මිත්තරයෝ ටික

Saturday, May 11, 2013

පාදඩයා

" එහෙනම් අපිට අවසර ලොකු හාමුදුරුවනේ'

"හොඳමයි, විජේසේකර ඉස්කෝලේ මහත්තයා, හෙට දහම් පාසල් එනවා නේද?"

"එහෙමයි  ලොකු හාමුදුරුවනේ, හෙට අපේ භද්‍රාට නම් එන්න බැරිවෙයි එයාලයි අම්මාගේ ක්ලිනික් දවසනේ"

"හොඳමයි, ඒ ඇත්තිත් ඉතිං ඔහොම දේකට ඇරෙන්න දහම් පාසල මග අරින්නේ නෑනේ"

" එහෙනම් අවසර"

"හොඳමයි"

දායක සබා රැස්වීම අවසානයේ හැමදාම වගේ අන්තිමට ඉතිරිවෙන විජේසේකර ඉස්කෝලේ මහත්තයා, ග්‍රාමසේවක මහත්තයයි, ලොකු හාමුදුරුවනුයි එක්ක තිබ්බ සතුටු සාමීචිය අවසන් කරලා ආපහු යන්න පිටත් උණා,

"මටනම් ඔය විජේසේකර ඉස්කෝලේ මහත්තයාගේ විදිහ අල්ලන්නේ නෑ ලොකු හාමුදුරුවනේ"

"අර මොකද ග්‍රාමසේවක මහත්තයෝ "

" මිනිහගේ ඔය ළමයින්ට පෙන්නන ආදරේ මට ඒ හැටි දිරවන්නේ නෑ ලොකු හාමුදුරුවනේ"

"අර මොකද ග්‍රාමසේවක මහත්තයෝ ඒ , ඒ මනුස්සයටයි භද්‍රා නෝනටයි දරු මල්ලෝ නැතිනිසා නෙව ඔය හැටි දරුවන්ට ආදරේ, මහත්තයාටත් වඩා නෝනා දරුවන්ට පන ඇරලා"

" ඒ වුනාට හාමුදුරුවනේ රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට .. මට බය ඔය මනුස්සයා මේ පොඩි එකෙක් දෙන්නෙක් අරගෙන ගමෙන් පැනලා යයි ද කියලා, ඔය අනන්තවත් ළමයි පැහැරගෙන යන්නේ දරුමල්ලෝ නැති මිනිස්සු."

ලොකු හාමුදුරුවන්ගේ නුරුස්සනා බැල්ම ග්‍රාමසේවක මහතාගේ ස්වරය මදක් මුදුකරන්නට සමත්වින.

" නෑ ලොකු හාමුදුරුවනේ කප්පම් ගන්න අදහසින් නෙවෙයි දරුවන්ට තියෙන ආසාව නිසාම හදා වඩා ගන්න උනත් එහෙම දේවල් කරපු අය ඉන්නවනේ අපේ හාමුදුරුවනේ"

 " සැකය හොඳ දෙයක් නෙවෙයි මහත්තයෝ, ඒත් විමසිල්ල කෝකටත් හොඳයි, විජේසේකර මහත්තයාගේ සීයා මේ පළාතේ හිටපු රටේ රාල, මේවා උන්නහේලාගේ පරම්පරා ගම් බිම්, මේවා දාල ඒ මිනිස්සු මොන දීපන්කරේක යන්නයි? "
" අනික ඉස්කොලේ උගන්නන කාලේ ඉඳන්ම ගමේ කොල්ලෝ කුරුට්ටෝ සේරම ඉස්කෝලේ මහත්තයලගේ ගෙරද වත්තේමනේ වැඩි හරියක් ගත කරන්නේ මහත්තයෝ." 
"කොයි තරම් දරුවන්ට ආදරේ උනත් දෙන්නට දරුවෝ නැතිඋනේ පෙර කරපු පවකට කියලා දෙන්නා නිතරම් විස්සෝප වෙනවා ,ඉතිං ලබන ආත්මෙටත් ඒ කරුමේ දිග්ගැස්ස ගන්න වැඩක කොරයිකියලා හිතන්ට අමාරුයි නේද ග්‍රාමසේවක මහත්තයෝ."

