ ඒ කාලේ.....

ඒ දවස් වල තමුන්ට වඩා දෙතුන් අවුරුද්දක් වැඩිමාල් සිරිමක්ක ......සුගතයියගේ මරණෙන් ටිකදවසකට පස්සේ සිරිමතී ...දැන් සිරිමා .................

සුගතයිය මලාට පස්සේ ,සිරිමතීගේ ඩු පාඩු බලන්න මුලදී රූපසිරි පෙළඹුනේ හැබෑම අනුකම්පාවෙන්, වැඩ අහවර වෙලා යනකොට ඉස්සර වගේම ගෙට ගොඩවෙලා බත්කටක් කාල යනවා, වෙනසකට තිබුනේ හිස් අතින් නොයා හැමදාම පොඩි එකාටයි සිරිමටයි මොනවාහරි දෙයක් එක්ක අඩුම කුඩුම ටිකක් ඇන්න යන එක විතරයි.

සුගතයියා මලාට පස්සේ හම්බවුනු වන්දිය සුගතරත්නගේ කසාද ගෑණි කියාගත්තු ගෑනියෙක් මොනොවදෝ කොළ වගයක් පෙන්නලා කඩා වඩාගෙන යනකං සුගතෙට වෙන ගෑනියෙක් හිටියා කියලා ජීවිතේ වැඩි හරියක් ගඟෙන් එගොඩට ගිහින් නැති ගම්මු  දැනන් හිටියේ නෑ.

"එතකොට සිරිමක්කේ සුගතයියා එක්ක කසාදෙ උඹ පොතේ ලියලා නැතෙයි........?"

"ඔහේ නෑ රූපෙ මලයෝ , කීප වංගියක්ම මම ඕක මතක් කොලත් ඒක එහෙම්ම මග අරුනා බං, අනික ඒ මනුස්සයා මටයි දරුවටයි කියලා අඩුපාඩුවක් කලේ නෑනෙ බං, කොහොමිං කොහොම හරි මම දරුවත් එක්ක තනි වුනා."

මං උඹට තනිවෙන්න දෙන්නේ නෑ සිරිමෝ කියන්න කීපවතාවක්ම කටට ආවත් ඒ හැම වෙලාවකම සුගතයියගේ මූණ මැවිලා පෙනිච්ච නිසාත් , ඔක්කොටම වඩා එක කියාගන්න හිතේ දහිරියක් නැතිකමයි නිසා හැම වෙලේම එක යටපත් වෙලා ගිය හැටි......................

"උඹ තාම මෙතනද රූපේ මල්ලි ......?"

ජිනේ අයියගේ සද්දෙට රූපසිරි මනෝ ලෝකෙන් එලියට ආව..

"අන්න අරෙහෙ කට්ටිය බලන් ඉන්නවා , මමත් මේ ලොක්කිව මැහුම් පන්ති යන්න ඇරලලා එන ගමන්......"
කියාපු ජිනේ අයියා යනගමන් ආපහු බෙල්ල විතරක් හරවලා

"ඔන්න සිරිමත් උඹ එනකං කියලා ඉන්නවා...."

අතේ තිබ්බ පනිට්ටුවේ වතුර ටික ඈතට විසිකරපු රූපේ අඩියට දෙකට පාරට පැන්නා.

*******

"පාලමේ වැඩ ඉවර වුනාම හරි පහසුවක් වෙයි රූපේ මල්ලි.."

සුගතයියා නැතිවෙලා ටිකදොහකින් අන්තරස්දාන වෙච්ච "මල්ලි" කෑල්ල ආපහු සිරිමාගේ කටින් පිටවෙන්න ගත්තේ මේ කාලකන්ණි පාලං කාරයෝ ආවට පස්සේ තමයි.

"මම නම් කැමති නෑ සිරිමා උඹ ඔය පාලං කාරයින්ට කෑම දෙන වැඩේට .........ඕකුන් ලෝකේ කාල වතුර බීපු මහා අලුගුත්තේරුවෝ , අනික මම උඹලට අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑනෙ බං.........."

