Tuesday, July 30, 2013

වයස හරිද?.... තාම නැද්ද?



ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහක වූ ජූලි මස විසි නමවන දින..........

හරි නෑ හරි නෑ.......

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් හයක් වූ ඇසල මස විසි නවවන දින ................................

ඉලව්ව නෙවෙයි බොලව් මම බ්ලොග් ලියන්න පටන් අරන් ඔන්න හරියටම අවුරුද්දයි. ඔන්න කිව්වා දන්න හිංගලෙන්.

ඉතිං මම ඉස් ඉස්සෙල්ලම  ලිව්වා මෙන්න මෙහෙම

http://iwanpaulooshaa.blogspot.com/2012/07/v-behaviorurldefaultvmlo.html


 ඉවාන් පවුලූශා
කියලා ඔන්න ලියන්නේ මම

මේකට  හා හාපුරා කියල කොමෙන්ටුවක් දැම්මේ අපේ ආදරණීය සුමිත් අයියා.......(සුමිත් නිරිඇල්ල කියලා කිව්වම මම හිතාගෙන හිටියේ හෙන වයසක ඩයල් එකක් කියලා.. එදා අවුරුදු උත්සවේදී දැක්කම මෙන්න බොල නළුවා වගේ කොල්ලෙක්)

මම බ්ලොගක් ලියන්න හිතාගෙන් හිටියේ නෑ කවදාවත්, ඇත්තට කියනවානං බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලාවත් මං දෑනන් හිටියේ නෑ ඔන්න.  ඉඳලා හිටලා ගොස්සිප් සයිට්ස් බලනවාට වඩා දෙයක් අන්තර් ජංජාලෙන් කොළෙත් නෑ.(අරවා බැලුවේ නැත්තේ නෑ)

දවසක් මම ඔහේ ගූගලේ පීර පීරා අරමුණක් නැතුව ඉබාගාතේ යනකොට අර හොට් ඩෝග් බනිස් ගෙඩියක් මැදට බල්ලෙක් තියපු ෆොටෝ එකක් තියෙනවා දැක්ක මොන හුට්ටප්පරයක්දමේ කියලා ඔබලා බැලුවා ඒක ගියේ මේන් මෙතන්ට
http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම 

 බලනකොට ඒක හුට්ටප්පරයක් නෙවේ අටම්පහුරක්. ඉතිං මං මේක ඔක්කොම කියෙව්වා. වැඩේ ටිකක් නැගලා ගියා , 
ඊලඟට බලද්දී කොමෙන්ට් කොරන්න තැනකුත් තියෙනවා. 
ඇනෝ, පැනෝ, ඇන්න පැනෝ මොකක්වත් මම දැනගෙන හිටියේ නෑ. 
හොයලා හොයලා කොමෙන්ට් කරා අටමගේ පොස්ට් එකකට . 
මතක් වුනේ නමක් දාන්න ඕන කියලා... දැම්ම ඉවාන් පව්ලූශා කියලා හැබැයි ප්‍රොෆයිල් එකක් හැදුවේ නෑ. ටික දවසක් යනකොට මෙන්න අටමා මොකක්ද කරලා ,ප්‍රොෆයිල් එකක් නැතුව කොමෙන්ට් බෑ, 
ඊට පස්සේ හැදුවා ප්‍රොෆයිල් එකක්.
මෙහෙම යනකොට බ්ලොගක් අටවාගන්න ඕනේ කියලා හිතිලා තමයි මේක කොරේ........ මුලින්ම කලේ අතන මෙතන තිබ්බ ඒවා උපුටාගෙන දාපු ඒක තමයි. මගේම කියලා ලියපු පොස්ටුවක් දැම්මේ ටික දවසක් ගිහිං
ඔකේ කොමෙන්ටුවක් දැම්ම අටමා. "මචන් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් " කියලා මොකක්ද බොල වෝර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ, ඔන්න දැන් අටමා දෙනවා උපදෙස් ෆලෝ කරන ගැජට් ඒක දාහන් ,අරක දාහන් මේක දාහන් කියකියා. මම මෙලෝ හසරක් දන්නේ නෑ.  
දැම්මා මේලක් අටමට . ඔන්න ඌ එව්වා ෆෝන් නම්බර් එක. දැන් එදා රෑ තිස්සේ ෆෝන් එක කනේ ගහගෙන මම අටමා කියන ඒවා කර කර බ්ලොගේ මේ තත්වෙට ගෙනාවා.
 ඊට පස්සෙත් අටමා කියපු අරවා මේවා කරකර මේකේ එක එක ඒවා හැදුවා. මේකා කියපි "දාපන් මචං සින්ඩි වලට" කියලා ,ඉතින් ඒවාට ඇප්ලයි කරා, මාතලන්ගේ සින්ඩියේ විතරයි කියපු ගමන් එල්ල ගත්තේ.අනික් ඒවාට ඇප්ලයි කරලා කරලා අනේ මන්දා ......
දැන්නම් කීපයකම අප්ඩේට් වෙනවා.
ඊට පස්සේ ගියා සයිබර් බක්මහ උළෙලට , ඒ වෙනකොට මම කාවට දන්නේ නෑ. මං ගියේම කට්ටිය බලාගන්න. අටමාව දැක්කේ එදා, කතාකරලා තිබුනට අපරාදේ කියන්න බෑ අර ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියෙන හපුටු මූණ නෙවෙයි ටිකක් ප්‍රියමනාප මූණක් ඌට තියෙන්නේ.(මල පනීද දන්නේ නෑ..)
එදා  නලින් අයියා, වෙනී අයියා, සුමිත් අයියා, (වචනයක් වත් කතා නොකලට) ප්‍රසන්න අයියා, මාරයා, දුකා, නාඩියා (කන්නාඩි දෙක නැත්තං මේකා හුළගේ ගහගෙන යනවා), අඩවි රජා, මොඩන් පේට්‍රියට්, සෑම්, සුදීක ඇතුළු තව බොහෝදෙනෙක් දැක ගත්තා.
තව නොදැකපු ය බොහොමයි, එදා ඇවිත් හිටියත් මට ගොඩ දෙනෙක් මග අරුනා, මොකද ලඟට ගිහින් කතා කරන්න තරම් ගටක් නොතිබ්බ නිසා, මොකද මුන් හැමෝම හොඳට දන්නා අඳුරන විදිහට එකිනෙකා එක්ක කතා කරකර හිටපු හැටියට මට හිතුනේ මම විතරද අලුතෙන් ආවේ කියලා.කොහොම වුනත් මගේ මේ බ්ලොග් එකට ගොඩ දෙනෙක් ආවේ මාතලන්ගේ සින්ඩිය නිසා,

