Friday, May 31, 2013

හීනේ

"ඕයි.. මල්ලී ..ඕයි.... ඕයි .... බහිනවා ඕයි ......ආපහු ඇඹිලිපිටි ගෙනියනකන්ද ඉන්නේ "
බස් එකේ කොන්දාගේ සද්දෙට උඩ ගිහින් ඇහැරුණ මං හතර අතේ බැලුවේ අව්වේ සැරට ඇස්දෙක ඇරගන්නත් බැරුව.
අප්පේ ඇස් අරින්නත් බැරි තරම් සැර අව්ව.

"බහිනවා ඕයි හුරතල් වෙන්නේ නැතුව , නිදාගන්න තියෙන වේලාව"
 කොන්දා ආයෙමත් මොරදෙනවා.

"මේ කොහෙද අයියේ"
"ඇයි තමුසේ කොහෙද ආවේ..........මේ දිව්‍ය ලෝකේ බහිනවා ඉතිං"
මාව බලෙන්ම වගේ බිමට ඇදලා දාපු කොන්දා බස් එකේ දොරවල් දෙකම දඩ බඩාස් ගාලා වැහුවේ හරියට මම අයෙත් ඒකට නගී කියලා බයට වගේ. 

හඃ  මම නගී ඕකට.... හිටපියව් තොපිටම තමයි මගේ ලඟට බඩගාන්න වෙන්නේ රස්සා ඉල්ලගෙන තොපි දන්නේ නෑ මම කව්ද කියලා.
කොන්දත් එක්ක තරහට ,කාරලා කාරලා ගහපු කෙල තලියම ගිහිල්ලා තාප්පේ ගහලා තිබුන පරණ පෝස්ටරේක වැදුනා, එකේ ගහලා තියෙනවා "ආපහු හැරෙන්න බෑ" කියලා , කොහොමත් මමආපහු හැරෙන්නේ නෑ තමයි. කෙල ගුලිය බාගෙට ගැලවුණු පෝස්ටරේ අග්ගිස්සේ එල්ලී එල්ලී තියෙන හැටි බල බලා මම ඉස්සරහට ඇවිදගෙන ගියා .

සයිඩ්  සායිඩ් ....සායිඩ්.... අයින්  වෙයන් හුත්.........  කියාගෙන මොකක්ද මගේ ඇඟේ දඩාස් ගාලා හැප්පුනේ මාව කොන්ඩිත්තන් දෙකක විතර ගහලා හතර ගාතෙන් වට්ටලා, ගෝනි වගයක් පටවපු  දිග අත් කරත්තයක් වගේ එකක් ඇදගෙන කමිසයක් වත් නැති කළු මිනිහෙක් තවත් මොනාදෝ කියාගෙන මගේ දිහාවත් නොබලා යනවා මම දැක්කේ පොඩ්ඩක් ඔලුව උස්සලා බලනකොට.


වැලමිට ගාව ලෙලි ගිහිල්ලා... කීපදෙනක් ඔලොක්කුවට හිනාවේගෙන මගේ ලඟින් ගියත් වැඩි දෙනෙක් නොදැක්ක වගේ ගියා.ළඟ තිබ්බ ලයිට් කනුව අල්ලාගෙන නැගිට්ට මගේ අතේ ලයිට් කනුවේ තිබිලා කොහොල්ලෑ ගුලියක් ඇලිලා, කොහොල්ලෑ නෙවෙයි යකෝ මේ අර චුයින්ගම් කියන ජාතිය, 

මං පුංචි කාලේ දවසක සිරිනාත අයියා ගෙනත් දුන්න චුයින්ගම් එක දවසම හපලා රෑ නින්දට යනකොට ඇඳ විට්ටමේ අලවලා අපහු උදේ කටේ දාගෙන දවස් ගානක්  හිටපු හැටි මට මතක් උනා. අන්තිමට ඒක විසිකලේ මටම එපාවෙලා හකු රිදෙනකොට. අතේ ගෑවුන චුයින්ගම් එක නහයට ලං කරලා බැලුවා හප්පේ සුවඳ, මොකට මේක දාල ගියාද? ඒක කටේ දාගන්න අසා හිතුනත් කවුරුවත් දැක්කොත් එහෙම මටමනේ නින්දාව, කවදා හරි මම වැදගත් විදිහට ජීවත් වෙනකොට මොකෙක් හරි මේ කතාව කියලා මට අපහාසවෙන කතාවක් හදන්නත් බැරි නෑ . අර කුඩු කාපු එකාට වගේ වෙයි මට ඊට පස්සේ.
  
