Wednesday, April 24, 2013

අවදිවන්නට අවැසි නැත මට

...................  අවදි නොමවී සිහිනයෙන්  ............

.........................  විඳිනු රිසිමයි සෙනෙහසින්  ..................

 ..........................  අවදි වූ කල සිහිනයෙන්  ....................

 .....................  ඔබ ළඟක නෑ දුර ගිහින්  ............




......................  බලා සිටියෙමි දිවිතුරා  ..........................
........................  යලි යලිත් ඔබ එන තුරා  .......................... 

........................  දෙනෙත් සිටියදි නිදි වරා  .......................

.....................  නැගෙයි හදගිනි බුර බුරා  ....................
 

 

 


..........  කාලයේ වැලිතලා අතරේ අපේ පැතුමන් සැඟවුනේ  ........ 

..........  මහා  කතරක ක්ෂේම බිම නෑ ගීත නොගයව් සියොතුනේ  ..........

........  එදා වාගේම තරුණ සිහිනය දකිමි වියපත් දෑසිනේ  ...... 

..........  දිවිගමන් මග තනිව ආවෙමි අවදි නොමවී සිහිනෙනේ  .........
ප්‍රගීත්


Friday, April 19, 2013

චිකේයියා බෝලේ

ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන භාග්‍යමත් එකක්ම වේවා කියලා හැමෝටම පතමින් වැඩේ පටන් ගන්නයි යන්නේ ඔන්න....!

අලුත් අවුරුද්දේ මතක උනේ ඉස්කෝලේ යන කාලේ සිද්ද උණු කතාවක්, ( කින්ඩියට හිනාවෙන්න එපා බොලව් අපිත් ඉස්කෝලේ ගිය කොල්ලෝ හරිය) 

අපිට පොඩි ලෙඩක් තිබුනා ඒ කාලේ , මොකක්ද දන්නවද? ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන්න බැරි ලෙඩේ. ඉතිං අපි කරන්නේ ඉස්කෝලේ අරුණු වෙලේ ඉඳං අපේ ජාතික ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙන එක. ,( ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා ඒ ක්‍රීඩා සංගමේ සභාපතිතුමාවත් දන්නේ නෑ මයේ හිතේ) හැබැයි ටෙනිස් බෝලෙන් හොඳේ

ඉතිං හවස තුන හතර වෙනකොට මේ ක්‍රීඩාව සඳහා ඉස්කෝලේ වටපිටේ ඉන්න ගමේ කොලු රෑනත් එකතුවෙන එක සාමාන්‍ය සිද්ධියක් වගේම කව්රුවත් ඒකට විරුද්ධ උනේ නෑ.

අපේ ඉස්කෝලේ තමයි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය ,මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ පිට්ටනිය 



මේ අතර හිටියා පොරක් නම රාජයියා ,අයියා කිව්වට ඒ දවස වල පොරට වයස අවුරුදු 44 ක් විතර වුනා (අපි එතකොට අවුරුදු 15, 16 හුජ්ජ කොල්ලෝ) රාජයියා වැඩකලේ බදුල්ල ඩිපෝවේ (බස්) මොකක්දෝ හේතුවකට මිනිහගේ රස්සාව නැතිඋනා , හේතුව මිනිහා කිව්වට අපි ඇහුවෙත් නෑ, අපිට තේරුනෙත් නෑ, තේරුම ගන්න ඕනෑකමක් තිබුනෙත් නෑ, කොහොම උනත් ඒක දෙයක් නම් අපිට පැහැදිලිවෙලා තිබුනා, ඒක තමයි මිනිහගේ රස්සාව නැතිඋනේ අපේ කරුමෙට කියලා. මොකද මිනිහා සෙල්ලමට ආපු හැමදාම මිනිහා තමයි ඕපන් බැට්මන් & ඕපන් බෝලර්, තව මිනිහා ෆීල්ඩින් කලෙත් මිනිහට ඕන තැන, 

ඉතිං අපේ තාත්තලාටත් වඩා වයස අයියා එක්ක එකට ඒක කියන්න බැරි නිසාත්, කිව්වත් මිනිහා ගණන නොගන්න නිසාත් , කියලා මිනිහගෙන් කන මිරිකාගන්න බැරි නිසාත් අපි මිනිහට සියලු ඉල්ලීම් දීලා ඉවසගෙන හිටියා.

