Tuesday, October 29, 2013

සිකුරිටියාගේ රාත්‍රිය


තිගැස්සී ඇහැරුනෙමි ...
හොරෙක් ඇවිත්ද....? මොනවා ගෙනගොස් ඇත්දැයි නොදනිමි....
හපොයි ...මේ මාසේ පඩිය .....එකෙනුත් බාගයක් දැන් මේ නැතිවුණු කෙහෙල්මලට කපාගනියි.

හොඳම යාළුවා අද ආවේ නැද්ද ....?
කොහේ එන්නද .....පත්තු කරපු මදුරුකොයිලයේ සැර වැඩිය.....!
ආදරණීය මදුරු යාළුවා ....ඔබ නොහිටින්නට කවදාවත් පඩියක් ඉතිරි නොවනු ඇත....

අක්කර ගානක් වැඩබිමක් තනියම මුර කරන එක ලේසි වැඩක්ද....?

රෑ එලි වෙනකං ඇවිද ඇවිද පැයෙන් පැයට අස්සන් ගහන්ටම හතරකොනේ පොත් හතරකි ....
ඒකටනම් මක්වෙනවද ................
ඇහැරිච්ච වෙලාවට පොත් ඔක්කොම එකතුකරන් ඇවිත් එකසැරේ අස්සන කොරන එකනේ ...
එහෙම කොරලා ආපහු එල්ලනකොට පොත් ටික මාරුවෙලා .......හුටා 
එක බේරාගන්නට විසිටින් ඔෆිසරයාට රුපියල්ම දෙසීයක් දෙන්නට විය...
යුනිෆෝම්, කැප්, සපත්තු සහ බැජ් එකට කපා ඇත මේ මාසෙත් තවත් දෙදාහක්......!

දැන් ඇවිත් හොරෙක් .....
මේ මාසේ ගෙදර ගෙනියන්ට වෙන්නේත් ගෙනාපු කුට්ටමම විතරය....
ඩියුටිය එක දිගට අනූ හයක් පැයම ....

අල්ලා ගන්ට ඕනේ හොරාව ...........
හෙට උදේට වීරයෙක් ...මං එතකොට ...
ලොක්කා තැන්කු කියයි කට පුරාම.........
නොදකින්... එතකොට තමයි හිතෙන්නේ හොරාට දෙන්න තියෙන ඔක්කොම....

ඒ අල්ල පනල්ලේ මගේ ගෙට හොරු පැන ඇත...
හොරා ගන්නට නොව හොරා කන්නට.....
මොනවා කොරන්ටද මාස දෙකකට දවසක් විතරක් ගෙදර යනකොට ....
මං නොදෙන දේ කන්ට එපැයි මගේ ගෑනිත් කොහෙන් හරි  

ඒත් අදනම් අල්ල ගන්නවා බෙල්ල මුලින්...
මෙන්න බොලේ හොරා ඇඟේ ගෑවෙනවා ......හිටු තොට 
හරිම සිනිදුයි නොව හොරාගේ අතපය ....
හත් ඉලව්වයි ඉන්නේ ගෙදර ඇඳේ නොවේද ...?
මාස දෙකකට සැරයක් හරියට නිදාගන්ට තියෙන එකම දවස .....
එකත් නැතිකොරන්ටද හදන්නේ මේ ගෑණි ....
පල යන්ට අහකට ....

Friday, October 25, 2013

ප්‍රේමය නම්


"කම් ඉන් සර්....."

"තැනක් යූ ..."

"ඉට් සීම්ස් දැට් යූ කේම් ෆෝ ද ෆස්ට් ටයිම් අ ප්ලේස් ලයික් දිස් .....ආ... ඒනිවේ .....මිස්ටර් සුරේෂ් කෝල්ඩ් ඇන්ඩ් ටෝල්ඩ්මී  දැට් යූ විල් කම් "

"නිර්මාණී ආයුර්වේද සුව අසපුව .......විචිත්‍රවත් ඩිජිටල් නාමපුවරුව සිනාසෙමින් නගරය දෙස බලා හිඳියි. මා සමග ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යක්තව කතාකල උඩරට ඔසරිය හැඳි සුන්දර යුවතිය දෙස බලාසිටිත්දී මට සිහිවුනේ සුරේෂ් සහ මා අතර ඇතිවූ සංවාදයේ වචනපෙලයි.

"මචං හැමදාම උදේ ඔෆිස් යනවා බං. මාර ලස්සනයි. හරිම අහිංසක මූණක් තියෙන්නේ, වැදගත් පාටයි."

"කොහෙද වැඩකරන්නේ ...?"

"අර ස්පා එක තියෙන බිල්ඩින් එක දිහාට තමයි යන්නේ "

"එතන වෙන ඔෆිස් නෑ, ඔතන වැඩකරන එකක් නම් මචෝ උඹ ඔය කියන විදිහේ කුල කාන්තාවක් වෙන්න බෑ"

"ඇයි ....."

"ඇයි කියන්නේ මැට්ටෝ ඒක බඩුපොට් එකක්නේ ..."

"එතන ....? වෙන්න බෑ ඒක අයුර්වෙදික් ස්පා එකක්නේ ..."

"ස්පා......හැක හැක් හැක් හූ .....ස්පා....බම්බුව ස්පා........අද හවස උඹම ගිහින් බලපන් බොරුනම් මම අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්නං .........සමහර විට උඹේ ඔය ප්‍රේම සුරන්ගනාවිම අල්ලාගෙන උඹට සර්විස් එකක් දාගත්තහැකි."

*******

"සර්....සර්.....එක්ස්කියුස්මී සර්....."

ඔසරිය හැඳි සුන්දර යුවතියගේ කටහඬින් මා යලිත් පියවි ලොවට පැමිණියෙමි.

"සර්.....දැන්නම් අපි ළඟ මේ හයදෙනා විතරයි ඉන්නේ අනිත් අය එන්ගේජ්ඩ් ........"

මා අත ලැමිනේට් කල පින්තූර කිහිපයක් තබමින් ඇය නැවත දොඩමළු වූවාය......පින්තූර දෙස බලාසිටින මට අඳුරු කල සුවිසල් වීදුරු තුලින් මහපාර දිස්වෙයි පාරේ ගමන් කරන සියල්ලන්ම මා දෙස බලමින් මට සමච්චලයට සිනාසෙනු මට පෙනෙයි.

"වට් ඩු යූ තින්ක් සර්..."

ඔව් මේ ඇය නොවේද...? සුරේෂ් කීවේ සැබෑවක්ද ....

"මෙන්න මෙයා ...........මේ ඉන්නේ ...."

"ඕකේ  සර්............... වෙයිට් අ මිනිට් සර්....කියමින් නැවත කිරිගරුඬ පාට කවුන්ටරය දෙසට ඇදුනු යුවතිය ....රිසීවරය කනේ තබාගෙන අංක කීපයක් ඔබා ....      "නිශූ ...අ කස්ටම ෆෝ යූ " කියා නැවත මාදෙසට හැරුණි......
"සර්.....ප්ලීස් ගෝ ටු රූම් නම්බ සෙවන් ...."

"පේමන්ට්ස්.....?"

" දැට් හෑස් ඔල්රෙඩි ඩන් බයි මිස්ට සුරේෂ් සර්.......යූ හෑව් වන් අව සර්....."

"තෑන්ක් යූ"

"වෙල්කම් සර්"

"ඉදිරිපස ඇති රෙදි කඩයේ පිල මත සිටි බැල්ලියගේ ඇඟට නගින්නට උත්සාහ කල බලු පැටියා, දෙතුන් වරක් උත්සාහ කර අමාරුවෙන් නොවැටී බැල්ලියගේ පිටමත පාද තබාගෙන වටපිට බලන විටම කඩය තුල සිට පැමිණි කොලු ගැටයෙක් උන් දෙසට බේසමක තිබූ වතුර විසිකරනු ද උන් දෙදෙනා දෙපැත්තට දුවන අයුරුද කාමර අංක හත දෙසට ඇවිදගෙන යන මට අඳුරු පැහැ වීදුරුව තුලින් දිස්වන්නට විය.

 ******

" එන්න සර්...."
දනිස්සෙන් අඟල් හතරක් පමණ ඉහලට වන්නට රතු පැහැ අත්  නැති ඇඟටම ඇලුණු ගවුමක් ඇඳගෙන සිටි රූබර යුවතිය පෑ සිනහව මා කුල්මත් කිරීමට සමත් විය.

ඔව් මේ ඇයම තමා ......සුරේෂ් මහා හඬින් මට සිනාසෙනු මසිතේ ක්ෂණයකින මැවී පෙනී නැතිවී ගියේය.

මා උදේ දුටු කාර්යාලීය යුවතිය උදෑසන දුටු අඩි උස පාවහන් යුගලයෙන් නිදහස් වූ ,රතු නිය ආලේපන ගැලවූ නිරුවත් දෙපා යුග මනබඳනා සුළුය.

"සර් ...වොෂ් එකක් අරන් එන්න..... සර්...සර්...සර්....."

ඇයගේ මුහුණ දෙස මා බලා සිටියා වැඩියිවත්ද?
  එක අතකින් මා දෙසට සුදුපහ තුවායක් දිගුකරගෙන සිටි ඇය පාදයක ආධාරයෙන් විවර කල ලාච්චුවේ තිබූ උපත්පාලන කොපු පැකට්ටුවක් අතට ගනිමින් සිටින්නීය .

"එපා ..."

" එපා ........? එපා කියලා බෑ සර්.......වොෂ් එකක්නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා . අනික  අනිවාර්යයෙන් කොන්ඩම් දාන්නත් ඕන .........."

ඇය මෙසේ කියන්නේ කෙතරම් පහසුවෙන්ද ..?ඇත්තටම මට දැනෙන අපහසුතාවයෙන් බිඳක්වත් යට නොදනේන්නේද?

*******

"මට ...මට .....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" කතා කරන්න.............මාත් එක්ක............? මොනාද? ............."ඇය පුදුමයට පත්වූ සෙයකි.

