Friday, August 29, 2014

රස්සාව

පිදුම - අරූ අයියාට  (අරූගේ අඩවිය )




"ඔයාට පුළුවන් සුනීත ඔයාට උවමනාවක් නෑ.."

"අනේ බම්බුව තමයි "

"බම්බුව නෙවෙයි කොම්බුව , බලන්න ඔයාට මම මෙච්චර උදව් කරද්දීත් ඔයා විබාගේ දෙවනිසැරෙටත් පේල් වෙනවා කියන්නේ ඔයාට උවමනාවක් නෑ තමා  ඉහි ඉහි ඉහි"

"අනේ ඉතින් අඬන්න එපා ,සාවිත්‍රි ..මම පුළුවන් තරම් උත්සාහ කළානේ .."

"මම යනවා සුනීත .....මේ තියෙන්නේ මම අලුතෙන් හදපු කෙටි සටහන් ටික ඔයාටම කියලා, අනේ මන්දා මගේ මහන්සිය ගැනවත් ඔයා හිතන්නේ නැති හැටි." පොස්ට් කාඩ් ප්‍රමාණයට කපපු ,සටහන් ලියාපු කඩදාසි ගොන්නක් සුනීත අතින් තියපු සාවිත්‍රි සුනීතට පළමුවෙන් ඉදිරියට දිවයන්නට විය .

"සාවිත්‍රි ......."

සාවිත්‍රි ඈතට දිවයනු බලා සිටින සුනීතට ඇයගේ දෙපා හොඳින් දිස්වේ ...පිරුණු මහත දෙපා වලට ඔහු කැමතිය.

"බලපංකො නිකං ෆුට්බෝල් කාරයෙක්ගේ වගේ කකුල් ..."

ඔහුගේ මිතුරෙකු වරක් පැවසුවද... දිගු කෙස් කලඹත් , සිනාසෙන විට වල ගැසෙන සුදු කම්මුල් ගැනත් කිසිවෙකු කිසිවිටක කිසිත් වරදක් කියන්නේ නැති බව සුනීතට මතක් විය .

ඈතට දිවගොස් කඩුල්ලෙන් පැන නිවාස තුලට ඇදුනු සාවිත්‍රි දෙස මොහොතක් බලාසිටි සුනීතගේ ආපසු හැරුණු දෙපා නතරවුණේ පියා සේවය කරන සාප්පුව අසලය . මඳක් වටපිට බැලූ සුනීත සාප්පුව තුලට ඇතුල්වත්ම සුපුරුදු ලෙස අදත් ඇස ගැටුනේ ඇතුළු කාමරයේ දොරට උඩින් පේළියට තබා ඇති බුදු හිමියන් සහ තවත් විවිධ දෙවිවරු රැසකගේ පින්තූර පෙලයි .

පසුපස හැරුණු සුනීත නැවත බැලුවේ ඇතුල්වන දොරට උඩින් තබා තිබූ සීවලී පීන්ථූරය තවමත් එසේම තිබේද කියාය. ඒ සමගම අලුතින් එතන තබා ඇති කාසි පිරුණු තැටියක් මත අඩ නිරුවත් හිනැහෙන බඩතඩියෙකුගේ පිළිමයද ඇස ගැටුණි

*******


" ඇයි මොකෝ ...., උඹ අදත් කට්ටි පැන්න නේ ?" කනේ තියාගෙන අසමින් සිටි කුඩා පොකට් රේඩියෝව සද්දය අඩු කරමින් පසෙකින් තැබූ උපසේන සුනීත දෙස බැලීය

" නැහ්හැ ....."

" නැත්තේ මොකෝ ...? තව දොළහ වුනෙත් නෑනේ ?... දැන් අම්මා කෑම අරන් එන වෙලාව පුතෝ .... පලයන් ගෙදර ..."

" තාත්තේ මම අදත් බලන් ඉඳල යන්නං?"

"එපා ....උඹට මේවා කරන්න බෑ... උඹ ඕනෙමයි කිව්ව නිසයි මම එදත් හා කිව්වේ .... පුතේ උඹලා අම්ම කැමති නෑ උඹත් මේ රස්සාව තෝරගන්නවට .. අනික මතක තියාගනින් උඹල අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ . "

සුනීතට සැනෙකින් සාවිත්‍රි මතකයට නැගිණි .

