ග්‍රෙගරි වැව දෙසින් හමා ආ සීතල සුළඟ ගත දැවටෙද්දී, ඒ ගැන වගේ වගක් නැතිව කන්ද පාමුල දිග ගැරඬියෙක් වගේ පේන පාර දිගේ කුරුමිනියන් මෙන් පෙනෙන මිනිස්සුන් සහ ගිනිපෙට්ටි මෙන් පෙනෙන වාහන ගමන් කරන දෙස යශෝධා බලා සිටියේ හැඟීම් විරහිතව බව ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතේ .
නුවරඑළිය පරණ තැපැල්කන්තෝරුව ඉදිරිපිට දිනක් තමන් කුඩාකල දෙමව්පියන් සමගින් නැරඹූ නයි නටවන්නා කල කතාව වරින් වර ඇගේ මතකයට නැගුනේ දෑස් අගට කඳුලක්ද නගමින් ...
“ මේ නයා දැන් වයසයි , මූ මැරෙන්න කිට්ටු වුනාම මූට අත්තටු එනවා .. ඊට පස්සේ මුගේ ඇඟේ තියෙන විස ඔක්කොම එකතුකරලා මූ හදනවා මැණිකක් , ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන . ඒක ළඟ තියෙනකන් අපිට සිතු පැතු සම්පත් ලැබෙනවා , හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා .......
ඔහු එදා කීවේ තම ජීවිත කතාව දැයි දැන් යශෝධා සිතන්නට විය . තමාගේ තිබු අසාමන්‍ය රූසපුව නිසාම ඩේවිඩ් තමන්ට ලංවූ අයුරු මතක් වනවිට වෙනදාට නම් ,එදා දැනුනු හදගැස්ම අඩුවක් නැතිවම දැනෙනවා යයි යශෝධාට සිතිනි . නමුත් අද......
බොහෝ බලාපොරොත්තු පැතුම් පොදි බැඳන් නෑ සනුහරේම විරෝධතා මතින් ඩේවිඩ් සමග කූඩු වන්නට තමන්ට සිතුනේ සංසාර ගත පුරුද්දක් නිසා වන්නට ඇත.
ඔයා හරිම බ්‍රේව් ග..අ..අ..ල් ... කැඩිච්ච සිංහල මුසු ඉංග්‍රීසියෙන් කියූ පසු ඔහු “I love you Yasho. I only want your love. Nothing else. It’s very simple” යැයි මිමිනීය.
ඔහු ඉංග්‍රීසියෙන් කියූ දේවල් ඇයට වැටහුනේ බොහෝ කාලයකට පසුවය. ඩේවිඩ් සමග ගෙවූ වසර පහ, ජීවිතයේ සුන්දරම අවධිය බවට සැක නැත. ... වසරක් යන්නටත් පෙර ඔහු ඇයට නාග මාණික්‍යයක් ලබා දී තිබුණි . කුඩා පුතු දෝතින් දරා සිටිද්දී ඇය නිරතුරුවම ඒ තුලින් ඩේවිඩ් මැවෙන අයුරු අත්වින්දාය . ඩේවිඩ් සමග තුරඟ තරග පිටියේ , ග්‍රෙගරි වැව අසබඩ සැන්දෑ සුවය විඳිද්දී කුඩා පුතු ඔවුන් දෙදෙනා අතර විය . ජීවිතය කෙතරම් සුන්දරද කියා ඇයට සිතුනු වාර අනන්තය, අප්‍රමාණය ..
“You know what?” ඔහු ඇසීමට පුරුදුව සිටියේය.
“Life is great. It’s a gorgeous day, I’m with my family. What else could anyone ask for?”
ලොවම ඉදිරියේ ඇය සිප ගනිමින් පැවසීමට ඔහු මැලි නොවීය. ඇය වෙනුවෙන්ම ග්‍රෙගරි වැව පෙනෙන මානයේ කන්ද උඩ නිමවූ ප්‍රීතිමත් නිවසේ ඔවුන් තිදෙනා ඇත්තන්ම සතුටින් විසූ බව සිහිවී නැවත නැගුනු කඳුල ඇය වියපත් පිටි අල්ලෙන් පිස දැමුවාය .
නමුත් නාගයා අත්තටු ලබා පියාඹා ගියේය , Strathdon (ස්ට්‍රැත්ඩන්) වතුයායේ භාරකරු වූ ඩේවිඩ්ගේ පියාගෙන් ඩේවිඩ් ට ඉන්දියාවට කැඳවීමක් ලැබුනේ වසරක කාලයකටය , නමුත් ඉන්දියාව බලාගිය ඩේවිඩ් ගැන ඉන්පසු කිසිමදාක තොරතුරක් නොවීය . විමසා බැලීමට හෝ තොරතුරක් දැනගත් හැකි ආකාරයක් ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇයට සිහිවුනේ බොහෝ කල් ගතවීය. නෑදෑයන් කිසිවෙක් ඇය ගැන නොබැලු අතර අයටද නෑදෑයන් පිලිඹද හැඟීමක් නොවීය . ඇයගේ ලෝකය පිරී තිබුනේ ඩේවිඩ් ගෙන් සහ කුඩා පුතුගෙනි .
//” හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා”// දෙවරකට ලැබුණු ලිපි දෙක අතෙහි තියාගෙන නැවතත් ඇය සිහි කලේ තමන් අතින් සිදුවූ ඒ මහා වරද කිමෙක්ද කියාය.
පියා අහිමි වූ පුතු , දැනුම් තේරුම් ඇති වියේ සිටම පාසල් යාම හරියාක්රව සිදු නොකිරීම නිසා ,වරින් වර පෞද්ගලික ගුරුවරියන්ගේ සේවය ලබා දීමට ඇය පසුබට නොවුනාය .ඒ මන්ද ඉංග්‍රීසි කතා කරන වැදගත් මහතෙකු බවට පත් කිරීමට ඇයට තිබු දැඩි උවමනාවයි. වතුයායේ ඔහුට හිමි කොටස් වල ආදායම් සියල්ල ඔහු ඇගේ නමට හරවා තිබිණි , එය කවදා කෙසේ කළාදැයි ඇය නොදැන සිටි අතර මුදල් හදල් අතින් අඩුවක් නොවූ ඇය ජීවිතයේ තනිකම දරාගැනීමට හිත හදාගත්තාය .
ඩොනල්ඩ් කාවිංග වයසින් මුහුකුරා යද්දී ඔහුට තිබුණු ලොකුම හා එකම ප්‍රශ්නය වුනේ තම පියා කවුරුන්ද හා ඔහුට කුමක් සිදුවීද යන්නයි, මේ ගැන කතා බහෙන් නිතරම සිත රිදවා ගත් යශෝධාගෙන් කිසිවිටකත් පැහැදිලි උත්තරයක් ලබා ගැනීමට ඔහු අසමත් වුවේය .
ඩොනල්ඩ් කාවිංගට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දී ඔහු සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙන්වාගත් ගුරුවරිය, යශෝධා හැඳින්වුයේ මිස් ටෙරන්ස් යන නමිනි. ප්‍රීතිමත් දෑසක් හිමි නිතරම සිනහ මුසු මුහුණෙන් සිටින හඬ නගා සිනාසෙන විට දෙකම්මුල වල ගැහෙන ඇය වයස තිස් හතරක් පමණ වූ අවිවාහක කාන්තාවකි.