ඔක්තෝබරය කියන්නේ යුරෝපයේ අඳුරු සමය ආරම්භ වෙන මාසය. සමය නෙවේ, මටනං සමයම! උදේට එළිය වැටෙන්නේ බොහොම පහුවෙලා. හවස් වෙනකොටම කළුවර හතර වටේටම. මමනං කැමති වයිබ් එකක් නෙවී ඕක . මේ කාලෙට අයර්ලන්තෙට යන්න වෙනවා කියන එකත් කරුමයක්, ඒත් කරන්න දෙයක් නෑ , අලුත් ව්‍යාපෘති කාර්යාලය එහෙ , මේ ව්‍යාපෘතිය අවසන් වෙනකං ඉන්න වෙනවා ,
රයන් එයාර් ගුවන් යානය ඩබ්ලින් ගුවන් තොටුපලට ලඟා වෙනකොට හවස පහ පහුවෙලා , ඒ වෙනකොටත් හොඳටම කළුවර වැටිලා , ලා වැස්සක් අවසන් වුන ගමන්ම වගේ තත්වයක් පෙනුනේ , මගේ ගමනාන්තය අයර්ලන්තයේ ඉහලම කොටස වුන ඩොනිගල් (Donegal ) ප්‍රදේශයේ ග්‍රීන් කාසල් (Greencastle ) ප්‍රදේශය , ඒ කියන්නේ රටේ ඉහලම කෙලවරේ ,
මේ ඩොනිගල් ප්‍රදේශය තමා අයර්ලන්තයේ උතුරේම තියෙන කොටස , ඒ නිසාම උතුරු අයර්ලන්තය කියන එක්සත් රාජධානියට අයිති බිම් කොටස එලෙස නම් කිරීම පිලිබඳ උපහාස කතා අයර්ලන්ත ජාතිකයන් අතර පවතිනවා .
කොහොම වුනත් ඒ රාත්රියේදී එතරම් දුරක් යන්න මට හිතුනේ නෑ , ඒ නිසා එදා රෑ ඩබ්ලින් නගරයේ ගතකරන්න හොඳ නවාතැනක් හොයන්න හිතාගෙන booking .com ඇප් එකට ලොග් වුනා.
එදා රෑ ඩබ්ලින් නගරයේ ගත කරන්නගත්ත තීරණය තරමක් සතුටුදායක එකක් වුණා , වින්ටරය ළඟ නිසා සංචාරකයන් තරමක් අඩු වීමත් එක්ක නවාතැනක් අඩුවට හොයාගන්න පහසු වුනා ,
ඔක්තෝබරය අවසන් වෙමින් තිබුණු නිසා ඩබ්ලින් නගරය පුරාම හැලෝවීන් සැරසිලි. දවසින් දවස කලින් වැටෙන අඳුරත් එක්ක නගරය අමුතුම පෙනුමක් අරගෙන තිබුණා.
හැලෝවීන් සැමරුමේ බොහෝ සිරිත් පැරණි අයිරිෂ් සැම්හේන් උත්සවයට සම්බන්ධයි කියලත් මම අහලා තිබුණා. ඒ නිසාම අයර්ලන්තය තුල මළවුන්ගේ දිනය ඉතාම ඉහලින් සමරෙන්වා
අයිරිෂ් පබ් වල හුළඟට වැනෙන Guinness බැනර් එක්ක මුසුවුන අයිරිෂ් සංගීතය මැදින් ඇවිදගෙන යන තනියම යනකොට හිනාවක් නැති අයිරිෂ් මූණු , සීතලේ අත්දෙක කෝට් සාකුවලට ඔබාගත්ත් ආසියාතික මුහුණු පහුකරමින් නගරය වටේ ටිකක් ඇවිදලා, ජපන් අවන්හලකින් සුෂී සහ සශිමි ඩිනර් එකකට පස්සේ ආපහු නවාතැනට ගිහින් , හෙට උදේ ගමනට කෝච්චිය සහා බස් රථයේ ආසන වෙන්කළා .
*******
මම එන්න කලින් මගේ ව්‍යාපෘති කාර්යාලය ආසන්නයේ නවාතැනක් හොයනකොට Airbnb හරහා බොහොම ලාභ නවාතැනක් හොයාගන්න පුලුවන් වුනා , මාසෙටම යුරෝ දෙසිය පනහකට , එතන ඉඳලා පැය බාගයක් වගේ ඇවිදින දුරින් තමා මගේ කාර්යාලය . ඇඩ් එකට අනුව එතන ඉන්නේ නිවසේ අයිතිකාරයා විතරයි , එන්සුයිට් (en suite) එකක් නිසා මම කැමතිවුනා කරදර අඩුනිසාම.
