"චිත්‍ර සර්ගෙ කෙටිකථා පොත ලියලා ඉවරයිලුනේ "
"කව්ද ලොකු සර් කිව්වේ......"
"අරුන්දතී මිස් ඔය හැමෝටම කියන්නේ .....චිත්‍ර සර් ගැන අපි නොදන්නා කොච්චර දේවල් දන්නවද අරුන්දතී මිස්.."
ලොකු සර් ඒ ටික කිව්වේ සේපාල දිහා කන්නාඩිය අස්සෙන් අමුතුවිදිහට බලන ගමන්. ඒ බැල්මේ අවඥාසහගත ගතියයි , අවලං ගතියයි දෙකම මිශ්‍ර වෙලා තියෙනවා කියලා සේපාලට හිතුනා.
සේපාල චිත්‍ර උගන්නන ඉස්කෝලෙම ගෘහ විද්‍යාව උගන්නපු අරුන්දතී මිස්ගෙ මහත්තයා පලාලි කෑම්ප් එකට කොටිගපු වෙලාවේ අතුරුදහන් වුනාම, රණවිරු බිරිඳකගේ වීරත්වය ගැන දේශනා කරපු ලොකු සර්, ඒ සිද්ධියෙන් මාසයක් යන්නත් කලින් අරුන්දතීව කාර්යාලේදීම ඉඹින්න ගිහින් කුඩමිටි පාර කාපු හැටිත්, කවුරු නැතත් ඔයාට මම ඉන්නවා කියලා ලොකු සර් තමුන්ට අයුතු යෝජනාවක් කරපු හැටි අරුන්දතී අඬ අඬා තමුන් ගුරු විවේකාගාරයේදී කියපු හැටිත්, එවෙලේ එතෙන්ට අහම්බෙන් ආපු කා.කා.ස. පියසේන එවෙලේ ගුරුවිවෙකාගාරයේ කවුරුත් නොහිටපු එක ගැන අතන මෙතන නොහොබිනා කතා කියපු හැටිත් , ඒ සිද්ධිය දැනගත්ත ලොකුසර් එදා ඉඳං තමුන්ට හින්ට් පාස් කරන්න පටන්ගත්ත හැටිත් දම්වැලක පුරුක් එකටෙක ඇමිනිලා තියෙනවා වගේ එකදිගට සේපාලගේ හිතේ මැවී පෙන්න වුනා.
කොහොමත් විශ්‍රාම යන්න ඔන්‍න මෙන්න කියලා හිටපු ලොකු සර් ගැන සේපාලගේ හිතේ ඒතරම් හොඳ ප්‍රතිරූපයක් තිබුනෙම නෑ.
"ඒවයින් මට වැඩක් නෑ සේපාල සර්, දැන් පොත දොරට වඩින උත්සවයක් එහෙම ගන්න අදහසක් නැද්ද?
තමුන්ගේ ලේඛන කලාවට උපහාසයක් මිස උපහාරයක් කවදාවත් නොකරපු ලොකුසර් මේ මොකාටද එන්න හදන්නේ කියලා සේපාලට හිතාගන්න බැරිවුනා.
"එහෙම අදහසක් නෑ සර්..... හෙමීට පබ්ලිෂර් කෙනෙක් අල්ලලා ,පිටපත් පන්සීයක් විතර එලියට දානවා , හම්බෙන සීයෙට දහයෙන් ලොකු වැඩක් කරන්න අමාරුයි සර්."
"එහෙම නෙවෙයි සේපාල අපි මේක ටිකක් ලොකුවට කරමු. ඇමතිතුමාව ගෙන්නලා,හොඳ උත්සවයක් එහෙම තියලා .....................'
"අපෝ සර් ඇමතිලානම් එපා....."සේපාල කිව්වා නෙවෙයි කියවුනා.
ලොකුසර්ගේ මුණ වෙනස් වුනත් අමාරුවෙන් ඒක නොපෙන්වාම ලොකුසර් අයෙත් කතා කළා.
"ඒ මොකද සේපාල..."
"නෑ සර්.... මතකනේ එක සැරයක් සාහිත්‍ය උත්සවයකට අර වංශනාථ ඇමතිතුමාව ගෙන්නලා මහල්ලා සහ මුහුද කතාව ලිව්වේ ගී ද මෝපසාං කිව්වේ... ඔය උදවියට ඉතිං මේවගේ දේවල් හොයලලා බලන්න වෙලාවක් නෑනේ සර්... දවසකට කීයක් කියලා වැඩද ඉතිං.
