මිත්තරයෝ ටික

Thursday, August 29, 2013

කෙන්ජයියගේ කවි.


කෙන්ජයියගේ ඉල්ලීමට ඕන්න මම කවි              ලියනව
කිව්ලිපියක් නොදැම්මොතින් කෙන්ජයියා කන     පලනව
මිනිහා හරි හැඩකාරයා ඉස්සර නළුවෙක්              කියනව
සකුරාමල් පිපෙන රටේ ජපන්නුන්ට              උගන්නනව

කොටි හපුවෙක් මේකින් ලව් අපේ එකෙක් ෆොටෝ ගැහුව
සින්ඩියෙ අපෙ ලිපි එල්ලල අපිටත් සප් එකක්         දෙනව
මග මරුවෙක් පට්ට හොරෙක් මිනිහම ඒ ගැන        කියනව
මිනිහගේ නම මාතලන්ලු කවුරුත් රැස්පොට්       කොරනව

හිරු එෆ්. එම් එකේ වගේ මේ කෙල්ලත් කට           ගහනව
කාන්තාවේ විමුක්තියේ දෝංකාරෙ වගේ                 පේනව
කොමෙන්ටු හරි සැරයි අනේ මල පයිනවා වගේ      පේනව
අනේ අපේ මහත්තයා දවසම හිස් බඩ                    ඉන්නව

හැලප කඩේ හැලප රහයි  හැමෝම ගොස් එයින්        කනව
කාල කාල බිමත් හලලා ඇනෝ කොමෙටුත්              දානව
මගේ චිත්‍රෙ ඔන්න බොලව් ප්‍රොෆයිල් එකෙ දා       තියෙනව
හැලපයියා හරි මිනිහා හොරෙන් හොරෙන් රෑට        බොනව

කොළ පාටයි කොමෙන්ටු පොත ඇනෝල බල්ටිත්   ගහනව
තව ටික දවසක් ගියාම ඇනෝල මිනිහව                 ගිලිනව
කකා කියල අපි කියනව නොකා නොබී ඌ             ලියනව
ඌ කිව්වට තරහ යන්නේ නෑ කියලත් මං                දන්නව

මගේ බ්ලොගේ ගොඩ දාන්න නිතරම උපදෙසුත්       දෙනව
ඒක බ්ලොගේ ලිව්ව කියලා මට කුණුහරුපෙන්       බනිනව
මැෂින් බිජ්ජ, අටං පකය, තනි කුක්කුව,               මිණී ඔලුව
හිත හොඳ කොලු පැංච වුනත් දවසින් වැඩි හරිය     බොනව

අරූගෙ අඩවිය ලියනව නියම කතා ඌ                    කියනව
අපේ එකේ කොමෙන්ට් දාල අපිටත් මල            පන්නවනව
අවුල් වෙන්න පෙර ලියනව මිනිහ කවුද සැක        හිතෙනව
අහුවුනොතින් අම්මප මම තට්ටෙ පළල ලුණු              දානව

පත්තරේට ලිපි ලියලා සමකෙ වටේ ගිහින්                 එනව
මාළු මසාජ් කරගන්නට කක්කුටු වලකට                පනිනව
නලින් අයියා නම කිව්වම බැරැක් ඔබාමත්               දන්නව
මගේ බ්ලොගේ පැත්තටවත් නෑවිත් ටික දොහක්     වෙනව

බලන්ගොඩින් ඉඩම් අරං කොරියා යන්නට              හදනව
රෙහානි දුන් වටලප්පම කාල තවම බඩ                   රිදෙනව
වෝල්ටේජ් එක බෙදුවම ප්‍රතිරෝදෙන් නමක්              එනව
ධාරා කියල අපි කියනව හිටපු ගමන් කවි                 ලියනව

සද්ද බද්ද වැඩියම නෑ හැමගෙම ගුණ දොස්            කියනව
ප්‍රහාරයත් නවත්තලා සෑහෙන කාලයක්                   වෙනව
ඒ වුනාට කොමෙන්ට් කොරල හැමටම සහයෝගෙ   දෙනව
මට මුලින්ම සුබ පතාපු සුමිත් අයියා මතක්                වෙනව

අවුරුද්දට එක පාරක් මාරම බ්ලොගයක්                   ලියනව
අප්‍රසන්න වැඩ නොකරන ප්‍රසන්න කවුරුත්              දන්නව
බ්ලොග් අප්සැට් ගොඩ දාන්න ෆ්‍රී සර්විස් එකක්          දෙනව
කෙබර චන්දනගේ ටෙස්ටරෙ තාම හොඳට වැඩ        කරනව

ආර්ථිකේ ගැන ලියනව ප්ලේන් රොකට් ගැන           ලියනව
සද්දේ නැති සහන් ගොයියා මාරපොරක් යැයි         හිතෙනව
සුදීක මහතත් ඉන්නව කොමෙන්ට් නැතුව බලල         යනව
ඇටකිත්තා වගේ ඉඳන් නාඩි මලය වැඩ                     දානව

මාර වෙලාවට මාරම කෑම මාරයා                            හදනව
ෆොටෝ ගහල වෙනිඅයියා ලියන්නා වෙන්නට          හදනව
අඩවි රජා සුබ වේවා කියලා නිතරම                       කියනව
සෑම් කොමිනිකේෂන් වල  කෙල්ලන් හට පැණි      පෙරනව

පච්ච කොටල , ප්ලේන් එකේ රෝදෙ අස්සෙ උඩින්      යනව
ඩූඩ් ලොක්ක  ජොනි වෝකර් බීලා කබරයා                 දානව
සම්පයියක් සේ වඩමින් වෙදගෙදරට අඩ                   ගහනව
මහ වෙදනා ඉන්න නිසා කටිටියගෙම                වෙරි බහිනව

රණ හංසයො මතක් වුනත් මූ කොල්ලෙක් බව          පේනව 
විචාරේ නියමෙට කරනව තිසර කියල අපි                කියනව 
පී.එච්. අයි එනකොටනම් මේ යෝදය මතක්              වෙනව
DDT අපි ගහනව මිනිහ අපිට ගුලි                          බෙදනව

පොල්ලක් අතකින් අරගෙන බේබද්දෙක් මෙන්න        එනව
දේශකයා වැඩ දැම්මොත් දේශිකාව කන                  පලනව
නැට්ට හැලුව කියල ඇනෝ ඔකොම මිනිහට            බනිනව
කන්දේ ගෙදර පෙන්න පෙන්න මෙන්න බොලේ දුලා   එනව

සංජීවයි දමිතුයි ඇවිදිල්ලා සපෝට් එකක්                    දෙනව
නදිනි නංගි ළමයි හදන පිළිවෙල අක්කට                  කියනව 
කලු සහ සුදු අක්ක ලියන දිනපොත කියවල               බලනව
පොඩ්ඩි ලඟදි බැන්ද නිසා අම්මප මට දුක                 හිතෙනව

C.S.K. රා පෙරනව, සමියා කොටු                         පන්නවනව
නවදැලි හේනට පැනලා තිළිණය රට ගිනි                    තියනව
කැමරාවක් අරගන්නට අයිලාස් නිසා                         හිතෙනව
ඔමායගේ ෆොටෝ වලින් අසූචි බතලිව                        පේනව 

