Friday, June 20, 2014

රූප පෙට්ටිය


පිට්ටනියට ඉහල අහස වැහිබරය . කොයි වෙලාවේ වැස්සක් කඩාවැටේද කියා සිතෙන තරමට හාත්පස අඳුරුය. එත් කොල්ලන් එකා දෙන්නා පිට්ටනිය පැත්තට ඇදෙනු මට පෙනේ. තවත් වරක් ගේ ඇතුලට එබිකම් කල මට දකින්නට ලැබුනේ තවමත් මැසිමේ ඉදිකට්ටට එබීගෙන ඇඳුම් මහන අම්මාය. ජනේලයෙන් වැටෙන මලානික එලිය අම්මගේ වම් කනේ ඇති කරඹුවේ නිල පැහැ කුඩා ගල මතට වැටී දිලිසෙයි .
තවත් සෑහෙන වෙලාවකට අම්මා මා නොසොයනු ඇතැයි යන සිතිවිල්ල ක්ෂණයකින් සිතට ඇතුළුවී පිටවීමටත් පෙර මම පිට්ටනිය බලායන කොල්ලන් අතරට එක්වීමි .

හාත්පස වෙලාගත් අඳුර ටිකෙන් ටික පහව යනවා දකිනවිට ,පිට්ටනිය දෙසට යමින් සිටි අපට ඇතිවූයේ නොමඳ සතුටකි.

"ශික් අම්මප මම හිතුව අදවත් වැහී කියලා , මේ ටිකේම ඔහොමයි ....
බොරුවට කළු කරලා ආපහු ගහගෙන යනවා ....'"
වැස්ස නොපැමිණීම ගැන අමනාපයෙන් මෙන් පාරේ ගමන් කරන වැඩිහිටියන් දෙදෙනෙකුගේ කතා කන වැකුනත් අප ඒ පිලිබඳ සිත යොමු නොවුනේ , පායලා තිබ්බොත් විතරයි සෙල්ලං කරන්න පුළුවන් කියන සිතුවිල්ල අන් හැමටම වඩා සිතේ පැලපදියම් වී ඇති නිසාවෙනි.

හැමදාම හවස් වරුවේ පාසල් ඇරී ගෙදර එන ගමේම කොලු කුරුට්ටන් ටික මේ පිට්ටනියට එක්රැස් වීම ගමේ කාටත් දැන් හුරුපුරුදුය. හැන්දෑවේ අඳුර වැටෙන තුරු , කුඩා රබර් බෝලය නොපෙනී යන තුරාම එල්ලේ ගහන අපි ගෙවල් වලට යන්නේ එකෙකු දෙන්නෙකු කැඳවාගෙන යන්නට එන මවක් හෝ පියෙකුගේ දෝෂාරෝපණයට ලක්වූ පසුවයි.

මුන්ට සෙල්ලම විතරයි ,කන්න බොන්නවත් ඕනේ නෑ.. කියමින් තමදරුවන් ඇදගෙන යන්නේ අහල පහල හමුවන අයගේ හූමිටි හමුවේය. නමුත් කිසිම දිනක කිසිම වැඩිහිටියෙක් මේ සෙල්ලම් කිරීම ගැන දැඩි විරෝධයක් දැක්වූයේ නැත.

*********

"කෝ අද රන්මල් ..."

"දැක්කේ නෑ...."

මගේ සමවයසේ අනික් ළමයින්ට වඩා මං තරමක් ඇඟ පතින් උස මහත වූ නිසාම ,කණ්ඩායමේ නායත්වය නිතරඟයෙන් ලබන්නට වාසනාවන්ත වීමි. රන්මල් යනු මට තර්ජනයක් වෙන එකම පුද්ගලයාය. තරමක් වත් පොහොසත්කම් වලින් හෙබි රන්මල් සමහර දිනෙක මා සමග රණ්ඩුවට එයි.  නමුත් ඔහුට වඩා තරමක් මහත හා උස ළමයෙකු වූ මට ඒ හැම වාරයකදීම දිනුම හිමි විය .

රන්මල් නොමැති වීම ගැන යම් සතුටක් දැනුනත් ,හැමදාම පාහේ සෙල්ලමට එන ඔහු නැතිවීම කුතුහලය දන්වන්නක් විය . 

"වීරෙත් නෑ ..." යමකු කියනු මට ඇසුනි 

"රන්මල්ගේ නැට්ටනේ ....ඌත් එක්කම එන්නේ නැතැයි "

*********


අන්න වීරේ .....

ඈතින් දිව එන වීරේ දෙසට ඇඟිල්ල දිගුකල එකෙක් කා ගැසීය . 

"අන්න රන්මල්ලා ටී.වී. එකක් ගෙනල්ලා ......

"නාහ් ...ටී.වී. එකක් ..." කීපදෙනක්ම එක හඬින් කියනු මට ඇසිනි .....

මගේ සිතේ ඇතිවූයේ දුකක්ද? සතුටක්ද? කනස්සල්ලක්ද? යන්න මටම සිතාගැනීමට නොහැක. ගුවන් විදුලිය පමණක් ඇසුරු කරගෙන සිටි අපිට රූපවාහිනී යන්ත්‍රයක් සිහිනයක් මෙනි.  

අපිත් යමු ....? කීපදෙනක් එකවරම් නැගී සිටියෝය. 

"එතකොට අද සෙල්ලම් කරන්නේ නැද්ද? ඒ මම 

"අපි නිකං බලලා ඉක්මනට ආපහු එමු  බං, ඔතන කවුද නවතින්නේ " ... උත්තර ලැබෙන විට කාණ්ඩය මා තනිකර ටික දුරක් ගොසිනි ...

********

ටික වෙලාවක් බලාසිටියද කිසිවෙකු නැවත එන පාටක් නැත. ගෙදරයන්නට පා එසවුවද මගේ දෙපා මටත් හොරෙන්ම මා රන්මල්ගේ නිවාස දෙසට ගෙන යන බව හැඟෙ.වැට අද්දරටම ගියත් නිවස ඉදිරිපස කිසිවෙකු පේන්න නොසිටීම මට කුහුලක් ඇති කළේය .

"මට බොරු කියලා මුන් වෙන කොහෙවත් ගියාද?" යන සිතුවිල්ල මගේ සිතට වේගයෙන් නැගෙන්නට විය .

හෙමින් හෙමින් ලංවී බැලූ කල මම දුටුවේ රන්මල්ගේ නිවස තුල එලූ පැදුරක කටවල් අරගෙන රූපවාහිනිය දෙස බලාසිටින මිත්‍රයෝ රැලයි , ඒ අසලම වූ කුඩා පුටුවක කකුල් දෙකත් පුටුවට ගෙන උජාරුවෙන් රූපවාහිනිය දෙස බලා සිටින රන්මල්ය .

ඇතුලට යම්දෝ නොයම්දෝ කියා ලතවෙමින් සිටි මා ආපසු යන්නට හැරෙත්ම ...

"ආසිරි ".......... රන්මල්ගේ කටහඬ මගේ සවනත් වැටිණි ..

"කොහෙද ආපහු යන්නේ ...? වාඩිවෙලා බලන්න ..මේ කාටුන් එකක් ....."

ඒ කටහඬේ ගැබ්වී තිබුනේ උපහාසයද නැත්තම් ,මිත්‍රශීලී භාවයද යන්න මට වටහා ගැනීමට අපහසු විය .

කෙසේ වෙතත් අකමැත්තත් කැමැත්තත් අතර මොකක්දෝ විස්තර කල නොහැකි හැගීමකින් හිත පිරී යද්දී මම ඉබේම මේ ගොස් සෙසු මිතුරන් අතරේ වාඩි වුනෙමි .

මීයෙකු පසු පස නිරන්තරයෙන් එලවන පූසෙකු සහ ඌට වන අකරතැබ්බ රැසක් ඇසුරු කරගත් ඒ වැඩසටහන අප කාගේත් සිත් ගත් අතර , හවස් වරුවම එවැනි වැඩසටහන් කීපයක්ම නැරඹු අපි පිටවූයේ රාත්‍රී බෝවූ පසුවය .

********

ඉන්පසු පිට්ටනියට ලමුන්ගේ පැමිණීම සීමාවන්නට විය. පැමිණියද ඒ ඉඳහිට දිනකය . ඒ පැමිණි දිනවලත් මුලික තැන මගෙන් ගිලිහී රන්මල්ට නිතරඟයෙන් හිමිවන්නට වීම මගේ සිතට නොසතුටක් එක් කළේය .

කෙසේවෙතත් අනෙක් ළමුන්ද  රන්මල්ට විශේෂයක් දක්වන්නටවීම නිසා ,මා ඉබේම මෙන් කොන්වූ බවක් දැනෙන්නට විය.

"ආසිරි ......!" දිනක් මම රන්මල්ගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සිටියදී අපේ අම්මාගේ කටහඬ ඇසෙන්නට විය. ඒත් එම ස්වරයෙන් මට හැඟුනේ ඒ කැඳවීම එතරම් සුබ දායක නොවන බවයි .

" මොකෝ බං .... කොල්ලා ඔන්න ඔහේ උන්නාවේ ,අනිත් එවුනුත් ඔය ඉන්නේ " රන්මල්ගේ අම්මා අපේ අම්මාට කියනු මට අසුනත් ඒ වෙනුවෙන් පිළිතුරක් අම්මගේ මුවින් පිටවනු මට නොඇසිණි ,

මම එලියට පැමිණි පසු ..මෙහෙ වරෙන් යන්න කියලා මගේ මැණික් කටුවෙන් අල්ලාගෙන ඇදගෙන යද්දී ...

"පුහ්... පුක කහගන්ඩ නියපොත්ත නැතිවුනාට ,තියෙන ගනකම ....අලි කරාඹු දෙක එල්ලන් හිටියම, වංශේ  කබල් ගෑවම ඔක්කොම හරි කියලා හිතේ, ඔකනේ මිනිහත් දාලා ගියේ ...."

රන්මල්ගේ අම්මගේ කටහඩ ඈතින් ඇසෙන්නට විය, එයට පෙරලා උත්තර දීමට මෙන් අම්මා ආපසු හැරුනෙන් මෙවර මම අම්මාගේ අතින් ඇදගෙන දිවයන්නට විය ,

********

නිවසට පැමිණි සැනින අම්මා කලේ මගේ කන වරෙන් මිරිකා පිට මැදට පහර කීපයක් එල්ල කිරීමයි.
""උඹ මීට පස්සේ එහෙම එක එකාගේ ගුබ්බායම් වල පුක තියන්ට ගිහින් තිබ්බොත් මං උඹව පට්ට ගහනවා "

"එහෙනම් මටත් ටී.වී. එකක් ගෙනත් ඕන , නැත්තම් මං යනවා යනවා යනවාමයි ... "

මුරණ්ඩු ලෙසින් මම එසේ කියත්දී අම්මා ඇස ලොකු කරමින් මදෙස බලා සිටියේ , කිසිදා කිසිවිට කිසිවක් ඉල්ලා නැති මා මෙසේ හැසිරෙන්නේ ඇයිදැයි කියා විය යුතුය .

කෙසේවෙතත් ඒ ඇසිල්ලෙන් කල්පනාවට වැටුණු අම්මා ඈත බලාගෙන සුසුම් හෙලනු මට දක්නට හැකිවිය .
මම බියවූයේ අම්මා අඬාවිදෝ කියාය .

