Saturday, June 22, 2013

අපරාධය සහ.....?



              "මචං උඹ දන්නවද පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා" සුරංජිත් පත්තරේ අතට අරගෙන ඇඳේ ඇලවෙන්න කලින් පුරුද්දට වගේ කොට්ටේ, ඇඳ විට්ටමේ ගහන ගමන් විසල්ගෙන් ඇහුවා.

" ම්හු " සුරංජිත් දිහා නිකමටවත් නොබලපු විසල් තමන්ගේ අතේ තිබුණු ෆොටෝ එක දිහා බලාගෙනම කිව්වේ , කියපු දේ ඇහුනෙත් නැති ගානට.

සුරංජිත් වගේම විසල් වැඩකලෙත් ලංකාවේ ප්‍රමුඛතම සිසිල් බීම ආයතනයක, අලෙවි නියෝජිතයන් වුනු මේ දෙන්නා බෝඩින් වෙලා හිටියෙත් එකටමයි. උදේ හත වෙද්දී බෝඩිම ළඟටම එන ඩිලිවරි වෑන් දෙකට නගින දෙන්නා හවස පහමාර වෙනකොට ආපහු බෝඩිම ලඟින්ම බැහැගන්නවා.

"ඒයි විසලා , ඒයි.... ඒයි  අඩෝ .....මොනවද බං බලන්නේ"

"ආ....... වෙන මොනවද මල්ලී, ඉඳා බලපන්"

"ෂඃ පට්ට පාර, කවුද බං මේ"

"වෙන කවුද අඅඅඅඅඅ......"

"අලුත්ම කෑල්ල ...........?"

"නැතුව නැතුව"

"ෂිහ් මරු බං , කොහෙන්ද සෙට් වුනේ, කොහෙද වැඩ කරන්නේ....?"

"කොහෙවත් වැඩ කරන්නේ නෑ, ................... ගර්ල්ස් කොලේජ් එකේ තාම ඕ ලෙවල් කරන්නේ"

"යකෝ බලු වැඩ කරන්න එපා බං "

"ඇයි"

"අඩෝ තෝ හරි වෙලාවට බැන්ද නම් උඹට ඔය වයසේ ළමයිනුත් ඉන්න ඕන"

"පල පල ඉරිසියා කාරයා , තිස් හතරත් වයසක් ද බං, අනික මේ උන්ට කැහිල්ල හැදෙන කාලෙනේ, ඉතින් කොහෙන් හරි හොඳට කෑම තමයි ඕනේ , තාම හරියට සැපක් ගත්තේ නෑ, මොකද කියන්නේ උඹටත් ඒකිගේ යාලුවෙක් සෙට් කරලා දෙන්නද? කොහෙද තෝ ඉන්න හැටි විතරක් හැට පැනලා හොට බිම ඇනිලා වගේනේ "

"අනේ මට එපා, මේ මචං මොකක්දෝ පෙර පිනකට උඹට ලස්සන පෙනුමක් නම් ලැබිලා තියෙනවා තමයි ඒත් ඔයවගේ වැඩ මම නම් අනුමත කරන්නේ නෑ මචං, උඹ දැන් ඔය වගේ කෙල්ලෝ කීයක්‌ නම් අමාරුවේ දාලා ඇද්ද?"

"බම්බුවක් අමාරුවේ දැම්මා , උන්ට තියෙන ඇම්මට මං පලිද? අපි ඉල්ලුමට සැපයුම දුන්නා විතරයි මල්ලි,"
"නිකං තියෙන කොකෝ අපි කෑවම මොකෝ"
" ඒක නෙවෙයි මොකක්ද උඹ අර පත්තරේ ගැන කිව්වේ"

"හරි හරි ඔහොම පලයන්කෝ , කොට්ටෝරුවත් ගියාලු ඔහොම කෙහෙල් ගහක් හම්බ වෙනකන්"
"මම ඇහුවේ පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා"

"ම්හ් .........දන්නේ නෑ , මොකක්ද?

" හයවෙනි පිටුව"

"ඒ මොකද? "

" ඇයි බං පලවෙනි පිටුවේ හැම නිව්ස් එකක්ම අන්තිමට තියෙන්නේ "....හයවෙනි පිටුවට....." කියලා."

"හඃ හඃ හා ... සිරාවටම"

.....................................................................................


 "විසල් අයියේ ..."

"ම් ........."

"ඇත්තටම ඔයා ඒ කම්පැණි එකේ මොනාද කරන්නේ, මොකක්ද ඔයාගේ පෝස්ට් එක '

"ම්හ්...........මම මේ ........... ඇසිස්ටන් මැනේජර්.....මේ ....සේල්ස්  සෙක්ෂන් එකේ."

"ඇත්තද "

"ඔයාට බොරු කියනවද සුදූ මං , ඒක නෙවෙයි දිලූ .... ඔයාගේ තාත්තාගේ බිස්නස් එක මොකක්ද?

"අනේ ඒ ගැන කතා කරන්න එපා විසල් අයියේ ..........මට එපාවෙලා ," දිලුක්ෂි එහෙම කියනකොට විසල් ටිකක් විතර ගැස්සුනා, කුඩු බිස්නස් කාරයෙක්වත්ද?

