Tuesday, April 29, 2014

ත්‍රිපෝෂ


"උඹ එන්න ඕනේ නෑ.. මම ගිහින් එන්නං....."

"ඒ මොකෝ මම එන්න ඕනේ නැත්තේ ....? හතර ගාතෙන් එන්න බෑනේ මම ගියාම ...නෑ තනියම යන්න ඕනේ නෑ "

"ඔය ළමය එක්ක එහෙ යන්න බෑ. අපේ අම්ම ගෑනු ළමයින්ට කැමති නෑ කියලා දන්නවනේ උඹ .."

"ඉතිං මේ ඔයාගෙත් දරුවා නෙවෙයිද සුමනේ ..."

"කීවහම අහල හිටපිය පරට්ටි ගෙදර ,අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම දත් වහල්ල හලාගන්නේ නැතුව.......... ඔන්න ඉතිං ඔය ඔය  ......ඔන්න පටන් ගත්තා ඈඬියාව ...මූසලී ....."

"මූසල කම මගේ ඇඬිල්ල නෙවෙයි සුමනේ ඔයාගේ අම්මලගේ හණමිටි කතාවයි, ඔයාගේ බේබදු කමයි ...

"මොකක්ද බොල කිව්වේ ........තෝ...අද මං...................."

අම්මට තාත්තට පිටුපාලා ජීවිතකාලෙම ආදරෙන් ලඟින් ඉන්න හිතාගෙන සුමනසිරිත් එක්ක ආපු එකේ රඟ දැනුයි දැනෙන්නේ කියලා විනීතට හිතුනු වාරගාන මෙච්චරයි කියලා කියන්න බෑ. 

 ඈතින් පේන සපුගස්කන්දේ තෙල්පිරිපහදුවේ ගිනි දල්ල වගේ තමුන්ගේ හිතේ ගින්දරත් කවදාවත් නිවෙන්නේ නැතිවෙයිද කියලා හිතුනු විනීතට හීල්ලුනා . පුංචි කාලේ ඒ ගිනි දල්ල දකිනකොට " අප්පච්චි අපේ ගෙදරත් ඒ වගේ උස ගිනි ගොඩක් ගහමුද හැමදාම පත්තුවෙන්න " කියලා අප්පච්චිට කියනකොට ..."ගින්දර තියෙන්නේ ලස්සනට තියන්න නෙවෙයි පුතේ " කියලා අප්පච්චි කිව්වේ මේ දේවල් කලින් දැකලද එතකොට ................? 

නිදාගෙන ඉන්න කෙල්ලගේ ඉල ඇට ගණන් කරන්න පුළුවන් තරමට පේනකොට විනීතාගේ ඉකි ගැහිල්ල මහා විලාපයක් බවට පත්වුනත් ආපහු අතින් කට තද කරලා වහගත්තේ ,පොඩි කෙල්ල ඇහැරෙයි කියන බයටමයි ...
*******
හැම උදේකම ඈතින් ඇහෙන කෝච්චියේ සද්දෙට ඇහැරෙන එක පුරුද්දක් වෙලා තිබ්බේ විනීතට , "පුංචි කාලෙනම් ඕකට කිව්වේ "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" කියලා . අද තමුන් ගුටිකකා කඳුළු බිබී ජීවත් වෙනවට ජීවත් වෙන යකඩ වගේ ගෑනියෙක් වෙලා කියලා විනීතා දන්නවා . බැඳලා අවුරද්දක් යන්නත් කලින් සුමනේ වෙනස් වෙච්ච හැටි. වෙනසක් කිව්වට ඒ හැබෑ තත්ත්වේ තමයි . වෙලාතියෙන්නේ යාළුවෙච්ච කාලේ මවාපාලා පෙන්නපු දේවල් වලට රැවටිච්ච එක බව විනීතා තේරුම් අරං ගොඩක් කල් .

කවදාවත් උයන්න හැදුවට එක දිගට උයාගෙන ගිය දවසක් මතකෙට එන්නෙම නැතිතරම කියල විනීතට හිතුනා . මොනම හරි අඩුපාඩුවක්, චන්දෙ දවස්වල අපේක්ෂකයෝ කීපදෙනෙක්ම දීපු අඩුම කුඩුම මලු කීපෙ අන්තිම අඩියත් හූරලා එක්කාසු කරගත්තට තව අඩුපාඩු බොහොමයි .

කිරි රහක් ,මිරිස් රහක් නැතුව බත් කන එකයි සුමනේගෙන් තුන්වේලටම ගුටි කන එකයි ඇරුනම විනීතාගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ පොඩි කෙල්ල. හැබැයි හදිසියටවත් පොඩි එකී ගෙදර තනියෙන් තියලා විනීතා ගෙයින් එලියට බැස්සේ නෑ. පොඩි එකීවත් උකුලේ ගහගෙනම කඩේට යන්න ගියේ ඒ නිසා . 

කඩේට යන්න ගිය විනීතා ආපහු හැරුනේ කඩේ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකේ ඉන්න ආනන්දව දැකලා.......

ඒත් 

" මොකද විනීතා නංගී ආපහු යන්නේ .., අපෙන් වැරද්දක් එහෙමවුනාද?" කියාගෙන අඩි දෙකක් ආපහු යන්නත් කලින් ආනන්ද විනීත ළඟ . 

"නෑ ආනන්දයියේ මේ ..කඩේට යන්න ආවේ ..පර්ස් එක ගෙදර දාලා ඇවිත් ...." 

"ආ පර්ස් එක ....." ආනන්ද කට කොනකින් හිනාවුනේ .හරියට "අපි නොදන්න සල්ලි පිරුණු උඹේ පර්ස් එක " කියන්නා වගේ .

ඔව් ආනන්දයියේ මම ගිහින් අරන් එන්නං "

විනීතා එතනින් ඉක්මනින් පිටවුනේ තාමත් බලන් ඉන්න ආනන්දට යමක් කියන්න ඉඩ නොදීම ....ඒ එක්කම ආපු ලංගමේ ආනන්ද නගිනවා විනීතට පෙනුනේ පාර පනින්න අනිත් පැත්ත බලනකොට ..

ආනන්ද කවදාවත් අනිසි දෙයක් කියලා නැතිවුනත් ,ආනන්දගේ හිතේ විනීත ගැන විශේෂත්වයක් තියෙනවා නේද කියලා විනීතට තේරිලා තිබ්බේ . 

*******
පාන්දර කුකුලා හඬලනකොට පොඩිකාලේනම් දැනුනේ හරිම ප්‍රබෝධයක් ,  ඒත් දැන් කුකුළා හඬලන සද්දේ මහා මූසල ගතියක් ගේනවා. වෙන මොකවත් නෙවෙයි තවත් කිසිම බලාපොරොත්තුවක් නැති තවත් කාලකණ්නි දවසක් නේද උදාවෙන්නේ කියන පණිවිඩේ ගේන පණිවිඩකාරයාද කියලා ඒ ගැන හිතෙන නිසා කියලයි විනීතට හිතුනේ . ඇත්තටම එකමදේ ගැන ජීවිත කාලේ එක එක යුගවලදී හිතෙන දේ වෙනස් වෙන්නේ ඇයි මේ විදිහට ....

නොයෙක් සිතුවිලි එක්ක පොර බදිමින් උදෙන්ම නැගිටලා පොඩි කෙල්ලවත් ලැහැස්ති කරගෙන ක්ලිනික් එකට යන්න එලියට බහින්න් හදනකොටම

"කහට එකවත් නොහද තෝ කොහෙද බැල්ලි මකබෑවෙන්න යන්නේ උදේම ......" 

ඊයේ රෑ තිස්සේ බීගෙන ඇවිත් මලා වගේ නිදාගෙන හිටපු සුමනේ .. ඇඳෙන් බහින්නේවත් නැතුව ලමයව උකුලේ තියාගෙන ගෙයින් එලියට යන්න හදන විනීතාගේ සායේ කොනකින් අල්ලලා ඇදලා ගත්තා .

"අත අරිනවා මනුස්සයෝ ..අද ළමයාගේ ක්ලිනික් එක ....නිකං හම්බවෙන ත්‍රිපෝෂ පැකට් එකවත් ගන්න දෙනවා මේ ළමයා හාමතේ නොමරා .. "

අන්තිමට සුමනේගෙන් පහර කීපයක් කාපු විනීතා ලේ ගලන යටිතොල ලේන්සුවෙන් වහගෙන ,ළමයවත් ඉනේ ගහගෙන පාරට පැන්නේ සුමනෙට හිතින් සාප කරමින් ...

" අම්මපා ආණ්ඩුවෙන් දෙන ත්‍රීපෝෂ පැකට් දෙකවත් නොහම්බුනානම් මාසෙන් බාගයක්ම ළමයා හාමතේ ."
ආත්මේ උගසට අරං උදව් කරන්න නම් පෝලිමට මිනිස්සු ඉන්න වග විනීතට රහසක් වුනේ නෑ.. කඩේට යන හැම වෙලේම මුදලාලිගේ මල්ලි වෙච්ච සාන්තගේ බැල්ම දකින්නත් විනීතා බයවුණේ ඒ නිසා .

" තොලට මොකද වුනේ විනීතෝ ...."

"මේ කොසු මිට වැදුනා නන්දක්කේ ...."

" ආ....කොසුමිට ..හා හා ...හොඳයි හොඳයි ..... "

"හැමෝම සහසුද්දෙන්ම වුනේ මොකක්ද කියලා දැන දැනම තමුන්ව අපහසුතාවයට පත් කරන්න හදන කොට ආපහු යන්න හිතුනත් ,ළමයා නිසාම ක්ලිනික් එකේ වරුව ගත කරපු විනීතා ත්‍රිපෝෂ පැකට් දෙක අරන් ගෙදර ආවා ....

*******

උදේ   ලමයව නාවන්න හිතාගෙන එලියට බහින විනීතා දැක්කේ කවදාවත් නැතුව ... ඔලුව බිමට පාත් කරගත්තු සුමනේ ගේ පැත්තට එන හැටි ... 