මම ඇඳ මතින් වාඩිවුණේ තවත් හිටගෙන හිටියානම මා බිම අද වැටේවි කියන බියෙනි.

"මෙහෙන් වාඩි වෙන්නකෝ..........."

"මොකටද ........සර් ........මං හම්බ කරගෙන් කන එක නවත්තන්නද හදන්නේ ....අනේ ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න සර්...."

"ඇත්තටම මට ඕනේ ඔයත් එක්ක කතා කරන්න ..."

"මොනා කතාකරන්නද.....? කතාකර කර ඉන්න පැයකට අටදාහක් ගෙවන්න සර්ට පිස්සුද....."

"අටදාහක්.............?

"ඔව් ඇයි ඊට වඩා ගෙව්වද....."

"ඔව්....නෑ ...නෑ ....අටදාහ තමා...."

"ඔයාගේ නම මොකක්ද.....?"

"මගේ නමෙන් සර්ට වැඩක් නෑනේ ...සර් පත්තරෙන්ද .....ඔයාලා ඕව පත්තරවලට ලියලා සහතික ගනියි....විස්තර දුන්න කියලා අපිව මරයි මෙතන ,ආවනම් ආව වැඩේ කරගෙන් යන්න සර්  පව් නොදී...."

"මම පත්තරෙන් නෙවෙයි, පොඩ්ඩක් මම කියන දේ අහන්න "

"මොනා අහන්න ද..........ඔන්න ඕක ගලවලා වොෂ් එකක් දාගෙන එන්න , නැත්තං මෙතන තටමලා තටමලා අන්තිම මොහොතේ කුලප්පුව හැදෙනවා .....ඊ ලඟට අනිත් එකා දොරට ගහයි ....ඇයි යකෝ අපිත් මිනිස්සු නේද...මල වදේ....."

"මම ඔයාව හැමදාම උදේට දකිනවා ...ඔයා උදේට හරිම ලස්සනයි ...ඒත් අයි ඔයා මේ වගේ දෙයක් තෝරාගත්තේ ......ඇත්තටම මට ඔයා ගැන ආදරයක්..."

"මේ මහත්තයා ඔය බයිලා අහලා ඇතිවෙලා තියෙන්නේ .......ඔය හදන්නේ මෙතන සල්ලි නොදී මගදී අල්ලං කෙලින්න ...එව්වා සුම්මා මහත්තයෝ......බම්බුවේ ආදරේ...."

"නෑ දෙයියනේ....මම ඇත්තටම ඔයාට....."

"මම දැන් සැරයක් කිව්වා , තමුසෙලා මෙතන බයිලා ගහලා අන්තිමට කම්ප්ලේනුත් කරලා අපේ ගානෙනුත් ගානක් කපලා මාරු වෙන්නේ ......ඉක්මනට එනවා ඔය **ර ටික ගියාම ඕක හරියයි....."

" නෑ මට එහෙම දයක් ඕන නම් මම ඔයාව හොයාගෙන මෙතනට එන්නේ නෑ...."

"එහෙම දේකට මෙතනට එන්නේ නෑ.....?  .එතකොට එහෙම දේවල් වලට තමුසේ පන්සලටද යන්නේ මහත්තයා ......එහෙම නැත්තං මෙතෙන්ට ආවේ මල් පූජා කරන්නද?

"ඔයා නොදන්නවාට ඔයා පූජා කරන්න තරම් මලක් තමයි මට ......"

"තමුසෙට පිස්සුද .......මිනිහෝ.....මම දැන් බෙල් එක ගැහුවොත් තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදලා දායි...........එක කරගන්නද ඕනේ........."

"තමුසෙලා කම්ප්ලේන් කලොත් මමයි අමාරුවේ වැටෙන්නේ ....එකයි මෙච්චර වෙලා හරි තමුසෙට කිව්වේ.......නැත්තම් මෙලහකටත් මතක් හිටින පාඩමක් උගන්නලා....එනවා මෙතන ලව් කරන්න.........මහත්තයා ඔය වැදගත් කම පෙන්නනවා ඕන තැනදී......වේසියෙක් ලඟට ආවනම් ඒක කොරගෙන යනවා මනස්ගාත නොකර .......

"කෑ ගහන්න එපා .....මට ඕනේ ඔයාව මේ අපායෙන් ගොඩගන්න ...."

"හාහ් ...ඇත්තද ....ගොඩ අරන් වෙන අපායකට දාන්නද...? "

"නෑ මට පුළුවන් ඔයාව බාරගන්න ..."

"ඈ බොල මාව බාර අරං මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි උඹ කන්න දෙන්නේ උඹේ අහවල් එකද ...? මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා ...තමුසෙට එහෙම සල්ලි දෙන්න පුලුවන්ද දවසකට මට...? ආ......කතා කරනවා .......