මම ටිකක් වටපිට බැලුවේ ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. හරියට කඩිගුල ඇවිස්සුනා වගේ මිනිස්සු එහෙ මෙහෙ දුවනවා, එකෙක්ගේ වත් ලේ කඳුලක් නෑ මූනේ, මෙච්චර සෙනග නැතත් අපේ සතිපොලත් ටිකක් මේ වගේ නේද කියලා හිතුනත් එකේ ඉන්න එවුන් අඩු ගානේ කටපුරා හිනාවෙන්වානේ,

එක අතකට මං මොකටද මුන්ට හිනාවෙන්නේ කවදාහරි මුන්ටනේ මාව ඕනෑවෙන්නේ, කෝකටත් සාක්කුවේ තිබුණු සල්ලිටික අරන් අයෙත් ගැනලා බැලුවේ කොළඹ ගියාම හුස්මගන්නත් සල්ලි කියලා වීරේයා කියපු කතාව මතක වෙලා,
"රුපියල් තුන්සිය හැට හතරයි"
නවලෝක මුදලාලි කොළඹ එනකොට අතේ තිබුනේ රුපියල් දාහතයිලු, දාස මුදලාලිට රුපියල් විසි හතරයි, එතකොට ස්වීට් හවුස් මුදලාලිගේ අතේ තිබිලා තියෙන්නේ රුපියල් දහ නවයයි, ඉතින් තුන්සිය ගානක් මදෑ ලෝකෙම අල්ලන්ඩ.

"දුක දිනා ජයගත් මිනිස්සු ග්‍රන්ථය මාගේ ජීවිතය මෙතරම් වෙනස් කරාවියැයි මා සිහිනෙනුදු නොසිතුවෙමි, කවදා හරි මමත් මගේ ජීවිත කතාව ලියනකොට පටන් ගන්නේ එහෙමයි,
නවලෝක මුදලාලි, දාස මුදලාලි, ස්වීට් හවුස් මුදල්ලාලි එක්ක එකට ඉඳං පරණ කතා කතා කරන හැටි මට මැවී පේන්න පටන් ගත්තා.

" සායිඩ් ....සායිඩ් ...... මේ සැරේ සද්දේ ඈතින්ම ඇහෙනකොට අයිනකට පැනගත්තේ ආයෙත් කලින් පරිප්පුව කන්න බැරි නිසා.

දැන් මෙතනට ඇවිත් පැය බාගෙකට වඩා ගතවුනා. අර පොතේ ඇත්තටම තිබ්බේ නෑනේ ඒ ගොල්ලෝ ඉස්සෙලාම කොළඹට ඇවිත් මොනවද කලේ කියලා.
දැන් බඩගින්නත් උහුලා ගන්න බැරිතරම්, ලඟම තිබ්බ තේ කඩේට ගොඩවුනේ මොකක් හරි දෙයක් බඩට දාගන්න ,

.............." මේ ළමයා මේ පළාතේ නෙවෙයි වගේ"

............." නෑ මුදලාලි , මං ඇඹිලිපිටියේ"

............." මෙහෙ මොකද කරන්නේ?"

............." රස්සාවක් හොයාගෙන තමයි ආවේ "

................" මමත් මේ කඩේ කැෂියර් රස්සාවට කෙනෙක් හොයා හොයා හිටියේ අපේ මේ දුවට තනියෙන් මේක කරන්නත් අමාරුයි, මුදලාලි එහෙම කියනකොට ළඟ හිටපු ලස්සන ගෑනු ළමයා මා දිහාවේ ලෙන්ගතු හිනාවක්‌ පෑවා.

'ලොක්කා මොනාද ඕනේ.. "  කඩේ වේටර් කොල්ලා කෑ ගහපු පාරට මම උඩ ගිහින් බිමට වැටුනා, අපරාදේ මගේ සුන්දර සිතුවිලි ලෝකෙම කෑවා මේ මී හරකා, නොදකින් බඩ තඩි මුදලාලියා විතරයි, කෙල්ලෙක් තියා ගෑනු පුළුටක් නෑ පේන්න.

" මාළුපාන් එකයි ප්ලේන්ටියයි, '

"ආ මෙන්න හැටක් දෙන්ඩ "

මම  ගණන් කරලා හැට කොලුවාගේ අතේ තිබ්බා,

"ගානටම තියෙන්නේ , කුම්මැහිකම .... කාලා ඉවරනම් නැගිටිනවා, තව කට්ටිය ඉන්නවා කන්ඩ බොන්ඩ'

මොකද යකෝ මේකට තද වුනේ, මම සල්ලි හරියට දුන්නනේ.

මම කඩෙන් එලියට යන ගමන් මුදලාලි දිහා බැලුවේ මිනිහා අරවිදිහට නික්මට වත් අහයිද බලන්න, මොන ? මේකා මාව දැක්කෙවත් නෑ වගේ හිටියේ.

කඩෙන් එලියට ආවත් කරන දෙයක් හිතාගන්න බෑ අප්පා,

"දුක දිනා ජයගත් මිනිස්සු" ආච්චිගේ රෙද්ද.

පොත ලියපු එකා ඕනෙම දේවල් ටික ලියලා නෑනේ, විස්තර ලියලා නෑ හරියට, කවුද  දන්නේ මුදලාලිලා බය උනාද කියලා, මට තිබුනේ සාමාන්‍යපෙළ ලියලා ඉවරවෙලා මේ ගමන එන්න, ඒත් අර මුදලාලිලා කවුරුවත් දෙකේ පන්තියට වඩා ගිහින් නෑනේ, ඉතින් මට මේ මදැයි ජනාධිපති වෙන්න උනත්,

කමක් නෑ කොහෙන් හරි පටන් ගන්න එපැයි. අයෙත් ගියා කඩේ ඇතුලට, මුදලාලියා කාසි වගයක් ගණන් කරනවා වගේ වගක් නැතුව.