"ඔයා හොඳට පාඩම් කරන්න මේ සැරේ නම් ඔය පාස් වෙනවමයි , එතකොට අපි දෙන්නටම උසස්පෙළ කරන්න පුළුවන්,"
 දෙවැනි වතාවටත් විභාගය කරන්න සුනීත අකමැත්තෙන් උන්නත් හිත හදාගත්තේ මව්පියන්ගේ කීම කෙසේ වෙතත් සාවිත්‍රිගේ පෙරැත්ත කිරීම් නිසාවෙනි .


"අනේ තාත්තේ .."


*******


'කෝ පුතා ...." වැඩට ගිය පයින්ම ආපසු නිවසට පැමිණෙමින් සිටින උපසේන දෙස බැලූ බිරිය බැලුවේ පුදුමය මුසු හැගීමකිනි.

"ඔය තාම නිදියගෙන ඉන්නේ ... ඉස්කෝලේ යන්නෙත් නෑ...  ඔය..."

"ඉක්මනට එන්න කියාපන්"

"අර මොකටද ?"

"බේකරියේ මුදලාලි නැතිවෙලාලු ... අපේ මුදලාලි පණිවිඩේ එව්වේ ... අපිට වැඩේ බාර දීලා ..අද විජයා නෑ ..."

"දැන් ඔහේ හදන්නේ කොල්ලවත් ඔය රස්සාවට පංගාර්තු කොරන්නයි ..."

"ඔන්න ඔහේ ඌත් කැමති එකේ ,ඉගෙන ගත්තාවේ පුතාලයි අම්මේ ..."

මේ කතාබහ අවසන් වන්නටත් පළමුවෙන් කොට කලිසමක් හැඳ කමිසයේ බොත්තම් පියවමින් පියා ඉදිරියට පැමිණි සුනීත "යමු තාත්තේ" කියා පවසමින් ඉස්සර වුනේ තම මව දෙස හොරැහින් බලමිනි ...

කට හැරගෙන මද වෙලාවක බලා හුන් සුමනාවතී දිගු සුසුමක් හෙලා ආපසු නිවාස දෙසට හැරෙමින් ඇස් අග තිබූ කඳුළු බිංදු පිටි අල්ලෙන් පිස දැමුවාය. ඒ දුටු සුනීතට මතක් වුනේ පෙරදා රාත්‍රිය කෑම කන වෙලාවේ ඇති වූ සංවාදයයි .


********


" අනේ අම්මේ ..."

" පුතේ එක පාරක් විබාගේ පේල් උනාය කියලා ඉගනගන්න එපා කියලා නීතියක් ඉස්කෝලේ දාලා නෑනේ ... අනික අපි වියදං කොරනවානම් උඹට මොකෝ.. උඹ ඕකට යන්න දැඟලුවට ඔය රස්සාව මිනිස්සු කැමති රස්සාවක් නෙවෙයි පුතේ "

"අනේ මට බෑ අම්මේ ආපහු විබාගේ ගන්න .. පන්තියේ ඉන්නේ ඔක්කොම මට බාල එවුං ... මට බෑ බෑ බෑ කිව්වොත් බෑ ...." වතුර කෝප්පය නැවත වරක් මුව තුලට හරවා උඩ බලා ගනිමින් අන්තිම බින්දුවත් උගුරට හලාගෙන හුන් තැනින් නැගිටිමින් සුනීත කී දේ අසාසිටි උපසේන කටහඬ අවදි කලේය.

" ඔය රස්සාව කොරා කියලා වරදක් වෙන්නේ නෑ පුතාලයි අම්මේ . ඉස්සරහට ඕවට මිනිස්සු නෑ .. හොඳට හම්බ කරන්න ඇහැකි රස්සාවක් ...