"මොකද .....?'

ඔරවලා බලපු සුමනේ ..  "මට ආයේ වැඩට එන්න එපා කියන්නේ .... "

"ඊයේ බඩු පටවන තැනදී කැෂියර් මහත්තයට පාට් එක දැම්ම ගාල ගෙදර ඇවිත් පම්පෝරි ගහනකොට මේ දේ කර ගනියි කියලා මට හිතුනා "

"මොකක්ද බොන්ඩි තෝ කිව්වේ ....."වේගෙන් විනීතා හිටපු පැත්තට ආපු සුමනේ වතුර බේසමට පයින් ගහලා ගේ ඇතුලට රිංගුවේ සරම කැහැපට ගහමින් ....
"ඔව් දැන් හොයනවා ගේ ඇතුලේ දැන් තමුසෙට විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ මාව විතරයි ...." විනීතා හිටි ඉරියව්වෙන්ම කෑගැහුවා .

මීට කලිනුත් බොන්න අතේ සල්ලි නැතිවුණු වතාවක් ගානේ විකුනලා විකුනලා මේ වෙනකොට ගෙදර බිත්ති හතරට අමතරව තියෙන බඩු අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වෙලා .

ඒ සැනින්ම ගෙයින් පිටවෙලා යන සුමනේ දිහා විනීතා බලන් හිටියේ ඇස් ලොකු කරගෙන ... වේගෙන් පාරට ගිය සුමනේ දිහා බලාගෙන හිටපු විනීතා ලමයව උස්සගෙන බේසම දිහාට ආවේ නාවන්න .

*******
නාවලා ඉවර වුනු ගමන්ම කෙල්ල අඬන්න පටන් ගත්තේ මොකද කියලා විනීතා දන්නවා ,

"අනේ මේ ළමයා කන්නේ නෑ මෙයා , කෑම ටික හදාගෙන පුදුම දැඟලිල්ලක් දඟලන්න ඕනේ කවාගන්න "

ක්ලිනික් එකට එන අම්මලා සීයේට අනූනවයක්ම කියන්නේ ළමයින්ට කවාගන්න බෑ අරකයි මේකයි කියලා.
ඒත් තමුන්ගේ දරුවට කන්න දෙන්න දෙයක් නැතිකමින් තමුන් කොයිතරම්නම් දුක්වෙන්වද කියලා විනීතට සිහි වුනා ..
"කෝ මේ ත්‍රිපෝෂ පැකට් දෙක"  ...පොඩි කෙල්ල අඬන නිසා ත්‍රිපෝෂ ගුලියක්වත් හදලා දෙන්න හොයන විනීතාගේ ඉහමොළ රත් වුනා .... "දෙයියනේ ..කොහෙද මම ඒක දාලා ආවේ ..." 

ගියේ කඩේට විතරයි සීනි සීයක් ගන්න .. කඩේ පරිප්පු ගෝනිය උඩින් ත්‍රිපෝෂ පැකට් දෙකත් එක්ක මල්ල තියලා සීනිවලට සල්ලි දුන්නා ..

 අනේ දෙයියනේ ඒ ටික එතනින් ගෙන්න බැරිවුනාද ? ලමයව ආපහු උකුලේ තියාගත්ත විනීතා පාර දිහාට ගියේ කඩේට ගිහින් බලන්න , දැන් ඕක ගන්නත් සාන්තයගේ ඇස්දෙක ඉස්සරහ හිටගන්න වෙන එක ගැන විනීතටනම් දැනුනේ අපුලක්,

මොකද සාන්ත ගෑනු දිහා බලන්නේ හරියට උන් හෙළුවෙන් කඩේට එනවා වගේ කියලා හිතාගෙන
.
 මුදලාලිගේ මල්ලි සාන්ත, කඩේ ඉන්න වෙලාවට පොල් ගොඩේ පැත්ත මාරු වෙනව කියලා කඩේ ළඟ රස්තියාදුවෙන පිරිමි ඔක්කොම කතාවෙන බව සුමනේගේ කතා වලින් විනීතටත් දැනිලා තිබ්බා , වෙනදට කඩේ එළියෙන් ගිහින් තෝරගන්න පොල් ,සාන්ත ඉන්න දවසට එලියපැත්තෙන් වටකරලා කඩේ ඇතුල් පැත්තෙන් ගිහින් තෝර ගන්න ඕන. එහෙම දෙකට නැවිලා පොල් තෝරන ගෑනුන්ගේ පස්සපැත්ත දිහා සාන්තයා කෑදර විදිහට බලනවා විනීතටත් කීප සැරයක්ම ඇහැ ගැහිලා තිබ්බා .

  කරන්නම දෙයක් නැති කමට නොනවත්වා අඬන පොඩි කෙල්ලගේ ඔලුව අත ගගා විනීතා කඩේ පැත්තට ගියා ... 

*******

දූවිලි පිරුන පාරේ ඈතින්ම වැනි වැනි ආපහු ගෙදර එන සුමනේ දැක්කම විනීතාගේ හිතට හැමදාම දැනෙන කලකිරීම ඒ විදිහටම අඩු නැතුව දැනෙන්න ගත්තා . තමුන්ට මූසලී කියා කියා හැමතිස්සෙම බැන්නට උදේ පාන්දරම මොනවා හරි ජරාවක් කටේ ගාගත්තම හරිම සිරියාවයි කියලා මේ මනුස්සය හිතන් ඉන්නවද දන්නේ නෑ.

" සිරිසම්බුද්ධ රාජා වඳිම්.... මුනි සෑසී පියාණන් වඳිම්........" සිංදුවක් මහා සද්දෙට කියාගෙන පාර පුරාම යන සුමනේ දිහාවත් නොබලපු විනීතා කඩේ පැත්තට ඇදුනේ වේගයෙන් ..

ඒත් කඩේ ලංවෙනකොටම විනීතාගේ ගමන් වේගේ ආයෙමත් බාල වුනා , ඒ ආනන්ද තමුන්ගේ මූණටම හම්බවෙන විදිහට ඉස්සරහට එනහැටි දැකලා. මග අරින්නනම් විදිහක් නැති පාටයි .

" ආ විනීතා නංගි ..මං මේ ඒ පැත්තට යන ගමන් ...."

"ආ යන්න අයියේ සුමනේ ගෙදර ඇති මම කඩේට දුවලා එන්නම් .."

"නෑ දැන් යන්න ඕනේ නෑ .ඔයාව හම්බ වුනානේ .."

" මොකක් ....?"

"ඔව් මෙන්න මේක ගන්න ..." කවරෙක දාපු යමක් විනීතා දිහාට දික් කරන ආනන්ද දිහා වීනීතා බැලුවේ පුදුමෙන් වගේ ..

"දෙයියනේ ත්‍රිපෝෂ පැකට් දෙක ...." අනේ පින් ආනන්ද අයියේ මට මේක කඩේ අමතක වෙලා ගිහිං..."

" හඃ...අමතක වෙලාද"

"ඇ ..ඇ.. ඇයි ආනන්දයියේ ..."

" අමතකවීම මන්දන්නේ නෑ නංගි... උඹේ මිනිහා දැන් ටිකකට කලින් මේක අරන් ඇවිත් මුදලාලිගෙන් කීයක් හරි ඉල්ලුවා මේක තියාගෙන දෙන්න කියලා"
"මට හිතුනා එකත් එකටම මේ උඹ ඊයේ කකුල් කඩුත්තුව හැදෙනකන් පෝලිමේ හිටගෙන ඉඳලා ගත්ත ත්‍රිපෝෂ පැකට් දෙක වෙන්න ඇති කියලා"
"ඒ පාර මම ඌට රුපියල් සීයක් දීලා ඕක ගත්තේ,නැත්තම් මුදලාලියා ඕකත් කාට හරි විකුනනවා මිසක් ආපහු දෙන්නේ නෑ , මට මතක් වුනේ පොඩි කෙල්ලව ..ඔන්න ඕක අරන් පලයන්..."

ආනන්දගේ කතාව ඉවරවෙන්නත් කලින් විනීතා ආවට වඩා වේගෙන් ගෙදර පැත්තට දුවන්න ගත්තා. 

"නංගී .......නංගී......... විනීතා.... දැන් ගෙදර ගිහින් අරූව අවුස්සා ගන්නවා හෙම නෙවෙයි ..." ආනන්දගේ කටහඬ ඈතින් ඇහුනත් ඒ වෙනුවෙන් නවතින්න විනීතට හිතුනේ නෑ ...

******* 

ලේ පිරුණු කැත්තත් අතින් අරගෙන පොලිස් ජීප් එකට ගොඩවෙන විනීතයි ,පොලිස් කාන්තාවක් වඩාගෙන හිටපු විනීතාගේ පොඩි කෙල්ලගේ මූණයි දැකපු සුමනේලගේ වත්තට පිරුණු සෙනග අතරේ හිටපු ආනන්ද ඔලුවේ අත ගහ ගත්තේ මොකද කියල ළඟ ඉඳන් ආනන්ද දිහා බලපු සාන්තට තේරුනේ නෑ 


165 comments:

  1. ටෙලි නාට්‍යක් වගේ කියෝ කියෝ බලන් ගියා.. ආනන්ද හොද කපටියා කියලා හිතෙනවා.. අතරමැදින් තරු දාලා ලියන මේ සිස්ටම් එක හැර අනික් හැමදේටම මං ලයික් , ජය වේවා

    ReplyDelete
    Replies
    1. අනික් හැම දේටම කිව්වෙ මෙයා...........?????????????

      Delete
    2. ඒ ක්‍රමය හැර කෙටිකතාවේ හැම දේටම ඇයි මොකද රාජී :)

      Delete
    3. හැක් ...හැක් ...එහෙමද....??? ඔමා ...????

