කෙටි කතාව දිග කතාවක් වුන නිසා කොටස් තුනකට තමා දාන්නේ
පළමු කොටස - ආගමනය
“හොඳම නිළිය ලෙස මෙවර සරසවිය සම්මානය හිමිවන්නේ…”
නිවේදිකාව වාක්‍යයේ ඉතිරි කොටස කියන්නට පෙරම ශාලාව තුළ වූ සියලු දෙනාගේ දෑස් එකම තැනකට යොමු වී තිබිණි. තුන්වැනි පේළියේ අසුනක, කළු පැහැති දිගු ගවුමකින් සැරසී සිටි සංසලා ඇල්ලේපොළගේ මුහුණ විශාල තිරය මත දිස්විය. ඇය සිනාසෙන්නට උත්සාහ කළාය. එහෙත් එකිනෙක තදින් බැඳුණු ඇගේ ඇඟිලි තුඩු මත වූ සුදු පැහැය ඒ සිනහවට යටින් සැඟවී තිබූ නොසන්සුන්කම හෙළි කළේය.
“— හිම වැටුණු නිම්නයේ ගිනි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සංසලා ඇල්ලේපොළ!”
ශාලාව පුරා නැඟුණු අත්පොළසන් හඬ මැද සංසලා මඳක් හිස පහත් කළාය. ඇගේ දකුණු පසින් සිටි අර්වින් ගජනායක පළමුව නැඟී සිටියේය. වයස අවුරුදු හැට ඉක්මවා තිබුණද ඔහුගේ පෙනුමේ හෝ හැසිරීමේ වියපත් බවක් නොතිබිණි. ඔහු සංසලාගේ උරහිස මත අත තබා සුබ පැතුවේ තමා කළ දැවැන්ත ආයෝජනයක ප්‍රතිලාභය දෑසින් දැකගත් ව්‍යාපාරිකයෙකුගේ තෘප්තියෙනි.
අර්වින් අසල සිටි රාජීව් ද නැඟී සිටියේය. ඔහු සංසලා දෙස බලා සිනාසුණේ කැමරා වෙනුවෙන්ම නොවන බව ඇයට සිතිණි. අත්පොළසන්, විදුලි ආලෝක සහ කැමරා අතරින් වේදිකාව දෙසට යන අතරතුර ඇය එක් වරක් ආපසු හැරී ඔහු දෙස බැලුවාය.
රාජීව් තවමත් ඇය දෙසම බලා සිටියේය.
සම්මානය අතට ගත් පසු සංසලාට කතා කිරීමට ලැබුණේ විනාඩි දෙකකි. කලින් සකස් කරගෙන පැමිණි වචන සියල්ලම ඒ මොහොතේ ඇයට අමතක වී තිබිණි.
“මාව විශ්වාස කළ හැමෝටම ස්තුතියි,” ඇය කීවාය. “මගේ ජීවිතයේ කිසිම දවසක මේ වේදිකාව මට අයිති වෙයි කියලා මම හිතුවේ නැහැ. මාව විශ්වාස කරපු, මගේ ගමනේදී මට ශක්තියක් වුණු හැමෝටම මේ සම්මානය අයිතියි.”
ඇය මඳකට නිහඬ වූවාය.
එය සාමාන්‍ය ස්තුති කතාවක හැඟීම්බර අවසානයක් ලෙස බොහෝ දෙනා පිළිගත්හ. පසුදා පුවත්පත් එම වචන සිරස්තලවලට ගෙන තිබිණි.
******
සංසලා ඇල්ලේපොළ ශ්‍රී ලාංකේය සිනමාවට පැමිණියේ සාමාන්‍ය නවක නිළියක පැමිණෙන මාර්ගයෙන් නොවේ.
ඇයට මෙරට සිනමාවේ දොරටු විවෘත වන විටත් ඇගේ නම භාරතීය සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් නමක් නොවීය. හින්දි සිනමාපටයක් වූ "අධූරි රේඛා" හි කළ රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් හොඳම නවක නිළිය සම්මානයට නිර්දේශ වී තිබූ ඇය, එම සම්මානය දිනා නොගත්තද එක් රැයකින් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවාය.
