Showing posts with label ක්‍රෂ් කතා. Show all posts
Showing posts with label ක්‍රෂ් කතා. Show all posts

Sunday, July 20, 2014

ක්‍රෂ් ක්‍රෑෂ් වීම ... Crashed Crush


" ශ්...ශ්... මල්ලි මල්ලි ..."

" උඹ නේද ප්‍රගීත් කියන්නේ "

" ඔ.. ඔව් අයියේ .... ඇයි ... ?"

" පොඩ්ඩක් වරෙන්කො මෙහෙට බය වෙන්නේ නැතුව ...තෝව ගිලින්නේ නෑ "

උසස් පෙළ අවසාන වසරේ හිටපු අයියලා හතර දෙනෙක් මම ඉස්ල්කොලේ ඇරිලා ගෙදර යද්දී ,කතා කළා ..
මට එක සැරේම බැලුනේ  මගේ අතිජාත මිත්‍ර මෝරා දිහා. 

"යමං ගිහින් බලමුකෝ ...එහෙම කියපු මෝරා ඉස්සර වුනා ..

" තෝ මොකද? කවුද උගුඩුවො තොට බුලත් දුන්නේ ...? පල යන්න කන පලාගන්නේ නැතුව .."

මෝරා බය වෙච්ච පාර ඉබේම නැවතුනා , 

"උඹ වරෙන් මල්ලි ..තෝ ඔතන හිටපිය මේකව එවනකන්, අපෙන් මැරුම් නොකා  " මෝරාට ආපහු තග දාපු අයියලා මාවත් ඇදගෙන ඉස්කෝලෙට පහලින් තිබ්බ ඔරලෝසු කනුව ඉස්සරහ තිබ්බ කඩේ අස්සට යන්න හැදුවා 

" අනේ අයියේ ඔය කඩේ ඇතුලට යන්නනම් බෑ ..."

" ඇයි මොකද තෝ මහා ඒජන්තගේ පුතාද වර යන්න , " මගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක් මාව කඩේ ඇතුලටම ඇදගෙන ගියා .  
මං ඔය කඩේ අස්සට යන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙවෙයි ,ඔතන තමයි ඉස්කෝලේ කොල්ලෝ සිකරට් බොනවා කියලා ලේබල් වැදිච්ච තැන . අපේ විනය පාලක හාමුදුරුවොත් ඔතන ඉස්සරහ ටික වෙලාවක් ඉඳලා කට්ටියව නෝට් කරගෙන තමා හැමදාම ඉස්කෝලේ ඇරුනම යන්නේ .

ඉතිං යකෝ මම වගේ සුරා සූදුවෙන් තොර සත් ගුණවත් අහිංසකයෙක් කොහොමද ඔය කඩේ ඇතුලේ ඉඳන් මාට්ටු වුනාම ..උදේ රැස්වීමේ ඉස්සරහට ගෙනත් කින්ඩිය දාද්දි ආයේ වසලා හමාරයි .

*******

"මල්ලි දන්නවනේ අපේ ගුණේ ..අන්න ඌට තමයි මේ උඹේ හෙල්ප් එක ඕන කරන්නේ හරිය . ආයේ ඥන් පචන් ගාන්නේ නැතුව කරලා දීපං "

"මොකක්ද අයියේ .." ගුණේ අයියා කියන්නේ ඉස්කෝලේ ප්‍රසිද්ද "මුන්ට ලූස් " ගැන්සියේ ලොක්කා . ගුණේ අයියා - ගුණේ අයියා කිව්වට මිනිහාගේ ඇත්ත නම අසිතද කොහෙද ? එයාගේ වැඩක් බෑ කියලා දත් නැතුව බත් කන්න ඕනේ නෑනේ . 

"උඹ ලියුම් ලියන්න ජගතලු නේ .. අපට ලියුමක් ලියා ගන්න ඕනේ " කොන්ඩේ දිග ඩයනට" දෙන්න"

"කොන්ඩේ දිග ඩයනා ?? අයියේ මම ලියුම්....."

"ඇයි ලියන්නේ නෑ කියන්නද හදන්නේ .."  ඒ ගමන ආවේ පුරුදු කටහඬක් ..අප්පට සිරි උපුල් අයියා ,උපුල් කියන්නේ අපේ පන්තියේ ප්‍රියන්තගේ ලොකු අයියා .. දැන් ඉතින් ලියන්නම වෙන්වා ..

"නෑ අයියේ ලියන්නම් ....  "

ලියුම ලියල දීලා එලියට අවේ පැයකට විතර පස්සේ හැබැයි ඒ අතරේ යෝගට් දෙකක්ම කන්න ලැබුනා , 
මම එනකොටත් මෝරා පාරේ ගාඩ් ගලක් උඩ වාඩිවෙලා බලන් ඉන්නවා . මට දුක හිතුනත් එක්ක, ඇයි යකෝ මේකා වතුර උගුරක්වත් නැතුව එළියේ ඉද්දි මං යෝගට් දෙකකටම දෙසලානේ ආවේ 

*******

පහුවදා ඉස්කෝලේ ඇරලා යද්දී ..

"අර ඉන්නේ මචං කොන්ඩේ දිග ඩයනා ..."

මෝරා පෙන්නුවා ..අප්පට සිරි ..ඩයනම තමා කොන්ඩේ දිග ඩයනා කියනවට වඩා ගැලපෙන නමක් මටත් හිතා ගන්න බැරිවුනා .
 එදා ඉඳන් මායි මෝරයි ඉස්කෝලේ ඇරිලා යද්දී අර කඩේ පහුවුනාම පොඩ්ඩක් වෙලා ඉඳලා හැමදාම කොන්ඩේ දිග ඩයනා බලලා යන්න පුරුදු වුනා . අම්මේ එහෙම ලස්සනක් . 

හැබැයි වචනයක්වත් කිව්වේ නෑ ගුණේ අයිය ගැන දන්නා නිසා .

දවසක් උපුල් අයියා හම්බ වුනාම 

" අයියේ මොකද ගුණේ අයියගේ වැඩේ හරි ගියාද "

" මොන වැඩේද බං?"

" අර කොන්ඩේ දිග ඩයනගේ වැඩේ "

" අප්පා මතක් කරන්න එපා "

" ඇයි මොකෝ ?"

