Wednesday, November 12, 2025

දිලීප (සහ ) පොඩි පුතු


 

"අළුත් කාකාස නං හොඳයි වගේ හිටපු එකාට වඩා",

දීප්ති මිස් එහෙම කියාගෙන වතුර බෝතලේ අපිට පෙන්නගෙන වාඩිවුණා .  

"මේ මගේ බෝතලේ ලස්සනට හෝදලා " 

"හ්ම්ම් . . අද තේ ගේනාව වෙලාවෙත් කෝප්පයි ට්‍රේ එකයි හොඳට පිරිසිදුව තිබ්බා .  පැන්ට්‍රි කෑල්ල වුනත් පිළිවෙලට අස්කරලා අතුගාලා තියෙනවා", ඒ කෑල්ල අචලා මිස්ගෙන් 

"ඒකනං මටත් නෝට් වුනා අචලා මිස්, වෙනදා ඒක ඇතුලට යනකොට එන අර කිරිපල්වුන ගඳ නෑ , එයාෆ්රෙශ්නර්  සුවඳක් එහෙමත් එනවා."

"හරි හරි .. ඕනවට වඩා උඩ දාන්න එපා ,  මතකනේ පියවික්‍රමත් ආපු දවස් වල ,  අපේ මේස කණ්නාඩි වගේ ,  පිහිදලාම ගෙවිලා තිබ්බේ "  ඒ ටික එකතු කලේ සී සී මහත්තයා .  

"ඔව් පස්සේ උගේ මේසේ පිහින්න වුනේ අපිට".  මටත් කියවුණා .. 

*******

Wednesday, November 5, 2025

වයිට් හොට් චොකලට්

 

ඔන්න කලින්ම කිව්වා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතාවක්, ඒ නිසා අවුරුදු හැටට අඩු, දහම් පාසල් යන, අම්මා ළඟ නිදාගන්න අය කියවන්ඩෙපා. 

අපි ඉස්සෙල්ලම ජොබක් කියලා එකක් කලේ කටුණායක. ඔය කාලේ නැවතිලා හිටියේ කුරණ, ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකට වෑන් එකක් දීලා තිබ්බට අපේ බෝඩිමේ සෙට් එකෙන් වැඩි දෙනෙක් යන්නේ උදේ බස් එකේ. රජයට ආදායමක් ලැබෙන නිසා කිව්වට , කටුණායක ගාමන්ට් වල උදේ ශිෆ්ට් එකට යන ගෑල්ලමයි යන්නේ ඔය බස්වල නිසා. අපේ එවුන් අතරින් දෙතුන් දෙනෙක් සමහර ගාමන්ට් ෆැක්ටරි බස්වල ඩ්‍රයිවර්ලා එක්ක එහෙම යාළුවෙලා, බස් එකේ හෙල්පර් වගේ ඒවයෙත් එල්ලෙනවා. අපි නම් ඉතින් එච්චර අවදානමක් ගන්න ගියේ නෑ.

අපේ ඉතිං වැඩපලේ විස්සක් විතර හිටියට කුරණ බෝඩිමේ හිටියේ එකොළහක් විතර, එකෙනුත් දෙතුන් දෙනෙක් බස් එකේ හෙල්පර් වැඩේ කරන්න යන නිසා ඔතන උදේට ඉතුරු වෙන්නේ හයක් නැත්තන් හතක්  ඒකෙනුත් දෙන්නෙක් විතර වෑන් එකේ යනවා, සිරිමත්ලා. ඉතින් අන්තිමට හැමදාම හතරක් හෝ පහක් තමා එන බස්වල එල්ලෙන් යන්නේ. 

ඔය සෙට් එකේ ඔක්කොටම වගේ ඉතින් ඒ ගාමන්ට් යන නංගි කෙනෙක් අක්ක කෙනෙක් සෙට්වෙලත් හිටියා. 

*******

Wednesday, November 6, 2024

පක්ෂි සංඛෝෂ

 


ඒ පේරාදෙණිය සරසවියේ අපේ තුන්වන වසරයි. භූ විද්‍යා අධ්‍යයන අංශයේ සාමාන්‍ය උපාධියේ අවසන් වසර සිසුන් අපි වීමු. ඊලඟ වසර ඇරඹෙන්නේ කණ්ඩායමේ බහුතරයක් අපෙන් වෙන්වගොස් සීමිත සිසුන් පිරිසක් සමගින් භූ විද්‍යා විශේෂ උපාධි සිසුන් ලෙසයි.
ඒ වන විටත් විශේෂ උපාධිය වෙනුවෙන් විභවයක් සහිත වූ කිහිප දෙනෙක්  වූ බව ආචාර්‍ය මණ්ඩලයේ හැසිරීම් වලින් හඳුනාගැනීමට හැකිව තිබුණි.