ඩොනිගල් වලට ඇවිල්ලා මම අභ්‍යන්තර බසයකට ගොඩවුනේ මගේ ගමනාන්තයට අදාළ අයර්ලන්ත තැපැල් කේතය රියදුරුට පෙන්වමින් , මගේ නවාතැනට අදාළ තැන මුහුදුවෙරල් අද්දරට වනන්ට පාරේ අවසන් නැවතුම බව ඔහු කියා සිටියා .
බසය මගේ ලිපිනය වෙන බැන්ෂි උද්‍යානයේ නැගෙනහිර අන්තය වෙත ළඟාවූ විට මට අමතරව සිටි අවසන් මගියාත් බැසගියා. බසයේ රියදුරු පසුපස් හැරී මෙතනින් බහින්නේ නැද්දැයි විමසා සිටියත් මම කිව්වේ මගේ නවාතැන ඇත්තේ බැන්ෂි උද්‍යානයේ බටහිර අන්තයේ බවයි , තරමක් විමතියෙන් මෙන් මාදෙස බලාසිටි රියදුරු දොර වසා නැවත ගමන් ආරම්භ කරලා විනාඩියකටත් අඩු කාලයකදී මාර්ගයේ අවසාන අන්තයට (Dead End) ලඟාවුනා, එතන හැරවුම් සඳහා පමණක් වූ වටරවුමෙන් ආපසු හැරවුම ගත් වහාම ඔහු බැන්ෂි උද්‍යානයේ බටහිර අන්තයේ බස් නැවතුමේ බසය නවත්වා දොර හැරදැමුවා . ඔහුට ස්තුති කරමින් බසයෙන් බැසගත් මා යන දෙස මඳ වෙලාවක් බලා සිටි ඔහු දොරවසා නැවත හෙමින් ගමන ඇරඹුවා.
*******
මඳක් ඉදිරියට යද්දී මගේ ජංගමයට කෙටිපණිවිඩයක් ලැබුනේ නවාතැනේ හිමිකරුගෙන් , ඔහු නිවසේ නැති බවත් , යතුර දොරෙහි අලවා ඇති යතුරු රඳවනයේ ඇති බවත්ය , එහි කේත අංකයත් ඒ සමග තිබුණා . බැන්ෂි උද්‍යානයේ බටහිර අන්තයේ මාවතට හැරෙන තැන දක්වා ඉතාම පාලු ස්වභාවයක් ගත්තා , කාලෙකින් පිරිසිදු කර නැති ඕටමයේ කහපැහැ ගැන්වුන මේපල් කොළ සෑම අතම විසිරී හුළඟට යමින් තිබුණා . මම අතුරු මාවතට හැරෙනවාත් සමගම දුටුවේ මම බලාපොරොත්තු වුන දසුනක් නම් නෙවෙයි ,
කුඩා දරු දැරියන් කීපදෙනෙක් බයිසිකල් පදිමින් , සිනහසෙමින් සිටින අතර තරමක් ඊට වඩා වැඩිමල් යැයි සිතිය හැකි පාසල් වයසේ තරුණයක් රවුමට පාපන්දු වටයක් කරමින් සිටිදිදී පරණ වයිකින් තොප්පියක් පැළඳගත් වයසක පුද්ගලයෙක් මා ඉදිරියට දුවමින් ආවා.
“Howya, lad! What’s the craic? Are you the new fella in number 13?”
මම ඔහුට හිසවනමින් ඒ මම බව පැවසුවා . “Ah, grand! See you around!” කියමින් ඔහු අතවනමින් ඉවතට දිව ගියා ,
*******
තව දින දෙකකින් ඔක්තෝබරය අවසන් , මම නවාතැනට ඇවිත් දැන් දින හතරක් ගතවුනත් තවමත් නිවසේ හිමිකරු දකින්නට ලැබුනේ නැහැ. රාත්‍රියට අඩි ශබ්ද පිඟන් කෝප්ප එහා මෙහා වෙන හඬ , වතුර මලෙන් වතුර වැටෙන හඬ හැරුණම වෙන ශබ්දයක් ඇසුනේ වත් නැහැ . උදෑසනින්ම පිටත් වී රාත්‍රියට වෙහෙස මහන්සිවී පැමිණෙන ඔහුට කරදර කරන්නට මටත් හිතුනේ නැහැ .