තාත්තා මාවත් අම්මාවත් අතහැර ගොස් දැන් වසර කීපයක් ගතවී ඇත.
මට තාත්තා පිළිඹඳ ඇත්තේ ඡායාමාත්‍ර මතකයක් පමණි.එදාසිට  මේ දක්වා අම්මා දෑතේ වීරියෙන් මා රැකගෙන ගෙයත් යම් පිළිවෙලකට කාටවත් අත නොපා හදා ගැනීම ගැන කහටක් පිටින් නොපෙන්නුවාට ගම්මුන් තුල ඇති බව මටද ඒ වනවිට අවබෝධ වී තිබිණි, නමුත් කෙදිනකවත් ඈ කිසිම ප්‍රශ්නයක් ඉදිරියේ කඳුළු සලනවා ම දැක තිබුනේ නැත. මෙවර ඇය හඬාවී යයි මා බිය වූයේ එබැවිනි .

*******

මා පාසල් හැරී ගෙදර එද්දී අපේ ගේ මිදුලේ නවත්වා තිබූ කහ පැහැති වෑන් රථයක් පාර දෙසට එනවා මට දක්නට ලැබුණි , මාගේ සිතට එක වරම් භීතියක් ඇතුළු වූයෙන් මම වේගයෙන් නිවස දෙසට දිවගියෙමි . ගෙට ඇතුළුවන දොරට වම් පසින් උස උණගසක ගැටගැසූ  ඇන්ටෙනාවක් විය , මගේ හිතට ඇතුළු වූ සතුට කියා නිමක් නැතිවිය,

"ටී.වී. එකක් ගත්තද අම්මේ ...? " කියාගෙන මා ගේ ඇතුලට එන විට අම්මා කාඩ්බෝඩ් පෙට්ටියක් වසමින් සිටියාය , අලුත් රූපවාහිනී යන්ත්‍රය කැබිනෙට්ටුව උඩ දිලිසෙමින් තිබිණ, රන්මල්ලාගේ එකට වඩා තමක් කුඩා වූ එකකි,

ඉවසුම් නැතිව ගිය මා රූපවාහිනීය ක්‍රියාත්මක කලෙමි ....

"අයියෝ....කෝ මේකේ පාට ...?" එය කලුසුදු රූපවාහිනියකි ....
මගේ සියලු පැතුම් බොඳවී ගියේ රන්මල් නැවත මට සිනාසෙනු මැවී පෙනුණු නිසාය,,

"මොන කෙහෙල් මලක්ද මේ අරං ආවේ" ..
"මට එපා කළු සුදු.."
 "මට ඕනේ පාට පේන එකක්... "

අතේ තිබූ පොත් මිටිය පොළොවේ ගැසූ මම මහා හඬින් කෑ ගැසුවෙමි ...
 ටිකකින් මගේ අතට සීතලක් දැනෙන්නට විය . හිස ඔසවා බලද්දී ...
අම්මාගේ දෑස කඳුලින් පිරී ඉතිරී යනවා දුටිමි...

"මම බොරුවට අම්මේ කිව්වේ" .....කියද්දී අම්මා දෙදන අතරේ හිස රුවා ගත්තාය . මම හිස හරවා අම්මා දෙස හොඳින් බැලුවේ එවිටයි , කුමක්දෝ අඩුවක් මට දැනෙන්නට විය ...

"දෙයියනේ ....කෝ අම්මගේ කරාඹු දෙක ....?"



Sunday, June 15, 2014

රැවටිල්ල


දෙන්නං හවසට හාෆ් බොයිල් කල බිත්තර තුන හතරක් 
හොඳ කොල්ලාවගේ ගහපං අම්මා කරනම් පහක් හයක්

හවසට දානවා අදනම් අප්පා එළකිරි ඩයට් එකක් 
ඒක නිසා දැන් ඕන්න බලන්න කරනම් ගහන තරම්
මේවාගේ හොඳ හාම්පුතාලා ලැබෙන්න පින් ඇත්නම් 
කැලේ අතෑරලා අපේ සනුහරේම ඇවිත් ගහයි කරනම් 


අවුරුදු ගානක් එකම කලිසමම ඇඳගෙන ඉන්නේ මං
ලොක්කා කිව්වනේ අදහවසට එය හෝදාලා දෙනකං
අලුත්ම ඇඳුමක් මහලා දෙනවා කොල්ලෝ මම අදනං
හැබයි ඉතින් ඒ කදමලු බැඳගෙන උඹ නෑගම් ගියොතින්

කදමලු බැනගෙන නෑගම් යනවා 
අස්පය මිය ගිය ජොකියා වෙනවා 
දළදා පෙරහරේ ගිනි කරකනවා 
දන්නා සෙල්ලං හැටම දානවා


බිත්තර දෙන්නම් - ඇපල් ගේන්නම් - මිදී යුෂ දෙන්නම් - කෙසෙල් ගේන්නම් 
ගහපං කරනම් පලයන් නෑගම් 
හැමදාමත් මම බල්ටි ගහනවා - හැමදාමත් මං නෑගම් යනවා
කෙසෙල් ඇපල් වත් මිදියුෂ බිත්තර කවදාවත් නෑ දැකලා මං

හැමදා හවසට පාන් කෑල්ලක්
එහෙමත් නැත්තම් කඩල ඇට දෙකක්
හඩු ගඳ ගහනා එකම කලිසමත්
ඉන තද කරාපු හීනි දන්වැල්ත්
වෙනසක් නෑ මේ ගෙවන ජීවිතෙත් 



පොරොන්දු දෙනකොට හුරේ දානවා
මුදුනෙන් වැඳගෙන අහන් ඉන්නවා
අපි රැවටී උන් තව තර වෙනවා
ආපහු සුපුරුදු දිවිය ගෙවනවා



Sunday, June 8, 2014

පලවෙනි ක්‍රෂ් එක.... My First Crush


වෙච්ච සීන් ලේබල් එකට කතාලිව්වේ මුල් කාලේ විතරමද මන්දා ? කොහොම වුනත් වෙච්ච සීන් එකක් ලියන්න හිතුනත් ආපහු මොකක් හරි සීන් එකක් නිසා වෙච්ච සීන් එක ලියන්න බැරිවෙනවා.

අනික මෝරා දැන් බ්ලොග් කියවන්න පටන් ගෙන නිසා ලියන්න බයයි, මොකද වෙච්ච සීන් ලිව්වොත් මෝරා ඒ ඔක්කොටම වගේ සම්බන්ධ නිසා.මෝරා කියන්නෙන් ස්කොලේ කාලේ මගේ අතිජාත මිත්‍රයා ,මම මීට බොහොම කාලෙකට කලින් ලියපු "අපි නොදන්න පිං" කතාවේ හිටපු මෝරම තමයි .

අපි උසස්පෙළ පන්තියට එනකොට ඉතින් මෝස්තරේට වගේ උසස්පෙළ පන්ති යන එක ගැන ආයේ විස්තර කියන ඕනේ නෑනේ , මේ A/L පන්ති යනකොට ඉතින් නොයෙක් අයගේ නොයෙක් අරමුණු තිබ්බා ,

  • පාසලට අමතරව තවත් දැනුමක් එකතු කරගෙන හොඳින් විභාගේ පාස් වෙන එක 
  • පාසලින් ලැබෙන දැනුම ප්‍රමාණවත් නැති නිසා නව දැනුම සොයා යාම 
  • ඉස්කෝලේදී කෙල්ලෙක් අල්ලගන්න බැරිවෙච්ච නිසා වෙන ඉස්කෝලෙක කෙල්ලෙක් අල්ලගන්න එක .
  • පිටිපස්සෙම පේලියට ගිහින් සුපුරුදු ආතල් එක ඩබල් එකේ ගැනීම .
  • යාළුවගේ කෙල්ල යන නිසා උගේ පස්සෙන් යන්න සිද්ධ වීම ,
  • තමන්ගේ කෙල්ල යන නිසා යන්න සිද්ධවීම .
ඕකී මෙකී නොකී හැම හේතුවක් නිසාම වගේම ගිහිල්ලා බලන්නත් ක්ලාස් යන්නම් වුනා , කොහොම වුනත් බොහෝ වෙලාවට ක්ලාස් එකට දිගටම යනවද නැද්ද කියන එක තීරණව වුනේ , සර්ගේ හොඳකමවත් ,උගන්නන දේවල් හොඳවීම වත් නෙවෙයි ඉන්න ගෑල්ලමයි ප්‍රමාණය සහ උන්ගේ කොලිටිය ...

$$$$$$$$$$$$$$$$

මට බොහෝ වෙලාවට ඔය ක්ලාස් හැම එකකටම එක දවසක් හරි යන්න වුනා , මොකද නිල පෙම් හසුන් ලියන්නා හැටියට එක එකාගේ ගෑල්ලමයි බලන්නයි උන්ට ලියුම් ලියන්නයි , ඒ වගේම අධික ගාස්තුවක් අය කරගෙන (රුපියල් දහයක් විතර ) ඒ ලියුම් ගිහින් දෙන්නයි වගේ අතිශය භාරදූර කාර්යයන් වලට මගේ දායකත්වය නොමසුරුව දීමේ ප්‍රතිපලයක් හැටියට . ලියුම් ගිහින් දෙන්නේ මෝරා මොකද උගේ හැකර කටට බයේ  ඌ බෝම්බයක් දුන්නත් කෙල්ලෝ ගන්නවා 

මේ යන ගමන් වලට මෝරා සහභාගී කර නොගැනීම මගේ විරුද්ධත්වයට හේතුවක් නිසා ,ලියුම් ලිවීමේ ආනුභාවයෙන් මගේ උදහසට ලක්වෙන්න කවුරුත් කැමති වුනේ නෑ.

හාපුරා කියල පටන් ගන්න අලුත් ෆිසික්ස් ක්ලාස් එකකට ගියේ ඔය එකකට වත් නෙවෙයි ,මචන් හොඳට ඉගෙන ගෙන එලට එක්සෑම් කරමු කියල මායි මෝරයි දෙන්න දැඩි එකඟතාවයකට ආපු නිසා ..

උනන්දුවේ තරම කියන්නේ ගිහින් වාඩිවුණේ ඉස්සරහ ඉඳන් දෙවැනි පේලියේ පන්තියේ මැදින් තියෙන පාරේ පැත්තට වෙන්න , එහා පැත්තේ ගෑනු ළමයි ... 

මං අයිනේම මෝරා මට ඇතුල් පැත්තෙන් පිරිමි ළමයි පැත්තට වෙන්න තමයි වාඩිවුණේ .අනිත් එවුන්ට ලියුම් ලියලා , ලියපු ලියුම් ගිහින් දීලා , උන්ගේ පවුල් ප්‍රශ්න විසඳලා , එක එකාව ශේප් කරලා , අඬන එවුන් නලවලා , බූට් කාපු ඇනගත්තු එවුන් සනසලා මට ලව්කරනවා කියන එක නිකං වහ කදුරු වගේ වෙලා තිබ්බේ , මොකද යකෝ මෙහෙම හොටු පෙරාගෙන අඬන්න ලව් කරන්න ඕනෑයි.

$$$$$$$$$$$$$$$

ක්ලාස් එක නැගලා යනවා ..... අපිත් පුදුම උනන්දුවකින් දැන් අහගෙන ඉන්නවා .

"එක්ස්කියුස් මී ..." හරිම සුමුදු ලස්සන කටහඬකින් කතා කරන සද්දයක් ඇහුනා ..

