නින්ද නැති රැයේ ...
සඳ කඳුළු මීදුමේ ..
හැංගිලා අඬන්නේ ඇයිද .
ප්‍රථම ප්‍රේමයේ ...
තාරුකා දියේ ගිලී .....
නිල් එලිය නිවී ..
වැහි බිංදු වැටේවී
රෝස පෙති කඩා හැලේ ......
නිමේෂා වෙන්වූ දිනයේ ඉඳන් මේ ගීතය මගේ ප්‍රියතම ගීතය බවට පත්වුණේ නොදැනුවත්වමයි. වැඩ ඇරිලා ගෙදර ආවම නංගිගේ මල් පාත්ති ටික දිහා කාමරේ ජනේලෙන් බලාගෙන ඇඳේ වැතිරිලා මේ සින්දුව අහන එක දින චරියාවේ අංගයක් වුනේ කවදා ඉඳන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ නොහිතා ඉන්න මම උත්සාහ කළා.
අතීත මතක එක්ක හිත හැංගිමුත්තන් කරනකොට කාලය ගතවෙනවාවත් , ඉන්න ඉරියව්ව ගැනවත් ,බලා ඉන්නේ කුමක් දිහාද කියලවත් නිනව්වක් නෑ....
"ඇවිල්ලා පොඩ්ඩක් උදව් වෙනවකො .හැමදාම උලමා වගේ මගේ මල් ටික දිහා බලන් ඉන්නේ නැතුව " නංගී ඒ ටික කිව්වම තමයි මට මතක් වුනේ සෑහෙන වෙලාවක් මං බලාගෙන හිටියා නේද කියලා
"අනේ යනවා ඕයි යන්න ,හිතුවද මමත් තමුසේ වගේ බිංකුන්ඩේක් කියලා ,දවස තිස්සෙම පොලව හාරන්න "
"අනේ යනවා යන්න උලමා "
*******
ජීවිතය වෙලාවකට මහා පුදුමාකාරයි . දෙයක් ලැබෙද්දී තව දෙයක් නැතුව යනවා , අවුරුදු තුනක් කැම්පස් ඉඳලා ගත්ත ඩිග්‍රියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ උපාධිධාරී පත්වීම ලැබුණු දා කවදාවත් අමතක් කරන්න බැරිවෙයි , එත් අන්තිමට ඒ රස්සාව ලැබීමෙන් වුනේ "රැකියාවිරහිත උපාධි ධාරීන්ගේ සංගමය " හැටියට හඳුන්වපු අපි "රජයේ රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය" හැටියට නම වෙනස් කරගෙන ආපහු පාරවල් ගානේ බෝඩ් උස්සන් හිටපු එක විතරද ? නෑ තව වෙනසක් තිබ්බා ඒ බෝඩ් වල "රැකියා දියව්" වෙනුවට "ජීවත් වීමට සරිලන වැටුපක් දියව්" කියලා ලියලා තිබ්බා ...........
ඒ අතින් ගත්තම නිමේෂාගේ තාත්තා කොච්චර නම් දුරදිග බලලා තියෙනවද ?
"ඉස්සරනම් ඩිග්‍රිය අරන් එලියට බහිනකොට කිව්වේ ඔය ළමයි විශ්ව විද්‍යාලේ ගෞරවය රැකෙන පරිදි රට වැදගත් සේවයක් කරන්න ඕනේ කරන රැකියාවෙන් කියලා ...එකට අද ...අද කියන්න වෙන්නේ ඔය ලමයින්ට මොකක් හරි රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක් කියලා තමයි .......
මං ඔය ළමයට කියන්න ඕනේ නෑනේ ..ඔය ලැබෙන දොළොස්දාහේ දීමනාවෙන් පවුලක් නඩත්තු කරන්න බෑ කියන එක . අනික අපිට නිමේෂාගේ අනාගතේ අඳුරු වෙනවා බලන්නත් බැරි බව . අනික දැනටමත් ඒ ගැන අපි තීන්දුවක් අරන් ඉන්නේ , ඒ වැඩ ඉවර වෙනකන් දුව දෙහිවල අපේ අක්කගේ ගෙදර යනවා . ...
