"සරසවියේදී හෙට විතරයි හමුවන්නේ ......
කිම්ද කුමාරි නෙත කඳුලැලි පුරවන්නේ .....
සිහිනෙන් දැකුමට ........
ජනා ..ජනා ......ජනා .......
"කවුද යකෝ....නිදහසේ ඉන්න දෙන්නේ.......ආ සුරා ...."දොරට දඩිබිඩි ගාලා ගහන සද්දෙට නැගිටලා දොර අරිද්දි දොර ළඟ හිටියේ සුරංග ...
"මොකද සිංදුව දාගෙන ..තාම යන්න අදහසක් නැද්ද ... ආයේ ඉතිං මේවයේ බුදියන්න වෙන්නේ ලබන ආත්මේ තමයි. බඩු ලෑස්තිද?
"පොත් ටික ඊයෙම යැව්වා බං කල්ලා අතේ ,උන්ගේ මාමා ආවනේ කැබ් එකක...ඇඳුම් කෑලි තුන හතර නම් ගෙනියන්න් බැරියැ..."
"ඔව් ඕව නොගෙනියන එකමයි හොඳ අවුරුදු හතරකින් හෝදලා නෑනේ ? ...මම අද යනවා ..."
"ඇයි අනිද්දා යතුරු බාර දුන්නම ඇතිනේ ..? එතකොට සවීණා ..?
"අනිද්දා වෙනකන් හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ ......ඒ ප්‍රේමයත් අතීතයට එකතුවෙයි වගේ ....."
"ඒ මොකෝ....ඕකනේ කියන්නේ මැණික් ගලේ පය වැදුනට කණා ඇහිඳලා ගනීද කියලා , අම්මප මට එහෙම සවීණා වගේ කෙල්ලෙක් හිටියනං මං දනී.."
මං ඒ ටික විහිලුවට වගේ කිව්වට ඒ ටික කියවුනේ බොක්කෙන්මයි කියලයි මටනම් දැනුනේ ....ඇත්තටම මම කැම්පස් එකේ හිටපු කැමතිම කෙල්ල සවීනා ...එත් කොහෙද මට කලින් මූ ඉස්සර වුනානේ ...
"ගං කබරයන්ගේ ගමේ එකා ගං කබරයෙක්ම තමයි ඉතිං... ඔච්චර හොඳ කෙල්ල උඹට කරපු වැරැද්ද මොකක්ද යකෝ ...?"
"උඹට තේරෙන්නේ නෑ ජනක ඒවා ... ඒකි කියනවා මාස හයක් ඇතුලත අනිවා ස්ටේට්ස් යන්න ඕනෙලු ...එයාලගේ පුංචි ලඟට ..ග්‍රීන් කාඩ් හම්බවෙනවා කියන්නේ .අපේ තාත්තා කැමති නෑ ඒ ගැන කතා කරන්නවත් ...අනික තාත්තලාට ගමේ තියෙන තැන ගැන හිතුවම ඔය රටවල් වල ගිහිං නිකන් පීචං වෙන්නේ ඇයි කියලා තාත්තා අහනවා .."
අනික අයියත් තාත්තගේ කීමට පිටින් ගිය එකේ ඔය ඔක්කොම දේපල මටනේ බන් කවදා හරි...."
මට ආපු කේන්තිය නිවා ගන්න විදිහක් හිතාගන්න බැරිවුනා ...
"බෝල කේප්ප වස්සෝ එතකොට තෝ හදන්නේ ඔය පොල්ගස් ටික හින්දා රටක් වටිනා කෙල්ලෙක් අතාරින්න්ද ඈ කියපං ..."
මගේ දිහා නිකං කින්ඩියට වගේ කටකොනකින් හිනවෙච්ච සුරංගය .."ජනා මේ ..මේ ඩිග්‍රිය අරං පාරට බැස්සම උඹට රස්සා දෙන්න කට්ටිය පෝලිමේ බලන් ඉන්නව කියලද උඹ හිතන්නේ..? අනේ යකෝ...?අනික මේකේ මේ කාල් ගාලා හම්බවෙච්ච සහතිකෙන් ඇමරිකාවේ ගිහින් හරක් බලන්නවත් පුළුවන් කියලද උඹ හිතන්නේ ..."
දඩාස් ගාලා දොර වහගත්ත සුරංගයා කාමරෙන් පිටවුනා...
*******
ඇඳේ දිගා වෙලා ඉද්දි මට මතක් වෙච්ච පරණ සිද්ධිය නිසා මට පොඩි හිනාවක් ගියේ සුරංගයාගේ වැඩ මතක් වෙලා ...කොච්චර ඉගෙන ගත්තත්, තරුණ වුනත් , මිනිස්සු ආශ්‍රය කලත් මින්හා පරණ හණමිටි අදහස් කරපින්නගත්ත පොරක් නේද කියල මට නිතරම හිතුණා.
