මිත්තරයෝ ටික

Monday, December 30, 2013

වෙනස


ආදරයයි කැස්සයි හංගන්න බැරිලු. අපි ඉස්කෝලේ යන කාලේ ගෙවල්වලට ,ගුරුවරුන්ට සමහර විට යාලුවන්ට හොරෙන් පටන් ගන්න ප්‍රේමයන් ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම වෙලා ගෙදරට එහෙම නැත්තම් ගුරුවරුන්ට අහුවුනාම අම්මා එහෙමත් නැත්තම් තාත්තා එහෙමත් නැත්තම් ගුරුවරු කියපු ජනප්‍රිය කියමනක් තමයි "උඹලා කොහෙද අපිව තම්බන්නේ " කියන එක.

 එයාල එහෙම කියනකොට මට හිතිච්ච් දේ තමයි මෙයාලා නොකියා කියන්නේ "අපි ඕව කලේ උඹලට කලින්" කියන එකයි කියලා .

ඇත්තටම සමහර දෙමව්පියෝ පාසල් වියේදී විතරක් නෙවෙයි , සරසවි ඉන්න කාලේදී හරි රැකියාවක් කරන කාලේදී හරි තමුන්ගේ දුව පුතා ප්‍රේමයක පැටලුනා කියලා දැන ගත්තම හැසිරෙන්නේ හරියට ළමයා මිනීමැරුමක් කරපු ගානට , මේ තත්වය සාපේක්ෂව වැඩිපුර දකින්න ලැබෙන්නේ මව් පාර්ශවයෙන් නමුත් මෙහෙම අනවබෝධයෙන හැසිරෙන පියවරුනුත් ඕන තරම්.

නමුත් අද බොහෝ මව්පියන් මේ සම්බන්ධයෙන් බොහොම සැහැල්ලු ස්ථාවරයක් දරනවා. සමහර වෙලාවට දරුවන් තමුන්ට කොලේ වහමින් මේ සැරසෙන්නේ මොනවගේ දෙයක් කරන්නටද කියන එක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මුවගට නැගුනු සිනාවක් එක්කයි.

 එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.

බොහෝ වෙලාවට දෙමාල්ලන් මේ පිළිඹඳ එකිනෙකා කතාවෙන්වා, තමුන්ගේ සමාජ, අධ්‍යාපන තත්වයන් සහ තමන් නිවස තුල ගොඩ නගාගෙන තිබෙන ප්‍රතිරූපය අනුව මේ කතාබහ වෙනස් වෙනවා. එකම දේ ,එකම සිද්ධිය ගැන දෙවිදිහකට කතාවෙන්නේ කොහොමද?

ගීත සාහිත්‍යය ගත්තම එකම දේ දෙවිදිහකින් කතාවෙන අකාරය අපි දැකලා තියෙනවා. අපි ප්‍රබුද්ධ සහ සරල ගීත ලෙස එකම අර්ථය තියෙන ගීත දැකලා තියෙනවා. මේ ගීත දෙකත් මම මුලින් කී කාරනාව දෙයාකාරයකට කතාවෙන ගීත දෙකක්. තමුන්ගේ දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනාම අපි මේ ගීත දෙකෙන් මොන ගීතය තෝරා ගනීවිද කියන්න .


ගීත අංක 1

video  

ගීත අංක 2 







Thursday, December 26, 2013

ආදරයේ අග්‍රඵලය

all pics from google

"ලොකු අම්මී ....ලොකු අම්මී ....දොර අරින්නකෝ හලෝ.... "

ලොකු නංගීගේ දියණියගේ හඬින් මා අවදි විය... අඃ හත හමාරත් පහුවෙලා .......නිවාඩු දවසනේ ..

"මොකද බට්ටි ..."

"දොර අරින්නකෝ...ඉතින් ......

මා දොර විවර කල සැනින් ..මගේ බෙල්ල බදාගත් කුඩා දැරිවිය ......"උම්මා ..හැපී බර්ත් ඩේ ලොකු අම්මී ...මේක ඔයාට .....මමයි හැදුවේ...ඉක්මනට ලැස්ති වෙන්න ,අම්මා එනවා කිව්වා ලොකු අම්මිව පහලට එක්කන යන්න කිරිබත් කපන්න ..."
කියා නැවත දිව ගියාය...තරප්පු පෙල දිගේ ය පහලට දිව යන හඬ මට තවමත් ඇසෙ .....'

මගේ සිත අතීතයට දිව ගියේ නිරායාසයෙනි.

*******

"නදී ...නදී......නදී.... මේ බලනවකො හලෝ.....මොකද මේ...."

සුමේධ මගේ ඇඟේ ඇතිල්ලෙමින් ...වැලමිටෙන් මට කිහිප වාරයක් ඇන්නේ මම කතා බහක් නැතිව සිටි නිසාම විය යුතුය. කතා කලයුතු වුවත් ..ඔහුගේ ප්‍රමාදයෙන් මගේ සිත ඒ වනවිට හොඳටම රිදී තිබුණි..

"නිකං ඉන්න සුමේධ........" මම හැඬුම් අතරින්ම පැවසුවෙමි.

"නිකන් ඉන්න ...මෙතන .........කමක් නැද්ද....?"

ඒ වදනට නම් මට සිනායන්නට ආවත් පෙර පැවති නුරුස්නා හැගීමෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවීය.