"ඒ කියලා හැමදාම උඹට කරදරයක් වෙන්න බෑනේ මල්ලියේ .....මමත් දරුවට යන කලදවසක් හිතන්න එපැයි.........අනික උඹත් දැන් පිළිවෙලක් වෙන්න කාලෙනේ ......"

"බම්බු පිළිවෙල"

ඇයි හත්දෙයියනේ මේ ගෑනිට තේරෙන්නේ නැද්ද මං කියන දේ............එක්කෝ කෙලින්ම කියලා දානවා.......ඒත්  මේ ගෑනිතරහ ගිහින් මට බනීවත්ද ....?

මේ විදිහට කී සැරයක් නම් හිත එකලාස් කරගෙන් කියන්න බැරිවෙච්ච අවස්ථා එන්න ඇත්ද ...රූපසිරිට තමුන්ගේ නොහැකියාව ගැන ලොකු ලැජ්ජාවක් වගේ ඇතිවුනා

*******

" මන්ත්‍රීතුමා මෙහෙට කොහොම හරි පාලං කෑල්ලක් අටවලා දැම්මනං කල්ල මරේ.."

"මොන රෙද්දකටද බං , ඕනෙනම් චන්ද දෙතුන්සීයක් ඇති..."

"චන්දේම නෙවෙයිනේ මන්ත්‍රී තුමා .....සමාජ සත්කාරේ.....සමාජ සත්කාරේ......."
මන්ත්‍රීතුමාගේ හොඳම වන්දිභට්ටයා වෙච්ච "අවටියල්" කාරයා කෙල පෙර පෙර එහෙම කිව්වේ කන්ද උඩ තියෙන මහ පත ගස්ටික දිහා බල බලා  කියලා රූපසිරි හොඳටම දැක්කා....

මන්ත්‍රීතුමා ගමට ආවෙ තමන්ගේ පාරුවෙන් කියලා රූපසිරි මුණ ගැහුන හැමෝටම කිව්වේ අපිත් එසේ මෙසේ මිනිස්සු නෙවෙයි දැන් ආශ්‍රය කරන්නේ කියල ඇඟවෙන විදිහට.........

ඊට පස්සේත් කීප සැරයක්ම  අවටියල් කාරයා පාරුවෙන් යද්දී පාලම ගැන කතාව අදුනත් රූපසිරිට ඔය පාලම් මාතෘකාව නම් එච්චර රිස්සුවේ නෑ.

එදා මන්ත්‍රීතුමා එහෙම කිව්වට පාලමේ වැඩ මෙතරම ඉක්මන් වෙයි කියලා රූපසිරි හීනෙන්වත් හිතුවේ නෑ .....

දැන් එතකොට පාලම හැදුවොත් කවුද පාරුවෙන් යන්නේ .......................

සිරිමත් පාලමෙන් යයිද...? රූපසිරිට හිතුනෙම පාලම හැදුවොත් තමන් පිස්සෙක්වෙයිද කියලා .....ශික් වචනේ දාන්න මම මොන මගුලකට පරක්කුවුනාද .....? කොහොමත් වැඩේ හරියාගෙන එනකොටමනේ මේ පාලං කරුමයක් කඩාපාත්වුනේ  .

*******
"ආ රූපේ ...."

"පාලං බැන්දේ යන්නයි කැන්දන් පාලම උඩ මම තව විස්සෝපෙන් ....ඔරුවෙන් එගොඩ වෙලා ආ ආ ආ ....සිරිමා කොහෙද ගිහිං ..................හූ හැක් හැක් හැක් .....හූ..හූ......"

"රූපේ  ඒයි උඹ දන්නවද බං කොට අදින අලියි පෙරහරේ යන අලියි කියලා දෙජාතියක් ඉන්නව කියලා...ඈ........."

කඩප්පුලි හැතිකරේ අදත් පටන් ගත්තා මාව කොලොප්පමකට ගන්න........තරහ ගිය රූපේ බැලුවේ පුළුවන් ඉක්මනට එගොඩට යන්න.

"මේ රුපයෝ  උඹ කොට අදින අතරේ බත් කන්න යන පාලං කාරයෙක් පෙරහරේ යනවා ඇති බං ....හික් හික් හූ ......අඩේ සමහරවිට උන් පෝලිමේ යනවද දන්නේ නෑ ...... හැක් හැක්හක් ...හූ ..."

