"ඒ අන්න එනවා එනවා"
"කවුද"
" අප්සරා"
" අඩේ... මේකි දකිද්දී මට මතක් වෙන්නෙම... රවීනා බං.."
" ඒ කවුද.... "
"අනේ බං ගණං විතරක්ම නෙවේ ජීවිතේ .. හිංදි ෆිල්ම් කියලා ජාතියක් තියෙනව.
"ආ එතකොට ජීවිතේ හිංදි ෆිල්ම්ද.."..
ඔය අපි තුන්දෙනා...
මායි මෝරයි ප්‍රියයි...
මායි කිව්වෙ මම.. ප්‍රගීත්.. මෝරා රසික ..ප්‍රියා ප්‍රියදර්ශන.
මෙතනින් මීටරේ ප්‍රියදර්ශන ... ගණං වලට හැමදාම සීයයි.. හෙනට උස🤣 නිසා අපි කිව්වෙ අඟලේ ප්‍රියා කියලා..
මෝරා සිංදු කාරයා.. උගේ කටේ කොයි වෙලෙත් තියෙන්නෙ ග්‍රැමපෝන් යුගයේ සිංදු..
ඉස්කෝලෙ ඇරලා.. සල්ගාදුවෙන් බිත්තර රෝල් තුනක් කාලා විජය ඉන්ස්ටිටියුට් එකට ක්ලාස් යන එක තමා අපේ එකම විනෝදෙ.. ඉස්කෝලෙන් පටං ගත්තට ක්ලාස් එකට යැවෙන්නෙ එහෙමත් දවසක තමා..
ආ..එතකොට අප්සරා...අප්සරා අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් වලට ආව අලුත් කෙල්ලෙක්. මේකි ආවෙ හද්ද ඩොටේ ඉස්කෝලෙකිං. ඒත් ඉංග්‍රීසි දිනය දවසේ මේකි රෝමියෝ ජුලියට් නාට්‍යයේ නිල්පාට ගවුමක් ඇඳගෙන රැඟුව රැඟිල්ලෙන් පස්සෙ ඉස්කෝලෙ කොල්ලොන්ගෙන් බාගයක් ඒකි පස්සෙ... අපිට මලම පැන්නෙ ඕකෙ රොමියො ගෙ චරිතෙට හිටියෙ පිනාගෙ පුතා. වෙන මොකා දැඟලුවත් වැඩක් වුනේ නෑ , ඒ ලෙවල් වලදි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කිරීමේ දුක පළවෙනි වතාවට දැනුනේ එද... මේකිගෙ ඒ දවස්වල එහෙම්ට ලස්සනක් කැපී පෙනීමක් නොදැක්ක නිසා මිසක් නාට්‍යයට පස්සෙ නං හැමදාම ඉංහ්‍රීසි කට් කලේ නෑ ඊලඟ එකෙවත් නාට්ටියට ගනී කියලා. ඊලඟ අවුරුද්දෙදී ඒ මගුල තිබ්බෙ නෑ කියහංකො
ඊලඟට ස්පෝර්ට් මීට් එකේදි... ඒකෙදි මේකි හෙල්ල, කවපෙත්ත වගේම මීටර් 1500, 3000 හතරෙම පලවෙනියා.. ඊට පස්සෙ ඉතුරු බාගෙත් ඒකි පස්සෙ...
*********
ඔය කාලෙදි "කරුමෙක මහත, නරක කාලෙ දැං මට" කියලා මට හිතුනා අප්සරාට ට්‍රයි කරන්න ඕන කියලා. මේකට අදහස දැම්මෙ අඟලේ ප්‍රියා හෙවත් ප්‍රියදර්ශන.
" මචං..ඇත්තටම මේකි පිට යන්න දෙන්න හොඳ නෑ..අපි තුන්දෙනාගෙන් එකෙක් මේකට ට්‍රයි කරන්නම ඕන." ඒ අඟලේ ප්‍රියා.
