Showing posts with label සිංදු ගැන. Show all posts
Showing posts with label සිංදු ගැන. Show all posts

Monday, February 29, 2016

ආයේ එන්න




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත මලගිය ඇත්තෝ නවකතාවේ නොරිකෝ සං සහ දෙවෙන්දරා අතර ප්‍රේමය බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට වස්තුබීජයක් වූ බව නම් නොරහසකි .

නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත්‍රකරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මගිනි.

දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක සංචාරය කළ නමුත් තමා ගේ රුචියට ගැළපෙන සමාජයක් සොයා ගැනීමට නොහැකි වූ කෙනෙකි. අවසානයේ දී ඔහු ටික කලකට ජපන් රටට පැමිණ එහි පදිංචි වෙයි.

Tuesday, November 24, 2015

දෘෂ්ඨි රසය ??


ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

" විෂුවල් එකනම් පට්ට ", විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ"  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  " යාත්‍රා " ("තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය " ) වැඩසටහනත් , "නඳුන් උයන" ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.

Monday, November 16, 2015

හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife



මේ ...,මේ ....මේ ....
ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න ..
නැගිටිනවා මිනිහෝ ...

මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....

Monday, October 12, 2015

කොහේ හෝ




අන්තර් ජාලයේ ගීත අතර පිහිනමින් සිටින අතරදී අහම්බෙන් මෙන් සවන් වැකුණු අපූරු ගීත දෙකක් ගැන සටහනක් තබන්නට සිත්විය . මේ ගීත දෙක අපූරු ගීත දෙකක් යැයි සඳහන් කරන්නට සිතුනේ ගීත දෙක අතර ඇති අපූර්ව සමානතාවය නිසයි . 

ගීත දෙක ලියවෙන්නේ රවී සිරිවර්ධන සහ ශාමිලා හුසේන් යන ගීත රචකයා සහ රචිකාවිය අතින් , අපූර්වත්වය වන්නේ කාන්තා දෘෂ්ටිකෝණයෙන් ගැයෙන ගීතය රවී සිරිවර්ධන අතින් සහ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙන් ගීතය ශාමිලා හුසේන් අතින් ලියවීමයි .

ගීත දෙකෙහි සත්සර මුසු කරන්නේ රෝහණ වීරසිංහයන් සහ දර්ශන වික්‍රමතුංගයන් ..

ගීතයට ජීවය කවන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණන් යුවලයි .

Wednesday, September 17, 2014

පුතේ ගෙදර එන්න ....



ලෝකය විශ්ව ගම්මානයක් වනවිට පුද්ගලයන් අතර දුරස්ථ බව බොහෝ අඩු වෙනවා . අතීතයේ තම මවුරටින් පමණක් නොව තම ගම්මානයෙන් පිටත ගියවුන් අතර පවා සම්බන්ධතා සිඳී යන්නේ සන්නිවේදනය සඳහා වූ පහසුකම් සීමිත වූ නිසාවෙන්.

 ඇත්තෙන්ම මේ සන්නිවේදයේ අඩුපාඩුව මෙතරම් යැයි මගේ මනසට වැටහී යන්නේ ගම්පෙරලිය කෘතිය කියවන අතරේදී .එහි ජිනදාස , නන්දා සහ පියල් යන ත්‍රිකෝණය නිර්මාණය වීමට මේ සන්නිවේදන රික්තය කොතරම බලපෑම් කලේද යන්න සිතමින් සිටින විටයි.

ඒත් අද වනවිට සන්නිවේදනය පුද්ගලයන් හඬින්, මෙන්ම රූපයෙන් ලං කර හමාරයි.. අද ඈත ගමක ගොවි ගෙදරක මව්පියන් යුරෝපයේ සිටින තම දුවණිය හෝ පුතා සමගින් දිනපතා මුහුණට මුහුණ බලාගෙන කතාබහ කරන්නේ ස්කයිප් හරහා , කොළඹ හතේ මහා ව්‍යාපාරිකයා තම පුතා දුවණිය සමග සම්බන්ධ වෙන්නෙත් ඒ ආකාරයෙන් .

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධි නීතඥවරයෙක් , ලංකාවේ ප්‍රමුඛ පෙලේ සංගීතඥවරයෙක් සහ මේ සියවසේ ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ගායකයෙක් ..........මෛත‍්‍රි පනාගොඩ මහතා ඕස්ට්‍රේලියාවේ සිට ලියූ පදවැල් වලට මේ පුංචි රටේදී ජීවය ලැබෙනවා. ඇත්තෙන්ම සන්නිවේදන රික්තය අදත් තිබුනා නම් මේ පදවැල් හද පිනවන ගීතයක් නොවන්නට තිබුනා , නොඑසේනම් ලංකාව තුල වැඩි ප්‍රසිද්ධියක් නොමැති ගීතයක් බවට පත් වෙන්නට තිබුනා .

මේ ගීතය අසන විටත් මට හිතුනේ මේ සන්නිවේදන රික්තයේ කොතරම් නම් අපගේ ජීවිත වෙනස් කරනට අනුවේදනීය කරන්නට තිබුනාද කියා .

පියාට හිතට නැගෙන සිතුවිලි තම පුතු අභිමුවෙහි වචන බවට පෙරලන්නට හ්කියාවක් තිබුනානම් මෙසේ නොකිය වෙන්නට තිබුනා

හෙවණැලි මියයන හැන්දෑවේ
පිල උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ
සීපද මුමුණන්නේ...... ඒ හඬ ඇහෙවදෝ........
නෙත් යුග තෙත් වෙන්නේ...... ඒ දුක දැනෙනවදෝ........




පියෙකුගේ සිතෙහි පුතෙකුට ඇති ආදරය මෙතරම් යැයි මනින්නට බැහැ. පාළුව තනිකම මෙතරම් යැයි කිසිවෙකුට වටහා දෙන්නට බැහැ. කොපමණ වියපත් වුවත් පියවරුන්ට මවුවරුන්ට තම දරුවන් හැමදාමත් හුරතල් කුඩාවුන් .. තමුන්ට සැලකීම කෙසේවෙතත් තම පුතා දියණිය මියයන්නට පෙර එක වරක් හෝ තමුන්ව දකින්නට පැමිණේවි යන අහිංසක බලාපොරොත්තුව හැම පියෙකුගේම මවකගේම හිතේ ඇතිවීම ස්වාභාවිකයි .

වැලි බත් ඉවු මිදුලේ
පළඟැටියන් රජවී
පුතු ගැන සිහි වෙනවා.
මතකය බොඳ වෙනවා

මගෙ හිරු මියෙන ලෙසේ
ඹබෙ හිරු පිබිදෙනවා
නෙතු පිය වෙන්න කලින්
එනවද මගෙ පුතුනේ


මේ ගීතය බිහි වන්නේ අමරදේවයන්ට අසූපස් විය සැපිරීම වෙනුවන් . අමරදේවයන් ගැන අටුවා ටීකා ලිවීමට කිසිවිටකත් අවශ්‍ය වන්නේ නෑ .

නමුත් අමරදේවයන් කෙරෙහි මා දකින සුවිශේෂත්වය වන්නේ නව පරපුර සමග ගනු දෙනු කිරීමට නොපැකිලීම ,
මීට වසර කීපයකට පෙර පේරදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී රූකාන්ත ගුණතිලකයන සමග සංගීත ප්‍රසංගයකට සහභාගීවන ඔහු ,
මෑතකාලීනව උමාරියා සින්හවංශ සමග යුග ගීතයක් ගයනවා .
ඔහුගේ "සොඳුරු වූ මිනිසා අමර ගී රසෝඝය" නවතම සංයුක්ත තැටියේ සොඳුරු වූ මිනිසා නම් මහින්ද දිසානායකයන් රචනා කල ගීතයට සංගීත සංයෝජනය කරන්නේ නාලක අංජන කුමාර .
මෑත කාලයේ ඉහලම ජනප්‍රිය තලයට ලඟා වූ " ගිමන් හරින දියඹ දිගේ" ගීතයේ ඔහු සමග සම්බන්ධ වන්නේ ජානක සිරිවර්ධන සහ අරුණ ගුණවර්ධන සමගින් ..
මෙසේ ගීතකෙත පුරා විසිරුණු සෑම ස්ථරයක් සමගම නිර්ලෝභීව ගනුදෙනු කරන මේ අසූ හය වියැති ගාන්ධර්වයා මේ ගීතය ගැන පවසන්නේ මෙලෙස

"මං ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගන්න ගිය කාලේ අද වගේ බහුලව විදෙස් ගතවෙන්න වාතාවරණයක් අපේ රටේ තිබුණෙ නෑ. 
මං යද්දිත් ඔහු හිටියෙ ලෙඩ ගණනේ. 
තාත්තා මිය ගිය දවසෙ රෑ මං හීනයක් දැක්කා. 
ඒ අපේ ගෙදර ලොකු කලබලයක්. 
නමුත් මට ඒ ගැන ඒ වේලේම සොයා බලන්න විදියකුත් නැහැ. 
ලංකාවේ ඉන්න මගේ තාත්තාට ඒ කාලේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. 
මම ඒ හීනය දැක තිබුණේ මගේ තාත්තා අවසන් හුස්ම පොද පිටකරන වෙලාවේ බව දැනගත්තාම මට මහා වේදනාවක් ඇතිවුණා.
පොඩි පුතා මා බලන්න ඒවිද කියමින් ඔහු මගේ පැමිණීම ඔහු මියයන්නට පෙර බලා පොරොත්තුව ඉඳ තිබෙනවා. 
නමුත් ඒ බලාපොරොත්තුව ඔහු මිය ගිහින්වත් ඉටු කරන්නට මට බැරි වුණා. අද වගේ නෙවෙයි ඒ කාලෙ රටකින් රටකට යන්න හරි අමාරුයි. 
මේ නිසා මගේ අධ්‍යාපනය බිඳ වැටෙයි කියන බයට කවුරුවත් මට තාත්තාගේ මරණය ගැන දැන්වූවේ නෑ. මේ නිසා තාත්තාගේ අවසන් මොහොත නොදැක ඉන්න මට සිද්ධ වුණා. 
ඒ වගේම දහස්වාරයක් මම තාත්තාගේ ආදරය ගැන හදවතින්ම ඇඬුවා.

අපි නිතර මව් ගුණ ගී ඇසුවාට පිය ගුණ ගීවල අඩුවක් තියෙනවා. 
මේ වගේ පසුබිමක තමයි මට සෙවනැලි මිය යන හැන්දෑවේ ගීතය හමුවෙන්නේ.... මෛත‍්‍රි පනාගොඩ මහත්තයගෙන්.
ගීතය දුටු ගමන්ම මගේ අතීතය අවදිවෙනවා. 
රෝහණ වීරසිංහයන් මේ ගීතයට ලබාදුන් තනුවට සාධාරණය ඉටුවෙන්නෙ මගේ අධ්‍යාත්මය තුළින්මයි. 
මම මේ ඉන්නේ මගේ තාත්තා හිටපු තැන කියලා හිතාගෙනයි මේ ගීතය ගැයුවේ."

හදවතින් එන හැගීම නිර්මාණයකට කොතරම් නම් ජීවයක් ලබා දෙනවාද කියා මේ ගීතය අසන ඔබට වැටහේවි .

මේ ගීතයේ රචකයා පසුගිය වසන්තයේදී සිඩ්නි නුවරට නුදුරෙන් පිහිටි තෝන්ලී හි ප්‍රජා ශාලාවේදී ඔහුගේම ගේය පද රචනා වලින් සමන්විත ඔහුගේ කුළුඳුල් සංයුක්ත තැටිය "සුදුවැලි" නමින් ජනගත කරනවා . මෙහි සුවිශේෂී කාරණය වන්නේ ඔහු එය පිළිගන්වන්නේ ඊට දෙසතියකට පෙර මෙලොව එලිය දුටු ඔහුගේම කුළුඳුල් මුණුපුරාට .

