"විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද? "
"ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .
වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,
"මං යනෝ..."
*******
"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "
එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......
"සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..........
ඒ ගමන් දැම්ම සිංදුවක් ,කොහොමත් උඹලට නොකිව්වට පාරට බැස්ස වෙලේ ඉඳන් මල අතේ අරන් තමයි අපි යන්නේ...අවුරුදු ගානක් තිස්ස්සේ බස් එකට නැග්ග හෝල්ට් එක ළඟ අලුතෙන් දාපු ලොතරැයි කූඩුවේ මේ කන්කරච්චලේට හුරුවෙන්නනම් මට කොහොමත් බැරිවුනා ...
"උදේ පාන්දර හිනාවෙලා එන්න මහත්තයා එන්න නෝනා ,කෝටි තුනක් ඇදුනෝත් හැමදාම හිනාවෙලා තමයි....එන්න එන්න අද අදිනවා අද අදිනවා...."
මූ ඒ ගමන මටද කියන්නේ ,කිව්වත් වගේ ඇදුනොත් එහෙම ගොඩම නේද...? ටිකට් එකක් ගමුද ...? එක්කෝ ඕන නෑ.... ඕව ඇදෙන්වනම් බැරියැ.... ...
"බස් සුමිත් ගේ සින්දු නැති බස් එකකට ගොඩවෙන්න ලැබේවා කියා හිතාගෙන මම ආපහු පාර දිහා බැලුවා ...."
*******
"නැග්ග අය ටිකට් ගන්න ....." කොන්දොස්තර කොළුවා කියනකොට මට හැමදාම වගේ අදත් හිනායන්න ආවා ...
සල්ලි දීලා ටිකට් එක අතට ගත්ත මම සෙනග අස්සෙන් තෙරපීගෙන ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙන්න උත්සාහ කලේ පුරුද්දට වගේ, නැත්තම් බහින්න ගියාම හතරවටෙම ඉන්න එවුන්ගේ ගෙරවිලි පිප්පිලි බලන්න එපැයි. හැමදාමත් සාඩින් පැක්කරලා වගේ තියෙන බස් එකේ මේ ගමන දිනචරියාවේ අංගයක්.
"මොන ඉස්සරහට යෑමක්ද ..? කිටිකිටියේ හිරවුණු මිනිස්සු ගෑනු අතරේ මගේ ගමන නිකම්ම නැවතුනා...
" නිකමට වගේ පිටිපස්සේ පර්ස් එක තිබ්බ සාක්කුවට මගේ අත යැව්නා...
"හත්දෙයියනේ......" මගේ කන්දෙකෙන් පටන් ගත්ත ගින්දර පිටවීම ඇඟ පුරාම පැතිරෙන්න තප්පරයක්වත් ගියේ නෑ... බඩ පපුව පිච්චිලා ගියේ ....ඊයේ පෙරේදා කාපුවත් එක්කමයි.....
"පර්ස් එක නෑ....." කරන කියන දේ හිතන්නත් කලින් මගේ ඇස් දෙකටම කඳුළු පිරුණා.....
*******
" ඉස්සරනම් රුපියල් පනස් දාහක් ගෙනියන්න බෑග් එකක් ඕන ... එකට දැන්...පන්දාහේ කොළ දහයයි , මේ බලන්න විනීතා.. පර්ස් එකේ දැම්මට දැනෙන්නේවත් නෑ...."
"අනේ මේ පර්ස් එකේ දාගෙන ගිහින් ඕක නැති කරගන්නේ නැතුව ආරක්ෂා ඇතුව අරන් යන්න අනේ .....මල්ලිගෙන් වැඳලා වගේ සල්ලිටික ඉල්ල ගත්තේ ...නැත්තං අපරාදේ පරම්පරාගානක් තිබ්බ රත්තරන් බඩුටික නිකං සින්නවෙලා යනවා "
"නෑ විනීතා පර්ස් එකේ තමයි දාගෙන යන්න ඕන එතකොට කවුරුවත් සැක හිතන්නේ නෑ. මොකද මේ පඩි දවසුත් නෙවෙයි නේ.....මේ කාලේ කාගේවත් පර්ස් වල සල්ලි නෑ කියලා පොකට් කාරයෝ දන්නවා .."
අපි ඕනවට වඩා පරිස්සම වෙන්න් ගියොත් තමයි පොකට් කාරයොත් සැක හිතන්නේ ...නෝමල් විදිහට හිටියම ඉවරයි "
"ඕන එකක් ..සල්ලි ටික පරිස්සම් කරන් ගිහින් මගේ බඩුටික බේරගෙන එන්න..."
රෑ තිස්සේ වෙච්ච කතාබහ මගේ මතකෙට ආවේ ක්ෂණයෙන් ......දැන් මම විනීතට මොකද කියන්නේ දෙයියනේ...කොහොමඩ් මේ ණය ගෙවන්නේ ..බඩුටික බේරාගන්නේ......
*******
"මොකක්ද මිනිහෝ වෙලාතියෙන්නේ ....තියෙන වලත්තකම ......තොපේ ගෑනු දෙන්නේ නෑ කියලා අපේ පුකවල් පලිද ......"
මගේ ඉස්සරහම වගේ හිටපු කොට සායක් ඇඳගත්ත වෙස්මූණ වගේ මූණ පුරාම ලාටු උලාගත්ත ගෑනියෙක් කාටද මහා හයියෙන් බනිනවා ඇහිලා මම ආයෙත් පියවි ලෝකෙට වැටුනා.....
