Friday, July 31, 2026

තාරා

 

තාරා






එයා  මාව අතහැරලා  ගිය දවසේ ඉඳලා , මගේ කාමරයේ තිබූ ඇගේ සුවඳක් තිබුණ හැම දෙයක්ම  මම අයින් කළා ,  ඒත් එයාව මතකයෙන් අයින් කරනවා කියන එක  කරන්න තියා හිතන්නවත් බැරි වුනා 

කෝපි කෝප්පයේ ඉඳලා ජනේලයෙන් පෙනුණු වැස්ස දක්වා, හැම දෙයක්ම එයාව මතක් කළා. මට කිසි කෙනෙක් රුස්සන්නේ නැතුව ගියා ,  ක්‍රිකට්  ගහන්න  අඬගහන මල්ලි ,  කඩචෝරු කන්න රුපියල් සීයක් ඉල්ලගෙන එන නංගි  ,  කෑම කන්න කියන අම්මා වගේම  කාලයක් මගේ ලෝකයම වෙලා හිටපු මිනිසසු මට කටු ඇනෙන කටුපඳුරු වගේ පේන්න ගත්තා . එයාගේ හෝම් කමින් එක අද ,  මට ඊයේ රෑ ගැන  මතක් වෙනකොට මැරෙන්න හිතුනා. කාලය හිත සුවපත් කරනවා කියලා මිනිස්සු කිව්වත්, මට දැනුණේ කාලය කරන්නේ වේදනාවට හුරු කරන එක විතරයි කියලා.

ෆෙස්බුක් එකේ උඩ පහල යන එකත් එපාවෙලා පැත්තකට දානකොටම තිරයේ ඕපන් වුනේ ග්‍රාමීය ඉන්දියානු පෙදෙසක දර්ශනයක් , තිරය දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට මට ආවා අමුතු අදහසක් ඔව් ,  

අවසානයේ මම තීරණයක් ගත්තා.

කිසිම සංචාරක කණ්ඩායමක් නැතිව, කලින් සකස් කළ වැඩසටහනක් නැතිව, තනියම ඉන්දියාවට යන්න. බස්වල, බයිසිකල්වල සහ පාරුවල නැගලා, මමවත් නොදන්නා තැනකට ගිහින් මගේ හිත හදාගන්න. සිංහල අවුරුදු නිවාඩුව අල්ලලා සති තුනක නිවාඩුවක් . . ටිකක් අකමැත්තෙන් වුනත් මගේ කතාව දන්න මැනේජර් නිවාඩුව අනුමත කළා 

*******

කොළඹින් පිටත් වූ ගුවන් යානය චෙන්නායි නුවරට ළඟා වෙද්දී, පහළින් පෙනුණු නගරයේ විදුලි පහන් තරු දහස් ගණනක් වගේ දිලිසුණා. එතැනින් අභ්‍යන්තර ගුවන් යානයකින් මම රාජමන්ද්රි (Rajahmundry) ගුවන් තොටුපොළට ගියා.

කුඩා ගුවන් තොටුපොළෙන් එළියට ආවාම  මුහුණට වැදුණේ වියලි උණුසුම් සුළඟක්. මගේ ළඟ තිබුනේ පිටේ දාගෙන ඉන්න  බෑග් එක , පරණ නිකොන් කැමරාව සහ මේ මාසේ පඩිය විතරයි. යන්නේ කොහේද කියලා කිසිම අදහසක් තිබුණේ නැහැ.

