Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

Thursday, April 7, 2016

බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු



දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,

Tuesday, March 8, 2016

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි





- ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි


මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .

නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. 
නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. 

Friday, February 19, 2016

අම්මටසිරි දයාසිරි , සොරි



ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය ,

බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි . සියලු ක්‍රෙඩිට් ඇමතිතුමාට බරවෙයි. ඒ අව් අස්සේ ඕල් රවුන්ඩර් කෙනෙකු සහ හිටපු මෙගාස්ටාර් කෙනෙකු වන ඇමතිතුමා කණ්ඩායමට සුබ පතා ගීතයක්ද ගායනා කරයි .

Tuesday, November 24, 2015

දෘෂ්ඨි රසය ??


ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

" විෂුවල් එකනම් පට්ට ", විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ"  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  " යාත්‍රා " ("තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය " ) වැඩසටහනත් , "නඳුන් උයන" ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.

Monday, October 26, 2015

සියය



සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..

ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.

ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .

Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට 

Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

Friday, April 3, 2015

හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා


හතරරියන් සහ දෙරියන් එකම ගමේ යහළුවන්ය
මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.


එකමුතු වෙන්න ඕන නැතිය. එහෙම ඒවා අපේ ජාතියේ උත්කෘෂ්ට භාවයට කැළලක්ය. එත් ලඟකදී හතරරියන් සහ දෙරියන් එකම ස්ටේජ්ජුවක දැක්කෙමිය. ඒ නෙලුම් යාය සම්මාන උළෙලේදීය.

Friday, February 6, 2015

ගෑල්ලමයා මං


පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
 
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
 
 
 ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
 
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
 
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
 
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
 
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
 
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
 
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
 
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
 
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
 
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
 
 

Friday, January 16, 2015

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක .. Common, Uncommon & President Ranjan Ramanayake

මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ .

.
මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?

මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්.

  • ඉතිහාසයේ පළමුවරට කියන්නේ, අපේ රටේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයෙක් රටේ සාමාන්‍ය නීතියට ගරුකරලා නෑ කියන එක
  • මගී ජනයා ඔල්වරසන් නගයි කියන්නේ , අපේ රටේ ජනතාවට රාජ්‍ය නායකයෙක් නීතියට හෝ සම්ප්‍රදායට ගරු කිරීම සාමාන්‍ය දෙයක් නොවන බව .
  • අපේ මිනිස්සු තමන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනතා නියෝජිතයන් දෙස දේවත්වයෙන් බලන බව . 

 දෙවැනි එක තමා හිටපු ජනාධිපතිතුමා පරාජය පිළිගෙන නිහතමානීව අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියාලු. (ඒ සම්බන්ධ අතුරු කතා පැත්තකින් තිබ්බම ) මට ප්‍රෙහෙලිකාවක් වෙන්නේ , පැරදුනාම නිල නිවසින් (නිල නිවසම නොවුනට ) ඉවත්වීම ඔය තරම් පුදුම උපදවන දෙයක් වුනේ කොහොමද කියන එක . එක බොහොම සාමාන්‍ය දෙයක් . පරාජිතයා ඉවත් වී ජයග්‍රාහකයාට හිමි තැන ලබාදීම ලෝකේ හැමතැනම සිදුවන දෙයක් . ඒ සා සාමාන්‍ය දේවල් මහා විශාල විශ්මයන් බවට අපේ රටේදී පත්වෙන්නේ අපේ මිනිස්සු සාමාන්‍ය දේවල් කවදාවත් දැකලා නැති නිසාද , නැත්තම් තමන්ගේ ඡන්දෙන් දේවත්වයට පත්කරපු පුද්ගලයන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දකින්න තියන නොකැමැත්ත ද ?.

