මිත්තරයෝ ටික

Monday, July 21, 2014

ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush


" ශ්...ශ්... මල්ලි මල්ලි ..."

" උඹ නේද ප්‍රගීත් කියන්නේ "

" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"

" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "

උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..
මට එක සැරේම බැලුනේ  මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. 

"යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා ..

" තෝ මොකද? කවුද උගුඩුවො තොට බුලත් දුන්නේ ...? පල යන්න කන පලාගන්නේ නැතුව .."

මෝරා බය වෙච්ච පාර ඉබේම නැවතුනා , 

"උඹ වරෙන් මල්ලි ..තෝ ඔතන හිටපිය මේකව එවනකන්, අපෙන් මැරුම් නොකා  " මෝරාට ආපහු තග දාපු අයියලා මාවත් ඇදගෙන ඉස්කෝලෙට පහලින් තිබ්බ ඔරලෝසු කනුව ඉස්සරහ තිබ්බ කඩේ අස්සට යන්න හැදුවා 

" අනේ අයියේ ඔය කඩේ ඇතුලට යන්නනම් බෑ ..."

" ඇයි මොකද තෝ මහා ඒජන්තගේ පුතාද වර යන්න , " මගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක් මාව කඩේ ඇතුලටම ඇදගෙන ගියා .  
මං ඔය කඩේ අස්සට යන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි ,ඔතන තමයි ඉස්කෝලේ කොල්ලෝ සිකරට් බොනවා කියලා ලේබල් වැදිච්ච තැන . අපේ විනය පාලක හාමුදුරුවොත් ඔතන ඉස්සරහ ටික වෙලාවක් ඉඳලා කට්ටියව නෝට් කරගෙන තමා හැමදාම ඉස්කෝලේ ඇරුනම යන්නේ .

ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..උදේ රැස්වීමේ ඉස්සරහට ගෙනත් කින්ඩිය දාද්දි ආයේ වසලා හමාරයි .

*******

"මල්ලි දන්නවනේ අපේ ගුණේ ..අන්න ඌට තමයි මේ උඹේ හෙල්ප් එක ඕන කරන්නේ හරිය . ආයේ ඥන් පචන් ගාන්නේ නැතුව කරලා දීපං "

"මොකක්ද අයියේ .." ගුණේ අයියා කියන්නේ ඉස්කෝලේ ප්‍රසිද්ද "මුන්ට ලූස් " ගැන්සියේ ලොක්කා . ගුණේ අයියා - ගුණේ අයියා කිව්වට මිනිහාගේ ඇත්ත නම අසිතද කොහෙද ? එයාගේ වැඩක් බෑ කියලා දත් නැතුව බත් කන්න ඕනේ නෑනේ . 

"උඹ ලියුම් ලියන්න ජගතලු නේ .. අපට ලියුමක් ලියා ගන්න ඕනේ " කොන්ඩේ දිග ඩයනට" දෙන්න"

"කොන්ඩේ දිග ඩයනා ?? අයියේ මම ලියුම්....."

"ඇයි ලියන්නේ නෑ කියන්නද හදන්නේ .."  ඒ ගමන ආවේ පුරුදු කටහඬක් ..අප්පට සිරි උපුල් අයියා ,උපුල් කියන්නේ අපේ පන්තියේ ප්‍රියන්තගේ ලොකු අයියා .. දැන් ඉතින් ලියන්නම වෙන්වා ..

"නෑ අයියේ ලියන්නම් ....  "

ලියුම ලියල දීලා එලියට අවේ පැයකට විතර පස්සේ හැබැයි ඒ අතරේ යෝගට් දෙකක්ම කන්න ලැබුනා , 
මම එනකොටත් මෝරා පාරේ ගාඩ් ගලක් උඩ වාඩිවෙලා බලන් ඉන්නවා . මට දුක හිතුනත් එක්ක, ඇයි යකෝ මේකා වතුර උගුරක්වත් නැතුව එළියේ ඉද්දි මං යෝගට් දෙකකටම දෙසලානේ ආවේ 

*******

පහුවදා ඉස්කෝලේ ඇරලා යද්දී ..

"අර ඉන්නේ මචං කොන්ඩේ දිග ඩයනා ..."

මෝරා පෙන්නුවා ..අප්පට සිරි ..ඩයනම තමා කොන්ඩේ දිග ඩයනා කියනවට වඩා ගැලපෙන නමක් මටත් හිතා ගන්න බැරිවුනා .
 එදා ඉඳන් මායි මෝරයි ඉස්කෝලේ ඇරිලා යද්දී අර කඩේ පහුවුනාම පොඩ්ඩක් වෙලා ඉඳලා හැමදාම කොන්ඩේ දිග ඩයනා බලලා යන්න පුරුදු වුනා . අම්මේ එහෙම ලස්සනක් . 

හැබැයි වචනයක්වත් කිව්වේ නෑ ගුණේ අයිය ගැන දන්නා නිසා .