ගුවන් තොටුපොළ අසලින් බස් එකකට නැගලා මම රාජමහෙන්ද්‍රවරම් (Rajamahendravaram) නගරයට ගියා. බස් රථයේ රියැදුරා දමාගෙන ගිය තෙළිඟු ගීතවලින් එක වචනයක්වත් මට තේරුණේ නැහැ. ඒත් ඒ සංගීතය, විවෘත ජනේලයෙන් ආ දූවිලි මිශ්‍ර සුළඟ සහ පාර දෙපස පසුකර ගිය මිනිස්සු අතර මම ටිකෙන් ටික මගේම සිතුවිලිවලින් ඈත් වුණා. අතරින් පතර එයාව මතක් වුනා ,  මේ ගමනට එයා මගේ පැත්තකින් හිටියනම් කියලා කීපවරක්ම හිතුනත් ආයාසයෙන් ඒ හැඟීම් යටපත් කරන්න ලොකු අසාර්ථක උත්සයක ගත්තා 

එදා රාත්‍රිය ගෝදාවරී ගඟ අසල කුඩා නවාතැනක ගත කළා. පසුදා උදෑසන මම රාවුලාපාලම්  (Ravulapalem)  යන බස් එකකට නැග්ගා. එතන බැස්සම ආයේ ට්‍රයිශෝ වලින් තමා යන්න වෙන්නේ ,  එත් එහෙම සල්ලි වියදම් කරන්න බෑ . ලාභම ඔප්ෂන් එක තෝරගත්තා, එතැනින් පරණ බයිසිකලයක් කුලියට ගත්තා.

පොල් ගස් අතරින් වැටුණු පටු මාර්ගයක මම පැය ගාණක්  බයිසිකලය පැද්දා දෙපස කොළ පැහැති කුඹුරු. අතරින් පතර කුඩා කෝවිල්පහුකරගෙන හද්දා ග්‍රාමීය පැත්තකට යන බව පේන්න  තිබ්බා  ,  හිතාමතා හෝ නොහිතා මම ඇඳගෙන හිටියේ අංක 99 ලසිත් මාලිංග ශ්‍රී ලංකා ODI ජර්සි එකක්,  පාසල් යන ළමයි මාව දැකලා මලිංගා මාලිංගා කියමින් අත වැනුවා. අතරින් පතර මාව නවත්තලා කතා කරපු අ ය දන්නේ  එකම වගේ  සිංහලක වචන ටිකක්  .  ඒ ජයසුරියා ,  සංගකාරා ,  මතීෂා  පතිරණා............... දේශපාලකයෝ අවුරුදු සියගානක් උත්සාහ කලත් බැරිවුණා සංකෘතික බැඳීමක් අපේ  ක්‍රීඩකයෝ තුන් හතර දෙනෙක් ලස්සනට හදලා තිබ්බා .   නතර වුණු හැම වතාවකම මම ඉංග්‍රීසි වචන දෙක තුනක්, දන්නා හින්දි කෑල්ලක් සහ අතින් කරන ඉඟි එකතු කරලා අමුතුම භාෂාවක් හදාගත්තා.

එදින සවස මම ගෞතමී ගෝදාවරී ගඟේ එක් ශාඛාවක් අසල තිබුණු කුඩා තොටුපොළකට ළඟා වුණා. එතැනින් එහා පැත්තේ ගමට යන්න තිබුණේ පාරුවකින්.

මගේ බයිසිකලයත් පාරුවට දමාගෙන මම කෙළවරක හිටගත්තා. පාරුව හෙමින්  ඉවුරෙන් ඈත් වුණා. බැස යන හිරුගේ රතු පැහැය ගඟේ වතුර මත දිගට ඇඳී තිබුණා.

මම ඇයව මුලින්ම දැක්කේ ඒ වෙලාවේ.

*******

ඇය පාරුවේ අනෙක් කෙළවරේ හිටගෙන සිටියා. අතක කුඩා මල්ලක්. අනෙක් අතින් සුළඟට විසිරෙන කොණ්ඩය අල්ලාගෙන සිටියා. ඇගේ මුහුණේ ලස්සනට වඩා මගේ හිත නතර කළේ, ඇගේ ඇස්වල තිබුණු නිහඬ බව.

ඇය එකවරම මා දිහා බැලුවා.

