Tuesday, April 8, 2014

හිනාවෙයන් රාළේ










අද සිංහල අවුරුදු ගීත අතරින් අපිට නිතරම ඇහෙන මතක් වෙන ගීතය තමයි මේ . ගීතයෙන් මැවෙන චිත්‍රය හරිම සුන්දරයි , විචිත්‍රයි ..... හැබෑවටම ඒ සුන්දරත් වය විචිත්‍රත්වය විඳින්න අපිට අවස්තාවක් නෑ කියලා දුක්වෙන අපිටමයි මේ කියන්නේ 

ඊටත් වඩා අතිශය සුන්දර වුනු ,විචිත්‍ර වුනු සහෝදරාත්මක වින්දනීය දිනයක මතක සටහන් එකතුකරගන්න එන්න 

අප්‍රේල් 20 වනදා 

බත්තරමුල්ල පැලවත්ත 

බුද්ධදාස ක්‍රීඩාංගනය


මතක ඇතුව මෙතනට ගිහින් ෆෝම් එක පුරවන්න 


ෆෝම් එක පුරවලා එදාට එන අයට මේ අවුරුදු උත්සවය සදා මතකයේ රැඳෙන දිනයක් බවට පත් කරන්නට සංවිධායක මණ්ඩලය කටයුතු යොදලා තියෙනවා 


අනෙක් වැඩි විස්තර හැම එකක්ම බ්ලොග් අවකාශයේ මිතුරෝ බ්ලොග් අඩවියේ තියෙනවා


පාර දන්නේ නැද්ද මෙන්න මෙතනට ගිහින් 
1.පාරයි 
2. එකතු කරන ගානයි 
3. අනුග්‍රාහක විජට්ටුව එල්ලන ආකාරයයි 

ඔක්කොම බලාගෙන සසිඳු මලයට තැන්කිව් කියලා එන්න 

විශේෂ කාරනාව මෙදා සැරේ අපේ අවුරුදු උත්සවේට විශේෂ අනුග්‍රාහකයෙක් ඉන්නවා ඉතිං මේ බැනර් එක එල්ලලා ඒ අනුග්‍රාහකත්වය වෙනුවෙන් ස්තුතියි පුදකරමු .




එහෙනං හැමෝම සෙට් වෙන්න ඕනේ ඈ 



මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
කැවිළි සුවඳ සිතට දැනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

දොං තරිකිට කැත්ත ‍දොදොං
පිළ වටකර කැත්ත දොදොං
දමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
දමා තැල්ල තක තෙය්යත් තාං
ගමේ රබන් දොරට වඩියි
සිනහ මුහුණු අවට පෙනෙයි

බා බා බා කිකිළී
ඊයෙ උදේ ගිය කිකිළී
තාම ආවෙ නෑ කිකිළී
බා බා බා

ගත්තිංඥා තිංඥා ගති ගත ගෝ ගති ගත ගෝ
සිංහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසේ
මැංගිරි ඩිණිකෝ
අවුරුදු ආවෝ

මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ //

Wednesday, April 2, 2014

රෝස පෙති


නින්ද නැති රැයේ ...
සඳ කඳුළු මීදුමේ ..
හැංගිලා අඬන්නේ ඇයිද .
ප්‍රථම ප්‍රේමයේ ...
තාරුකා දියේ ගිලී .....
නිල් එලිය නිවී ..
වැහි බිංදු වැටේවී
රෝස පෙති කඩා හැලේ ......

නිමේෂා වෙන්වූ දිනයේ ඉඳන් මේ ගීතය මගේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ නොදැනුවත්වමයි. වැඩ ඇරිලා ගෙදර ආවම නංගිගේ මල් පාත්ති ටික දිහා කාමරේ ජනේලෙන් බලාගෙන ඇඳේ වැතිරිලා මේ සින්දුව අහන එක දින චරියාවේ අංගයක් වුනේ කවදා ඉඳන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ නොහිතා ඉන්න මම උත්සාහ කළා.

අතීත මතක එක්ක හිත හැංගිමුත්තන් කරනකොට කාලය ගතවෙනවාවත් , ඉන්න ඉරියව්ව ගැනවත් ,බලා ඉන්නේ කුමක් දිහාද කියලවත් නිනව්වක් නෑ....
"ඇවිල්ලා පොඩ්ඩක් උදව් වෙනවකො .හැමදාම උලමා වගේ මගේ මල් ටික දිහා බලන් ඉන්නේ නැතුව " නංගී ඒ ටික කිව්වම තමයි මට මතක් වුනේ සෑහෙන වෙලාවක් මං බලාගෙන හිටියා නේද කියලා

"අනේ යනවා ඕයි යන්න ,හිතුවද මමත් තමුසේ වගේ බිංකුන්ඩේක් කියලා ,දවස තිස්සෙම පොලව හාරන්න "

"අනේ යනවා යන්න උලමා "

*******

ජීවිතය වෙලාවකට මහා පුදුමාකාරයි . දෙයක් ලැබෙද්දී තව දෙයක් නැතුව යනවා , අවුරුදු තුනක් කැම්පස් ඉඳලා ගත්ත ඩිග්‍රියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ උපාධිධාරී පත්වීම ලැබුණු දා කවදාවත් අමතක් කරන්න බැරිවෙයි , එත් අන්තිමට ඒ රස්සාව ලැබීමෙන් වුනේ "රැකියාවිරහිත උපාධි ධාරීන්ගේ සංගමය " හැටියට හඳුන්වපු අපි "රජයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය" හැටියට නම වෙනස් කරගෙන ආපහු පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු එක විතරද ? නෑ තව වෙනසක් තිබ්බා ඒ බෝඩ් වල "රැකියා දියව්" වෙනුවට "ජීවත් වීමට සරිලන වැටුපක් දියව්" කියලා ලියලා තිබ්බා ...........

ඒ අතින් ගත්තම නිමේෂාගේ තාත්තා කොච්චර නම් දුරදිග බලලා තියෙනවද ?

"ඉස්සරනම් ඩිග්‍රිය අරන් එලියට බහිනකොට කිව්වේ ඔය ළමයි විශ්ව විද්‍යාලේ ගෞරවය රැකෙන පරිදි රට වැදගත් සේවයක් කරන්න ඕනේ කරන රැකියාවෙන් කියලා ...එකට අද ...අද කියන්න වෙන්නේ ඔය ලමයින්ට මොකක් හරි රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක් කියලා තමයි .......

මං ඔය ළමයට කියන්න ඕනේ නෑනේ ..ඔය ලැබෙන දොළොස්දාහේ දීමනාවෙන් පවුලක් නඩත්තු කරන්න බෑ කියන එක . අනික අපිට නිමේෂාගේ අනාගතේ අඳුරු වෙනවා බලන්නත් බැරි බව . අනික දැනටමත් ඒ ගැන අපි තීන්දුවක් අරන් ඉන්නේ , ඒ වැඩ ඉවර වෙනකන් දුව දෙහිවල අපේ අක්කගේ ගෙදර යනවා . ...

පුතා මේ දේවල් අමතක් කරලා ඉස්සරහට යන්න බලන්න ..."

එහෙම කියපු නිමේෂාගේ තාත්තා නැගිටලා ගියේ සියලුම දේ තීරණය කරපු ගානට . රස්සාවක් කියලා මොකක් හරි දෙයක් ලැබුණම යම් සතුටක් තිබ්බත් එකත් ඒ එක්කම හේදිලා ගියා .

මම හිතන් හිටියේ මෙහෙම සිද්ධි වෙන්නේ නවකතාවල , ටෙලි නාට්‍ය වල විතරයි කියලා ...හැබැයි ඒ නවකතා , නාට්‍ය වල නම් පෙම්වතා මාරාන්තික සටනක් දෙනවා , නමුත් මට වුනේ කිසිම නවකතාවක් ,කෙටි කතාවක නැති විදිහට සටනකින් තොරවම සියල්ල අතහැරගන්න .

මට තාමත් පුදුම හිතෙන්නේ නිමේෂා වෙනුවෙන් මං සටනට බැස්සේ නැත්තේ ඇයි කියලා , ඒ කියන්නේ මම නිමේෂට ආදරේ කරලා නැද්ද? මං එදා වුනත් නිමේෂාගේ ගෙදර ගියේ එයාගේ බල කිරීමට මිසක් මගේ හද පතුලෙන්ම ඇතිවුණු උවමනාවකට නෙවෙයි නේද කියලා මගේ හිත තාමත් මාවම ප්‍රශ්න කරනවා ...