"තිස් නවයයි.... හතලිස් එකායි...."

'මුදලාලි...මුදලාලි......"

" ෂික් අයෙත් වැරැද්දුවා..........ඇයි මොකද"

"මුදලාලි මට මේ.............රස්සාවක් බලන්න කියලා" නොදකින් මේකා අඩු ගානේ මූන දිහාවත් බැලුවේ නෑනේ.

"තමුසෙට බිත්තර ආප්ප දාන්න පුලුවන්ද? "

" ම්ම් ..........ඒවා නම් බෑ මුදලාලි "

" එහෙමනම් මොනාද පුළුවන්....ආප්ප දාන්න, කොත්තු, ප්‍රයිඩ් රයිස්..නාසි....."

මුදලාලි තව මොන මොනවද කිව්වත් ඒවා අහන්න මම එතන හිටියේ නෑ, ඇත්තටම මොනවද බොල නාසි ?

නාසි කියලා හමුදාවක් නම් හිටියලු කොහේදෝ රටක.

දැන්  මොකද කරන්නේ...........

මේ දිගටම තියෙන්නේ ටෙලිපොන් කඩ ,

" එන්ඩ සර් මොනාද බැලුවේ"

"නෑ අයියේ මම මේ රස්සාවක් හොයන ගමන්, මෙතන මුකුත් ......" මට කියලා ඉවර කරන්න හම්බ උනෙත් නෑ.

"අනේ මේ මෙතන හුයන්නක් කතාකරන්නේ නැතුව යනවා හලෝ යන්ඩ ." මට තනියෙන් කරන්න වැඩකුත් නැතුව ඉන්නකොට මෙතන මගුලක් කතා කරනවා"

මම  එලියට ගියා නෙවෙයි විසිවුනා,

කමක් නෑ ඌ මොහොතකට හරි මට සර් කිව්වනේ, කොහොමත් උඹලට එහෙම කියන්න වෙන දවස වැඩි ඈතක නෑ.

ඇයි හත්වලාමේ මේ කොළඹය කියන රටේ මිනිසුන්ට ගිනිපුක් ගායද? හැම එකාම ඉන්නේ නප්පියට තදවෙලා, එක්කෝ හූල්ල හූල්ලා. ගමේ මිනිස්සුන්ගේ අඩුගානේ මූනේ ලේ කඳුලක්වත් තිබ්බා.

මේ වගේ ගිනිපුක් කාරයොත් එක්ක කොහොම දියුණු වුනාද මන්දා අර පොතේ හිටපු මුදලාලිලා ටික.

පොතේ තිබ්බ හැටියට නම් " වසර කීපයක ඇවෑමෙන් ස්වීට් හවුස් මුදලාලි තමන්ගේම තේ කඩයක හිමි කාරයෙක් විය" ඉතින් හත්ඉලව්වේ පොතේ නම් ඒ පිටුවෙන් මේ පිටුවට යනකොට වසර කීපය ගෙවිලා, ඒත් හැබෑ ජීවිතේ? එකේ ඉතින් හැම තප්පරේම අපි ජීවත් වෙන්න එපැයි.

මධ්‍යම මත්ස්‍ය වෙළඳසල ..... ගිහින් බලමු, 

හප්පේ මුන්ගේ මූණු බැලුවම කොහොම හිත හදාගෙන රස්සා ඉල්ලන්නද, මව් බාසාව කුණුහරුපද කොහෙද? අඩිය තියන්න බෑ බිම අජූව, ඒ මදිවට ගඳ ,මගේ අලුත් රබර් සෙරෙප්පු දෙකේත් ගෑවෙයිද මන්දා, සෙරෙප්පු දෙක අතට ගන්නත් බෑ, මුන් හිතයි මම ගොඩක් කියලා,

පිටකොටුව මැනින් වෙළඳසල .... බම්බුව තමයි ..මේ ඔක්කොගෙම ලොකු නම් විතරයි, ගන්දස්තාරේ පැත්ත බලන්න බෑ. මම කොහොමද මේ ජරා ගොඩේ ඉන්නේ. 

දැන් නම් පොඩ්ඩක්  ඉඳ ගන්න ඕනේ අප්පා. කකුල් දෙකත් කෙඩේත්තුයි . කී තැනකට නම් ගියාද? අඩු ගානේ අර පොතේ තිබ්බ වගේ නවලෝක මුදලාලිට අර කවුද කිව්වා වගේ "එහෙනම් ටික දවසක් වැඩ කරලා බලහන්කො කොලුවෝ" කියලාවත් කවුරුවත් කිව්වේ නෑනේ අම්මපා .

යන යන තැන අරක පුලුවන්ද , මේක පුලුවන්ද ,අර මැෂින් එකේ වැඩ කරලා තියෙනවද, මේවා දැකලා තියෙනවද , අරවද මේවද? ඇයි දෙයියනේ එතකොට ඕවා දන්නේ, දැකලා නැති එවූන් කොහෙන්ද ඕව පුරුදු වෙන්නේ. දැන් එතකොට අර මුදලාලිලා ඕවා දැනගෙනද කොළඹ ආවේ ? අනේ මන්දා ?

