මිත්තරයෝ ටික

Thursday, April 7, 2016

බස්සිට බනිමු දිනේෂ්ට නෙලමු



දෙසැම්බර් මාසේ අර බට කොස්සි පොතක් එලි දක්වුවනේ , එකට කිව්වේ ඉතා කෙටි කලබල සිහින කියල . ඉතිං ඔය පොතට බනින්න අගනා අවසථාවක් ඇවිත් තියෙනවා . මේ සිකුරාදා ඒ කියන්නේ හෙට අප්‍රේල් අටවෙනිදා හවස හතරට පුවත්පත් මණ්ඩලේදි ,

අන්න ඒ වෙලාවට සෙට්වෙලා පොත ගැන හිතෙන දේ ගැන සාකච්ඡා කරන්න , සාකච්ඡා කරන්න කිව්වට අපිට නම් තියෙන්න බනින්න විතරයි . කොහොමත් හැම සිකුරාදාම හවස එතන කවි කතා ගැන විවිධ සාකච්ඡා තියෙනවා.

මේ සැරේ චාන්ස් එක බස්සිට බනින්න . තැන තියෙන්නේ රාජගිරිය කාසල් මාවතේ , කාසල් රෝහල ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේ .

බසිස් දැකපු කෙටි කලබල සිහින අපිට් අපෙනුනු හැටි ගැන හැමෝටම කියන්න එකතු වෙන්න . ඊට කලින් බනින්න්න ඕනේ නම් මෙතනට ගිහිං බනින්න



*******



අනික් සීන් එක අපේ දිනේෂ් මලයාගේ , මිනිහා ඉතාලියේ ඉඳන් ඇවිත් අපිට පාට් එක දාන්න හදන්නේ , ඒවා කොහෙද ? අප්‍රේල් විසිතුන අවුරුදු එහෙම කාල ඉවරවෙලා තෙල බහින්නත් එක්ක දිනේශයට නෙලන්න තියෙන අවස්තාව මිස් කරගන්න එපා .

මහවැලි කේන්ද්‍රය තමා තැන . ඒක තියෙන්නේ නෙලුම් පොකුණ මාවතේ .

දිනේෂ් කියන්නේ අපේ වර්ණ බ්ලොගය ලියන කොලුගැටයා . මිනිහගේ කතාවල තියෙන බටහිර ආකෘතියට බ්ලොග් කියවන හැමෝම කැමති වුනා මම දන්නා තරමින්. විවිධාකාරයේ ආදර කතා ,රහස් පරීක්ෂාක කතා වගේම නොයෙක් ආකෘතිවල කතා මේ අතරේ තියෙනවා .

සම්මානයට පාත්‍රවුණු ඇයද මවකි කතාව මේ අතරේ තියෙනවද කියල මම දන්නේ නෑ . එක එදාටම තමා බලන්න වෙන්නේ . කොහොම වුනත් දිනේශ්ට් සුබ පැතුම් එක්කරන්න මෙතනට ගිහිං . ඒ විතරක් මදි එදාට එන්න






Monday, March 28, 2016

මධුර වසන්තේ සතර දිගන්තේ පරණේ






මධුර වසන්තේ සතර දිගන්තේ...
මධුර වසන්තේ සතර දිගන්තේ.....
මොණර මොණරියන් රඟදේන , මධුර වසන්තේ.....
කිඳුරු කිඳුරියන් නැලවෙන කුමර කුමරියන් හමුවන මධුර වසන්තේ.....
මධුර මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ.....


බ්ලොග් සම්මාන උළෙල ඉවර වෙලා පහුවදා දවසම නිදාගත්තට පස්සේ ඇහැරුණු වෙලාවේ ඉඳන්ම හිතුනේ මේ ගැන ලියන්න ඕන කියල . බ්ලොග් සම්මාන උළෙලට ලැබෙන ප්‍රතිචාර එක්ක සෑහෙන දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙද්දි මේ සාර්ථකත්වය පිටිපස්සේ හිටපු සෙවනැල්ල කවුරුන්ද කියන එක නොකියා යන එක හොඳ නෑ .  

