මිත්තරයෝ ටික

Saturday, June 22, 2013

අපරාධය සහ.....?



              "මචං උඹ දන්නවද පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා" සුරංජිත් පත්තරේ අතට අරගෙන ඇඳේ ඇලවෙන්න කලින් පුරුද්දට වගේ කොට්ටේ, ඇඳ විට්ටමේ ගහන ගමන් විසල්ගෙන් ඇහුවා.

" ම්හු " සුරංජිත් දිහා නිකමටවත් නොබලපු විසල් තමන්ගේ අතේ තිබුණු ෆොටෝ එක දිහා බලාගෙනම කිව්වේ , කියපු දේ ඇහුනෙත් නැති ගානට.

සුරංජිත් වගේම විසල් වැඩකලෙත් ලංකාවේ ප්‍රමුඛතම සිසිල් බීම ආයතනයක, අලෙවි නියෝජිතයන් වුනු මේ දෙන්නා බෝඩින් වෙලා හිටියෙත් එකටමයි. උදේ හත වෙද්දී බෝඩිම ළඟටම එන ඩිලිවරි වෑන් දෙකට නගින දෙන්නා හවස පහමාර වෙනකොට ආපහු බෝඩිම ලඟින්ම බැහැගන්නවා.

"ඒයි විසලා , ඒයි.... ඒයි  අඩෝ .....මොනවද බං බලන්නේ"

"ආ....... වෙන මොනවද මල්ලී, ඉඳා බලපන්"

"ෂඃ පට්ට පාර, කවුද බං මේ"

"වෙන කවුද අඅඅඅඅඅ......"

"අලුත්ම කෑල්ල ...........?"

"නැතුව නැතුව"

"ෂිහ් මරු බං , කොහෙන්ද සෙට් වුනේ, කොහෙද වැඩ කරන්නේ....?"

"කොහෙවත් වැඩ කරන්නේ නෑ, ................... ගර්ල්ස් කොලේජ් එකේ තාම ඕ ලෙවල් කරන්නේ"

"යකෝ බලු වැඩ කරන්න එපා බං "

"ඇයි"

"අඩෝ තෝ හරි වෙලාවට බැන්ද නම් උඹට ඔය වයසේ ළමයිනුත් ඉන්න ඕන"

"පල පල ඉරිසියා කාරයා , තිස් හතරත් වයසක් ද බං, අනික මේ උන්ට කැහිල්ල හැදෙන කාලෙනේ, ඉතින් කොහෙන් හරි හොඳට කෑම තමයි ඕනේ , තාම හරියට සැපක් ගත්තේ නෑ, මොකද කියන්නේ උඹටත් ඒකිගේ යාලුවෙක් සෙට් කරලා දෙන්නද? කොහෙද තෝ ඉන්න හැටි විතරක් හැට පැනලා හොට බිම ඇනිලා වගේනේ "

"අනේ මට එපා, මේ මචං මොකක්දෝ පෙර පිනකට උඹට ලස්සන පෙනුමක් නම් ලැබිලා තියෙනවා තමයි ඒත් ඔයවගේ වැඩ මම නම් අනුමත කරන්නේ නෑ මචං, උඹ දැන් ඔය වගේ කෙල්ලෝ කීයක්‌ නම් අමාරුවේ දාලා ඇද්ද?"

"බම්බුවක් අමාරුවේ දැම්මා , උන්ට තියෙන ඇම්මට මං පලිද? අපි ඉල්ලුමට සැපයුම දුන්නා විතරයි මල්ලි,"
"නිකං තියෙන කොකෝ අපි කෑවම මොකෝ"
" ඒක නෙවෙයි මොකක්ද උඹ අර පත්තරේ ගැන කිව්වේ"

"හරි හරි ඔහොම පලයන්කෝ , කොට්ටෝරුවත් ගියාලු ඔහොම කෙහෙල් ගහක් හම්බ වෙනකන්"
"මම ඇහුවේ පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා"

"ම්හ් .........දන්නේ නෑ , මොකක්ද?

" හයවෙනි පිටුව"

"ඒ මොකද? "

" ඇයි බං පලවෙනි පිටුවේ හැම නිව්ස් එකක්ම අන්තිමට තියෙන්නේ "....හයවෙනි පිටුවට....." කියලා."

"හඃ හඃ හා ... සිරාවටම"

.....................................................................................


 "විසල් අයියේ ..."

"ම් ........."

"ඇත්තටම ඔයා ඒ කම්පැණි එකේ මොනාද කරන්නේ, මොකක්ද ඔයාගේ පෝස්ට් එක '

"ම්හ්...........මම මේ ........... ඇසිස්ටන් මැනේජර්.....මේ ....සේල්ස්  සෙක්ෂන් එකේ."

"ඇත්තද "

"ඔයාට බොරු කියනවද සුදූ මං , ඒක නෙවෙයි දිලූ .... ඔයාගේ තාත්තාගේ බිස්නස් එක මොකක්ද?

"අනේ ඒ ගැන කතා කරන්න එපා විසල් අයියේ ..........මට එපාවෙලා ," දිලුක්ෂි එහෙම කියනකොට විසල් ටිකක් විතර ගැස්සුනා, කුඩු බිස්නස් කාරයෙක්වත්ද?

" අනේ සොරි මගේ සුදූ ...... මම ඔයාව රිද්දවන්න ඇහුවා නෙවෙයි පැටියෝ. ඕකේ, ඕකේ  ඔයා අකමැතිනම් අපි කතා නොකර ඉමු ඒ ගැන."

"නෑ විසල් අයියේ , එයා කරන්නේ ස්පෙයා පාට්ස් ගෙන්නන එක, අම්මත් එයත් එක්කම දවසම බිස්නස්, මට කතා කරන්නවත් ගෙදර කවුරුත් නෑ, රෑ වෙලා එනවා  දිලූ කෑවද කියලා අහනවා , නිදාගන්නවා අයෙත් උදේම යනවා,"වැටකෙයියා  පඳුර මුල දෙන්නා ඉඳගෙන ඉන්න සිමෙන්ති බංකුව නියපොත්තෙන් හූරන ගමන් දිලුක්ෂි දිගටම කතා කළා.
"වීකෙන්ඩ් වලවත් ගෙදර නෑ, අර සර්වන්ට්ලත් එක්ක මම තනියම ගෙදර, ඔයා දන්නවද ගිය සිංහල අවුරුද්දටත් අම්මයි තාත්තයි ජපන් ගියා, දෙන්න ගියෙත් වෙනවෙනම, ඒත් බිස්නස් වැඩකට , මම ආච්චිලාගේ ගෙදර "
"ඇත්තටම විසල් අයියේ මට එපාවෙලා ඉන්නේ"
"අහම්බෙන් වගේ ඔයාව හම්බවුනේ නැත්තම් ,මට පිස්සු හැදිලා , ඔයා කවදාවත් මාව තනිකරන්නේ නෑ නේද විසල් අයියේ" මුහුද දිහා බලාගෙන ඒ ටික කියනකොට දිලුගේ මූනේ තිබුනේ හරිම දුකක්.

"පිස්සුද සුදූ, ඔන්න බලන්න ඔයාගේ වයස හරි ගිය ගමන් මම ඔයාව බඳිනවා, එතකොට ඔයාට කිසිම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ,"

දිලුක්ෂි තව ටිකක් විසල්ගේ උණුසුමට ගුලිවුනා, විසලුත් දිලුක්ෂිව තව ටිකක් ලං කර ගත්තේ හරිම නොඉවසිල්ලෙන්,

"දිලූ ..."

"ම් ....."දිලුක්ෂි තාමත් ඇස්දෙක පියාගත්ත ගමන්මයි

"අපි කොහෙට හරි යමුද"

"කොහෙද "          දිලූ ඇහුවේ මොහොතකටවත් ඇස් දෙක අරින්නේ නැතුව. හරියට ඇස් දෙක ඇරියොත් විසල් නැතිවෙයි කියලා බයෙන් වගේ.

"මේ ළඟ තියෙනවා මගේ යාලුවෙක්ගෙ බෝඩිමක් . එහෙ කවුරුවත් නෑ අපිට නිදහසේ ඉන්න පුළුවන්,"

"මොනවා.... අනේ මට බෑ අයියේ" එක සැරේම විසලවා අතඇරපු දිලුක්ෂි  හයියෙන් කිව්වා ,

විසල් වට පිට බැලුවේ ඒ කෑගහපු සද්දේ කාටවත් ඇහුනද කියලා බලන්න වගේ.