      Delete
    4. @ ඔමා - ආනන්දව කපටියෙක් කරන්නනම් හිතුවේ නෑ. එත් ඔයා කිව්වට පස්සේ හිතෙනවා එහෙමත් හිතන්න පුළුවන් නේද කියල . ත්‍රී දැන් සිස්ටම් එකට අමතරව වෙන මොකක් හරි යෝජනාවක් තියෙනවනම් දෙන්නකෝ බලන්න . මට වෙන විදිහක් හිතෙන්නේ නෑ

      Delete
    5. ඔහොම කාලකන්නි ඇත්තටම ඉන්නවා , මතකද පත්තරේ තිබුනා ළමයට බොන්ඩ තියන තං දෙකෙන් එකක් අයිති කරගත්ත මිනිිහෙක් ගැන

      Delete
    6. @ අටමා - මොකක් .....? යකාගේ මිනිස්සුනේ ..බලන් ගියාම කාලකන්ණි වැඩ ක්‍රියේටිව් විදිහට කරන එවුන් අපේ රටේ ඉන්නේ

      Delete
    7. කාලෙකට කලින් පත්තරේ තියනව දක්කේ , පොර පොල් කඩන මෑන් කෙනෙක් මැන්ට කොහොම හරි තනකිරි රහවැටිලා , උදෙට ගස් බඩගාන්ඩ යනකොට ගැනිට කියනවලු ළමයට එකකින් දීලා මට හවසට බොන්ඩ අනික දීපං කියල , ළමයා බඩ ගින්නේ අඩනවලු එකකින් බීලා බැරි හන්දා , බැරි වෙලා හරි අරු අයිති කරගත්ත එකෙන් දුන්නොත් ගැණිට තඩි බානවලු , බැරිම තැන ගැනි පොලිසි ගිහිං , උඹ ඕක නොදැක්ක එක හරි පුදුමයි.

      Delete
    8. සිරාවටම මම ඒක දැක්කේ නෑ අටමෝ... මර පොරක්නේ

      Delete
    9. අනුරාදපුර සිදුවීමක්

      Delete
    10. ආනන්ඳ ත්‍රී පෝෂ පැකට් දෙක සල්ලි වලට ගත්තේ නිකන් විනිතගේ දරුවට තියෙන ආදරේකට නෙමේ ලකුණු කීපයක් එකතු කරගන්න .. ඒ සිදුවීම එතනින් ඔයා ඉවර කළා ඊට පස්සේ තියෙන තරු කීපයෙන් පස්සේ අවසාන සිද්දිය එතනදී මට හිතුන දේ තමයි සිද්දි මාත්‍රයක් විදියට ත්‍රී පෝෂ පැකට් දෙක ආපහු දීම ලියුවත් ඊට පස්සේ ටිකෙන් ටික ආනන්ද විනිතගේ හිත ගත්තා, ඒ හැම දේම කෙටිකතාවක් තුල ලියවෙන්නේ නැහැ කියලා මං උපකල්පනය කළා. ඊට පස්සේ අන්තිමට ඔයා ලියන්නේ ත්‍රී පෝෂ පැකට් දෙක අරන් ගෙදර ඇවිත් වෙච්ච දෙයක් නෙමේ,, දවස් කීපෙකට ,මාස කීපෙකට හෝ කාලෙකට පස්සේ වෙච්ච සිද්දියක්,,, ඒ සිද්දියේ කෙලවර ආනන්ද සම්බන්ධයි.. ඒකයි ඔළුවේ අත ගහගත්තේ... තව ඕනේ ඕනේ විදියට කතාව කියෝගන්න පුළුවන්,,

      Delete
    11. @ ඔමායා -යමක් තේරුම් ගැනීමේදී හා සාධාරණ අර්ථකතන ලබාදීමේදී ,ඔබේ මේ හැකියාව්ව මවිතකරවන් සුළුයි , ඇත්තෙන්ම මේ කතාව ඔබ විසින් ලියූවක් තරමටම එහි අරටුව ඔබ විග්‍රහ කරනවා . මං හිතන්නේ මේ එහමයි කතාව තේරුම් ගත්ත ආකාරය විග්‍රහ කල හොඳම අවස්තාව . නියමයි ඔමා

      Delete
    12. කෙටිකතා ලියන්න හැමෝටම බැහැ අයියේ, බොහෝ විට කියෝන අය කියවල ඉවරවෙලා හිතන්නේ පව් විනිතා , මේක නම් ඇත්තටම කතාව ,මේ වගේ මිනිස්සු කොච්චර අද සමාජේ ඉන්නවද , ඕකට ඔහොම වෙලා මදි .. ඒ වගේ දේවල්. නමුත් මං කෙටිකතාවක් විදියට කතාවේ ඒ රසය විදගන්නවා විතරයි. අර්ථයට වඩා කතුවරයාගේ ලියවිල්ලයි මං විදින්නේ, පුළුවන්නම් මාසෙට දෙකක්වත් ලියන්න. වෙන කියන්න මොකුත් නැහැ :)

      Delete
    13. ලියන්න හැමෝටම බෑ වගේම රස විඳින්නත් හැමෝටම බෑ. //""අර්ථයට වඩා කතුවරයාගේ ලියවිල්ලයි මං විදින්නේ"// අන්න ඒක තමයි අමාරුම කාර්යය ඔමායා , එකට රසවිඳින්න වගේම තීක්ෂණ බුද්ධියකුත් , සුන්දර හදවතකුත් වුවමනා වෙනවා , මාතලන් වරක් කිව් පරිදි ඔබට සිනමාව දෙසට යොමුවුනොත් එහි විශිෂ්ටයෙකු බවට පත් වෙනවා නිසැකයෙන්ම . ඒ සඳහා අවශ්‍ය ගවේෂණශීලී විචාර බුද්ධිය ඔබට නොඅඩුව තිබෙනවා ..ජයෙන් ජය

      Delete
    14. උඹ අයින් කොලාද..පොන්සිලගේ....ඒවා..????

      Delete
    15. පත්තරේ හියර් .. ඕ යේස් . කෙන්ජි බොස් ???????????

      Delete
  2. අවුරුදු 10කින් හරි ඇවිත් දෙයියනෙ කියල හොදින් ඉදී

    ReplyDelete
    Replies
    1. ආවම ඒ පැත්තෙ ෂූටිං යනවා එහෙම නෙවෙයි හරී !!!!! අපිට නිව්ස් එක එනවා.. දන්නවනේ බොස්..වහ කනවා ඊට හොඳයි ඈ..

      Delete
    2. ඒ කැත්ත හැර තවත් කැති තිබේද

      Delete
    3. @ දමිත් - එහෙම වේවා කියලා තමයි හැමෝගෙම පැතුම

      Delete
    4. @ පත්ත්රයා - උඹට පත්තරේ කියන්නේ නිකං යැයි

      Delete
  3. Dawasa puraama vineethala, Sumanela wagema Anandalath api dakinawa ban me samaaje

    ReplyDelete
    Replies
    1. ඔව් ජනා - අද අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 ක් වෙන රටේ තත්වේ ඔහොම තමයි

      Delete
    2. ඔව් ජනා - අද අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000 ක් වෙන රටේ තත්වේ ඔහොම තමයි

      Delete
    3. ඇත්තටම ඉවාන් අයියා ඒ කතාව ඇත්තෙයි

      Delete
    4. කබ්බරාළ නම් කියන්නේ ඇත්ත කියලා

      Delete
  4. melo raha naaaaa..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @ ඇනෝ- මෙලෝ රහක් නෑ කියලද කියන්න ඕනේ වුනේ .... ඔය කෙන්ජයියත් සප් එක දීලා තියෙන්නේ :D

      Delete
    3. මං නං ත්‍රිපෝෂ කාලා නෑ රහ ගුණ කියන්න!

      Delete
    4. ඒ කාලේ සමපෝෂ තිබ්බෙත් නෑනේ කකා ... දැන්නම් ත්‍රිපෝෂ නැත්තම් සමපෝෂ හරි තියෙනවා

      Delete
  5. මොකක් නමුත් බනින්න දෙයක් හොයාගන්න බැලුවට හරිගියෙ නෑ බං.හරිම රහයි.අන්න අර ආනන්දගෙන් තුන් වේලම ගුටිකන එකයි කියන තැන සුමනසිරි වෙන්න ඕනෑ නේද,ඒක හදපන්.එතන කොපි කරල මෙතන අලවන්න බැලුව කොපි ඩිස්ඒබල්ලු.

    ReplyDelete
    Replies
    1. බනින්න දෙයක් හොයාගන්න් බැරි වුනා කිව්වම අප්පා සන්තෝසේ ... මං මේ "යන්කො ගෙදර " කියන්න ලාස්තිවෙලා හිටියේ

      Delete
  6. හයියෝ ඉවාන්. ඉපදුනේ ඇයි කියලා හිතෙනවා මේවා අහනකොට. සමහරවිට උඹට මේ අදහස එන්න ඇත්තේ පත්තරේක පළවෙච්ච වාර්තාවක් වගේ දෙයකින් වෙන්නත් ඇති කියලා මට හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් .. ඔය කතාවම නැතුවට ඔයවගේ සිද්ධි ගණනාවක් දිනපතාම දකින්න අහන්න ලැබෙනවනේ මේ ධර්මද්වීපයේ . ඩුඩයියා හරි.

      Delete
  7. මොනව උනත් ඒ අවසානයට මම කැමතියි..

    ReplyDelete
    Replies
    1. අකමැති වුනත් ඒ වගේ අවසන් වෙච්ච කතා බොහොමයි මානවි

      Delete
  8. මේ කතා ඕන තරං තියෙන්නෙ දවස ගානෙ පත්තර ඔල......
    පෙරේද මංගලගේ තාත්තිගෙ පාලමෙන් ළමයි දෙන්නෙක් විසි කෙරුවෙ ...වේසිගෙ පුතෙක්.....
    තොට ලියන්න දෙයක් නැත්නං ....ඒවල පොටෝ කොපි දාපං නම කාගන්නෙ නැතිව.....
    ආ.....එල කියන්න ගතියක් ඇත්තෙම නැහැ....මේ පෝස්ට් එකේ.....

    ReplyDelete
    Replies
    1. //""තොට ලියන්න දෙයක් නැත්නං ....ඒවල පොටෝ කොපි දාපං නම කාගන්නෙ නැතිව...""// එහෙමත් බෑනේ , එතකොට ඔයාම ඇවිත් ආපහු බනියි , "තොට මේකෙන් කතාවක් ලියන්න බැරිවුනාද යකෝ ,පත්තරේ තිබ්බ එක ගෙඩිය පිටින් එහෙමම දැම්මේ කියලා" :D

      Delete
    2. ආනන්දය කො‍ටුව පැනල විනීතත් එක්ක කංසැපක් ගන්න කෑල්ලක්වත් තිබ්බනං නෙද කෙංජි... හෙහ්.....හෙහ්.....

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++
      X- Porter

      Delete
  9. ඔහොම කාළකණ්නි මැරුණ එක හොදයි. ඒත් උපන් දා ඉදන් තාත්තා අහිමි (හිටියත් නෑ වගේනෙ හිටියෙ.) අර පොඩි කෙළීට අම්මත් නැති අහිමි (ජීවිතේටම උනත් අවුරුදු ගාණකට උනත් එකම එක දවසකට උනත්) උනා නේද කියලා මතක් වෙත්දි මහ මූසල කමක් හිතෙට දැනෙනවා බං.

    ඒත් ඒ අහිංසක ගෑණියි අර කෙළි පොඩ්ඩයි ඔය තිරිසනා ගෙන් බේරුනා නේද කියලා මතක් වෙත්දි සතුටුයි. ඒ වගේම මිනිහා මැරිච්ච විනීතා ආයෙ ගමට ආවාම අරුන් දැල් එළයි කියලා මතක් වෙත්දි කේන්තියි.

    අනේ මන්දා බං විනිතාගෙ තීරණේ හරිද වැරදිද කියලා මම තාම කල්පනා කරනවා.
    හිත කියනවා හරී කියලා මොලේ කියනවා වැරදී කියලා. අනේ මන්දා. :(

    කතාව සිරාවටම මරු.

    ReplyDelete
    Replies
    1. කතාව සිරාවටම මරු ........ හෙක් හෙක්..... ලංකාවෙ ඉන්න තොපි අදමද අහැව්වෙ ....
      ඇයි අයිසෙ මීට ඉස්සර අහල නැද්ද මේ කතා.....ඕයි ....

      Delete
    2. @ ප්‍රියා - තීරණේ හරි වුනත් වැරදි වුනත් මේ වගේ කතාවල අවසානය බොහෝ විට ඛේදනීයයි , ඒක ගැන ඕන තරම් උදාහරණ තියෙනවනේ නේද ප්‍රියා . ස්තුති වෙවා .

      Delete
    3. @ කෙන්ජි - කෙන්ජි ලසිත් මාලිංග

      Delete
    4. @ ඉවාන් ~ අනිවා බං. ඔය වගේ ඒවට නම් අනන්තවත් උදාහරණ තියනවා. :(

      @ කෙන්ජි අයියා ~ :)

      Delete
  10. මොකක් කියලා කමන්ට් කරන්නද බං මේවාට.

    සමාජ අසාධරණේ,හැමතැනම අඩු වැඩියෙන් තියෙනවා බං.
    උඹ දැක්කාද අර සේරුනුවර ගුරුවරියක් කරලා තියෙන වැඩේ.කෙල්ල සපත්තු දෙක කැඩිලා සෙරප්පු දෙකක් දාගෙන ස්කොලේ අවා කියලා ඒ දරුවාගේ බෙල්ලේ අර සෙරප්පු දෙක එල්ලුවා කියන නිව්ස් එක. නැතිබැරි එකා හැමදාම අසරණ කමින් පෙළෙනවා.

    මේ ආශ්චර්යමත් රටේ දැන් මේ වගේ සිදුවීම් හරිම බහුලයි.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මම දැක්කා බං. මිනිස්සුන්ගේ මනුස්සකම් නැතිවෙලා, දැන් මිනිස්සු නෑ.. ඉන්නේ යන්ත්‍ර . ගුරුවරුත් ඔහොමනම් අනික් අය ගැන කවර කතාද ?

      Delete
  11. හ්ම්ම්ම්........ හිතට පුදුම කම්පාවක් දැනුනා අවසානයට එනකොට. මොකද, ඒ කතාවේ අවසානය නෙමෙයි, අවසානයේ ආරම්භය විදියටයි පේන්නෙ. කතාව ගලායාම අපූරුයි.

    හැබැයි තාම අර මුලින් ලියාපු කෙටිකතා වල මට්ටමට ඇවිත් නැද්ද මන්ද. :) මේ මට හිතෙන හැටි හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි ... උඹට එහෙම හිතුනනම් ඒ හිතුන හැටි ගැන මට වෙනමම හිතන්න වෙනවා . සමහර විට එහෙම වෙන්නත් පුළුවන් පුළුවන් රෝස බස්සි

      Delete
  12. මචං .. මොන &%$ටද මේක ලිව්වේ..තියන ප්‍රශ්න මදිවට පොඩි එකාගෙ ත්‍රිපෝශ එක විකුනන තැන නං පොඩ්ඩක් හිත ගැස්සුනා... උඹේ පැත්තෙන් උඹ සාර්ථකයි.

    අපේ ගෙවල් ඉසාරහම ඕකට සමාන සිද්ධියක් උනා බං.. ඉලෙක්ට්රිසිටි බෝඩ් එකේ වැඩකරන ලස්සනට ජීවත් උන පවුලක තාත්ත ඔය විදියට බීමට වැටිලා වද දෙන්න ගත්තා.. එක කොල්ලයි වයිෆුයි.. කොල්ලට 18 ක් විතර උනාම දවසක් අම්මට ගහලා ඉස්සරහ කාමරෙ තාත්ත නිදියද්දි මූ උහුලන්න බැරුව එක මන්න පාරින් බෙල්ල වෙන් කරා..

    අම්ම පුතා බේරන්න පිහියත් අරන් මමයි මැරුවේ කියල බාර වෙලා හිරේ ගිහින් ටික කාලෙකින් ආවා..අහිංසක මනුස්සයා බං..කොල්ල කැම්පස් තේරුනා .නෑදෑයයන්ගෙ උදව්වෙන් ඉගනගත්තා.. දැං අම්මයි පුතයි ලස්සනට ජීවත් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔය විදිහේ කතා කීයක් නම් කියලා අද සමාජයේ තියෙනවද පත්තර මල්ලි, සිදුවීම හැටියට එකවගේ වුනාට මේ හැම එකක් යටම අසුන්දර ,අනුවේදනීය සහ අනන්‍ය කතාවක් හැංගිලා තියෙනවා .

      Delete
  13. සිත සසල කරපු නිර්මාණයක්.. විනිතල සුමනේලා තව කොච්චර ඇති ද මේ ලෝකේ..

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මොනරි ... අනන්ත ඉන්නවා .වැඩේ කියන්නේ කවුරුවත් එයාගන හොයා බලන්නේ නෑ. ඔතනින් ඉහලට එන්න උදව් කරන්නේ නෑ

      Delete
  14. තමන්ගේම ලෙයින් උපන්න පුංච් එකාගේ ත්‍රිපොෂ පැකට් එකක් විකුනං බොන පාහරයන්ට ඔයිට වැඩිය හොඳ දෙයක්නම් වෙන්න හොද නෑ.. පව් අර පුංචි එකා.. එ්ත් මාස තුනකින් අැප අරං එ්කගේ අම්මා අායෙත් එනවා.. පොඩි එකාව සුර ලෝකෙට අරන් යන්න නෙවෙයි.. සුරලෝකට යන පාර පෙන්නන්න...
    හිත සසලකළ කථාවක්...ඉවාන්..

    ReplyDelete
    Replies
    1. ""පොඩි එකාව සුර ලෝකෙට අරන් යන්න නෙවෙයි.. සුරලෝකට යන පාර පෙන්නන්න..."" ඇත්ත උඹ හැමදෙයක්ම මේ වාක්‍යයෙන් කියලා . ස්තුතියි විදානේ

      Delete
  15. අනේ මංදා බං වැඩ කරලා මහන්සි වෙලා ඉද්දි හිත නිවාගෙන රිලැක්ස් වෙන්න බ්ලොග් කියවන්න එනවා. උඹලා මේ වගේ පට්ට විදිහට ලියලා අපේ ප්‍රෙෂර් නග්ගනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රෙෂර් නගිනවා කියන එක සන්තෝස වෙන්න කාරණයක් නොවුනත් , උඹ මේ කියලා තියෙන විදිහට ප්‍රෙෂර් නැග්ග එක ගැන මට ඇත්තටම සන්තෝසයි මචෝ ...ස්තිතිය් itනිශාන්ත ...

      (මේ උඹ දන්නවද මං බ්ලොග් වලට ආපු දවස්වල ඉඳන් මේ ලඟක් වෙනකන් උඹේ නම කියෙව්වේ "ඉටිනිශාන්ත" කියලා . මේ ලඟදි තමයි මීටර් වුනේ "අයිටී නිශාන්ත" කියලා) :D

      Delete
  16. පට්ටයි අයියේ කතාව :)

    ReplyDelete
    Replies
    1. තැනකුයි මලයා ...මොකද පේන්න නැත්තේ ..අපිටත් හොරෙන්ම එටිසලාට් නංගි එක්ක පැනලා ගියාද උඹ

      Delete
  17. නූගත්කම සහ දරිද්‍රතාව කියන මහා සැඩ පහරවල් වලට හසුවූ මෙවැනි ජීවිත වලට, කිසිදු මගපෙන්වීමක්, අපේ සමාජය තුළ සංවිධානය කර නොතිබීම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. සමාජය ඒ තරම් ත්‍යාගශීලී නෑ විචාරක මහත්තයෝ , ඕනේ නම් ගානිහිරෙන් නිදහස් වෙලා ආව දවසේ ඉඳන් බලයි කොහොමද මේකිව ඇඳට නග්ගගන්නේ කියලා

      Delete
  18. නෑ බං මොනවා කරන්නද! විනිතා කරපු දේ හරි!

