Sunday, August 23, 2026

සිසිලියේ වසන්තය

 


චෙෆාලූ (Cefalù) වෙරළට එදා හැන්දෑවේ ඉර බැස්සේ හරිම හෙමින්.

මුහුදට ඉහළින් තිබුණු නිල් අහස මුලින්ම ලා රන් පාටකට හැරුණා. ඊට පස්සේ තැඹිලි පාටක් ඒ අතරට එකතු වුණා. ඈත වලාකුළු කීපයක දාර රතු පාටින් දිලිසුණා.

මම වෙරළ අයිනේ නැවතිලා ඒ දිහා බලාගෙන හිටියා.

මිනිස්සු පිරිලා.

වැල්ලේ සෙල්ලම් කරන ළමයි. අතින් අත අල්ලගෙන යන තරුණ ජෝඩු. මුහුද පැත්තට පුටු හරවාගෙන වයින් බොන වයසක යුවළක්.

ඒ හැමෝම අතර මට පෙනුණේ නැති කෙනෙක්ව.

සොෆියා.

අවුරුදු ගණනාවකට කලින් මේ වෙලාවටම ඇය මගේ අතේ එල්ලිලා මේ වැල්ල දිගේ ඇවිදගෙන ගියා.

එදා ඇගේ පා සටහන් දෙපැත්තෙන් මගේ පා සටහන් තිබුණා.

අද තිබුණේ මගේ ඒවා විතරයි.

මම සපත්තු දෙක ගලවලා අතට ගත්තා.

සීතල වෙමින් තිබුණු මුහුදු වතුර පාදවල වැදිලා ආපහු යනකොට මතකයක් අරගෙන යනවා වගේ දැනුණා.

“ප්‍රගීත්...”

මම එකපාරටම පිටිපස්ස හැරුණා.

කවුරුත් මට කතා කරලා තිබුණේ නැහැ.

ඒ හඬ තිබුණේ අවුරුදු ගණනකට එහා පැත්තේ.

*******

මම සිසිලියට ඇවිත් ඒ වෙනකොට මාස තුනක් විතර ඇති.

පලේර්මෝ (Palermo) විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ලංකාවෙන් ආපු ශිෂ්‍යයෙක්. දේශන, අසයින්මන්ට්ස්, අඩු වියදමට කෑම හොයන එක, ලංකාවට කෝල්—මගේ ලෝකය එච්චරයි.

සිකුරාදා රෑක යාළුවෝ කීපදෙනෙක් එක්ක බොන්න ගිය පුංචි පබ් එකකදී තමයි මම ඇයව මුලින්ම දැක්කේ.

ඇය එතැන වැඩ කළා.

ඇය ලස්සනයි කියලා මට මතකයි.

ඒත් ඊට වඩා මට මතක ඇගේ වේගය. එක මේසයකට බීම අරගෙන යන ගමන් තව මේසයක ඕඩර් එක ගන්නවා. කවුන්ටරයේ හිටපු කෙනෙක් එක්ක ඉතාලි භාෂාවෙන් මොනවාදෝ කියලා හයියෙන් හිනාවෙනවා.

ඊළඟ මොහොතේ ඇය අපේ මේසය ළඟ.

ඇය අපි දිහා බලලා ඉතාලි භාෂාවෙන් මොනවාදෝ ඇහුවා.

මම ඇගේ මූණ දිහා බලාගෙන හිටියා.

සිසිලියට ඇවිත් මාස කිහිපයක් වුණත් මගේ ඉතාලි භාෂාව තිබුණේ කෝපි එකක් ඉල්ලගන්න, ස්තුති කරන්න, පාරක් අහගන්න තරමට විතරයි.

අනික් අය එක එක ඒවා කියද්දි මම 

"... English?”

ඇගේ මුහුණට පුංචි හිනාවක් ආවා.

“Oh! Sorry. What can I get you?”

මම අනික් මේසයේ කෙනෙක්ගෙ වීදුරුව පෙන්නුවා.

“Same.”

ඇය වීදුරුව දිහා බැලුවා. ඊට පස්සේ මගේ දිහා.

“Same?”

“Yes... same.”

ඇය තත්පරයක් මගේ දිහා බලාගෙන හිටියා.

“Same has a name.”

යාළුවෝ හිනාවුණා.

මටත් හිනා ගියා.

ඇයත් හිනා වෙමින් හැරිලා ගියා.


සතියකට විතර පස්සේ මම ආයෙත් ඒ පබ් එකට ගියා.

මේ වතාවේ තනියම.

ඒකට හේතුව අද මගෙන් ඇහුවොත් තාමත් හරි උත්තරයක් දෙන්න බැහැ.

සමහරවිට බියර් එකක් බොන්න වෙන්න ඇති.

සමහරවිට එහෙම නොවෙන්නත් ඇති.