සඳුනිමා ගෙ පොඩි පැටියට ඕන්න අපි සුබ                     පතනව
මනෝගේ ලෝකේ ඉඳගෙන මනෝජ් හීනම                 දකිනව
බෙන් ටෙනිසන් අද ඇවිල්ල දිගම කොමෙන්ටුව              දානව
අසමි දකිමි සොයමි කියලා විචාරකත් දැන්                 හොයනව

කවුද පොරක් ඇවිදිල්ලා චමීගේ නම විකුණා                  කනව
මගියා දවසක් බීලා ගමන් මගේ                           නතරවෙනව
රස්තියාදුකාර කොල්ලා රස්තා ගගහ ඔහේ                   ඉන්නව 
රාජ් කොල්ල මව්පියන්ගේ සෙක්ස් වලට               පොලු දානව

මේකා අපේ ලේ බොන්නට දහසක් වැඩ කිඩ                 දානව
ඩ්‍රැකී ගේ නම ලියාගන්න බැරුව මමත් කචල්               වෙනව
රයිටර් ගේ සිතුම් පැතුම් අපිට දැනිල කලක්                   වෙනව
වැව් ඉස්මත්තට ගිහිල්ල හිතුනොත් කාලක්                   ගහනව

නුවර කුමාරිගේ හිංගල පන්තිය දැන් නතර                 කොරල  
හිස් අහසට ලඟදි ඉඳන් අයෙත් ඉර හඳ                         පායල 
අපිට දුකක් දැනෙන්නේ නෑ අපි මෙයාට දුක                කියනව
දුකා කියල අපි කියනව අපි දුකාට චන්දෙ                      දෙනව

ඇල්කේමිය ලියන්නේ නෑ මොඩන් පේට්‍රියට්                   කිව්ව
හෙනහුරාට වෙච්ච දෙයක් ලොකුජෝනා අපිට                 කිව්ව
සෙන්නා ඇවිදින් කාටත් සෙතක් වැඩක් කරයි                 හිතුව 
වී පොකුරේ වෙසක් බබා දැන් පොඩ්ඩක් හිනා                 වෙනව

සබිත් නෝත් සවුත් වලට රතුපස්වල අරං                       යනව
සිතුම් සයුර හිඳිලා වගේ සද්ද බද්ද නැතුව                       යනව
සෙන්කොලය ලියපු එකා මොකෙක්ද මාතලන්                ඇහුව
ඕන මැන්ටලේට අයිස් නිසා බ්ලොගේ වැඩක්                 නැතුව  

හැම කියන්නේ නෑ කියලා සිංහයෝ තණකොලේ           කනව
ප්‍රොෆයිල් එක සිංහ වුනත් ඉන්දිකයා පොලුම                 කනව
රතු රටකජු මතක් වුනත් රතුරජරට කවි                       ලියනව
කලින් ඇවිත් තිබුනානම් නිල් මානෙල් මම                නෙලනව

කෙන්ජයියේ ඕන්න දැන් එන්න එපා කන                     පලන්න 
ඔපිස් එකෙන් ගෙදර යවයි වෙන්නේ මට හිඟා                 කන්න 
අත අරුනා නම් කවුරුත් එපා හොඳේ තරහා                   වෙන්න 
කියවල බලලා කවුරුත් මගේ කවියට                       සුබපතන්න 


Wednesday, August 28, 2013

සතිපූජා


"හනේ හනේ ....යසයි  වැඩේ ඔහොම කකුල් උඩ දාගෙන ඇඳට වෙලා හිටියම හරියයි ගෙදරකට ..."

සීතා උඩ ගිහිං බිම වැටුනේ නැන්දම්මාගේ ගොරනාඩුවේ සද්දෙට........... පුංචි කාලේ ඉඳලම ආස කරපු වාල්මිකීගේ  "රාමායණය"  කතාවේ සිංහල පරිවර්තනය ගිය සතියේ ගෙදර ගියවෙලාවෙ ලොකු නංගිගෙන් ඉල්ලගෙන ආවේ දවල් වරුවේ වෙන වැඩක් නැති නිසා කියවන්න කියලා,

 "පොතක් බැලුවා අම්මේ .... ඒ හැටි වැඩකුත් නෑනෙ කරන්න කියලා....."

" ඒහැටි වැඩක් නෑ........ හත් දෙයියනේ ...මෙහෙමත් ගෑනු ... ගෑනියෙකුට ගෙදරක කරන්න කියලා කොයි තරම් නම් වැඩ තියෙනවද...?        ඒ හැටි වැඩක් නෑ ........හාහ් ... ඔව් ඉතින් මං මැරීගෙන් ඔක්කොම කරනවනේ........
ඉතින් කුමාරිහාමිලාට වැඩ නෑ තමයි...."

දොහ් දොහ්   ගාලා කොස්සේ මිට ගෙදර ලීබඩු වල වදින සද්දෙයි නැන්දම්මා කෑගහන සද්දෙයි ඈතින් ඇහෙන්න ගත්තම වෙලාව දොලහාමාරට කිට්ටු ඇතිකියලා සීතාට හිතුනා, එකනේ නැන්දම්මා සාලේ අතු ගාන්න  පටන් ගත්තේ . රණතුංග කෑමට එනවෙලාව කිට්ටු වෙනකොට මේක වෙනවා කියලා සීතා දැන් අත්දැකීමෙන් දන්නවා,

කොහොමත් දවල් කෑමට රණතුංග ගෙදර එන වෙලාවට සීතාට බැන බැන  සාලේ අතුගාන එක  රණතුංගගේ අම්මගේ දිනචරියාවේ අංගයක් වුනේ   දැන් මාස දෙක තුනක ඉඳලා ,සීතා ඇඳේ ඉඳගෙනම පොත පපුව උඩින් තියාගෙන ඇස දෙක පියාගත්තා..

උසස්පෙළ පාස් වුනත් කැම්පස් නොයා රණතුංග එක්ක ආපු එක මාහ ගොන් කමක් කියලා හිතෙන සිතුවිලි සීතාගේ හිතපුරා හොල්මන් කරනකොට ඒවා මැඩ ගත්තේ හරිම ආයාසයෙන්.

"ඔයා ඔච්චර ඉගෙන ගත්තත් රස්සාවකට යන්න ඕන නැතිඑකේ ඔය කැම්පස් ගමන ඕනේ නෑ සීතා, මට ඕන හැමදාම මම එනකොට දොරකඩටවෙලා බලාගෙන ඉන්න බිරිඳක්" ගෑනු ඕනවට වැඩිය ඉගෙන ගන්න ඕන නෑ කියන එක රණතුංග කිව්වේ එහෙම නේද කියලා සීතාට මතක් වුනා .

කොහොමත් සාම්ප්‍රදායික අදහස් තියෙන සීතාගේ අප්පච්චිට රණතුංග හොඳ බෑනා කෙනෙක් වුනා,

"බොහොම දහිරියවන්ත දරුවා, කවදා හරි හොඳ තැනකට එනවා. දැනටත් ඔය කොම්පැනියේ ගනුදෙනු ඔක්කොම භාරව ඉන්නේ මේ දරුවනේ හාමිනේ " ඒ තමයි රණතුංග ගැන අප්පච්චිගේ රෙකමන්ඩේෂන් එක.

