Saturday, March 23, 2024

Dream Cafe



     ඩක්ලින්ටන් ලේන් වෙත ඔක්ස්ෆර්ඩ් ටියුබ් බස්රිය ලඟා වන විට හිමපතනය ආරම්භ වී සුළු වේලාවකි. මේ සිසිරයේ දුර ගමන් යාමට නම් ඔබට ගලපෙනම ප්‍රවාහන මාධ්‍යය වන්නේ මෙවන් සැලසුමකි. මන්ද සිසිරයේ හරි මැදදී අසාමාන්‍ය සීතල මෙන්ම හවස තුනහමාර හතර වෙද්දී පරිසරය හාත්පස වෙලාගන්නා දැඩි අඳුර සහ අනපේක්ෂිත හිම පතනය හෝ වර්ෂාව මැද රිය පැදවීම බොහෝ සෙයින් ජනාකීර්ණ සහ වාහන පිරුණු ලන්ඩනයේදී ආරක්ෂා සහිත බවක් නොදැනෙන බැවිනි. 

හරි වෙලාවට විනාඩි තුනක් ප්‍රමාද වී පැමිණි බස් රථයේ යුක්රේන ජාතික රියදුරු  පමාව ගැන කනස්සල්ල  පල කරමින් මාගේ තරමක් විසාල ගමන් බෑගය රථයේ ගමන් මළු රඳවන ස්ථානයට ඇතුල් කර ගමන ආරම්භ කලේ. මා වෙන්කර තිබු අසුනේ අසුන් ගන්න තුරු රථය මැද ඇති පසුපස බලන දර්පනයේ දෙස යොමාගත් ඇස නැවත මාර්ගය වෙතට හරවා ගනිමිනි. 

බොහෝ නවකතා කෙටිකතා මෙන්ම චිත්‍රපටි  අනුව යමින් සීතල වැස්සට වූ සහ තනිකමට විසඳුම් සියල්ලේම මහා පොදු සාධකය වන උණුසුම් කෝපි පිරවූ කඩදාසි බඳුන රැගෙන ඒමෙන් වූ සැනසිල්ල තවත්  තීව්‍ර වූයේ මාගේ අනික්පස අසුනේ කිසිවෙකු නොවූ බැවිනි.  හෙඩ් ෆෝන් එකේ ආධාරයෙන් මාගේ අතරැඳි ජංගම දුරකථනයේ ගබඩා කර ගත ගීත ගොන්න ආරම්බ්භ වෙද්දී මා දෑස් පියා ගත්තෙමි. 

ගිමන් හරින දියඹ දිගේ 

සුසුම් හෙලන වෙරල කොනේ

බස යන හිරු අඩෑසි   සඳට 

රහස් කියනවා .. සඳ ආදරයෙන් 

අහස පුරා රටා මවනවා 

**********

Saturday, March 16, 2024

Voltage

 



රොඩ් ජේසන් ගේ සිරුර භූමදානය කර තිබූ ලොස් ඇන්ජලීස් නගරයේ ශාන්ත මොනිකාහි  හොලිවුඩ් ෆොර් එවර් සුසාන භූමියෙන් ඔහුගේ සිරුර කිසිවෙකු විසින් සොරාගෙන තිබීම සමස්ත ඇමරිකාවම ප්‍රශ්නාර්ථයක ගිලවා තිබුණි. මෙහි වඩාත්  සිත්ගන්නා සුළු කොටස වන්නේ  ජෙසන්ගේ විශේෂ ඉල්ලීම මත කිසිම කල් තබාගැනීමේ ක්‍රම වේදයක් රහිතව පැය විසි හතරක් තුල සිදුකල භූමදානය අවසන් වී පැය හයක් ගතවීමටත් මත්තෙන් මෙය සිදුවී ඇති බව දැන ගැනීමට ලැබීමයි. එසේම ජෙසන්ගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය බහාලීමට  නිමවී තිබුණු අඟල් හයක ඝනකමක් ඇති අඩි හයහමාරක් දිග සහ අඩි තුනහමාරක් පළලැති විශේෂිත බහාලුමද සමගින්ම සිරුර හොරකම් කර තිබීම  තවත් අභිරහසක් විය..