මම කවුන්ටරයේ කෙළවරක ඉඳගන්නකොට ඇය මාව දැක්කා.

මගේ ළඟට ඇවිත් ඉතාලි භාෂාවෙන් මොනවාදෝ ඇහුවා.

මම ආයෙත් අර පළවෙනි දවසේ වගේම ඇගේ මූණ දිහා බලාගෙන හිටියා.

ඇයට හිනා ගියා.

මේවර ඇය ඉංග්‍රීසි භාශාවෙන් " තවම ඉතාලි නෑ නේද?"

“හ්ම්ම්..ඔව්”

“සිසිලියේ මාස තුනක් ?? ස්ලෝ ලර්නර් ” ඇය හිනා වුනා

“ඉගෙන ගන්න උත්සාහ කරනවා.”

“ඒක හරි ලේසියි ,ලොකු කාලයක් යන්නෙ නෑ”

“Same” ඇය හිනා වෙමින් ඇහුවා

“Same has a name.”

මම කිව්වා.

තත්පරයක් දෙකක් ඇය නිහඬව හිටියා.

ඊට පස්සේ ඇයට හොඳටම හිනා ගියා.

********

සතියකට විතර පස්සෙ හවසක අහම්බෙන් හම්බවුනා වගේ මම ඇයව මුණගැහුණෙ ඇය වැඩ අවසන් වෙලා යද්දි.. හැබයි ඇයගේ සිනාවෙන් මට වැටහුණේ ඇය ඒ බව ශැන සිටි වග

“මට ඔයාගේ නම කියන්න.” ඇය ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වා

“ප්‍රගීත්"

“ප්‍රේ...?”

“නෑ.. ප්‍ර.....ගී.....ත්”

“ප්‍රේගිට්?”

"නෝ.”

ඇය ආයෙත් උත්සාහ කළා.

ඒ පාර ඊටත් වඩා වැරදියි.

“ඉම්පොසිබල්”

“කමක් නෑ ඔයාගෙ නම?”

“සොෆියා.”

“ලේසියි සොෆියා.”

ඇය හිනාවුණා.

“සොෆියා..”

ඇය ආපහු බැලුවා.

“මට ඉතාලි උගන්වන්න. මම අපේ   භාෂාව උගන්නන්නම් කැමතිනං..”

ඇය මොහොතක් මගේ දිහා බලාගෙන හිටියා.

"හපෝ මම සිරි ලන්කන් වචන දන්නවා.. හැබැයි බෑඩ් වර්ඩ ඇයමහ හයියෙන් හිනාවුනා,

ඊට පස්සෙ නැවතිලා 

“ඕකේ.... ඩීල්”

ඊට පස්සෙ හැම දවසකම වගේ ඇය මට අලුත් ඉතාලි වචනයක් ඉගැන්නුවා.

මම ඇයට සිංහල වචනයක් ඉගැන්නුවා.

ඇයට සිංහල කියන්න බැහැ.

මට ඉතාලි කියන්න බැහැ.

අපි දෙන්නාම එකිනෙකාට හිනා වුණා.

ටික කාලයකට පස්සේ මට ඉතාලි වාක්‍ය කිහිපයක් එක දිගට කියන්න පුළුවන් වුණා.

සොෆියාටත් මගේ නම හරියට කියන්න පුළුවන් වුණා. ඒ වුනාට එයා වැඩිපුරම මට කතාකලේ "ප්‍රේ.. " කියලා..

ඒත් ඒ වෙනකොට අපි දෙන්නාට එකිනෙකා තේරුම්ගන්න වචන එච්චර අවශ්‍ය වුණේ නැහැ.


ඊට පස්සේ ගෙවුණු අවුරුද්ද මට අද මතක් වෙන්නේ දින තුන්සිය හැටපහක් විදිහට නෙවෙයි.

පුංචි පුංචි දර්ශන ගොඩක් විදිහට.

උදේක කුඩා කොෆිබාර් එකක කවුන්ටරයට හේත්තු වෙලා සොෆියා එස්ප්‍රෙසෝ බොනවා.

මම ඒ පුංචි කෝප්පය දිහා බලලා,

“මේක බොන්නත් කලින් ඉවරයිනේ.”

කියනවා.

ඇය හිනා වෙනවා.

තවත් දවසක චෙෆාලූ පරණ නගරයේ පටු ගල් පාරවල් දිගේ අපි කිසිම අරමුණක් නැතුව ඇවිදිනවා. උඩ තට්ටුවල ජනෙල් අතර ඇදපු රෙදි වැල් සුළඟට පැද්දෙනවා. කුඩා කඩවලින් කෑම සුවඳ එනවා. ඈතින් ඩුආමෝ ඩි චෙෆාලූ එකේ සීනු හඬ ඇහෙනවා.