හැබැයි කාලය ගතවෙනකොට තමයි මට අවබෝධ වුනේ මම කලේ වරදක් කියලා, මම නිමේෂට ආදරේ කල කියලා . කාලයත් එක්ක මට නිමේෂාගේ වියෝව විරහවක් හැටියට දැනෙන්න ගත්තා . විරහ ගීත අහගෙන ,හුදකලාවේ ඉඳගෙන ඒ විරහව විඳින එක වෙලාවකට විස්තර කරගන්න බැරි හැගීමක් වුනා .

"රස්සාව ලැබුණ දවසේ පෙම්වතිය නැතිවීම ... හ්ම්ම්ම් "

"හුම් හුම් ගගා ඉන්නේ නැතුව මේ තේ එක බොනවා ..ආ ......"

"ඔහොම තියන්න නංගි ..."

"තිය තියා ඉන්නනම් ගෙන්න ඕනේ නෑනේ අයියේ ..මේක බීලා යන දේවාලෙක යනවා .."

********

" ම්ම්ම්ම්ම් 3 missed calls "

මග හැරුන අංකය මොකක්ද කියලා මතක් කරන්න උත්සාහ කරද්දීම ආපහු ඒ අංකයෙන් ඇමතුමක් ...

"හෙලෝ .."

"හෙලෝ ...මේ රුවන්ගිගේ ගෙදරද?...."

ඒ ඇහුනු කටහඬ තාමත් කන ඇතුලේ දෝංකාර දෙනවා වගේ...මම හිතන්නේ මගේ ජීවිතය තුල ඇහුනු මිහිරිම කටහඬ .....මම ටික වෙලාවක් යනකං කතා කරගන්න බැරුව ගොත ගැහුනා ..ඇත්තටම එහෙම වුනේ ඇයි......?

හෙලෝ ....හෙලෝ.....

ඒ කටහඬ නොනැවතී දිගටම ....

ඔව්....ආ මේ ..නෑ ...නෑ ...නෑනේ .......
කවුද ඔය ....?

"ම්ම් එහෙමද ...මට එයා දුන්නු නම්බර් එකනම් මේක ..මම ලියාගෙන වැරදිද දන්නේ නෑ... කමක් නෑ .බොහොම ස්තුතියි ...."

"මේ පොඩ්ඩක් ඉන්න ....."

"ම්හ් .ඇයි ....."

"නෑ.. මේ මේ ..ඔව් සමහර විට ඔයා ලියාගෙන වැරදි ඇති ....."

"හි හි හි ..ඔව් එහෙම වෙන්න ඇති .....තෑන්ක් යූ ..."

"බායි .."

*******

එදා රෑ නින්ද ගියෙත් නැද්ද මන්දා.... බොළඳ නවකතා , මල් කතා කියලා මිනිසු හංවඩු ගහපු පොත් කීපයක්ම කියවා තිබ්බ නිසාමද මන්දා "ආත්මීය ලෙන්ගතු කමක් "ඒ කටහඬේ තිබ්බද කියලා හිතෙනවා . මේකට ආපු පලවෙනි මිස්කෝල් එක මේක නෙවයි වුනත් මේ කටහඬ මට මතක් වෙන්නේ ඇයි. නින්ද නැතුව ඇන්දේ එහෙ මෙහෙ පෙරලෙන වාරයක් ගානේ ඒ කටහඬම ඇහෙන්නේ ඇයි?

ඒ කටහඬ ආපහු අහන්න මට හිතුනත් ....මොකක්දෝ හිත කීරි ගැහෙන හැගීමකුත් එක්ක බයක් හිතට දැනුනු නිසා මම ඒ අදහස දවසින් දවස කල් දැම්මා ...."

එත් දවසක් හිතලා හිතලා හිතට ගත්තු දහිරියත් එක්ක මම ආපහු කෝල් කලේ ඒ කටහඬ අහන්න තිබුණු ආසාවටමයි ..

" හෙලෝ .................හෙලෝ....................හෙලෝ......"

කීපපාරක්ම ඒ කටහඬ ඇහුවට පස්සේ මම කතාකලා ...

"හෙලෝ ..ඔයාට රුවන්ගිගේ නම්බර් එක හම්බ වුනාද?.............."

"ම්ම්ම්ම් ...කවුද මේ ........

********

සුදු අයියේ ..................අයියේ ....

"ඇයි මොකද ? මොනවද ඕනේ ......බටර් නැතුව කියනවද "

"අයියේ ....මේ ඔයා ...අද .........එනකොට ..."

"ඇඹරෙන්නේ නැතුව කියනවා ඕයි මට පරක්කුවෙන්වා ...."

"අප්පෝ මෙයාගේ සැර....
අනේ ..අයියේ ඔයාට පුලුවන්ද මට අර "ඇමරිකන් බියුටි "කියන රෝස මල් පැලයක් ගෙනත් දෙන්න ...අනේ ගෙනත් දෙනවකො හලෝ......."

"පිස්සුද තමුසෙට ....ඇමරිකන් බියුටි ..බම්බුව ....යනවා යන්න ......අම්මේ මම යනෝ ..."

"හාහ් ඒ කියන්නේ බැරිද ? ඉන්නවකෝ මම කියන්න අම්මට රෑ තිස්සේ කුටු කුටු ගගා ලව් කරන ඒවා ඔක්කොම කියනවා ...."

"කියා ගන්නවා ඉතින් .....එහෙම කිව්වට ඒ වචන ටික ඇහුණාම මගේ හිත පුදුමාකාර ප්‍රබෝධයකින් පිරීයනවා වාගේ දැනුනා...මග අරුණු ඇමතුම මගේ ජීවිතයේ මෙච්චර වෙනසක් කරාවිය කියන දේ මම හීනෙකින් වත් හිතුවේ නෑ...

ඒ වෙනකොට මුතු එක්ක කතා කරන එක දිනචරියාවේ අංගයක් වෙච්ච බව නංගිගෙන් හංගන එක ලේසිවුනේ නෑ. ඇහින්වත් නොදැක කිසිම විස්තරයක් නොදැන මාස ගානක් පුරාවට ඒ කටහඬ එකම සංකේතය වෙච්ච මුතුට ඇයි මෙච්චර ආකර්ෂණයක්, ඒක ආදරයක්ද?.

එහෙම වෙන්න පුලුවන්ද ? දකින්නේ නැතුව, මූණ බලාගෙන කතාකරන්නේ නැතුව ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? නෑ නෑ ඒක ආදරයක් නෙවෙයි ..... නැත්තේ මොකද එහෙනම් මොකද හැමදාම උදේට ෆෝන් එක  දිහා බලන්නේ මිස්කෝල්, මැසේජ් තියෙනවද කියලා. මොකද එහෙනම් දවසක් කතා කරන්න බැරිවුනොත් මහා හුදකලාවක් දැනෙන්නේ ...?


කොහොම වුනත් නිමේෂා පසු නිසා කාලීනව ඇතිවුණු විරහ වේදනාව අඩු කරගන්ට මම යොදා ගත්ත ක්‍රමයක් විතරද මේ ..

මගේ හිත හැම තිස්සෙම මගෙත් එක්ක වාදේට පැටලෙන එක මට වෙලාවකට හිරිහැරයක්. ඒ වෙලාවට මම  මගේම කොන්ඩෙන්  ඇදගෙන ඇදගෙන ගියේ පිස්සුවෙන් වගේ ...

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා ......
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා......

**********

"මේ මුතු ..... "

"ම්ම් ඇයි ...මගේ නම පාඩම් කරනවද .....හි හි හි හි ....."

"හැම එකටම හිකි හිකි ගාන්නේ නැතුව ටිකක් අහගන්නකෝ .."

"කියන්නකෝ සර් එහෙනම් ..හි හි හි හි හි ...."

"ඔය ආයෙත් හිකි හිකිය ...ළඟ හිටියනම් පලනවා කන ...."

"ඒකනේ ලඟට එන්නේ නැත්තේ  හි හි හි හි හි ....."

"මේ  ඒක නෙවෙයි .....මට දැන් හරි ආසයි ඔයාව දකින්න ........ කවදද අපි හම්බ වෙන්නේ .......?"

"ඉතින් ඔයා මාව දැකලා තියෙනවනේ ,"

"ඒ ඉතිං ෆොටෝ එකෙන් නේ ..."  
මම එහෙම කියනකොටත් රතුපාට හැට්ටයක් ඇඳගෙන අරලිය මලක් ඔලුවේ ගහගෙන ලස්සන හිනාවකින් සැරසිලා ඉන්න මුතූගේ උඩුකය චායාරූපය මගේ අතේ , හැමදාම මුතූ එක්ක කතා කරනකොට එයාගේ ෆොටෝ එක අතට ගන්න එක මට නොදනුවත්වම වුණු දෙයක්.