"ගණන් ගන්න එපා රුපේ අපි යනවා එහෙනං ......කෝකටත් කොට ඇද ඇද  ඉන්නේ නැතුව පෙරහැරේ යාන්නත් බලපන්......"

කටට දහසක් දේවල් ආවත් මුකුත් නොකියා හිටියේ ටව්මේ පොලට යන මේ කොල්ලොටික පොලේ ඉඳන් එනකොට හැමදාම රූපේ අතට වැඩිපුර කීයක් හරි දීලා යන නිසා.......

අර කිව්වට වගේ මොකෙක් හරි සිරීමට පූට්ටු වෙලාවත්ද ...? ටිකදවසක් මූණ දීලා කතාකරෙත් නෑ හරියට ...මං කොච්චර කිව්වද ඔය කෑම රස්සාව පටන්ගන්න එපා කියලා

අදනම් රාසයියාගේ මුට්ටියෙන් විස්සකම බොනවා.......ඔළුව තෝන්තුවෙලා හිටපු රූපේ හිතුවා.

*******

"ඔය මන්ත්‍රීලා කියන්නේ ධනවාදේ නියමුවෝ බං .....උන් හදන්නේ ජනතා සේවය මුවාවෙන් ගම සූරාකන්න , ගමේ ශ්‍රමය අඩු මුදලට නගරෙට විකුනන්න ....ගමේ සම්පත් ටික බහුජාතික සමාගම වලට කුනුකොල්ලෙට විකුණන්න ....ගමේ සංස්කෘතිය......සමාජ සාරධර්ම විනාශ කරන්න .............."

චේගුවේරා කාරයෙක්ය කියලා හැමෝම හංවඩු ගහපු රත්නේ මලයා කියන දේවල් වලට කන්දෙන්න මෙච්චර කාලයක් නම් රූපෙගේ හිතේ කිසිම කැමැත්තක් තිබ්බේ නෑ. එකක් තමයි චේගුවේරා කල්ලි වලට හූමිටි තියලා නිකරුනේ කරදර වල පැටලෙන්න තිබ්බ අකමැත්ත.

අනික තමයි ඒකා කියන මෙලෝ හසරක් නොතේරීම ...."ධනවාදෙලු, බහුජාතික බූවල්ලොලු, සූරකනවලු.  සංස්කෘතියාලු....අරවලු මෙවලු ....................බම්බුව තමයි   .................

ඒ මොකක් වුනට් ඌ කියන්න වගේ පාලම හැදුවම ....ටව්මේ රස්තියාදු කාරයෝ ගමට එයි.....කන්ද උඩ හෝටලයක් හදයි.....එක අර ගොලුප් ද මොනාද පිට්ටනියක් හදයි.....එකෙක් බෝල ගහන්න සමහර සුද්දියෝ එන්නේ ඇඟේ නූල් පොටක් නැතුවලු...... එක මතක් වෙනකොට නම් රූපසිරිගේ ඇඟ ඇතුලේ හිරිවැටෙන්නා වගේ දැනුනා......ඒකනම් කමකුත් නෑ එක අතකට .....

එත් ඉතින් ඔය මක්ක බලන්නවත් සිරිමාව නැතිකරගන්න් පුළුවන්ය..........මොන ඉලව්ව නැතිවුනත් සිරිමා නැතිවෙන එකනම් දරාගන්න පුළුවන් කමක් තමුන්ට නැතෙයි කියන එක රූපෙට හිතුනා .....

එත් මෙහෙම ගියොත් නම් එකත් වෙයි ........................

"බලා ඉඳලා බෑ රූපේ සහෝදරයා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ ...නැත්තං ගමේ අනාගතය අනතුරේ...."

රත්නේ කියපු කතාව නම් ඇත්ත

ගමේ කෙසේවෙතත් මග අනාගතෙට නම් කිසිම සෙතක් වෙන්නේ නෑ මේ පාලම හැදිල්ලෙන්.

සිරිමාගේ චායාව හිතේ හොල්මන් කරන නිසාම   රූපේ දෙසැරයක් නොහිතාම රත්නේගේ ඉල්ලීමට කැමතිවුනා ..........................................