කුරුල්ලන්ට ගී ගයන්න ඔබේ කටහඬ දෙන්න  ..මට එක සැරේම මතක් වුනේ ඒ පදය

හැරිලා බැලුවා ... අම්මේ ......

නෙලුම් විලේ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල්පෙති දෙන්න

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුලැලි දෙන්න
ඉරට හඳට එලිය එන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වළා සළු එලන්න ඔබෙ කේරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

සින්දුවේ ඉතුරු ටිකත් මතක් වුනේ නිකං කෆීර් එකක් නැග්ගුවා වගේ ...

"ම්ම්ම්ම්ම් මො මො  මොකද  ?කියලා ඇහුවා නෙවෙයි පැටලිලා පැටලිලා ඇහුනා ...

"අනේ ප්ලීස් මගේ රෙඩ් පෙන් එක වැටුනා ඔය ඔයාගේ කකුල ගාව ,තරහා නැතුව අරන් දෙනවද?"

ඒ ටික ඇහුණාම මාව නිකං සීතල වෙලා ගියා .. ඔක්කොම පැත්තක තියලා මම හිටගත්තා .... අයියෝ අර කෙල්ල ඔලුවේ අත ගහ ගත්තා ...මට තාම කරන්න ඕන මොකක්ද කියලා නිනව්වක් නෑ , හිටගෙන ඇඹරෙනවා .

" මොකක්ද ළමයා හිටගෙන කරන්නේ .....ඇයි..?"

" නෑ සර්..."

පටස් ගලා වාඩිවෙලා පෑන ඇහිඳගත්තා ...

දික්කලා ඒ පැත්තට ... "තැන්ක්ස්"  අනිත් කෙල්ලෝ ටික ලේන්සු හපාගෙන හිනාවෙනවා , අද ඉවර වුනු ගමන් පට ගාලා මාරුවෙන්න් ඕනේ නැත්තම් බඩුම තමා ..එවෙලේම හිතා ගත්තා . මෝරා සද්දයක් නෑ.. ඒක තමයි ලොකුම අවුල ,මූ මොන කෙලියක් කරයිද දන්නේ නෑ ,

$$$$$$$$$$$$$$$

ක්ලාස් එක ඉවර වෙලා යන්න ගිහින් කෝකටත් කියලා ගේට්ටුව ලඟට වෙලා හිටියා ... මෙන්න අර කෙල්ල දැක්කෙවත් නෑ වගේ ගියා ... අයියෝ සල්ලි

මායි මෝරයි ඉතිං අශ්වයා මැරිච්ච ජෝකියෝ වගේ ගෙදර ආවා , කවදාවත් නැතුව මෝරා නිශ්ශබ්දයි , එක තමයි උහුලන්න බැරි . ක්ලාස් එකේ සිද්ධ වෙච්ච සියල්ලම මේකා දැක්කනේ , අද ඉඳලා හමාරයි . ගෙදර ලඟට යනකොට මෙන්න වැට ළඟ අම්මා එක්ක චාන්දනී අක්කා කතාවක් , අපේ අම්මගේ Bridal Dressing ව්‍යාපාරේ  සමහර වෙලාවට දුර යන වැඩක් සෙට් වුනාම අම්ම එක්ක යන්නේ චාන්දනී අක්කව . එහෙම කීප වතාවක් දැකලා කතා කරලා තිබ්බට මං වැඩිය එයත් එක්ක ආශ්‍රයක් තිබ්බේ නෑ.

" ආ මල්ලි එන ගමන්ද? "

" ඔ ඔ ඔ ඔ ඔව් අක්කේ ....."

ගොත ගැහුනේ ඇයි .. ගොත ගැහෙන්නේ නැතුව තියෙයිය ... මෙන්න අර රෙඩ් පෙන් ගෑල්ලමයා ඉන්නවා චාන්දනී අක්කගේ අතේ එල්ලිලා ...

දෛව යෝගයකින් නොවේදෝ හමුවුනේ අපි හමුවුනේ...

අහක් බලන් හිටියේ හරියට දැකලවත් නැති ගානට

"ආ මල්ලි කලින් අපේ නංගිව දැකලා නෑනේ නේද? අද තමයි මෙහෙ ක්ලාස් ආවේ "

ඒ පාරනම් යාන්තම් හිනාවුනා ..

මගේ හිනාව නිසා ඇලදිවත් පෙනුනද මන්දා ... මෝරයි මායි ගේ ඇතුලට ගියා .. ඒ වුනාට හිත නම් දොරෙන් ඇතුලට ගන්න බැරිවුනා .

මෝරා තාම සයිලන්ස් ...

$$$$$$$$$$$$$$$

"මචං ... "

"මොකෝ"

"මේ අර කෙල්ලගේ අක්ක අපි දන්නවනේ බන් කලින් "...ඒ මෝරා

" මොන කෙල්ලද .." මම එහෙම නොදන්න පාට් එකෙන් කිව්වට මගේ කන්දෙක රත් වෙනවා මට හොඳින්ම දැනුනා .

"අර උඹ ක්ලාස් එකේදී පෑන අහුලලා දුන්නේ බ්‍රේක් ඩාන්ස් දාලා "

අම්මප ඔය කතාවලට තමයි මුගේ බෙල්ල අඹරවන්න හිතෙන්නේ

"දැන් මොකක්ද උඹ කියන්න තටමන්නේ ... මං ඒ කෙල්ලට පෑන අහුලලා දුන්නා කියලා උඹ හිතුවද මං ඒකිට ලව් කියලා "

මම හිතුවේ මෝරා - ඉතින් බං ලව් කරපංකෝ මම ෆුල් සපෝට්  කියයි කියලා

එත්

" අපෝ නෑ ..උඹ ඔය ලව් සීන් වලට වැඩි උනන්දුවක් නැති එකා කියලා මම දන්නවනේ ... මට නම් එකී දැක්ක වෙලේ ඉඳන් හරි අමුතුයි බං... මට හිතෙනවා මම මෙච්චර කල් හොයා හොයා හිටපු කෙල්ල හම්බවුනා වගේ කියලා ...."

අනේ  දෙයියනේ මීට වඩා හොඳ නැද්ද ඔලුවට කුලුගෙඩියකින් ගැහුවනම් ,

" කවුද දන්නේ එකී දැනටමත් කොල්ලෙක් එක්ක සෙට්ද කියලා ...." මං ඒටික කිව්වේ හරිම අමාරුවෙන්

"පලයන් බන් යන්න ඒකිට කොල්ලෙක් නෑ ..." මෝරා ඇඳේ තිබ්බ කොට්ට දෙක එක සැරේම පොළොවේ ගහලා නැගිට්ටා

"උඹ කොහොමද දන්නේ "

"ඇයි මැටි ගෙම්බෝ කොල්ලෙක් ඉන්නවනම් අක්ක එක්කන් යන්න එනකං බලං ඉන්න ඒකිට මාන්දමද "

"හ්ම්ම්ම්"

"මේ මචෝ ..."

"ඇයි? "

"උඹලා අම්මා උන්ගේ ගෙදර දන්නවා ඇතිනේ ...

"හ්ම්ම්ම්"

" අපි පාර අහගෙන නිකං විසිට් එකක් දාලා එමුද '

"ම්ම් හ්ම්ම්"

"මොකද උගුඩුවො හ්ම්ම් හ්ම්ම් ගාන්නේ හැම එකටම , උඹට අනික් හැම එකාටම සපෝට් කරන්න පුළුවන් මට සහයෝහ්ගයක් දෙන්න තමයි බැරි නේද?"

" හා හා ඉතින් බෑ කිව්වේ නෑනේ .."

" මේ උඹ ඒකිට ට්‍රයිද ?"

"කවුද ...? මම....? පිස්සුද උඹට .. එහෙම එකක් නෑ "

"අනේ මචං එහෙනං ආන්ටිගෙන් අහපන්කෝ ගෙවල් තියෙන්නේ කොහෙද කියලා ."

"පිස්සුද යකෝ ...පුත්‍ර භාවය අහෝසිවෙන වැඩනේ තෝ කියන්නේ"

ඒ පාරනම් මෝරාට මලම පැන්නා ....

"හරි උඹ එපා මමම ආන්ටිගෙන අහන්නම්කො ..."

"හැබැයි පොලොස් කොට්ටෝරුවා උඹ ඕක මගේ නම විකුනලා එහෙම අහලා තිබ්බොත් මම තෝව හම ගහනවා "

"පල යන්න හිටපන්කෝ කියපු මෝරා අපේ අම්මගේ ඔෆිස් කාමරේ වගේ තිබ්බ ගෙදර ඉස්සරහම කාමරේ පැත්තට ගියා "

$$$$$$$$$$$$$$$

විනාඩි පහක් ගියේ නෑ , හතරැස් රත්තරන් පාට පෙට්ටියක් අතේ තියාගත්ත මෝරා ,නට නටා කාමරේ ඇතුලට පැන්නා.

"දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා ,දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා .."

" මොකද --- කෝ . ඔහ තව පොඩ්ඩෙන් තීන්ත කුප්පිය...." මෝරා නටපු නැටිල්ලට මම මගේ හීරෝ තීන්ත පෑනට තීන්ත දදා හිටපු කුප්පිය තව ටිකෙන් හතරවරම් ගහනවා ,

"මචන් ප්‍රගියා .. ඔන්න දෙයියෝ අපි දිහා බැලුවා ..අපි කිව්වට මගේ දිහා ..."

"ඇයි..."

"මේ තියෙන්නේ ගැලවුම් කරු .....ආන්ටි කිව්වා උඹත් එක්ක ගිහින් හෙට ඉස්කෝලේ අරුණට පස්සේ මේක චාන්දනී අක්කට දීල එන්න කියලා .."

"මොකක්ද ඔය .."

"මොකක් වුනාම අපිට මොකද බං.... දෙවියනේ අද සිට මම ඔබ කෙරෙයි ඉමහත් භක්තියෙන් කල් ගෙවමි ..."

"හොල්මං..... මුගේ විකාර ... " කොහොම වුනත් අර ගෑල්ලමයා දකින්න මගේ හිතෙත් ලොකු ආසාවක් නලියන බව මට දැනුනා , එත් වැඩක්යැ ... අපි පුවක් ගහක නැග්ගොත් එකෙත් දෙබලක් ... මූටත් එකිවම ඕන වුනානේ ,ෂෙක් ....

$$$$$$$$$$$$$$$


"මේ මතක් ඇතුව හුලං ගහන් වරෙන් අදම ..නැත්තම් උඹ හෙට කිව්වොත් ඩබල් දාන්න බෑ හුලන් මදි කියලා තොවත් බාවලා බයිසිකලෙත් ගිනි තියනවා , මම යනවා කොන්ඩේ කපන්න "

මටත් සද්දයක් දාලා  මෝරා යනවා කොන්ඩේ කපන්න . මූ ලැස්ති වෙන හැටි දැක්කම මට මන් ගැනම දුකයි මොකද යකෝ ඉඳලා ඉඳලා කෙල්ලෙක් ගැන අමුතු හැගීමක් කියලා එකක් ඇතිවුනාමයි ... කෙලියා නේද එකටත් ..

වෙලාවකට ඔය අතිජාත මිත්‍රයෝ කියන එවුනුත් මහා වදයක් , මේ පෙන්නේ නැද්ද ?