ඉතින්  අදට අවුරුද්දයි, අතහිත දුන් හැමෝටමත් , කියවන්න ආපු හැමෝටමත්, කොමෙන්ටු දාපු හැමෝටමත්, අඩුපාඩු පෙන්වාදුන්න හැමෝටමත්, තාක්ෂණික දෝෂ වලට උපදෙස් දුන්නු හැමෝටමත්, බොහොම පිං.

මම
ඉවාන් පවුලූශා

Friday, July 26, 2013

මඤඤන් භාවය


...........................රෙදි නැන්දයි , අපේ අම්මයි ............................
...........................හිනා කටයි , මල් දෝතයි..............................  
...................නෑදෑයෝ සනුහරේම.......................
..........................මනමාලිගේ වරුණේ කියයි...........................

..................පුතේ උඹේ මනමාලී......සිරියාවී ...සීදේවී.............
...................යාදෙවී...පිංදේවී....කිරිපැණියෙන් උතුරාවී.............
..................වාසනාව වාසනාව....................
.................අපේ කොල්ලගේ වාසනාව..................

.....................රෙදි නැන්දට තෑගී ගොඩයි..................
....................රෙදි නැන්දත් ගුණේ වනයි..................
....................පුංචි මහත්තයා පතාන .................
.................සසර පුරා ආපු කෙනෙක්.................

...............පිරිසිදු කම හරි අගේට ............
.................හරි තදේට ......රෙද්දේ මැදට............
...................මැකුනෙත් නෑ හේදුවාට...............
....................සුපිරිසිදුයි මොනවද කැට...............

...................මොකක්ද බොල මේ වෙන්නේ..............
.................කොහොමද ඒ වගේ වෙන්නේ ...........
...............ඔය මොකක්ද එක නැතිවෙන්නේ.........
......................කලකට පෙර මගෙන්මනේ...................

................කොහොම වුනත් මනමාලිව..............
..............බේරාගත්තු දේව බැල්ම..............
.................මොකක්ද කියලා බලන්න................
................ආසයි කෝ මට කියන්න..............

.............කිරි අප්පට බල්ලෝ පැනපි...........
..................ඉස්කෝලේ උත්සවේට.................
...............අරං ආපු ජපන් කොඩිය.............
...............රෙදි නැන්දගේ බාල්දියේ...........



Thursday, July 18, 2013

කවි පොත

"චිත්‍ර සර්ගෙ කෙටිකථා පොත ලියලා ඉවරයිලුනේ    "

"කව්ද ලොකු සර් කිව්වේ......"

"අරුන්දතී මිස් ඔය හැමෝටම කියන්නේ .....චිත්‍ර සර් ගැන අපි නොදන්නා කොච්චර දේවල් දන්නවද අරුන්දතී මිස්.."

ලොකු සර් ඒ ටික කිව්වේ සේපාල දිහා කන්නාඩිය අස්සෙන් අමුතුවිදිහට බලන ගමන්. ඒ බැල්මේ අවඥාසහගත ගතියයි , අවලං ගතියයි දෙකම මිශ්‍ර වෙලා තියෙනවා කියලා සේපාලට හිතුනා.

සේපාල චිත්‍ර උගන්නන ඉස්කෝලෙම ගෘහ විද්‍යාව උගන්නපු අරුන්දතී මිස්ගෙ මහත්තයා පලාලි කෑම්ප් එකට කොටිගපු වෙලාවේ අතුරුදහන් වුනාම, රණවිරු බිරිඳකගේ වීරත්වය ගැන දේශනා කරපු ලොකු සර්, ඒ සිද්ධියෙන් මාසයක් යන්නත් කලින් අරුන්දතීව කාර්යාලේදීම ඉඹින්න ගිහින් කුඩමිටි පාර කාපු හැටිත්, කවුරු නැතත් ඔයාට මම ඉන්නවා කියලා ලොකු සර් තමුන්ට අයුතු යෝජනාවක් කරපු හැටි අරුන්දතී අඬ අඬා තමුන් ගුරු විවේකාගාරයේදී කියපු හැටිත්, එවෙලේ එතෙන්ට අහම්බෙන් ආපු කා.කා.ස. පියසේන එවෙලේ ගුරුවිවෙකාගාරයේ කවුරුත් නොහිටපු එක ගැන අතන මෙතන නොහොබිනා කතා කියපු හැටිත් , ඒ සිද්ධිය දැනගත්ත ලොකුසර් එදා ඉඳං තමුන්ට හින්ට් පාස් කරන්න පටන්ගත්ත හැටිත්  දම්වැලක පුරුක් එකටෙක ඇමිනිලා තියෙනවා වගේ එකදිගට සේපාලගේ හිතේ මැවී පෙන්න වුනා.

කොහොමත් විශ්‍රාම යන්න ඔන්‍න‍ මෙන්න කියලා හිටපු ලොකු සර් ගැන සේපාලගේ හිතේ ඒතරම් හොඳ ප්‍රතිරූපයක් තිබුනෙම නෑ.