*******

දැන් නම් රෑ දොළහත් පහුවුනා මයේ හිතේ ....කෝ මේ රත්නයා ........... තව ටිකකින් එලිය වැටෙන්නයි යන්නේ ......මූට මොකක් හරි කරදරයක්වත්ද.....?

එකනේ බූරුවට කිව්වේ අපේ ගෙදර ඉඳන් මේ වැඩේට එමු කියලා .....කොහෙද  හරකා......?

බලන් ඉඳලා බෑ එලිය වැටෙන්න කලින් තනියම හරි මේක ඉවර කරන්න ඕන ...

හෙමීට පාරුව දියට දාගත්ත රූපසිරි වැඩ ඉවර වෙමින් තිබ්බ පාලම යටට පාරුව පැදගෙන ගියා ......රැහැයියන්ගේ කන්බීරිකරන සද්දෙට අමතරව තිබුනේ ඉඳහිට පත්තුවෙච්ච කණාමැදිරි එලි විතරයි ......

" පාලම ඉවරයි .. ගම බේරුනා ..........කවුරු වුනත් ගමට ආදරේ කරන මිනිස්සු තාමත් ඉන්නවා "  හෙට උදේට ගමේ මිනිස්සු කතාවෙනකොට තමනුත් නොදන්නවා වගේ ඒ අතර ඉන්න හැටි ....සිරිමා ආදරෙන් තමුන් දිහා බලන හැටි ....රූපසිරිට මැවිලා පෙනුනා .........................

"රූපේ සහෝදරයා ......ඔය පාලම යට ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ එකම එක මහ ඇනේකින් ....ඒක කපපු ගමන් ඔක්කොම ඉවරයි .....පාලම දොයි....."

"උඹ කොහොමෙයි දන්නේ "

"මොකද බං මම නොදන්නේ ...අපි කැලේ ට්‍රේනිං වෙන කාලේ ඔය ලොකු පාලං ,බිල්ඩින් එහෙම පෙරලන හැටි අපිට ඉගැන්නුවා බං....."

"අම්මපා උඹලා චේගුවේරා කාරයෝ දන්නා දේවල්.......මටත් ආසයි බං ඒවා ඉගෙන ගන්න ....."

'හරි ඉතින් එකනේ රූපේ සහෝදරයට මම මේවා කියලා දෙන්නේ .....මතක් තියාගනින් ලොකු ඇනේ කපාපු ගමන් පාලම හබක්...."

රත්නේගේ පාඩම මතක් කරගත්ත රූපේ පාලම යට තියෙන ලොකු ඇනේ හෙව්වා ......

"කොහෙද බොල මේකේ ලොකු ඇණයක් ..............ඇන  හැටහුටාමාරක් තියෙනවනේ ......රත්නයට වරදින්නත්  බෑ හැබැයි................කමක් නෑ ඕවා බල බල ඉන්න වෙලාවක් නෑ ...කපනවා කොනක ඉඳන්...."

"ඇඩෝව් ...කවුද යකෝ ........හෙල්ලෙන්න එපා ............කවුද හුත් .....පාලම කපන එකා .........."එකපාරටම වැදුණු ලොකු ලයිට් එළියක් එක්කම ඔලුව පුරා වැදුණු පොලු පාරකින් රූපෙට තරු විසිවුණා ........

"සෙට් එකෙන් චෙක් පොයින්ට් එකට ගන්න "............කවුදෝ කියනවා ඇහුනත් එක්කම තව පාරවල් හත අටක්ම වැදෙනවා රූපෙට හොඳට දැනුණා ..............

"තෝ කවුද බොල ......මේකනම්............., කවුද තෝව එව්වේ .............බලාපියව්.......බලාගෙන බලාගෙන් ඔකේ බෝම්බ ඇති......................................

තව මොනවදෝ කියන ගෝසාව එක්කම වටපිටේ සෙනග පිරෙන හැටිත් ඒ සෙනග ගොඩේ ඉඳන් කට්ටිය තමුන් දිහා බලන් ඉන්නවා දැකපු රූපසිරි බිම බලා ගත්තා , එතකොටම ආපු පොලිස් ජීප් එක පාලමේ එහා කොනේ නතර කරනවත් රූපෙ හොඳට දැක්කා....