හතරත් වුනා, අයෙත් ලේ කඳුලක් නැති මූණු හතරවටේ දුවන්න පටන් ගෙන ,අර උදේ තිබ්බ කල එලියවත් මේ මුනත්තහඩු වල නෑ. කෝටි ගණන් ලැබුනත් මෙහෙම එවුන් එක්ක ජීවත් වෙලා මොකටද?  

මල්ලි දැන් උදේ ඉඳං මාව හොයලා හොයලා දුකෙන් ඇත්තේ, කළුවර වැටෙනකොට මම ආවේ නැත්තං අම්මත් කලබල වෙලා හතර අතේ හොයන්න ගනියි, තාත්තාට නම් ඉතින් මම හිටියයි නැතයි කියලා ගානක් නෑනේ.

මට ඕන නෑ කෝටිපතියා වෙන්න, මම යනවා ගෙදර, ඔව් මම යනවා. අනික කව්ද දන්නේ ඔය පොත් වල තියෙන ඔක්කොම ඇත්තද කියලා , ඕවා පොත් විකුණා ගන්න ලියන බොරු වැල් වටාරම්.

කෝ මේ ඇඹිලිපිටි බස්,  හප්පට බොල මම උදේ ආපු බස් එකම නේද මේ ආපහු යන්න තියෙන්නේ, මේ කොන්දා මාව අයෙත් එලවයිද? එහෙම කොහෙද මම සල්ලි දීල නේ යන්නේ? ගිහින් ඌව දැක්කේ නෑ වගේ නගින්න ඕනේ බස් එකට, 

"මෙතන එක්කෙනෙක් ඉන්නවා මල්ලි"

"හ්ම් හ්ම් මෙතන ඉන්නවා,"

"මේක හරි වැඩක්නේ ඉන්නවනම් පේන්න එපැයි"

"මොකක්ද  කුක්කා කිව්වේ හලනවා දත් ඇන්ද "

" ආ ආ මොකද මොකද මහත්තයා," අම්මෝ දෙයියෝබැලුවා වගේ කොන්දා ආවේ, නැත්තම් අරු මාව සම්බෝල කරනවා,

" මොකද මල්ලී, ආ තමුසේද .. එනවා එනවා මෙහෙට ... ඔය තැන්වල හැමදාම යන එවුන් සෙට් එකක් ඉන්නේ මල්ලී, මොකද තමුසේ කොළඹ ආව වැඩේ හරිද?

" නෑ අයියේ ....ඉහිහ්..... ඉහිහ්.....

" මොකද මිනිහෝ ගැටිස්සි වගේ ඉකි ගහන්නේ "

" මේකයි අයියේ".................... මම ඉකි ගගහ හැම විස්තරයක්ම කිව්වේ ඒ වෙනකොට මට හොඳටම කලකිරිලා තිබුණු නිසා.

"තමුසේ මහා ගොනෙක් නේ මල්ලි ,පොතක් කියවලා මෙච්චර මැටි වැඩක් කළා නම් තමුසේ ෆිල්ම් එකක් එහෙම බැලුවනම් රටත් යයි,....ඒක නෙවෙයි ...තමුසේ කාලද"

"නෑ "

"එනවා යන්න තේ එකක් වත් බොන්න අපිට යන්න ටර්න් එකට තව පැය තුන්කාලක් තියෙනවා, මම කොහොමත් පිටිපස්සේ ෆුට් බෝඩ් එකේ දොර වහනවා, තමුසෙට රෙදි කෑල්ලක් දෙන්නම් එතන වාඩිවෙලා යනවා, ටිකට් ඕන නෑ, මේ ගෙන්දගම් පොළොවට තමුසෙලා වගේ ලාමකයෝ හරියන්නේ නෑ මල්ලි."

......................................................................................................................................................................

Saturday, May 11, 2013

පාදඩයා

" එහෙනම් අපිට අවසර ලොකු හාමුදුරුවනේ'

"හොඳමයි, විජේසේකර ඉස්කෝලේ මහත්තයා, හෙට දහම් පාසල් එනවා නේද?"

"එහෙමයි  ලොකු හාමුදුරුවනේ, හෙට අපේ භද්‍රාට නම් එන්න බැරිවෙයි එයාලයි අම්මාගේ ක්ලිනික් දවසනේ"

"හොඳමයි, ඒ ඇත්තිත් ඉතිං ඔහොම දේකට ඇරෙන්න දහම් පාසල මග අරින්නේ නෑනේ"

" එහෙනම් අවසර"

"හොඳමයි"

දායක සබා රැස්වීම අවසානයේ හැමදාම වගේ අන්තිමට ඉතිරිවෙන විජේසේකර ඉස්කෝලේ මහත්තයා, ග්‍රාමසේවක මහත්තයයි, ලොකු හාමුදුරුවනුයි එක්ක තිබ්බ සතුටු සාමීචිය අවසන් කරලා ආපහු යන්න පිටත් උණා,