"ඔයාට හැදේම විහිළු.....බලන්න මම කොච්චර වෙලාද කියලා ඇවිත් .දැන් පැයකටත් වැඩියි....මිනිස්සු බලබල යනවා .....එහෙන් රස්තියාදු කාරයෝ වටේ කැරකෙනවා........මොකක්ද අනේ......තව ටිකක් වෙලා ගියානම් මං යනවා යන්න ..."

"ඔයා කීයටවත් මං එනකං යන්නේ නෑ කියලා මං දන්නවනේ පැටියෝ...."

"එක තමයි වැරැද්ද...? ඇත්තටම ඔයාට මගේ ගැන ඔයිට වඩා ටිකක වගකීමෙන් හිතන්න බැරිද සුමේධ..?"

"ඔන්න ඔන්න ඔන්න කෙල්ල සීරියස් වෙන්න හදනවා........මෙන්න මෙහාට එන්න ....."

"ඊයි ...මොකද අනේ වෙලා තියෙන්නේ ...මිනිස්සුත් බලාගෙන පිස්සුද ඔයාට ...."සුමේධ මාව තුරුළු කරන් මගේ කම්මුල මතට හාදුවක් දෙන්නට උත්සාහ කලෙන්...මට සියුම් ලැජ්ජාවක් ඇතිවිය ......."අඳුනන අයත් ඉන්නවාද මන්දා...?"

"ඉතින් අපි කාටවත් පෙන්නේ නැති තැනකට යමු........"

"කොහෙටද...

"අනේ අදනම් බා කියන්න එපා නදී , නිලන්ත මධු එක්ක ඇවිත් ඇති....නර්මදා බීච් හොටෙල් එකට ..."

"හොටෙල් එකට ....අනේ සුමේධ "

"අදට ඔන්න ඔහේ ගිහින් එමු.....අනේ යමු නදී...නැත්තන් අදත් අරුන් මාව බයිට් එකට ගනියි.

"අනේ සුමේධ ...අපි පාක් එකට සුමේධ යමු ?"

"පාක් එකට ...?"

"ඔව් ..ඇයි ......?"

"ඒ කියන්නේ ඔයාට බෑ ....හරි ......යමුකෝ ..."

******

"මොකද සුමේධ බුම්මගෙන ඉන්නේ .....හරිනම් මමයි කතා නොකර ඉන්න ඕනේ ..."

"ඉතින් කතා නොකර ඉන්නවා මට මොකද ......."

"සුමේධ........"............................. මාගේ අත ගසා දැමූ ඔහු බංකුවේ එහා කෙලවරදෙසට තල්ලුවිය.

" මොකක්ද සුමේධ ....පොඩ්ඩක් ලඟට එන්නකෝ......මොකද මේ බුම්මගෙන ....මම ඔයාට බැන්නේ නෑනේ පරක්කුවුනා කියලා"

එවර ඔහූ කට කොනකට නගාගත් අවඥාසහගත සිනාවක් සහිත බැල්මක් සමගින් මාදෙස බැලීය ...

"මෙතන ලඟට වෙලා ඉන්න බෑ ..ඔයා අඳුරන අය ඇතිනේ......අනික මිනිස්සුත් දකිනවනේ....හඃ .."

"ඉතිං අපි වැරදි දෙයක් කරන්නේ නෑනේ සුමේධ...."

"අනේ මේ නදී ...දැන් හිටියා ඇතිනම් යමු යන්න....'

"අයි අනේ මොකක්ද ඔයා කියන්නේ....දැන් මොකක්ද මං කරපුවරැද්ද?"

"වැරැද්ද...? මෙතන හිතේ හැටියට කතා කරන්න පුලුවන්ද නදී.... මිනිස්සු බලාගෙන.....අනික ඔයාට තමයි මම කොහේ හරි යන්න එන්න කිව්වම බැරි...."
ගිය බදාදා ට්‍රිප් එක යන කිව්වමත් බෑ... පෝය දවසේ සුමිතුයි නිශායි සුමිත්ලගේ ගෙදර ගිය දවසේ ආවෙත් නෑ ....."

"අනේ එහෙම ගෙදරින් එන්න දෙන්නේ නෑනේ සුමේධ ..."

"එහෙනම් නිශා ආවේ...මධු ආවේ .... ගෙදරට හැමවෙලේම ඇත්ත කියන්න ඕන නෑ නදී....'

"මටනම් බෑ සුමේධ ගෙදරට බොරු කියන්න ..අනික එදා වෙච්ච දේ ගැන නිශා දැන් ගොඩක් පසු තැවෙනවා ...."

"ඒ මොකටද......? කොහොමත් එයාලා මැරී කරන්න නේ ඉන්නේ... අනික  ආදරේ කියන්නේ ඔය ඔක්කොටම තමයි.......නැතුව මේ පාක් එකට වෙලා කුණු කුණු ගාන එකට විතරක් නෙවෙයි..."

මගේ ඇස් දෙකෙන් පලවූ විමතිය සුමේධ පැහැදිලිවම දැක ගන්නට ඇත.........

"සුමේධ ...........ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ආදරයක්ද...?"

"ඒ වගේ කියන්නේ මොකක්ද ...? ආදරේ කිව්වම ඒකට අරක් හොඳයි මේක නරකයි කියලා නෑ .....අපි දෙන්නා කවදා හරි මැරි කරන්න හිතාගෙනනේ ඉන්නේ..................?"

"ඉතිං ඒ ලස්සන දවසට ඉතුරු කරගන්නොන දේවල් ගන්න දැන්ම හදිසිවෙන්න ඕන නෑ නේද...?"

