Saturday, November 14, 2026

දෙබරු



මේ මචන් මම අපේ පොඩි මාමලාගේ ගෙදර නැවතිලා ඉන්න කාලේ වෙච්ච සීන් එකක් ,  පොඩි මාමලාගේ ගෙදර කිව්වට එක අපේ අම්මගේ මහ ගෙදර, ලොකුමාමා පදිංචිය ප්‍රංශයේ, ශිෂ්යත්වයකයට ඉගෙන ගන්න ගියාට පස්සේ පොර ප්‍රංශ යුවතියක් හදේ  කොන අරං මායාවී පායාවි පමාවී වෙලා ආයේ ආවේ නෑ 
. 
අපේ අම්මත් තාත්තාව බැඳලා අවට පස්සේ ඉතුරු වුණේ පොඩි මාමයි,ආච්චියි සීයයි. ඒවුනාට කාලෙත් එක්ක ආච්චියි සීයයිත් නැතිවුනාම සීයලාගේ ගෙදර  ආච්චිලගේ ගෙදර වෙලා පොඩි මාමලාගේ ගෙදර බවට  රූපාන්තරණය වුණා .  

ඉතින් අහපන්කෝ මට එහෙ නවතින්න යන්න වුනේ ඒ ළඟ සිංහල වෙදකම් කරන තැනකට නිතර යන්න වුන නිසා. සිංහල වෙදකම් කරන්න නවතින්න වුනේ ගෙදරින් බර බරේ දාද්දි හැබෑ කරගත්ත යකඩ හීනෙ නිසා ,  ඒ කියන්නේ මෝටර් බයිසිකලේ ගිහිල්ලා පාර හරහා දාපු ත්‍රී වීල් එකක් ඇතුලෙන් අනික් පැත්තට ඇවිල්ලා කකුලේ වළලු කර  ලඟින් කැඩිලා, සනීප වුනාට හරියට කකුල් බිම තියලා ඇවිදින්න බැරිවුණා නිසා. 

මාමගේ සයිඩ් කාර් එක අල්ලපු පරණ BSA බයික් රාජයා තියෙන නිසා මල්ලි ඒ කිව්වේ මාමගේ පුතා එක්ක ගම පුරා රවුම් ගහන්න පුළුවන් වීමත් ,  ඔය දඩමස් වල් පෝක් මස් එහෙම වරදින්නේ නැතිනිසා එහෙ ඉන්න එක පාඩු නෑ ,  එකම , අ අවුල ඒ කාලේ එහෙට ෆෝන් සිග්නල් නෑ ,  ඉතිං එහෙ ගියාම වෙන ලෝකෙකට ගියාවාගේ තමා ,  

*******

ඔය ගමේ හිටියා ප්‍රසිද්ධ ප්‍රාදේශීය සබාපතියෙක්, ඌ  පස්සේ පළාත් සබාවේ ඇමති කෙනෙක් වුනා.  හැබැයි ඇහුවොත් ගමේ එකෙක්වත් ඡන්දේ දීලා නෑ .  පළාත් සබාව පැත්තකින් තියමුකෝ ,  ප්‍රාදේශීය සබාවට යන්ද බෑනේ ගමේ එවුන්ගේ ඡන්දේ නැතිව .  ඉතින් මේ ටික සුපුරුදු කතාව , පොරට  ගමේ චණ්ඩි සෙට් එක එහෙයි කියාගත්ත  ගමං .  මෑන්ස්ට  ගමේ තිබ්බ ලොකුම විරෝධතාවය තම උගේ ගණිකා මඩමක් තියෙනවා කිව්ව සීන් එක. ඕක තියෙන තැනක් ඉසව්වක් කවුරුවත් නොදන්නවා වුනාට ඔය කතාව හෙන ප්‍රසිද්ධයි. ගමේ ඇහැට කනට පේන කෙල්ලෙක් හිටියොත් උගෙන් බේරෙනවා බොරු කියලා තමා ගමම කියන්නේ ,  

මේ කතාව ඇත්තක් කියලත් හිතෙන්නේ ගමේ ඉන්න ලස්සනම කෙල්ලෝ කසාද බැන්දේම උගේ ළඟම චක් ගෝලයෝ ,  සමහර එවුං ඒ වගේ කෙල්ලක් දකින්නෙත් පලවෙනි වතාවට කියල හිතෙන තරම්ම නොගැලපීම.