" මොකෝ තමා ඒකිට අර අජන්තයා ට්‍රයි ලු ... කුන්ග්ෆු අජන්ත ..වීල් පාක් එක ළඟ ගෙදර ? තව ටිකෙන් කන්න වෙන්නේ නැවකට "

"කුන්ග්ෆු අජන්ත කිව්වම මමත් නිකන් ගැස්සිලා ගියා .. Y.M. B.A. එකේ කුන්ග්ෆු ක්ලාස් කරන අජන්ත හෙවත් අජන්ත මාස්ටර් කියලා මුළු ටවුමම දන්න පොර .අපොයි එක කිව්වට පස්සේ අපි දෙන්නා ඩයනා ව බැලිල්ල අත ඇරලා දැම්මා .  මොකටද ටකරං කන්නේ නිකං ?

*******

"ප්‍රගීත් ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා ..."

"මොකටද ? "

"මම කොහොමද දන්නේ ගිහින් බලාගන්නැ එකයි ඇත්තේ ...."

 පණිවිඩේ ගෙනාවේ අපේ පන්තියේම හිටපු ශිෂ්‍ය නායිකාව දිනිති .. 

"මේකිගේ ගෑස් ..යකෝ"  මම එහෙම හිත හිතා ප්‍රින්සිපල් ඔෆිස් එක පැත්තට ගියේ ටිකක් බයෙනුත් එක්ක .

"ප්‍රගීත් මේ තියෙන්නේ සර්වොදේ ශිෂ්‍ය නායක කෑම්ප් එකට යවන ළමයි ලිස්ට් එක . ඔයා එක්ක තව හතර දෙනෙක් යනවා කනිෂ්ට ද්වීතීක අංශයෙන් . කට්ටියටම පණිවිඩේ දීලා ලෑස්ති කරගන්න . හෙට දහය වෙද්දී කට්ටියම එක්කන් ඔෆිස් එකට එන්න මම ඉතුරු ටික කියන්නම්" 


*******

සර්වෝදේ ප්‍රිෆෙක්ට් කෑම්ප් එකට ගිහිං ඉස්කෝල අනුව පෝලිම් ගැහිලා ඉන්නකොට නික්ම පැත්ත හැරිලා බලද්දී ... 

දෙයියනේ ඩයනා ....කොන්ඩේ දිග ඩයනා ... මට නිකං ඇස් අදහා ගණනත් බෑ . හැබැයි මේකි පැත්තවත් බලන්නේ නෑ . ආඩම්බරෙන් ඔලුව කෙලින් කරගෙන බලාගෙන ඉන්නවා . 

ඊළඟට තිබ්බේ ඉස්කෝල ඔක්කොම මිශ්‍ර වෙන විදිහට කණ්ඩායම් හැදෙන එක . එක කණ්ඩායමකට හයදෙනයි . අප්පේ දෙන දෙයියෝ ගෙටත් පැනල දොරත් කඩලා දෙනවා කියන්නේ මේවා තමයි . 

මායි ඩයනයි දෙන්නම එකම ගෘප් එකේ . 

*******

"ඔයා කොන්වන්ට් එකේද? "

" හ්ම්ම් "

"නම මොකක්ද ?"

" කුමුදු "... 

ෂාහ්... ඔබ දකින දකින දිනෙක මහද පොකුණු තලාවේ.... කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ 

"මම ප්‍රගීත් "

" හ්ම්ම් "

" මේ සැරේ O/L කරනවද ? "

" නෑ මම මේ සැරේ A/L කරන්නේ ..."

හප්පේ මදැයි කොලා ..නිකං උස්සලා පොළොවේ ගැහැව්වා වගේ . 

" ආ ඇත්තද අක්කේ මම මේ ලබන අවුරුදේ A/L කරන්නේ ... " ඔක්කොම ඉවරයි වගේ හිතුනට කොහොම නොබලා ඉන්නද මේ දිහා . 

දින පහක නේවාසික ශිෂ්‍ය නායක කඳවුරේ' තුන්වෙනි දවස යද්දී ඩයනා මාත් එක්ක හොඳටම යාලු වුනා . අර කලින් තිබ්බ ආඩම්බර ගතිය , නපුරු ගතිය නැත්තටම නැතිවෙලා,  කෑම කන්න යනකොටත් මම එනකන් ඉන්න , නැත්තම් එයා එනකන් මම බලන් ඉන්න තරමට හිතවත් වුනා . 

හැමදාම රෑ අටහමාර වෙනකොට සේරම වැඩ ඉවර වෙනවා .. රෑ නවය වෙද්දී සියලුම දෙනා නවතින්න දීල තියෙන කාමර වලට යන්න ඕන . අටහමාරට වැඩ ඉවර වුනාට අපි දෙන්න හැමදාම රෑ නවය කිට්ටු වෙනකම්ම කතාකර කර ..සින්දු කියකිය ඉඳල තමයි යන්නේ . අපිට එකට තව පහසුවක් වුනේ අපේ ගෘප් එකේ හිටපු අනික් හතරදෙනා අපිට වඩා බාල අය වීම . උන් අපි කියන දෙයක් හැර වෙන දෙයක් කරන්නේ නෑ .

කොහොම හරි අන්තිම දවස වෙනකොට අපි හුඟක් හිතවත් වෙලා හිටියා . අන්තිම දවසේ ප්‍රසංගයේදී අපි දෙන්නා සිංදුවකුත් කිව්වා .. කිව්වේ මොකක්ද දන්නවද ... "පාන තියා බුදු සාදුට හිමිදිරියේ "  සිංදුව... 

එදා ආපහු ගෙදර යන්න පිටත් වෙද්දී නිකන් දුකයි දුකයි වගේ ... පපුව ඇතුලේ නිකන් ගිනි ගන්නවා වගේ ..

" මල්ලි ආපහු හම්බවෙයිනේ .. මම ඔයාලගේ ගෙදර ළඟ තියෙන ඇක්වා එකේ ක්ලාස් එනවා .. මගදී දැක්කොත් කතා නොකර යන්න එහෙම එපා හරිද? "   

හිනාවෙලා කිව්වට ඇස වල කඳුළු පිරිලා තියෙන හැටි මම හොඳට දැක්කා .

"හා අක්ක් ක් කේ ..." මටත් වචන හිරවෙන්න වගේ ආවා .

