මිත්තරයෝ ටික

Thursday, July 18, 2013

කවි පොත

"චිත්‍ර සර්ගෙ කෙටිකථා පොත ලියලා ඉවරයිලුනේ    "

"කව්ද ලොකු සර් කිව්වේ......"

"අරුන්දතී මිස් ඔය හැමෝටම කියන්නේ .....චිත්‍ර සර් ගැන අපි නොදන්නා කොච්චර දේවල් දන්නවද අරුන්දතී මිස්.."

ලොකු සර් ඒ ටික කිව්වේ සේපාල දිහා කන්නාඩිය අස්සෙන් අමුතුවිදිහට බලන ගමන්. ඒ බැල්මේ අවඥාසහගත ගතියයි , අවලං ගතියයි දෙකම මිශ්‍ර වෙලා තියෙනවා කියලා සේපාලට හිතුනා.

සේපාල චිත්‍ර උගන්නන ඉස්කෝලෙම ගෘහ විද්‍යාව උගන්නපු අරුන්දතී මිස්ගෙ මහත්තයා පලාලි කෑම්ප් එකට කොටිගපු වෙලාවේ අතුරුදහන් වුනාම, රණවිරු බිරිඳකගේ වීරත්වය ගැන දේශනා කරපු ලොකු සර්, ඒ සිද්ධියෙන් මාසයක් යන්නත් කලින් අරුන්දතීව කාර්යාලේදීම ඉඹින්න ගිහින් කුඩමිටි පාර කාපු හැටිත්, කවුරු නැතත් ඔයාට මම ඉන්නවා කියලා ලොකු සර් තමුන්ට අයුතු යෝජනාවක් කරපු හැටි අරුන්දතී අඬ අඬා තමුන් ගුරු විවේකාගාරයේදී කියපු හැටිත්, එවෙලේ එතෙන්ට අහම්බෙන් ආපු කා.කා.ස. පියසේන එවෙලේ ගුරුවිවෙකාගාරයේ කවුරුත් නොහිටපු එක ගැන අතන මෙතන නොහොබිනා කතා කියපු හැටිත් , ඒ සිද්ධිය දැනගත්ත ලොකුසර් එදා ඉඳං තමුන්ට හින්ට් පාස් කරන්න පටන්ගත්ත හැටිත්  දම්වැලක පුරුක් එකටෙක ඇමිනිලා තියෙනවා වගේ එකදිගට සේපාලගේ හිතේ මැවී පෙන්න වුනා.

කොහොමත් විශ්‍රාම යන්න ඔන්‍න‍ මෙන්න කියලා හිටපු ලොකු සර් ගැන සේපාලගේ හිතේ ඒතරම් හොඳ ප්‍රතිරූපයක් තිබුනෙම නෑ.

"ඒවයින් මට වැඩක් නෑ සේපාල සර්, දැන් පොත දොරට වඩින උත්සවයක් එහෙම ගන්න අදහසක් නැද්ද?

තමුන්ගේ ලේඛන කලාවට උපහාසයක්‌ මිස උපහාරයක්‌ කවදාවත් නොකරපු ලොකුසර් මේ මොකාටද එන්න හදන්නේ කියලා සේපාලට හිතාගන්න බැරිවුනා.

"එහෙම අදහසක් නෑ සර්..... හෙමීට පබ්ලිෂර් කෙනෙක් අල්ලලා ,පිටපත් පන්සීයක්‌ විතර එලියට දානවා , හම්බෙන සීයෙට දහයෙන් ලොකු වැඩක් කරන්න අමාරුයි සර්."

"එහෙම නෙවෙයි සේපාල අපි මේක ටිකක් ලොකුවට කරමු. ඇමතිතුමාව ගෙන්නලා,හොඳ උත්සවයක් එහෙම තියලා .....................'

"අපෝ සර් ඇමතිලානම් එපා....."සේපාල කිව්වා නෙවෙයි කියවුනා.

ලොකුසර්ගේ මුණ වෙනස් වුනත් අමාරුවෙන් ඒක නොපෙන්වාම ලොකුසර් අයෙත් කතා කළා.

"ඒ මොකද සේපාල..."