දොර අරගත් ඈ කේන්තියෙන් පුපුරමින් කාමරයෙන් පිටවන්නට වූවාය ....
"මෙහෙම එවුන් දෙන්නෙක් ආවොත් මාසෙක වැඩ ඉවරයි.......කාලකන්ණි ...මුළු මූඩ් එකම කෑවා" ......ඇය කෑගසන හඬ ඈතින් ඇසෙන්නට වත්ම මට දැනුනේ බියකි........
ඉක්මනින් කාමරයෙන් එලියට පැමිණි මා .....වේගයෙන් අඩි තබමින් මෙතනින් එලියට යන්නට හදන විට ඔසරිය හැඳි යුවතිය............

"තැනක් යූ සර්......කම් අගේන් සර්.."

ඇය දෙසවත් නොබැලූ මා පාරට ආවේ කෙසේදැයි මටත් මතක් නැත........රෙදිකඩය අසල සිටින බැල්ලියගේ පිට උඩ තවත් බල්ලෙකු නගින්නට උත්සාහ කරයි.......ඌ ලොම් හැලිච්ච නාකි බල්ලෙකි.......


Wednesday, October 16, 2013

(සයිබර්) හොරු සමග හෙළුවෙන්


සයිලන්ට් සහන් ටිකදවසකට කලින් පළකරපු අකුණු සන්නායකයක් සාදාගන්නා ආකාරය කියන පොස්ට් එකේදී කියා තිබුනා ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත හැකිව තිබූ සමහර නිර්මාණ නිකම්ම එළිදක්වා ඇති වග . නමුත් එහි පාඨකයන් වූ අප බොහෝ දෙනෙක් කියාසිටියේ එවන් නිර්මානයක් නම්
අනිවාර්යයෙන් එහි පේටන්ට් බලපත්‍රය ඔහු විසින් ලබා ගත යුතු බවයි. නැත්තම් කොහේ හෝ සිටින අපතයෙක් ,නිකමෙක් එහි බලපත්‍රය ලබාගැනීමට පසුබට නොවන නිසා.

මොකද ලංකාව කියන්නේ බුද්ධිමය දේපල කොල්ලකෑමටම උපන් මාර පොරවල් සෙට් එකක්ම සිටින රටක් නිසා. මේ බව හොඳට පැහැදිලි වෙනවා රිඟින් ටෝන් මගින් අතරමැදි පුද්ගලයන් කෝටිපතියන් වනහැටි දැක්කම නිර්මාණයට සම්බන්ධ පිරිස් හිඟන්නන් බවට පත්වෙද්දී ,

කතෘ අයිතිය සුරැකීම කියන කාරණය කෙරෙහි අපේ රටේ තාමත් ඇත්තේ ඉතාමත් අඩු අවධානයක්.

ප්‍රදීප් ගුණරත්න ගැන මම හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ ...මොකද ඒ සහෝදරයා ගැන නොදන්න කෙනෙක් බ්ලොග් ලෝකේ ඉන්න විදිහක් නැති නිසා , කාලෙන් කාලෙට බොහොම අපූරු, විස්තරාත්මක, වැදගත් සෞඛ්‍ය පිලිබඳ  විවිධ අකාරයේ පොස්ටු ප්‍රදීප්ගේ පිටුවේ වැටුනා.

ඔහුගේ අරක්කු කියන මේ පොස්ටුව කාටත් මතක ඇති . අද මම දැක්කා ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම උස්සලා මෙන්න මෙතන දාලා . මේක දාලා තියෙන්නේ රූ (your cyber world ) කියන පිටුවේ

ඒ පිටුවේ පහලින් මෙන්න මෙහෙම කතාවකුත් ලියලා තියෙනවා


අලුතෙන් පටන් ගත්ත රූ .lk වෙබ් සයිට් එක අන්තර්ජාලයේ ලොකු වෙනසක් ඇති කරපු සයිට් එකක් .
අනිත් අය ලිංගිකත්වය පෙන්නලා මාර්කට් වෙද්දී අපි හැමදාම අපේ අයට දුන්නේ වැදගත් දෙයක් .
ඒක නිසයි අපි වේගයෙන්ම ඉදිරියට ඇදෙන්නේ ..

ඔයාටත් පුළුවන් අපිත් එක්ක , ඒ කියන්නේ රූ පවුලත් එක්ක එකතු වෙන්න .
මේක forum සයිට් එකක් නිසා ගොඩක් අය දන්නේ නැහැ මේකේ තියන වැදගත් කම ..
මෙතනින් අපිත් එක්ක එකතු වෙන්න ..
ජිවිතයට අලුත්ම අත්දැකීමක් එකතු කර ගන්න ..



ඉතින් රූ වැදගත් දෙයක් දෙන්න ඔයාලා උත්සාහ කරනකොට ඔබවෙත ලැබෙන හැම පොස්ටුවක්ම තොරතුරකම නියම අයිතිකරුවන් ගැන සොයා බැලීම ඔබේ යුතුකමක් බවයි මා හිතන්නේ 

මෙම රූ.lk පිටුව කරවන අය තමන් වෙත ලැබෙන පොස්ටු වල සුජාත භාවය තහවුරු කරගෙන පබ්ලිෂ් කරනවානම් හොඳ බවයි මගේ හැගීම . 