පුතා මේ දේවල් අමතක් කරලා ඉස්සරහට යන්න බලන්න ..."
එහෙම කියපු නිමේෂාගේ තාත්තා නැගිටලා ගියේ සියලුම දේ තීරණය කරපු ගානට . රස්සාවක් කියලා මොකක් හරි දෙයක් ලැබුණම යම් සතුටක් තිබ්බත් එකත් ඒ එක්කම හේදිලා ගියා .
මම හිතන් හිටියේ මෙහෙම සිද්ධි වෙන්නේ නවකතාවල , ටෙලි නාට්‍ය වල විතරයි කියලා ...හැබැයි ඒ නවකතා , නාට්‍ය වල නම් පෙම්වතා මාරාන්තික සටනක් දෙනවා , නමුත් මට වුනේ කිසිම නවකතාවක් ,කෙටි කතාවක නැති විදිහට සටනකින් තොරවම සියල්ල අතහැරගන්න .
මට තාමත් පුදුම හිතෙන්නේ නිමේෂා වෙනුවෙන් මං සටනට බැස්සේ නැත්තේ ඇයි කියලා , ඒ කියන්නේ මම නිමේෂට ආදරේ කරලා නැද්ද? මං එදා වුනත් නිමේෂාගේ ගෙදර ගියේ එයාගේ බල කිරීමට මිසක් මගේ හද පතුලෙන්ම ඇතිවුණු උවමනාවකට නෙවෙයි නේද කියලා මගේ හිත තාමත් මාවම ප්‍රශ්න කරනවා ...
හැබැයි කාලය ගතවෙනකොට තමයි මට අවබෝධ වුනේ මම කලේ වරදක් කියලා, මම නිමේෂට ආදරේ කල කියලා . කාලයත් එක්ක මට නිමේෂාගේ වියෝව විරහවක් හැටියට දැනෙන්න ගත්තා . විරහ ගීත අහගෙන ,හුදකලාවේ ඉඳගෙන ඒ විරහව විඳින එක වෙලාවකට විස්තර කරගන්න බැරි හැගීමක් වුනා .
"රස්සාව ලැබුණ දවසේ පෙම්වතිය නැතිවීම ... හ්ම්ම්ම් "
"හුම් හුම් ගගා ඉන්නේ නැතුව මේ තේ එක බොනවා ..ආ ......"
"ඔහොම තියන්න නංගි ..."
"තිය තියා ඉන්නනම් ගෙන්න ඕනේ නෑනේ අයියේ ..මේක බීලා යන දේවාලෙක යනවා .."
********
" ම්ම්ම්ම්ම් 3 missed calls "
මග හැරුන අංකය මොකක්ද කියලා මතක් කරන්න උත්සාහ කරද්දීම ආපහු ඒ අංකයෙන් ඇමතුමක් ...
"හෙලෝ .."
"හෙලෝ ...මේ රුවන්ගිගේ ගෙදරද?...."
ඒ ඇහුනු කටහඬ තාමත් කන ඇතුලේ දෝංකාර දෙනවා වගේ...මම හිතන්නේ මගේ ජීවිතය තුල ඇහුනු මිහිරිම කටහඬ .....මම ටික වෙලාවක් යනකං කතා කරගන්න බැරුව ගොත ගැහුනා ..ඇත්තටම එහෙම වුනේ ඇයි......?
හෙලෝ ....හෙලෝ.....
ඒ කටහඬ නොනැවතී දිගටම ....
ඔව්....ආ මේ ..නෑ ...නෑ ...නෑනේ .......
කවුද ඔය ....?
"ම්ම් එහෙමද ...මට එයා දුන්නු නම්බර් එකනම් මේක ..මම ලියාගෙන වැරදිද දන්නේ නෑ... කමක් නෑ .බොහොම ස්තුතියි ...."
"මේ පොඩ්ඩක් ඉන්න ....."
"ම්හ් .ඇයි ....."
"නෑ.. මේ මේ ..ඔව් සමහර විට ඔයා ලියාගෙන වැරදි ඇති ....."