"ඔයාට කොච්චරවත් මාව විශ්වාස නෑ එකනේ හේතුව කෙලින්ම කියන්නකෝ ...අනේ මේ යමු යන්න "

"සුමේධ...."

"ඔයාට බැරිනම් ඉන්න මම යනවා ..."

******* 

එදයින් පසු නැවත සුමේධ මාවෙත් නොආවා පමණක් නොව මාගේ ඇමතුමකට පිළිතුරු දීමට තරම් වත් කාරුණික නොවූයේ මට සියල්ල එපා කරවමිනි.....දිවි තොර කරගැනීමට සිතා උඩු මහලෙන් බිමට පන්න මා නොමැරී බේරීමට තරම් අවාසනාවන්ත වූයේ මන්දැයි මට නොතේරේ...අද වනවිට මා සියල්ලන්ටම බරක් වෙමින් රෝද පුටුවකට වී සිටීමට සිදුවූයේ මන්ද....

මා ප්‍රිය කල ගීයක හඬ ඈතින් මෙන් ඇසෙයි ....



video










Wednesday, December 25, 2013

පික්පොකැට්


"විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද?  "

"ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .

වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,

"මං යනෝ..."

*******

"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "

එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......

"සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..........

ඒ ගමන් දැම්ම සිංදුවක් ,කොහොමත් උඹලට නොකිව්වට පාරට  බැස්ස වෙලේ ඉඳන් මල අතේ අරන් තමයි අපි යන්නේ...අවුරුදු ගානක් තිස්ස්සේ බස් එකට නැග්ග හෝල්ට් එක ළඟ අලුතෙන් දාපු ලොතරැයි කූඩුවේ  මේ කන්කරච්චලේට හුරුවෙන්නනම් මට කොහොමත් බැරිවුනා ...

"උදේ පාන්දර හිනාවෙලා එන්න මහත්තයා එන්න නෝනා ,කෝටි තුනක් ඇදුනෝත් හැමදාම හිනාවෙලා තමයි....එන්න එන්න අද අදිනවා අද අදිනවා...."

මූ ඒ ගමන මටද කියන්නේ ,කිව්වත් වගේ ඇදුනොත් එහෙම ගොඩම නේද...? ටිකට් එකක් ගමුද ...? එක්කෝ ඕන නෑ.... ඕව ඇදෙන්වනම් බැරියැ.... ...

"බස් සුමිත් ගේ සින්දු නැති බස් එකකට ගොඩවෙන්න ලැබේවා කියා හිතාගෙන මම ආපහු පාර දිහා බැලුවා ...."

*******

"නැග්ග අය ටිකට් ගන්න ....." කොන්දොස්තර කොළුවා කියනකොට මට හැමදාම වගේ අදත් හිනායන්න ආවා ...

සල්ලි දීලා ටිකට් එක අතට ගත්ත මම සෙනග අස්සෙන් තෙරපීගෙන ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙන්න උත්සාහ කලේ පුරුද්දට වගේ, නැත්තම් බහින්න ගියාම හතරවටෙම ඉන්න එවුන්ගේ ගෙරවිලි පිප්පිලි බලන්න එපැයි. හැමදාමත් සාඩින් පැක්කරලා වගේ තියෙන බස් එකේ  මේ ගමන දිනචරියාවේ අංගයක්.

"මොන ඉස්සරහට යෑමක්ද ..? කිටිකිටියේ හිරවුණු මිනිස්සු ගෑනු අතරේ මගේ ගමන නිකම්ම නැවතුනා...

" නිකමට වගේ පිටිපස්සේ පර්ස් එක තිබ්බ සාක්කුවට මගේ අත යැව්නා...

"හත්දෙයියනේ......"  මගේ කන්දෙකෙන් පටන් ගත්ත ගින්දර පිටවීම ඇඟ පුරාම පැතිරෙන්න තප්පරයක්වත් ගියේ නෑ... බඩ පපුව පිච්චිලා ගියේ ....ඊයේ පෙරේදා කාපුවත් එක්කමයි.....

"පර්ස් එක නෑ....." කරන කියන දේ හිතන්නත් කලින් මගේ ඇස් දෙකටම කඳුළු පිරුණා.....

*******

" ඉස්සරනම් රුපියල් පනස් දාහක් ගෙනියන්න බෑග් එකක් ඕන ... එකට දැන්...පන්දාහේ කොළ දහයයි , මේ බලන්න විනීතා.. පර්ස් එකේ දැම්මට දැනෙන්නේවත් නෑ...."

"අනේ මේ පර්ස් එකේ දාගෙන ගිහින් ඕක නැති කරගන්නේ නැතුව ආරක්ෂා ඇතුව අරන් යන්න අනේ .....මල්ලිගෙන් වැඳලා වගේ සල්ලිටික ඉල්ල ගත්තේ ...නැත්තං අපරාදේ පරම්පරාගානක් තිබ්බ රත්තරන් බඩුටික නිකං සින්නවෙලා යනවා "

"නෑ විනීතා පර්ස් එකේ තමයි දාගෙන යන්න ඕන එතකොට කවුරුවත් සැක හිතන්නේ නෑ. මොකද මේ පඩි දවසුත් නෙවෙයි නේ.....මේ කාලේ කාගේවත් පර්ස් වල සල්ලි නෑ කියලා පොකට් කාරයෝ දන්නවා .."
අපි ඕනවට වඩා පරිස්සම වෙන්න් ගියොත් තමයි පොකට් කාරයොත් සැක හිතන්නේ ...නෝමල් විදිහට හිටියම ඉවරයි "

"ඕන එකක් ..සල්ලි ටික පරිස්සම් කරන් ගිහින් මගේ බඩුටික බේරගෙන එන්න..."