එහිදී , කුඩා දරුවෙකු ලෙස වැලි සෙල්ලම් බත් පිසීමට යොදන අතත් එම වැලි සෙල්ලම් බත් මිතුරන් අතර බෙදා දීමට යොදා ගත් පිරිසිදු සිතත් අනාගතයේ වැඩිහිටියෙකු වූ පසුව ජනතාවගේ සේවය සඳහා කැප කරන්න යැයි  සමස්ත මුනුබරන් වෙනුවෙන්ම ,සති දෙකකට පෙර ඉපදුනු පුංචි මුනුබුරාගෙන් ඔහු ඉල්ලා සිටිනවා .

තවමත් අමරදේවයන්ගේ හඬ තරුණය ...හෙළ ගීත කෙත අර්ථවත්ය ...මේ ගීතය රසවිඳින්නට ඔබටත් හැකි වේවි .







ප.ලි. - මේ ගීතයේ පදමාලාව මට ලැබෙන්නට සලස්වන්නේ අප කවුරුත් "සිංදු ඇනෝ" ලෙසින් අප හඳුනන රසවතා . ස්තුතියි සිංදු ඇනෝ.
මෙහි අන්තර්ගත කරුණු සොයායාමේදී මූලාශ්‍ර ලෙස පිහිටට එන්නේ දිවයින සහ සරසවිය පුවත් පත්

Monday, April 28, 2014

නිරුවත් කරන්න




නිරුවත හැමවිටම විවාදාත්මකයි ......නිරුවත අසංස්කෘතික වචනයක්ද ? අසභ්‍ය වචනයක්ද ? කොහොමවුනත් ජීවිත කාලය තුල අපි කීදෙනෙක් ඉදිරියේ නිරුවත් වෙනවා ඇතිද ?

කලබල වෙන්න කාරී නෑ ......කෙනෙකු ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේ සළුපිලි උනා දැමීම පමණක්ද ?

ජීවිත කාලය තුල පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - සැමියා ඉදිරියේ පමණද නිරුවත් වෙන්නේ ....නැවතත් මේ කතා කරන්නේ සළුපිලි උනා දැමීම ගැන (පමණක්) නොවෙයි .

සිත ගත් යුවතිය ඉදිරියේ ....සෙනෙහෙවන්තයා ඉදිරියේ සිතුවිලි ...නිරුවත් වී නැද්ද? සිතින් පමණක් පෙම්කල නුදුටු පෙම්වතිය ,පෙම්වතා  ඉදිරියේ හැගීම් නිරුවත් වී නැතිද ? චමත්කාරජනක සිතුවිලි  පහලවූ පමණින්ම සිතුවිලි හැගීම් බිඳෙන් බිඳ නිරුවත් වන්නේ අපිටත් නොදැනුවත්වම ..

එහෙනම් නිරුවත්වීම සුන්දර නොවේද?

හදවත හඳුනාගන්නතුරු ඒ හදවත හිමිකාරියගේ / හිමිකරුගේ දෑස තුල කිමිදෙන්නට ..ගැඹුරටම  කිමිදෙන්නට ලැබීම අතිශයින් චමත්කාරජනක නොවේද ?

එහෙම වුනාම හිතිලා නැද්ද ලෝකය කොයිතරම් සුන්දරද කියලා ..

ඇසෙන නොඇසෙන සරින් වදනක් දෙකක් දොඩනවිට හදවතට දැනෙන ඒ නුහුරු හැගීම කොයිතරම් නම් ආහ්ලාදජනකද?

ඇත්තෙන්ම හදවතක් හඳුනාගන්නතුරු...හදවතකට අතුලුවෙනතුරු ගෙවන ඒ කාලය කොයිතරම් සොඳුරුද ?..........ඒ නිරුවත්වීම ...ඒ ලෝකය ...ඒ ජීවිතය කොතරම සොඳුරුද ?

අද ලෝකය අයිති තරුණයන්ටයි ..... වයසින් නොව සිතින් තරුණ හැමකෙනෙකුටම ...

හේෂාන් ගොඩිගමුව - චාමින්ද රත්නසූරිය - නදීක ගුරුගේ යන තරුණයින් තුන් කට්ටුවේ ගායන, ගීතරචන සහ සංගීතමය ප්‍රයත්නයන්ගෙන් හැඩ ගැන්වුණු මේ ගීතය විඳින්න ......

අහන්න එපා ...බලන්න එපා .....විඳින්න................ ජීවිතයේ ...ලෝකයේ සහ නිරුවතේ ආශ්වාදය විඳින්න







නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම් 

ඇස්දෙක අරින්න හෙමි හෙමීට 
ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින් 
ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//


පද රචනය - චාමින්ද රත්නසූරිය
සංගීතය     - නදීක ගුරුගේ
ගායනය     - හේෂාන් ගොඩිගමුව  

Sunday, March 2, 2014

අවසන් සක්මන




හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවා

ඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .

ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට අද තාක්ෂණික මෙවලම් අද වනවිට පවතිනවා .

එහෙත් ඒ කිසිවකින් හදවතේ ජනිත වන හැඟුම් ඒ ආකාරයෙන්ම ජනිත් කරන්නට සමත් වේද?

පෙම්වතෙකුට පෙම්වන්තියකට කාලය යනු කොතරම් තිබුනත් මදිවෙන එකම දේ වන්නට පුළුවන්. තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තුරුළු වී ගතකරන සෑම හෝරාවක්ම විනාඩි කිහිපයක් ලෙස දැනෙන්නේ ඇයි.....?

යම් යම් බාහිර හේතූන් නිසා පෙම්වතෙකුට පෙම්වතියකට වෙන්වී යන්නට සිදුවුනොත් ...? ඒ වෙන්වීයන මොහොතේ ඇති හැඟුම්බර බව වටහාගත හැකිද? ඒ අවසාන සැන්දෑව කොතරම් නම් කෙටි විය හැකිද?
 ඒ අවසන් මොහොත මේ විශ්වයේ වේගයෙන්ම ගතවුණු මොහොත ලෙස ඔවුන්ට දැනෙන්නට පිළිවන.

අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා ,,කුමන හේතුවක් උදෙසා වෙන් වූවද එහි දුක දැනෙන්නේ වෙන්වූවන්ට පමණි. ලෝකයට කාලයක් ගතවනවිට මේ සියල්ල අමතකව යයි.එත් අපට..?

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

කෙසේ අවසනදී අහිමිවූවන්ට පමණක් දුක උරුම කර තියා කාලය සුපුරුදු ලෙස ගලා යයි. ස්වභාව දහම සුපුරුදු ලෙස පවතියි...

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

හමුවීමක් නොමැති නම්  වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....


අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

අවසාන සැදෑ සක්මන............... 

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්  


Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe

Monday, December 30, 2013

වෙනස


ආදරයයි කැස්සයි හංගන්න බැරිලු. අපි ඉස්කෝලේ යන කාලේ ගෙවල්වලට ,ගුරුවරුන්ට සමහර විට යාලුවන්ට හොරෙන් පටන් ගන්න ප්‍රේමයන් ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම වෙලා ගෙදරට එහෙම නැත්තම් ගුරුවරුන්ට අහුවුනාම අම්මා එහෙමත් නැත්තම් තාත්තා එහෙමත් නැත්තම් ගුරුවරු කියපු ජනප්‍රිය කියමනක් තමයි "උඹලා කොහෙද අපිව තම්බන්නේ " කියන එක.

 එයාල එහෙම කියනකොට මට හිතිච්ච් දේ තමයි මෙයාලා නොකියා කියන්නේ "අපි ඕව කලේ උඹලට කලින්" කියන එකයි කියලා .

ඇත්තටම සමහර දෙමව්පියෝ පාසල් වියේදී විතරක් නෙවෙයි , සරසවි ඉන්න කාලේදී හරි රැකියාවක් කරන කාලේදී හරි තමුන්ගේ දුව පුතා ප්‍රේමයක පැටලුනා කියලා දැන ගත්තම හැසිරෙන්නේ හරියට ළමයා මිනීමැරුමක් කරපු ගානට , මේ තත්වය සාපේක්ෂව වැඩිපුර දකින්න ලැබෙන්නේ මව් පාර්ශවයෙන් නමුත් මෙහෙම අනවබෝධයෙන හැසිරෙන පියවරුනුත් ඕන තරම්.

නමුත් අද බොහෝ මව්පියන් මේ සම්බන්ධයෙන් බොහොම සැහැල්ලු ස්ථාවරයක් දරනවා. සමහර වෙලාවට දරුවන් තමුන්ට කොලේ වහමින් මේ සැරසෙන්නේ මොනවගේ දෙයක් කරන්නටද කියන එක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මුවගට නැගුනු සිනාවක් එක්කයි.

 එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.

බොහෝ වෙලාවට දෙමාල්ලන් මේ පිළිඹඳ එකිනෙකා කතාවෙන්වා, තමුන්ගේ සමාජ, අධ්‍යාපන තත්වයන් සහ තමන් නිවස තුල ගොඩ නගාගෙන තිබෙන ප්‍රතිරූපය අනුව මේ කතාබහ වෙනස් වෙනවා. එකම දේ ,එකම සිද්ධිය ගැන දෙවිදිහකට කතාවෙන්නේ කොහොමද?

ගීත සාහිත්‍යය ගත්තම එකම දේ දෙවිදිහකින් කතාවෙන අකාරය අපි දැකලා තියෙනවා. අපි ප්‍රබුද්ධ සහ සරල ගීත ලෙස එකම අර්ථය තියෙන ගීත දැකලා තියෙනවා. මේ ගීත දෙකත් මම මුලින් කී කාරනාව දෙයාකාරයකට කතාවෙන ගීත දෙකක්. තමුන්ගේ දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනාම අපි මේ ගීත දෙකෙන් මොන ගීතය තෝරා ගනීවිද කියන්න .


ගීත අංක 1

  

ගීත අංක 2 







Sunday, September 29, 2013

කිරුල රජුන්ගෙයි .......




කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  You Tube
කිරුළ රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි  MP 3 සින්දුව බාගන්න


විරෝධාකල්ප ගීත වලට අනූව දශකයේ ඉතා ඉහල ඉල්ලුමක් තිබිණි. එසේම ඒ සඳහාම වෙන් වූ නිර්මාණකරුවන් ,කලාකරුවන් ,ගායකයන් ජනතාවට අවශ්‍ය උද්දීපනය ඇතිකරලීමට උත්සාහ කලෝය. 1994 වසරේදී පවතී රජය බලයෙන් පහකර දමාලීමට මොවුන් සුවිසල් කාර්යභාරයක් ඉටුකලෝය.

නමුත් එය සැබෑ ජනතාවාදී සටනක්ද යන්න ප්‍රශ්නකාරී වූයේ එම සටනේ පුරෝගාමීන් වූ කළාකරුවන් බොහෝදෙනෙක් ඉන්පසු ලැබූ වරදාන හා වරප්‍රසාද නිසාය.

කලාකරුවන් හිඟන්නෝය යන  ප්‍රකට කියමන සැමදා එසේම සත්‍ය විය යුතුය යන්න අප අදහන්නේ නැත. නමුත් සාධාරන වැටුපක් ,ගෙවීමක්, සහනයක්, පිළිගැනීමක් මෙන්ම උසස් ජීවන තත්වයකට එහා ගිය සිවිල් බලයක් සහිත කෘතීම සත්වයෙකු වීමට ඔවුන් අතරින් බොහෝ දෙනෙකු උත්සාහ කල අන්දමත් ඒ මතින් තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනයටත් අසරණ භාවයකට ලක් කිරීමටත් දක්නට ලැබුණු විට එකල බොහෝ දෙනෙකු කලේ සැබෑ ජනතාවාදී සටනක් දැයි සිතේ.

ඒ කාලයේදී මෙන්ම අදද සෝමතිලක ජයමහ යනු , ලක්ෂ ගණන් ගීත ගයා නොමැති, ගීතය හෝ සංගීතය නිසා කෝටිපතියෙකු නොවූ ඉතාම සරල මිනිසෙකි.
 ඔහු ගීතයෙන් විප්ලව කරන්නට උත්සාහ කලේ නැත, ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට උත්සාහ කලේ නැත, නව රිද්ම , නනස්ටොප් වලින් වැඩ දැම්මේද නැත.