" අනේ මගේ කට......... දැන් මේ ඔහේ හම්බ කරන්නේ හතර මහා නිධානෙ පහලවෙලා වගේ ". මේ කතාබහට උනන්දුවක් නොපෙන්වා ඒත් ඉතාම උවමනාවෙන් සවන් දුන් ඒ අවස්ථාවේදී මෙන්ම දැනුත් සුනීතට සිහි වූයේ බඩතඩි අඩනිරුවත් වානරයා තබා තිබූ පීරිසියේ තිබූ කාසි ගොඩයි.

"පුංචි කාලේ මගේ කැටෙවත් ඔච්චර කාසි තිබ්බේ නෑ " සුනීතට සිතුනි .



*******


"මෙතනින් කපලා බල නහරේ මතුකර ගන්න ඕනේ "

"දැන් ඔය සිලින්ඩරේට මේ බටේ ගහපන් , මේ තියෙන්නේ මෙන්න මේ බෝතලේට ලේටික ඔක්කොම එකතුකරගනින් .... බෝතලේට යටින් ඔය තැටිය තියාපන්. සමහරුන්ගේ ඇඟේ ඔය ලේ වැඩිපුර යනවා .. පොමලින් එක ගහන්න කලින් ලේ ටික ඔක්කොම අයින් කරන්න ඕනේ .."

"බලපන් උඹට පේනවද මේ ලේ ටික අයින් වෙනකොට මිනිය පිම්බුණු ගතිය නැතිවෙනවා , දැන් මුදලාලිද කියල අඳුන ගන්නත් බැරි ගානයි . මොන කෙරුමාත් අන්තිමට ඔතනින් තමයි බං නවතින්නේ ... එතකන් තමා ඔක්කොම සෙල්ලං."

තාත්තා කතා කරන ආකාරයෙන්, මිනිසුන් මැරෙනවාට තාත්තා කැමතිද මන්දා කියා සුනීතට සිතෙන්නට විය . ඇත්තෙන්ම තාත්තා කරන නිසා ආසාවෙන් සිටියාට මේ මොන අප්පිරියා රස්සාවක්දයි යන සිතුවිල්ල නිමේෂයකින් සුනීතගේ සිතට ඇතුළුවී පිටවී ගියේය .

 "ආ ඔතනින් තියාපන්... දැන් මම මේ සිරින්ජරේ තියෙන පොමලින් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්නේ නැතුව දිගටම ගහපං ..."

"නවත්තන්න එපා බොල පොමලින් ටික පස්සට අදිනවා . මේ සිරින්ජරෙන් තුනක් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්න එපා ... දවස් හයක් තියාගන්න නම් මේ සිරින්ජරෙන් තුනක් වදින්නම ඕන පුතේ .."

ඇත්තටම ඔතැනි මනුස්සයා කියා මිනිසුන් හඳුන්වන තාත්තා මෙතනදී කොතරම උද්‍යෝගිමත් ද කියා දුටු සුනීතට සැබවින්ම පුදුම සිතුනි .

"මොන ලෝකෙද මනුස්සයෝ ඉන්නේ ..." තාත්තාගේ ගෝරනාඩුවෙන් සුනීත නැවතත් පියවිලොවට පැමිණියා නොව ඇදගෙන වැටුණි ...

"උඹ ඉස්සෙල්ලා තීරණය කොරහන් මේක කරනවද නැද්ද කියලා ,මෙතනට වෙලා උඩ බලන් ඉන්නේ නැතුව .."
ඉන් පසු ක්ෂණයකින් නැවත පෙර රිද්මයට පැමිණි තාත්තා

"දැන් හොඳට බලාගනින් මේ  බඩ බොකු ටික අයින් කරන්න ඕන විදිහ .."

"මතක තියාගනින පුතේ ,වැඩේ ඉවර වුනාම මේ ආවුද ඔක්කොම සුද්දකරලා මේ පෙට්ටියට දාලා වහන්න ඕන.."