"ඒ වුනාට කවුද දන්නේ එක වෙන කාගේ හරි ෆොටෝ එකක්ද කියලා ..."

"ඔයා හිතන්නේ මං ඔයාට වෙන කාගේ හරි ෆොටෝ එකක් එව්වා කියලද සුරාජ් .....?"

"හා හා ඉතින් තරහ ගන්න එපා ..මම කිව්වේ ඔයාව මට දැන්ම බලන්න ඕනේ නිසා .."

" අපෝ මෙයාගේ හදිස්සිය ....පොඩ්ඩක් ඉන්න ...."

" බෑ බෑ ..පොඩ්ඩක්වත් ඉන්න බෑ අදනම් ඔයා මට හම්බවෙන විදිහක් කියන්නම ඕනේ ...."

"ඉවසන්න පුරුදු වෙන්න සුරාජ්....
අපි හදිසි වෙලා වේගෙන් යනකොට අපිට වටේ තියෙන දේවල් පෙන්නේ නෑ... අපිට ඇත්ත වගේම ලස්සනත් මග ඇරෙනවා ..ඒත් හෙමින් යනකොට හැමදෙයක්ම පැහැදිලියි ..එතකොට අපිට ලස්සන බලන්න පුළුවන් ...සත්‍යය දකින්න පුළුවන්....."

"ඔය පණ්ඩිත වාක්‍ය මට වැඩක් නෑ ...ඔයා මට අද දවසක් කියනවද නැද්ද?...

"අප්පෝ මෙයාට යන තරහා ....
ඇයි ඔයාට ඔච්චර හදිස්සි .සමහරවිට ඔයාට හොඳ ගෑනුළමයෙක් ගෙදරින් ප්‍රපොස් කරල වෙන්න ඇති  ?    හි හි හි

මුතූ ..අදනම් ඔයාට මග ඇරලා යන්න වෙන්නේ නෑ මෙහෙම එක එක විකාර කියවලා .

"මම ඔයාට ආදරෙයි මුතූ....."  
 මම ඒ වචන ටික කියාගත්තේ කොච්චර අමාරුවෙන්ද ? හරියට උගුරේ කාලයක් තිස්සේ හිරවෙලා තිබ්බ දෙයක් එක සැරේම එලියට ආවා වගේ සැහැල්ලුවක් මට දැනුනා ඒ වචන ටිඅක් පිටවුණාට පස්සේ .

ඒත් ඊට පස්සේ ඇතිවුණු දිග නිහැඬියාව ආයෙමත් මාව නොඉවසිලිමත් කළා

"මුතූ..................?"

"සුරාජ් ...... මටත් ඔයාට එහෙමම කියන්න පුළුවන් ..එත් ඔයා මං ගැන හරියට දන්නේ නෑනේ .."

"එක තමයි මම මේ දැනගන්න හදන්නේ .." මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ ?"

"ඒක දිග කතාවක් සුරාජ් , මං මේක ඔයාට කියන්න ඕනේ කියලා හිතනවා එත් මට එකට හිත හදාගන්න කාලයක් ඕනේ .."

මං දන්නවා මුතූ .. ඔයා ඔය හදන්නේ .... මම කලින් යාළුවෙලා හිටියාය , එයා දාලා ගියාය ,එයා අමතක කරන්න බැරිය ..කියා කියා සාම්ප්‍රදායික බයිලාවක් ගහන්නනේ , ඔයා මං ගැන හරියට දන්නේ නෑ ..මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ."

සුරාජ් ..මට ටිකක කල් දෙන්න

කොච්චර කල්ද?

ඊට පස්සේ අයෙමත් ඇතිවුනේ මං අකැමතිම නිහැඬියාව ..එළියේ කෑ ගහන රැහැයියන්ගේ සද්දේ පවා මට හොඳින් ඇහුනා . ටික වෙලාවකට පස්සේ නිහඬ බව බිඳගෙන මුතූ ආපහු කතා කළා

"හරි ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් දෙයක් කරන්න ..."

"මොකක්ද ....මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා ඔයා හිතනවද?"

" ඔයා මම වෙනුවෙන් රෝස පැලයක් හිටවන්න ......"

"රෝස පැලයක්......?"

"ඔය ඉතින් ආයේ කලබලේ ...අහ ගන්නකෝ.... මමත් එකක් හිටවනවා ඔයා වෙනුවෙන් ...අපි දෙන්නගෙන් කාගේ හරි එක්කෙනක්ගේ ගහක මලක් පිපිණු දවසක අපි හම්බවෙමු ....ඒ මලත් අරගෙනම ...."

"හැක හික් ...ඉතින් කරමු ..."

"හැබැයි සුරාජ් මේක අවංකව කරන්න ඕනේ ....ඔයාට ඕනේ නම් කඩෙන් මලක් අරන් මාව රවට්ටන්න පුළුවන් එත් මම හිතනවා ඔයා අවංකයි කියලා ..මේක මගේ ඉල්ලීමක්....."

 මම ආයෙත් කලපනා කලේ මොන විකාරයක්ද මේ කියලා , මම මෙහෙම දේවල් හින්දි ෆිල්ම් වලනම් දැකලා තියෙනවා . හැබෑ ජීවිතයේදී මෙහෙම විකාරයක් ඇහුවමයි .

හැබැයි ඒ ඉල්ලීම කරපු විදිහෙන් මට කොහෙත්ම බොරුවක් කරන්න හිතුනේ නෑ.....

*************

" අප්පේ මේ මොකද ......? අද නම් බස්නාහිරින් ඉර පායයි..... අනේ ඇමරිකන් බියුටි එකක් නේද...? , මොකද මේ ............. මොනා වෙලාද ඔයාට ..."

"ඇයි තමුසේ ඉල්ලුවේ ...?"

"ඒ කොයි කාලේද ...ඇයි තමුසේ බෑ කිව්වේ ...
මොකද මේ ..ආ....පොච්චියකුත් ගෙනත් ...අර රෑට රෑට මල් කඩන කෙල්ල කිව්වද රෝස පලයක් හිටවන්න කියලා .....අම්මේ..................."

"ඕයි... හරකි ..මෙහෙ එනවා ..අම්මට කියලා තිබ්බොත් බලාගෙනයි ........"

"ඌයි කන ...."

"මේ නංගි ..මට මේක හිටවන්න කියලා දෙනවකො ......"

"අප්පට බොල....මෙන්න වැඩක්......අපි කිව්වම වතුර ටිකක් දාන්න බෑ ..කොහෙවත් ඉන්න කෙල්ලෝ කිව්වම පෝච්චිත් උස්සගෙන එනවා මෙතන ...මට බෑ...."

ගස්සාගෙන හැරුණු නංගි ගෙට ගියාම ..මං කලේ රෝස මල් පැලේ සීරුවට පෝච්චියේ හිටවපු එක ...'

"කවදාවත් මල් පැලෙකට වතුරවත් දාලා නැති මගේ අතින් හිටවපු රෝස පැලේ දළු දාලා පැලවෙලා එනකොට මට හරිම ආස හිතුනා ....මගේ සාත්තුවෙන් රෝස පැලේ සරුවට වඩේන හැටිත් ..මං සාත්තු කරන හැටිත් නංගි බලාගෙන හිටියේ හිනාව පුරවාගෙන .....

**********

රෝස පැලේ පොහොට්ටුවක් ඇවිත් තිබ්බ දවස මට අද වගේ මතකයි .....පහුවදාම මම මුතු එක්ක ඒ ගැන කිව්වේ හරිම සතුටකින්.....

"ඇත්තද ......"

"ඔව් ..ඇයි ඔයා දුකින් වගේ ...ඔයාට සතුටු නැද්ද.....?, ඔයා ඒ ගමන තවත් හේතුවක් හොයන්නද හදන්නේ හම්බවෙන්නේ නැතුව ඉන්න "

"තරහ ගන්න එපා සුරාජ් ..ඔයා හරිම හොඳ කෙනෙක් ....එත් ඔයා ගේ ඔය කලබලේ තමයි වැඩේ ...."

"වෙනදා සැහැල්ලුවෙන් කතා කරන මුතු මොකද මේ අද සීරියස් වෙලා...."

එත් මං අහපු දේට උත්තර දෙනවා වෙනුවට ....

"සුරාජ්.....ඔයා හොඳටම දැක්කද පොහොට්ටුවක් ඇවිත් කියලා ......"

"ඔව් මොකද මම නොදැක්කේ ..මාස ගානක් බලන් ඉඳලා මේක දැක්ම මට දැනුනු සතුට ඔයාට නැති එක ගැන මට හරිම පුදුමයි මුතු "

"ඔයා දැක්කද සුරාජ් ඒ රෝසමල වටේට තියෙන කටු ...කොච්චර ලස්සන රෝසමලක් වුනත් වටේට තියෙන කටු හරිම නපුරුයි සුරාජ්....."