දවසක් උපුල් අයියා හම්බ වුනාම 

" අයියේ මොකද ගුණේ අයියගේ වැඩේ හරි ගියාද "

" මොන වැඩේද බං?"

" අර කොන්ඩේ දිග ඩයනගේ වැඩේ "

" අප්පා මතක් කරන්න එපා "

" ඇයි මොකෝ ?"

" මොකෝ තමා ඒකිට අර අජන්තයා ට්‍රයි ලු ... කුන්ග්ෆු අජන්ත ..වීල් පාක් එක ළඟ ගෙදර ? තව ටිකෙන් කන්න වෙන්නේ නැවකට "

"කුන්ග්ෆු අජන්ත කිව්වම මමත් නිකන් ගැස්සිලා ගියා .. Y.M. B.A. එකේ කුන්ග්ෆු ක්ලාස් කරන අජන්ත හෙවත් අජන්ත මාස්ටර් කියලා මුළු ටවුමම දන්න පොර .අපොයි එක කිව්වට පස්සේ අපි දෙන්නා ඩයනා ව බැලිල්ල අත ඇරලා දැම්මා .  මොකටද ටකරං කන්නේ නිකං ?

*******

"ප්‍රගීත් ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා ..."

"මොකටද ? "

"මම කොහොමද දන්නේ ගිහින් බලාගන්නැ එකයි ඇත්තේ ...."

 පණිවිඩේ ගෙනාවේ අපේ පන්තියේම හිටපු ශිෂ්‍ය නායිකාව දිනිති .. 

"මේකිගේ ගෑස් ..යකෝ"  මම එහෙම හිත හිතා ප්‍රින්සිපල් ඔෆිස් එක පැත්තට ගියේ ටිකක් බයෙනුත් එක්ක .

"ප්‍රගීත් මේ තියෙන්නේ සර්වොදේ ශිෂ්‍ය නායක කෑම්ප් එකට යවන ළමයි ලිස්ට් එක . ඔයා එක්ක තව හතර දෙනෙක් යනවා කනිෂ්ට ද්වීතීක අංශයෙන් . කට්ටියටම පණිවිඩේ දීලා ලෑස්ති කරගන්න . හෙට දහය වෙද්දී කට්ටියම එක්කන් ඔෆිස් එකට එන්න මම ඉතුරු ටික කියන්නම්" 


*******

සර්වෝදේ ප්‍රිෆෙක්ට් කෑම්ප් එකට ගිහිං ඉස්කෝල අනුව පෝලිම් ගැහිලා ඉන්නකොට නික්ම පැත්ත හැරිලා බලද්දී ... 

දෙයියනේ ඩයනා ....කොන්ඩේ දිග ඩයනා ... මට නිකං ඇස් අදහා ගණනත් බෑ . හැබැයි මේකි පැත්තවත් බලන්නේ නෑ . ආඩම්බරෙන් ඔලුව කෙලින් කරගෙන බලාගෙන ඉන්නවා . 

ඊළඟට තිබ්බේ ඉස්කෝල ඔක්කොම මිශ්‍ර වෙන විදිහට කණ්ඩායම් හැදෙන එක . එක කණ්ඩායමකට හයදෙනයි . අප්පේ දෙන දෙයියෝ ගෙටත් පැනල දොරත් කඩලා දෙනවා කියන්නේ මේවා තමයි . 

මායි ඩයනයි දෙන්නම එකම ගෘප් එකේ . 

*******

"ඔයා කොන්වන්ට් එකේද? "

" හ්ම්ම් "

"නම මොකක්ද ?"

" කුමුදු "... 

ෂාහ්... ඔබ දකින දකින දිනෙක මහද පොකුණු තලාවේ.... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ 

"මම ප්‍රගීත් "

" හ්ම්ම් "

" මේ සැරේ O/L කරනවද ? "

" නෑ මම මේ සැරේ A/L කරන්නේ ..."

හප්පේ මදැයි කොලා ..නිකං උස්සලා පොළොවේ ගැහැව්වා වගේ . 

" ආ ඇත්තද අක්කේ මම මේ ලබන අවුරුදේ A/L කරන්නේ ... " ඔක්කොම ඉවරයි වගේ හිතුනට කොහොම නොබලා ඉන්නද මේ දිහා . 

දින පහක නේවාසික ශිෂ්‍ය නායක කඳවුරේ' තුන්වෙනි දවස යද්දී ඩයනා මාත් එක්ක හොඳටම යාලු වුනා . අර කලින් තිබ්බ ආඩම්බර ගතිය , නපුරු ගතිය නැත්තටම නැතිවෙලා,  කෑම කන්න යනකොටත් මම එනකන් ඉන්න , නැත්තම් එයා එනකන් මම බලන් ඉන්න තරමට හිතවත් වුනා . 

