Monday, June 21, 2021

පියවරුන්ගේ දිනය

.....පියවරුන්ගේ දිනය....


කතාව ප්‍රැක්ටිස් වෙන්න කියලා කටුවට ගහගත්ත සටහන කපලා බිම දාපු හතරවෙනි වතාව.  

"සුවහසක් පියවරුන්ට........."

"පියවරුමයි ලොව මහ සයුරක්........"

" ජීවය මෙලොවට කැන්දූ...."

" පියාණනී මා........"


ඊලඟ මොහොතේ මම හිටියෙ ස්ටාෆ් රූම් එකේ දොර ළඟ ,


පළවෙනි තට්ටුව දානකොටම පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනා , තට්ටු කරපු එක ඇහුනද දන්නෙත් නෑ.  

කජුවත්ත ෆාම් එකේ ටකේටත් වඩා හයියෙන් ගහන ඉස්කෝලෙ බෙල්එඑක කිලෝමීටර් බාගයක් දුරින් තියෙන ස්ටේෂන් එක ඇතුලෙ ඉද්දි කෝච්චිය එනකොටත් ඊටවඩා සද්දෙන් ඇහෙනවා. ඉතිං මගේ තට්ටුව කොහෙ ඇහෙන්නද. 


ආපහු තට්ටුවක් දාන්න අත උස්සනකොටම දොර ඇරුණා.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ නැත්තං ඒ අත පහත් වෙන්නෙ පී.ටී ටීචර්ගෙ මූණ මැදට. 

මගෙ දිහා පුදුම වෙලා තප්පර දෙකයි දශම පහක් බලං හිටපු පී.ටී. ටීචර් අවුල් වුන කොණ්ඩෙ අතින් හද හදාම වේගෙන් පිට්ටනිය පැත්තට ගියා. 


D & G බෙල්ට් එකේ D එකයි G එකයි  & එකෙන් එකට අමුණන ගමන් දොර ලඟට ආවා වයිස් ප්‍රින්සිපල් මාව දැකලා ගැස්සුනේ ඇයිද කියලා එවෙලෙ හිතුනෙ නෑ. මගෙ ඔලුවෙ තිබ්බෙ කතාව 


" මට මේක කරන්න බෑ සර්" 

" මො....ඔ..  මොකක්ද " 

" මට කතාව කරන්න බෑ සර් හෙට රැස්වීමෙ"

"ආ...හ්..... ,.. නෑ .. නෑ ඒම කියලා බෑ තමුසෙ හෙට කතාව නොකලොත් මං නරක මිනිහ කියන්ඩෙපා... සර් බොහොම වේගෙන් ඔෆිස් එක පැත්තට ගියා."


*******


ප්‍රින්සිපල්ගේ මේසෙ ඉස්සරහ හිටගෙන දැං පැය බාගෙට පොඩ්ඩක් වැඩියි. 

ක්‍රාආආස්...ක්‍රාස්.....ක්‍රස්....ක්‍රාආආආස්..ජුහ් ...ජුහ්....ගගා කැරකෙන ෆෑන් එකේ සද්දෙ මල වදය නේද කියලා එක්දාස් එකසිය විසිවෙනි වතාවටත් හිතෙනකොටම 

"...පසන්ත.... මොකක්ද අයිසෙ තමුසෙ කරපු කතාව... අර කලාප අධ්‍යක්ෂකත් ඉස්සරා තියාගෙන. ..තමුසෙලාගෙ පවුල් පස්න කියන තැනක්ද ඉස්කෝලෙ මීටිම.

ප්‍රින්සිපල්ටට ප්‍ර, ක්‍ර, ග්‍ර වගේ අකුරු කියවන්න බෑ. මැද දත් දෙකෙන් එකක තියෙන්නෙ බාගයයි..ප්‍රසන්ත වුනාට ම්ට කියන්නෙ පසන්ත. ඒ වෙලාවට අපි බිම බලාගන්නෙ මූණ දිහා බලං හිටියොත් මූණ පුරාම කෙල බිංදු ඉහෙන නිසා. 

" කතා කරනවා මනුස්සයෝ මොකක්ද තමුසෙ ඒ කරපු නොසන්ඩාල කතාව ඔක්කොම ඉස්සරහ"


*******


ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගෙන් අවසරයි ගරු විදුහල්පති තුමනි, නියෝජ්‍ය විදුහල්පති සහ ගෞරවනීය ගුරුමණ්ඩලයෙන් අවසරයි මාගෙ සහෝදර සහෝදරයිනි.