"ඒවයින් මට වැඩක් නෑ සේපාල සර්, දැන් පොත දොරට වඩින උත්සවයක් එහෙම ගන්න අදහසක් නැද්ද?

තමුන්ගේ ලේඛන කලාවට උපහාසයක්‌ මිස උපහාරයක්‌ කවදාවත් නොකරපු ලොකුසර් මේ මොකාටද එන්න හදන්නේ කියලා සේපාලට හිතාගන්න බැරිවුනා.

"එහෙම අදහසක් නෑ සර්..... හෙමීට පබ්ලිෂර් කෙනෙක් අල්ලලා ,පිටපත් පන්සීයක්‌ විතර එලියට දානවා , හම්බෙන සීයෙට දහයෙන් ලොකු වැඩක් කරන්න අමාරුයි සර්."

"එහෙම නෙවෙයි සේපාල අපි මේක ටිකක් ලොකුවට කරමු. ඇමතිතුමාව ගෙන්නලා,හොඳ උත්සවයක් එහෙම තියලා .....................'

"අපෝ සර් ඇමතිලානම් එපා....."සේපාල කිව්වා නෙවෙයි කියවුනා.

ලොකුසර්ගේ මුණ වෙනස් වුනත් අමාරුවෙන් ඒක නොපෙන්වාම ලොකුසර් අයෙත් කතා කළා.

"ඒ මොකද සේපාල..."

"නෑ සර්.... මතකනේ එක සැරයක්  සාහිත්‍ය උත්සවයකට අර වංශනාථ ඇමතිතුමාව ගෙන්නලා මහල්ලා සහ මුහුද කතාව ලිව්වේ ගී ද මෝපසාං කිව්වේ... ඔය උදවියට ඉතිං මේවගේ දේවල් හොයලලා බලන්න වෙලාවක් නෑනේ සර්... දවසකට කීයක්‌ කියලා වැඩද ඉතිං.

සේපාල ඒ වචන ටික අමාරුවෙන් හදලා කිව්වේ ලොකුසර් ගෙ දේශපාලන සම්බන්ධකම් හොඳින් දන්නා නිසායි හෙට අනිද්දා ගෙදර යන මනුස්සයාව මොකට තරහ කරගන්නවද කියලා හිතුන නිසයි කියන සිතුවිලි දෙකම එක සැරේ හිතට ආපු හන්දා.

"හැබෑටම ඒ පොත් ලිව්වේ කවුද චිත්‍ර සර්.....?"

අනේ අම්මපා මෙහෙමත් ගුරුවරු, නොදන්න එකත් අරුමයක් නෑ ඉතිං ඇමතිලාට පින් සිද්ද වෙන්නම විදුහල්පති ශ්‍රේණියට ආවා මිසක් මොන සුදුසුකමක් කියලද?

" ආ .... මේ  ඒක ලිව්වේ අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයනේ සර්......."

 කා.කා.ස. පියසේන එලියට ගිහින් බෙල් එක ගැහුවේ ඔය අතරේ.

"මං එන්නං සර් එකොළහේ පන්තියට චිත්‍ර...................."

සේපාල ඒ ටික කියනකොටම කාර්යාලයට කෙලින්ම පේන එකොළහේ පන්තියෙන් අරුන්දතී මිස් එලියට බහිනවා ලොකු සර්ටයි සේපාලටයි දෙන්නටම පෙනුනා.

"හා හා හොඳයි...ඔහෙලටනං  ඉතිං හෙමිංවේ නෙවෙයි හයිවේනේ......."

ලොකු සර් ඒ ටික කියමින් අරුන්දතී මිස් යන දිහාව බලපු හැටියට සේපාලට චික් කියලා හිතුනා.      "නාකිවිසේ ගෙටත් උසේ කියන්නේ නිකං යැයි"

..................................................................................................................................................................


"අන්න චිත්‍ර සර්ට ලොකුසර් එන්න කිව්වා......"දුවගෙන ආපු එකොළහේ පන්තියේ ශිෂ්‍යනායක සමීර හති දම දමා කිව්වේ සේපාල ගුරු විවේකාගාරයේ වාඩිවෙන්න හදනකොටමයි, ඒ වෙනකොටත් උණුවතුර බෝතලෙන්
කෝප්පෙට දාල අරුන්දතී මිස් දීපු තේ එක සේපාලගෙ අතේ. තේ උගුරක්‌ බීලම යනවා කියලා හිතාගෙන බිව්වත් තේ එකේ රස්නෙට කටයි දිවයි පිච්චුනු සේපාලට කඳුළු ආව.
.......................................................

"ආ............ ලේකම් මහත්තයා මේ තමයි සේපාල සර්... අපේ චිත්‍ර සර්.....
සේපාල සර් මේ අපේ ඇමතිතුමාගේ සහකාර ලේකම් දිසාසේකර මහත්තයයා......."

මූනේ ලේ කඳුලක් නැති පොන්ටින් කට් එක තියාගත්තු අවුරුදු හතලිහක විතර ටයි පොලු කාරයෙක් සේපාල  දිහා නොබලාම  "දැන් ඔය පොත මොකක්ද?  "

"කෙටි කතා පොතක් ලේකම්තුමා...." අම්මටසිරි ලොකු තැන පැනලා දෙනවා.


"සේපාල මම ඇමතිතුමා එක්ක කිව්වා සේපාලගේ පොත ගැන .....ඇමතිතුමා වුනත් බොහොම කැමතියි අංකුර කලාකරුවොන්ට අත දෙන්න, මොකද ඇමතිතුමා සාහිත්‍යකාමියනේ.......නැද්ද ලේකම් තුමා"

"හ්ම්ම් හ්ම්ම්"

සාහිත්‍යකාමියා ආච්චිගේ රෙද්ද ....සාහිත්‍යකාමියා නෙවෙයි කාන්තා ලෝලියා  සේපාලට එහෙම හිතුනත් එහෙම කිව්වේ නෑ.

