"අළුත් කාකාස නං හොඳයි වගේ හිටපු එකාට වඩා",
දීප්ති මිස් එහෙම කියාගෙන වතුර බෝතලේ අපිට පෙන්නගෙන වාඩිවුණා .
"මේ මගේ බෝතලේ ලස්සනට හෝදලා "
"හ්ම්ම් . . අද තේ ගේනව වෙලාවෙත් කෝප්පයි ට්‍රේ එකයි හොඳට පිරිසිදුව තිබ්බා . පැන්ට්‍රි කෑල්ල වුනත් පිළිවෙලට අස්කරලා අතුගාලා තියෙනවා", ඒ කෑල්ල අචලා මිස්ගෙන්
"ඒකනං මටත් නෝට් වුනා අචලා මිස්, වෙනදා ඒක ඇතුලට යනකොට එන අර කිරිපල්වුන ගඳ නෑ , එයාෆ්රෙශ්නර් සුවඳක් එහෙමත් එනවා."
"හරි හරි .. ඕනවට වඩා උඩ දාන්න එපා , මතකනේ පියවික්‍රමත් ආපු දවස් වල , අපේ මේස කණ්නාඩි වගේ , පිහිදලාම ගෙවිලා තිබ්බේ " ඒ ටික එකතු කලේ සී සී මහත්තයා .
"ඔව් පස්සේ උගේ මේසේ පිහින්න වුනේ අපිට". මටත් කියවුණා ..
*******
අලුත් කාකාස ගේ නම දිලීප, පොරගේ ගෙවල් තඹුත්තේගම , ගම තඹුත්තේගම කිව්වගමන් හැමෝම වගේ ඇහුවේ තනි සිග්නල් කණුව ලඟද කියලා.
ඒ අහපු හැමෝටම හිනාවෙලා උත්තර දුන්න දිලීප කිව්වේ " එහෙම වුනානං සර් මම අද ජනාධිපතිනේ , මේ බැංකු වල අතුගාන්න එනවැයි " කියලා.
දිලීප කියන්නේ වයස හතලිස් ගණන් වල මුල හිටපු හොඳ හැඩිදැඩි මනුස්සයෙක්. උතුරුමැද පලාතට ආවේනික වකුගඩු රෝගයෙන් දෙමව්පියන් නැතිවෙනකම්ම එයාලව බලාකියාගෙන ඉඳලා, නැතිවුනාට පස්සේ ආපහු ගමේ ඉන්න හිතක් නෑ කියලා අගනුවර කිට්ටු මෙහෙට රස්සාවට ඇවිල්ල තිබුණේ . තමන්ගේ ඉඩකඩම් අඳේට දුන්න බවත් ඒ ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැති බවත් තමා මිනිහගේ කතාවෙන් බහෙන් තේරුණේ .
කොහොම වුනත් මිනිහා වැඩේ ගානට අල්ලාගෙන ගියා . හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා විහිළුවක් කරලා ඉන්න දිලීප ටික දවසකින්ම කටත් නැතුව බැරි චරිතයක් වුණා . හැබැයි මිනිහා මිනිහගේ පෞද්ගලික දේවල් නම් කතාකලේම නැති තරං .
*******
"මේ යකා මිනියක්වත් මරලා හැංගිලා ඉන්නවද දන්නේ නෑ.. අඩුගාණේ කසාද බැඳලද නැද්ද කියලවත් කියන්නේ නෑනේ , එකත් එකටම මෑන් ගමෙන් පැන්නේ ගෑණිවයි ලමයවයි මරලා වෙන්න ඕන"
හැමදේකම අභිරහස හොයාගත්ත පළවෙනියා වෙන්න පුදුම උනන්දුවක් තියෙන තට්ට ෂර්ලොක් හෝම්ස් හෙවත් ඇසිස්ටන් මැනේජර් ගුණවර්ධන මහත්තයා අලුතෙන් ගිණි දල්ලක දල්වන්න හැදුවා . ඒ කතාවට හැමෝම ටිකක් තිගැස්සිලා තමා හිටියේ .