"නෑ සර්.... මතකනේ එක සැරයක්  සාහිත්‍ය උත්සවයකට අර වංශනාථ ඇමතිතුමාව ගෙන්නලා මහල්ලා සහ මුහුද කතාව ලිව්වේ ගී ද මෝපසාං කිව්වේ... ඔය උදවියට ඉතිං මේවගේ දේවල් හොයලලා බලන්න වෙලාවක් නෑනේ සර්... දවසකට කීයක්‌ කියලා වැඩද ඉතිං.

සේපාල ඒ වචන ටික අමාරුවෙන් හදලා කිව්වේ ලොකුසර් ගෙ දේශපාලන සම්බන්ධකම් හොඳින් දන්නා නිසායි හෙට අනිද්දා ගෙදර යන මනුස්සයාව මොකට තරහ කරගන්නවද කියලා හිතුන නිසයි කියන සිතුවිලි දෙකම එක සැරේ හිතට ආපු හන්දා.

"හැබෑටම ඒ පොත් ලිව්වේ කවුද චිත්‍ර සර්.....?"

අනේ අම්මපා මෙහෙමත් ගුරුවරු, නොදන්න එකත් අරුමයක් නෑ ඉතිං ඇමතිලාට පින් සිද්ද වෙන්නම විදුහල්පති ශ්‍රේණියට ආවා මිසක් මොන සුදුසුකමක් කියලද?

" ආ .... මේ  ඒක ලිව්වේ අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයනේ සර්......."

 කා.කා.ස. පියසේන එලියට ගිහින් බෙල් එක ගැහුවේ ඔය අතරේ.

"මං එන්නං සර් එකොළහේ පන්තියට චිත්‍ර...................."

සේපාල ඒ ටික කියනකොටම කාර්යාලයට කෙලින්ම පේන එකොළහේ පන්තියෙන් අරුන්දතී මිස් එලියට බහිනවා ලොකු සර්ටයි සේපාලටයි දෙන්නටම පෙනුනා.

"හා හා හොඳයි...ඔහෙලටනං  ඉතිං හෙමිංවේ නෙවෙයි හයිවේනේ......."

ලොකු සර් ඒ ටික කියමින් අරුන්දතී මිස් යන දිහාව බලපු හැටියට සේපාලට චික් කියලා හිතුනා.      "නාකිවිසේ ගෙටත් උසේ කියන්නේ නිකං යැයි"

..................................................................................................................................................................


"අන්න චිත්‍ර සර්ට ලොකුසර් එන්න කිව්වා......"දුවගෙන ආපු එකොළහේ පන්තියේ ශිෂ්‍යනායක සමීර හති දම දමා කිව්වේ සේපාල ගුරු විවේකාගාරයේ වාඩිවෙන්න හදනකොටමයි, ඒ වෙනකොටත් උණුවතුර බෝතලෙන්
කෝප්පෙට දාල අරුන්දතී මිස් දීපු තේ එක සේපාලගෙ අතේ. තේ උගුරක්‌ බීලම යනවා කියලා හිතාගෙන බිව්වත් තේ එකේ රස්නෙට කටයි දිවයි පිච්චුනු සේපාලට කඳුළු ආව.
.......................................................

"ආ............ ලේකම් මහත්තයා මේ තමයි සේපාල සර්... අපේ චිත්‍ර සර්.....
සේපාල සර් මේ අපේ ඇමතිතුමාගේ සහකාර ලේකම් දිසාසේකර මහත්තයයා......."

මූනේ ලේ කඳුලක් නැති පොන්ටින් කට් එක තියාගත්තු අවුරුදු හතලිහක විතර ටයි පොලු කාරයෙක් සේපාල  දිහා නොබලාම  "දැන් ඔය පොත මොකක්ද?  "

"කෙටි කතා පොතක් ලේකම්තුමා...." අම්මටසිරි ලොකු තැන පැනලා දෙනවා.


"සේපාල මම ඇමතිතුමා එක්ක කිව්වා සේපාලගේ පොත ගැන .....ඇමතිතුමා වුනත් බොහොම කැමතියි අංකුර කලාකරුවොන්ට අත දෙන්න, මොකද ඇමතිතුමා සාහිත්‍යකාමියනේ.......නැද්ද ලේකම් තුමා"

"හ්ම්ම් හ්ම්ම්"

සාහිත්‍යකාමියා ආච්චිගේ රෙද්ද ....සාහිත්‍යකාමියා නෙවෙයි කාන්තා ලෝලියා  සේපාලට එහෙම හිතුනත් එහෙම කිව්වේ නෑ.