" හ්ම්.... එහෙනම් මටත් අවසර ලොකු හාමුදුරුවනේ"

"සුවපත් වේවා"

ග්‍රාමසේවක මහත්තයා යන දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු ලොකු හාමුදුරුවෝ ආවාසේ දොර වහලා දාල, බෝධිය දිහාට හිමීට පියමැන්නා. 

 විජේසේකර විශ්‍රාමික විදුහල්පතිකෙනෙක්, භද්‍රා නෝනා ඒ පාසලේම උගන්නලා විශ්‍රාම ගිය ගුරුතුමියක්‌. දෙන්නට දරුවෝ හිටියේ නෑ, ඒ නිසාමද කොහෙද දෙන්නා දරුවොන්ට හරිම ලෙන්ගතුයි.
විජේසේකරගේ ගේ තිබුණේ ගමේ කන්ද උඩම හරියටම වෙන්න, ඒ පැත්තට යන කෙනෙක් ඉන්නවනම් ඒ මේ දෙන්නගෙන් කෙනෙක්ම තමයි, විජේසේකරගේ තැපැල් නයින්ටිය තමයි දෙන්නගේ ගමනට බිමනට තිබුණේ, ගමේ ඕනෑම කෙනෙක් සද්දෙන්ම දන්නවා මේ එන්නේ විජේසේකර ඉස්කෝලේ මහත්තයාගේ බයිසිකලේ කියලා..........................
..................................................................................................................................................................

 දවසක් උදේම පංසලට ගිය විජේසේකර, ගිය පයින්ම ආපහු ආවා, ආවෙත් හරිම කේන්තියෙන් වගේ භද්‍රාට පෙනුනේ, මේ දවස ටිකේම ලෙඩ වුනු අම්ම තමන් ගාවට ඇවිත් ඉන්න නිසාම භද්‍රාට දහම් පාසල් යන්න බැරි උණා, අම්මත් හුඟක්ම වයස නිසා අම්ම ගැන වෙහසෙන එකට වඩා වැඩක් ඒ වෙනකොට භද්‍රාට තිබුණේ නෑ.

" මොකද විජේ"

" මුකුත් නෑ"

" නැත්තම් මොකද ඔය කේන්තියෙන්"

" දැන් ඒක පාරක් කිව්වනේ ගෑනියේ මුකුත් නෑ කියලා"  විජේසේකර එහෙම කිව්වම භද්‍රාගේ ඇස් උඩ ඉන්දුනා, එක පාරම ඇස් දෙකට කඳුළු පිරුනා, ඇයි දෙයියනේ බැඳලා අවුරුදු තිස්පහටම උඹ නොදකින් නොකියපු මනුස්සයාට මොනවා වෙලාද ?

"මීට පස්සේ උඹත් පන්සල පැත්තේ යන්නේ නෑ තේරුනාද?"

" ඇයි අනේ ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ"

දඩාස් ගාලා කාමරේ දොර වහගත්ත විජේසේකර ඇඳගෙන හිටපු ඇඳුම පිටින්ම ඇඳට වැටුනා.

"විජේ .. විජේ.. වීජේ"

භද්‍රා  කොච්චර කතා කලත් විජේසේකර දොර ඇරියෙම නෑ. ජනේලෙන් එබිලා බලනකොට විජේසේකර මහත්තයාට එහෙමම නින්ද ගිහින්,

ටිකක් වෙලා කල්පනා කරපු භද්‍රා, එකපාරටම යමක් මතක් වුනාවගේ පාරදිගේ දුවන්න ගත්තා.

භද්‍රා පන්සල වත්තට ඇතුළු වෙනකොට දැක්ක ලොකු හාමුදුරුවෝ පරවියන්ට කන්න දෙනවා, ලොකු හාමුදුරුවොන්ගේ බැල්ම ඒ තරම් සුහද නැත්තේ මොකද කියලා භද්‍රා ට හිතෙන්නගත්තා, ඒත් එක්කම මගදිගට මුණගැහුණු අඳුනන කියන අය අද මූනවත් බලන්නේ නැතුව ඔරවගෙන ගියා නේද කියලත් සිහියට ආවා,

" ලොකු හාමුදුරුවනේ"

"හ්ම්"

වෙනදා වැන්දම සුවපත් වේවා කියන ලොකු හාමුදුරුවෝ අද කිසිම සද්දයක් නැත්තේ ඇයි කියලා හිතා ගන්න බැරුව භද්‍රා වටපිට බැලුවා.