පොලිස් රාළහාමිලා දෙන්නෙක් රූපෙව ජීප් එක දිහාට ඇදගෙන යනකොට සෙනග අස්සේ වහං වෙමින් තමන් දිහා බලන් ඉන්න රත්නෙව රූපේ දැක්කා............

රූපෙගේ ඇස්වලින් මග අරින්න රත්නේ ලොකු උත්සාහයක් ගන්නවා දැකපු රූපේ රාළහාමිලා දෙන්නවත් ඇදගෙන ගිහින් ජීප් එකට ගොඩවුනේ .........සිරිමා ඇවිත් මේ සෙනග ගොඩේ ඉඳන් තමුන් දිහා බලන්ට කලින්........................................................



Monday, September 2, 2013

අසරණ සරණ


collect 10,000 likes to help them "1 like = 1 dollar"


දෙපා පණ නැති කුඩා දරුවෙක් 
......................යදියි පිහිටක් යන්ට පාසල්.....................

දෑස් නොපෙනෙන තරුණ යුවලක් 
.................යදියි පිහිටක් හිසට සෙවනක්................

මව් පියන් නැති පුංචි දරුවෙක් 
...............යදියි පිහිටක් පතා සතුටක්..............

වැඩු දරුවන් මග දමාගිය මවෙක් පියෙකුත් 
.................යදියි පිහිටක්................

මගේ දෑසට නැගෙයි කඳුලක් 
හොඳ වෙලාවට ඇත ෆේස් බුක් 
සියලු දෙනටම පිහිටවෙමි මං 
නැත මසුරුකම්-- නොපමාව කරමි   

 "ලයික්"







Thursday, August 29, 2013

කෙන්ජයියගේ කවි.


කෙන්ජයියගේ ඉල්ලීමට ඕන්න මම කවි              ලියනව
කිව්ලිපියක් නොදැම්මොතින් කෙන්ජයියා කන     පලනව
මිනිහා හරි හැඩකාරයා ඉස්සර නළුවෙක්              කියනව
සකුරාමල් පිපෙන රටේ ජපන්නුන්ට              උගන්නනව

කොටි හපුවෙක් මේකින් ලව් අපේ එකෙක් ෆොටෝ ගැහුව
සින්ඩියෙ අපෙ ලිපි එල්ලල අපිටත් සප් එකක්         දෙනව
මග මරුවෙක් පට්ට හොරෙක් මිනිහම ඒ ගැන        කියනව
මිනිහගේ නම මාතලන්ලු කවුරුත් රැස්පොට්       කොරනව

හිරු එෆ්. එම් එකේ වගේ මේ කෙල්ලත් කට           ගහනව
කාන්තාවේ විමුක්තියේ දෝංකාරෙ වගේ                 පේනව
කොමෙන්ටු හරි සැරයි අනේ මල පයිනවා වගේ      පේනව
අනේ අපේ මහත්තයා දවසම හිස් බඩ                    ඉන්නව

හැලප කඩේ හැලප රහයි  හැමෝම ගොස් එයින්        කනව
කාල කාල බිමත් හලලා ඇනෝ කොමෙටුත්              දානව
මගේ චිත්‍රෙ ඔන්න බොලව් ප්‍රොෆයිල් එකෙ දා       තියෙනව
හැලපයියා හරි මිනිහා හොරෙන් හොරෙන් රෑට        බොනව

කොළ පාටයි කොමෙන්ටු පොත ඇනෝල බල්ටිත්   ගහනව
තව ටික දවසක් ගියාම ඇනෝල මිනිහව                 ගිලිනව
කකා කියල අපි කියනව නොකා නොබී ඌ             ලියනව
ඌ කිව්වට තරහ යන්නේ නෑ කියලත් මං                දන්නව