"ඒ ගමන  ඇමතිතුමා කිව්වා ලේකම් තුමා එක්ක සියල්ල කතා කරගන්න කියලා, එහෙනම් ලේකම් තුමා අපි දිනේ දැනුම් දෙන්නම්, කතා කරගත්තු විදිහට වැඩටික කරමු."

'"හ්ම්ම් මම ගිහින් එන්නම් ලොකුසර් එහෙනම්.....එන්නම් මිස්ටර් සේපාල"

"හොඳමයි සර්..." නොද්දකින් ඒ ගමන් උඹ මෙවුන්ටත් සර් කියනවද? සේපාලගේ හිත කෑගැහුවා වගේ සේපාලට ඇහුනා.

"සේපාල ...අපි හිතුවේ පොත දොරට වැඩීම ටිකක් උත්සවාකාරයෙන් ගන්න. ඇමතිතුමා නගරාධිපතිතුමාට කතා කරලා නගරසාලාව බුක් කරලා දෙන්නම් කිව්වා. හොඳට උත්සවේ ගනිමු."

"සර් ..ඒත් මේ...."

"ඕවට සල්ලි නේද? සේපාල මමත් හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මිනිහා. මගෙනුයි කියලා මේ රටට සේවයක් වෙන්න එපැයි. ඒ ඔක්කොම මම බලාගන්නම්. සේපාල එදාට වෙලාවට ආවාම විතරක් ඇති. සේපාල පොත් ටිකක් ලැස්ති කරගන්න එදාට අරධිතයන්ට පිළිගන්වන්න." කියද්දීම මෙසේ උඩ තිබුණු ලොකුසර්ගේ මොබයිල් එක රිං වුනා..................."ආ ඇමතිතුමා .......ඔව් ඇමති තුමා........"

ලොකුසර් දෙකට තුනට නැවි නැවී කතා කරන හැටි බල බලා සේපාල කාර්යාලයෙන් එලියට බැස්සේ, සිද්ධ  වුනේ මොකක්ද කියලා තාමත් හරියට හිතාගන්න බැරුව වගේ.

'යකෝ පොත මගේ ...මුන් ඔක්කොම තීරණේ කරලත් ඉවරයි. මොකක්ද ලොක්කට මෙච්චර තියෙන කැක්කුම.
අරුන්දතී මිසුයි සේපාලයි මේ ගැන ගොඩක් වෙලා කතා කලේ ඇත්තටම මේ විපරියාසේ හිතාගන්න බැරුව.

"කමක් නෑ සේපාල ඔයාගේ පොතට ලොකු ප්‍රසිද්ධියක් වත් ලැබෙයිනේ මොක නැතත් ඒ මදෑ......" අන්තිමට අරුන්දතී කියපු ඒ කතාවට එකඟ වෙනවා ඇර විකල්පයක් සේපාලටත් හිතාගන්න බැරිවුනා.

.................................................................................................................................................................
ඊළඟ සතියෙම ඉස්කෝලේ මාතෘකාව වුනේ පොත දොරට වැඩීම, සේපාලටත් නොදැනුවත්වම සේපාලට ටිකක් විතර ආඩම්බර ගතියක් මැවුනා. යන යන තැන හැමෝම මගේ දිහා බලනවා නේද කියලා හිතෙනකොට සේපාලට ලොකු සර් ගැන කවදාවත් නොතිබුණු ලෙන්ගතුකමක් දැනෙන්න ගත්තා. වෙනදා සේපාලව ගණන් නොගත්තු ටීචර්ලා සර්ලා දැන් සේපාල හොයාගෙන් ඇවිත් ගුඩ් මෝනිං කියන්න හිනාවෙන්න ගත්තම සේපාලට සියුම් ආඩම්බරයක් දැනුනා.

................................................................................................................................................................
ඉස්කෝලේ ළමයිනුයි ස්ටාෆ් එකයි ගෙනියන්න ඇමතිතුමා බස් දෙකක් ඉස්කොලෙටම එවලාතිබුනා, ඉස්කෝලේ සර් කෙනෙක් ගෙ පොතක් දොරට වඩින වැඩක් නිසා කලාපේ ඉස්කෝල හැම එකකම ගුරුවරු ඔක්කොටම ප්‍රවාහන් පහසුකම් දීලා උත්සවේට ගේනවා කියලා ලොකුසර් කිව්වම සේපාලට පුදුම ආත්ම අභිමානයක් දැනුනා. හරියට තමුන්ට බුකර් සම්මානේ ලැබුනා වගේ හැගීමක් තමයි සේපාලට ඇතිවුනේ.