"හි හි හි ..ඔව් එහෙම වෙන්න ඇති .....තෑන්ක් යූ ..."
"බායි .."
*******
එදා රෑ නින්ද ගියෙත් නැද්ද මන්දා.... බොළඳ නවකතා , මල් කතා කියලා මිනිසු හංවඩු ගහපු පොත් කීපයක්ම කියවා තිබ්බ නිසාමද මන්දා "ආත්මීය ලෙන්ගතු කමක් "ඒ කටහඬේ තිබ්බද කියලා හිතෙනවා . මේකට ආපු පලවෙනි මිස්කෝල් එක මේක නෙවයි වුනත් මේ කටහඬ මට මතක් වෙන්නේ ඇයි. නින්ද නැතුව ඇන්දේ එහෙ මෙහෙ පෙරලෙන වාරයක් ගානේ ඒ කටහඬම ඇහෙන්නේ ඇයි?
ඒ කටහඬ ආපහු අහන්න මට හිතුනත් ....මොකක්දෝ හිත කීරි ගැහෙන හැගීමකුත් එක්ක බයක් හිතට දැනුනු නිසා මම ඒ අදහස දවසින් දවස කල් දැම්මා ...."
එත් දවසක් හිතලා හිතලා හිතට ගත්තු දහිරියත් එක්ක මම ආපහු කෝල් කලේ ඒ කටහඬ අහන්න තිබුණු ආසාවටමයි ..
" හෙලෝ .................හෙලෝ....................හෙලෝ......"
කීපපාරක්ම ඒ කටහඬ ඇහුවට පස්සේ මම කතාකලා ...
"හෙලෝ ..ඔයාට රුවන්ගිගේ නම්බර් එක හම්බ වුනාද?.............."
"ම්ම්ම්ම් ...කවුද මේ ........
********
සුදු අයියේ ..................අයියේ ....
"ඇයි මොකද ? මොනවද ඕනේ ......බටර් නැතුව කියනවද "
"අයියේ ....මේ ඔයා ...අද .........එනකොට ..."
"ඇඹරෙන්නේ නැතුව කියනවා ඕයි මට පරක්කුවෙන්වා ...."
"අප්පෝ මෙයාගේ සැර....
අනේ ..අයියේ ඔයාට පුලුවන්ද මට අර "ඇමරිකන් බියුටි "කියන රෝස මල් පැලයක් ගෙනත් දෙන්න ...අනේ ගෙනත් දෙනවකො හලෝ......."
"පිස්සුද තමුසෙට ....ඇමරිකන් බියුටි ..බම්බුව ....යනවා යන්න ......අම්මේ මම යනෝ ..."
"හාහ් ඒ කියන්නේ බැරිද ? ඉන්නවකෝ මම කියන්න අම්මට රෑ තිස්සේ කුටු කුටු ගගා ලව් කරන ඒවා ඔක්කොම කියනවා ...."
"කියා ගන්නවා ඉතින් .....එහෙම කිව්වට ඒ වචන ටික ඇහුණාම මගේ හිත පුදුමාකාර ප්‍රබෝධයකින් පිරීයනවා වාගේ දැනුනා...මග අරුණු ඇමතුම මගේ ජීවිතයේ මෙච්චර වෙනසක් කරාවිය කියන දේ මම හීනෙකින් වත් හිතුවේ නෑ...
ඒ වෙනකොට මුතු එක්ක කතා කරන එක දිනචරියාවේ අංගයක් වෙච්ච බව නංගිගෙන් හංගන එක ලේසිවුනේ නෑ. ඇහින්වත් නොදැක කිසිම විස්තරයක් නොදැන මාස ගානක් පුරාවට ඒ කටහඬ එකම සංකේතය වෙච්ච මුතුට ඇයි මෙච්චර ආකර්ෂණයක්, ඒක ආදරයක්ද?.