කොහොමින් කොහොම හරි ඉස්කෝලේ ඇරෙනකම් හිටියේ හරිම අමාරුවෙන් , මෝරා මට වඩා අපහසුවෙන්ද නැත්තම් මම මොරට වඩා අපහසුවෙන්ද කියන්න දන්නේ නෑ ... පීරියඩ් වලට සර්ලා ටීචර්ලා ආවද නැද්ද කියලවත් මතක් නෑ .

"මේ අපි දැන් තදියමෙන් දිව්වා කියලා වැඩක් නෑනේ ... අරකිටත් එයාලගේ ඉස්කෝලේ ඇරලා ගෙදර යන්න ඇරලා යමු , "

"ඉතින් යකෝ ඔක්කොම ඉස්කෝල ඇරෙන්නේ එක වෙලාවටනේ "

" හරි යකෝ මැටි මෝරෝ , ඒ වුනාට අපි බයිසිකලෙන් ගහින් එතන එකී හිටියේ නැත්තම් මේක දීලා අරවා කාපු රිලව් වගේ එන්න වෙයි , ඒකනිසා එකී ගෙදර ගිහින් වොෂ් එකක් දාලා සෙන්ටිමෙටල් වෙලා ඉන්න ඇරලා යමු. "

"අම්මප ඒකත් ඇත්ත , අර ඥානතිලක සර් කිව්වා වගේ උඹටත් හිටපු ගමන් මොලේ පෑදෙනවා නේ "

"පල යන්න "

$$$$$$$$$$$$$$$

ඉතින් අපි දෙන්නා නිකං පාර්සලයක් දෙන ගියාට හිතෙන් ගියේ මනමාලියක් බලන්න යනවා වගේ , ගෙදරට ලන්වෙන්කොටම මම මෝරාගේ අතේ දුරින් ගියේ මගේ පපුවේ සද්දේ ඌට ඇහෙයි කියලා බයෙන් වගේ , ඌත් මගේ ලඟට ආවේ නැත්තේ ඒ නිසාමද මන්දා

අප්පේ පිළිවෙලට අතු ගාපු මිදුල මැදම වගේ තියෙන විලාට් අඹ ගහයට හදපු බැංකුවේ දිගාවෙලා පොතක් කියවන්නේ මේ එයා නේද?

මායි මෝරයි දෙන්නම එක සරේ දෙන්නට දෙන්නා දිහා බැලුනේ නොදැනුවත්වම ,


" චාන්දනී අක්ක ඉන්නවද?"

"අහ.... ආ ප්‍රගීත් ....ඉන්නවා එන්න ....."

කෙල්ල මගේ නම කියනවා ඇහුණාම මොරගේ මූණ කළු වුනා

" එකී කොහොමද උඹේ නම දන්නේ .."මෝරා රහසින් ඒ වුනාට උපරිම කේන්තියෙන වගේ මගෙන් අහනවා

" මං කොහොමද ඌරො ඒක දන්නේ "

" යමන්කෝ "

"ආ එන්න මල්ලි ...."

" අක්කේ අම්මා මේක දීලා එන්න කිව්වා ...."

"ආ තැන්ක්ස් මම ඊයේ ගියාට මේක ආන්ටිගෙන් ඉල්ලන් එන්න අමතක වුනා ආවට පස්සේ තමයි මතක් වුනේ , මල්ලිලා ඔය ඉස්කෝලේ ඇරලා යන ගමන්ද? "

"ඔව් අක්කේ ...අපි ගිහින් එන්නම් "

" හා ඉන්න ඉන්න මල්ලි මේ ආවමයි නේද ... ? කාලම යමු මම මේ උයන ගමන් අද ටිකක් පරක්කු වුනා "

" ආ අක්කේ මේ මේ ...."

"අනේ මේ මාලනී ආන්ටි මුකුත් කියන්නේ නෑ මෙහෙන් කෑවා කියලා පොඩ්ඩක් ඉන්න "



"ආ ඔය මේ අපේ තාත්තගේ බිස්නස් එකනේ , පාර අයිනේ ගහලා තිබ්බ බෝඩ් එක නිතරම කවුරු හරි ගලවනවා , එක නිසා දැන් මේ ඇතුලට වෙන්න් ගහලා තියෙන්නේ , කොහොමත් කට්ටිය දන්නා නිසා අවුලක් නෑ"

අක්ක එහෙම කිව්වේ මෝරා අඹ ගහට ඉස්සරහින් ගහල තිබ්බ බෝඩ් එක කියවනවා දැකලා ,

" ගම් බිත්තර සහ කරී චිකන් " කියලා කහ පාට ලෑල්ලක දුඹුරු පාටින් ලියලා තිබ්බ බෝඩ් එකේ බිත්තර සහ චිකන් මිල ගණනුත් සඳහන් වෙලා තිබ්බා .

"සුරංගා ප්‍රගීත්ලා එක්ක ටිකක් කතා කරකර ඉන්න මම ඉක්මනට උයනකම් "

///""සුරංගා ""///


අපි දෙන්නටම එක සැරේ නම කියවුනාට බයත් හිතුනා කාටවත් ඇහුනද කියලා

$$$$$$$$$$$$$$

අනේ සොරි ප්‍රගීත්එදා පෑන වැටිලා ඔයා අරන් දෙන්න ගිහින් කට්ටිය විහිලු කලාද ?"

" අනේ නෑ එක අවුලක් නෑ"

" මාලනී ඇන්ටිට පුතෙක් ඉන්නවා අපේ ක්ලාස් වලමයි කියලා අක්කා කිව්වට මම ඔයාව දැකල තිබ්බේ නෑනේ "

සුරංගා කියවනවා හරියට ඉස්සර ඉඳන් දන්නවා වගේ ..මොරගේ කට ඇදවෙලා .. ඌ දැන් තරහින් පිපිරෙනවා කියලා මට හොඳටම ෂුවර්

" ඔයාව මාත් මීට කලින් වෙන ක්ලාස් එකකදීවත් දැකලා නෑනේ "

" ආ එකියන්න් ඔයා ක්ලාස් එන කෙල්ලෝ දිහා බලබලද ඉන්නේ ආ ...ඉන්න අක්කට කියන්නම් ආන්ටිට කියන්න කියලා .."

ෂේක් හතර විලි ලැජ්ජාවයි

"සුරංගා ආ ආ "

හොඳ වෙලාවට අක්කා කතා කළා සුරංගා කුස්සිය පැත්තට දුවගෙන ගියා ...

"මචං ... මේ එයි මොකද බං ....."

මෝරා කතාවක් නෑ

"පල යන්න පාප මිත්‍රයා ... "  මෙන්න මූට මල පැනලා ...

"මොකද මචං "

"පල යන්න"  කියපු මෝරා නැගිටලා එලියට ගියා ....මමත් ඉතින් උගේ පස්සෙන් ගියා

මෝරා අඹ ගහ පහු කරගෙන ගෙයි දකුණ පැත්තට ගිහින් නැවතුනා ..

"මචං බලු වැඩ කරන්න එපා හරිය .."

" මොකක්ද මං කරපු බලුවැඩේ?"

"උඹ අඩු ගානේ මාව අරකිට අඳුන්නලාවත් දුන්නේ නෑනේ .... "

"හරි ඉතිං............................"

"එයි අර බලපන්" මෝරා රහසින් ඒත් වේගෙන් කෙඳිරුවා

අපි හිටපු තැනට චාන්දනී අක්කලාගේ තාත්තගේ කුකුල් කොටුව හොඳින් පෙනුනා ... එතනට ආපු සුරංගා කුකුල් කොටුවේ දැල් දොර අරගෙන ඇතුලට ගියා ආපහු එලියට ආවේ කිකිලියෙක් කකුල් දෙකෙන් එල්ලගෙන , ඊට පස්සේ දොර අයිනේම තිබ්බේ පෙට්ටියකට ඇත දාලා ටිකක් විතර දිග පිහියක් අතට ගත්ත සුරංගා ගෙයි අපිට නොපෙනෙන පැත්තට ගියා ,

ටිකකින් අමුතු සද්දයකින් කිකිළි කෑගහනවා ඇහුනා , මායි මෝරයි දෙන්නට අරගත්තු කටවල් වැහෙන්න කොච්චර වෙලාවක් ගියාද කියන්න මට මතක් නෑ ....

$$$$$$$$$$

ගෙදර එනකොට අම්ම දොර ළඟ .

"තමුසෙලා දෙන්න අර ළමයට කියන්නේවත් නැතුවද ආවේ , මිනිස්සු බය කරන්න එපා මෝඩයෝ ...."
කියපු අම්මා ටෙලිෆෝන් එක දිහාවට ගිහින් කෝල් එකක් ගන්නවා බල බලා අපි දෙන්න කාමරේට රිංගලා දොර වහ ගත්තා ..

එදායින් පස්සේ ආපහු ක්ලාස් වල අන්තිම පේළියම තමා , අයියෝ පලවෙනි ක්‍රෂ් එක



Sunday, June 1, 2014

නික්මයාම (The Departure)




"ලොස් ඇන්ජලීස්" සිට "සාන්ත ක්ලැරීටා" හරහා බේකර්ස් ෆීල්ඩ්" වෙත දිවෙන මහා මාර්ගය සාමානයෙන් පාලු ගතියක් උසුලයි , විශේෂයෙන්ම මේ ගමනේදී "ලොස් පැඩ්රෙස් ජාතික වනෝද්‍යානය" හරහා දිවෙන කොටස වැඩිමනත් පාලු ,අඳුරු සහ ගුප්ත බවක් දනවයි , මේ මාර්ගයේ ගමන් කරන රථවාහන බොහොමයක් "බඩගිනි නිම්නය " (Hungry Valley State Vehicular Recreational Area) යන නමෙන් හැඳින්වෙන මේ ප්‍රදේශයේ ඇති අවන්හල් සමූහය වෙත ඇදෙන්නේ ගමනේ දුෂ්කරතාවය කෙසේවෙතත්  ,මේ මානසික විඩාව දුරු කර ගැනීමට බවනම් පැහැදිලිය..

Los Angeles සිට Santa Clarita හරහා Los Padres
ජාතික උද්‍යානය ඔස්සේ Bakers Field දක්වා දිවෙන මාර්ගය 

සැ:යු; පරිමාණයට නොවේ 

 සාමානයෙන් මෙහි සංචාරකයන් පැමිණෙනවා අඩු වුවත් මේ අවන්හල් නිතරම කලබලකාරී සහ ක්‍රියාශීලී ගතියක් පෙන්වයි.  ලොස් පැඩ්රෙස් වනෝද්‍යානය හරහා වේගයෙන් ඇදෙන තරමක් පැරණි පන්නයේ පෝශේ වර්ගයේ මෝටර් රථයකි .

" අපි ලොබ්ස්ටර් එකේ නවත්තලා යමු..." ඒ කටහඬ මයික්ගේ ...

මයික් , කෙනඩි , ජෝන් සහ ඉයන් සිව් මිතුරන් අරමුණක් නැති ගමන් යාමේ රුසියන්විය.

" ඔකේ කියන්නේ දෙයක් තියෙනවද..අපි නොකිව්වත් වාහනේ ඉබේම ගිහින් නවතින්නේ ලොබ්ස්ටර් ලොබියේ ..හඃ හඃ හඃ ......."

ඉයන්ගේ වචන පෙලට අනරාධිතවම සිව් මිතුරන් සිනහසෙන්නට විය .