සාමන්‍යයෙන් අඩුවෙන් කතා කරන තාත්තා අද වැඩිපුරත් දොඩමලු වීම සුනීතට නුහුරුය.. මළමිනියක් සමග තනිවී මේ කරනා ගනුදෙනුවේදී තාත්තා ගේ හිත තරමක් හෝ  චංචල වී නොමැති වීම සුනීතව පුදුම කරවීය ,

නුහුරු මූසල කමකුත් , අප්පිරියාව මුසු ආගන්තුක හැගීමක් මෙන්ම පෝමලින් සැර නිසා කඳුළු පිරුණු දෙනෙතට , බරවුණු හිසටත් මේ ක්‍රියාවේ නුහුරු ,දුෂ්කර ගතිය දැනෙන්නාක් මෙනි ..


******

"සුනීත ..සුනීත අ අ"

සුනීත වට පිට බැලුවේ සාවිත්‍රිගේ කටහඬ ආවේ කොහෙන්දැයි කියා සොයන්න්ටයි ... පාරෙන් එහා පැත්තේ " මදාරා බියුටි සැලෝන්" හි දොරකඩ සිටගෙන තමන්ට අත වනනා සාවිත්‍රි දුටු සුනීතට මුලින්ම හිතට සතුටක් මොදුවුවත් ,ඊළඟ නිමේෂයේදී හිතට චකිතයක් ඇතුළු විය .

" මෙකි දැක්කද දන්නේ නෑ මම මෙතනින් එලියට එනවා "

සැනෙකින් පාරෙන් අනෙක් පසට පැන්න සුනීත සාවිත්‍රි අසලට දිවගියත් සාවිත්‍රිට ලංනොවී තරමක් ඈතින් සිටගත්තේ පොමලින් ගඳ දැනෙනවද දන්නේ නෑ යයි සිතමිනි.

"මොකද අනේ මේ ඈතට වෙලා ,මොකක්ද ඔය සුවඳ අප්පා ..ඔයා සෙන්ට් බාල්දියකට වැටුනද? අම්මේ නහය කඩාගෙන යනවා..මොකද අනේ මේ .."

සාවිත්‍රිගේ ප්‍රශ්න වලට උත්තර මතක් කරන විට

තාත්තාට හොරෙන් හංගාගෙන පැමිණි සෙන්ට් කුප්පියෙන් බාගයක් පමණ කඩේ දොරකඩ ඉඳන් ඇඟේ හලාගත් අයුරු මතක් වී සුනීතාගේ මුවට මද සිනාවක් නැගුණි..

"ගෙදරද යන්නේ...යමු මාත් එන්නම්... ඔයා මගෙත් එක්ක තරහ වෙලාද හිටියේ සුනීත.. මම ඉතින් ඔයාගේ හොඳටනේ කිව්වේ ... මමත් මෙතන බියුටි සැලෝන් එකේ වැඩට ආවා ,කියන්න ඔයාව කොච්චර නම් හෙව්වද ? අයි සුනීත නිකංවත් ආවේ නැත්තේ ....?"
"මම තාම ට්‍රේනිං. රිසාල්ට්ස් එනකං ගෙදරට වෙලා ඉන්නත් බෑනේ නිකම්ම.. හැබැයි මෙතනට එන සෙනග දැක්කම මට හිතෙනවා .විබාග කර කර දුක් විඳින්නේ නැතුව මේක හොඳට ඉගෙන ගන්න ..... මාර සල්ලියක් අනේ දවසකට ..."

"මොකද අනේ හැම එකටම බකමූණා වගේ හ්ම් හ්ම් ගාන්නේ කතා කරන්නේ නැතුව ." මෙතරම් වෙලා ගිරවියක් සේ ඇය කී දේට හූමිටි තබනවා විනා කිසිත් නොකී බව ඔහුට මතක් වුනේ එවිටය... කෙසේ වෙතත් මින්පසු සාප්පුවට යන්නේ නම් වැඩිපුර පරිස්සම් වීමට සිදුවන බව සුනීතට වැටහුණි.

පාරෙන් එහාපැත්තෙ කඩ හතාටකට එහායින් වූ " මදාරා බියුටි සැලෝන් " හි පුහුණුවන සේවිකාවක් ලෙස සාවිත්‍රි පැමිණීම නිසා සුනීතගේ සිත නැවතත් ව්‍යාකූල විය.


*******


"ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන.... දැන් උඹට ආයේ ඉගෙන ගන්න දෙයක් නෑ... මුදලාලිත් කැමතියි උඹ දැන් තනියෙන වැඩක් කරනවට.."

