"කොහෙන්ද උඹට පෝන් එකක් ...ඇත්ත කියාපන් ....."
"මගේ යාලුවෙක් තාත්තේ දුන්නේ ..."
"කවුද යකෝ මේ ගමේ හතරමහා නිධානෙ පහලවෙච්ච මං නොදන්න උඹේ යාලුවා .......ලොක්කියේ ඇත්ත කියාපන් ...මගේ යකා අවුස්සන්නේ නැතුව......."
"යාලුවෙක් යාලුවෙක් යාලුවෙක්....කිව්වට තාත්තා දන්නේ නෑනේ... මැහුම් පන්තියට එන යාලුවෙක්..."
"තාත්තේ ඕක අක්කට ජනක අයියා දුන්නේ ...."
"යනවා පොඩ්ඩි යන්න මෙතන දන්නේ නැතිදෙවල් වලට හොට දාන්නේ නැතුව...."
"කවුද පොඩි පුතේ ජනක අයියා කියන්නේ....."
"අර හැමදාම මෙතනින් බයිසිකලේ යන්නේ ...තාත්තේ ....ඒ අයියා හරි හොඳයි තාත්තේ ..මට හැමදාම මුරුක්කු ගෙනත් දෙනවා .......අක්කට ෆෝන් එක දෙද්දී මට චොක්ලට් එකකුත් දුන්නා .....මේ එකේ තිබ්බ ස්ටිකරේ ..."
තාමත් අවුරුදු හතක පමණ වූ කුඩා දියණිය ගිරවියක මෙන් කියවද්දී රත්නසේන බාස් ගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නාක් මෙන් විය .
බුදු පින්තූරයට පහලින් එල්ලා ඇති තම බිරිඳගේ පින්තූරය දෙස රත්නසේනට බැලුනේ ඉබේටමය..
"අයි හත් දෙයියනේ ඔයාට මං ඔච්චර එපා කියද්දීත් මේ ගමන ගියේ..අවුරුදු තුනක් කියන්නේ සුළුපටු කාලයක්ද..? මේ ලමිස්සියෝ දෙන්නෙක් එක්ක මම මේවා කොහොම කරන්නද.....?"
මීට මාස හතකට පමණ පෙර යස ඉසුරු සොයා තම දැඩි විරුද්ධත්වය මැද්දේ විදේශ ගත වූ තම බිරිඳ කෙරෙහි ඔහු තුල ඇතිවූයේ කෝපයකි..
"මෙහෙ දීපිය ඔය බඩ කඩුත්තුව ...."
*******
දිනකට හත් අට සැරයක් තම ගේ ඉදිරිපස පාරෙන ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් සැර දමමින් යන තරුණයා රත්නසේන බාස්ට හොඳටම මතකය......
"කවුද නිමල් මේ පෝරිසාදයා .....අරෙහෙ ලොකු කෙල්ල විභාගෙට පාඩම් කරනවා ......දැන් හතර සැරයක් විතර මෙතනින් ගියා ..මහා සද්දෙට...."
වට පිට බැලූ නිමල් රත්නසේන බාස් වෙත ලං වූයේ රහසක් කියන්ට මෙනි......
"බාසුන්නැහැ ...ඔය තමයි අර ජනක කියන එකා ....අර කුඩු අබ්දුල්ගේ ගෝලයා.....ඔන්න ඔහේ යන දිල්ලියක ගියාවේ නිකං ඕකුන් එක්ක පැටලෙන්න යන්න එපා ...මහා තිරිසන්නු....."
ගේ ඉදිරිපිට පාර අද්දරට වන්නට ඇති වඩු මඩුවේදී තම ගෝලයා වන නිමල් සමග මීට මාස කීපයකට පෙර ඇතිවූ දෙබස රත්නසේනට මතකයට නැගෙන්නට විය........
එදා ඔය කියන බයිසිකලේ සද්දෙට පාරේ යනවිට නිකමට ගේ දිහා බලද්දී ලොක්කි ජනෙල් තිරය පහත දමා ජනේලය ලඟින් මෑත් වෙන හැටි දුටුවිට ඒ පිලිබඳ විශේෂ හැගීමක් එවෙලේ ඇති නොවුනත් දැන් රත්නසේන බාස්ට සියල්ල සක් සුදක් සේ පැහැදිලි වන්නට විය .