අපේ පිට්ටනියේ එක පැත්තක මායිම් උනේ මහා පාරට , පිට්ටනිය තිබ්බේ පාරට පහලිං , ඉතිං මේ පාර අයිනට වෙන්න ලොකු කොන්ක්‍රීට් බැම්මක් තිබුනා මෙන්න මේ වගේ 

ඔය රවුම් කරලා පෙන්නලා තියෙන්නේ ඒ බැම්ම , රාජඅයියා ගොඩක් වෙලාවට ෆීල්ඩින් කලේ එතන, මිනිහා කරන්නේ එතන ඔය පේන ලයිට් කණුවට හේත්තු වෙලා සිගරට් එකක් බොන එක

එතන ෆයින් ලෙග් කියා කියා මිනිහා එතනටම යන හේතුව මට තේරුනේ පොඩ්ඩක් නාඩි වැටෙන කාලේ අහම්බෙන් වගේ එතන ෆීල්ඩින් කරනකොට ක්ලාස් ඉවර උණු අක්කලා ටිකක් එතන උඩ පාරෙන් යනකොට , මොකද ඒ කාලේ අක්කලා ඇන්දේම ගවුම්, නැත්තම් සායවල්, ඉතිං පාරේ යට පැත්තේ ඉඳං උඩ බැලුවම ෆයින් ලෙග්ම තමා.

ඉතිං ඕක නෙවෙයි කතාව,, කට්ටිය කට ඇරන් හිටියා මෙතැන කොටු කොටු කතාවක් අහන්න,

දවසක් ක්‍රිකට් මැච් එකක උද්වේගකර අවස්ථාවක් , අවසන් පන්දුවේ ජයග්‍රහණයට ලකුණු 3 ක් ලබාගන්න තියෙනවා, පන්දුවට පහරදෙන්නේ ඇති දක්ෂ මන්දගාමී පිතිකරු මංතුමා ,

ඔන්‍න‍ විනිසුරු පසුකරමින් පන්දුවක් එවනවා, මංතුමා අති දක්ෂ ලෙස ස්වීප් පහරක් එල්ල කරනවා, පන්දුව ඇදී යනවා ෆයින් ලෙග් කලාපයට , 

කෝ මේ පන්දු රකින රාජයියා ?

"රාජයියා බෝලේ , බෝලේ "

 "මොන මගුලක් කරනවද අනිත් පැත්ත හැරිලා "

 මෙන්න ඒ ගමන පොර අනිත් පැත්ත හැරිලා ඉන්න ගමන්ම බෙල්ල විතරක් හරවලා පිට්ටනිය පැත්ත බලනකොට තමයි  තම දෙසට ඇදී එන පන්දුව දැක්කේ,

"හුටා යකෝ බෝලේ "

ක්ෂණිකව අනිත් පැත්ත හැරුණු රාජයියා කකුලෙන් බෝලේ නැවැත්තුවා , වම් කකුලේ වැදුණු බෝලේ කැරකිලා දකුණු කකුලේත් වැදිලා කකුල් දෙක මැද්දේ නතර උණා, ඉක්මනට බෝලේ ඇහිඳ ගත්තු රාජයියා බෝලේ බෝලර් දිහාට විසිකලා , මෙන්න බෝලේ බෝලේ එනවා පන්දු යවන්නා දිහාවට මෙන්න මෙහෙම 
වතුර විදගෙන, යකෝ බෝලේ කාණුවට වැටුනෙත් නෑ, බලාගෙන ඉන්න එවුන් බඩවල් අල්ලං බිම පෙරලි පෙරලී හිනා වෙනවා,
ඒ  අස්සේ රාජයියා කුණුහරුප වැලක් ඇදබානවා, කොල්ලෝ හූ කියනවා,

බලද්දී  වෙලා තියෙන්නේ මේකයි, ඇත්තටම බෝලේ එනකොට රාජයියා ඉඳලා තියෙන්නේ මෙහෙම

හදිසි අවශ්‍යතාවයකට ප්‍රතිචාර දක්වමින්, බෝලේ ගන්න හදිස්සියට මිනිහා වැඩේ නවත්තන්නේ නැතුව වැඩේ වෙද්දීම බෝලේ කකුලෙන් නවත්තලා , බෝලේ කකුල් දෙක මැද නැවත්තෙද්දී රාජයියාගේ මහා සුළුදිය ගංගාවෙන් බෝලේ නෑවිලා , ඒ බෝලේ තමයි මිනිහා ඒවා පිටින්ම ආපහු විසිකරලා තියෙන්නේ,