පොතේ පිටපත් එකසිය පනහක් ත්‍රීවීල් එකකට දාගත්තු සේපාල නගර සාලාව පැත්තට යනකොටම අහුවෙච්ච ට්‍රැෆික් තදබදේ නිසා හිටියේ නොඉවසිල්ලෙන්,

කාලකන්නි යක්කු මෙච්චර කල් ගිහිල්ලා ප්‍රින්ට් පන්සීය ඉවර කරගන්න බැරිවුනානේ, ඒක තියාගත්තා අන්තිම මොහොත වෙනකං    "තදබද වෙච්ච වාහන අස්සේ හිරවෙලා ඉන්න අතරේ සේපාලට කේන්තියෙන්  එහෙම හිතුනේ මූනේ කුරුලෑවක්‌ මිරිකන ගමන් ,චිරිස් ගාල කුරුලෑව කැඩෙනවත් එක්කම විසිවෙච්ච ලේ බින්දු දෙකතුන ඉක්මනට පිටිඅල්ලෙන් පිහිදගත්තේ ත්‍රීවීල් එකේ කන්නාඩියෙන් මූණ බලන ගමන්.

"ශික් නවය වෙන්න කලින් යාගන්න බැරිවෙයිද දන්නේ නෑ."

"මල්ලි කොහෙන් හරි දාලා ඉක්මනට යමු...මට හදිස්සියි,...."

"හදිසි වුනාට උඩින් යන්නැයි මහත්තයා.......දැන් ළඟනේ පොඩ්ඩක් ඉවසලා ඉමු..."

 වෙලාව බලන්න අත දිහා බලනකොට තමයි සේපාල දැක්කේ හදිසියට ඔරලෝසුව බැඳගෙනත් නැතිබව. අපරාදේ මේ උත්සවේටම බඳින්න කියලා අරුන්දතී ගෙනත් දීපු ඔරලෝසුව. දැන් තරහ වෙයිද දන්නේ නෑ.

කොහොම  හරි සේපාල නගර සාලාවට යනකොට විනාඩි හතළිස්පහක් විතර පරක්කුයි.... ශික් මේක මනමාලයා නැති මගුල් ගෙයක් වෙලාද දන්නේ නෑ. සේපාල පොත් බෑග් එකත් කරේ ගහගෙන නගර සාලාව දිහාට දුවගෙන් ගියේ නොඉවසිල්ලෙන්,

සේපාල්ගේ හිතට අමුත්තක් දැනුනේ ඇමති තුමාගේ පක්ෂේ පාටින් මුළු නගර සාලාවම සරසලා තිබුන නිසයි,
"තැන වැරදුනාවත්ද?" ඒත් එක්කම ඇමතිතුමා ලොකුසර් එක්ක හිනා වේගෙන ඉන්න කටවුට් එකක් ඇතුල් වෙන දොර ලඟම තියෙනවා දක්කම් සේපාල්ගේ හිතේ සැකය ටිකක් දුරුවුනා..ඒත් මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා, ඒ මොකක්ද කියන්න සේපාලට තේරුනේ නෑ.

"ඕයි ...ඕයි  කොහෙද දුවන්නේ , මොනවද ඔය" . හයේ හතරේ ඇමති ආරක්ෂකයෙක් සේපාලව බෑග් එකෙන් අල්ලලා ඇදලා ගත්ත විදිහට සේපාල කැරකිලා ගියා.
"කොහෙද තමුසේ ගාල කඩාගෙන වගේ දුවන්නේ, මොනාද ඕකේ"

"මේක මගේ උත්සවේ... මගේ පොත දොරට වඩිනවා අද..ඒකට තමයි ඇමතිතුමාත් ඇවිත් ඉන්නේ"

සේපාල ඒක කියනකොට එම්.එස්.ඩී. කාරයාගේ මුනේ තිබ්බ හිනාව දැක්ක සේපාලට මිනිහගේ හොම්බට අනින්න හිතුනා. එතකොටම එතනින් සාලාව ඇතුලට යන්න ආපු පොන්ටින් කට් කාරයා සේපාලව දැක්ක.

"ඈ  හලෝ .. තමුසේ දැන්ද එන්නේ.... කෝ පොත් ටික."