"ඒ ගමන  ඇමතිතුමා කිව්වා ලේකම් තුමා එක්ක සියල්ල කතා කරගන්න කියලා, එහෙනම් ලේකම් තුමා අපි දිනේ දැනුම් දෙන්නම්, කතා කරගත්තු විදිහට වැඩටික කරමු."

'"හ්ම්ම් මම ගිහින් එන්නම් ලොකුසර් එහෙනම්.....එන්නම් මිස්ටර් සේපාල"

"හොඳමයි සර්..." නොද්දකින් ඒ ගමන් උඹ මෙවුන්ටත් සර් කියනවද? සේපාලගේ හිත කෑගැහුවා වගේ සේපාලට ඇහුනා.

"සේපාල ...අපි හිතුවේ පොත දොරට වැඩීම ටිකක් උත්සවාකාරයෙන් ගන්න. ඇමතිතුමා නගරාධිපතිතුමාට කතා කරලා නගරසාලාව බුක් කරලා දෙන්නම් කිව්වා. හොඳට උත්සවේ ගනිමු."

"සර් ..ඒත් මේ...."

"ඕවට සල්ලි නේද? සේපාල මමත් හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මිනිහා. මගෙනුයි කියලා මේ රටට සේවයක් වෙන්න එපැයි. ඒ ඔක්කොම මම බලාගන්නම්. සේපාල එදාට වෙලාවට ආවාම විතරක් ඇති. සේපාල පොත් ටිකක් ලැස්ති කරගන්න එදාට අරධිතයන්ට පිළිගන්වන්න." කියද්දීම මෙසේ උඩ තිබුණු ලොකුසර්ගේ මොබයිල් එක රිං වුනා..................."ආ ඇමතිතුමා .......ඔව් ඇමති තුමා........"

ලොකුසර් දෙකට තුනට නැවි නැවී කතා කරන හැටි බල බලා සේපාල කාර්යාලයෙන් එලියට බැස්සේ, සිද්ධ  වුනේ මොකක්ද කියලා තාමත් හරියට හිතාගන්න බැරුව වගේ.

'යකෝ පොත මගේ ...මුන් ඔක්කොම තීරණේ කරලත් ඉවරයි. මොකක්ද ලොක්කට මෙච්චර තියෙන කැක්කුම.
අරුන්දතී මිසුයි සේපාලයි මේ ගැන ගොඩක් වෙලා කතා කලේ ඇත්තටම මේ විපරියාසේ හිතාගන්න බැරුව.

"කමක් නෑ සේපාල ඔයාගේ පොතට ලොකු ප්‍රසිද්ධියක් වත් ලැබෙයිනේ මොක නැතත් ඒ මදෑ......" අන්තිමට අරුන්දතී කියපු ඒ කතාවට එකඟ වෙනවා ඇර විකල්පයක් සේපාලටත් හිතාගන්න බැරිවුනා.

.................................................................................................................................................................
ඊළඟ සතියෙම ඉස්කෝලේ මාතෘකාව වුනේ පොත දොරට වැඩීම, සේපාලටත් නොදැනුවත්වම සේපාලට ටිකක් විතර ආඩම්බර ගතියක් මැවුනා. යන යන තැන හැමෝම මගේ දිහා බලනවා නේද කියලා හිතෙනකොට සේපාලට ලොකු සර් ගැන කවදාවත් නොතිබුණු ලෙන්ගතුකමක් දැනෙන්න ගත්තා. වෙනදා සේපාලව ගණන් නොගත්තු ටීචර්ලා සර්ලා දැන් සේපාල හොයාගෙන් ඇවිත් ගුඩ් මෝනිං කියන්න හිනාවෙන්න ගත්තම සේපාලට සියුම් ආඩම්බරයක් දැනුනා.

................................................................................................................................................................
ඉස්කෝලේ ළමයිනුයි ස්ටාෆ් එකයි ගෙනියන්න ඇමතිතුමා බස් දෙකක් ඉස්කොලෙටම එවලාතිබුනා, ඉස්කෝලේ සර් කෙනෙක් ගෙ පොතක් දොරට වඩින වැඩක් නිසා කලාපේ ඉස්කෝල හැම එකකම ගුරුවරු ඔක්කොටම ප්‍රවාහන් පහසුකම් දීලා උත්සවේට ගේනවා කියලා ලොකුසර් කිව්වම සේපාලට පුදුම ආත්ම අභිමානයක් දැනුනා. හරියට තමුන්ට බුකර් සම්මානේ ලැබුනා වගේ හැගීමක් තමයි සේපාලට ඇතිවුනේ.

පොතේ පිටපත් එකසිය පනහක් ත්‍රීවීල් එකකට දාගත්තු සේපාල නගර සාලාව පැත්තට යනකොටම අහුවෙච්ච ට්‍රැෆික් තදබදේ නිසා හිටියේ නොඉවසිල්ලෙන්,

කාලකන්නි යක්කු මෙච්චර කල් ගිහිල්ලා ප්‍රින්ට් පන්සීය ඉවර කරගන්න බැරිවුනානේ, ඒක තියාගත්තා අන්තිම මොහොත වෙනකං    "තදබද වෙච්ච වාහන අස්සේ හිරවෙලා ඉන්න අතරේ සේපාලට කේන්තියෙන්  එහෙම හිතුනේ මූනේ කුරුලෑවක්‌ මිරිකන ගමන් ,චිරිස් ගාල කුරුලෑව කැඩෙනවත් එක්කම විසිවෙච්ච ලේ බින්දු දෙකතුන ඉක්මනට පිටිඅල්ලෙන් පිහිදගත්තේ ත්‍රීවීල් එකේ කන්නාඩියෙන් මූණ බලන ගමන්.

"ශික් නවය වෙන්න කලින් යාගන්න බැරිවෙයිද දන්නේ නෑ."