රෑ තිස්සේ වෙච්ච කතාබහ මගේ මතකෙට ආවේ ක්ෂණයෙන් ......දැන් මම විනීතට මොකද කියන්නේ දෙයියනේ...කොහොමඩ් මේ ණය ගෙවන්නේ ..බඩුටික බේරාගන්නේ......

*******

"මොකක්ද මිනිහෝ වෙලාතියෙන්නේ ....තියෙන වලත්තකම ......තොපේ ගෑනු දෙන්නේ නෑ කියලා අපේ පුකවල් පලිද ......"

මගේ ඉස්සරහම වගේ හිටපු කොට සායක් ඇඳගත්ත වෙස්මූණ වගේ මූණ පුරාම ලාටු උලාගත්ත ගෑනියෙක් කාටද මහා හයියෙන් බනිනවා ඇහිලා මම ආයෙත් පියවි ලෝකෙට වැටුනා.....

"මහත්තයා මේ මොකද තොට ඇම්මද ...? හැඩි දැඩි රස්තියාදු කාර පෙනුමක් තියෙන බෙල්ලේ පච්චයක් ගහපු මිනිහෙක් මගේ ෂර්ට් කොලට් එකෙන් අල්ලගත්තම තමයි මට තේරුනේ මේ බනින්නේ මටයි කියලා ...

"අනේ මං මුකුත් කරේ නෑ......"

'මුකුත් කරේ නෑ ...? මමත් බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් උඹ ඇඹරි ඇඹරි ඉන්නවා ..පරයා දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න ......" ඉහලට ගත්ත ඒ මිනිහගේ අත මගේ මූණ හරහා පත්වුණේ මට හිතන්න වෙලාවක් තියන්නේ වත් නැතුව ..

තරු විසිවෙන්නාවගේ දැනුණු මට ටික වෙලාවක් යනකන් කතා කරගන්න බැරුව හිටියේ .....

"හොඳ වැඩේ හම්පඩයට ...අනේ තැනක් යූ මල්ලි....මෙහෙම එවුන් එල්ලන්න ඕන ...ඒ ගමන අර ගෑණු මනුස්සයාගේ කටහඬ ආයෙත් ඇහෙද්දී ...

"ඇයි  ඇයි මොකද මොකද...කියාගෙන් කොන්ද්දෝස්තර මල්ලි එතනෙට ආවේ...

අනේ මං කාටවත් මුකුත් කරේ නෑ ...මගේ ...මගේ  පර්ස් එකට ගහලා ..."  මට ඇඬුම අතරින්ම කියවුනා....

"බස් එකම විනාඩියකට නිශ්ශබ්ද වුනාවගේ මට දැනුනා ...

"ඒක වැටිලද බලන්න මම හැරෙනේකොට මේ මිස්ගේ ඇඟේ වැදුනද දන්නේ නෑ ..අනේ මගේ පර්ස් එක ..."

මට ගහපු මනුස්සයා හිමින්ම ලිස්සලා වෙන පැත්තකට යනවා මට පෙනුනා....

"මහත්තයා කොහෙන්ද නැග්ගේ ..? සල්ලි ගොඩක් තිබ්බද ...?"

" කොට්ටාවෙන් .... පනස්දාහක් තිබ්බා ....."

මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබ්බ බස් එකෙක් සූ සූ සද්දයක් ඇතිවෙනවා වගේම
"පිස්සු යකෙක් පනස් දාහක් පර්ස් එකේ දාගෙන යන්නේ "
"දැන් ඉතින් ඕක හොයලා හමාරයි....""

"කොට්ටාවෙන් ....? මහත්තයා කොට්ටාවට පස්සේ කවුරුවත් බැස්සේ නෑ ...

"කවද්ද ඕයි තමුසෙලාගේ මේ ඉලව්වෙන්  මිනිහෙක් බැස්සේ ...මේකට පටවනවා විතරනේ බෑමක් නෑ ...ඒකනේ මෙහෙම වෙන්නේ ...අතපය හතර හොයාගන්නත් බෑ ....."  
ඒ අස්සේ තව කවුදෝ කෙනෙක් සියලු තරහා පිටකරා ...

එහෙනම් පර්ස් එක ගත්ත එකා ඇතුලේමයි ඇත්තේ ....ධර්මේ අයියා අල්ලමු පොලිසියට ...."

"ශික්..."  "අපෝ " "අදත් ඉවරයි දවසම"

*******

"ඕක ගත්ත එකා විසි කරන්න ඇති එලියට වැඩේ ලීක් වුනාට පස්සේ ..."

"ඔව් උන්ගේ එවුන් හැමතැනම ඉන්නවනේ ...."

"පව් "

"අදත් ඉතින් ෂෝට් ලීව් ...ඕවා කිව්වට පිළිගන්නෙත් නෑ අනේ ඔෆිස් එකෙන් හැමදාම පරක්කුවෙන එවුන් ඔයවගේ ඒවමනේ කියන්නේ ..."
 මිනිස්සු නොයෙක් කතා කියමින් පොලිසියෙන් පිටවුනේ කේන්තියෙන වගේ, වැඩි දෙනෙක් මගේ දිහාට හෙළුවේ තෝ අපේ දවසම කෑවා කියන්නාවගේ ..