*******
"මට තිබුනේ පාරක් දෙකක් ගහලා හරි ගෑනි රට යන එක නවත්තගන්න ....දැන් මොනවා කියල කොරන්නද දෙයියනේ....."
කොහොමටත් ලොක්කි මුරණ්ඩුයි කියලයි .නොගැලපෙන පෙම්හබ වල පැටලෙනවායි කියලනේ කේන්දරේත් තිබ්බේ... කේන්දරේ තිබ්බ ඒ කතා ව ඇත්තයි කියලා රත්නසෙනට හිතුනු දෙවැනිවතාව..
විභාගෙට මාස දෙකකට විතර කලින් ඉස්කෝලේම පිරිමි ළමයෙක් එක්ක තිබ්බ සම්බන්දෙ ප්‍රින්සිපල් හාමුදුරුවන්ගේ අතටම අහුවෙච්ච වෙලාවේ ...ප්‍රින්සිපල් හාමුදුරුවෝ රත්නසේනට කියපු දේ තාම ඇහෙන්නා ඇහෙන්නා වගේ ..
"රත්නසේන බාසුන්නහේ ...විභාගේ ළඟ හින්දයි මම මේ සමාව දෙන්නේ...දෙමව්පියෝ වුනාම මීට වඩා වගකීමෙන් ළමයි ගැන හොයලා බලන්න ඕනේ .."
රත්නසේන පියවිලොවට ආවේ ලී ගේට්ටුව ඇරෙන කිරි කිරි සද්දේ ඇහුනු නිසා ...
"කොහෙද උඹ යන්නේ ..."
"මැහුම් ක්ලාස් ....ඇයි...?
"නෑ ඕනේ නෑ .....උඹේ පන්ති යැවිල්ල දැන් ඇති.."
"අනේ තාත්තේ...."
"අනේ පනේ ඕනේ නෑ ...පලයන් ගෙට මම නරක මිනිහ කරගන්නේ නැතුව.....අර රස්තියාදු කාරයා එක්ක රවුං ගහන්න......උඹලා අම්ම හිටියනං උඹව ඇහේ ඉඳන් පට්ට ගහනවා...."
"හහ අම්මා හිටියනං......?"
"අම්ම හිටියනං හොඳයි තමයි.... අම්ම ජනක අයියව දන්නවා......අම්මට රට යන්න ඒජන්සිය හොයලා දුන්නෙත් ජනක අයියා .....හහ්.. අම්ම ආපුවාම බලාගමුකෝ කවුද දිනන්නේ කියලා ......."
ලොක්කි ගස්ස්ගෙන හැරිලා යන හැටි බලන් ඉන්නකොට රත්නසේනගේ ඇස දෙකට කඳුළු උනන්න ගත්තේ නිකම්ම.......රටේ ලෝකේ මිනිස්සු වහෙන් ඔරෝ කියන දේවල් කනට වැටිලා තිබුනත් ඒ දේවල් වල තමුන් නොදන්නා තව ගොඩක් දේවල් තියෙනද කියන සැකේ රත්නසේනට ආවා .
"ඉතින් අම්ම වගේම නැතා දූ පොඩ්ඩත්....මං උඹට හූනා කියන්නහේ කිව්වා මලේ... උඹ ඒකිගේ පොත්තට රැවටුනා...දැන් ඉතින් බැඳගත්තා නම් බෙරේ ගහපං.... පොට වරද්දගත්තම එන්න විතරක් එපා හතර මායිමේ .."
ලොකු කෙල්ලගේ ඉස්කෝලේ පලහිලව්ව ආරංචි වෙච්ච දා සමූපෙදී හම්බවෙච්ච අක්කා කියපු කතාව රත්නසෙනට ආයෙත් මතක්වුනා.
ඇත්තටම මල්කාන්තිට තිබුනේ තමුන් වගේ මනුස්සයෙකුට නොගැලපෙන ලස්සනක්ද කියලත් රත්නසෙනට දැන් හිතෙනවා ..