"මට මේ සුමේ හැමදාම කරන්න බෑ දරුවෝ, උඹ හින්දා මං මේ ගෙදර වැඩටික නැහීගෙන කරාට දැන් මට අමාරුයි පුතේ..."  සීතා ඉකමනට ඇඳෙන් බැස්සේ "ආ රනේ ඇවිත් " කියාගෙන ,නැන්දම්මා කොන්දට අත තියාගෙන දෙකට නැවීගෙන රණතුංගට තව මොනාදෝ කියනවා සීතා දැක්කේ කෑම කාමරේ පැත්තට යද්දී.
එහෙම කිව්වට රණතුංග කාලා ආපහු පිටත් වුනු ගමන්ම වැඩ නවත්තලා ගිහින් කාලා බීලා පැය දෙකතුනක් නිදාගන්න එක දැන් රණතුංගගේ අම්මගේ පුරුද්ද.

උදේම නැගිටලා රණතුංගට උයලා පිහලා ගේදොර අස් පස් කරලා රෙදි හෝදලා ..අම්මටත් කෑම ලැස්ති කරලා නාගෙන එන සීතා  දවසේ ඉතුරු හරිය ගෙවන්නේ හරිම පාලුවෙන් කාන්සියෙන් .

" දරුවෙක් මල්ලෙක් නැති ගෑනියෙක් ගෙන් කොහෙදෑ බං ගෙදරකට අහුපෑවතක්........අපේ එකත් කොරගත්තේ ඔය පොත්තේ රතට රැවටිලා......."
රණතුංගලෑ අම්මා දොර ලඟට වෙලා කාගේත් එක්කදෝ කියවනවා සීතාට ඇහුනා.

"ඉස්සරනම් බං වඳ ගෑනු හතර මායිමේ තියාගන්නේ නෑ...........එකට අපේ එකා ගෑනිට වැඳගෙන ....

.......................
දරුවෝ නැති එකට ටික දවසක් තමන්ට ආඩපාලි කියා කියා හිටපු රණතුංග දැන් ඒ ගැන හාංකවිසියක් කතාකරන්න්නේ නැති එක රණතුංගගේ අම්මට නම් ලොකු ප්‍රෙහෙලිකාවක්.....

..............................................................................................................................................................
"මේ මහත්මයාට අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ දෙන්නම පරීක්ෂණ වලට පෙනී සිටීම් ගැන , මොකද හුඟක් මහත්තුරු මේකට අකමැති නිසා සත්‍යය යට යනවා. "

දොස්තර මහත්තයා මෙහෙම කියනකොටම රණතුංග හොරැහින් සීතා දිහා බැලුවා ,
"තෝ හිතන්නේ මම වඳයෙක් කියලද ගෑනියේ....... තොගේ කාලකන්ණි කම් වලට මට වැරදි කියන්නද හදන්නේ , අපේ පරම්පරාවේ කාටවත් ඔහොම ලෙඩ නෑ යකෝ....

."යමං හෙටම තොට පෙන්නන මම පොන්නයෙක්ද කියලා, කරමුකෝ ඔය මහා ලොකු ඉලව්ව"

මෙතනට එමු කියපු වෙලාවේ රණතුංග පරලවුණු හැටි ඒ වෙලාවේ රණතුංගටම මතක් වෙන්න ඇති කියලයි සීතා හිතුවේ.

" එක තමයි ඩොක්ට මේ අපේ වයිෆ් හිතාගෙනම ඉන්නේ මේක මගේ වරදක් කියලනේ. එයාටම එයාගේ අඩුපාඩුව තේරුම් ගන්න අරින්න ඕන නිසයි මම මේකට කැමතිවුනේ.."

" ම්...ම්...ම්.. කමක් නෑ මිස්ටර් රණතුංග  මොන අරමුණකින් හරි මේ පරීක්ෂන් වලට සහභාගීවීම වැදගත්. අපි ඔය දෙන්නා ගැනම කරපු පරීක්ෂණ ප්‍රතිපල අනුව මෙතැන මිසිස් ගේ කිසිම අඩුපාඩුවක් නෑ....... මහත්මයාගේ  ශුක්රානුවල සජීවී ඒ කියන්නේ පිහිනායාහැකි මට්ටම කියලා අපි හඳුන්වන  මට්ටමේ  ශුක්‍රානු ප්‍රතිශතය සීයෙට එකකටත් අඩුයි . ..ඒක බොහොම අඩු ප්‍රතිශතයක්.........ඉතින් මේ තත්වය .......

දඩාන්  ගාලා පුටුවත් පෙරලගෙන නැගිටපු රණතුංග එල්ලියට ගියේ සීතා අතෙන් අල්ලන්න උත්සාහ ගද්දී අතත් ගසාගෙන.... සීතා ඩොක්ට දිහා බැලුවේ අසරණ විදිහට එත් ඩොක්ට ඒ ගැන එච්චර තැකීමක් කලේ නැත්තේ අපිට මේවා හොඳට පුරුදුයි කියන්න වගේ...

එදා ගමන ගිහින් ආපහු ගෙදර ලඟට එනකොට රණතුංග සීතා දිහා බැලුවේ හරිම අසරණ ඇස් දෙකකින්.......ඒ ඇස දෙකේ තිබ්බ අසරණ කම තේරුම් ගන්න සීතාට පුළුවන් වුනත් මෙතනින් එහාට මොනවා වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් සීතාගේ හිතේ නොතිබ්බාම නොවෙයි.

නමුත් එදා ඉඳන් අද වෙනකන් රණතුංගගේ අම්මා ඇතුළු නෑදෑ සනුහරේම වඳ ගෑනි කියලා සීතාට අපහාස උපහාස කරනකොට අසරණ , සමාව ඉල්ලන දෑසින් සීතා දිහා බලා ඉන්නවාට වඩා යමක් රණතුංග නොකරපු එක ගැන නම් සීතා හිටියේ හරිම තරහින්,  කොහොම නමුත් තමුන්ගේ මිනිහගේ ගෞරවය රකින එක තමන්ගේ යුතුකම නේද කියලා සීතා ට හිතුනා.

.................................................................................................................................................................

කොහොමත් රණතුංග ටිකක්‌ වැඩියෙන් මත්පැනට නැඹුරු වුනාම එකේ වැරැද්ද හමෝම පැටෙව්වෙත් සීතාගේ ඇඟට.
"ගෑනි හරියට හිටියනං මිනිහ බොයි යැ........."

"ළමයෙක් වත් නැති ගෑනියෙක් එක්ක ඉඳලා ඌ මේ තරමින් හරි බීම කොන්ට්‍රෝල් කරගත්ත මදැයි"

මෙහෙම වෙලාවට නම් සීතාට හිතුනේ තමුන් මොන පවක් කලාටද මේ කියලා.

...................................................................................................................................................................