"මේ තියෙන්නේ සර්......." හොඳ වෙලාවට මේ යකාඅවේ නැත්තම් මගේ උත්සවේට මටම යන්න බැරිවෙනවා..

"අයි.පී. ජයසේකර ...මේ පොත් බෑග් එක ස්ටේජ් එක පිටිපස්සේ ඉන්න ඩබ්ලිව්.පී.සී. ඉනෝකාට දෙන්න , ඉක්මනට පාර්සල් කරලා අර ලේබල් ටික ගහන්න කියන්න. කෝ තමුසේ එනවා... මොකක්ද නම කිව්වේ.

"සේපාල සර් "

"සේපාල සර්?'

"නැහැ සර්... මගේ නම සේපාල"

"ආ ඒක මිසක්....එනවා. ඔය දෙවැනි පේලියේ තුන්වෙනි පුටුවේ වාඩිවෙනවා....." කියාගෙන ලේකම් රැව්ලා ස්ටේජ් එකට නැග්ගා.

"දෙවැනි පේලියේ...? යකෝ මගේ උත්සවේ මම දෙවනි පේලියේද?"..... තුෂ්නිම්භූත වුනු සේපාල පියවි ලෝකෙට ආවේ මහා හයියෙන් වැදුණු අත්පුඩි සද්දෙට..

ඇමති තුමාගේ කතාව......ආ... ලොකුසර් ස්ටේජ් එක උඩ.... මොකක්ද මේ වෙන්නේ.

"ආදරණීය අම්මේ තාත්තේ....අද ඔබ හැමටම විශේෂ දවසක්. කන්නංගර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා , ලබන මාසේ විශ්‍රාම ගියාට පස්සේ එතුමා ඔබ සැම වෙනුවෙන් ,නැවත සේවයට එන්න ලෑස්තියි, මෙච්චර කල් එතුමා ඔබතුමන්ලාගේ දරුවන්ගේ දෑස් පෑදුවා, මින් පස්සේ එතුමා ඔබ සැමට අත හිත දෙනවා. අපේ පක්ෂෙට ආණ්ඩු පක්ෂෙන් ලැබෙන කෝටාවෙන් මෙදාපාර පලාත්සභාවට ඉල්ලන්නේ අපේ විජේතුංග විදුහල්පතිතුමා..............................කන් බිහිරි කරවන අත්පුඩි සද්දෙන් පස්සේ ඇමතිතුමා අයෙත් කතා කළා...

අද එතුමා අපිත් එක්ක මේ ගමන ආරම්භ කරන්නේම සමාජ සේවා දෙකකින්,
ඒ මොකක්ද.....? එතුමාගේ වියදමින් මිලට ගත්තු ආධුනික ලේඛකයෙකුගේ  කවි පොත් දහය බැගින් ඔබ තමුන්නාන්සේලාගේ විදුහල් වල පුස්තකාලවලට පිරිනමමින්. මෙයින් ඔබගෙ පාසලේ පුස්තකාලයට පොත් ලැබෙනවා වගේම  ආධුනික ලේඛකයෙකුට ආර්ථික ශක්තියක්ද ලැබෙනවා ..............................................................................................................................

 ස්ටේජ් එකේ හිනා වෙවී ඉන්න ලොකු සරුයි , යටිගිරියෙන් බෙරිහන් දෙන ඇමැතිතුමයි සේපාලට බොඳ වෙවී පෙන්න ගත්තා,.........................සේපාලට පෙනුනේ මුළු ලෝකෙම වේගෙන් තමන් වටේ කැරකෙනවා වගේ............

ආධුනික ලේඛකයා.....? කවිපොත්.......?


දඩස්......

අන්න  අන්න මනුස්සයෙක් කලන්තේ දාලා වැටුනා....කියලා කවුදෝ කියනව හීනෙන් වගේ සේපාලට ඇහුනා...... වැටිලා ඉද්දි තමන්ට පෙනුණු තමුන්ගේ වම් අතේ ඔරලෝසුව බැඳලා නෑ නේද කියලාත් ඒ ඔරලෝසුව මේ උත්සවේට බැඳගෙන එන්න කියලා අරුන්දතී දීපු එක නේද කියලා සේපාලට අයෙත් පාරක් සිහිවුනේ කවුදෝ තමුන්ව උස්සලා ගද්දි........................