සේපාල ඒ වචන ටික අමාරුවෙන් හදලා කිව්වේ ලොකුසර් ගෙ දේශපාලන සම්බන්ධකම් හොඳින් දන්නා නිසායි හෙට අනිද්දා ගෙදර යන මනුස්සයාව මොකට තරහ කරගන්නවද කියලා හිතුන නිසයි කියන සිතුවිලි දෙකම එක සැරේ හිතට ආපු හන්දා.
"හැබෑටම ඒ පොත් ලිව්වේ කවුද චිත්‍ර සර්.....?"
අනේ අම්මපා මෙහෙමත් ගුරුවරු, නොදන්න එකත් අරුමයක් නෑ ඉතිං ඇමතිලාට පින් සිද්ද වෙන්නම විදුහල්පති ශ්‍රේණියට ආවා මිසක් මොන සුදුසුකමක් කියලද?
" ආ .... මේ ඒක ලිව්වේ අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයනේ සර්......."
කා.කා.ස. පියසේන එලියට ගිහින් බෙල් එක ගැහුවේ ඔය අතරේ.
"මං එන්නං සර් එකොළහේ පන්තියට චිත්‍ර...................."
සේපාල ඒ ටික කියනකොටම කාර්යාලයට කෙලින්ම පේන එකොළහේ පන්තියෙන් අරුන්දතී මිස් එලියට බහිනවා ලොකු සර්ටයි සේපාලටයි දෙන්නටම පෙනුනා.
"හා හා හොඳයි...ඔහෙලටනං ඉතිං හෙමිංවේ නෙවෙයි හයිවේනේ......."
ලොකු සර් ඒ ටික කියමින් අරුන්දතී මිස් යන දිහාව බලපු හැටියට සේපාලට චික් කියලා හිතුනා. "නාකිවිසේ ගෙටත් උසේ කියන්නේ නිකං යැයි"
..................................................................................................................................................................
"අන්න චිත්‍ර සර්ට ලොකුසර් එන්න කිව්වා......"දුවගෙන ආපු එකොළහේ පන්තියේ ශිෂ්‍යනායක සමීර හති දම දමා කිව්වේ සේපාල ගුරු විවේකාගාරයේ වාඩිවෙන්න හදනකොටමයි, ඒ වෙනකොටත් උණුවතුර බෝතලෙන්
කෝප්පෙට දාල අරුන්දතී මිස් දීපු තේ එක සේපාලගෙ අතේ. තේ උගුරක් බීලම යනවා කියලා හිතාගෙන බිව්වත් තේ එකේ රස්නෙට කටයි දිවයි පිච්චුනු සේපාලට කඳුළු ආව.
.......................................................
"ආ............ ලේකම් මහත්තයා මේ තමයි සේපාල සර්... අපේ චිත්‍ර සර්.....
සේපාල සර් මේ අපේ ඇමතිතුමාගේ සහකාර ලේකම් දිසාසේකර මහත්තයයා......."
මූනේ ලේ කඳුලක් නැති පොන්ටින් කට් එක තියාගත්තු අවුරුදු හතලිහක විතර ටයි පොලු කාරයෙක් සේපාල දිහා නොබලාම "දැන් ඔය පොත මොකක්ද? "
"කෙටි කතා පොතක් ලේකම්තුමා...." අම්මටසිරි ලොකු තැන පැනලා දෙනවා.
"සේපාල මම ඇමතිතුමා එක්ක කිව්වා සේපාලගේ පොත ගැන .....ඇමතිතුමා වුනත් බොහොම කැමතියි අංකුර කලාකරුවොන්ට අත දෙන්න, මොකද ඇමතිතුමා සාහිත්‍යකාමියනේ.......නැද්ද ලේකම් තුමා"
"හ්ම්ම් හ්ම්ම්"
සාහිත්‍යකාමියා ආච්චිගේ රෙද්ද ....සාහිත්‍යකාමියා නෙවෙයි කාන්තා ලෝලියා සේපාලට එහෙම හිතුනත් එහෙම කිව්වේ නෑ.