" අනේ සොරි මගේ සුදූ ...... මම ඔයාව රිද්දවන්න ඇහුවා නෙවෙයි පැටියෝ. ඕකේ, ඕකේ  ඔයා අකමැතිනම් අපි කතා නොකර ඉමු ඒ ගැන."

"නෑ විසල් අයියේ , එයා කරන්නේ ස්පෙයා පාට්ස් ගෙන්නන එක, අම්මත් එයත් එක්කම දවසම බිස්නස්, මට කතා කරන්නවත් ගෙදර කවුරුත් නෑ, රෑ වෙලා එනවා  දිලූ කෑවද කියලා අහනවා , නිදාගන්නවා අයෙත් උදේම යනවා,"වැටකෙයියා  පඳුර මුල දෙන්නා ඉඳගෙන ඉන්න සිමෙන්ති බංකුව නියපොත්තෙන් හූරන ගමන් දිලුක්ෂි දිගටම කතා කළා.
"වීකෙන්ඩ් වලවත් ගෙදර නෑ, අර සර්වන්ට්ලත් එක්ක මම තනියම ගෙදර, ඔයා දන්නවද ගිය සිංහල අවුරුද්දටත් අම්මයි තාත්තයි ජපන් ගියා, දෙන්න ගියෙත් වෙනවෙනම, ඒත් බිස්නස් වැඩකට , මම ආච්චිලාගේ ගෙදර "
"ඇත්තටම විසල් අයියේ මට එපාවෙලා ඉන්නේ"
"අහම්බෙන් වගේ ඔයාව හම්බවුනේ නැත්තම් ,මට පිස්සු හැදිලා , ඔයා කවදාවත් මාව තනිකරන්නේ නෑ නේද විසල් අයියේ" මුහුද දිහා බලාගෙන ඒ ටික කියනකොට දිලුගේ මූනේ තිබුනේ හරිම දුකක්.

"පිස්සුද සුදූ, ඔන්න බලන්න ඔයාගේ වයස හරි ගිය ගමන් මම ඔයාව බඳිනවා, එතකොට ඔයාට කිසිම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ,"

දිලුක්ෂි තව ටිකක් විසල්ගේ උණුසුමට ගුලිවුනා, විසලුත් දිලුක්ෂිව තව ටිකක් ලං කර ගත්තේ හරිම නොඉවසිල්ලෙන්,

"දිලූ ..."

"ම් ....."දිලුක්ෂි තාමත් ඇස්දෙක පියාගත්ත ගමන්මයි

"අපි කොහෙට හරි යමුද"

"කොහෙද "          දිලූ ඇහුවේ මොහොතකටවත් ඇස් දෙක අරින්නේ නැතුව. හරියට ඇස් දෙක ඇරියොත් විසල් නැතිවෙයි කියලා බයෙන් වගේ.

"මේ ළඟ තියෙනවා මගේ යාලුවෙක්ගෙ බෝඩිමක් . එහෙ කවුරුවත් නෑ අපිට නිදහසේ ඉන්න පුළුවන්,"

"මොනවා.... අනේ මට බෑ අයියේ" එක සැරේම විසලවා අතඇරපු දිලුක්ෂි  හයියෙන් කිව්වා ,

විසල් වට පිට බැලුවේ ඒ කෑගහපු සද්දේ කාටවත් ඇහුනද කියලා බලන්න වගේ.

"ශ් ශ් ශ් කෑගහන්න එපා දිලූ "
"අනේ නෑ දිලූ ...... එහෙම දේකට නෙවෙයි ...ඔයාගේ හිත හැදෙනකන් කතා කරන්න තැනකුයි මට ඕන කලේ , මෙතෙන පෙන්නේ නැද්ද හැම එකාම කන්න වගේ අපි දිහා බලනවා, මේක ඔයාටමනේ හොඳ නැත්තේ, වැරදිලාවත් ඔයාගේ තාත්තා අඳුරන කෙනෙක් හිටියනම් එහෙම , විනාසයිනේ, මට මොනවා වුනත් ඔයාට අවැඩක් වෙන්න දෙන්න බෑනේ රත්තරං" විසල් කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

" අනේ අයියේ......ඉහි ඉහි ඉහි .........හ්හ්..." ඒ පාර දිලූ විසල්ගේ මූණ අතගගා අඬන්න පටන් ගත්තා

"අනේ .....ඇයි දිලූ අඬන්නේ ? ඇයි ඇයි මේ"

"අනේ  නෑ අයියේ... ඔයා මගේ ගැන හිතලා , මගේ හොඳට කියපුදේටත් මම ඔයාව සැක කළා , මට සමාවෙන්න විසල් අයියේ..මගේ අම්ම තාත්තාවත් මං ගැන මෙච්චර හිතන්නේ නෑ විසල් අයියේ , එයාලත් මේ වගේ  මං ගැන හිතනවානම් ......................"

.................................................................................................................................................