*******

 "මොකක්ද හු.... උඹට වෙලා තියෙන්නේ ..නිකන් අරවා කාපු රිලවා වගේ උඩ බලන් ඉන්නේ ....?
වරෙන් යන්න ග්‍රවුන්ඩ් "
මෝරට මගේ මේ හෝන්දු මාන්දු ගතිය හෙන ප්‍රෙහෙලිකාවක් .  මම හැබැයි ඌට කිසිදෙයක් කිව්වේ නෑ .

"මට බෑ බං උඹ පලයන් ..වද නොදී ..."

"ඕන මගුලක් කරගනිං තෝ තනියෙන් මොකක් හරි කොක්කක් ගහන්න ගිහින් කෙලවාගෙන මට එහෙම කියන්න එන්න එපා ඔන්න ."

ඊට පස්සේ හැමදාම මොකක් හරි කියලා මෝරව මග ඇරපු මම කුමුදු අක්කට වචනයක් හරි කතා කරන්න එයාට ක්ලාස් ඇරෙන වෙලාවට ක්ලාස් එක ලඟට ගියා "

*******

හැමදාම ක්ලාස් ඇරලා එද්දී මායි මෝරයි සල්ගාදු හෝටලෙන් මාළු පාන් කන එක පුරුද්දක් , එදත් එහෙම මාළු පාන් දෙක කාලා එලියට බහින්න හදනකොටම අනෝරා වැස්ස . වැස්ස දැක්ක විතරයි අපි දෙන්නට ආයේ ඊට වඩා සතුටක් නෑ , පොත් දෙක කමිසේ උස්සලා දාගත්තා බැනියම අස්සෙන් . වැස්සේම පාරට පනින්න සෙට් වෙලා අඩිය තියන්න හදනකොටම 

" ප්‍රගීත් ....ප්‍රගීත් මල්ලි "

මම පඩියේ ඉඳන් පාරට වැටෙන්න ඔන්න මෙන්න ගිහින් යන්තං පොඩි ජිම්නාස්ටික් පාරක් දාලා බැලන්ස් වෙලා කෙලින් වෙද්දී ,මෝරා තොහ් ගාලා වතුරට පැනලා ඉවරයි . ආපහු හැරිලා බලද්දී අම්මේ කුමුදු අක්කා 

" තෙමි තෙමී යන්න නේද හැදුවේ හොරගෙඩියා ... එන්න මාත් එක්ක යමු . "

මට මෝරා දිහා බැලුනා ... ඕස්ට්‍රේලියාවෙන් පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කරපු සරණාගතයෙක් වගේ තෙමි තෙමී කටත් ඇරගෙන බලන් ඉන්න මෝරා දැක්කම හිනා යන්න ආවත් ,කට තද කරගෙන ඌට ඇහැක් ගහලා මම කුමුදු අක්කත් එක්ක එක කුඩේ යටින් හිමින් හෙමින් ඇවිදගෙන ආවා .

මෝරා තාමත් අර ටෝච් එලිය දිගේ බිමට වැටුණු මිස්ටර් බීන් වගේ අපි යන දිහා බලන් ඉන්නවා .

මම කුමුදු අක්කත් එක්ක එකම කුඩේ යටින් ගියාට මොකද බාගයක් තෙමෙනවා . මොකද එයාගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව යන්න මාර ගේමක් දෙන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ

" අනේ ඔයා තෙමෙනවනේ මල්ලි .. කුඩේ ඇතුලට එන්නකෝ ඇඹරෙන්නේ නැතුව .. මගේ ඇඟේ පොඩ්ඩක් ගෑවුනා කියලා ඔයාගේ පාළුවක් යන්නේ නෑ "... අපෝ මෙයාගේ ලැජ්ජාව ..."

කොහොම හරි තෙමි තෙමි නොතෙමී සතුටින් ගෙදර ළඟටම ගියා ...

"අක්ක ඇයි තනියම අද " ..

"නෑ මල්ලි දැන් ක්ලාස් එක ලනගට තාත්තා එනවා ... " අපි ක්ලාස් එක ලඟට යනකොට වැස්සත් පායලා . 

ගෙදර එනකොට මෝරා ඇවිත්, කොච්චර කතා කලත් මූ නෙවෙයි වචනයක් කතා කලේ ...

"තොගෙයි මගෙයි යාළුකම් ඉවරයි"

,මෙහෙම කියපු මෝරා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා . ඕකා කොයි වෙලේ හරි යාලු වෙන්නේ නැතැයි.. යකෝ අද දවසේ ගමන ගැන කොච්චර කල්පනා කරන්න තියෙනවද මට , මේ උරුලාවා හුරතල් කරන්නේ නැතුව . අනේ තරහ වෙයන් ,මට පාන් යැයි ..

*******

පහුවදත් මං කුමුදු අක්කගේ ක්ලාස් එක ඇරෙන වෙලාවට ගියා , මග අරින්න දෙයක් නෑ මෝරා කොහොමත් මගේ පස්සෙන් එන්නේ නෑ දැන් ...

 අක්කා අද හරි කලබලෙන් ..

"ඇයි අක්කේ ... අප්සට් එකෙන් වගේ ?"

" අනේ මල්ලි ඔයාට පුලුවන්ද මාත් එක්ක අපේ ගෙදර යන්න එන්න .. අර පිස්සෙක් මගේ පස්සෙන් පන්නනවා ... අද ක්ලාස් පටන් ගන්නකොටත් ආවා .. ඉස්සර මෙච්චර කරදරයක් තිබ්බේ නෑ ද ක්ලාස් ඉවරවෙනකොට එනවා කිව්වා ... අනේ මල්ලි මාත් එක්ක යන් ...."

අක්කා කියන විදිහට නොයා කොහොමද ,පොඩ්ඩක් ඉන්න මම බයිසිකලේ අරන් එන්නං .

"අනේ මල්ලි ඉක්මනට .."   අඩියට දෙකට ගෙදර දුවපු මම බයිසිකලෙත් අරන් ආවා ..

"යමු අක්කේ ... ඇයි .. "   අක්කා මගේ දිහා ගල්බීත වෙලා බලන් ඉද්දි මටත් ප්‍රෙහෙලිකාවක් .

"දැන් ඔයා බයිසිකලේ ගෙනාවේ මාව දාගෙන යන්න නෙවෙයිද ? අනේ ඕකේ නැගලා යමු මල්ලි .."