බෝලරයා බෝලේ අල්ලනවා තියා පැත්තවත් නොබලාදුවපි බෝලේ ඇඟේ වදී කියලා, අපි ඒ අතරේ ලකුණු තුනම දිව්වා කිසි අව්ලක් නැතුවම, කොහොම හරි රාජයියාගේ ශරීර කෘත්‍යය නිසා අපි මැච් එක දිනුවා,

ඒ උනාට දවස දෙකතුනක් උඩ බලං ඉන්න උණා මොකද ක්‍රිකට් ගැහිල්ලත් නැවතුනා ඊට පස්සේ, සල්ලි එකතුකරලා බෝලයක් ගන්නකන්, අපි නම් අල්ලයි අර බෝලේ,

යන්තං  දවස් දෙකකට පස්සේ බෝලයක් අරන් අවා,

"වෙච්ච නෝන්ඩියේ හැටියට රාජා කාරයා අයෙත් පැත්තේ එන එකක් නෑ."

"ඒක හොඳයි බං නිදහසේ සෙල්ලම් කළහැකි"

 " මල්ලී මම බැටින් ආ............................."

 "ආ................................................!"

"මෙන්න යකෝ වෙච්ච දේ ගානක්වත් නැතුව මේ හූ.......ගේ පුතා අදත් ඇවිත්"

Sunday, April 7, 2013

පලංචියේ අලකලංචිය

        කාලෙකට පස්සේ සයිට් එකේ "සේෆ්ටි මීටිමක්" තිබ්බා, මේකෙදි කම්කරු දෙපාර්තමේන්තුවෙන් ආපු ටයි කෝට් දාපු මහත්තුරු ආරක්ෂා වීමේ වගකීම ගැන අපේ සේවකයන්ට විවිධ දේශනා පැවැත්තුවා, අපරාදේ කියන්න බෑ ඒ ගොල්ලෝ මරු ප්‍රසන්ටේෂන් කීපයකුත් තඩි සුදු තිරයක දාලා පෙන්නුවා, ඒක නියම "ස්ටෑන්ඩඩ්" ප්‍රසන්ටේෂන් එකක් කියලයි ඒ ගොල්ලෝ කිව්වේ, දුක් මහන්සි වෙන කම්කරුවොන්ට ශේක්ස්පියර් ඉංගිරිසි වලින් තමයි ඒ ප්‍රසන්ටේෂන් පෙන්නුවේ,ඒක සිංහලෙන් තේරුම කරලා දුන්න නෝනාත් ඊටත් වඩා බර ඉංගිරිසි වචන දාලා තමයි ඒක පැහැදිලි කලේ, දෙයියන්ගේ පිහිටෙන් අර අහිංසක කම්කරු සහෝදරයෝ ටිකටනම් හොඳටම තේරෙන්න ඇති.

           මෙතෙනදී වැඩියෙන්ම කට්ටිය අවධාරණය කරපු දෙයක් තමයි "සේෆ්ටි බෙල්ට්" දාන්නේ නැතුව පලන්චියකට නගින්නවත් එපා කියපු කතාව, අපේ සේවක මහත්තුරු  අතිදක්ෂ ලෙස  පලංචි වල එල්ලිලා යනහැටි , පලංචි ගහන හැටි, ගලවන හැටි දැකලා ඒ මහත්තුරුන්ට සුළුදිය පහවෙන්න එන්න ඇති මයේ හිතේ,

                මේ "සේෆ්ටි බෙල්ට්" දාලා පලංචි ගහන , ගලවන සහ පලංචි උඩ වැඩකරන හැටි තමයි වැඩිපුරම කලේ " මෙන්න මේක තමයි මේ "සේෆ්ටි බෙල්ට්" එක සහ ඒක පළඳින හැටි.