එහෙම වෙන්න පුලුවන්ද ? දකින්නේ නැතුව, මූණ බලාගෙන කතාකරන්නේ නැතුව ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? නෑ නෑ ඒක ආදරයක් නෙවෙයි ..... නැත්තේ මොකද එහෙනම් මොකද හැමදාම උදේට ෆෝන් එක දිහා බලන්නේ මිස්කෝල්, මැසේජ් තියෙනවද කියලා. මොකද එහෙනම් දවසක් කතා කරන්න බැරිවුනොත් මහා හුදකලාවක් දැනෙන්නේ ...?
කොහොම වුනත් නිමේෂා පසු නිසා කාලීනව ඇතිවුණු විරහ වේදනාව අඩු කරගන්ට මම යොදා ගත්ත ක්‍රමයක් විතරද මේ ..
මගේ හිත හැම තිස්සෙම මගෙත් එක්ක වාදේට පැටලෙන එක මට වෙලාවකට හිරිහැරයක්. ඒ වෙලාවට මම මගේම කොන්ඩෙන් ඇදගෙන ඇදගෙන ගියේ පිස්සුවෙන් වගේ ...
බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා ......
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා......
**********
"මේ මුතු ..... "
"ම්ම් ඇයි ...මගේ නම පාඩම් කරනවද .....හි හි හි හි ....."
"හැම එකටම හිකි හිකි ගාන්නේ නැතුව ටිකක් අහගන්නකෝ .."
"කියන්නකෝ සර් එහෙනම් ..හි හි හි හි හි ...."
"ඔය ආයෙත් හිකි හිකිය ...ළඟ හිටියනම් පලනවා කන ...."
"ඒකනේ ලඟට එන්නේ නැත්තේ හි හි හි හි හි ....."
"මේ ඒක නෙවෙයි .....මට දැන් හරි ආසයි ඔයාව දකින්න ........ කවදද අපි හම්බ වෙන්නේ .......?"
"ඉතින් ඔයා මාව දැකලා තියෙනවනේ ,"
"ඒ ඉතිං ෆොටෝ එකෙන් නේ ..."
මම එහෙම කියනකොටත් රතුපාට හැට්ටයක් ඇඳගෙන අරලිය මලක් ඔලුවේ ගහගෙන ලස්සන හිනාවකින් සැරසිලා ඉන්න මුතූගේ උඩුකය චායාරූපය මගේ අතේ , හැමදාම මුතූ එක්ක කතා කරනකොට එයාගේ ෆොටෝ එක අතට ගන්න එක මට නොදනුවත්වම වුණු දෙයක්.
"ඒ වුනාට කවුද දන්නේ එක වෙන කාගේ හරි ෆොටෝ එකක්ද කියලා ..."
"ඔයා හිතන්නේ මං ඔයාට වෙන කාගේ හරි ෆොටෝ එකක් එව්වා කියලද සුරාජ් .....?"
"හා හා ඉතින් තරහ ගන්න එපා ..මම කිව්වේ ඔයාව මට දැන්ම බලන්න ඕනේ නිසා .."
" අපෝ මෙයාගේ හදිස්සිය ....පොඩ්ඩක් ඉන්න ...."
" බෑ බෑ ..පොඩ්ඩක්වත් ඉන්න බෑ අදනම් ඔයා මට හම්බවෙන විදිහක් කියන්නම ඕනේ ...."
"ඉවසන්න පුරුදු වෙන්න සුරාජ්....
අපි හදිසි වෙලා වේගෙන් යනකොට අපිට වටේ තියෙන දේවල් පෙන්නේ නෑ... අපිට ඇත්ත වගේම ලස්සනත් මග ඇරෙනවා ..ඒත් හෙමින් යනකොට හැමදෙයක්ම පැහැදිලියි ..එතකොට අපිට ලස්සන බලන්න පුළුවන් ...සත්‍යය දකින්න පුළුවන්....."
"ඔය පණ්ඩිත වාක්‍ය මට වැඩක් නෑ ...ඔයා මට අද දවසක් කියනවද නැද්ද?...
"අප්පෝ මෙයාට යන තරහා ....