මහාචාර්‍ය නිමල් ලෙව්කේබණ්ඩාර එකල භූ විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කල සමයයි. විශේෂ උපාධිය සඳහා තේරෙතැයි අනුමාන කළ සිසුන් අතර මාද විය. පෙර වසර වල විභාග ප්‍රතිඵලත් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින්  පවරන සමහර වගකීම් අනුව ඒ බව තරමක් දුරට පැහැදිලි වී තිබිණ.

Sunday, October 27, 2024

ප්‍රභා චාරිකා




"නවකතාවලනං බදුල්ලෙ එවුං මාර සුන්දර ප්‍රේමණීය මිනිස්සු , ඒකට තෝ. මහ ගල් බුම්මට්ටයෙක්."

"දැං දැන් ඔය මොන කතා වලද තියෙන්නේ බදුල්ලේ මිනිස්සු එහෙමයි කියලා"

"තොටෝවා කිව්වට තෝ නවකතා කියවන එකෙක්‍යැ, අපි මේ කාමරයේ ඉන්න හැම එකාගෙම ගෙවල්වල ගිහින් තියෙනවා, තොපේ ගෙදර එන්න ඇහුවට එන්න කියන්නෙත් නෑ, හරි අපි ඕන නෑ අඩු ගානේ උඹ ගෙදර පලයන්කො ඒත් නෑ,

"ඔව්හා ඒකනං ඇත්ත අඩු ගානෙ අම්මා තාත්තා බලන්නවත් පලයන් ගෙදර, දැං මේ රස්සාවට ඇවිල්ලත් අවුරුද්දක් නේද."

"මූට ඉතිං චාරිකා මිස්ගෙ ආවතේව කරන එක ලොකුයිනෙ ඔක්කොටම වඩා...

""හරි ඉතින් දැන් කියපන්කෝ ඔය මොන පොතේද උඹලා කියන බදුල්ල එවුන් ඉන්නේ කියලා"

"උඹ මැයි මාර ප්‍රසංගය කියවලා තියෙනවද"

"ඒක පොතක්ද.....?,

"නොදකින් තෝ ආ ඉඳා.."

අංජන අංජන මගේ ඇඳට විසිකරා පොඩි පොතක්, ඒක ඕනේ නම් පිටු අසූවේ එක්සයිස් පොතක් තරම ඇති.

*******

"උඹ අර පොත කියෙව්වද"

"නෑ බං කම්මැලියි"

"මම කිව්වනෙ ඔබ බදුල්ලේ එකෙක් වෙන්න බෑ කියලා"

පොත් ගැන කතාව අවසන් වුනේ එහෙම. ඇත්තටම කතාව මම පොත කියෙව්වෙ නෑ නෙවේ මට ඒකේ පළවෙනි පරිච්ඡේදයේ දෙවැනි පිටුවෙන් පස්සේ පොත කියවන්න හිතුනෙ නෑ.

මොකද පොත පටන් ගන්න තැනම තිබුණෙ මගේ කතාව අවසාන වෙන පරිච්ඡේදය.

මට තාම මතකයි මම රස්සාවට ඇවිල්ල පළවෙනි දවසේ හවස මට ආපු කෝල් එක.

" හෙලෝ අම්මෙ..."

"කොහොමද පුතේ වැඩ, ඉන්න තැන එහෙම හොඳයිද"

"දෙකේම කිසිම වරදක් කියන්න නෑ අම්මෙ"

"පුතේ කලබල වෙන්න එපා මම උදේ කියන්නේ නැතුව හවස් වෙනකන් හිටියෙත් ඒකයි"

"මොකක්දම්මෙ"

"ප්‍රභාවි ළමයා නැති වෙලා"

"මොකක් නැතිවෙලා...? නැතිවෙලා කියන්නේ..කොහේ ගිහින්ද"

"කොහෙවත් ගිහිල්ල නෙවෙයි, දරුවාගේ මිනිය හොයාගත්තේ අද උදේ, කවුරු හරි පාහරයක ඒ දරුවා මරලා පුච්චලා"

"මොකක්..."

ඉතිං මැයි මාර ප්‍රසංගයේ කතාව පටංගන්නෙම, මොකක්ද මංදා ලියපු කොළ වගයක් පිච්චිලා අලුවෙලා යන කොටසකින්.