අප්පට සිරි ..කරන්න් දෙයක් හිතන්නත් කලින් අක්කා බාර් එක උඩ වාඩිවුනා .. මමත් ඉතිං පාගගෙන යනවා .. අක්කගේ කොන්ඩේ හුළඟට ඇවිත් මගේ මූනේ වදිනවා .... එත්  අක්ක බයවෙලා නිසා වැඩක් නෑ ..

ටික දුරක් යනකොට වේගෙන් ආපු ට්‍රේල් බයික් එකක් පාර හරස් කරලා නැවතතුවා , මං අක්කත් එක්ක නොවැටී බේරුනේ අන්තිම අමාරුවෙන්. මම බැස්සත් අක්ක තාම බයිසිකල් බාර් එකේ වාඩිවෙච්ච් ගමන් .. අක්කත් එක්ක මම බයිසිකලේ අල්ලාගෙන හිටගෙන .....

අප්පට සිරි කුන්ග්ෆු අජන්තයා ......මට නිකන් දැනුනේ ගුටි කෑවා වගේ හැගීමක් දැන් මූ මාව සම්බෝල කරයි..

" ආ මෙයාද තමුස්ගේ අලුත් ආරක්ෂකයා ..."

 අක්කා බිම බලාගෙන අඬනවා , මගේ අතට කඳුළු කට සට සට ගාලා වැටෙනවා හරියට ටැප් එකක් ඇරලා වගේ . 

"මීට පස්සේ එනකොට මීට වඩා පණ තියෙන එකෙක් හොයාගෙන එනවා ... මේ වගේ පඟර නැට්ටෙක් නැතුව ... "

"කවුද ඩො පඟර නැට්ටා දෙනවා හොම්බ රිවට් වෙන්න"   කියලා කියන්න හිතුනත් නිකං මැරඩෝනා ගෙන පාරක් කාපු ෆුට්බෝලේ වගේ වෙන්න ඕනේ නෑනේ ,ඒ නිසා කට වහගෙන හිටියා

එහෙම කියපු අජන්තයා ආපහු හරවාගෙන යන්න ගියා මට දැනුනේ නිකන් මුහුද ගොඩගලලා ආපහු ගියා වගේ ..
පපුව ඩිග් ඩිග් නෙවෙයි දඩ බඩ ගානවා වගේ මට තේරුනේ ... 
අක්කා ගෙදර යනකම්ම ඇඩුවා .. මමත් ආපහු ආවට කාටවත් මේක කියන්න විදිහක් වත් නෑ ,මෝරත් තරහ වෙලා .
මට කුන්ග්ෆු අජන්තයාව මරන්න කේන්තියි .. එත් ඉතින් කොරන්නයි 

*******

ඊට ටික කාලෙකට පස්සේ අක්ක A/L කළා ,ඒත් ක්ලාස් එන එක නැවැත්තුව නිසා හම්බවුනේම නෑ . මොකද ඒ කාලේ sms කරන්න, viber යන්න කියලයි . ෆෝන් තියා ටෙලිෆෝන් කනුවක් වත් තිබ්බේ නෑ , ඊ ලඟට මට A/L පටන් ගත්තා . ඒ නිසා ඒ අතර කාලේ දෙතුන් සරෙකට වඩා අක්කව හම්බවුනේ නෑ ..

මගේ A/L පටන් ගන්න කලින් දවසේ මුතියංගනය පන්සලට ගියා මායි, අම්මයි, මෝරයි, මොරගේ අම්මයි ..

බෝධිය ලඟට යනකොට මෙන්න ඉස්සරහට එනවා කුමුදු අක්කා ,නිල් මානෙල් මල් පොකුරකුත් අරන්...

"මල්ලි.... හෙට ඔයාට එක්සෑම් නේද ? මම මේ ආවේ ඔයාට සුබ පතන්න ..මෙන්න මේ මල් ටිකත් පූජා කරන්න .. ඔයාට හොඳට කරන්න පුළුවන්.. "

මට කතා කරගන්නත් බෑ 
බෝධියට මල් පූජා කරන ගමන් අපේ අම්ම ඔරවා ඔරවා බලනවත් , මෝරගේ අම්මා පුදුම වෙලා බලනවත් මෝරා කින්ඩි හිනාවක් කටේ තියන් බලන් ඉන්නවත් මට පේනවා 

"අක්කේ.."

මම වචනයක්වත් කතා කරන්න කලින් ..
"හොඳට එක්සෑම් කරන්න මල්ලි .. ඔයා හොඳට පාස්වෙයි ..ඊට පස්සේ ලොක්කෙක් වුනාම අපිව මතකත් නැතිවෙයිද මන්දා ..."
කියපු කුමුදු අක්කා මගේ අත්දෙකම හයියෙන් මිරිකලා ඉක්මනට දුවලා ගියා ...

*******

A/L කරලා සතියක් විතර ගෙවිලා ගියා . මට කුමුදු අක්කව හම්බවෙන්න හොඳටම වුවමනාව තිබ්බා . මොරත් ගෙදර ගිහින් නිසා මට කතා කරන්නවත් එකෙක් නෑ .කීප සැරයක්ම කුමුදු අක්කලාගේ ගෙවල් පැත්තේ කැරකිලා බැලුවත්  කිසිකෙනක් පේන්න හිටියේ නෑ ..

දවසක් ..

"පුතා ..."

"ඇයි "

"මෙන්න ඔයාගේ යාලුවෙක් ඇවිත් ....."

"කවුද අම්මා ..." කියාගෙනම මම සාලෙට ගියේ මෝරව දකින්න බලාපොරොත්තුවෙන් ...

කුමුදු අක්කා ... මට දුවගෙන ගිහින් බදාගන්න තරම් ආසාවක් ඇතිවුණත් ... 

"ආ එන්න අක්කේ .... වාඩිවෙන්න" 

" අනේ ...වාඩිවෙන්න බෑ මල්ලියා ..අම්මා පාරේ ..මම මේ ඔයාට ආරාධනාවක් කරන්න ආවේ .."

"ආරාධනාවක් ....??? "

"ඔව් , ලබන විසි එක්‌ වෙනිදා මගේ වෙඩින් එක .. ඔයා එන්නම ඕන ....මෙන්න කාඩ් එක "

වෙඩින් එක ....????? මට නිකං පාර මැද ඉඳලා වල් අලියෙක් ගැහුවා වගේ දැනුනේ 

"කා...කා...කාවද අක්කා බඳින්නේ .."