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි මලේ වෙන කරන්න දෙයක් නෑ...

      Delete
  19. ඔය වගේ අපේ පැත්තෙ හිටපු කාලකණ්ණියෙක් ළමයව පොළවෙ ගැහුව බං.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මේ සමාජේ ඉන්නේ කාලකන්ණි විතරමද කියලත් හිතෙනවා බං

      Delete
  20. අනේ මන්දා බං, ඔහොම යක්කුත් ඉන්නවා තමයි.. ඒවා කරුම.. වෙන මොනවා කියල කියන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. කරුම තමයි , වැඩේ අපේ මිනිස්සුත් කරුමෙට බාරදීලා මෙවාගැන කිසිම දෙයක් නොකරන එක . හැබැයි කරුම ගෙවන්නැ වෙන්නේ මෙලෝ දෙයක් නොදන්න පොඩි එකාට

      Delete
  21. මේවගේ ඇත්ත කතා අද වෙනකොට කොයි තරම් වෙනවද? අවාසනාවට ඇත්ත කතාවක්.

    මේක කතාවක පටන් ගැනීමක් ද?
    එහෙනම් ඉතිරි ටිකක් කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්ත කතා ගොඩක් තියෙනවා රංගි.. සමහර දේවල් ලියන්න තියා කියවන්නවත් හිතෙන්නේ නෑ.

      මේ කතාව මෙතනින් ඉවරයි ..වෙන කොටසක් නෑ

      Delete
  22. අද ඉවාන්ගේ කතාව ගොඩක් වෙනස් කියලා මට දැනුණේ.

    කතාවේ ගලායෑම හොඳයි. සපුගස්කන්දේ නොනිමී දැල්වෙන ගින්දර ගැන කීව හැටිත් අපූරුයි. වෙනදා කතාවලට වඩා තදින් හිතට වැදුනේ අම්මෙක්ගේ ආදරේ ගැන කියවුනු හන්දා වෙන්ට ඇති.

    හැම ගෑනු ලමයෙක්ම ආදරේ කරන්ට කලින් හිතන්ට පුරුදු වෙනවා නම් හොඳයි. ඒත් ඉතින් ආදරේ අන්ධලුනේ.:)

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි පොඩ්ඩි

      අම්මෙක්ගේ ආදරේට කරන්න බැරි දෙයක් නෑ ...

      පොඩ්ඩි එහෙනම් හොඳට හිතලා හිතලා ආදරේ කරන්ට .... එක්කෝ වැඩිය හිතන්නේ නැතුව මටවත් කියලා දාන්ට :P

      Delete
  23. මොක්කට වදින තැන් දෙක තුනක්ම තිබුනා. මේවා තමයි අපි උඹෙන් ඉල්ලන්නේ. මේ තමයි ඉවාන් පවුලූෂා ලකුණ. ඒක යුනීක්.. ඇත්තටම මේක මේ හැමදාම අහන නිව්ස් එකක් නේ. ඒත් බොහෝ දෙනෙකුට ඒක නිව්ස් එකක් උනාට. උඹ වගේම මමත් මේ නිව්ස් වල ඩීප් එන්ඩ් එකට යනවා. ඒක ර නිව්ස් එකට එහා ගිය අතිශය ඛේදනීය සිතුවම් පෙලක්.. රහයි මචෝ.. ඇත්තටම ඔය ගම් වල කී දෙනෙක් නම් ත්‍රීපොෂ පැකට් එක විකුණනවද?

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මාතේ ..

      ඔය හැම ප්‍රවෘත්තියක්ම එක වගේ වුනාට .ඒ ඇතුලේ තියෙන කතා එකකට එකක් වෙනස් කතා ...

      ඔය ත්‍රිපෝෂ විකුණන එක ගැන කියන්න මාතේ ඉස්සර අපේ කඩේටත් එකා දෙන්න ඔහොම් ඕවා උස්සගෙන ආවා . හැබැයි අපේ අම්මා අප්පච්චිට දැම්මා තගක් ඕවා අරන් තිබ්බොත් බලාගෙනයි කියලා ... හැබැයි කවදාවත් ගත්තේ නෑ. ඒ වුනාට උන් ඒවා වෙන් කඩේකට හරි විකුනනවා .. මොකද උන්ට ඉනේ බොන්න් මිසක් ළමයි හදන්න නෙවෙයි .

      Delete
  24. බොන්න ඕන උනාම හැමදෙම විකුණන් කන වුන් ඉන්නවා , කොම උනත් විනිතා වැරදි මං නම් කියන්නෙ මෙක නෙවෙයි විසදුම ,හැබැයි ප්‍රශ්න වලදි අපි මේ බර බර තර්ක දැම්මට ඔවා මතක් වෙන්නෙ නෑ ,එහෙම වෙනවා නම් ඔය පොඩි දෙටත් බෙල්ලෙ වැඩ දා ගන්න එවා කෝච්චර අඩු වෙයිද ???

    ReplyDelete
    Replies
    1. ඔව් බං , // ප්‍රශ්න වලදි අපි මේ බර බර තර්ක දැම්මට ඔවා මතක් වෙන්නෙ නෑ"// ඇත්තම ත කතාව . කියන්න ලේසි වුනාට කරන්න අමාරුයි

      Delete
  25. බොාහාම අගෙයි ඉවාන්.. හැබැයි වීනිතගේ හැගීම් මීට වඩා විස්තර කරා නං කතාවේ උපරිම රසයක් එන්න තිබුනා.. ආනන්ද ගැන පඨකයා තුල මවපු රෑපය උඹ එක පාරම වෙනස් කරා.. කතාවත් වෙනස් කරා.. ජය වේවා උඹ ඇත්තටම හොදට කොන අල්ලගෙන වටේටම නෙලන ලියන්නේක්..

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි වේවා දේශා ... උඹ කියන අඩුපාඩු ගැනත් අවධානය යොමු කරන්නම් ... සමහර දේවල් අපිටම අහුවෙන්නේ නෑනේ ලියනකොට ,ස්තුතියි මචං දේශා

      Delete
    2. අනේ පලයං යන්න.. හැක්...

      Delete
    3. කොහේ යන්නද බන් මේක දාලා දැන්...? මම මේකෙන් යනවා උඹ බුකිය දාලා ගිය දවසට හැක්

      Delete
  26. කතාව නං රහයි...
    එක හුස්මට කියවං ගියා..
    කෝමත් ඉවාන් අයියට පට්ටෙට ලියන්නපුල්වං නෙව...

    යලට මහට නොලිය දිගටම ලියමු
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා මහේෂ් ...

      යලට මහට ලියන්නෙත් අමාරුවෙන් බං. කොහොමත් දිගටම ලියන්න්තමයි හිත ...වෙලාව නෑ දෙයියනේ වෙලාව

      Delete
  27. උදවි කරන්නේ ඒ ගැනිත් එක්ක බුදියන්නම නෙමෙියි කියලා හිතන ආනන්දලා තවමත් අපි අතර ඉන්නවා. ඒ උනාට අන්තිමට අපේ සමාචයේ එවුන් කාථාව හදන්නේ කොහොමද දන්නවද (සාන්තලා)?
    විනිතා අනාන්දයා ඒක්ක හුටපටයක් තිබිලා තියනවා, ආනාන්දයා පාරේදි මොකක්ද බැග් එකක් විනිතාට දිලා ඒක සුමනයා දැකලා ඒකට කෑ ගැහැවිවා කියලානේ කොටලා තියෙන්නේ.
    ටිකක් බිලා කෑ ගැහැවිවට සුමනයා එහමට නරක එකේක් නෙමෙියි.

    ReplyDelete
    Replies
    1. උඹේ කොමෙන්ටුව වෙනම පැත්තකට මේක ගෙනියනවා . ඇත්තටම එහෙම තමයි අන්තිමට කතාව යන්නේ . මොකද ගෑනියෙක් වැරදි කාරයා කරන්න ලේසියි හැමෝටම . "වේසි " කියන්න විතරයි තියෙන්නේ

      Delete
  28. මටත් ඔය උඩ සංජීවට හිතිච්ච ටිකම තමයි හිතුනෙ.. කතාව යනකොට යන්නෙ කපුටො හත් දෙනෙක් වෙලා... අපේ සමාජෙ එහෙමයි...

    ( මං හරි කැමතියි අපේ මේ බීම සාධාරණීකරණය කරන කට්ටිය මේවගේ කතා වලට කියන්නෙ මොනාද කියල බලන්න... හි හි... ලොකුවට හරි පොඩියට හරි හැමෝම ගෙදර ගෑණුන්ට ළමයින්ට දෙන්නෙ මේ ගින්දරම තමයි...)

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු සංජීව කියපු කතාව මේ සිධ්ධිවල තවත් පැතිකඩක් ..
      ඊට පහලින් හිරු කියලා තියෙන දේ ගැන වාදෙට යන්න දෙයක් නාඑන් ඉතිං

      Delete
    2. @හිරැ
      ස්තුතියි. යම් ුරකට මම ඔබත් සමග එකගයි. අරක්කු බිලා එන්නේ නැ කියලා අපේ ගෙදර උන්දැ දැන සිටියට රාඡකාරි මටිටමින් උනත් ගැහැනු ළමයි කථා කරනකොට එයාට රිදෙනවා කියලා මට හිතෙනවා.