" මචං.. ඒක මචං ඇත්ත මචං.. උඹට මචං කියන්න මචං.. මචං හිතුනා මචං රවීනට ට්‍රයි කරන්න.." වචනෙට දෙසැරෙ ගාණෙ මචං කියන රසිකයා හෙවත් මෝරගෙ අදහස ඒක.
" හරි එහෙනං උඹ ට්‍රයි කරාං... මම කිව්වා.
" ඒකි මචං කඩ්ඩෙං කොටයිද බං.. මට මචං ඕක තමා මචං..දිරවන්නෙ මචං නැත්තෙ..
"පිස්සුද බං. ඒ ඉංගිරිසි දිනේ කටපාඩං කරපු ලබ්බවල් බං.. ඒ ප්‍රියා.
"මේ ප්‍රගියා මචං.උඹ ට්‍රයි කරහං..මූට මචං ඉතිං තව අඩි මචං දෙකක්වත් උස මචං යන්න වෙනවනෙ ඒකට" මෝරා අවසාන තීරණේ දැනුම් දීලා පස්සට පැත්තට සටාස් පටාස් ගාලා ගහගෙන පිට්‍යනියෙ පඩිපෙල උඩම පඩියෙන් නැගිට්ටා...
ආ උඹ නැගිටලමද හිටියේ .. මං හිතුවෙ වාඩිවෙලා කියලා... මෝරා ප්‍රියාට කිව්වා..
පල.හු...
***********
ඕක මට එච්චර ගාණක් නොගියට හැමදාම අප්සරාව දකිනකොට.. මුං දෙන්නගෙ එක එක දිරිගැන්වීමේ දේශන එක්ක මට ඉතිං සිත පහලවේගෙන වේගෙන එන්න පටං ගත්තා... එදා ඉඳං. උදේම ඉස්කෝලෙ දුවන්නෙ අප්සරාව දකින්න..
ඒ කාලෙ ඉතිං වත්තෙ මල් පිපෙන්නෙ නෑ, ගඟේ වතුර ගලන්නෑ, කුරුල්ලො කෑ ගහන්නෙ නෑ, බල්ලො උඩු බුරන්නෙ නෑ. ඈ නැතිනං ඒ දේවල් නෑ..
මං වාඩිවෙන්නෙ පන්තියේ ගේට්ටුව පේන අයිනෙ.. පල්ලෙහා තට්ටුවේ බයෝ පන්තියට යන ළමයි.. එන පාර හොඳටම පේන්නෙ එතනට. අප්සරා එනවා දකිනකං මට .. මුලු මුහුදම හඬයි., ඉර ගොලුයි, සඳ බිහිරියි , තාරකා අන්ධයි..කොටින්ම මුලු අහසම අංගවිකලයි.
*********
මුලු පන්තියෙම එක හඬින් හිනා වෙනකොට තමා මට ගැස්සිලා ඒක ඇහෙන්න ගත්තේ..
ඩස්ටර් එක මගේ මේසෙ උඩ.. බලද්දි ඒක මුණෙත් වැදිලා තමා මේසෙට වැටිලා තියෙන්නෙ. ෆිසික්ස් සර්..ඉන්නවා චෝක් කෑල්ල උඩ දදා.. මගෙ දිහා බලාගෙන..
ඒ අස්සෙ පන්තියේ ජනෙල් වීදුරුවෙන් මට මාවම පේනවා.. කටයි නහයයි වටේට චෝක් කුඩු වලින් සුදු වෙලා හරියට දොස්තර හොඳහිත එකේ චිම්පා වගේ..
ඉතිං කියනවා.. ෆිසික්ස් සර් අහන්වා...හුටා යකෝ ප්‍රශ්නෙකුත් අහලද...
මූණ කට අතෙන් පිහිද ගත්ත මම මෝරා දිහා බැලුවා.. ඌ පොතේ පිට කවරේ " නිව්ටන්ගේ 3 නියමය" කියලා ලිව්වා.
" නිව්ටන්ගේ තුන්වන නියමය සර්."
මුලු පන්තියම ආයෙට් හිනා වුනා..මෝරා අහක බලාගත්තා..
