මිත්තරයෝ ටික

Monday, March 18, 2013

සරසවියෙදි හෙට විතරයි - විශාරද දයාරත්න රණතුංග

සරසවියෙදි හෙට විතරයි - විශාරද දයාරත්න රණතුංග

හන්තාන තරම් මේ සරසවියේ මානවක මානවිකාවන්ගේ හදවත් හඳුනන ස්වභාවධර්මයට අයත් තවත් වස්තුවක් වේ නම් ඒ මහවැලි ගඟ පමණි. සුවහස් පෙම්වතුන්ගේ ආදර කතාවන් ද, විප්ලවවාදීන්ගේ දේශනාවන් ද අසා සිටින මේ වස්තූහු ඔවුන් සමඟ එකට සිනාසෙති. වැළපෙති. පේරාදෙණි සරසවිය හා බැඳුණු නිර්මාණ රාශියක් සමඟ ද මේ වස්තූහු බැඳී සිටිති.

”හන්තානේ කඳු මුදුන සිසාරා

පවනක් වී එන්නම්”
-ආචාර්ය අජන්තා රණසිංහ

”හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස”
-මහාචාර්ය සුනිල් ආරියරත්න

”හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් අඳුනනවා නම්”
-යමුනා මාලිනී පෙරේරා

මේ ගීතවලින් වශීවී සිටි මම වරක් අමරසිරි පීරිස් වෙනුවෙන් ලියූ ගීතයකට හන්තාන සම්බන්ධ කර ගතිමි.

හන්තානට පායන හඳ ලස්සනයි ද කියන්න

මා මෙහිදී සිහිපත් කළේ හන්තාන හා බැඳුණු නිර්මාණ කීපයක් පමණි. පේරාදෙණි සරසවිය හා බැඳුණු තවත් නිර්මාණ රාශියක්ම ගීත පදමාලා අතර මුණගැසෙයි. මේ සියල්ල අතර සියුම් විරහ වේදනාවකින් හදවත ස්පන්දනය කරවමින් සුන්දර පේරාදෙණි සරසවිය වෙත අප කැන්දාගෙන යන තවත් සුවිශේෂ ගී පද මාලාවක් ලෙස සිරිසමන් විජේතුංගයන් රචනා කළ දයාරත්න රණතුංගයන් ගේ හඬින් ගැයෙන “සරසවියේදී හෙට විතරයි” නම් වූ ගීය හඳුන්වා දිය හැකි ය.

”සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිම ද කුමරි නෙත කඳුළැලි පුරවන්නේ”

සරසවියෙන් සමුගන්නා දිනය එළඹී තිබේ. දැන් තමා ආදරය කළ බොහෝ දේ තාවකාලික ව හෝ අතහැර යා යුතු ය. මෙහිදී මේ හඬා වැළපෙන්නේ කිනම් කුමරියක් ද? සමුගෙන යන මානවක මානවිකාවන් දැක මේ සුසුම් හෙළන්නේ හන්තාන නැමැති සුන්දර කුමරිය නොවේද? තමන්ගේ පාමුළ පෙම් බස් දෙඩූ ආදරවන්තයන් තමාගෙන් දුරස් ව යනු දැක ඇය කඳුළු සලන්නී ය. සුසුම් හෙළන්නී ය.

”දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනිවී දොඩමළු වූ හැටි දෙණියේ”

මහ වැසිවලට තෙමෙමින් නොතෙමෙමින් පුංචි කුඩ යටට වී ප්‍රේමවන්තයන් දොඩමළු වූ අයුරු පෙම්වතියන් ගේ මුකුළු හිනා, අසා සිටි ඇයට ඔවුන් සමුගන්නා දිනයේ දී දෙනෙත්වල කඳුළු පිරීම පුදුමයක් නොවේ. රචකයා එබඳු අවස්ථා ඇයට සිහිපත් කර දෙයි. නන්දෙසින් නාඳුනන්නන් ලෙස පැමිණ දැනහඳුනාගෙන දුක් විඳිමින්, සිප්සතර හදාරමින්, අරගල කරමින්, ආදරය කරමින් සිටි තම මිතුරු මිතුරියන් ගේ වෙන්වීම හන්තාන නැමැති සුන්දරියට දරාගැනීම අසීරු ය. එසේ ම මේ මානවක, මානවිකාවන්ට ද අවසානයේ ගෙනියන්නට ඉතිරි ව ඇත්තේ හන්තානේ මතක සුවඳ පමණකි.