සොෆියා කතා කරද්දී ඇගේ අත් දෙකත් කතා කරනවා.

මම ඒකට විහිළු කරනවා.

“අත් හොලවන්නෙ නැතුව කතා කරනවානම්, ඒ ඉතාලියානුවෙක් නෙවේ.”

ඇය කියනවා.

ගිම්හාණයේ දහවල් උණුසුම අඩුවුණාම පවුල් පිටින් පාරට බහිනවා. ළමයි දුවනවා. වයසක මිනිස්සු එකතු වෙලා කතා කරනවා. මුලදී මට රණ්ඩුවක් වගේ ඇහුණු සමහර කතා පස්සේ සාමාන්‍ය සිසිලියානු කතාබහක් කියලා තේරුණා.

අපිත් ඒ මිනිස් ගඟට එකතු වුණා.

සමහර දවසක ඇරන්චිනි (arancini) එකක් දෙකට බෙදාගෙන කෑවා. උණු දවසක ග්‍රැනීතා (granita) අරගෙන මුහුද ළඟ ඉඳගත්තා.

සමහර ඉරිදාවල මම ඇගේ ගෙදර කෑම මේසයේ හිටියා.

ඇගේ අම්මා මගේ පිඟාන හිස් වෙන්න දුන්නේ නැහැ.

“ඔයාගේ අම්මත් මෙහෙමද?”

සොෆියා ඇහුවා.

“මීටත් අන්තයි.”

මම කිව්වා.

“එහෙනම් මම එයාට කැමති වෙයි.”

ඇය කිව්වා.

මම හිනා වුණා.

“ඔය දෙන්නා එක කාමරයක දැම්මොත් භාෂාවක් නැතුවත් හොඳට කතා කරයි.”

එදා ඒක විහිළුවක්.

පස්සේ මට ඒ වචන මතක් වුණේ වෙනස් විදිහකට.

හැන්දෑව අපේ වෙලාව වුණා.

වැඩ ඉවරවුණු දවසක, දේශන ඉවරවුණු දවසක, කිසිම විශේෂ හේතුවක් නැති දවසකත් අපි වෙරළට ගියා.

සමහර දවසක කතා කළා.

සමහර දවසක කතා නොකරම ඉර බහිනකම් බලාගෙන හිටියා.

මම ලංකාවේ කඳු ගැන ඇයට කිව්වා. මහනුවර වැස්ස ගැන. මීදුම ගැන. තේ වතු ගැන. අපේ ගෙදර ගැන. අම්මා ගැන.

ඇය සිසිලියේ ගිම්හානය ගැන කිව්වා. පොඩි කාලේ මේ මුහුදේ පීනන්න ඉගෙනගත්ත හැටි, පවුලේ උත්සව, නත්තල, ඉරිදා දවල් කෑම මේසය ගැන කිව්වා.

අපි සංස්කෘතීන් දෙකක මිනිස්සු.

ඒත් ටිකෙන් ටික මගේ ජීවිතයේ කතා ඇතුළට සොෆියා ආවා.

ඇගේ කතා ඇතුළට මම ගියා.

ඒකට අපි දෙන්නාගෙන් කවුරුවත් අවසර ඉල්ලුවේ නැහැ.


අවුරුද්දකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණා.

ඒ වෙනකොට මම සොෆියාට ආදරෙයිද කියන ප්‍රශ්නය මගෙන් අහන්නවත් අවශ්‍ය නැති තරමට උත්තරය පැහැදිලිව තිබුණා.

හැබැයි මම ඇගෙන් විවාහය ගැන අහලා තිබුණේ නැහැ.

අනාගතය ගැන තීරණයක් ඉල්ලලා තිබුණෙත් නැහැ.

ඒත් මගේ හිත ඇය ගැන තීරණයක් අරගෙන තිබුණා.

ඒ තීරණය සොෆියාට කියන්න කලින් මට කියන්න ඕන තවත් කෙනෙක් හිටියා.

අම්මා.

ඒක අපේ ගෙදර අමුතු පුරුද්දක් වගේ තිබුණා.

අයියාත් එහෙමයි.

එයාට හිත ගිය ගෑනු ළමයා ගැන මුලින්ම අම්මාට කිව්වා. ඇයත් උඩරට අපි දන්නා පවුල් පසුබිමකට අයිති කෙනෙක්. දෙපාර්ශ්වයේ වැඩිහිටියෝ කතා කළා. හඳහන් බැලුවා. නෑදෑයෝ හොයලා බැලුවා.

අන්තිමේ හැමෝගේම ආශිර්වාදය මැද ඒ දෙන්නා විවාහ වුණා.

මටත් හිතුණේ ඒක එච්චර වෙනස් නොවෙයි කියලා.

වෙනසකට තිබුණේ සොෆියා ඉතාලි ජාතික කාන්තාවක් වීම විතරයි.