"මල්ලි කොහෙන් හරි දාලා ඉක්මනට යමු...මට හදිස්සියි,...."

"හදිසි වුනාට උඩින් යන්නැයි මහත්තයා.......දැන් ළඟනේ පොඩ්ඩක් ඉවසලා ඉමු..."

 වෙලාව බලන්න අත දිහා බලනකොට තමයි සේපාල දැක්කේ හදිසියට ඔරලෝසුව බැඳගෙනත් නැතිබව. අපරාදේ මේ උත්සවේටම බඳින්න කියලා අරුන්දතී ගෙනත් දීපු ඔරලෝසුව. දැන් තරහ වෙයිද දන්නේ නෑ.

කොහොම  හරි සේපාල නගර සාලාවට යනකොට විනාඩි හතළිස්පහක් විතර පරක්කුයි.... ශික් මේක මනමාලයා නැති මගුල් ගෙයක් වෙලාද දන්නේ නෑ. සේපාල පොත් බෑග් එකත් කරේ ගහගෙන නගර සාලාව දිහාට දුවගෙන් ගියේ නොඉවසිල්ලෙන්,

සේපාල්ගේ හිතට අමුත්තක් දැනුනේ ඇමති තුමාගේ පක්ෂේ පාටින් මුළු නගර සාලාවම සරසලා තිබුන නිසයි,
"තැන වැරදුනාවත්ද?" ඒත් එක්කම ඇමතිතුමා ලොකුසර් එක්ක හිනා වේගෙන ඉන්න කටවුට් එකක් ඇතුල් වෙන දොර ලඟම තියෙනවා දක්කම් සේපාල්ගේ හිතේ සැකය ටිකක් දුරුවුනා..ඒත් මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා, ඒ මොකක්ද කියන්න සේපාලට තේරුනේ නෑ.

"ඕයි ...ඕයි  කොහෙද දුවන්නේ , මොනවද ඔය" . හයේ හතරේ ඇමති ආරක්ෂකයෙක් සේපාලව බෑග් එකෙන් අල්ලලා ඇදලා ගත්ත විදිහට සේපාල කැරකිලා ගියා.
"කොහෙද තමුසේ ගාල කඩාගෙන වගේ දුවන්නේ, මොනාද ඕකේ"

"මේක මගේ උත්සවේ... මගේ පොත දොරට වඩිනවා අද..ඒකට තමයි ඇමතිතුමාත් ඇවිත් ඉන්නේ"

සේපාල ඒක කියනකොට එම්.එස්.ඩී. කාරයාගේ මුනේ තිබ්බ හිනාව දැක්ක සේපාලට මිනිහගේ හොම්බට අනින්න හිතුනා. එතකොටම එතනින් සාලාව ඇතුලට යන්න ආපු පොන්ටින් කට් කාරයා සේපාලව දැක්ක.

"ඈ  හලෝ .. තමුසේ දැන්ද එන්නේ.... කෝ පොත් ටික."

"මේ තියෙන්නේ සර්......." හොඳ වෙලාවට මේ යකාඅවේ නැත්තම් මගේ උත්සවේට මටම යන්න බැරිවෙනවා..

"අයි.පී. ජයසේකර ...මේ පොත් බෑග් එක ස්ටේජ් එක පිටිපස්සේ ඉන්න ඩබ්ලිව්.පී.සී. ඉනෝකාට දෙන්න , ඉක්මනට පාර්සල් කරලා අර ලේබල් ටික ගහන්න කියන්න. කෝ තමුසේ එනවා... මොකක්ද නම කිව්වේ.

"සේපාල සර් "

"සේපාල සර්?'

"නැහැ සර්... මගේ නම සේපාල"

"ආ ඒක මිසක්....එනවා. ඔය දෙවැනි පේලියේ තුන්වෙනි පුටුවේ වාඩිවෙනවා....." කියාගෙන ලේකම් රැව්ලා ස්ටේජ් එකට නැග්ගා.

"දෙවැනි පේලියේ...? යකෝ මගේ උත්සවේ මම දෙවනි පේලියේද?"..... තුෂ්නිම්භූත වුනු සේපාල පියවි ලෝකෙට ආවේ මහා හයියෙන් වැදුණු අත්පුඩි සද්දෙට..

ඇමති තුමාගේ කතාව......ආ... ලොකුසර් ස්ටේජ් එක උඩ.... මොකක්ද මේ වෙන්නේ.

"ආදරණීය අම්මේ තාත්තේ....අද ඔබ හැමටම විශේෂ දවසක්. කන්නංගර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා , ලබන මාසේ විශ්‍රාම ගියාට පස්සේ එතුමා ඔබ සැම වෙනුවෙන් ,නැවත සේවයට එන්න ලෑස්තියි, මෙච්චර කල් එතුමා ඔබතුමන්ලාගේ දරුවන්ගේ දෑස් පෑදුවා, මින් පස්සේ එතුමා ඔබ සැමට අත හිත දෙනවා. අපේ පක්ෂෙට ආණ්ඩු පක්ෂෙන් ලැබෙන කෝටාවෙන් මෙදාපාර පලාත්සභාවට ඉල්ලන්නේ අපේ විජේතුංග විදුහල්පතිතුමා..............................කන් බිහිරි කරවන අත්පුඩි සද්දෙන් පස්සේ ඇමතිතුමා අයෙත් කතා කළා...

අද එතුමා අපිත් එක්ක මේ ගමන ආරම්භ කරන්නේම සමාජ සේවා දෙකකින්,
ඒ මොකක්ද.....? එතුමාගේ වියදමින් මිලට ගත්තු ආධුනික ලේඛකයෙකුගේ  කවි පොත් දහය බැගින් ඔබ තමුන්නාන්සේලාගේ විදුහල් වල පුස්තකාලවලට පිරිනමමින්. මෙයින් ඔබගෙ පාසලේ පුස්තකාලයට පොත් ලැබෙනවා වගේම  ආධුනික ලේඛකයෙකුට ආර්ථික ශක්තියක්ද ලැබෙනවා ..............................................................................................................................

