මිහිකත නලවාලා , මග මල් ගන්වාලා
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා
අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා
හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා
කාකි ඇඳුම ඇන්දා , සාමය රකිමි කියා
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා
තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම්
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම්
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින්
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම්