"ගැහුව නේද පොඩි එකාට, උඹට මම...."
"ඌයි.........."
අම්මා අයියාගේ කන මිරිකන විදිහ දැක්කම මට හිනත් යනවා.
ඒත් රිදුනා වගේ ඉන්න එකෙන් අයියට තව ටිකක් බන්නවන්න පුලුවන් නිසාමයි එහෙම හිටියෙ.
"දන්නැති දෙයක් ඇහුවම කියල දෙන්න පුතේ" ඒ පාරනං අම්මටත් දුක හිතිලා වගේ ඒ හෝතඹුවා ගැන.
"අහන්න නෙවේනෙ, එයා මගෙ මේසෙ උඩ තියෙන ඒවා අදිනවනෙ".
ඉතිං පුතේ ඔය කොරල් කෑලි ඕන තරං හොයාගන්න බැරියැ"
ඉතිං එයාටත් හොයාගන්න පුලුවන් නෙ එහෙනං."
""එයා තාම පොඩියිනෙ ඉතිං "
හැමදාම එතනින් කතාව ඉවර කරන්නෙ අයියා
"එයා කොහෙද පොඩි, මට වඩා අවුරුද්දයි බාල."
කියලා කියපු එකම දවසේ
"උඹෙත් දැං කට ඕනවට වැඩියි," කියලා අම්මගෙන් තව පාරක් කාපු එක මතක නිසා වෙන්න ඕන.
*******
අපේ අයියාගෙ ලොකුම විනෝදාංශය තමා මුහුදෙං අරං එන කොරල් කෑලි එකතු කරන එක. අයියා ඒ කොරල් ලස්සන පාට වලින් අමුතුම විදිහට පාට කරනවා.
අයියා ඉල්ලපු ගමන් තාත්තා තීන්ත, පින්සල් එහෙම ගෙනල්ලා දෙනවා. අයියා කාමරේ නැති වෙලාවට එහෙම පාට කරපු කොරල් දිහා තාත්තා ආසාවෙන් බලං ඉන්නව මම දැකලා තියෙනවා.
ඒ කොරල් කෑලි වල මට නං කිසිම ලස්සනක් නෑ. ඒ වුනාට පාට කලවං කරලා අයියා ඒවා පාට කලාම පුදුම ලස්සනක්, ඉතිං එතකොට ඕවා අරං බලන්න මට ආස හිතෙනවා. ඒ වෙලාවට අයියා කාමරෙට ආවොත් ගුටි සුවර්.
මම කොහොමත් තාත්තා ඉන්න වෙලාවට අයියා ගැහුවා කියලා අඬන්නෙ නෑ. මොකද එයා එක්ක බෑ. එයා දෙන්නම ගෙන්නලා නඩු අහලා අන්තිමට, අයියා අමාරුවෙන් කරන දේවල් මගෙ පුතා අවුල් කරන්න එපා කියලා ශේප් කරලා ඔලුව අතගාන එක තමා කරන්නෙ. ඒත් අම්මා ලඟට අඬාගෙන ගිය ගමං අයියා ටොක්කක් හරි කන්වමයි. ඒ නිසා මං මගේ ඉල්ලීම් දිනාගන්න බාවිතා කරන්නෙ අම්මා විතරක් ගෙදර ඉන්න ඒ රං දෙපැය තමා.
*******
මේක ටිකක් වෙනස් වුනා ටික කාලෙකට අයියා සිස්සත්තෙ පාස් වුනාම. ලංකාවෙංම අට කියන්නෙ. මල විකාර එදා. අම්මා එයාව බදාගත්ත ගමංමයි, මූණ ගෙවිලා ඇති අයියගෙ අම්ම ඉඹලම.
" පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නව ලමයො අයියට බඩගිනිත් ඇති" කියලා අම්මා කුසිසියෙ පදිංචි වෙලා හුඃ
හැබැයි ඒ උණුසුම කාලෙත් එක්කම ඉවර වුනා. අපේ අයියා කාලෙං කාලෙට වැඩ දානකොට ටික කාලෙකට මගේ වටිනාකම අඩුවෙනවා.