අයියෝ ඔයත් හොඳට දන්න කෙනෙක් , අජන්ත අයියව,     කුන්ග්ෆු අජන්ත කියන්නේ ...

අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................
අජන්ත අයියව.............................

Sunday, June 8, 2014

පලවෙනි ක්‍රෂ් එක.... My First Crush


වෙච්ච සීන් ලේබල් එකට කතාලිව්වේ මුල් කාලේ විතරමද මන්දා ? කොහොම වුනත් වෙච්ච සීන් එකක් ලියන්න හිතුනත් ආපහු මොකක් හරි සීන් එකක් නිසා වෙච්ච සීන් එක ලියන්න බැරිවෙනවා.

අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු "අපි නොදන්න පිං" කතාවේ හිටපු මෝරම තමයි .

අපි උසස්පෙළ පන්තියට එනකොට ඉතින් මෝස්තරේට වගේ උසස්පෙළ පන්ති යන එක ගැන ආයේ විස්තර කියන ඕනේ නෑනේ , මේ A/L පන්ති යනකොට ඉතින් නොයෙක් අයගේ නොයෙක් අරමුණු තිබ්බා ,

  • පාසලට අමතරව තවත් දැනුමක් එකතු කරගෙන හොඳින් විභාගේ පාස් වෙන එක 
  • පාසලින් ලැබෙන දැනුම ප්‍රමාණවත් නැති නිසා නව දැනුම සොයා යාම 
  • ඉස්කෝලේදී කෙල්ලෙක් අල්ලගන්න බැරිවෙච්ච නිසා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් අල්ලගන්න එක .
  • පිටිපස්සෙම පේලියට ගිහින් සුපුරුදු ආතල් එක ඩබල් එකේ ගැනීම .
  • යාළුවගේ කෙල්ල යන නිසා උගේ පස්සෙන් යන්න සිද්ධ වීම ,
  • තමන්ගේ කෙල්ල යන නිසා යන්න සිද්ධවීම .
ඕකී මෙකී නොකී හැම හේතුවක් නිසාම වගේම ගිහිල්ලා බලන්නත් ක්ලාස් යන්නම් වුනා , කොහොම වුනත් බොහෝ වෙලාවට ක්ලාස් එකට දිගටම යනවද නැද්ද කියන එක තීරණව වුනේ , සර්ගේ හොඳකමවත් ,උගන්නන දේවල් හොඳවීම වත් නෙවෙයි ඉන්න ගෑල්ලමයි ප්‍රමාණය සහ උන්ගේ කොලිටිය ...

$$$$$$$$$$$$$$$$

මට බොහෝ වෙලාවට ඔය ක්ලාස් හැම එකකටම එක දවසක් හරි යන්න වුනා , මොකද නිල පෙම් හසුන් ලියන්නා හැටියට එක එකාගේ ගෑල්ලමයි බලන්නයි උන්ට ලියුම් ලියන්නයි , ඒ වගේම අධික ගාස්තුවක් අය කරගෙන (රුපියල් දහයක් විතර ) ඒ ලියුම් ගිහින් දෙන්නයි වගේ අතිශය භාරදූර කාර්යයන් වලට මගේ දායකත්වය නොමසුරුව දීමේ ප්‍රතිපලයක් හැටියට . ලියුම් ගිහින් දෙන්නේ මෝරා මොකද උගේ හැකර කටට බයේ  ඌ බෝම්බයක් දුන්නත් කෙල්ලෝ ගන්නවා 

මේ යන ගමන් වලට මෝරා සහභාගී කර නොගැනීම මගේ විරුද්ධත්වයට හේතුවක් නිසා ,ලියුම් ලිවීමේ ආනුභාවයෙන් මගේ උදහසට ලක්වෙන්න කවුරුත් කැමති වුනේ නෑ.

හාපුරා කියල පටන් ගන්න අලුත් ෆිසික්ස් ක්ලාස් එකකට ගියේ ඔය එකකට වත් නෙවෙයි ,මචන් හොඳට ඉගෙන ගෙන එලට එක්සෑම් කරමු කියල මායි මෝරයි දෙන්න දැඩි එකඟතාවයකට ආපු නිසා ..

උනන්දුවේ තරම කියන්නේ ගිහින් වාඩිවුණේ ඉස්සරහ ඉඳන් දෙවැනි පේලියේ පන්තියේ මැදින් තියෙන පාරේ පැත්තට වෙන්න , එහා පැත්තේ ගෑනු ළමයි ... 

මං අයිනේම මෝරා මට ඇතුල් පැත්තෙන් පිරිමි ළමයි පැත්තට වෙන්න තමයි වාඩිවුණේ .අනිත් එවුන්ට ලියුම් ලියලා , ලියපු ලියුම් ගිහින් දීලා , උන්ගේ පවුල් ප්‍රශ්න විසඳලා , එක එකාව ශේප් කරලා , අඬන එවුන් නලවලා , බූට් කාපු ඇනගත්තු එවුන් සනසලා මට ලව්කරනවා කියන එක නිකං වහ කදුරු වගේ වෙලා තිබ්බේ , මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑයි.

$$$$$$$$$$$$$$$

ක්ලාස් එක නැගලා යනවා ..... අපිත් පුදුම උනන්දුවකින් දැන් අහගෙන ඉන්නවා .

"එක්ස්කියුස් මී ..." හරිම සුමුදු ලස්සන කටහඬකින් කතා කරන සද්දයක් ඇහුනා ..

කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න  ..මට එක සැරේම මතක් වුනේ ඒ පදය

හැරිලා බැලුවා ... අම්මේ ......

නෙලුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල්පෙති දෙන්න

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කේරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

සින්දුවේ ඉතුරු ටිකත් මතක් වුනේ නිකං කෆීර් එකක් නැග්ගුවා වගේ ...

"ම්ම්ම්ම්ම් මො මො  මොකද  ?කියලා ඇහුවා නෙවෙයි පැටලිලා පැටලිලා ඇහුනා ...

"අනේ ප්ලීස් මගේ රෙඩ් පෙන් එක වැටුනා ඔය ඔයාගේ කකුල ගාව ,තරහා නැතුව අරන් දෙනවද?"