" මචං විසාලා මේ බලපන් "
"පළාත්සභා මන්ත්‍රී ගුරුවරිය දනගස්වයි...... වයඹ පළාත්සභා මන්ත්‍රී වරයෙක් තම දුවට විනය හේතු මත දඬුවම් කලබව කියන ගුරුවරියක් පාසලේදීම දණගස්වා........................................... හයවන පිටුවට " ..................කෝ බං හයවෙනි පිටුව .....අඩෝ ඕක දියන් බං  පත්තර කෑල්ල බඩ උඩ තියාගෙන මනෝ ගහන්නේ නැතුව. "
"මොකද මේ......"

"මචං අර කෑල්ල"

"මොන"

"ඇයි බං මං අර ෆොටෝඑක පෙන්නුවේ"

"ඉතිං"

"ඒකි ගානට හරවගත්තා, දැන් ඉතිං කොහේ හරි ඉක්මනට ඇදලා වැඩේ ඉවරයක්‌ කරන්න ඕන,"

"අනේ මේ උඹ මගෙත් එක්ක මීටපස්සේ ඕවා කතා කරන්න එපා හරිද?" කේන්ති ගිය සුරංජිත් වේගෙන් අනිත් පැත්ත හැරෙද්දී ඇඳ චිරි චිරිස් ගෑවා

"හා හා ඇඳ ඇඳ, කැඩෙයි ඕක .........ඕකනේ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා"

"අනේ පල"

.................................................................................................................................


ක්රාස් ............

ත්‍රීවීල් රථයේ බ්රේක් පාරට "සිසිල ගෙස්ට්" මිදුලේ නිදාගෙන හිටපු බලු තඩියා ඔලුව උස්සලා කම්මැලි බැල්මක් දාලා ආපහු නිදාගත්තේ, මට ඕවා හොඳට පුරුදුයි කියන්නා වගේ,

ත්‍රීවීල් එකෙන් බැහැපු විසලුයි, දිලුක්ෂියි ගෙස්ට් හවුස් එක ඇතුලට යනකොට දිලුක්ෂි තදින්ම විසල්ගේ අත අල්ලාගෙන හිටියේ ඇත්තෙන්ම එයාට මේක නුහුරුම අත්දැකීමක් වුනු නිසා, ඒත් කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් හිතපුරා සක්මන් කරන වගත්, ඇඟ පුරාම හිරිගඩු පිපෙන්නා වගේ දැනෙන නිසා කාටවත් ඒ වෙනස දැනුනද බලන්න දිලුක්ෂි හොරෙන්ම වටපිට බැලුවා.

ගෙස්ට් හවුස් එකේ කවුන්ටරේ හිටපු වයසක තට්ටයා දිලුක්ෂි දිහාවේ කෑදර බැල්මක දාලා ,විසල් දිහාවට ඇහැක් ඉඟිමරනවා වගේ දිලුක්ෂි දැක්කත් ,ඒක එච්චර සැක කරන්න තරම් දෙයක් කියලා දිලුක්ෂිට ඒ වෙලාවේ හිතුනේ නැත්තේ , මේ ඉන්න මිනිස්සුන්ගෙන් වහං වෙලා ,විසල්ගේ පපුවේ ඔලුව තියාගෙන තමුන්ගේ හැම දුකක්ම තනිකමක්ම කියලා විසල්ගේ ආදර බර වචන වලින් හිත සනසාගන්න තියෙන වුවමනාව නිසා.

"එක්දාස් එකසිය පනහයි සර් , ත්‍රීවීල් එකටත් එකසිය පනහක් දෙන්න ඕනෙනේ සර්, සර්ට ඉතිං සිස්ටම් එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ, කවුන්ටරේ හිටපු තට්ටයා, එහෙම කියද්දී විසල් ඉක්මනට දිලුක්ෂි දිහා බැලුවේ ඒ ටික දිලුක්ෂිට ඇහුනද බලන්න වගේ,
" කට කට...."

"සොරි සර් .... අයිඩෙන්ටි දෙක දෙනවද සර් "

"ආ .............."

" අමන්දා දිලුක්ෂි සමරනායක ....උපන් දිනේ....සර් මිස්ට දහ අටට.............."

"හරි හරි තමුසේ කටවහගෙන මේක තියාගන්න්වකෝ, මොනා හරි අවුලක් වුනොත් මම බලාගන්නම්"
විසල් දීපු අමතර රුපියල් පන්සීය නිසා තට්ටයගේ කට එකපාරටම වැහුනා.

"ඇයි විසල් අයියේ "

"නෑ මේ මිනිහා අහනවා රෑටත් ඉන්නවද කියලා "

'ඉතිං'

"ඉතිං මම කිව්වා ඔයා ඉන්නම ඕනේ කිව්වොත් ඉන්නවා කියලා"

"චික්.... හිතේ ඇති ... නෝටියා.........."

දිලූ විසල්ගේ අත කෙනිත්තුවේ බොරු තරහක් මූනට මවාගෙන.