"කරන්න දෙයක් නෑ මහත්තයා හැම කෙනෙක්ම චෙක් කලානේ ..."

"කමක් නෑ රාලහාමි බොහොම ස්තුතියි....."

මූණේ පැත්තක් රිදෙනවා ඉවසගන්න බැරුව .......

ගෙදර ආපු මට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පෙනුනේ ඉස්තෝප්පුවේ පරණ පත්තර ගොඩක් තෝරන විනීතා ..දෙයියනේ මම දැන් මේ ගෑනිට මොනවද කියන්නේ ..මට ඊයේ රෑ තිස්සෙම කිව්වේ  රත්තරන් බඩුටික බේරගන්න එක ගැන ...

"ආ ඔයා ආපහු ආවද ......කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ ....ඔයා පර්ස් එක මල් වාස් එක උඩ තියලා ගියේ ඇයි ...? අමතකවෙලාද?

"ඈ පර්ස් එක මල් වාස් එක උඩ ...?"

"ඔව් ඇයි ..? ...දෙයියනේ මොකද මේ මූණට වුනේ ...?






Tuesday, December 10, 2013

ගවයා ..?


මේ ලංකා සී නිව්ස් එකේ පළවුණු පුවතක් ,මේ ගැන මට නම් හිතුනේ මෙහෙමයි.


Tuesday, December 3, 2013

පිලිස්තීනුවා


"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා..............."

කව්ද මේ .....අලුත් ෆෝන් එකට සිම් එක දාපු ගමන්ම .........

මගේ හීනයක් වගේ තිබ්බ "ඇපල් 5S" ෆෝන් එක ගත්තට පස්සේ එන පලවෙනි ඇමතුමේ තිරයේ දිස්වෙන අංකය දිහා බලාගෙන මම කල්පනා කලා. 

දන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එක ඉසිසේල්ලාම ගන්න හොඳ නෑ. කවුද දන්නේ ලෙඩක්ද කියලා , පලවෙනි කෝල් එක එන්න ඕනේ සුබ ආරංචියක්.........

1 missed call from 07XXXXXXXX  කියලා තිරයේ සටහන් වුනාට පස්සේ මම ආයෙත් පත්තරේ බලන්න හදන්කොටයි දැක්කේ දිල් මගේ දිහා බලන් ඉන්නවා 

"මොකද දිල්" මගේ ප්‍රයිවට් සෙකට්‍රි, නම ඩිල්ශානි එත් මම හැමවෙලාවෙම කිව්වේ දිල් කියලා 

"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක ......, 5S එකකට කවුද සර් සිංහල සෝන්ගස් දාන්නේ ......"

"ඇයි මොකද වෙන්නේ....?"

"මොකද වෙන්නේ කියන්නේ අනේ ......හරිම ගොඩේනේ .....දාන්නකො හොඳ එන්ග්ලිෂ් සෝන්ග් එකක් .."
"ඉන්න මම ඩවුන්ලෝඩ් කරපු හොඳ එන්ග්ලිෂ් සෝන්ග්ස් ටිකක් තියෙනවා සර්ට දෙන්නං"

ඔලුව වනපු මම ආයෙත් පත්තරේ බල බල හිටපු ලිපිය දිහාට ඇස් යොමු කළා ...
"ගමේ බයියෙක් වුනු රන්බණ්ඩා සෙනවිරත්න ....."......පිස්සු,    ගමේ බයියෙක් කිව්වනං මිනිහව ඔය තරම් පිළිගනියිද රටේ මිනිස්සු.....එත් ඉතිං ආටිස්ට්ලට නම් ගමේ පොරක් කිව්වම හෙන මාකට් එකකුත් හැදෙනවනේ ....පත්තර විකුණගන්න මොනාහරි ලියන්නත් එපැයි .

මට ආයෙත් මගේ අලුත්ම ඇපල් ෆෝන් එක දිහා බැලුනේ නිකම්ම........අනේ අනේ යකෝ බස් එක අල්ලන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් දුවලා බස් එකේ එල්ලිලා ඉස්කෝලේ ගිය උඹ දැන් පාවිච්චි කරන්නේ ඇපල් ෆෝන් ආ ......


*******

"ඒයි මෙහෙ වරෙන් .....තෝ කොහෙද..."

"බදුල්ලේ ...."

"අම්මට හුඩු .....එයි මචන් මෙන්න මූ බදුල්ලේ කියන්නේ "

"ආ ඇත්තද .....පොඩ්ඩක් හිටපන් බලන්න ....." 

"මොකක්ද ඉස්කෝලේ..."

"බදුල්ල සෙන්ට්‍රල්"

"අප්පට බොල සෙන්ට්‍රල්  .....මීට පස්සේ කියපිය බදුලු මැදි මහා විදුහල කියලා ...හරිද ඇයි තොට සිංහල කතා කරන්න ලජ්ජද ....?"

"හා අයියේ..නෑ අයියේ ..."

"අයියේ ....යකෝ කියපිය ජෙෂ්ට උතුමා කියලා .....ගලවනවා කලිසම ඔලුවෙන් .....මොකද අඬන්නේ තෝ ගෑනියෙක්ද ...?

"බදුල්ලේ කොහෙද....?"

"ක ..ක ... කන්දකැටියේ ........!"

""කන්ද කැටියේ.........? කන්ද කැටිය කොහොමද උලමෝ බදුල්ලේ වුනේ ....ඒයි මේ බලපන් මෙයා බදුල්ලේ කන්ද කැටියේලු .....තෝ දන්නවද බෝල කන්ද කැටියට බදුල්ලේ ඉඳන් කිලෝමීටර් තිස් හතරක් තියෙනවා කියලා ....."