අද ඒ ගැන හිතද්දී මට පුදුමයි.

මම ඒ “විතරයි” කියන වචනය ඇතුළේ කොච්චර ලොකු ලෝකයක් තිබුණද කියලා එදා දැනගෙන හිටියේ නැහැ.


එදා ලංකාවට රෑ.

සිසිලියට තවම හැන්දෑව.

මම අම්මාට කෝල් එක ගත්තේ මගේ කාමරයේ ජනේලය ළඟ ඉඳගෙන.

සාමාන්‍ය දේවල් කතා කළා.

කෑවද?

ඉගෙනීම කොහොමද?

සල්ලි ඇතිද?

ලංකාවට එන්නේ කවද්ද?

ඒ හැම ප්‍රශ්නයකටම උත්තර දීලා මම ටික වෙලාවක් නිහඬව හිටියා.

“අම්මේ...”

“ම්ම්?”

“මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.”

අම්මාත් නිහඬ වුණා.

“ගෑනු ළමයෙක් ගැනද?”

මට හිනා ගියා.

“ඔයා කොහොමද දන්නේ?”

“මම උඹේ අම්මනේ.”

“ඔව්.”

“කවුද? ලංකාවේ ළමයෙක්ද?”

“නෑ අම්මේ.”

එහා පැත්ත නිහඬයි.

“එහෙනම්?”

“මෙහේ කෙනෙක්.”

“ලංකාවේ කෙනෙක්ද එහේ ඉගෙනගන්න?”

“නෑ...”

මම ජනේලයෙන් එළිය බැලුවා.

ඈතින් සිසිලියානු හැන්දෑවේ අන්තිම එළිය තවමත් අහසේ තිබුණා.

“එයා ඉතාලි .”

නිහඬකමක්.

“අම්මේ?”

ඊට පස්සේ අම්මා හරිම සන්සුන්ව කතා කළා.

“ඔයාගෙ යුනිවර්සිටි එකේමද.”

"නෑ අම්මා මෙහෙ පබ් එකක වැඩ කරන ගෑණු ළමයෙක්..."

"උඹට පිස්සුද.. එක එක වේසා ගෑණු පස්සෙ යනවා මදිවට බය නැතුව මට ඒක කියන්න.. උඹ හිතං ඉන්නෙ ඇල්ලෙපොල පරම්පරාව කියන්නෙ ඉතාලි වේස ගෑණුන්ට ලගින්න පුලුවන් ගුබ්බෑයමක් කියලද....?" 

ෆෝන් එක කට් වෙලා කීං කීං සද්දෙ  දෙපාරක් ආවා... 

ඊළඟ දවසේ සොෆියාට කිසිම දෙයක් වෙනස් වෙලා තිබුණේ නැහැ.

වෙනදා වගේම ඇය මාව දැක්ක ගමන් හිනා වුණා.

වෙනදා වගේම මගේ අත අල්ලගත්තා.

“බීච්?”

“බීච්.”

අපි පරණ නගරය මැදින් මුහුද පැත්තට ඇවිදගෙන ගියා.

මගේ කනට විතරක් අම්මාගේ වචන ආයෙ ආයෙත් ඇහුණා.

වෙරළට ඇවිත් අපි වෙනදා ඉඳගන්න තැනම ඉඳගත්තා.

ටික වෙලාවකින් සොෆියා මගේ උරහිසට හිස තියාගත්තා.

“ප්‍රේ...”

“ම්ම්?”

********* 

“Someday you have to take me to Sri Lanka.”

මගේ හිත ඇතුළේ මොකක්දෝ එකක් නතර වුණා.

“Why?”

“Because I want to see where you came from.”

ඇය එකින් එක කියන්න පටන් ගත්තා.

මම කියලා තිබුණු කඳු.

තේ වතු.

මහනුවර.

වැස්ස.

මගේ අම්මා හදන කෑම.

“Your mother will cook for me, no?”

මට උත්තරයක් දෙන්න බැරිවුණා.

“What?”

“Nothing.”

“ප්‍රේ.....?”

“Of course she will.”

මම කිව්වා.

ඇය සතුටින් ආපහු මගේ උරහිසට හිස තියාගත්තා.

“Then I will learn Sinhala before I go.”

මට හිනා ගියා.

“You can't even say my name properly.”

ඇය මගේ අතට ගැහුවා.

“I can now.”

ඊට පස්සේ ඇය මගේ නම කිව්වා.

හරියටම.

“ප්‍රගීත් .”

අවුරුද්දකට කලින් මගේ නම කියාගන්න බැරිව හිනා වුණු ඉතාලි කෙල්ල දැන් ඒක මගේ අම්මා කියනවා වගේම පැහැදිලිව කිව්වා.