      Delete
  29. කතාව නියමෙට ලියවෙලා තියෙනව. ආශ්චර්යමත් රටේ ඔය වග‍ේ සිද්ධි දැං සාමාන්‍ය මට්ටමට ඇවිත් තියෙන්නෙ.
    හැබැයි ඉතිං බොහෝ තැන්වල අන්තිමට කතාව යන්නෙ ඔය සංජීව කියල තියෙන විදියට තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තිතියි Praසන්ன - මේවා සාමානය සිද්ධි දැන් , ඒතරමටම සමාජය කාලකන්නි වෙලා ..සන්ජීවයගේ කතාව හරියට හරි

      Delete
    2. @පුසන්න
      හරි නේද මම නම ලියලා තියනවා..
      අපේ ගමෙි හිටියා අක්කු අයියා කියලා, පොරක් මිනිහාගේ බිරිද තරහා වෙලා ගිහින්. සාමනියෝඡිතයක් ගිහින්
      හරි හරි නංගි ගෙදර බඞු විකුනලා කසියා ගැහැවිවට බුරැ ගැහැවිවට ඉදලා හිටලා වෙන ගැනියෙක් ගෙදරට ගෙනාවට අක්කුනේ ගුටි කාලා සතියට දවස් 2 -3 ඉස්පිරිතාලේ හිටියා අක්කු කියන්නෙ එහමට නරක මනුස්සයෙක් නෙමෙියි උබ ගදෙර වරෙන්

      Delete
    3. පට්ට සාම නියෝජිතයා

      Delete
  30. ඉස්සර මමත් ආස කෑමක් තමයි ත්‍රී පෝෂ කියල කියන්නේ. ඔය පැකට් එක දැක්කහම තාමත් කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කතාව කඳුළු උනන එකක් ... ත්‍රිපෝෂ මාත් ආසයි ,දැන් කන්නේ සමපෝෂ

      Delete
    2. අපි බොන්නේ අති විශේෂ !!!

      Delete
  31. බොහොම තාත්විකයි අද සමාජයත් එක්ක .. ඔය විදිහටම ගෙදර දොර ජනෙල් පවා ගලවල බීපු මිනිහෙක් මං දැනගෙන හිටියා. කෙල්ල යමක් කමක් තිබ්බ තැනක ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. අපතයාට හොඳට සිංදු කියන්න පුළුවන්.. ඌ ඒක යොදවලා කෙල්ලත් උස්සන් යනවා. අන්තිමට අම්ම තාත්ත එකතුවෙලා හදල දෙන ගෙපැලේ ගඩොල් පවා ගලව ගලව විකුනනවා. අර කෙල්ලගෙ කටේ දත් මං දන්න කාලෙ ඉතිරිවෙලා තිබ්බෙ හතරයි පහයි.. චික් මෙහෙම මල පෙරේතයෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියේ . ඔහොම මින්ස්සු ගැන නොදන්න කෙනෙක් නැති තරමයි . එක තමයි හිතෙන්නේ සමාජේ ඉන්නෙ කාලකන්ණි විතරමද කියලා .

      Delete
  32. හිතට දැනෙන කතාවක්. රසවත් ව ලියා තියෙනවා. ඔය වගේ චරිත සමාජයේ ඉන්නවා. මේකට නිමිත්ත කොහොම ආවාද?

    ReplyDelete
    Replies
    1. නිමිත්ත නම් එකක් කියලා නෑ ම.ක.සි. , අද බලන බලන අත තියෙන්න මේ වගේ නිමිති තමයි .

      Delete
  33. මෙහෙම දේවල් මේ රටේ ඉස්සරහට තව තව අහන්න දකින්න තියෙයි ඉවාන්..මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක මෙහෙම දේවල් නොවුනොත් තමයි පුදුම..කතාව කාලෝචිතයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උමේෂ් - මිනිස්සුන්ගේ මනුස්සකම් ආර්ථික ප්‍රශ්න එකක් යටවෙලා . බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න වෙලා, අවශ්‍යතා වැඩි වෙලා , ඒ අතරේ මූලික අවශ්‍යතා ටිකවත් අසුප්‍රගන්න් බැරි කොටසකුත් බිහිවෙලා

      Delete
  34. මෙහෙම කලකන්නිත් තාම අපේ සමාජ වල ඉන්නවා බන්, ගෙදර වියදමට සතපහක් නෑ, රේස් දාන්න බාර් එකට පුදන්න ලොස් නෑ.

    නියමෙට ලියලා තියෙනවා කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමෝ -- කාලකණ්නි ගැන කියනකොට තමයි මට බය හිතෙන්නේ කාලකන්නි කම සාමාන්‍ය දෙයක් වෙච්ච පාදඩ සමාජේ ,මිනිස්සු ඉතුරුවෙන එකක් නෑ මේ යන විදිහට

      Delete
  35. අද කාලයේ අහන්න වෙන පුවත් වලට ලස්සනට හදට දැනෙන්නම ජීවය කවලා ඉවාන් . නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ , හැමදාම දිරිගන්වන පත්තර මිත්‍රයා... (y)

      Delete
  36. මේ කතාවෙ සම්පූර්නයෙන්ම වැරැද්ද කරල තියෙන්නෙ ආනන්ද. ආනන්ද කරල තියෙන්නෙ ගොදුරක් ගිලිමින් ඉන්න ගැරඩියෙකුට පහරදීමක්.නමුත් කල යුත්තෙ ගැරඩියාට ගොදුර ගිලීමට ඉඩ දීම. මේකෙන් සිද්ද වෙලා තියෙන්නෙ ගැරඩියාට ගොදුර ලබා ගැනීමට අවකාශයක් නැතිවීම.සත්ව ලෝකයේ මේක මහ පවක් මේක මනුස්ස ලෝකෙට ගලපගන්න එක තමා ගැටළුව.ඒ කෙසේ වෙතත් මීනී මැරුමක් දක්වා මෙය දුර දිග ගියේ ආනන්ද නිසාය.ආනන්ද නිසා විණීතා ක්ෂණික කෝපයකට පත්විය. ආනන්ද නිසා විණීතාට සුවාමි පුරුෂ තෙම අහිමි විය. ආනන්ද නිසා තම දරුවාගේ පියා අහිමි විය. ආනන්දට විනීතාගේ සුවාමි පුරුෂයා වීමට දිනෙක හැකි වුවත් කිසිම දා ආනන්දට සුමනේගේ දරුවාගේ පියා වීමට නොහැක. ඒ මන්ද දිනෙක දරුවා ලොකු මහත් වන කල්හි දැන ගනී තම පියාගේ මිනීමරුවා කවුරුන්ද යන්න.ඒ වෙන කවුරුවත් නොව ආනන්දය. ඉවාන්. මෙය මටනම් ආනන්දය.

    ReplyDelete
    Replies
    1. ආනන්දයෙන් ප්‍රඥාවට !!!

      Delete
    2. //"ආනන්දට විනීතාගේ සුවාමි පුරුෂයා වීමට දිනෙක හැකි වුවත් කිසිම දා ආනන්දට සුමනේගේ දරුවාගේ පියා වීමට නොහැක"// සහතික ඇත්ත කතාව වැවා. තමුන්ගේ දරුවෙකුට හැර වෙනත් දරුවෙකුට තම දරුවෙකුට වගේ ආදරේ කරන පුළුවන් මිනිසුන් හිඟයි , හැම දේම හැගීම මතම තීරණය වෙන්නේ නෑ

      Delete
    3. පත්තරේ - ප්‍රඥාවෙන් පත්තරේට

      Delete
    4. ආනන්ද, සර්පරා දුටුවේද?

      Delete
    5. ආනන්ද, සර්පයා දුටුවේද?

      Delete
    6. ආනන්ද සර්පරා බීවේද? සර්පයා බයිට් එකට ගත්තේද? :D :D

      Delete
  37. කතාව හුඟක් හිතට දැනුනා...සපුගස්කන්දේ තෙල්පිරිපහදුවේ ගිනි දැල්ල බලල මමත් පුංචි කාලේ එක එක දේවල් තාත්තගෙන් අහපු හැටි මතක් වුනා..

    වචනයෙන් කියනදේ රූපයෙන් මවාගන්න පුළුවන් විදිහට කතාව ගලාගෙන ගිහින් තිබුනා හරිම අපුරුයි...

    ReplyDelete
    Replies
    1. තුෂානි දන්නවද ඔය සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ දැල්ල දිහා බලන් ඉන්න මමත් හරි ආසයි.

      ස්තුතියි තුශානි

      Delete
  38. කියන්න දෙයක් හිතා ගන්න අමාරුයි, ඒ තරමට අපි සමාජයේ නොහිතන සංකීරණ භූමිකාවක් ගැන කතාකරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔන්ලයින් ඩොක්ටර් .. ස්තුතියි ඔබට , ඇත්තෙන්ම සමාජයේ සංකීර්ණ භාවය හොඳ ඉඟි සපයනවා නිර්මාණ කරුවෙකුට ,නමුත් අවාසනාවකට ඒ බොහොමයක් සුභදායී පැත්තට නම් නොවේ

      Delete
  39. පවුලූශා........උඹ ආපහු ට්‍රැක් එකට පිවිසෙමින් තියනවාද කොහෙද....මේ කතා සමාජයේ කොතරම් අහන්න ලැබුනත් උඹ ලියලා තියෙන නාටකීය ගතිය නිසා කතාව හිතට දැණෙනවා.

    මේ ගැන මොකද හිතන්නේ...මෙතන මේ ගැලපුම අවශ්‍යද? මට තේරෙන විදිහට අහන්නේ?
    /////හැම උදේකම ඈතින් ඇහෙන කෝච්චියේ සද්දෙට ඇහැරෙන එක පුරුද්දක් වෙලා තිබ්බේ විනීතට , "පුංචි කාලෙනම් ඕකට කිව්වේ "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" කියලා . අද තමුන් ගුටිකකා කඳුළු බිබී ජීවත් වෙනවට ජීවත් වෙන යකඩ වගේ ගෑනියෙක් වෙලා කියලා විනීතා දන්නවා ///////

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ ....