හැමදාම රෑ අටහමාර වෙනකොට සේරම වැඩ ඉවර වෙනවා .. රෑ නවය වෙද්දී සියලුම දෙනා නවතින්න දීල තියෙන කාමර වලට යන්න ඕන . අටහමාරට වැඩ ඉවර වුනාට අපි දෙන්න හැමදාම රෑ නවය කිට්ටු වෙනකම්ම කතාකර කර ..සින්දු කියකිය ඉඳල තමයි යන්නේ . අපිට එකට තව පහසුවක් වුනේ අපේ ගෘප් එකේ හිටපු අනික් හතරදෙනා අපිට වඩා බාල අය වීම . උන් අපි කියන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ .

කොහොම හරි අන්තිම දවස වෙනකොට අපි හුඟක් හිතවත් වෙලා හිටියා . අන්තිම දවසේ ප්‍රසංගයේදී අපි දෙන්නා සිංදුවකුත් කිව්වා .. කිව්වේ මොකක්ද දන්නවද ... "පාන තියා බුදු සාදුට හිමිදිරියේ "  සිංදුව... 

එදා ආපහු ගෙදර යන්න පිටත් වෙද්දී නිකන් දුකයි දුකයි වගේ ... පපුව ඇතුලේ නිකන් ගිනි ගන්නවා වගේ ..

" මල්ලි ආපහු හම්බවෙයිනේ .. මම ඔයාලගේ ගෙදර ළඟ තියෙන ඇක්වා එකේ ක්ලාස් එනවා .. මගදී දැක්කොත් කතා නොකර යන්න එහෙම එපා හරිද? "   

හිනාවෙලා කිව්වට ඇස වල කඳුළු පිරිලා තියෙන හැටි මම හොඳට දැක්කා .

"හා අක්ක් ක් කේ ..." මටත් වචන හිරවෙන්න වගේ ආවා .

*******

 "මොකක්ද හු.... උඹට වෙලා තියෙන්නේ ..නිකන් අරවා කාපු රිලවා වගේ උඩ බලන් ඉන්නේ ....?
වරෙන් යන්න ග්‍රවුන්ඩ් "
මෝරට මගේ මේ හෝන්දු මාන්දු ගතිය හෙන ප්‍රෙහෙලිකාවක් .  මම හැබැයි ඌට කිසිදෙයක් කිව්වේ නෑ .

"මට බෑ බං උඹ පලයන් ..වද නොදී ..."

"ඕන මගුලක් කරගනිං තෝ තනියෙන් මොකක් හරි කොක්කක් ගහන්න ගිහින් කෙලවාගෙන මට එහෙම කියන්න එන්න එපා ඔන්න ."

ඊට පස්සේ හැමදාම මොකක් හරි කියලා මෝරව මග ඇරපු මම කුමුදු අක්කට වචනයක් හරි කතා කරන්න එයාට ක්ලාස් ඇරෙන වෙලාවට ක්ලාස් එක ලඟට ගියා "

*******

හැමදාම ක්ලාස් ඇරලා එද්දී මායි මෝරයි සල්ගාදු හෝටලෙන් මාළු පාන් කන එක පුරුද්දක් , එදත් එහෙම මාළු පාන් දෙක කාලා එලියට බහින්න හදනකොටම අනෝරා වැස්ස . වැස්ස දැක්ක විතරයි අපි දෙන්නට ආයේ ඊට වඩා සතුටක් නෑ , පොත් දෙක කමිසේ උස්සලා දාගත්තා බැනියම අස්සෙන් . වැස්සේම පාරට පනින්න සෙට් වෙලා අඩිය තියන්න හදනකොටම 

" ප්‍රගීත් ....ප්‍රගීත් මල්ලි "

මම පඩියේ ඉඳන් පාරට වැටෙන්න ඔන්න මෙන්න ගිහින් යන්තං පොඩි ජිම්නාස්ටික් පාරක් දාලා බැලන්ස් වෙලා කෙලින් වෙද්දී ,මෝරා තොහ් ගාලා වතුරට පැනලා ඉවරයි . ආපහු හැරිලා බලද්දී අම්මේ කුමුදු අක්කා 

" තෙමි තෙමී යන්න නේද හැදුවේ හොරගෙඩියා ... එන්න මාත් එක්ක යමු . "

මට මෝරා දිහා බැලුනා ... ඕස්ට්‍රේලියාවෙන් පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කරපු සරණාගතයෙක් වගේ තෙමි තෙමී කටත් ඇරගෙන බලන් ඉන්න මෝරා දැක්කම හිනා යන්න ආවත් ,කට තද කරගෙන ඌට ඇහැක් ගහලා මම කුමුදු අක්කත් එක්ක එක කුඩේ යටින් හිමින් හෙමින් ඇවිදගෙන ආවා .

මෝරා තාමත් අර ටෝච් එලිය දිගේ බිමට වැටුණු මිස්ටර් බීන් වගේ අපි යන දිහා බලන් ඉන්නවා .