සර්ගෙ අතේ තිබ්බ චෝක් කෑල්ල මූණ දෙසට වේගෙන් එද්දි මම අත් දෙකෙන්ම මූණ වහගත්තා. නැත්තං චෝක් කෑල්ල උගුරේ නවතින්නෙ.
" ඈ ඕයි.. අවතල දර්පණයක ප්‍රතිබිම්බය කුඩා වෙලා පේන්නෙ නිව්ටන්ගෙ තුන්වනි නියමය නිසාද.. බූරුවා.
*******
එදා අරුං දෙන්නට කලිං මම ගිහිං ගල් බංකුව උඩ වාඩිවුනේ.. ආයෙ ඕකුං එක්ක කතාකරෙන්නෙම නෑ කියලා... කපටි මෝරා එදා බිත්තර පැටිස් දෙක දෙක අරං ඇවිල්ලා ..
මට දෙකක් දික් කලාම ඉතිං මම තීරණය කලා උගේ බලු වැඩේට සමාව දෙන්න..
" මොනා වුනත් උඹ ඒ කලදේ වැරදියි මචං..අඟලේ ප්‍රියා ගේම අතාරින්න දෙන්නෙ නෑ. ඒ අස්ස්සෙ තරහ වෙලා ඌ ගෙනාපු බිත්තර පැටිස් දෙක නොකා ඉන්නත් බෑ...
ඒකෙන් වැඩක් නෑ. දැං උඹ අප්සරා තන්ඩන් දාගන්න වැඩේ ප්‍රගතිය මොකක්ද.. කියපං...
මම ට්‍රයි ඉතිං
ට්‍රයි මචං කියන්නෙ මචං උඹ මචං මොකක්ද ක්ලේ...
කලේ කියන්නෙ මම ඉතිං ට්‍ර්යි...
හරි ඉතිං මොකක්ද කලේ.. ඒකිගෙන් ඇහුවද එක පාරක හරි..
පිස්සුද යකෝ තාම නෑ..
එහෙනං මචං ට්‍රයි කියලා මචං මොකක්ද මචං කලේ..
මං ඉතිං බලාගෙන එහෙම ඉන්නවා ඒකි දිහා...
ඒකි දැක්කද උඹ බලාගෙන ඉන්න්වා..
නෑ මං හිතන්නෙ..
අනේ මචං ... මූ මචං.... ඕක කරන්නෑ මචං...
ඒකි තාම දන්නෙත් නැද්ද එතකොට...
**********
එදා ගල් බෝක්කුව ලඟින් අපි නැගිට්ටෙ..ඊලඟ සතිය ඇතුලත. අප්සරා තන්ඩන්ට මේක දන්වන බවට තීරණයක් අරගෙන..
ඉස්කෝලෙටත් නෝන්ඩි නොවී වැඩේ කරන්න ඕන නිසා..ක්ලාස් ඇරිලා හවස යන වෙලාවට ලියුමක් දෙන එක තමා සුදුසුම කියලා පනත සම්මත වුනා..
ඉතිං මම දන්න සියලු ශිල්ප දාලා සිංදු දාලා කවිලියලා ලියුමක් ලිව්වා. ඔය ලියුම කියවංඩ මෝරා පුදුම ගේමක් දුන්නෙ. හැබැයි අඟලෙ ප්‍රියා ඒකට විරුද්ද වුනා.
දැං ඉතිං මේ ලියුම දිග ලියුම් කවරෙක දලා දෙන්න සියල්ල ලෑස්තියි.
**********
මම මේ දවස්වල වැඩිපුරම බැලුවේ රවීනා තන්ඩන් ඉන්නෆිල්ම් වල එයාට නලුවා ලව් එක කියන්නෙ කොහොමද කියලා..
මාසයක් විතර වුනා.. ඒත් ලියුම දීගන්ඩ බැරිවුනා.. දැං මාස දෙකකටත් වඩා වැඩියි ඒත් තාම ඒකි දන්නෙ නෑ මේ ක.. සිහ්.. එපා වෙනෝ.