මම ඉක්මනින් ගඟ පැත්ත බැලුවා. තත්පර කිහිපයකට පස්සේ ආපහු බැලූ විට ඇය තවමත් මා දිහා බලාගෙන හිටියා. මෙවර ඇය මදක් සිනාසුණා. සංසාර පුරුද්ද  කියන්නේ බොරුවක්ම නෙවේ .  මට ඇයව බොහොම ලඟින් දැකලා පුරුදු බවක් දැනුනා 

මගේ ජීවිතයේ නරඹලා තිබුණු තෙළිඟු චිත්‍රපට සියල්ලම එකවර මතක් කරගන්න උත්සාහ කළත්,මට කතාකරන්න වචනයක් හිතාගන්න බැරිවුනා ,  ආයෙමත් ඇය දිහා බලනකොට  ඇය ආපහු අර නිහඬ ඇස්දෙක ගඟේ බටහිර ඉවුරෙන් බැසයන ඉර දිහාවට යොමු කරගෙන හිටියා ,  රත්පැහැ  රාස්සිගේ අවුව ඇයගේ  මුහුණ ආලෝකමත්  කරමින් බැහැලා යන්න පටන්ගෙන . 

පාරුව එහා ඉවුරට ආවට පස්සේ  ඇය ගම දෙසට ගියා. මම ඇය ගිය දිශාව දිහා බලාගෙන සිටියත්, පසුපසින් යන්න හේතුවක් තිබුණේ නැහැ. ඇය හැරිලා බලයි කියන සියුම් බලාපොරොත්තුවක් රඳවාගෙන මමබලා හිටියට ඇය ආපහු හැරුනේ නැහැ 

*******

තොටුපල අයිනේ තිබ්බ අවන් හලෙන් මම රොටී කෑවා .  සිගරට් එකක් පත්තු කරගන ගඟ අයිනේ වාඩිවෙලා හෙමීට තැඹිලි පාටට හැරෙමින් තිබ්බ ඉර දිගා බලාගෙන දුම්වළලු පිටකලා. 

ආපහු හෙමීට බයිසිකලේ පධින්න පටන්ගෙන මම බස් එකේ දර්යිවර් කිව්වා තැන කියලා හිතන්න පුළුවන් පරණගෙවල් වලින් පිරුණ පාරක් අයිනට ආවා ,  පොඩි කඩ කීපයක් , හැරුණම පරණ නමුත් පිරිසිදු ගෙවල් ,  පිළිවෙලට අතුගාපු සුදුවැලි ඇතිරුව මිදුල්  පහුකරගෙන යද්දී ආයෙත් මොලිවුඩ් සිනමාව මතක් වුනා. 

මම නවාතැන් ගත්තේ ගඟ අසල තිබුණු තනි සුදුපාට ගාපු ,  ඉතාම හොඳින් නඩත්තු ක්රප්ය් පරණ වලව්වක් වගේ තැනක කුඩා කාමරයක. එහි හිමිකරු මට අතින් ඉඟි කරලා කිව්වේ, රාත්‍රී කෑම ඉදිරිපස පාරේ තුන්වැනි ගෙදරින් ලැබෙන බව.

බඩගින්න ගැන ලොකු ගාණක් නොතිබුනත් මම ඔහු පෙන්වූ ගෙදරට ගියා. ප්ලිවෙලට අතුගාපු සුදුවැලි මිදුල දෙපැත්තේ ලස්සනට මල් වවලා තිබ්බා ,  මල් වටෙන් එහා පැත්තෙන් තිබුනේ නොයෙක් වර්ග වල එළවලු පාත්ති . දොරට දෙනෙඉ පාරට තට්ටු  කරනකොට දොර අරුණා. සංසාරගත හමුවීම් අහමබම නෙවේ .  දොර අසල සිටගෙන සිටියේ පාරුවේදී හමු වූ ඇය.

අපි දෙදෙනාම මොහොතක් කතා නොකර බලාගෙන හිටියා.

මතකයට ආවේ එකම වචනයයි.

“නමස්කාරම් ”

ඇගේ මුවට සිනහවක් ඇවිත්,  සිනහව තවත් පුළුල් වුණා.

“නමස්කාරම් ” ඇය පිළිතුරු දුන්නා.

“English?”

ඇය ඇඟිලි දෙකක් ළං කරලා, “Little,” කිව්වා.