එතනින් එහාට කියවන්න හිතෙන්නෙ නැති වෙන්නෙම, එහෙම් අලුවෙලා යන ගින්න මැද්දෙ ප්‍රභාවි ඉන්නවා වගේ දැනෙන නිසා..

ප්‍රභාවිගෙ සීල් කරපු මිනී පෙට්ටිය...මැවිලා පේන නිසා..

*******

ප්‍රභාවී.... ඉස්කෝලේ ක්‍රීඩා ගැන කතා කලොත් ප්‍රභාවි නැතුව ඒ ගැන කතාවක් නෑ.  නෙට්බෝල්, වගේම ඕනම ජවන හා පිටිය ක්‍රීඩාවක ප්‍රභාවිට ඉහලින් යන්න කෙල්ලෙක් ඉස්කෝලෙ විතරක් නෙවේ කලාපෙවත් හිටියෙ නෑ. 

ප්‍රභාවිට යන්තං හරි අභියෝගයක් තිබ්බෙ සමස්තලංකා තරඟවලදි විතරයි. වතාවක් මීටර් හාරසීය සාෆ් සංචිතයටත් තේරුණ ප්‍රභාවි ඉස්කෝලේ සන්නාම තානාපතිනියක් වගේ චරිතයක්.

එයත් මමත් දෙන්නම කලේ කොමස්.. හැබැයි ටික දවසකින්ම එයා ආර්ට් වලට මාරුවුනා.. ඉස්කෝලෙදි නං එයාව දකින එක ලොකු අමාරු දෙයක් වුනේ නෑ.. ක්ලාස්වලදිත් ඉකොන් ක්ලාස් එකේදි අපි හම්බවුනා...

*******

ඉස්කෝලෙ නිවාඩු දවස්වල ක්ලාස් කට් කරලා හෝ ක්ලාස් නැති දවස්වල හෝ බදුලු ඔය ලඟ, බිංගේ ලඟ...හාලි ඇල, දෙමෝදර කලුපාලම, ආරුක්කු පාලම, තේවත්ත, දුංහිඳ , ඇඩිසම් බංගලාව,  බෝගොඩ පාලම, ලෝකාන්තය, ඇල්ල, දෝව පන්සල, බණ්ඩාරවෙල, හපුතලේ , දියතලාව, ලිප්‍ටන් සීට්... ඔය එකී මෙකී නොකී හැමතැනකම අපේ පියසටහන් ඇඳිලා ඇති.

ගෙවල් දෙකටම සෑහෙන විසාල බොරු දෙකක් කියලා නමුණුකුල නැගලා රැයක් එලිවෙනකම්ම හිටපු රෑකුත් ඇතුලුව මතක කන්දකුත් ඔය අතරම තිබුණා...

*******

අපේ තාත්තා වැඩකලේ ප්‍රභාවී හොටෙල් එකේ. එයා එතන බේකරියෙ බක්කරේ කෙනෙක්. අපි ජීවත්වුනෙත් ඒ බේකරියෙම කොටසක තිබ්බ කාමරෙයි කුස්සියයි විතරක් තියෙන පුන්චි ගෙදර.

පුංචි කාලෙම ඉඳලා එකට හැදිලා වැටිලා එකට සෙල්ලම් කරලා ඇතිවෙච්ච දැන හැඳුනුම්කම හින්දම ඇති වෙච්ච සම්බන්ධයක් මිසක් ප්‍රභාවි කියන්නෙ මං වගේ කැහැටු හීන්දෑරී ඔතෑනි කම්මැලි කොල්ලෙකුට හම්බවෙන්න ඕන කෙල්ලෙක් නෙවෙයි.

ඉස්කෝලෙදි ප්‍රභාවිගෙ පස්සෙන් ආවේ නැති කොල්ලෙක් හිටියේ නෑ කිව්වොත් ඒක බොරුවකුත් නෙමෙයි. ඒත් ප්‍රභාවි ඒ ගැන වැඩිය කල්පනා කල බව පේන්න තිබුනේ නෑ.

කොහොම වුණත් ප්‍රභාවි මට ඇලිලා හිටියා ගහට පොත්ත වගේ.

ප්‍රභාවිගෙ ප්‍රභාව නිසාම ඉස්කෝලෙන් එන ප්‍රශ්නත් බොහොමයක් අඩු වුණා, ඉදලා හිටලා ගුරුවරයෙක් හෝ ගුරුවරියක් මාව අල්ලගෙන හෙමින් සැරේ තරවටු කලත් කවදාවත් ප්‍රභාවිට එහෙම බලපෑමක් ඉස්කෝලෙන් ආවෙ නෑ. මොකද කාලයක් තිබුණා ප්‍රභාවිගෙ ප්‍රභාව නිසා ඉස්කෝලෙ දිදුලන.