"ශ් ශ් ශ් කෑගහන්න එපා දිලූ "
"අනේ නෑ දිලූ ...... එහෙම දේකට නෙවෙයි ...ඔයාගේ හිත හැදෙනකන් කතා කරන්න තැනකුයි මට ඕන කලේ , මෙතෙන පෙන්නේ නැද්ද හැම එකාම කන්න වගේ අපි දිහා බලනවා, මේක ඔයාටමනේ හොඳ නැත්තේ, වැරදිලාවත් ඔයාගේ තාත්තා අඳුරන කෙනෙක් හිටියනම් එහෙම , විනාසයිනේ, මට මොනවා වුනත් ඔයාට අවැඩක් වෙන්න දෙන්න බෑනේ රත්තරං" විසල් කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

" අනේ අයියේ......ඉහි ඉහි ඉහි .........හ්හ්..." ඒ පාර දිලූ විසල්ගේ මූණ අතගගා අඬන්න පටන් ගත්තා

"අනේ .....ඇයි දිලූ අඬන්නේ ? ඇයි ඇයි මේ"

"අනේ  නෑ අයියේ... ඔයා මගේ ගැන හිතලා , මගේ හොඳට කියපුදේටත් මම ඔයාව සැක කළා , මට සමාවෙන්න විසල් අයියේ..මගේ අම්ම තාත්තාවත් මං ගැන මෙච්චර හිතන්නේ නෑ විසල් අයියේ , එයාලත් මේ වගේ  මං ගැන හිතනවානම් ......................"

.................................................................................................................................................

" මචං විසාලා මේ බලපන් "
"පළාත්සභා මන්ත්‍රී ගුරුවරිය දනගස්වයි...... වයඹ පළාත්සභා මන්ත්‍රී වරයෙක් තම දුවට විනය හේතු මත දඬුවම් කලබව කියන ගුරුවරියක් පාසලේදීම දණගස්වා........................................... හයවන පිටුවට " ..................කෝ බං හයවෙනි පිටුව .....අඩෝ ඕක දියන් බං  පත්තර කෑල්ල බඩ උඩ තියාගෙන මනෝ ගහන්නේ නැතුව. "
"මොකද මේ......"

"මචං අර කෑල්ල"

"මොන"

"ඇයි බං මං අර ෆොටෝඑක පෙන්නුවේ"

"ඉතිං"

"ඒකි ගානට හරවගත්තා, දැන් ඉතිං කොහේ හරි ඉක්මනට ඇදලා වැඩේ ඉවරයක්‌ කරන්න ඕන,"

"අනේ මේ උඹ මගෙත් එක්ක මීටපස්සේ ඕවා කතා කරන්න එපා හරිද?" කේන්ති ගිය සුරංජිත් වේගෙන් අනිත් පැත්ත හැරෙද්දී ඇඳ චිරි චිරිස් ගෑවා

"හා හා ඇඳ ඇඳ, කැඩෙයි ඕක .........ඕකනේ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා"

"අනේ පල"

.................................................................................................................................


ක්රාස් ............

ත්‍රීවීල් රථයේ බ්රේක් පාරට "සිසිල ගෙස්ට්" මිදුලේ නිදාගෙන හිටපු බලු තඩියා ඔලුව උස්සලා කම්මැලි බැල්මක් දාලා ආපහු නිදාගත්තේ, මට ඕවා හොඳට පුරුදුයි කියන්නා වගේ,

ත්‍රීවීල් එකෙන් බැහැපු විසලුයි, දිලුක්ෂියි ගෙස්ට් හවුස් එක ඇතුලට යනකොට දිලුක්ෂි තදින්ම විසල්ගේ අත අල්ලාගෙන හිටියේ ඇත්තෙන්ම එයාට මේක නුහුරුම අත්දැකීමක් වුනු නිසා, ඒත් කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් හිතපුරා සක්මන් කරන වගත්, ඇඟ පුරාම හිරිගඩු පිපෙන්නා වගේ දැනෙන නිසා කාටවත් ඒ වෙනස දැනුනද බලන්න දිලුක්ෂි හොරෙන්ම වටපිට බැලුවා.

ගෙස්ට් හවුස් එකේ කවුන්ටරේ හිටපු වයසක තට්ටයා දිලුක්ෂි දිහාවේ කෑදර බැල්මක දාලා ,විසල් දිහාවට ඇහැක් ඉඟිමරනවා වගේ දිලුක්ෂි දැක්කත් ,ඒක එච්චර සැක කරන්න තරම් දෙයක් කියලා දිලුක්ෂිට ඒ වෙලාවේ හිතුනේ නැත්තේ , මේ ඉන්න මිනිස්සුන්ගෙන් වහං වෙලා ,විසල්ගේ පපුවේ ඔලුව තියාගෙන තමුන්ගේ හැම දුකක්ම තනිකමක්ම කියලා විසල්ගේ ආදර බර වචන වලින් හිත සනසාගන්න තියෙන වුවමනාව නිසා.