"ඒ ගමන ඇමතිතුමා කිව්වා ලේකම් තුමා එක්ක සියල්ල කතා කරගන්න කියලා, එහෙනම් ලේකම් තුමා අපි දිනේ දැනුම් දෙන්නම්, කතා කරගත්තු විදිහට වැඩටික කරමු."
'"හ්ම්ම් මම ගිහින් එන්නම් ලොකුසර් එහෙනම්.....එන්නම් මිස්ටර් සේපාල"
"හොඳමයි සර්..." නොද්දකින් ඒ ගමන් උඹ මෙවුන්ටත් සර් කියනවද? සේපාලගේ හිත කෑගැහුවා වගේ සේපාලට ඇහුනා.
"සේපාල ...අපි හිතුවේ පොත දොරට වැඩීම ටිකක් උත්සවාකාරයෙන් ගන්න. ඇමතිතුමා නගරාධිපතිතුමාට කතා කරලා නගරසාලාව බුක් කරලා දෙන්නම් කිව්වා. හොඳට උත්සවේ ගනිමු."
"සර් ..ඒත් මේ...."
"ඕවට සල්ලි නේද? සේපාල මමත් හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මිනිහා. මගෙනුයි කියලා මේ රටට සේවයක් වෙන්න එපැයි. ඒ ඔක්කොම මම බලාගන්නම්. සේපාල එදාට වෙලාවට ආවාම විතරක් ඇති. සේපාල පොත් ටිකක් ලැස්ති කරගන්න එදාට අරධිතයන්ට පිළිගන්වන්න." කියද්දීම මෙසේ උඩ තිබුණු ලොකුසර්ගේ මොබයිල් එක රිං වුනා..................."ආ ඇමතිතුමා .......ඔව් ඇමති තුමා........"
ලොකුසර් දෙකට තුනට නැවි නැවී කතා කරන හැටි බල බලා සේපාල කාර්යාලයෙන් එලියට බැස්සේ, සිද්ධ වුනේ මොකක්ද කියලා තාමත් හරියට හිතාගන්න බැරුව වගේ.
'යකෝ පොත මගේ ...මුන් ඔක්කොම තීරණේ කරලත් ඉවරයි. මොකක්ද ලොක්කට මෙච්චර තියෙන කැක්කුම.
අරුන්දතී මිසුයි සේපාලයි මේ ගැන ගොඩක් වෙලා කතා කලේ ඇත්තටම මේ විපරියාසේ හිතාගන්න බැරුව.
"කමක් නෑ සේපාල ඔයාගේ පොතට ලොකු ප්‍රසිද්ධියක් වත් ලැබෙයිනේ මොක නැතත් ඒ මදෑ......" අන්තිමට අරුන්දතී කියපු ඒ කතාවට එකඟ වෙනවා ඇර විකල්පයක් සේපාලටත් හිතාගන්න බැරිවුනා.
.................................................................................................................................................................
ඊළඟ සතියෙම ඉස්කෝලේ මාතෘකාව වුනේ පොත දොරට වැඩීම, සේපාලටත් නොදැනුවත්වම සේපාලට ටිකක් විතර ආඩම්බර ගතියක් මැවුනා. යන යන තැන හැමෝම මගේ දිහා බලනවා නේද කියලා හිතෙනකොට සේපාලට ලොකු සර් ගැන කවදාවත් නොතිබුණු ලෙන්ගතුකමක් දැනෙන්න ගත්තා. වෙනදා සේපාලව ගණන් නොගත්තු ටීචර්ලා සර්ලා දැන් සේපාල හොයාගෙන් ඇවිත් ගුඩ් මෝනිං කියන්න හිනාවෙන්න ගත්තම සේපාලට සියුම් ආඩම්බරයක් දැනුනා.
................................................................................................................................................................
ඉස්කෝලේ ළමයිනුයි ස්ටාෆ් එකයි ගෙනියන්න ඇමතිතුමා බස් දෙකක් ඉස්කොලෙටම එවලාතිබුනා, ඉස්කෝලේ සර් කෙනෙක් ගෙ පොතක් දොරට වඩින වැඩක් නිසා කලාපේ ඉස්කෝල හැම එකකම ගුරුවරු ඔක්කොටම ප්‍රවාහන් පහසුකම් දීලා උත්සවේට ගේනවා කියලා ලොකුසර් කිව්වම සේපාලට පුදුම ආත්ම අභිමානයක් දැනුනා. හරියට තමුන්ට බුකර් සම්මානේ ලැබුනා වගේ හැගීමක් තමයි සේපාලට ඇතිවුනේ.