 ස්ටේජ් එකේ හිනා වෙවී ඉන්න ලොකු සරුයි , යටිගිරියෙන් බෙරිහන් දෙන ඇමැතිතුමයි සේපාලට බොඳ වෙවී පෙන්න ගත්තා,.........................සේපාලට පෙනුනේ මුළු ලෝකෙම වේගෙන් තමන් වටේ කැරකෙනවා වගේ............

ආධුනික ලේඛකයා.....? කවිපොත්.......?


දඩස්......

අන්න  අන්න මනුස්සයෙක් කලන්තේ දාලා වැටුනා....කියලා කවුදෝ කියනව හීනෙන් වගේ සේපාලට ඇහුනා...... වැටිලා ඉද්දි තමන්ට පෙනුණු තමුන්ගේ වම් අතේ ඔරලෝසුව බැඳලා නෑ නේද කියලාත් ඒ ඔරලෝසුව මේ උත්සවේට බැඳගෙන එන්න කියලා අරුන්දතී දීපු එක නේද කියලා සේපාලට අයෙත් පාරක් සිහිවුනේ කවුදෝ තමුන්ව උස්සලා ගද්දි........................

Tuesday, July 9, 2013

සිංහබා.............!



.......ගල් ලෙන බිඳලා ....
........ලෙන් දොර ඇරලා ......
..........සිංහ බා ...සිංහ බා.......

" නවත්තනවා විරාජ්.............."

"ඇයි අප්පච්චි......"

"හැයි ..හැයි ... ගාන්නේ ..........., මනුස්සයෝ හැගීමක් , නැතුව ඔහේ කියන්නං වාලේ වචන ටික කියවන්න උඹලා  ඕන නෑ. උඹට මම කියන විදිහට කරන්න බැරි නම් පලයන් යන්න.............වාඩි වෙයන් ....

හා....හා.... හැමෝම , හැමෝම ආපහු හඬ අභ්‍යාස ....හ්ම්....හ්ම්......"

" ළමයිනේ
පුහුණු කරන ලද රංගන ශිල්පියා හා ශිල්පිනිය සහ නුපුහුණු නළුවා , නිළිය අතර අහසට පොළව තරම් පරතරයක් තියෙනවා.
  රංගනය හදාරනවා වෙනුවට ජිම් එකකට ගිහින් මස් පිඩු හදා ගැනීමයි ,මොඞ්ලින් ක්ලාස් එකකට ගිහින් කැට්වෝක්  ඉගෙන ගැනීමයි නළුවෙක්,  නිළියක් වෙන්ට සුදුසුකමක් කියලා හිතන්ට එපා..

මේක හුස්ම ඉහළ පහළ යන කි‍්‍රයාවලිය එසේත් නැතිනම් ආශ්වාස ප‍්‍රශ්වාස කි‍්‍රයාවලියේ සිට අපගේ යටීපතුලට දැනෙන මහ පොළවේ ස්පර්ශය හදුනාගැනිම දක්වාත් ,ස්වභාවධර්මයේ කි‍්‍රයාකාරිත්වයන් වන අව්ව ,වැස්ස,සුළග,ගහක, කොළක, මලක සුවඳ දක්වාද,සමස්ත සමාජයේ ස්පන්දනය හඳුනාගැනිම දක්වාද,දුක,සිනාව,කඳුළ,කේන්තිය, කරුණාව වැනි අභිනයන් දක්වාද ප‍්‍රායෝගික කරුණුත්,විෂය කරුණුත් හදාරමීන් දිර්ඝ කාලයක් ඒ වෙනුවෙන් කැපවෙමීන් කල යුතූ මහානුභාවසම්පන්න වෘත්තියක්."

 හැමදාම වගේ නාට්‍ය පුහුනුවෙන් පස්සේ අප්පච්චිගේ දේශනේ අදත් අඩුවක් නැතුව කෙරුනා. දැන් අපි හැමෝටම ඔය ටික කට පාඩම්,

"මචං සිංහ බාහුවා උඹ හැමදාම සිංහ සීවලී ඇරලවන්න යන්න ඕනේ නෑ නේ ගෙදර එක්කන් ගියානම් ඉවරනේ"
"ඔව් මචං උඹලා අප්පොච්චා සෙනූවම සිංහ සීවලී කලේ උඹලගේ අලුත් පරම්පරාව දකින්නද කවුද දන්නේ,..."
" ඔව් මචං නැත්තම් මේච්චර හැන්සම් මාව සිංහබාහු කරන්න තිබුනනේ....හඃ හඃ හඃ හා ....."

හැමදාමත් නාට්ටිය ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා මං සෙනුරිව ගෙදර ඇරලවන්න යනකොට අනිත් උන් සෙට් එක අපිව බයිට් එකට ගන්න එක පුරුද්දට ගිහිල්ලා.

"අනේ පලයන් බං යන්න .... ඉතින් උඹලා ගිහින් ඇරලපන්කෝ ....."

" අනේ මේ එරංග එයාලට ඕන දෙයක් කරගන්න දෙන්නකෝ.... අපිට මොකෝ මොනා කලාම"

දිලිනි  ටිකක් නෝක්කාඩු ස්වරූපෙන් කියනවා මට ඇහුනත් නොඇහුනා වගේ ඉන්න මම උත්සාහ කලේ කතාව දුරදිග ගියොත් සෙනුරි හිතරිද්දගනී කියලා බයෙන්.
දිලිනි  මං ගැන ලොකු උනන්දුවක් දක්වන බව මට හොඳටම දැනිලා තිබුනත් මම එක නොදන්නවා වගේ ඉන්න උත්සාහ කළා.