මොකද දිලීප අපේ චමරියේ හිටියේ නෑ , මිනිහා වෙනම තනි කාමරයක් අරං එකේ බෝඩ් වෙලා තමා හිටියේ . ඒකත් කට්ටියට සැකයක් එන හේතුවක් වුණා.
ඒ කතාවෙන් ටික දවසක් යනකං හැමෝම පොඩ්ඩක් පරිස්සම් වෙන ගතියක් පෙනුනා , සමහරවිට දිලීපටත් එහෙම තේරෙන්න ඇති . ඒ වුනාට මිනිහා ඒවා ගැන තැකීමක් කලේ නෑ . ආපහු කාලෙත් එක්ක ඒවා කාටත් අමතක වුනා .
*******
දිලීප ගේ පිරිසිදුකම තමා හැමෝගෙම දැඩි ප්‍රශංසාවට ලක්වුනේ . පැන්ට්‍රියේ පිඟන් කෝප්ප වතුර වීදුරු දිලිසෙනවා . පොලොව හැමදාම මොප් කරලා . ගණුදෙණු කරන වෙලාවට වුනත් වෙනදා වගේ බිම කුණු දූවිලි හිටින්නේ හරිම අඩුවෙන් .
"දිලීප කෑම එකක් ගෙනත් දෙන්න" , "දිලීප මේ සමහන් එක හදලා දෙන්න" , "දිලීප මට උණුවතුර එකක් ගෙනත් දෙන්න". මේ වගේ ඉල්ලීම් කොතරම් ආවත් ඒ හැම එකක්ම තප්පරෙන් කරලා දෙන්න දිලීප ඕනෑම වෙලාවක සැදී පැහැදී හිටියේ.
ඒත් එක්කම හැමෝම දිලීපගේ තේ එකට ආත්මීයව බැඳිලා හිටියේ . ඒ තේ එක ඒ තරම්ම රහයි .
*******
ඔය අතරේ දවසක් කට්ටිය උදේ වැඩට එනකොට අලුත් වෙනසක් පෙනුනා , අපේ බැංකුව තිබ්බ බිල්ඩිමේ පිටිපස්සේ තිබ්බා බැඩ්මින්ටන් කෝට් එකක් හැබැයි ඕක වල්වැදිලා , වැට කැඩිලා , ගේට්ටුව ඇදවෙලා තිබ්බේ , අයිතිකාරයට කොච්චර කිව්වත් ඒක හැදුවේ සුද්ද කලේ නෑ.
"යන්තං ඇති අඩුගානේ නිවාඩු දවසට ඇවිල්ල බැඩ්මින්ටන් පාරක් ගන්න පුළුවන් චමරියට වෙලා වේලි වේලි ඉන්න වෙලාවේ" එහෙම කිව්වේ දර්ශන.
"ඔයාලා දන්නවද ". . තට්ට ෂර්ලොක් හෝම්ස් මහත්තයා ගනුදෙනු වෙලාව ඉවරවෙලා දොර වහනකොටම ආවේ එයාගේ අලුත්ම සොයාගැනීම කියන්න . "ඔය පල්ලෙහා සුද්ද කරලා තියෙන්නේ දිලීපයා . ඌට නිවාඩු දවසට කම්මැලියි කියලනේ ඔය" .
"අනේ ඇත්තද , කොච්චර හොඳද , නේද අචලා මිස්"
දීප්ති මිස් එහෙම කිව්වේ ඇයි කියන්න හැමෝම දන්නවා. මොකද අචලා සහ දීප්ති මිස්ලාගෙයි , ගුණවර්ධන මහත්තයාගේ යි පුතාලා තුන්දෙනා ඉස්කෝලේ ඇරිලා බැංකුවටඇවිල්ලා ඔෆිස් එක ඇතුලේ කැරකි කැරකි ඉන්නවා , ඉතින් උන් තුන්දෙනාව පැත්තකට කරලා තියන්න අම්මලා තාත්තලාට අකමැත්තෙන් වුනත් ෆෝන් දෙක දෙනවා ඇරෙන්න විකල්පයක් තිබ්බේ නෑ . මොකද උන් හතරවටේ දුවනවට මැනේජර් මහත්තයා එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ .
දැන් තුන්දෙනාට පල්ලෙහාට වෙලා සෙල්ලං කර කර ඉන්න පුළුවන් ඔෆිස් ඇරෙනකම් .
"අනේ අසංක අර ෆුට් බෝලෙට හුලන් ටිකක් ගහගෙන එනවකො හෙට එනකොට" . ඒ අණ මට ලැබුනේ තට්ට ෂර්ලොක් හෝම්ස් ගුණවර්ධන ලොක්කාගෙන් .
"හැබැයි සර් අර ටොයිලට් වලට මේකේ අයිතිකාරයට කියලා අලුත් කොන්ක්‍රීට් ලැල්ලක් නම් දාගන්න වෙයි , ඒක ටිකක් දිරලා වගේ" . දිලීපත් තේ බෙදන ගමන් අඩුපාඩු එකතුරගෙන ගියේ නිකං , මම මෙච්චර කරලත් උඹලා මාව කතාවට ගන්නේ නැද්ද වගේ ටෝන් එකකින් .
*******
බැඩ්මින්ටන් කෝට් එක දීප්ති මිස් ඉන්න තැනට කෙලින්ම පේන නිසා ලොකු අවුලක් කාටවත් දැනුනෙත් නෑ . දිලීප ආවට පස්සේ ඔෆිස් එක සෑහෙන පිළිවෙලයි , වෙනදා පියවික්‍රමගේ තේ හැදිල්ලේ හොඳකම නිසා කඩෙන් තේ බීපු එවුනුත් දැන් ඔෆිස් එකේ තේ එක බොන්න ගත්තා .
එක දවසක් හවස ගණුදෙනු වෙලාව ඉවරවෙලා ටිකකින් දිලීප ගියා හවස තේ බොන්න ෂෝර්ට් ඊට්ස් මොන්වගීන්න කියලා කට්ටිය එකතු කරලා දීපු සල්ලිත් අරගෙන , ඒ අතර සිකුරුටි අංකල් හති දාගෙන දුවගෙන ආවා .
" දීප්ති මිස් , දීප්ති මිස් ... අනේ මිස් අන්න පුතා අර තට්ටුව කඩාගෙන ලැට් වලට වැටුණා"
" මොකක් . .. දෙයියනේ" . ...කියාගෙන දීප්ති මිස් නැගිට්ටා . . තප්පර ගානෙන් අපි හැමෝම පල්ලෙහා වල ළඟ .
"අනේ කව්රු හරි ගන්නකෝ" කිව්වට කවුරුවත් ඒ ජරාවල්ට බහින බවක් පෙනුනේ නම් නෑ , දීප්ති මිස් විලාප ගහනවා .
වල වැඩිය ගැඹුරු නැතිවුනාට උඩ ඉඳලා අත දික් කරලා ගන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ , කොල්ලා ගූ නාලා වල ඇතුලේ . හොඳ වෙලාවට බඩු තියෙන්නේ කොල්ලගේ පපුව ලඟට විතර .
මේ අස්සේ කොහෙද ඉඳලා වේගෙන් දුවගෙන ආපු දිලීප , කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එකපාරටම වලට බැස්සා , බැහැලා කොල්ලව අත් දෙකෙන් උස්ස්සලා වලේ ගැට්ට උඩින් තිබ්බා .
ඊට පස්සේ කාර් පාක් එකේ ටැප් එක ලඟට ගිහිං කොල්ලව නාවලා මිස් ලඟට ගෙනල්ල දුන්නේ දිලීපගේ අලුත්ම ටීෂර්ට් එකකුයි සරමකුයි අන්දලා .