මේක දාලා තියෙන්නේ SASIKI කියලා නමකින් ඔහුගේ (ඇයගේ) ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ චේගුවේරා මං දන්නා චේගුවේරා කියන්නේ හොරෙක් නෙවෙයි , ඔහු අනුන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසුනා පමණයි. අනුන්ගේ දේවලට තමන්ගේ ලේබලය ගහගත්ත කෙනෙක් නෙවෙයි. 

එසේම sasiki කියන නිර්මාණ හොරාට කියන්න තිබෙන්නේ යමක් උපුටා ගැනීම හා උපුටා ගෙන පලකිරීම වරදක් නෙවෙයි, හැබැයි නියමාකාර අවසරයකින් පසු. ඒ වගේම ගත්තේ මෙතැනින් කියලා සඳහන් කිරීමත් යුතුකමක් .

ඉතින් අනුන්ගේ පොස්ටුවක් තමුන්ගේ වගේ පලකරන් එවුන් ඉන්න රටේ සහන් වගේ මනුස්සයෙක් හොයාගන්න වටිනා නිර්මාණයකට පේටන්ට්එක වෙන එකෙක් ගන්නේ නැතිවෙයි කියලා කියන්න පුලුවන්ද? 

මීට කලින් අටමගේ පොස්ටුවකුත් ඔය වගේ උස්සලා වෙන තැනක දාලා තිබුනා එදා ඒ උස්සපු එකාට අටමා කියපු කතාව ඉතාම උචිතයි 

"යකෝ ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කෑවනම් " 


Saturday, October 5, 2013

කඩතුරාව


"අනේ තිලකේ අයියේ මේ කතා පත්තරේට දාන්නකෝ...."

"අනේ වැඩක් නෑ සිංදුමී ....... ඔය පත්තරකාරයෝ පස්සේ යන්නයි , එක එකාට පින්සෙන්ඩු වෙන්නයි, මට ඕවා අල්ලන්නේ නෑනෙ.... අනික මම යවපු ඒවා හොඳම කතා විස්ස අතරටවත් ආවෙ නෑනෙ.....'

ඒ වුනාට අයියේ පත්තරේට දිගටම යවන්න කියලයි මම නම් කියන්නේ .........ඔයා මෙහෙම කතා ලියනව කියලා දන්නේ අපේ ඔෆිස් එකේ නිව්ස් ලෙටර් එක කියවන අය විතරනේ."

"ආ තිලකේ .....අදත් මරු කතාවක් දාල තියෙන්නේ , නරකද උඹට මේ රස්සාව දාල ගිහින් ලේඛකයෙක්ම වුනානම්.....නැද්ද සිංදුමී ........"
 කොහේදෝ ඉඳලා ආපු පියල් එහෙම කියලා සිංදුමී දිහාට ඇහැක් ඉඟිමරනවාත් සිංදුමී පියල්ට ඔරවනවාත් මම හොඳටම දැක්ක.

මුන් මේ මාව මුරුන්ගත්තේ තියන්නේ බොරුවටද එහෙනං, එහෙම වෙන්නත් බෑ පියලානේ මගේ කතාවක් අපේ  "නිව්ස් ලෙටර් 'එකේ පළවුණු ගමන් ඉස්සෙල්ලම කියවන්නේ .

*******

"අයිසේ පියල් සංස්කෘතික අමාත්‍යාංශේ  ඔෆිස් එකක් වුනාට මේකේ කිසි ගෝ එකක් නෑනෙ , පටන් ගමුකො සාහිත්‍ය ,සංස්කෘතිය , සභ්‍යත්වේ හරි බැරිනම් අසභ්‍ය හරි මොකක් හරි වැඩක්.......
ඩිරෙක්ටත් දවසක් ඇහුව මගෙන් ඉස්සර වගේ "මැගසින්" එක කරමුද කියලා, අර "රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප්  ප්‍රෝග්‍රෑම්" එකෙන් "ෆන්ඩ්ස්" දෙනවලු"

ටිකක් විනෝදකාමී සෙල්ලක්කාර චරිතයක් වෙච්ච "සී.සී.මහත්තයා "  දවසක් ලන්ච් ටයිම් එකෙදි කට්ටියත් එක්ක කනගමන් දාපු අදහස නිසා තමයි , නැවතිලා තිබිච්ච අමාත්‍යංශ මාසික සඟරාව නිව්ස් ලෙටර් නමින් ආපහු පටන් ගත්තේ ,

එකෙන් වුනේ පියල්ගේ වැඩත් මට කරගහන්න වුනු එකයි ....

"මචං පොඩ්ඩක් මේ ටීචර්ගේ වැඩේ බලපං.............. මචං ඔය යව්වන සමාජේ ලේකම් එයි පොඩ්ඩක් බලහන් ...............,මම අර මැගසින් එකේ වැඩකට පොඩ්ඩක් එලියට යනවා මචං."

මැගසින් එකේ වැඩ නැගලා ගියත් ස්වභාවයෙන්ම නිහඬ චරිතයක් වුනු මගෙන් කවුරුත් උදව් ඉල්ලුවෙත් නෑ , මං පැනලා දෙන්න ගියෙත් නෑ .