එංගලන්ත අගමැතිවරයා දුම්රියෙන් ගමන් යාම , දඩයකට යටත් වීම වගේ දේවල් ඒ රටවල් වල මහා විශ්මයන් බවට පත්වෙනවද කියලා ඒ රටවල ඉන්න කෙනෙකුගෙන් අහලා බලන්න වටිනවා කියලත් හිතුනා .

Sunday, January 11, 2015

කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance



මෛත්‍රීපාල මහත්තයා වෙත



පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා .
ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ නිසා තමා අපි වෙඩි කාගෙන , ගුටි කාගෙන ගේම දුන්නේ ලොක්කා . අපි කාලයක් තිස්සේ අතේ පයේ හිරි අරගන්න විදිහක් නැතුව හිටියේ ලොක්කා .

Thursday, October 30, 2014

මීරියබැද්ද සහ පොම්පේ


ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania )  ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .

Thursday, October 16, 2014

කරුමෙ ඩබල් - පින සිංගල්


හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක්  ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි මුලින්ම හිතට නගාගන්න උත්සාහ කලේ.

නමුත් ඒ කිසිවක් සමාජ සම්මතයන්ට අනුකූල ඒවා නොවීම නිසයි ඔවුන්ට එතනට ගාල් වෙන්නට සිද්ධ වෙන්නේ . බහුතරයක් සිරකරුවන් තමුන් අතින් වන වරදට පසු තැවෙන බව හොඳාකාරවම පෙනෙනවා , මෙයින් අපගමනය වන කොටස්ද නැත්තේ නොවේ,

කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්‍රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්‍රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..

ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්‍රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.

මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .




 ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා .

ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද .....?   යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා

"ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ "බොබ් මාලෙයි , චේගුවේරයි " දෙන්නනේ .."

ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .

ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේ

මේ ඉන් කීපයක්

" කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් "

"අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න"

"සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "

++++

පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය

"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."

++++

තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්

"කොහේටද යන්නේ  අපිත් යන්නේ එහෙට තමයි "

++++

එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි.

"බත බාලා හොද්ද ලිපේ "

" දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "

++++

කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්

"බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් "

"ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා "

"වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි "

"සම්බුදු සරණයි , එංජිම පරණයි "

++++

සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්

"හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?"

" අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් "

"අපේම නයි අපේම කයි "

"ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි "

"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව "

"සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි "


++++

නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා

"ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා "

++++

කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්

" රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"

"කරුමේ ඩබල් පින සිංගල්"

"රුපියල් සත නිසාද අපිට මේ දුක "

++++

වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් ...

" සර් මමත් A/L කලේ මැත්ස් වලින් ,  කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . "

මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය .

"අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ "




සංඛ්‍යා ලේඛන සහ පිංතුරය - Sunday Times
විශේෂ ස්තුතිය - පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට 

Wednesday, August 6, 2014

පොකට් ගහන්නට බැරි ආදරය හා තිලක සිත




"ආදරය කියන්නේ හොරකමක් .."

" නෑ එහෙම වෙන්නේ කොහොමද?"

" නැත්තේ මොකද ?"

" ඒක හොරකමක් තමයි ...."

" වෙන්න බෑ ?"

" වෙන්න බැරි මොකද ..ආදරය කියන්නේ හිත හොරකම් කිරීමක් කියලනේ කියන්නේ ..."

"ඒ කියන්නේ පොකට් කාරයෝ ඔක්කොම ආදරවන්තයෝ ...."

"නෑ... හොරකමක් වුනාට ආදරය පොකට් ගහන්න බෑ ...."

"කවුද එහෙම කියන්නේ "

"එහෙම කියන්නේ "තිලකසිරි "

කොහෙදිද .....



ජීවිත ගමනේ ඇවිදගෙන යද්දී අපිට විවිධාකාර මිනිස්සු හමුවෙනවා . ඒ අතරින් බොහොමයක් දෙනා මතකයෙන් ඉවතට යනවා. කීප දෙනක් මතකයේ රැඳෙනවා .. හැබැයි හදවතේ රැඳෙන්නේ බොහොම අල්පයි...