"මටනම් ඔය විජේසේකර ඉස්කෝලේ මහත්තයාගේ විදිහ අල්ලන්නේ නෑ ලොකු හාමුදුරුවනේ"

"අර මොකද ග්‍රාමසේවක මහත්තයෝ "

" මිනිහගේ ඔය ළමයින්ට පෙන්නන ආදරේ මට ඒ හැටි දිරවන්නේ නෑ ලොකු හාමුදුරුවනේ"

"අර මොකද ග්‍රාමසේවක මහත්තයෝ ඒ , ඒ මනුස්සයටයි භද්‍රා නෝනටයි දරු මල්ලෝ නැතිනිසා නෙව ඔය හැටි දරුවන්ට ආදරේ, මහත්තයාටත් වඩා නෝනා දරුවන්ට පන ඇරලා"

" ඒ වුනාට හාමුදුරුවනේ රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට .. මට බය ඔය මනුස්සයා මේ පොඩි එකෙක් දෙන්නෙක් අරගෙන ගමෙන් පැනලා යයි ද කියලා, ඔය අනන්තවත් ළමයි පැහැරගෙන යන්නේ දරුමල්ලෝ නැති මිනිස්සු."

ලොකු හාමුදුරුවන්ගේ නුරුස්සනා බැල්ම ග්‍රාමසේවක මහතාගේ ස්වරය මදක් මුදුකරන්නට සමත්වින.

" නෑ ලොකු හාමුදුරුවනේ කප්පම් ගන්න අදහසින් නෙවෙයි දරුවන්ට තියෙන ආසාව නිසාම හදා වඩා ගන්න උනත් එහෙම දේවල් කරපු අය ඉන්නවනේ අපේ හාමුදුරුවනේ"

 " සැකය හොඳ දෙයක් නෙවෙයි මහත්තයෝ, ඒත් විමසිල්ල කෝකටත් හොඳයි, විජේසේකර මහත්තයාගේ සීයා මේ පළාතේ හිටපු රටේ රාල, මේවා උන්නහේලාගේ පරම්පරා ගම් බිම්, මේවා දාල ඒ මිනිස්සු මොන දීපන්කරේක යන්නයි? "
" අනික ඉස්කොලේ උගන්නන කාලේ ඉඳන්ම ගමේ කොල්ලෝ කුරුට්ටෝ සේරම ඉස්කෝලේ මහත්තයලගේ ගෙරද වත්තේමනේ වැඩි හරියක් ගත කරන්නේ මහත්තයෝ." 
"කොයි තරම් දරුවන්ට ආදරේ උනත් දෙන්නට දරුවෝ නැතිඋනේ පෙර කරපු පවකට කියලා දෙන්නා නිතරම් විස්සෝප වෙනවා ,ඉතිං ලබන ආත්මෙටත් ඒ කරුමේ දිග්ගැස්ස ගන්න වැඩක කොරයිකියලා හිතන්ට අමාරුයි නේද ග්‍රාමසේවක මහත්තයෝ."

" හ්ම්.... එහෙනම් මටත් අවසර ලොකු හාමුදුරුවනේ"

"සුවපත් වේවා"

ග්‍රාමසේවක මහත්තයා යන දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලොකු හාමුදුරුවෝ ආවාසේ දොර වහලා දාල, බෝධිය දිහාට හිමීට පියමැන්නා. 

 විජේසේකර විශ්‍රාමික විදුහල්පතිකෙනෙක්, භද්‍රා නෝනා ඒ පාසලේම උගන්නලා විශ්‍රාම ගිය ගුරුතුමියක්‌. දෙන්නට දරුවෝ හිටියේ නෑ, ඒ නිසාමද කොහෙද දෙන්නා දරුවොන්ට හරිම ලෙන්ගතුයි.
විජේසේකරගේ ගේ තිබුණේ ගමේ කන්ද උඩම හරියටම වෙන්න, ඒ පැත්තට යන කෙනෙක් ඉන්නවනම් ඒ මේ දෙන්නගෙන් කෙනෙක්ම තමයි, විජේසේකරගේ තැපැල් නයින්ටිය තමයි දෙන්නගේ ගමනට බිමනට තිබුණේ, ගමේ ඕනෑම කෙනෙක් සද්දෙන්ම දන්නවා මේ එන්නේ විජේසේකර ඉස්කෝලේ මහත්තයාගේ බයිසිකලේ කියලා..........................

Thursday, May 9, 2013

පොල් අඩි වන්නම

ටික කාලයක් පොස්ටුවක් දාන්න බැරිඋනා, මොකද දන්නවද? අර ගොඩක් අයට මොකක් හරි වැඩක් කරන්න බැරිඋනාම කියන අර "බිසී" කියන ලෙඩේ හැදිලා තිබුන නිසා , දැන් ටිකක් අඩුයි. 