*******

ප්‍රභාව්ගේ තාත්තා සල්ලිකාරයෙක් වගේම ටිකක් ගණංකාරයෙක්, එයාලගේ ගෙදරිනුයි අපේ ගෙදරෙනුයි අපේ සම්බන්දෙ ගැන දැනගෙන හිටියද නැද්ද කියන එක ගැන මම හරියටම දන්නේ නෑ. 

මොකද කවදාවත් ඒ ගොල්ලන්ගෙ අම්මා තාත්තවත් අපේ අම්මා තාත්තවත් මගෙන් ඒ ගැන අහලවත් වෙන මොනාවත් කියලවත් තිබුණේ නැහැ. 

හැබැයි ඉස්කෝලෙන් එළිය අපි නිදහසේ හැසිරිච්ච විදිහට ඒ ගැන ඒගොල්ලන්ට ආරංචි නොවී තියෙන්න විදිහකුත් නැහැ. ඒ දවස් වල අපට නොතේරුනාට දැන් කල්පනා කරලා බලනකොට  මට තේරෙන දේ නං ටවුන් එකේ මේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ගණන්කාරයෙක් චණ්ඩියෙක් වෙච්ච ප්‍රභාගේ තාත්තට අතනදි මෙතනදී අපිව දැක්ක බව කියන්න ඕන තරම් සෙනඟ හිටියා.

හැබැයි මම හිතන්නේ තරමක් නාහට අහන්නැති චරිතයක් වුණ වගේම, පවුලේ එකම දරුවා වුන ප්‍රභාවි ගෙදර පුරා පතුරපු තමන්ගේ බලපුළුවන්කාරකම් වලින් තාත්තා කිසිම දෙයක් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවෙන තැනට පත් කරගෙන හිටියා කියලා.

මොකද අපේ පවුල් දෙකේ පරතරය අහසට පොළොව වගේ, අපේ තාත්තගේ රස්සාව විතරක් නෙවෙයි අපිට උන් හිටි තැන් පවා බොහොම පහසුවෙන් අහිමි කරලා දාන්න ප්‍රභාවික තාත්තට ගතවෙන්නෙ තත්පරයයි.

********

කාලයත් එක්ක කල්පනා කරලා බලනකොට මට තේරුනේ නැහැ මම ප්‍රභාට ආදරේ කරාද නැද්ද කියන එක. පුංචි කාලෙ ඉඳන් එකට හැදිලා වැඩ්ලා එකට ඇලිලා ගැලිලා ජීවත් වෙච්ච නිසාම ප්‍රභා මටත් මම ප්‍රභාටත් තිබුණ බැඳීම ඇරෙන්න මගේ හිතේ නම් ආදරයක් කියලා දෙයක් තිබුණද කියන එක මට අදටත් ප්‍රහේලිකාවක්.

ඒත් ප්‍රභාවි එහෙම නෙමෙයි. මට තේරුණා එයා මුළු හිතින්ම ඉන්නේ මාත් එක්ක කියලා. එයාට මගෙන් තොර ලෝකයක් තිබුණෙ නෑ. ඉන්ටවල් එකට ඉස්කෝලේ කැන්ටිමට ගියත් එයා එලියට එන්නේ මටත් මොනවා හරි අරගෙන. 

එයා ඇඳුමක් ගන්න ගියත් පොතක් පැන්සලක් ගන්න ගියත් එයාගේ අතේ මට වෙනුවෙන් වෙන් වුණු මගේ කොටස හැමදාමත් තිබුණා. අපි දෙන්නම එකම වයස වුනත් ක්‍රීඩාවලට බොහොම දක්ෂතා දක්වන ප්‍රභාවී අපි දෙන්නම ඉන්න තැන්වල මට වඩා බොහොම හොඳින් කැපී පෙනුනා , වයසට වඩා පැතිරුණු ලස්සනක් සහ හැඩයක් ප්‍රභා ට තිබුණා. දවසින් දවස එයා දිහා බලන ඇස් වැඩි වුනා.

********

ක්‍රීඩාවට අතිශය දක්ෂ වුණත් ප්‍රභාවී කවදාවත් ඉගෙනීමේ කටයුතුවලට අසීමිත ලෙස දක්ෂ වුණේ නැහැ, හැබැයි එය ආදක්ෂ කෙනෙකුත් නෙවෙයි.

උසස් පෙළ ප්‍රතිඵල එනකොට ප්‍රභා විෂයයන් ඔක්කොම සමත්වෙලා තිබුණට කැම්පස් යන්න තරං ප්‍රමාණවත් වුනේ නෑ. 