මේකේ  පිටිපස්සේ තියෙන සුදුයකඩ මුදුවට දාන්න තියෙනවා දිග ලනුවක් එක්ක ගාන්චුවක් , මේ තියෙන්නේ ඒක
මේකේ තනි කොක්ක අර ඇඳුමේ පිටිපස්සේ තියෙන මුදුවේ එල්ලලා අනිත් ගාන්චු දෙක ස්ථාවර තැනක තියෙන බටයකට දා ගත්තම අයෙ බයවෙන්න දෙයක් නෑ බය නැතුව වැඩ කරන්න පුළුවන් මෙන්න මේ වගේ




මේක දාල පලංචි වල වැඩකරනකොට ඇත්තටම බයවෙන්න දෙයක් නෑ, මෙන්න මේ වගේ තැන් වල වැඩ කරනකොට මේක දාගෙන ඉන්න එක ඉතාම හොඳයි,

එතකොට හදිස්සියකදී වැටුනත් මේ පහල පින්තුරේ තියෙනවා වගේ එල්ලෙන හින්දා බිමට නොවැටී බේරෙන්න පුළුවන්,

ඒත් කොච්චර කිව්වත් අපේ එවුන් වැඩ කරන්නෙම මෙහෙම


ඉතිං මේ ටයිමහත්තුරු ඔස්තාර්ලා වගේ ටෝක් දෙනකොට අපිත් කොරවෙලා අහගෙන හිටියා, දැන් මේ මහත්තුරු නෝනලාට ඕන උනා, මේක ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න අපේ සේවක මහත්තුරුන්ට ,
ඉතිං එ ගොල්ලන්ම තෝරාගත්තා සේවක මහත්තුරු කීප දෙනෙක්ව, ගැහුවා පලංචියක් අඩිවිස්සක් විතර උඩට, දැන් මේ මහත්තුරු අර කීපදෙනාව ගයිඩ් කරනවා අපි බලං ඉන්නවා,

" දැන් බාසුන්නැහැ ඔය අතේ තියෙන කොක්ක දාන්න ඔය පලන්චියේ හරස් පොල්ලට "

" මේකටද මහත්තයා"

" ඔව්‍ ඔව්‍ ඕකට තමා"

" ආ ... අන්න හරි , දැන් පනින්න බිමට , බය නැතුව , බය නැතුව."

ටිකක්  වෙලා ඇඹරි ඇඹරී හිටපු අපේ සේවක මහත්තයත් පැන්නා, ඒත් කිසි අවුලක් නැතුව අර පින්තුරේ තිබුනා වගේ බිමට නොවැටී මිනිහා එල්ලිලා ඉන්නවා,

" නියමයි " මහත්තුරුන්ටත් සැටිස් , අපේ මිනිහටත් සැටිස්

"දැන් ඉතිං ඔයාලට බය නැතුව පලංචි ගලවන්න ගහන්න පුළුවන් ලිස්සයි කියලාබයවෙන්න දෙයක් නෑ,"

" හොඳයි දැන් ඔහොමම ඔය පලංචි සෙට් එක ගලවන්න බලන්න "

ගලවන්න පටන් ගත්තා, මෙන්න බොලේ සට පට ගාලා අපේ එවුන් පලංචි ගලව ගලවා බිමට දානවා,

" බුදු අම්මෝ " 

" මොකද මොකද " මෙන්න යකෝ එකෙක් පලංචියක් එක්කම පහලට වැටිලා මල ජූලියයි, කොන්දත් මොකක් හරි වෙලා , මිනිහට නැගිටින්නත් බෑ, 

" මොකක්ද මේ උනේ"

" හත වලාමයි, ෂුවර් වැඩි කමටයි, හදිස්සියටයි, මේකා එල්ලෙන කොක්ක දාලා තියෙන්නේත් ගලවලා බිම දාන පලන්චියටමයි,"
 ඉතිං නිකං වැටෙනවා වගේ දෙගුණයක් වේගෙන් අවා බිමට.

ඉතිං බඩු තිබ්බට වැඩක් නෑ , පාවිච්චි කරන හරි විදිහ දැනගන්න ඕනෑ, නැත්තම් අර ජනගහනය පාලනය කරන්න ලැයිම් වල කොන්ඩම් පාවිච්චි කරන්න කියාදුන්නා වගේ තියෙයි,  ඒ කතාව ඉතිං දන්නවනේ දන්නේ නැත්තම් පස්සේ වෙලාවක කියලා දෙන්නම්

Friday, April 5, 2013

කලිසමේ වික්‍රමය


ට්‍රීන් ..ට්‍රීන්...ට්‍රීන් ..ට්‍රීන්...ට්‍රීන් ..ට්‍රීන්...