අයියා ඉස්කෝලෙ 17න් පහල ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් වුනාම
" මෙලෝ දෙයක් කරන්න එපා, ඉස්කෝලෙ වැඩක් කරන්නත් එපා, සෙල්ලමක් කරන්නත් එපා. දවසම ඕක ඔබපං" කියලා ටික දවසක් මට බනින එකයි, ආයෙ කාලෙකට ඒවා යට යන එකයි ඉතිං නෝමල්.
*******
එක දවසක් මම ආසම අයියා පාට කරපු කොරල් මලක් අයියගෙ කාමරේ තිබ්බෙ නෑ.
"අයියෙ,........අයියෙ........ඕයි"
"ඇයි ඕයි"
" කෝ අර මොනරපිල වගේ පාට කරපු කොරල් එක "
මගේ දිහා එක පාරම යටැහිං බලපු අයියා.
" ආ.....මේ... ඒක මේ ඉස්කෝලෙ සර් කෙනෙකුට දුන්නා, උපන්දිනේට."
"කොයි???"
"ඉස්කෝලෙ කිව්වට ටියුෂ්න් එකේ" කියපු අයියා කාමරෙන් එලියට ගියා සුටුස් ගාලා.
මුගෙ ලක්ෂ්ණ මට ඇල්ලුවේ නෑ.
හොඳයි බලමුකෝ
"පොඩි පුතා මේ අඬුව දීලා එන්න සුගත් අංකල්ට"
තාත්තා අතිං අඬුව ගත්ත මමසුටුස් ගාලා එලියට පැන්නෙ නැත්තං මේ සෙනසුරාදා එලියට යන්න් වෙන්නෙ නෑ මලාට.
"අංකල් අචිනි අක්කගෙ කාමරේ, කබඩ් එකේ ලොක් එක හදනවා, අනේ පුතේ එතනටම ගිහිං දෙන්නකො. අත් දෙකේම කොහොල්ලෑ ගාගෙන දොර ලඟට ආපු ශ්‍රියානි ඇන්ටි කිව්වා.
"සුගත් අංකල් අඬුව"
"ආ ඔය මේසෙ උඩිං තියන්න පුතේ"
මේසෙ උඩ අඬුව තියන ගමංම " මං යනවා අංකල්"
"හා හොඳයි පුතා"
යනවා කිව්වට මම එක සැරේම ගල් ගැහිලා වගේ ටික වෙලාවක් හිටියා,
"ඇයි පුතා"
"අඃ, නෑ අංකල් මං යනවා"
"හෙහ්, මුගෙ ටියුෂන් එකේ ස තමා එහෙනං අචිනි අක්කා, අර අතුරුදහන් වුන මොණරපිල් කොරල් එක වීදුරු පෙට්ටියක දාලා අචිනි අක්කගෙ මේසෙ උඩ.
අද දෙන්නං
"අයියෙ..අයියේ.......අයියේ.......ඕයි මේ".
"මොන මල වදයක්ද ඕයි ඇයි".
"කවද්ද ඕයි අචිනි අක්කා තමුසෙගෙ සර් වුනේ"
"මොකක්"
"නෑ තමුසෙ අර සර්ට දීපු මොණරපිල් කොරල් එක අචිනි අක්කගෙ මේසෙ උඩ තියෙනවා අන්න"
අයියගෙ කන් දෙක රතුවේගෙන එනවා මට හොඳටම පෙනුනා. පොර බිම බලාගත්තා.
"හෙහ් පඬියා සරෙන්ඩර්"
*************************
"අයියෙ , "
"ඇයි"
"එද්දි මට බබල්ගම් එකක් ගේනවකො""
"මට බෑ, තාත්තා ගාණට සල්ලි දුන්නෙ"
"අම්මේ, අයියා අචිබ්බ්බ්බ්බ්බ්න්බ්බ්බ්."
මගේ කට අතිං වහගත්ත අයියා
"හරි හරි ඕයි ගේන්නං".
එතනින් පස්සෙ මම අයියා වගේ.