ඇයි ඔයාට ඔච්චර හදිස්සි .සමහරවිට ඔයාට හොඳ ගෑනුළමයෙක් ගෙදරින් ප්‍රපොස් කරල වෙන්න ඇති ? හි හි හි
මුතූ ..අදනම් ඔයාට මග ඇරලා යන්න වෙන්නේ නෑ මෙහෙම එක එක විකාර කියවලා .
"මම ඔයාට ආදරෙයි මුතූ....."
මම ඒ වචන ටික කියාගත්තේ කොච්චර අමාරුවෙන්ද ? හරියට උගුරේ කාලයක් තිස්සේ හිරවෙලා තිබ්බ දෙයක් එක සැරේම එලියට ආවා වගේ සැහැල්ලුවක් මට දැනුනා ඒ වචන ටිඅක් පිටවුණාට පස්සේ .
ඒත් ඊට පස්සේ ඇතිවුණු දිග නිහැඬියාව ආයෙමත් මාව නොඉවසිලිමත් කළා
"මුතූ..................?"
"සුරාජ් ...... මටත් ඔයාට එහෙමම කියන්න පුළුවන් ..එත් ඔයා මං ගැන හරියට දන්නේ නෑනේ .."
"එක තමයි මම මේ දැනගන්න හදන්නේ .." මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ ?"
"ඒක දිග කතාවක් සුරාජ් , මං මේක ඔයාට කියන්න ඕනේ කියලා හිතනවා එත් මට එකට හිත හදාගන්න කාලයක් ඕනේ .."
මං දන්නවා මුතූ .. ඔයා ඔය හදන්නේ .... මම කලින් යාළුවෙලා හිටියාය , එයා දාලා ගියාය ,එයා අමතක කරන්න බැරිය ..කියා කියා සාම්ප්‍රදායික බයිලාවක් ගහන්නනේ , ඔයා මං ගැන හරියට දන්නේ නෑ ..මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ."
සුරාජ් ..මට ටිකක කල් දෙන්න
කොච්චර කල්ද?
ඊට පස්සේ අයෙමත් ඇතිවුනේ මං අකැමතිම නිහැඬියාව ..එළියේ කෑ ගහන රැහැයියන්ගේ සද්දේ පවා මට හොඳින් ඇහුනා . ටික වෙලාවකට පස්සේ නිහඬ බව බිඳගෙන මුතූ ආපහු කතා කළා
"හරි ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් දෙයක් කරන්න ..."
"මොකක්ද ....මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා ඔයා හිතනවද?"
" ඔයා මම වෙනුවෙන් රෝස පැලයක් හිටවන්න ......"
"රෝස පැලයක්......?"
"ඔය ඉතින් ආයේ කලබලේ ...අහ ගන්නකෝ.... මමත් එකක් හිටවනවා ඔයා වෙනුවෙන් ...අපි දෙන්නගෙන් කාගේ හරි එක්කෙනක්ගේ ගහක මලක් පිපිණු දවසක අපි හම්බවෙමු ....ඒ මලත් අරගෙනම ...."
"හැක හික් ...ඉතින් කරමු ..."
"හැබැයි සුරාජ් මේක අවංකව කරන්න ඕනේ ....ඔයාට ඕනේ නම් කඩෙන් මලක් අරන් මාව රවට්ටන්න පුළුවන් එත් මම හිතනවා ඔයා අවංකයි කියලා ..මේක මගේ ඉල්ලීමක්....."
මම ආයෙත් කලපනා කලේ මොන විකාරයක්ද මේ කියලා , මම මෙහෙම දේවල් හින්දි ෆිල්ම් වලනම් දැකලා තියෙනවා . හැබෑ ජීවිතයේදී මෙහෙම විකාරයක් ඇහුවමයි .
හැබැයි ඒ ඉල්ලීම කරපු විදිහෙන් මට කොහෙත්ම බොරුවක් කරන්න හිතුනේ නෑ.....
*************
" අප්පේ මේ මොකද ......? අද නම් බස්නාහිරින් ඉර පායයි..... අනේ ඇමරිකන් බියුටි එකක් නේද...? , මොකද මේ ............. මොනා වෙලාද ඔයාට ..."
"ඇයි තමුසේ ඉල්ලුවේ ...?"