"මුතූ................"

"සුරාජ් ..... මම දන්නවා මේ ටික ඇහුවට පස්සේ ඔයා මට තවත් කෝල් කරන එකක් නෑ කියලා , එත් අපි ඇත්තට මූණදෙන්න ඕනේ සුරාජ්........

මං උපතින්ම කකුල් දෙකම නැති කෙල්ලෙක් සුරාජ්....මම .................

බිම වැටුණු දුරකතනයෙන් තවත් වචන එලියට එනවා වගේ මට ඇහුනත් ඒ මොනවද කියලා හොයන්න මම උත්සාහ කලේ නෑ....

එදායින් පස්සේ මම කවදාවත් රෝස පැලේට සාත්තු කරන්න ගියේ නෑ.... ඒ පැලේ ඔහේ මියැදෙන්න හැරියා  හරියට මගේ මතකය වගේම ............මම වැරදිද......?


Wednesday, March 12, 2014

පොඩි පුතා


ලොකු පුතේ......අනේ ලොකු පුතේ........බලාපන් ලොකුපුතේ

ඒයි ....අන්න අම්මද කොහෙද ? ඒයි ...නැගිටින්න අනේ ......

මම උඩ විසිවී ඇහැරුනේ අම්මගේ සද්දයට නොව ..මීනා කොසුමිටේ අග්ගිස්සෙන් ඇන්න පාරට බව මට මතක්වුනේ ..දුවගෙන ගොස් දොර අරින්කම්ම පශ්චාත් භාගට රිදුම් දෙන්නට වූ බැවින් සහ අම්මගේ හඬ ඇසෙන්නට වූයේ ඊටත් ටික වෙලාවකට පස්සේ බැවිනි.

දොර අරින්න්ටත් පෙරම දොර තල්ලු කරගෙන් ගේ ඇතුලට පැනපු අම්මා  ගමන් මාව බදාගෙන හඩන්නට විය ....

"අනේ ලොකු පුතේ ...උඹේයි ,මගෙයි ආත්මගෞරවේ ඉවරයි ..ඉවරෙටම ඉවරයි ....බලාපන් මේ මල්ලි කොරන්ට හදන වැඩ......තාත්තා හිටියනම් මොනවයින් මොනවා වෙයිද ..අපි නම්බුකාර විදිහට ජීවත් වෙච්ච මිනිස්සු නේද ලොකු පුතේ ..."

"හරි අම්මේ ඉතින් මොකද ඒ පාර .......මිනිහා අර ඩොරින් එක්ක පැනලා ගිහින්වත්ද.... .."

නෑ පුතේ එහෙම දෙයක් නෙවෙයි ......"

"එහෙනං....?

මිනිහා රස්සාවකට යන්ට හදනවා .........මං ඒක එපා කියපුවාම තව තව රස්සා වගයක් ගැන කියනවා ඒ එකක්වත් අදකාලේ වැදගත් මිනිහෙකුට කරන්ට පුළුවන් රස්සාද?

හප්පේ මං හිතුවේ මිනියක්වත් මරලා කියලා ..දැන් මොනවද ඔය රස්සා ......

වටපිට බලපු අම්මා මගේ කන දිහාට ලන්වුනේ රහසක් කියන්ට වගේ ..ඒත් ඒ සැනින්ම අම්ම අහකට වුනා ..මම පිටිපස්ස හැරිලා බලද්දී දැක්කා මීනා කොස්සත් අතේ තියන් දොර ලඟින් මෑත් වෙනවා ....

කනටම ලං වෙච්ච අම්මා ....."පොලීසියට" ....කියලා කිව්වේ හරියට මහා අපරාධයක් කරපු කෙනෙක් ගැන කියනවා වගේ ..

ආ ඉතින් හොඳයිනේ ......කොච්චර දෙයක්ද? මට එක කියවුනේ වැටේ කේස් එකට ඊයෙත් නලින් කාරයා මාත් එක්ක පැටලෙන්ට ආපුනිසා .."දෙන්නම් සබ්බුව මලයා පොලිසියට ගියාම " ඒක හිතෙන හිතුවත් පිටකරේ නැත්තේ අම්මගේ ප්‍රතිචාරේ කොහොම වෙයිද දන්නේ නැතිනිසා ..

දැන් ඔය පොලිසියට ගියාම මූට ඔය එක එකා එක්ක ආයුධ හංගලා තියෙන තැන් බලන්ට යන්ට හැංගිමුත්තන් කොරන්ට යන්ට වෙයිද ලොකුපුතේ ,,

"ම්ම්ම් ඔව් සමහරවිට ..."

"එතකොට සමහරවිට ඕකට SI පට්ටමක් ලබෙන්ටත් බැරිකමක් නෑ නේද?"

"ඔව් ලැබෙයි ..."

"දෙයියනේ එතකොට සල්ලිකාර ගෑණියෙක් එක්ක අහිහොන්දයිකම් පවත්තලා ඕකව මරලා දායිවත්ද ?"

"නෑ ...ඉතිං..........මේ ....හැමෝම එහෙම නෑනේ ........මේ....."

එතකොට කවදා හරි ඕකා O.I.C. කෙනෙක් වෙයිද ..."

"ඔව් වෙයි වෙයි .....අනිවා ..."

"එතකොට ඌ පොලිසිය ඇතුලෙම කුඩු විකුනයිද පුතේ ...."

"අප්පට සිරි ........නෑ....."

"එතකොට ඕකා කවදාහරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙයිද .....'

"ඔව් වෙන්නත්පුළුවන් ........ඒ කතාව කියනකොට මට පොඩි ආඩම්බරයකුත් ආවා ..."

"විනාසයි විනාසයි ......."

":ඇයි අම්මේ ..........?

"ඇයි අහන්නේ බොල ඕලමොට්ටලයෝ උඹට තේරෙන්නේ නැද්ද ...ඔතනට ගිහින් ඕකා මුළු රටක් ඉස්සරහ කෙබර ඇදබානකොට මුළු රටේම මිනිස්සු බනින්නේ ඌට නෙවෙයි බොල මට ....මේ හතර පෝයට සිල් ගන්න මට  ඕකා නිසා මුළු රටේම මිනිස්සුන්ගෙන් බැනුම් අහුවැකිද?

ඉත්න් මම ඒ රස්සාවට අකමැති වුනාම ඌ කියනවා ඌ කොහොම හරි ගුරුපත්වීමක් ගන්නවලු....

" කොච්චර හොඳද....?"

"දැන් ඔය ගුරු පත්වීම හම්බවුනාම දුෂ්කර සේවේ ඉන්න වෙයිදපුතේ ?"

"ඔව් අඩු ගානේ අවුරුදු පහක්වත් ..."

"ඉතින් එතකොට ඒ කාලේ ඕකා දඩමස් විකුනයිද?.."

"අනේ මන්දා ,,අම්මේ ....."

"මූ ඉස්කෝලේ විනය පාලක තනතුරට පත් කරයිද?

"ඔව් එහෙම වෙන්නත් පුළුවන් '

"එතකොට එක්කෝ මූ කොල්ලෙක්ගේ කනපලයි, නැත්තම් ගවුම් වාටි ලිහලා ඉස්කෝලේ ඉස්සරහ දනගහගෙන ඉන්න වෙයිද.....අනේ දෙයියනේ .."

"හරි ඉතිං ...විනය ඕනේ නෑනේ තව දේවල් තියෙන්නේ ගුරුවරයෙක් වුනාම..."

" මොනවද අමතර පංතිද?  නෑ නෑ ඕනේ නෑ ඊට පස්සේ ප්‍රශ්න පත්තර උස්සලා කියලා හිරේ ලගින්න වෙයි "

"මේ ලොකු පුතේ ..."

"ම්ම්.."

"කවදා හරි ඕකා ප්‍රින්සිපල් කෙනෙක් වෙයිද .."

"ඔව් ඉතින් වෙයිනෙ "

"අනේ අම්මේ ... එපා ...එක්කෝ මූ කුණුහරුපෙන් බැනලා කෙල්ලෝ කොල්ලෝ බෙල්ලේ වැල දාගනියි ,නැත්තම් ළමයෙක් ඉස්කෝලෙට දාගන්ට කියලා කාගේ හරි ගෑනු ගැටෙකට අහුවෙලා පරම්පරාවේම නම්බුව කයි ...එක්කෝ පගාවක් ගත්තා කියලා පොලිසි ගානේ ලගින්ට වෙයි .....ඔය මොකක්වත් නැත්තං කොල්ලෙක් ඔපිසියට පැනලා මුගේ කොන්ද කැඩෙනකම් ගහයි ...
ඕනේ නෑ ඕනේ නෑ......."