*****

Tuesday, March 5, 2024

ප්‍රේම භීතිකා

 


නින්ද නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්...දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවා නම්.

මට කාලයක් තිබ්බා ඔය සින්දුව ඇහෙනකොට ඇඬෙනවා.මං දන්නෙ නෑ ඇයි කියලා ඒත් ඇඬෙනවා. . ක්‍රෂ් එකක් හිටියෙත් නෑ මට හිත ගිය කෙල්ලෙක් හිටියෙත් නෑ. කොටින්ම එහෙම වුවමනාවක් තිබුනෙත් නෑ. ඒත් ඒ සින්දුව ඇහෙද්දි ඇඬෙනවා.

ඔය අතරෙ තමා මේධානිකා මගේ ජීවිතේට ආවේ. මට ඉස්සෙල්ලම හිතුනේ මොන විකාර නමක්ද මේ කියලා.

මේධා මේධනී මේධානි වගේ නම් අහල තිබ්බට මේධානිකා කියලා නමක් ඇහුවමයි. මේධානිකා ප්‍රතිභාවි ඉරුගල්බණ්ඩාර මේ නම ඇහිච්ච ගමන් මම නම් මට හිතුනෙ මොන හත්වලාමක්ඩ්ද   යකෝ මේ කියලා.

කාලයක් යද්දි මේධානිකා මේධානි මේධා වෙලා අන්තිමට මේධි වුණා. මේධිට ඕන වුනේ හැමදාම ඇවිදින්න යන්න. කොටින්ම කිව්වොත් ට්‍රැවලිං පිස්සෙක්... පිස්සෙක් කිව්වට පිස්සියක්. 

මං ඒකෙ අනික් පැත්ත. මට ඕන වුනේ නිවාඩු දවසට නිදාගන්න. දවසම හරි කමක් නෑ.කොටින්ම මම මහා කම්මැලි ජීවියෙක්.  රෙදි ටික ඔක්කොම බයිසිකලේ පටවගෙන ගෙදර ගිහිල්ලා අම්මට හෝදන්න දාලා රෙදි හෝදගෙන ආපහු කොළඹ එනවා.  ඩේලි රූටින් එකෙන් පිට මම කරන එකම වැඩේ. 

විශේෂ විනෝදාංශයක්, ක්‍රීඩා හැකියාවක්, කලා හැකියාවක් හෝ ගණිතමය, විද්‍යාත්මක හැකියාවක්, විශේෂ ලස්සන පෙනුමක්, උසක්, මහතක් හෝ ඇඟක් නොතිබ්බ කොටින්ම විශේෂයක් නැති මෙලෝ රහක් නැති හාල් කෑල්ලක් වෙච්ච මං වගේ ඩයල් එකකට මේධි වගේ කෙල්ලෙක් කැමති වුනේ ඇයි කියලත් හිතෙනවා.

ගුණරත්නගේ කණ්ඩුල නජිත් ගුණරත්න වන මම,  office එකේ අනිත් එවුන් මට කතා කරේ මගේ මුල් නං වල මුල අකුරු වලින්. ගූකන ගුණරත්න කියලා තමා වැඩිදෙනෙක් කතා කලේ. ඕක ගූකන්නා, ගූකනෙයියා වගේ නම් වලටත් හැරුණා. මුලදි මුලදි ඕක ඇහෙන කොට මට ඇඬෙන්නැති ටික විතරයි. මට හිතාගන්න බැරි ඉස්කෝලෙදි ඔය නම කාටවත් මතක් වුණේ නැත්තේ ඇයි කියලා. පස්සෙ පස්සෙ මට ඕය නම ගාණක් නැතිවුනා , මම ඒකට රියැක්ට් කරන එක නැවතුනාම අනිත් එවුන් මට ඒ නමින් කතා කරන එකත් බොහෝ දුරට න්වැතුණා. ඒත් එකෙක් විතරක් හැමදාම ගූඛාන් කියලා කිව්වා. 

*********