එසේ වුවත් ඉතාම සරල පදමාලාවන් මෙන්ම ,සරල සංගීතයක් ඔස්සේ ඔහු ඉතාම ආකර්ශනීය ලෙස සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රබුද්ධ මනසද ආමන්ත්‍රණය කළේය. එහෙත් ඔහු ශ්‍රීලාංකීය සංගීතයේ හිමිකරුවෙකු මෙන් හැසිරී නොමැති නිසාත් ඔහු සාමාන්‍ය පන්තියේ මිනිසෙකු වීම නිසාත්, ඔහුගේ ගීත වල දිව උළුක් වෙන ,උගුරේ හිරවෙන වචන නොතිබූ නිසාත් ,කොටින්ම කියතොත් සරල වූ නිසාම මේ තරම් දීර්ඝ කාලයක් තුල ඔහුට ලැබිය යුතු ප්‍රචාරය කිසිදු රාජ්‍ය. පුද්ගලික මාධ්‍ය ආයතනයකින් ලබා දුන්නේද නැත.

කෙසේවෙතත් මේ සටහන් ඔහුගේ එක ගීතයක් පිලිබඳවයි. රඹුක්කන සිද්ධාර්ථ හිමියන් අතින් ලියවුනු මේ ගීතය අද කාලයට කොතරම් ගැලපේදැයි සිතා බැලීම වටී .

එදා නීරෝ රෝමය ගිනි ගද්දී වීනා වැයුවාය යන්න අපි සිහිපත් කරන්නේ අපේ මව්බිම ගිනිගද්දී අපිම වීණා වයමිනි.

වරදවා වටහා නොගන්න .... මේ කියන්නේ මහින්ද රාජපක්ෂ බලයෙන් පහකළ යුතු බව නොවේ. මේ ආණ්ඩුව ගෙදර යවා අලි, ගිනිසිළු, සීනු හෝ කුරුටුගාමී ආණ්ඩුවක් පත්කලයුතු බව නොවේ.

දිනෙන් දින අප වෙලාගන්නා සමාජ ,සංස්කෘතික , අධ්‍යාපනික හා දේශපාලනික උවදුරු ගැන නෑසූකන්ව සිටීම ගැනයි. ඒ දේවල් ගැන ජනතාව නැසූ කනවා සිටිද්දී රට කරවන්නන්ද තම කිරුල රැක ගැනීමට පමණක් උත්සාහ කරමින් සැබෑ ජනතා වුවමනාවන්,යටපත් කරගනිමින් සංදර්ශන පවත්වමින් සිටින අයුරු ගැනයි.
 රජුන්ට ජනතාව සැබෑ ව්‍යසන වලින් ගලවා ගන්නට අවශ්‍ය නැතිවා මෙන්ම ජනතාවද තමුන් වලේ වැටී ඇති බව නොදැන සිටීමයි.

අසා බලන්න ..........................

කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි //
බරණි බරට පිරි මැණික් දිලෙන රට
රැකුනොත් මිස රන් කිරුළක් කොහිබෙද
කිරුල රජුන්ගෙයි රට මිනිසුන්ගෙයි

චණ්ඩ නපුරු සාගරේ ගිලෙන් නැව් බලන්
අපිත් එහෙම ගිලෙනවාද කඳුලු පොදී බැඳන්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

අනතුර දැක ඇස් පියාන ඉන්න  රඟ බලව්
පෙරහෙලදිව සිරිත නොවෙයි හිතාලා බලව්
මව්බිම ගිනිගන්නවා අපි වීණා වයනවා

කිරුල රජුන්ගෙයි .......

Friday, March 22, 2013

වැස්සකට ඉඩ ඇතත් - නන්දා මාලිනී

(23 වැනි ප්‍රේමකීර්ති අනුස්මරණ දිනය අදයි. මීට වසර තුනකට පෙර බන්ධුල නානායක්කාරවසම් මහතා විසින් දිවයිනට ලියන ලද ලිපියක් උපුටා දක්වනු කැමැත්තෙමු.)

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, නුගේගොඩ තිලක උයනේ නිවසට මා ගියේ, එහි සිට හෝමාගම මළ ගෙදරට යන්නට වික්‌ටර් රත්නායකයන් ඇතුළු පිරිස එන නිසාය.


පාරෙන් මඳක්‌ පහත පිහිටි "කුඩා නිවසේ" "කුඩා මිනිසා" වැතිර සිටියේය. හෝමාගමින් තවත් දුරක්‌ ඇතුළට ගිය විට, හදාගෙන යන අප්‍රකට නිවසේ, රසික ගායක පරම්පරාවක්‌ හැදූ සුප්‍රකට රචකයා සදහටම නිදිවනම සිටියේය.

හය හතර නොතේරුණු බිලිඳු පුතු සිය පියාගේ ගීයක්‌ සේ සරළව, මුත් හැඟීම්බරව සිටියේ. මට ඔහු දුටුවිට සිහිවූයේ පුතෙකු ගැන ඔහු ලියූ ගීයක්‌ නොව, තම දියණිය "සුරංගී" ගැන, ඇගේ කනට තෝඩු දමන දින කන්පෙති විදීමෙන් ඇතිවන වේදනාව ගැන, සැසැළී ඇගේ පියා ලියූ ගීයය. මුතු බෙල්ලාගේ මුතුව ගැන ලියන්නට ගොස්‌ ඔහු නතර වන්නේ

"කනට තෝඩු පළඳවනා
කන්පෙති කටුවෙන් විදිනා
දවසක්‌ එන බව හැඟුනා
තාත්තාට දුක හිතුනා" තැනිනි.

ඉතා රළුවට, ගොරෝසුවට පෙනෙන මේ මිනිසා ලියන දැ රෝසමලක පෙති මෙන් මොළකැටි වූයේ කෙසේද?

නිතර සිනා නොවෙන, ගුප්ත මුහුණක්‌ ඇති ඔහු ලියන "පාන්කිරිත්තා" හෝ "ජැක්‌ ඇන්ඩ් ජිල්" ගීතයෙන් හිනා ලියලමින් බෝ වන්නේ කෙසේද?

ආදරය ගැන කිසිත් නොදන්නෙකු සේ සිටින ඔහු කුරුල්ලන්ට ගී, ඔබේ දෙතොල් පෙති ලිහී, තරුඅත්අකුරින්, ආදරණීය නේරංජනා, කෙදිනද කුඩු, රැලකින් තනිවී වැනි ගීත ලියන්නේ කෙසේද?

පන්සිල් නොගන්නා, හැම පෝයට තියා වෙසක්‌ පෝයට හෝ සාම්ප්‍රදායිකව පන්සල් නොයන්නා, සමිඳුපාමුල. දෙව්රම් වෙහෙරේ, නිවන් දුටු හිමි, අමාදහර වැනි බැතිබර ගී ලියන්නේ කෙසේද?

සැබවින්ම, ඉඳුරාම, ඉතාමත් කෙටි කාලයකදි ඔහු නොලියුවක්‌ නැති තරම්. බෝඩ්ගසා නව අත්හදාබැලීම් කළා යෑයි නොකීවාට, සඳට අහස ආදරේදෝ (වික්‌ටර් සුජාතා), කුදිරකාරම්මා (වික්‌ටර් සුජාතා) කුණ්‌ඩුමනී (ෆේ‍රඩී සිල්වා) පුංචිහාමු (වික්‌ටර්) තනිතරුවේ වැනි ගීත රැසකින් හේ අමුතු අමුතු දැ කළේය.

මා මුලින්ම ඔහු දුටුවේ 1980 පෙබරවාරි මාසයේ, මාතර රුහුණු සේවය පිහිටා තිබූ විෙ-සිංහ වලව්වේදීය. "බයිසිකල් පද්දනවා" කීවාට කාර් එකක "පද්දවන්න" යෑයි අපි නොකියමු. මා රුහුණු සේවයට යන විට කාර්යාල වේලාව නිමව සවස 6.00 පමණ වී තිබුණි. පැරණි විසල් බොනට්‌ටුවක්‌ ඇති "පොන්ටියෑක්‌" කාර් එකක පාතාක බොනට්‌ටුවේ දිග ඇදී, මී අඹ ගෙඩියක්‌ සූප්පු කරමින් "කුඩා මිනිසා" "මාව පද්දවපන්" යෑයි රථයේ රියදුරු අසුනේ සිටි සගයාට බෙල්ල ඇතුලට දමා කෑ ගසා කියා යළි බොනට්‌ටුවේ හාන්සි විය.

මාතර, රුහුණු සේවය අද්දර, පඹුරනට යන පාරේ. කුමාරතුංග මාවතේ යනෙන සියල්ලෝම මේ "කාර් පැද්දීම" බලා සිනාසුනහ.

"අද එයා සම්බවෙන්න බෑ. හෙට උදේ ඔෆිස්‌ එකට එන්න..." මා ඔහු හමුවට ආ අවශ්‍යතාව දැනගත් අයකු කීයේය.

පසුදා පාන්දර රුහුණු සේවයට ගිය විට එහි "කටහඬ පරීක්‌ෂණයට සෙනග පැමිණ සිටියහ. මම ඔහු හමුවීමි. මගේ කවි පොතේ කවි 5 ක්‌ කියා වූ ඔහු පසුවදන ලියන්නට පටන් ගත්තේය.

"තව කවි 35 ක්‌ තියෙනවා..." ම කීවෙමි.

"මේ ඇති" ඔහු සැරෙන් කීය.

ඔහු අපූරු පසුවදනක්‌ ලියා

"උඔට කතා කරන්න පුළුවන්ද බය නැතුව, මයික්‌ එකක්‌ ළඟ?"

"මම විවාද කණ්‌ඩායමේ එහෙම ඉන්නවා" Aමාසඑසදබ සඳහා පැමිණි මිතුරන්ට මා කීවේ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හමුවීමට ආවා කියාය. දැන් ඔහු මාවත් කටහඬ පරීක්‌ෂණයට දමන්නට සූදානමිනි.

මා කිසිත් නොදැන රුහුණු සේවයට පැමිණියත්, යාළුවන් නොමනා දෙයක්‌ හිතාද? සිතන්නට වෙලා නැත. මගේ කොලරයෙන් ඇදගෙන ඔහු ගියේ ,ධභ AෂR, යෑයි රතුපාටින් ලයිට්‌ දමා තිබූ දොර ළඟටය. ස්‌ටුඩියෝවේ දොර ඇරියේ මොන වීරයාදැයි කියා බලන්නට කටහඬ පරීක්‌ෂණය භාරව සිටි හේමජිත් ප්‍රනාන්දු මහතා දොර ළඟට ආවේය.

"මූට මොනව හරි පුළුවන් එකෙක්‌ වැඩක්‌ ගනිං, යන්නං..."

මාව මැදිරියට තල්ලු කර දැමූ ඔහු දොර වසා අතුරුදන් වුනි. කටහඬ පරීක්‌ෂණයෙන් තේරී එදාම රුහුණු සේවයේ සවස "සැඳෑමිහිර" සජීවී වැඩ සටහනේ නිවේදන සඳහා තෝරා ගත්තා යෑයි කියා යන්නට, තුති පුදන්නට ඔහු සෙවූ මුත් සොයාගත නොහැකි විය.