එක පැත්තක මාව නමෙන් මුලින්ම හඳුනාගත්ත ගැහැනිය.

තවත් පැත්තක ඒ නම කියන්න ඉගෙනගත්ත ගැහැනිය.

ඒ දෙන්නා අතරේ මම.


ඒ රෑ අම්මා ආයෙත් call කළා.

“පුතා, මම ඊයේ කියපු එක ගැන හිතුවද?”

“අම්මේ, ඔයා එයාව දැකලවත් නෑ"

“ඔයා දන්නවනේ අපේ පවුල ගැන. පරම්පරාවෙන් අපි ආපු විදිහ. අපේ නෑදෑයෝ. අපේ සිරිත්...”

“ඒවට සොෆියාගේ තියෙන සම්බන්ධය මොකක්ද?”

මගේ කටින් පළවෙනි වතාවට ඇගේ නම අම්මා ඉස්සරහට ආවා.

“සොෆියාද නම?”

“ඔව්.”

අම්මා ඒ නම ආයෙත් කිව්වේ නැහැ.

“පුතා, කතාව මෙච්චරයි මේක වෙන්නේ නැහැ. කොහෙවත්අ ඉන්න කැරපොතු  සුද්දියෝ අපේ පරම්පරාවට වැද්ද ගන්නේ නෑ. ඒක වෙනවා නම් මං මැරුණ දවසක මගේ මිනිය උඩින්. එච්චරයි එච්චරයි. ඔයා තීරණය කරනකන්  ආයෙ මට කතා කරන්න එපා,”


දවස් කිහිපයක් මම කිසිම දෙයක් නොවුණා වගේ ජීවත් වුණා.

Lectures ගියා. සොෆියා හමුවුණා. ඇයත් එක්ක කෑවා. හිනා වුණා.

ඒත් ඇය මගේ වෙනස දැක්කා.

“ප්‍රේ....ප්‍රශ්නයක්ද ”

“නැහැ.”

පළවෙනි වතාවේ ඇය ඒක පිළිගත්තා.

දෙවැනි වතාවේ නැහැ.

එදා අපි වෙරළේ ඉඳගෙන හිටියේ ඉර බහින්න ටිකකට කලින්.

“Don't say nothing. ඔයා ඔලුවෙ මොකක් හරි තියාගෙන ඉන්නෙ. ඊයෙ රෑත් ඔයාගෙ කිසි උණන්දුවක් තිබ්බෙ නෑ...

මම ඔයා ගැන  අම්මට කිව්වා, මම අපේ විවාහය ගැන අම්මත් එක්ක කතා කලා...

What...?? සොෆියා   හයියෙන් හිනාවුනා.  Are you  crazy ප්‍රේ....හිනාවෙමින්ම ඔලුව දෙපසට වනමින්  ඇය වෙරල දිගේ ඇවිදගෙන ගියා.

ඇය කිව්වේ ඇත්ත.

අපි චෙෆාලු ගැන කතා කරලා තිබුණා.

ලංකාව ගැන කතා කරලා තිබුණා.

අම්මලා ගැන, කෑම ගැන, ළමා කාලය ගැන, මුහුද ගැන කතා කරලා තිබුණා.

ආදරය කරලා තිබුණා.

ඒත්—

විවාහය ගැන අපි කවදාවත් කතා කරලා තිබුණේ නැහැ.

මගේ හිත ඇතුළේ විතරක් ඒ කතාව ගොඩක් දුර ගිහින් තිබුණා.

සොෆියා ඔසරියක් ඇඳගෙන මාත් එක්ක දළදා මාලිගාවට යන හැටිත් මම දැකලා තිබුණා.

අම්මා ඇයට කෑම බෙදන හැටිත් දැකලා තිබුණා.

මහනුවර වැස්ස දවසක ඇය ජනේලයක් ළඟ ඉඳගෙන ලංකාවේ තේ බොන හැටිත් දැකලා තිබුණා.

ඒ කිසිම දර්ශනයක සොෆියා ඇත්තටම හිටියේ නැහැ.

ඒවා හැම එකක්ම මම තනියම දැකපු අනාගතයක්.

මමත් ඇය පස්සෙන් ගියා.

වෙනදා අපි ඒ පාර ගියේ අතින් අත අල්ලගෙන.

එදා අපි දෙන්නා අතර අඩි කිහිපයක දුරක් තිබුණා.

ඒ අඩි කිහිපය ඇතුළේ ලංකාව තිබුණා.

සිසිලිය තිබුණා.

අම්මා හිටියා.

අපේ පරම්පරාව තිබුණා.

අපි දෙන්නාගේ අවුරුද්දක් තිබුණා.

රළ ඇවිත් අපේ පා සටහන් එකින් එක මකාගෙන ගියා.