"මොනා වුනත් නිව්ස් ලෙටර් එක එලටම තියෙනවා ... ඇමැතිතුමාත් සුබපතලා තිබුනා ........"

එක නෙවෙයි කවුද බං මේ "R.D.T.R." කියන්නේ ......"

"කෝ...."

"මේ ..මේ කෙටිකතාව ලියලා තියෙන්නේ ..."

" නියමෙට තියෙනවා නේද පියල්......"

" ඔව් බං  මාත් බැලුවා කවුද කියලා .සිරාවට කතාව ගලපලා තියෙනවා.......ඩිරෙක්ටත් සී.සී. කාරයාගෙන් ඇහුවලු කවුද මේ කියලා.."

කට්ටිය "R.D.T.R." හොයන විදිහට මට හිනාවක් යන්න ආවත් සද්ද නැතුව හිටියේ තව ටිකක වාත කරන්න හිතාගෙන.

"ඇයි තිලකසිරි අයියා හිනාවෙන්නේ ..........." ඒ සිංදුමී
"අනේ පියල් ඔය තිලකේ අයියානේ ..."

"කවුද...."

"R.D.T.R. - රණේපුර දේවගේ තිලකසිරි රත්නායක .....අනේ මටත් අමතක් වෙච්ච හැටියක් " සිංදුමී හිසේ අත ගසාගෙන් කී තාලයෙන් මට සිංදුමී ගැන අමුතුම ලෙන්ගතුකමක් දැනුනා ..."

" ආ ... ඇත්තද .....ඇත්තද මචං .....හ්ම්  උඹත් දන්නා දේවල්..... කතාවත් නරකම නෑ ....."

පියල් ඒ ටික කිව්වේ එච්චර හිත හොඳකින් නෙවෙයිද කියලා දැන් හිතෙනවා........නරකම නෑ කිව්වේ ...ඉතින් ඉස්සෙල්ල කිව්වේ නියමෙට ගලපලා තියෙනවා කියලා ......

පියල් සින්දුමීට ඇහැක් ගහනව දැක්ක අගමන් මට මතක් වුනේ ඒ අතීත සිද්ධිය ......


ඒ වුනාට සිංදුමී හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්, මගේ නිර්මාණ වැඩියම අගය කරන්නේ එයානේ, මගේ ඔෆිස් වැඩත් කරලා දෙනවනේ මං ලියන වෙලාවට. මොන එහෙකට අර වගේ ගල් බමුනෙක්ව  බැඳ ගත්තද දන්නේ නෑ.
ඒ වෙලාවේ සින්දුමීගේ හස්බන්ඩ්ව මතක්වුනේ නිකම්ම

*******

නෙද්දකින් උගේ හැටි විතරක් වීරප්පන් වගේ ...

"කව්ද තිලකේ වීරප්පන්....................."

හුටා නාලිකාටත් ඇහිලා ...."නෑ මේ සිංදු .....නෙවෙයි මේ අර මේ....නළුවෙක් ඉන්නේ ...මිනිහා ආවනේ ඔෆිස් එකට දවසක්......"

"ඇයි මේ ...."

"තිලකේ අනේ පාන් ගෙඩියක් අරං එනවද....."

"මොකක්ද නාලිකා ඔයා ගිහින් ගෙන්නකෝ ...පේන්නැද්ද මම වැඩක්නේ................"

"අනේ ...ඉස්සරහ කඩේ වහලා .......හන්දියට යන්නොන ....මම කොහොමද මෙහෙම යන්නේ ... අනික තනියම ............."

"ආයේ ඉතින් තනියම ගියා කියලා මොකෙක්වත් ඔයාව උස්සන් යන්නේ නෑ, මං වගේ හරක් තව නෑ මේ රටේ "

"මොකක්ද කිව්වේ ......තිලකේ ..."

" නෑ මුකුත් නෑ ....මල්ලක් ගෙනත් දෙන්න කියල කිව්වේ ............"

"ඔයා දැන් අමුතුයි තිලකේ.....හැම තිස්සෙම අනුම්පද කියනවා.......කතා ලියනවා කියලා රෑ දෙගොඩහරියේ ඇහැරගෙන ..........මොකක්ද අනේ මේ........"

"හා හා දෙනවා ඕක මෙහාට.....දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට කොහොමත් ටිකක් ඇවිදින්න කරන්න ඕන.....කම්මැලි කමට ඉන්නේ නැතුව."

කඩේ යනකම්ම මට මතක් වුනේ සිංදුමී...........සිංදුමී වගේ ගෑනියෙක් බැඳ ගත්තනං අද මගේ ජීවිතේ කොච්චර සැහැල්ලුද.....? හරිම සංවේදී  කෙල්ල, එහෙම වුනානම් මමත් අද හොඳ ලේඛකයෙක් වෙන්නත් තිබ්බ ...

කොච්චර වුනත් හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කියන එක ඇත්ත. ..එකට අපේ ගෑණි....මෙලෝ රහක් නෑ, කිසිම සාහිත්‍ය රසයක් නෑනෙ.....මගේ එක කතාවක්වත් කියවලා තියෙනවද දන්නේ නෑ. සිංදුමී නම් මැගසින් එක පිටවෙනකම් ඉන්නේ කියවන්න.