"ලොකු හාමුදුරුවනේ, අපේ එක්කෙනා අද පන්සලට ආ පයින්ම ගෙදර ඇවිත් කේන්තියෙන් ඉන්නවා හාමුදුරුවනේ"

"ඉතිං"

"ඒ මොකද කියලා බලන්නයි හාමුදුරුවනේ මම මේ දුවගෙන ආවේ"

"ඉතිං එක මේ ඇත්තී අහන්න ඕනේ තමුන්ගේ මහත්තයාගේන්මනේ , කොහොම උනත් මේ ඇත්තිත් මීට පස්සේ දහම් පාසල පැත්තේ ආවේ නැතුවට කාරියක් නෑ"

"අනේ ඒ මොකද හාමුදුරුවනේ, දරු මල්ලෝ නැති අපි දෙන්නා  ඉස්කෝලේ ගමන නැවතුනාට පස්සේ ටිකක් හරි හිත හදාගත්තේ මේ දරුවන්ගේ මූණු බලලා ලොකු හාමුදුරුවනේ."

" දරු මල්ලෝ ? හඃ , ඉස්කෝලේ හාමිනේ, සොබා ධර්මයා රවට්ටන්න කාටවත් බෑ, අපි කාටත් නොදැනුනාට සෝබා දහමෙන් දියයුත්තාට දියයුතු නියම දඬුවම දෙනවා" 

එහෙම කියපු හාමුදුරුවෝ ආපහු හැරුනා, භද්‍රාත් ආපහු යන්න හැරුනේ අගක් මුලක් හොයාගන්න බැරි මේ ගැටලුවට පිහිටක් හොයාගෙන පන්සලට ඇවිත් තමුන්ගේ ඔලුව තවත් තෝන්තු වුනානේද කියා හිතන ගමන්.

 ආපහු ගෙදර යද්දිත් දන්නා කියන කීප දෙනෙක්ම හමු උනත් ඒ අය වෙනදා වගේ ලෙන්ගතු කමින් කතාබහ නොකෙරුවා විතරක් නෙවෙයි ,මුනවත් බැලුවේ නෑ, ඇත්තටම මොකක්ද මේ වෙනසට හේතුව.

ගෙදර  මිදුලට භද්‍රා එනකොට ගේ වටේට සෙනග වට වෙලා එබිකං කරනවා ගේ දිහාවේ, 

ගෙදර මිදුලේ ජීප් එකක් නවත්තලා , එකේ ලියලා තියෙනවා  " පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය" කියලා.
විජේසේකරව බලෙන්ම වගේ  දාගත්ත ජීප් එක පාරට දානකොට ,ජීප් එක ඇතුලේ ඉඳං විජේසේකර භද්‍රා දිහා බැලුවේ හරිම අසරණ විදිහට,


" හාමුදුරුවන්ට මම කියනකොට මට ඕකව සැකයි කියලා , මට තමයි කට්ටියම එකතුවෙලා පද කිව්වේ , දැන් සනීප ඇති. එදා මම කියපු දේ ඇහුවානම් අද මේක වෙන්නේ නෑ" ග්‍රාමසේවක මහත්තයා උස් හඬකින් එහෙම කියන කොට තව කීප දෙනෙක්ම එකට හූමිටි තිබ්බා,

" මේක මේකා දිග කාලයක ඉඳං කොරලා තියෙන්නේ"

මෙලෝ හසරක් තේරුම ගන්න බැරිව හිටපු භද්‍රා උඩ බිම බලනකොට භද්‍රා ගේ අක්කා ඇවිත් භද්‍රාගේ ඔලුව අතගෑවා.