සාමාන්‍යයෙන් මේ වෙලාවට නොතිබෙන මට්ටමේ අඳුරු ගුප්ත බවක් හාත්පස පැතිර පැවතියේ වැහි අඳුර නිසාමද නැතිනම් බඩගිනි නිම්නයට හුරු පුරුදු ගුප්ත බව නිසාමද යන්න ගැන සිතීමට කිසිවෙකුත් කාලය මිඩංගු කලේ නැත.

අඳුරු පහ වුනු පරිසරය මැදින් යෝධයෙක් සිනාසෙනවා සේ "ලොබ්ස්ටර් අවන්හල" (The Lobster Pub) හි යෝධ නියෝන් නාමපුවරුව දීප්තිමත් කහ පාටින් පෙනෙන්නට විය .

රියදුරු අසුනේ සිටි මයික් හැරී බැලුවේ අනෙක් ඉදිරිපස අසුනේ සිටි ඉයන්ගේ අමුතු රංගනය දෙසයි ...
"මොකද" ..

නෑ ලොබ්ස්ටෙර් එක දැක්කත් ඇති වගේ "

කෙනඩි හැර අනෙක් තිදෙනා නැවතත් සිනාසෙන්නට විය ,..

කෙනඩිගේ මුවෙන් පිටවුනේ අසභ්‍ය යැයි සම්මත වචන පෙළකි ....."ඔක්කොමත්  හරි මුගේ මේ නැටුම තමයි මට පෙන්න බැරි ....."  ඒ කෙනඩි ...

අනෙක් තිදෙනා වාහනය රථගාලේ නවතන තුරුම නැවත සිනාසෙන්නට විය .

ලොබ්ස්ටර් අවන්හල ඈතින් දිස්වන්නට විය 


********

වාහනයෙන් බැසගත් සැනින් ඉයන් ඇදී ගියේ ලොබ්ස්ටර් සී ෆුඩ් පබ් දෙසටයි ...මෙහි ඇති අනෙක් ආහාර වලට වඩා කවුරුත් ප්‍රිය කලේ ලොබ්ස්ටර් සී ෆුඩ් වලට වීම එම අවන් හල වැඩියෙන් කාර්යබහුල කරන්නට සමත් විය .

කෙනඩි ආහාර ඇනවුම ලබාදෙන අතර ඉයන් සහ ජෝන් මේසයක් වටා වාඩිවිය... අවන්හල් සේවකයා ගෙන ආ කුඩා බීර බැරලයේ කරාමය විවෘත කර ඊට ජෝගුව අල්ලාගෙන සිටි මයික් දෙස පුදුමයෙන් බලාසිටි ඉයන්
"මනුස්සයෝ දැන් ඕක පිරිලා අහකට යයි ..."

තිගැස්සෙමින් කරාමය වැසූ මයික් තවමත් බලාසිටින්නේ කුමක් දෙසද කියා ඉයන් කීප සැරයක්ම හැරී බැලුවත් කිසිවක් දැකගැනීමට නොහකිවූ තැන ..

"මොකද හොල්මනක්ද?

"නෑ නෑ අර අර ....ඒ ඔහු තමා .."

" මයික් ..... කවුද ඔහු....? අපි නොදන්න ඔබ පමණක් දන්නා ඔහු ..?"

" බැලුවා නේද ඊ ටී ඒලියන්ස් චිත්‍රපටිය "

" ඔව් ඔහේලා මට හොරෙන් ආපහු බැලුවද?"

" එතකොට නයින් ඩේස් ඉන් සැටර්න් ...?, ලොස්ට් ඉන් යුනිවර්ස් ., ස්ට්‍රන්ජ්ර් ෆ්‍රොම් අර්ත් ... හියුමන් ගාර්ඩ්න් ....තව ..."

"තව කිව්වත් දන්නවා ..දැන් මොකක්ද ඔය විද්යාප්‍රබන්ධ චිත්‍රපටි ටිකයි ඔබගේ ඔය ඔහු අතරයි තියෙන සම්බන්ධය "

ඒතමයි ඒ සියල්ලේම අධ්‍යක්ෂක වරයා ..ජොනතන් හාන්ස්බර්ග්.."

"නෑ ...."

"නෑ නෙවෙයි ඔව් "

" ඔහු එතරම් සමාජය ඉදිරියට එන්න ප්‍රිය චරිතයක් නෙවෙයිනේ .කොහොමද ඔබ ඔහුව දන්නේ ...මට මතකයි වරක් ඇකඩමි සම්මානය ලබාගන්න ඔහු වෙනුවට ආවේ ඔහුගේ සහය අධ්‍යක්‍ෂක .."

"ඔව් නමුත් ඔහු මට හමුවුනේ මෙට කාලයකට පෙර මගේ පියා මාර්ගයෙන් ..අපි ඔහුට කතා කරමු ..."

"එපා ඔහු කැමති ඇති තනියෙන් ඉන්න , මේ වගේ පාලු පෙදෙසක තනියෙන් ඉන්නේ ඒ නිසානේ , නැතිනම් ලෝක ප්‍රකට මේ වගේ පුද්ගලයෙක් තනියෙන් මෙතන ඉඳියි කියා ඔබ හිතනවද?"

එසේ කීවත් ජොනතන් මහත්මයා සමග කතා කිරීමේ ආසාව සිව්දෙනාතුලම අඩුවැඩි වශයෙන් විය, මන්ද ලෝකය පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් විද්‍යාප්‍රබන්ධ චිත්‍රපට ගණනාවක අධ්‍යක්ෂක වරයා වූ ඔහු ගේ පිටසක්වල ජීවීන්ගේ ජීවිත අලලා සැකසුනු චිත්‍රපට කීපයක්ම ඇකඩමි සම්මානයට පවා පාත්‍රවිය .

නමුත් සිව් මිතුරන්ට ප්‍රෙහෙලිකාවක් වුනේ මෙතරම් ඈත පෙදෙසක ඔහු තනිවම සිටින්නේ මක්නිසාද කියාය. එමෙන්ම සෑහෙන තරම් කාලයකින් ඔහුගෙන් චිත්‍රපටියක් නිර්මාණය නොවූයේ මන්ද යන පැනයද ඔවුන් සිත් තුල විය.

... අර ඉන්නේ ඒ ඔහු තමා ....

********

"සමාවෙන්න ජොනතන් හාන්ස්බර්ග් මහත්මයා .." ඒ මයික්..

"මුහුණ පුරා වුණු ඝන රැවුලක් සහ අමුතුම ආකාරයේ දුඹුරු ඇස දෙකක් සහිත මොහුගේ මුහුණ දුටු පමනින් මොහු කවුරුන් වගේද කියා සිතන්නට ඉයන් අසාර්ථක උත්සාහයක් යෙදුනා , නමුත් මේ හා සමාන මුහුණක් හොඳින්ම තමන්ට මතකයේ ඇති බවත් මේ මොහොතේදී එය මතක් නොවන්නේ මන්ද කියා සිතන්නට ඔහු උත්සාහ කළා
.
කන්දෙක අසලටම එන තුරු පහතට කරගත් තොප්පියට අත තබා හිස ඔසවා මයික් දෙස බැලූ ඔහුගේ මුහුණේ වූයේ පහන් හැගීමක් නම් නොවේ , "මේ මොන කරදරකාරයෝ ටිකක්ද" කියන බැල්ම ඔහුගේ මුහුණේ සටහන් වෙනවා දුටු ඉයන් අහක බලා ගත්තා .

නමුත් එය නුදුටුවාක් මෙන් මයික් නැවත තම හඬ අවදි කළා . ඒ වන විටත් කෙනඩි සහ ජෝන් අනරාධිතවම ඔහු දෙපසින් අසුන් ගෙන අවසන්  ,

"මහත්මයා මම මයික් , ෆාර්මර්ස් ඇන්ඩ් මර්චන්ට් බැංකුවේ ලොස් ඇන්ජලීස් සිටි ශාඛාවේ කළමනාකරු ඇන්ඩර්සන් මහතාගේ පුතා "

" ඔහෝ ඒ ඔබද ...." එවරනම් ඔහුගේ මුහුණේ තිබූ නුරුස්නා ගතිය ක්‍රමයෙන් පහවෙමින් යනවා ඉයන් නිරීක්ෂණය කළා ,

********

කිසිවෙකුත් නොසිතුව ලෙසින් ජොනතන් මහතා තරුණයින් සමග දොඩමලු වන්නට ගත් සැටි දුටු ඉයන් පුදුම වුනා , කිසිවෙකුත් ඔහුගෙන් මෙවන් කුළුපග කමක් බලාපොරොත්තු නොවූ බව මුහුණු වලින් පැහැදිලිවම පෙනුනා .

බීර වලින් පටන් ගත මේ සමාගම විස්කි බෝතලයක් හිස්වනතුරුම ගලාගෙන ගියා,

"ඔබ ලඟදි චිත්‍රපටයක් කරන්නේ නැද්ද? මුකුත් අදහසක් නැද්ද "

මයික්ගේ මේ ප්‍රශ්නය සමගින් ජොනතන් මහතාගේ මුහුනේ මෙතෙක්වෙලා තිබූ මිත්‍රශීලී භාවය අහෝසි වී බැරෑරුම් පෙනුමක් ආරූඪ වෙනවා මයික්ට හැර අන් සියල්ලන්ටම නිරීක්ෂණය කල හැකි විය .

"ඇත්තටම ඔබේ අලුත් කතාවේ සංකල්පය මොනවගේ එකක් වෙයිද ?" මයික් මේ ප්‍රශ්නය යොමු කරනවාත් සමගම ඉයන් මයික් දෙසට හෙළුවේ නුරුස්නා බැල්මක් ...

"පිස්සුද මේ යකාට"..... ඔහු කෙනඩිගේ කනට රහසින් කෙඳිරුවා

නමුත් ජොනතන් හාන්ස්බර්ග් මහතා වෙත පිස්සුවෙන් මෙන් ආසක්ත වී සිටි මයික් අවට පරිසරය හෝ වෙනත් දේ ගැන කිසිදු සංවේදී තාවයක් දැක්වූයේ නැහැ .

චිත්‍රපට නිර්මාණ කරුවෙකුගෙන එවන් ප්‍රශ්නයක් ඇසීම සුදුසුදැයි යන්න ගැන පවා ඔහු සැලකිල්ලක් නොදක්වූයෙ හුදෙක් ඔහු තුල තිබූ උනන්දුව නිසාම බව මිතුරන්ට අවබෝධ වුනත් හාන්ස්බර්ග් මහතා ගේ ප්‍රතිචාරය කුමක් වෙයි දැයි ඔවුන් උනන්දුවෙන් බලා සිටියා

*******

අනෙක් සියල්ලන් පුදුමයට පත් කරමින් බොමින් සිටි විස්කි වීදුරුව පසෙකට කල ජොනතන් මහතා දෑත් එකට පිරිමදිමින් කතාව ආරම්භ කළේය.

"කාලෙකට කලින් පිටසක්වල දියුණු ජීවීන්ගේ ගවේෂක කණ්ඩායමක් මේ ලෝකෙට එනවා , ඒ එන්නේ මේ ලෝකේ ගැන වාර්තාවක් සකසන්න .නමුත් අවාසනාවකට වගේ ඔවුන්ගේ යානයේ සන්නිවේදන පද්ධතිය බිඳ වැටීමකට ලක්වෙනවා , මේක සකසන්න හැකියාවක් ලැබෙන්නේ නෑ අවසානයේ ඔවුන්ට සිදුවෙනවා ඔවුන්ගේ තාක්ෂණ රහස් රැකගැනීම සඳහා යානය විනාශ කිරීමට .