"හින්දි වදන් මියුරු නදින් කියන ....සිංදුමී.....සින්දු නදී ඉවුර දිගේ එන්න සිංදුමී.........."

"මුදලාලි සිංදු දෙකක් දෙන්න...."

"සිංදු ..?"

"ඇයි නැද්ද.....ආ  සොරි මුදලාලි පාන් දෙකක්......"

ශික් වස විලි ලැජ්ජාවයි........ඉතුරු රුපියල් දෙක ගන්නවත් ඉන්නේ නැතුව මම ආපහු ආවේ මුදලාලියා කට කොනකට ගත්තු හිනාවදිහා බලන්න බැරි කමටමයි.

*******

"මගේ ඊලඟ කතාව ලියන්නේ ඔයා ගැන ..."

ෆයිල් එකක් තුරුළු කරන් කහපාට ඔසරිය ඇඳගෙන හිනාවෙවී ,මලක් වගේ මගේ මෙසේ ඉස්සරහ පිපිලා ඉන්න සිංදුමීට මම එහෙම කියනකොට සිංදුමී ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා......කොහොමත් සිංදුමී ඇස් ලොකු කරලා බලනකොට හරිම ලස්සනයි....මම සිංදුමීව දකින්න ආසම එයා ඇස් ලොකු කරලා බලන වෙලාවට තමයි

" මං ගැන ........? මං ගැන නම් කතා එකක් නෙවෙයි සීයක් ලියන්න තරම් දේවල් මගේ ජීවිතේ තියෙනවා අයියේ....."

සිංදුමී දුකෙන් වගේ අහක බලනවා දැක්කම මට දුක හිතුනා, සින්දුමීගේ නිකටෙන් අල්ලලා මූණ දිහා බලං ඔයා දුක් වෙන්න එපා කෙල්ලේ කියන්න හොඳටම ඕනෑකම තිබුනත් ඔෆිස් එක ඇතුලේ හිටපු නිසා මම ආයාසයෙන් ඒ හැගීම යටපත් කර ගත්තා.

"ඒක නෙවෙයි තිලකසිරි අයියේ ..කොහොමද දැන් නාලිකාට ...කවද්ද ඩිලිවරි එක..........කාසල්ද...?"

" ඔය ඉන්නේ........ තව මාස දෙකක් තියෙනවා.........."

"මං යනවා අයියේ....."

"සිංදුමී.................................!"

"ඇයි අයියේ..........................?"

"මගේ ජීවිතෙත් කතා ගොඩාක් ලියන්න තරම් දේවල් තියෙනවා සිංදුමී....."

 ආයෙත් ඇස් ලොකු කරලා මගේ දිහා බලපු සිංදුමී ඉක්මනින් එතනින් ගියා

උඹ මොකද එහෙම කිව්වේ .....නාලිකා මොකක්ද උඹට කරපු අඩුව.....මගේ හිත මගෙත් එක්ක වාදේට පැටලුනා ...........
 අඩුවක් නම් නෑ, ඒත් ජීවිතේ කිසි රසයක්, රිද්මයක් නෑ...  නාලිකාගේ වරදක් නෑ....ඒත් ඇති හොඳකුත් නෑ හරියට පතෝල වගේ ,
අතිරහ වුනත් හැමදාම කනකොට එපා වෙනවලුනේ, ඉතින් හැමදාම පතෝල කනකොට එපාවෙන එක අහන්නත් දෙයක්ද.................

*******
ඩිරෙක්ටර් ලඟ උදේ ඉඳන්ම හිටපු නිසා අද ඔයාට මේක පෙන්නන්නත් බැරිවුනා සිංදුමී ..පෙන්නන්න දෙයක් නෑ ඉතිං ,ෂුවර් එකටම ඔයා තමයි මේක පත්තරේට යවන්න ඇත්තේ , මොකද මේක මම පෙන්නුවේ ඔයාට විතරනේ , අනික මේ වෙනකම්ම ඒකෙ මුල් පිටපත ,ගෙදර මොකද තාම මැගසින් එකට දාන දවසත් ආවේ නෑනෙ,

ලංකාදීප පත්තරේ විමංසා අතිරේකේ මගේ කෙටිකතාවක් පලවෙලා ......අනේ අනේ සිංදුවෝ ඔයා මටත් හොරෙන්ම යැව්වා නේද පත්තරේට මාව සප්ප්‍රයිස් කරන්න. මට නිකම්වත් කිව්වේ නෑ. ඔයා හැමදාම මගෙන් අහනකොට පතරේට යැව්වද යැව්වද කියලා මට නිකමට හිතුනා ඔයා මෙහෙම දෙයක් කරයි කියලා .....

ඉන්නකෝ අල්ල ගන්න අද ..මිරිකනවා කන .......