      ඇත්තටම එක නොගැලපෙනවා වගේ දැනෙනවද? විනීතාගේ දුක දරාගැනීමේ හැකියාව පෙන්වන්නයි මට එතනදී ඕන වුනේ .. එකෙන් එහෙම හැඟෙන්නේ නැතිද අරූ ...?

      Delete
    2. මෙතන බන් අඟුරු කකා වතුර බිබී කියන එකයි ගුටි කකා කඳුළු බිබී කියන එක ගලපාගන්න හැදුවාට...ඒකෙන් අර්ථ රසයක් ආවාද කියන එක මට හිතට ආවා.

      Delete
    3. මට හිතුණේ ඉවාන් කියන්න හදන්නේ කෝච්චිය ගින්නෙන් ශක්තිය ලබාගන්නවා වගේ විනීතාත් හිතේ ගින්නෙන් දුක් ගැහැටවලින් යකඩයක් වාගේ පදම් වෙලා ජීවත් වෙන්න ශක්තිය ගන්න ගැහැණියක් කියලා :)

      Delete
  40. සංවේදී කතාවක්. මත්ද්‍රව්‍ය බොහෝ දරුවන්ගේ ජීවිත අදුරු කරනවා. මෙවැනි නිර්මාණ තුලින් ඒ පිළිබද සාකච්ඡා කිරීම ඉතා වැදගත්. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රදීප් සහෝ .. මේ දේ පිළිබඳව ප්‍රයෝගික වගේම න්‍යායික අතිනුත් මේවා පිලිබඳ සාකච්චා කිරීමට සුදුසුම පුද්ගලයා ඔබ

      Delete
  41. කියන්න වදන් නෑ වෙනදා වගේම උපරිමයි ඉවාන්...

    සුමනසිරිව කට්ට කලු චරිතයක් කරන්නැතුව ඌ ළමයගේ ත්‍රිපෝශ විකුණලා බොන්න හේතුවක් ගැන ඉඟියකුත් කොහේ හරි හැංගුවානම් කියලා මට හිතුණා... සමහරවිට ඉවාන් එහෙම කරලා තියෙනවද දන්නෙත් නෑ... මට අල්ලගන්න බැරිවුනා...

    හැබැයි කෙටිකතා ආකෘති පැත්තෙන් අරකෙන් මේකෙන් බලද්දී එහෙම කරන එක වැරදිද දන්නෙත් නෑ... ... නොදකින් කාලකන්නියා කියලා ඌටම බනින එක ඊට වඩා ලෙසියි...

    ReplyDelete
    Replies
    1. මං ඒකට හේතුව හැටියට පෙන්නුවේ සුමනෙට රස්සාව නැතිවීම , හැබැයි එක ඒ තරම් හයිලයිට් වෙලා පෙනුනේ නැද්ද දන්නේ නෑ ,
      එහෙම නැතුව එක ප්‍රබලව පෙනෙන වෙන තැනක් නම් නෑ තමයි . මේ වගේ අදහස් වටින්නේ ඊළඟ නිර්මාණයට , (y )
      බොහොම ස්තුතියි බීට්ල් ,

      Delete
    2. මටනං ඒක හොඳටම දැනුණා. රස්සාව නැති කරපු එකා එක්ක තියෙන තරහත් සුමනයා ගෑනිගේ පිටිං යැව්වා.

      Delete
  42. ක‍ටුක යථාර්තයක් උඹ ලස්සනට කතාවක් කරලා.. අපූරුයි..

    ඔහොම දේවල දහස් ගනනින් සිදු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා , මෙහෙම දේවල් වලින් තොර සමාජයක් කවදා දකින්න ලැබෙයිද , අපි එච්චර පිං කරලා තියෙනවද?

      Delete
  43. වෙනදා වගේම පට්ටයි බොල.... පට්ටකිව්වේ වල්ල පට්ට...... ඒ අස්සේ ත්‍රිපෝෂ ගුලියක් කෑමේ පෙරේතයකුත් ආවා

    ReplyDelete
    Replies
    1. ත්‍රිපෝෂ තමයි ..කොහෙද බොල හිටපු ගමන් අන්තරස්දාන වෙන්නේ , තැනකුයි වේවා

      Delete
    2. මට කැවුම් පාර්සලේ එක්ක අම්මා පැකට් දෙකක්ම එවලා තිබුනා...ත්‍රී පෝෂ නෙමෙයි සමපෝෂ...

      Delete
  44. තමන්ගේ ලෙයින් හැදිච්ච දරුවෝ දෙන්නා කිඹුලන්ට කන්න ගඟට විසි කරන තාත්තලා ඉන්න මේ රටේ ත්‍රිපෝෂ පැකට් දෙක විකුණන එකත් කජ්ජක් ද, ඉවාන් අයියෙ? කතාව ලස්සණ යි වෙනදා වගේ ම! හෙමින් සැරේ ඉතුරු ටිකත් කියවලා දාන්නං ^_^

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ,ඊයේ දැක්කා ලමයව ගින් ගොඩකට විසි කරලා තාත්තා , තව අම්මා කෙනෙක් ලමයව ගෙයින් එළියේ ගහක බැඳලා තියලා දවස ගානක්, හොරෙන් කෑවා කියලා. කොහෙද බං උඹත් හටපු ගමන් නොපෙනී යන්නේ , කෝ දෙයියන්ගේ ලෙඩ? ගුටි නොකා ආපහු ලියනවද ඒක :)

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
  46. //ගින්දර තියෙන්නේ ලස්සනට තියන්න නෙවෙයි//
    ඇත්ත..ගින්දරේ ලස්සනට රැවටිලා ඒක බදාගන්ට ගියා ම අන්තිමට පිච්චෙන්ට වෙනවම යි...ඒක කාටවත් තේරෙන්නෙ නෑ වෙනකම් ම...(මට ත් තවම තේරිලා නෑ)

    කොහොම වුණත් පොඩි එකී ට අන්තිමට ත්‍රිපෝෂ විතරක් නෙවෙයි අම්ම අප්ප දෙන්නත් නැතිවුණ එක යි දුක...

    ලැම්බා ගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. ලැම්බාව සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට , ස්තුතියි ඔබට , දිගටම එන්න . කොහොමත් පිච්චේනකම්ම අපි කාටත් තේරෙන්නේ නෑ තමයි .

      Delete
  47. අර ඒක පුද්ගල ආදායම ගැන කිව්වා කතාවෙන් මට මතක් වුණේ. ඒක පුද්ගල අදායම වැඩිම රටක් වන සිංගප්පූරුවේ මේ තරම් බාර් නෑ. බාර් නැත්තේ මිනිස්සු බොන්නේ නැති නිසා. මිනිස්සු බොන්නේ නැත්තේ ඇයි ? අපේ රටේ මිනිස්සු බොන්නේ ඇයි ? මුලින්ම ප්‍රශ්න අමතක කරන්න. පසුව ඇබ්බැහියට. ඇබ්බැහියිය නිසා වෙච්ච විනාස අපමණයි.

    කතාව නම් සුපිරියි මලේ. දැනුත් මැවී-මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක සහෝ - අපේ රටේ මිනිස්සු ඕනෑක දෙකට ඇබ්බැහි වීමේ ප්‍රවනතාවය වැඩියි .හැබැයි අවාසනාවකට වගේ ඒ නරක පැත්තට වීම තමයි දුකට කාරනාව , බීමට ඇබ්බැහි වීමෙන් වෙච්ච විනාසවලින් පාඩම් ඉගෙන ගන්නවනම් අද වෙනකොට ලංකාවේ පුරුද්දට බොන මිනිස්සු ඉතුරුවෙන්න විදිහක් නෑ.

      Delete
    2. සුධීක අයියගෙ කථාවට ඌණ පූර්ණයක්....සිංගප්පූරුවෙ මිනිස්සු තමයි මම හිතන විදියට උපරිම මානසික පීඩනේකින් ජීවත් වන මිනිස්සු මේ ලෝකයේ...කිසි දෙයක් නිකං දෙන්නෙ නැති රටක හැමෝම එකා වගේ සල්ලි හොයන තරගෙ දුවනවා...එතැනදි මානුෂීය සම්බන්ධතා නැති වෙනවා...එකම පවුලෙ උනත් දරුවො දෙමාපියො එකට හමුවෙන්නෙ නෑ...පොඩි උන් ඇති දැඩි වෙන්නෙ මෙහෙකාරියන් අතේ...කාර් එකක් ගත්තොත් අවුරුදු 10 කට පස්සෙ ඒක අයින් කරන්න ඕනෙ...ගෙයක් ගත්තොත් අවුරුදු 99 ඒකෙ අයිතිය තියෙන්නෙ...ඒ හින්දමද කොහෙද මේ රටේ මිනිස්සුන්ගෙ මූනෙ හිනා පොදක් නෑ....රොබෝලා වගේ මනුස්ස කොටසක් කිව්වත් හරි සිංගප්පූරුවෙ අය...මම සිංගා වලදි නවාතැන් ගෙන හිටිය ගෙදර ගාමිණී අයියා වසර 12 එහෙ සේවය කරනවා...මම ඇහුවා පුරවැසි කම ගන්න උනත් ඔයාට පුලුවන් නේද කියලා....එයා දුන්න උත්තරේ තමයි...අයියෝ මල්ලි මේක පුරවැසිකම ගන්න තරං වටින රටක්ද කියන එක...

      ඒකට මැලේසියාවෙ....අපේ වගේම තමයි...මනුස්ස කම උතුරා යනවා...එක ලග තිබුනට රටවල් දෙකේදි දැනෙන්නෙ පට්ට වෙනසක්....හැමෝම හිනාවෙලා බොහොම සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ. ලංකාවෙදි බැරි උනාට සිංගා වලදි එළිවෙනකං අරක්කු ගන්න තැන් තියෙනවා...අපේ උන් ඔය අපූරුවට ගෙනල්ලා ලග පාත පාක් වල බංකු උඩට වෙලා රැය පහන් කලේ....