" කව්ද යකෝ උදේ පාන්දරම" " අම්මට හුඩු ප්‍රසන්නයා"

" මචං ප්‍රගියා ,තාම නිදිද හු........"

" නැතුව ඉතින් ඇහැරගෙන කැවුම් කන්නයැ නිවාඩු දවසේ"

"ඉක්මනට අපේ ගෙදරට වරෙන් , මළගෙයක් දැන්ම යමු"

" කාගේද බං"

" සෙනාගේ නැන්දම්මා, නැතිවෙලා , ඇඹිලිපිටියේ "

" ඉතින් තොට මේ තදියම මොකද මලගේ වහනවද? උලමෝ"

"නෑ සෙනාට වල්පැන්ටා පොට් එකක් සෙට්වෙලා "

"ඉතිං"

" ඉතින් නෙවෙයි මෙන්න මෙහෙ වර නැත්තම් තෝව දාලා යනවා"

" හරි හිටපන් ඉතින් එන්නම් ," කිව්වා වගේම ඔය පකිස් බූරුවා දාලා යන්නත් බැරි නෑ තමයි,

මම සියල්ල බාගෙට හෝදලා , බාගෙට ඇඳගෙන ප්‍රසන්නයාගේ ගෙදරට යනකොටත් මෙන්න මේකා කලිසම බාගෙට ඇඳගෙන , කලිසමට උඩින සරම ඇඳගෙන ,සරම කටින් හපාගෙන අඬා වැටි වැටී උඩ පනිනවා,

" මොකද යකෝ වෙලා තියෙන්නේ" "තෝ මට පරක්කු වෙනවා කියලා තාම උඩ පැන පැන ඉන්නේ මෙතන "

කාමරේ ඇතුලට ගිය ප්‍රසන්නයා අම්මෝ ගාල කෑගහලා, එක සැරේම එලියට අවා.

" වර යන්න ප....යා"

"ඇයි බං මම මොනා කලාටද මට බනින්නේ"

මෙන්න යකෝ මූ මාව වාහනේ දාගෙන පවනට බඳු වේගයෙන් මාතලී වගේ යනවා, මූ මාතලී උනාට මම ශක්‍ර දෙවියා නෙවෙයිනේ යකෝ, කොහේ හරි ඇමිනුනොත් අබසරණයි,

" උඹ මෙච්චර වේගෙන් යන්නේ විනාඩි පහෙන් ඇඹිලිපිටි යන්නද බොල"

" පල හු........... කට වහගෙන පරයා"

මෙන්න බොලේ මුගේ ඇස් වල තාම කඳුළු, ඇඹරී ඇඹරී කෙඳිරි ගානවා,

නැවැත්තුවා නුගේගොඩ රෙදි කඩයක් ළඟ, මෙන්න මූ දුවනවා කඩේ ඇතුලට ,මුදලාලියා තාම දුම් අල්ලනවා,

"මල්ලි තාම කඩේ ඇරියේ නෑ"

"කමක් නෑ මුදලාලි දැන් අරින්න එහෙනම්"

මෙන්න බොලේ මේකා මල්ලක් පුරවලා රෙදි ගොඩක් අරන් වාහනේට ගොඩ වුනා ,

" මොනවද බං මේ හැටි"

"ජොක්කු බං ජොක්කු, මීට පස්සේ මගේ ජීවිතේට ජොකෙක් අඳින්නේ නැතුව කලිසමේ සිප් එක දාන්නේ නෑ"

එතකොට තමයි මට තෙරුනේ මේකා මම ගෙදරට යනකොට කලිසම අල්ලාගෙන උඩ පැන
පැන හිටියෙයි ,මෙච්චර වෙලා කෙඳිරි ගගා හිටියෙයි ඇයි කියලා,

(කොහොම උනත් සිප් එකේ පාර අහවල් තැන මාසයක් විතර තිබුනලු )


Thursday, April 4, 2013

අපි නොදන්න පිං


   මේක අපි " අපොස උපෙ " ඉන්න කාලේ වෙච්ච සිද්දියක්, මං තුමාගේ හොඳම යාලුවා තමයි මෝරා , මිනිහගේ නම මෝරා නෙවෙයි, ඒක සුරතල් නාමය, මෝරා හිටියේ අපේ ගෙදරට පහල ගෙදර බෝඩ් වෙලා, අපි දෙන්නා ගණිත කැලෑසියේ, මෝරගේ බෝඩිමේ හිටපු වසන්තයා අපේ පන්ති වලම  බයෝ ක්ලාස් එකේ,
   