ඉස්කෝලේ  යන කාලේ ආතල් එක දන්නේ නැති , ගත්තේ නැති පොරක් ඉන්නවනම් ඉතින් ඌ අඩුගානේ නාඩි වත් වැටෙන එකෙක් නෙවෙයි කියලයි කියන්න වෙන්නේ, එ ආතල් එක මොනවගේද කියලා  නොදන්නේ, ඉස්කෝලේ මිශ්‍ර ඉස්කෝලයක් නම් මේ ෆන් එක ඩබල් ඩබල්, 

ඉතිං ඉතිං අපි අපි මේ මේ  ඩබල් ඩබල් ෆන් එකත් ඩබල් ඩබල් ගත්ත ගත්ත පොරවල් පොරවල් හරිය හරිය

අපි එකොළහ වසරේ ඉන්න කාලේ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කෙරුවා. මෙහෙම චෑන්ස් එකක් ඉතිං එන්නේ කල්පෙකට එකක් විතරක්  නිසා කට්ටිය එකසිය ගානට සෙට් වෙනවා. මොකද චාරිකාව දවස් දෙකයි, ඒ උනාට ට්‍රිපේ ආතල්ම කෑල්ල ඒක නෙවෙයි, එක නයිටක්‌ ගහනවා දඹුල්ලේ ඉස්කෝලෙක ඕකට තමයි කොල්ලෝ ටික සැදී පැහැදී සිටියේ. ප්ලෑන් මහා ගොඩයි, 

කෙල්ලෝ ටික නම් ඉතිං ඕක කියපු වෙලාවේ ඉඳලා නහයෙන් අඬනවා 

"අනේ අපේ තාත්තා කැමති නෑ අනේ අපිව යවන්න"

"ඇයි බං ඉතිං ටීචර්ලාත් යනවනේ,"

"ඒ වුනාට .........."

"අපි එක රැයක්වත් ගෙදරින් පිට ඉඳලා නෑනේ අනේ"

මෙහෙම්  කියපු ගොඩක් අය ඉතිං ලව් කේස් වලට කප් ගහපු අය. ඕවට අපි නම් කිව්වේ බබා කේස් කියලා, මොකද ඉස්කෝලේ හිටපු හොඳ නම තියන කෙල්ලෝ ඔය පම්පෝරි කතා නෑ, එක්කෝ එනවා කිව්වා නැත්තම් කලින්ම එන්නේ නෑ කිව්වා. මේ කෙල්ලොන්ගේ ගොඩක් අයට එපා කියලා තියෙන්නේ ගෙදරින් නෙවෙයි බලනකොට මුන් යාළුවෙලා හිටපු කොල්ලෝ. මොකද එකොළහ වසර වෙනකොට ගොඩක් එවුන් යාලු වෙන්නේ ඒ ලෙවල් අයියලා එක්ක, ඉතිං ඒ අයියලා කොල්ලෝ වෙච්ච අපිත් එක්ක එයාලගේ ප්‍රියම්බිකාව යවන්න බයේ තමයි හිටියේ, ( මොන ඉලව්වකට බයවෙනවද කියලා ඒ කෙල්ලොන්ටත් හිතෙන්ට ඇති මං හිතන්නේ)

ඉතිං  ඔය කචල් බචල් අස්සේ කොහොම හරි ට්‍රිප යන්න 38 දෙනෙක් නම් දුන්නා, හැබැයි එකොළහ වසර පන්තියේ ඒ වෙනකොට 120 ක්ද කොහෙද හිටියා, ඔන්න අපේ එවුන්ගේ කණ්ඩායම් හැගීම ,

ඉතිං  මේ ට්‍රිප සංවිධානය කරේ අපේ ආදරණීය ගුරුතුමෙක් වුනු දෙබරා සර්, සර්ට එහෙම කිව්වේ සර් ඉගැන්නේවේ කෘෂි කර්මය, එකෙනුත් සත්වපාලනය කොටස එයා හොඳට කළා, ගෙදරත් මීමැස්සෝ ඇතිකලාද කොහෙද? සර්ගේ යාලුවෙක් තමයි සා....... කියන ලර්නර්ස් එකේ අයිති කාරයා, 

ඉතිං ට්‍රිප දවසේ උදේ පාන්දර පහට අපි ආපි ඉස්කෝලෙට. මෙන්න බෝලේ දෙබරා සර් ගෙනත්තිබුනු බස් එක.

බස්  එකේ හරිම ෆොටෝ එකක් හොයාගන්න බැරි උණා, මොන කැමරාද ඒ කාලේ, බස් එක මේ විදිහමයි, (මතක නම් කාලෙකට කලින් නාට්ටියක් ගියා නිල මානෙල් කියලා අර 
"දිව්‍ය අන්ගනාවන්ට අපට වාගේ තරහ යන්නේ නෑ"
"එක හින්ද කවදාවත් ඒ උදවිය වයස යන්නේ නෑ"  කියලා සින්දුවක් එහෙම ගියේ, අන්න ඒ සින්දුවේ පෙන්නනේ හරියටම එම බසයම තමා) මේක තමා සින්දුව.


කොහොම උනත් මේ බස් ඒක දැක්කම නම් ටීචර්ලගෙයි , කෙල්ලොටිකගෙයි මූණ කරත්තයට අහු වුන කජු ලෙල්ලවගේ, 

"මෙයාට ඉතිං යාලුවගෙන් හම්බවෙන්න නැතැයි හොඳ කොමිස් එකක් "
අපේ කුකරිනා ටීච ඒ කිව්වේ ගෘහ විද්‍යාව මිස් දෙබරා සර්ට හින්ට් එකෙකුත් ඇරියා, මොකද ඇවිත් තිබුණු ඒ බස් ඒක අර සර් ගේ යාලු සා..... ලර්නර්ස් එකේ බස් එක.