හදවතේ රැඳෙන්නේ මනුස්සකම පිරුණු අව්‍යාජ මිනිසුන්ව .  හැගීම් අකුරු කරනවා කියන දේ කරන්නට අමාරුයි . ජීවිතේ එකවරක් හෝ තමන්ට දැනුනු හැගීමක් ලියන්නට ඔබ උත්සාහ කර ඇත්නම් එහි අසීරුව වැටහෙනවා ඇති...

තිලක සිත හැමදාමත් සංවේදී හැගීම් ඔබටත් මටත් දැනෙන්නට අකුරු කළා.. ඒ සංවේදීකම , ලෙන්ගතු කම සයිබරය පුරාවට විහිදුනා .. සයිබරයේ රැඳුනු ඒ ලෙන්ගතුකම සමගින් දොඩමළු වන්නට ... සතුට බෙදාගන්නට පැමිණෙන්න කියා ඔහු ආරාධනය කරනවා ..

කාටද ?

ඔබටත් මටත් අපි හැමටත් 

කුමකටද ?

තිලකසිත දොරටවඩින දිනට ..

කවදාද ?

අගෝස්තු 08 සිකුරාදා

කොහෙදීද ?

කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට

කීයටද?

හවස තුනයි තිහට ,

අනික් සියලුම විස්තර මෙතනින්






ප.ලි..... මේ පණිවිඩය කියවා ..තිලකසිතට සුබ පතන්නට ,ශක්තියක් වන්නට අපි එතනට යමු...
කමෙන්ට් වලින් කිවයුතු සියල්ල මෙතනට කියන්න ... 

Wednesday, July 16, 2014

ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presenters


සිරස සුපර් ස්ටාර් සීසන් 01 ආරම්භ වන්නේ ශ්‍රීලාංකීය රූපවාහිනී කලාව තුල මෙතෙක් තිබූ රික්තයක් පුරවමින්. ප්‍රසිද්ධ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ American Idol අනුකරනය කරමින් ශ්‍රී ලාංකීය රුපවාහිනියට එන මේ වැඩසටහන ඒ වකවානුවේ කාගේත් සිත් බැඳ ගැනීමට සමත් වන්නේ ඒ ආකෘතිය ලංකාවට අලුත් නැවුම් අත්දැකීමක් අත් කරදෙන බැවිනි. මීට පෙර  තුරුණු ශක්ති වැනි වැඩසටහන් පැවතියද ඒවායේ සංවිධායකයින් හෝ ප්‍රචාරකයින් එහි ජනගත වීම පිලිඹද සැලකීමක් දක්වුයේද යන්න පැනයකි .

කෙසේ වෙතත් මේ වැඩසටහන් හරහා සමාජයේ වටිනාකමක් හිමි කරගන්නට තරුණ අංකුර ගායක ගායිකාවන්ට ඉඩහසර ලැබිණි. නොයෙකුත් විවේචන තිබුනත් එහි සාධනීය පැත්තක් තිබූ බවද පිළිගැනීමට සිදුවේ .

ඉන්පසු සිරසින් දෙරණට පැමිණි වැඩසටහන පසුව විවිධ ස්ටාර්ලා සෙවීමට පමණක් උත්සාහ දරන රූපවාහිනී චැනල් බවට පත් වේදෝ යන අවිනිශ්චිත භාවය අප තුල ඇතිකරවිය .

කෙසේවෙතත් මේ රියැලිටි ගායන තරග හගන මෑත කාලයේ ලියවුනු හොඳම සංසන්දනාත්මක සහ විචාරාත්මක ලිපිය වන්නේ මාතලන් ලියූ හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින් ලිපිය බවට මම විශ්වාස කරමි.