කාමරේ දොර ඇරගත්තු විසල් , දිලූව කාමරේ ඇතුලට ඇදගත්තා ,

කාමරේ ඇතුලේ තිබුණු අපිරිසිදු අඳුරු පෙනුමයි, අමිහිරි ගඳයි දිලුගේ මූන අකුලවන්න සමත් වුනා. නහය අකුලාගෙන දිලූ විසල් දිහා බැලුවේ නොරිස්සුමෙන් වගේ,

ඒත් ඒ ගැන තැකීමක් නොකරපු විසල් ඇඳේ වාඩිවෙලා දිලූව  තමුන්ගේ ළඟට ඇදලා ගත්තේ නොඉවසිල්ලෙන් ,

"අනේ ....අනේ....අයියේ............."
ඒත් දිලුට කතා කරන්න විසල් ඉඩ දුන්නේ නෑ, විසල්ගේ රැවුල් කොට මූන පුරා ඇනෙනකොට ,දිලූගේ හිත ආයෙමත් අර නුහුරු හැගීමෙන් පිරෙන්නට වුනා, ඇඟපුරා අයෙමත් හිරිගඩු පිපෙන්න පටන්ගත්තා, මේකට විරුද්ධවෙන්න ඕන වුනත් මේ මිහිර එපා කියන්න තරම් ශක්තියක් දිලුට තිබුනේ නෑ, කීප සැරයක්ම විසල්ව තල්ලු කරන්න උත්සාහ කරත් හැඩිදැඩි , පළපුරුදු විසල්ට අවනත වෙලා, ඒ කවදාවත් නොවිඳපු මිහිර වීඳිනවා  හැරෙන්න වෙන කරන්න යමක් දිලූට හිතා ගන්න බැරි වුනා. ඒ අතරේ සීලිමේ එල්ලිලා තියෙන විදුලි පංකාව බොඳ වෙවී වේගෙන් කැරකෙනවා දිලූ දැක්කා.

........................................................................................................

"මචං විසල් මම අද දවසම උඹට කෝල් කරන්න ට්‍රයි කරනවා ෆෝන් එක ඕෆ්නේ මචං "

" ආ මචං ඒ නම්බර් එක මම වෙනස් කළා , උඹට කියන්න බැරිවුනා, මෙන්න අලුත් එක , ඔන්න සේව් කරගනිං මම මිස්කෝල් එකක් ගහන්නම්."

"මොකද හදිසියේම නම්බර් එක වෙනස් කරේ"

"අරකිගෙන් මල වදේ බං"

"කාගෙන්ද බං"

"අර ඉස්කෝලේ කෑල්ලගෙන්"

"කවුද, අර උඹ පහුගිය ටිකේම අතන මෙතන මාස ගානක් චාටර් කරපු බඩුවද, දිලුක්ෂි ?"

"හ්ම්..... ඒකිට ප්‍රශ්නයක්ලු , හම්බ වෙන්න ඕනෙලු, අරකයි මේකයි දන්නේ නැද්ද?"

'ඉතිං උඹ හිතන්නේ සිම් එක විසි කරාම ඕන වුනොත් උන්ට උඹව හොයා ගන්න බෑ කියලද?"

"බෑ තමයි , ඒ සිම් එක මගේ නෙවෙයි, අපේ ඩිලිවරියේ වැඩකරපු ජෙගනාදන්ගේ නමට තියෙන්නේ, ඌ ගියමාසේ ඉතාලි යනකොට මම උගෙන් ගත්ත එකක්, ඇඩ්රස් තියෙන්නේ හැටන් එකක් "

"උඹ එල්ලුම් ගස් යවන්න ඕන එකෙක් බං, ඉතිං දැන් මොකද කරන්නේ ?"

"ඉතිං දැන් ඒක ඇති බං, මොකද මම ඕකුන්ව බඳින්නද ? පව්ඩර් බබාලා"

"ඒ වුනාට උඹ පහුගිය ටිකේ වහ වැටිලා හිටියේ "

"අතිරහ වුනත් හැමදාම කනකොට එපාවෙනවනේ මචං, ඒක වගේද මේක ..ඉඳා බලහං"

"අප්පට සිරි කවුද බං මේ"

"හොඳයිද, හෙන ගේමක් දීලා සෙට් කර ගත්තේ , ප්‍රයිවට් බෑන්ක් එකක ,ලඟදි ආපු කෑල්ලක්"

" හ්ම් හ්ම් ... හොඳා හොඳා, කරන කලට පව් මීරිය මීසේ කියලා විතරක් මතක තියාගනින් මචෝ .කෝ පත්තරේ"

"දන්නෑ මම තාම බැලුවේ නෑ."

.............. පත්තරේ අතට ගත්තු සුරංජිත් ඇඳේ විට්ටමට හේත්තු වෙලා පත්තරේ කියවන්න ගත්තේ ඒක පුරුද්දට වගේ හැමදාම කරන නිසා. චික් චික් ගැන සද්දෙට ඇඳේ ඉඳන්ම උඩබලපු සුරංජිත් දැක්කේ හරියටම තමුන්ගේ මූණ කෙලිම බාල්කෙ ඉන්න තඩි හූනෙක්, සූනන් ඇඟ වැටීමේ පලාපල කියලා ලිතේ තියෙනවා මතක් වුනත් පලාපලේ මොකක් වුනත් මේකා ඇඟට හුලිජ්ජ පාරක් වත් දායිදෝ කියන සැකේට සුරංජිත් ඇඳේ අනිත් පැත්තට ඔලුව දාගෙන ආපහු පත්තරේ කියවන්න පටන් ගත්තා.