මම යන්තං බී කොම් යන්න තරමට පාස්වෙලා හිටියා.. 

*******

මම කැම්පස් සිලෙක්ට්‍රිජ් එක අපේ පවුලට ලොකු දෙයක් වුණා. ඒත් මම හිටියේ කැම්පස් යනවද ජොබ් එකක් කරන්ඩ යනවද කියන දෙගිටියාවෙන්.

ප්‍රභාව්ගෙනං එක එල්ලේම අදහස වුණේ මම කැම්පස් යන්නම ඕන කියන එක. එයා හරිම සතුටින් සැහැල්ලුවෙන් හිටියා, හරියට එයා කැම්පස් ස්ලෙික්ට් උනා වගේ. 

එයාගේ තිබ්බේ එක කොන්දේසියයි. ඒ මම හැම සති අන්තිම ගෙදර එන්න ඕන.

" ඒක කරන්න බෑ ප්‍රභා.. බස්වලටම හොඳ ගාණක් යයි... අනික පැය පහක් හයක් බස් එකේ එනවා කියන එක සෙල්ලමක්‍යැ..."

" හරි එහෙනම් සති දෙකකට සැරයක් එන්න..."

හැබැයි බස් වියදමවත් කැම්පස් එකේ වියදම් වත් මට කවදාවත් බරක් උනේ නැහැ, 

" අනේ තාත්තේ මට ඔය දාන සල්ලි ඇති ආයේ දාන්න එපා ඇයි මේ අදත් සල්ලි දැම්මේ"

"අනේ මම ආයි දැම්මේ නෑ පුතේ කොහේ තියෙන සල්ලියක්ද එහෙම දාන්න".

මගේ එකවුන්ට් එකට සැරින් සැරේ සල්ලි වැටෙන්න ගත්තහම මම හිතුවේ මුලින් ඒවා තාත්තා දානවා කියලා , පස්සේ මට වැඩේ තේරුණා. මම ප්‍රභා විට කොච්චර එපා කිව්වත් ඒ වැඩේ නැවතුනේ නෑ. පස්සේ පස්සේ මම එපා කියන එක නැවැත්තුවේ ඇත්තටම මට සල්ලි වැදගත් වෙන හින්දා. අප ජීවත් වෙන්න වගේම අනිත් එවුන් එක්ක පෑහෙන්නත් අතේ සල්ලි තියෙන එක සෑහෙන වැදගත් දෙයක් උනා.

******

සති දෙකකට සැරයක් මම නිවාඩුවට ආවම ඒ සති අන්තය සම්පූර්ණයෙන්ම වගේ අයිතිකර ගත්තේ ප්‍රභාවි. මම ගෙදර ඉන්න ඕන අම්මල තාත්තලා එක්ක කතාබහ කරන්න ඕන කියන එක ගැන වගේ වගක් එයාට තිබුණේ නෑ.

 බදුල්ලටම ආවේනික හරි අපූරු කාලගුණික රටාව වෙච්ච, මහ වැස්ස, ගණ මීදුම වගේම ගිනිකාස්ටක අව්වේ උනත්, ටවුම මැදත් පාළු පාරක අයිනේ, තේ වත්තක මැද්දෙත් මගේ අතේ එල්ලිලා පැත්තකින් ප්‍රභාවි හැමතිස්සෙම හිටියා.

" ඔයාට පුළුවන්ද අද රෑ දහයෙන් පස්සේ මෝචරී පිටිපස්සේ කුඹුරෙ තියෙන ගබඩාවට එන්න"

"මොකක්ද ඒ වෙලාවට කොහොමද එන්නේ? ගෙදර අයට මොනවද කියන්නේ?"

ප්‍රභාවිම මට අරන් දීපු පුංචි ෆෝන් එකට ආපු ප්‍රභාවි එවපු මැසේජ් එකෙන් මම ගැස්සුන නිසාමයි මම එහෙම රිප්ලයි කලේ.

" අයියෝ අනේ ඉස්කෝලේ යන කාලේ වගේනේ, කොල්ලෙකුට ගෙදරින් පනින්න ඕන විදිහ මම කියලා දෙන්න ඕනද..? කවුද ඕවා ගෙදරට ගිය කිය කිය ඉන්නේ මම එන්නෙත් කියලා නෙමෙයි"

ඊට පස්සේ මම නිවාඩුවට ගෙදර එන හැම දවසකම හැම රෑකම අපි මෝචරිය පිටිපස්සේ කුඹුර තිබ්බේ පොඩි කබඩා කාමරේදී හම්බවුණා.