*******

මං එහෙ ගිහිල්ලා හයවෙනි දවසේ වගේ ප්‍රතිභා අක්කා බෙල්ලේ වැලදාගෙන මැරුණා , කවුරුවත් හේතුවක් දන්නේ නෑ .  එයින් පස්සේ ශ්‍රීමාල් අයියා හරියට වැඩට එන්නෙත් නෑ ,  කතාවක් බහක් නෑ  කියලා පොඩි මාමා නැන්දට කියනවා මම අහගෙන. ශ්‍රීමාල් අයියා තම අපේ මාමගේ වත්තෙයි කොහුමෝලෙයි එකවුන්ටන් . 

මල්ලි කිව්ව හැටියට ප්‍රතිභා අක්කා කියන්නේ ශ්‍රීමාල් අයිය බඳින්න හිටපු ගෑනුළමයා, මේ කියනඇමතියාට ගමේ කියන්නේ  රන්පුතා කියලා ,  ඇමතියාගෙන් ගෑනු ළමයි බේරගන්න , පුලු පුළුවන් අය තමන්ගේ ගෑනුලමයි ගමෙන් ඈත කොහේ හරි තමා නවත්තලා හිටියේ ,  ඉතින් ප්‍රතිභා අක්කත්  කොළඹ නැවතිලා රස්සාවක් කර කර හිටියේ ,  දෙන්නගේ වෙඩින් එක නිසා රස්සාවෙන් අස්වෙලා ඇවිල්ලා මාසයක් වගේ තමා වෙන්නේ .  ඉතින් කතාවේ ඉතුරුටික හිතාගන්න පුළුවන්නේ .  මේ අක්කව ඇහැට වැදුනා රන්පුතා ඇමතිගේ 

අපි , ඒ කිව්වේ මායි මල්ලියි දෙන්නා නිතර ශ්‍රීමාල් අයියා එක්ක ගවසේන්න් ගත්තේ ඒ නිසා, ශ්‍රීමාල් අයියා කියන විදිහට ඇමතියි ,  කළු තිලක් කියන ඇමතිගේ පලවෙනි චක් ගෝලයයි තමා දවසක්ම දසවද දීලා අක්කව ආපහු ගෙනත් දාලා තියෙන්නේ .   කොහොම හරි දවසක් මායි මල්ලියි   ශ්‍රීමාල් අයියා එක්ක කතා කරනකොට තමා තේරුණේ එනපොට හරි නෑ කියලා,  අපි වහාම මාමට කිව්වා එදාම රෑ කෑම මෙසේදී , 
මෝඩ ශ්‍රීමාල් අයියා රන්පුතා ඇමතියව මරන්න බොහොම තදින්  හිතාගෙන ඉන්නේ .  මාමා  කිව්වා හෙට ආපු ගමන්ම ශ්‍රීමාල් එක්ක කතා කරන්නං කියල , 

*******

හෙට ආවා එත් ශ්‍රීමාල් අයියා ආපහු ආවේ නෑ .  පන්සල් වත්තේ පරණ සීමාමාලක ගොඩනැගිල්ලේ එළියේ කලවරක ශ්‍රීමාල් අයියගේ මිනිය තිබිලා හම්බ වුණා .  එයාගේ අතේ පිහියක් තිබ්බා , මරණ පරීක්ෂණයෙන් පස්සේ කියවුනේ ඒ පිහියෙන්මයි ඇනල තිබ්බේ කියලා ,  මේ වැඩේන් පස්සේ මාමටත් හොඳටම අවුල් ,  මේක කලේ කවුද කියනන් හැමෝම දන්නවා ,  ඒත් ඒක ඔප්පු කරන්න කාවුරුවත් සාක්කි දෙන්නේ නෑ දැකපු එකෙක්වත් .  

ජයංගනී ආච්චි ඒ කියන්නේ ශ්‍රීමාල් අයියගේ අම්මට  මේ සිද්ධියෙන් පස්සේ පිස්සු හැදුණා. ගමේම අය උත්සාහ කළා ගොඩ දාන්න එත් හරිගියේ නෑ .  ශ්‍රීමාල් අයියගේ හත්දවසේ දානෙන් පස්සේ ජයංගනී ආච්චි අතුරුදහන් වුනා . තරමක් කෙට්ටු දුර්වල ඇඟක් තියෙන හෙමින් කතා කරන හෙමින් ඇවිදින ජයංගනී ආච්චි එදායින් පස්සේ ආයේ දකින්න ලැබුනේ නෑ .  මාසයක් විතර යනකොට හැමදේම වගේ ගමේ අයට ශ්‍රීමාල් අයියවයි ජයංගනී   ආච්චිවයි අමතක වුනා 