"ඔව් ඉතින් අපේ පොත්ත රතු නෑනේ"
,මම දිලිනිව ගණන් නොගෙන ඉන්න හදනබව දැන දැනම දිලිනි කොයිවෙලාවෙත් මගෙත් එක්ක එල්ලෙන්නම හදනවා.

"විරාජ් ඔයා හිතන තරම් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් සෙනුරිලාට නෑ, සෙනුරිගේ තාත්තා ,ඇඅම්මවයි සෙනුරිවයි දාලා සෙනුරි පොඩි කාලෙම ගිහින් තියෙන්නේ ඔය සෙනුරි එයාගේ නෙවෙයි කියලානේ, "

සෙනුරි ආපු නැති දවසක "අනේ විරාජ් මාව ගෙදරට ගිහින් අරලවන්නකෝ " කියලා බලෙන්ම පස්සෙන් වැටුණු දිලිනි කියපු කතාවක් මට එක පාරටම ඇහෙනවා වගේ දැනුනා.

 අපේ ගෙදර ලඟම හිටියත් කවදාවත් සෙනුරිවත් එයාගේ අම්මවත් අපේ ගෙදරට සිංහල අවුරුදු දවසටවත් ඇවිත් නෑ නේද කියලා මට මතක වුනා.
  හැබැයි ඒකට නම් හේතුව අපේ තාත්තාගේ ඔලුවේ තාම තියෙන වලව් මහන්තත්තේ........අවුරුදු ගානක් ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉඳලත්, ජීවිත කාලෙන් බාගයක්ම කලාව, නාට්‍ය පස්සේ දුවලත් ඒ වලව් මහන්තත්තේ අඩු නොවුනේ මොකද කියන එකනම් මටත් ප්‍රෙහෙලිකාවක්.

" විරාජ් , මම යනවා එහෙනම් ගුඩ් නයිට්" සෙනුරිගේ  සද්දෙට මම කල්පනා ලෝකෙන් මොහොතකට මිදුනා.

"ඕකේ සෙනු ගුඩ් නයිට් " .... ශික් දන්නෙම නැතුව ගේ ළඟටම ඇවිත්, අද හරියට කතා කරන්නත් බැරිවුනා කෙල්ලට.

හුටා ..!  අප්පච්චි ගෙදර ඇවිත්....සාලේ හාන්සි පුටුවේ දිග ඇදිලා හිටපු අප්පච්චි කන්නාඩි කුට්ටමට යටින් මගේ දිහා බලනවා මං හොරැහින් දැක්කා ...

" මොකද පරක්කු"

කෙලියා තාප්පෙට ...දැන් දීපන්කො උත්තර....."මේ ..... අප්පච්චි...මං...."

"ඔය මුර වැඩේ වහාම නැවත්තුවොත් හොඳයි විරාජ් ...........නොගැලපෙන වැඩ කරන්න එපා "

මම අප්පච්චි කියපු දේ අහගෙන ඔලුව බිමට හරවාගෙන හෙමීට එතනින් ගියේ වැඩි කතාවට යන්න ඕන නෑ කියලා හිතලයි.

..............................................................................................................................................................

 "................එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මනමේ, සිංහ බාහු නාට්‍ය කරනකොට.......මොකද සෙනුරි .....
අප්පච්චි හැමදාම වගේ නාට්‍ය ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් සුපුරුදු දේශනය තියනකොට සෙනුරි එක පාරම නැගිට්ට නිසා හැමෝගෙම අවධානය ඒ පැත්තට ගියා....

" සර් අම්ම ඇවිල්ලා..."

 ඒ පැත්ත හැරුණු අප්පච්චි තප්පර කීපයක් සෙනුරිලාගේ අම්ම දිහා බලාගෙන ඉඳලා ආපහු හැරිලා කතාව පටන් ගන්නකොටම සෙනුරිත් දුවගෙන ඇවිත් වාඩි වුනා. සෙනුරිගේ අම්ම නිකමට වත් අප්පච්චි දිහා බැලුවේ නෑ. මිනිස්සු මොකට ඔයතරම් වලව්කාරකම් වලට බය බයාදු වෙනවද කියලා මටනම් තේරෙන්නේ නෑ, අපේ අප්පච්චිලාගේ ලොකුකම් වලට බයවෙන්න එයාලා අපෙන් කාලා ඉන්නවයි.


...............................................................................................................................................................
කාලය  අපි හිතනවට වඩා ගොඩක් වේගෙන් ගලාගෙන යනවා, නාට්ටිය පළාතේ
ඉස්කෝල හැම එකකම ඉතාම සාර්ථකව වේදිකාගත වුනේ, මාවයි සෙනුරිවයි වෙන් කරන්න නොහැකි තරම් ලංකරමින්.
සිංහ බාහු-සිංහ සීවලී සැබෑ ජීවිතේදී පවුල් පන්සල් වෙලා කරන කියන දේවල් ගැන අපි හීන මැව්වේ ඇත්තටම ආත්ම ගානක ඉඳං පතාගෙන ආපු දෙන්නෙක් වගේ.
හැමදාම නාට්ටිය පෙන්නලා ඉවරවුනාම සෙනුරිව ගෙදර ඇරලවන්න යන මම සමහර දවස්වල ආපහු යන්නේ සෙනුරිලාගේ අම්ම දෙතුන් සැරයක්ම සෙනුට අඬගහලා ,බනින්න පටන් ගත්තාම.

"විරාජ් ඔයා කැමති ඉස්සෙල්ලම දුවෙකුටද පුතෙකුටද......"

"ම්...ම්....ම්... ඔයා?"

"ඉස්සෙල්ල ඔයා කියන්නකෝ......"

"මම කැ..ම....ති......මෙන්න මේ වගේ නහයක් තියෙන චූටි කෙල්ලෙකුට...'

"ඌයියා........මම නම් ආස ඔයා වගේ කොලු පැට්ටේකුට...................................."

"සෙනු ...."