මම කුමුදු අක්කත් එක්ක එකම කුඩේ යටින් ගියාට මොකද බාගයක් තෙමෙනවා . මොකද එයාගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව යන්න මාර ගේමක් දෙන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ

" අනේ ඔයා තෙමෙනවනේ මල්ලි .. කුඩේ ඇතුලට එන්නකෝ ඇඹරෙන්නේ නැතුව .. මගේ ඇඟේ පොඩ්ඩක් ගෑවුනා කියලා ඔයාගේ පාළුවක් යන්නේ නෑ "... අපෝ මෙයාගේ ලැජ්ජාව ..."

කොහොම හරි තෙමි තෙමි නොතෙමී සතුටින් ගෙදර ළඟටම ගියා ...

"අක්ක ඇයි තනියම අද " ..

"නෑ මල්ලි දැන් ක්ලාස් එක ලනගට තාත්තා එනවා ... " අපි ක්ලාස් එක ලඟට යනකොට වැස්සත් පායලා . 

ගෙදර එනකොට මෝරා ඇවිත්, කොච්චර කතා කලත් මූ නෙවෙයි වචනයක් කතා කලේ ...

"තොගෙයි මගෙයි යාළුකම් ඉවරයි"

,මෙහෙම කියපු මෝරා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා . ඕකා කොයි වෙලේ හරි යාලු වෙන්නේ නැතැයි.. යකෝ අද දවසේ ගමන ගැන කොච්චර කල්පනා කරන්න තියෙනවද මට , මේ උරුලාවා හුරතල් කරන්නේ නැතුව . අනේ තරහ වෙයන් ,මට පාන් යැයි ..

*******

පහුවදත් මං කුමුදු අක්කගේ ක්ලාස් එක ඇරෙන වෙලාවට ගියා , මග අරින්න දෙයක් නෑ මෝරා කොහොමත් මගේ පස්සෙන් එන්නේ නෑ දැන් ...

 අක්කා අද හරි කලබලෙන් ..

"ඇයි අක්කේ ... අප්සට් එකෙන් වගේ ?"

" අනේ මල්ලි ඔයාට පුලුවන්ද මාත් එක්ක අපේ ගෙදර යන්න එන්න .. අර පිස්සෙක් මගේ පස්සෙන් පන්නනවා ... අද ක්ලාස් පටන් ගන්නකොටත් ආවා .. ඉස්සර මෙච්චර කරදරයක් තිබ්බේ නෑ ද ක්ලාස් ඉවරවෙනකොට එනවා කිව්වා ... අනේ මල්ලි මාත් එක්ක යන් ...."

අක්කා කියන විදිහට නොයා කොහොමද ,පොඩ්ඩක් ඉන්න මම බයිසිකලේ අරන් එන්නං .

"අනේ මල්ලි ඉක්මනට .."   අඩියට දෙකට ගෙදර දුවපු මම බයිසිකලෙත් අරන් ආවා ..

"යමු අක්කේ ... ඇයි .. "   අක්කා මගේ දිහා ගල්බීත වෙලා බලන් ඉද්දි මටත් ප්‍රෙහෙලිකාවක් .

"දැන් ඔයා බයිසිකලේ ගෙනාවේ මාව දාගෙන යන්න නෙවෙයිද ? අනේ ඕකේ නැගලා යමු මල්ලි .."

අප්පට සිරි ..කරන්න් දෙයක් හිතන්නත් කලින් අක්කා බාර් එක උඩ වාඩිවුනා .. මමත් ඉතිං පාගගෙන යනවා .. අක්කගේ කොන්ඩේ හුළඟට ඇවිත් මගේ මූනේ වදිනවා .... එත්  අක්ක බයවෙලා නිසා වැඩක් නෑ ..

ටික දුරක් යනකොට වේගෙන් ආපු ට්‍රේල් බයික් එකක් පාර හරස් කරලා නැවතතුවා , මං අක්කත් එක්ක නොවැටී බේරුනේ අන්තිම අමාරුවෙන්. මම බැස්සත් අක්ක තාම බයිසිකල් බාර් එකේ වාඩිවෙච්ච් ගමන් .. අක්කත් එක්ක මම බයිසිකලේ අල්ලාගෙන හිටගෙන .....

අප්පට සිරි කුන්ග්ෆු අජන්තයා ......මට නිකන් දැනුනේ ගුටි කෑවා වගේ හැගීමක් දැන් මූ මාව සම්බෝල කරයි..

" ආ මෙයාද තමුස්ගේ අලුත් ආරක්ෂකයා ..."

 අක්කා බිම බලාගෙන අඬනවා , මගේ අතට කඳුළු කට සට සට ගාලා වැටෙනවා හරියට ටැප් එකක් ඇරලා වගේ . 