ඔය අස්සෙ. හැමදාම ලියුම ගෙදර අරං යනවා කියන එක ඔක්කොමට වඩා අමාරු වැඩේ.. ඇයි යකෝ ඕක අක්කට හරි අම්මට හරි අහුවුනොත් සදා සොත්ති... ඉතිං ඒක නිසා කලිසමක් ඇඳගෙන ලියුම සාක්කුවෙ දාගෙන තමා නිදාගන්නෙත්.
කවදා හරි මේවා අප්සරා එක්ක කියලා හිනාවෙන්ඩත් පුලුවන් නේද කියලාමතක් වෙනකොට ලැජ්ජත් හිතෙනවා.
********
මේ මේක කොහොම හරි මේ සතියෙ ඉවරයක් කරමු බං. අඟලේ ප්‍රියා ඒකටත් ටයිම් ප්ලෑන් එකක් ගේන්ඩයි ලෑස්තිය. ඌට මොකද ඌට මැත්ස් ෆිසික්ස් වලින් තොර ලෝකයක් තියෙනවැයි. මට එහෙමද..
මචං අද අප්සරා මචං ගෙදර යන්නෙ හවස...
ඉන්ටවල් එකේ අතුරුදහන් වෙලා හිටපු මෝරා ආවෙ අලුත්ම ආරංචියක් අරගෙන.
ඇයි.. ඒ..
සයන්ස් ඩේ එකට.. කරන්නෙ මොනවද කියලා සූලෝජි ටීචරුයි. අප්සරයි, උමායි, අචිනියි ප්‍රින්සිබල් එක්ක මීටිමක් හවස..
එල ... අපි ලියුම දෙමු... ප්‍රියා තහවුරු කලා.
උඹ දෙනවද එහෙනං.. මම ඇහුවා...
තොට මොංගල්ද ජෝතියො.. ඒකි හිතයි උඹ කශේරුකාව නැති එකෙක් කියලා..මචං කෙල්ලො කැමති කෙලින්ම ගේමට බහින එවුංට..
මේ කොටා දන්න දේවල්...
මචං ඔව් මචං... අපි මචං කිරිහල මචං ගාව ඉමු මචං....එතනින් අචිනියි, උමායි කෙලින්ම යනවා. විද්‍යාල පටුමගේ මචං ඔය වෙලාවට මචං යන්නෙ චූන් පාන් විතරයි .. උං මචං යන වේගෙට මචං උංට ඕවා පේන්නෙ නෑ.
ඔන්න වැඩේ කන්ෆර්ම්... මම කෝකටත් සාක්කුවට තට්ටුව ක් දාලා බැලුවෙ ලියුම තියෙනවද කියලා තහවුරු කරගන්න..
********
මම කෝකටත් ටොයිලට් එකට ගිහිං ලියුම ආපහු කියවලා දෝස නැතිබව තහවුරු කරගත්ත..ලියුම් කවරෙනං ටිකක් පොඩිවෙලා. ඇයි යකෝ ඒක සාක්කුවෙ දාගෙන නෙ නිදාගන්නෙත්. දැං ඉතිං අලුත් එකක් ගන්න වෙලාවක් නෑ.
හෙටින් පස්සෙ මොනවා වෙයිද කියලා හිත ගිණි අරං , බඩ ඇතුලෙ බොයිලේරුවක් තියලාවගේ , ගුඩුසුත් යනවා ගැස්ටික්ද මංදා.
දැං මීටිම ඉවරවෙල කට්ටිය එන බව කියාගෙන මෝර වයිං කරපු බෝනික්කා වගේකියාගෙන දුවගෙන ආවා.
මගේ බඩේ දැවිල්ලට කටිනුත් දුං එන්වද මංදා...
ඒ අඩෝ මචං කෙලවෙන්න මචං යන්නෙ, අපේ මව් යානය මේ පැත්තට මචං පාවෙනවා. කියාගෙන් මගෙ ලඟට ආව මෝරා..
මේ මේක තියාගෙන හෙට අරං වරෙං.. කියලා මොකක්ද එකක් මගේ සාක්කුවට ඔබලා උංගෙ අම්මා එන පැත්තට දුවගෙන ගියේ.