මමත් එම ඉඟියම කරලා, “තෙළිඟු … very, very little,” කිව්වා.

ඇය හඬ නගා සිනාසුණා. බොහෝ කාලයකට පස්සේ, කෙනෙකුගේ සිනහවක් ඇසීමෙන් මගේ හිත සැහැල්ලු වුණේ එදා.

“නමස්කාරම්… again,” මම කිව්වා.

ඇය සිනාසුණා.

ඇගේ නම තාරා බව මම දැනගත්තේ එදා රාත්‍රියේ. ඇය ගමේ දරුවන්ට පාසලේදී තාවකාලිකව  උගන්වන බවත්, නිවසේ සිටින අසනීප මව බලාගන්නා බවත්, නවාතැනට එන අමුත්තන්ට කෑම සකස් කර දීමෙන් සහ වගාවෙන්  ජීවත් වන බවත් අපේ කැඩුණු ඉංග්‍රීසි සහ දුරකථනයේ පරිවර්තන යෙදුම අතරින් මට තේරුණා.

මම දින දෙකකට නවතින්නයි හිතාගෙන තමා ඒ ගමට ගියේ.

නමුත් ඒත් දින දෙක සතියක් වුණා. සතිය, සති තුනක් වුණා

හැමදාම වගේ උදෑසන මම බයිසිකලයෙන් ගම වටේ ගියා. සමහර දවස් වල තාරාත් මා එක්ක ආවා. අපි පොල්වතු අතරින් ගියා. කුඹුරු අසල තේ බිව්වා. සවස්වල කුඩා පාරුවකින් ගඟේ ගියා.

අපිට පොදු භාෂාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි එකිනෙකාට බොරු කියන්නත් අමාරු වුණා. ඒවගේම තාරා හොඳ පෞරුෂයක් තියෙන, බුද්ධිමත්, කිසිම විටෙක හැඟීම් වලට ඉඩනොදෙන තරුනියක් බව මට වැටහිලා තිබුණේ .  හැම ප්‍රශ්නෙකටම ඇය උත්තර දෙන්නේ ටිකක් වෙලාව අරගෙන, ඇ ය මේ කුඩා වයස ඇතුලත විඳ  තිබුණ දුක් කම්කටොලු ඇයව දුර්වල කරලා නැහැ  ඒ සියල්ල තුලින් ඉතාම ප්‍රඥාවන්ත , බුද්ධිමත් ,  විමර්ශනශීලී තරුණියක් බිහිවෙලා තිබුනා.

මම ඇයට සිංහල වචන ඉගැන්වූවා. ඇය මට තෙළිඟු වචන ඉගැන්වූවා. ඇය “බාගුන්නරා??"  කියලා ඇහුවාම, එහි තේරුම “ඔයා හොඳින්ද?” බව මම දැන සිටියා.

මුලදී මම හැමදාම “හ්ම් බාගුන්නානු —මම හොඳින්,” කිව්වා.

එය බොරුවක් බව මම දැනගෙන  හිටියා. තාරාගේ ඇස්වලින් මට පෙනුනේ එය බොරුවක් බව අයත් දැන සිටි බව. 

*******

දවසක් ගඟ අසල වාඩිවී සිටියදී, මම ලංකාවේ දමා ආ මගේ පැරණි ආදරය ගැන ඇයට කිව්වා. වචන මදි වූ තැන්වල පින්තූර ඇන්දා. අතින් ඉඟි කළා. සමහර වාක්‍ය දුරකථනයෙන් පරිවර්තනය කළා.

තාරා නිහඬව අසාගෙන සිටියා.

අවසානයේ ඇය මගේ අත මත ඇගේ අත තැබුවා.

ඒ ස්පර්ශය තුළ අනුකම්පාව තිබුණාද, ආදරය තිබුණාද කියලා එදා මට වෙන්කර හඳුනාගන්න බැරි වුණා.