*******
පහුවදා උදේ ආපහු පුරුදු විදිහට හැමෝම වැඩට ආවා , දිලීප තේ එක ගෙනාවම මම ඒක අරන් උගුරක් බීලා ඔලුව උස්සනකොට අනික් අය මගේ දිහා බලන් හිටියේ කටවල් ඇද කරගෙන .
" මිස් තේ එක ...?" දිලීප තේ එක දුන්නට දීප්ති මිස්
" අනේ අද එපා දිලීප , මම අද උදේට කන්න පරක්කු වුනා" . . කියලා තේ එක ගත්තේ නෑ .
අචලා මිසුත් මොකක්ද කිව්වා , මායි තරංගයි ඇරෙන්න වෙන කිසිකෙනෙක් තේ එක බිව්වේ නෑ. දවල් කෑම ගේන්නත් වෙනදා ගේන එවුන්ගෙන් සල්ලි දුන්නේ මායි තරංගයි විතරයි .
දිලීප කෑම ගෙන්න ගියාට පස්සේ දීප්ති මිස් මට කතාකලා .
"අසංක තමුසෙට පිස්සුද හැබෑට?"
"ඇයි . . ?"
"ඇයි අහන්නේ .. අර ජරා වලට බැස්ස අමිනිහා හදන තේ බොන්නයි , ඌ ගේන කාම කන්නයි "
"මාර කතාවක්නේ මිස් ඔයා කියන්නේ . ඉතින් ඌ ඒ වලට බැස්සේ මිස්ගේ පුතාව බේරගන්නනේ"
"ඒ වුණාට පුතාව අපි ගෙදර ගෙනියලා ආපහු , හොට වෝටර් වලින් ෂවර් කරලා ඩෙටෝල් වලින් පිහිදලා කරන්න පුළුවන් හැමදේම කළා , ඔය මිනිහා අන්දපු ඇඳුමත් මම පිච්චුව මොන ජරාවද කවුද දන්නේ"
"ඔව් අනේ . . අරෙහෙම ජරවලකට කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පනින්න පුළුවන් කියන්නේ ඔය මිනිස්සු ගම්වලදී මොන මොන ජරාවල් වල බහිනවද දෙයියෝ තමා දන්නේ" ඒ ටික අචලා මිස්ගෙන් .
මෙහෙම ටික දවසක් යනකොට මමයි තරංගයි ඇරෙන්න වෙනකෙනෙක් දිලීපගෙන් තේ බොන්නේවත් කෑම ගෙන්න ගන්නේවත් , අඩු ගානේ බෝතලේට වතුර පුරවන්න්වත් දුන්නේ නෑ . තරංගත් ට්‍රාන්සර් වුනාට පස්සේ දිලීප හිටියේ මගේ වැඩ කරන්න විතරක් වගේ වුනා . වෙනදා වගේ කවුරුවත් මිනිහට මුණ දීලා කතා කළේවත් , ලඟින් හිටගත්තේ වත් නෑ .
මේක දිලීපටත් තේරිලා බව මට තේරුණා . ඒ වුනාට මිනිහගේ හිතේ ඒ ගැන ලොකු කහටක් තියෙන බවක් පෙනුනේ නෑ .
ඒත් දවසක් උදේ දිලීප හිටියේ නෑ . හැමදේම පිළිවෙලට අස් කරලා අතුගාලා මිනිහා ගිහිං .
දවස් දෙකකට පස්සේ මැනේජර් මහත්තයා .. " දිලීපත් නැති එකේ මම අපහු පියවික්‍රමව ගේන්න ගන්න බැලුවේ " කියාගෙන පැන්ට්‍රිය පැත්තට ගියා . .

No comments:
Post a Comment
හිතට දැනෙන දේ ලියලා යන්න
මේ ඕනෑම විදිහකට
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]