අද ඉඳන් බ්ලොග් සම්මාන ලාභියෝ ලාභිනියෝ ගැන හැමෝම කතා කරයි , සතුටුවෙයි ඒ වගේම ඔවුන්ට ඉරිසියා කරයි  , ඒ අතර ඉන්න එක බ්ලොග් කාරයෙක් නිසා මේ හැම දෙනාගේම කැපවීම මේ පොලොව තුල යතාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුනා .

ඔහු වෙන කවුරුවත් නෙවෙයි ඒ තමයි සතර දිගන්තයේ පරණේ  , එහෙමත් නැතිනම් කරුණාරත්න පරණවිතාන ,සංවිධානය සඳහා වෙහෙසුන සියලු දෙනාගේ කැපවෙම යතාර්ථයක් බවට පත්කළ අපූරු මිනිසා . 

ශාලාව ලබාදීම, පැමිණි සියලුම දෙනාට සංග්‍රහය සකසා දීම ඇතුළු බොහෝ කාරනා සිද්ධ වුනේ ඔහුගේ අනුග්‍රහයෙන් . ඊට පෙර දවසක ඔහුව මු ගැසුණු වෙලාවේ අඩුම ගනනේ මේ පාර කවුද හොඳම බ්ලොගර් කියලාවත් අහන්න උත්සුක නොවී ඇහුවේ ,"කෑම ලැස්ති කරේ 200 කට ඇතිවෙයිද ?" කියන වචන ටික .

ඉතිං අපිට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි පරණේ කියල තමයි . මේ සරල සහ මිත්‍රශීලී බව ශ්‍රීලාංකික දේශපාලනය උපන්දා ඉඳන් දකින අපිට ආගන්තුකයි . 

පලවෙනි නෙලුම් යායය තියෙනකොට ඔහු අමාත්‍යංශ ලේකම් , මේ පාර නියෝජ්‍ය ඇමති ... ලබන පාර ....?
කවුරු වුනත් ඒ සහයෝගය අපිට ලැබෙන බව ස්ථිරයි . 

නුහුරු නුපුරුදු ඇමති පට්ටම් වලින් මොකට අමතන්නද මේ බ්ලොග් වෙනුවෙන් යමක් කරපු බ්ලොග් කාරයෙක්නේ 

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාණෙනි ඔබට ස්තුතියි කියනවට වඩා ඔහුත් කැමති වෙන්නේ අපි මෙහෙම කියනවනම් 

ස්තුතියි පරණේ 


Tuesday, March 8, 2016

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි





- ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි


මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .

නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත. 
නිදහසින් පසු සත්වන දශකය ගෙවා දමමින් සිටින අපි ඒ පිළිබඳව නිහතමානීව ආඩම්බර විය යුතුමය. 

ඒ මන්ද යත් ගෙවෙන හැම තත්පරයක් පාසාම පාලයින් සහ ජනතාව එකිනෙකාට නොපරදින ආකාරයෙන් විහිලු සපයමින් සිටින නිසාය. 
වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් සහිත අභිමානනීය ජාතියක වර්තමාන හැසිරීම මෙසේය. 

රාවණා ගේ මිනියට පන ලැබී සිංහලයා ලෝකය පාලනය කරන තුරුද ,රාවණාගේ පිහිටෙන් සක්වල ජය ගැනීමටද,  අපි බලා සිටින්නෙමු . එ අතරේ ගමට යන බස් රථය නොමැති වීම නිසා බස් හෝල්ට් වල රය පහන් කරන්නෙමු . බස් ගාස්තු ඉහල යාම නිසා හතර අතේ පලි ගහන්නෙමු . ඉන්ධන මිල , අඩු නොකරන නිසාත වාහන වල බදු වැඩි කල නිසාත් සිංහලේ ස්ටිකර් අලවාගෙන ඉන්දියානු මරුටියක් පදින්නට නොහැකි වීම ගැන පශ්චත්තාප වන්නෙමු .

