මේක අපි " අපොස උපෙ " ඉන්න කාලේ වෙච්ච සිද්දියක්, මං තුමාගේ හොඳම යාලුවා තමයි මෝරා , මිනිහගේ නම මෝරා නෙවෙයි, ඒක සුරතල් නාමය, මෝරා හිටියේ අපේ ගෙදරට පහල ගෙදර බෝඩ් වෙලා, අපි දෙන්නා ගණිත කැලෑසියේ, මෝරගේ බෝඩිමේ හිටපු වසන්තයා අපේ පන්ති වලම බයෝ ක්ලාස් එකේ,
අපි දෙන්නා ( මෝරයි මමයි ) නාවර පෙරාගත්ත හඩ්ඩො වගේ හිටියට වසන්තයා නළුවා වගේ, හෙන බර තිබ්බ පොරක්, ඉස්කෝලෙට දාන්නේ ඩේක් ශූස් කෙල්ලෝ අතර ඉහලින්ම කැපිලා පේන හාදයා, මේකා අපිව වැඩිය ගණන ගත්තෙත් නෑ, කොහොම උනත් අපි මුට කිව්වේ දහවෙනි සෝබා කියලා, මොකද මුගේ සෝබනේ උපරිමයි, ( ඇයි බං ඔය පලවෙනි විජයබාහු,දෙවැනි විජයබාහු වගේ මූ දහවැනි සෝබා)
මූ ට කෙල්ලොන්ගේනුත් ෆුල් එකවැටෙන නිසා අපිට මූත් එක්ක තවත් මල
මේ කතාවේ අනික් චරිතය තමයි මිහිරාවි, මිහිරාවි කියන්නේ අපි දහතුන වසරේ ඉන්නකොට දොළහා වසරේ හිටපු ගෑනුලමයෙක්, ඇත්තම නම මිහිරි, නම එක උනාට ඉස්කෝලේ හැමෝම කිව්වේ මිහිරාවි කියලා, මේකි කොච්චර ලස්සනද කියලා කියනවානම් ඒ කාලේ ඉස්කෝලේ හිටපු කැපී පෙනෙන අය්යලා, අපේ පන්තිවල හිටපු හෙන බ්‍රයිටෝ, ක්‍රිකට්, බාස්කට් බෝල්, ෆුට් බෝල් ටීම් වල පොරවල් පනහකට වඩා මේකිට ට්‍රය් කළා ඒ තරම් ලස්සනයි, අපි දන්නා විදිහට ඉස්කෝලේ සර්ලා කීපදෙනෙකුත් ට්‍රයි කරලා තියෙනවා, හැබැයි ඒ ට්‍රයි කරපු හැමෝම කනේ ඇඟිලි ගහගන්න මෙකිගෙන් අහගත්තා සුද්ද සිංහලෙන්ම සියලු ජනතාව ඉදිරියේ,
මේකිගේ නම වගේ නෙවෙයි කට! හම්මෝ සැර, ඒකනිසා හොඳටම ගට තිබ්බ එකෙක් ඇරෙන්න මේකිගෙන් අහන්න නම් ගියේ නෑ, අනික තමයි මේකි අපේ ඉස්කෝලේ පිනාගේ අක්කගේ දුව. අපි ඒක දන්නේ ගොඩක් පස්සේ, අපි හොල්මන් වෙලා බලාගෙන් හිටියේ අහන අහන එකාට (සර්ලටත් එක්ක ) පන්තියටම ගිහින් විලිලජ්ජ වෙන විදිහට බනින්න මේකිට ගට කොහොන්ද කියලා, පිනාගේ නෑ කම දැනගත්තට පස්සේ එකී මොනවා කිව්වත් කව්රුවත් හ්ම් කිව්වේ නෑ එයාටනම්,
මේකිගේ හොඳ පුරුද්දක් හැටියට මමනම් දැක්කේ වෙන එකෙක් දාලා අස්සෙව්වත් බනින්නේ අදාළ පුද්ගලයාටමයි, ඒක නිසා කපුවෝ, තොල්කයෝ බය නැතිව සැනසීමෙන් හිටියා,
මේ නිසා තරහා කාරයොන්ට බන්නපු අවස්ථා එකක් දෙකක්කුත් තිබුනා, ඒත් කව්රුවත ඒක පුරුද්දට කලේ නෑ පිනා නිසා,