ඉන් පසු ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින්නේ කෙසේ හෝ තමන්ව සොයා තම ලොවෙන් කොයි මොහොතක හෝ පැමිණේවි කියා .නමුත් කාලය ගතවීයනවා, ඒ නිසාවෙන්ම බලාපොරොත්තු අතහැර නොගත්තත් මේ පිරිසට සිදුවෙනවා මෙලොව ජීවිතයට අනුගත වන්න ,

ඔවුන ඒ සඳහා තම හැකියාවන් යොදාගන්නවා ,ඔවුන් පිවිසෙන්නේ චිත්‍රපටි ක්ෂේත්‍රයට ,තම හැබෑ ලෝකය ගැන ඔවුන් චිත්‍රපටි නිර්මාණය කරනවා , විශේෂ ප්‍රයෝග (special effects) සහ ඇනිමේෂන් මෙන්ම ඩිජිටල් සිනමාව කියන දේ ඒ වන විට මේ ලෝකයේ තිබුනේ නෑ. ඔවුන් ඒ තාක්ෂණය මේ  ලෝකයට හඳුන්වා දීමත් සමගම ලෝක ප්‍රසිද්ධ වෙනවා ,මෙලොව චිත්‍රපට කර්මාන්තය උඩු යටිකුරු වෙනවා , ඔවුන් එහි ජනප්‍රිය තරු බවට පත්වෙනවා ,

ඔවුන්ව ආපහු රැගෙන යන්න ඔවුන්ගේ ලෝකෙන් එන්නේ නෑ , සමහරවිට ඔවුන් රහස් එළිකර ඇතියි කියන සැකය නිසා වෙන්න පුළුවන් , කාලය ගත වෙනවා මේ කණ්ඩායමේ සිටි හතර දෙනාගෙන් කෙනා බැගින් මියයනවා ,කණ්ඩායමේ ප්‍රධානියාගේ හොඳම හිතවතා වූ කැමරා ශිල්පියාත් මියගිය පසු  අවසානයේ ඉතිරිවන්නේ ඔවුන්ගේ ප්‍රධානියා පමණයි , නමුත් හිටිවනම ඔහුත් අතුරුදහන් වෙනවා , ඉන්පසු ඔහුව කාටවත් දකින්නට ලැබෙන්නේ නෑ ."

ඉන් පසු ඇතිවුනේ තරමක් නිහැඬියාවක් ,කිසිවෙකු කතා කරන බවක් නොදුටු නිසාමදෝ මයික් කතා කරන්නට පටන් ගත්තා

"ෂාහ් එකනම් මරු ..." තම මහපට ඇඟිල්ල ඉහලට එසවූ මයික් ජොනතන් මහතාට කියාසිටියා

"ඊට පස්සේ මොකද වෙන්නේ ඔහුව ඔවුන්ගේ ලෝකයට ගෙනියන්න් ඇති ,...." කෙනඩිගේ ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ජොනතන් මහතා උනන්දුවුනේ නෑ ..

"වීදුරුවේ ඉතිරිව තිබු විස්කි ස්වාල්පර එකවරම උගුරට හලාගත් ජොනතන් මහතා නැගී සිටියා .....

"නෑ ඔහුට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ ඔහු අතුරුදහන් වුනා ...."
 කියමින් පුටුව පසෙකට ඇද දමමින් අවන්හලෙන් එලියට යන්න වුනා ...

"නියම කතාවක් හැබැයි මේකත් වාර්තා පිට වාර්තා තියන කතාවක් වෙයි "..සංවාදය පුරාවටම නිහඬව අසාසිටි ජෝන් පළමුවරට සිය කටහඬ අවදි කළා .

ජොනතන් මහතා එක්වරම නැගී සිටියා 

*******

එක වරම යමක් මතක් වූ පරිදි නැගී සිටි ඉයන් වේගයෙන් එලියට දිවගියේ අනෙක් මිතුරන් තිදෙනා පුදුමයට පත් කරමින් , වහාම මෝටර් රථය තුල තිබු සිය බෑගය තුලින් එලියට ගත් ලැප්ටොප් පරිගණකය ක්‍රියාත්මක කල ඔහු අන්තර්ජාලයේ "ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප්" ලෙසින් සෙවීම් යන්ත්‍රය තුලින් සොයන්නට පටන් ගත්තේය , ඒ හා සබැඳියක් තුලින්  "නිව් ටයිම්ස් ලොස් ඇන්ජලීස් " පුවත් පතේ  එහි සිනමා සම්බන්ධිත පුවත් පලවන පිටුව වෙත ගමන් කල ඔහු තමන් දින තුනකට පමණ පෙර දුටු පුවත නැවත කියවා සිටියා

""""ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප් හෙවත් පිටසක්වල ජීවී සහ විද්‍යා ප්‍රබන්ධ කතා වලින් ලොවපුරා ජනප්‍රිය වූ මෙන්ම ඩිජිටල් සිනමාව සහ විශේෂ ප්‍රයෝග සිනමාවට හඳුන්වාදීමේ පුරෝගාමීන් වූ ජොනතන් හාන්ස්බර්ග් මහතා ගේ චිත්‍රපට කණ්ඩායමේ කැමරා ශිල්පියා වූ ස්ටීවන් ටැෆේ මහතා අද අභාවප්‍රාප්ත විය , ඒ මහතාගේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් හතරදෙනාගෙන් කෙනෙකු වූ මොහු හාන්ස්බර්ග් මහතාගේ සියලුම චිත්‍රපට වල කැමරාශිල්පියා ලෙස කටයුතු කළේය . ආරම්භක සාමජිකයන් අතුරින් දැන් ක්‍රියේටිව් ප්‍රෝඩක්ෂන්  ගෘප් හි ඉතිරිව සිටින්නේ හාන්ස්බර්ග් මහතා පමණි .""""

මොහොතකට සිය මුළු ශරීරයම සීතල වී යන බවක් ඉයන්ට දැනුනා ,
එත් සමගින් වේගයෙන් තම දර්ශන පථයෙන් ඈතට ඇදෙන හාන්ස්බර්ග් මහතාගේ මෝටර් රථය දුටු ඉයන් ගැඹුරු සුසුමක් හෙලුවා

""නෑ ඔහුට කවදාවත් යන්න ලැබෙන්නේ නෑ ඔහු අතුරුදහන් වුනා ...."" හාන්ස්බර්ග් මහතාගේ අවසන් වදන් කීපය ඉයන්ගේ දෙසවන් තුල දෝංකාර දෙන්නාක් මෙන් ඔහුට ඇසෙන්නට වුනා .




Tuesday, May 20, 2014

චූං පාන්

මෙන්න මල්ලි ගැනලා ගන්න 
පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි 
පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි 
ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?
එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?

ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?
හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ 

මෙන්න මල්ලි නිව් අයිටම් 
මොකක්ද ඒ 
එග් බන් බං එග් බන් මේ 
ඕවා ඉතිං විකිනේවිද?
ඉතුරු වුනොත් පඩියෙන් යයි

උඹ ගැන එන ආරංචි දැන් එච්චර හොඳ නම් නෑ
මොකක් කිව්වා 
පුතෝ හොඳට මේ අහගන් 
ගිය මාසේ සර්විස් එක නොකර මාටියා ගැහුවද?
පෙට්‍රල් ටික හොරෙන් ඇදල විකුණන්නට හිතෙනවාද?
දන්නවනේ මුදලාලී යන්නට ආසද වැලිගං

ට්‍රින් ට්‍රින් ට්‍රින් ටොයිං ටොයිං
චූං පාන් හරි සද්දෙට

කියලා වැඩක් නෑ උදේම හොඳ බිස්නස් තියෙයි වගේ 
අම්මප මුගේ බඩේ සයිස් 
පාන් පහක්වත් ගනීවි
නොදකින් නෑ මූනේ කිසි හිනා කටක්
උදේම එන හැටි ඔරවන් බඩගෙඩියත් එළියේ දාන්
ළඟටම ගෙනවිත්දෙන මේ පාන්ගෙඩිය  ගන්න වුනත් 
හිනා පොදක් මූනේ තිබ්බානම් මුට මක් වෙනවද?

ගුඩ් මෝනිං සර් පාන් ,බනිස් පෙස්ට්‍රිත් තියෙනවා 

ගුඩ් මෝනිං හුහ් ඇටයා ...ගහනවා පොළොවේ අල්ලා 
කවුද යකෝ තොට කිව්වේ 
මෙතන පාන් විකුණන්නට 
තෝ උදේම මෙතන ඇවිත් පාන් විකුනලා ගියාම 
මගේ කඩේ තියෙන පාන් ,කන්නද බොල මම තනියම 
අදට තොගේ කකුල තමයි කඩන්නේ මේ දොර පොල්ලෙන් 
මීට පස්සේ ආවොත් හෙම සුදුකොඩි දානවා ගේ ළඟ
තොගේ ඔය ලොකු ත්‍රී රෝදය 
කරනවා වගේ විල්බැරෝව   

බුදු අම්මේ කකුල අනේ 
විසිවුණු පාරට බිම ඇනුනේ හොඳටම පස්ස මගේ 
කඳුළු පිරුණු ඇස් දෙකටම බොඳ වීලා වගේ පෙනේ
තුන් රෝදේ පිටිපස්සේ ලියු වැකිය

""දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී "'




Monday, May 19, 2014

වරෙව් යකුනේ මෙන්න දොළ පිදේනි


අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...

හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් හැමෝම දන්න මේ උප සංකෘතියේ හැටියටනම් ඇය "තරු"

බ්ලොග් අඩවිය තමයි "තරු අරණ

පොතක් මුද්‍රණද්වාරයෙන් පිටතට ගෙනෙන මොහොත දක්වා කරන්නට ව කැප කිරීම ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කල ඕනෑම කෙනෙක් දන්නා කරුණක්, කෙසේවෙතත් ඒ සියලු බාධා මැඩගෙන පිටු 376 කින් සමන්විත නවකතාවක් අප වෙත තිළිණ කරන්නට ඇය සමත්ව සිටිනවා .

අප නොදන්නවා වුනාට තරු අරණේ  තරු පරිඝනක තාක්ෂණ අංශයේ ලේඛිකාවක්

  • පරිගණක ඉඟි 
  • උසස්පෙළට තොරතුරු තාක්ෂණය
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2003 - පැය 24 න්
  • ප්‍රාථමික පරිගණක  - 1
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2010 
යන කෘතීන් රචනා කර තිබෙනවා ... 

ඉතින් එහෙනම් මේ නවකතාව මිලට ගෙන කියවා ගුණදොස් ඇය වෙත ලබා දෙන්න .. ගල් සහ මල් ද්විත්වයම සමසිතින් පිළිගැනීමට ඇය සූදානම් ... 

පොත දොරට වැඩීම ගැන සහ වැඩිපුර විස්තර මෙතනින් බලන්න .

එතනට ගොස් ඇයට සුභ පැතීමට අමතක කරන්න එපා ...

තරු අරණේ තරුට බ්ලොග් මිතුරන්ගේ සුබපැතුම් ............................!



Tuesday, April 29, 2014

ත්‍රිපෝෂ


"උඹ එන්න ඕනේ නෑ.. මම ගිහින් එන්නං....."

"ඒ මොකෝ මම එන්න ඕනේ නැත්තේ ....? හතර ගාතෙන් එන්න බෑනේ මම ගියාම ...නෑ තනියම යන්න ඕනේ නෑ "

"ඔය ළමය එක්ක එහෙ යන්න බෑ. අපේ අම්ම ගෑනු ළමයින්ට කැමති නෑ කියලා දන්නවනේ උඹ .."