ඇගේ උස අඩි හයකට ආසන්නය. කැමරාව ඉදිරියේ ඇය සිටින විට වටා සිටි අනෙක් සියල්ලන්ම පසුපසට තල්ලු වී යනවාක් මෙන් පෙනිණි. තියුණු මුහුණත, දිගු ගෙල, ආකර්ෂණීය සිරුර සහ නිහඬව සිටියදී පවා යමක් ප්‍රකාශ කරන දෑස් නිසා ඇයට තිබුණේ සම්පූර්ණයෙන්ම බොලිවුඩ් නිළියකගේ පෙනුමකි. එහෙත් ඇය කතා කළේ ඉතා හුරුපුරුදු, පැහැදිලි සිංහලෙනි. ඒ නිසා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ ඉතා ඉක්මනින් ඇය තමන්ගේ කෙනෙකු බවට පත්කර ගත්හ.
ඇය ශ්‍රී ලංකාවට පැමිණි පළමු සතියේම රූපවාහිනී වැඩසටහන් හතරකට යූ ටියුබ් සහ පුවත්පත් සම්මුඛ සාකච්ඡා ගණනාවකට සහභාගි වූවාය. සෑම තැනකදීම ඇගෙන් අසනු ලැබුවේ ඇගේ පවුල සහ ලංකාව සමඟ තිබූ බැඳීම පිළිබඳවය.
සංසලා ඊට පිළිතුරු දුන්නේද සෑම විටම එකම සිනහවෙනි.
“මගේ තාත්තා නුවර අනිවත්තේ. එයා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ තමයි මගේ සීයයි ආච්චියි රිය අනතුරකින් නැතිවෙලා තියෙන්නේ. ඊට පස්සේ තාත්තා තිබුණු දේවල් විකුණලා ඩුබායි ගිහින්. එහෙදි තමයි අම්මිව හමුවෙලා තියෙන්නේ.”
“එතකොට ඔබ ලංකාවට ආවේ විශේෂ ආරාධනාවකටද?”
“නැහැ. මට කොහොමත් ලොකු ආසාවක් තිබුණා ලංකාවේ සිනමාවත් එක්ක වැඩ කරන්න. ඉන්දියාවේ දිගටම වැඩ ලැබෙන්න ඉඩ තිබුණා. ඒත් සුදුසු අවස්ථාව ලැබුණු ගමන් ලංකාවට එනවා කියන තීරණය මම ඊට කලින්ම අරගෙන තිබුණේ.”
ඒ ඇගේ ජීවිත කතාවය . සම්මුඛ සාකච්ඡාවෙන් සම්මුඛ සාකච්ඡාවට කිසිදු වෙනසක් නොමැතිව ඇය කී එම කතාව ප්‍රේක්ෂකයන්ට ප්‍රමාණවත් වුවත් ඇතැම් මාධ්‍යවේදීන්ට තවත් ප්‍රශ්නයක් ඉතිරි වී තිබිණි. තම සිනමා ජීවිතය ඉන්දියාවේ වේගයෙන් ඉහළ යමින් තිබූ මොහොතක, ඇය එම අවස්ථා පසෙක තබා මෙතරම් ඉක්මනින් ලංකාවට පැමිණියේ ඇයි?
එම ප්‍රශ්නයට ඇය දුන්නේ සරල එහෙත් ප්‍රබල පිළිතුරකි. “අපි ලාංකිකයෝ. අපි ලෝකයේ කොහේ ඉපදුණත් අපේ මුල් තියෙන්නේ මේ භූමියේ.”
*******
ඇය කොළඹට පැමිණි පුවත පළවූ දින සිටම හෝටලයේ දුරකථනයට විවේකයක් නොලැබිණි.
අධ්යක්ෂවරු, නිෂ්පාදකවරු, වෙළෙඳ දැන්වීම් ආයතන, ඇඳුම් නිර්මාණකරුවෝ සහ රූපවාහිනී නාලිකා ඇය හමුවීමට පෝලිමේ පැමිණියහ. ඔවුන්ගෙන් ඇතැමෙකු සතුව තිබුණේ සම්පූර්ණ කළ තිර පිටපත්ය. තවත් සමහරුන් සතුව තිබුණේ එක් පිටුවක ලියූ අදහසක් පමණි. කීපදෙනෙකුට එවැනි අදහසක්වත් නොතිබිණි.
“ඔබ කැමති නම් කතාව ඔබ වෙනුවෙන්ම හදන්න පුළුවන්,” එක් නිෂ්පාදකයෙක් කීවේය.