"ම්....ම්... '

"මම අද අප්පච්චිට ඔයා ගැන කියනවා..........."

"අනේ ...සර් මොනවා කියයිද විරාජ් ..සර් කැමතිවෙයිද විරාජ් ..?

"අකමැතිවෙන්න හේතුවක් තියේ නම් ඒ ඔයාලා දුප්පත් එක විතරනේ සෙනු..... හෙට අනිද්දා ඔයාට ටීචින් හම්බවුනාම අකමැතිවෙන්න මට නම් හේතුවක් පෙන්නේ නෑ... අනික ඔය ටිකක් නපුරු පාටට පෙනුනට අපේ අප්පච්චි ඔය පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි සෙනු.."

.................................................................................................................................................................

"මොනවා ..... උඹ හොඳ හිතින් ඔය අදහස අත ඇරගනින්..... ඔන්න මම නරක මිනිහයි කියන්න එපා....."

"මොකක්ද අප්පච්චි සෙනුගේ වැරැද්ද , ඒ කෙල්ල ලස්සන නැද්ද? කුලේ අඩුවක්ද? වැදගත් රස්සාවකට හෙට අනිද්දා යන්නේ..."

"බල්ලට දාපන් උලව් රස්සාව.., පුතේ මම ඒකිවත් මරලා උඹවත් මරලා මාත් මැරෙනවා.....මාව මිනීමරුවෙක් කරන්නද යකෝ හදන්නේ...? තෝ මේ සෙල්ලම් කරන්නේ මගේ ජීවිතෙත් එක්ක කියලා තෝ නිකමට වත හිතුවද?  තෝ මට මේ දැන් පොරොන්දු වෙන්න ඕන මේක මෙතනම නවත්තනවා කියලා.....පර බල්ලා....."

"....අප්පච්චි......අප්පච්චි.....මොකද මේ අප්පච්චි..?

අප්පච්චි  වියරු වැටිලා වගේ සිහියක් පතක් නැතුව මේ කෑගහන විදිහට මම බය වුනා....මම වැඩියම බය වුනේ අපප්ච්චි පපුවත් අල්ලාගෙන බිමට වැටුනම.

"අප්පච්චි...අපප්ච්චි....."

.................................................................................................................................................................

ඉස්පිරිතාලෙට ඇතුල් කරපු අප්පච්චිට සාමාන්‍ය තරමට සුවයක් ලැබෙන්න දවස් තුන හතරක්ම ගියා.....

 දවස් හතරකට පස්සේ අප්පච්චි මගේ මූණ බලලා කෙලින් කතා කරපු දවස එදා..

"පුතේ ..මගේ පුතේ... මට සමාවෙලා ඔය සම්බන්දෙ නවත්තලා දාපන් මගේ පුතේ"

"අප්පච්චි දැන් ඕවා කතා කරන වෙලාවක් නෙවෙයිනේ ...ඉස්සෙල්ල අප්පච්චි සනීපවෙලා ඉන්නකෝ..."

"නැහැ පුතේ අයෙ කවදාවත් මේ අප්පච්චි සනීප වෙන්නේ නෑ........මං හැමදාටම් හිතින් ලෙඩවෙලා....මගේ පුතා මට සමාවෙලා මේ සම්බන්ධෙ නවත්තලා දාන්න....මගේ ජීවිතේට මම ඉල්ලා න එකම ඉල්ලීම එච්චරයි මගේ පුතේ...."

කවදාවත්  නැතුව අප්පච්චි මගේ ඉස්සරහ අත්දෙක එකතුකරලා මගෙන් ඉල්ලපු ඒ බයාදු ස්වරූපය මගේ ජීවිතේටම අමතක නොවේවි...

"හොඳයි අප්පච්චි මම අප්පච්චිගේ ඉල්ලීම ඉෂ්ට කරන්නම්, හැබැයි මම දැනගන්න ඕන අපප්ච්චි මෙච්චර අකමැති වෙන්න හේතුව...."

උඩ බලාගත්තු අපප්ච්චි ඒ ඉරියව්වෙන් කොච්චර වෙලාවක් හිටියද කියලා මට මතක නෑ.....මගේ ජීවිතේ මම ගෙවපු දීර්ඝතම විනාඩි කීපය ඒක වෙන්න ඇති. ඒත් ඒක කවදාවත් ගෙවිලා ඉවර නොවූනානම් හොඳයි කියලා මට හිතුනේ ඒ වචන ටික ඇහුණාම.....ඇත්තටම ඒක හීනයක්ද?

" සිංහබාහුයි සිංහසීවලියි කසාද බැන්දට හැබෑ ලෝකෙදි අයියලා නංගිලා කසාද බඳින සිරිතක් නෑ මගේ පුතේ........................................"

Wednesday, July 3, 2013

මේක සිරා කේස් එකක්................!

ඇමති පුතෙක් යකා නටල
රණවිරුවගෙ ඔලුව පලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඩී.අයි.ජි.ගෙ පොඩි ලේලිට
ඇමති  පුතෙක් පුක පෙන්නලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

රගර් මැච් එකේ රෙෆ්රිට
රජ පැටියෙක් හොඳට නෙලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඇමති පුතෙක් හොඳට බීලා
ප්ලේන් එකේ දොරක් ඇරලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

....පාසලේ පහසුකම් ගාස්තු ගෙවාගත නොහැකි වූ දැරියක් අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම කර හසුවේ,....................පුවතක්......


අන්න  අන්න අල්ලපියව්,
හිරේ දමව් , දඩත් ගහව්
මේක සිරා කේස් එකක්
සරීර ඇප ලස්ස දෙකයි - මුදල් ඇපේ පනස්දහයි .

අවිහිංසක ඇමති දරුවෝ නොදන්නා කම හින්ද කරපු ,
අර  පොඩි පොඩි වැඩ වගේද

මේක සිරා කේස් එකක්................!