මං එයාව හරගෙන මචං යන්නං මචං ...නැත්තං මෙහෙට මචං ආවොත් මචං ඔක්කොම මචං ඉවරෛ මචං. කියාගෙන..
*****
ඔන්න අප්සරා විද්‍යාල පටුමගට හැරුනා අනික් දෙන්නා ගියා.. අඟලෙ ප්‍රියා මට ඇහැක් හැහුවා දැං පලයං කියන්න වගේ.
මම හිතට දහිරිය අරගෙන අඟුරු කකකා කොලඹ දුවන යකඩ යකා වගේ අප්සරා පස්සෙං දිවේ බඩ පපුව පිච්චි පිච්චී..
අප්සරාට අඩියෙන් අඩිය ලංවෙනකොට.. මගේ බඩේ දැවිල්ල දෙගුණ තුංගුණ වුනා... මට ආපහු හැරිලා යන්නමයි හිතුනේ.
මේකි ඇහුන්නෑ වගේ යනවා.. මට කනට ගහන්වා... බනිනවා. කෑගහනවා.. බයේ දුවනවා වගේ දාහක් දේවල් මැවිලා පෙනුනා..
ඒත් අයෙ වෙන වෙලාවක් එන්නෙ නෑ...
අක්.. ජ්ජ්..අප්...බ්බ්..අප්සරා. දහසැරයක් විතර ටයි කරලා දිව පැටලිලා... යන්න්තං කෙඳිරිලි හඬකිම් නම කටෙන් පිටවුනා..
හැරිලා මගේ දිහා බලපු අප්සරා ඇයි ප්‍රගීත් කියල ඇහුවා...
ඇහ්... හීනයක්ද... මට නිකං අකලට වට මහ වරුසාවක් සේ.. සීතලක් දැනුනා....
මට මේ... මේ.. ඔයාට කියන්න...
අප්සරාට ලස්සන හිනාවක් ගියා.. යකෝ රවීනමයි..
කියන්න ප්‍රගීත්.. අපේ අයියා එනවා ඇති මග...
මේ මේ ...එක්කො ඔයා මේක ගෙදර ගිහිං කියවන්නකො...සාක්කුවට අතදාලා.. ටක්ගාලා ලියුම ගත්ත මම , ඒක අප්සරාගෙ අතේ තියං හිටිය සීආර් පොත අස්සෙ ගැහුවා...
හි..හි... හරි මං බලන්නං... ඔයා යන්න අයියා එනවා ඇති..කියලා අර දොස්තරලා කොම්දොස්තරලා කරන බැල්ම දාපු අප්සරා ඉස්ස්‍රහට දුවලා ගියා.
මට දැනුනෙ උදේ ඉඳං හවස් වෙනකං හිර කරගෙන හිටපු මහා චූබරකින් එක සැරේම නිදහස් වුනා වගේ හැඟීමක්.
********
සුදු පරවි රෑන සේ..., පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ වගේ සිංදු මුලු ඇඟ පුරාම දෝංකාර දෙනවා..
ඒ මොකෝ බං වුනේ,.. අඟලෙ ප්‍රියා දෙතුන් සැරයක්ම ඇහුවත්මට ඒවටෞත්තර දෙනෙන්න තරං හිතේ එකලාසයක්නෑ , හිනාවකින් කට දෙපැත්තට ඇදිලා.. කට වැහෙන්න නෑ.
මූ ගුලිකාලද මංදා... බැන බැන ඌ ආපහුයනවා මට යාන්න්තං වගේ මතකයි.
මට එදා ගෙදර ගියේ කොහොමද කියලා මතක නෑ... වෙනදා පාරෙ තිබ්බ ගස් ගල් බෝක්කු කිසිදෙයක් එදා තිබ්නෙ නෑ කියලනං ෂුවර්.
*********
මම පහුවද උදේම ඉස්කෝලෙ ගියේ මෝරයි ප්‍රියයි එන්න කලිං අප්සරාගෙන් උත්තරේ දැනගන්න..