   අපි දෙන්නා ( මෝරයි මමයි ) නාවර පෙරාගත්ත හඩ්ඩො වගේ හිටියට වසන්තයා නළුවා වගේ, හෙන බර තිබ්බ පොරක්, ඉස්කෝලෙට දාන්නේ ඩේක් ශූස්  කෙල්ලෝ අතර ඉහලින්ම කැපිලා පේන හාදයා, මේකා අපිව වැඩිය ගණන ගත්තෙත් නෑ, කොහොම උනත් අපි මුට කිව්වේ දහවෙනි සෝබා කියලා, මොකද මුගේ සෝබනේ උපරිමයි, ( ඇයි බං ඔය පලවෙනි විජයබාහු,දෙවැනි විජයබාහු වගේ මූ දහවැනි සෝබා)  
මූ ට කෙල්ලොන්ගේනුත් ෆුල් එකවැටෙන නිසා අපිට මූත් එක්ක තවත් මල
     
   මේ කතාවේ අනික් චරිතය තමයි මිහිරාවි, මිහිරාවි කියන්නේ අපි දහතුන වසරේ ඉන්නකොට දොළහා වසරේ හිටපු ගෑනුලමයෙක්, ඇත්තම නම මිහිරි, නම එක උනාට ඉස්කෝලේ හැමෝම කිව්වේ මිහිරාවි කියලා, මේකි කොච්චර ලස්සනද කියලා කියනවානම් ඒ කාලේ ඉස්කෝලේ හිටපු කැපී පෙනෙන අය්යලා, අපේ පන්තිවල හිටපු හෙන බ්‍රයිටෝ, ක්‍රිකට්, බාස්කට් බෝල්, ෆුට් බෝල් ටීම් වල පොරවල් පනහකට වඩා මේකිට ට්‍රය් කළා ඒ තරම් ලස්සනයි, අපි දන්නා විදිහට ඉස්කෝලේ සර්ලා කීපදෙනෙකුත් ට්‍රයි කරලා තියෙනවා, හැබැයි ඒ ට්‍රයි කරපු හැමෝම කනේ ඇඟිලි ගහගන්න මෙකිගෙන් අහගත්තා සුද්ද සිංහලෙන්ම සියලු ජනතාව ඉදිරියේ,
  
   මේකිගේ නම වගේ නෙවෙයි කට! හම්මෝ සැර, ඒකනිසා හොඳටම ගට තිබ්බ එකෙක් ඇරෙන්න මේකිගෙන් අහන්න නම් ගියේ නෑ, අනික තමයි මේකි අපේ ඉස්කෝලේ පිනාගේ අක්කගේ දුව. අපි ඒක දන්නේ ගොඩක් පස්සේ, අපි හොල්මන් වෙලා බලාගෙන් හිටියේ අහන අහන එකාට (සර්ලටත් එක්ක ) පන්තියටම ගිහින් විලිලජ්ජ වෙන විදිහට බනින්න මේකිට ගට කොහොන්ද කියලා, පිනාගේ නෑ කම දැනගත්තට පස්සේ එකී මොනවා කිව්වත් කව්රුවත් හ්ම් කිව්වේ නෑ එයාටනම්,
   
   මේකිගේ හොඳ පුරුද්දක් හැටියට මමනම් දැක්කේ වෙන එකෙක් දාලා අස්සෙව්වත් බනින්නේ අදාළ පුද්ගලයාටමයි, ඒක නිසා කපුවෝ, තොල්කයෝ බය නැතිව සැනසීමෙන් හිටියා,
   
   මේ නිසා තරහා කාරයොන්ට බන්නපු අවස්ථා එකක් දෙකක්කුත් තිබුනා, ඒත් කව්රුවත ඒක පුරුද්දට කලේ නෑ පිනා නිසා,
   
   මේ අතරේ දහවැනි සෝබා අපේ පාසලේ සාහිත්‍ය සමිතියේ සභාපති තනතුර ලැබුණා, ඒ අපේ බොක්කක් පරද්දල වැඩි චන්දෙන්, සෝබා ට කෙල්ලොන්ගේ නොකැළැල් මනාපය හිමිවීම නිසා , දැන් මූ යන්නේ අඩියක් උඩින්, අපිට මලේ මල, දැන් මේකට මොකද කරන්නේ කියලා හිතහිත ඉන්නකොට අවා අදහසක් මෝරා ට ,
" මචං ප්‍රගියා දෙමු සෝබා ට  විලි ලජ්ජා වෙන්න වැඩක්"