”කලා ශිල්ප රාජ ඉසුරු මල් යායේ
එදා ළපලු සෙවණේ සරතැස නිවුණේ”

පේරාදෙණි සරසවිය යනු සිත්තරකුට සිතුවමකි. ශිල්පියකුට කැටයමකි. සෑම ගොඩනැඟිල්ලක ම යම් කලා රසයක් ඉතිරි වී පවතී. මානවක මානවිකාවන් ගේ කලාත්මක සිතුවිලි ඒ තුළ අවදිවෙයි. ඔවුන් බහුතරයක් මුහුණ දෙන ආර්ථික පීඩනය නොවන්නට එය සැබැවින් ම කලා ශිල්ප රාජ ඉසුරුවලින් සපිරි රජදහනකි.

මේ සමඟ ම මගේ සිහියට නැඟෙන්නේ සුනිල් සරත් පෙරේරා ශූරීන් සංගීත් නිපුන් සනත් නන්දසිරි ට වසර හතළිහකට පමණ ඉහත රචනා කළ ගීයක පද පෙළකි. එකල භද්‍ර යෞවනයේ සිටින මානවක මානවිකාවන්ට මේ මල් කැටයම්වලින් පිරි ක්ෂේමභූ®මිය ප්‍රේම පාරාදීසයක් වූ ආකාරය එහි දී රචකයා මැනවින් ගෙත්තම් කරයි.

”භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මලුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්”
(සුනිල් සරත් පෙරේරා)

මේ ගීත දෙකට ම මා මුල් වරට සවන් දුන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ ය. එකල සරසවිය සෞන්දර්යාත්මක තෝතැන්නක් නොවිණි. සැම විට ම ඇසුණේ, ශිෂ්‍ය අරගල පිළිබඳ ව පමණකි. එහෙත් මා තුළ සරසවි ජීවිතය කෙරෙහි ගුප්ත ආකර්ෂණයක් ඇති කිරීමට මේ නිර්මාණ සමත් වූ බව කෘතඥතාපූර්වක ව සිහිපත් කළ යුතු ය.

”කෝල හැඟුම් හලා රඟන පරවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ”

තම හිත් වේදනාව අවසානයේ දී රචකයා පවසා සිටිනුයේ ලැජ්ජාශීලී බැලුම් හෙළමින් එහා මෙහා ඇවිදින පරවියන්ටයි. පිණිමුතු පබළු ගෙල බැඳගෙන සඳඑළියෙන් නැහැවුණු හන්තානේ කුමරියගෙන් මෙන් මම ඔහු ආදරය කළ හන්තාන අඩවියේ දී හමුවූ කුමරිය ගෙන් ද හෙට ඔහුට සමුගන්නට සිදුවෙයි. ඇතැම් විටෙක මේ සියල්ල අනාගතයේ දී සිහිනයක් පමණක් ද විය හැකි බැවින් ශෝකයක් හටගනී.

”හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ” යනුවෙන් ඔහු පැවසුව ද, හඬාවැටෙන්නේ ඔහුගේ ම හදවත බව රසිකයාට දැනෙයි.

දයාරත්න රණතුංගයන් වූ කලී සුවිශේෂ ගායන ශෛලියකට හිමිකම් ඇත්තෙකි. ඉතා සංයමශීලී ව ගායනා කරන රණතුංගයන්ගේ හඬ තුළ කුමක්දෝ, ශෝක රසයක් ගැබ් වී පවතී. මේ පදමාලාව ඒ ශෝකී හඬ සමඟ බද්ධවන්නේ රසික සිත් සසල කරවමිනි.

ජීවිතය පුදුමාකාර ය. විවිධ අවස්ථාවල විවිධ අය අපට මුණගැසෙති. අපට ළංවෙති. තවත් මොහොතක ඔවුහු වෙන්වී යති. එවිට අප තුළ හටගන්නේ ශෝකයකි. ඒ ශෝකය ද තවත් විටෙක රසයක් බවට පත්වෙයි. ඔවුන් සමඟ එක් ව සිටි කාලය සිහිකරන සිහිවටන වරින්වර ඒ ශෝකය අවදි කරවනු ලබයි.