මෙන්න යකෝ මුං දෙන්නා මටත් කලිං ඇවිල්ලා ජෑම් ගහයට බංකුවේ වාඩිවෙලා.. අප්සරාව සෙට් වුනාට පස්සෙනං මුං දෙන්නව හෙමීට හලන්න ඕන කියලා මං එවෙලෙ හිතාගත්තා.
අපි වාඩිවෙලා හිටියෙ කල්පයක් සේ දැනෙව්වී කියපු එක ඇත්ත. ඇතින් අප්සරා එනවා පේනවා..
මට දැං ආයෙ බඩ පපුව දනවා. ඈත ඉඳංම මගේ දිහාම බලාගෙන ආපු අප්සරා කෙලින්ම ඇවිල්ලා මගේ ඉස්සරහ හිටගත්තා.. මෝරයි ප්‍රියයි බංකුවෙන් නැගිට්ටා....
චටාස්... ගාලා සද්දෙකුත් එක්ක.. මට තරු .. චූටි කුරිල්ලො.. මීමැස්සො පියාඹනවා එලි විහිදෙනවා වගේ ටික වෙලාවක පෙනුනා.
ඈ වල් බල්ලො තෝ මං කවුරු කියලද හිතං ඉන්නෙ.. පාහරයා. හිටපං අද හවසට අයියා ඇවිල්ල්ල.. තෝව සම්බල් කරයි...කියලා මම දීපු දිග ලියුම් කවරෙන් මගෙ මුණට දමලා ගහපු අප්සරා පන්තිය පැත්තට ගියා.
බිම වැටිච්ච් ලියුම් කවරේ ඇහිඳගත්ත මෝරා ඔලුවෙ අතගහගත්තා...
යකෝ හරකෝ... තෝ ඒකිට දීලා තියෙන්නෙ. ඊයෙ අම්ම එද්දි මම උඹේ සාක්කුවට ඔබලා ගිය වැල පත්තරේනෙ ...
ඈ... එතකොට කෝ ලියුම .ඒක මතක් වුනේ ප්‍රියදර්ශනට..
මගුලයි... ඒක කලිසං සාක්කුවෙ. කලිසම හෝදනකොට දැං ඒකත් අම්මට අහුවෙලා ඇති..
මේක මං ඊයෙම කියෙව්වා. මට මතක් උණේ, 1993 විතර අපේ ඉස්කෝලෙත් හිටියා ඔය වගේ ම හිංදි නළු නිළීයො සෙට් එකක්. යසන්ත කුමාර්, හර්ෂනී ඩික්සිත්, දුමින්ද අලිඛාන් එහෙම...
ReplyDeleteඒක නෙමෙයි, වැල පත්තරයකුයි, කවරෙක දාපු ලියුමකුයි සයිස් එකෙන් ම ගත්තත් කොයිතරං වෙනස් ද? ඒ දෙක පටළගන්න තරම් අසිහියෙන්ද උන්නෙ ඒ වෙලාවෙ?
උඹ හිතුවද ඒ කාලේ වැල පත්තර කියන්නේ සිළුමිණ පත්තරේ වගේ ඒවා කියලා
Deleteයකෝ මේතරං හ්හුස්ම හිරවෙන ඒවා ලියන්න එපා! (මගේ වයසත් හරි නෑනේ!)
ReplyDeleteඒක නෙවෙයි මේ බ්ලොග් එක හරියට අප්ඩේට් වෙන්න හද්ල දෙන්න පුළුවන් එකෙක් වත් නැද්ද බං මේ ලෝකෙ?
එකෙක් හදලා දෙන්නේ නෑ ත්ට්ටයියේ
Deleteමේක ඉතින් බුකියෙන් කලින්ම කියවලයි මෙහෙ ආවේ.එතන කිව්ව එකම තමා මෙතනත් කියන්නෙ..බොට හොදම වැඩේ..හැක්..හැක්...😀
ReplyDeleteඑහෙම කියන්නෙපා සඳේ
Delete