"අයියෙ මගෙ තේ එක ගේනවකො,"
"අයියෙ මේ ගණං ටික කියල දෙනවකො."
"ඕයි අයියෙ මට පෑනක් දෙනවකො."
වෙනදා අයියට කියලා කරවගන්න බැරි ඕන්ම දෙයක් කරහන්න මට තියෙන්නෙ අම්මා කියලා කියන්න විතරයි.
*******
අයියෙ මට තමුසෙගෙ ලැප්ටොප් එක දෙනවකො, හීනෙං වත් ඒක මට දෙන්නෙ නෑ කියලා දැන දැනම ඒක ඉල්ලුවෙ නොදුන්නොත් මගේ බලය පාවිච්චි කරන්නම හිතාගෙන.
අයියා ඒක ඇහුනෙ නෑ වගේ මගේ දිහා බලලා අහක බලාගත්තා.
" හරි තමුසෙට දෙන්න බෑනෙ"
ආම්ම්ම්ම්ම් ......... මම වෙනදා මෙහෙම කියනකොට ඕනම දෙයක් අතටම දෙන අයියගෙ හැසිරීමෙ කිසිම වෙනසක් නෑ.
අම්මේ මේ අයියා අචිනි අක්කා එක්ක.........
කියලා මම සද්දෙ ටිකක් බාල කරලා කිව්ව. වෙනද එහෙම කිව්වම
" බූරුවෙක් වගේ කෑගහන්නෙ එපා ඕයි අම්මට ඇහෙයි "
කියලා ඕන එකක් අතට දෙන අයියා නිස්සද්දව ඔහේ ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා.
මෙන්න මේ යකාගෙ ඇස්වල කඳුලු
*******************
"පොඩි පුතා කාමරේ ජනේලෙ වහලා එන්න. "
වහින්න කලිං පන්සලට ගිහිං එමු,
අම්මගෙ සද්දෙට මම අවුරුදු 6කට එහා අතීතයෙන් ආපහු වර්තමානෙට ආවා
"ලොකු එකා හිටියනං අදට අවුරුදු විසි හතරක්"
පිටි අල්ලෙන් කඳුලු පිහිදාමින් අම්මා, ගේට්ටුවට ඉබ්බා දැම්මා
සුපුරුදු ලෙසටම නියමයි. ඉස්සෙල්ම ස්තූතියි කියන්න ඕනෙ, බ්ලොග වහල නොදැම්මට. ආයෙත් ස්තූතියි කියන්න ඕනෙ, ආයෙ ලියන්න ගත්තට. දැන් කස්ටියට පරණ බ්ලොග් අමතක වෙලා. අපි ආයෙ මතක් කරල ගමු. කොහොමද මන්දා මට මේක මිස් වුනේ, බ්ලොග් රෝලෙ නැතුවා වත්දෑ?
ReplyDeleteඅඩේඃ, කමෙන්ට් එකක්. ඊ මේල්ම බල බලා ඉඳලා ලියුමක් ආවා වගේ නොස්ටැල්ජික් සතුටක් තියෙන්නෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැක්කම. බස්සා තාම කියවන එක ඊට වඩා සතුටුයි.❤❤❤
Deleteසතුටු අපිටයි, ආයෙ ආවට😊
Delete😁😁😁😁
Delete"මොකද යකෝ අාපහු ලියන්ඩ ගත්තෙ?" කියල අහන්ඩ අාවෙ. කතාව කියෙව්වම ඒක ගිලුණා.
ReplyDeleteසතුටුයි අාපහු ලියන ඒක ගැන.
ඩ්‍රැකී, උඹ හීතල නුවරඑළියේ ඉඳං කතා ගිලින්න ගත්තද ඒ ගමන
Deleteඉවාන්ගේ කතාව බුකියේ කියෙව්වා. බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් හම්බ වුනේ අද... වෙනද වගේම කතාව මරු. බ්ලොග් එකේ දාපු එක ලොකු දෙයක්.. ආයේ ලියල මේක නග්ගල ගම්මු..
ReplyDeleteඑෆ්බී එකේ කියෙව්වා...ලස්සනයි ඈ
ReplyDelete