පරයෝ .....කොහේ ගියත් තමුන්ගේ ජාතකේ කියන්න ලජ්ජා වෙන්න එපා. තොපි වගේ එවුන් තමා අම්ම තාත්තාත් එක්ක අමතක කරලා ලංකාවේ සල්ලි වලින් ඉගෙනගෙන රට රටවල් වලට පැනලා කඹුරන්නේ ...'

රැවුලා එදා කියපු ටික මට ආපහු මතක්වුනේ ෆේස්බුක් එකේ ආපු රැවුලගේ රික්වෙස්ට් එක කන්ෆර්ම්  කරනකොට ...."රවින්ද්‍ර දෙනිපිටිය , සිඩ්නි ,ඕස්ට්‍රේලියා . ඒ ටික කියවනකොට නම් මට පොඩි හිනාවකුත් ගියා . කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .

*******
අර missed call එක ආයෙමත්
"මොකාද මේ"
ඒ නොම්මරේම ආපහු කෝල් එකක් ගත්ත මං " හෙලෝ හූස් පීකිං දෙයා ..අයි හැඩ් ත්‍රී මිස් කෝල්ස් ෆ්‍රොම් දිස් නම්බර්"
"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. නැත්තං තව ටික දවසකින් එන්න වෙන්නේ තාත්තගේ මළගමට තමයි."
 කියපු මල්ලි ලයින් එක කට් කළා

"වයි රමිත ....ඔහ් සොරි සර්.."

"නෝ මයි dad ඉස් නොට් වෙල් ...නීඩ් ටු සී හිම් සූන් "

"එහෙනම් ඔයා හෙට ගිහින් එන්න වැඩි වැඩක් නැති දවස්ක්නේ මතක් ඇතුව හවස අර සිනමන් එකේ තියෙන කොක්ටේල් එකට එන්න ."

"කීයටද ?"

"හතට"

*******

වාහනේ තනියම ඩ්‍රයිව් කරගෙන යනකොට මට ගෙදර දැන් කොහොම ඇතිද කියලා හිතෙන්න වුනා. ඇඳුම් බෑග් එකත් එල්ලගෙන පයින් ගිය මම අද අලුත්ම වාහනෙකින් ගෙදර යනවා. කොල්ලෝ කුරුට්ටෝ වාහනේ පස්සේ දුවගෙන ඇවිත් මේක හූරයිද දන්නේ නෑ.

ජීවිතයක් වෙනස් වෙච්ච හැටි.

"උඹේ ජීවිතේ වෙනස් කරන්න මම දාපු දහිරියට උඹ නියම වටිනාකම දුන්න පුතේ "
අප්පච්චි එහෙම කිව්වේ මම කැම්පස් තේරුනා කියලා දැනගත්තු දවසේ . ඇත්තටම කැම්පස් ගමනෙන් මගේ ජීවිතේ කවුරුවත් නොහිතපු විදිහට වෙනස් වුනා.ශානිකා මට හම්බ වුනේ ඒ කැම්පස් ගමනෙන්...

ශානිකාගේ තාත්තා , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්......සල්ලි තිබ්බට සතුට නෑ කියන කියමන සනාත කරන්න වගේ ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා. මේකතාව ෆැකල්ටිය පුරාම පැතිරුනේ ලැව් ගින්නක් වගේ. ෆැකල්ටියේ හැම ඉයර් එකේම වගේ එවුන් ශානිකා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

එදා තමයි මම ශානිකාගේ සියලු විස්තර දැනගත්තේ , ලස්සන කෙල්ලෙක් වෙච්ච ශානිකාගේ වටේ කැරකිච්ච එවුන් සුටුස් ගාලා වාෂ්ප වෙලා ගියේ ඒ සිද්ධියෙන් පස්සේ, 

නමුත් මේ සිද්ධියෙන් පස්සේ මට ශානිකා ගැන තිබ්බ උනන්දුව වැඩිවුනා.......
ශානිකා ...ශානිකා.....දැන් කවුරුවත් උඹට ට්‍රයි කරන්න එන්නේ නෑ....ශානිකාව මතක්වෙන හැම මොහොතකම මගේ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා වගේ මට දැනෙන්න ගත්තා , එත් ඒ ආදරය නෙවෙයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා.

ශානිකාට මේ වෙච්ච ඇබැද්දිය මගේ වාසනාවට වෙච්ච දෙයක් හැටියටයි මම දැක්කේ...මේ සිද්ධියෙන් පස්සේ ශානිකා කැම්පස් එන එක අඩුවුනා ..ටික ටික අඩුවුණ ගමන සම්පූර්ණයෙන්ම නවතින තැනට වැඩ සිද්ධ වුනා.....ඒත් මම හැම සති අන්තයකම ශානිකාව බලන්න එයාලගේ ගෙදරට ගියා.
 මම එන එක ගැන මුලින්ම එයාගේ තාත්තයි අම්මයි ගොඩක් සතුටුවුණා...ශානිකා ආපහු කැම්පස් යවන්න එයාගේ අම්මලාට ලොකු උවමනාවක් තිබ්බත් මට ඒ වුවමනවතිබ්බේ නෑ, ඒ විශාල මන්දිරෙන් එලියට බහින හැම වෙලාවකම මට පෙනුනේ එකම හීනයයි.