කොහොමින් කොහොම හරි ටික දවසක ඉඳලා රණතුංගගේ වෙනසක් සීතාට පෙනුනා, වෙනදා හැමදාම කෑමට ගෙදර ආපු රණතුංග දැන් සතියටම දවස් දෙකකට වඩා කෑමට ගෙදර එන්නේ නෑ, එන්නෙත් රෑවෙලා, සමහර දවසවලට ඉරිදටත් වැඩට යනවා.
සීතාගේ කන්දෙක හිරිවැටෙන්න වාගේ දැනුනා
රණතුංගට වෙන සම්බන්ධයක්වත්ද ....?

වැඩ ඇරිලා ආපු රණතුංග නාන කාමරේට ගියාම සීතා කලේ රණතුංගගේ ෂර්ට් එක ඉඹලා බලපු එක
"ම්හු ... දාඩිය ගඳ විතරයි....."ෂර්ට් එක පුරාවටම හොඳට හොයලා බැලුවේ දිග කේස් ගහක් වත් පැටලිලා තනවද කියලා බලන්න අඩු ගානේ ලිප්ස්ටික් පාරක් ,සෙන්ට් සුවඳක්..............

සාක්කු ,පර්ස් එක විතරක් නෙවෙයි රණතුංගගේ යට ඇඳුම් පවා සීතාගේ දැඩි පරීක්ෂාවට ලක්වුනත් කිසිම හෝඩුවාවක් හොයාගන්න සීතාට බැරිවුනා.

"එහෙම දෙයක් වුනත් ඉතින් කොරන්න් දෙයක් නෑ, මොකද කොයි මිනිහද ආස නැත්තේ තමුන්ගේම කියා දරු පැටියෙක් දකින්න. අපේ එකාට ඉතින් ඒ පින නෑ නේ ...."
මේ ගැන රණතුන්ගලාගේ අම්ම එක්ක කතා කරපු වෙලාවේ අහගත්තුටික තමයි ඔය.

"ඔව් ඉතිං එයාට ඒ පින නෑ තමයි " කියලා ගස්සාගෙන ආපහු හැරුණු සීතා දිහා නැන්දම්මා බැලුවේ පුදුමෙන් වගේ.........

"අනේ දෙයියෙනේ මගේ දරුවා ..." නැන්දම්මා හූලලන හඬ ඇහුණාම සීතාගේ කේන්තිය තවත් වැඩි වුනා.

.................................................................................................................................................................

"ඇත්තටම රාමා සීතාට ආදරේ කලාද..?" මම හිතන්නේ නෑ ..මොකද ආදරේ කලානම් මොන හිතකින්ද ගිනිගොඩට පනින්න කියන්නේ ...... එහෙම බලනකොට සීතාට ආදරේ කරලා තියෙන්නේ රාමා නෙවෙයි රාවණා......"

" ආ ඔයා තාම නිදි නැද්ද ..........."

සීතාගේ කල්පනා දැහැන බිඳුනේ රණතුංග ගේ කටහඬින්,

"පොඩ්ඩක් රෑ වුනා සීතා ....  එක නෙවෙයි ඔයාට මම කියන්නමයි හිටියේ .....අපේ චීෆ් එකවුන්ටන් ජයසේකර ළඟදීම රිටයර් වෙනවා . මමයි සේනාධීරයි තමයි ඊ ලඟට ඉන්නේ පොඩ්ඩක් ලොක්කට අල්ලාගෙන හිටියොත් වැඩේ ගොඩ දාගන්න බැරිකමක් නෑ. "

රණතුංග ඒක කියපු විලි ලජ්ජා නැති හැටි දැකලා  සීතාට රනේ ගැන අපුලක් දැනුනා,
"මහා විලිලජ්ජ නැති මිනිහෙක්"
සීතාට හිතුනු දේ කටින් පිටකලේනම් නෑ,

"ලබන බදාදා අපේ ඇනුවල් ට්‍රිප් එක .. ඔන්න සීතා ලොක්කාගෙන් ලකුණු ටිකක්‌ දාගන්න පුළුවන් වෙලාව....ඔන්න ඔයත් මට උදව් කරන්න ඕන....." කියපු රණතුංග බාත්රූම් එකට රිංග ගත්තා.

"මම මොන ඉලව්වක් කරන්නද...? ......" හෙමීට කියපු සීතා රණතුංග ඇඳ උඩ ගලවලා දාල ගිය ඇඳුම් ටික අතට ගත්තේ කිළුටු රෙදි බාල්දියට දාන්න.

....................................................................................................................................................................
" ෂාහ් මරු ස්විමිං පූල් එක සීතා....."
"අර අර අරබලන්න එකේ අඩියේ මාළුවෙකුගේ රූපයක් නේද තියෙන්නේ....."

වයික්කාලේ ඩොල්පින් හෝටලේ එදා රෑ නැවතුන රණතුන්ගලාගේ කොම්පැනියේ ස්ටාෆ් එක හවස හයහමාර වෙද්දීම කොක්ටේල් එක පටන් ගත්තේ බොනවා ඇරෙන්න වෙන දෙයක් නැති ගානට

සීතා ලැස්ති වුනත් ඔය බොන මිනිස්සු ගොඩේ ගිහින් ඉන්න හැටි මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා වගේ නේද කියලා හිතුනා...

"ඔයාට කම්මැලියි වගේනම් ඔයා රූම් එකේ ඉන්න සීතා ...මොකද ගියා කියලා ඔයා බොනවයි....."
රණතුංගගේ ඒ වචන ටිකෙන්ම සීතාට දැනුනේ සහනයක්....

"ඕක මෙතෙන්ටත් උස්සගෙන ආවද ඒ ගමන ..." බාත්රූම් එකෙන් එලියට ආපු රණතුංග කිව්වේ සීතා ඇඳේ ඇල වෙලා රාමායණය පොත් දිගෑරගෙන ඉන්න හැටි දැකලා.....

"ඔය දොර ලොක් කරන්න එපා ...මාත් හිතුනොත් කලින් එනවා......" එහෙම කියපු රණතුංග කමිසයේ උඩ බොත්තම පියවමින්ම කාමරෙන් එලියට ගියා......

...................................................................................................................................................................
ටක් ටක් ටක්.....
සීතා ගැස්සිලා ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දෙට .....ඉක්මනට "රාමායණය "පොත කොට්ටේ අස්සේ හංගපු සීතා.......................

"දොර ලොක් කරේ නෑ රනේ ...." කියලා කියද්දීම දොර අගුල හිමීට කැරකුනා සීතා ඔලුව උස්සලා බලනකොට හිටියේ රනේ නෙවෙයි .

"ම්..ම්..මිස්ටර් ජයවර්ධන ................?

රතුවුණු ඇස දෙකෙන් සීතා දිහා කන්න වගේ බලාගෙන ඉන්න රණතුංගගේ ලොක්ක දැක්ක සීතා කොට්ටේ අරං තමන්ගේ පපුව වහගත්තා....

"කිසිම කතාවක් බහක් නැතුව ළඟටම ආපු ජයවර්ධන සීතගේ ලඟින්ම වාඩිවුණේ හරියට සීතා එන්න කිව්වා වගේ...

"කෙල්ලේ...........................................රණතුංග හොඳ එකා ...."
"මිනිහ නියම අවංක සේවකයා.............කවදාහරි මිනිහා තමයි අපේ කම්පැනි එකේ චීෆ් එකවුන්ටන්........"
"එත් කෙල්ලේ ඔයා වගේ ඉටි රූපයකට සලකන්න ඒ මොඩය  දන්න එකක්යැ ..?"