55 comments:

  1. ඉතාම අපුරුයි...!
    දිගටම ලියන්න දිරි!!

    ReplyDelete
  2. ඇත්තටම නි‍යමයි ඉවාන් , නියමෙටම ලියල තියනවා .අනුන්ගේ දේවල් විකුණගෙන කන උන් වගේම අනුන්ගේ පහනින් එලිය බලන උන් තමයි අද සමාජේ වැඩිපුර ඉන්නේ ,උදව් කරන මුවාවෙන් තමන්ගේ වාසිය හොයන උන් ! ඔබේ ලිවීමේ හැකියාව ඉහලයි යාළුවා ..මගේ සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි, උදේ හවස අපිට මුණගැහෙන අයගෙන් ගොඩදෙනෙක් මේ ගොඩේ තමයි.

      Delete
  3. ප්‍රේමදාස මහත්තයා පොත් ලියපු එකයි. දේශපාළකයෝ තීරු ළිපි ලියන එකයි මතක් උනා..

    අරුන්දතීත් එක්ක සීන් එක "නැගලා" යන බව වටෙන් කියන එක බොහොම අපූරුයි..

    ඒ වගේම මොන තරම් විප්ලවීය අදහස් තිබුනත්, මමත්වය එලි බහින එකත්, කින්ඩියෙන්ම ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අද ලෝකේ වගේම මිනිස්සුත් විෂමයි , කිසිම කෙනෙක්ව මතුපිටින් බලලා විනිශ්චය කරන්න බෑ. විශ්වාස කරන්නත් බෑ. ලොකුසර්ලා වගේම අරුන්දතීලාවත්....අවසානයේ හැමෝම හැමෝටම රැවටිලා.

      Delete
    2. //විශ්වාස කරන්නත් බෑ. ලොකුසර්ලා වගේම අරුන්දතීලාවත්....//

      ඇයි අරුන්දතී?

      Delete
    3. ආයෙත් සැරයක් කියවලා බලාන තේරෙයි...!

      Delete
  4. ඔය තත්වයට පත් වෙන සේපාලලා, අරුන්දතීල කොච්චර නම් ඇද්ද...

    ReplyDelete
    Replies
    1. අනන්තවත් ඉන්නවා චන්දන....ස්තුතියි අදහසට.

      Delete
  5. නියමයි, වෙනදා වගේම ඇගට දැනෙනවා කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලැක් පූමා ..

      Delete
  6. බොහොම අගෙයි... තාත්වික ලියවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර පිලිගන්නවා සාදරෙන්.. දිගටම එන්න.

      Delete
  7. හ්ම්ම්...සේපාල අරුන්දතී.......ප්‍රින්සිපල් හැමතැනම..අපි අතරම.....

    ReplyDelete
    Replies
    1. ඔව්... හැමතැනම තියෙන චරිත ටික. නම් විතරයි වෙනස් වෙන්නේ.

      Delete
  8. රැවටීම තමා හැම තැනම වගේ තියෙන්නේ.... බොහොම ලස්සන ලියවිල්ලක්.....

    ReplyDelete
    Replies
    1. වගේ නෙවෙයි සමනලී, හැමතැනම රැවටිල්ල තමා ,තැන්කු වේවා.

      Delete
  9. ලියවිල්ල සුපිරියි.
    අද කොල්ලයි,බල්ලයි මදිවට ලොකු සර්ලත් ඔය ජරා ගොහොරුවට වැටෙන්න තමයි බලන්නෙ.
    අපේ කාලේ ලොකු සර් ල ඉදල හිටල තට්ටම පුපුරන්න වේවැල් පාරක් දුන්නත් ඒ අතින් දෙවිවරු.
    (අපේ ඩ්‍රැකී මලය ගොඩක් දවසකින් දැක්කෙ නැහැ.)

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලේ පිනාත් පැන්ෂන් ගිය ගමන් කලේ චන්දෙ ඉල්ලපු එක. මමත් බැලුව කෙන්ජි අයියේ ඩ්‍රැකීයා කාලෙකින් පෙන්න නෑ.

      Delete
  10. මොකද බන් කියන්නෙ............................. හෑමදාම වගෙ නියමයි කියන්නම්. නිකමට නෙමෙයි ඈත්තටම එහෙම නිසා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම හිතෙනවද? එහෙනම් සතුටුයි, තැන්කු වේවා.