මේ අතරේ දහවැනි සෝබා අපේ පාසලේ සාහිත්‍ය සමිතියේ සභාපති තනතුර ලැබුණා, ඒ අපේ බොක්කක් පරද්දල වැඩි චන්දෙන්, සෝබා ට කෙල්ලොන්ගේ නොකැළැල් මනාපය හිමිවීම නිසා , දැන් මූ යන්නේ අඩියක් උඩින්, අපිට මලේ මල, දැන් මේකට මොකද කරන්නේ කියලා හිතහිත ඉන්නකොට අවා අදහසක් මෝරා ට ,
" මචං ප්‍රගියා දෙමු සෝබා ට විලි ලජ්ජා වෙන්න වැඩක්"
" මොකක්ද බං"
" අපි මිහිරාවි ගෙන් අහමු "
" මොකක්ද"
" අපි මිහිරාවිට කියමු සොබා ඔයාට කැමතියි , ඔයා මොකද කියන්නේ කියලා අපිට අහගෙන එන්න කිව්වා කියලා"
" තොට පිස්සුද උලමෝ කන්නවෙයි නැවකට"
" නෑ බං උඹට මීටර් නැද්ද ඉතිහාසේටම එකී කපුවා ට බැනලා නෑනේ බං, සෝබා ට හම්බවෙයි ටොපිය"
" එකනම් ඇත්ත තමයි, අදම ක්‍රියාවට නගමු,"
අපි දෙන්න පහක් දාල ඉන්ටවල් දෙනකම් ඇඟිලි ගැන ගැන හිටියේ ,
" ට්‍රාන්00000000000000"
බෙල් ඒක වදින්න පටන් ගන්නකොටම එලියට පැන්න අපි දෙන්නා මිහිරාවිගේ පන්තිය ළඟ සීරුවෙන් හිටගෙන හිටියා. අපිට දැන් මැවිලා පේනවා, අසරණ සෝබා කන පාත් කරගෙන මිහිරාවිගේ නාදය අහගෙන ඉන්න හැටි ,
" අන්න ආවා "
" නංගි නංගි "
මිහිරාවි සුපුරුදු නස්පුක් බැල්මෙන් බලාගෙන ඉන්නවා අද කව්ද මේ ඇගෙන් නාන්න හදන හාදයා කියලා.
" නංගි මේ අපිවඑව්වේ අර වසන්ත අය්යා , අර සමිතියේ සභාපති,"
"ඉතිං"
" ඇත්තටම නංගි ඌ හොඳ කොල්ලා, මිනිහට ඔයා ගැන අදහසක් තියෙනවා, අපිට කිව්වා ඔයාගෙන් අහලා බලන්න කියලා,"
දැන් අපි බලන ඉන්නවා මේකි ආවේසවෙලා බයෝ පන්ති පැත්තට දුවනකං,
මේ මොන මගුලක්ද යකෝ, පල ගිහින් බැනපියකෝ අරූ ගේ රෙද්ද ගැලවෙන්න, අපි ඉතසිතින් පතන්නේ ඒක.
" ඔය ඇත්තමද අය්යේ,"
" බොරුවක් කියන්න අපි ඔයා ගාවට එනවද නංගි, මට බෝඩිමේදී ඉන්න දෙන්නේ නෑ ඔයාගෙන් අහනකන්"
" මට තව ටිකක් හිතන්න ඕනේ අය්යේ"
අපිව කරකවලා අතඇරියා වගේ,
" මොන හතිලව්වක්ද යකෝ ඒ උනේ,"
" මේක අත අරින්න නරකයි මූ ට බන්නලමයි මම පස්ස බලන්නේ "
මෝරා ගේම අත අරින්න කැමතිම නෑ වගේ,
කෙලින්ම බයෝ පන්තියට ගිය මෝරා
" මචං වසා අන්න උඹට මිහිරාවි හම්බ වෙන්න කිව්වා "
" අර මොකටද"
" අපි කොහොමද බං දන්නේ ගිහින් බලපන් අදම"
ඉස්කෝලේ ඇරිලා මිහිරාවි යන පස්සෙන් දුවන සෝබා දැකලා අපි වෙනදාටත් වඩා හයියෙන් ගෙදර දිව්වා.
අපේ ගෙට පහලින් මෝරාගේ බෝඩිම ළඟ පාර අයිනේ තියෙන බෝක්කුවඋඩ වාඩිවෙලා පුරුදු විදිහට පච ඇර ඇර ඉන්නකොට අපි දැක්ක ඈතින් සෝබා එනවා,
" ඒයි අන්න අරූ එනවා"
" දුවමු මෙතනින්"
" ඒ මොන මගුලකටද?"