දියසෙන් කුමරු පහල වී රට සමුර්ධිමත් කරන තෙක් අපි බලා සිටින්නෙමු . රසායනික පොහොර එපා කියමින් නාථ දෙවියන් සමග පෙලට වාඩිවී පිකටින් කරන්නෙමු, ඒ රසායනික පොහොරම රුපියල් 350 ඉල්ලා නැවත කෑ ගසන්නෙමු.

රුධිර පාරවිලයන කට්ටල නොමැති වීම නිසා වකුගඩු රෝගීන් මියැදෙද්දී දළදා මාලිගාව වටා කාර් රේස් පදින අයුරු රුසියානු ගණිකාවන්ට තුරුළු වී බලා සිටියෙමු .

ජාතික සංහිඳියාව ට කෙලවෙතැයි බියෙන් විල්පත්තුව වනසා දමා කාන්තාරයක් කරන තුරු අපි බලා සිටින්නෙමු . අල්ජ්සීරාවේ විපත්තුව ගැන ලෝකයටම හඬගා කියද්දී , ජනාධිපති පාරිසරික ඇමති කම දරද්දී සියල්ල පසෙක තබා බ්‍රෙසියර් එක ජාතික සංකේතය බවට පත් කරගත්තෙමු .

මහා දවල් බන්ධනාගාරය අසල ගැබිණි කාන්තාවන් මරා දමද්දී , බ්‍රා සංගීත ප්‍රසංගය සංවිධානය කල ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඩු වලිගෙන් තලන්නට කැස කවමු . හැබැයි ඊට පෙර ඒ සංවිධායක්යෙකුටම කතා කර හාෆ්ශීට් කොළ කෑල්ලක වත් නොලියා රැජිනිගේ රටේ තානාපති කම බාරගන්නැයි වැඳ වැටෙමු .

හිටපු සංස්කෘතික ඇමති ජිනා මැඩම්ගේ තිප්පලේදී පොලිසියට වැඳවැටෙමින් රෙද්ද ඇඳගනිද්දී , ඉන්න සංකෘතික ඇමති අලියාට බල්ටි ගසා මහින්දට බනිද්දි "කපල් එකක් යනු කුමක්ද" කියා නිර්වචනය කිරීමට ආචාර්ය උපාධි සහිත සිකුරුටි නිලධාරීන්ට බාර දෙමු  

කොටස් වෙළඳපල කඩා වැටෙද්දී ,විදෙස් ආයෝජන පහල වැටෙද්දී ,අපේ රබර් නිෂ්පාදන වල විශාලතම ගැනුම්කරුවා වන ඇමරිකාවේ වෙළඳපල අපට වැසී යාමේ තර්ජයක් තිබියදී විදේශ නියෝජ්‍ය ඇමති සමග ගොස් නිදහස් චතුරශ්‍රයේ පෙම් කරන්න දෙන්නැයි අහිංසක සික්කන්ට තග දමමු .

දෙස්පලුවන් මහජන මුදල් වලින් මවුන්ට් එලිසබත් යද්දී පලි ගසා, ඇස පනාපිට හොරකම් කර මාල හොරුන් , කෝටිපතියන් වනු බලා , විදෙස් ගමන් බලපත්‍ර දෙක තුන ඇතැයි කෝචෝක් දමා , මහා දවල් මහබැංකුව කොල්ල කෑවායයි කෑ ගසා මැතිවරණයේදී මනාප ලක්ෂ ගනනින ඔවුන්වම නැවත පාර්ලිමේන්තු යවමු.

ඇමති ලියුමකින් කථිකාචාර්ය තනතුරක් ගන්නට බලා හිඳ, පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙමු .

රජයේ විශ්ව විද්‍යාල වල දවසම පිකටින් නිසා සල්ලි දී පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගොස් ඒවාට පිළිගැනීමක් දෙන්නැයි ඉල්ලා නැවත පිකටින් කරන්නෙමු .

කකුලද පියවුරද යන්න ගැන තැකීමක් නැතිව දකුණ වෙනුවට වමට සැත්කම කරමු , මොකක් කැපුවත් වෙළඳ ගිවිසුම් ගැන රජයට උපදෙස් දෙමු . 