*****

ෆයිනල් එග්සෑම් ඉවර වුනු දවසට පහුවදා උදේම මම නැගිට්ටේ මගේ අරමුණට යන පලවෙනි පියවර තියන්න ...

"ගුඩ් මෝනිං පුතා.."

"ගුඩ් මෝනිං අංකල්"

"අද උදේම ....?"

"ඔව් අංකල් .....

ඒ දෙබසින් පස්සේ තමයිමගේ ජීවන පෙරලිය ආරම්භ වුනේ......

උදේ ආහාරයෙන් පස්සේ කතාව ඇදිලා යන අතරේ .....

"අංකල්....."

"ඔව් පුතා "

"ඇත්තටම අංකල් මම ආවේ වැද්ගත් කාරණයකට, අදින් අපේ කැම්පස් ලයිෆ් එකත් ඉවරයිනේ"

"මොකක්ද?.....කියලා ඇහුවත්  මම කියන්න යන කාරණේ දැනටමත් තෙරුම්ගත්ත් බවක් ඒ ඇස දෙකේ තිබුනා

"මම කැමතියි ශානිකාව කසාද බඳින්න ..."

ඒක ඇහුවම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන මම හිතලාම තිබුනේ නෑ.

අංකල් ඇස්දෙක පියාගෙන කවිච්චියට හේත්තුවුනා.......

හද්දා පිටිසර ගමක ලියිට් එළියක් දැකලා නැති. හැතැප්ම ගණන් පයින් යන බඹ හත අටක් ගැඹුර ළිං වලින් වතුර ඇදලා බීපු ...... මේ ඉහල සමාජයේ අහුකොන් වල එල්ලෙන්න හිතන්නවත් බැරි මන් වගේ කොලුගටයෙකුගෙන් මෙහෙම යෝජනාවක් එන්න තරම් තමන් අසරණ වුනාද කියලා ඒ ලක්ෂපති ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති.

කඳුළු පුරවාගත්ත ඇස දෙක ඇරලා මගේ දිහා බලපු අංකල්....

"මට මේකට කමතිවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ පුතා" කියලා එතනින් නැගිටලා ගියා......
එත් ශානිකාගේ අම්ම එතනම නැවතුනා
"අපි බලාපොරොත්තු වෙච්ච ලස්සන ලෝකය අපේ දුවට ගොඩ නගන්න බැරි බව අපි දැනගෙන හිටියා පුතා "

"එත් අපි නැති කාලෙක මේ දරුවට කෑම ටිකක් දෙන්න හරි කෙනෙක් ඉන්න ඕන කියලා අපි දන්නවා පුතා . අපි පුතාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ කෙල්ලට අඩුවක් පාඩුවක් කරන්නේ නැතුව කන්න බොන්න අඳින්න ටික දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ ." එහෙම කියපු අම්මත් අතින් කට තද කරන් කාමරේට දිව්වා.

මට පුදුම සතුටක් දැනුනේ...

එතැන් ඉඳන් අවුරුදු හතක් යනකොට ඒ හැම ව්‍යාපාරයක්ම දුවන්න පටන් ගත්තේ මට ඕන විදිහට ....ශානිකාගේ තාත්තගේ අභාවයත් එක්කම මම ඒ සියල්ලේ තනි අයිති කාරයා වුනා....තාත්තා සියලු දේ ශානිකාගේ නමට ලියලා තිබුනත් ශානිකාගේ මානසික තත්වය මත සියලු දේ පාලනය කිරීමේ බලය මට හිමි වුනේ නිතැතින්ම....ශානිකාගේ අම්මයි ශානිකයි එයාලගෙම ගෙදර කාමරේක කොටුවෙද්දී ,එයාලගෙම ගේ ඇතුලේ එයාල මගෙන් යැපෙන්නෝ බවට පත්වෙද්දී ශානිකාගේ අම්මා ඒ සේරම විඳගෙන ඉන්න හැටි මටම පුදුමයි.

******

පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්...

මේ ගමනට එන්න කිව්වට දිල් අකමැති වුනේ

"අපෝ ඔයාලගේ මමියි ඩඩියි මාව දකින්න කැමතිවෙන එකක් නෑ " ලොකු දෙයක් හදිසියෙවත් එන්න ලාස්තිවුනානම් මං හද්ද අමාරුවේ.

මීගහකිව්ලෙන් කන්දකැටිය පාරට හැරෙව්වේ "ලෙක්සස් එකක් යන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ" කියලා මටම කියාගන්න ගමන්...එත් පුදුමෙකට වගේ ලේන් දෙකට හදපු කාපට් පාරේ අලුත්ම වාහන කීපයක්ම යනවා දැක්කම මට නොරිස්සුමක් ආවේ ඇයිද කියන එක මටම ප්‍රශ්නයක්. ඉඳහිට පහුවෙන ගමේ මිනිස්සු, කොල්ලෝ කුරුට්ටෝ වාහනේ දිහා නොබලා "අපිට ඕවා ලොකු නෑ" කියන්නා වගේ යන එක ගැන මට ඇතිවුනේ ඇත්තෙන්ම කේන්තියක්.

ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද?

කොච්චර ගමට ආගන්තුක වුනත් අලුත් වෙලා වෙනස් වෙලා තියෙන ගමේ අනික් ගෙවල් අතරේ කිසිම වෙනසකට ලක් නොවුණු අපේ ගෙදර අඳුනගන්න මට නම් අමාරුවක් වුනේ නෑ.