"අනේ බුදු අක්කේ උඹවත් මට කියපන් දෙයියනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා"

"හ්ම්ම්... නංගියේ"

"මොකද අක්කේ උඹ අඬන්නේ අනේ මට කියපන් දෙයියනේ"

"විජේ මල්ලි , දහම් පාසලේ ළමයි කීප දෙනෙකුටම නොහොබිනා වැඩක් කරලලු, ජයසුරියගේ පොඩි කෙලී ලේ යන එක නවත්තගන්න බැරුව පෙරේදා ඉස්පිරිතාලේ නැවත්තුවම තමයි දැනගෙන තියෙන්නේ, කෙල්ල නොතේරුම් කමට කිව්වලු සර් හැමදාම මෙහෙම කරනවා අපිට, ඒත් අද තමයි ලේ ආවේ කියලා............................................. 

 භද්‍රා ගේ අක්කා තව ගොඩක් දේවල් කියාගෙන ගියත්  භද්‍රට ඒ මුකුත් ඇහුනේ නෑ, කුලින් කියපු ටිකත් හරියට හීනෙන් වගේ ඇහුනේ.......

ඇස්දෙකේ කඳුළු පුරවාගත්තු භද්‍රාගේ මුවින් පිටවුනේ එකම වචනයයි, .........

"පාදඩයා"..................


34 comments:

  1. ඉහළට ගත් හුස්ම පහළ දැම්මේ මේක කියවලා අහවර වෙලා.. අති සාර්ථක කෙටි කතාවක් නියම තැනින් නවත්තලා තියනවා.. ආයිමත් මේ ගැන කියන්න වචන නෑ.. සෙස්ස පාඨකයන්ට...උඹ ගැන ආඩම්බරයි මලයා

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුත්යි නලීන් අයියා, ඔයාගේ මේ කොමෙන්ටුවේ වටිනාකම කියා නිම කරන්න බෑ.

      Delete
  2. හ්ම්... අද සමාජයේ සාමන්‍ය දෙයක් නේ. පත්තරක් ගත්තම රටේ සංවර්ධනය පෙන්වන කැඩපත් තමයි ඔය...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අපේ රටේ සංවර්ධනය ඉහල ගියේ, ආධ්‍යාත්මික සංවර්ධනයක් නැතුව.

      Delete
  3. පට්ට කුතුහලයකින් කියෙව්වා .තව ටිකක් වැල් වටාරං තබ්බනං කියලා හිතුවා.ලියනකොට කම්මැලි වෙන්ඩ එපා බං.ඉවාන් පාවුල්ෂා කියන කමෙන්ට්කාරයා සම්පූර්ණයි.බ්ලොග් කාරයානං හැටක් හංගාගන හතලිහක් එලියට දානවා කියලා හිතෙනවා.ප්‍රගීත් කියන පරිණත ප්‍රතාපවත් මිනිහගේ මෙව්වාඑක ( මං ඔය බර වචන දන්නැ) ඉවාන් පාවුශා කියන බ්ලොග් කාරයට දියං.

    කොහොම උනත් මට වඩානං උඹ හොදයි. උඹට ලියන්ඩ පුළුවන්. ලියපං කම්මැලියා

    ReplyDelete
    Replies
    1. මටත් ඔන්න ඔය මෙව්වා එක කියාගන්න බැරුව මෙව්වා වෙලා හිටියේ.. මේක නිකන් රැවටිල්ලක්.. කොටින්ම තමන්ව රවටා ගැනීමක්...

      Delete
    2. අටමගේ මේ චෝදනාව පිලි නොගෙන ඉන්න බෑ, මම ලියන්න කම්මැලි නම් තමයි, මොකක් හරි ලියන්න ගත්තම ඉවර කරගන්න හදිසිය තමයි තියෙන්නේ."//කොහොම උනත් මට වඩානං උඹ හොදයි//" කියන කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි,
      මාතලන් තමයි ඔය කතාව මට කියපු පලවෙනි මිත්‍රයා,

      Delete
  4. ප්‍රවීන ලේඛකයෝ ලියන්නෙ ඔය වගෙයි.
    එච්චරක් ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි , හැබැයි තාම ඉතාම ආධුනිකයි.