ඊට වඩා හොඳයි හමුදාවට යන එක මොකද ප්‍රින්සිපල් කෙනෙක් වුනත් අන්තිමේ ඉතින් වෙන්නේ හමුදා කාරයෙක් වෙන එකනේ ...හමුදාවට ගියානම් එකක් ..මෙහෙම ගියාම වෙන්නේ වෙඩි  තියන්ට තියා රතිඤඤාවක් වත් පත්තු කොරන්ට බැරි කොර්නෙල් කෙනෙක් වෙන්ට නේ

අම්මේ ...අම්මේ.........

ඇතින් කෑ ගහමින් මල්ලි මතුවෙනකොටම මගේ බඩ පපුව පත්තුවෙලා ගියේ  මූ ඒ ගමන මොන හරුපයක් කියලා අම්මව තව අවුස්සා ගනියිද කියලා

"අම්මේ අම්මේ ..හාහ් හාහ් හාහ් .."

"අනේ ඉතින් හති දාලා ඉවරවෙලා කියහන් පොඩි පුතේ ....."

අම්මේ ..අම්මේ ...ලොකු අයියේ ...ඔන්න මමං ඔය රස්සා එකකටවත් යන්නේ නෑ.......මට අලුත් රස්සාවක් හම්බවුනා ......."

"මොකක්ක්ද පොඩ්ඩෝ ......'?

"මේ බලන්න ....මල්ලි අතේ තියාගෙන හිටපු කොලේ දිග ඇරලා අම්මටයි මටයි පෙන්නුවා ...

"ශ්‍රී ලාංකීය පප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ "අළුගෝසු "තනතුර ....."

මේක දැකපු අම්මාගේ ඇස් දෙකට කඳුළු පිරුනා ...එත් බලද්දී ඒ සතුටු කඳුළු

"මගේ පොඩි පුතේ ...මම දැනගෙන හිටියා කවදා හරි උඹ කුරා කුහුඹුවෙකුටවත් වරදක් වෙන්නේ නැති රසාවක් තෝරා ගන්න බව උඹට දෙයියන්ගේම පිහිටයි "
.
.
.
.

ගිය අලුගෝසුවා නොආවොත් වෙනත් අයෙක්‌ ගන්නවා- බන්ධනාගාර දෙපාර්තමේන්තුව



Sunday, March 2, 2014

අවසන් සක්මන




හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවා

ඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .

ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට අද තාක්ෂණික මෙවලම් අද වනවිට පවතිනවා .

එහෙත් ඒ කිසිවකින් හදවතේ ජනිත වන හැඟුම් ඒ ආකාරයෙන්ම ජනිත් කරන්නට සමත් වේද?

පෙම්වතෙකුට පෙම්වන්තියකට කාලය යනු කොතරම් තිබුනත් මදිවෙන එකම දේ වන්නට පුළුවන්. තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තුරුළු වී ගතකරන සෑම හෝරාවක්ම විනාඩි කිහිපයක් ලෙස දැනෙන්නේ ඇයි.....?

යම් යම් බාහිර හේතූන් නිසා පෙම්වතෙකුට පෙම්වතියකට වෙන්වී යන්නට සිදුවුනොත් ...? ඒ වෙන්වීයන මොහොතේ ඇති හැඟුම්බර බව වටහාගත හැකිද? ඒ අවසාන සැන්දෑව කොතරම් නම් කෙටි විය හැකිද?
 ඒ අවසන් මොහොත මේ විශ්වයේ වේගයෙන්ම ගතවුණු මොහොත ලෙස ඔවුන්ට දැනෙන්නට පිළිවන.

අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා ,,කුමන හේතුවක් උදෙසා වෙන් වූවද එහි දුක දැනෙන්නේ වෙන්වූවන්ට පමණි. ලෝකයට කාලයක් ගතවනවිට මේ සියල්ල අමතකව යයි.එත් අපට..?

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

කෙසේ අවසනදී අහිමිවූවන්ට පමණක් දුක උරුම කර තියා කාලය සුපුරුදු ලෙස ගලා යයි. ස්වභාව දහම සුපුරුදු ලෙස පවතියි...

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

හමුවීමක් නොමැති නම්  වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....


අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

අවසාන සැදෑ සක්මන............... 

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්  


Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe

Wednesday, February 26, 2014

උපන් ලපය .....The Birth Mark


"සරසවියේදී හෙට විතරයි හමුවන්නේ ......
කිම්ද කුමාරි නෙත කඳුලැලි පුරවන්නේ .....
සිහිනෙන් දැකුමට ........

ජනා ..ජනා ......ජනා .......

"කවුද යකෝ....නිදහසේ ඉන්න දෙන්නේ.......ආ සුරා ...."දොරට දඩිබිඩි ගාලා ගහන සද්දෙට නැගිටලා දොර අරිද්දි දොර ළඟ හිටියේ සුරංග ...

"මොකද සිංදුව දාගෙන ..තාම යන්න අදහසක් නැද්ද ... ආයේ ඉතිං මේවයේ බුදියන්න වෙන්නේ ලබන ආත්මේ තමයි. බඩු ලෑස්තිද?

"පොත් ටික ඊයෙම යැව්වා බං කල්ලා අතේ ,උන්ගේ මාමා ආවනේ කැබ් එකක...ඇඳුම් කෑලි තුන හතර නම් ගෙනියන්න් බැරියැ..."

"ඔව් ඕව නොගෙනියන එකමයි හොඳ අවුරුදු හතරකින් හෝදලා නෑනේ ? ...මම අද යනවා ..."

"ඇයි අනිද්දා යතුරු බාර දුන්නම ඇතිනේ ..? එතකොට සවීණා ..?

"අනිද්දා වෙනකන් හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ ......ඒ ප්‍රේමයත් අතීතයට එකතුවෙයි වගේ ....."

"ඒ මොකෝ....ඕකනේ කියන්නේ මැණික් ගලේ පය වැදුනට කණා ඇහිඳලා ගනීද කියලා , අම්මප මට එහෙම සවීණා වගේ කෙල්ලෙක් හිටියනං මං දනී.."
මං ඒ ටික විහිලුවට වගේ කිව්වට ඒ ටික කියවුනේ බොක්කෙන්මයි කියලයි මටනම් දැනුනේ ....ඇත්තටම මම කැම්පස් එකේ හිටපු කැමතිම කෙල්ල සවීනා ...එත් කොහෙද මට කලින් මූ ඉස්සර වුනානේ ...

"ගං කබරයන්ගේ ගමේ එකා ගං කබරයෙක්ම තමයි ඉතිං... ඔච්චර හොඳ කෙල්ල උඹට කරපු වැරැද්ද මොකක්ද යකෝ ...?"

"උඹට තේරෙන්නේ නෑ ජනක ඒවා ... ඒකි කියනවා මාස හයක් ඇතුලත අනිවා ස්ටේට්ස් යන්න ඕනෙලු ...එයාලගේ පුංචි ලඟට ..ග්‍රීන් කාඩ් හම්බවෙනවා කියන්නේ .අපේ තාත්තා කැමති නෑ ඒ ගැන කතා කරන්නවත් ...අනික තාත්තලාට ගමේ තියෙන තැන ගැන හිතුවම ඔය රටවල් වල ගිහිං නිකන් පීචං වෙන්නේ ඇයි කියලා තාත්තා අහනවා .."
අනික අයියත් තාත්තගේ කීමට පිටින් ගිය එකේ ඔය ඔක්කොම දේපල මටනේ බන් කවදා හරි...."

මට ආපු කේන්තිය නිවා ගන්න විදිහක් හිතාගන්න බැරිවුනා ...
"බෝල කේප්ප වස්සෝ එතකොට තෝ හදන්නේ ඔය පොල්ගස් ටික හින්දා රටක් වටිනා කෙල්ලෙක් අතාරින්න්ද  ඈ කියපං ..."

මගේ දිහා නිකං කින්ඩියට වගේ කටකොනකින් හිනවෙච්ච සුරංගය .."ජනා මේ ..මේ ඩිග්‍රිය අරං පාරට බැස්සම උඹට රස්සා දෙන්න කට්ටිය පෝලිමේ බලන් ඉන්නව කියලද උඹ හිතන්නේ..? අනේ යකෝ...?අනික මේකේ මේ කාල් ගාලා හම්බවෙච්ච සහතිකෙන් ඇමරිකාවේ ගිහින් හරක් බලන්නවත් පුළුවන් කියලද උඹ හිතන්නේ ..."

දඩාස් ගාලා දොර වහගත්ත සුරංගයා කාමරෙන් පිටවුනා...