ඒ ටික ඇහුණාම මාව නිකං සීතල වෙලා ගියා .. ඔක්කොම පැත්තක තියලා මම හිටගත්තා .... අයියෝ අර කෙල්ල ඔලුවේ අත ගහ ගත්තා ...මට තාම කරන්න ඕන මොකක්ද කියලා නිනව්වක් නෑ , හිටගෙන ඇඹරෙනවා .

" මොකක්ද ළමයා හිටගෙන කරන්නේ .....ඇයි..?"

" නෑ සර්..."

පටස් ගලා වාඩිවෙලා පෑන ඇහිඳගත්තා ...

දික්කලා ඒ පැත්තට ... "තැන්ක්ස්"  අනිත් කෙල්ලෝ ටික ලේන්සු හපාගෙන හිනාවෙනවා , අද ඉවර වුනු ගමන් පට ගාලා මාරුවෙන්න් ඕනේ නැත්තම් බඩුම තමා ..එවෙලේම හිතා ගත්තා . මෝරා සද්දයක් නෑ.. ඒක තමයි ලොකුම අවුල ,මූ මොන කෙලියක් කරයිද දන්නේ නෑ ,

$$$$$$$$$$$$$$$

ක්ලාස් එක ඉවර වෙලා යන්න ගිහින් කෝකටත් කියලා ගේට්ටුව ලඟට වෙලා හිටියා ... මෙන්න අර කෙල්ල දැක්කෙවත් නෑ වගේ ගියා ... අයියෝ සල්ලි

මායි මෝරයි ඉතිං අශ්වයා මැරිච්ච ජෝකියෝ වගේ ගෙදර ආවා , කවදාවත් නැතුව මෝරා නිශ්ශබ්දයි , එක තමයි උහුලන්න බැරි . ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සියල්ලම මේකා දැක්කනේ , අද ඉඳලා හමාරයි . ගෙදර ලඟට යනකොට මෙන්න වැට ළඟ අම්මා එක්ක චාන්දනී අක්කා කතාවක් , අපේ අම්මගේ Bridal Dressing ව්‍යාපාරේ  සමහර වෙලාවට දුර යන වැඩක් සෙට් වුනාම අම්ම එක්ක යන්නේ චාන්දනී අක්කව . එහෙම කීප වතාවක් දැකලා කතා කරලා තිබ්බට මං වැඩිය එයත් එක්ක ආශ්‍රයක් තිබ්බේ නෑ.

" ආ මල්ලි එන ගමන්ද? "

" ඔ ඔ ඔ ඔ ඔව් අක්කේ ....."

ගොත ගැහුනේ ඇයි .. ගොත ගැහෙන්නේ නැතුව තියෙයිය ... මෙන්න අර රෙඩ් පෙන් ගෑල්ලමයා ඉන්නවා චාන්දනී අක්කගේ අතේ එල්ලිලා ...

දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ...

අහක් බලන් හිටියේ හරියට දැකලවත් නැති ගානට

"ආ මල්ලි කලින් අපේ නංගිව දැකලා නෑනේ නේද? අද තමයි මෙහෙ ක්ලාස් ආවේ "

ඒ පාරනම් යාන්තම් හිනාවුනා ..

මගේ හිනාව නිසා ඇලදිවත් පෙනුනද මන්දා ... මෝරයි මායි ගේ ඇතුලට ගියා .. ඒ වුනාට හිත නම් දොරෙන් ඇතුලට ගන්න බැරිවුනා .

මෝරා තාම සයිලන්ස් ...

$$$$$$$$$$$$$$$

"මචං ... "

"මොකෝ"

"මේ අර කෙල්ලගේ අක්ක අපි දන්නවනේ බන් කලින් "...ඒ මෝරා

" මොන කෙල්ලද .." මම එහෙම නොදන්න පාට් එකෙන් කිව්වට මගේ කන්දෙක රත් වෙනවා මට හොඳින්ම දැනුනා .

"අර උඹ ක්ලාස් එකේදී පෑන අහුලලා දුන්නේ බ්‍රේක් ඩාන්ස් දාලා "

අම්මප ඔය කතාවලට තමයි මුගේ බෙල්ල අඹරවන්න හිතෙන්නේ

"දැන් මොකක්ද උඹ කියන්න තටමන්නේ ... මං ඒ කෙල්ලට පෑන අහුලලා දුන්නා කියලා උඹ හිතුවද මං ඒකිට ලව් කියලා "

මම හිතුවේ මෝරා - ඉතින් බං ලව් කරපංකෝ මම ෆුල් සපෝට්  කියයි කියලා

එත්

" අපෝ නෑ ..උඹ ඔය ලව් සීන් වලට වැඩි උනන්දුවක් නැති එකා කියලා මම දන්නවනේ ... මට නම් එකී දැක්ක වෙලේ ඉඳන් හරි අමුතුයි බං... මට හිතෙනවා මම මෙච්චර කල් හොයා හොයා හිටපු කෙල්ල හම්බවුනා වගේ කියලා ...."

අනේ  දෙයියනේ මීට වඩා හොඳ නැද්ද ඔලුවට කුලුගෙඩියකින් ගැහුවනම් ,

" කවුද දන්නේ එකී දැනටමත් කොල්ලෙක් එක්ක සෙට්ද කියලා ...." මං ඒටික කිව්වේ හරිම අමාරුවෙන්

"පලයන් බන් යන්න ඒකිට කොල්ලෙක් නෑ ..." මෝරා ඇඳේ තිබ්බ කොට්ට දෙක එක සැරේම පොළොවේ ගහලා නැගිට්ටා

"උඹ කොහොමද දන්නේ "

"ඇයි මැටි ගෙම්බෝ කොල්ලෙක් ඉන්නවනම් අක්ක එක්කන් යන්න එනකං බලං ඉන්න ඒකිට මාන්දමද "

"හ්ම්ම්ම්"

"මේ මචෝ ..."

"ඇයි? "

"උඹලා අම්මා උන්ගේ ගෙදර දන්නවා ඇතිනේ ...

"හ්ම්ම්ම්"

" අපි පාර අහගෙන නිකං විසිට් එකක් දාලා එමුද '

"ම්ම් හ්ම්ම්"

"මොකද උගුඩුවො හ්ම්ම් හ්ම්ම් ගාන්නේ හැම එකටම , උඹට අනික් හැම එකාටම සපෝට් කරන්න පුළුවන් මට සහයෝහ්ගයක් දෙන්න තමයි බැරි නේද?"