“මගේ චරිතය මොන වගේ එකක්ද?” සංසලා ඇසුවාය.
“ඒක අපි පස්සේ තීරණය කරමු. මුලින් දවස් ටික ලොක් කරගමු.”
ඇය සිනාසී ඔහුට සමුදුන්නාය.
බොහෝ දෙනාගේ අරමුණ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම නොව, බොලිවුඩ් සිනමාවේදී ඇය ලැබූ ජනප්‍රියත්වය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ඉක්මනින් විකුණා ලාභයක් ලබාගැනීම බව පැහැදිලි විය. ඇතැම් කතා තුළ ඇගේ චරිතයට නමක්වත් නොතිබිණි. “විදේශයෙන් පැමිණෙන තරුණිය”, “ධනවත් ව්‍යාපාරිකයාගේ දියණිය” හෝ “අභිරහස් පෙම්වතිය” ලෙස පමණක් ඒවා නම් කර තිබිණි.
සංසලා ඒ යෝජනා බොහොමයක් ප්‍රතික්ෂේප කළාය.
ඇගේ කළමනාකාරිනිය වූ මිහිරානි දිනක් නොඉවසිල්ලෙන් ඇසුවාය.
“ඔයා ලංකාවට ආවේ චිත්‍රපට කරන්න නේද? මෙහෙම හැම එකක්ම එපා කිව්වොත් තව මාස දෙකකින් මේ මිනිස්සු වෙන කෙනෙක් පස්සේ යයි.”
“එහෙම යනවා නම් යන්න දෙන්න.”
“ඉන්දියාවේදි ලැබුණු පබ්ලිසිටි එක හැමදාම තියෙන්නේ නැහැ, සංසලා.”
“මම මෙහෙට ආවේ පබ්ලිසිටි එක කොච්චර කල් තියාගන්න පුළුවන්ද බලන්න නෙවෙයි.”
“එහෙනම්?”
සංසලා කවුළුවෙන් පිටත බැලුවාය. සවස් වැස්සට තෙමුණු කොළඹ නගරයේ රථවාහන ආලෝක වීදුරු මත දිගු රතු රේඛා ඇඳ තිබිණි.
“හොඳ චිත්‍රපටයක් වෙනුවෙන් ටිකක් බලාගෙන ඉන්න එක මට ප්‍රශ්නයක් නෙවෙයි.”
*******
සංසලා තෝරාගත් පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය වූයේ ප්‍රවීණ අධ්‍යක්ෂක අනුරුද්ධ සෙනෙවිරත්නගේ "වැසි නොවැටුණු නගරය" ය. එහි ඇයට ලැබුණේ ගීත තුනකට පෙනී සිටින ආකර්ෂණීය පෙම්වතියකගේ චරිතයක් නොවීය. යුද්ධයෙන් පසුව පියා සොයා උතුරට යන, කතාබහට වඩා නිහඬතාවයෙන් වේදනාව ප්‍රකාශ කරන ඡායාරූප ශිල්පිනියකගේ චරිතයකි.
රූගත කිරීම් ආරම්භ වූ පළමු දින කිහිපය ඇයට පහසු නොවීය. ඉන්දියානු නිෂ්පාදන පරිසරයකට හුරු වී සිටි ඇයට මෙහි සීමිත පහසුකම්, දිගු වේලාවන් සහ මොහොතින් මොහොත වෙනස් වන සැලසුම් සමඟ හැඩගැසීමට සිදුවිය. ඇතැම් නළු නිළියෝ ඇය සමඟ මිත්‍රශීලී වූහ. තවත් අය ඇය පැමිණියේ තමන්ට ලැබිය යුතු අවස්ථාවක් රැගෙන යාමට බව විශ්වාස කළහ.
“බොලිවුඩ් නොමිනේෂන් එකක් තිබුණා කියලා මෙහෙ රඟපාන්න පුළුවන් වෙන්නේ නැහැ,” ප්‍රවීණ නිළියක කියූ වචන රූගත කිරීම් භූමියේ සිට ගොසිප් පිටුවකට ළඟා වීමට ගතවී තිබුණේ පැයක් දෙකක් පමණි.
සංසලා ඒ ගැන ප්‍රසිද්ධියේ කිසිවක් කීවේ නැත. පසුදාද උදෑසන ඇය අනෙක් සියලු දෙනාට කලින් රූගත කිරීම් භූමියට පැමිණ සිටියාය.