මම තාරාට ආදරය කරන්න පටන්ගත්තේ කවදාද කියලා අදටත් මට කියන්න බැහැ. සමහරවිට පාරුවේදී ඇය මුලින්ම සිනාසුණු මොහොතේ. නැත්නම් මම අසනීප වූ දවසක ඇය බෙහෙත් අරගෙන ආ වෙලාවේ. එහෙමත් නැත්නම් වචනයක්වත් නොකියා මා අසල වාඩිවී සිටි එක් සවසක.

නමුත් ආපසු යා යුතු දිනය ළං වුණා.

අවසන් සවස අපි මුලින්ම හමු වූ තොටුපොළ අසලට ගියා. ගඟේ ජලය හිරු බැස යන ආලෝකයෙන් රන් පැහැයට හැරී තිබුණා.

“Thara… come Sri Lanka with me.”

ඇය මගේ මුහුණ දිහා බැලුවා. මගේ වචන ඇයට හරියට තේරුණේ නැති නිසා මම දුරකථනයෙන් තෙළිඟු භාෂාවට පරිවර්තනය කරලා නැවත පෙන්නුවා.

ඇය එය කිහිප වතාවක් කියෙව්වා.

පසුව සෙමින් හිස දෙපසට සෙලවුවා.

“Amma,” ඇය කිව්වා.

ඇගේ මව අසනීපයෙන් ඇඳේ සිටින බව මම දැන සිටියා. ඒත් ඒ මොහොතේ මම තේරුම්ගන්නවාට වඩා, ඇයව නැති කරගැනීමට බය වුණා කියලා අද මට හිතෙනවා .

“Treatment… Sri Lanka. We can help. You and Amma… come.”

ඇය ආපහු හිස සෙලවුවා.

“This is my home,” ඇය අමාරුවෙන් ඉංග්‍රීසියෙන් කිව්වා. “Amma cannot leave. I cannot leave Amma.”

“Then what about us?”

ඇය බොහෝ වෙලාවක් නිහඬව සිටියා.

පසුව ඇය දුරකථනය අරගෙන වාක්‍යයක් ලිව්වා. පරිවර්තනය වූ සිංහල වාක්‍යය තිරයේ දිස් වුණා.

“ඔයා මෙහෙට ආවේ අමතක කරන්න. මම ඔයාට තවත් මතකයක් වුණා.”

මට පිළිතුරක් තිබුණේ නැහැ.

ඒ මොහොතේ මට තේරුණා, මම තාරාට ආදරය කළා වුණත්, මගේ බිඳුණු හිත සුවපත් කිරීමේ වගකීමත් ඇය මත තබා තිබුණු බව. මම ඇයගෙන් අහලා තිබුණේ මා සමඟ එන්න පුළුවන්ද කියලා විතරයි. ඇයට අත්හැර යන්න සිදුවන දේවල් ගැන මම ඇත්තටම සිතා තිබුණේ නැහැ.

පසුදා උදෑසන තාරා මාව තොටුපොළට ඇරලවන්න ආවා.

අපිට කියන්න වචන තිබුණේ නැහැ. තිබුණු වචන කිසිවක් ප්‍රමාණවත් වුණෙත් නැහැ.

පාරුව ඉවුරෙන් ඈත් වෙද්දී ඇය අත වැනුවා. මමත් අත වැනුවා. ඇගේ රුව ටිකෙන් ටික කුඩා වෙලා, පොල් ගස් සහ උදෑසන මීදුම අතර අතුරුදන් වුණා.

මම ඉන්දියාවට ආවේ එක බිඳුණු හිතක් සුවපත් කරගන්න.

ආපසු ගියේ බිඳුණු තවත් හිතක් අරගෙන.

නමුත් ඒ දෙවන වේදනාව පළමු වේදනාව වගේ නොවෙයි. පළමු වතාවේ මම අහිමි වූ කෙනා ගැන විතරක් සිතුවා. දෙවන වතාවේ, මට රැගෙන යන්න බැරි වුණත් ඇය සිටිය යුතු තැන තේරුම්ගත්තා.