"එක්දාස් එකසිය පනහයි සර් , ත්‍රීවීල් එකටත් එකසිය පනහක් දෙන්න ඕනෙනේ සර්, සර්ට ඉතිං සිස්ටම් එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ, කවුන්ටරේ හිටපු තට්ටයා, එහෙම කියද්දී විසල් ඉක්මනට දිලුක්ෂි දිහා බැලුවේ ඒ ටික දිලුක්ෂිට ඇහුනද බලන්න වගේ,
" කට කට...."

"සොරි සර් .... අයිඩෙන්ටි දෙක දෙනවද සර් "

"ආ .............."

" අමන්දා දිලුක්ෂි සමරනායක ....උපන් දිනේ....සර් මිස්ට දහ අටට.............."

"හරි හරි තමුසේ කටවහගෙන මේක තියාගන්න්වකෝ, මොනා හරි අවුලක් වුනොත් මම බලාගන්නම්"
විසල් දීපු අමතර රුපියල් පන්සීය නිසා තට්ටයගේ කට එකපාරටම වැහුනා.

"ඇයි විසල් අයියේ "

"නෑ මේ මිනිහා අහනවා රෑටත් ඉන්නවද කියලා "

'ඉතිං'

"ඉතිං මම කිව්වා ඔයා ඉන්නම ඕනේ කිව්වොත් ඉන්නවා කියලා"

"චික්.... හිතේ ඇති ... නෝටියා.........."

දිලූ විසල්ගේ අත කෙනිත්තුවේ බොරු තරහක් මූනට මවාගෙන.

කාමරේ දොර ඇරගත්තු විසල් , දිලූව කාමරේ ඇතුලට ඇදගත්තා ,

කාමරේ ඇතුලේ තිබුණු අපිරිසිදු අඳුරු පෙනුමයි, අමිහිරි ගඳයි දිලුගේ මූන අකුලවන්න සමත් වුනා. නහය අකුලාගෙන දිලූ විසල් දිහා බැලුවේ නොරිස්සුමෙන් වගේ,

ඒත් ඒ ගැන තැකීමක් නොකරපු විසල් ඇඳේ වාඩිවෙලා දිලූව  තමුන්ගේ ළඟට ඇදලා ගත්තේ නොඉවසිල්ලෙන් ,

"අනේ ....අනේ....අයියේ............."
ඒත් දිලුට කතා කරන්න විසල් ඉඩ දුන්නේ නෑ, විසල්ගේ රැවුල් කොට මූන පුරා ඇනෙනකොට ,දිලූගේ හිත ආයෙමත් අර නුහුරු හැගීමෙන් පිරෙන්නට වුනා, ඇඟපුරා අයෙමත් හිරිගඩු පිපෙන්න පටන්ගත්තා, මේකට විරුද්ධවෙන්න ඕන වුනත් මේ මිහිර එපා කියන්න තරම් ශක්තියක් දිලුට තිබුනේ නෑ, කීප සැරයක්ම විසල්ව තල්ලු කරන්න උත්සාහ කරත් හැඩිදැඩි , පළපුරුදු විසල්ට අවනත වෙලා, ඒ කවදාවත් නොවිඳපු මිහිර වීඳිනවා  හැරෙන්න වෙන කරන්න යමක් දිලූට හිතා ගන්න බැරි වුනා. ඒ අතරේ සීලිමේ එල්ලිලා තියෙන විදුලි පංකාව බොඳ වෙවී වේගෙන් කැරකෙනවා දිලූ දැක්කා.

........................................................................................................

"මචං විසල් මම අද දවසම උඹට කෝල් කරන්න ට්‍රයි කරනවා ෆෝන් එක ඕෆ්නේ මචං "

" ආ මචං ඒ නම්බර් එක මම වෙනස් කළා , උඹට කියන්න බැරිවුනා, මෙන්න අලුත් එක , ඔන්න සේව් කරගනිං මම මිස්කෝල් එකක් ගහන්නම්."

"මොකද හදිසියේම නම්බර් එක වෙනස් කරේ"

"අරකිගෙන් මල වදේ බං"

"කාගෙන්ද බං"

"අර ඉස්කෝලේ කෑල්ලගෙන්"

"කවුද, අර උඹ පහුගිය ටිකේම අතන මෙතන මාස ගානක් චාටර් කරපු බඩුවද, දිලුක්ෂි ?"