ඔපෙරා ගැයීම ගැන අගමැති ,මාධ්‍යවේදීන්ට පංති පවත්වයි . මාධ්‍යවේදීන් රට කරවන හැටි අගමැතිට කියාදෙයි .  මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් බෝවෙන ආකාරය සොයා ගනිමින් අධ්‍යාපන ඇමති නොබෙල් ත්‍යාගය සඳහා සුදුසුකම් සපුරයි . 

චිකාගෝවේ මෙන් 1000 cc බයිසිකල් වලින් ගොස් ඇමති වාහන වල හප්පා ආතල් එකට දැඩි සත්කාර ඒකකයේ විවේක ගනියි . ඩිෆෙන්ඩර් දෙවියන් ගේ ආනුභාවයෙන් හිරු දෙව් දුව පවුල් ප්‍රශ්න සමතයකට පත් කරයි .

මේ සියල්ල අමතක කර මැච් එක බැලීමට TNL අල්ලන්ට වහලය උඩට නැග ඇන්ටෙනාව කරකවමු

ඒ මදිවට වෙන වැඩක් නැතිවාක් මෙන් අපිත් මේ ගැන බ්ලොග් පෝස්ට් ලියමින් ,කමෙන්ට් කරමින් සහ එකිනෙකාට බැන ගනිමින් අපේ අති පණ්ඩිත කමත් ප්‍රදර්ශනය කරමින් මේ ගොහොරුවේම ගිලෙමින් සිටිමු . 

ලෝකය ලංකාව රඟ මඩලකි , එහි සියල්ලෝම තමන්ට අයිති නැති චරිත රඟපාමින් සිටිති .


පෝස්ට් එකට දැමු කමෙන්ටුව ට මාතලන් දුන් පිළිතුර නිසා මම අදහස් කලේ කුමක් ද කියා කියන්නට සිත්වුනි 





Monday, February 29, 2016

ආයේ එන්න




මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචිත මලගිය ඇත්තෝ නවකතාවේ නොරිකෝ සං සහ දෙවෙන්දරා අතර ප්‍රේමය බොහෝ සාහිත්‍ය නිර්මාණ වලට වස්තුබීජයක් වූ බව නම් නොරහසකි .

නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත්‍රකරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය මගිනි.

දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක සංචාරය කළ නමුත් තමා ගේ රුචියට ගැළපෙන සමාජයක් සොයා ගැනීමට නොහැකි වූ කෙනෙකි. අවසානයේ දී ඔහු ටික කලකට ජපන් රටට පැමිණ එහි පදිංචි වෙයි.



නොරිකො නම් තරුණිය ඉතාම සුකුමාර හැඟීම් ඇති, සිත් වශී කරන සුළු ගති පැවතුම්වලින් යුත්, තැනැත්තිය සමග ඔහු ප්‍රේමයෙන් වෙලෙන්නේ මේ පැමිණීමෙන් පසුය.

නොරිකො ප්‍රබල වින්දන ශක්තියක් ඇති චරිතයකි. දෙවෙන්දොරා කෙරෙහි ඈ තුළ පවතින්නේ දැඩි ප්‍රේමයකි . නොයෙක් අන්දමේ දුෂ්කරතා මධ්‍යයේ ඇගේ ප්‍රේමය නොවෙනස් ව අවසානය තෙක් ම පවතී.  නමුත් දෙවෙන්දොරා සහ නොරිකො අතර ඇතිවන සම්බන්ධය ජපන් රට සමාජය සලකන්නේ අවඥා සහගත ලෙසය


එහෙත් ඈ ඉතාම උසස්කොට අගය කරන අගේ නෑදෑයින් සහ මව් රට පවා තම පෙම්වතා වෙනුවෙන් කැපකිරීමට ඈ සූදානම්ය.

