"හැටදාහකට බං ගත්තේ"
"හදන්න කීයක් විතර ගියාද?"
"මේක මචන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න හදනවා ඉතින් හදලා හදලා දැන් තමයි යන්තම් ඉවර කරගත්තේ, මේ වෙනකොට ලක්ෂ එකහමාරකට කිට්ටු වෙන්න ගිහිල්ලා ඒකත් ඉතින් මමම දුවලා පැනලා බඩු ටික හොයා ගත්ත හින්දා"
"කොහෙන්ද බං හැදුවෙ දැන් මේ ජපන් අයිටම් හදන්න තැනක් නෑනේ ඔක්කොම ඉන්දියෙන් ලඩි හදන එවුන් තමයි ඉන්නේ, අනික උන් දන්නෙත් නෑ මේවා හදන්න තියා ස්ටාර්ට් කරන්නවත්"
"සජිත් මෝටර්ස් එකෙන් හැදුවේ, මාබෝලෙ, ජපන් බයික් නම් ඉතින් හොණ්ඩා සජී තමයි."
ඔය උඩ තියෙන්නේ මගේ බයිසිකලේ හදාගෙන ආවට පස්සේ කෙටියෙන්ම වෙච්ච කතන්දරේ, ඔය ටික මං හිතන්නේ දන්න අඳුනන, යාළු මිත්‍ර, ඔපිස් එකේ වැඩ කරන, සමහරවිට අහලා දැකලවත් නැති, හුලං ගහන්න ගියාම, පෙට්‍රල් ගහන්න ගියාම, අහන අහන එකාට දසදහස්හරයකට වඩා කියලා ඇති
කොච්චර උනත් ඉතින් ක්ලැසික් බයික් එකක් පදිනවා කියන එකේ ගතිය තියෙන්නේ හැමෝම ඉතින් පාරේ යනකොට ඒ දිහා බලදදි දැනෙන පොඩි ආඩම්බරෙත් එක්ක තමා.
හැබැයි ඉතින් හදන්ඩ කාපු කට්ටයි මේකෙ පොඩි හරි ලෙඩක් ආවහම යන වියදමයි එක්ක ගත්තහම ඒක දරාගන්න බැරි වුණත් අර හිතේ තියෙන ගැම්මට මේක පාවිච්චි කරන එක ඉතින් නතින් ගානට හිතාගෙන හිටියා.
*********
මම ඒ රස්සාවට එනකොට මගේ හීනයක් තිබුණේ පොඩියට හරි වාහනයක් ගන්න ඕනේ කියලා, වාහනයක් කියන්නෙනෙ ඉතිං රෝද හතරක්නේ, ඒත් ඉතිං වාහන ගත්ත එවුන් ඒවා නඩත්තු කරන්න කරන වියදමයි ලීසින් ගෙවන්න ගිහිල්ලා හිරවෙන හැටි ඉන්ෂූරන්ස් ගෙවන හැටි නහයෙන් අඬ අඬ කියනකොට මට හිතුන වාහනයක් ගන්න එක තව ටිකක් පරක්කු කරන එක හොඳයි කියලා,
ඔය අතර බයික් එකක් ගන්න එක හොඳයි කියලා හිතුනේ ඔෆිස් එකේ වැඩි හරියක් කොල්ලෝ එන්නේ බයිසිකල් වල හින්දා, බයිසිකල් වල එන කොල්ලොන්ට පොඩි චාන්ස් එකකුත් වැදිලා තිබ්බා නයිට් ෂිෆ්ට් එක එහෙම ඉවර වුණාම ඔය සමහර කෙල්ලො ගිහිල්ලා දාන්න වගේ පොඩි සුපින් සීන්.
ඒ මොනවා වුනත් මගේ හීනේ තිබ්බේ හාලි ඩේවිඩ්සන් බයික් එකකට, ඒත් අපිට මොන හාලි ඩේවිඩ්සන් ද , එනිසා තමයි පරණ හොණ්ඩා ස්ටීඩ් එක අරන් හදාගත්තේ, අරං හදාගත්තා කියන වචනේ ගැලපෙනවා නියමෙන්ට, \ළමයෙක් හදාගත්තා වගේ තමා වියදම, ඒත් ඉතිං ආතල් කඩාගන්න බෑනේ,
ස්කන්ධය දිරනවා ආතල් ඉතුරුවෙනවා , අන්තිමට කොහොමත් ඉතුරු වෙන්නේ එච්චරයි
********
මම බයික් එක ගත්ත එකට අම්මා නම් තදින්ම විරුද්ධ උනා, අක්කත් එහෙමයි. කොයිවෙලේත් බැන ගත්ත ගමන්මයි.
"ඕකෙන් දෙරි ගහලා අතපයක් කඩාගෙන වරෙන්කො"
අම්මයි අක්කයි මාරුවෙන් මාරුවට ඔය කතා සෙට් එකම තමයි කිව්වේ,
හැබැයි ගෙදර ගිය වෙලේ ඉඳන් අක්කට බයිසිකලෙන් එහෙ යන්න මෙහෙ යන්න සෑහෙන්න වැඩ තිබ්බා, පුංචියට මැහුම් ව්‍යාපාරයක් කරගෙන ගිය අක්කා, මම ගෙදර යනකම් බලන් ඉඳලා අන්තිමට ත්‍රීවිල් එකක අදින බඩු මගේ බයිසිකලේ අද්ද ගන්න පටන් ගත්තා,
ඒකෙන් ත්‍රීවීල් එකට යන ගානවත් ඉතුරුයිනේ කියලා මමත් ඉතින් හිත හදා ගත්ත හැබැයි ඉතින් මොනා වුනත් පෙට්‍රල් ටිකක් ගහලා දෙනවා, ඉඳලා හිටලා සර්විස් එකට සල්ලි එහෙමත් දෙනවා.
********
ඔය අතරේ තමා අම්මා වටින් ගොඩින් ,
"උඹ දැන් පිළිවෙලක් උනානං හොඳයි නේද" යැයි යැයි ගාගෙන ආපහු කියවන්න පටන් ගත්තෙ.
ආපහු පිළිවෙලක් වෙන්න තියා ඒ ගැන හිතන්නවත් මගේ හිත ඒ වෙනකොට ලෑස්ති වෙලා තිබුණේ නෑ, ඕ ලෙවල් පන්තියේ ඉඳන් අවුරුදු හයක් තිස්සේ ලව් කරපු සෙනූ ඒ වෙනකොටත් මාව දාලා ගිහිල්ලා ඉවරයි,
උසස් පෙළ ආට් පන්තියේ හිටපු හොඳම ළමයි තුන් හතර දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච සෙනූ , මාත් එක්ක ඇත්තටම යාළු උනේ ඒ තුන් හතර දෙනා අතර මාත් හිටපු හින්දා, සෙනූ ඒ තරම්ම අධ්‍යාපනයට ලැදියි.
