අපේ ගෙදරට මම කිව්වේ “රතු ගෙදර” කියලා. ඒ ගෙදර බිත්ති රතු පාට නිසා නෙවෙයි. අපේ ගෙදර මිනිස්සුන්ට තිබුණු පුදුම රතු පිස්සුව නිසා.
අපි කෑවේ රතු හාලේ බත්. උදේට රතු ඉඳිආප්ප. රතු කවුපි, රතු දඹල, රතු බිත්තර. පාන් ගෙනාවත් පරළු පාන්. රොටියක් හැදුවත් ඒකට කුරක්කන් පිටි අහුරක් හරි දාලා පාට කරගෙන, “මේක සුදු පිටි නෙවෙයි” කියලා හිත හදාගත්තා.
කවුරුහරි ගෙදරට සුදු බිත්තර ගෙනාවොත් අම්මා ඒවා දිහා බැලුවේ කුකුළා බිත්තර දාලා වගේ සැකයෙන්.
අපේ තාත්තා ගෙදර ළඟ තිබුණු කඩ හය හතක්ම පහුකරගෙන, රක්ෂිතය අයිනේ තිබුණු රංග ෆාම් එකට ගියා රතු බිත්තර ගන්න. වෙන කඩවල රතු බිත්තර තිබුණත් තාත්තාට ඒවා රතු මදි.
“රංගයාගේ බිත්තරේ කහමදේත් පාටයි,” තාත්තා හැමදාම කිව්වා.
"ඔයා දැක්කද රංගයගේ බිත්තරේ " බයිසිකලයක් ගන්න සල්ලි ඉල්ලලා ඉල්ලලා දෙන්නේ නැතුව ඉන්න තාත්ත එක්ක මට කොහොමත් පොඩි ඇරියස් එකක තිබ්බා
"මොකක්ද තෝ කිව්වේ ..." තාත්ත එලියන එනකොට මම පාරට පැනලා දුවලා ඉවරයි, ආයේ ගෙදර යන්නේ හවසනේ