සිරස පටන් ගත මේ රියැලිටි වැඩසටහන් වසංගතයක් මෙන් රූපවාහිනී චැනල් අතර බෝවෙද්දී ප්‍රේක්ෂකයන් තුල තිබූ උනන්දුවද හීන වන්නට විය . කෙසේවෙතත් මාතලන්ගේ ලිපියෙන් පසු පැරණි ස්ටාර් වැඩසටහන් කීපයක්ම අන්තර් ජලය ඔස්සේ නරඹද්දී දකින්නට ලැබුණු කාරනයක් ගැන සටහනක් තැබිය යුතු යයි සිතුනි.

සිරස සහ දෙරණ ස්ටාර් වැඩසටහන් සංසන්දනාත්මකව බැලීමේදී දෙරණ ස්ටාර් වැඩසටහන ඉහලින් තැබිය හැකි වුවත් එහි වේදිකාවේ නිවේදනය ගැන සෑහීමකට පත්විය නොහැකි බව මනාව වැටහෙන කාරණයකි. අඛිල ධනුද්දර, ජැක්සන් ඇන්තනි නම් වූ අසහාය කලාකරුවාගේ පුත්‍රයා වීම මෙවන් සුවිසල් වැඩසටහනක් මෙහෙයවීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව පෙනුනි. මෙවන් වූ වැඩසටහනකදී වේදිකාව පුරා ආධිපත්‍යය පතුරුවලිය හැකි පෞරුෂයක් එම ස්ථානයේ සිටිය යුතු බව මගේ හැගීමයි .


නිවේදක යන වෘත්තීය ශ්‍රීලාංකීය සමාජය හඳුනා ගන්නේ ගුවන්විදුලිය හරහායි , එවක තේවිස් ගුරුගේ , තිස්ස ජයවර්ධන වැනි හඬ පෞරුෂයන් ජනතා සිත් සතන් තුලට පැමිණෙන්නේ ගුවන්විදුලිය හරහායි.  පසු කාලීනව නිමල් ලක්ෂපති ආරච්චි නම්වූ මාධ්‍ය විශ්ව කර්මයා සිදු කල පෙරළියත් සමග FM නාලිකා හරහා බිහිවූ නිවේදක නිවේදිකාවන් ගැන විවේචන බොහෝ විය . නමුත් ඒ අතරිනුත්  පසු කාලීනව කිංස්ලි , නිහාල් වික්‍රම, නුවන් ලියනගේ (පත්තර මල්ලි) වැනි සන්නිවේදකයන් ද භාරත ප්‍රභාෂණ වැනි තරුණ නිවේදකයින් ගුවන් විදුලිය හරහා බිහිවිය .

නමුත් රූපවාහිනිය හඳුන්වාදීමත් සමග මේ නිවේදක වෘත්තීය ඉදිරිපත් කරන්නා හෙවත් Presenter ලෙස වෙනස් වන්නට විය . ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනී මුල් කාලයේද ප්‍රතාපවත් රූපවාහිනී ඉදිරිපත් කරන්නන්  අතර ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඉදිරියෙන්ම විය . ඔහු සමගින් රන්බණ්ඩා සෙනවිරත්නයන් ඉදිරිපත් කල සෙනසුරාදා ආයුබෝවන් වැඩසටහන කුඩා කාලයේදී ඉතා ආසාවෙන් නැරඹුවා මතකයට නැගේ .

මෙහිදී එළිමහන් සංගීත ප්‍රසංග නිවේදකයින්ගෙන් මේ රූපවාහිනී ඉදිරිපත් කරන්නන් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි විය . මෙහිදී ප්‍රසන්න පෙනුමද වැදගත් සාධකයක් බවට පසුකාලීනව පත්වන්නට විය. හඬ පාලනය මෙන්ම වැඩසටහන් වර්ගීකරණය අනුව නිවේදකයින්ගේ දැනුම හා ඉදිරිපත් කිරීමේ විලාශය
අනුව ඔවුන් විවිධ ආකාරයෙන් ජනප්‍රිය / අප්‍රිය වන්නට විය.