සෙනූගෙ තාත්තා අපේ ගමේ තරමක සල්ලිකාරයෙක්, අපි ගමේ වැදගත් පවුලක් වුණාට අපේ ආදායම උනේ තාත්තාගේ රස්සාව විතරයි. සීසී මහත්තයාගේ පුතා, සෙනූලගේ තාත්තා වුණත් මාව හැඳින්වූ එහෙම,
උසස් පෙළ විභාගයෙ පළවෙනියටම තිබ්බ ආර්ථික විද්‍යාව පේපර් එක ලියලා ඉවරවෙලා ගෙදර ආවේ මගේ ඉරණම වෙනස් කරණ ගමන කියලා මට හිතුනෙම නෑ , ගෙට ගොඩ වෙනකම්ම. ගෙදරට කියලා මට ගොඩවෙන්න සිද්ධ වුනේ තාත්තාගේ මල ගෙදරට, හදිසි හෘදයාබාධයක් නිසා තාත්තා අපි අතරින් සමු අරන් තිබුණා. ඊට පස්සේ ගෙදර මිනිස්සුන්ගේ බලකිරීමට, විශේෂයෙන්ම අක්කගේ බල කිරීම නිසාම ,
මිනිය ගෙදර තියෙද්දීම ඉතුරු විෂයන් ටික ඉතින් ඔහේ කරන්නම් වාලේ කරාට මට එතනින් එහාට විභාගෙ ගැන කිසිම ඇල්මක් තිබුනෙ නෑ.
පළවෙනියට ලියපු ආර්ථික විද්‍යාව පේපරේට A එකකුත් එතනින් එහාට ලියපු විෂයන් දෙකට S එකක් සහ F එකක් පිළිවලින් තිබ්බා, සාමාන්‍ය පොදු පරීක්ෂණයටයි ඉංග්‍රීසි පේපර් එකටයි මම ගියේ නෑ.
*******
තාත්තා නැති උනත් එක්කම අපේ ගෙදර ආර්ථිකය කියාගන්න බැරි තරම් දරුණු විදිහට පිරිහුණා, රස්සාවලට ඇප්ලිකේෂන් දදා හිටපු අක්කා ඒවා පැත්තක තියලා මැහුම් ව්‍යාපාරය පටන් ගත්තේත් ඒකයි, ඒත් එක්කම අක්කටයි අම්මටයි ඕන වුනේ මට උගන්වන්න ඒ උනාට මට ඉගෙන ගන්න තරම් පිරියක් තිබුණේ නෑ.
විභාගයට වාඩිවෙනවා කියලා හිතපු ගමන් මතක් වෙන්නේ තාත්තගෙ මළ ගෙදර,
ආපහු උසස් පෙළ ලිවිල්ල පැත්තක තිබ්බ මම VTA එකේ තියෙන හයිබ්‍රිඩ් වාහන අලුත් වැඩියා කිරීමේ පාඨමාලාවට ලියාපදිංචි වුණා, රටේ ලෝකේ යන අත ගැන හොඳ දැනුමක් තිබ්බ අපේ අක්කා ඒකට කිසිම විරුද්ධත්වයක් දැම්මේ නැති වුණාට අම්මා තදින්ම විරුද්ධ උනා.
"උඹ ගැරිච්කාරයෙක් කරන්න අපිට උවමනාවක් නෑ"
ඒක තමයි අම්මගේ කටේ තිබ්බේ, හොඳ ඉංග්‍රීසි දැනීමක් සහ සමාජ මාධ්‍ය පරිශීලනය බොහොම සාර්ථකව කරපු අපේ අක්කා දැනගෙන හිටියා VTA එකේ පාඨමාලාව හදාරලා එතනින් උපාධිය නෙවෙයි පශ්චාත් උපාධිය දක්වාම ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන් බව. ඒ ඒ නිසා අක්කා මාව ධෛර්යමත් කරා.
*******
මේක ගැන සෙනූට කිව්වට පස්සේ සෙනු කිව්වේ ඒක ඒගොල්ලන්ගේ තාත්තට කියන්න ඕන කියලා,
එක දවසක් පාඨමාලාවට ගිහිල්ලා සති අන්තේ ගෙදර එන දවසක, හන්දියෙන් බස් එකෙන් බැහැලා පයින් එන අතරමගදි මට සෙනූලගේ තාත්තා හම්බ වුණා, වාහනේ නතර කරලා මාව වාහනයට නග්ග ගත්ත සෙනූලගේ තාත්තා මාව ඒ ළඟ තිබ්බ රෙස්ටුරන්ට් එකකට එක් කරගෙන ගිහිල්ලා රෝල්ස් එකක් කකා බීම එකක් බොන ගමන් කිව්වේ
"පුතාට මං කියන එක තේරෙනවා ඇති. සෙනූ දැන් කැම්පස් යනව, ගිහිල්ලා එයා එන්නේ උපාධියක් තියෙන කෙනෙක් හැටියට, උපාධිධාරිනියක් වෙලා හොඳ රස්සාවකට යන්න පුළුවන්කමක් තියෙන සෙනූට ගැරේජ් එකක වැඩ කරන කෙනෙක් කෙනෙක් බන්දලා දෙන්න පුලුවන් කමක් නෑ, කියන එක පුතාට තේරෙන්න ඕන, මේක මම සෙනූටත් තේරුම් කරලා දුන්නා. එයා කැමතියි."
"පුතාට ඉස්සරහට යන්න කරන ඕනම උදව්වක් මං ඕනම වෙලාවක කරන්නම්. ඒ ඕනම දෙයක් මගෙන් ඉල්ලන්න, හැබැයි මේ විවාහයට අපිට කැමති වෙන්න බෑ"
විවාහයක් ගැන මමවත් සෙනූ වත් කතා කරලවත් නොතිබ්බට, අපි හිතලවත් නොතිබ්බට සෙනූගේ තාත්තා දුර හිතලා තිබුණා, ඒ ඉල්ලීම කරපු විදිහටත්, ඇත්තටම හිතුවොත් සෙනූව එක් කරගෙන ඇවිල්ලා සෙනූව ජීවත් කරවන්නේ කොහොමද කියන එක ගැන පොඩි අදහසක්වත් මට තිබුණේ නෑ
අපි රෙස්ටුරන්ට් එකේ ඉන්නකම්ම ගොරව ගොරවා වැස්සට , එලියට එනකොට වැස්ස පායලා, හොඳටම අව්ව. ,
කිසිම විරෝධයක් නොපාම බොහොම සාමකාමීව ඒ පෙම් කතාව ඉවර වුණා, ඒක මට එච්චර දැනෙන්නෙ නෑ කියලා මං හිතාගෙන හිටියට අදටත් මට ඒක අමතක කරගන්න බැරි මොන කරුමයක් හින්දද කියලා මට හිතාගන්න බැරුවයි ඉන්නේ.
සෙනූගෙ රවුම්, දිග ඇහිබැමි එක්ක තියෙන ඇස්දෙක , මගේ ඇස් පියවෙන හැම තප්පරේම, මං ඉස්සරහ මැවුනා..
ඊට පස්සෙ කීප සැරයක්, සෙනූලගේ ගෙවල් පැත්තේ කරක් ගැහුවට ජනේලෙන් ඇවිල්ලා මගෙ දිහා බලලා එයා ආපහු හැරිලා යනවා, කියාගන්න බැරි මොකක්දෝ වේදනාවකින් උගුර හිරවෙලා බඩ දිගේ පල්ලෙහාට ගලාගෙන යනවා මට දැනෙනවා.
සෙනූ කැම්පස් ගියාට පස්සේ ආයෙ මට එයාව දකින්න හම්බවුණේ නැහැ, කොළඹ කැම්පස් එක පැත්තට යන්න පුළුවන්කම තිබ්බත් මම හිතාමතාම ඒ පැත්ත මගහැරලම ජීවත් වෙන්න හිතා ගත්තෙ තවදුරටත් සෙනූ ගේ වගේම මගෙත් හිත පාරගන්න ඕනේ නැති නිසා.