එදායින් පස්සෙ සොෆියා මට ඇයගේ නවාතැනට රෑට අඬගැහුවෙ නෑ.. මට මේක මහා බරක් වුනාට ඇය ඒගැන ලොකු තැකීමක් කරලා නෑ වගේ.. ඇයට තියෙන්නෙ සාමාන්‍ය බටහිර අදහස්මද . පෙරදිග සාම්ප්‍රදායික පිරිමි සිතුවිලි එක්ක මගේ හිත පොරබැන්දා... ඔසරියකින් සැරසිලා දළදාමාලිගාව වඳින්න යන සොෆියා  මැවිලා පෙනුනා.

අන්තිමේ මගේ ඉගෙනීමත් අවසානයට ආවා.

ලංකාවට ආපහු යන දිනයත් තීරණය වුණා.

මම ඒ දිනය සොෆියාට කිව්ව දවසේ ඇය,

“Okay.”

කිව්වා.

එච්චරයි.


මම පිටත් වෙන්න කලින් දවසේ අපි අන්තිම වතාවට වෙරළට ගියා.

Cefalù එදා පුදුම ලස්සනයි.

පරණ ගෙවල්වල ජනෙල්වලට හැන්දෑ එළිය වැටිලා තිබුණා. La Rocca කන්ද අඳුරු වෙමින් තිබුණා. ඈත මුහුදෙන් ආපහු එන බෝට්ටු කීපයක් කළු පාට රූප වගේ පෙනුණා.

අහස එක එක පාටට හැරුණා.

නිල්.

රන්.

තැඹිලි.

රෝස.

අපි වැල්ලේ ඉඳගෙන ඒ දිහා බලාගෙන හිටියා.

වෙනදා වගේ සොෆියා මගේ උරහිසට හිස තියාගත්තේ නැහැ.

මමත් ඇගේ අත අල්ලගත්තේ නැහැ.

ඉරෙන් භාගයක් මුහුදට යටවෙලා යද්දී ඇය කතා කළා.

“ප්‍රේ..”

“ම්ම්?”

“ඔයා හොඳ කෙනෙක්.  මට සතුටුයි ඔයාව ආශ්‍රය කරපු එක ගැන .  හැම එක්ස්පීරියන්ස් එකක්ම සීරියස් ගන්නඑපා , just let it go”

මම උත්තරයක් දෙන්න කලින් ගොඩක් වෙලා ගියා.

“හ්ම්ම්ම්ම්.”

ටික වෙලාවකට පස්සේ ඇය මගේ අත අල්ලගත්තා.

ඒ පළවෙනි දවසේ pub එකේදී මට beer එක දුන්න අත.

මට ඉතාලි වචන ඉගැන්නුව අත.

Cefalù පාරවල් දිගේ අවුරුද්දක් මාව අරගෙන ගිය අත.

මම ඒ අත තදින් අල්ලගත්තා.

“I'm sorry. ප්‍රේ.....”

“Don't be sorry.”

ඇය මගේ දිහා බලාගෙන හිටියා.

“Just don't make our year something you regret.”

මට කියන්න දෙයක් තිබුණේ නැහැ.

ඇය අන්තිම වතාවට මගේ උරහිසට හිස තියාගත්තා.

අපි එහෙමම ඉර සම්පූර්ණයෙන්ම සැඟවෙනකම් හිටියා.


ඊළඟ දවසේ මම ගියා.

සොෆියා airport එකට ආවේ නැහැ.

එන්න එපා කියලා කිව්වේ මම.

සමුගැනීමක් දෙපාරක් කරන්න මට ශක්තියක් තිබුණේ නැහැ.

කාලයක් අපි කතා කළා.

මුලින් හැමදාම.

පස්සේ සතියකට වතාවක්.

ඊට පස්සේ උපන්දිනවලට.

අන්තිමේ—

කිසිම දවසක නැහැ.

ජීවිතය අපි දෙන්නාව තම තමන්ගේ පැත්තට අරගෙන ගියා.


අවුරුදු ගණනාවකට පස්සේ අද මම ආයෙත් චෙෆාලූ (Cefalù) වෙරළේ.

මිනිස්සු වෙනස්.

කඩවල් කිහිපයක් වෙනස්.

මමත් වෙනස්.

මුහුද විතරක් එදා වගේමයි.

මම වැල්ල දිගේ හෙමින් ඇවිදගෙන ගියා.

ඉස්සරහින් තරුණ ජෝඩුවක් අතින් අත අල්ලගෙන යනවා.

මොහොතකට වැල්ලේ ඔවුන්ගේ පා සටහන් දෙක මට පෙනුණේ අපේ ඒවා වගේ.

මම නතර වුණා.

ඈත ක්ෂිතිජයේ ඉර බැහැගෙන යනවා.

නිල් අහස අතරින් පාට වලාකුළු හොරෙන් හොරෙන් මතුවෙනවා.