*******

චාරිකා මගේ ජීවිතයට ටික ටික එබ්කම් කරනකොට මට හිතාගන්න බැරි වුණා මම නවතින්නේ ප්‍රභාවි ලඟද චාරිකා ළඟද කියලා. 

ඒ වෙනකොට ප්‍රභාවි මුණගැහීම කෙසේ වෙතත් හැමදාම රෑට ගබඩාකාමරයේදී ප්‍රභාවිව හමුවෙන එක ගැන නම් මගේ කිසි අකැමැත්තක් තිබුණේ නෑ. 

 තාත්ත අරන් දීපු තමන්ගෙම වාහනයෙන් කැම්පස් එකට එන චාරිකායි, තාත්තගේ හදිසි මරණය නිසා ඒ වෙනකොට හෙමිහෙමින් ආර්ථික අතින් පරිහානියට පත් වෙමින් හිටපු ප්‍රභාවියි අතර දෝලනය වෙමින් මම ඔහේ බලාගෙන හිටියා..

*******

කැම්පස් එකේ අවුරුදු තුන ඉවර වුණාට එතනින් එහා ලෝකය ලේසි නෑ කියන එක මම හොඳටම දැනගෙන හිටියා, සාමාන්‍ය උපාධියක් තියාගෙන රස්සාවක් හොයන එක ලේසි වැඩක් නෙවෙයි කියන එක මේ ලංකාවේ ඇතුලෙ ඇති සාමාන්‍ය උපාධියක් ගත්ත ඕන කෙනෙක් දන්න දෙයක්, 

උපාධියත් එක්කම CIMA සියලුම විභාග ටික සමත් වෙලා හිටපු චාරිකා, එයාගේ තාත්තගෙ යාළුවෙකුගේ කම්පැනි එක වැඩට ගියා, චාරිකා නිසාම මටත් ඒ කොම්පැනි රස්සාවක් හම්බුනා. හැබැයි ඒ චාරිකාට වඩා ගොඩක් පහළ තනතුරක්.

මට ඕන වෙලා තිබ්බේ මොකක් හරි රස්සාවක්.

*******

රස්සාවට යන්න කලින් දවසෙ රෑ ප්‍රභාවි හම්බ්වුනාම

" මාත් මොකක් හරි රස්සාවකට යන්න ඕන... මාත් කොළඹ එන්නං අපිට කාමරයක් අරං ඉන්න පුලුවන් නෙ.."

"පිස්සුද ඔයාට, ඔයා දන්නවද එහෙ වියදම.. මාත් මේ තව තුන්දෙනෙක් එක්ක ඉන්න යන්නෙ..."

"හරි ඉතිං මාත් රස්සාවක් කරනවනෙ ඇවිල්ලා..., අනික වෙන ප්‍රශ්නෙකුත් තියෙනවා... " 

කොණඩ කට්ට ඔලුවෙ ගහගන්න ගමන්... ප්‍රභාවි එහෙම කිව්වම මම ශර්ට් එක අඳින එක මොහොතකට නවත්තලා එයා දිහා බැලුවා..

"මොකද්ද...."

"මම ප්‍රෙග්නන්ට්"

"තමුසෙගෙ ඔලුව හොඳ නැද්ද... මොනවද මේ කියන්නෙ"..

" අනේ ඔහොම කියන්න එපා...මට පරිස්සං වෙන්න තිබ්බා තමා ,.මම හිතුවෙත් නෑ... අපි කොළඹ යමු...

"මොලේ හොඳ නැතිවේගෙන එනවද ඕයි... ඕන බම්බුවක් කරගන්නවා...කියාගෙන මම නැගිට්ටම ප්‍රභාවි නැගිටලා ඇව්ත් මගේ ඇඟේ එල්ලුනා...

"අනේ...බනින්නෙපා... තව වැඩි කාලයක් අම්මගෙන් හංගගෙන ඉන්න බැරිවෙනවා....." එයා මාව බදාගෙන අඬන්න පටංගත්තේ ඉකිගගහා..

ගබඩා කාමරේ කැඩිච්ච ජනේලේ අස්සෙන් පේන මොචරියේ බිල්ඩිම අපි දිහා ඔරවගෙන බලාගෙන හිටියා....

එයාව තල්ලු කරලා එතන තිබ්බ දුණුකොලෙන් ඔලුව මැදටම ගහනකොටත් , ගැහුවට පස්සෙත් , ලඟම ගබඩාව හදලා තිබ්බ පරණ ලී වලට සටපට ගාලා ගිනි ගන්නකොටත් එයා ලොකු කරගත්ත ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා මට තාමත් මැවිලා පේනවා...

