"අනේ තිලකේ අයියේ මේ කතා පත්තරේට දාන්නකෝ...."
"අනේ වැඩක් නෑ සිංදුමී ....... ඔය පත්තරකාරයෝ පස්සේ යන්නයි , එක එකාට පින්සෙන්ඩු වෙන්නයි, මට ඕවා අල්ලන්නේ නෑනෙ.... අනික මම යවපු ඒවා හොඳම කතා විස්ස අතරටවත් ආවෙ නෑනෙ.....'
ඒ වුනාට අයියේ පත්තරේට දිගටම යවන්න කියලයි මම නම් කියන්නේ .........ඔයා මෙහෙම කතා ලියනව කියලා දන්නේ අපේ ඔෆිස් එකේ නිව්ස් ලෙටර් එක කියවන අය විතරනේ."
"ආ තිලකේ .....අදත් මරු කතාවක් දාල තියෙන්නේ , නරකද උඹට මේ රස්සාව දාල ගිහින් ලේඛකයෙක්ම වුනානම්.....නැද්ද සිංදුමී ........"
කොහේදෝ ඉඳලා ආපු පියල් එහෙම කියලා සිංදුමී දිහාට ඇහැක් ඉඟිමරනවාත් සිංදුමී පියල්ට ඔරවනවාත් මම හොඳටම දැක්ක.
මුන් මේ මාව මුරුන්ගත්තේ තියන්නේ බොරුවටද එහෙනං, එහෙම වෙන්නත් බෑ පියලානේ මගේ කතාවක් අපේ "නිව්ස් ලෙටර් 'එකේ පළවුණු ගමන් ඉස්සෙල්ලම කියවන්නේ .
*******
"අයිසේ පියල් සංස්කෘතික අමාත්‍යාංශේ ඔෆිස් එකක් වුනාට මේකේ කිසි ගෝ එකක් නෑනෙ , පටන් ගමුකො සාහිත්‍ය ,සංස්කෘතිය , සභ්‍යත්වේ හරි බැරිනම් අසභ්‍ය හරි මොකක් හරි වැඩක්.......
ඩිරෙක්ටත් දවසක් ඇහුව මගෙන් ඉස්සර වගේ "මැගසින්" එක කරමුද කියලා, අර "රෂියන් ෆ්‍රෙන්ඩ්ෂිප් ප්‍රෝග්‍රෑම්" එකෙන් "ෆන්ඩ්ස්" දෙනවලු"
ටිකක් විනෝදකාමී සෙල්ලක්කාර චරිතයක් වෙච්ච "සී.සී.මහත්තයා " දවසක් ලන්ච් ටයිම් එකෙදි කට්ටියත් එක්ක කනගමන් දාපු අදහස නිසා තමයි , නැවතිලා තිබිච්ච අමාත්‍යංශ මාසික සඟරාව නිව්ස් ලෙටර් නමින් ආපහු පටන් ගත්තේ ,
එකෙන් වුනේ පියල්ගේ වැඩත් මට කරගහන්න වුනු එකයි ....
"මචං පොඩ්ඩක් මේ ටීචර්ගේ වැඩේ බලපං.............. මචං ඔය යව්වන සමාජේ ලේකම් එයි පොඩ්ඩක් බලහන් ...............,මම අර මැගසින් එකේ වැඩකට පොඩ්ඩක් එලියට යනවා මචං."
මැගසින් එකේ වැඩ නැගලා ගියත් ස්වභාවයෙන්ම නිහඬ චරිතයක් වුනු මගෙන් කවුරුත් උදව් ඉල්ලුවෙත් නෑ , මං පැනලා දෙන්න ගියෙත් නෑ .
"මොනා වුනත් නිව්ස් ලෙටර් එක එලටම තියෙනවා ... ඇමැතිතුමාත් සුබපතලා තිබුනා ........"
එක නෙවෙයි කවුද බං මේ "R.D.T.R." කියන්නේ ......"
"කෝ...."
"මේ ..මේ කෙටිකතාව ලියලා තියෙන්නේ ..."
" නියමෙට තියෙනවා නේද පියල්......"
" ඔව් බං මාත් බැලුවා කවුද කියලා .සිරාවට කතාව ගලපලා තියෙනවා.......ඩිරෙක්ටත් සී.සී. කාරයාගෙන් ඇහුවලු කවුද මේ කියලා.."
කට්ටිය "R.D.T.R." හොයන විදිහට මට හිනාවක් යන්න ආවත් සද්ද නැතුව හිටියේ තව ටිකක වාත කරන්න හිතාගෙන.
"ඇයි තිලකසිරි අයියා හිනාවෙන්නේ ..........." ඒ සිංදුමී
"අනේ පියල් ඔය තිලකේ අයියානේ ..."
"කවුද...."