******
පාඨමාලාව නිමා වෙනවාත් එක්කම ආධුනික කාර්මික ශිල්පීන් හැටියට වත්තල ටොයොටාලංකා ආයතනයේ අපිට පත්වීම් හම්බුනා, අපිට කිව්වට මටයි තව හතර දෙනෙකුටයි, අපි හතර දෙනා තමයි පාඨමාලාවේ ඉහළම ලකුණු ගත්ත හතර දෙනා ,. NVQ level 6 හෙවත් උපාධිය දක්වාම ඉගෙන ගන්න හැකියාවත් එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය නම් මේ සඳහාත් උපකාර කරන බවට ඒ ඇග්‍රිමන්ට් එකේ සඳහන් වෙලා තිබුණා.
*******
මේක සිද්ධ වුණේ සිංහල අවුරුදු නිවාඩුවට ගෙදර යන්න යනකොට, කිරිඇල්ලෙනුත් කිලෝමීටර් ගාණක් ඇතුළට යන්න තිබ්බ ගමක ජීවත් වුන මට ඇත්තටම බැලුවොත් ගෙදර ඉඳලා වැඩ කරන තැනට දුර කිලෝමීටර් 100කටත් වැඩියි. එනිසා තමයි මම සති අන්තෙ විතරක් ගෙදර ගියේ.
හරියටම අප්‍රේල් එකොළොස් වැනිදා හවස වැඩ ඇරලා මම පිටත් වෙන්න යනකොටම
විරාජයා ආවා., "ඒ දසුනා උඹ යන්නද"
"ඔව් යන්න තමයි යන්නේ"
" පිස්සුද පොඩ්ඩක් ඉඳලා පලයන්?"
"අර මොන මගුලටද"
"මොකටද අහ්න්නේ, අදත් පොඩ්ඩක් ඉඳලා කෑල්ලක් ඇදලා එහෙම යං ඉතින් ආයෙ එන්නෙ සතියකට විතර පස්සෙනෙ"
විරාජයා පට්ට හොඳ එකෙක් හැබැයි ඉතින් ඌට කෙල්ලො පෙන්නන්න බෑ, කොහේ හරි ඉන්න කෙල්ලෙක් හැමදාම බෝඩිමට උස්සන් එනවා ඉතින් අදාල වැඩේ කරගන්නකම් මම මදුරුවෝ තල තලා එලියට වෙලා ඉන්නවා, ඌට කොච්චර කිව්වත් ඕවා දෙන්නෙත් නෑ මට බල කරනවා ඉවරෙකුත් නෑ
හැබැයි ගොඩක් වෙලාවට ඒ වැඩවලට තනියෙන් යන්නෑ ඌට මං ඉන්නම ඕනේ,
"තෝ මොකක් හරි කොහේ හරි යන කුණු ලෙඩක් හදාගෙන තමා අන්තිමට මැරෙන්නේ ඔන්න බලපං මං කිව්වා කියලා මතක තියාගං" මම හැමදාමද විරාජයාට කියනවා.
"අනෙප් පලයන් ගස් බල්ලො, තෝ වගේ මෝඩයෙක්ද මම"
ඒක තමා උගේ උත්තරේ එදත් ඌට ඕන වුණේ කොහෙන් හරි කෙල්ලෙක් උස්සගෙන එන්න
"මට බෑ බං මං යන්න ඕන දැන් අම්මටත් මං එනවා කියලා ඉවරයි මම යනවා" කියාගෙන මම ඌ ලඟ වැඩිය ටැග් ගැහෙන්නේ නැතුව රේස් කරලම එලියට ගියා
*******
වැඩපලෙන් එළියට බහිනකොටම දඩ්බඩ ගාලා මහ වැස්සක් කඩාගෙන වැටෙනවා
නොදකින් අර බූරුවගේ වස්තිය වැදුනද කොහෙද...
ආපහු හැරෙන්නේ නැතුව එහෙම්මම දැම්මා බයික් එක K Zone එක ඇතුලට, බයිසිකලේ නවත්තලා මම බිත්තියට හේතුවෙලා ෆෝන් එක අතට ගත්තා,
දෙයියනේ ඒ ඇස්මයි, ඒත් ඒ සෙනු නෙවෙයි කියන්න මං හොඳටම දැනගෙන හිටියා, සුදු පාට ටී ෂර්ට් එකකුයි ලා නිල් පාටට ඩෙනිමකුයි, සුදු පාට සපත්තු දෙකකුයි දාගත්ත ලස්සන ගෑණු ළමයෙක් මට එහා පැත්තෙන් හිටගෙන
අතේ බැඳගෙන හිටපු කළුපාට හීනි පටියක් තියෙන ඔරලෝසුවෙන් වෙලාව බල බල බොහොම නොසන්සුන් කමකින් හිටියේ
ගානට උස මහත තියෙන තේරෙන බාසාවෙන් කිව්වොත් හරිම ලස්සන ෆිගර් එකක් තියෙන කෙල්ලෙක්, ස්ට්‍රේට් කරපු කොණ්ඩේ පෝනිටේල් එකක් වගේ දාගෙන හිටිය පිටෙන් මැදට වඩා පොඩ්ඩක් උඩට වෙන්න,
වූල් බෑන්ඩ් එකෙන් එළියට පැනපු කෙහෙරැලි දෙකක් මූන හරහා වැටිලා තිබුණා,
මං එයා දිහාම බලාගෙන ඉන්නකොට එයා එක සැරේම මගේ දිහා හැරිලා බැලුවා, හුටා මං කන්න වගේ බලන් හිටපු එක නෝට් උනාද මන්දා, මං බොහොම අමාරුවෙන් තොල් ඈත් මෑත් කරලා හිනා උනා,
කට කොණකින් යන්තම් හිනාවක් දාපු එයා ආපහු ඔරලෝසුව දිහා බලලා වැස්ස දිහා බලන්න පටන් ගත්තා
කතා කරන්න ඕනකම තිබ්බත් කතාව කොහොම පටන් ගන්නද මොනවා කියන්නද කියන එක ගැන කිසිම අදහසක් තිබුනේ නෑ,
"මේ හයියෙන්ම වහිනවා නේද.."
මම පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා වගේ කිව්වට ඒක කටින් පිටවුනේ නිකන් කෙඳිරිල්ලක් වගේ ,
එයා මගේ දිහා බලලා ආයෙත් කට කොනකින් අර හිනාව දාලා ආපහු අහක බලා ගත්තා, විලිලජ්ජාවයි, කොටින්ම කිව්වොත් වහිනවා හි.පු.හෝ.
ජැකට් එක දාගෙන හිටියට මෙහෙම වැස්සක් බලාපොරොත්තු වුණේ නැති නිසා මම බයික් එකට දාන්න ගත්ත රේන්කෝට් එක ලොකර් එකේ දාලයි ඇවිල්ලා තිබුනේ, වැස්ස පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් ආපහු එහා පැත්තට පැනලා ඒක අරගෙන එන්න ඕන කියලා මං කොහොමත් හිතා ගත්තා
කොච්චර බලා හිටියත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා මං ආපහු ෆෝන් එකට මූණ ඔබා ගත්තා.