*******

ගෙදරට හැරෙන දෙවැට ළඟ වාහනේ ටිකක් නවත්ත ගත්ත මම කල්පනාකරේ ගෙදර මිනිස්සුත් එක්ක කතාව පටන් ගන්නේ කොහොමද කියලා.
"වැඩිවෙලා ඉන්න බෑ වැඩ ගොඩගැහිලා කියලා "ඉක්මනට යන්න ඕන , ස්ටියරින් වීල් එකට අත තියෙනකොට ආයෙත් මතක් වුනේ බිස්කට් පෙට්ටියක් වත් ගෙනාවේ නෑ නේද කියලා...

"මෙන්න මයේ පුතාලට බූන්දි ගෙනාවා ....අපි ලොකු වෙනකම්ම් මල්ලිටයි මටයි බූන්දි අරන් එන එක තාත්තා කරපු දෙයක්...."

"උඹලයි තාත්තා උඹට හරි ආදරෙයි පුතේ .....උඹ පුංචි කාලේ දවසක් උඹව බඩ උඩ තියන් හුරතල් කරනකොට උඹ හුලිජ්ජ් කොලේ නැතයි ඒ මනුස්සයාගේ කටටම ...අනේ ඒ මනුස්සයා උඹ හුජ්ජ කොරලා ඉවර වෙනකම්ම කට අල්ලන් හිටියා හෙලෙව්වොත් දරුවට අමාරුවක් වෙයි කියලා"  අම්ම දවසක් මට කියපු ඒ කතාව මේ වෙලාවේම මතක් වුනේ ඇයි.?

"හරි ඉතින් දැන් ආපහු ගිහින් මොනවත් අරන් එන්න බෑනේ...අනික මෙච්චර වැඩ තියෙද්දී මම ආව එකම මදැයි .." කොහොම හරි සිතුවිලි සාධාරණීකරණය කරගත්ත මම ගේ දිහාවට වාහනේ හැරෙව්වා. මිදුලේ වාහනේ නවත්තනකොටම එලියට ඇවිත් බලපු මල්ලි මාව අඳුන ගත්තා .... වාහනෙන් බැහැපු මාව නොදැක්ක ගානට කමිසේ බොත්තම් පියවමින් මාව පහුකරගෙන ගියේ  "අම්මේ මං රන්ජිලයි දිහා යනවා " කියාගෙන .
"ඉරිසියාකාරයා "

"කවුද පොඩි පුතේ ආවේ " කියාගෙන පොල් අඩලයකුත් අතේ තියාගෙන ගෙයින් එලියට ආපු අම්මගේ අරුණු කට වහගන්න අම්මට සෑහෙන වෙලාවක් ගත වුනා...
 අන්තිමට අමාරුවෙන් කීප සරයක් උත්සාහ කරලා "ලොකුපුතේ " කියපු අම්මගේ ඇස දෙකෙන් කඳුළු කඩාවැටෙන්න ගත්තේ දුන්හිඳ ඇල්ලෙන් වගේ....

අම්මට වඳින්න ඕනේ කියලා හිත කිව්වට එකට මගේ කොන්ද නැමුණේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. මුළු පරිසරය පුරාම මට අමුතුම ආගන්තුක බවක් දැනෙන ගත්තේ ඒ අතරේදී. වාහනේ බොනට් එකට වැටුන අව්ව මගේ ඇස් දෙකට වැදිලා ඇස් නිලංකාර වෙන්න ගත්තා.

මම ගෙට ඇතුල්වුනේ උළුවස්සේ වදියි කියලා බයට වගේ ඔලුව නවාගෙන. ඒ යනකොට තාත්තා බිම වාඩිවෙලා සෙල්ලං කරත්තයක් ලණුවකින අදිනවා..

"තාත්තේ.."

"ඇයි ...කරත්තේනම් දෙනෙන් නෑ රජෝ....දැන් අපේ ලොක්කා ඉස්කෝලේ ඇරලා එනවත් ඇති. ලොකු කොල්ලා හරිම ආසයි මං හදන කරත්ත වල‍ට. ඌ ඉගෙන ගන්න රුසියා ,මේ සැරෙත් පන්තියේ පළවෙනියා වුනාම ඌට කරත්තයක් හදලා දෙන්න මම පොරොන්දු වෙලා තියෙන්නේ."

මට අම්මා දිහා බැලුනේ ඉබේම. අම්මගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා.
"පහුගිය කාලෙම තාත්තා උඹ ගෙදර එයි කියලා බලන් හිටියා මයේ පුතේ...උඹ එනකම් කියලා බලන් ඉඳලා ,කල්පනා කරලම දැන් තාත්තගේ සිහිය හොඳ නෑ පුතේ .....උඹට මේවයේ වසන්ට බෑ කියලා මට තේරෙනවා පුතේ ...උඹ නාවා කියලා අපේ අමනාපයක් නෑ මයේ පුතේ." මේ ටික කියන්න අම්මට සෑහෙන වෙලාවක් ගතවුනා, වචනයක් වචනයක් ගානේ උගුරේ හිරවුනා ...එත් මගේ ඇහෙන් කඳුලක් ආවේ නෑ..මට කිසිම හැගීමක් දැනුනේ නෑ....

මට මගේ අලුත් 5S ෆෝන් එක දිහා බැලුනේ ඉබේටම .... 1 unread message -- "darling don't forget ,the cocktail is on 7-00 o'colck -Dil "

"වැඩ ගොඩක් දාලා ආවේ අම්මේ මං යන්නොන"