අනේ ඉතින් නාලිකාට මෙහෙම රසවින්දනයක් තියෙනවනම්

*******

"සිංදුමී .......කෝ අද ඔයාගේ ප්‍රේම කුරුල්ලා............."
කෑම කන්න හිතාගෙන ලන්ච් රූම් එක පැත්තට යනකොට, වහලා තිබුන දොරට එහා පැත්තේ ඇහුනු පියල්ගේ කටහඬ නිසා මම දොර ලඟ ටිකක් නතර වුනා ......මූ මොනාද මේ සින්දුමීගෙන් අහන්නේ ...?

"කවුද තිලකසිරිද ...... ඔය ඩිරෙක්ටර් ලඟට ගිහින් උදේ ඉඳන්ම ..................."

"එක තමයි මම කෝල් කළා දෙතුන් පාරක්ම මොබයිල් එක ඕෆ්..............එක නෙවෙයි ,මිනිහා ඔයාට බොක්කෙන්ම ලව් නේ................."

"ආයෙත් අහලා ....මිනිහා මේ ලඟදි මට කියනවා ..එයාගේ ජීවිතේ කතාවක් ලියන්න තරම් දේවල් තියෙනවලු, ඊළඟ කතාව මගේ ගැනලු ......අම්මා  මාර ලවර්   අනේ......."

"කතාවක් ...ඔයා ගැන ......හැක් හැක් හා......මරුවට තියෙයි. තිලක සිංදු ප්‍රේම පුරාණය.............."

" කෑ ගහන්න එපා පියල් කාට හරි ඇහෙයි...... මට නම් බයත් එක්ක මිනිහව අපි අන්දනවා කියලා දැනගත්තොත් ....එහෙම අප්පා......................."

"අනේ ඉන්න, දවසක ඕකට හොඳ ලනුවක් දෙන්න ඕන ......ඕකා හිතන් ඉන්නේ මාටින් වික්‍රමසිංහ කියලා .."

"ඇත්තමයි සිංදුමී , ඌ ඔය ලියන කෙටිකතා නවකතා තියෙනවා නේද ....ඔය වගේ ඒවා අනන්ත පත්තර ,සඟරාවල තියෙනවා බං"

"ඇත්තටම කොහෙන්ද පියල් මෑන් කොපි කරන්නේ මේවා....මෑන් අන්තිමට දාපු එකත් මේ ළඟදි කොහෙන් හරි  කියෙව්වා වගේ මතකයි..........කියෙව්වා කියෙව්ව කිව්වට මම දෙක තුනකට වඩා මෑන්ගේ කතා කියවලා නෑ පියල්.........පව් අනේ .....මෑන් හිතන් ඉන්නේ මම මොනා නැතත් මෑන්ගේ කෙටිකතා කියවනවා කියලා  ...පිස්සා "

සිංදුමී මේ ඔයාමද .....ඔයාලා මාව අන්දපු එකද  මෙච්චර කල්  කලේ . දොර ඇරගෙන ගිහින් දෙන්නටම කන පුපුරන්න දෙන්න ඕන...මාව වෙව්ලන්න ගත්තේ කේන්තිය වැඩි කමටද මන්දා ....

කේන්තියෙන් පුපුර පුපුරා මම දොරට අත තියනකොටම ඔෆිස් එක පැත්තෙන් අපේ කා.කා.ස. සුමනසිරි දුවගෙන එනවා දැකපු මම පොඩ්ඩක් නතර වුනා

****

"සර් සර් සර්  ........සර්ව මම හැමතැනම හෙව්වා .... සර්ගේ නෝනා බාත්රූම් එකේ වැටිලා හොස්පිටල් ගෙනිච්චලු .....සර්ගේ මල්ලි ඇවිත් කියලා ගියේ ...සර්ට කෝල් ගන්න හැදුවලු ෆෝන් ඕෆ්ලු.  මෙන්න මේක දෙන්න කිව්වා දැන්ම පුලුවන්නම් හොස්පිටල් එකට යන්න කිව්වා සොයිසා එකට........."

කොලේක ගුලි කරලා තිබුණු මොනාදෝ ගුලියක් මගේ අතට දෙන ගමන් සුමනසිරි නොනවත්වාම කියාගෙන ගිය දෙයින් මගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නවගේ දැනුනා....

"දෙයියනේ නාලිකා ............."

"මොකක්දමේ ගුලිය .......ගුලි කරලා තිබබ කොලේ දිගෑරලා බැලුවේ මේ මොකක්ද කියලා ...නාලිකාගේ මාලෙයි ,කරාඹු දෙකයි........"

ඒවා ඔතලා තිබ්බ කොලේට මගේ ඇස් දෙක ගියේ ඉබේටම .............
........ලියුමක් රෙජිස්ටර් කරපු තුණ්ඩුවක් ......??????
.......නාලිකා කාටද රෙජිස්ටර් ලියුම් යවන්නේ .............????

දෙයියනේ නාලිකා එතකොට ඔයාද මේක කලේ . පොඩි වෙච්ච් කොලේ තිබුණු අකුරු මට බොඳවෙලා පෙනුනේ මගේ ඇස් දෙකට ආපු කඳුළු නිසා

ලැබිය යුතු -සංස්කාරක
                   විමංසා කෙටි කතා සංග්‍රහය
                   දිනපතා ලංකාදීප
                   **** මාවත , කොළඹ **