"R.D.T.R. - රණේපුර දේවගේ තිලකසිරි රත්නායක .....අනේ මටත් අමතක් වෙච්ච හැටියක් " සිංදුමී හිසේ අත ගසාගෙන් කී තාලයෙන් මට සිංදුමී ගැන අමුතුම ලෙන්ගතුකමක් දැනුනා ..."
" ආ ... ඇත්තද .....ඇත්තද මචං .....හ්ම් උඹත් දන්නා දේවල්..... කතාවත් නරකම නෑ ....."
පියල් ඒ ටික කිව්වේ එච්චර හිත හොඳකින් නෙවෙයිද කියලා දැන් හිතෙනවා........නරකම නෑ කිව්වේ ...ඉතින් ඉස්සෙල්ල කිව්වේ නියමෙට ගලපලා තියෙනවා කියලා ......
පියල් සින්දුමීට ඇහැක් ගහනව දැක්ක අගමන් මට මතක් වුනේ ඒ අතීත සිද්ධිය ......
ඒ වුනාට සිංදුමී හරිම සංවේදී හිතක් තියෙන කෙනෙක්, මගේ නිර්මාණ වැඩියම අගය කරන්නේ එයානේ, මගේ ඔෆිස් වැඩත් කරලා දෙනවනේ මං ලියන වෙලාවට. මොන එහෙකට අර වගේ ගල් බමුනෙක්ව බැඳ ගත්තද දන්නේ නෑ.
ඒ වෙලාවේ සින්දුමීගේ හස්බන්ඩ්ව මතක්වුනේ නිකම්ම
*******
නෙද්දකින් උගේ හැටි විතරක් වීරප්පන් වගේ ...
"කව්ද තිලකේ වීරප්පන්....................."
හුටා නාලිකාටත් ඇහිලා ...."නෑ මේ සිංදු .....නෙවෙයි මේ අර මේ....නළුවෙක් ඉන්නේ ...මිනිහා ආවනේ ඔෆිස් එකට දවසක්......"
"ඇයි මේ ...."
"තිලකේ අනේ පාන් ගෙඩියක් අරං එනවද....."
"මොකක්ද නාලිකා ඔයා ගිහින් ගෙන්නකෝ ...පේන්නැද්ද මම වැඩක්නේ................"
"අනේ ...ඉස්සරහ කඩේ වහලා .......හන්දියට යන්නොන ....මම කොහොමද මෙහෙම යන්නේ ... අනික තනියම ............."
"ආයේ ඉතින් තනියම ගියා කියලා මොකෙක්වත් ඔයාව උස්සන් යන්නේ නෑ, මං වගේ හරක් තව නෑ මේ රටේ "
"මොකක්ද කිව්වේ ......තිලකේ ..."
" නෑ මුකුත් නෑ ....මල්ලක් ගෙනත් දෙන්න කියල කිව්වේ ............"
"ඔයා දැන් අමුතුයි තිලකේ.....හැම තිස්සෙම අනුම්පද කියනවා.......කතා ලියනවා කියලා රෑ දෙගොඩහරියේ ඇහැරගෙන ..........මොකක්ද අනේ මේ........"
"හා හා දෙනවා ඕක මෙහාට.....දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට කොහොමත් ටිකක් ඇවිදින්න කරන්න ඕන.....කම්මැලි කමට ඉන්නේ නැතුව."
කඩේ යනකම්ම මට මතක් වුනේ සිංදුමී...........සිංදුමී වගේ ගෑනියෙක් බැඳ ගත්තනං අද මගේ ජීවිතේ කොච්චර සැහැල්ලුද.....? හරිම සංවේදී කෙල්ල, එහෙම වුනානම් මමත් අද හොඳ ලේඛකයෙක් වෙන්නත් තිබ්බ ...
කොච්චර වුනත් හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ගෑනියෙක් ඉන්නවා කියන එක ඇත්ත. ..එකට අපේ ගෑණි....මෙලෝ රහක් නෑ, කිසිම සාහිත්‍ය රසයක් නෑනෙ.....මගේ එක කතාවක්වත් කියවලා තියෙනවද දන්නේ නෑ. සිංදුමී නම් මැගසින් එක පිටවෙනකම් ඉන්නේ කියවන්න.
"හින්දි වදන් මියුරු නදින් කියන ....සිංදුමී.....සින්දු නදී ඉවුර දිගේ එන්න සිංදුමී.........."
"මුදලාලි සිංදු දෙකක් දෙන්න...."
"සිංදු ..?"
"ඇයි නැද්ද.....ආ සොරි මුදලාලි පාන් දෙකක්......"
ශික් වස විලි ලැජ්ජාවයි........ඉතුරු රුපියල් දෙක ගන්නවත් ඉන්නේ නැතුව මම ආපහු ආවේ මුදලාලියා කට කොනකට ගත්තු හිනාවදිහා බලන්න බැරි කමටමයි.