"හ්ම්..... ඒකිට ප්‍රශ්නයක්ලු , හම්බ වෙන්න ඕනෙලු, අරකයි මේකයි දන්නේ නැද්ද?"

'ඉතිං උඹ හිතන්නේ සිම් එක විසි කරාම ඕන වුනොත් උන්ට උඹව හොයා ගන්න බෑ කියලද?"

"බෑ තමයි , ඒ සිම් එක මගේ නෙවෙයි, අපේ ඩිලිවරියේ වැඩකරපු ජෙගනාදන්ගේ නමට තියෙන්නේ, ඌ ගියමාසේ ඉතාලි යනකොට මම උගෙන් ගත්ත එකක්, ඇඩ්රස් තියෙන්නේ හැටන් එකක් "

"උඹ එල්ලුම් ගස් යවන්න ඕන එකෙක් බං, ඉතිං දැන් මොකද කරන්නේ ?"

"ඉතිං දැන් ඒක ඇති බං, මොකද මම ඕකුන්ව බඳින්නද ? පව්ඩර් බබාලා"

"ඒ වුනාට උඹ පහුගිය ටිකේ වහ වැටිලා හිටියේ "

"අතිරහ වුනත් හැමදාම කනකොට එපාවෙනවනේ මචං, ඒක වගේද මේක ..ඉඳා බලහං"

"අප්පට සිරි කවුද බං මේ"

"හොඳයිද, හෙන ගේමක් දීලා සෙට් කර ගත්තේ , ප්‍රයිවට් බෑන්ක් එකක ,ලඟදි ආපු කෑල්ලක්"

" හ්ම් හ්ම් ... හොඳා හොඳා, කරන කලට පව් මීරිය මීසේ කියලා විතරක් මතක තියාගනින් මචෝ .කෝ පත්තරේ"

"දන්නෑ මම තාම බැලුවේ නෑ."

.............. පත්තරේ අතට ගත්තු සුරංජිත් ඇඳේ විට්ටමට හේත්තු වෙලා පත්තරේ කියවන්න ගත්තේ ඒක පුරුද්දට වගේ හැමදාම කරන නිසා. චික් චික් ගැන සද්දෙට ඇඳේ ඉඳන්ම උඩබලපු සුරංජිත් දැක්කේ හරියටම තමුන්ගේ මූණ කෙලිම බාල්කෙ ඉන්න තඩි හූනෙක්, සූනන් ඇඟ වැටීමේ පලාපල කියලා ලිතේ තියෙනවා මතක් වුනත් පලාපලේ මොකක් වුනත් මේකා ඇඟට හුලිජ්ජ පාරක් වත් දායිදෝ කියන සැකේට සුරංජිත් ඇඳේ අනිත් පැත්තට ඔලුව දාගෙන ආපහු පත්තරේ කියවන්න පටන් ගත්තා.

" ඒයි ඒයි ......විසලයෝ විසලයෝ ..මෙහෙ වරෙන්කො"

"මොකද බං"

" මේ බලපන් "

"මොකක්ද?"

"මේ පලවෙනි පිටුවෙම"

 පත්තරේ අතට ගත්ත විසල් ටික වෙලාවක් සුරංජිත් පෙන්නපු නිව්ස් එක දිහා බලාගෙන හිටියා,
"පිස්සු කෙල්ලෝ "  කියපූ විසල් පත්තරේ ඇඳට  විසිකරලා තුවාය කරට දාගෙන කිසිම හැගීමක්  නැතුව නාන කාමරේ දිහාවට යනවා සුරංජිත් පුදුමයෙන් බලාගෙන හිටියා.