******* .  

 ශ්‍රීමාල් අයියගේ මරණෙන් පස්සේ තාවකාලිකව අල්ලගත්ත මාමගේ එකවුන්ටන් වැඩේට අන්තිමට මං පර්මනන්ට් වුනා .  මටත් අපේ ගෙදර ඉන්නවට වඩා නිදහසක් ඒවගේම අතේ සල්ලි ගැවසෙන්න ගත්ත නිසා මටත් කකුල හොඳ වුනත් ආපහු යන්න හිතක් ආවෙත් නැහැ .  නිවාඩු ප්‍රශ්න  නැති නිසා ඉඳලා හිටලා ගිහින් සතියක් විතර ඉඳලා අම්මලා එක්කම ඇවිල්ල අම්මලා මෙහෙ ටිකක් දවස් ඉඳලා ආපහු යනවා . 

ශ්‍රීමාල් අයියගේ තුන්මාසේ පිරෙන දාට දානයක් දෙන්න මාමාට තිබ්බේ  ලොකු උවමනාවක්,  පන්සලට දානේ ගිහින් දීලා ඒ කටයුතු ඉවර වෙලා අපි කට්ටිය කන්ද උඩ  විහාරේ වැඳලා පහලට බහිනකොට පඩි පෙලේ පාමුල හිටපු කෙනා දැකලා අපි හැම දෙනාම ටික වෙලාවකට ගල් ගැහුණා , ජයංගනී ආච්චි .  අපි බයවෙලා ඉන්නකොට එයා අපිට කතා කළා ,  "පුතාලටවත් මගේ පුතා ගැන  මතක තිබ්බ එක කොයිතරම්  දෙයක්ද ?"  එයා එහෙම කිව්වම තමා අපි  පොඩ්ඩක් පියවි ලෝකෙට ආවේ .

කොහෙද හිටියේ මොකක්ද කලේ  , කොහොමද ආපහු ආවේ ,  කියලා ප්‍රශ්න  කියක් ඇහුවත් ආච්චිගේ උත්තරේ වුනේ "ඉන්න හිත හදාගන්නේ කොහොමද පුතේ" කියලා කිව්ව එක විතරයි 

එදා අපිත් එක්ක ගෙදර ළඟටම එනකං ඇවිල්ලා ජයංගනී ආච්චි නවතිනකොට නැන්දා කිව්වා ඔය ගෙදර ඉන්න බෑනේ හෙට කවුරු හරි දාලා සුද්ද කරනකං අපේ දිහා ඇවිල්ලා ඉන්න කියලා , ජයන්ගනී ආච්චි එකට කැමති වුනේ නෑ , "අර දූවිලි පිරිච්ච ගෙදර කොහොම ඉන්නද මන්දා?" කියලා නැන්දා රෑත් මාමාට කියනවා මට  ඇහුණා . 

පහුවදා  උදේ  මට ඇහැරුණේ  නැන්දගේ කෑගහිල්ලට , 
මේ කෑම එක ජයංගනී ආච්චිට දීලා වරෙං ලොකු පුතේ "
මල්ලි පොඩි පුතා මං ලොකුපුතා, මම යනකොටත් ඒ පේන ගෙදර දිහා බලාගෙන හිතුවේ මේ මල අපායේ මනුස්සයෙකුට ඉන්න පුලුවන්ද කියලා.

ජයංගනී ආච්චි එලියට ආවා.  ගෙදර  බැලුවම ඒක ඊට එහා දූවිලි විමානේ , මම ගේ ඇතුල බලනකොට ආච්චි හෙමින් දොර වහාලා 
 "මං  ඔය හෙමි හෙමින් අස්  කරගත්තා පුතේ , ,"  කිව්ව . 

ඒක යස අස්කිරිල්ල. මට ඒක දැකලා කිඹුහුං යන්න වගේ... 

"ආච්චි අපේ ගෙදර යමු, මෙහෙම ඉන්න බෑනේ."

"අනේ මේ වැඩිත් එක්ක පුතේ තනි මට" 

ගේ ඇතුලේ හරිම මුස්පේන්තු පෙනුම, පොඩි සද්දයක් ඇහෙනව නිකං මී මැසි ජනපදයක් මැදින් යනවා වගේ,  මොන මගුලක්ද මංදා 

හැබැයි සතියක් විතර යද්දි ආච්චි අර ගෙදර ලස්සනට ආපහු අසපස් කරගෙන , මිදුලෙ තණකොල කපලා , මල් වවලා... ඉස්සරටත් වඩා ලස්සනයි. අපි හැමෝම දැක්ක දේ තමා ඉස්සර මග යන්න පණ නැතුව හිටපු ආච්චි දැං බොහොම කඩිසර හොඳ හයිය හත්ත්තිය තියෙන අපේ නැන්දටත් වඩා ක්‍රියාශීලී කෙනෙක් බව..