*******

ඇඳේ දිගා වෙලා ඉද්දි මට මතක් වෙච්ච පරණ සිද්ධිය නිසා මට පොඩි හිනාවක් ගියේ සුරංගයාගේ වැඩ මතක් වෙලා ...කොච්චර ඉගෙන ගත්තත්, තරුණ වුනත් , මිනිස්සු ආශ්‍රය කලත් මින්හා පරණ හණමිටි අදහස් කරපින්නගත්ත පොරක් නේද කියල මට නිතරම හිතුණා.

"මචං ජනා උඹට නම් කෙල්ලෝ ,ගෑනු වහ වැටෙනවා බං... " මිනිහා මට කිව්වේ කැම්පස් ෆිස්ට් ඉයර් එකෙදිමයි ....'

"ඔය වෙලාවට තමයි අම්මප උඹේ හොම්බට දමලා අනින්න හිතෙන්නේ ..."

"මොකෝ "

"මොකෝ ගාන්නේ ...යකෝ උපන්තේකට කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරිවෙච්ච මට නේ තෝ මොහෙම කියන්නේ ...ඉස්කෝලෙදි හය හත් දෙක්ගෙන්ම ඇනගත්ත මදිවට....මිනිස්සුන්ට ඔයිට වඩා ශිෂ්ට විදිහට අපහාස කරපන් හරිද?"

"නෑ බං උඹේ ඔය යටි තොලේ අයිනේම තියෙන උපන් ලපේ තියෙනවා නේද? එහෙම තියෙන අයට ස්ත්‍රී සැප ලැබෙනවලු ..දැන් නැතිවුනාට අනාගතේදී ලැබෙන්න බැරිකමක් නෑ "

"උඹේ ආච්චිගේ රෙද්ද...?"

*******

"මොකද ජනක තනියෙන් හිනාවෙන්නේ ....ආ තේ එක.."

" අඃ............ රදිකා ...ලඟට එනකම්ම දැක්කේ නෑ..."

" මොකද මේ .....කෝලං ..."

"නෑ රදී ... මම මේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා ..."

"ඒ මොකද .....ඊට පස්සේ ...?"

" මගේ යාලුවෙක් අලුතෙන් ටුවරිසම් පටන් ගත්තා .. මටත් කතා කළා පුළුවන් නම සෙට් වෙන්න කියලා . මුලදී මිනිහාගෙම වාහනෙකින් කරන්න පුළුවන් .."

"අනේ මන්දා ජනක ඔයාගේ කැමැත්තක් ..ඔයා ඉතින් උගත් කෙනෙක්නෙ ඔයා හිතලා බලලා හින්ද විදිහට කරන්න.."
 රදිකා ගේ මං හැමදාමත් දැක්ක වගේම මං කැමතිම නැති ගුණාංගය වුනෙත් මාව හරිම ඉහලින් තියලා කතා කිරීම ...එක අතකට එයා හිතන්න ඇති ඒ ලෙවල් විතරක් පාස් වුන එයාට වඩා ඩිග්රියක් තියෙන මම හරි බුද්ධිමතෙක් කියලා ..."

*******

"ඔයාට ඔය රස්සාව නැතුව වෙන රස්සාවක් කරන්නම බැරිද ජනක..?"

අවුරුදු ගානකට පස්සේ අලුත් ගෙට මුල්ගල් තියපු දවසෙම රදිකා අහපු ඒ ප්‍රශ්නෙන් මම අන්දුන්කුන්දුන් වෙලා ගියා .

මොකෝ රදී ..මේ .."

" නෑ ජනක මට බයයි....මේ රස්සාව ගැන මිනිස්සු කියන කතා අහලා මට බයක් දැනෙනවා....."

"සල්ලි වගේ නෙවෙයි ජීවිතේ ජනක "

මේකට උත්තරයක් දෙන්න මං සැහෙන්න කල්පනා කළා

"රදී ..අද කාලේ ටුවරිසම් කිව්වොත්, මොඩ්ලින් කිව්වොත් මිනිස්සු හිතන්නේ උන් වේසකමේ යනවා කියල ...මම කවදාවත් ඔයාගේ විශ්වාසෙ කඩ කරලා නෑ රදී..." මේ ටික කියලා ඉවර වෙනවත් එක්කම මගේ අත නොදැනුවත්වම යටි තොලේ තිබ්බ උපන් ලපය දිහාට ගියේ රදිකා ඒ දිහාම බලාගෙන හිටපු නිසා ...මට ක්ෂණයෙන් සුරංගව මතක් වෙලා නොපෙනී ගියා ...

*******

"ජනක සති තුනක ටුවර් එකක් එනවා ලබන දහවෙනිදා ඉඳන්..."

"සති තුනක් ..කොහෙද...?"

"මම හිතන්නේ ලංකාව පුරාම යන්නවෙයි.... පෙන්සිල්වේනියා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඉන්න ලේඩි කෙනෙක්ලු...ලංකාවෙන් ගිය .."

"ආපෝ ..ලෝකල්ස් ලා එක්කනම් එපාවෙනවා....හම්බවෙන කොමිස් එකටත් කෙලවෙනවා උන්ව ඇද්දම.."

"පිස්සු කෙලින්න් එපා බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනක්....එයාගේ ඔය මොකක්ද පොත ලියන්න කරුණු වගයක් හොයන්න ...ලොස් නෑ බොරුනම් බලපන්කො..."

"ෂුවර් එකට පී.එච්.ඩී. එකට තිසීස් එක කරන්න එන ඩයල් එකක් වෙන්න ඇති ..ෆුල් බොරින් සති තුනක් තමයි ඉතිං ....

නෑ බං මම හොඳට දන්නා ෆැමිලි එකක හිතවත් කෙනෙක් , එයාට ලංකාව පුරාම යන්න තියෙන නිසා විශ්වාසවන්ත කෙනෙක් ඕනේ කිව්වා. ජොබටත් වඩා මේක උඹ මට කරන හෙල්ප් එකක් ..

********

පහුවදා උදේම එයාර්පෝට් ගිය මම වාහනේ නවත්තලා එරයිවල් එක පැත්තට ගියේ සැන්ද්‍රා..කියන බෝඩ් එක අතින් අරන් , දනිස්සෙන් උඩට අඟල් හතරක් පමණ වෙන්නට ටී ෂර්ට් එකක් වැනි කෙටි ඇඳුමක් ඇඳගත්තු  විසාල අව්කන්නාඩි යුවලක් පැළඳි සුන්දර කාන්තාවක් මගේ ඉස්සරහ පෙනීසිටියේ මා බලාපොරොත්තු වූ රූපය එය නොවූ නිසා මා තුල ඇතිවූ තිගැස්ම ඇයට පෙනෙද්දීමයි .

බෑග් දෙක ඩිකියට දැමූ ඇය අනාරාධිතවම ඉදිරිපස අසුනේ අසුන්ගත්තේ මගේ හිතේ මොකක්දෝ හැගීමකින් පිරී යද්දී . මේ වසර ගණනාවක් තිස්සේ නොයෙක් රටවල් වල සුරූපී තරුණියන් ගේ අඩනිරුවත් මෙන්ම පූර්ණ නිරුවත් සිරුරුද මා නෙත ගැටී ඇති මුත් ඒ කිසිදු අවස්තාවක් මෙවන් අපහසුතාවයක් මට දැනී නොමැත .
කිසිදු අවස්තාවක් ඔවුන්ගේ ඇඳුම් පැළදුම් වලින් කැපී පෙනුණු අවයවයන් මා තුල කිසිදු හැගීමක් ජනිත කලේ නැත. නමුත් මේ කාන්තාවගේ අඩ නිරුවත් දෙපා සහ පුළුල් කර අතරින් පෙනෙන පියවුරුද අද මා නොසිතු ලෙස  මා කළඹවා ඇත.

තවමත් අයගේ මුහුණ බැලීමට නොහැකිවීම පිලිබඳ මා පසු තැවෙද්දී විසල් අව්කන්නඩි දෙක සහ හිස රැඳී රෙදිකඩ ඉවත් කල ඇය...මා දෙස බැලීය

"ජනක .......මම සවීණා ..."

මාහට දැනුණු හැගීම කුමක්ද යන්න සිතා ගැනීමටත් පෙර වාහන කීපයකින්ම මම වාහනය බේරාගත්තේ කෙසේද යන්න තාමත් සිතා ගත නොහැකිය...

"හප් ...බී කෙයාෆුල් මෑන්.... කමෝන් ජනක වයි.....?"

පසුපස හැරී බැලූ මට දකින්නට ලැබුනේ තවමත් කුණුහරුප කියමින් පසුපස හැරෙමින් ගමන් කරන පදිකයන් කීපදෙනෙකි.