චිත්‍රපටය නිකුත් වූ පසු විචාරකයන්ට ඇයව පහසුවෙන් නොසලකා හැරීමට නොහැකි විය. චිත්‍රපටය වාණිජමය වශයෙන් අතිවිශාල ජයග්‍රහණයක් නොවූවත් සංසලාගේ රංගනය ඇය පිළිබඳ තිබූ පූර්ව අදහස් වෙනස් කළේය. ඇය පෙනුම නිසා අලෙවි කළ හැකි මුහුණක් පමණක් නොව, දීර්ඝ සමීප රූපයකදී වචනයක්වත් නොකියා ප්‍රේක්ෂකයා රඳවාගත හැකි නිළියක බව පැහැදිලි විය.
ඉන් පසුව ඇය තෝරාගත් චිත්‍රපට දෙකම වාණිජමය වශයෙන් සාර්ථක විය. ඒ අතරින් "හිම වැටුණු නිම්නයේ ගිනි" එම වසරේ වැඩිම ආදායමක් ලැබූ දේශීය චිත්‍රපටය බවට පත්විය. සංසලාගේ අය කිරීමද චිත්‍රපටයෙන් චිත්‍රපටයට ඉහළ ගියේය. වසර තුනක් ගතවන විට ඇය මෙරට වැඩිම මුදලක් අය කරන නිළිය බවට පත්ව සිටියාය.
එහෙත් ඇය භාරගත්තේ වසරකට චිත්‍රපට එකක් හෝ දෙකක් පමණි. ඇයට ලැබුණු සෑම චරිතයක්ම භාරගත්තා නම් උපයාගත හැකිව තිබූ මුදල ගැන නිෂ්පාදකවරු කතා කළහ. සංසලා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත.
*******
අර්වින් ගජනායක ඇය හමුවීමට පැමිණියේ අනෙක් නිෂ්පාදකයන් මෙන් ඇගේ අපාර්ට්මන්ට් එකට නොවේ. ඔහු තම කාර්යාලයට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළේය.
ගජනායක සමූහ ව්‍යාපාරයට හෝටල්, දේපළ සංවර්ධන සමාගම්, පෞද්ගලික රෝහල් සහ මාධ්‍ය ආයතනයක්ද අයත් විය. සිනමා නිෂ්පාදනය අර්වින්ගේ ප්‍රධාන ව්‍යාපාරය නොවූවත් ඔහු ඒ සඳහා මුදල් වැය කළේ ලාභය පමණක් බලා නොවේ. තම නම තිරය මත පෙනෙන මොහොතට ඔහු ආදරය කළේය. ඔහුගේ චිත්‍රපට අසාර්ථක වූ විටත් ඊළඟ වතාවේ ඊට වඩා වැඩි මුදලක් යෙදවීමට ඔහු පසුබට නොවීය.
“මට ඔබව දාලා චිත්‍රපටයක් හදන්න ඕන නිසා කතා කළේ නැහැ,” පළමු හමුවේදීම ඔහු කීවේය. “මට හදන්න ඕන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගැළපෙන එකම කෙනා ඔබ කියලා හිතුණ නිසයි කතා කළේ.”
ඔහු ඇය ඉදිරියේ සම්පූර්ණ තිර පිටපතක් තැබුවේය.
සංසලා එය අතට ගත්තාය. මුල් පිටුවේ රන් පැහැති අකුරින් "හිම වැටුණු නිම්නයේ ගිනි" යන නම මුද්‍රණය කර තිබිණි.
“මුලින් කියවන්න,” අර්වින් කීවේය. “මුදල් ගැන පස්සේ කතා කරමු.”
ඇය නැඟී සිටින්නට සූදානම් වන විට කාර්යාලයේ දොර විවෘත විය.
“සොරි ඩෑඩ් මීටින් එක දිග්ගැස්සුණා.”
ඇතුළට පැමිණි තරුණයා දොර අසලම නතර විය. ඔහුගේ බැල්ම සංසලාගේ මුහුණ මත තත්පර කිහිපයක් රැඳී තිබිණි.
“සංසලා, මේ මගේ පුතා රාජීව්,” අර්වින් කීවේය. “අපේ අලුත් මාධ්‍ය සහ චිත්‍රපට වැඩ ටික දැන් බලන්නේ මෙයා.”
රාජීව් ඇය වෙත අත දිගු කළේය.