කීප වරක්ම තනියෙන් බෙහෙත් ගැලවීම කරන්නට ඉල්ලා සිටියත් පියාගේ පිළිතුර වූයේ ,
"පුතේ මම මුදලාලි ළඟ අවුරුදු තුනක් වැඩකෙරුවට පස්සේ තමයි තනියෙන් එම්බාම් එකක් කරන්න ලැබුනේ , කලබල වෙලා මේ ගමන යන්න බෑ පුතේ . අනික් මේ හැම එකම එකම කරමෙකට කොරන්ටත් බෑ  "
සුනීත නැවතත් පියවි ලොවට ආදගෙන ආවේ පියාගේ කටහඬයි

"හැබැයි පුතෝ කවදාවත් ගුණමකුවෙක් වෙන්න නම් එපා .මේක තනියෙන් කරන්න පුළුවන් කෙලියක් නෙවෙයි. අපේ මුදලාලි හැමදාම අපිට සලකනවා..."

ටික වෙලාවකට පස්සේ අනික් කිසිම දෙයක් මතකයේ නොරැඳුනත් ....

 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."

ඒ කියමන නම් සුනීතගේ හිත ඇතුලේ දෝංකාර දුන්නේ අමුතුම හැගීමක් එක්කමයි ...ඒ හැගීම දුකක්ද එහෙමත් නැත්තම සතුටක්ද?.. එදා රාත්‍රිය පුරාවට නින්ද සුනීත අහලකවත් නොවීය . ඇස් පියවෙන විටම තනියෙන්ම මිනියක් එම්බාම් කරනු මැවී පෙනෙන්නට වීම නිසා කිහිප වරක්ම සුනීත චංචල වූ සිතින් අවදි විය . ජීවිතයේ ඉසිසේල්ලම රස්සාවේ වගකීමක් බාරගන්න කාලේ ඇවිත්.

ඒත් මං ඒකට මිනිහෙක් මැරෙනකන් බලන් ඉන්න ඕනෙද? එතකොට වැඩියෙන් මිනිස්සු මැරේවා කියලද මම පතන්න ඕන .. නොයෙක් සිතුවිලි වලින් ආකූල ව්‍යාකූල වූ සුනීතගේ අසලටවත් එදා නින්ද නම් ආවේ නැත.


*******


සුනීත පාරට ආවේ ටවුන් එක පැත්තට ගිහින් එන්න .....

"ඊළඟ එක උඹ තනියෙන් කරන්න ඕන " කියලා තාත්තා කියලා දැන් දවස් දෙක තුනක් වුනත් ,තාම වැඩක් නම් ආවේ නෑ... එක අතකට මම කාලකන්නි මිනිහෙක්ද ? මගේ කුළුඳුල් රස්සාවේ තනියෙන් කරන පලවෙනි වැඩේ කරන්න තාමත් අවස්තාවක් නෑ. ඒක එන්නත් මිනිහෙක් මැරෙනකම් බලං ඉන්න වෙනවා ..ඇත්තටම මේ මොන පවක්ද .... සුනීත ගේ හිත හැම තැනම දුවන්න පටන් ගත්තා...

"සුනීත ... ! ! !"

"අහ සාවිත්‍රි ....ලඟට එනකම්ම දැක්කේ නෑ..."

"ඔව් .. ඒක ඇත්ත ..ඔයා කවදාවත් මං ලඟට ආවා කියලා දැක්කේ නෑ ... එකනේ ඔය ..."

"සාවී ..මොකද මේ ..."

"ඔයාට මම කිව්වා ඔය රස්සාවට යන්න එපා කියලා ..ඔයා මට සලකපු හැටි තමයි මේ නේද සුනීත...
කවදා හරි කටක් ඇරලා ගෙදරට කියන්න පුළුවන් රස්සාවකටද ඔය ගියේ මටත් කොලේ වහලා ...

" කවුද ඔයාට ඔය බොරුව කිව්වේ සාවිත්‍රි ....?