      Delete
  5. මට නම් මේකේ අටම් අයගේ කතාවට එකග වෙන්න අමාරුයි. මේකේ කිසිම අඩුවක් නෑ කියලා මට නම් හිතෙනනේ

    ReplyDelete
    Replies
    1. මටත් ලියපු ගමන් එහෙම හිතුනා, ඒත් දැන් හිතෙනවා අඩු පාඩු තියෙනවා කියලා,බොහොම ඉස්තුත්යි අගය කිරීමට ,දිගටම එන්න

      Delete
  6. වේගයෙන් ගලාගෙන ගිය කතාවක් කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගලාගෙන ගිය වේගේ නං ටිකක් වැඩියි වගේ කියලා මටත් හිතෙනවා වීයෝ

      Delete
  7. අනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...

    ReplyDelete
    Replies
    1. ඔයා නංගි කෙනෙක්ද? මල්ලි කෙනෙක්ද? කියලා මම දන්නේ නෑ, ඒත් ඔය කොමෙන්ට් කරලා තියෙන භාෂා විලාශය දැක්කම නම් කියවන අයට හිතෙන්නේ ඔයා ඒ දෙකටම නැති කෙනෙක් කියලා,ඒක නිසා මුලිම භාෂා විලාශය වෙනස් කරගන්න.

      Delete
    2. සිරාම උත්තරය ඉවාන්...

      Delete
  8. කතාවේ කුතුහලය ලෙසටම තිබුන. මෙහෙම ඒවා කොච්චර නම් අහන්න දකින්න ලැබෙනවා ද මාධ්‍ය වල. එහෙම නැති ඒවත් කොච්චර ඇද්ද..?

    කම්මැලි නැතුව ආසාවෙන් කියවන්න පුළුවන් ලිවීමේ ශෛලියක් උඹ ගාව තියන බව පේනවා. ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං, අද රටේ නිව්ස් කියන්නේ මේවට තමයි, මාධ්‍ය කාරයෝ රබ්ගපාල පෙන්නන්නෙත් මෙවම තමයි.

      Delete
  9. සිරාම කතාවක්,එත් එක්කම ඇත්ත සමාජයේ පාදඩයන්ගේ හැටිත් කියල තියන එක නම් වටිනවා

    ReplyDelete
    Replies
    1. අද පාදඩයෝ සමාජයේ හැම තැනම, කොහොමත් පාතාලේටවත් සම්බන්ධයක් නැතුව ජීවත් වෙන්න අමාරුවෙයි ඉස්සරහට.

      Delete
  10. මම කියවපු හොදම කෙටි කතාවලින් එකක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් දිරියක් දුන්නාට. දිගටම එන්න.

      Delete
  11. කුතුහලය පිරිච්ච කතාවක්. හොඳින් රස වින්දා මම! දිගට ම ඇවිත් යන්න එන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි. දිගටම එන්න,

      Delete
  12. අන්තිම ටික කියවනකම්ම මම හිතාන හිටියේ විජේසේකර නිර්දෝෂී කියල... හොඳ කතාවක්...

    ReplyDelete
    Replies
    1. rsතැන්කු වේවා, සැබෑ ජීවිතෙදීත් අපි නිර්දෝෂයි කියලා හිතන අය ගොඩක් ලොකු වැරදි කරනවා CSK

      Delete
  13. අර හදපිරි තුතිය අයින් කරහං බං

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද ? රුපියල් දහ දාහක් දියන් අයින් කරන්නං

      Delete
  14. අති විශිෂ්ඨයි ... වෙන කියන්න දෙයක් නැහැ මලේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ආඩම්බරයි මේ අගය කිරීමට.

      Delete
  15. අය්යා, ඔයාගේ කතා මම හරිම ආසාවෙන් කියෙවනවා. සමහර ඒවා මට තේරෙන්නෙත් නැහැ. වචනත් බර වචන. මම පුංචි කෙල්ලෙක් අය්යා. මට තවම ඔයාගේ අදහස් බර වැඩියි. ඒත් ඒ අදහස් වලට පුදුම විදිහට මම ලෙන්ගතුයි අය්යා.

    ReplyDelete
  16. වදිනවා අය්යන්ඩි බොක්කට

    ReplyDelete
  17. කෙටි කතා කියවන්න අකමැති අයටත්..කියවන්න ආස හිතෙනවා මේවා කියවද්දී...ඒ ටරම්ම අලුත් ආරක්...

    ReplyDelete
  18. speed eka nam tikak wadida manda... eth kathawa break gahapu widiya nam ela!! jayawewa pawluusho!!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]