 ඒ උනාට අපිට නම් ඒ බස් එක අපේ ආතල් දෙගුණ තෙගුණ කරන්න හේතුවක් උණා.

කොහොම හරි ඔන්න සාදුකාරයක් එහෙම දීලා බස් එක පිටත් උණා.


ඉතිං ඔන්න අපි ෆන් සාගරේ පටන් ගත්තා, සිංදු කියනවා, සිංදු කෑලි කියනවා, ඇඩ් කියනවා. කිරි ටොපි කනවා, අලුවා කනවා, ඒවා උඩට කෙස් කනවා, වරක කනවා, බඩ ඇතුලේ පිස්සු ඩබල්,ඇයි ඉතිං කෙල්ලෝ ටික ඒවත් හදාගෙන, අරගෙන ඇවිත් නේ, අපරාදෙනේ අහක ගියොත්.

සර්ලා  ටීචලා අපරාදේ මේ දරුවෝ මහන්සි වෙලා කියකිය දෙනවා සබ්බුව.

දැන් කොහොම හරි මග දිගට චාරිකාවේ ලැබිය යුතු අධ්‍යාපනය ලබාගෙන කළුවර වැටීගෙන එනකොට අවා අපේ නවාතැනට, දඹුල්ලේ ඉස්කෝලයක්, ඉතිං ඒ ඉස්කෝලේ සිකුරිටි අංකල් ඇවිත් අපිට වෙන් කරලා තියෙන නවාතැන් ටික පෙන්නුවා.

අම්මට සිරි ටීචලා ටිකටයි කෙල්ලෝ ටිකටයි ගුරු නිවාසේම පැත්තක්, ලයිට් දාලා ට්‍රැවලින් මෙට්ට දාලා, (මම ඒ පැත්ත හොරෙන් බැලුවේ නෑ යකුනේ බලපු එකෙක් තමයි මටත් කිව්වේ)

අපිටයි සර්ලාටයි දිග හෝල් එකක්, හෝල් එක කෙලවරේම කාමරයක්, ඒක සර්ලා දෙන්නට, අපිට හෝල් ඒක ලයිටුත් නෑ කට්ට කරුවලේ. 

කුකරිනා මිසුයි අනිත් ටීචලා දෙන්නයි අපිට උයන්න ලැස්ති වෙනවා, උයනවා කිව්වට එයාලා කරන්නේ ලොකු ළූණු ටික තෙල් දාන ඒක විතරයි, මොකද මගදී පාන් ගත්තනේ, දැන් කට්ටිය අඬ අඬා හොටු පෙරී පෙරී ළූණු කපනවා, 


මේ අතරේ එද්දී බස් එක දෙක වෙන්න කෑ ගගහා ආපු දිනේෂයා, (අපි ආදරේට ඌට කියන්නේ "පොල් අඩි"
 මොකද ඌ ක්‍රිකට් ගැහුවත් එල්ලේ ගැහුවත්, අඹ ගහට පොලු ගැහුවත් ගහන්නේ එකම විදිහට.)

පස්ස පැත්ත මිරිකගෙන කතා බහ නැතුව වේගෙන් ඇවිදිනවා එහෙට මෙහෙට, 

" මොකෝ බං පොල් අඩියෝ"

"උඹට රෙන්න බරක් වත් හැදිලද"

"වත් නෙවෙයි යකෝ ඒක හැදිලා තමයි"

කොහෙද කැලේ පැත්තට වත් යන්න බෑනේ එනකොටම සිකුරිටියා කියපි

"ඔය ළමයි වැඩිය එහෙමෙහෙ යන්න එපා කරුවල වැටුනම සර්පයි ගැවසෙනවා මේ හැම තැනම" කියලා.


"මොනවද  බං මං කරන්නේ"

පොල් අඩියා ඇඹරෙනවා , උගේ මුණ දැක්කම දුකේ බෑ, මූණ මෙහෙම වෙන්න උගේ පු.. කොහොම වෙලා ඇත්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්


" වෙන මොනා කරන්නද ,පල ටොයිලට් එකට අරතියෙන්නේ" කලනයා කිව්වා.

"ගියා ........ගේ පුතෝ එකේ වතුර නෑ, ටැප් වල වතුර එන්නෙත් නෑ."

"හැබැයි මචෝ ගුරුනිවාසේ පැත්තේ පිටිපස්සේ ටැප් එකක් තියෙනවා, මොකක් හරි තියෙනවනම වතුර ටිකක ගේත හැකි," කලනයා අයෙත් කියපි.

අපි ඔක්කොම මූ දිහා බැලුවේ පුදුම වෙලා.

"උඹ කොහොමද දන්නේ එකේ වතුර එනවා කියලා "

"ඇයි බං අපේ කෙල්ලෝ ඔක්කොම නෑවේ එතනනේ"

" අඩෝ ,...හූ  යකෝ මෙන්න මූ........"