"මහත්තයා මේ මොකද තොට ඇම්මද ...? හැඩි දැඩි රස්තියාදු කාර පෙනුමක් තියෙන බෙල්ලේ පච්චයක් ගහපු මිනිහෙක් මගේ ෂර්ට් කොලට් එකෙන් අල්ලගත්තම තමයි මට තේරුනේ මේ බනින්නේ මටයි කියලා ...
"අනේ මං මුකුත් කරේ නෑ......"
'මුකුත් කරේ නෑ ...? මමත් බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් උඹ ඇඹරි ඇඹරි ඉන්නවා ..පරයා දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න ......" ඉහලට ගත්ත ඒ මිනිහගේ අත මගේ මූණ හරහා පත්වුණේ මට හිතන්න වෙලාවක් තියන්නේ වත් නැතුව ..
තරු විසිවෙන්නාවගේ දැනුණු මට ටික වෙලාවක් යනකන් කතා කරගන්න බැරුව හිටියේ .....
"හොඳ වැඩේ හම්පඩයට ...අනේ තැනක් යූ මල්ලි....මෙහෙම එවුන් එල්ලන්න ඕන ...ඒ ගමන අර ගෑණු මනුස්සයාගේ කටහඬ ආයෙත් ඇහෙද්දී ...
"ඇයි ඇයි මොකද මොකද...කියාගෙන් කොන්ද්දෝස්තර මල්ලි එතනෙට ආවේ...
අනේ මං කාටවත් මුකුත් කරේ නෑ ...මගේ ...මගේ පර්ස් එකට ගහලා ..." මට ඇඬුම අතරින්ම කියවුනා....
"බස් එකම විනාඩියකට නිශ්ශබ්ද වුනාවගේ මට දැනුනා ...
"ඒක වැටිලද බලන්න මම හැරෙනේකොට මේ මිස්ගේ ඇඟේ වැදුනද දන්නේ නෑ ..අනේ මගේ පර්ස් එක ..."
මට ගහපු මනුස්සයා හිමින්ම ලිස්සලා වෙන පැත්තකට යනවා මට පෙනුනා....
"මහත්තයා කොහෙන්ද නැග්ගේ ..? සල්ලි ගොඩක් තිබ්බද ...?"
" කොට්ටාවෙන් .... පනස්දාහක් තිබ්බා ....."
මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබ්බ බස් එකෙක් සූ සූ සද්දයක් ඇතිවෙනවා වගේම
"පිස්සු යකෙක් පනස් දාහක් පර්ස් එකේ දාගෙන යන්නේ "
"දැන් ඉතින් ඕක හොයලා හමාරයි....""
"කොට්ටාවෙන් ....? මහත්තයා කොට්ටාවට පස්සේ කවුරුවත් බැස්සේ නෑ ...
"කවද්ද ඕයි තමුසෙලාගේ මේ ඉලව්වෙන් මිනිහෙක් බැස්සේ ...මේකට පටවනවා විතරනේ බෑමක් නෑ ...ඒකනේ මෙහෙම වෙන්නේ ...අතපය හතර හොයාගන්නත් බෑ ....."
ඒ අස්සේ තව කවුදෝ කෙනෙක් සියලු තරහා පිටකරා ...
එහෙනම් පර්ස් එක ගත්ත එකා ඇතුලේමයි ඇත්තේ ....ධර්මේ අයියා අල්ලමු පොලිසියට ...."
"ශික්..." "අපෝ " "අදත් ඉවරයි දවසම"
*******
"ඕක ගත්ත එකා විසි කරන්න ඇති එලියට වැඩේ ලීක් වුනාට පස්සේ ..."
"ඔව් උන්ගේ එවුන් හැමතැනම ඉන්නවනේ ...."
"පව් "
"අදත් ඉතින් ෂෝට් ලීව් ...ඕවා කිව්වට පිළිගන්නෙත් නෑ අනේ ඔෆිස් එකෙන් හැමදාම පරක්කුවෙන එවුන් ඔයවගේ ඒවමනේ කියන්නේ ..."
මිනිස්සු නොයෙක් කතා කියමින් පොලිසියෙන් පිටවුනේ කේන්තියෙන වගේ, වැඩි දෙනෙක් මගේ දිහාට හෙළුවේ තෝ අපේ දවසම කෑවා කියන්නාවගේ ..
"කරන්න දෙයක් නෑ මහත්තයා හැම කෙනෙක්ම චෙක් කලානේ ..."
"කමක් නෑ රාලහාමි බොහොම ස්තුතියි....."
මූණේ පැත්තක් රිදෙනවා ඉවසගන්න බැරුව .......
ගෙදර ආපු මට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පෙනුනේ ඉස්තෝප්පුවේ පරණ පත්තර ගොඩක් තෝරන විනීතා ..දෙයියනේ මම දැන් මේ ගෑනිට මොනවද කියන්නේ ..මට ඊයේ රෑ තිස්සෙම කිව්වේ රත්තරන් බඩුටික බේරගන්න එක ගැන ...
"ආ ඔයා ආපහු ආවද ......කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ ....ඔයා පර්ස් එක මල් වාස් එක උඩ තියලා ගියේ ඇයි ...? අමතකවෙලාද?
"ඈ පර්ස් එක මල් වාස් එක උඩ ...?"
"ඔව් ඇයි ..? ...දෙයියනේ මොකද මේ මූණට වුනේ ...?