"මචං ජනා උඹට නම් කෙල්ලෝ ,ගෑනු වහ වැටෙනවා බං... " මිනිහා මට කිව්වේ කැම්පස් ෆිස්ට් ඉයර් එකෙදිමයි ....'
"ඔය වෙලාවට තමයි අම්මප උඹේ හොම්බට දමලා අනින්න හිතෙන්නේ ..."
"මොකෝ "
"මොකෝ ගාන්නේ ...යකෝ උපන්තේකට කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිවෙච්ච මට නේ තෝ මොහෙම කියන්නේ ...ඉස්කෝලෙදි හය හත් දෙක්ගෙන්ම ඇනගත්ත මදිවට....මිනිස්සුන්ට ඔයිට වඩා ශිෂ්ට විදිහට අපහාස කරපන් හරිද?"
"නෑ බං උඹේ ඔය යටි තොලේ අයිනේම තියෙන උපන් ලපේ තියෙනවා නේද? එහෙම තියෙන අයට ස්ත්‍රී සැප ලැබෙනවලු ..දැන් නැතිවුනාට අනාගතේදී ලැබෙන්න බැරිකමක් නෑ "
"උඹේ ආච්චිගේ රෙද්ද...?"
*******
"මොකද ජනක තනියෙන් හිනාවෙන්නේ ....ආ තේ එක.."
" අඃ............ රදිකා ...ලඟට එනකම්ම දැක්කේ නෑ..."
" මොකද මේ .....කෝලං ..."
"නෑ රදී ... මම මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා ..."
"ඒ මොකද .....ඊට පස්සේ ...?"
" මගේ යාලුවෙක් අලුතෙන් ටුවරිසම් පටන් ගත්තා .. මටත් කතා කළා පුළුවන් නම සෙට් වෙන්න කියලා . මුලදී මිනිහාගෙම වාහනෙකින් කරන්න පුළුවන් .."
"අනේ මන්දා ජනක ඔයාගේ කැමැත්තක් ..ඔයා ඉතින් උගත් කෙනෙක්නෙ ඔයා හිතලා බලලා හින්ද විදිහට කරන්න.."
රදිකා ගේ මං හැමදාමත් දැක්ක වගේම මං කැමතිම නැති ගුණාංගය වුනෙත් මාව හරිම ඉහලින් තියලා කතා කිරීම ...එක අතකට එයා හිතන්න ඇති ඒ ලෙවල් විතරක් පාස් වුන එයාට වඩා ඩිග්රියක් තියෙන මම හරි බුද්ධිමතෙක් කියලා ..."
*******
"ඔයාට ඔය රස්සාව නැතුව වෙන රස්සාවක් කරන්නම බැරිද ජනක..?"
අවුරුදු ගානකට පස්සේ අලුත් ගෙට මුල්ගල් තියපු දවසෙම රදිකා අහපු ඒ ප්‍රශ්නෙන් මම අන්දුන්කුන්දුන් වෙලා ගියා .
මොකෝ රදී ..මේ .."
" නෑ ජනක මට බයයි....මේ රස්සාව ගැන මිනිස්සු කියන කතා අහලා මට බයක් දැනෙනවා....."
"සල්ලි වගේ නෙවෙයි ජීවිතේ ජනක "
මේකට උත්තරයක් දෙන්න මං සැහෙන්න කල්පනා කළා
"රදී ..අද කාලේ ටුවරිසම් කිව්වොත්, මොඩ්ලින් කිව්වොත් මිනිස්සු හිතන්නේ උන් වේසකමේ යනවා කියල ...මම කවදාවත් ඔයාගේ විශ්වාසෙ කඩ කරලා නෑ රදී..." මේ ටික කියලා ඉවර වෙනවත් එක්කම මගේ අත නොදැනුවත්වම යටි තොලේ තිබ්බ උපන් ලපය දිහාට ගියේ රදිකා ඒ දිහාම බලාගෙන හිටපු නිසා ...මට ක්ෂණයෙන් සුරංගව මතක් වෙලා නොපෙනී ගියා ...
*******
"ජනක සති තුනක ටුවර් එකක් එනවා ලබන දහවෙනිදා ඉඳන්..."
"සති තුනක් ..කොහෙද...?"
"මම හිතන්නේ ලංකාව පුරාම යන්නවෙයි.... පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉන්න ලේඩි කෙනෙක්ලු...ලංකාවෙන් ගිය .."
"ආපෝ ..ලෝකල්ස් ලා එක්කනම් එපාවෙනවා....හම්බවෙන කොමිස් එකටත් කෙලවෙනවා උන්ව ඇද්දම.."