******** 

වසර ගණනාවකට පෙර මාහට වසර දෙකක් පහල කණ්ඩායමක එකම සරසවියේ අකුරු කල කාලයේ සිතින් පමණක් පෙම්  කලද ,සමීප ඇසුරක් නොතිබුනත්, මාගේ සගයා වූ සුරංගගේ පෙම්වතිය වූ නිසාවෙන් ඇය දැන හඳුනාගෙන සිටියත් මේ තරම් ලඟින් ඇසුරු කරන්නට ලැබුන අවස්තාව නිසා මං මහත් උද්දාමයට පත්ව සිටි බව නම් අතිශයෝක්තියක් නොවේ...

සති තුන ගෙවීගියේ ඉතාමත් වේගයෙන් යැයි මට සිතුනි.. ඇය නැවත පිටත්වන දින මට අතිශයින්ම හැගීම්බර දිනයක්ම විය ..

මා පියවිසිහියට පත්වූයේ  ...ඇය නික්ම යාමෙන් පසුවබව මට වැටහෙන්නට විය ..නමුත් ඉන්පසු රදිකාට මුහුණ දීම මට ඉතාමත් අපහසු විය... සවීණා නිතරම මසිතේ හොල්මන් කරන්නට වත්ම මා සිත වරදකාරී හැගීමකින් පිරීයන්නට විය .

මින් මිදීමට මා කලේ සවීණා සමග සම්බන්ධ වීමට තිබූ සියලු මාර්ගයන් අවහිර කිරීමයි..මගේ ෆේස්බුක් ගිණුම. විද්‍යුත් තැපැල් ලිපින , දුරකථන අංක සියල්ලක්ම වෙනස් කල මා මෙතක් රැකියාව කල ආයතනයෙන්ද සමුගෙන මාගේම ව්‍යාපාරයක් ආරම්භ කලේද මේ නිසාමයි ...

මේ කිසිවකින් රදිකා සමග ඇති කුටුම්භය අවුල් කර ගැනීමට මට වුවමනා නොවූයේ සැබවින්ම ඇය වචනයේ පරිසමාප්ත අරුතින්ම හොඳ බිරිඳක් වූ නිසාමය . මා අතින් සිදුවූ වරද තව දුරටත් කිරීමට මට අවැසි නොවීය .

මාස පහ හයක් ගත වෙද්දී සියල්ල යලිත් සංසුන්විය....

නමුත් මාගේ මව හා රදිකා අතර වූ නොහොඳ අලුත් වටයකින් පැන නැගීම මට මහත් හිසරදයක් විය.

"වඳ ගෑනු ඉන්න පලාතම මූසලයි බං."

"අනේ අම්මේ කට පියාගෙන ඉන්නකෝ...අපිත් මේ දරුවෙකුට ආස නැතුව නෙවෙයිනේ .."

"අනේ උඹලාගේ ආසාව මම කියන්නේ නෑ.. මමත් මැරෙන්න කලින් මුනුපුරෙකුගේ මූන බලන්න ආසා නැතුවද ?"

කෙසේවෙතත් මේ වෙනුවෙන් නොගිය රෝහලක්, දේවාලයක් පන්සලක් නැති තරම් විය. රදිකාට දරුවෙකු පිලිසිඳගැනීමට ඇති හැකියාව ඉතාම අඩු බව සනාත වී තිබුනද උත්සාහය අත්හැරීමට ඇය කැමති නොවීය .

*******

එදින මා නිවසට ලඟා වනවිට වෙනදා ආලින්දයට පැමිණෙන රදිකා පෙනෙන්නට නොසිටියාය , දොරද වසා දමා තිබූ අතර , ගේට්ටුව කිසිදාක නොමැති පරිදි හැර දමා තිබිණි... ආලින්දයේ රථය නවත්වා බිමට බට මා දුටුවේ දොර මැදටම ඇනයක් ගසා එල්ලා ඇති ලියුම් කවරයකි.. විදේශීය ලියුම් කවරයක් වූ එය මත ලියා තිබූ රදිකාගේ අත් අකුරු මට සැනෙකින් හඳුනාගත හැකිවිය ...

"මගේ විශ්වාසය රැක්කට බොහොම ස්තුතියි . මම ගෙදර යනවා . මාව හොයාගෙන එන්න එපා ,ඔයාගේ ලෝකෙකට යන්න ඔයාට මාව බාධාවක් කරගන්න එපා "

 අප අතර සිදුවූ සියල්ල සවීණා විසින් රදිකාට හෙළිකර ඇති බවට තවත් පැහැදිලිකිරීම් මට අවැසි නොවීය ....මාගේ කන්දෙකෙන් පටන් ගත් ගිනියම් වීම මුළු ශරීරය පුරා ගමන් කරනු මට දැනෙන්නට විය .

ලියුම් කවරය තුල වූ ලියුම් එලියට ගතිමි ..

"ජනක -

ඔයා මාව හැම විදිහටම මගඅරින නිසයි මම මේ ලියුම එවන්නේ ..මට ඔයාගේ ජීවිතේට බලෙන් ඇතුළු වෙන්න ඕනේ නෑ.. ඒත් මට මේ ටික ඔයාට කියන්න ඕන වුනා .මේ ඉන්නේ මගේ පුතා ...අපේ පුතා ,අපි දෙන්නගෙම පුතා ...."

සවීණා

ලියුම් කවරය තුලින් බිමට වැටුණු ඡායාරූපදෙක දෙස මා බලාසිටියේ වික්ෂිප්තවය. සවීණා ගේ තුරුලේ සිටින සුරතල් දරුවෙකුගේ සේයාරුවත් ,ඒ දරුවාගේ තනි සේයාරුවත් මාදෙසම බලාසිටින්නට විය ..

දරුවාගේ යටිතොලට පහලින් ඇති උපන් ලපය දුටු මට, මාගේ යටි තොලට පහලින් ඇති උපන්ලපය දෙසට අත යොමුවුණේ නිරායාසයෙනි.



Sunday, February 23, 2014

මේතරම්




               මේ තරම් අමනයිද මිනිසුන් 
            
සිතන්නටවත් බැරි නිසා 
             මම ගියා මිනිසුන් මැවූ ඒ         
             මහබඹා නම් ඔහු සොයා //

                         

                                                                                                             


               කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක 
        සන්ග්ලාස් එක ඔලුවේ දා       
ඉස්සිලා රිංගා බලයි ඔහු 
 දිලෙන මහා කටවුට් දිහා 





                     මේ තරම් අමනයිද මිනිසුන් 
                
සිතන්නටවත් බැරි නිසා 
                  මම ගියා මිනිසුන් මැවූ ඒ         
                  මහබඹා නම් ඔහු සොයා //








                       බුද්ධිමත් යැයි ලොව කියූ ඒ
                    මනුසතා කොතනද කියා
                    මා ඇසු විට පෙන්නුවා ඔහු
                    මොලය සවිකර නැහැ කියා 




Monday, February 10, 2014

මෙන්න ප්‍රවෘත්ති

එස්.බී ගේ පුතා පෞද්ගලික උපාධි තත්ත්ව පරීක්ෂණ කමිටුවට 

(උඩ ඇති ලින්කුවට කොටන්න )

පුවතක්


අම්මේ මම නිව්ස් බලලම නිදාගන්නම් ...කන්නත් නැති එකේ අම්ම නිදාගන්න....අම්මට එහෙම කියපු මම ටී වී එක ඉස්සරහ වාඩි වුනේ ..රිමෝට් එක අතට අරං...



ආයුබෝවන් ....!

මෙන්න දේශීය පුවත් ..


 අද වනවිට දිවයිනට පැමිණෙන "කොකේන්" වලට නිසි තත්ත්ව පාලන ප්‍රතිපත්තියකට කඩිනමින් යටත් කරන බව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා "ජුඩිත් වයිට්" (ජින්ජර්) මහත්මිය කියා සිටියාය.
 එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියේ විපක්ෂ නායිකා "නදීෂා හේමමාලි" මෙනවිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එසේම හෙරොයින් සඳහා ලබා දී තිබූ 15%ක් වූ බදු සහනය 9% දක්වා අඩු කිරීමට සලකා බැලියයුතුයයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද සිල්වා මහතා යෝජනා කළේය . දේශීය නිෂ්පාදකයා රැකගැනීමට නම් එතනෝල් සියලු බදු වලින් නිදහස් කලයුතු යයිද දේශීය වෙද්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය

මේ වනවිට ශ්‍රී ලාංකීය ජනතාවගේ ආතතිය 22 % කින් අඩු වී ඇතැයි .සෞඛ්‍ය ඇමතිනී "ගයේෂා පෙරේරා "මහත්මිය සඳහන් කර සිටියාය . අද සෞඛ්‍ය අමාත්‍යංශ වය ශීර්ෂය විවාදයට ගත අවස්ථාවේ එතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දකුණු පලාත් මහ ඇමතිනී 'ගීතා කුමාරසිංහ" මහත්මියගේ යෝජනාවක් අනුව මේ සඳහා දකුණු පළාතේ විශේෂ ව්‍යායාම මධ්‍යස්ථාන හතරක් පිහිටුවා ඇති බවය.