අනේ ඒ මනුස්සයා එහෙම ඉන්නවා දකින එකත් ලොකු දෙයක මාමා කිව්වා

*******


සතියකින් වගේ  පස්සේ ඔය අතරේ ආයේ ඡන්දේ පටන්ගත්තා , ආපහු අර රන්පුතා ඇමතියා කැන්වසින් යන්න ගත්තා ,  දවසක් මම දවල්  කෑමට ගෙදර එනකොට  රන්පුතා කැන්වසින් එනවා ,  මගේ ඉස්සරහින් ජයන්ගනී ආච්චි යනවා , ආච්චියි රන්පුතා ඇමැතියි මූනට මූණ හම්බ වුනා , ආච්චිව දැකපු රන්පුතා ඇමතිගේ කට බාගෙට අරුනා .  හරියටම කිව්වොත් පොර බයවුනා චූ යන  ගානට , ආච්චි ගානක්වත් නැතුව අත්  දෙක එකතු කරලා වැන්දා  ,  ඇමතියත් ටිකක් වෙලා බලා ඉඳලා ගැස්සිලා වගේ වැන්දා .  ඊට පස්සේ ආච්චි  ඇවිදගෙන ගෙදර පැත්තට ගියා ,  

කැන්වසින් ආපු මෝටර් සයිකලයක් ද කොහෙද ජයංගනී ආච්චිගේ පුංචි ගේට්ටුව හරස් කරලා නවත්තලා තිබ්බා .  ආපහු හැරීලා බලපු ආච්චි මෝටර් බයිසිකලේ  හැන්ඩ්ල් එකේ වම්  පැත්ත දකුණු අතින් අල්ලලා අපි සාමාන්‍ය පාගන බයිසිකලයක් තල්ලු කරනවා වගේ එක අතින් කරකවලා පාරමැද්දට ඇදලා දැම්ම ,  මට ඒක දැකලා මගේ ඇස්  උඩ  ගියා ,මේ ගෑනි අලි මස් කනවද ඒ ගමන.

 
ඊට  දවසකට පස්සේ ආරංචි වුනා ඇමතියාට ගමේ  ගෙදරක් ලඟදි දෙබරු ඇනලා ටිකක් අමාරුයි කියලා. ඔය සතියක් ඇතුලත ඇමති තුමාට දෙබරු ඇන්න දෙවෙනි වතාව . පහුවදා අපි පන්සලේ  පේරු දානේ අරන් යනකොට ජයංගනී ආච්චි බෝ මලුව අමදිනවා ,  ඊට පහුවදා මෝලට යද්දී ආරන්චි වුනේ කළු තිලක් කියන රන්පුතා ඇමතිගේ ළඟම ගෝලයා පන්සල් වත්තේ  පරණ සීමාමාලකේ ළඟ මරලා දාලා කියලා. එයාගේ අතේ එයාටම ඇන ගත්ත පිහිය  තිබ්බා හරියට ශ්‍රීමාල් අයියගේ වගේම. 

ඊලඟ  සතියේ ඒ විදිහටම ක්‍රිෂ්ණන් කියන ඇමතිගේ ඩ්‍රයිවර් මරලා දාලා තිබ්බා ,  රන්පුතා ඇමතිගේ මැදිහත්වීමකින් මේකට පොලිසියෙන් ජයංගනී ආච්චිගෙන්  ප්‍රශ්න කරන්න  ආවා ,  ඒක ඇහුවම පන්සලේ හාමුදුරුවෝ හිනා වුනා , " ඒ ඇත්ති ඊයේ  බෝමළුව ,  චෛත්‍ය මලුව විතරක් නෙවේ පන්සලේ  හැමතැනම වගේ අමදිනවා මම දැක්ක හවස් වෙනකම්ම ,  අනික ඔය නැඩ  පිරිමියෙක් මරන්න පුළුවන්  හයියක් තියෙනවද ඒ මනුස්සයට" ,  ඒක අහද්දී නම් මට මතක් වුනේ බයිසිකළේ  කරකවලා විසිකරපු හැටි ඊලඟ දවසේ ආයේ ආරංචි වුනා ඇමතියාට ආයේ දෙබරු ඇනලා කියලා ,  