මගේ බ්ලොගේ ගොඩ දාන්න නිතරම උපදෙසුත්       දෙනව
ඒක බ්ලොගේ ලිව්ව කියලා මට කුණුහරුපෙන්       බනිනව
මැෂින් බිජ්ජ, අටං පකය, තනි කුක්කුව,               මිණී ඔලුව
හිත හොඳ කොලු පැංච වුනත් දවසින් වැඩි හරිය     බොනව

අරූගෙ අඩවිය ලියනව නියම කතා ඌ                    කියනව
අපේ එකේ කොමෙන්ට් දාල අපිටත් මල            පන්නවනව
අවුල් වෙන්න පෙර ලියනව මිනිහ කවුද සැක        හිතෙනව
අහුවුනොතින් අම්මප මම තට්ටෙ පළල ලුණු              දානව

පත්තරේට ලිපි ලියලා සමකෙ වටේ ගිහින්                 එනව
මාළු මසාජ් කරගන්නට කක්කුටු වලකට                පනිනව
නලින් අයියා නම කිව්වම බැරැක් ඔබාමත්               දන්නව
මගේ බ්ලොගේ පැත්තටවත් නෑවිත් ටික දොහක්     වෙනව

බලන්ගොඩින් ඉඩම් අරං කොරියා යන්නට              හදනව
රෙහානි දුන් වටලප්පම කාල තවම බඩ                   රිදෙනව
වෝල්ටේජ් එක බෙදුවම ප්‍රතිරෝදෙන් නමක්              එනව
ධාරා කියල අපි කියනව හිටපු ගමන් කවි                 ලියනව

සද්ද බද්ද වැඩියම නෑ හැමගෙම ගුණ දොස්            කියනව
ප්‍රහාරයත් නවත්තලා සෑහෙන කාලයක්                   වෙනව
ඒ වුනාට කොමෙන්ට් කොරල හැමටම සහයෝගෙ   දෙනව
මට මුලින්ම සුබ පතාපු සුමිත් අයියා මතක්                වෙනව

අවුරුද්දට එක පාරක් මාරම බ්ලොගයක්                   ලියනව
අප්‍රසන්න වැඩ නොකරන ප්‍රසන්න කවුරුත්              දන්නව
බ්ලොග් අප්සැට් ගොඩ දාන්න ෆ්‍රී සර්විස් එකක්          දෙනව
කෙබර චන්දනගේ ටෙස්ටරෙ තාම හොඳට වැඩ        කරනව

ආර්ථිකේ ගැන ලියනව ප්ලේන් රොකට් ගැන           ලියනව
සද්දේ නැති සහන් ගොයියා මාරපොරක් යැයි         හිතෙනව
සුදීක මහතත් ඉන්නව කොමෙන්ට් නැතුව බලල         යනව
ඇටකිත්තා වගේ ඉඳන් නාඩි මලය වැඩ                     දානව

මාර වෙලාවට මාරම කෑම මාරයා                            හදනව
ෆොටෝ ගහල වෙනිඅයියා ලියන්නා වෙන්නට          හදනව
අඩවි රජා සුබ වේවා කියලා නිතරම                       කියනව
සෑම් කොමිනිකේෂන් වල  කෙල්ලන් හට පැණි      පෙරනව

පච්ච කොටල , ප්ලේන් එකේ රෝදෙ අස්සෙ උඩින්      යනව
ඩූඩ් ලොක්ක  ජොනි වෝකර් බීලා කබරයා                 දානව
සම්පයියක් සේ වඩමින් වෙදගෙදරට අඩ                   ගහනව
මහ වෙදනා ඉන්න නිසා කටිටියගෙම                වෙරි බහිනව

රණ හංසයො මතක් වුනත් මූ කොල්ලෙක් බව          පේනව 
විචාරේ නියමෙට කරනව තිසර කියල අපි                කියනව 
පී.එච්. අයි එනකොටනම් මේ යෝදය මතක්              වෙනව
DDT අපි ගහනව මිනිහ අපිට ගුලි                          බෙදනව

පොල්ලක් අතකින් අරගෙන බේබද්දෙක් මෙන්න        එනව
දේශකයා වැඩ දැම්මොත් දේශිකාව කන                  පලනව
නැට්ට හැලුව කියල ඇනෝ ඔකොම මිනිහට            බනිනව
කන්දේ ගෙදර පෙන්න පෙන්න මෙන්න බොලේ දුලා   එනව