" මොකක්ද බං"

" අපි මිහිරාවි ගෙන් අහමු "

" මොකක්ද"

" අපි මිහිරාවිට කියමු සොබා ඔයාට කැමතියි , ඔයා මොකද කියන්නේ කියලා අපිට අහගෙන එන්න කිව්වා කියලා"

" තොට පිස්සුද උලමෝ කන්නවෙයි නැවකට"

" නෑ බං උඹට මීටර් නැද්ද ඉතිහාසේටම එකී කපුවා ට බැනලා නෑනේ බං, සෝබා ට හම්බවෙයි ටොපිය"

" එකනම් ඇත්ත තමයි, අදම ක්‍රියාවට නගමු,"

අපි  දෙන්න පහක් දාල ඉන්ටවල් දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ ,

" ට්‍රාන්00000000000000"

බෙල්  ඒක වදින්න පටන් ගන්නකොටම එලියට පැන්න අපි දෙන්නා මිහිරාවිගේ පන්තිය ළඟ සීරුවෙන් හිටගෙන හිටියා. අපිට දැන් මැවිලා පේනවා, අසරණ සෝබා කන පාත් කරගෙන මිහිරාවිගේ නාදය අහගෙන ඉන්න හැටි ,

" අන්න ආවා "

" නංගි නංගි "

මිහිරාවි සුපුරුදු නස්පුක් බැල්මෙන් බලාගෙන ඉන්නවා අද කව්ද මේ ඇගෙන් නාන්න හදන හාදයා කියලා.

" නංගි මේ අපිවඑව්වේ අර වසන්ත අය්යා , අර සමිතියේ සභාපති,"

"ඉතිං"

" ඇත්තටම නංගි ඌ හොඳ කොල්ලා,  මිනිහට ඔයා ගැන අදහසක් තියෙනවා, අපිට කිව්වා ඔයාගෙන් අහලා බලන්න කියලා,"

දැන් අපි බලන ඉන්නවා මේකි ආවේසවෙලා බයෝ පන්ති පැත්තට දුවනකං,
 මේ මොන මගුලක්ද යකෝ, පල ගිහින් බැනපියකෝ අරූ ගේ රෙද්ද ගැලවෙන්න, අපි ඉතසිතින් පතන්නේ ඒක.

" ඔය ඇත්තමද අය්යේ,"

" බොරුවක් කියන්න අපි ඔයා ගාවට එනවද නංගි, මට බෝඩිමේදී ඉන්න දෙන්නේ නෑ ඔයාගෙන් අහනකන්"

" මට තව ටිකක් හිතන්න ඕනේ අය්යේ"

අපිව කරකවලා අතඇරියා වගේ,

" මොන හතිලව්වක්ද යකෝ ඒ උනේ,"

" මේක අත අරින්න නරකයි මූ ට බන්නලමයි මම පස්ස බලන්නේ "
මෝරා  ගේම අත අරින්න කැමතිම නෑ වගේ,

කෙලින්ම බයෝ පන්තියට ගිය මෝරා 

" මචං වසා අන්න උඹට මිහිරාවි හම්බ වෙන්න කිව්වා "

" අර මොකටද"

" අපි කොහොමද බං දන්නේ ගිහින් බලපන් අදම"

ඉස්කෝලේ ඇරිලා මිහිරාවි යන පස්සෙන් දුවන සෝබා දැකලා අපි වෙනදාටත් වඩා හයියෙන් ගෙදර දිව්වා.
අපේ  ගෙට පහලින් මෝරාගේ බෝඩිම ළඟ පාර අයිනේ තියෙන බෝක්කුවඋඩ වාඩිවෙලා පුරුදු විදිහට පච ඇර ඇර ඉන්නකොට අපි දැක්ක ඈතින් සෝබා එනවා, 

" ඒයි අන්න අරූ එනවා"

" දුවමු මෙතනින්"

" ඒ මොන මගුලකටද?"