" යකෝ දැන් අරූ අපිව කයි"
"ඒ මොකටද? උඹ හිටපන්කෝ මමනේ බලාගන්නේ"
මෝරා පොරවෙලා එකසියගානට, මම හිතුවේ නෑ මුට සෝබා එක්ක මෙච්චර මලක් තියෙනවා කියලා,
වෙනදා අපි මෙතන ඉන්නවා දැක්කම ගනන්වත් නොගෙන අහක බලාගෙන යන සෝබා අපි ලඟට හෙමීට ආවා,
දෙයියන්ට ඔප්පුවෙච්චාවේ මේකාගේ ඇස් පුරෝලා කඳුළු,
" මචංලා, මට සමාවෙයන්ලා බං "
" ඇයි බං , මොකද අවුල ,"
" මම මෙච්චර දවසක් උඹලා දෙන්නට සැලකුවේ හතුරන්ට වගේ, උඹලා ගැන මම හිතන් හිටපු හැටි වැරදයි , උඹලා මේ කරපු උදව්ව මම මගේ ජීවිතේ තියෙනකන් අමතක කරන්නේ නෑ, වරෙන් යන්න කොත්තු පාරක් දාන්න, අදින් පස්සේ උඹලා දෙන්න තමයි මගේ අතිජාත මිත්‍රයෝ,"
මගෙයි මොරාගෙයි බෙල්ලේ පොට ගියේ නැති ටික විතරයි කරකවලා, මේ මොන අන්දරදෙමලයක් ද මේ?
" මචං මම මිහිරාවි ගැන ලියපු කවිය නැති උනාම මම හිතුවේ උඹලා දෙන්නා ඒක උස්සලා මට ගේමක් දෙන්න හැදුවා කියලා, ඇත්ත කියපන් උඹලා ඒකෙන නේද දැනගත්තේ මම මිහිරාවිට ට්‍රය් කියලා,"
මල්ටිබෝන්ඩ් ගාපු පාන් කෑවා වගේ අපේ දත කට පූට්ටු වෙලා,
" එතකොට මිහිරාවි උඹට බැන්නේ නැද්ද?" අන්තයටම බලාපොරොත්තු කඩවෙච්ච මෝරා මටත් තිබුණු ප්‍රශ්නෙම එලියට දැම්මේ තවත් හිරකරන් ඉන්න බැරි නිසා.
" නෑ බං එකී මට කැමතියි ලු , මම අහනකං ඉඳලා තියෙන්නේ, මමත් ඇත්තටම අහන්න බයේනේ බං හිටියේ, උඹලා දෙවිවරු,"
"වරෙන් යන්න කොත්තු පාරක් දාන්න,"
අපි දෙන්න කොත්තු කෑවෙත් කටයි ....කයි වහගෙන, කොත්තු කනකම් සෝබා කන් පිරෙන්න කියෙව්වත් අපි නේවෙයි කටක් හෙල්ලුවේ,
"ගුඩ් මෝනිං අය්යේ" මෙන්න බොලේ උදේ පාන්දරම මිහිරාවි හිනා කටක් පුරෝගෙන අපේ පන්තිය ළඟ, දැන් ඉතිං කාපන්කෝ ටකරං, කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙනවා තමයි ඉවසන්න බැරි කියන කතාව ඇත්ත බව තේරුනේ අදයි,
එදායින් පස්සේ හැමදාම උන් දෙන්නගේ ප්‍රේමය දැකලා අපේ ප්‍රෙෂර් වැඩි උනා ( හොඳ වෙලාවට එහෙම ලෙඩ නොතිබුනේ)
මින් පසු කිසිවෙකුට වල නොකපමු කියා අපි ඒකමතිකවම තීරණය කළා,
අද මිහිරාවි එයාගෙම දිවාසුරකුම් මද්යස්ථානයක් කරනවා ,පෙරපාසලක් එක්කම, සෝබා සම්පත් බැංකුවේ විධායක නිලධාරියෙක් , අදටත් අපි වැරදිලාවත් උන්ගේ ගෙදර ළඟ පාරෙන් හදිස්සියකට වත යනවා දැක්කොත් මුන් දෙන්නා ගෙට බලෙන් ඇදලා අරගෙන සලකනවා උතුරන්න, ඒත් හිතේ කහටක් නැතුව කොහොම සැලකිලි විඳින්නද කියලා ,අපිනම් වැරදිලාවත් උන් දෙන්නට මුලිච්චි වෙන්නනම් ගියේ නෑ, කවදාවත්
කොහොමද අපි කරපු පින,............!