ඒ වුණාට මං හොරෙන් හොරෙන් කෙල්ල දිහා ආපහු බැලුවා. එයත් සැරයක් දෙසැරයක් මගේ දිහා බලනවා මට නෝට් උනා,
ආපහු සැරයක් බැලුවම මං ආයාසයෙන් ආයෙ හිනා වුණා, ඒ පාර එයා මගේ දිහාවට හැරුණා මොකක් හරි කියන්නයි යන්නේ....... මගේ කන් දෙක රත් උනා මේ දෙනෝ දහක් අස්සේ බැන්නොත් එහෙම විලි ලැජ්ජයි, හරි යනවා යන්න කියලා හිතා ගත්තා විතරයි.
"ඔයා බෝඩ් වෙලා ඉන්නේ ඇලකන්ද පාර නේද "
"ඕ ඕ ඕ ඔව් ඔයා කොහොමද දන්නේ?"
"මමත් ඒ පාරේ තමයි ඉන්නේ මට ඔයාව මතකයි විශේෂයෙන්ම මතක බයික් එක හින්දා,"
නෙද්දකිං... ඒකත් මතක බයික් එක මාව නෙමෙයි, මං එහෙම හිතුවට කියන්න ගියේ නෑ.
ඒ වෙනුවට මං කිව්වේ කිව්වේ
" ෂිහ්. අවුරුද්දට ගෙදර යන්න කියලා එළියට බැස්සා විතරයි වහින්න ගත්තනේ" කියලා
"මාත් ඒකට තමයි එලියට බැස්සේ.. කොටුවටවත්ය යා ගන්නවත් බැරිවෙයි මෙහෙම ගියොත්, එහෙම වුනොත් ඉතින් හෙට උදේ තමයි යන්න වෙන්නේ" එයා කිව්වා,
"ඔයා කොහෙද යන්නේ"
"මම අවිස්සාවෙල්ලට"
"බුදු අම්මෝ මේ වෙලාවට..... ඉතින් අනිත් එක මේ දවස් වලට බස් වලට කිට්ටු කරන්න වෙන්නේ නෑ අවිස්සාවේල්ලට යන්න නම්" මම කිව්වා
"ඕ ඒක තමයි ඒ උනාට ඉතින් අද නොගියොත් හෙට දවසත් අපරාදෙ"
"මම යන්නේ කිරිඇල්ලට.... ඕනනම් ඔයාව දාන්න පුළුවන් මට"
මම ඒක කිව්ව නෙවෙයි ඉබේ කියවුනා මටත් හිතාගන්න බෑ මං ඇයි එහෙම කිව්වේ කියලා.
එයා ඇස් පුංචි කරලා මගේ දිහා බලපු බැලිල්ලට මම ආපහු රත් වුනා... දැන් නම් බැනුම් අහන්න වෙනවම තමයි කියලා
"හෙල්මට් එකක්වත් ජැකට් එකක්වත් නැතුව මාවත් දාගෙන ගිහිල්ලා අවුරුද්දට පොලිසියේ ඉන්න ආසද"
එයා අර ලස්සන හිනාව අස්සෙන් අහලා කට අතින් වහගත්තා..
"ආ ඒවා තියෙනව ඒවා තියෙනවා මගේ ලොකර් එකේ , තව ජැකට් එකකුයි හෙල්මට් එකකුයි මගේ රේන් කෝට් එකයි ඔක්කොම තියෙනවා මට පුලුවන් ටික ටක්ගාලා අරන් එන්න"
"අම්මේ තියෙන හදිස්සියයි උනන්දුවයි"
ඒ වචන ටික නම් මගේ කන් දෙක රතු වෙලා ඇස් දෙකට ලේ ගලාගෙන එනවා වගේ දැනුනා.
*****
යන්තම් යන්න පුළුවන් ගානට වැස්ස අඩු වෙනකොට හවස හයටත් කිට්ටු වෙලා වටින් පිටින් කරුවල වැටී ගෙනත් එනවා.
ටික වෙලාවකින් වැස්ස හොඳටම පායලා අහසත් පැහැදිලි වුණා. එහෙන් මෙහෙන් තරු එක දෙක පේන්න පටන් ගත්තා, මගේ ලොකර් එකේ තිබුණ අමතර හෙල්මට් එකයි ජැකට් එකයි ඒ වෙනකොටත් එයා ඇඳගෙන මගේ බයිසිකලේ පිටිපස්සෙ, හිතාගන්න බැරි අමුතුම මිහිරියාවකින් හදවත පිරී යනවා වගේ මට දැනුනා,
"මම ඔයාගේ නමවත් දන්නෑනේ, "
"මොකක්ද?"
"නම නම ඔයාගේ නම?"
බයිසිකලේ යන එවුන් දන්නවා ඉතින් ඉස්සරහ එකා කියන ඒව පිටුපස එකාට ඇහෙන්නේ කුණුහරප වගේ ඌ දෙන්නේ වෙනම උත්තර අන්තිමට කියන එක නෙමෙයි අහලා තියෙන්නේ අහන එක නෙමෙයි කියලා තියෙන්නේ දෙන්නම කතා කරලා තියෙන්නේ වෙනදෝ මොනවද බහුභූත.
ඒක දන්න නිසා මං ටිකක් සද්දෙ වැඩි කරලම කතා කරා
"මගේ නම අප්සරා"
ඒකි කෑගහපු කෑගැහිල්ලට කන් අඩි පැලෙන්න ගියා,
"අප්සරා අවිස්සාවේල්ලට ගිහිල්ලා එතනින් එහාට කොහොමද යන්නේ?"
"එතනින් එහාටත් ඉතින් ඔයා මාව ගිහින් දාන්න මේ රෑ අවිස්සාවේල්ලෙන් බස් නෑ මට"
අප්සරා හැසිරෙන්නෙ බොහොම සැහැල්ලුවෙන් හරියට අපි කාලෙක ඉඳන් දන්නව වගේ ..
මට මතක් වුණා කාලෙකට කලින් බලපු මොකක් හරි අවුරුදු නාට්‍යයක් ඒක හිටියේ කලන ගුණසේකරයි, සුලක්ඛණා හේරතුයි . ඒකෙත් සුලක්ඛනා බස් නැතුව අතරමං වෙලා එද්දි බයිසිකලේ ගමේ යන කලන ගුණසේකර සුලක්ඛනාට ලිෆ්ට් එකක් දෙනවා, එයා හිටියේ හරිම සැහැල්ලුවෙන්, බොහොම හිනාවෙන්, මට දිගින් දිගටම මතක් උනේ මේ නාට්‍යය.
අප්සරා දිගටම කියෙව්වා, මොනවදෝ කියනවා මට සමහර ඒවා ඇහෙන්නෙත් නෑ එයා හිනාවෙනවා. ඉතින් එයා හිනා වෙනකොට මාත් හිනා වෙනවා.