මේකා  කෙල්ලෝ ඔක්කොම නානකං එතන බලං ඉඳලා, වැඩේ මාට්ටු මෙච්චර වෙලා සිංහයා වගේ හිටපු කලනයත් දැන් බලු වෙලා.

"ඒකෙන් වැඩක් නෑ අපි මූට භාජනයක් හොයලා දෙමු"කට්ටිය ඒකමතික තීරණයකට අවා.

"මචං මම ලීටර් පහේ ප්ලාස්ටික් කෑන් එකෙක් නම් ගෙනාවා, කුකරිනා තමයි ගෙන්න කිව්වේ දැන් කොහෙද කියලා නම් දන්නේ නෑ,"

"කුකරිනා ගෙන්න කිව්වනම් උයන තැන ඇති"

ඒක කිව්වා විතරයි පොල් අඩියා දිව්වා උයන පැත්තට, අපි පටන්ගත්තා බජව්ව .

අපි දැන් බජව්වේ උච්චම හරියේ, එකෙකුට වඩා හයියෙන් අනිකා කෑගහනවා, රැප් කරනවා එක කෙලියයි,

ඔය අතරේ මම දැක්කා පොල් අඩියා කකුල් දෙක ඈත් කරගෙන අමාරුවෙන් වගේ ඇවිදිනවා, මූ හෙමින් හෙමින් අපේ ලඟට ආවාට කතාවක් නෑ,

මෙන්න බෝලේ මේ අතරේ කුකරිනායි, දෙබරා සර් දෙන්නා හයියෙන් කෑ ගහනවා, 

"ඉතිං මම මනේ මිස් මෙතනට ගෙනාවේ,"

" ඔව් සර් , මෙතැන තිබුනා,"

" මෙන්න ටීච කෑන් එක"

අනිත් ටීච රතුපාට කෑන් එකක් අරන් එනවා වැලි පිහදදා ,

" කව්ද මේක හැලුවේ "

"මොකාද මේ බලු වැඩේ කලේ"

"හැලුවා මදිවට කෑන් එක විසිකරලා"

"දැන් ඉතින් ආයේ දඹුල්ල ටවුමටම පලයන්කෝ"

" කෝ දෙන්න මහත්තයෝ මම ගෙනත් දෙන්න" සික්කා අන්කලුත් ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙලා  මොනවද ගේන්න යනවා, මක්කද බොල මේ වෙන්නේ, මේ කලබලේ මොකක්ද කියලා හැමෝම බලනවා.

පොල් අඩියා මගේ ලඟට ආවා. මෙන්න බොලේ මූ අඬනවා

"මචං මට උදවු කරපන් මචං"

"මොකද පොලා"

"මචං මට බොග උච්ච වෙලා හිටියේ"

"ඉතිං දැන් හරිනේ ඒක"

"නෑ බං..ඉහි  ඉහි ඉහි ....."

"මොකද කැ......යෝ අඬන්නේ උඹ තාම බොග බෑවේ නැද්ද? "

"දැම්ම බං"

"එහෙනම් අඬන්නේ"

" මම ටොයිලට් යන්න කලනයා ගෙනාපු කෑන් එකගන්න ගියා"

"ඉතිං"

"ඉතිං යනකොටම ඒක තිබුනා ලොකු ළූණු ගෝනිය ළඟ, ඒකේ වතුර එකෙකුත් පුරවලා තිබුණේ' ,මම ඒක ගත්ත ගමන් නැවතුනේ ටොයිලට් එකේ. උඹ දන්නවනේ මම කොච්චර බරෙන්ද හිටියෙ කියලා, මම බෑවා සීගිරිය විතර ලෝඩ් එකක් "

"ඉතිං "

"ඉතිං ,ඒක බාලා නිකං සුරසැප ලැබුණා වගේ, මාර සනීපයි, ඉතිං මම පස්ස පැත්ත හොදගත්තා අර වතුර එකෙන්"

"ඉතිං මොකෝ"

"මොකෝ තමා මම වතුර කියලා උස්සගෙන ගිහින් තියෙන්නේ පොල්තෙල් කෑන් එක" "පුක හෝදලා තියෙන්නේ පොල්තෙල් වලින්"

සර්ලා  ටීචලා කුලප්පු වෙලා හොයලා තියෙන්නේ පොල්තෙල් එක එතකොට,

මම පටස් ගාලා මුගේ ලඟින් ඈත් වුනා, එතකොට තමයි දැක්කේ මුගේ අජූව. කියන්න ඕන නෑනේ සියල්ල පොල්තෙලෙන් මිශ්‍ර වෙලා තියෙනකොට කොහොමද කියලා,

( මූ කාටවත් කියන්න එපා කියපු නිසාම මම හය හත්දෙනෙකුට වඩා කිව්වේ නෑ, ඒ උනාට සික්කා අන්කල්ට කියලා ළඟ ගෙදරකින් වතුර එකක් උණු කරවාගෙන ඌට නාන්න උදව් කලෙත් මමම තමයි,)

එදායින්  පස්සේ පොල් අඩියා තෙල් අඩියා වුනා