දිගින් දිගටම කොළඹදී උත්සවවලදී, රූපවාහිනියේදී, බස්‌රියේදී හමුවූවද ඔහු නාඳුනන්නෙක්‌ ලෙසම සිටියේය. සැමදා මා හිනාහෙන මුත් ඔහු මාව ගණන් නොගන්නා නිසාත්, මා හඳුනාගන්නට බැරිව ඇතැයි ද කියා සිතා, සුනිල් ආරියරත්නයන්ගේ පොත් දොරට වැඩුමක නන්දා මාලනියගේ ගායනයක්‌ සඳහා නිවේදන කටයුත්තෙන් වේදිකාවෙන් බැස එනවිට මුහුණට මුහුණ හමුවූ විට අහක බලාගෙන ගියෙමි. එක්‌වරම මා පසෙකට ඇද බඩට ඉතා වැරෙන් පහරක්‌ ගසා කොහේද යකෝ අහක බලන් යන්නෙ? ගාල්ලෙ ඉඳන්ද මාතර ඉඳන්ද පාත් වුණේ" යෑයි අවට සිටියවුන්ද හිනස්‌සමින් ගිගිරීය.

එතුවක්‌ මා දුටු විට නාඳුනන සේ අහක බැලූ මගේ සෑම සිනාවක්‌ම මවෙත ආපසු එවූ ඔහු එකම එක වරක්‌ මා අහක බැලූ විට, පෙර සියලු හමුවීම්හි "හඳුනාගැනීම්" සර්වප්‍රකාරයෙන්ම සනාථ කළේ එලෙසටය.

ඔහු මහ පුදුම මිනිසෙකි. කටහඬ, උදැසනක්‌ සේ පිරිසිදු පැහැදිලි, අකිලිටි, තියුණු ඒකකි. ඔහුගේ ගී හෝ කවි හෝ පිටපත් ලිවීම අතිශය රමණීය විය. "අඳුන" වැනි බුද්ධියට අතවනන විචාරාත්මක විසිතුරු වැඩසටහන් මෙන්ම "සම්පත් සාදය" වැනි වාණිජ වැඩසටහන්ද ඔහු ඉදිරිපත් කළේ අන්ත දෙකක වැඩ සටහන් ලෙසින් නොවේ. අද මෙන් විවිධ ප්‍රසංග හා දොරට වැඩුම් හෝ දැවැන්ත උළෙල යන්හි පිටපත් ලියා නිවේදකට දිය යුතු නොවේ. ප්‍රේමකීර්ති ද අල්විස්‌ට අවශ්‍ය වන්නේ මයික්‍රෆොaනය පමණකි. "අකුරක්‌" ලියූ කොලයක්‌ අතේ නැතිව ඔහු "අකුරට" වැඩ සටහන විශිෂ්ටව නිමා කරන්නෙකි.

"සිතින් මා නොසැලී", "සමනලයා මල හා ළමයා" වැනි ගීතවල තනුව ලා ලා ලා ලෙස ස්‌ටැන්ලි පීරිස්‌ හා සරත් ද අල්විස්‌ කියද්දී විනාඩියෙන් වචන ඇමිනුවේ ඔහුය. මා එක්‌කලා අමනාප වී දබර, දූගෙ තාත්තා එන්නේ නෑ ගෙදර" වැනි ගීතවලින් ඔහු ඒ ඉරණමට ලක්‌ නොවූවන් පවා හැඬවූ අතර, ඒ නපුරු තාත්තලා කීයක්‌ නම් යළි ගෙදර එන්නට ඇත්ද?

"ස" ප්‍රසංගයට ගොස්‌, නැගෙනහිර වෙරළේ සැඳෑවේ වික්‌ටර් රත්නායකයන් හා සපිරිවර සමඟ සිටි දවසක "තනි තරුවේ" "තනිතරුවේ" කියන අහසට කෑ ගසමින් ප්‍රේමකීර්ති සිටි මොහොතක වෙරළේ ලියා, පසුව එය දියෙන් වැකුණු විට පුංචි කරදහියක ලියූ "තනි තරුවේ" ගීතය සේම, අත්තිඩියේ, ගොම්මනේ මාළු බාමින් දයා විෙ-සේකර, වික්‌ටර් ඇතුළු සහෘදයන් සමඟ සිටිද්දී ඝන අඳුරේ, සගයන්ගෙන් ඉල්ලාගත් ෆොaඒසස්‌ සිගරැට්‌ටුව තදින් උරා ඇති කරගත් එළියෙන් පුංචි තුන්ඩුවක තත්පර ගණනින් ලියූ ප්‍රේම පරාදීසේ ගීය මෙන්ම ටයිප් රයිටරයේම එක්‌වනම ටයිප් කර මර්වින් පෙරේරාට දුන් "ජීවිතයම මහ පාළුගෙයක්‌" වැනි ගී විශ්මිත පබැඳුම් නොවේද?

1989 ජූලි 30 වැනිදාට මම යළිත් ඔබ හා හඬමින්ම සිටියෙමි. නිදි වැරූ, කළුවූ නළලින් වික්‌ටර් අයියා දෑසින්, පැමිණෙන්න හා කතා කරයි. මාලනී බුලත්සිංහල කඩා වැටෙන කඳුළු සඟවන්නට නිරර්ථක වෙහෙසක යෙදුනේය. කලා භවනේ යෝධ බිත්ති දිගට ඔහුගේ කුඩා දේහය ඇදී, විශාල වී, විකෘති වී මට සිහිනයෙන් මෙන් පෙනේ. බියවැදී හිඳ, පියවි සිහියට එන්නට රෝහණ හෝ කුලේ අයියා ළඟට යමි. ධර්මසිරි ගමගේ මහතා කිසිවක්‌ සිදු නොවුන සේ තද කරගත් හැඟුමින් යම් යම් කටයුතු වල යෙදෙයි.

කලාභවනේ සිට බොරැලල් කනත්ත දක්‌වා යන්නට අවමඟුල් පෙරහැර පටන් ගනියි. ඉතා සෙමෙන් ඇදෙන පෙරහැර තුළ මට දැඩි නොඉවසිලි ගති ඇති වෙයි. හිමින් යන්නට බැරි වේ. විවිධ මතක මා හිත හූරාගෙන පුපුරුවන්නට එයි. බිමට නැමූ සෝබර මුහුණින්, කලාකරුවෝ, රසිකයෝ, විද්වත්තු කලාභවනේ සිට බොරැල්ලට ඉබි ගමනේ පෙරහැරේ යති.

"තුවක්‌කුවක්‌ විතරවත් උස නැති මුත් මහා වැඩ කළ, මේ පුංචි මිනිසාට, තුවක්‌කුවෙන් වෙඩි තිබ්බේ ඇයි?"

දෙසුම පවත්වන සහෝදර ගීත රචක සුනිල් ආරියරත්න අසයි.

චිතකයට ගිනි තබන්නට පෙර ප්‍රේමකීර්ති කටහඬ ඇසේ. "කොළඹ 7, ටොරින්ටන් චතුරස්‍රයේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ පදිංචි සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ විසිනි...."

ඒ සැරිසර සමාප්ති කථනයයි.

ඉන් අනතුරුව චිතකය ඇවිලී දුම් අහසට නැගෙද්දී, ප්‍රේමකීර්ති ලියූ වික්‌ටර් ගැයූ "ප්‍රියේ ඔබම උපනුපන් ජාති හමුවේවා..." ගීතය හිත් පාරවමින් දෝංකාර දෙයි.

"පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල".

"බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය."

ඔහු එසේ ලීවාට, අතින් දිය බොනු හැකි යෑයි කීවාට, ඒ ධර්මතාවය ඔහුට යෙදිය නොහැකිය. ප්‍රේමය, කීර්තිය ඉතිරි කොට ද අල්විස්‌ සමුගෙනය.

- බන්ධුල නානායක්‌කාරවසම්

(2009 ජූලි මස 26 දින පල වූ දිවයින පුවත්පතින් උපුටා ගත්තකි.)

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

පද: ප්‍රේමකීර්ති ද අල්විස්
තනු: එච්.එම්.ජයවර්ධන
හඬ: නන්දා මාලිනී

Audio: http://www.mediafire.com/?3ngxf033hjht9th
Video: http://www.youtube.com/watch?v=HQ-lMKcBdAw

Thursday, March 21, 2013

මේ තරම් සියුමැලිද කළුගල් - සුනිල් එදිරිසිංහ

හැට හැත්තෑව අසූව අනූව දශකයන් තුළ සිංහල ගීත සාහිත්‍යයක් බිහිවූ බවත්, ඉන්පසුව ඒ ස්වර්ණමය යුගය බිඳ වැටුණු බවත් ප්‍රසිද්ධ රහසකි. අසීමිත ලෙස ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා බිහිවීමත්, ඒවා කිසිදු ප්‍රමිතියකට හසු නොවීමත්, විවෘත ආර්ථිකයට ගොදුරු වූ ලාංකේය සමාජය එහි තරගකාරිත්වයට හසුවෙමින්, ගීත කලාව ධනෝපායන මාධ්‍යයක් බවට පත්කර ගැනීමත් මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධ

ක බව මගේ පෞද්ගලික හැඟීමයි.

මාධ්‍ය නිදහස ඉතා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්‍ෂණයක් බව සත්‍යයකි. රසවින්දනය සඳහා ද සමාජයේ ලිබරල් නිදහසක් තිබීම යහපත් ය. එහෙත් මේ ලිබරල් ලාංකේය ගීත සාහිත්‍යය බිඳවැටීම ඒ නිදහසේ ම ප්‍රතිවිපාකයකි. අද අපි ඒ විපාක භුක්ති විඳිමින් සිටින්නෙමු. මෙවැනි තත්ත්වයදී ප්‍රථමයෙන් ම බිඳ වැටෙන්නේ ලාංකික පද්‍ය සාහිත්‍යයයි. කවිය හා ගී පද මාලාවක් අතර වෙනසක් පවතියි.

ගී පදමාලාවක දී ගායනයට වැඩි ඉඩහසරක් ලබාදිය යුතු ය. එහෙත් සාර්ථක ගීයක් පසුපස උසස් කවිසිතුවිල්ලක් පවතී. අපේ රටට අද අහිමි වෙමින් පවතින්නේ එබඳු කවි සිතුවිලිවලින් පිරිපුන් රචකයන් ය. එහෙත් මේ බිඳ වැටීමෙන් ම යම් උසස් නිර්මාණයක් බිහිවන්නේ නම් එවැන්නක් සමාජයට හඳුන්වාදීම ජාතික වගකීමක් බව මගේ හැඟීමයි. ඒ වගකීම මඟ හරිමින් කුහක ලෙස කටයුතු කිරීම ද තම ගුරුකුල රැකගනිමින් ගෝත්‍රවාදී ලෙස කටයුතු කිරීමද ජාතික අපරාධයකි.

ඒ නිසා නවක ගීත රචකයකු හා සංගීතඥයකු ගේ දායකත්වයෙන් ප්‍රවීණයකුගේ මුවින් ගැයුණු අලුත් නිර්මාණයක් පිළිබඳ ව සටහනක් ඔබ හමුවේ තබමි. රචකයා රජී වසන්ත වෙල්ගම නම් වූ යෞවනයෙකි. සංගීතඥයා රුවන් දර්ශන දිසානායක නම් වූ යොවුන් සංගීතඥයකි. ගායකයා වූ කලි සුනිල් එදිරිසිංහ නම් වූ ප්‍රවීණ ගායකයාණන් ය.

මේ තරම් සියුමැළි ද කලුගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා...

රචකයා ප්‍රථමයෙන් ම එක්තරා කල්පිත සිද්ධියක් මවාගනියි. එනම් අවුකන බුදුන්ටත් දෑස දුන් මිනිසා සොයා යාමයි. එවැනි සිතුවිල්ලක් පහළ වූ හේතුව වන්නේ කලුගල් මේ තරම් සියුමැළි ද යනුවෙන් සිතන්නටවත් බැරිනිසා ය. පැරණි කලා නිර්මාණ පිළිබඳ ව ඇතිවන විශ්මිත බව මේ තුළින් ප්‍රථමයෙන් ම මතුවෙයි. ඒ අතර අවුකන පිළිමය විශ්මිත බවෙන් සුවිශේෂවෙයි.

දැවැන්ත කළුගලකට බුද්ධ ලීලාව ආරෝපණය කරමින්, මහා කරුණාබර ගුණය ගල්කටුව හා මිටියට එක්කොට දෑස්වලට එක්කිරීම සැබැවින් ම විශ්මිත කටයුත්තකි. එහෙත් රචකයා ඒ විශ්මිත බව තුළ ජීවත් වෙමින් දේ්ශාභිමානය මර්දනය කිරීම නම මූලික අරමුණු කර නොගනී.