"ඒ කොයි කාලේද ...ඇයි තමුසේ බෑ කිව්වේ ...
මොකද මේ ..ආ....පොච්චියකුත් ගෙනත් ...අර රෑට රෑට මල් කඩන කෙල්ල කිව්වද රෝස පලයක් හිටවන්න කියලා .....අම්මේ..................."
"ඕයි... හරකි ..මෙහෙ එනවා ..අම්මට කියලා තිබ්බොත් බලාගෙනයි ........"
"ඌයි කන ...."
"මේ නංගි ..මට මේක හිටවන්න කියලා දෙනවකො ......"
"අප්පට බොල....මෙන්න වැඩක්......අපි කිව්වම වතුර ටිකක් දාන්න බෑ ..කොහෙවත් ඉන්න කෙල්ලෝ කිව්වම පෝච්චිත් උස්සගෙන එනවා මෙතන ...මට බෑ...."
ගස්සාගෙන හැරුණු නංගි ගෙට ගියාම ..මං කලේ රෝස මල් පැලේ සීරුවට පෝච්චියේ හිටවපු එක ...'
"කවදාවත් මල් පැලෙකට වතුරවත් දාලා නැති මගේ අතින් හිටවපු රෝස පැලේ දළු දාලා පැලවෙලා එනකොට මට හරිම ආස හිතුනා ....මගේ සාත්තුවෙන් රෝස පැලේ සරුවට වඩේන හැටිත් ..මං සාත්තු කරන හැටිත් නංගි බලාගෙන හිටියේ හිනාව පුරවාගෙන .....
**********
රෝස පැලේ පොහොට්ටුවක් ඇවිත් තිබ්බ දවස මට අද වගේ මතකයි .....පහුවදාම මම මුතු එක්ක ඒ ගැන කිව්වේ හරිම සතුටකින්.....
"ඇත්තද ......"
"ඔව් ..ඇයි ඔයා දුකින් වගේ ...ඔයාට සතුටු නැද්ද.....?, ඔයා ඒ ගමන තවත් හේතුවක් හොයන්නද හදන්නේ හම්බවෙන්නේ නැතුව ඉන්න "
"තරහ ගන්න එපා සුරාජ් ..ඔයා හරිම හොඳ කෙනෙක් ....එත් ඔයා ගේ ඔය කලබලේ තමයි වැඩේ ...."
"වෙනදා සැහැල්ලුවෙන් කතා කරන මුතු මොකද මේ අද සීරියස් වෙලා...."
එත් මං අහපු දේට උත්තර දෙනවා වෙනුවට ....
"සුරාජ්.....ඔයා හොඳටම දැක්කද පොහොට්ටුවක් ඇවිත් කියලා ......"
"ඔව් මොකද මම නොදැක්කේ ..මාස ගානක් බලන් ඉඳලා මේක දැක්ම මට දැනුනු සතුට ඔයාට නැති එක ගැන මට හරිම පුදුමයි මුතු "
"ඔයා දැක්කද සුරාජ් ඒ රෝසමල වටේට තියෙන කටු ...කොච්චර ලස්සන රෝසමලක් වුනත් වටේට තියෙන කටු හරිම නපුරුයි සුරාජ්....."
"මුතූ................"
"සුරාජ් ..... මම දන්නවා මේ ටික ඇහුවට පස්සේ ඔයා මට තවත් කෝල් කරන එකක් නෑ කියලා , එත් අපි ඇත්තට මූණදෙන්න ඕනේ සුරාජ්........
මං උපතින්ම කකුල් දෙකම නැති කෙල්ලෙක් සුරාජ්....මම .................
බිම වැටුණු දුරකතනයෙන් තවත් වචන එලියට එනවා වගේ මට ඇහුනත් ඒ මොනවද කියලා හොයන්න මම උත්සාහ කලේ නෑ....
එදායින් පස්සේ මම කවදාවත් රෝස පැලේට සාත්තු කරන්න ගියේ නෑ.... ඒ පැලේ ඔහේ මියැදෙන්න හැරියා හරියට මගේ මතකය වගේම ............මම වැරදිද......?