අවුරුදු ගණනකට කලින් මේ වෙරළේම මගේ නම කියාගන්න බැරිව හිනා වුණු කෙල්ලෙක් මට මතක් වුණා.

“Pra...git?”

මට තනියම හිනා ගියා.

ඒ හිනාව වැඩි වෙලාවක් තිබුණේ නැහැ.

මම ආපහු හැරිලා යන්න පටන් ගත්තා.

එදා අපි දෙන්නා ආ මග.

අද මම තනියම.

අඩි කිහිපයක් ගිහින් මම ආපහු මුහුද දිහා බැලුවා.

මට එකපාරටම අපේ පළවෙනි රාත්‍රිය මතක් වුණා.

“What would you like?”

“Same.”

ඇගේ ඒ පුංචි හිනාව.

“Same has a name.”

ඔව්, සොෆියා.

හැම දෙයකටම නමක් තිබුණා අපේ කතාවට හැර


ඉර බැස යන හැටි බලන්න අහසේ

අද ඔබ නෑ පාලුයි මේ වෙරළේ

එක එක පාටින් නිල් ආකාසේ 

පාට වලා මතු වෙයි හොර රහසේ


ආලනුරා ගඟ දෝරේ ගලන්නේ 

කෝල වදන් දෙසවන් පුරවන්නේ

මල් මකරන්ද බිඟුන් අර ගන්නේ

මල්සර වරම අරන්දෝ එන්නේ


ඈත ක්ෂිතිජයේ හිරු සැඟ වෙන්නේ

ආල වදන් වෙරළෙන් සමුගන්නෙ

දෙදෙනා ආමග තනිවම යන්නේ

රළ වැලපෙන හඬ තාම ඇසෙන්නේ






39 comments:

  1. හොඳ කතාව , රුසියන් කෙල්ලෝ යාලු වෙනකොට ඉස්සර අපේ ටීචර් ල කිව්වේ , භාෂාව ඉගෙන ගන්න යාළුවෙයල්ල ඒත් එක්කන් යන්න හිතන්න එපා . මෙහෙ ඉන්නත් එපා කියල . හුඟක් කෙල්ලොත් ඉන්න කාලේ හොඳට ඉන්න විතරයි උත්සාහ කලේ . බඳින එක ගැන අදහසක් නැතිව .

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අත්දැකීම් තියෙන අයත් ගොඩක් ඇති. සියාමා මතක් වෙනවා මේ කතාවෙත් දෙන්නා අතර තිබුණු දේ දෙන්නාම එකම විදිහට අර්ථ දක්වලා තිබුණේ නැහැ. එක්කෙනෙක් ඒක අනාගතයක් දක්වා අරගෙන ගිහින් තිබුණා, අනෙක් කෙනා ඒ මොහොතේ ලස්සන සම්බන්ධයක් විදිහට විඳලා තිබුණා. සමහරවිට කතාවේ ගැටලුවත් ඒකමයි.

      Delete
  2. “සිසිලියේ වසන්තය” බැලූ බැල්මට ලස්සන ආදර කතාවක් වගේ. හැබැයි ඇතුළට ගියාම ඒක ආදරයට වඩා ගැඹුරුයි. “Same has a name” වගේ පුංචි සිදුවීම්, භාෂා දෙක, Cefalù වෙරළ, ඉර බැසීම වගේ දේවල් හරහා ප්‍රගීත්–සොෆියා සම්බන්ධය හරිම ස්වභාවිකව ගොඩනැගෙනවා.

    කතාවේ ඇත්තම ගැටුම සොෆියා සහ ප්‍රගීත් අතර නෙමෙයි. ප්‍රගීත්ගේ ආදරයත්, ඔහු ලංකාවෙන් අරගෙන ආපු පවුල් සම්ප්‍රදායත් අතර. විශේෂයෙන් “ඒ කිසිම දර්ශනයක සොෆියා ඇත්තටම හිටියේ නැහැ. ඒවා හැම එකක්ම මම තනියම දැකපු අනාගතයක්.” කියන කොටස කතාවේ ගැඹුර හොඳටම පෙන්වනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියා . ඔබ කතාවේ මම කියන්න උත්සාහ කළ දෙයට ඉතාම ළඟින් ගිහින් තියෙනවා. විශේෂයෙන් අපි ආදරය කරන කෙනා සහ ඒ කෙනා එක්ක අපේ හිත ඇතුළේ අපිම නිර්මාණය කරගන්න අනාගතය හැමවිටම එකම දෙයක් නොවෙන්න පුළුවන්. සමහරවිට මේ කතාවේ වේදනාව තියෙන්නෙත් එතැන. “Same has a name” කියලා පටන්ගත්ත කතාවකට අවසානයේ නමක් නැතිවීමත් ඒ නිසාමයි. ❤️

      Delete
  3. අපිට සෙට් වෙන හැම කෙල්ලම කසාද බැඳලා ගෙදර එක්කන් යන්න හිතෙන්නේ නැතුව ආස්සරේ කරන්න පුළුවන් විදියට ජිවත් වෙන හැටි ලබන ආත්මේ වත් ඉගෙන ගන්ඩ ඕනේ .. හෙහ් හෙහ්

    මම හිතන්නේ ඕකට හේතුව අපි පොඩි කාලේ අහපු සිංදු .. නන්දා මාලනීත් ඇතුළුව

    ReplyDelete
    Replies
    1. ඇයි දැං ලොකු වෙලා ඉගෙනගෙන ඉවරද?