" ඒයි ඒයි ......විසලයෝ විසලයෝ ..මෙහෙ වරෙන්කො"

"මොකද බං"

" මේ බලපන් "

"මොකක්ද?"

"මේ පලවෙනි පිටුවෙම"

 පත්තරේ අතට ගත්ත විසල් ටික වෙලාවක් සුරංජිත් පෙන්නපු නිව්ස් එක දිහා බලාගෙන හිටියා,
"පිස්සු කෙල්ලෝ "  කියපූ විසල් පත්තරේ ඇඳට  විසිකරලා තුවාය කරට දාගෙන කිසිම හැගීමක්  නැතුව නාන කාමරේ දිහාවට යනවා සුරංජිත් පුදුමයෙන් බලාගෙන හිටියා.

//" පාසල් ශිෂ්‍යාව නිවසේ සඳළුතලයෙන් බිමට පනී.......................... ප්‍රසිද්ධ බාලිකා විදුහලක එකොළොස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අමන්දා දිලුක්ෂි සමරනායක (16) ශිෂ්‍යාව තම නිවසේ තුන්වන මහලේ සඳළුතලයෙන් බිමට පැනසියදිවි හානිකරගෙන ඇත. පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ මිය යන විට ඇය තුන් මස් ගැබිනියක්.............................හයවන පිටුවට."//

Wednesday, June 12, 2013

වැටහීම


" සර් , ඉතුරු සල්ලි "

"තමුසේ තියාගන්නවා "

" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............."

හැමදාම බෝඩින් වෙලා ඉන්න ගෙදරින් කෑම ගෙන මම  ඉඳලා හිටලා ඉස්සරහා හෝටලෙන් කෑම එකක්ගත්තම ඉතුරු වෙන රුපියල් විස්ස හරි තිහ හරි ජිනසේනගේ අතට දුන්නම මිනිහා හැමදාම කියන කතාව අදත් කිව්වා.

"හඃ හඃ පිස්සු හැදෙයි මැස්සො මැරෙයි " මම ඒ වචන ටික දෙතුන් පාරක්  කිව්වේ ඇත්තටම අමුතු රසයක් ඒ වචන ටිකේ ඒ වෙලාවේ දැනුනු නිසා.

"ජයන්ත සර් .... ජයන්ත සර්....  ජයන්ත සර්..........."  කාලා මේසෙටම ඔලුව තියාගෙන පොඩි ඇලට් එකක් දාගෙන් හිටපු මම ජිනසේනගේ හඬින් උඩ ගිහින් ඇහැරුනා, මට එක සැරේම බැලුනේ ඔෆිස් බිත්තියේ දොරට උඩින් ගහලා තියෙන කළු ගැහිච්ච බිත්ති ඔරලෝසුව දිහා,
ශික් අම්මපා ලන්ච් ටයිම් ඉවර වෙන්න තව විනාඩි හතරක් තියෙනවා

"මොකද ජිනයෝ බෙරිහන් දෙන්නේ " ආපු කේන්තියට මේකව කන්න හිතෙනවා අම්මපා

"අන්න සී.ඊ.ඕ මහත්තයා කතා කරනවා. "

" හුටා ඒ මොකද බං"

" මං ඉතිං එකනම් ඇහුවේ නෑ සර්, මොකටද නිකං අපරාදේ ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තාට බැනුම් අස්සන්නේ සී.ඊ.ඕ කාරයාගෙන් ...නැහැ මේ සී.ඊ.ඕ මහත්තයගෙන් " වචනේ වැරදිච්ච ජිනසේන මගේ දිහාට බයාදු බැල්මක දාලා එතනින් සුටුස්‌ ගාලා මාරු වුනා.

"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි " මට ඉබේටම කියවුනා, ශික් මොන ජරා වචනයක්ද මේ ඉලව්ව පුරුද්දට යයිද මන්දා, ඒත් එක අමතක කරන්න හදනකොට එක ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා. සී.ඊ.ඕ ගේ කාමරේ ලඟට යනකම්ම මට ඒක කියවෙන්න එනවා
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි......................" "

" සර්"

" ආ.... මිස්ට ජයන්ත ........ මොකක්ද මිස්ට ජයන්ත හැමදාම මොකක් හරි මිස්ටේක් එකක්නේ , ඔයාලගේ කොලිෆිකේෂන් ස්ර්ටිෆිකෙට් වල විතරයිනේ තියෙන්නේ, මතක තියාගන්න එකම වැඩේ දෙපාර දෙපාර කරන්න මේක ආණ්ඩුවේ කන්තෝරුවක් නෙවෙයි හරිද,
මෙන්න මේක කරෙක්ට් කරලා ගේන්න ....
එව්රි තින්ග් අයි හෑව් මාක්ඩ්  ඉන් රෙඩ් කලර් , ශුඩ් බී කරෙක්ටඩ්"

"ඕකේ සර්  "

සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.

මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.

" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "

" මොකක්ද සර් "

"ඇයි කිව්වේ අර  බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"

"එක්සෑක්ලි "

" අපේ චෙයාමන්ටත් පිස්සුනේ.. හාල්පාරුවෝ වැඩට ගන්නවා අපි එපැයි දුක විඳින්න"

 අනේ යකෝ ...... මට ඉබේටම දොරේ ගහලා තියෙන බෝඩ් එක දිහා බැලුනා, චීෆ් එක්සෙකටිවේ ඔෆිස හඃ

පිස්සු හැදෙයි මැස්සො මැරෙයි.