      Delete
    3. සිරාගේ කතාව කියෙව්වම මම හිතන් හිටපු දේවල් එහෙම පිටින්ම වෙනස් වුන , මම හිතුවේ ඒක ජීවත් වෙන්න හොඳ රටක් කියලා

      Delete
    4. සිංගප්පූරුවෙ බාර් නැති උනාට හැම තැනම, සාමාන්‍ය කෑම කඩවලත් බියර් විකුනනව. ඒ හින්ද මම හිතන්නෙ අමුතුවෙන් බාර් ඕන වෙන්නෙ නෑ!

      Delete
  48. බැලූ බැල්මට මතුපිටින් පේන්නෙ, බීමත් කමේ ආදීනව කියල තමයි. හැබැයි යතාර්තය නම් මිනිසුන් බොන එක ලෝකෙ කැරකෙනකම් නවත්තන්න බැරිවීමයි. පන්සිල් පදයකටත් මේක ඇතුලත්වෙලා තියෙන්නෙ ඒක නරක පුරුද්දක් නිසාම තමයි. මේ සිල් පද රකින අය හිටියට නොරකින අය තමයි වැඩි. මේකට කලයුත්තේ ක්‍රියාත්මක කරන නීති ගේන ගමන් ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩපිලිවෙලකුත් දියත් කිරීමයි. මේක ඉහල ඉඳන්ම ක්‍රියාත්මක කරනකම්, හැමදාම කකුලුවාගේ පාඩම වගේවේවි. එහෙම වෙච්ච දාට අපේ මිනිසුන් බොන එක අඩුවේවි, රටේ තැබෑරුම් අඩුවේවි.

    ReplyDelete
    Replies
    1. ආකල්ප සංවර්ධනය කියන්නේ පේ රටේ ඇත ඇරලා දාපු මාතෘකාවක් , එකේ තියෙන වටිනාකම තේරුම් ගන්න මේ බලධාරීන්ට හැකියාව්ක් නෑ. ඒ වගේ ඒසඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් හදන්නටත් උවමනාවක් වගකිවයුත්තන්ට නෑ.
      මිනිස්සු බොන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ ,බීමට මූලිකත්වය දෙන එක .

      Delete
    2. ඇත්ත ඉවාන්, නමුත් මිනිස්සු බීමත් කමට මූලිකත්වය දෙන්නෙ සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. කෙතරම් වැරදි වැඩක් ලෙස දැන උගෙන සිටියත් නිතර නිතර දකින්න අහන්න ලැබෙන කොට ඒක නිකම්ම සාමාන්‍යකරණය වෙලා යනවා. එහෙම වෙන්නෙ බණ කියන, පාසල් වල උගන්වන තාලයට නෙමෙයි රට පාලනය වෙන්නෙ, වැඩ සිද්ද වෙන්නෙ. රටක් හැදෙන්න නම් බණ කියන ගමන් ඊට අනුකූලව නිති රීති ක්‍රියාත්මක වෙලා පාලකයන් ද පරමාදර්ශී වෙන්න ඕනා. මාධ්‍ය වලට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් තියෙනවා.

      Delete
  49. මේක පෝස්ට් එකට අදාළ කොමෙන්ටුවක් නම් නෙමෙයි.

    ඉවාන් පවුලූෂා කියන නමට මම හරි කැමතියි. කොළඹ කැම්පස් එකේ ඔය නමින් තියෙන සින්දුව හදනකොට ඒකට සහභාගී වෙච්ච කෙනෙක් තමයි මගෙ නැන්දා :D

    ජය!

    ReplyDelete
    Replies
    1. නැන්දා අප්සරා ද සිල්වා ද? කොහොම වුනත් මං මේ සින්දුවට පොඩි කාලේ ඕක අහපු දවසේ ඉඳන්ම ආසයි , මුලිනම් ආස වුනේ රූප රචනයට , මේකේ ඇඳුම් සහ පසුතල නිර්මාණයට මං ගොඩක් කැමතියි , ඉස්ස්ට පොඩි කාලේ යාත්‍රා කියන වැඩසටහනට ගොඩක් කැමතියි , එකේ තමයි මුලින්ම මේ සිංදුව ප්‍රචාරය වුනේ

      Delete
  50. බොලාගෙ කථා කියවන්න මම ඉතාම මනාප බව ඉතිං බොලා දන්නවා නොවැ...මේ ත්‍රී පෝෂ කථාව ගැන කියනවා නම් මේ කථාවෙ මුල මැද අග හොදට ගැලපිලා තියෙනවා...සියලුම සිද්ධි විශ්වාස කටයුතුයි...සිදුවීම් වල විශ්වාසනීයත්වය බිදෙනවා නම් ඒක රසවින්දයට බාධාවක්..ඒ වගේම කථාව හරිම තාත්විකයි...විනීතාගේ පීඩනය සහ ඇය විදින දුක්ඛ දෝමනස්සයන් හොදට ලියවිලා තියෙනවා....

    උඹට මොකද හැබෑටම එක පාරට ත්‍රී පෝෂ මතක් වුනේ...රජයෙන් ත්‍රී පෝෂ දෙන්නවත් වැඩක් සැට් වෙලාද ? ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා ,උඹේ ඇගයීමට ...

      මට හම්බ වුනා පොඩි කාලේ මගේ අර බර ලකුණු කරපු පොතයි ,තව එක එක පොඩි ඇත පත්‍රිකා වගේකුයි අම්ම ලනග තිබිලා , ඒ අතරේ තිබ්බා තිරිපෝෂ ගැන ඇත පත්‍රිකාවක් එක දැකලයි මේක ලියවුනේ

      Delete
  51. මෙහෙම ගැනු සහ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා..... මං දැකලත් තියනවා..... ගැනු ඉවසන්න පුළුවන් තාක් ඉවසල ....බැරිම තැන තමයි..... රතු කට්ට පන්නන්නේ....... ඒ වෙද්දී ළමයි අනාතයි.....

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත , ලංකාවේ පීඩනයට පත් වෙන ගෑනු ඉවසනවා වැඩියි සමහර වෙලාවට , එත් ඉවසන්න් බැරිවුණු තැන ළමයට අම්මා තාත්තා දෙන්නම නැති වෙනවා

      Delete
  52. කතාවක් වුනත් මේ අහක ඉන්න අපිටත් සුමනෙයාව මරන්න හිතෙන එකේ විනිතා ගැන කවර කතාද . සික් මෙහෙමත් පිරිමි. ඒ විතරය නැන්දම්මා එයිට එහා .

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම සුලබ ප්‍රවෘත්තියක් බින්දී..තලෙනකොට කාන්තාව හැම පැත්තෙන්ම තැලෙනවා , එක දැන් මේ සමාජේ සාමාන්‍ය දෙයක් වෙලා , එක තමයි භයානකම කාරණාව

      Delete
  53. බොහොමයක් ෆැන්ටසි කථා අතර ලංකාවේ අපි කථා නොකරන යතාර්ථය තමයි මේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තරිඳු .. ඇත්තටම මේවා සුලභ සිද්ධි , ඒ සිද්ධි ඇතුලේ මේ වගේ කාලකන්නි කතාවක් හැම විටම තියෙනවා

      Delete
  54. කතාව රස ගුණ ගැන ආයි මම යමක් කියන්න ඉතුරුවෙලා නෑනෙ. ඔය තීන්නෙ දොඹෙන් දීල කට්ටියම. ඒ උනාට අන්තිමට ඡේදෙ නං හරි කලබලෙන් ඉවරකරපු නොගැලපෙන ගතියක් තීනව. අනික කොහෙද බං කැත්තත් අරං ජීප් එකට නගින්න කියන්නෙ.

    ආයි හිමීට කියවල, ඉන්පස්සෙ හරිගස්සගෙන එකතු කරල තියාගනින්. මේක පොඩ්ඩක් පොලිෂ් කරල අර වැඩේට ගන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. උඹ කියනකං ඒ අඩුපාඩුව තෙරුනෙම නෑ. සිරාවටම .ස්තුතියි ඉන්දික .... කලබලෙටත් වඩා ඒක ඉවර කරන්න වෙන හොඳ විදිහක් හිතාගන්න බැරිවුනා

      ඔය "අර වැඩේ" කරන්නේ නෑ බං

      Delete
    2. අර වැඩේ කරන්නේ නෑ කකා ෂුවර් එකටම

      Delete
  55. ඇත්තටම මේ වගේ කතාවල් ඕනේ තරම් තියෙනවා. වෙනදට නම් කතාවක් කියවනකොට තව කතා ඕනෙ තරම් මතක් වෙනවා. අද මගේ ඔලුවට මොනාවත් එන්නෙ නැහැ, ටෙලි ඩ්‍රාමා එකක වගේ ඔයාගෙ කතාව මැවි මැවී පේනවා :(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොන්යා ... එහෙම මැවී මැවී පේනවනම් මම සාර්ථකයි . මේ කතා ඕනේ තරම් තියෙනවා , හැබැයි සිදුවීම් ඛේදනීයයි ,

      මැවී මැවී පේනවා කිව්වේ මාව නෙවෙයිනේ .... :D

      Delete
    2. ඔයා දැකල තිබුණ නම් සමහරවිට මැවෙන්නත් තිබුණ :D

      Delete
  56. මං හිතුවෙ අන්තිමට විනීතා නැති බැරිකම නිසාම දරුවට කන්න ටිකවත් දෙන්න හිතාගෙන ආනන්ද එක්ක පැටලේවි කියලයි... අන්තිමට දරුවට අම්මයි තාත්තයි දෙන්නම නැති වුණා...

    ReplyDelete
    Replies
    1. එහෙම අවසානයක් දෙන්නත් තිබ්බා , එත් තාමත් ආත්ම ගෞරවේ ගැන හිතන අම්මලා අන්තිමට ගැන තීරණේ තමයි ඔය . ස්තුතියි මියුරු

      Delete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. ලියලා තියෙන විදිය නියමයි...කතාවේ අරටුවට ගැලපෙන්න ස්ටයිල් එක යොදාගෙන තියෙනවා :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]