එක එක ඒවා කියා කියා ජයවර්ධන සීතාගේ කරට අතක් දාගත්තා .........අරක්කු ගඳ  එක්ක එන ජයවර්ධනගේ දාඩිය ගඳයි නිසා සීතාට ඔක්කරෙටත් ආව....

"ඔක්.....අනේ පිං සිද්ධ වෙයි මිස්ටර් ජයවර්ධන යන්න ....අනේ ප්ලීස් ................"

එත් ජයවර්ධන සීතාගේ අනිත් අතිනුත් අල්ලාගෙන ....
පුළුවන් තරම් මුළු ඇඟේම හයිය දාලා සීතා ජයවර්ධනව තල්ලු කළා..... ඇඳ උඩින් ලිස්සලා ගිය ජයවර්ධනගේ ඔලුව කබඩ් එකේ වදිනවත් ඒ එක්කම "බුදු අම්මෝ" ගාලා ජයවර්ධන කෑ ගහන සද්දෙත් ඇහෙද්දිම  සීතා දොර අරගෙන කොරිඩෝ එක දිගේ දුවගෙන ගියා ....

...............................................................................................................................................................
 කොරිඩෝ එකේ කෙලවරට දුවගෙන ගිය සීතා හැටි දදා අත් වැට අල්ලාගෙන පහල බැලුවා.......කට්ටිය එක සීරුවට නටනවා, එක සැරේම අහම්බෙන් වගේ රණතුන්ගගෙයි සීතගෙයි ඇස හතර එකට ගැටුනා....රණතුංග හෙමින් හෙමින් සීතා ලඟට ආව..

"මොකද සීතා............"

"මොකද සීතා  ඇයි ඔයා හතිදාන්නේ............."

"අනේ රණේ ..."අඩාගත්තු සීතා රණතුංගගේ පපුවේ ඔලුව හන්ගගත්තා....."

"මොකද සීතා මේ.... කතා කරන්නකෝ........"

"බලන්න රනේ ඔයා ගියාට පස්සේ මිස්ටර් ජයවර්ධන අපේ කාමරේට ආවා....."

"ඉතිං ඉතිං මොකද වුනේ......"
"මොකද වුනේ.... "
එහෙම අහනකොට රණතුංගගේ ඇස් දෙක අමුතු උද්යෝගයකින වගේ දිලිසෙන්න ගන්නවා සීතාට හොඳට පෙනුනා....."මොකද වුනේ කියන්නකෝ..." රණතුංග නොඉවසිල්ලෙන්..."

සිද්ධ වෙච්ච හැමදෙයක්ම සීතා අකුරක් නෑර රණතුංගට කිව්වේ ඉකිගගහ ....

"චටාස්..........."
සීතාගේ කම්මුල හරහා රණතුංග ගහපු පාරට සීතා කැරකිලා ගිහින් බිත්තියේ හැප්පුනා

පුදුමෙන් රණතුංග දිහා බලපු සීතාට ඊලඟට රණතුංග කියපු වචන ටික ඇහෙද්දී කන් දෙක වහ ගත්තේ මේ වගේ වෙන්න තමුන් කරපු පව මොකක්ද කියලා හිතාගන්න බැරුව ..

"පර බැල්ලි .....තෝ මගේ ප්‍රමෝෂන් එක කෑවා."

බිත්තිය දිගේ රූටගෙන බිමට වැටුණු සීතාට ..........රාමා ඉස්සරහ සීතා ගිනිගොඩට පනිනවා මැවිලා පෙනුනා.


.




Monday, August 19, 2013

ගුරු චිත්‍රය හා ගෝල චිත්‍රය

සමාව බජනය කරමි ,රිවිරැස පත්තරේ පොටෝ කෑල්ලක් හොයාගත නොහැකිවිය.


අපි පුංචි කාලේ අපේ අප්පච්චි ගෙදරට ගත්තේ "දවස හා රිවිරැස" පත්තරේය. ඒ කාලේ තව දිවයින , ලංකාදීප ,සිළුමිණ වගේ පත්තර තිබුණි, ඒ අතරින් පාට දෙකේ (බ්ලැක් ඇන් වයිට් ) පත්තරේ රිවිරැස පමණය . පාට පාට දිවයින ගේන්නේ නැතුව මොන මගුලකට බ්ලැක් ඇන් වයිට් රිවිරැස ගේනවද කියා මට මලේ මලය.

ඒත් මේ පත්තරේ මම ආසා කොරන කෑල්ලක් තිබුණි ඒ ගුරු ගෝල චිත්‍ර දෙකය.
 මමත් නංගීත් මේ ගුරු ගෝල චිත්‍ර වල වෙනස හොයනවාය. වෙනස් කම් දහයක් හොයා තැපැල් පතක් අලවා දවස කාර්යාලයට යැවිය යුතුය , දිනුම රුපියල් පනහකි. අයියෝ සල්ලි කියන්නේ කවදාවත් වෙනස් කම් දහයක් නම් හොයන්නට බැරිය. මුන් අපිට බොරු කියනවයි පස් පඩන්ගුවේ බැනවදිමින් වැඩේ අහවර කොරන්නෙමු.

මේක මතක් වුනේ ඊයේ පෙරේදා ඉඳන් හැමතැනම "ෂෙයාර්" වන පොටෝ කෑල්ලක් දැක්ක නිසාය. ඒ විපස්සේ කරපු රතුපස්වල වෙඩි තැබීමට විරුද්ධ උද්ගෝෂණයය. රතුපස්වල වතුර ඉල්ලූ අහිංසක ජනතාවට හතර අතේ වෙඩි තබා ඉස්කෝලේ කොල්ලෝ තුන් දෙනකුද මරා ආණ්ඩුව හත්පොලේ ගෑ ගත්තේය.
 ගාගත්තා මදිවට ඒවා තුන්වෙනි පාර්ශවයක ඇඟේද ගාමින් අනාගෙන නාමින් ඉන්න විට  විපස්සේ ලොකු අලියා සහ අනිත් ඉතුරුවෙච්ච සහ ලොම් හැලිච්ච අලි ටික කොටුවේ ස්ටේසම අසල විරෝධතාවක් කලෝය.

( පහුවදා අපේ හචිං සීයා නම් කීවේ "ගෙනාපු බනිස් ටික ඉවර වෙනකං කන්ඩ බැරි මුන් කොහෙ රට අල්ලන්ඩද" කියාය). අන්තිමට කොහොම හරි උද්ගෝෂණය ඉවර උනාට පස්සේ නයි.ටී. එන්. එකේ සහ ආණ්ඩුවේ පත්තර වල ආචාරී හර්ස දී සිල්වා  බුද්ධාගමට හා  හාමුදුරුවන්ට අපහාස කල බවට ලොකු උද්ගොෂනයක්ය.
හාමුදුරුවන් කෙනෙකුට  ඇඟට අත තැබීම ගිහියෙකු නොකළ යුතුලු. එතකොට අපායේ යනවාලු කියා විමල් වීරවංස මහතාගේ ලංකා සී නිව්ස්  එකේ උඩපනිමින් කියා තිබුණි. ටිකක් හොයලා බලනකොට ඒක 'ගෝල ෆොටෝ "එකය. "ගුරු ෆොටෝ" එක ඊට කලින් දවසක පිටවී තිබුනි.