නොදකින් මේක ආයෙත් කියවුනානේ, ජිනදාසයා මරන්න ඕන.

"මොකද ජයේ ...." අප්පට බොල විනීතා සීන් එක බලන් ඉඳලද? දැන් ඉඳලා වැඩක් නෑ, විනීතා කියන්නේ මේ කොම්පැනියට මගෙත් එක්කම ආපු අනිත් ගෑනු ළමයා, එයත් බාහිර උපාධිම තමයි,  මගේ සෙක්ෂන් එකේම තමයි වැඩ කලේ.
 කොම්පැනියට ආපු දවසේ ඉඳලා මම විනීතා ඉදිරියේ ඕනෑවටත් වඩා විනීත වෙන්න හැදුවා වගේ කියලා මට හිතෙනවා,

"මොකද ලොක්කා බැන්නද?"

"හ්ම්"

" ඕවා ගණන් ගන්න එපා ජයේ, අපි මේකට පොෂ් මදි ඒත් අමාරුවෙන් හම්බ වුනු රස්සාව දාලා ගිහින් ගෙදර තියෙන දාහක් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? "


මම විනීතාගේ මූණ දිහා බැලුවා, පව් කෙල්ල සිවිලිම දිහා බලාගෙන ඇස්දෙකේ කඳුළු පුරවාගෙන

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "

"විනීතා.. විනීතා ... මොකද මේ" විනීතා අන්තිම ටික කියපු හැටියට මට පුදුමත් හිතුනා, එයා ඒක කිව්වේ කේන්තියෙන් වගේ. පව් කෙල්ලට තියෙන ස්ට්‍රෙස්  එකට හිතට අමාරු ඇති.

මං බස් එකට නගින්න හෝල්ට් එකේ ඉන්නකම් මගේ හිතේ හොල්මන් කලේ විනීතා, ඇත්තටම විනීතාගේ ඇඳුම ගත්තත්, කොන්ඩේ ගත්තත්, ඇවිදින විදිහ ගත්තත්,  මට නම්  ඔෆිස් එකේ වෙන එක කෙල්ලෙක් වත් එච්චර හැඩට පෙන්නේ නෑ,

ඒකට ෂෙවානි කොයි වෙලෙත් සී.ඊ.ඕ නාකියගේ කාමරේට වෙලා , මූ ෂෙවානිව අදින විදිහට ඒකි කවදාහරි කසාදයක් බඳින්නේ කොහොමද? අනේ උන් බඳින කසාද?
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ...."ශික් ඒක හයියෙන් කියවුනාද මන්දා, බස් හෝල්ට් එකේ හිටපු එවුන් ඔක්කොම මගේ දිහා හැරිලා බැලුවා , වස නෝන්ඩිය .

අද නම් දවසම විනීතා මතක නොවෙන තප්පරයක් නෑ, විනීතා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ""ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා " කියාපු හැටි මට මැවිලා පේන්න වුනා. ඇත්තටම මට බැනපු එකට විනීතා ඇඩුවේ මොකද?

ඒ කියන්නේ විනීතාගේ හිතෙත් මගේ ගැන ආදරයක් තියෙනවා, මම අහන්න බයේ හිටියේ අපරාදේ,

"ජයේ බලන්නකෝ අනේ පොඩි පුතා වැටෙයි, අන්න අයියත් එක්ක රැල්ල පාගනවා හපනා වගේ",
"අනේ ජයේ බලන්න පොඩි පුතාගේ පැම්පස් ටික කාර් එකේද කියලා,"

"නෑ මං ගෙනාව ,මෙතන බලන්න, .."
අපි දෙන්නා මුහුදු වෙරල අයිනට වෙලා පුතාල දෙන්න සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා, විනීතාගේ  දගකාර කෙහෙරැලි මගේ මුහුණේ පැටලුනේ විනීතා මගේ වම් උරයට වාරුවෙලා මගේ මූණ දිහා බලාගෙන් ඉද්දි, මම හෙමින් හෙමින් ඇය දෙසට පහත් වුනේ ඒ සුන්දර දෙතොල් වල පහස ලබන අටියෙනි....

"පාදුක්ක....... පාදුක්ක.. ඔට්ටාව..හෝමා.... පාදුක්කේ .......... බස් එකේ කොන්දාගේ කෑ ගැහිල්ලට උඩ ගිය මම කෑගැහිල්ල ඉවරවෙන්නත් කලින්ම බස් එක ඇතුලට පැන ගත්තා. අපිට හැබෑ ලෝකේ ලඟාකරගන්න බැරි දේවල් කල්පනා ලෝකෙදි ලබාගන්නවත් මුන් දෙන්නේ නැති හැටි අම්මපා .
ඇත්තටම එහෙම වෙන දවස තව කොච්චර දුරයිද?