දොරමඩලාවේ හසන්ත සහ අටපට්ටමේ හසන්ත , කදමල්ලේ අරුන් ඩයස් , නමයි පහේ හේම නලින්, ක්‍රීඩාවේ පාලිත පෙරේරා - කැලුම් ශ්‍රීමාල් , සිංහලයේ වංශ කතාවේ ජැක්සන් , ගඟ දිගේ සහ සලන්හන්තේ ජැක්සන් ,  ප්‍රවෘත්ති නිවේදනයේ හඩ්සන් , රොස්මන්ඩ් ,සුමනා නෙල්ලම්පිටිය, සමන් කුමාර රාමවික්‍රම .....වැනි,  එමෙන්ම යුධ පෙරමුණේ සුජිත් විදානපතිරණ, මනෝහාරී සමන් අතාවුද   වැන්නන් ජනතාව අතර මතකයේ රැඳෙන්නේ මේ වර්ගීකරණයන් සහ ඉදරිපත් කිරීමේ විලාශයන් අනුවය.

කෙසේවෙතත් රියැලිටි කලාව දෙසට එන විට මේ සන්නිවේදකයා වෙනස්ම ආකාරයක ආකෘතියකට පත්වේ. එය හුදෙක් රූපවාහිනී වැඩසටහනක නිවේදක කාරයභාරයක්ට වඩා ඔබ්බට ගිය තත්වයකි. ප්‍රසංග වේදිකාවේ තිබෙන කලබලකාරී  වටපිටාව සමග ගනුදෙනු කරන රළු ස්වභාවයෙන් ඔබ්බට යායුතුය. ශාලාවක් තුල කෙරෙන සම්භාව්‍ය සංගීත සුයාමයකින් ද ඔබ්බට යා යුතුය. එසේම රියලිටි තරඟයේ කුතුහලය සැමවිටම රඳවා ගතයුතුය. ප්‍රේක්ෂකයන් ,විනිශ්චය මණ්ඩලය ,සජීවී නරඹන්නන් ,රූපවාහිනියෙන් නරඹන්නන් මෙන්ම ආධාරකරුවන් සමග සුහදශීලී ගනුදෙනුවක නිරතවිය යුතුය.  මේ සියලු කාරණා සලකා බැලීමේදී රියැලිටි තරඟයක මධ්‍ය මෙහෙයුම් ලක්ෂය (The Hub) බවට පත්වෙන්නේ මේ සන්නිවේදකයා වේ.

ශ්‍රීලාංකීය රියැලිටි සංදර්ශන වලදී කමල් අද්දරආරච්චි, ධනංජය සිරිවර්ධන , අමිල පෙරේරා , යුරේනි නොෂිකා,දේවාශ්‍රී ද සිල්වා, දොන් ෂර්මන් , ලහිරු සහ මුදිත ,අඛිල ධනුද්දර , විශ්ව, සාරංග දිසාසේකර   වැනි සන්නිවේදකයින් මේ භාරදූර කාර්යයට අතගැසුවන් අතර විය.  නමුත් රියලිටි කලාවට ගැලපෙන ලෙස මේ කාර්යය කරගෙන යාමේ සහ එම වැඩසටහනට සාධාරණයක් ඉෂ්ට කල සන්නිවේදකයා ලෙස මා අදටත් දකින්නේ කමල් අද්දරආරච්චිවය.

ඔහු සතුවූ අත්දැකීම් , ජේෂ්ඨත්වය සහා අන්තර් සම්බන්දතා හරහා සියලු පාර්ශව කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ඔහුට නිතැතින්ම ලැබී තිබුණි.  මන්දයත් සමහර සන්නිවේදකයින් විනිශ්චය මණ්ඩලයේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට ආමන්ත්‍රණය කිරීමේදී දක්වන සබකෝලය කැපී පෙනුනි. එසේම සමහර අවස්ථාවලදී මොවුන් අපහසුතාවටය පත්වූ ආකාරයන්ද පැහදිලි ලෙස පෙනුනි.
 කමල් ගෙන් පසු ඒ වෘත්තීය ධනංජය සිරිවර්ධන සාර්ථකව කල බවත් දොන් ෂර්මන් ඔහුටම ආවේනික සැහැල්ලු සන්නිවේදන රටාව මතින් වෙනස් දෙයක් කල බවත් දක්නට ලැබුණි.