මේ දින කීපයේ මම කැමතිම දසුන වුන්නේ වැඩඅවසන් වී ආපසු එන විට අපේ නවාතැන පාරේ දකින්න ලැබෙන අසල්වාසීන්ගේ ක්‍රියාකාරකම් , පාරේ දෙපස ඇති හොඳින් එලිය විහිදෙන විදුලි පහන් යට, කුඩා දරුවන් සෙල්ලම් කරනවා , මදක් තරුන දරුවන් සිනහවෙමින් විවිධ ක්‍රීඩා වල නිරතවෙන , තමන්ගේ ගැබ්බර බිරිඳව අතින් අල්ලාගෙන ඇවිද්දවන දිග රැවුලක් සහිත තරුණයා, ඒ බිරිඳගේ මුහුණ තරමක් සුදුමැලියි , තරුණයාට ඇය ගැලපෙන්නේ නැහැ කියා මට කීප වතාවක්ම සිතුනා , පාරේ කෙලවර කෙලින්ම පේන ගෙදර වීදුරු ජනේලය අසල හැමදාම යමක් වියන වයසක මහත්මිය , වගේම හැමදාම ඉහල මාලයේ සිට මට අතවනන තොප්පිය පැළඳි මහත්මය වගේම වයිකින් තොප්පිය පැළඳ ව්‍යායාම කරන වයසක මහතා , මේ හැම දෙනාම දවසේ හුරුපුරුදු දසුන්.
"බ්රදර්ර් බ්රදර්ර්" ඉංග්‍රීසි උච්චාරනයෙන්ම ඒ අසල්වැසි රටේ කෙනෙක් බව හැරෙන්නට පෙරම මම හඳුනා ගත්තා ,
"ඔබත් මෙහෙ ඉන්න කෙනෙක්ද" ඔහු මගෙන් ඇසුවා
"ඔව් මම ඇවිල්ලා දවස් පහක් විතර වෙනවා"
"මම 13A එකේ තමා නවතින්නේ, ඔබ කේරලේද ,මම දිල්ලියේ " අලුත් සගයාගේ ප්‍රශ්න ඇහිල්ල ඉවරයක් නැතිපාටයි , හැමෝම වගේ මම මලයාලියෙක් බවට ඔහුත් කලින්ම තීරණය කර තිබුණා .
"ආ . .. හොඳයි ..මමනම් ශ්‍රී ලංකාවෙන් ,, මම ඉන්නේ 13 , ඒ සමගම ඔහුගේ ජංගම දුරකතනයට කෙටි පනිව්දයක් පැමිණි බවට හඬක් නැගුනා ,ජංගමය අතට ගෙන එදෙස බැලූ ඔහු..
"මගේ නවාතැනේ හිමිකරු අද නැති නිසා මට යතුර රඳවනයෙන් ගන්න කියල මැසේජ් එකක් එවලා , ඔහු කිව්වා ,
අහ , , මටත් එහෙමමයි වුනේ පලවෙනි දවසේ.
*******
ඔක්තෝබර් 31, හැලෝවීන් දවසේ උදේ මම වැඩට යන්න පිටත් වෙනකොට අලුත් අසල්වැසියා ආයෙත් හමුවුණා.
"බ්‍රදර් මම අද වැඩට යන්නේ නෑ , මම කාලා එන්න ගියා "
"ආ හරි , මම අද වැඩ . ." කියමින් මම එතනින් ආවා
එදා හවස මම ආවේ ඕ කොනර් හෙවත් මගේ කාර්යාල සගයෙකු සමග ඔහුගේ වාහනයේ , වෙනදාට වඩා තරමක් පරක්කු වෙලා , ඔහුත් පළමු දවසේ බසයේ රියදුරු වගේම බැන්ෂි උද්‍යානයේ නැගෙනහිර අන්තය පටු මගට වාහනය හරවන්න සිග්නල් ලයිට් දාද්දි
"මම මෙහෙ නෙවෙයි ඉන්නේ "
" එහෙනම් කිව්වේ බැන්ෂි උද්‍යානයේ කියලා "
" ඔව් මම ඉන්නේ බටහිර අන්තය පටුමගේ , මේ නැගෙනහිර අන්තය "
" මොකක් . ....? උඹට මොලේ අමාරුවක්ද "
" ඇයි ? "
"ඇයි අහන්නේ , එකේ කොහෙද මිනිස්සු .. ඒක සම්පූර්ණයෙන්ම පාලුවට ගිය පැත්තක් , "#
" උඹ දන්න දෙයක් නෑ " ඒක හොඳ නේබර්හුඩ් එකක් තියෙන පැත්තක් , ඊයේ අලුතෙන් ඉන්දියන් කොල්ලෙකුත් ආවා ඉස්සරහ ගෙදර නවතින්න "
"උඹ ඔය ඇත්තද කියන්නේ ..?"
"බොරුද බලන්න යමන්කෝ "
කොනර් මගේ දිහා බැලුවේ හොල්මනක් දිහා බලනවා වගේ . .
කොහොම හරි සැකය උපරිමේට ගිය මුණක් එක්ක කොනර් මාත් එක්ක ආවා.