*******
"මගේ ඊලඟ කතාව ලියන්නේ ඔයා ගැන ..."
ෆයිල් එකක් තුරුළු කරන් කහපාට ඔසරිය ඇඳගෙන හිනාවෙවී ,මලක් වගේ මගේ මෙසේ ඉස්සරහ පිපිලා ඉන්න සිංදුමීට මම එහෙම කියනකොට සිංදුමී ඇස් ලොකු කරලා මගේ දිහා බැලුවා......කොහොමත් සිංදුමී ඇස් ලොකු කරලා බලනකොට හරිම ලස්සනයි....මම සිංදුමීව දකින්න ආසම එයා ඇස් ලොකු කරලා බලන වෙලාවට තමයි
" මං ගැන ........? මං ගැන නම් කතා එකක් නෙවෙයි සීයක් ලියන්න තරම් දේවල් මගේ ජීවිතේ තියෙනවා අයියේ....."
සිංදුමී දුකෙන් වගේ අහක බලනවා දැක්කම මට දුක හිතුනා, සින්දුමීගේ නිකටෙන් අල්ලලා මූණ දිහා බලං ඔයා දුක් වෙන්න එපා කෙල්ලේ කියන්න හොඳටම ඕනෑකම තිබුනත් ඔෆිස් එක ඇතුලේ හිටපු නිසා මම ආයාසයෙන් ඒ හැගීම යටපත් කර ගත්තා.
"ඒක නෙවෙයි තිලකසිරි අයියේ ..කොහොමද දැන් නාලිකාට ...කවද්ද ඩිලිවරි එක..........කාසල්ද...?"
" ඔය ඉන්නේ........ තව මාස දෙකක් තියෙනවා.........."
"මං යනවා අයියේ....."
"සිංදුමී.................................!"
"ඇයි අයියේ..........................?"
"මගේ ජීවිතෙත් කතා ගොඩාක් ලියන්න තරම් දේවල් තියෙනවා සිංදුමී....."
ආයෙත් ඇස් ලොකු කරලා මගේ දිහා බලපු සිංදුමී ඉක්මනින් එතනින් ගියා
උඹ මොකද එහෙම කිව්වේ .....නාලිකා මොකක්ද උඹට කරපු අඩුව.....මගේ හිත මගෙත් එක්ක වාදේට පැටලුනා ...........
අඩුවක් නම් නෑ, ඒත් ජීවිතේ කිසි රසයක්, රිද්මයක් නෑ... නාලිකාගේ වරදක් නෑ....ඒත් ඇති හොඳකුත් නෑ හරියට පතෝල වගේ ,
අතිරහ වුනත් හැමදාම කනකොට එපා වෙනවලුනේ, ඉතින් හැමදාම පතෝල කනකොට එපාවෙන එක අහන්නත් දෙයක්ද.................
*******
ඩිරෙක්ටර් ලඟ උදේ ඉඳන්ම හිටපු නිසා අද ඔයාට මේක පෙන්නන්නත් බැරිවුනා සිංදුමී ..පෙන්නන්න දෙයක් නෑ ඉතිං ,ෂුවර් එකටම ඔයා තමයි මේක පත්තරේට යවන්න ඇත්තේ , මොකද මේක මම පෙන්නුවේ ඔයාට විතරනේ , අනික මේ වෙනකම්ම ඒකෙ මුල් පිටපත ,ගෙදර මොකද තාම මැගසින් එකට දාන දවසත් ආවේ නෑනෙ,
ලංකාදීප පත්තරේ විමංසා අතිරේකේ මගේ කෙටිකතාවක් පලවෙලා ......අනේ අනේ සිංදුවෝ ඔයා මටත් හොරෙන්ම යැව්වා නේද පත්තරේට මාව සප්ප්‍රයිස් කරන්න. මට නිකම්වත් කිව්වේ නෑ. ඔයා හැමදාම මගෙන් අහනකොට පතරේට යැව්වද යැව්වද කියලා මට නිකමට හිතුනා ඔයා මෙහෙම දෙයක් කරයි කියලා .....
ඉන්නකෝ අල්ල ගන්න අද ..මිරිකනවා කන .......
අනේ ඉතින් නාලිකාට මෙහෙම රසවින්දනයක් තියෙනවනම්
*******
"සිංදුමී .......කෝ අද ඔයාගේ ප්‍රේම කුරුල්ලා............."
කෑම කන්න හිතාගෙන ලන්ච් රූම් එක පැත්තට යනකොට, වහලා තිබුන දොරට එහා පැත්තේ ඇහුනු පියල්ගේ කටහඬ නිසා මම දොර ලඟ ටිකක් නතර වුනා ......මූ මොනාද මේ සින්දුමීගෙන් අහන්නේ ...?