"අපි මොනවා හරි බීලා යමුද" මම නිකමට ඇහුවා
"හා හැබැයි ඉතින් මේ වෙලාවට තියෙන්නේ නයිට් කඩ විතරයි ඔයා මේවායින් කනවද"
"ඌරන්ට මොන සෞඛ්‍යයද අප්සරා"
"අපි පෝකුයි පරාටයි කමුද?", අප්සරා අහපු ගමන් මම උඩ ගියා
"පෝක්...? පෝක් කාලා මේ රෑ එහෙ මෙහෙ යන්න හොඳද" ,
අම්මා හැමතිස්සෙම කියවනවනේ පුලුටු කාලේ එළියට යන්න එපා කියලා ඒ පුරුද්දට මට ඒක අප්සරාගෙන් ඇහුවට මට ඇත්තටම මං ගැන ලැජ්ජ හිතුවා ඒක කිව්වට,
අප්සරා බඩ බදාගෙන මහා ආයෙන් හිනා වුණා නයිට් කඩයට හිටපු මිනිස්සු එළියෙ මොන සමයමක්ද වෙන්නෙ , වගේ අපි දිහා බැලුවා. විලි ලැජ්ජයි සංතෝසයි.
"අනේ ගොඩයෝ.........කමක් නෑ යක්කු ගැහුවොත් කට්‍ටඬියා ලඟ ඉන්නවනේ, අනේ මෙන්න මෙහෙ එන්න අනේ" කියලා මගේ අතින් ඇදගෙන නයිට් කඩේ අස්සට ගිය අප්සරාම ඕඩරේ දැම්මා.
කට දැවිල්ලට තිබ්බ පෝකරියත්, පොල් සම්බෝලේයි එක්ක පරාට දෙක තුනක් ගිල්ල අපි වැඩි සීනි ප්ලේන්ටි එකත් බීලා හෑස් හූස් ගගා ආපහු බයිසිකලේට ආවෙත් ගමන ඉතුරු ටික යන්න.
අපි දකින අයනං හිතයි හරිම ආදරෙන් ඉන්න පෙම්වත්තු කියලා..මට හිතුනා..
අවිස්සාවේල්ල බෝඩ් එක පේන මානෙම තිබ්බ පාර අයිනේ පොඩි පෙට්ටිකඩයක්. ඒකෙ බෝඩ් එකක් ගහලා ඒකේ තියෙනවා උළුඳු වඩේකියලා, මම නිකමට ඇහුවා
"අපි මෙතනින් උළුඳු වඩයක් කාලා යමුද"
"ඔයා ගාව සල්ලි තියෙනවද,"
අප්සරා එහෙම ඇහුවේ ඇයි කියලා නම් මට තේරුනේ නෑ
"වඩේ තුන හතරක් ගන්න බැරි තරම් සල්ලි අමාරුවක් මට නෑ"
"මේ ඒක නෙවෙයි පොඩි සෙල්ලමක් කරමුද?"
"මොකක්ද?"
"ඔයා බයිසිකලේ ලං කරලා නවත්තලා ස්ටාට් එකේම තියාගන්නකෝ"
අප්සරා එහෙම කිව්වා මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේකි මේ ගමන කරන්න හදන්නේ කියලා, ඒ වනකොටත් අප්සරාගේ දඟකාරකමටයි මුඛරි කමටයි මට සෑහෙන්න හිත ගිහිල්ලා තිබුණේ.
පෙට්ටිකඩේ හිටිය අවුරුදු 45ක පනහක විතර මනුස්සයෙක්, මිනිහා උණු උණු වඩේ බැද බැද හිටියේ
අප්සරා කිව්ව විදිහට මම පෙට්ටි කඩේට ලං කරලම නවත්තලා බයිසිකලේ ස්ටාර්ට් එකේ පොඩ්ඩක් රේස් කර කර තියාගත්තා,
අප්සරා බැහැලා අන්කල් ගාවට ගියා, අංකල්ගේ කිට්ටුවටම ගිය අප්සරා අංකල්ගේ ඇඟේ ගෑවී නොගෑවී වගේ "අනේ අංකල් වඩේ හතරක් දෙන්නකෝ" කියලා බොහොම ඇදලා පැදලා කිව්වා,
ඒ කියපු විදිහට මට හිනා ගියත් එක්ක හැබැයි ඒ කියපු එකෙන් අංකල්කාරයා නිකං වශී වෙලා වගේ වැඩේ හතරක් දාලා ආ මේ එන්න නෝනට මගේ ගානේ තව එකක් කියලාද වැඩිපුරත් එකක් දාලා බෑග් එකකට දාලා දුන්නා.
පිටේ තිබ්බ බෑග් එක අතර අරගෙන වඩේ ටික බෑග් එක අස්සට දාගත්ත අප්සරා, ආපහු බෑග් එක පිටේ දාගෙන සාක්කුවට අත දැම්මේ සල්ලි ගන්න වගේ
"කියද අංකල් ගාන",
"මේවා ලොකු වඩේ නෝනා, වඩේ හතර දෙසීයයි නෝනා එකසිය පනහක් දෙන්නකෝ"
අංකලයා වශී වෙලා තියෙනවා හොඳටම, අනේ තැන්කියු අංකල් උම්මා කියලා අංකල් බදාගෙන උම්මා එකක් දීපු අප්සරා දුවගෙන ඇවිල්ලා බයිසිකලේට නැගලා, නැග්ගා කිව්වට පන්නා, පැන්න පනිල්ලට තව ටිකෙන් දෙන්නම බිම. අප්සරා මගේ පිටට ගහගෙන ගහගෙන යන ගමන් යමු යමු , ඉක්මනට යමු..යම් යමු කිව්වා,
මමත් රේස් කරලා ඇරලා ආවා, හම්බෙච්ච කිස් එකේ පාරට තාමත් ආතබූත නැතුව කම්මුලට අත තියාගෙන උඩ බිම බල බල ඉන්න අංකලයව මට සයිට් කන්නාඩියෙන් ලාවට වගේ පෙනුනා
"මොකක්ද මේ කරපු වැඩේ,"
"මෙහෙම ට්‍රිප් එකක් යනකොට පොඩි ගතියක් තියෙන්න ඕනේ හලෝ , "
"ඔන්න ඔතනින් නවතන්න අපි මේ වැඩේ ටික කාලාම යං"
තව කිලෝමීටර් දෙකහමාරක් තුනක් විතර ඇවිල්ලා, පාරයිනේ බෝක්කුවක් උඩ වාඩිවෙලා අපි හඳ එළියේ උණු උලුඳු වැඩේ කෑවා, අපරාදේ කියන්න බෑ අංකලයාගේ සම්බෝලය නම් පට්ටම රසයි රසයි. අන්තිමට ඇඟිල්ල ටිකත් ලෙවකන ගමන් අප්සරා කිව්වා.
ඒ වෙනකොට අපේ බඩ පිරිලා මගේ හිත පිරිලා.
අවිස්සාවිල්ල බස්ටෑන්ඩ් එකට ආවට පස්සේ එතනින් දකුණට තියෙන අතුරු පාරක කිලෝමීටර් එක හමාරක් විතර ගිහිල්ලා අප්සරා
"එහෙනම් මං මෙතනින් බහිනවා ඔයාට ගොඩාක් මාව එක්කන් ආවට අපි වෙලාවක හම්බවෙමු,"
කියලා අංකල්ට කරා වගේ මාව බදාගෙන මටත් කිස් එකක් දීලා දෙවටක් අතරින් සුරුස් ගාලා නොපෙනී ගියා
අංකල් වගේම මාත් ආතබූත නැතුව හිටියේ ඒ කිස් එකට.