"මං අස්දෙක්න්ම දැකපු දේ බොරුවක් කියන්නද සුනීත ඔයා හදන්නේ , ඔයා අර සෙන්ට් නාලා ආපු දවසෙම තමා මට සැක හිතුනේ . මම ඊට පස්සේ ඔතනට මිනියක් ගෙනාපු හැම වෙලාවකම ඇහැ ගහගෙන හිටියේ . මට විජේ මාමාත් හම්බවුනා බස් එකේදී, එයා ටවුමේ අලුත් තැනට ගියාට පස්සේ එතන වැඩකරන්නේ ඔයා කියල එයා කිව්වා. "

කියාගන්න දෙයක් නැතුව සුනීතගේ මුව ගොලුවුනා , "සාවිත්‍රි"

"ඔයා උවමනාවෙන්ම විබාගේ පේල් වුනෙත් ඔය නිසා තමයි ...
තාත්තලා පුතාලා ඕන කුදයක් ගහගන්න ..
ආයේ මම ඔයා හම්බවෙන්න එන්නේ නෑ සුනීත ....."

මූණ පුරා කඳුළු වැල් බේරී බේරී අඬන සාවිත්‍රිගේ කටින් පිටවෙන වචන දිහා ඔහේ බලාගෙන හිටියා මිසක් සුනීතට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා..

"සාවිත්‍රි ....."

එත් ඒ සද්දේ අහන්න සාවිත්‍රි ළඟ හිටියේ නෑ ... ඈත කඳුළු පිහදදා යන සාවිත්‍රි දිහා බලාගෙන හිටපු සුනීත ,යන්න ගිය ගමන පැත්තක තියලා ආපහු හැරුනා ...

දිග සුසුමක් හෙලපු සුනීතට හිතුනේ ආපහු කවදාවත් සාවිත්‍රි එක්ක කතා කරන්නවත් බැරිවෙයිද කියලා ,

එත් එක්කම සුනීතට මතක් වුනේ මේ රස්සාව ඉගෙන ගන්න ඕන කියපු හැම වෙලේම තාත්තා කියපු කතාව
"මතක තියාගනින් උඹලෑ අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ.........!!! "


*******

"මොකෝ පුතේ ගිය පයින්ම ආපහු?" ,අම්ම දිහා එකවතාවක් විතරක් බලපු සුනීත ,කමිසයේ බොත්තම් ගලවමින් ගේ ඇතුලට ගියේ කිසිම කතාවක් බහක් නැතුව ,
ගෙදර ඇතුලට ගිහිං දොර වහන්නත් කලින් ...

" සුමනාවතී නැන්දේ ...සුමනාවතී නැන්දේ ..."

ඒ සුනිල්ගේ සද්දේ ...

"මොකෝ ළමයෝ ...."
අම්මා එලියට එනකොටම අම්මගේ පස්සෙන් සුනීතත් ගලවපු කමිසේ උරිස්සට දාගන්න ගමන් එලියට ආවේ සුනිල් නිතර තමුන්ගේ ගෙදර එන කෙනෙක් නොවුණු නිසාත් , මුදලාලිගේ ගණන් හිලව් වැඩ බලන සුනිල් එන්න ඇත්තේ තාත්තගේ පණිවිඩයක් අරන් වෙන්න ඇති කියන සිතුවිල්ලත් එක්කම .

"අනේ නැන්දේ මාමා ...

"ඇයි මාමට මොකෝ ..?"ඇස් දෙකේ ලොකු කුහුලක් රඳවාගත් අම්ම දෙසත් ,කඳුළු පුරවාගත් සුනිල් දෙසත් මාරුවෙන් මාරුවට බලූ සුනීත ඉහල බැලුවේ හිසට උඩින් කෑගසමින් පියාඹාගිය කණකොකා දෙස අමනාපයෙන් මෙනි .

" කියහන් ළමයෝ "
අම්මා සුනිල්ගේ උරිස් දෙකෙන් අල්ල හොල්ලද්දී සුනිල් අල්වාගෙන සිටි බයිසිකලය අතහැරී බිමට පතිත විය.