"කවුද තිලකසිරිද ...... ඔය ඩිරෙක්ටර් ලඟට ගිහින් උදේ ඉඳන්ම ..................."
"එක තමයි මම කෝල් කළා දෙතුන් පාරක්ම මොබයිල් එක ඕෆ්..............එක නෙවෙයි ,මිනිහා ඔයාට බොක්කෙන්ම ලව් නේ................."
"ආයෙත් අහලා ....මිනිහා මේ ලඟදි මට කියනවා ..එයාගේ ජීවිතේ කතාවක් ලියන්න තරම් දේවල් තියෙනවලු, ඊළඟ කතාව මගේ ගැනලු ......අම්මා මාර ලවර් අනේ......."
"කතාවක් ...ඔයා ගැන ......හැක් හැක් හා......මරුවට තියෙයි. තිලක සිංදු ප්‍රේම පුරාණය.............."
" කෑ ගහන්න එපා පියල් කාට හරි ඇහෙයි...... මට නම් බයත් එක්ක මිනිහව අපි අන්දනවා කියලා දැනගත්තොත් ....එහෙම අප්පා......................."
"අනේ ඉන්න, දවසක ඕකට හොඳ ලනුවක් දෙන්න ඕන ......ඕකා හිතන් ඉන්නේ මාටින් වික්‍රමසිංහ කියලා .."
"ඇත්තමයි සිංදුමී , ඌ ඔය ලියන කෙටිකතා නවකතා තියෙනවා නේද ....ඔය වගේ ඒවා අනන්ත පත්තර ,සඟරාවල තියෙනවා බං"
"ඇත්තටම කොහෙන්ද පියල් මෑන් කොපි කරන්නේ මේවා....මෑන් අන්තිමට දාපු එකත් මේ ළඟදි කොහෙන් හරි කියෙව්වා වගේ මතකයි..........කියෙව්වා කියෙව්ව කිව්වට මම දෙක තුනකට වඩා මෑන්ගේ කතා කියවලා නෑ පියල්.........පව් අනේ .....මෑන් හිතන් ඉන්නේ මම මොනා නැතත් මෑන්ගේ කෙටිකතා කියවනවා කියලා ...පිස්සා "
සිංදුමී මේ ඔයාමද .....ඔයාලා මාව අන්දපු එකද මෙච්චර කල් කලේ . දොර ඇරගෙන ගිහින් දෙන්නටම කන පුපුරන්න දෙන්න ඕන...මාව වෙව්ලන්න ගත්තේ කේන්තිය වැඩි කමටද මන්දා ....
කේන්තියෙන් පුපුර පුපුරා මම දොරට අත තියනකොටම ඔෆිස් එක පැත්තෙන් අපේ කා.කා.ස. සුමනසිරි දුවගෙන එනවා දැකපු මම පොඩ්ඩක් නතර වුනා
****
"සර් සර් සර් ........සර්ව මම හැමතැනම හෙව්වා .... සර්ගේ නෝනා බාත්රූම් එකේ වැටිලා හොස්පිටල් ගෙනිච්චලු .....සර්ගේ මල්ලි ඇවිත් කියලා ගියේ ...සර්ට කෝල් ගන්න හැදුවලු ෆෝන් ඕෆ්ලු. මෙන්න මේක දෙන්න කිව්වා දැන්ම පුලුවන්නම් හොස්පිටල් එකට යන්න කිව්වා සොයිසා එකට........."
කොලේක ගුලි කරලා තිබුණු මොනාදෝ ගුලියක් මගේ අතට දෙන ගමන් සුමනසිරි නොනවත්වාම කියාගෙන ගිය දෙයින් මගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නවගේ දැනුනා....
"දෙයියනේ නාලිකා ............."
"මොකක්දමේ ගුලිය .......ගුලි කරලා තිබබ කොලේ දිගෑරලා බැලුවේ මේ මොකක්ද කියලා ...නාලිකාගේ මාලෙයි ,කරාඹු දෙකයි........"
ඒවා ඔතලා තිබ්බ කොලේට මගේ ඇස් දෙක ගියේ ඉබේටම .............
........ලියුමක් රෙජිස්ටර් කරපු තුණ්ඩුවක් ......??????
.......නාලිකා කාටද රෙජිස්ටර් ලියුම් යවන්නේ .............????
දෙයියනේ නාලිකා එතකොට ඔයාද මේක කලේ . පොඩි වෙච්ච් කොලේ තිබුණු අකුරු මට බොඳවෙලා පෙනුනේ මගේ ඇස් දෙකට ආපු කඳුළු නිසා
ලැබිය යුතු -සංස්කාරක
විමංසා කෙටි කතා සංග්‍රහය
දිනපතා ලංකාදීප
**** මාවත , කොළඹ **