//" පාසල් ශිෂ්‍යාව නිවසේ සඳළුතලයෙන් බිමට පනී.......................... ප්‍රසිද්ධ බාලිකා විදුහලක එකොළොස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අමන්දා දිලුක්ෂි සමරනායක (16) ශිෂ්‍යාව තම නිවසේ තුන්වන මහලේ සඳළුතලයෙන් බිමට පැනසියදිවි හානිකරගෙන ඇත. පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ මිය යන විට ඇය තුන් මස් ගැබිනියක්.............................හයවන පිටුවට."//

48 comments:

  1. ඔබගේ පරිකල්පනාව මෙහෙයවා ඇති අයුරු අපූරුයි. සුලභ මාතෘකාවක්. මෙවැනි සිද්ධීන් දිනකට සත්‍ය වශයෙන්ම කීයක් වෙනව ද? මට මේ ගැන මීට වඩා අනුවේදණීය අත්දැකීම් තිබෙනවා. දිනක ඔබට මම පුද්ගලිකව කියන්නම්. ඉන් ඔබගේ කතා කලාවට යම් සේවයක් වෙයි කියා සිතෙන නිසා. හැබැයි සිද්ධීන් පමණයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වෙද මහත්තයා,ඇත්තටම මමත් කැමතියි ඒවා සියල්ලම දැනගන්න , මොකද බොහෝ අනුවේදනීය කතාන්තර වල ඇතුලාන්තය අපි දන්නෙම නැති තරම්,

      Delete
  2. හප්පා මෙහෙම හරියකට යයි කියල හිතුවේ නෑ.. ඇඟත් හිරිවැටුන...

    ReplyDelete
    Replies
    1. අදත් තැනක දැක්ක ගබ්සාව ගැන කමෙන්ට් එකක් එක්ක මේක සැසඳුනේ නිකම්මයි අප්පා...

      Delete
    2. ගොඩක් මේ වගේ ඇඟ හිරිවැටෙන කතා තියෙනවා හිරු, අපි දන්නේ ටිකයි,ගබ්සාව ගැන මම කරපු කතාවක් (ටෝස්ට්මාස්ටර් ක්ලබ් එකේදී) තියෙනවා මම වෙලාවක ඒක දාන්නම්, බලන්නකෝ .

      Delete
  3. මට ඇත්තට ම කියන්න දෙයක් නැහැ, ඉවාන් අයියේ. මේක නිසා මගේ හදවත නතර වුණා මගේ එක ම එක මොහොතකට.

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා, මේවගේ දේවල් සුලබ වෙලා සමාජය මේවා ගැන අසංවේදී වෙලා, එහෙම හදවත නතරවෙන්නේ තවමත් සංවේදී හදවතක් තියෙන මනුස්සකම තියෙන අයට විතරයි.

      Delete
  4. අනේ මන්ද ..කාගෙ පිට වරද පටවන්නද කියල..මුලින්ම..අවජාතක කොල්ලට..ඊලඟට..දෙමාපියන්ටද..??? පරිකල්පනය උපරිමයි..හැබැයි සැබැ නොවන්නක් නොවෙයි..!

    ReplyDelete
    Replies
    1. අනිවා මෙහෙම සිද්ධි ඕනා තරම්, වරද කාහේ වුනත් වන්දි ගෙවන්නේ අහිංසක ජීවිත.

      Delete
  5. පරිකල්පනයනම් විශිෂ්ටයි.....කම්පනයක් ඇතිකරන්නට තරමි සමත්...
    සුළු සුළු අඩුපාඩු නැත්තෙමත් නෑ. තව ටිකක් භාෂාව එක්ක ඔට්ටු වුනානම් හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා සෑහෙන කාලෙකට පස්සේ, අඩු පාඩු ගොඩක් ඇති සුමිත් අයියා, ඇත්තටම ඒවා කොමෙන්ටුවකින් හෝ පෙන්වාදෙනවානම් ඊළඟ වතාවේ නොකරන්න වගබලාගන්න පුළුවන්, භාෂාව තව ටිකක් මටසිලුටු කරන්නත් ඕන බව මටත් තේරුනා.

      Delete
  6. පොඩ්ඩක් දිගයි.. මීට වඩා රහට ලියන්න පුළුවන්.. කළබල වෙන්න එපා.. දෙසරයක් තුන් සැරයක් කියවලා දාපන්.. අඩු පාඩු උඹටම අහුවෙයි.. මේකට හයවෙනි පිටුවට කියලා නම දැම්මනම් ඊට ලස්සනයි..

    කොහොම හරි,, හදවත පොඩ්ඩක් නතර උනා. ඒක ලියන හැම එකෙකුටම කරන්න බැරි දෙයක්...

    සාර්ථකයි...

    ReplyDelete
    Replies
    1. ටිකක් දිග තමා, ඒත් කොතනින් කොට කරන්නද කියලා මට හරියටම හිතාගන්න බෑ,කතාවේ ප්‍රධාන සිද්ධිය කොටස් දෙකකට නොදා ඒක කොටසක් වුනානම් හොඳයි වගේ නේද?