මෙහිදී විවාදයට එක්වූ යෞව්වන කටයුතු හා නිපුනතා සංවර්ධන ඇමතිනී "අනර්කලී ආකර්ෂා" මෙනවිය සඳහන් කලේ අද කාලේ යෞව්වනයන් හස්ත කර්මාන්තයට යොමු කිරීම සඳහා ඵලදායී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවය. මේ සඳහා දැනටමත් තරුණයින් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවද ඇය පවසා සිටියාය.

විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ කාන්තා කටයුතු සහ ළමා සුභසාධන අමාත්‍ය දේශමාන්‍ය "සාරුවා සුනිල්" මහතා ප්‍රකාශ කලේ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය ලබන වසර වනවිට 30% කින් වැඩි කිරීමට හැකිව්තයි ගණන් බලා ඇති බවයි. මෙමගින් සිංහල ජාතියේ වර්ධන ප්‍රතිශතය ඉහල දැමීම තම අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

 සංචාරක අමාත්‍ය "සම්පත් චන්ද්‍රපුෂ්ප" මහතා සංචාරක කර්මාන්තය නැංවීම අරමුණු කරගෙන් කන්‍යාපටල බද්ධ කිරීමේ මධ්‍යස්ථාන 200ක් දිවයින පුරා ආරම්භ කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ,ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය .

දේශීය අවි ආයුධ නිෂ්පාදනය සඳහා ආරක්ෂක අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල පෙර වසර වලට සාපේක්ෂව 5%කින් වැඩි කර ඇති බව ආරක්ෂක අමාත්‍ය "ජුලම්පිටියේ අමරේ " මහතා සභාව දැනුවත් කලේ මේ අතරයි .

මුදල් ඇමතිනී "රුවන්ති මංගලා" මහත්මිය අද විවාදයෙදීත් අදහස් පල නොකිරීම කැපී පෙනින . අධ්‍යාපන ඇමතිනී "උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විවාදය අවසානයේදී ඉදිරිපත්කල ශාමිනාමිනා වක වක ගීතය සහ නර්තනය කාගේත් සිත් වශී කරවූවක් විය.

පුතා ...පුතා....නිදාගන්නවනම් ගිහින් ඇන්දේ නිදාගන්නවා ළමයෝ..නිකන් කරන්ට් පුච්ච්න්නේ නැතුව ..හරියට උඹ බිල ගෙවනවා වගේ ...මාව හොල්ලලා හොල්ලාලා නැගිට්ට්වපු අම්ම තාමත් තරහින් පිපිරෙනවා ...

හත් දෙයියනේ ඒ කියන්නේ ඒ සුන්දර දිනය තාමත් සිහිනයක්ද....?








Friday, February 7, 2014

ශක්‍ර Visit



එක දවසක් හැන්දෑවක - පොතක් බලන වෙලාවක
ටොමියා බුරනා සද්දෙට - දාලා බැලුව ඇහැ වටේට
ජෝකරයෙක් වගේ ඇඳුම - ඔලුවේ රන්වන් තොප්පිය
සපත්තු උල නහය ලඟට - හිනහත් යනවා දැක්කම

පැන්නා ගෙදරින් පාරට - දිව්වා මිනිහා ලඟටම
"මං අහන්නේ ශ්‍රී එෆ් එම් " - කිව්වා මං ගත් කටටම

මොකක්ද පුත ඒ කියන්නේ - මොකද ඔයා එහෙම කිව්වේ

හුටා වැඩේ කෙලවුනාද - විහිලුවක්නේ මම කරන්නේ
අවුරුදු විස්සක් තිස්සෙම - සිරස තමයි මම අහන්නේ

මල පනිනවා මට දැන් පුත - මොනවද මේ සඟිස්කුරුත

එහෙනම් මේ දෙරණ නේද -  අනර් අක්කි ආවේ නැද්ද

බොල තක්කඩි බූරු පුතේ - මම ඕවා දන්නේ නැතේ
පඬුපුල් ආසනේ ඉන්න - බැරි තරමට රස්නේ වෙන්න
හේතුව මොනවද බලන්න - මෙලොව ආපු ශක්‍රයා මම

එල කිරි ශක්‍රයා අංකල් - ප්ලේන්ටි බොමු කාල දොදොල්
ඔයාගේ පුත් වයිමා මල්ලි - මිනිහා අපෙ හොඳ ගජයා

ඇයි අංකල් හිටපු ගමන් - ආවේ කුකුළා අතේ අරන්
ප්‍රශ්න මෙහේ නෑනේ ඉතින් - යන්න වෙන්නේ හිස්ම අතින්

කරවිල කෑවලු පවුලක් - කන්න දෙයක් නැතුව දිනක්
මොකටද පුත මෙහෙම රටක් - උණුවුනි පඬුපුල් අසුනත්

පිස්සුද ශක්‍රයා අංකල් - කවුද කිව්වේ ඔය මැන්ටල්
ෆැමිලි චැනල් නිව්ස් වලත් - තිබුනේ නෑනේ එහෙම එකක්


හදා ගන්න බැරුව පුතෙක් - පැන්නලු ලිඳකට අම්මෙක්
ඇහුන වෙලේ ඒ පුවතත් - දෙව් ලොව සැප එපා මටත්
පුතේ තවත් අම්ම කෙනෙක් - දැම්මලු ගඟකට ළමයෙක්
හදාගන්න නෑ විදිහක් - ඉතින් කොහෙද මෙලොව සැපක්

ඉස්කෝලෙට සපත්තුවක් - නැතිව හිටපු තවත් දුවෙක්
කෑවලු වස ගෙඩි වගයක් - අයියෝ සුන්දර දිවියක්
පුතේ තවත් එක පවුලක් - හදාගන්න බැරුව පැලක්
ඉන්නවාලු ඇතුලේ ගලක් - නැද්ද උඹට දැනුනේ දුකක්

පාසල් යන මල් කැකුළු - වනසනවා දන සළෙලු
සියක් ගණන් දැරියන් මෙහෙ - මව් පදවිය ලැබුවාලු

ඉස්කෝලේ පාඩම් පොත - වෙනුවට පුත තබනවා අත
දරු උපතක් වළකන්නට - හැකිවෙන ඒ බෙහෙත් පෙත්ත

රජරට පෙර රට කරවූ - වකුගඩු දෙක නරක් නොවූ
කෙනක් හොයා පෙන්නුවොතින් - දහස් ගණන් දෙමි පඬුරු
රෝගෙන් නොමැරී හිටියොත් - හොඳ වතුරම ඉල්ලූවොත්
වෙඩි තියලා දානවාලු - පාසල් යන පොඩි කොල්ලොත්

අංකල් මට ඔන්න මල  - ජිනීවා යන අතරමග
ඉඳල ආව ගමනක්ද - ඔයා අපේ හතුරෙක්ද 
ලෝකේ සන්තෝසයෙන් - ඉන්නම මිනිහා අපෙන්
ආර්ථිකේ වර්දනෙත් - යයි ඉහලට රිටක් මෙන්

අංකල් ඔය කිව්වට - කැම්පස් යන කෙල්ලට
කන්‍යාභාවය තිබේද - බලන ලෝකේ රට අප
මොකටද පොඩි කෙල්ලෝ අපිට -  සුද්දියෝ ඇත ඕවට 

ඔයාව අපේ රට වට - ගෙනියමි රවුමක් හෙට
ඔයාට ඔය බොරු කිව්වේ - අංකල් මංගලමද ?

දියත උයනේ ගිහිල්ලා - වෝක් එකක් දමාලා 
වතුර මලත් බලාලා - පාක් එකේ සෙට් වෙලා 
කොල්ලුපිටියේ ගිහිල්ලා - මෙහෙ ලස්සන බලාලා 

තව අවුරුදු දහයකින් - එන්නට හැකිනම් ඉතින් 
හම්බන්තොට එක්ක ගිහින් - පෙන්නමි සුර පුර මිහින්
ඒ වුනාට මේ අහන් - අහනු එපා බොරු වදන් 
රට ගැන හරි දේ දකින්න - බලන්න ෆැමිලියෙ චැනල්