ගෝල පොටෝ එකේ වෙනස්කම් , නොගැලපීම් එකී මෙකී නොකී දහසක් දේ රාජ්‍ය සහ නමට රාජ්‍ය නොවන විද්‍යුත්, මුද්‍රිත හා සයිබර් මාද්‍ය හැම එකකම පට්ට ගසා තිබුණි, එහෙත් ගුරු පොටෝ එක ගැන කවුරුත් හ්ම් නැත.

හැබැයි ඉස්සර ගුරු චිත්‍රයේ හා ගෝල චිත්‍රයේ වෙනස් කම් හොයන්නට බැරිවූවා සේම මට මේ "ගුරු පොටෝ " එකේ හා "ගෝල පොටෝ "එකේ  කිසිම වෙනස් කමක් දැකගන්නට බැරිවිය. (එය පවක් නම් පව් වල වෙනසක්) බලන්න ඔබට පුලුවන්ද කියා..........


 ගෝල ෆොටෝ එක 





ගුරු ෆොටෝ එක 


Wednesday, August 14, 2013

අලුත් ඉස්කෝලේ


බිත්තියේ එල්ලලා තිබුන ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරේ දිහා බලපු ශම්මිට "හ්ම් මේ මාසෙත් ඉවරයි " කියලා කියවුනේ ඉබේටම.
ලඟ තිබිච්ච පුටුව කැලැන්ඩරේ තියෙන බිත්තිය ලඟට අරං ගිය ශම්මි කැලැන්ඩරේ පිටුව පරිස්සමට ඉරාගත්තා , බොහොම සීරුවට දෙකට නවපු කැලැන්ඩර් කොලේ අරං ගිහින් මේස රෙද්දට යටින් කලින් ඉරපු කොළ තියෙන තැනටම දැම්මා.

ඉරන කැලැන්ඩර් කොළෙත් පරිස්සම් කරන්න තරම් තත්ත්වයකට තමුන් පත් වුනේ දෛවයේ සරදමක් නිසාද කියල ශම්මිට හිතුනේ ඇහැට ආපු කඳුලකුත් එක්ක.

"පුතාගේ ඉස්කෝලේ ඉන්ටර්විව් එක අනිද්දා නේද දෙයියනේ"
 , දරුවට ඇඳුමක් ගත්තෙත් නෑ තාම,
දුර අනුවනම් ඉස්කෝලේ ලබෙන්නම ඕනේ ,
ජීවන්තලාගේ ගේ පැල්පතක් වගේ වුනාට ඉස්කෝලේ අතේ දුරින් තියෙන්නේ, ටවුමේ ප්‍රසිද්ධම ඉස්කෝල වලින් එකක්.

ඒ එක්කම මතක් වුනේ ,පුංචි කාලේ තමුන් ගෙවපු සෙල්ලක්කාර ,සැප පිරි ජීවිතයට කණකොකා හැඬුවේ ජීවන්ත එක්ක යාලුවුනා කියලා තාත්තා දැනගත්තු වෙලේ නේද කියලා .

දැක්ක ගමන් "ජෝන් ඒබ්‍රහම් " සිහි වෙන ජීවන්ත අල්ලගන්න ක්ලාස් එකේ කෙල්ලෝ රබර් ඇහැ දැම්මට ජීවන්ත කොයි වෙලේත් ක්ලාස් ඇරෙන වෙලාවට එයාගේ ලුමිනස් කොළ පාට දොර දෙකේ රේසිං කාර් එකෙන් සද්දෙට රවුමක් ගහන ගමන් ශම්මි දිහාට බැල්ම දානවා කියලා හැමෝටම තේරිලා තිබුනා.
මේ නිසාම ශම්මිගේ යාළුවො කීප දෙනක් ශම්මි එක්ක හිත නොහොදින් හිටියා කියලාත් ශම්මි දැනන් හිටියා.  
"Jeewa Arun, Marketing Executive " එක තමයි ජීවන්ත දීපු විසිටින් කාඩ් එකේ  තිබ්බ නම, ලංකාවේ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ සුවඳ විලවුන් කොම්පැනියක්,

"අපේ කම්පැනි එකේ එක්සේකටිව්ලට මාසෙකට සැරයක් නිකම් හම්බවෙන ඒවානේ " ජීවන්ත එහෙම කිව්වේ එයා ශම්මිට තෑගී දෙන හැම සුවඳ විලවුන් බෝතලෙකම "නොට් ෆොර් සේල් " කියලා ගහලා තියෙන්නේ මොකද කියලා ශම්මි අහපු වෙලාවේ.

ගෙදරට සම්බන්ධෙ අහුවෙලා හිරකාරියක් වෙලා ඉන්නකොට ලැබිච්ච පලවෙනි අවස්ථාවේම ජීවන්ත එක්ක පැනලා ඇවිත් අවුරුදු විසිඑක වෙනකොටම අම්ම කෙනෙක් වෙන්න වුනු එකයි,
 ජීවන්ත පෙන්නපු පාට පාට ලෝකය , ජීවන්තගේ ලෙඩ ඇඳේම ඉන්න අම්මයි , තුන් දෙනෙකුට ඉන්න ඉඩ නැති  පුංචි ගේ කෑල්ලයි දැකපු ගමන්ම කඩා වැටුනේ අම්ම තාත්තාට දීපු ගින්දර නිසම්මයි කියලයි ශම්මිට දැන් හිතෙන්නේ, ඒ මදිවට මාකටිං එක්සේකටිව් නිකම්ම සේල්ස් රෙප් කෙනෙක් වුනු එකත් එකතුවුනා.


ඔෆීස් එකේ අලුතෙන් ආපු ගෑනු ළමයෙක් දූෂණය කරපු වරදට ජීවන්තයි තව තුන් දෙනෙකුයි අවුරුදු පහකට හිරේ ගිය දවසේ, එදා ශම්මිගේ මුළු ලෝකෙම කඩන් වැටුනේ ආයේ කවදාවත් හදන්න බැරි විදිහට, ඒ වෙනකොට පුතාට හරියටම අවුරුද්දයි,

ලස්සන රාජධානියක ඔටුන්න හිමි කුමරාගේ අගමෙහෙසිය වෙන්න ආපු ශම්මිට අන්තිමට ජීවන්තගේ ලෙඩින් ඉන්න අම්මව බලාගන්නත් වුනා, ඒ මදිවට ගාමන්ට් එක්ක මහා දුකක් විඳින්නත් වුනා.

මෙච්චර දේවල් වෙලත් ගෙදර කිසිම කෙනෙක් තමුන්ට කිසිම බුරුලක් නොදීපු එකෙන්ම ශම්මි ලොකු අමාරුවක් වැටුනා.