      Delete
    2. ඔය සීන් එක ඇත්තටම හිතෙනවා නේද , බස් එකේ යනකොට කෙල්ලෙක් දැක්කත් ඔය මනෝ පාර ගහනවනේ

      Delete
    3. ප්‍රසන්න , ඉවානයට වගේ අපිට දැන් කෙල්ලෝ සෙට් වෙන්නේ නැහැ බන් .. දැන් ඉගෙන ගත්ත ඒවා පාවිච්චි කරන්ඩ වෙන්නේ නැහැ

      Delete
    4. ඉවාන් සුද්දොත් එහෙමද දන් නෑ නේද ? හොයල බලන්න වටිනවා

      Delete
    5. සුද්දෝන්ගේ තියෙන්නේ රිලේෂන්ශිප් විතරනේ , කසාද බඳිනවා කියන එක උන්ට එහෙමට වැදගත් එයක් නෙවේ .

      Delete
    6. අපිට ඕක තේරෙන්නේ බැන්දට පස්සේ නේ

      Delete
  4. හොඳයි. දුකයි. ඒත් තාත්විකයි.

    ReplyDelete
  5. කොතැනට පතිත වුව සඳ රැස් සිහිලැල්ය
    සමන් මලක් කොහි පිපුණත් සුවඳැතිය
    ප්‍රේමය කොහේදිත් මිහිරිය සුන්දරය
    මේ අන්දරය සොඳුරුය; ආදරබරය

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ඔරිජිනල් නිදි අයිය

      Delete
  6. සොෆිය... 💞. හුම්. ආදරයට කොයිදෝ බාදා නැත්තෙ.

    උඩරට රජවරැන්ට ඉන්දියාවෙන් බිසෝවරැ හොඳයි. පිටරටින් මැණිකෙ කෙනෙක් තමා පරහ 😂

    ReplyDelete
    Replies
    1. පිටරට නෙමේ තමන් ගේම රටේ වෙන කුලයක උනත් උන්ට මූලග්ගිනි හැදෙනවනේ

      Delete
    2. අන්න එකයි නමියෝ මාත් කියන්නේ ,

      Delete
    3. @අජිත් අයිය - කුලේ නැතත් , ගමේ නම දිග වැඩියි කියලා හරි කියනවා

      Delete
  7. තේවාව ඇහෙන්නැති තැනකට හිරයක් දෙන්නෙ නෑ හිටගෙන.
    කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තේවාව රෙකොර්ඩ් කරගෙන ඉතාලි යනවා

      Delete
  8. මේ කතාවෙ කොහෙවත් ඔට්ටපෑඩ් ගහන පත්තරකාරයෙක් හිටියෙ නෑ කියල ෂුවර් ද?

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Supiriyak,Hithata mokakdhoo wenawa kiywagena yanakota,
    Sofiya

    ReplyDelete
  11. කොළඹ-වැලිමඩ(79) ගම්පොල , නුවරඑළිය හරහා බස් සේවය.

    සාමාන්‍ය සේවා, සීමිත නැවතුම්.

    කොළඹ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළින් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.

    කිරිබත්ගොඩට ලගා වීම මධ්‍යම රාත්‍රී 12 :10

    කඩවත නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:15

    තේ පැන් පානය සහ විඩා නිවීම සදහා තවලම්තැන්න නගරයේ බස් රථය මිනිත්තු පහළොවක් නතර කරනු ලැබේ.

    උදැසන 5:00 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.

    පළපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.

    සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.

    (ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)

    ReplyDelete
    Replies
    1. දැං ඕකෙන් වැලිමඩ අල ගොයියට මොනවද ලැබෙන්නෙ.

      Delete
  12. සිරාවට මේ කතා යුනිවර්සල් සීරීස් එකක්ද?

    ReplyDelete
    Replies
    1. ඉන්න රට කියපං එකක් ලියන්න :-D

      Delete
    2. කැන්ගරු දූව තමා මේ ටිකේ.. :D මොන දිග්බාගේ හිටියත් මේ වගේ අටමංගල්ල ඇත්තටම වෙනවනේ මං කියන්නේ.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]