ගුවන් යානය ලංකාවට  පහත වෙද්දී පාන්දර වෙමින් එනවා ,  කළුවරහෙමින් හෙමින් අඩුවෙමින් යන්න අපටන් ගෙන   , ජනේලයෙන් පහළ බැලුවාම . ගංගා, ගෙවල්  කුඹුරු මට පුරුදු පරිසරය යාන්තමින් පෙනෙනවා ,  විධුලි ආලෝක මැද්දෙන් ලංකාව අවදි වෙමින් ඉන්නවා පාරවල් වලට එකා දෙන්නා ඇදෙනවා ආපහු පේන්න ගත්තා, එත් හිතට හරිම හිස් බවක් දැනෙනවා ,  ඒ ලංකාවේදී මට අහිමිවුණ දේ ගැන හිතලා රිද්දගත්ත හිත නෙවේ ,  ආත්මයෙන් කොටසක් ඉවත්වී ගිහින් වගේ හරිම විස්තර කරන්න අමාරු හැඟීමක්. ඒ කිසිවිටෙක මං ඉන්දියාට අරන් ගිය හිත නෙවේ කියල මට තාමත් දැනෙනවා . 

ගුවන් තොටුපළෙන් එලියට ඇවිත් බස් රථයේ එන ගමන් මම දුරකථනය විවෘත කළා.

තාරාගෙන් පණිවිඩයක් ඇති කියලා හිතාගෙන එත් ඒ ක්ෂණයෙන් මට මතක් වුනේ තාරාට දුරකතනයක් නැති බව . . ඇය ගත කරන සරල සැහැල්ලු ජීවිතයට ඒ වගේ අරුමෝසම් මෙවලම් අවශ්න වුනේ නෑ 

මගේ දුරකතනයේ තිබ්බ තාරා ගඟ දිගා බලාගෙන ඉන්න මම අසම කරන රූපය මම විවෘත කරගත්තා .

“බාගුන්නරා???” ඒ රූපය මගෙන ඇහුවා .  

මෙවර මම “බාගුන්නානු” කියලා බොරුවක් කිව්වේ  නැහැ.

“දැන්ම නම් නැහැ. ඒත් දවසක හොඳින් ඉඳීවි,” කියලා රූපයට කිව්වා .

“එහෙනම් ඔබේ ගමන අවසන් වෙලා නැහැ.” කියලා ගං ඉවුරේ වැඩිවෙලා දනිස් දෙක උඩ අත්දෙකත් තියාගෙන ,  ඒ අත්  දෙක උඩ  නිකට තියාගෙන  මඳ හිනාවෙන් කියන තාරා මට මැවිලා පෙනුණා . 

 ජනේලයෙන් එළිය බැලුවා. ඈත අහසේ, උදෑසන ආලෝකය අතර තනි තාරකාවක් තවමත් නොමැකී තිබුණා.


උදුල සඳමඩල විලසින 

ඉරා වේදනා කළුවර ...//


නිල්  දෙනෙතින් හිනාවෙලා බලන්න තාරා 

සංසාරේම  මගේ ලඟින්  ඉඳින්න තාරා // 


මේ කර්ණ  කටුක පුරවර 

දුරු දුර්ග හිමව් වන මැද  

සෙවනැල්ල  වෙලා  මාත්  එක්ක එනවද තාරා 

ඔබ එනවද තාරා

 

හුදකලා හඬන හිතලඟ 

මේ නින්ද නේන තුන්යම 

සිතිවිල්ලක් වී සුවඳ දිදී රැඳෙන්න තාරා  

මේ උර මඩල හිස හොවාන  නිදන්න තාරා 


උදුල සඳමඩල විලසින 

ඉරා වේදනා කළුවර 

නිල්  දෙනෙතින් හිනාවෙලා බලන්න තාරා

සංසාරේම මගේ ලඟින් ඉඳින්න තාරා //


Artist: Chamara Fernando 

Lyrics: Pawan Anjana 

Melody & Music: Ridma Kalubowila


සින්දුවේ ඔරිජීනල් යූ ටියුබ් ලින්ක් එක කමෙන්ට් වල 



No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]