තප්පර කීපයක් ගියාට පස්සේ. අතේ තියෙන ජැකට්ත එකයි , හෙල්මට්ම එක දැක්කම තමයි මට මතක් උනේ මේ මනුස්සයා කොහේ ගියාද කාගේ කවුද කිසිදෙයක් මම දන්නේ නෑනේ කියලා.,
අඩු ගානේ ෆෝන් නම්බර් එකක්වත් ඉල්ල ගත්තෙ නෑ ෂිහ් , කමක් නෑ ඇලකන්ද පාරෙනෙ ඉන්නවා කිව්වේ මාවත් දැකලා තියෙනවා කිව්වනේ, හොයාගන්න අමාරුවක් වෙන්නේ නෑ,
ඊට පස්සේ ගෙදර යනකං වගේම අවුරුදු නිවාඩු ඉවර වෙනකම්ම මං නොඉවසිල්ලෙන් හිටියේ කොහොමද ආපහු කොළඹ යන්නෙ කියලා.
අවුරුදු නිවාඩුව තිස්සෙම ගමේ ඉන්නකම්ම මතක් උනේ ෆෝන් නම්බර් එක වත් ඉල්ලගත්තනම් අඩු ගානෙත් චැට් එකක්වත් දාන්න තිබ්බනේ කියලා,
මගේ වෙනස අක්කටත් තේරිලා තිබ්බේ
"මොකද උඹ නිකං මනමාල පාටක් ගහලා ඉන්නේ"
අක්කට හංගන දෙයක් මගේ නැති නිසා මං ඉතින් සම්පූර්ණ විස්තරේ කිව්වා
"අප්පට මරු නෑන පොඩ්ඩක් මට හම්බෙන්න යන්නේ"
"නෑනා කරගන්න කලින් පොඩ්ඩක් ඉන්නවා කෝ කවුද දන්නේ ඒකට කොල්ලෙක් ඉන්නවද නැද්ද කියලා,"
"කොල්ලෙක් ඉන්නවනම් ඔය මහ රෑ තනියෙන් තමුසෙත් එක්ක එයිද, විකාර කියවන්නෙ නැතුව ඉන්නවා හැබැයි ඉතින් තමුසු වගේ බූරුවෙක් මෝඩ මූසලයෙක් බලනවාකෝ අඩු ගානේ ෆෝන් නම්බර් එකවත් ඉල්ල ගත්තේ නෑනේ."
මොනා වුනත් හොඳ වෙලාවට අරුත් එක්ක වල්කමේ යන්න ඉන්නේ නැතුව මං ආවේ එහෙම ආවේ නැත්නම් අපසරාව හම්බෙන්නෙ නෑනේ,
ආයේ නම් මං ඕකා එක්ක යන්නේ නෑ අප්සරාගේ මූණ බලන්නේ කොහොමද ගිහිල්ලා, මං ඒ ටිකට අප්සරාව එක් කරගෙන ඇවිල්ලා කසාද බැඳලා ළමයි හදලා ගෙවල් දොරවල් හදලා පවුල් පන්සල් වෙලා ඔක්කොම දේවල් කරලා,
"තේක බීපම් බූරුවො හීන මව මව ඉන්නේ නැතුව" කියලා අක්කා කියලා තේ එක මේසේ උඩින් තියලා වහලා යනකන් මම දන්නෙත් නෑ
*****
"මචං ඇලකන්ඳ තමයි ඉන්නවා කිව්වේ,"
එදායින් පස්සේ මාස එකහමාරක් විතර යනකම් ඇල කන්දේදී මම වැඩට යන වෙලාව වෙනස් කර කර ට්‍රයි කළේ අප්සරාව හොයාගන්න, වැඩ ඇරෙන වෙලාවට හැමදාම K Zone එක අස්සට රිංගලා බැලුවේ වැරදිලාවත් අප්සරා ඉන්නවද කියලා
"මේ දසුනා ඒකෙ හොල්මනක්වත්ද බං"
"අනේ පල...හු කුණුහරප කියන්නැතුව"
"කෝකටත් උඹ ආයේ ගෙදර යනකොට ඔය කියන පාරට පොඩ්ඩක් දාලා බලපන් සුදු කොඩියක්වත් තියෙනවද කියලා"
"ආයෙ යන්න දෙයක් නෑ යකෝ මං හැම සතියම ගෙදර ගියේ ඒක තමයි, මහ රෑ කළුවරේ බැස්සා කියලා මතක් වෙච්ච හරිය එනකම් මං ගිහින් බැලුවා ඒ වුණාට කිසිම හෝඩුවාවක් හොයාගන්න විදිහක් නෑ"
ඔය අතරේ තමා විරාජයා කාර් එකක් ගත්තේ,
ඇත්තටම ඌ මේකේ තියෙන මේ කෝස් එක කරලා අපිත් එක්ක මේ ට්‍රේනින් එකට ආවේ උගේ තාත්තගේ ව්‍යාපාරයට හවුල් වෙන්න මිසක් ඌට සල්ලි ඕන හින්දා නෙමෙයි, ඒ නිසා කාර් එකක් ගන්නවා කියන එක ඌට මහ ලොකු දෙයක් වෙලා තිබුණේ නෑ,
ඒ නිසාම ලයිසන් තිබ්බට වාහනයක් හුරු නැති මට ඩ්‍රයිවිං පුරුදුවෙන්න පුලුවන් වුනා.
ඌ ඊට පස්සෙ කෙල්ලො උස්සං යන්න ගියේකාර් එකේ. මම ඩ්‍රයිවර්..ඌ කල්‍යාණ මිත්‍රයෙක් වුනාට පාප මිත්‍ර පුරුදු මටත් ඇබ්බැහිවෙන්න වැඩි කාලයක් ගියේ නෑ,. ඉඳලා හිටලා ඒ කෙල්ලෙක් දෙන්නක් එක්ක ඉන්න මාත් පුරුදු වුනා. හැබැයි ඌ තරංං ඒකට ඇබ්බැහි වෙන්නෙ නැතුව ඉන්න මට කොන්ට්‍රෝල් එකක් තිබ්බා.
*******
.අප්සරා ගැන මතකය හිතේ තිබ්බට අප්සරාව හොයාගන්නවා කියන එක හීනයක් බවට ඒ වෙනකොට පත්වෙලා තිබුණේ, සමහරවිට ඒකිට කොල්ලෙක් ඇති ඒකනේ ෆෝන් නම්බර් එකවත් නොදී අඩුගානේ මගේ එකවත් ඉල්ලගන්නේ නැතුව ගියේ ඔච්චර උදව්වක් කරලා
ඕක ඉතින් ලබා උපන් හැටි
"මේ ඔය ඉස්සරහින් තියෙන ලයිට් කනුව පහු කරලා නවත්තපං"
මොකටද.... මම පියවි සිහියට ආවේ විරාජයාගෙ සද්දෙට
කොයි ලෝකෙද බං ඉන්නේ... සිහියෙන් ඩ්‍රයිව් කරපංකො... ...
දණිස්සෙන් උඩට අඟල් හයක් හතක් කොට කලුසායකුයි, රතු පාට ක්‍රොප්ටොප් එකකුයි ඇඳලා ඉන්න තේරෙන බාසාවෙන් කිව්වොත් පට්ට කෑල්ලක් ලයිට් කණුවට ටිකක් එහාට වෙන්න. හිටගෙන හිටියා.
උඹ නවත්තපන් ඉස්සරහ හරස් පාරට දාලා. මම ෂේප් එකේ එක්කගෙන එන්න. යකෝ දහදාහක් ගෙවලා බුක් කරගත්තේ..