"ඉතිං මේ ඔයාගෙත් දරුවා නෙවෙයිද සුමනේ ..."

"කීවහම අහල හිටපිය පරට්ටි ගෙදර ,අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම දත් වහල්ල හලාගන්නේ නැතුව.......... ඔන්න ඉතිං ඔය ඔය  ......ඔන්න පටන් ගත්තා ඈඬියාව ...මූසලී ....."

"මූසල කම මගේ ඇඬිල්ල නෙවෙයි සුමනේ ඔයාගේ අම්මලගේ හණමිටි කතාවයි, ඔයාගේ බේබදු කමයි ...

"මොකක්ද බොල කිව්වේ ........තෝ...අද මං...................."

අම්මට තාත්තට පිටුපාලා ජීවිතකාලෙම ආදරෙන් ලඟින් ඉන්න හිතාගෙන සුමනසිරිත් එක්ක ආපු එකේ රඟ දැනුයි දැනෙන්නේ කියලා විනීතට හිතුනු වාරගාන මෙච්චරයි කියලා කියන්න බෑ. 

 ඈතින් පේන සපුගස්කන්දේ තෙල්පිරිපහදුවේ ගිනි දල්ල වගේ තමුන්ගේ හිතේ ගින්දරත් කවදාවත් නිවෙන්නේ නැතිවෙයිද කියලා හිතුනු විනීතට හීල්ලුනා . පුංචි කාලේ ඒ ගිනි දල්ල දකිනකොට " අප්පච්චි අපේ ගෙදරත් ඒ වගේ උස ගිනි ගොඩක් ගහමුද හැමදාම පත්තුවෙන්න " කියලා අප්පච්චිට කියනකොට ..."ගින්දර තියෙන්නේ ලස්සනට තියන්න නෙවෙයි පුතේ " කියලා අප්පච්චි කිව්වේ මේ දේවල් කලින් දැකලද එතකොට ................? 

නිදාගෙන ඉන්න කෙල්ලගේ ඉල ඇට ගණන් කරන්න පුළුවන් තරමට පේනකොට විනීතාගේ ඉකි ගැහිල්ල මහා විලාපයක් බවට පත්වුනත් ආපහු අතින් කට තද කරලා වහගත්තේ ,පොඩි කෙල්ල ඇහැරෙයි කියන බයටමයි ...
*******
හැම උදේකම ඈතින් ඇහෙන කෝච්චියේ සද්දෙට ඇහැරෙන එක පුරුද්දක් වෙලා තිබ්බේ විනීතට , "පුංචි කාලෙනම් ඕකට කිව්වේ "අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා" කියලා . අද තමුන් ගුටිකකා කඳුළු බිබී ජීවත් වෙනවට ජීවත් වෙන යකඩ වගේ ගෑනියෙක් වෙලා කියලා විනීතා දන්නවා . බැඳලා අවුරද්දක් යන්නත් කලින් සුමනේ වෙනස් වෙච්ච හැටි. වෙනසක් කිව්වට ඒ හැබෑ තත්ත්වේ තමයි . වෙලාතියෙන්නේ යාළුවෙච්ච කාලේ මවාපාලා පෙන්නපු දේවල් වලට රැවටිච්ච එක බව විනීතා තේරුම් අරං ගොඩක් කල් .

කවදාවත් උයන්න හැදුවට එක දිගට උයාගෙන ගිය දවසක් මතකෙට එන්නෙම නැතිතරම කියල විනීතට හිතුනා . මොනම හරි අඩුපාඩුවක්, චන්දෙ දවස්වල අපේක්ෂකයෝ කීපදෙනෙක්ම දීපු අඩුම කුඩුම මලු කීපෙ අන්තිම අඩියත් හූරලා එක්කාසු කරගත්තට තව අඩුපාඩු බොහොමයි .

කිරි රහක් ,මිරිස් රහක් නැතුව බත් කන එකයි සුමනේගෙන් තුන්වේලටම ගුටි කන එකයි ඇරුනම විනීතාගේ මුළු ජීවිතේම වෙලා තිබ්බේ පොඩි කෙල්ල. හැබැයි හදිසියටවත් පොඩි එකී ගෙදර තනියෙන් තියලා විනීතා ගෙයින් එලියට බැස්සේ නෑ. පොඩි එකීවත් උකුලේ ගහගෙනම කඩේට යන්න ගියේ ඒ නිසා . 

කඩේට යන්න ගිය විනීතා ආපහු හැරුනේ කඩේ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකේ ඉන්න ආනන්දව දැකලා.......

ඒත් 

" මොකද විනීතා නංගී ආපහු යන්නේ .., අපෙන් වැරද්දක් එහෙමවුනාද?" කියාගෙන අඩි දෙකක් ආපහු යන්නත් කලින් ආනන්ද විනීත ළඟ . 

"නෑ ආනන්දයියේ මේ ..කඩේට යන්න ආවේ ..පර්ස් එක ගෙදර දාලා ඇවිත් ...." 

"ආ පර්ස් එක ....." ආනන්ද කට කොනකින් හිනාවුනේ .හරියට "අපි නොදන්න සල්ලි පිරුණු උඹේ පර්ස් එක " කියන්නා වගේ .

ඔව් ආනන්දයියේ මම ගිහින් අරන් එන්නං "

විනීතා එතනින් ඉක්මනින් පිටවුනේ තාමත් බලන් ඉන්න ආනන්දට යමක් කියන්න ඉඩ නොදීම ....ඒ එක්කම ආපු ලංගමේ ආනන්ද නගිනවා විනීතට පෙනුනේ පාර පනින්න අනිත් පැත්ත බලනකොට ..

ආනන්ද කවදාවත් අනිසි දෙයක් කියලා නැතිවුනත් ,ආනන්දගේ හිතේ විනීත ගැන විශේෂත්වයක් තියෙනවා නේද කියලා විනීතට තේරිලා තිබ්බේ . 

*******
පාන්දර කුකුලා හඬලනකොට පොඩිකාලේනම් දැනුනේ හරිම ප්‍රබෝධයක් ,  ඒත් දැන් කුකුළා හඬලන සද්දේ මහා මූසල ගතියක් ගේනවා. වෙන මොකවත් නෙවෙයි තවත් කිසිම බලාපොරොත්තුවක් නැති තවත් කාලකණ්නි දවසක් නේද උදාවෙන්නේ කියන පණිවිඩේ ගේන පණිවිඩකාරයාද කියලා ඒ ගැන හිතෙන නිසා කියලයි විනීතට හිතුනේ . ඇත්තටම එකමදේ ගැන ජීවිත කාලේ එක එක යුගවලදී හිතෙන දේ වෙනස් වෙන්නේ ඇයි මේ විදිහට ....

නොයෙක් සිතුවිලි එක්ක පොර බදිමින් උදෙන්ම නැගිටලා පොඩි කෙල්ලවත් ලැහැස්ති කරගෙන ක්ලිනික් එකට යන්න එලියට බහින්න් හදනකොටම

"කහට එකවත් නොහද තෝ කොහෙද බැල්ලි මකබෑවෙන්න යන්නේ උදේම ......" 

ඊයේ රෑ තිස්සේ බීගෙන ඇවිත් මලා වගේ නිදාගෙන හිටපු සුමනේ .. ඇඳෙන් බහින්නේවත් නැතුව ලමයව උකුලේ තියාගෙන ගෙයින් එලියට යන්න හදන විනීතාගේ සායේ කොනකින් අල්ලලා ඇදලා ගත්තා .

"අත අරිනවා මනුස්සයෝ ..අද ළමයාගේ ක්ලිනික් එක ....නිකං හම්බවෙන ත්‍රිපෝෂ පැකට් එකවත් ගන්න දෙනවා මේ ළමයා හාමතේ නොමරා .. "

අන්තිමට සුමනේගෙන් පහර කීපයක් කාපු විනීතා ලේ ගලන යටිතොල ලේන්සුවෙන් වහගෙන ,ළමයවත් ඉනේ ගහගෙන පාරට පැන්නේ සුමනෙට හිතින් සාප කරමින් ...

" අම්මපා ආණ්ඩුවෙන් දෙන ත්‍රීපෝෂ පැකට් දෙකවත් නොහම්බුනානම් මාසෙන් බාගයක්ම ළමයා හාමතේ ."
ආත්මේ උගසට අරං උදව් කරන්න නම් පෝලිමට මිනිස්සු ඉන්න වග විනීතට රහසක් වුනේ නෑ.. කඩේට යන හැම වෙලේම මුදලාලිගේ මල්ලි වෙච්ච සාන්තගේ බැල්ම දකින්නත් විනීතා බයවුණේ ඒ නිසා .

" තොලට මොකද වුනේ විනීතෝ ...."

"මේ කොසු මිට වැදුනා නන්දක්කේ ...."

" ආ....කොසුමිට ..හා හා ...හොඳයි හොඳයි ..... "

"හැමෝම සහසුද්දෙන්ම වුනේ මොකක්ද කියලා දැන දැනම තමුන්ව අපහසුතාවයට පත් කරන්න හදන කොට ආපහු යන්න හිතුනත් ,ළමයා නිසාම ක්ලිනික් එකේ වරුව ගත කරපු විනීතා ත්‍රිපෝෂ පැකට් දෙක අරන් ගෙදර ආවා ....

*******

උදේ   ලමයව නාවන්න හිතාගෙන එලියට බහින විනීතා දැක්කේ කවදාවත් නැතුව ... ඔලුව බිමට පාත් කරගත්තු සුමනේ ගේ පැත්තට එන හැටි ... 

"මොකද .....?'

ඔරවලා බලපු සුමනේ ..  "මට ආයේ වැඩට එන්න එපා කියන්නේ .... "

"ඊයේ බඩු පටවන තැනදී කැෂියර් මහත්තයට පාට් එක දැම්ම ගාල ගෙදර ඇවිත් පම්පෝරි ගහනකොට මේ දේ කර ගනියි කියලා මට හිතුනා "

"මොකක්ද බොන්ඩි තෝ කිව්වේ ....."වේගෙන් විනීතා හිටපු පැත්තට ආපු සුමනේ වතුර බේසමට පයින් ගහලා ගේ ඇතුලට රිංගුවේ සරම කැහැපට ගහමින් ....
"ඔව් දැන් හොයනවා ගේ ඇතුලේ දැන් තමුසෙට විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ මාව විතරයි ...." විනීතා හිටි ඉරියව්වෙන්ම කෑගැහුවා .

මීට කලිනුත් බොන්න අතේ සල්ලි නැතිවුණු වතාවක් ගානේ විකුනලා විකුනලා මේ වෙනකොට ගෙදර බිත්ති හතරට අමතරව තියෙන බඩු අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වෙලා .

ඒ සැනින්ම ගෙයින් පිටවෙලා යන සුමනේ දිහා විනීතා බලන් හිටියේ ඇස් ලොකු කරගෙන ... වේගෙන් පාරට ගිය සුමනේ දිහා බලාගෙන හිටපු විනීතා ලමයව උස්සගෙන බේසම දිහාට ආවේ නාවන්න .