මාස එකහමාරක් වගේ ඇතලත, ඔය වගේ ඇමතියා  ළඟ හිටපු ලඟම  හතර දෙනෙක් එකම විදිහට ළඟ ලඟම  මරලා දාලා තිබුනා ගමේ තැන්  තැන්  වල. ඒ හැම මිනී මරුමකටම  කලින් දවසෙයි  පස්සේ දවසෙයි ඇමතියාට දෙබරු ඇනලා , නිකම් හොල්මන් කතාවක් වගේ ,  

*******
 ඡන්දේ දවස් තව තව ලංවුණා .  ප්‍රචාරණ කටයුතු අවසන් කරන දවසේ හවස මහඡන රැස්වීම,  වටේ  දැල් ගහපු ඝන පොලිතීන් වලින් වටකරපු  පොඩි කොටුවක් ඉඳලා තමා ඇමතියා රැස්වීමේ කතා කලේ , මම හිතෙන්නේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා බලාපොරොතු වුනා ,  ආරක්ෂාව උපරිමයි ,  හැබැයි  එහෙම මොනවත් වුනේ නෑ  ගමේ සාමාන්‍ය දවසක් ගෙවිලා ගියා .  

ඡන්දේ දවසේ උදේම ඡන්දේ දාන්න යන එක මාමගේ පුරුද්දක් ,  හරියට නිකම් පළවෙනියා වුනාම  තෑග්ගක් දෙන්වාවගේ තමා  එයා ඒකට යන්නේ 

ඒත් මාමා  ගිය පයින්ම කෑගහගෙන ආපහු ආවා ,  "රන්පුතා ඇමතිව කවුරු හරි මරලා , ඡන්දපොළේ ඉස්සරහ ගේට්ටුවේ එල්ලලා ,  බඩේ තාම ඇනපු පිහියත්  තියෙනවා ලේ බේරී බේරී", මාමා මේක කියනකොටම මට එක පාරටම  දෙයක් ඔලුවට ආවා ,  මම ඉක්මනට දුවගෙන ගියේ ජයංගනී ආච්චිලගේ ගෙදරට ,  හැබැයි එවෙලාවේ මම දැක්ක දේ මටත් අදහාගන්න බැරිවුනා , ඊයේ වෙනකම්ම ලස්සනට බිම උදලු ගාලා මිදුල අතුගාලා ,  තනකොට කපලා පිලිවලට තිබ්බ ගෙදර අද මට අයෙත්  පෙන්නේ එදා ජයංගනී ආච්චි අතුරුදහන්  වෙලා ආපු දවසේ තිබ්බා වගේම දුවිලි පිරුන කැලේ වෑවිච්ච අතහැරලා දාපු ගෙදර වගේමයි . ගෙදර ඉස්සරහ දොර උළුවස්සෙ තඩි දෙබරයක් බැඳලා තිබ්බා...... මට කෑගැහුනා... "මාමේ" ......

 ******* 

හොලමන්  කතාවක් බලා ඉවරවුනා වගේ හැගීමකින් තමා ඊට පස්සේ  අපි හැමෝම හිටියේ.  
සතියකට විතර පස්සේ පොලිසියෙන් ආවා .  ජයංගනී ආච්චිගේ කියලා සැකකරන මිනියක් හොයාගත්ත කියලා  ,  එවුනා ට අඳුන ගන්න බැරි තරම් නරක් වෙලා තියෙන්නේ කියලා එතන තිබ්බ එයාගේ දේවල් කියලා හිතන්න පුළුවන් දේවල් කීපයක් පෙන්නුවා ,  ඒ කර මාලෙයි ,  කරාඹු දෙකයි , නම් එයාගේ කියලා නැන්දා අඳුනගත්තා ,  හැබැයි මැරිලා තියෙන්නේ මීට මාස පහකට - හයකට විතර උඩදිලූ , 

එදා හවස බලනකොට අර දෙබරෙත් නෑ..



1 comment:

  1. තෑන්ක්ස්.👌🙏💐
    පෝස්ට් තොගේ දැකලා, බ්ලොග් රෝල් ගහ දියේ ඉහල, පහල නැඟලම මට හති. ටිකක් වෙලා දිහං හුස්ම ගන්න. දැනට රෙජිස්ටරෙ මාක් කරපං. ආයෙ හත්,අට වතාවක් එන්නම්.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]