“Finally. ඔබව හමුවීම සතුටක්.”
සංසලා ඔහුගේ අත අල්ලාගත්තාය.
“මටත්.”
*******
හිම වැටුණු නිම්නයේ ගිනි චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා මාස අටකට වඩා ගතවිය. රාජීව් එහි විධායක නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ නිසා සංසලාට ඔහු නිතර හමුවිය.
මුලදී ඔවුන් කතා කළේ චිත්‍රපටය ගැන පමණි. පසුව එම කතාබහ රූගත කිරීම් අවසන් වූ පසුවත් දිගටම පැවතිණි. රාත්‍රී ආහාර, නිහඬ දුම් දමන කෝපි සහ කිසිවකු හඳුනා නොගන්නා දුර පළාත්වල කෙටි ගමන් ඒ අතරට එක්විය.
රාජීව් කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනගෙන පසුව බ්‍රිතාන්‍යයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් ලබා තිබූ ඔහු, පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වූයේ වෙනත් තේරීමක් නැති නිසා නොවේ. බලය, මුදල් සහ ප්‍රසිද්ධිය එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ඔහු අර්වින්ටත් වඩා හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
රාජීව්ට ඕනෑම කෙනෙකු සමඟ පහසුවෙන් මිත්‍ර විය හැකි විය.
ඔවුන්ගේ සම්බන්ධය මාධ්‍යයට සැඟවී තිබුණේ වැඩි කාලයක් නොවේ. රාත්‍රී භෝජන සංග්‍රහයකින් පිටවන ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් පළවීමත් සමඟ “වසරේ සිනමා ප්‍රේම කතාව” ආරම්භ විය. සමහරු එය චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් සකස් කළ සම්බන්ධයක් බව කීහ. තවත් සමහරු සංසලා ඉලක්ක කළේ ගජනායක පවුලේ ධනය බව ලියූහ.
සංසලා කිසිවක් ප්‍රතික්ෂේප කළේ නැත. රාජීව්ද සිනාසීමෙන් පමණක් පිළිතුරු දුන්නේය.
චිත්‍රපටය නිකුත් විය. ආදායම් වාර්තා බිඳ වැටිණි. ඒ සමඟ ඔවුන්ගේ සම්බන්ධයද ජනප්‍රිය සංස්කෘතියේ කොටසක් බවට පත්විය.
සරසවිය සම්මාන රාත්‍රියේ සංසලා හොඳම නිළිය ලෙස වේදිකාවට නැඟුණු විට වැඩිපුරම ප්‍රචාරය වූයේ ඇය අත තිබූ සම්මානයේ ඡායාරූපය නොවේ. වේදිකාවෙන් බැස පැමිණි ඇයව රාජීව් වැලඳගත් ඡායාරූපයයි.
*******
එදින සංසලා වෙනදාට වඩා නිහඬ බව රාජීව්ට දැනිණි.
“අවෝඩ් එක ගත්තට පස්සේවත් සතුටින් ඉන්න බැරිද?” ඔහු ඇසුවේය.
“මම සතුටින්.”
“එහෙනම් ඔය මූණ?”
ඇය කෝපි කෝප්පයේ දාරය වටා ඇඟිල්ල ගෙන ගියාය.
“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.”
“අහන්න.”
“ඔයාට ඉස්කෝලේ යාළුවෝ තවම මතකද?”
රාජීව් සිනාසුණේය.
“සමහරු. ඇයි?”
“ශිෂ්‍යත්වයෙන් ඔයාලගේ ඉස්කෝලෙට ආපු ළමයෙක් හිටියා. ගමේ ඉඳලා.”
“එහෙම අය ගොඩක් හිටියා.”
“මියුසික් කරන්න පුළුවන්. හොඳට සිංදු කිව්වා. වැඩිය කාත් එක්කවත් කතා කළේ නැහැ.”
රාජීව්ගේ සිනහව මඳක් අඩුවිය. ඔහු පිළිතුරු දීමට පෙර සංසලා තම අත්බෑගයෙන් දුරකථනය පිටතට ගත්තාය.
“මම කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්නන්නද?”
ඇය තිරය විවෘත කර ඡායාරූපයක් සොයාගත්තාය. එය ඔහුට පෙන්වීමට පෙර තත්පර කිහිපයක් ඒ දෙස බලා සිටියාය. ඇගේ දෑස් තුළ රාජීව්ට කියවාගත නොහැකි හැඟීමක් තිබිණි—බියක්, බලාපොරොත්තුවක් සහ දිගු කලක් දරා සිටි වෙහෙසක් එකට මිශ්‍ර වූවාක් මෙනි.