"පිස්සු කෙලින්න් එපා බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනක්....එයාගේ ඔය මොකක්ද පොත ලියන්න කරුණු වගයක් හොයන්න ...ලොස් නෑ බොරුනම් බලපන්කො..."
"ෂුවර් එකට පී.එච්.ඩී. එකට තිසීස් එක කරන්න එන ඩයල් එකක් වෙන්න ඇති ..ෆුල් බොරින් සති තුනක් තමයි ඉතිං ....
නෑ බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනෙක් , එයාට ලංකාව පුරාම යන්න තියෙන නිසා විශ්වාසවන්ත කෙනෙක් ඕනේ කිව්වා. ජොබටත් වඩා මේක උඹ මට කරන හෙල්ප් එකක් ..
********
පහුවදා උදේම එයාර්පෝට් ගිය මම වාහනේ නවත්තලා එරයිවල් එක පැත්තට ගියේ සැන්ද්‍රා..කියන බෝඩ් එක අතින් අරන් , දනිස්සෙන් උඩට අඟල් හතරක් පමණ වෙන්නට ටී ෂර්ට් එකක් වැනි කෙටි ඇඳුමක් ඇඳගත්තු විසාල අව්කන්නාඩි යුවලක් පැළඳි සුන්දර කාන්තාවක් මගේ ඉස්සරහ පෙනීසිටියේ මා බලාපොරොත්තු වූ රූපය එය නොවූ නිසා මා තුල ඇතිවූ තිගැස්ම ඇයට පෙනෙද්දීමයි .
බෑග් දෙක ඩිකියට දැමූ ඇය අනාරාධිතවම ඉදිරිපස අසුනේ අසුන්ගත්තේ මගේ හිතේ මොකක්දෝ හැගීමකින් පිරී යද්දී . මේ වසර ගණනාවක් තිස්සේ නොයෙක් රටවල් වල සුරූපී තරුණියන් ගේ අඩනිරුවත් මෙන්ම පූර්ණ නිරුවත් සිරුරුද මා නෙත ගැටී ඇති මුත් ඒ කිසිදු අවස්තාවක් මෙවන් අපහසුතාවයක් මට දැනී නොමැත .
කිසිදු අවස්තාවක් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වලින් කැපී පෙනුණු අවයවයන් මා තුල කිසිදු හැගීමක් ජනිත කලේ නැත. නමුත් මේ කාන්තාවගේ අඩ නිරුවත් දෙපා සහ පුළුල් කර අතරින් පෙනෙන පියවුරුද අද මා නොසිතු ලෙස මා කළඹවා ඇත.
තවමත් අයගේ මුහුණ බැලීමට නොහැකිවීම පිලිබඳ මා පසු තැවෙද්දී විසල් අව්කන්නඩි දෙක සහ හිස රැඳී රෙදිකඩ ඉවත් කල ඇය...මා දෙස බැලීය
"ජනක .......මම සවීණා ..."
මාහට දැනුණු හැගීම කුමක්ද යන්න සිතා ගැනීමටත් පෙර වාහන කීපයකින්ම මම වාහනය බේරාගත්තේ කෙසේද යන්න තාමත් සිතා ගත නොහැකිය...
"හප් ...බී කෙයාෆුල් මෑන්.... කමෝන් ජනක වයි.....?"
පසුපස හැරී බැලූ මට දකින්නට ලැබුනේ තවමත් කුණුහරුප කියමින් පසුපස හැරෙමින් ගමන් කරන පදිකයන් කීපදෙනෙකි.
********
වසර ගණනාවකට පෙර මාහට වසර දෙකක් පහල කණ්ඩායමක එකම සරසවියේ අකුරු කල කාලයේ සිතින් පමණක් පෙම් කලද ,සමීප ඇසුරක් නොතිබුනත්, මාගේ සගයා වූ සුරංගගේ පෙම්වතිය වූ නිසාවෙන් ඇය දැන හඳුනාගෙන සිටියත් මේ තරම් ලඟින් ඇසුරු කරන්නට ලැබුන අවස්තාව නිසා මං මහත් උද්දාමයට පත්ව සිටි බව නම් අතිශයෝක්තියක් නොවේ...
සති තුන ගෙවීගියේ ඉතාමත් වේගයෙන් යැයි මට සිතුනි.. ඇය නැවත පිටත්වන දින මට අතිශයින්ම හැගීම්බර දිනයක්ම විය ..
මා පියවිසිහියට පත්වූයේ ...ඇය නික්ම යාමෙන් පසුවබව මට වැටහෙන්නට විය ..නමුත් ඉන්පසු රදිකාට මුහුණ දීම මට ඉතාමත් අපහසු විය... සවීණා නිතරම මසිතේ හොල්මන් කරන්නට වත්ම මා සිත වරදකාරී හැගීමකින් පිරීයන්නට විය .
මින් මිදීමට මා කලේ සවීණා සමග සම්බන්ධ වීමට තිබූ සියලු මාර්ගයන් අවහිර කිරීමයි..මගේ ෆේස්බුක් ගිණුම. විද්‍යුත් තැපැල් ලිපින , දුරකථන අංක සියල්ලක්ම වෙනස් කල මා මෙතක් රැකියාව කල ආයතනයෙන්ද සමුගෙන මාගේම ව්‍යාපාරයක් ආරම්භ කලේද මේ නිසාමයි ...
මේ කිසිවකින් රදිකා සමග ඇති කුටුම්භය අවුල් කර ගැනීමට මට වුවමනා නොවූයේ සැබවින්ම ඇය වචනයේ පරිසමාප්ත අරුතින්ම හොඳ බිරිඳක් වූ නිසාමය . මා අතින් සිදුවූ වරද තව දුරටත් කිරීමට මට අවැසි නොවීය .
මාස පහ හයක් ගත වෙද්දී සියල්ල යලිත් සංසුන්විය....
නමුත් මාගේ මව හා රදිකා අතර වූ නොහොඳ අලුත් වටයකින් පැන නැගීම මට මහත් හිසරදයක් විය.
"වඳ ගෑනු ඉන්න පලාතම මූසලයි බං."
"අනේ අම්මේ කට පියාගෙන ඉන්නකෝ...අපිත් මේ දරුවෙකුට ආස නැතුව නෙවෙයිනේ .."
"අනේ උඹලාගේ ආසාව මම කියන්නේ නෑ.. මමත් මැරෙන්න කලින් මුනුපුරෙකුගේ මූන බලන්න ආසා නැතුවද ?"
කෙසේවෙතත් මේ වෙනුවෙන් නොගිය රෝහලක්, දේවාලයක් පන්සලක් නැති තරම් විය. රදිකාට දරුවෙකු පිලිසිඳගැනීමට ඇති හැකියාව ඉතාම අඩු බව සනාත වී තිබුනද උත්සාහය අත්හැරීමට ඇය කැමති නොවීය .
*******
එදින මා නිවසට ලඟා වනවිට වෙනදා ආලින්දයට පැමිණෙන රදිකා පෙනෙන්නට නොසිටියාය , දොරද වසා දමා තිබූ අතර , ගේට්ටුව කිසිදාක නොමැති පරිදි හැර දමා තිබිණි... ආලින්දයේ රථය නවත්වා බිමට බට මා දුටුවේ දොර මැදටම ඇනයක් ගසා එල්ලා ඇති ලියුම් කවරයකි.. විදේශීය ලියුම් කවරයක් වූ එය මත ලියා තිබූ රදිකාගේ අත් අකුරු මට සැනෙකින් හඳුනාගත හැකිවිය ...
"මගේ විශ්වාසය රැක්කට බොහොම ස්තුතියි . මම ගෙදර යනවා . මාව හොයාගෙන එන්න එපා ,ඔයාගේ ලෝකෙකට යන්න ඔයාට මාව බාධාවක් කරගන්න එපා "
අප අතර සිදුවූ සියල්ල සවීණා විසින් රදිකාට හෙළිකර ඇති බවට තවත් පැහැදිලිකිරීම් මට අවැසි නොවීය ....මාගේ කන්දෙකෙන් පටන් ගත් ගිනියම් වීම මුළු ශරීරය පුරා ගමන් කරනු මට දැනෙන්නට විය .
ලියුම් කවරය තුල වූ ලියුම් එලියට ගතිමි ..
"ජනක -
ඔයා මාව හැම විදිහටම මගඅරින නිසයි මම මේ ලියුම එවන්නේ ..මට ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුළු වෙන්න ඕනේ නෑ.. ඒත් මට මේ ටික ඔයාට කියන්න ඕන වුනා .මේ ඉන්නේ මගේ පුතා ...අපේ පුතා ,අපි දෙන්නගෙම පුතා ...."
සවීණා
ලියුම් කවරය තුලින් බිමට වැටුණු ඡායාරූපදෙක දෙස මා බලාසිටියේ වික්ෂිප්තවය. සවීණා ගේ තුරුලේ සිටින සුරතල් දරුවෙකුගේ සේයාරුවත් ,ඒ දරුවාගේ තනි සේයාරුවත් මාදෙසම බලාසිටින්නට විය ..
දරුවාගේ යටිතොලට පහලින් ඇති උපන් ලපය දුටු මට, මාගේ යටි තොලට පහලින් ඇති උපන්ලපය දෙසට අත යොමුවුණේ නිරායාසයෙනි.