"මීට පස්සේ එනකොට මීට වඩා පණ තියෙන එකෙක් හොයාගෙන එනවා ... මේ වගේ පඟර නැට්ටෙක් නැතුව ... "

"කවුද ඩො පඟර නැට්ටා දෙනවා හොම්බ රිවට් වෙන්න"   කියලා කියන්න හිතුනත් නිකං මැරඩෝනා ගෙන පාරක් කාපු ෆුට්බෝලේ වගේ වෙන්න ඕනේ නෑනේ ,ඒ නිසා කට වහගෙන හිටියා

එහෙම කියපු අජන්තයා ආපහු හරවාගෙන යන්න ගියා මට දැනුනේ නිකන් මුහුද ගොඩගලලා ආපහු ගියා වගේ ..
පපුව ඩිග් ඩිග් නෙවෙයි දඩ බඩ ගානවා වගේ මට තේරුනේ ... 
අක්කා ගෙදර යනකම්ම ඇඩුවා .. මමත් ආපහු ආවට කාටවත් මේක කියන්න විදිහක් වත් නෑ ,මෝරත් තරහ වෙලා .
මට කුන්ග්ෆු අජන්තයාව මරන්න කේන්තියි .. එත් ඉතින් කොරන්නයි 

*******

ඊට ටික කාලෙකට පස්සේ අක්ක A/L කළා ,ඒත් ක්ලාස් එන එක නැවැත්තුව නිසා හම්බවුනේම නෑ . මොකද ඒ කාලේ sms කරන්න, viber යන්න කියලයි . ෆෝන් තියා ටෙලිෆෝන් කනුවක් වත් තිබ්බේ නෑ , ඊ ලඟට මට A/L පටන් ගත්තා . ඒ නිසා ඒ අතර කාලේ දෙතුන් සරෙකට වඩා අක්කව හම්බවුනේ නෑ ..

මගේ A/L පටන් ගන්න කලින් දවසේ මුතියංගනය පන්සලට ගියා මායි, අම්මයි, මෝරයි, මොරගේ අම්මයි ..

බෝධිය ලඟට යනකොට මෙන්න ඉස්සරහට එනවා කුමුදු අක්කා ,නිල් මානෙල් මල් පොකුරකුත් අරන්...

"මල්ලි.... හෙට ඔයාට එක්සෑම් නේද ? මම මේ ආවේ ඔයාට සුබ පතන්න ..මෙන්න මේ මල් ටිකත් පූජා කරන්න .. ඔයාට හොඳට කරන්න පුළුවන්.. "

මට කතා කරගන්නත් බෑ 
බෝධියට මල් පූජා කරන ගමන් අපේ අම්ම ඔරවා ඔරවා බලනවත් , මෝරගේ අම්මා පුදුම වෙලා බලනවත් මෝරා කින්ඩි හිනාවක් කටේ තියන් බලන් ඉන්නවත් මට පේනවා 

"අක්කේ.."

මම වචනයක්වත් කතා කරන්න කලින් ..
"හොඳට එක්සෑම් කරන්න මල්ලි .. ඔයා හොඳට පාස්වෙයි ..ඊට පස්සේ ලොක්කෙක් වුනාම අපිව මතකත් නැතිවෙයිද මන්දා ..."
කියපු කුමුදු අක්කා මගේ අත්දෙකම හයියෙන් මිරිකලා ඉක්මනට දුවලා ගියා ...

*******

A/L කරලා සතියක් විතර ගෙවිලා ගියා . මට කුමුදු අක්කව හම්බවෙන්න හොඳටම වුවමනාව තිබ්බා . මොරත් ගෙදර ගිහින් නිසා මට කතා කරන්නවත් එකෙක් නෑ .කීප සැරයක්ම කුමුදු අක්කලාගේ ගෙවල් පැත්තේ කැරකිලා බැලුවත්  කිසිකෙනක් පේන්න හිටියේ නෑ ..

දවසක් ..

"පුතා ..."

"ඇයි "

"මෙන්න ඔයාගේ යාලුවෙක් ඇවිත් ....."

"කවුද අම්මා ..." කියාගෙනම මම සාලෙට ගියේ මෝරව දකින්න බලාපොරොත්තුවෙන් ...

කුමුදු අක්කා ... මට දුවගෙන ගිහින් බදාගන්න තරම් ආසාවක් ඇතිවුණත් ... 

"ආ එන්න අක්කේ .... වාඩිවෙන්න" 

" අනේ ...වාඩිවෙන්න බෑ මල්ලියා ..අම්මා පාරේ ..මම මේ ඔයාට ආරාධනාවක් කරන්න ආවේ .."

"ආරාධනාවක් ....??? "

"ඔව් , ලබන විසි එක්‌ වෙනිදා මගේ වෙඩින් එක .. ඔයා එන්නම ඕන ....මෙන්න කාඩ් එක "

වෙඩින් එක ....????? මට නිකං පාර මැද ඉඳලා වල් අලියෙක් ගැහුවා වගේ දැනුනේ 

"කා...කා...කාවද අක්කා බඳින්නේ .."

අයියෝ ඔයත් හොඳට දන්න කෙනෙක් , අජන්ත අයියව,     කුන්ග්ෆු අජන්ත කියන්නේ ...

අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................