" යකෝ දැන් අරූ අපිව කයි"

"ඒ මොකටද? උඹ හිටපන්කෝ මමනේ බලාගන්නේ"
මෝරා  පොරවෙලා එකසියගානට, මම හිතුවේ නෑ මුට සෝබා එක්ක මෙච්චර මලක් තියෙනවා කියලා,

වෙනදා අපි මෙතන ඉන්නවා දැක්කම ගනන්වත් නොගෙන අහක බලාගෙන යන සෝබා අපි ලඟට හෙමීට ආවා,
දෙයියන්ට ඔප්පුවෙච්චාවේ මේකාගේ ඇස් පුරෝලා කඳුළු, 

" මචංලා, මට සමාවෙයන්ලා බං "

" ඇයි බං , මොකද අවුල ,"

" මම මෙච්චර දවසක් උඹලා දෙන්නට සැලකුවේ හතුරන්ට වගේ, උඹලා ගැන මම හිතන් හිටපු හැටි වැරදයි , උඹලා මේ කරපු උදව්ව මම මගේ ජීවිතේ තියෙනකන් අමතක කරන්නේ නෑ, වරෙන් යන්න කොත්තු පාරක් දාන්න, අදින් පස්සේ උඹලා දෙන්න තමයි මගේ අතිජාත මිත්‍රයෝ,"

මගෙයි  මොරාගෙයි  බෙල්ලේ පොට ගියේ නැති ටික විතරයි කරකවලා, මේ මොන අන්දරදෙමලයක් ද මේ?

" මචං මම මිහිරාවි ගැන ලියපු කවිය නැති උනාම මම හිතුවේ උඹලා දෙන්නා ඒක උස්සලා මට ගේමක් දෙන්න හැදුවා කියලා, ඇත්ත කියපන් උඹලා ඒකෙන නේද දැනගත්තේ මම මිහිරාවිට ට්‍රය් කියලා,"

මල්ටිබෝන්ඩ්  ගාපු පාන් කෑවා වගේ අපේ දත කට පූට්ටු වෙලා, 

" එතකොට මිහිරාවි උඹට බැන්නේ නැද්ද?" අන්තයටම බලාපොරොත්තු කඩවෙච්ච මෝරා මටත් තිබුණු ප්‍රශ්නෙම එලියට දැම්මේ තවත් හිරකරන් ඉන්න බැරි නිසා.

" නෑ බං එකී මට කැමතියි ලු , මම අහනකං ඉඳලා තියෙන්නේ, මමත් ඇත්තටම අහන්න බයේනේ බං හිටියේ, උඹලා දෙවිවරු,"
"වරෙන් යන්න කොත්තු පාරක්‌ දාන්න,"

අපි දෙන්න කොත්තු කෑවෙත් කටයි ....කයි  වහගෙන, කොත්තු කනකම් සෝබා කන් පිරෙන්න කියෙව්වත් අපි නේවෙයි කටක් හෙල්ලුවේ,

"ගුඩ් මෝනිං අය්යේ" මෙන්න බොලේ උදේ පාන්දරම මිහිරාවි හිනා කටක් පුරෝගෙන අපේ පන්තිය ළඟ, දැන් ඉතිං කාපන්කෝ ටකරං, කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා තමයි ඉවසන්න බැරි කියන කතාව ඇත්ත බව තේරුනේ අදයි,

එදායින්  පස්සේ හැමදාම උන් දෙන්නගේ  ප්‍රේමය දැකලා අපේ ප්‍රෙෂර් වැඩි උනා ( හොඳ වෙලාවට එහෙම ලෙඩ නොතිබුනේ)

මින්  පසු කිසිවෙකුට වල නොකපමු කියා අපි ඒකමතිකවම තීරණය කළා,

අද මිහිරාවි එයාගෙම දිවාසුරකුම් මද්යස්ථානයක් කරනවා ,පෙරපාසලක් එක්කම, සෝබා සම්පත් බැංකුවේ විධායක නිලධාරියෙක් , අදටත් අපි වැරදිලාවත් උන්ගේ ගෙදර ළඟ පාරෙන් හදිස්සියකට වත යනවා දැක්කොත් මුන් දෙන්නා ගෙට බලෙන් ඇදලා අරගෙන සලකනවා උතුරන්න, ඒත් හිතේ කහටක් නැතුව කොහොම සැලකිලි විඳින්නද කියලා ,අපිනම් වැරදිලාවත් උන් දෙන්නට මුලිච්චි වෙන්නනම් ගියේ නෑ, කවදාවත්

කොහොමද අපි කරපු පින,............!