”එදා මතකද අපි ඉනොකෂිරා උයනට ගිය වේලෙ, අපි හිටිය නේද අර තමගවා ජෝසු කියන ඇල කාණුව ගාව? දසයි ඔසමු දිවිනසා ගත්ත තැන? ඒක බලලා යනකොට මතක ඇද්ද දන්නෙ නෑ පිටි පස්සෙ බිම වාඩිවෙලා හිටියා තරුණ ජෝඩුවක්. ඒ ගොල්ලො හිනාවෙවී මට පං පං කිව්වා. පං පං කියන්නෙ, යුද්ධ කාලෙ, හේවායන් එක්ක නරකට හැසුරුණු ගෑනුන්ටයි. මට හරියට දුක හිතුණ ඒක අහලා.”
(පිටු 57-58)


නොරිකො සමග ඇතිකරගත් සම්බන්ධය සතුටුදායක ලෙස අවසන්විය නොහැකි බව වටහා ගන්නා දෙවෙන්දොරා එයින් ගැළවීමට තෝකියෝ නුවර අතහැර කියෝතෝ නගරයට ගොස් එහි පදිංචිවෙයි. එසේම කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා, ගණිකාවක් සමග කායික සම්බන්ධතාවයක් ඇතිකර ගෙන නොරිකො කෙරෙහි ඇති ප්‍රේමය යටපත් කිරීමට තැත් කරයි.

”කල්යාමේදී මගේ සිතේ තැවුල නිවීයාවි යයි මම සිතුවෙමි. එහෙත් සිදුවූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මගේ සිතෙහි වූ සාංකාව වැඩිවීය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව එන්ට එන්ටම පෙනෙන්ට විය. කොයිවෙලාවකවත් මගේ සිතෙහි සන්සුන් බවක් නොවීය.”
(72 පි.) “

”එහෙත් ඈ මැවූ මායා දැල ටික ටික ඉරී ගියේය. මම ඊට ඇඟිල්ලෙන් ඇන ඕනෑකමින් සිදුරු කළෙමි. ඈ බලන්ට යෑමෙන් කවර සෙතක්දැ’යි මම සිතන්නට වීමි. වඩ වඩා සිහිවූයේ නොරිකොය. මම නිතැතින් මමෙවාකා නොරිකො සමග සසඳා බැලීමි. මමෙවාකාගේ පිටත්තරය මොළොක්ය. එහෙත් අභ්‍යන්තරයෙහි ඈ දැඩිය. නොරිකො හාත්පසින් වෙනස්ය. පිටත්තරයෙහි ඇගේ නොනැමෙන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරය මෘදුය.”
(76 පි.)

Friday, February 26, 2016

කොමාව





"දෙදහයි ."
"බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ"
"රෑ හතට කලින් වතුර පාවිච්චිය නවත්තන්න ඕන , නැත්තං ටැංකිය පිරෙන්නේ නෑ."
"රෑවෙලා ආවට කමක් නෑ, බෙල් ගහන්න එපා හරි , ඔය කාමරේ ඉන්න කාට හරි කතා කරලා ගේට්ටුව ඇරගන්න."

"මගේ කාමරේ කවුද තව ඉන්නේ ?"

"රමේෂ් හරි වේලු හරි නයනජිත් හරි මට මතක නෑ. කොහොමත් ඒ තුන් දෙනා විතරයි මෙහෙ ඉන්නේ
කෝ දෙදහ"

"ආ..."

"හරි , ඊළඟ විසි හය වෙනිදට හරියටම සල්ලි ඕන, මතක් කරනකන් ඉන්න එපා ."

චිත්‍රපටියක ආරම්භක දර්ශනයකට ඒ දෙබස් ටික හොඳයි , කතාව නැවතිලා ටිකකින් මට එහෙමත් හිතුනා .. කොහොමත් සම්භාව්‍ය චිත්‍රපටි කියන ඒවා පටන් ගන්නේ  මුඩුක්කුවක් ළඟ තියෙන ටැප් එකක වතුර ගන්න එකකින්, දරකුස්සියක දුප්පත් ගෑනියෙක් බත් උයන දර්ශනෙකින් , මුහුදක් ළඟ මෙලෝ හසරක් නැතුව බලන් ඉන්න ගෑනියකගේ දර්ශනයකින් එහෙමත් නැත්තම් දඩි බිඩි ගාලා කෝච්චියක් යන එකෙකින් වගේ එකකින්නේ .