ඒ වෙනකොට කරන්ට් එක කපන දවස්, හතරවටම හද්ද කළුවර
කෙල්ලව පහු කරලා මීටර් කීපයක් ඉස්සරහට ගිහිල්ලා, වමට තියෙන අතුරුපාරේ මම කාරෙක නැවැත්තුවා,
ටිකකින් කෙල්ලත් එක්ක ආපු විරාජයා පිටිපස්ස සීට් එකට නැගලා දොරවල් වහගත්තා
ඉස්සරහ ශීට් දෙක අතර තිබ්බ හිඩැසින් ඔලුව ඉස්සරහට දාගත් විරාජයා මට පාර අතින් පෙන්න පෙන්න එක්කන් ගිහිං පෙන්නුවේ කාර් එක නවත්තන්න ඕන තැන,
කාරෙක නවත්තලා මං බැහැලා ගියා,
ෆෝන් එකට ඔලුව ඔබගෙන ඉඳලා ඔලුව ඉස්සුවා විතරයි ..මෙන්න
එදා වගේම සුදුපාට බ්ලව්ස් එකකුයි, ලා නිල් ඩෙනිමකුයි ඇඳලා කෙල්ලෙක් මේ පැත්තට එනවා.
මොනවා අප්සරා මෙහෙ.... මම එයා ලඟටම එනකං බලං හිටියට ඒ අප්සරා නෙවේ. ඇඳුම විතරයි අප්සරා මොඩ්ල්.. ඒ අහලකින් තියන්න බෑ...
විනාඩි පහලවකට විස්සකට විතර පස්සේ විරාජය් බැහැලා ආවා.
"ආ උඹ පලයන් අතේ සල්ලි තියෙනවනේ,'
"මට බෑ බං"
"අනේ මේ විකාර නැතුව පලයන් ආ මේ 1000ත් තියාගනිං මතක ඇතුව කලින් ටිප් එකක් දීපන්, කොහොමත් පැය දෙකකට ගෙවලා තියෙන්නෙ."
කරුවලේම මං කාර් එකේ පිටුපස ශීට් එකට ගොඩ වුණා,
*****
"මොකක්ද බං උඹට වෙලා තියෙන්නෙ. ආයෙ අලුතෙන් හූල්ලන්න පටං ගත්තද, කාලයක් යන්තං හොඳට හිටියා....උඹේ ඔය හුට්‍ටලම ගැන හිතලා වැඩක් නෑ...
ඒකිට බස් ගාස්තුව ඉතුරු කරගන්න හිතුනා..උඹව ගොනාට ඇන්දුවා එක්කංගියා... කිස් එකට කැලරි දහනයක් විතරනෙ වුනේ.."
"අනේ විරාජ්... පව් නොදී කටයි පු..යි වහගෙන මෙතනින් පලයංකො...."
"ඒයි ...මේ.... පොඩ්ඩක් මෙහෙ බලපං උඹ උදේම බීලා නේද..."
විරාජ්ගෙන් මගේ හැඟීම් හංගන එක මට කරන්න පුලුවන් වැඩක් නෙවේ..
"විරාජ්....."මට මහ හයියෙන් ඇඬුනා.
"ඒයි..අඩෝ... මොනෞත්තක්ද යකෝ මේ... පිස්සු හැදිලද දසුනා... එක දවසක් දැක්ක කෙල්ලෙක් නිසා මෙහෙම...අතෑරලා දාපං බං , ඒකි ආයෙ හම්බවෙන්නෙ නෑ... ඒකිට එහෙම උවමනාවක් තියෙනවනං , එදා නම්බර් එක නොදුන්නත්..උඹ ඉන්නෙ ඇලකන්දෙ කියලා දන්නවනං නෑවිත් ඉන්නෙ නෑනේ...අපි හිත හදාගමු.. මචං"
"මචං... නෑ. බං... මට ඒකිව හම්බ වුනා....."
"මොකක් ....කව්දද කොහෙදිද....උඹ කිව්වෙ නෑනෙ...."
"එදා රෑ තෝ දහදාහක් දීලා උස්සගෙන ඇවිත් තිබ්බෙ මගෙ අප්සරාව බල්ලො..."
හුටා! ලස්සනට කියෝ ගෙන ආවා, අබංක පරම පිවිතුරු සමාධියෙන්. කෙලිය නේද තාප්පෙට අන්තිමට? ටෝ ඔහොම්මමයි අවලං වල් පූසා.😋😁
ReplyDeleteනියම ප්ලොට් ට්විස්ට් එක. කැතයි , ඒත් ආත්විකයි.👌🙏💐
ඇහ්....මොකක්ද ඒ කිව්වෙ, ආත්විකයි..??? අතාත්විකයිද තාත්විකයිද දෙකමද 😃😃😃
Deleteලියන්න ඕන වුනේ තාත්විකයි කියලා. මේ මල හත්තිලව් කී බෝඩ් එක බුදියන් ඉඳලා නැගිට්ට ගමන් කොටන්නෙ ඌට ඕන අකුරු.💢😡
Deleteඒක මිසක් 😃😃😃
Deleteනිවිහැනහිල්ලේ ලියාගෙන ඇවිත් කලබලේ ඉවර කරලාද මන්දා
ReplyDeleteමින්පස්සේ බයික් එකට නැග්ග ගමන්ම නොම්මරේ ඉල්ලා ගන්න වෙයි වගේ. හැබයි අප්සරා නම් එහෙම ඉල්ලුවොත් කනත්තේ නොම්මරේ දෙන ජාතියේ :D
සැහ්... එහෙම හදිසි ගතියක් දැනුනද 🤔🤔🤔
Deleteශා!!!!!හරිම අපූරු කතාව.මුලදි දිග වැඩි කතාවක් කියවන්න කම්මැලි හිතුනත් කතාවෙ රසවත් කම නිසා එක හුස්මට කියෙව්ව.
ReplyDeleteස්තූතිය සරත්
Deleteකේ සෝන් එකේදිම අප්සරා හම්බෙද්දි ඔළුවට ආවෙ එන්ඩින් දෙකයි.
ReplyDelete1. අප්සරා අරූට ගේම දීල බයික් එක උස්සන සීන් එකක්.
2. ඔයාගෙ එන්ඩින් එක.
ඔයා ගැන දන්න නිසා වෙන්න පුලුවන් දෙවනි අවසානය කියල හිතුණට පළවෙනි එක වුණා නං මං හෙණටම කැමති වෙන්න තිබුණ. අම්මප. 😂😂😂
හොඳවැඩේ උට ඌත් නිකං ඩූම් එකේ උදය චොප්‍රා වගේ කෙල්ලක්.දැක්ක ගමං කසාදත් බැඳල ළමයිනුත් හම්බෙලා.
ඉවාන්නයියගෙ.කතා කෝමත් කියවල ඉවර වුණාම මාර ගතියක් තියෙන්නෙ.. 😁😁
ජයිහෝ
කොල්ලා මලත් බයික් එක උස්සන්න දෙන්න බෑ
Deleteයක්කොහ් 😁😁😂
Deleteවෙනමම රසක් දෙනවා ඔබෙ කතන්දර
ReplyDeleteහිතා ගන්න බෑ සිදුවෙන හුටප්පර!