"මාමා  ටවුමේ පාර පනිනකොට පොලිස් ජීප් එකට හැප්පිලා ...අපේ මුදලාලි එවෙලේම ඉස්පිරිතාලේ ගෙනියලා................... "

"යමන් ළමයෝ එහෙනම් ඉක්මනට" කියමින් ගෙදර දෙසට දිවගිය අම්මා දෙස සුනීත නොසෙල්වී ඔලුව පමණක් හරවා බැලුවේ යමක් වටහා ගත්තාක් මෙනි ... කඳුළු පිරුණු නෙත් දෙකින් සුනීතට අම්මාව පැහැදිලිව පෙනුනේ නැත.

"ඒත් නැන්දේ ............" යයි සුනිල් පවසද්දී ....ආපසු දිව ආ සුමනාවතී

"අනේ  දෙයියනේ.....පුතේ..ඒ.ඒ.ඒ.ඒ." කියමින් සුනීතගේ ඇඟේ එල්ලුනත් අතපය වාරු නැතිවූ කලකමෙන් සුනීතගේ පපුපෙදෙස සූරමින් පහලට රූටාගොස් දන බිමඇනගෙන හඬන්නට විය .

අත් දෙකින්ම කන්දෙක තදින් වසාගත් සුනීත ඉහල බැලුවේ කන්දෙකට ඇසෙන යමක් වලක්වාලන්නට මෙනි   ...

ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......



Wednesday, August 6, 2014

පොකට් ගහන්නට බැරි ආදරය හා තිලක සිත




"ආදරය කියන්නේ හොරකමක් .."

" නෑ එහෙම වෙන්නේ කොහොමද?"

" නැත්තේ මොකද ?"

" ඒක හොරකමක් තමයි ...."

" වෙන්න බෑ ?"

" වෙන්න බැරි මොකද ..ආදරය කියන්නේ හිත හොරකම් කිරීමක් කියලනේ කියන්නේ ..."

"ඒ කියන්නේ පොකට් කාරයෝ ඔක්කොම ආදරවන්තයෝ ...."

"නෑ... හොරකමක් වුනාට ආදරය පොකට් ගහන්න බෑ ...."

"කවුද එහෙම කියන්නේ "

"එහෙම කියන්නේ "තිලකසිරි "

කොහෙදිද .....



ජීවිත ගමනේ ඇවිදගෙන යද්දී අපිට විවිධාකාර මිනිස්සු හමුවෙනවා . ඒ අතරින් බොහොමයක් දෙනා මතකයෙන් ඉවතට යනවා. කීප දෙනක් මතකයේ රැඳෙනවා .. හැබැයි හදවතේ රැඳෙන්නේ බොහොම අල්පයි...

හදවතේ රැඳෙන්නේ මනුස්සකම පිරුණු අව්‍යාජ මිනිසුන්ව .  හැගීම් අකුරු කරනවා කියන දේ කරන්නට අමාරුයි . ජීවිතේ එකවරක් හෝ තමන්ට දැනුනු හැගීමක් ලියන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහි අසීරුව වැටහෙනවා ඇති...

තිලක සිත හැමදාමත් සංවේදී හැගීම් ඔබටත් මටත් දැනෙන්නට අකුරු කළා.. ඒ සංවේදීකම , ලෙන්ගතු කම සයිබරය පුරාවට විහිදුනා .. සයිබරයේ රැඳුනු ඒ ලෙන්ගතුකම සමගින් දොඩමළු වන්නට ... සතුට බෙදාගන්නට පැමිණෙන්න කියා ඔහු ආරාධනය කරනවා ..

කාටද ?

ඔබටත් මටත් අපි හැමටත් 

කුමකටද ?

තිලකසිත දොරටවඩින දිනට ..

කවදාද ?

අගෝස්තු 08 සිකුරාදා

කොහෙදීද ?

කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට

කීයටද?

හවස තුනයි තිහට ,

අනික් සියලුම විස්තර මෙතනින්






ප.ලි..... මේ පණිවිඩය කියවා ..තිලකසිතට සුබ පතන්නට ,ශක්තියක් වන්නට අපි එතනට යමු...
කමෙන්ට් වලින් කිවයුතු සියල්ල මෙතනට කියන්න ...