ඉතින් මම කොහොමද ආපහු ගමට යන්නේ....

*******

Monday, June 17, 2024

අහඹු



 "හැටදාහකට බං ගත්තේ"

"හදන්න කීයක් විතර ගියාද?"

"මේක මචන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න හදනවා ඉතින් හදලා හදලා දැන් තමයි යන්තම් ඉවර කරගත්තේ, මේ වෙනකොට ලක්ෂ එකහමාරකට කිට්ටු වෙන්න ගිහිල්ලා ඒකත් ඉතින් මමම දුවලා පැනලා බඩු ටික හොයා ගත්ත හින්දා"

"කොහෙන්ද බං හැදුවෙ දැන් මේ ජපන් අයිටම් හදන්න තැනක් නෑනේ ඔක්කොම ඉන්දියෙන් ලඩි හදන එවුන් තමයි ඉන්නේ, අනික උන් දන්නෙත් නෑ මේවා හදන්න තියා ස්ටාර්ට් කරන්නවත්"

"සජිත් මෝටර්ස්  එකෙන් හැදුවේ, මාබෝලෙ, ජපන් බයික් නම් ඉතින් හොණ්ඩා සජී තමයි."

ඔය උඩ තියෙන්නේ මගේ බයිසිකලේ හදාගෙන ආවට පස්සේ කෙටියෙන්ම වෙච්ච කතන්දරේ, ඔය ටික මං හිතන්නේ දන්න අඳුනන, යාළු මිත්‍ර, ඔපිස් එකේ වැඩ කරන, සමහරවිට අහලා දැකලවත් නැති, හුලං ගහන්න ගියාම, පෙට්‍රල් ගහන්න ගියාම, අහන අහන එකාට දසදහස්හරයකට වඩා කියලා ඇති

කොච්චර උනත් ඉතින් ක්ලැසික් බයික් එකක් පදිනවා කියන එකේ ගතිය තියෙන්නේ හැමෝම ඉතින් පාරේ යනකොට ඒ දිහා බලදදි දැනෙන පොඩි ආඩම්බරෙත් එක්ක තමා.

හැබැයි ඉතින් හදන්ඩ කාපු කට්ටයි මේකෙ පොඩි හරි ලෙඩක් ආවහම යන වියදමයි එක්ක ගත්තහම ඒක දරාගන්න බැරි වුණත් අර හිතේ තියෙන ගැම්මට මේක පාවිච්චි කරන එක ඉතින් නතින් ගානට හිතාගෙන හිටියා.

*********

Sunday, April 7, 2024

බරියා



 මොකක්ද අම්මේ සද්දෙ.. රෑ තිස්සෙ බස් එකේ ඇවිල්ලා ගෙදර නිදාගෙන හිටපු මට ඒ සද්දෙ ඇහුණෙ පාර පැත්තෙන්..

" ආ... අර ළමයව පොලීසියෙන් අරං යනවා.."

"මොන...?"

ඒකට උත්තරයක් නොදුන්න අම්මා දොර ළඟින් මෑත්වෙලා ගේ ඇතුලට ආවා..

මම හෙමීට පාර පැත්තට යනකොට දැක්කේ බරියව ඇතුලට තල්ලු කරලා දොර වහගත්ත පොලිස් ජීප් එක වේගෙන් මහපාරට දාලා පලාතම දුමෙන් පුරවගෙන යන්න ගියා.

********

බරියගෙ ඇත්ත නම සුසන්ත. සුසන්ත බාලාංශෙ ඉඳලම මගේ පන්තියේ. ඉගෙනගන්න එච්චර ලොකු හැකියාවක් නෙවේ කොහෙත්ම හැකියාවක් නොතිබ්බ සුසන්ත තරමක් දඩබ්බර දඟකාර ළමයෙක්. 

සුසන්තයගෙ නලල මැද ලොකු කැලලක් තිබ්බා. ඒක හරිය ඉන්දියාව වගේ. ඉන්දියාවෙ උල ඇහිබැම දෙක මැද්දෑවට වෙන්න තමා ඒ කැලල උගෙ මූණෙ පිහිටලා තිබ්බෙ.

ඒ නිසා ඉස්කෝලෙදි සුසන්තයට කිව්වෙ දඹදිව දඹයා , කැලලා කියලා. සිංහල වලට පද පෙරලි පාඩම කලාට පහුවදා සාලියට තමා මිනිහට කැලල්බරියා කියලා නම දැම්ම්මෙ.  අනික් හැම එකටම වඩා ඒ නම ජනප්‍රිය වුනා. කොච්චරද කිව්වොත් සමහර සර්ලා පවා ඌ නැති තැන කිව්වෙ ඒ නම.