      Delete
    2. හ්ම්... කොහොම හරි කලබල වෙන්නේ නැතුව.. කොලිටිය මේන්ටේන් කරන්න වෙයි.. මොකෝ හයි හෝප්ස් දීලා ඉවරනේ...

      Delete
  7. රුපියල් අස්ෙස් අලුක්කාල් ගහන්ෙන් ෙමාකටද යාළු , ඉක්මනටම අළුත් ඒක ලියහං

    ReplyDelete
    Replies
    1. මොනවා බං අලුක්කාල් ගැහිල්ලක් කියන්නේ, උඹ ලියනවද නැද්ද හොඳහිතින් අත පුච්චපු එකේ ඉතුරු ටික.

      Delete
  8. මලයෝ උඹේ කතා කියන ආකෘති නම් සුපිරිම තමා. පත්තරේක ඔය පිටුවට කට වහරට කියන්නේ කන්ටිනීව් පේජ් එක කියලා. පත්තරේ අන්තිමට හැදෙන්නේ ඔය පිටුව තමා.අනික ඔය පිටුව හදන්න ගන්න එකා නාහෙන් අඩනවා. මොකද පළවැනි පිටුව ඉවර කරන කන් මේ පිටුව පටන් ගන්න බැරි නිසා. බොහෝ වෙලාවට මේ පිටුව දෙන්නේ ආධුනික උපකර්තෘවරයෙකුට තමයි. සීනියර්ම එකා මුල් පිටුව හදනවා.
    මේ කතාවේ හයවැනි පිටුවට හා මරණය මාර ගැලපිල්ලක්.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා, මට ඇත්තටම තිබ්බ ප්‍රශ්නයක් තමයි ඔය හයවෙනි පිටුව හදන එකා මාර කට්ටක් කනවා ඇතිනේද කියන ඒක.බලනකොට ඇත්තටම ඒක එහෙම තමා නේද? ,ස්තුතියි නලින් අයියේ.

      Delete
  9. මචං අයියේ... උඹ ඔය කොන්ක්‍රීට් රස්සාව අත ඇරලා කෙටිකතා පැත්තටම බැහැපන් බං!

    ReplyDelete
    Replies
    1. එහෙම අසාවක් නැතුවම නෙවෙයි නාඩි මලේ. කොහොමත් සැබෑ ජීවිතේදී අපි ගොඩදෙනෙක් කරන්නේ ආසම දේ නෙවෙයිනේ.

      Delete
  10. මාත් හරි ආශාවෙන් උන්නෙ ලස්සන කතාවක් ලියන්න ඒත් ඉතින් කොහෙද හිතේ තිබුණට ලියා ගන්න බෑනේ. හරි ලස්සන කතාවක් හරි ලස්සනට ගළපලා තියෙනවා කතාව එක දිගට කියවගෙන යනකොට සංකල්ප රූප මැවෙනවා

    ReplyDelete
    Replies
    1. බැරි නෑ බං පුලුවන්,උඹේ කවි හැකියාව බැලුවම උඹ කතාවක් ලිව්වොත් ඒක බ්ලොග් ලෝකේ හොඳම එකක් වෙන බවට සැකයක් නෑ, ට්‍රය් කරපං, අනිවා අත දෙන්න හොඳ බොක්කේ යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා.

      Delete
    2. @ වැව් ඉස්මත්ත
      ලියපං බං. මොක නැතත් අපි එනව කියවන්න.

      Delete
  11. මේ පාදඩයා 2 නේද ඉවාන්. උඹේ මේ කෙටිකතා වලට නම් මම මාර ආසයි බං. මම ආසම අර පොත කියවලා මිනිහෙක් වෙන්න කොළඹ ආපු එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් , පාදඩයා 2,3,4,5,6,...... ඕන තරම් ලියන්න අපේ සමාජය පාදඩයෝන්ගෙන් පිරිලා. පොත කියවලා මිනිහෙක් වෙන්න ආපු කතාව මගේ හිතේ ගොඩක් කාලයක් තිබුණු එකක්.

      Delete
  12. කතාව භාව ප්‍රකම්පණයක් ඇතිකරන්න සමත් වුනා ඉවෝන්, (සහන් දාපු නම :-D) උඹ තව තවත් දියුණු වෙයි ඉස්සරහට. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මචෝ, සහන් දාපු නම නම තමයි, ඒත් ඒක ගෑනු නමක්නේ, යුනිකෝඩ් වලින් ටයිප් කරද්දී ඔය වැඩේ වෙනවා සහන්ටත් එහෙම වුනාද දන්නේ නෑ.