" හා හා ඉතින් බෑ කිව්වේ නෑනේ .."

" මේ උඹ ඒකිට ට්‍රයිද ?"

"කවුද ...? මම....? පිස්සුද උඹට .. එහෙම එකක් නෑ "

"අනේ මචං එහෙනං ආන්ටිගෙන් අහපන්කෝ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා ."

"පිස්සුද යකෝ ...පුත්‍ර භාවය අහෝසිවෙන වැඩනේ තෝ කියන්නේ"

ඒ පාරනම් මෝරාට මලම පැන්නා ....

"හරි උඹ එපා මමම ආන්ටිගෙන අහන්නම්කො ..."

"හැබැයි පොලොස් කොට්ටෝරුවා උඹ ඕක මගේ නම විකුනලා එහෙම අහලා තිබ්බොත් මම තෝව හම ගහනවා "

"පල යන්න හිටපන්කෝ කියපු මෝරා අපේ අම්මගේ ඔෆිස් කාමරේ වගේ තිබ්බ ගෙදර ඉස්සරහම කාමරේ පැත්තට ගියා "

$$$$$$$$$$$$$$$

විනාඩි පහක් ගියේ නෑ , හතරැස් රත්තරන් පාට පෙට්ටියක් අතේ තියාගත්ත මෝරා ,නට නටා කාමරේ ඇතුලට පැන්නා.

"දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා ,දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා .."

" මොකද --- කෝ . ඔහ තව පොඩ්ඩෙන් තීන්ත කුප්පිය...." මෝරා නටපු නැටිල්ලට මම මගේ හීරෝ තීන්ත පෑනට තීන්ත දදා හිටපු කුප්පිය තව ටිකෙන් හතරවරම් ගහනවා ,

"මචන් ප්‍රගියා .. ඔන්න දෙයියෝ අපි දිහා බැලුවා ..අපි කිව්වට මගේ දිහා ..."

"ඇයි..."

"මේ තියෙන්නේ ගැලවුම් කරු .....ආන්ටි කිව්වා උඹත් එක්ක ගිහින් හෙට ඉස්කෝලේ අරුණට පස්සේ මේක චාන්දනී අක්කට දීල එන්න කියලා .."

"මොකක්ද ඔය .."

"මොකක් වුනාම අපිට මොකද බං.... දෙවියනේ අද සිට මම ඔබ කෙරෙයි ඉමහත් භක්තියෙන් කල් ගෙවමි ..."

"හොල්මං..... මුගේ විකාර ... " කොහොම වුනත් අර ගෑල්ලමයා දකින්න මගේ හිතෙත් ලොකු ආසාවක් නලියන බව මට දැනුනා , එත් වැඩක්යැ ... අපි පුවක් ගහක නැග්ගොත් එකෙත් දෙබලක් ... මූටත් එකිවම ඕන වුනානේ ,ෂෙක් ....

$$$$$$$$$$$$$$$


"මේ මතක් ඇතුව හුලං ගහන් වරෙන් අදම ..නැත්තම් උඹ හෙට කිව්වොත් ඩබල් දාන්න බෑ හුලන් මදි කියලා තොවත් බාවලා බයිසිකලෙත් ගිනි තියනවා , මම යනවා කොන්ඩේ කපන්න "

මටත් සද්දයක් දාලා  මෝරා යනවා කොන්ඩේ කපන්න . මූ ලැස්ති වෙන හැටි දැක්කම මට මන් ගැනම දුකයි මොකද යකෝ ඉඳලා ඉඳලා කෙල්ලෙක් ගැන අමුතු හැගීමක් කියලා එකක් ඇතිවුනාමයි ... කෙලියා නේද එකටත් ..

වෙලාවකට ඔය අතිජාත මිත්‍රයෝ කියන එවුනුත් මහා වදයක් , මේ පෙන්නේ නැද්ද ?

කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරෙනකම් හිටියේ හරිම අමාරුවෙන් , මෝරා මට වඩා අපහසුවෙන්ද නැත්තම් මම මොරට වඩා අපහසුවෙන්ද කියන්න දන්නේ නෑ ... පීරියඩ් වලට සර්ලා ටීචර්ලා ආවද නැද්ද කියලවත් මතක් නෑ .

"මේ අපි දැන් තදියමෙන් දිව්වා කියලා වැඩක් නෑනේ ... අරකිටත් එයාලගේ ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න ඇරලා යමු , "

"ඉතින් යකෝ ඔක්කොම ඉස්කෝල ඇරෙන්නේ එක වෙලාවටනේ "

" හරි යකෝ මැටි මෝරෝ , ඒ වුනාට අපි බයිසිකලෙන් ගහින් එතන එකී හිටියේ නැත්තම් මේක දීලා අරවා කාපු රිලව් වගේ එන්න වෙයි , ඒකනිසා එකී ගෙදර ගිහින් වොෂ් එකක් දාලා සෙන්ටිමෙටල් වෙලා ඉන්න ඇරලා යමු. "

"අම්මප ඒකත් ඇත්ත , අර ඥානතිලක සර් කිව්වා වගේ උඹටත් හිටපු ගමන් මොලේ පෑදෙනවා නේ "

"පල යන්න "

$$$$$$$$$$$$$$$

ඉතින් අපි දෙන්නා නිකං පාර්සලයක් දෙන ගියාට හිතෙන් ගියේ මනමාලියක් බලන්න යනවා වගේ , ගෙදරට ලන්වෙන්කොටම මම මෝරාගේ අතේ දුරින් ගියේ මගේ පපුවේ සද්දේ ඌට ඇහෙයි කියලා බයෙන් වගේ , ඌත් මගේ ලඟට ආවේ නැත්තේ ඒ නිසාමද මන්දා

අප්පේ පිළිවෙලට අතු ගාපු මිදුල මැදම වගේ තියෙන විලාට් අඹ ගහයට හදපු බැංකුවේ දිගාවෙලා පොතක් කියවන්නේ මේ එයා නේද?

මායි මෝරයි දෙන්නම එක සරේ දෙන්නට දෙන්නා දිහා බැලුනේ නොදැනුවත්වම ,


" චාන්දනී අක්ක ඉන්නවද?"

"අහ.... ආ ප්‍රගීත් ....ඉන්නවා එන්න ....."