පුතා ඉස්කෝලේ දාන්න කට්ටිය කියන විදිහට තියෙන එකම ප්‍රශ්නේ පාසල් සංවර්ධන සමිතියට දෙන්න තියෙන ආධාර මුදල
"අඩුම රුපියල් දහදාහක් දෙන්න ඕනලු ශම්මි " අනෝමා අක්ක කිව්වේ අපිටනම් ඕක මොකක්ද කියන්න වගේ ,
ඇත්තටම ඒ ගාන දෙන්න වුනොත් නම් ඒ මාසේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ. පඩියෙන් ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඔක්කොම අරගෙන මේ වෙනකොට. ශම්මිට හීල්ලුනේ නොදැනීම ...

"අම්මේ ...අම්මේ...."
පුතා කෑගහගෙන දුවගෙන එන සද්දෙ ඇහුනු ශම්මි  ඉක්මනට කඳුළු පිහිදාගත්තා.

...................................................................................................................................................................

ඉන්ටවිව් එකට හැමෝම ඇවිත් හිටියේ අම්මයි තාත්තයි එක්ක , තමුන්ගේ පුංචි එකා මේ ළමයි අතර කොන්වෙයිද කියන එක ගැන ශම්මි හිටියේ නොසෑහෙන දුකකින්. අනෝමා අක්කත් එක්ක හිනාවුනාට නිකන් නොදන්නා කෙනෙක් එක්ක හිනාවෙනවා වගේ කට කොනකට යන්තම් හිනාවක් දාපු අනෝමා අක්කත් අහක බලාගත්තේ "උඹලා නිසා අපිටත් කැපෙයි" වගේ

වාරේ ආවාම ඉන්ටවිව් බෝඩ් එක ලඟට ගිය ශම්මිට ආපහු යන්න හිතුනේ එතන වාඩිවෙලා හිටපු අනිත් කෙනා දැක්කමයි , ප්‍රින්සිපල් සර් ලඟින්ම වාඩිවෙලා හිටියේ ජීවන්තගේ මාමා , ජීවන්ත හිරේ ගිය දවසේ .........
"තොපි කිසි එකෙක් මීටපස්සේ මට නෑකම් කියාගෙන එන්න එපා, තොපි වන්චාරියෝ වුනාට මම වැද්ගත් විදිහට ජීවත් වෙච්ච මිනිහෙක් , ඉස්කෝලේ එවුන් මේක දැනගත්තොත් හිතාවි මාත් තොපි වගේම වනචාරියෙක් කියලා,"

"බුදු මල්ලියේ ....මම ....."

"පලයන් අක්කේ යන්න , උඹ ගැන හිතලා තමයි මෙච්චර දවසක් මෙහෙ ඉඳලා හිටලා හරි ආවේ, අදින්පස්සේ ඒකත් නෑ, තොපි මගේ නෑයෝ නෙවෙයි,"

එදා සිද්ධ වෙච්ච හැම දේම ශම්මිගේ හිතේ ක්ෂණයකින් ඇඳිලා පෙනී නොපෙනී ගියා, ශම්මි ඉන්ටවිව් බෝඩ් එක පැත්තට ඇවිදගෙන යන ගමන තමන්ගේ පුතා දිහා බැලුවේ කියාගන්න බැරි අසරණා කමකින් , කිසි  දෙයක් නොදන්නා පොඩි එකා වටපිට බල බලා යන හැටි දැක්කම  ශම්මිට ඇඩුම් ආවත් බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තා.

ප්‍රින්සිපල් සර් නම් බොහොම කරුණාවන්ත තැන්පත් කෙනෙක්, ඇප්ලිකේෂන් එක දිහා බලපු ප්‍රින්සිපල් සර්

"ඇලිස්වත්ත පාරේ ..? බොහොම ලඟනේ .......අපි දෙමව්පියෝ දෙන්නටමනේ එන්න කියලා තිබ්බේ, කෝ මේ දරුවාගේ තාත්තා  "

"ම්..ම්..ම්ම්. එය ප්‍රින්සිපල් සර් මේ දවස් වල ඉන්නේ අබ්‍රෝඩ්   ඒකයි" ශම්මි ඒ ටික කියන ගමන් ජීවන්තගේ මාම දිහා යටහින් බැලුවේ උදුතොලට දාපු දාඩිය බින්දු ලේන්සුවෙන් පිහිදාන ගමන්, කට ඇදකරගත්තු මාමා යන්තම් උපහාස් හිනාවක් දාන හැටි දැකපු ශම්මිට පොලොව පලාගෙන යන්න හිතුනා.

"මොකද ආරියශීල සර්..."

"නෑ ප්‍රින්සිපල් සර් මම මේ අහන්න ගියේ මේ අම්මගෙන් මොන රටේද කියලා"

ආරියශීල එහෙම කියපුවාම ප්‍රින්සිපල් සරුත් ශම්මිදිහාවේ බැලුවේ  එකට උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ...
"ම් ..ම් ..ම්ම් මේ  කටා......නෑ නෑ ඕමාන් "

බොරු කියන එක කොයි තරම් අමාරුද කියන එක මේ වෙනකොට ශම්මිට ඕනවටත් වඩා තේරිලා ඉවරයි. ඒත් එක්කම ඉස්කෝලේට ලමයව දාන අදහස ඉබේම අතඇරුනා වගේ ශම්මිට දැනුනා...

තව ප්‍රශ්න කීපයක්ම ප්‍රින්සිපල් සර් ඇහුවා වගේම ඒවාට උත්තර දෙනකොට ආරියශීල අපහාසාත්මක හිනාවක් දාගෙන තමුන් දිහා බලාගෙන හිටපු හැටිත් දරාගන්න බැරි මට්ටමට එනකොටම

"හොඳයි අම්මේ අපි දන්වල එවන්නම්, අනෙක් නීතිරීති ටික දන්නවනේ "
"ඔව් ප්‍රින්සිපල් සර්"

 ආපහු යන තමුන්ව ඔලුවෙන් පෙන්නමින් ආරියශීල ප්‍රින්සිපල් සර්ට මොනවද කියන හැටි ශම්මි හොඳට දැක්ක,

ගෙදර ආපුවෙලාවෙ ඉඳන් මහා රෑ වෙනකම්ම ශම්මි කලේ හොඳටම අඬපු එක. ළමයට ඉස්කොලුයක් නැතිවෙන එක ගැන ඉහිලුම් නොදෙන දුකක් වගේම ජීවන්ත ගැන පුදුම කේන්තියක් තමයි ශාම්මිට ආවේ.

................................................................................................................................................................
පහුවදා ලන්ච් ටයිම් එකෙදී ශාම්මිගේ ෆෝන් එක රිංවෙන්න පටන් ගත්තා ,

"හෙලෝ ..."

"හෙලෝ මිසිස් ශම්මි දුලන්ජනා ඒකනායක .."

"ඔව් කතා කරනවා......"

"මම .......................විද්‍යාලේ ඔෆිස් එකෙන් ..  , ඔයාගේ පුතා අපේ විද්‍යාලයට තේරිලා ඉන්නේ ,හෙට උදේ නවයට ඉස්කෝලෙට එන්න ලියුම් ගන්න , මතක ඇතුව පාසල් සංවර්ධන සමිතියේ අධාරමුදල ගෙවන්න ලෑස්තිවෙලා එන්න, ඒ රිසිට් එක ලඟ තියාගන්න අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න , ස්තුතියි,"

"මේ ... හෙලෝ ... හෙලෝ..."