      Delete
  11. උඹ වගේ කෙටිකතා කාරයෙක් අපි අතර ඉන්න එක අපිට ලොකු හයියක් බං ඉවාන්. උඹ කියන්නේ මට මල පැනලා හිටියේ මේ සිද්දියට. උඹ අපේ හැඟීම් අවුස්සන්න දන්නවා නියමෙට.

    ReplyDelete
    Replies
    1. ඉවාන් අර සම්මානය බුර්කාද? බුකර්ද?

      Delete
    2. තැන්කු වේවා ඩුඩ්... ඇත්තටම සම්මානය බුකර් ... මට වැරදිලා ටයිපින් මිස්ටේක් එකක් , ස්තුතියි පෙන්වා දුන්නට , ඔන්න හැදුවා.

      Delete
  12. තමන්ගෙ මමත්වයට...ලැබෙන යසසට කලාකරුවො...ආසයිද..? කෑදරයිද..?
    සියුම්...උපහාසය උපරිමයි මචං..!
    අනික...ඩූඩ් ලියල තියෙනව වගේ...ආවේගයක් හිතට එන්නෙ..!

    ReplyDelete
    Replies
    1. අද කලාකරුවා නොදැනුවත්වම කෑදර වෙලා. ඇත්තටම හොඳ නිර්මාණයක් දකින්න නැත්තේ ඒකයි. ස්තුතියි වීයෝ.

      Delete
  13. එළකිරි කතාව...දිගටම ලියන්න ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා. සංචාරක කැමරාව.

      Delete
  14. බොහොම අගෙයි කතාව ගොඩ නගපු විදිය. මේකට හොද කමෙන්කටුවක් දේවි හන්ටර් සහන් හිටියනං. (ඌ ඇත්තටම හන්ටර් එකෙක්) විශිෂ්ඨයි ඉවාන්...මේ අවකාශේ නියම කෙටි කතාකරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඔබත් ඉක්මනටම ඒ තැනට ඒවි.. හැබැයි තව හොදට හිතන්න.. කතාව හිතින් ගොඩනගාගෙන. එතකොට මීටත් වඩා පරිපුර්ණ රසයක් අපට ඔබගෙන් ලැබේවි.. ජය වෙවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , දේශකයෝ.. මේ වගේ කොමෙන්ටු නිසා තමයි දිගටම ලියන්න හිතෙන්නේ. තව හොඳින් ලියන්න හිතනවා. මේ සහයෝගය නිසා බැරිවෙන් එකක් නෑ.

      Delete
  15. ඇත්තටම ආසාවෙන් කියවපු කතාවක්....
    හරිම අරුත් බරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කළු සහ සුදු.. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  16. චරිත,අවස්ථාව,කාශ්ත්ර්ය වෙනස් උනාට හැමදාමත් කොහෙත් වෙන්නෙ ඕක නේද?
    හිතලා බලන්න... කතා ටික පොතක් විදිහට එලියට දැම්මොත් මොකද?

    ReplyDelete
    Replies
    1. අනිවා.. එත් මම බැලුවා සංජීව මොකද පරක්කු කියලා. බලමු ඉස්සරහට...

      Delete
  17. නූතන සාහිත්‍ය කතිකාව හා දේශපාලනය. නිර්මාණකරුවා අතකොළුවක් වෙලා ඉබේටම.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් අයියා, එත් මට හිතෙනවා එකට නිර්මාණ කරුවාත් යම්තාක් දුරට වගකිව යුතුයි කියලා.

      Delete
  18. හීනෙ, අපරාධය සහ.. තරම්ම නං හොඳ නෑ. එත් නරකම නෑ. මේක මගේ අදහස , හිතිච්ච දේ කිව්වෙ.

    හැමදාම එක මට්ටමේ කතා ලියන්න බැරි බව දන්නවා. අවුලක් නෑ , ලියාගෙන යන්න. ආ, තව එකක්, ඇත්ත නම නොදා ආරූඪ නමින්ම හිටිය නං හොඳයි කියල හිතුනා. මමත්වය එලි බැහැල සේපාලයට වගේ කලන්තෙ ඇල්ලුවොත්, මං කැමතිම ලියන අප්පු කෙනෙක් නැතිවෙයි කියන බයටයි එහෙම කිව්වෙ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට....
      කලන්තේ අල්ලන එකක් නම් නෑ. එච්චර දුර යන්න අදහසකුත් නෑ, මේක මගේ කාලය අර්ථවත් විදිහට ගත කරන්න කරන වැඩක් ඇනෝ මලේ.