පොතේ පිටපත් එකසිය පනහක් ත්‍රීවීල් එකකට දාගත්තු සේපාල නගර සාලාව පැත්තට යනකොටම අහුවෙච්ච ට්‍රැෆික් තදබදේ නිසා හිටියේ නොඉවසිල්ලෙන්,
කාලකන්නි යක්කු මෙච්චර කල් ගිහිල්ලා ප්‍රින්ට් පන්සීය ඉවර කරගන්න බැරිවුනානේ, ඒක තියාගත්තා අන්තිම මොහොත වෙනකං "තදබද වෙච්ච වාහන අස්සේ හිරවෙලා ඉන්න අතරේ සේපාලට කේන්තියෙන් එහෙම හිතුනේ මූනේ කුරුලෑවක් මිරිකන ගමන් ,චිරිස් ගාල කුරුලෑව කැඩෙනවත් එක්කම විසිවෙච්ච ලේ බින්දු දෙකතුන ඉක්මනට පිටිඅල්ලෙන් පිහිදගත්තේ ත්‍රීවීල් එකේ කන්නාඩියෙන් මූණ බලන ගමන්.
"ශික් නවය වෙන්න කලින් යාගන්න බැරිවෙයිද දන්නේ නෑ."
"මල්ලි කොහෙන් හරි දාලා ඉක්මනට යමු...මට හදිස්සියි,...."
"හදිසි වුනාට උඩින් යන්නැයි මහත්තයා.......දැන් ළඟනේ පොඩ්ඩක් ඉවසලා ඉමු..."
වෙලාව බලන්න අත දිහා බලනකොට තමයි සේපාල දැක්කේ හදිසියට ඔරලෝසුව බැඳගෙනත් නැතිබව. අපරාදේ මේ උත්සවේටම බඳින්න කියලා අරුන්දතී ගෙනත් දීපු ඔරලෝසුව. දැන් තරහ වෙයිද දන්නේ නෑ.
කොහොම හරි සේපාල නගර සාලාවට යනකොට විනාඩි හතළිස්පහක් විතර පරක්කුයි.... ශික් මේක මනමාලයා නැති මගුල් ගෙයක් වෙලාද දන්නේ නෑ. සේපාල පොත් බෑග් එකත් කරේ ගහගෙන නගර සාලාව දිහාට දුවගෙන් ගියේ නොඉවසිල්ලෙන්,
සේපාල්ගේ හිතට අමුත්තක් දැනුනේ ඇමති තුමාගේ පක්ෂේ පාටින් මුළු නගර සාලාවම සරසලා තිබුන නිසයි,
"තැන වැරදුනාවත්ද?" ඒත් එක්කම ඇමතිතුමා ලොකුසර් එක්ක හිනා වේගෙන ඉන්න කටවුට් එකක් ඇතුල් වෙන දොර ලඟම තියෙනවා දක්කම් සේපාල්ගේ හිතේ සැකය ටිකක් දුරුවුනා..ඒත් මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා, ඒ මොකක්ද කියන්න සේපාලට තේරුනේ නෑ.
"ඕයි ...ඕයි කොහෙද දුවන්නේ , මොනවද ඔය" . හයේ හතරේ ඇමති ආරක්ෂකයෙක් සේපාලව බෑග් එකෙන් අල්ලලා ඇදලා ගත්ත විදිහට සේපාල කැරකිලා ගියා.
"කොහෙද තමුසේ ගාල කඩාගෙන වගේ දුවන්නේ, මොනාද ඕකේ"
"මේක මගේ උත්සවේ... මගේ පොත දොරට වඩිනවා අද..ඒකට තමයි ඇමතිතුමාත් ඇවිත් ඉන්නේ"
සේපාල ඒක කියනකොට එම්.එස්.ඩී. කාරයාගේ මුනේ තිබ්බ හිනාව දැක්ක සේපාලට මිනිහගේ හොම්බට අනින්න හිතුනා. එතකොටම එතනින් සාලාව ඇතුලට යන්න ආපු පොන්ටින් කට් කාරයා සේපාලව දැක්ක.
"ඈ හලෝ .. තමුසේ දැන්ද එන්නේ.... කෝ පොත් ටික."