සංජීවයි දමිතුයි ඇවිදිල්ලා සපෝට් එකක්                    දෙනව
නදිනි නංගි ළමයි හදන පිළිවෙල අක්කට                  කියනව 
කලු සහ සුදු අක්ක ලියන දිනපොත කියවල               බලනව
පොඩ්ඩි ලඟදි බැන්ද නිසා අම්මප මට දුක                 හිතෙනව

C.S.K. රා පෙරනව, සමියා කොටු                         පන්නවනව
නවදැලි හේනට පැනලා තිළිණය රට ගිනි                    තියනව
කැමරාවක් අරගන්නට අයිලාස් නිසා                         හිතෙනව
ඔමායගේ ෆොටෝ වලින් අසූචි බතලිව                        පේනව 

සඳුනිමා ගෙ පොඩි පැටියට ඕන්න අපි සුබ                     පතනව
මනෝගේ ලෝකේ ඉඳගෙන මනෝජ් හීනම                 දකිනව
බෙන් ටෙනිසන් අද ඇවිල්ල දිගම කොමෙන්ටුව              දානව
අසමි දකිමි සොයමි කියලා විචාරකත් දැන්                 හොයනව

කවුද පොරක් ඇවිදිල්ලා චමීගේ නම විකුණා                  කනව
මගියා දවසක් බීලා ගමන් මගේ                           නතරවෙනව
රස්තියාදුකාර කොල්ලා රස්තා ගගහ ඔහේ                   ඉන්නව 
රාජ් කොල්ල මව්පියන්ගේ සෙක්ස් වලට               පොලු දානව

මේකා අපේ ලේ බොන්නට දහසක් වැඩ කිඩ                 දානව
ඩ්‍රැකී ගේ නම ලියාගන්න බැරුව මමත් කචල්               වෙනව
රයිටර් ගේ සිතුම් පැතුම් අපිට දැනිල කලක්                   වෙනව
වැව් ඉස්මත්තට ගිහිල්ල හිතුනොත් කාලක්                   ගහනව

නුවර කුමාරිගේ හිංගල පන්තිය දැන් නතර                 කොරල  
හිස් අහසට ලඟදි ඉඳන් අයෙත් ඉර හඳ                         පායල 
අපිට දුකක් දැනෙන්නේ නෑ අපි මෙයාට දුක                කියනව
දුකා කියල අපි කියනව අපි දුකාට චන්දෙ                      දෙනව

ඇල්කේමිය ලියන්නේ නෑ මොඩන් පේට්‍රියට්                   කිව්ව
හෙනහුරාට වෙච්ච දෙයක් ලොකුජෝනා අපිට                 කිව්ව
සෙන්නා ඇවිදින් කාටත් සෙතක් වැඩක් කරයි                 හිතුව 
වී පොකුරේ වෙසක් බබා දැන් පොඩ්ඩක් හිනා                 වෙනව

සබිත් නෝත් සවුත් වලට රතුපස්වල අරං                       යනව
සිතුම් සයුර හිඳිලා වගේ සද්ද බද්ද නැතුව                       යනව
සෙන්කොලය ලියපු එකා මොකෙක්ද මාතලන්                ඇහුව
ඕන මැන්ටලේට අයිස් නිසා බ්ලොගේ වැඩක්                 නැතුව  

හැම කියන්නේ නෑ කියලා සිංහයෝ තණකොලේ           කනව
ප්‍රොෆයිල් එක සිංහ වුනත් ඉන්දිකයා පොලුම                 කනව
රතු රටකජු මතක් වුනත් රතුරජරට කවි                       ලියනව
කලින් ඇවිත් තිබුනානම් නිල් මානෙල් මම                නෙලනව

කෙන්ජයියේ ඕන්න දැන් එන්න එපා කන                     පලන්න 
ඔපිස් එකෙන් ගෙදර යවයි වෙන්නේ මට හිඟා                 කන්න 
අත අරුනා නම් කවුරුත් එපා හොඳේ තරහා                   වෙන්න 
කියවල බලලා කවුරුත් මගේ කවියට                       සුබපතන්න