ඒ තුළින් ද මතුවන්නේ කඳුළක් මුසු මිහිරියාවකි. ඒ මිහිරියාව තම නිර්මාණ සමඟ බද්ධ කිරීම කලාකරුවාගේ වගකීමයි. සිරිසමන් විජේතුංග නැමැති රචකයා ද දයාරත්න රණතුංග නැමැති ගායකයා හා සංගීතඥයා ද ඒ කාර්යය මැනැවින් ඉටු කරයි.

පේරාදෙණි සරසවියට එක්වන්නේ දහස් ගණනකි. එහි පහස ලැබ වෙන්වන්නන් ද දහස් ගණනකි. ඔවුහු ආදරය කරති. ශිල්ප උගනිති. අරගල කරති. මේ සියල්ල දෙස හන්තාන කුමරිය උපේක්ෂාවෙන් බලා සිටින්නීය. ඔවුන් සිනාසෙන විට ඇය ඔවුන් සමඟ සිනහවෙයි. හඬාවැටෙන විට හඬාවැටෙයි. අරගල කරනවිට අරගල කරයි. සියල්ල ඉදිරියේ අකම්පිත ව ඈ සරසවිය දෙස ම බලා හිඳියි.

ඈ සමඟ මහවැලි ගං කොමලිය ද මේ සියල්ල බලා හිඳින්නී ය. ඔවුන් සමඟ දුක සැප බෙදාගෙන ඇය ද සමුදුර සොයා ඇදෙන්නී ය.

හෙට දවසේ තවත් මානවික මානවිකාවන් සරසවි බිමට එක්වනු ඇත. දොඹ සූරන මහවැස්සේ ඔවුන් ද තම ළබැඳියන්ට තුරුළු ව මල් මාවත් දිගේ ගමන් කරනු ඇත. තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු ඇත. ‘මනමේ’ ‘හැම්ලට්’ වැනි නාටක මේ කලා රජදහනේ මැවෙනු ඇත. මහවැලි දෑලේ අතිනත් පටලාගෙන අනාගතය පිළිබඳ සිහින දකිනු ඇත. එසේම දිනක එකිනෙකා ගෙන් සමුගනු ඇත.

දයාරත්න රණතුංගයන් ගේ ගීය ඇසෙන වාරයක් පාසා මේ හැඟීම් මා වෙළා ගනී. ආදරවන්තයන් දෙදෙනකු සරසවි පාරේ තුරු සෙවනැළි අතරින් ඇවිද එනු මට පෙනෙයි. ඒ ඔවුන් සමුගන්නා දවසයි. ආදරවන්තිය ගේ දෑස කඳුළින් පිරී තිබෙයි. ආදරවන්තයා ඒ කඳුළු සුරතින් පිසදමයි. එවන් කඳුළු ගංගාවක් ලෙසින් මහවැලි ගඟ නිසල ව ගලා යයි. සරසවි බිමට රාත්‍රිය එළඹෙයි. පුරාහඳ පායා එන රාත්‍රියේ හන්තානේ කුමරිය මුනිවත රකිමින් සරසවි බිම දෙස බලා සිටියි. ආදරවන්තයන් වෙන් ව ගොසිනි. ඔවුහු දෙතැනක සිට අතීතයේ මිහිරි මතකයන් සිහිකරමින් සුසුම් හෙළති. සිව්වසරක් තම සෙවණේ සිටි ඔහු සිහිකරන හන්තානේ කුමරියගේ දෑසට නැඟුණු කඳුළක් හඳ එළියෙන් දිලිසෙයි.



(සිළුමිණ පුවත්පතින් උපුටා ගැනුණකි.)

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ

දොඹ සූරන මහ වැස්සේ තනිකුඩයේ
අපි තනිවී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ

කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ළපලු හෙවණේ සරතැස නිවුණේ
අපේ මියුරු සීන පිරුණු රජදහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ
හන්තානේ කුමරියෙ නාඬන් ළසඳේ

පද: සිරිසමන් විජේතුංග
තනු: විශාරද දයාරත්න රණතුංග
හඬ: විශාරද දයාරත්න රණතුංග

Audio: http://www.mediafire.com/?eclqhrr99gd7kqs
Video: http://www.youtube.com/watch?v=P-StIGy9GtU

2 comments:

  1. හන්තානේ සිසිල විදින්න මං පීං කරලා නැනේ බං

    ReplyDelete
    Replies
    1. ඒක විඳින එක නම් පිනක් තමයි බං

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]