මගුලක් හිතනවා මමත් කෝ යතුර දුන්නේ නෑනේ අර බඩා.

"ආ ..මෙන්න මොක්කද නම කිවේ ..."

"මම රංග .. "

"හා ,මෙන්න යතුර . අනික් යතුර කාමරේ ඉන්න අනිකා ගාව ඇති දොරවල් ඇර දාලා ගිහින් අරක මේක නැතිවුනා කියන්න නං එන්න එපා ."

"හා "

කොළඹ ... හ්ම් හෙට ඉඳන් කොළඹ ජීවිතේට හුරු වෙන්න ඕන , චිත්‍රපටියක වගේ වුනානං, එහෙම නැත්තම් මේක නව කතාවක් වුනනාම් , ඊළඟ දර්ශනෙට එහෙම නැත්තං ඊළඟ පිටුවට යද්දී ටයි එකක් දාගෙන ,ඒ සී කරපු කාමරේක ලස්සන ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් එක්ක ඉන්න සීන් එක, ඊට පස්සේ කම්මුලට අතක් තියාගෙන අතීතය මතක් කරනවා . දැඩි බිඩි ගාලා පරණ දුක් විඳපු සීන් මතක් වේගෙන යනවා , එතකොට අර සේකට්‍රි ඇවිත් සර් කියලා කතා කරනවා ..

ඇයි?

ඒ සද්දෙට මම උද ගිහින් බිම වැටුනා ...මොක්කේද යකෝ මේ ..

"ඔයාද මේ කාමරේට අලුතෙන් එන්නේ ,"

"ම්ම් ඔව් ."

"අර ඇඳ ඔයාට .."

නෙදකින් මේකා කතා කරන්න දන්නේ නෑනේ , පිරිමියෙක් නෙවේද දන්නේ නෑ.

"ඔයාගේ නම මොකක්ද ?"

"රංග ... උඹ කවුද මචං..."

"මම නයනජිත් , "

එතනින් එහාට ඌ මගෙත් එක්ක කතා කළෙම නෑ.
රෑ කෑමට මම එලියට යන හදල ඇහුවමත් හ්ම් කිව්වා විතරයි , අම්මප චිත්‍රපටියකටනම් නියම පොර අර හෙන ගුප්ත පොරවල් ඉන්නේ අන්න එහෙම එකකට මරු. 70 දශකයේ විතර ටිපිකල් ලිපිකරු චරිතෙකට නියමෙට ගැලපෙනවා . තෙල් ගාලා කොන්ඩේ පැත්තට පීරලා , හොඳට අයන් කරපු ෂර්ට් එක ඇඳලා පාට තුනේ පෑන් තුනක් උඩ සාක්කුවේ ගහගෙන ,

හ්ප්ප්
"කොහෙද හුත් .. උඩබලාගෙන ඇඟවල් දිගේ යන්නේ කැ..... "

"සොරි අයියේ "

"සොරි තමා ...කේ සොරිය."

තව ටිකෙන් කනවා නැවකට . හැබැයි එහෙම ගුටි කන්න වුනානම් ඒක චිත්‍රපටියක ගුටි කනවා වගේ වෙන්නේ නැති බව ෂුවර්. චිත්‍රපටියක නම් ඉස්සෙල්ලම බඩට ගහනවා , එතකොට දෙකට නැවුනම පිටට ගහනවා එතකොට බිමට වැටෙනවා ගැහුවේ බඩට වුනාට කටේ කොනකින් ලේ පෙරෙනවා , එතකොට කෙල්ල දුවගෙන ඇවිත් උකුලේ ඔලුව තියාගෙන අඬනවා..

"මොනවද මහත්තයා ඕන ..."

"එළවලු කෑම එකක් "

"එළවලු එකක් පාආආආර්සල්ල්ල්ල් ... එකසිය විස්සයි "

"මොකක් ??"