රත්නසේන මල්කාන්තිව බලන්න ගිය පළවෙනි දවසේ ඉඳන්ම මල්කාන්තිව රත්නසේනට බන්දලා දෙන්න මල්කාන්තිගේ අම්මට තිබ්බේ පුදුම හදිසියක් කියලයි ඒ දවස්වල අක්ක නම් කිව්වේ....
"කොහොම හරි අන්තිමට අපේ හරකා කෝම්බයක් කරගහුවා....." අක්කගේ කතාවල තේරුම හොයන්න ඒ දවස්වල උනන්දුවක් නොතිබුනේ තමුන් මල්කාන්තිගේ රූපෙට වහ වැටිච්ච නිසාද කියලත් රත්නසේනට හිතුනා...
අනේ දෙයියනේ......කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව රතන්සේනට තමන්ගේ ඔලුව තෝන්තු වෙනවා වගේ දැනුනා ...
*******
"පොඩ්ඩියේ ....."
පොඩි දුව පාසල් ඇරී ..නිවසට පැමිණෙනු දුටු රත්නසේන වෙනදා පුරුද්දට මෙන් ඇයට ඇමතුවේය....
"තාත්තේ......"
ඇගේ දත්වලත් උඩු තොලේ හා නහය මැද වියලී ගිය චොකලට් ලාටු තැවරී තිබෙනු දුටු රත්නසෙන සැබවින්ම හිනාවියයුතු වුවත් ......එය දැකීමෙන් ඔහු තුල ඇති වූයේ කුතුහලයකි.
"මෙහාට වරෙන් දුවේ...., මොනවද පුතේ ඔය මූණ පුරාම ගෑවිලා තියෙන්නේ....?"
"ජනක අයියා මට චොකලට් එකක් දුන්නා .."
"ඒ මොකටද ...?"
"නිකං .....අක්කට මේ පොත ගිහින් දෙන්න කිව්වා ..."
ඇය පෙන්වූ පොත අතට ගත රත්නසේන එහි පිටුවක් නෑර පෙරලා බැලුවේ ලියුමක් දකින අටියෙනි. නමුත් එතුල කිසිවක් නොවීය.....
"හා දීපංකො එහෙමනං " කියා පොඩ්ඩි දෙසට පොත දිගු කල රත්නසේන....
"පොඩ්ඩක් හිටපං....කියා නැවත පොත පෙරලන්නට විය .....එකින් එක පිටු පෙරලන විට එකට අලවා තිබූ පිටු දෙකක් අතර තිබූ ලියුම දුටුවේය.
හාහ් මුන්ගේ ගොරක මදි අපිව තම්බන්න .."
"හත් දෙයියනේ..........."
"ආදර නිමන්ති..!
ඔයාගේ තාත්තා ඉන්නකං අපි දෙන්නට මෙහෙම දුරින් ඉන්න තමයි වෙන්නේ
ඔයාගේ තාත්තාට ගේමක් දෙන එක මට මහා දෙයක් නෙවෙයි ..ඒත් ඒකට ඔයා
අකමැති නිසා....දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයි.
තාත්තා පොඩ්ඩක් එහෙමෙහෙ වෙනකං ඉඳලා ඔයා කෙලින්ම දුවන්න
පොලිසියට. ගිහින් කියන්න ,තාත්තා ඔයාට හැමදාම අතවර කරන්න හදනවා
..ඔයා මේ බේරිලා පැනලා එන ගමන් කියලා. අම්මත් රට නිසාත්
ගෙදර වෙන ගෑනු අය නැති නිසාත් පොලිසිය
ෂුවර් එකටම ඕක විශ්වාස කරනවා. ඔයා චාන්ස් එක ආපු ගමන් යන්න
යද්දී තීන්ත කඩේ ජයනාත්ට පණිවිඩේ දීගෙන යන්න.
මම එන්නම් පොලිසිය ගාවට , පොලිසියේදී වෙන්න ඕන ටික අබ්දුල් අයියා කරයි .
ජනක
රතන්සේනගේ කඳුළු පිරුණු දෑසට නැවතත් පෙනුනේ බුදු පින්තූරෙට පහලින් එල්ලා ඇති තම රූමත් බිරිඳගේ ඡායාරූපයයි.....