රචකයාට අවශ්‍ය වන්නේ මෙබඳු විශ්මිත නිර්මාණ කළ සැබෑ කලාකරුවන්ගේ ජීවිතවලට එබී බැලීමටයි. මෙහිදී මට එක්වර ම සිහිපත් වන්නේ සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනිය වෙනුවෙන් පබැඳි පද මාලාවකි.

”පහන් කන්ද මුල අඳුරුයි
ඔබට ගයන මගෙ හද අඳුරුයි
මගෙ පැල අඳුරුයි”
(නන්දා මාලිනී – පහන් කන්ද කැසට්පටය)

රජී වසන්ත වෙල්ගමට හමුවන ගල්වඩුවා ද දුක්බර ජීවිතයක් ගතකරන්නෙකි. අහස විනිවිද යන මහා ප්‍රතිමාවක් නෙළු ඔහු කෙබඳු ජීවිතයක් ගත කරන්නේද? රචකයාට ඔහු හමුවන්නේ කලාවැව අසල ඉලුක් සෙවිලිකළ මැටි ගැසු පැල්පතක් තුළයි.

කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා”

එදා සිට අද දක්වා කලාකරුවන්ගේ ඛේදවාචකය මෙහි අන්තර්ගත ය. ටජ්මහල සමඟ ලියැවෙන්නේ සාජහන් ගේ නමයි. සීගිරිය සමඟ ලියැවෙන්නේ කසුප් රජුගේ නමයි. ඒ මහා කලාකෘති නම කළ කලාකරුවන් කොහිද? ඔවුන් පස් අතරේ නිහඬ ව වැළලී ගොසිනි. ඇතැම් ජනප්‍රවාද වලට අනුව මේ රජවරුන්ම ඔවුනට විවිධ පීඩා සිදුකර තිබේ.

එහෙත් මේ මහා කලාකරුවන් වූ කලී උපේක්‍ෂාව ප්‍රගුණ කළ පිරිසක් ම ය. මේ කලාකරුවා බලාසිටින්නේ කලාවැවේ මැරෙන ඉපදෙන රැලි දෙස ය. අනිත්‍ය ධර්මතාවය ඔහු කලාවැවේ රැලි මත්තෙන්ම අවබෝධකර ගනී. මහා කළුගලක් මත ගොඩනැඟෙන බුදුරුවට ඔහු තම ජීවිත ඥානයෙන් පෝෂණයවන ප්‍රතිභාව ද ඉවහල් කරගනී. ඒ මහා කලාකෘතිය නිමකිරීමේදී ලැබෙන ශාරීරික වේදනාවන් පවා ඔහුට ගෙනදෙන්නේ මිහිරකි. ඒ සැබෑ කලාකරුවාගේ ස්වභාවයයි.

රජී වසන්ත මේ කල්පිතයේ තවත් ඉදිරියට ගමන් කරයි. ඔහු මිළඟට මේ ගල්වඩුවාගෙන් අසන්නේ ඉසුරුමුණියේ කළුගලක නෙළු සුන්දරිය කොහි සිටීද යනුවෙනි. එහිදී රචකයා කල්පනා කරන්නේ ඒ ඔහුගේ ම හද ඇඳි ප්‍රතිබිම්බයක් බවයි. රචකයාගේ සිතුවිල්ල සාධාරණ ය. මන්ද කලාකරුවාගේ හදවත බොහෝවිට ඔහුගේ නිර්මාණයන්ගෙන් හඳුනාගත හැකි බැවිනි.

ඉසුරු මුණියේ ඔබ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තාම තනිකඩ යැයි කියා...

මේ කලාකරුවා කෙරෙහි විශාල දයා අනුකම්පාවක් හටගන්නේ මේ අවසාන ප්‍රකාශය හේතුවෙනි. අනුන්ගේ ආදරය කැටයමට නඟන ඔහු තාම ජීවිතයේ තනිකඩයෙකි. ඇතැම්විට ඔහුගේ පෙම්බරිය ඔහු ව අතැර දමා යන්නට ඇත. මුතුබෙල්ලකු තම වේදනාව මුතු බවට පත්කරන්නා සේ මේ කලාකරුවා තම ජීවිතයේ ලද අනේකවිධ දුක්වේදනා නිර්මාණ බවට පත්කරයි.

සමස්ත අව්‍යාජ කලාකරුවන්ගේ යථාර්ථය මේ නිර්මාණය ඔස්සේ රචකයා විසින් ප්‍රදර්ශනය කරනු ලබයි. සැබවින්ම අවුකන පිළිමයට දෑස දුන් මිනිසා කලාකරුවෙකි. එසේ නම් රචකයා සොයා යන්නේ කලාකරුවකු ය. ඔහුට කලාකරුවා මුණගැසෙයි. ඔහු දුක වළඳන්නෙකි. ඒ මඟින් අව්‍යාජ කලාකරුවන් බහුතරයක්තම නිහතමානී බව නිසා ම, හුදෙකලා වන ආකාරය ප්‍රදර්ශනය වෙයි.

මේ නිර්මාණයට සංගීතය සපයන්නේ තරුණ සංගීතඥයෙකි. ඔහු පොළොන්නරුවේ ඈත පිටිසර ගමකින් බිහිවුණ ඉඳහිට කොළඹට එන, තරුණ සංගීතවේදියෙකි. පද රචනයක සමස්ත අර්ථය මනා ව ස්පර්ශ කිරීමේ හැකියාව මේ සංගීතඥයා සතු ව පවතී. බටනළාව, වයලීනය වැනි සංගීත භාණ්ඩ වැඩි අවස්ථාවලදී යොදාගෙන මේ කලාකරුවාගේ ශෝචනීය ඉරණම රසික හදවතට කාවැද්දීමට රුවන් දර්ශන දිසානායකයෝ සමත් වෙති. තරුණ සංගීතඥයන්ට ඔහු සපයා ඇත්තේ කදිම මාර්ගෝපදේශයකි.

අද අපට කනවැකෙන බොහෝ නිර්මාණ විවිධ නාදවලින් හිදැස් පිරවූ නිර්මාණ ය. වාර්තාමය පද මාලාවන්ට සංගීතමය සැරසිලි දමා රසිකයා ඉදිරියට ගෙන ඒම මෙහිදී සිදුවෙයි. එයට තවත් අරුත්සුන් රූපමාලාවක් එක්කරගනී. සින්දු අහන පරම්පරාවක් නොව සින්දු බලන පරම්පරාවක් එමඟින් බිහිවෙයි.

ගායක ගායිකාවන් ගේ විවිධ ඉරියව් නරඹමින් මානසික උත්තේජනයක් හා ලිංගික උත්තේජනයක් ලබන පරපුරක් ගොඩනැඟෙමින් පවතී. මේ පදරචකයන්ට හා සංගීතඥයන්ට උඩුගම්බලා පිහිනන්නට සිදුවන්නේ මෙබඳු පරිසරයක ය. එහෙත් මෙබඳු ගීත ගැයීමට මේ පරිසරයේ සුනිල් එදිරිසිංහයන්ට හැකිවීම, එක්තරා භාග්‍යයකි.

මම මනසින් අතීතයට ගමන් කරමි. අනුරාධපුර පොළොන්නරු රාජධානි කරා මගේ මනස ඇදී යයි. ඒ අතර මහා කළුගලක් දෙස බලාසිටින කුඩා මිනිසකු මට දිස්වෙයි. ඔහු අතේ ගල්කටුවක් ද මිටියක් ද ඇත. ඔහු ඒ ගල්කටුවෙන් මහා කළුගලට තට්ටු කරන්නට පටන් ගනියි.

දින සති මාස ගෙවී යයි. මහා බුදුරුවක් මා ඉදිරියේ දිස්වෙයි. ගල්කටුව හා මිටිය තම මල්ලට දමාගන්නා මේ මිනිසා, ගමන්මල්ල වෑ කන්දේ තබා වැවට බැස දියනා ගනියි. නැවත ගමන් මල්ල රැගෙන ඉලුක් සෙවිලි කළ තම මැටි පැල කරා ගමන් කරයි. ඒ පැල ඉදිවී ඇත්තේ කලාවැව අසලයි. පුරා හඳ පැලට ඉහළින් බැබළෙයි.

ඔහු මැටි පිල මත පැදුරක් එළා, රිදුම් දෙන තම ශරීරය පිරිමදිමින් කලාවැවේ මැරෙන උපදින රළ දෙස උපේක්‍ෂාවෙන් බලා හිඳියි. ඔහුට තමා ව අතහැර ගිය සුන්දරිය සිහිවෙයි. ඇය හා ගෙවු සොඳුපැ නිමේෂයන් සිහිපත් වෙයි. ඇය හා ගෙවු සොඳුරු නිමේෂයන් සිහිපත් වෙයි.

කඳුළු පිස නිදාගන්නා ඒ මිනිසා උදෑසනින් අවදි ව ගල්කටුව හා මිටිය තම ගමන් මල්ලේ දමා ගෙන ඉසුරුමුණිය දෙසට ගමන් කරයි.


(උපුටා ගැනීම සිළුමිණ පුවත්පතිනි.)

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා..

කලා වැව ලඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා..

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා..

පද: රජී වසන්ත වෙල්ගම
තනු: දර්ශන රුවන් දිසානායක
හඬ: සුනිල් එදිරිසිංහ

Audio: http://www.youtube.com/watch?v=xg7v1AiA7-4
Audio: http://www.mediafire.com/?ue3q462o6jtoff0

Wednesday, March 20, 2013

මාලිනියේ

මාලිනියේ - වික්ටර් රත්නායක

අපේ උඩු සිත මොන තරම් දේ කිව්වත් කලත් ඇත්ත ඇති සටියෙන් දන්නේ හදුනන්නේ අපේ යටි සිතයි. තරුණයෙක් රැවටිලිකාර ලෙස තරුනියකට විවා බස් දේ. පෙම් වදන් කියයි. නමුත් ඔහු කළ කී දෑ දන්නා ඔහු ගේ ම හෘදය සාක්ෂිය ඔහු ට රැහැණිව අවි ඔසවයි........

මේ තරුණිය ඉන්ද්‍රජාලයක් මිස වෙන අන් කවරක්වත් නොවන බව තරුණයා ගේ යටි සිත කියයි.....ඔහු ගේ මනස අන්ධකාර බව, එනම් ඔහු කරන්නේ රැවටිල්ලක් ම බව ද යටි සිත

ඔහු ට මුර ගා කියයි. උඩු සිත "මා දෑස සොයනා රුව ඇදුනා" යයි පවසන විට යටි සිත හොදින් ම දන්නා කරුණ එනම් ඔහුට ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකියාවක් නොමැති බව ය. එනිසා ම යටි සිත "ඔබ දෑස නැත" යනුවෙන් පවසයි......අවසානයේ පවසන්නේ නොරැවටෙන ලෙසටය.

මේ තරුණයා වෙනත් බොහෝ තරුනියන් හට මෙසේ විවාහ පිළින දී ඇති බව ඔහු ගේ යටි සිත දනී. ඇයට ද විවා බස් පවසන විටදී යටි සිත "අමන තරුණය" යනුවෙන් පරිභව කරන්නේ එබැවිනි. කොතරම් රැවටිලි බස් පැවසුව ද ඔහු ගේ යටි සිත දන්නා දේ කියා පායි.......විවාහය නම් "සිපිරි ගෙය ඔය තරම් සොදුරුද?" යයි ඔහු ගෙන් ම ඔහු ගේ යටි සිත අසන්නේ එබැවිනි.

තම කලින් අත්දැකීම් අනුව පතිවත රකිනා කුළ කුමරියන් නොමැති බව මේ සල්ලාල පෙම්වතා දනී. යටි සිත උපහාසයෙන් යුතුව "අරුම පුදුමය!!" යනුවෙන් පවසන්නේ ඒ නිසාය. ඒසේම යටි සිත ඔහුට කියන්නේ වරද නොබැදෙන ළදුන් ලොව නැති බවය.

මේ ගීතය පටිගත වන්නේ ස්ටීරියෝ ඩොල්බි තාක්ෂණය මෙරටට සම්ප්‍රාප්ත වී මඳ කලකිනි. දැනට පවතින මික්සින් ක්‍රමවේදය වෙනුවට භාවිතා වූ ලේයරින් ක්‍රමවේදය අනුව මෙරට පටිගත වූ ප්‍රථම ගිතය මෙයයි. එක් පදයක් අවසාන විමට පෙර ම ඒ ගායකයා ම අනෙක් පද වැල ගායනා කරන ආකාරය මේ ගීතයට ලැබුනේ මෙම තාක්ෂණයේ මහිමයෙනි. මේ ගීතය සේම සෑම ගීතයක ම අප සමරනු නොලබන කොටසකට මේ හේතුවෙන් මේ ගීතයේ දී සැමරුමක් මෙන්ම පුණ්‍යානුමෝදනයක් ද හිමිවිය යුතු බව මගේ හැගීමයි. එනම්, මේ ගිය පටිගත කල ශිල්පියා වූ ඩොනල්ඩ් අයිවන් මහතා සහ අපට කිසිසේත් ම මතක් නොවන ගීතයන් ට වාදන සහය ලබාදෙමින්, ලී -යකඩ ගොඩවල් වයමින් අපේ සන්තානය තුළ අලහාදය ජනනය කරන වාද්‍ය ශිල්පීන් යන කොටස්ය.උඩු සිත සහ යටි සිත අතර මේ ප්‍රහර්ශනාත්මක සංධ්වනිය ඇති කරන මහැදුරු සුනිල් ආරිරත්නයන්, ගායනය සේම තනුව ද නිමැවූ වික්ටර් රත්නායකයන් සේම මෙහිදී මතු කී ශිල්පීන් ද අපේ පුණ්‍යානුමොදනාවන්ට ලක්විය යුත් බව හගිමි..

(උපුටා ගැනීම elakiri.com හි dath kimbula ගෙනි.)

මාලිනියේ
[ඉන්ද්‍රජාලය]
මා මනසේ
[අන්ධකාරය]
මා දෑස සොයනා
[ඔබ දෑස නැත]
රුව ඇඳුනා
මාලිනියේ..
[නොරැවටෙන්!]

මංගල පෝරුව මස්තකයේ
[අමන තරුණය!]
මම ඇය අත ගනිමී
[සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද?]

පතිවත රකිනා කුල කුමරී
[අරුම පුදුමය!]
මම ඔබ රැක ගනිමී
[වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත]

පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු හා හඬ: වික්ටර් රත්නායක

Audio: http://www.mediafire.com/?pmbpmrg96lsfqdd
Video: http://www.youtube.com/watch?v=lEOOs2_3VXQ

Tuesday, March 19, 2013

සුවඳ මල් රේණු - ඉමාන් පෙරේරා

සුවඳ මල් රේණු - ඉමාන් පෙරේරා

"සුවඳ මල් රේණු පිස එන
හදු දෙන සිහිල් මඳ නල
නුඹට සමානා...."


මේ ගීතයත් සමඟ ඔහුගේ රුව ඔබේ මතකයට නැගෙනු ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යයාලයේ "නල මුදු සුවඳ" කලා මංගල්‍යයෙන් සුපිපුණු මේ සුවඳවත් පුෂ්පය ශ්‍රී ලාංකික සංගීත ක්ෂේස්ත්‍රය අස්වද්දන්නට සමත් විය. ඔහු ඉමාන් පෙරේරායි.

"වසන්තයේ මල් සුපිපුණ
සුන්දරතාවය ඉහුරුණ
හද මඬලට කවුදෝ ආවා...."

තිලිණ රුවන් මලලසේකරගේ පද වැල ඒ වසරේ හොඳම ගී පද මාලාව ලෙස සම්මාන ලබද්දී සුදර්මන් රංජිත්ගේ තනුවෙන් සුසැදි මේ ගීතය එදා ඉමාන් ගායනා කළේ නල මුදු සුවඳ වඩ වඩාත් සුවඳවත් කරවමිනි. එහිහ්දී ඔහු හොඳම ගායකයාට හිමි පණ්ඩිත් අමරදේව සම්මානය දිනා ගත්තේය.

එය ඉමාන්ගේ ජීවිතයේ කඩඉමක් බවට පත් විය. කලා ක්ෂේස්ත්‍රයේ දැවැතයන්ගේ ඇසුර ඔහුට එතැන් පටන් හිමි විය. රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, කුලරත්න ආරියවංශ, යසනාත් ධම්මික බණ්ඩාර, නිලාර් එන් කාසිම්, වසන්ත රෝහණ, කුමාර ලියනගේ, කමලසිරි සඳරුවන්, අචින්ත වැනි අයගේ ඇසුර ඔහුගේ ගමන් මගට ආලෝකයක්ම විය. නිල්වලා ලේබලය යටතේ 2000 වසරේ සිය ප්‍රථම ගීත එකතුව "සුවඳ මල්" නමින් රසිකයන් අතට පත් කිරීමට ඉමාන්ට හැකි වන්නේ මෙවන් වූ ඇසුරක මහඟු ප්‍රතිපල නිසාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යයාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඔහුගේ සංගීත ගමන් මගට අඩිතාලම වැටුණේ සිය නිවසින්මය.

"අපේ ගෙදර ඉතාම සොඳුරු සංගීත පරිසරයක් තිබුණා. මගේ පියා දුම් රිය නියාමකවරයකු ලෙස රැකියාව කළා. දැන් ඔහු ජීවතුන අතර නැහැ. මව ගෘහණියක්. මට අයියලා දෙදෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා. අපි හැමෝම පුංචි කාලේ එකට ඉඳගෙන සින්දු කිව්වා. පාසලේදී විවේකයක් ලැබෙන හැම අවස්තාවකම යාලුවොත් එක්ක එකතුවෙලා ටින් කැබැල්ලකට බෝතලයකට පොඩි තට්ටුවක් දමමින් ගීත ගායනා කිරීම තමයි එකම විනෝදය වුණේ. පස්සෙ කාලෙක ගමේ පොඩියට සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. ඊට පස්සෙ රටේ ජනතාව මා හඳුන ගත්තෙ "නල මුදු සුවඳ" නිසයි. ඊට පස්සෙ මගේ සුවඳ මල්, ලස්සන නිළියේ, වසන්තයේ මල් වැනි ගීත යාත්‍ර, නඳුන් උයන, නිම්හිම් සර වැනි රූපවාහිනී සංගීතමය වැඩසටහන් නිසා බෙහෙවින් ජනප්‍රිය වුණා."

ඉමාන් මේ වනවිට ටෙලිනාට්‍ය රැසක තේමා ගීත ගායනය කර ඇති අතර මීදුම, කනේරු, සඳ දුරනම්, ගඟ අද්දර කැලේ, අහස සේ නුඹ අනන්තයි වැනි ටෙලි නාට්‍යවල තේමා ගීත ඒ අතරින් විශේෂ වේ. ඔහු චිත්‍රපටයකට පසුබිම් ගායනයෙන් දායක වූයේ දයාරත්න රටගෙදරගේ "නිල් දිය යහන" චිත්‍රපටය සඳහාය.

(දිවයින පුවත්පතට තුෂාරි කලුබෝවිල ලියූ ලිපියකින් උපුටා ගැනුණකි.)

සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා...
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පද වැල
නුඹේ සිනාවා...

සීත පිණි වදුල සඳවත
මෝදුවී නිශා නුබ ගැබ
අඳුර මකාවා...
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා...

අරුණ දොරකඩින් නැග‍ එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා...
නොබා කරලියට දිව යන
හදට පණ පොවන උල්පත්
නුඹේ සිනාවා...

පද: වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
තනු: නවරත්න ගමගේ
හඬ: ඉමාන් පෙරේරා

Audio: http://www.mediafire.com/?z63ba417fq0kp9u
Video: http://www.youtube.com/watch?v=zVFbK86VAcE

Monday, March 18, 2013

සරසවියෙදි හෙට විතරයි - විශාරද දයාරත්න රණතුංග

සරසවියෙදි හෙට විතරයි - විශාරද දයාරත්න රණතුංග

හන්තාන තරම් මේ සරසවියේ මානවක මානවිකාවන්ගේ හදවත් හඳුනන ස්වභාවධර්මයට අයත් තවත් වස්තුවක් වේ නම් ඒ මහවැලි ගඟ පමණි. සුවහස් පෙම්වතුන්ගේ ආදර කතාවන් ද, විප්ලවවාදීන්ගේ දේශනාවන් ද අසා සිටින මේ වස්තූහු ඔවුන් සමඟ එකට සිනාසෙති. වැළපෙති. පේරාදෙණි සරසවිය හා බැඳුණු නිර්මාණ රාශියක් සමඟ ද මේ වස්තූහු බැඳී සිටිති.

”හන්තානේ කඳු මුදුන සිසාරා

පවනක් වී එන්නම්”
-ආචාර්ය අජන්තා රණසිංහ

”හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස”
-මහාචාර්ය සුනිල් ආරියරත්න

”හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් අඳුනනවා නම්”
-යමුනා මාලිනී පෙරේරා

මේ ගීතවලින් වශීවී සිටි මම වරක් අමරසිරි පීරිස් වෙනුවෙන් ලියූ ගීතයකට හන්තාන සම්බන්ධ කර ගතිමි.

හන්තානට පායන හඳ ලස්සනයි ද කියන්න

මා මෙහිදී සිහිපත් කළේ හන්තාන හා බැඳුණු නිර්මාණ කීපයක් පමණි. පේරාදෙණි සරසවිය හා බැඳුණු තවත් නිර්මාණ රාශියක්ම ගීත පදමාලා අතර මුණගැසෙයි. මේ සියල්ල අතර සියුම් විරහ වේදනාවකින් හදවත ස්පන්දනය කරවමින් සුන්දර පේරාදෙණි සරසවිය වෙත අප කැන්දාගෙන යන තවත් සුවිශේෂ ගී පද මාලාවක් ලෙස සිරිසමන් විජේතුංගයන් රචනා කළ දයාරත්න රණතුංගයන් ගේ හඬින් ගැයෙන “සරසවියේදී හෙට විතරයි” නම් වූ ගීය හඳුන්වා දිය හැකි ය.

”සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිම ද කුමරි නෙත කඳුළැලි පුරවන්නේ”

සරසවියෙන් සමුගන්නා දිනය එළඹී තිබේ. දැන් තමා ආදරය කළ බොහෝ දේ තාවකාලික ව හෝ අතහැර යා යුතු ය. මෙහිදී මේ හඬා වැළපෙන්නේ කිනම් කුමරියක් ද? සමුගෙන යන මානවක මානවිකාවන් දැක මේ සුසුම් හෙළන්නේ හන්තාන නැමැති සුන්දර කුමරිය නොවේද? තමන්ගේ පාමුළ පෙම් බස් දෙඩූ ආදරවන්තයන් තමාගෙන් දුරස් ව යනු දැක ඇය කඳුළු සලන්නී ය. සුසුම් හෙළන්නී ය.

”දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ”

මහ වැසිවලට තෙමෙමින් නොතෙමෙමින් පුංචි කුඩ යටට වී ප්‍රේමවන්තයන් දොඩමළු වූ අයුරු පෙම්වතියන් ගේ මුකුළු හිනා, අසා සිටි ඇයට ඔවුන් සමුගන්නා දිනයේ දී දෙනෙත්වල කඳුළු පිරීම පුදුමයක් නොවේ. රචකයා එබඳු අවස්ථා ඇයට සිහිපත් කර දෙයි. නන්දෙසින් නාඳුනන්නන් ලෙස පැමිණ දැනහඳුනාගෙන දුක් විඳිමින්, සිප්සතර හදාරමින්, අරගල කරමින්, ආදරය කරමින් සිටි තම මිතුරු මිතුරියන් ගේ වෙන්වීම හන්තාන නැමැති සුන්දරියට දරාගැනීම අසීරු ය. එසේ ම මේ මානවක, මානවිකාවන්ට ද අවසානයේ ගෙනියන්නට ඉතිරි ව ඇත්තේ හන්තානේ මතක සුවඳ පමණකි.