*******
නාවලා ඉවර වුනු ගමන්ම කෙල්ල අඬන්න පටන් ගත්තේ මොකද කියලා විනීතා දන්නවා ,

"අනේ මේ ළමයා කන්නේ නෑ මෙයා , කෑම ටික හදාගෙන පුදුම දැඟලිල්ලක් දඟලන්න ඕනේ කවාගන්න "

ක්ලිනික් එකට එන අම්මලා සීයේට අනූනවයක්ම කියන්නේ ළමයින්ට කවාගන්න බෑ අරකයි මේකයි කියලා.
ඒත් තමුන්ගේ දරුවට කන්න දෙන්න දෙයක් නැතිකමින් තමුන් කොයිතරම්නම් දුක්වෙන්වද කියලා විනීතට සිහි වුනා ..
"කෝ මේ ත්‍රිපෝෂ පැකට් දෙක"  ...පොඩි කෙල්ල අඬන නිසා ත්‍රිපෝෂ ගුලියක්වත් හදලා දෙන්න හොයන විනීතාගේ ඉහමොළ රත් වුනා .... "දෙයියනේ ..කොහෙද මම ඒක දාලා ආවේ ..." 

ගියේ කඩේට විතරයි සීනි සීයක් ගන්න .. කඩේ පරිප්පු ගෝනිය උඩින් ත්‍රිපෝෂ පැකට් දෙකත් එක්ක මල්ල තියලා සීනිවලට සල්ලි දුන්නා ..

 අනේ දෙයියනේ ඒ ටික එතනින් ගෙන්න බැරිවුනාද ? ලමයව ආපහු උකුලේ තියාගත්ත විනීතා පාර දිහාට ගියේ කඩේට ගිහින් බලන්න , දැන් ඕක ගන්නත් සාන්තයගේ ඇස්දෙක ඉස්සරහ හිටගන්න වෙන එක ගැන විනීතටනම් දැනුනේ අපුලක්,

මොකද සාන්ත ගෑනු දිහා බලන්නේ හරියට උන් හෙළුවෙන් කඩේට එනවා වගේ කියලා හිතාගෙන
.
 මුදලාලිගේ මල්ලි සාන්ත, කඩේ ඉන්න වෙලාවට පොල් ගොඩේ පැත්ත මාරු වෙනව කියලා කඩේ ළඟ රස්තියාදුවෙන පිරිමි ඔක්කොම කතාවෙන බව සුමනේගේ කතා වලින් විනීතටත් දැනිලා තිබ්බා , වෙනදට කඩේ එළියෙන් ගිහින් තෝරගන්න පොල් ,සාන්ත ඉන්න දවසට එලියපැත්තෙන් වටකරලා කඩේ ඇතුල් පැත්තෙන් ගිහින් තෝර ගන්න ඕන. එහෙම දෙකට නැවිලා පොල් තෝරන ගෑනුන්ගේ පස්සපැත්ත දිහා සාන්තයා කෑදර විදිහට බලනවා විනීතටත් කීප සැරයක්ම ඇහැ ගැහිලා තිබ්බා .

  කරන්නම දෙයක් නැති කමට නොනවත්වා අඬන පොඩි කෙල්ලගේ ඔලුව අත ගගා විනීතා කඩේ පැත්තට ගියා ... 

*******

දූවිලි පිරුන පාරේ ඈතින්ම වැනි වැනි ආපහු ගෙදර එන සුමනේ දැක්කම විනීතාගේ හිතට හැමදාම දැනෙන කලකිරීම ඒ විදිහටම අඩු නැතුව දැනෙන්න ගත්තා . තමුන්ට මූසලී කියා කියා හැමතිස්සෙම බැන්නට උදේ පාන්දරම මොනවා හරි ජරාවක් කටේ ගාගත්තම හරිම සිරියාවයි කියලා මේ මනුස්සය හිතන් ඉන්නවද දන්නේ නෑ.

" සිරිසම්බුද්ධ රාජා වඳිම්.... මුනි සෑසී පියාණන් වඳිම්........" සිංදුවක් මහා සද්දෙට කියාගෙන පාර පුරාම යන සුමනේ දිහාවත් නොබලපු විනීතා කඩේ පැත්තට ඇදුනේ වේගයෙන් ..

ඒත් කඩේ ලංවෙනකොටම විනීතාගේ ගමන් වේගේ ආයෙමත් බාල වුනා , ඒ ආනන්ද තමුන්ගේ මූණටම හම්බවෙන විදිහට ඉස්සරහට එනහැටි දැකලා. මග අරින්නනම් විදිහක් නැති පාටයි .

" ආ විනීතා නංගි ..මං මේ ඒ පැත්තට යන ගමන් ...."

"ආ යන්න අයියේ සුමනේ ගෙදර ඇති මම කඩේට දුවලා එන්නම් .."

"නෑ දැන් යන්න ඕනේ නෑ .ඔයාව හම්බ වුනානේ .."

" මොකක් ....?"

"ඔව් මෙන්න මේක ගන්න ..." කවරෙක දාපු යමක් විනීතා දිහාට දික් කරන ආනන්ද දිහා වීනීතා බැලුවේ පුදුමෙන් වගේ ..

"දෙයියනේ ත්‍රිපෝෂ පැකට් දෙක ...." අනේ පින් ආනන්ද අයියේ මට මේක කඩේ අමතක වෙලා ගිහිං..."

" හඃ...අමතක වෙලාද"

"ඇ ..ඇ.. ඇයි ආනන්දයියේ ..."

" අමතකවීම මන්දන්නේ නෑ නංගි... උඹේ මිනිහා දැන් ටිකකට කලින් මේක අරන් ඇවිත් මුදලාලිගෙන් කීයක් හරි ඉල්ලුවා මේක තියාගෙන දෙන්න කියලා"
"මට හිතුනා එකත් එකටම මේ උඹ ඊයේ කකුල් කඩුත්තුව හැදෙනකන් පෝලිමේ හිටගෙන ඉඳලා ගත්ත ත්‍රිපෝෂ පැකට් දෙක වෙන්න ඇති කියලා"
"ඒ පාර මම ඌට රුපියල් සීයක් දීලා ඕක ගත්තේ,නැත්තම් මුදලාලියා ඕකත් කාට හරි විකුනනවා මිසක් ආපහු දෙන්නේ නෑ , මට මතක් වුනේ පොඩි කෙල්ලව ..ඔන්න ඕක අරන් පලයන්..."

ආනන්දගේ කතාව ඉවරවෙන්නත් කලින් විනීතා ආවට වඩා වේගෙන් ගෙදර පැත්තට දුවන්න ගත්තා. 

"නංගී .......නංගී......... විනීතා.... දැන් ගෙදර ගිහින් අරූව අවුස්සා ගන්නවා හෙම නෙවෙයි ..." ආනන්දගේ කටහඬ ඈතින් ඇහුනත් ඒ වෙනුවෙන් නවතින්න විනීතට හිතුනේ නෑ ...

******* 

ලේ පිරුණු කැත්තත් අතින් අරගෙන පොලිස් ජීප් එකට ගොඩවෙන විනීතයි ,පොලිස් කාන්තාවක් වඩාගෙන හිටපු විනීතාගේ පොඩි කෙල්ලගේ මූණයි දැකපු සුමනේලගේ වත්තට පිරුණු සෙනග අතරේ හිටපු ආනන්ද ඔලුවේ අත ගහ ගත්තේ මොකද කියල ළඟ ඉඳන් ආනන්ද දිහා බලපු සාන්තට තේරුනේ නෑ 


Monday, April 28, 2014

නිරුවත් කරන්න




නිරුවත හැමවිටම විවාදාත්මකයි ......නිරුවත අසංස්කෘතික වචනයක්ද ? අසභ්‍ය වචනයක්ද ? කොහොමවුනත් ජීවිත කාලය තුල අපි කීදෙනෙක් ඉදිරියේ නිරුවත් වෙනවා ඇතිද ?

කලබල වෙන්න කාරී නෑ ......කෙනෙකු ඉදිරියේ නිරුවත් වෙනවා කියන්නේ සළුපිලි උනා දැමීම පමණක්ද ?

ජීවිත කාලය තුල පෙම්වතා - පෙම්වතිය, බිරිඳ - සැමියා ඉදිරියේ පමණද නිරුවත් වෙන්නේ ....නැවතත් මේ කතා කරන්නේ සළුපිලි උනා දැමීම ගැන (පමණක්) නොවෙයි .

සිත ගත් යුවතිය ඉදිරියේ ....සෙනෙහෙවන්තයා ඉදිරියේ සිතුවිලි ...නිරුවත් වී නැද්ද? සිතින් පමණක් පෙම්කල නුදුටු පෙම්වතිය ,පෙම්වතා  ඉදිරියේ හැගීම් නිරුවත් වී නැතිද ? චමත්කාරජනක සිතුවිලි  පහලවූ පමණින්ම සිතුවිලි හැගීම් බිඳෙන් බිඳ නිරුවත් වන්නේ අපිටත් නොදැනුවත්වම ..

එහෙනම් නිරුවත්වීම සුන්දර නොවේද?

හදවත හඳුනාගන්නතුරු ඒ හදවත හිමිකාරියගේ / හිමිකරුගේ දෑස තුල කිමිදෙන්නට ..ගැඹුරටම  කිමිදෙන්නට ලැබීම අතිශයින් චමත්කාරජනක නොවේද ?

එහෙම වුනාම හිතිලා නැද්ද ලෝකය කොයිතරම් සුන්දරද කියලා ..

ඇසෙන නොඇසෙන සරින් වදනක් දෙකක් දොඩනවිට හදවතට දැනෙන ඒ නුහුරු හැගීම කොයිතරම් නම් ආහ්ලාදජනකද?

ඇත්තෙන්ම හදවතක් හඳුනාගන්නතුරු...හදවතකට අතුලුවෙනතුරු ගෙවන ඒ කාලය කොයිතරම් සොඳුරුද ?..........ඒ නිරුවත්වීම ...ඒ ලෝකය ...ඒ ජීවිතය කොතරම සොඳුරුද ?

අද ලෝකය අයිති තරුණයන්ටයි ..... වයසින් නොව සිතින් තරුණ හැමකෙනෙකුටම ...

හේෂාන් ගොඩිගමුව - චාමින්ද රත්නසූරිය - නදීක ගුරුගේ යන තරුණයින් තුන් කට්ටුවේ ගායන, ගීතරචන සහ සංගීතමය ප්‍රයත්නයන්ගෙන් හැඩ ගැන්වුණු මේ ගීතය විඳින්න ......

අහන්න එපා ...බලන්න එපා .....විඳින්න................ ජීවිතයේ ...ලෝකයේ සහ නිරුවතේ ආශ්වාදය විඳින්න







නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

නිරුවත..... වුනත් එතකොට සොඳුරුද කෙතරම් 

ඇස්දෙක අරින්න හෙමි හෙමීට 
ඉඩදෙන්න ගැඹුරට කිමිදෙන්න.....//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ලෝකය ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

වදනක් දෙකක් දොඩන්න නෑසෙන සරින් 
ඉඩදෙන්න වචනතර රැඳෙන්න ...............//
හඳුනා ගන්නා තුරු ඔය මුදු හදවත 
හඳුනා ගන්නා තුරු.....................//

ජීවිතේ..... වුනත් එතකොට සොඳුරුද කෙතරම්

නිරුවත් කරන්න හැගීම් එක දෙක 
නිරුවත් කරන්න සිතුවිලි බිඳ බිඳ ...//


පද රචනය - චාමින්ද රත්නසූරිය
සංගීතය     - නදීක ගුරුගේ
ගායනය     - හේෂාන් ගොඩිගමුව