ආ නිමලයියා ❤️
Deleteආ කමක්නෑ ඒක එයාගෙ ජොබ් එකනෙ කියලා අරූ බඳින්න උනත් පුළුවන්.... :) අන්තිම සීන් එක දෙපැත්තට වනපු එකට මම හෙන ලයික්...
ReplyDeleteඑහෙමට එවුනුත් ඉන්නවා තමා හැබැයි ,තැන්කිව් සෙන්නා ❤️
Delete@ සෙන්නා, දෙපැත්තට වනන එක මුගේ පුරුද්දනෙ බං.
Delete@Prasanna - ඒ අර ටොයිලට් එක ඇතුලෙදි
Deleteඅන්තිම හරියට එනකොට හිතාගන්න පුළුවං උනා වෙන්න යන සන්තෑසිය.
ReplyDeleteඑකපාරක් කෙල්ලෙක් දිහා බලාගෙන අත්තැට්ටර් පදින්න ගිහිල්ල ලවුපූශා කියල එකෙක් ලැට් එකක් අස්සෙ හිර උනා වගේ අර වඩේ අංකලයත් තාම ගල් ගැහිල කඩේ ඇතුලෙ හිටං ඉන්නවලු. හැක්..
ඔය මුදලාලි.. අර නයා වෙන්න බැරිද
Deleteවෙන්න බෑ. හැබැයි අරූ බයික් එකේ දාගෙන ගියේ හැපින්නක් වෙන්න පුලුවං. හැක්..
Deleteඒ වුනාට ඌට හපන්න බැරිවුනානේ
Deleteඉතිං අරූ ජැකට් එකයි හෙල්මට් එකයි ඉල්ල ගෙනද?
ReplyDeleteරේන් කෝට් එකකුත්
Deleteඒ කෑල්ල කියවද්දී මග ඇරිලා වගේ. හැක හැක
Delete@ ප්‍රා, කෙහෙල් බුද්ධියනං කියන්නෙ ලන්ච් ෂීට් උනත් ඇති කියල.
Deletehttp://cyberyaya.blogspot.com/2012/02/05.html
බ්ලොග්වවල ස්වර්ණණමය යුගය.. දකිද්දිත් ආසයි ඒ පෝස්ට්...
Deleteහ්ම්....2012 පෝස්ට් එකක්. තනි ඇහැට ඇඞෙනවා. දුකක් වගේම සතුටකුත් ඇති වෙනවා.
Deleteඑන්න ....පරණ බ්ලොග් කියවන්න
//සජිත් මෝටර්ස් එකෙන් හැදුවේ//
ReplyDeleteඑහෙනං සාක්කුවෙ දාගෙන එන සයිස් එකට ඇති
ඔව් ඌ ගරාජ් එක දාන්න ඉන්නේ ලිලිපුට් දේශේ
Deleteහොල්මනක් නොවී ඔහොම වෙච්ච එකට මගේ මෙව්වා එක !.. හාලි ඩේවිඩ්සන් හීනෙ නම් මම කොහොම හරි සැබෑ කරගන්න හිතාගෙන ඉන්නේ .. ! ඉස්සර ඉන්දියන් Apache එක පැද්දේ හාලි ඩේවිඩ්සන් කියල හිතාගෙන .. හෙහ් හෙහ් .. මතකද Avenger ද මොකක් ද කියල එකක් තිබ්බා
ReplyDeleteඅඩේ පැතුමා තමුසෙට කියන්න හාලි ඩේවිඩ්සන් හෙඩ් ඔෆිස් එක ඉස්සරහ මගේ ඔෆිස් එක තියෙන්නේ, අවෙන්ජර් එක තමා. ඔය ස්ටීඩ් එකත් මොඩිෆයි කරන්න පුළුවන් හාලිය වගේම
Delete@පැතුං ඇවෙන්ජරේ කියන්නෙ අර බජාජ් එක නේ. ඔක්කටම වඩා පස්නෙ හාලියක් කියල හිතං අපාචියක් පැදපු එක.
Delete@ ඉවාන් අයිය අවෙන්ජරේ හොඳයි මැග්න එකක් දැකපු නැති අංකල්ලට 🙈🙈🙈
ඉවාන් මම නම් සතෙන් සතේ එකතු කරලා හරි එකක් ගන්න හිතාගෙන ඉන්නේ .. මෙහෙ උන් ගැන්සි පිටින් යනවා හෙන ආතල් ..
Deleteරවුලකුත් වවන්න ඕනේ .. හෙහ් හෙහ් ...
මහේෂ් , මම ජීවිතේටම ගත්තේ/පැද්දේ Apache ය විතරයි .. Apache පදින කාලේ Avenger ආවේ .. ලාවට හාලි ගතිය හින්ද ඒකට ආස වෙලා හිටියා
රුව ලස්සන නෙත් දෙකට පෙනේ...
ReplyDeleteසුවඳක් නැහයට ළං වෙනවා..
එනමුදු කටු අග විස මතුවේ..
සෙව්වන්දිය හිතරිදවනවා..
අම්මට උඩු සිංදුවා... කොහෙද මකබෑවිලා හිටියේ
Deleteහරියටම ඉවාන් ගේ ඇත්ත අත්දැකීමක් වගේ . ලස්සනට ගලා ගියා. කට්ටියම ලියල තිබුනා වගේ ඉවර කරලා තියෙන විදිහ කලබලයි . හැබැයි තැන් දෙක තුනකදීම මේ වගේ කෙනෙක් කියල හිතුනා . මරු . වෙනස් කතා එකතුවක් එක්ක කෙටිකතා පොතක් ලියන්න .
ReplyDeleteඇත්ත අත්දැකීමක් නං නෙවේ. පොතක් ලියන්න තාම හිතනවා 😁
Deleteආහ්... දිග වුනාට කියවගෙන ගියා දිගටම. මරු ඒක
ReplyDeleteජයවේවා
ස්තූතිය දුමියා
Deleteඒක මරු ,
ReplyDeleteමං හිතුවේ කෑල්ලක් අදින්න යද්දී අප්සරාට මට්ටු වෙයි කියලා ....
එහෙම වුනාමං එකක් 😁
DeleteNiyamayi,Maruwata liyalaaa thiyenawaa,
ReplyDeleteස්තූතිය 🙏
ReplyDeleteඔක්ස්ෆර්ඩ් ඉඳන් එන ගමන් කාටවත් නොම්මර හෙම දෙන්න යන්නේ නෑ ඕන් . මට අර අහිංසක දරුවට වග උත්තර බඳින්න බෑ
ReplyDeleteමං ඔය කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන් නෑනේ
Deleteමේ දවස් වල මම ගැටළු රාශියක!
ReplyDeleteසාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
ඒ නිසාඅම ඔබ්ලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!
අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
එතෙක් බලා සිටිමු.
ස්තූතියි.
මේ කතා කියවනකොට මට දැනෙන දෙයක් කියන්නද ? වරදවා හිතන්න එපා..මට දැනෙන්නෙ අර ඕ..හෙන්රි ගෙ කෙටි කතා වගේ . එයාගෙත් කෙටිකතා වල අන්තිම වාක්‍යය හෝ ජේදයේ තමයි උත්ප්‍රාසය තියෙන්නෙ..මට දැනෙන විදියට..
ReplyDeleteගී ද මෝපසාං ගෙ කෙටිකතාවලත් මේ ලක්ෂණය තියෙනවා..
ReplyDeleteissara wagemayi e raha e widihamayi
ReplyDelete