      Delete
  19. දැන් හැමතැනම ඔහෝමනේ..
    උඩ එකාගේ ඉදන් පහලට එනකම්ම රැවටිල්ල,බොරුව තමයි.
    මේ කතාව සුපිරියි බන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්, අපි හැමෝම ඉන්නේ මොකක් හරි රැවටිල්ලක තමයි.අපිම දන්නේ නෑ.

      Delete
  20. //අරුන්දතී අඬ අඬා තමුන් එක්ක කියපු ගුරු විවේකාගාරයේදී කියපු හැටිත්//

    කියපු කියලා දෙපාරක් වැටිලා නේද මචං

    මට උඹ ගැන හෙන ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. අම්මේ අටමා ඇවිල්ලා , ඔව් මචං තැන්කු වේවා පෙන්නුවට. ඔන්න හැදුවා, උඹ ආඩම්බර වෙන්න ඕන තමයි , මොකද උඹේ ප්‍රොඩක්ට් එකක් තමයි මේ බ්ලොග

      Delete
  21. සුපිරි කෙටි කතාවක්..ඉස්සර නම් පත්තරයක තිබුන කෙටි කතාවක් හරි කියෙව්වා..දැන් කියවෙන්නෙම නෑ... කොහොම උනත් පුළුවන් හැම වෙලේම මේ වගේ හොඳ කතාවක් කියවන්න ගොඩ වෙන්නම්

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අඩේ මචෝ උඹේ නම කියෙව්වම මට මතක වුනේ 'ගිරිපුර ඇත්තෝ" සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  22. කොමේන්ටුවක් කෙටුවෙ නැති උනාට ඔයාගේ බ්ලොග් එක කියවලා ඉවර කරා

    ReplyDelete
    Replies
    1. කියවලා ඉවරයි කියන්නේ එතකොට ආයේ එන්නේ නැද්ද මේ පැත්තේ? පිස්සු නම් කෙලින්න එපා හරිද?

      Delete
    2. "පිස්සු හැදෙයි මැස්සා මැරයි" කිව්වලු මම කිව්වෙ පරන ලිපි ටික කියවලා ඉවරයි කියලා. එහමත් කරනවද ඉවන්ට.

      Delete
    3. එක මිසක්, පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි නැත්තං.

      Delete
  23. විශිෂ්ටයි .එළඹ සිටි සිහියෙන් ලෝකය දකින්නෙක් නුඹ .(අද බොහෝ දෙනෙකුට නැත්තෙත් එයයි). තව තවත් ලියන්නට දිරි ලැබේවා .දිනකට පැය 3ක් වත් බ්ලොග් බලන නමුත් කොමෙන්ට් කොටන්නේනම් නැහැ මම.නමුත් මේකට කොටන්න හිතුන උඹට දිරියක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිසිර, ඇත්තෙන්ම ඔබගේ වදන් දිරියකි, දිගටම එන්න , හොඳ දෙයක් කරන්න දිගටම් උත්සාහ කරන්නම්.

      Delete
  24. ඔහොම කලන්තේ දානවා නම් ඉතිං සේපාලත් පැන්ෂන් ගියානම් හොඳා වගේ!

    ReplyDelete
    Replies
    1. සේපාලලා කොහොමත් පැන්ෂන් ගියා වගේ තමයි.

      Delete
  25. අපේ පිනා (පිනා නෙමෙයි පිනී) මතක් වුනා මේ කතාව කියෙවුවාම. උන්දැත් අනුන්ගෙ පානෙන් එලිය බලන්ට හරි දස්සි.

    අරුන්දතී මිස්ගෙ සීන් කෝන් එක නම් තේරුනා මදි. එයැයි ගැනත් ලොකු දෙයක් පේලි අතරෙ හංගලා තියෙන බව නම් දැනුනා.

    ReplyDelete
    Replies
    1. අරුන්දතී ගේ කතාව ඔයාලට කැමති විදිහට හිතාගන්න තමය ඉතුරු කලේ , මතකද ඉස්සර අපේ ජනාධිපති කෙනෙකුත් අනුන්ගේ කවි ,කතා සල්ලි දීලා අරගෙන තමන්ගේ වගේ දැම්මේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]