තාත්තා කියන්නෙ අපේ ජීවිතයේ කොයිවගේ වටිනාකමක් තියෙන චරිතයක්ද කියන එක මම අමුතුවෙන් කියන්න ඕන නෑ. පියවරුන්ගේ දිනයෙදි තාත්තා පිදුම් ලබනකොට තාත්තාගේ භූමිකාවෙන් වැඩිහරියක් කරන්නෙ අම්මා.  තාත්තා නැතුව ජීවත් වුනත් මම හිතන්නෙ නෑ මට අම්මා නැතුව තප්පර ගාණක්වත් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා.  ඇත්තටම ජීවිතේ කියන අරුම පුදුම නවාතැනේ  සම්පූර්ණ භාරකාරත්වය තියෙන්නෙ අම්මාට....අම්මා  කියන්නෙ..............


" කතා කරනවා ඕයි, තමුසෙ මව්වරුන්ගේ පියවරුන්ගෙ දින දන්නෙ නැද්ද. නැත්තං තමුසෙට ඕන වුනේ මාව පීචං කරන්නද." 


"ඔය ශිෂ්‍ය නායක බැච් එක ගලවලා තියලා පලයං යනඩ, අවජාතකයෙක්ද කොහෙද "


******


මම බොරුවක් කිව්වෙ නෑ. අපේ තාත්තා කවදාවත් මට ආදරෙන් වචනයක් කතා කලේ නෑ.  ආදරෙන් තියා තරහෙන්වත්. එයා මාත් එක්ක කතා කලේම නෑ. 

මට පොඩිකාලෙ තිබ්බ සෙල්ලම්බඩු තාත්තා ගෙනාව ඒවා කියලයි අම්මනං කිව්වෙ. ඒත් ඒවා අම්මා ගෙනල්ලා තාත්තා ගෙනත් දුන්නා කියලා මට දුන්න බව දැනගන්නකොට මගේ වයස කීයයි කියලද හිතන්නෙ..

ඔව් එතකොට මම ඒ ලෙවල් කරන්න පාස්.

ඉස්කෝලෙ එසෙම්බ්ලියේ මගේ කතාවක් නැතිවුනේ වයිස් ප්‍රින්සිපල් බලෙන්ම වෙන එකෙක්ව දැම්මොත් තමා.  ආයෙ කවදාවත් මට ඕකෙ කතා කරන්න වෙඅ එකක් නෑ. එක්කො ඒක හොඳයි.


*****


"අම්මේ" 


"ම්ම්ම්"


"ඇයි අම්මෙ තාත්තා මා එක්ක නිකමට වචනයක් කතා නොකරන්නෙ".


"තව බත් ටිකක් බෙදන්නද පුතේ"


"අම්මෙ අහපු එකට උත්තර දෙන්නකො"


අම්මා ඈත බලාගෙන කෑම එක අන අන කටට දාගන්නෙ මං කියන දේ ඇහුනෙ නෑ වගේ.


"එක අතකට මට නංගිලා මල්ලිලා නැති එකත් හොඳයි , හිටියනං මේ තාත්තා කියන මිනිහා උං එක්කත් කතා නොකට ඉඳිය"


අම්මා කෑම පිඟාන බිම අතඇරියද, පොලොවේ ගැහුවද කියලා හිතන්න පටං ගන්නකොටම අම්මගෙ අත මගේ කම්මුල හරහා තුන් හතර පාරක් ගිහිං. මම නං අතේ තිබ්බ පිඟාන පොලොවේ ගැහුවා.

ඒ තමා මං අම්මව දැක්ක අන්තිම දවස.


******


ඇයි අද මට මේ කතාව මතක්වුනේ. ඇයි මං මේ කතාව උඹලට කියන්නෙ අදත් පියවරුන්ගේ දිනය. මීට අවුරුදු දහතුනකට කලිං පියවරුන්ගේ දිනයෙදි ගෙදරින් එලියට බැහැපු මාව හොයාගෙන ආපු මනුස්සයෙක් නිසා. 


*****

" ප්‍රසන්තව හම්බවෙන්න කවුද ඇවිල්ලා"


කවුද" 


"ම් හු පල්ලෙහ ඉන්නව"


කවුරු කියලද හිතන්නෙ 

ඔව් හිතුව හරි, මගෙත් එක්ක වචනයක් කතා නොකරපු මං තාත්තා කියලා කියපු එකා.