ඇය දුරකථනය ඔහු දෙසට හරවා මේසය මත තැබුවාය.
තිරය මත තිබුණේ පාසල් නිල ඇඳුමින් සැරසුණු, සිහින් සිරුරක් සහ අහිංසක බැල්මක් තිබූ පිරිමි ළමයෙකුගේ පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයකි.
රාජීව් එය අතට ගත්තේය.
ඔහුගේ මුහුණේ තිබූ සිනහව කෙමෙන් අතුරුදන් විය.
“මේ මූණ මතක නැද්ද, රාජීව්?” සංසලා ඇසුවාය.
ඔහු පිළිතුරු දුන්නේ නැත. දුරකථන තිරය විශාල කර ඡායාරූපය දෙස නැවත බැලුවේය.
වසර ගණනාවකට පෙර අමතක කර දැමූ නමක් ඔහුගේ මතකයේ ගැඹුරු තැනකින් නැඟී ආවේය.
“පවන්…?”
සංසලාගේ ඇඟිලි කෝපි කෝප්පය වටා තවත් තද විය.
“ඔව්,” ඇය ඉතා සෙමින් කීවාය. “පවන්.”
ඔයා කොහොමද පවන්ව දන්නේ ..
මතුසම්බන්ධයි

අඩි හයක් උස නිලියක් නිසා මේ කතාව නොකියව ඉන්න තීරණය කළා .
ReplyDelete😃
Deletehmmmm
Deleteබොඩි සේමිං කරන්නෙපා අයියා
Deleteහොඳද නරක්ද කියල ඊළඟ එකේදී කියන්නම්. අර ලංකාවට ආපු සින්දු කියන මික්ස් එක්කෙනයි ලංකාවෙන් ගිහින් ඉන්දියාවේදී සල්ලි කේස් එකට අහුවුනා කෙනයි අතරේ මිශ්‍රණයක් වගේ
ReplyDeleteඑහෙමම නෙවේ
Deleteඅහා! ආන්න ජංසන්. ආයෙ එන්නම් කමෙන්ට් වැටුනම.👌🫠
ReplyDeleteහායි ඩීජීඑම්
Deleteරසවත් ගතිය ඇත කුතුහලයත් දනවයි
ReplyDeleteකියවන අපේ සිත් අවුලින් මත් කරවයි
ඊළඟ කොටස කියවන්නට අප කැඳවයි
plot එක ගති වගෙයි- පවුලූෂෝ කදිමයි!
ටැංකුයි නිමල් මහතාණෙනි
Deleteසන් සන් ගාල ඉතුරු ටික සලහං.
ReplyDeleteණයා එනවා වගේද
Deleteකියවන කොට රූප මැවෙන්න ලියල තියනව. ඉතුරු කොටස කවදද.
ReplyDeleteහැලපයා කියල බ්ලොග් එකක් ලියන්නෙ ඔහේද?
Deleteකවදද ඒක ආපහු ලියන්නෙ.
ඊළඟ එක දාන්නේ හැලපකඩේ බ්ලොග් එකේ ඊළඟ පෝස්ට් එක දාපු දවසට පහුවදා.
Deleteඅඩේ හැලපයියා දැකපු කල්
Deleteහ්ම්. plot එක මරු. 🎉
ReplyDeleteකතාවෙ සිද්දි ටික වේගෙන් යනව වගෙ නිකමට දැනුන. කෝමත් ඉතින් කතාව, දැන්කෙ උඹ ලියන්නෙ කෙටි කාතවක් විදියටනෙ.
Deleteඉතිරි කොටස් ටිකත් කලට වේලාවට දාන්න ඔන්න 😁😁
මටත් කතාවෙ සිද්දි ටික වේගෙන් යනව ගතිය දැනුනා. එකාතකට ඇදි,ඇදී යනවට වඩා ඒක හොඳයි කියලත් හිතෙනවා.
Deleteමෙට්‍රො බස් එකක වේගෙන් යනගමන්නෙ 🤣
Deleteසංසලා කියන්නේ පවන් නේද? ඉතුරු ටිකත් කියවලා බලමු.
ReplyDelete