බස් එකට නැග්ගත් විනීතා.....
 හම්මේ බස් එකේ සෙට් එක දැම්මේ නැතැයි කන පැලෙන්න,

....හිච්චි නගේ බාලේ පෙම ඩිශ්ශි ඩිඩිං.......
....ලපටි සිතින් මට මතකයි ඩිශ්ශි ඩිඩිං.......

....හිතට හොරා මල් පිපුනා ඩිශ්ශි ඩිඩිං.........
....අද මොකදෝ මං දුටුවම ඩිශ්ශි ඩිඩිං.........

මේ  ගායකයා සින්දුව කිව්වේ කම්මලකද මන්දා....

බස්  එකෙන් බැහැලා ටිකදුරක් එනකොටත් කන්දෙක ඇතුලේ කොත්තු ගහනවා වගේ. අම්මපා ඔක්ටෝ පෑඩ් කියන මගුල හොයා ගත්ත එකා අල්ලලා ගහන්න ඕන දඬුකඳේ.

බෝඩිමට ඇතුල්වෙනකොට බෝඩිමේ අයියා මූණ නරක් කරගෙන දොර ළඟ 
" මල්ලි උදේ ඉඳන්ම කාමරේ ඇතුලේ රේඩියෝ එක වැඩනේ, දොරත් ලොක් කරලා, ඕෆ් කරන්න විදිහකුත් නෑ, ඔයාලා ලයිට් බිලට සල්ලි දෙන්නෙත් නෑනේ, දැන් බිලුත් වැඩියි,"
මේකා කියව කියව පස්සෙන් එනවා, කාමරේ දොර ඇරපු මම ඇතුලට ගිහින් දඩස් ගාලා දොරවහලා දැම්මා.

"ඔව් ඉතිං කියනකොට බොහොම අමාරුයි, කොරන්න හොඳයි, බෝඩින් පීස්‌ වත් වෙලාවට දෙනවනම් තව කොහෙද" තවත් මොනවද කියකිය මිනිහා ඈතට යනවා මම අහගෙන් උන්නේ ඇඳුම පිටින්ම ඇඳේ වැටිලා.
හුටා යකෝ රේඩියෝ එක විතරක් නෙවෙයි ෆෑන් එකත් දාලානේ ගිහින් තියෙන්නේ, දැක්කනම් මාව මරාගෙන කයි.

" පිස්සු හැදෙයි මැස්සො මැරෙයි"මේ කෙහෙල් මල් වාක්කිය නොකියවෙන වෙලාවක් නෑනේ අම්මපා.

පෙනුනු සුව දසුන් දස අත මිලිනවී ගියා.....
දකිනු රිසිනවී හිතකට දෙවනවද ඔයා.....
යහන මත වදී හිරු දෙවි දෑස පිය පියා  ...
ඔබ  තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා.

 රේඩියෝ එකේ ඒ සින්දුව යද්දී මට ආයෙත් විනීතව මතක වුනා, ඇත්තටම විනීතා ඔයත් මටතාම ආදරෙයි කිව්වේ නෑනේ, ඔයා මට ආදරෙයි නේද? ඒක නේද ඔයාගේ ඇස්වලට කඳුළු ආවේ මට ලොක්ක බනිද්දි.


 මාව ඇහැරුනේ ෆෝන් එක රිං වෙනවා ඇහිලා. අම්මට සිරි තාම ඔෆිස් ඇඳුම පිටින් ..ඒ මදිවට රේඩියෝ එකයි ,ෆෑන් එකයි තාම දාලා. අප්පට බොල සුදාරයා ,
" හලෝ මචං "
"උඹලටත් අපිව මතක වෙලා ඈ"

"මේ ජයා උඹ මොකක්ද කරන්නේ හෙට "

"මොනා කරන්නද බං, ගෙදර යනවා ලෝන්ග් වීකෙන්ඩ් නේ"

"මේ පොඩි ගමනක් තියෙනවා යමුද"

"කොහෙද"

"හුන්නස් ෆෝල්ස් "

"ඒක ෆයිව් ස්ටාර් හොටෙල් එකක් නේද මේ නුවර පැත්තේ"

" ඔව් යමුද"

"තොට පිස්සුද උලමෝ ඕවගේ යන්න සල්ලි කොහේද බොල , නයිටකටම රුපියල් විසිදාස් ගානක්ලු  මාස එකහමාරක විතර පඩිය."

"උඹට කවුද සල්ලි දෙන්න කිව්වේ"

" ඉතිං  උඹට කොහෙන්ද එච්චර සල්ලි"

" නෑ මචං මට පොඩි පිනා චාන්ස් එකක් වැදුනා, අම්මයි අප්පච්චියි දඹදිව ගිය ට්‍රැවල් ඒජන්සියේ ඒ ටිකට් වලට ඇදපු දිනුමක්, අපේ අම්මටයි අප්පච්චිටයි ඇදිලා, එයාලා ඕවයේ යන්නේ නෑ, මම ඒක ඉල්ලගත්තා, දෙන්නෙකුට නයිට් දෙකක්, හෙට උදේ දහය වෙද්දී මම උඹලගේ බෝඩිම ළඟ ලැස්ති වෙලා හිටු."

එහෙම කියපු සුදාරයා ෆෝන් එක කට් කලේ මම එනවදවත් අහන්නේ නැතුව.