තප්පර කීපයක් යනකං මට හිතාගන්න බැරිවුනා මොකද කරන්නෙ කියලා


"ඇයි" 


"ප්‍රසන්ත... මං දන්නවා මට තාත්තා කියන්න ප්‍රසන්තගෙ දිව නැවෙන්නෙ නෑ කියලා. ඒත් ප්‍රසන්ත මාත් එක්ක විනාඩි 10ක් කතා කරනවනං මං කැමතියි.

"යං" මං ඉස්සරවෙලා පාරෙන් එහා පැත්තෙ තිබ්බ කුරේරා ඇන්ඩ් බ්‍රදර්ස් පේස්ට්‍රි ශොප් එකේ මූණිං මූණ බලාගෙන වාඩිවුනා.

අවුරුදු දාහතක් ම්ගේ මූණ නොබලපු මිනිහගෙ මූණ කෙලින් බලාගෙන අවුරුදු දහතුනකට පස්සෙ මම .


"ප්‍රසන්ත මට තාත්තා කියන්න කැමති නැති බව මම දන්නවා. එහෙම ඕනෙත් නෑ . මොකද මම තාත්තා නෙවේ.

 එහෙම කියලා මිනිහා මගේ මූණ බැලුවෙ මං තිගැස්සිලා කට ඇරිල ෆිල්ම් එකක වගේ රංගනයක් දකින්න වෙන්න ඇති. 

ඒත් ඒ වෙනකොට මගේ හිතේ එයා ගැන කිසිම දුකවත් කෝපයක්වත් කොටින්ම කිසිම.හැඟීමක් තිබ්බෙ නෑ. 


ඒත් මට අම්මා ගෑන දැනගන්න ඕන වෙලා තිබ්බා. අවුරුදු දහතුනක් අම්මා ඉන්නවද මලාද නොබලපු මට ඒක ඒ මිනිහගෙන් අහන්නන හිතුනෙ නෑ.


******


ශාන්ති ගිය මාසෙ නැතිවුනා. ප්‍රසන්තට දැනුම් දෙන්න විදිහක් තිබ්බෙ නෑ. පෙරේදා අහම්බෙන් මෙතනදි දැක්කම පස්සෙන් ඇවිත් සිකුරුටිගෙන් අහලා තමා හරියටම දැනගත්තෙ. 


" මම ප්‍රසන්තගෙ තාත්තා නෙවේ, ප්‍රසන්තගෙ තාත්තා ප්‍රසන්ත ඉපදුන දවසේම ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා. බීලා වැඩිවෙලා පාර පනිනකොට හමුදා වාහනයකට හැප්පුනේ.

"ඊට පස්සෙ මම ප්‍රසන්තගෙ අම්මවයි ප්‍රසන්තවයි බාරගත්තා එතකොට ප්‍රසන්තට අවුරුද්දට පොඩ්ඩක් අඩුයි. මගේ හිතේ ප්‍රසන්ත ගැන අහිතක් තිබ්බෙ නෑ. "

මං ප්‍රසන්තව වඩාගෙන හුරතල් කරලා තියෙනවා. ඒත් එක හේතුවක් දැනගත්තතට පස්සෙ මට ප්‍රසන්තවයි අම්මවයි දෙන්න පේන්න බැරුව ගියා.



"මමත් ආසාවෙන් හිටියා මගේම කියලා දරුවෙක් හදන්න. ඒ
ත් ශාන්ති ආපහු ගැබ් ගන්න බවක් දැක්කෙම නෑ. ඒ නිසා මම බලෙන්ම එයාව ඩොක්කෙනෙක්ට පෙන්නුවා.


*****

"පර බැල්ලි මොකද තෝ එහෙම කලේ කියාපිය. "


"අනේ වඳින්නං පද්මෙ ගහන්ඩෙපා,. ඔයා මට යෝජනා වුනාම මං බයවුනා අපිට වෙන ළමයෙක් හම්බවුනොත් ඔයා මගේ ළමයට වෙනස්කං කරයි කියලා ., ඒ නිසා ඔයාව බඳින්න මාසෙකට කලිං මං ගර්භාෂය අයිං කරගත්තා"

No comments:

Post a Comment

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]