"හා බොරුනම් ඔන්න බල . ................................. පං කියන ගිය කතාව මටම ගිලුනා , වෙනදාට බොහොම වර්ණවත් ඝෝෂාකාරී , මිනිස්සුන්ගෙන් පිරුණු වීදිය අවුරුදු ගානකින් කවුරුවත් පය ගහලා නැති තැනක් වගේ , පාරේ ලයිට් කිසිවක් නැහැ , ඝන අන්ධකාරය ,
"උඹ තවත් කියන්නේ උඹ ඉන්නේ මෙහෙ කියලද ?
ඇත්තමට ඒ ප්‍රශ්නේට උත්තර දෙන්නවත් බැරි තරමට මම වික්ෂිප්ත වෙලා හිටියේ , මටම හිතාගන්න බැහැ
"ඒයි .." කොනර් මට ඇන්නා
*******
ඒත් එක්කම අපේ වාහනයේ පිටිපසින් ලයිට් එළියක් වැදුනා .
"ගාඩා එකෙන් " කොනර් එහෙම කියනකොටම බැහැලා ආව ගාඩා ඔෆිසර් කෙනෙක් වාහනේ රියදුරු පැත්තේ ශටර් එකට තට්ටුවක් දැම්මා .
" මහත්වරු මොකද මෙතන "
කොනර් මට "උඹ මෙහෙමම ඉඳපන්" කියලා වාහනෙන් බැස්සා
වාහනයේ පිටිපස්සේ තවත් ගාඩා ඔෆිසර් කෙනෙක් සමග තුන්දෙනා කතාබහ කරනවාත් , කොනර් වාහනයේ දිසාවට අත දික්කරමින් යමක් කියනවත් මමපසු පස බලන කන්නාඩියෙන් දැක්කා , සමහර විට මගේ කතාව කියනවා ඇති ,
ඒ සමගම තුන්දෙනා ඉදිරියට ඇවිත් මට එළියට එන්න කියලා කතා කළා ,
" ඔබ මෙහි දැන් කොපමණ කාලයක්ද "
"මම දැන් සතියක් වගේ ඇති "
ඔබ කොයි ගෙදරද හිටියේ
මම හිටියේ දහතුනේ
මම එහෙම කියනවත් සමගම නිලධාරියා ගේ ඇහිබැම උඩ යනවාත්, ඒ එකම ඔහු තමන්ගේ සහෝදර නිලධාරියා දෙස බලන්වාත් මම දැක්කා .
" මහත්මයා මෙහෙමයි .. මේක ජනාවාස වුන තැනක් නෙවී , හැම හැලෝවීන් දවසකම වගේ ... කියමින් ඔහු යමක් කියන්න තැත් කරනවිටම මට මතක් වුනේ මගේ ඉන්දියානු සගයව
නිලධාරියාගේ කතාවට බාධා කරමින් මම
"ඔෆිසර් .. ඒ වුනාට තව කෙනෙක් ඉන්නවා" ,,
"කවුද ඒ ",
"ඉන්දියානු කෙනෙක් , මට අද උදේත් හමුවුනා , අද වැඩට යන්නේ නැහැ කිව්වා"
"මොකක්.....??"කොහෙද....."
"13A ,ගෙදර "
"දෙවියනේ" කියමින් නිලධාරියා 13A නිවස දෙසට දිවගියා ,
කොනර් එක්ක මමත් ඔහු පස්සෙන් ගියා.
.*******
එහි දොර ඇරලා තිබුණේ.
නිලධාරියාගේ විදුලි පන්දමේ එළිය පඩිපෙළ පාමුල නතර වුණා. ඉන්දියානු තරුණයා එතැන වාඩිවී හිටියා.
ඔහුගේ හිස තිබුණේ ඉදිරිපස කුඩා බංකුව මත. එයින් ලේ බිඳු වැටෙමින් තිබුණා
උදේ මට “බ්‍රදර්” කියලා කතා කළේ ඒ මුහුණයි
බ්‍රදර් මම අද වැඩට යන්නේ නෑ........ ඔහුගේ හඬ මගේ කන් දෙකේ රැව් දෙන්න පටන් ගත්තා
.
.
.
.
ගාඩා(GARDA ) යනු අයර්ලන්ත පොලිසිය හඳුන්වන නම , අයර්ලන්තය තුල පොලිස් ලෙස කියවෙන්නේ නැහැ
බැන්ෂි (Banshee) යනු අයර්ලන්තයේ විශ්වාසයන් අතර පවතින මරණයේ විලාපය ලෙස හඳුන්වන යක්ෂ ආත්මයකි . ස්වභාවය: සුදුමැලි මුහුණක්, රතු වූ ඇස් සහ දිගු කෙස් වැටියක් ඇති කාන්තා භූත ආත්මයකි.

No comments:
Post a Comment
හිතට දැනෙන දේ ලියලා යන්න
මේ ඕනෑම විදිහකට
Video: Youtube video link
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]