පඩි හම්බවෙලා නැතුව ගෙදර ගිහින් වැඩකුත් නෑනේ, යනවා සුදාරයා එක්ක, නැත්තන් අපි කවදා යන්නද ඕවයේ,
 ................හුන්නස් ෆෝල්ස් ........... "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ශික් හෙටවත් ඕක නොකියා ඉන්න ඕන ,ඇත්තටම මේ ජිනසේනයා කරපු මගුලක්.

" සුදාරයෝ ඉතිං උඹට ජීවන්ති එක්ක යන්න තිබුනනේ, අපි මේ කොල්ලෝ දෙන්නෙක් ගියාම දකින එවුන් වෙන මුකුත් හිතයිද දන්නේ නෑ,"

" ඉතිං උඹට බැරි නම් බැහැපන්, ජීවන්තිත් එක්ක ඔරොප්පුවටමයි මම මේක යන්නේ, ඒකි බෑ කිව්වනේ බඳින්න කලින් එහෙම ගමන් යන්න තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වුනත්,"

" අන්න කෙල්ලෝ , විනීතත් එයාගේ ආත්ම ගවුරවේ ගැන හිතන්නේ ඔහොමයි, එහෙම තමයි කෙල්ලෝ ඉන්න ඕන "

" ඈ කව්ද බං විනීතා, උඹ හොරෙන්ම ගේමට බැහැලා නේ"

"අනේ නෑ බං තාම එහෙම එකක් නෑ, දන්නැද්ද ඉතිං ලාවට ලාවට."

"ජීවන්තිට බම්බු ගහගන්න කියලා මට වෙන බඩුවක් උස්සන් යන්න තිබුනා , ඒත් පස්සේ මට ඒකි ගැන දුක හිතුනා බං, එකයි උඹට කතා කරේ"

...................................................................................................................................................................

"අම්මට සිරි සුදාරයෝ මේක සාගරයක්නේ'

"ඔව් බං  කාමර දෙසිය ගානක්ලු"

...........................................................................

"කාලෙකට පස්සේ ෆුල් රිලැක්ස් එකේ ගෙවිච්ච වීකෙන්ඩ් එකක්, තැන්ක්ස් මචං"
 "බුරිය  උල්වෙලා යකෝ කාලම. ඒ මදිවට තාම වෙරිවගේ. මචං උඹට ඩ්‍රයිව් කරන්න ෂුවර් නේද?"

 "ජයන්ත මේ..... උඹට ෂුවර් නැත්තම් බස් එකේ වරෙන් "

'හරි බං හරි විහිළුවක් කලේ"

" ඒයි සුදා "

"ඇයි"

"අපේ සී.ඊ.ඕ කාරයාගේ කාර් එක"

"කෝ"

"අර තියෙන්නේ උඹේ එකට දෙකක් මෙහායින් අයිනේම"

"ඉතිං උන්ට මෙහෙ එන්න තහනංද?

"නෑ බං උගේ වයිෆ් ඉන්නේ ඔස්ට්‍රලියාවේ , ෂුවර් එකටම මූ ෂෙවානිව උස්සලා, නාකි මනමාලයා"

"කව්ද ෂෙවානි "

"සී.ඊ.ඕ ගේ සෙකට්‍රි"

"ඕව මොනාද බං සෙකට්‍රිලා ඉන්නේ ඉතිං ඕවට තමයි"

"අන්න බුවා එනවා"

"අර කෑල්ලද ෂෙවානි."

"වෙන්න ඕන කොහෙද අඳුරගන්න බෑ ජර්සි තඩියක් ඇඳලා තොප්පියකුත් දාලනේ"

"අන්න මිනිහා උඹව දැකලා ගැස්සුනා"

" මිස්ටර් ජයන්ත ,"

"ස් ..ස්...සස්... සස් ...සස් ....සර්"

"පොඩි ෆන් එකක් ගන්න අවා ජයන්ත, මේවා කාටවත් කියන්න ඕන නෑ ඉතිං,  මං ජයන්තගේ ඉන්ක්රිමන්ට් එකටත් චෙයාමන් එක්ක කතා කරලා තියෙන්නේ, මම මේ සතියෙම ඒක කරලා දෙන්නම්කො........................

තව මොන මොනවද මිනිහා කිවත් මට කිසිදෙයක් ඇහුනෙවත් මතක හිටියේවත් නෑ...

දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද .............විනීතා ඔයා.
දෙයියනේ  විනීතා ..............

විනීතා අත් දෙක පටලවාගෙන් කිසිම හැගීමක් නැති දෑසින් අහස දිහා බලාගෙන ඉන්නවා හරියට මාව අඳුනන්නේ නෑ වගේ.

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "විනීතා ගේ කටහඬයි . "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ජිනසේනගේ කටහඬයි එකට මිශ්‍ර වෙලා මගේ කන්දෙක ඇතුලේ දෝංකාර දෙන්න පටන්ගත්තා.

Monday, June 10, 2013

කාලගුණේ

ඉල්ලමි සමාව ජාතියෙන් ...........
කිව්වාට කුණාටුවට මහසෙන් ...............
නොව මියදුනාට
සියගණන් .................................