”කලා ශිල්ප රාජ ඉසුරු මල් යායේ
එදා ළපලු සෙවණේ සරතැස නිවුණේ”

පේරාදෙණි සරසවිය යනු සිත්තරකුට සිතුවමකි. ශිල්පියකුට කැටයමකි. සෑම ගොඩනැඟිල්ලක ම යම් කලා රසයක් ඉතිරි වී පවතී. මානවක මානවිකාවන් ගේ කලාත්මක සිතුවිලි ඒ තුළ අවදිවෙයි. ඔවුන් බහුතරයක් මුහුණ දෙන ආර්ථික පීඩනය නොවන්නට එය සැබැවින් ම කලා ශිල්ප රාජ ඉසුරුවලින් සපිරි රජදහනකි.

මේ සමඟ ම මගේ සිහියට නැඟෙන්නේ සුනිල් සරත් පෙරේරා ශූරීන් සංගීත් නිපුන් සනත් නන්දසිරි ට වසර හතළිහකට පමණ ඉහත රචනා කළ ගීයක පද පෙළකි. එකල භද්‍ර යෞවනයේ සිටින මානවක මානවිකාවන්ට මේ මල් කැටයම්වලින් පිරි ක්ෂේමභූ®මිය ප්‍රේම පාරාදීසයක් වූ ආකාරය එහි දී රචකයා මැනවින් ගෙත්තම් කරයි.

”භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මලුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්”
(සුනිල් සරත් පෙරේරා)

මේ ගීත දෙකට ම මා මුල් වරට සවන් දුන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ ය. එකල සරසවිය සෞන්දර්යාත්මක තෝතැන්නක් නොවිණි. සැම විට ම ඇසුණේ, ශිෂ්‍ය අරගල පිළිබඳ ව පමණකි. එහෙත් මා තුළ සරසවි ජීවිතය කෙරෙහි ගුප්ත ආකර්ෂණයක් ඇති කිරීමට මේ නිර්මාණ සමත් වූ බව කෘතඥතාපූර්වක ව සිහිපත් කළ යුතු ය.

”කෝල හැඟුම් හලා රඟන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ”

තම හිත් වේදනාව අවසානයේ දී රචකයා පවසා සිටිනුයේ ලැජ්ජාශීලී බැලුම් හෙළමින් එහා මෙහා ඇවිදින පරවියන්ටයි. පිණිමුතු පබළු ගෙල බැඳගෙන සඳඑළියෙන් නැහැවුණු හන්තානේ කුමරියගෙන් මෙන් මම ඔහු ආදරය කළ හන්තාන අඩවියේ දී හමුවූ කුමරිය ගෙන් ද හෙට ඔහුට සමුගන්නට සිදුවෙයි. ඇතැම් විටෙක මේ සියල්ල අනාගතයේ දී සිහිනයක් පමණක් ද විය හැකි බැවින් ශෝකයක් හටගනී.

”හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ” යනුවෙන් ඔහු පැවසුව ද, හඬාවැටෙන්නේ ඔහුගේ ම හදවත බව රසිකයාට දැනෙයි.

දයාරත්න රණතුංගයන් වූ කලී සුවිශේෂ ගායන ශෛලියකට හිමිකම් ඇත්තෙකි. ඉතා සංයමශීලී ව ගායනා කරන රණතුංගයන්ගේ හඬ තුළ කුමක්දෝ, ශෝක රසයක් ගැබ් වී පවතී. මේ පදමාලාව ඒ ශෝකී හඬ සමඟ බද්ධවන්නේ රසික සිත් සසල කරවමිනි.

ජීවිතය පුදුමාකාර ය. විවිධ අවස්ථාවල විවිධ අය අපට මුණගැසෙති. අපට ළංවෙති. තවත් මොහොතක ඔවුහු වෙන්වී යති. එවිට අප තුළ හටගන්නේ ශෝකයකි. ඒ ශෝකය ද තවත් විටෙක රසයක් බවට පත්වෙයි. ඔවුන් සමඟ එක් ව සිටි කාලය සිහිකරන සිහිවටන වරින්වර ඒ ශෝකය අවදි කරවනු ලබයි.

ඒ තුළින් ද මතුවන්නේ කඳුළක් මුසු මිහිරියාවකි. ඒ මිහිරියාව තම නිර්මාණ සමඟ බද්ධ කිරීම කලාකරුවාගේ වගකීමයි. සිරිසමන් විජේතුංග නැමැති රචකයා ද දයාරත්න රණතුංග නැමැති ගායකයා හා සංගීතඥයා ද ඒ කාර්යය මැනැවින් ඉටු කරයි.

පේරාදෙණි සරසවියට එක්වන්නේ දහස් ගණනකි. එහි පහස ලැබ වෙන්වන්නන් ද දහස් ගණනකි. ඔවුහු ආදරය කරති. ශිල්ප උගනිති. අරගල කරති. මේ සියල්ල දෙස හන්තාන කුමරිය උපේක්ෂාවෙන් බලා සිටින්නීය. ඔවුන් සිනාසෙන විට ඇය ඔවුන් සමඟ සිනහවෙයි. හඬාවැටෙන විට හඬාවැටෙයි. අරගල කරනවිට අරගල කරයි. සියල්ල ඉදිරියේ අකම්පිත ව ඈ සරසවිය දෙස ම බලා හිඳියි.

ඈ සමඟ මහවැලි ගං කොමලිය ද මේ සියල්ල බලා හිඳින්නී ය. ඔවුන් සමඟ දුක සැප බෙදාගෙන ඇය ද සමුදුර සොයා ඇදෙන්නී ය.

හෙට දවසේ තවත් මානවික මානවිකාවන් සරසවි බිමට එක්වනු ඇත. දොඹ සූරන මහවැස්සේ ඔවුන් ද තම ළබැඳියන්ට තුරුළු ව මල් මාවත් දිගේ ගමන් කරනු ඇත. තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු ඇත. ‘මනමේ’ ‘හැම්ලට්’ වැනි නාටක මේ කලා රජදහනේ මැවෙනු ඇත. මහවැලි දෑලේ අතිනත් පටලාගෙන අනාගතය පිළිබඳ සිහින දකිනු ඇත. එසේම දිනක එකිනෙකා ගෙන් සමුගනු ඇත.

දයාරත්න රණතුංගයන් ගේ ගීය ඇසෙන වාරයක් පාසා මේ හැඟීම් මා වෙළා ගනී. ආදරවන්තයන් දෙදෙනකු සරසවි පාරේ තුරු සෙවනැළි අතරින් ඇවිද එනු මට පෙනෙයි. ඒ ඔවුන් සමුගන්නා දවසයි. ආදරවන්තිය ගේ දෑස කඳුළින් පිරී තිබෙයි. ආදරවන්තයා ඒ කඳුළු සුරතින් පිසදමයි. එවන් කඳුළු ගංගාවක් ලෙසින් මහවැලි ගඟ නිසල ව ගලා යයි. සරසවි බිමට රාත්‍රිය එළඹෙයි. පුරාහඳ පායා එන රාත්‍රියේ හන්තානේ කුමරිය මුනිවත රකිමින් සරසවි බිම දෙස බලා සිටියි. ආදරවන්තයන් වෙන් ව ගොසිනි. ඔවුහු දෙතැනක සිට අතීතයේ මිහිරි මතකයන් සිහිකරමින් සුසුම් හෙළති. සිව්වසරක් තම සෙවණේ සිටි ඔහු සිහිකරන හන්තානේ කුමරියගේ දෑසට නැඟුණු කඳුළක් හඳ එළියෙන් දිලිසෙයි.



(සිළුමිණ පුවත්පතින් උපුටා ගැනුණකි.)

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ළපලු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

පද: සිරිසමන් විජේතුංග
තනු: විශාරද දයාරත්න රණතුංග
හඬ: විශාරද දයාරත්න රණතුංග

Audio: http://www.mediafire.com/?eclqhrr99gd7kqs
Video: http://www.youtube.com/watch?v=P-StIGy9GtU

Sunday, March 17, 2013

දමා යන්නට - සෝමතිලක ජයමහ

මිනිසුන් වන අපට කොතරම් බැඳීම් තියෙනවද.... දේපළ වස්‌තුව මිල මුදල් දරුවන් බිරිඳ... සැමියා මේ හැම දෙයක්‌ම බැඳීම්. මේවාට ලොබ බැඳෙන හිත......... අවසන් හුස්‌ම පොද හෙළන්නේ තන්හාවෙන්...

දමායන්නට නොහැකි මිහි මත

එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

අපිට මේ හැම දෙයක්‌ම හැර දමායන්න පුළුවන්......ඒත් ඒත් එකම එක බැඳීමක්‌ තියෙනවා. ඒ ඔබයි. මේ ලෝකයේ මට හැම දෙයක්‌ම අතැර යන්න පුළුවන්. ඒත් ඒ එක සම්පතක්‌ හැර .... ඒ ඔබයි..... ඔබට තිබෙන බැඳීමෙන්... මා මිදී යන්නේ කොහොමද?

ජීවිතයේ අනියත බව..... ඉතාම හැඟුම්බර පද පෙළකින් ගයන්නේ සෝමතිලක ජයමහ... මේ ගැයුම් පද කුලරත්න ආරියවංශගේ. ගීය ලියන්න කුලරත්නට හේතු පාදක වූ කාරණාවත් ඉතාම සංවේදී අවස්‌ථාවක්‌.

ධර්මසිරි ගමගේ... අපේ සොහොයුරා ගේ මරණය හදිසියේ සිදු වූවක්‌...... අදහා ගන්නත් බැහැ. හොඳට හිටපු මිනිසෙක්‌. හදිසියේ මියයැම කොතරම් කම්පනයක්‌ද ධර්මසිරි පාසල් කාලයේ පටන් මා හඳුනාගෙන සිටි ඉතා සමීප හිතවතා. මේ වියෝව අපට හරියට බලපෑවා මේ වගේ රටට වටිනා අය..... අවසානයේදී ඉතින් හැමදෙයක්‌ම හැම කෙනෙක්‌ම දාලා යන්න වෙනවා.

එදා මරණෙට ගියාම මට ඇතිවුණු සිතිවිල්ල තමයි ඒ. අපිට කිසිම දෙයක්‌ ස්‌ථිර නැහැනේ. අපි නොසිතූ වෙලාවක හැම දෙයක්‌ම දාලා යන්න වෙනවා. කුලරත්න ආරියවංශ ගීයේ නිමිත්ත එසේ හෙළිකළා. ගීතය ගැන අසද්දී සෝමතිලක ජයමහ ශිල්පියාද ජීවිතයේ අනියත බව මෙනෙහි කළා.

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා

දුකේදීත් සැපේදීත් එකට සිටි අය මල් මෙන් පරව යද්දී..... ලෝකයේ අනියත බව සිහිපත් වෙනවා. මේ ජීවිතය සිහිනයක්‌. එය සංසාරයේ මංපෙත් අපට පෙන්වන හීනයක්‌.

සැපසම්පත් හැමදේම අපට දාලා යන්න පුළුවන්. ඒත් දූ දරුවන් බිරිය සැමියා කෙසේනම් වාවන් ද ඒ අය ගැන හිතද්දී. ඒත් හිතට සහනයක්‌ දැනෙනවා. දියණිය ගැන හිතද්දී පුතා ගැන හිතද්දී දුවනියට කවදා හෝ සැමියෙක්‌ ලැබේවි. පුතාට බිරියක්‌ ලැබේවි. එතැන් සිට ඔවුන්ට ජීවිතය ගෙන යා හැකියි. ඒaත් ඒත් ජීවිතයේ මෙතෙක්‌ දුර එන්නට අත්වැල සැපයූ වෙර වීරිය ලබාදුන් බිරිය අතැර යන්නේ කොහොමද.... තනි නොතනියට ළඟ උන් ඈ..... මින් පසු හුදෙකලා වේවි. දමායන්නට බැරි වටිනාම සම්පත ඇයයි.

බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා

ඉමක්‌ කොනක්‌ නොපෙනෙනා මේ බැඳි සෙනෙහස ප්‍රාණවායුව සමග බද්ධ වෙලා. ඒත් මේ අත්වැල ගිලිහෙන දවසක්‌ කවදා හෝ උදාවෙනවා. ඒක නියතයක්‌. ඉතින් සෑම බැඳීමක්‌ම බිඳ දමමින් ඒ නියත ගමන යායුතු වෙනවා.

ජීවිතය හා මරණය.. කුලරත්න ආරියවංශගේ. මේ පද පෙළින් හැඟුම්බර ලෙස අපට කියාදෙන පාඩම පැහැදිලියි.

ධර්මසිරි ගමගේ සොහොයුරාගේ මරණයට සහභාගි වූ මට ඇති වූ කම්පනය මා නැති වූ කාලෙක හුදෙකලා වන මගේ බිරිඳ ගැන ඇතිවූ අනුකම්පාව මේ සිතිවිල තමයි මා අතින් ලියෑවුණේ. මම පද පෙළ සෝමතිලකට දීලා තනුවක්‌ දාලා ගයන්න කිව්ව. නෑ තනුව දාන්න රෝහණ වීරසිංහට දෙමු කියා සෝමතිලක කිව්වා.

කුලරත්න, සෝමතිලක රෝහණ සම්මාදමෙන් හැදුන මේ ගීතය කාටත් පොදු වූවක්‌.... ඕනෑම කෙනකුගේ හදවතට දැනෙන ගීයක්‌....



(දිවයින පුවත්පතේ පල වූ ලිපියකි.)

දමායන්නට නොහැකි මිහි මත
එකම සම්පත ඔබම පමණයි
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි

බැඳී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ හුන්
ළබැඳි සිත්මල් පරව යන විට
පසක්‌වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක්‌මය
සසර මග දකිනා

බැඳුණු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පණ නල සමග රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්‌මන
සියලු බැමි බිඳිනා

පද: කුලරත්න ආරියවංශ
තනු: රෝහණ වීරසිංහ
හඬ: සෝමතිලක ජයමහ

 
Audio: http://www.mediafire.com/?dt02d8r1a2po2oq
Video: http://www.youtube.com/watch?v=SS35A5RkCXQ

Thursday, March 14, 2013

මේක මිතුරෙකුගේ බ්ලොග් එකකින් ගත්තේ

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්........
Labels: මට හිතෙන හැටි.....

මට ගීතයක් ringtone විදියට දාන්න පුළුවන් ජංගම දුරකතනයක් ගත්ත දවසේ ඉඳං මේ වෙනකොට අවුරුදු 6 කට ලංවෙන්න කාලයක් පුරා මගේ ringtone එක විදියට භාවිතා කරපු තවමත් භාවිතා කරන මම ආසම කරන ගීතයක තේරුම...........හ්ම්ම්ම් ඇත්තෙන්ම ව්‍යංගාර්තයෙන් අදහස් කරන දේ දවස් කීපයකට කලින් දැනගන්න ලැබුනා.සංවේදී ආදර ගීයක්  කියල හිතන හිටියට ඊට වඩා ගොඩක් හෘදයංගම සැගවුණු ආදරණීය කෙදාන්තයක් ඒ වචන වල තියනවා කියලා තේරුණා නිසා සහ මම ආසම කරන ගීතයක් නිසා මේගැන කෙටි සටහනක් ලියන්න හිතුනා.

මෑත  කාලයකදී තෝරාගත් පුද්ගලයෙක් නිසා එම පුද්ගලයාට පමණක් විශේෂ උන නාද රටාවක් දැම්මත් බොහෝ වෙලාවට දැන් නම් සෑම විටම මට දුරකතන ඇමතුමක් එනකොට ඇහෙන්නේ මම මේ කතාකරන ලැස්ති වෙන සින්දුවේ මාවිසින් සකසාගත් මුල් පද කීපය.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .



ඇත්තෙන්ම මම හිතාන හිටියේ මේ සින්දුවෙන් කියවෙන්නේ පෙම්වතුන් යුවලක, පෙම් කරන ඒත් බාහිර බලපෑම් නිසා හමුවෙන්න බැරි පෙම්වතුන් යුවලක පෙම්වතාගේ සංවේදී ආත්ම කථනය කියලා.ඒත් අහම්බෙන් මගේ දුරකතනයකට ඇමතුමක් එන වෙලාවක මගේ ලගින් හිටපු මිත්‍රයෙක් අහපු පැනයකින් (උඹ දන්නවද සිරාවට ඕකේ තේරුම ?) මම මේ සින්දුව ගැන තවදුරටත් හිතන්න ගත්තා.මදු විතින් හිත සැහැල්ලු කරපු වෙලාවක මෙම ගීතයේ පද වැල් වල  ගැඹුරට ගැඹුරටම ගිහිල්ලා මේ වචන ටික පෙළ ගස්ස ගන්න මට පුළුවන් උනා.

මේක අසම්මත ආදරයක් ගැන එහෙමත් නැත්තන් තේරෙන බාසාවෙන් කිව්වොත් කොට්ටක් පනින එකක් ගැන කියවෙන ගීතයක්.ඒත් මේ වචන ඇතුලේ ලිංගිකත්වය කියන දේට වැඩිය ලොකු අර්ථයක් කැටි වෙලා තියන හින්දා ඒවා එකින එක මම තේරුම ගත්ත විදියට කරුණු ලෙස ගොනු කරනවා.


අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .

ගීතයේ මුල් කොටසින්....පෙම්වතා....හ්ම්ම්ම්ම් මේ චරිතෙට මට දෙන්න වෙන හැඳින්වීමක් නෑ.කතාවේ පෙම්වතා පෙම්වතියට කියනවා ."ඔයා අමතක කරන්න හැමදේම හැගීම වලට විතරක් ඉඩ දෙන්න අවට ලෝකයේ තියන හැමදේම අමතක කරලා මම ගැන විතරක් හිතන්න.අපිට තියෙන්නේ පුංචි වෙලාවයි.හැමදේටම."තේරුම ගන්න පුළුවන් වුන විදියට මේක සමාජ සම්මත නොවන හමු වීමක්.පෙම්වතා පෙම්වතියට කියනවා අමතක කරන්න හැමදේම දැන් මම ගැන විතරක් හිතන්න.සමහර විට පෙම්වතා පෙම්වතියගේ කසාද සැමියා ගෙදර නැති වෙලාවක ඇයව හමු වෙලා වෙන්න පුළුවන්.නැත්තන් නගරයෙන් ඈත පිහිටි නවාතැනක හමුවෙලා වෙන්න පුළුවන්.පෙම්වතිය හිතනවා අපිව කරුවත් දැක්කද?මම මගේ ස්වාමි පුර්ශයාට ද්‍රෝහී වෙනවා නේද මේ කියන වගේ හැගීමකින් ඇය විදවනවා.පෙම්වතා  කියනවා ඔක්කොම අමතක කරන්න අපි දැන් අපේ ලෝකේ අපිට වැඩි වෙලාවක් නෑ කියලා. "ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . ." කියන දෙයින් අදහස් වෙන්නේ කාලය මදි කියන අර්ථය.  

හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .

මේ පද වැල් වලින් ගීතයේ මුල් කොටසට අර්ථයක් විතරක් නෙවෙයි ගීතය පුරාවටම යම් දෙයක් එකතු කරනවා.ඒ පුරෂයාගේ තියන ලිංගික ආත්මාර්ථකාමී භාවය. "හඳ පානේ . . මඳ අඳුරේ . . " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන.කෙලින්ම කියනවනම් පෙම්වතා කියනවා ඔක්කොම අමතක කරලා එන්න අර වැඩේ කරන්න අපිට වෙලාවක් නෑ කියලා.නොපුරුදු නොවුන අත්දැකීමක් කියලා තමයි "අත් පටලා යමු ආයේ . . ." කියන වචන වලින් කියන්නේ.

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .

මම කලින් විස්තර කරපු විදියට පලවෙනි අන්තරා කොටසේ තේරුම කාටත් තේරුම ගන්න පුළුවන් ලේසියෙන්ම.පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් මේ විදියට 'ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී- මම මගෙ හෙවනැල්ලෙන් මිදී' වචන වලින් කියන්නේ ,ඔයා ඔයාගේ සැමියා අමතක කරන්න මම මගේ බිරිඳ අමතක කරන්නම්.දැන් මම ඔයාගේ සැමියා ඔයා මගේ බිරිඳ ඉතින් එන්න හඳ පානේ මඳ අඳුරේ අත් පටලගන්න.
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...

පෙම්වතා මොනවා උනත් පෙම්වතියට සැබෑ ලෙසම ආදරෙයි.ඔහු දන්නවා ඇය කසාද සැමියා එක්ක ඉන්නේ තමන් වගේම කරන්න දෙයක් නැති නිසා කියල.ඒකයි ඔහු කියන්නේ දුක අමතක කරන්න එන විදියකට මුහුණ දෙමු.පුළුවන් තරම් සතුටින් ඉමු කියලා.ඒ අදහස  "හිරකර හසරැල්ලෙන් හැඬුම්...අපි හිනැහෙමු සපුරා පැතුම් . . " කියන වචන වලින් මොනවට පැහැදිලි වෙනවා.

මේ ගීතය විශේෂිත වෙන්නේ දෙවෙනි අන්තරා කොටසේ අන්තිම පද දෙකෙන්."මතු ආත්මයේ හමුවෙන පැතුමින්...යමු වෙන්වී හිමිදිරියේ ...".මෙතැනදී ව්‍යංගාර්ථයක් බොහෝ ප්‍රබල ලෙස ඉස්මතු වෙනවා.අපිට මුලින්ම හිතෙන්නේ ආත්මීය ආදරයක් මේ ආත්මේ බැරිඋනත් ලබන ආත්මේ හරි ලැබෙන්න කියල පතන පැතුමක්.ඒත් ඇත්තටම ඔය පද වලින් කියවෙන්නේ තවදවසක අපි මෙහෙම ආයෙත් හමු වෙමු මේ වැඩේ(සංසර්ගය) ඉවර උනාම ඉක්මනට අපි යන්න යමු කියන අර්ථය.මම කලිනුත් උලුප්පා පෙන්නුවා මෙම සිද්දියේදී කාලය කියන එක බොහොම වැදගත් සාදකයක් කියලා."හඳ පානේ . . මඳ අඳුරේ . . " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන."යමු වෙන්වී හිමිදිරියේ" කියන්නේ සඳ පානත් මඳ අඳුරත් දෙකම ඉවර උනාම එන්නේ හිමිදිරිය නේද?....  

මේ ගීතය ගැන කියනවනම් මෙහි ගේය පද රචනය ප්‍රවීණ ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.මෙහි සංගීතය තනු නිර්මාණය වගේම ගායනය හදබැඳි ගාන්දර්ව වික්ටර් රත්නායකයන් විසින්.මෙහි සංගීතය උද්දීපනය සඳහා සිතාරයක්,වයලීනයක්‌,සර්පිනාවක් වගේම ශේකර් එකකුත් පාවිච්චි කරනවා.ගීතය තවත් හිතට වදින්න හේතුවක් තමයි "අත් පටලා යමු ආයේ . . ." වචන එක්ක ඇහෙන ශේකර් නාදය .


ප.ලි - මම කියපුවා බොරුය කියලා හිතෙනවනම් "අත් පටලා යමු ආයේ . . ."  වචන ටිකත් එක්ක ඇහෙන සංගීතයේ රිද්මය ගැන හිතන්න.