කෙල්ල මගේ නම කියනවා ඇහුණාම මොරගේ මූණ කළු වුනා

" එකී කොහොමද උඹේ නම දන්නේ .."මෝරා රහසින් ඒ වුනාට උපරිම කේන්තියෙන වගේ මගෙන් අහනවා

" මං කොහොමද ඌරො ඒක දන්නේ "

" යමන්කෝ "

"ආ එන්න මල්ලි ...."

" අක්කේ අම්මා මේක දීලා එන්න කිව්වා ...."

"ආ තැන්ක්ස් මම ඊයේ ගියාට මේක ආන්ටිගෙන් ඉල්ලන් එන්න අමතක වුනා ආවට පස්සේ තමයි මතක් වුනේ , මල්ලිලා ඔය ඉස්කෝලේ ඇරලා යන ගමන්ද? "

"ඔව් අක්කේ ...අපි ගිහින් එන්නම් "

" හා ඉන්න ඉන්න මල්ලි මේ ආවමයි නේද ... ? කාලම යමු මම මේ උයන ගමන් අද ටිකක් පරක්කු වුනා "

" ආ අක්කේ මේ මේ ...."

"අනේ මේ මාලනී ආන්ටි මුකුත් කියන්නේ නෑ මෙහෙන් කෑවා කියලා පොඩ්ඩක් ඉන්න "



"ආ ඔය මේ අපේ තාත්තගේ බිස්නස් එකනේ , පාර අයිනේ ගහලා තිබ්බ බෝඩ් එක නිතරම කවුරු හරි ගලවනවා , එක නිසා දැන් මේ ඇතුලට වෙන්න් ගහලා තියෙන්නේ , කොහොමත් කට්ටිය දන්නා නිසා අවුලක් නෑ"

අක්ක එහෙම කිව්වේ මෝරා අඹ ගහට ඉස්සරහින් ගහල තිබ්බ බෝඩ් එක කියවනවා දැකලා ,

" ගම් බිත්තර සහ කරී චිකන් " කියලා කහ පාට ලෑල්ලක දුඹුරු පාටින් ලියලා තිබ්බ බෝඩ් එකේ බිත්තර සහ චිකන් මිල ගණනුත් සඳහන් වෙලා තිබ්බා .

"සුරංගා ප්‍රගීත්ලා එක්ක ටිකක් කතා කරකර ඉන්න මම ඉක්මනට උයනකම් "

///""සුරංගා ""///


අපි දෙන්නටම එක සැරේ නම කියවුනාට බයත් හිතුනා කාටවත් ඇහුනද කියලා

$$$$$$$$$$$$$$

අනේ සොරි ප්‍රගීත්එදා පෑන වැටිලා ඔයා අරන් දෙන්න ගිහින් කට්ටිය විහිලු කලාද ?"

" අනේ නෑ එක අවුලක් නෑ"

" මාලනී ඇන්ටිට පුතෙක් ඉන්නවා අපේ ක්ලාස් වලමයි කියලා අක්කා කිව්වට මම ඔයාව දැකල තිබ්බේ නෑනේ "

සුරංගා කියවනවා හරියට ඉස්සර ඉඳන් දන්නවා වගේ ..මොරගේ කට ඇදවෙලා .. ඌ දැන් තරහින් පිපිරෙනවා කියලා මට හොඳටම ෂුවර්

" ඔයාව මාත් මීට කලින් වෙන ක්ලාස් එකකදීවත් දැකලා නෑනේ "

" ආ එකියන්න් ඔයා ක්ලාස් එන කෙල්ලෝ දිහා බලබලද ඉන්නේ ආ ...ඉන්න අක්කට කියන්නම් ආන්ටිට කියන්න කියලා .."

ෂේක් හතර විලි ලැජ්ජාවයි

"සුරංගා ආ ආ "

හොඳ වෙලාවට අක්කා කතා කළා සුරංගා කුස්සිය පැත්තට දුවගෙන ගියා ...

"මචං ... මේ එයි මොකද බං ....."

මෝරා කතාවක් නෑ

"පල යන්න පාප මිත්‍රයා ... "  මෙන්න මූට මල පැනලා ...

"මොකද මචං "

"පල යන්න"  කියපු මෝරා නැගිටලා එලියට ගියා ....මමත් ඉතින් උගේ පස්සෙන් ගියා

මෝරා අඹ ගහ පහු කරගෙන ගෙයි දකුණ පැත්තට ගිහින් නැවතුනා ..

"මචං බලු වැඩ කරන්න එපා හරිය .."

" මොකක්ද මං කරපු බලුවැඩේ?"

"උඹ අඩු ගානේ මාව අරකිට අඳුන්නලාවත් දුන්නේ නෑනේ .... "

"හරි ඉතිං............................"

"එයි අර බලපන්" මෝරා රහසින් ඒත් වේගෙන් කෙඳිරුවා

අපි හිටපු තැනට චාන්දනී අක්කලාගේ තාත්තගේ කුකුල් කොටුව හොඳින් පෙනුනා ... එතනට ආපු සුරංගා කුකුල් කොටුවේ දැල් දොර අරගෙන ඇතුලට ගියා ආපහු එලියට ආවේ කිකිලියෙක් කකුල් දෙකෙන් එල්ලගෙන , ඊට පස්සේ දොර අයිනේම තිබ්බේ පෙට්ටියකට ඇත දාලා ටිකක් විතර දිග පිහියක් අතට ගත්ත සුරංගා ගෙයි අපිට නොපෙනෙන පැත්තට ගියා ,

ටිකකින් අමුතු සද්දයකින් කිකිළි කෑගහනවා ඇහුනා , මායි මෝරයි දෙන්නට අරගත්තු කටවල් වැහෙන්න කොච්චර වෙලාවක් ගියාද කියන්න මට මතක් නෑ ....

$$$$$$$$$$

ගෙදර එනකොට අම්ම දොර ළඟ .

"තමුසෙලා දෙන්න අර ළමයට කියන්නේවත් නැතුවද ආවේ , මිනිස්සු බය කරන්න එපා මෝඩයෝ ...."
කියපු අම්මා ටෙලිෆෝන් එක දිහාවට ගිහින් කෝල් එකක් ගන්නවා බල බලා අපි දෙන්න කාමරේට රිංගලා දොර වහ ගත්තා ..

එදායින් පස්සේ ආපහු ක්ලාස් වල අන්තිම පේළියම තමා , අයියෝ පලවෙනි ක්‍රෂ් එක