ඒ පේරාදෙණිය සරසවියේ අපේ තුන්වන වසරයි. භූ විද්‍යා අධ්‍යයන අංශයේ සාමාන්‍ය උපාධියේ අවසන් වසර සිසුන් අපි වීමු. ඊලඟ වසර ඇරඹෙන්නේ කණ්ඩායමේ බහුතරයක් අපෙන් වෙන්වගොස් සීමිත සිසුන් පිරිසක් සමගින් භූ විද්‍යා විශේෂ උපාධි සිසුන් ලෙසයි.
ඒ වන විටත් විශේෂ උපාධිය වෙනුවෙන් විභවයක් සහිත වූ කිහිප දෙනෙක් වූ බව ආචාර්‍ය මණ්ඩලයේ හැසිරීම් වලින් හඳුනාගැනීමට හැකිව තිබුණි.
මහාචාර්‍ය නිමල් ලෙව්කේබණ්ඩාර එකල භූ විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කල සමයයි. විශේෂ උපාධිය සඳහා තේරෙතැයි අනුමාන කළ සිසුන් අතර මාද විය. පෙර වසර වල විභාග ප්‍රතිඵලත් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් පවරන සමහර වගකීම් අනුව ඒ බව තරමක් දුරට පැහැදිලි වී තිබිණ.