කෙසේවෙතත් රියැලිටි තරු සෙවීම නොයෙක් මුහුණවර ගණනාවකින් තව බොහෝ කාලයක් අප අතරට පැමිණෙනු ඇත. එසේම එම තරග වල ප්‍රමිතිය සහ ගායක ගායිකාවන්ගේ දක්ෂතා පිලිඹද අප කතා කරනු ඇත.
නමුත් සැමට අමතක වන කරණය නම් මේ සා සුවිසල් කර්තව්‍යයක් මෙහෙයවන්නා කෙසේ වියයුතුද යන්නයි. වැඩසටහනේ ප්‍රමිතිය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේ මේ සන්නිවේදකයා ගේ හැකියාව සහ ප්‍රතිභාව බව මගේ මතයයි.

දෙරණ සියලු අංශ වලින් අදවනවිට සිරස පරදා රියැලිටි කලාවේ ඉදිරියට පැමිණියාක් මෙන මේ කාරණය පිළිබඳව අවධානයක් යොමු කලානම් මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන සර්ව සම්පූරණ වීමට තිබුණි .



ප. ලි. මෙය නිවේදන වෘත්තීය ගැන ටියුෂන් දීමක් නොව රියැලිටි කලාව තුල සන්නිවෙදයේ අඩුපාඩු පිලිබඳ අවධානය යොමු කිරීමට තැබූ සටහනක් පමණි.. බොහෝ කාරනා මග හැරෙන්නට ඇත. ඒ සියල්ල ප්‍රතිචාර හරහා ගොඩ නැගෙන සංවාදයෙන් සම්පූර්ණ වේයැයි විශ්වාස කරමි .


Monday, May 19, 2014

වරෙව් යකුනේ මෙන්න දොළ පිදේනි


අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...

හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් හැමෝම දන්න මේ උප සංකෘතියේ හැටියටනම් ඇය "තරු"

බ්ලොග් අඩවිය තමයි "තරු අරණ

පොතක් මුද්‍රණද්වාරයෙන් පිටතට ගෙනෙන මොහොත දක්වා කරන්නට ව කැප කිරීම ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කල ඕනෑම කෙනෙක් දන්නා කරුණක්, කෙසේවෙතත් ඒ සියලු බාධා මැඩගෙන පිටු 376 කින් සමන්විත නවකතාවක් අප වෙත තිළිණ කරන්නට ඇය සමත්ව සිටිනවා .

අප නොදන්නවා වුනාට තරු අරණේ  තරු පරිඝනක තාක්ෂණ අංශයේ ලේඛිකාවක්

  • පරිගණක ඉඟි 
  • උසස්පෙළට තොරතුරු තාක්ෂණය
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2003 - පැය 24 න්
  • ප්‍රාථමික පරිගණක  - 1
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2010 
යන කෘතීන් රචනා කර තිබෙනවා ... 

ඉතින් එහෙනම් මේ නවකතාව මිලට ගෙන කියවා ගුණදොස් ඇය වෙත ලබා දෙන්න .. ගල් සහ මල් ද්විත්වයම සමසිතින් පිළිගැනීමට ඇය සූදානම් ... 

පොත දොරට වැඩීම ගැන සහ වැඩිපුර විස්තර මෙතනින් බලන්න .

එතනට ගොස් ඇයට සුභ පැතීමට අමතක කරන්න එපා ...

තරු අරණේ තරුට බ්ලොග් මිතුරන්ගේ සුබපැතුම් ............................!