Thursday, July 17, 2014

ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presenters


සිරස සුපර් ස්ටාර් සීසන් 01 ආරම්භ වන්නේ ශ්‍රීලාංකීය රූපවාහිනී කලාව තුල මෙතෙක් තිබූ රික්තයක් පුරවමින්. ප්‍රසිද්ධ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ American Idol අනුකරනය කරමින් ශ්‍රී ලාංකීය රුපවාහිනියට එන මේ වැඩසටහන ඒ වකවානුවේ කාගේත් සිත් බැඳ ගැනීමට සමත් වන්නේ ඒ ආකෘතිය ලංකාවට අලුත් නැවුම් අත්දැකීමක් අත් කරදෙන බැවිනි. මීට පෙර  තුරුණු ශක්ති වැනි වැඩසටහන් පැවතියද ඒවායේ සංවිධායකයින් හෝ ප්‍රචාරකයින් එහි ජනගත වීම පිලිඹද සැලකීමක් දක්වුයේද යන්න පැනයකි .

කෙසේ වෙතත් මේ වැඩසටහන් හරහා සමාජයේ වටිනාකමක් හිමි කරගන්නට තරුණ අංකුර ගායක ගායිකාවන්ට ඉඩහසර ලැබිණි. නොයෙකුත් විවේචන තිබුනත් එහි සාධනීය පැත්තක් තිබූ බවද පිළිගැනීමට සිදුවේ .

ඉන්පසු සිරසින් දෙරණට පැමිණි වැඩසටහන පසුව විවිධ ස්ටාර්ලා සෙවීමට පමණක් උත්සාහ දරන රූපවාහිනී චැනල් බවට පත් වේදෝ යන අවිනිශ්චිත භාවය අප තුල ඇතිකරවිය .

කෙසේවෙතත් මේ රියැලිටි ගායන තරග හගන මෑත කාලයේ ලියවුනු හොඳම සංසන්දනාත්මක සහ විචාරාත්මක ලිපිය වන්නේ මාතලන් ලියූ හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින් ලිපිය බවට මම විශ්වාස කරමි.

සිරස පටන් ගත මේ රියැලිටි වැඩසටහන් වසංගතයක් මෙන් රූපවාහිනී චැනල් අතර බෝවෙද්දී ප්‍රේක්ෂකයන් තුල තිබූ උනන්දුවද හීන වන්නට විය . කෙසේවෙතත් මාතලන්ගේ ලිපියෙන් පසු පැරණි ස්ටාර් වැඩසටහන් කීපයක්ම අන්තර් ජලය ඔස්සේ නරඹද්දී දකින්නට ලැබුණු කාරනයක් ගැන සටහනක් තැබිය යුතු යයි සිතුනි.

සිරස සහ දෙරණ ස්ටාර් වැඩසටහන් සංසන්දනාත්මකව බැලීමේදී දෙරණ ස්ටාර් වැඩසටහන ඉහලින් තැබිය හැකි වුවත් එහි වේදිකාවේ නිවේදනය ගැන සෑහීමකට පත්විය නොහැකි බව මනාව වැටහෙන කාරණයකි. අඛිල ධනුද්දර, ජැක්සන් ඇන්තනි නම් වූ අසහාය කලාකරුවාගේ පුත්‍රයා වීම මෙවන් සුවිසල් වැඩසටහනක් මෙහෙයවීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව පෙනුනි. මෙවන් වූ වැඩසටහනකදී වේදිකාව පුරා ආධිපත්‍යය පතුරුවලිය හැකි පෞරුෂයක් එම ස්ථානයේ සිටිය යුතු බව මගේ හැගීමයි .


නිවේදක යන වෘත්තීය ශ්‍රීලාංකීය සමාජය හඳුනා ගන්නේ ගුවන්විදුලිය හරහායි , එවක තේවිස් ගුරුගේ , තිස්ස ජයවර්ධන වැනි හඬ පෞරුෂයන් ජනතා සිත් සතන් තුලට පැමිණෙන්නේ ගුවන්විදුලිය හරහායි.  පසු කාලීනව නිමල් ලක්ෂපති ආරච්චි නම්වූ මාධ්‍ය විශ්ව කර්මයා සිදු කල පෙරළියත් සමග FM නාලිකා හරහා බිහිවූ නිවේදක නිවේදිකාවන් ගැන විවේචන බොහෝ විය . නමුත් ඒ අතරිනුත්  පසු කාලීනව කිංස්ලි , නිහාල් වික්‍රම, නුවන් ලියනගේ (පත්තර මල්ලි) වැනි සන්නිවේදකයන් ද භාරත ප්‍රභාෂණ වැනි තරුණ නිවේදකයින් ගුවන් විදුලිය හරහා බිහිවිය .

නමුත් රූපවාහිනිය හඳුන්වාදීමත් සමග මේ නිවේදක වෘත්තීය ඉදිරිපත් කරන්නා හෙවත් Presenter ලෙස වෙනස් වන්නට විය . ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනී මුල් කාලයේද ප්‍රතාපවත් රූපවාහිනී ඉදිරිපත් කරන්නන්  අතර ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඉදිරියෙන්ම විය . ඔහු සමගින් රන්බණ්ඩා සෙනවිරත්නයන් ඉදිරිපත් කල සෙනසුරාදා ආයුබෝවන් වැඩසටහන කුඩා කාලයේදී ඉතා ආසාවෙන් නැරඹුවා මතකයට නැගේ .