      Delete
  13. ubata ridenna liyanna puluwan machan.digatama liyapan.good luck

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං දිරිගැන්වීමට

      Delete
  14. බොරුවක් කියනවා නේමි අය්යන්ඩ්...කියන්න වදන් නැහැ
    ඉටමට් ඉහලයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔය ලියන්නේ සිංහල අගේට ජයවේවා.

      Delete
  15. මගේ තිබුන ප්ලැන් ගොඩක් වෙනස් කරන්න හිතුනා,
    අපිව බය කරන්න එපා

    ReplyDelete
    Replies
    1. හා, හා, බලාගෙනයි, දෙතොලේ කටු ඇනේ,

      Delete
  16. කාලෙකින් කියෙව්ව ලස්සන කෙටි කතාවක් , කලින් කතාවත් කියෙව්වා මම කියවන බ්ලොග් කිපයට මේ බ්ලොග් එකත් එකතු උනේ ඒ කතාවට පස්සේ . හැකියාව උපරිමයි . දවසක කෙටි කතා පොතක් එළිදක්වයි කියල හිතනවා. මේ කොලිටිය දිගටම තියාගන්න හැකියාව ලැබේවා .

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසකුත් තියෙනවා, බලමු, කොහොම වුනත් බොහොම ස්තුතියි.

      Delete
  17. මම හිතන්නේ මම මෙහෙට ගොඩ වුන පළමු දවස අද. දැන්නම් ඔක්කොම කතා ටික කියවන්න හිතෙනවා ඉවාන්, බ්ලොග් කියවීම් එපා වෙගෙන යන වෙලාවක මේ අඩවිය අස ගැටුන එක ගොඳයි.

    හරිම සංවේදී විදිහට ඔබ කතාව අවසන් කරලා තියෙනවා. ඇත්තටම මෙවැනි සිද්ධීන් කොතරම් නම් වෙනවද මේ සමාජයේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයිලාස්ගේ පැමිණීම මහත් සතුටකි, දිගටම එන්න, බොහොම ස්තුතියි.

      Delete
  18. මේවා සමාජයේ නිතර සිදුවන සිදුවීම් ,

    උබ ලස්සනට ලියලා තියෙනවා .
    ජය__

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ, මේ අගය කිරීම් ඉහලම දිරිමත් කිරීමක්.

      Delete
  19. උඹේ කතාවල් හොඳයි. එහෙන් මෙහෙන් එල්ලල හදන ආකෘතිය තවත් හොඳයි. කතා දෙකක් බැලුව. දිගටම ලිව්වොත් සාර්ථක කතන්දරකරුවෙක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්, මේ පැත්තේ ආවාට , දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා, ඒ සඳහා ඔබලාගේ මී සහයෝගය අවැසි වෙනවා බොහෝසෙයින්, දිගටම එන්න.

      Delete
  20. කුරිරුයි අයියෙ, කුරිරුයි මේ සමාජය.....:)

    http://malindawords.blogspot.ca/2013/06/wijeweeras-daughter.html

    ReplyDelete
  21. මේ තියෙන්නේ සත්‍යය....අද කාලේ පථ්ථරක්යක් ගත්තොත් මේ වගේ ඒවා කීයක් නම් වෙනවද..
    ප්‍රගීත්...කතාව අගයනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා අක්කේ, මේ සිදුවීම් ඇත්තටම දැන් සාමාන්‍ය වෙලා

      Delete
  22. අන්තිම පේලි දෙක කියවලා තවමත් අතපය වෙවුලනවා වගේ..... හ්ම්ම්... අපේ කැම්පොස් එකෙත් වුනා ඔයිට බොහොම සමාන සිදුවීමක්.

    අනේ පවුලූශෝ මම හිතුවෙ විසල් කාරයාගෙ නම පත්තරේ දාලා... ඌට පොලීසි යන්න වෙයි කියලා. ඒත් නිවුස් එක දැක්කාම,,,, මාරම ඇන්ටික්ලයිමැක්ස් එකක් තියෙන්නෙ එතන!!!

    ReplyDelete
    Replies
    1. අපි හිතන්නේ එහෙම වුනානම් හොඳයි කියලා, එත් එහෙම නොවිසඳුණු කතා කීයක්නම් තියෙනවද බස්සි.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]