ඇත්තටම මේක හීනයක්ද , කවදාවත් විඳලා නැතිසතුටක් ශාම්මිගේ හිත පුරා විහිදිලා ගියා. එදා දවසම ශම්මි ගතකරේ හරිම ප්‍රබෝධයෙන්...

..................................................................................................................................................................

පහුවදා උදේ හරියටම නවය වෙනකොට ශම්මි ඉස්කෝලේ ගේට්ටුව ලඟ ,
ඔෆිස් එකේ දොර ඇරලා තියෙනවා වගේම, ඔෆිස් එක ලඟ නවත්තලා තියෙන කාර් එකේ දොර ඇරගන අතට ගත්ත ෆයිල් මිටියෙන් මොනවදේ තෝරන විදුහල්පතිතුමාවත් ඇරලා තිබ්බ ගේට්ටුව ලඟට පැහැදිලිවම පෙනුනා.

"ගුඩ් මෝනිං සර් "

ඒ සද්දෙට හැරිලා බලපු ප්‍රින්සිපල් සර් කන්නාඩි දෙකට උඩින් ශම්මි දිහා බැලුවා,

"ගුඩ් මෝනිං  , මම ඒත් බැලුවා කවුද කියලා ... ඔෆිස් එකට ගිහින් වාඩි වුනානම්, මම රිසිට් පොත් අරං එන්නං"

ශම්මි ඔෆිස් එක ඇතුලට ගිහින් වාඩි වුනා විතරයි

දිඩිස් ගාලා ඔෆිස් දොර වැහුනා......

හැරිලා බලපු ශම්මි දැක්කේ තමුන් දිහාවට කෑදර හිනාවක් දාගෙන ලං වෙන ප්‍රින්සිපල් සර්ව......
මෙච්චර වෙලා තිබ්බ කරුණාවන්ත මූණ නෙවෙයි පෙරේත බැල්මක් තියෙන අමුතුම මූණක් තියෙන සතෙක් තමුන් පිටිපස්සේ හිටගෙන ඉන්නවා වගේ ශම්මිට පෙනුනා

ප්‍රින්සිපල්ට ඕනේ වෙලා තියෙන්නේ මොනවද කියන එක වටහා ගන්න ශම්මිට අමුතු බුද්ධියක් ඕන වුනේ නෑ.

"අනේ  අනේ සර්... මෙන්න සල්ලි ..මේ ඔක්කොම තියෙනවා....."
රුපියල් දහදාහ අතේ ගුලිකරපු ශම්මි සර් දිහාවට සල්ලි දික් කළා..........

"ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කෙල්ලේ ....... ඔන්න ආරියශීල කොච්චර විරුද්ධ වුනත් ඔයාගේ දරුවා මං ගත්තා, අපි ඉතින් ඔයාලා වගේ අමාරුකම් තියෙන අයටනේ උදව් කරන්න ඕනේ...නේ......ද පැටියෝ..."

ප්‍රින්සිපල් මෙහෙම කියන ගමන් ශාම්මිගේ මූණ අතගාන්න පටන් ගත්තා ...ඒ රැලිවැටුණු ගොරෝසු අතේ ස්පර්ශය ශම්මිට පිළිකුල් .....

පුටුව තල්ලුකරගෙන නැගිට්ට ශම්මි දබර ඇඟිල්ල දික්කරලා " තමුසේ මගේ ඇඟට අතක් හරි තිබ්බොත් මම කෑ ගහනවා මුළු ගමටම ඇහෙන්න."

" හෝ හෝ .... මමත් කැමතියි ටිකක් වැඩ පෙන්නන ගෑනුන්ට පැටියෝ....."හොඳයි හොඳයි ඔයා අකමැතිනම් අපි මේ වැඩේ නවත්තමු"
"ඔහෙට පුළුවන්නේ ලමයව වෙන ඉස්කෝලෙකට දාගන්න නේද? "
"හැබැයි මතක තියාගන්නවා තමුසෙගෙ මිනිහා රේප් කේස් එකකට හිරෙඉන්නේ කියලා මම හැම ප්‍රින්සිපල් කෙනෙකුටම කියනවා"

" එතකොට තමුසෙට පුළුවන්නේ ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ඒ කතාව ශම්මිගේ ඔලුව ඇතුලේ දිගින් දිගටම දෝංකාර දෙන්න ගත්තා.....ශාම්මිට මහා අසරණ කමක් දැනෙන්න ගත්තා ........
ජීවන්ත ,අම්ම තාත්තා, ආරියශීල අනෝමා අක්කා... මේ හැමෝම තමන්ව වටකරගෙන හිනාවෙවී බලාගෙන ඉන්නවා වගේ ශාම්මිට හැඟුනා,.....
ප්‍රින්සිපල් සර් තමන්ගේ ලඟට ඇවිත් තමන්ව බදාගෙන  ඉඹිනවා දැනේද්දීම ශම්මි හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ ඔහේ බලාගෙන හිටියේ ප්‍රින්සිපල් සර්ට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා ,
ප්‍රින්සිපල් සර් පිස්සුවෙන් වගේ ශම්මිගේ ඇඟ උඩ දඟලන හැම මොහොතකම ශාම්මිට පුතාගේ මූණ මැවිලා පේන්න වුනා.


එදා කොහොම ගෙදර ගියාද කියලා ශම්මිට මතක නෑ, ගෙදර යනකොට පුතා කඩදාසි ඔරුවක් තුරුල් කරන් හොඳටම  නිදි. පුංචි එකා නින්දෙන් හිනා වෙනවා.
ඉස්කෝලේ ලියුම පුතා ලඟින් තියපු ශම්මි පුතා ලඟින්ම ඇඳේ වැතිරුණා........
පුංචි එකාගෙ ඔලුව අතගෑව ශම්මි දැක්කා පොඩ්ඩා තාම හීනෙන් හිනාවෙනවා ,
පපුව ඇතුලේ මොකක්දෝ හිරවෙනවා වගේ දැනුනු ශම්මි හයියෙන් කෑ ගහලා පුතාව බදාගත්තා ...

"පුතේ උඹේ අම්මා වේසියක් නෙවෙයි මගේ රත්තරන් පුතේ "



Friday, August 2, 2013

පෙරළුණු නැවුම් (රතු) පස..






පෙරලුනු නැවුම් පස 

කතාවකි පෙරළුව සිහලට......සිරිල් සී පෙරේරා.
බසින් රුසියානුවන්ගේ.....ලියූ මිහායිල් ශෝලොහොව්

එහි කොතනකවත් කියා නොතිබුණි මෙලෙසින්
"අනාගතයේ දිනක .........
         "මහා ධර්මද්වීපයක..............
                      "පෙරලෙයි පස රතුවෙමින්...............
                                  " නම් ලබයි රතු පස්වලින් ................
                                                 " බොන්ට දිය ඉල්ලූ පවින් ......................

අහෝ දෙවියනි
කොහිද අද පවන....ගැයූ ගී කෝකිලාවිය නමින් මාලිනිය නන්දාවන් ...........
                                    ලියූ පදවැල් ආරියරත්න සුනිලුන්...............

                                   මියැදී ඇතිය ඔවුනුත් ......ලෙසින් කපුගේ කම්පනයේ...........