"මේ තියෙන්නේ සර්......." හොඳ වෙලාවට මේ යකාඅවේ නැත්තම් මගේ උත්සවේට මටම යන්න බැරිවෙනවා..
"අයි.පී. ජයසේකර ...මේ පොත් බෑග් එක ස්ටේජ් එක පිටිපස්සේ ඉන්න ඩබ්ලිව්.පී.සී. ඉනෝකාට දෙන්න , ඉක්මනට පාර්සල් කරලා අර ලේබල් ටික ගහන්න කියන්න. කෝ තමුසේ එනවා... මොකක්ද නම කිව්වේ.
"සේපාල සර් "
"සේපාල සර්?'
"නැහැ සර්... මගේ නම සේපාල"
"ආ ඒක මිසක්....එනවා. ඔය දෙවැනි පේලියේ තුන්වෙනි පුටුවේ වාඩිවෙනවා....." කියාගෙන ලේකම් රැව්ලා ස්ටේජ් එකට නැග්ගා.
"දෙවැනි පේලියේ...? යකෝ මගේ උත්සවේ මම දෙවනි පේලියේද?"..... තුෂ්නිම්භූත වුනු සේපාල පියවි ලෝකෙට ආවේ මහා හයියෙන් වැදුණු අත්පුඩි සද්දෙට..
ඇමති තුමාගේ කතාව......ආ... ලොකුසර් ස්ටේජ් එක උඩ.... මොකක්ද මේ වෙන්නේ.
"ආදරණීය අම්මේ තාත්තේ....අද ඔබ හැමටම විශේෂ දවසක්. කන්නංගර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා , ලබන මාසේ විශ්‍රාම ගියාට පස්සේ එතුමා ඔබ සැම වෙනුවෙන් ,නැවත සේවයට එන්න ලෑස්තියි, මෙච්චර කල් එතුමා ඔබතුමන්ලාගේ දරුවන්ගේ දෑස් පෑදුවා, මින් පස්සේ එතුමා ඔබ සැමට අත හිත දෙනවා. අපේ පක්ෂෙට ආණ්ඩු පක්ෂෙන් ලැබෙන කෝටාවෙන් මෙදාපාර පලාත්සභාවට ඉල්ලන්නේ අපේ විජේතුංග විදුහල්පතිතුමා..............................කන් බිහිරි කරවන අත්පුඩි සද්දෙන් පස්සේ ඇමතිතුමා අයෙත් කතා කළා...
අද එතුමා අපිත් එක්ක මේ ගමන ආරම්භ කරන්නේම සමාජ සේවා දෙකකින්,
ඒ මොකක්ද.....? එතුමාගේ වියදමින් මිලට ගත්තු ආධුනික ලේඛකයෙකුගේ කවි පොත් දහය බැගින් ඔබ තමුන්නාන්සේලාගේ විදුහල් වල පුස්තකාලවලට පිරිනමමින්. මෙයින් ඔබගෙ පාසලේ පුස්තකාලයට පොත් ලැබෙනවා වගේම ආධුනික ලේඛකයෙකුට ආර්ථික ශක්තියක්ද ලැබෙනවා ..............................................................................................................................
ස්ටේජ් එකේ හිනා වෙවී ඉන්න ලොකු සරුයි , යටිගිරියෙන් බෙරිහන් දෙන ඇමැතිතුමයි සේපාලට බොඳ වෙවී පෙන්න ගත්තා,.........................සේපාලට පෙනුනේ මුළු ලෝකෙම වේගෙන් තමන් වටේ කැරකෙනවා වගේ............
ආධුනික ලේඛකයා.....? කවිපොත්.......?
දඩස්......
අන්න අන්න මනුස්සයෙක් කලන්තේ දාලා වැටුනා....කියලා කවුදෝ කියනව හීනෙන් වගේ සේපාලට ඇහුනා...... වැටිලා ඉද්දි තමන්ට පෙනුණු තමුන්ගේ වම් අතේ ඔරලෝසුව බැඳලා නෑ නේද කියලාත් ඒ ඔරලෝසුව මේ උත්සවේට බැඳගෙන එන්න කියලා අරුන්දතී දීපු එක නේද කියලා සේපාලට අයෙත් පාරක් සිහිවුනේ කවුදෝ තමුන්ව උස්සලා ගද්දි........................