හැබැයි ලොකු පන්ති වලට එනකොට කැලල් කෑල්ල හලලා හැමෝම වගේ සුසන්තයට බරියා කියන්න ගත්තා.

**********

Saturday, March 23, 2024

Dream Cafe



     ඩක්ලින්ටන් ලේන් වෙත ඔක්ස්ෆර්ඩ් ටියුබ් බස්රිය ලඟා වන විට හිමපතනය ආරම්භ වී සුළු වේලාවකි. මේ සිසිරයේ දුර ගමන් යාමට නම් ඔබට ගලපෙනම ප්‍රවාහන මාධ්‍යය වන්නේ මෙවන් සැලසුමකි. මන්ද සිසිරයේ හරි මැදදී අසාමාන්‍ය සීතල මෙන්ම හවස තුනහමාර හතර වෙද්දී පරිසරය හාත්පස වෙලාගන්නා දැඩි අඳුර සහ අනපේක්ෂිත හිම පතනය හෝ වර්ෂාව මැද රිය පැදවීම බොහෝ සෙයින් ජනාකීර්ණ සහ වාහන පිරුණු ලන්ඩනයේදී ආරක්ෂා සහිත බවක් නොදැනෙන බැවිනි. 

හරි වෙලාවට විනාඩි තුනක් ප්‍රමාද වී පැමිණි බස් රථයේ යුක්රේන ජාතික රියදුරු  පමාව ගැන කනස්සල්ල  පල කරමින් මාගේ තරමක් විසාල ගමන් බෑගය රථයේ ගමන් මළු රඳවන ස්ථානයට ඇතුල් කර ගමන ආරම්භ කලේ. මා වෙන්කර තිබු අසුනේ අසුන් ගන්න තුරු රථය මැද ඇති පසුපස බලන දර්පනයේ දෙස යොමාගත් ඇස නැවත මාර්ගය වෙතට හරවා ගනිමිනි. 

බොහෝ නවකතා කෙටිකතා මෙන්ම චිත්‍රපටි  අනුව යමින් සීතල වැස්සට වූ සහ තනිකමට විසඳුම් සියල්ලේම මහා පොදු සාධකය වන උණුසුම් කෝපි පිරවූ කඩදාසි බඳුන රැගෙන ඒමෙන් වූ සැනසිල්ල තවත්  තීව්‍ර වූයේ මාගේ අනික්පස අසුනේ කිසිවෙකු නොවූ බැවිනි.  හෙඩ් ෆෝන් එකේ ආධාරයෙන් මාගේ අතරැඳි ජංගම දුරකථනයේ ගබඩා කර ගත ගීත ගොන්න ආරම්බ්භ වෙද්දී මා දෑස් පියා ගත්තෙමි. 

ගිමන් හරින දියඹ දිගේ 

සුසුම් හෙලන වෙරල කොනේ

බස යන හිරු අඩෑසි   සඳට 

රහස් කියනවා .. සඳ ආදරයෙන් 

අහස පුරා රටා මවනවා 

**********

Saturday, March 16, 2024

Voltage

 



රොඩ් ජේසන් ගේ සිරුර භූමදානය කර තිබූ ලොස් ඇන්ජලීස් නගරයේ ශාන්ත මොනිකාහි  හොලිවුඩ් ෆොර් එවර් සුසාන භූමියෙන් ඔහුගේ සිරුර කිසිවෙකු විසින් සොරාගෙන තිබීම සමස්ත ඇමරිකාවම ප්‍රශ්නාර්ථයක ගිලවා තිබුණි. මෙහි වඩාත්  සිත්ගන්නා සුළු කොටස වන්නේ  ජෙසන්ගේ විශේෂ ඉල්ලීම මත කිසිම කල් තබාගැනීමේ ක්‍රම වේදයක් රහිතව පැය විසි හතරක් තුල සිදුකල භූමදානය අවසන් වී පැය හයක් ගතවීමටත් මත්තෙන් මෙය සිදුවී ඇති බව දැන ගැනීමට ලැබීමයි. එසේම ජෙසන්ගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය බහාලීමට  නිමවී තිබුණු අඟල් හයක ඝනකමක් ඇති අඩි හයහමාරක් දිග සහ අඩි තුනහමාරක් පළලැති විශේෂිත බහාලුමද සමගින්ම සිරුර හොරකම් කර තිබීම  තවත් අභිරහසක් විය..

*****