මෙහිදී එළිමහන් සංගීත ප්‍රසංග නිවේදකයින්ගෙන් මේ රූපවාහිනී ඉදිරිපත් කරන්නන් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි විය . මෙහිදී ප්‍රසන්න පෙනුමද වැදගත් සාධකයක් බවට පසුකාලීනව පත්වන්නට විය. හඬ පාලනය මෙන්ම වැඩසටහන් වර්ගීකරණය අනුව නිවේදකයින්ගේ දැනුම හා ඉදිරිපත් කිරීමේ විලාශය
අනුව ඔවුන් විවිධ ආකාරයෙන් ජනප්‍රිය / අප්‍රිය වන්නට විය.

දොරමඩලාවේ හසන්ත සහ අටපට්ටමේ හසන්ත , කදමල්ලේ අරුන් ඩයස් , නමයි පහේ හේම නලින්, ක්‍රීඩාවේ පාලිත පෙරේරා - කැලුම් ශ්‍රීමාල් , සිංහලයේ වංශ කතාවේ ජැක්සන් , ගඟ දිගේ සහ සලන්හන්තේ ජැක්සන් ,  ප්‍රවෘත්ති නිවේදනයේ හඩ්සන් , රොස්මන්ඩ් ,සුමනා නෙල්ලම්පිටිය, සමන් කුමාර රාමවික්‍රම .....වැනි,  එමෙන්ම යුධ පෙරමුණේ සුජිත් විදානපතිරණ, මනෝහාරී සමන් අතාවුද   වැන්නන් ජනතාව අතර මතකයේ රැඳෙන්නේ මේ වර්ගීකරණයන් සහ ඉදරිපත් කිරීමේ විලාශයන් අනුවය.

කෙසේවෙතත් රියැලිටි කලාව දෙසට එන විට මේ සන්නිවේදකයා වෙනස්ම ආකාරයක ආකෘතියකට පත්වේ. එය හුදෙක් රූපවාහිනී වැඩසටහනක නිවේදක කාරයභාරයක්ට වඩා ඔබ්බට ගිය තත්වයකි. ප්‍රසංග වේදිකාවේ තිබෙන කලබලකාරී  වටපිටාව සමග ගනුදෙනු කරන රළු ස්වභාවයෙන් ඔබ්බට යායුතුය. ශාලාවක් තුල කෙරෙන සම්භාව්‍ය සංගීත සුයාමයකින් ද ඔබ්බට යා යුතුය. එසේම රියලිටි තරඟයේ කුතුහලය සැමවිටම රඳවා ගතයුතුය. ප්‍රේක්ෂකයන් ,විනිශ්චය මණ්ඩලය ,සජීවී නරඹන්නන් ,රූපවාහිනියෙන් නරඹන්නන් මෙන්ම ආධාරකරුවන් සමග සුහදශීලී ගනුදෙනුවක නිරතවිය යුතුය.  මේ සියලු කාරණා සලකා බැලීමේදී රියැලිටි තරඟයක මධ්‍ය මෙහෙයුම් ලක්ෂය (The Hub) බවට පත්වෙන්නේ මේ සන්නිවේදකයා වේ.

ශ්‍රීලාංකීය රියැලිටි සංදර්ශන වලදී කමල් අද්දරආරච්චි, ධනංජය සිරිවර්ධන , අමිල පෙරේරා , යුරේනි නොෂිකා,දේවාශ්‍රී ද සිල්වා, දොන් ෂර්මන් , ලහිරු සහ මුදිත ,අඛිල ධනුද්දර , විශ්ව, සාරංග දිසාසේකර   වැනි සන්නිවේදකයින් මේ භාරදූර කාර්යයට අතගැසුවන් අතර විය.  නමුත් රියලිටි කලාවට ගැලපෙන ලෙස මේ කාර්යය කරගෙන යාමේ සහ එම වැඩසටහනට සාධාරණයක් ඉෂ්ට කල සන්නිවේදකයා ලෙස මා අදටත් දකින්නේ කමල් අද්දරආරච්චිවය.

ඔහු සතුවූ අත්දැකීම් , ජේෂ්ඨත්වය සහා අන්තර් සම්බන්දතා හරහා සියලු පාර්ශව කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ඔහුට නිතැතින්ම ලැබී තිබුණි.  මන්දයත් සමහර සන්නිවේදකයින් විනිශ්චය මණ්ඩලයේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට ආමන්ත්‍රණය කිරීමේදී දක්වන සබකෝලය කැපී පෙනුනි. එසේම සමහර අවස්ථාවලදී මොවුන් අපහසුතාවටය පත්වූ ආකාරයන්ද පැහදිලි ලෙස පෙනුනි.
 කමල් ගෙන් පසු ඒ වෘත්තීය ධනංජය සිරිවර්ධන සාර්ථකව කල බවත් දොන් ෂර්මන් ඔහුටම ආවේනික සැහැල්ලු සන්නිවේදන රටාව මතින් වෙනස් දෙයක් කල බවත් දක්නට ලැබුණි.

