අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා.
මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ එපා. හැන්දෑකරේ වැස්සට තෙමෙන්ඩ එපා වගේ එක එක ඒවා. "එතකොට අත්තම්මේ මොන වැස්සටද තෙමෙන්ඩ පුළුවන් ?".
"%@& ඒක අහගං තොගෙ මහ එකාගෙං. තොට ඕන මංගල්ලයක් කරගනිං... මං නෑ ඇහැක් ඇරලා බලන්නෙ .#&#&#" ඔන්න ඉතිං උත්තර.
කාලෙ ගෙවුනා. අවුරුදු දහය විතර කිට්ටු වෙනකොටනං වැස්සට තෙමිලා හොරෙංම ගෙට රිංගලා දන්නෙ නෑ වගේ ඉන්න තමා ට්‍රයි කලේ. ඒ කාලෙ වුනේ " අදත් තෙමුණා නේද තෝ, ඉඳපං උඹෙ මහ එකා එනකං. " කියලා තාත්තා එනකං ඉඳලා ගෙට ගොඩවෙනකොටම අත්තම්මා කේලම තාත්තට කියපු එක.
අනේ අම්මෙ ගෙට ගොඩ වෙන්කොටම එක එක එව්වා එයාට කියන්න එපා කියලා අම්මා කිව්වට අත්තම්මා නෙවෙ ඒවා ක්නකට ගත්තෙ.
අවුරුදු 15 විතර වෙද්දි වැස්ස ගැන කවිසිතුවිලි පහල වෙන්න ගත්තා. ඒ වෙනකොට අත්තම්මට මං ගැන හොයන්න තරං උනන්දුවක් තිබ්බෙ නෑ. මං තෙමිලා ආවට එයාට ඒක එච්චර ගාණක් නෑ. අම්මනං ටිකක් බැනලා තුවාය ඔලුවට දාලා යනවා. ඒ කාලෙ සෙල්ලං කර්ද්දි වහිනවට කැමති කාලෙ. ඇඟපුරා මඩ උලාගෙන සෙල්ලං කරනවා. වැස්ස නෑ වගේ හිතාගෙන පාර දිගේ තෙමි තෙමි ඇවිදගෙන එනවා.
අවුරුදු 17, 18 වගේ වෙද්දි එයාව බලන්න වැස්සෙම බයිසිකලේ පැදගෙන යනවා. බස්ටෑන්ඩඩෙකේ, ඉස්කෝලෙ ගේට්‍යුව ලඟ බයිසිකලේ හරස් පොල්ල උඩට වෙලා වාඩිවෙලා ඉන්නව. අහම්බෙන් දැක්කා වගේ එයා පස්සෙන් යනවා. එදාට වැස්සොත් වාසියි. එයා කුඩේ ඉහලගෙන යනවා. පොත් ටික තෙමෙනවා නේද දෙන්න් කියලා එයා පොත් ටික ඉල්ල ගන්නවා. එයාගෙ ගේ ළඟින් හැරෙනකොට ආපහු පොත් ටික දෙනවා. එතකොට එයාගෙ චූටි ඇඟිල්ල මගෙ අතට අහුවෙනවා. ඒ ඇඟිල්ල වැස්සට වඩා සීතලයි. ඒත් මගේ ඇඟම රත්වෙලා කන්දෙකෙන් දුම් පිට වෙනවා.
අවුරුදු 20, 22 කාලෙ වැස්සෙ තෙමෙන්න කම්මැලියි. කොණ්ඩෙ කැත වෙනවා. කලිසමේ ලොකු ෆෝල්ට්ටෙක ඇකිලෙනවා. එතකොට දියබරියා වගේ.
අවුරුදු 25දි වැහැපු වැස්සට මම කැමතිම නෑ. එයා මහ වැස්සෙම වෙන කෙනෙක් එක්ක වෙඩින් කාර් එකේ හිටියා. අපේ ගේ ලඟ හන්දියෙන් ඒ කාර් එක යනකොටම මහ හයියෙන් අකුණක් ගැහුවා. මං කන්දෙක වහගත්තා.
ඒ වැස්ස ඉවර වෙනකොට සෑහෙන කාලයක් නිස්සබ්දව හිටපු අත්තම්මා යන්නම ගිහිං. එපා කියන්න අත්තම්මත් නෑ. මට වැස්සට තෙමෙන්න හිතුනෙත් නෑ..
එතනින් පස්සෙ මට වැස්ස අමතක වුනා. රස්සාවට ගියා වැස්සා කියලා රස්සාව නවත්තන්න බෑ. තෙමි තෙමී වැඩ කරන්න වුනා.
එයාව ටික ටික මතක් වුනාට අරයා ජීව්තේට ආවා. එයා වගේ නෙවේ අරයා වැඩි කතා නෑ. යෝජනාවට බෑ කියන්න හිතුනෙත් නෑ. අම්මගෙ කැමැත්තක් කියලා තමා කිව්වෙ.. මහ වැස්සෙ එයා ගියාවගේම කාර් එකකින් අරයා එක්ක මම අපේ ගෙදර ආවා. කාලෙකට පස්සෙ වැස්ස හීතල අරගෙන ආවා. අරයා ලඟට ගුලිවුනා උණුහුමට. වැස්ස ඉවර වෙනකොට අරයගෙ ඇස්වල කඳුළු තිබ්බා
මං ඇයි කියලා ඇහුවේ නෑ. එයාටත් මට වගේ පරණ වැස්ස මතක් වෙන්න ඇති.
වැඩට ගියාම වැස්සෙ තෙමිලා ගෙදර එනකොට එලියෙ දොරලඟ පුටුවක අරයා තුවාය තියලා තිබ්බා. අරයා කතා බහක් නැතුව හැමදේම කලා. මහ වැස්සෙ දරුවෙක් එක්ක අරයයි මායි ඉස්පිරිතාලෙ ඉඳලා ගෙදර ආවා එදා තමා මට තිස් පහ ලැබුවෙ..
රස්සාවට ගිහිං එනකොට අරයා වැස්සට තෙමුණ පුතාව තුවායෙන් පිහිදනවා. අරයා පුතාට බැන්නෙ නෑ. ඇත්තටම ඊට පස්සෙ මට වැස්ස සාමාන්‍ය දෙයක් වුනා. දවසක් මහ වැස්සෙ අරයා ඇස්පියාගෙ හිටියා. ආයෙ ඇස් ඇරියේ නෑ. එතකොට මට පනස් පහයි. පුතාට විස්සයි. එයාව කැරකොප්පුවෙ දාලා ආපු දවසේ අකුණු ගගහා වැස්සා. මට තෙමෙන්න බය හිතුනා
ඊට සතියකට පස්සෙ මහ වැස්සෙ පුතා රස්සාවකට යනවා කියලා ගියා. ආයෙ ආවෙ නෑ. ඌ බැඳලලු. උගෙ ළමයින්ට වැස්සෙ තෙමෙන්න එපා කියන්නවත් මට බැරිවුනා.
දැං මට වැස්සත් එකයි නැතත් එකයි. වැස්සෙ තෙමෙන්න පුළුවන් කාලෙ තෙමෙන්න හැමදාම වහින්නෙ නෑ කියලා අරයා දවසක් කිව්ව නේද කියලත් මට මතක්වුනා.
නියමයි, හැමදාම වගේ.
ReplyDeleteහම්මේ දයාල් බතී ❤️
Deleteආයේ ලියන්න ආයේ බුලත් දෙන්න ඕනෙද මලේ!?
ReplyDelete🤞🤞
ReplyDelete