කෙසේවෙතත් රියැලිටි තරු සෙවීම නොයෙක් මුහුණවර ගණනාවකින් තව බොහෝ කාලයක් අප අතරට පැමිණෙනු ඇත. එසේම එම තරග වල ප්‍රමිතිය සහ ගායක ගායිකාවන්ගේ දක්ෂතා පිලිඹද අප කතා කරනු ඇත.
නමුත් සැමට අමතක වන කරණය නම් මේ සා සුවිසල් කර්තව්‍යයක් මෙහෙයවන්නා කෙසේ වියයුතුද යන්නයි. වැඩසටහනේ ප්‍රමිතිය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේ මේ සන්නිවේදකයා ගේ හැකියාව සහ ප්‍රතිභාව බව මගේ මතයයි.

දෙරණ සියලු අංශ වලින් අදවනවිට සිරස පරදා රියැලිටි කලාවේ ඉදිරියට පැමිණියාක් මෙන මේ කාරණය පිළිබඳව අවධානයක් යොමු කලානම් මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන සර්ව සම්පූරණ වීමට තිබුණි .



ප. ලි. මෙය නිවේදන වෘත්තීය ගැන ටියුෂන් දීමක් නොව රියැලිටි කලාව තුල සන්නිවෙදයේ අඩුපාඩු පිලිබඳ අවධානය යොමු කිරීමට තැබූ සටහනක් පමණි.. බොහෝ කාරනා මග හැරෙන්නට ඇත. ඒ සියල්ල ප්‍රතිචාර හරහා ගොඩ නැගෙන සංවාදයෙන් සම්පූර්ණ වේයැයි විශ්වාස කරමි .


Friday, July 11, 2014

ඩයිවර් මං

උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට 
ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට 
බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට 
යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට 

හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත් 
ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත් 
කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත් 
ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත් 

එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්
ට්‍රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ගානක් පඩියෙන්

එහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම 
ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන 
එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන 

දඩ කොලේට මම ගෙවන්නේ ලොක්කා නෑ අත දාන්නේ 
ටික්කා මග හැංගි ඉඳන් රෙස්පට් පිට පගා ගන්නේ 
ඉරි කැපුවා මග දැම්මා කලර් ලයිට් වල පැන්නා 
එහෙම මොනවා හරි කියලා රාලහාමිත් ගැට කපුවා 

කකුල යටින් වමෙන් මැදින් ත්‍රී වීලර් යයි රිංගා 
ඊට හපන් මෝටර් සයිකල් එලවන පොඩි කොල්ලා 
ඔහොම ගිහින් හිටපු ගමන් බස් බොඩියත් කිස් කරලා 
හතර ගාතේ උන් වැටුනම කන්න වෙනවා ගස් බැඳලා

හයියෙන් අපි ටිකක් ගියොත් මගී ජනයා ඔරවාලා 
අපිට තවම ජීවිත නම් එපා වෙලා නෑ කියලා 
කියනවා නොව බෙරිහන් දෙයි මහා සද්දෙන් ඔරවාලා 
ඒ වුනාට හෙමින් ගියොත් තාත්තා ඉබ්බද අහනා 

ෆුට් බෝඩ් එකේ නැගලා නම් යන්න එපා යයි කිව්වම 
තරුණ ගැටව් එන්නේ මිරිකලා කන්න මගේ බෙල්ලම 
එහෙම ගිහින් අම්මප බොල එකෙක් දෙකෙක් දෙරි ගැහුවම 
යන්නේ ඇවිත් පොලොසියෙන් මිරිකාගෙන මගේ බෙල්ලම 

යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ 
අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ 
රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ 
අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ 

පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ 
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ 
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ 
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ 

කොයි තරමින් මොනාවුනත් ගාන ඕනේ අපේ ලොක්කට 
ඒ ගානින් අඩු වුනොතින් බනින්නේ මියගිය අම්මට
අතරමගදී හුලන් ගිහිං නවතුනොතින් මග ඔක්කොම 
බැනුම් අහලා මගේ හුළං යනවා වැඩියෙන් ටයරෙට

ඊපීඑෆ් ඊටීඑෆ්  බටා ඕටී නෑනේ අපිට 
අතපය පන නොමැති දාට වෙන්නේ පාරේ හිඟාකන්න
ප්‍රයිවට් බස් ඩයිවර් යයි කියන්න බෑ ඉස්කෝලෙට 
තාත්තේ වෙන ජොබක් හොයන් යන්නේ නැත්තේ ඇයි ඇත්තට 

පුතේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට 
කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට 
එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට