Wednesday, August 28, 2013

සතිපූජා


"හනේ හනේ ....යසයි  වැඩේ ඔහොම කකුල් උඩ දාගෙන ඇඳට වෙලා හිටියම හරියයි ගෙදරකට ..."

සීතා උඩ ගිහිං බිම වැටුනේ නැන්දම්මාගේ ගොරනාඩුවේ සද්දෙට........... පුංචි කාලේ ඉඳලම ආස කරපු වාල්මිකීගේ  "රාමායණය"  කතාවේ සිංහල පරිවර්තනය ගිය සතියේ ගෙදර ගියවෙලාවෙ ලොකු නංගිගෙන් ඉල්ලගෙන ආවේ දවල් වරුවේ වෙන වැඩක් නැති නිසා කියවන්න කියලා,

 "පොතක් බැලුවා අම්මේ .... ඒ හැටි වැඩකුත් නෑනෙ කරන්න කියලා....."

" ඒහැටි වැඩක් නෑ........ හත් දෙයියනේ ...මෙහෙමත් ගෑනු ... ගෑනියෙකුට ගෙදරක කරන්න කියලා කොයි තරම් නම් වැඩ තියෙනවද...?        ඒ හැටි වැඩක් නෑ ........හාහ් ... ඔව් ඉතින් මං මැරීගෙන් ඔක්කොම කරනවනේ........
ඉතින් කුමාරිහාමිලාට වැඩ නෑ තමයි...."

දොහ් දොහ්   ගාලා කොස්සේ මිට ගෙදර ලීබඩු වල වදින සද්දෙයි නැන්දම්මා කෑගහන සද්දෙයි ඈතින් ඇහෙන්න ගත්තම වෙලාව දොලහාමාරට කිට්ටු ඇතිකියලා සීතාට හිතුනා, එකනේ නැන්දම්මා සාලේ අතු ගාන්න  පටන් ගත්තේ . රණතුංග කෑමට එනවෙලාව කිට්ටු වෙනකොට මේක වෙනවා කියලා සීතා දැන් අත්දැකීමෙන් දන්නවා,

කොහොමත් දවල් කෑමට රණතුංග ගෙදර එන වෙලාවට සීතාට බැන බැන  සාලේ අතුගාන එක  රණතුංගගේ අම්මගේ දිනචරියාවේ අංගයක් වුනේ   දැන් මාස දෙක තුනක ඉඳලා ,සීතා ඇඳේ ඉඳගෙනම පොත පපුව උඩින් තියාගෙන ඇස දෙක පියාගත්තා..

උසස්පෙළ පාස් වුනත් කැම්පස් නොයා රණතුංග එක්ක ආපු එක මාහ ගොන් කමක් කියලා හිතෙන සිතුවිලි සීතාගේ හිතපුරා හොල්මන් කරනකොට ඒවා මැඩ ගත්තේ හරිම ආයාසයෙන්.

"ඔයා ඔච්චර ඉගෙන ගත්තත් රස්සාවකට යන්න ඕන නැතිඑකේ ඔය කැම්පස් ගමන ඕනේ නෑ සීතා, මට ඕන හැමදාම මම එනකොට දොරකඩටවෙලා බලාගෙන ඉන්න බිරිඳක්" ගෑනු ඕනවට වැඩිය ඉගෙන ගන්න ඕන නෑ කියන එක රණතුංග කිව්වේ එහෙම නේද කියලා සීතාට මතක් වුනා .

කොහොමත් සාම්ප්‍රදායික අදහස් තියෙන සීතාගේ අප්පච්චිට රණතුංග හොඳ බෑනා කෙනෙක් වුනා,

"බොහොම දහිරියවන්ත දරුවා, කවදා හරි හොඳ තැනකට එනවා. දැනටත් ඔය කොම්පැනියේ ගනුදෙනු ඔක්කොම භාරව ඉන්නේ මේ දරුවනේ හාමිනේ " ඒ තමයි රණතුංග ගැන අප්පච්චිගේ රෙකමන්ඩේෂන් එක.

"මට මේ සුමේ හැමදාම කරන්න බෑ දරුවෝ, උඹ හින්දා මං මේ ගෙදර වැඩටික නැහීගෙන කරාට දැන් මට අමාරුයි පුතේ..."  සීතා ඉකමනට ඇඳෙන් බැස්සේ "ආ රනේ ඇවිත් " කියාගෙන ,නැන්දම්මා කොන්දට අත තියාගෙන දෙකට නැවීගෙන රණතුංගට තව මොනාදෝ කියනවා සීතා දැක්කේ කෑම කාමරේ පැත්තට යද්දී.
එහෙම කිව්වට රණතුංග කාලා ආපහු පිටත් වුනු ගමන්ම වැඩ නවත්තලා ගිහින් කාලා බීලා පැය දෙකතුනක් නිදාගන්න එක දැන් රණතුංගගේ අම්මගේ පුරුද්ද.

උදේම නැගිටලා රණතුංගට උයලා පිහලා ගේදොර අස් පස් කරලා රෙදි හෝදලා ..අම්මටත් කෑම ලැස්ති කරලා නාගෙන එන සීතා  දවසේ ඉතුරු හරිය ගෙවන්නේ හරිම පාලුවෙන් කාන්සියෙන් .

" දරුවෙක් මල්ලෙක් නැති ගෑනියෙක් ගෙන් කොහෙදෑ බං ගෙදරකට අහුපෑවතක්........අපේ එකත් කොරගත්තේ ඔය පොත්තේ රතට රැවටිලා......."
රණතුංගලෑ අම්මා දොර ලඟට වෙලා කාගේත් එක්කදෝ කියවනවා සීතාට ඇහුනා.

"ඉස්සරනම් බං වඳ ගෑනු හතර මායිමේ තියාගන්නේ නෑ...........එකට අපේ එකා ගෑනිට වැඳගෙන ....

.......................
දරුවෝ නැති එකට ටික දවසක් තමන්ට ආඩපාලි කියා කියා හිටපු රණතුංග දැන් ඒ ගැන හාංකවිසියක් කතාකරන්න්නේ නැති එක රණතුංගගේ අම්මට නම් ලොකු ප්‍රෙහෙලිකාවක්.....

..............................................................................................................................................................
"මේ මහත්මයාට අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ දෙන්නම පරීක්ෂණ වලට පෙනී සිටීම් ගැන , මොකද හුඟක් මහත්තුරු මේකට අකමැති නිසා සත්‍යය යට යනවා. "

දොස්තර මහත්තයා මෙහෙම කියනකොටම රණතුංග හොරැහින් සීතා දිහා බැලුවා ,
"තෝ හිතන්නේ මම වඳයෙක් කියලද ගෑනියේ....... තොගේ කාලකන්ණි කම් වලට මට වැරදි කියන්නද හදන්නේ , අපේ පරම්පරාවේ කාටවත් ඔහොම ලෙඩ නෑ යකෝ....

."යමං හෙටම තොට පෙන්නන මම පොන්නයෙක්ද කියලා, කරමුකෝ ඔය මහා ලොකු ඉලව්ව"

මෙතනට එමු කියපු වෙලාවේ රණතුංග පරලවුණු හැටි ඒ වෙලාවේ රණතුංගටම මතක් වෙන්න ඇති කියලයි සීතා හිතුවේ.

" එක තමයි ඩොක්ට මේ අපේ වයිෆ් හිතාගෙනම ඉන්නේ මේක මගේ වරදක් කියලනේ. එයාටම එයාගේ අඩුපාඩුව තේරුම් ගන්න අරින්න ඕන නිසයි මම මේකට කැමතිවුනේ.."

" ම්...ම්...ම්.. කමක් නෑ මිස්ටර් රණතුංග  මොන අරමුණකින් හරි මේ පරීක්ෂන් වලට සහභාගීවීම වැදගත්. අපි ඔය දෙන්නා ගැනම කරපු පරීක්ෂණ ප්‍රතිපල අනුව මෙතැන මිසිස් ගේ කිසිම අඩුපාඩුවක් නෑ....... මහත්මයාගේ  ශුක්රානුවල සජීවී ඒ කියන්නේ පිහිනායාහැකි මට්ටම කියලා අපි හඳුන්වන  මට්ටමේ  ශුක්‍රානු ප්‍රතිශතය සීයෙට එකකටත් අඩුයි . ..ඒක බොහොම අඩු ප්‍රතිශතයක්.........ඉතින් මේ තත්වය .......

දඩාන්  ගාලා පුටුවත් පෙරලගෙන නැගිටපු රණතුංග එල්ලියට ගියේ සීතා අතෙන් අල්ලන්න උත්සාහ ගද්දී අතත් ගසාගෙන.... සීතා ඩොක්ට දිහා බැලුවේ අසරණ විදිහට එත් ඩොක්ට ඒ ගැන එච්චර තැකීමක් කලේ නැත්තේ අපිට මේවා හොඳට පුරුදුයි කියන්න වගේ...

එදා ගමන ගිහින් ආපහු ගෙදර ලඟට එනකොට රණතුංග සීතා දිහා බැලුවේ හරිම අසරණ ඇස් දෙකකින්.......ඒ ඇස දෙකේ තිබ්බ අසරණ කම තේරුම් ගන්න සීතාට පුළුවන් වුනත් මෙතනින් එහාට මොනවා වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් සීතාගේ හිතේ නොතිබ්බාම නොවෙයි.

නමුත් එදා ඉඳන් අද වෙනකන් රණතුංගගේ අම්මා ඇතුළු නෑදෑ සනුහරේම වඳ ගෑනි කියලා සීතාට අපහාස උපහාස කරනකොට අසරණ , සමාව ඉල්ලන දෑසින් සීතා දිහා බලා ඉන්නවාට වඩා යමක් රණතුංග නොකරපු එක ගැන නම් සීතා හිටියේ හරිම තරහින්,  කොහොම නමුත් තමුන්ගේ මිනිහගේ ගෞරවය රකින එක තමන්ගේ යුතුකම නේද කියලා සීතා ට හිතුනා.

.................................................................................................................................................................

කොහොමත් රණතුංග ටිකක්‌ වැඩියෙන් මත්පැනට නැඹුරු වුනාම එකේ වැරැද්ද හමෝම පැටෙව්වෙත් සීතාගේ ඇඟට.
"ගෑනි හරියට හිටියනං මිනිහ බොයි යැ........."

"ළමයෙක් වත් නැති ගෑනියෙක් එක්ක ඉඳලා ඌ මේ තරමින් හරි බීම කොන්ට්‍රෝල් කරගත්ත මදැයි"

මෙහෙම වෙලාවට නම් සීතාට හිතුනේ තමුන් මොන පවක් කලාටද මේ කියලා.

...................................................................................................................................................................

කොහොමින් කොහොම හරි ටික දවසක ඉඳලා රණතුංගගේ වෙනසක් සීතාට පෙනුනා, වෙනදා හැමදාම කෑමට ගෙදර ආපු රණතුංග දැන් සතියටම දවස් දෙකකට වඩා කෑමට ගෙදර එන්නේ නෑ, එන්නෙත් රෑවෙලා, සමහර දවසවලට ඉරිදටත් වැඩට යනවා.
සීතාගේ කන්දෙක හිරිවැටෙන්න වාගේ දැනුනා
රණතුංගට වෙන සම්බන්ධයක්වත්ද ....?

වැඩ ඇරිලා ආපු රණතුංග නාන කාමරේට ගියාම සීතා කලේ රණතුංගගේ ෂර්ට් එක ඉඹලා බලපු එක
"ම්හු ... දාඩිය ගඳ විතරයි....."ෂර්ට් එක පුරාවටම හොඳට හොයලා බැලුවේ දිග කේස් ගහක් වත් පැටලිලා තනවද කියලා බලන්න අඩු ගානේ ලිප්ස්ටික් පාරක් ,සෙන්ට් සුවඳක්..............

සාක්කු ,පර්ස් එක විතරක් නෙවෙයි රණතුංගගේ යට ඇඳුම් පවා සීතාගේ දැඩි පරීක්ෂාවට ලක්වුනත් කිසිම හෝඩුවාවක් හොයාගන්න සීතාට බැරිවුනා.

"එහෙම දෙයක් වුනත් ඉතින් කොරන්න් දෙයක් නෑ, මොකද කොයි මිනිහද ආස නැත්තේ තමුන්ගේම කියා දරු පැටියෙක් දකින්න. අපේ එකාට ඉතින් ඒ පින නෑ නේ ...."
මේ ගැන රණතුන්ගලාගේ අම්ම එක්ක කතා කරපු වෙලාවේ අහගත්තුටික තමයි ඔය.

"ඔව් ඉතිං එයාට ඒ පින නෑ තමයි " කියලා ගස්සාගෙන ආපහු හැරුණු සීතා දිහා නැන්දම්මා බැලුවේ පුදුමෙන් වගේ.........

"අනේ දෙයියෙනේ මගේ දරුවා ..." නැන්දම්මා හූලලන හඬ ඇහුණාම සීතාගේ කේන්තිය තවත් වැඩි වුනා.

.................................................................................................................................................................

"ඇත්තටම රාමා සීතාට ආදරේ කලාද..?" මම හිතන්නේ නෑ ..මොකද ආදරේ කලානම් මොන හිතකින්ද ගිනිගොඩට පනින්න කියන්නේ ...... එහෙම බලනකොට සීතාට ආදරේ කරලා තියෙන්නේ රාමා නෙවෙයි රාවණා......"

" ආ ඔයා තාම නිදි නැද්ද ..........."

සීතාගේ කල්පනා දැහැන බිඳුනේ රණතුංග ගේ කටහඬින්,

"පොඩ්ඩක් රෑ වුනා සීතා ....  එක නෙවෙයි ඔයාට මම කියන්නමයි හිටියේ .....අපේ චීෆ් එකවුන්ටන් ජයසේකර ළඟදීම රිටයර් වෙනවා . මමයි සේනාධීරයි තමයි ඊ ලඟට ඉන්නේ පොඩ්ඩක් ලොක්කට අල්ලාගෙන හිටියොත් වැඩේ ගොඩ දාගන්න බැරිකමක් නෑ. "

රණතුංග ඒක කියපු විලි ලජ්ජා නැති හැටි දැකලා  සීතාට රනේ ගැන අපුලක් දැනුනා,
"මහා විලිලජ්ජ නැති මිනිහෙක්"
සීතාට හිතුනු දේ කටින් පිටකලේනම් නෑ,

"ලබන බදාදා අපේ ඇනුවල් ට්‍රිප් එක .. ඔන්න සීතා ලොක්කාගෙන් ලකුණු ටිකක්‌ දාගන්න පුළුවන් වෙලාව....ඔන්න ඔයත් මට උදව් කරන්න ඕන....." කියපු රණතුංග බාත්රූම් එකට රිංග ගත්තා.

"මම මොන ඉලව්වක් කරන්නද...? ......" හෙමීට කියපු සීතා රණතුංග ඇඳ උඩ ගලවලා දාල ගිය ඇඳුම් ටික අතට ගත්තේ කිළුටු රෙදි බාල්දියට දාන්න.

....................................................................................................................................................................
" ෂාහ් මරු ස්විමිං පූල් එක සීතා....."
"අර අර අරබලන්න එකේ අඩියේ මාළුවෙකුගේ රූපයක් නේද තියෙන්නේ....."

වයික්කාලේ ඩොල්පින් හෝටලේ එදා රෑ නැවතුන රණතුන්ගලාගේ කොම්පැනියේ ස්ටාෆ් එක හවස හයහමාර වෙද්දීම කොක්ටේල් එක පටන් ගත්තේ බොනවා ඇරෙන්න වෙන දෙයක් නැති ගානට

සීතා ලැස්ති වුනත් ඔය බොන මිනිස්සු ගොඩේ ගිහින් ඉන්න හැටි මතක් වෙනකොටත් ඔක්කාරෙට එනවා වගේ නේද කියලා හිතුනා...

"ඔයාට කම්මැලියි වගේනම් ඔයා රූම් එකේ ඉන්න සීතා ...මොකද ගියා කියලා ඔයා බොනවයි....."
රණතුංගගේ ඒ වචන ටිකෙන්ම සීතාට දැනුනේ සහනයක්....

"ඕක මෙතෙන්ටත් උස්සගෙන ආවද ඒ ගමන ..." බාත්රූම් එකෙන් එලියට ආපු රණතුංග කිව්වේ සීතා ඇඳේ ඇල වෙලා රාමායණය පොත් දිගෑරගෙන ඉන්න හැටි දැකලා.....

"ඔය දොර ලොක් කරන්න එපා ...මාත් හිතුනොත් කලින් එනවා......" එහෙම කියපු රණතුංග කමිසයේ උඩ බොත්තම පියවමින්ම කාමරෙන් එලියට ගියා......

...................................................................................................................................................................
ටක් ටක් ටක්.....
සීතා ගැස්සිලා ඇහැරුනේ දොරට තට්ටු කරන සද්දෙට .....ඉක්මනට "රාමායණය "පොත කොට්ටේ අස්සේ හංගපු සීතා.......................

"දොර ලොක් කරේ නෑ රනේ ...." කියලා කියද්දීම දොර අගුල හිමීට කැරකුනා සීතා ඔලුව උස්සලා බලනකොට හිටියේ රනේ නෙවෙයි .

"ම්..ම්..මිස්ටර් ජයවර්ධන ................?

රතුවුණු ඇස දෙකෙන් සීතා දිහා කන්න වගේ බලාගෙන ඉන්න රණතුංගගේ ලොක්ක දැක්ක සීතා කොට්ටේ අරං තමන්ගේ පපුව වහගත්තා....

"කිසිම කතාවක් බහක් නැතුව ළඟටම ආපු ජයවර්ධන සීතගේ ලඟින්ම වාඩිවුණේ හරියට සීතා එන්න කිව්වා වගේ...

"කෙල්ලේ...........................................රණතුංග හොඳ එකා ...."
"මිනිහ නියම අවංක සේවකයා.............කවදාහරි මිනිහා තමයි අපේ කම්පැනි එකේ චීෆ් එකවුන්ටන්........"
"එත් කෙල්ලේ ඔයා වගේ ඉටි රූපයකට සලකන්න ඒ මොඩය  දන්න එකක්යැ ..?"

එක එක ඒවා කියා කියා ජයවර්ධන සීතාගේ කරට අතක් දාගත්තා .........අරක්කු ගඳ  එක්ක එන ජයවර්ධනගේ දාඩිය ගඳයි නිසා සීතාට ඔක්කරෙටත් ආව....

"ඔක්.....අනේ පිං සිද්ධ වෙයි මිස්ටර් ජයවර්ධන යන්න ....අනේ ප්ලීස් ................"

එත් ජයවර්ධන සීතාගේ අනිත් අතිනුත් අල්ලාගෙන ....
පුළුවන් තරම් මුළු ඇඟේම හයිය දාලා සීතා ජයවර්ධනව තල්ලු කළා..... ඇඳ උඩින් ලිස්සලා ගිය ජයවර්ධනගේ ඔලුව කබඩ් එකේ වදිනවත් ඒ එක්කම "බුදු අම්මෝ" ගාලා ජයවර්ධන කෑ ගහන සද්දෙත් ඇහෙද්දිම  සීතා දොර අරගෙන කොරිඩෝ එක දිගේ දුවගෙන ගියා ....

...............................................................................................................................................................
 කොරිඩෝ එකේ කෙලවරට දුවගෙන ගිය සීතා හැටි දදා අත් වැට අල්ලාගෙන පහල බැලුවා.......කට්ටිය එක සීරුවට නටනවා, එක සැරේම අහම්බෙන් වගේ රණතුන්ගගෙයි සීතගෙයි ඇස හතර එකට ගැටුනා....රණතුංග හෙමින් හෙමින් සීතා ලඟට ආව..

"මොකද සීතා............"

"මොකද සීතා  ඇයි ඔයා හතිදාන්නේ............."

"අනේ රණේ ..."අඩාගත්තු සීතා රණතුංගගේ පපුවේ ඔලුව හන්ගගත්තා....."

"මොකද සීතා මේ.... කතා කරන්නකෝ........"

"බලන්න රනේ ඔයා ගියාට පස්සේ මිස්ටර් ජයවර්ධන අපේ කාමරේට ආවා....."

"ඉතිං ඉතිං මොකද වුනේ......"
"මොකද වුනේ.... "
එහෙම අහනකොට රණතුංගගේ ඇස් දෙක අමුතු උද්යෝගයකින වගේ දිලිසෙන්න ගන්නවා සීතාට හොඳට පෙනුනා....."මොකද වුනේ කියන්නකෝ..." රණතුංග නොඉවසිල්ලෙන්..."

සිද්ධ වෙච්ච හැමදෙයක්ම සීතා අකුරක් නෑර රණතුංගට කිව්වේ ඉකිගගහ ....

"චටාස්..........."
සීතාගේ කම්මුල හරහා රණතුංග ගහපු පාරට සීතා කැරකිලා ගිහින් බිත්තියේ හැප්පුනා

පුදුමෙන් රණතුංග දිහා බලපු සීතාට ඊලඟට රණතුංග කියපු වචන ටික ඇහෙද්දී කන් දෙක වහ ගත්තේ මේ වගේ වෙන්න තමුන් කරපු පව මොකක්ද කියලා හිතාගන්න බැරුව ..

"පර බැල්ලි .....තෝ මගේ ප්‍රමෝෂන් එක කෑවා."

බිත්තිය දිගේ රූටගෙන බිමට වැටුණු සීතාට ..........රාමා ඉස්සරහ සීතා ගිනිගොඩට පනිනවා මැවිලා පෙනුනා.


.




91 comments:

  1. කොන්ද පණ නැති මිනිස්සු! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. "කොන්ද" නෙවේ මචං. වෙන එකක් තමා උගෙ පණ නැත්තෙ... :D

      Delete
    2. ධාරා අපේ තිලිණ මලයා කියලා තියෙන කතාව 1000% ක් ඇත්ත.

      Delete
    3. හිකිස් :) මේ පොඩි මා ව නරක් කරන්නේ නැතු ව ඉඳහල්ලා! තිළිණ අයියගේ කතාව ඇත්ත. ඒක මම දන්නවා, ඉවාන් අයියේ. ඒත් මම කිව්වේ සමස්තයක් විදියට. මොනවා වුණත් කතාව සුපිරි යි! හැමදාමත් වගේ ආසාවෙන් කියෙව්වේ.

      Delete
    4. තැන්කු වේවා ධාරා .........!

      Delete
  2. ප්‍රමෝෂන් ? රෙද්ද තමයි, අම්මවත් විකුණන ජාතියෙ එවුන්. අනික බැන්දට පස්සෙ කාමරයක් හරි අරන් දෙන්න වෙනම ඉන්න එක තමා හොඳම, නැන්දම්මලත් එක්ක ඉන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙනවා. හැබෑවටම මෙහෙම චරිත මේ ලෝකෙ ඕන තරම් ඉන්නව බං.

    උඹ මේක නියමට පෙළගස්සවල තියෙනවා. අපූරුයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා DDT යෝ , මෙහෙම චරිත අද කාලේ වැහිවහලා බං,

      Delete
  3. මේ වගේම එකක් උඹෙන් කියෙව්වනේ.. ප්‍රස්තුත හොයාගන්න ට්‍රයි කරපන්.. පත්තරයක් ගත්තාම.. ඕන තරම් තියෙනවා. ඒක කියවපු නිසා මේක රහ නෑ.. ගොඩක් දුරට එක සමානයි.. උඹේ කවි පට්ට රහයි. බය නැතුව පබ්ලිෂ් කරපන්...

    ReplyDelete
    Replies
    1. මේවගේ එකක්...?
      මාතලන් මගේ බ්ලොගේ පලවෙනි කෙටිකතාවේ ඉඳන් හැම එකක්ම කියවලා තියෙනවනේ, ඒකනිසා මේ කොමෙන්ටුව ගැන මට වඩා ගැඹුරින් හිතන්න වෙනවා.
      කයිය පබ්ලිස් කොරන්න හිතාගෙන ඉන්නවා.

      Delete
  4. දරුවෙක් මල්ලෙක් නැති එකේ, මොන මගුලකට ප්‍රමෝශන් අරගෙන සල්ලි ගොඩ ගහනවද මංදා....

    ReplyDelete
    Replies
    1. //දරුවෙක් මල්ලෙක් නැති එකේ, මොන මගුලකට ප්‍රමෝශන් අරගෙන සල්ලි ගොඩ ගහනවද මංදා....// සිරාවට බං. මටත් හිතුනෙ ඒ ටික තමයි.

      Delete
    2. ඔව් බං තිලිණ & චන්දන දරුමල්ලෝ නැතිඑවුන් තමයි ගොඩක් වෙලාවට කුහකයෝ,හා ලොබයෝ (හැමෝම නෙවෙයි)

      Delete
  5. මට කෙටිකතාවත් දිග කතාවත් ලියන්න බෑ...ඒත් රස වින්දනය උපරිමව කරන්න පුළුවනි.ඇත්තම කිව්වොත් උඹෙන් මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වෙනව.
    මේ කතාව හොඳයි නරකක් නෑ...මටත් හොඳයි කියල නිකං ඉන්න පුළුවනි,ඒත් උඹවගේ දෝරෙ ගලායන ප්‍රතිභාවක් තියෙන තරුණයෙකුගෙන් අපි ගොඩක් දේ ඉල්ලනවා...හොඳ කතාකරුවෙක් හැටියට බ්ලොග් අවකාශයේ නමක් හදාගන්නකොට උඹට තියෙන වගකීමත් එන්න එන්නම වැඩිවෙනවා...හැම තිස්සෙම ඒ දේ මතක තියාගෙන ලියපං...
    අර උඹ ඇඳල මට එවපු පින්තූරෙ මගෙ හදවත උණුසුම් කළා...මම එයට නිසි තැන දුන්න කියලයි මට හිතෙන්නෙ...උඹට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. //අර උඹ ඇඳල මට එවපු පින්තූරෙ // ප්‍රොෆයිල් පින්තූරෙට දාල තියන්නෙ ඒකද ?

      Delete
    2. අප්පට උඹට අදින්ඩත් පුළුවන්ද බං

      Delete
    3. //"අර උඹ ඇඳල මට එවපු පින්තූරෙ මගෙ හදවත උණුසුම් කළා...මම එයට නිසි තැන දුන්න කියලයි මට හිතෙන්නෙ...උඹට ගොඩක් ස්තූතියි."// ඒ වචන ටික අහලා මට ඇඩේන්නත් ආවා හැලපයියේ.
      ඔයාගේ චිත්රටික දැකලා මට හිතුනා අඳින්න ඕනේ කියලා. ඔෆිස් එකේ ඉන්න ගමන් ඇන්දේ. ඔයා එකට නිසිතැන නෙවෙයි බොහොම ඉහල තැනක් තමයි දීලා තියෙන්නේ.
      ඔයා කියපු දේමයි මාතලනුත් කියුඅන්නෙ, අඩුපාඩු එමටයි ,ඒවා හදාගන්න පුළුවන් වෙන්නේ ඔයාලාගේ මගපෙන්වීමෙන් තමයි.ඒ ගැන මට හිතන්න වෙනවා අනිවා. එත් ලියන වෙලාවට හිතට එන එක ඔහේ ලියාගෙන ලියාගෙන යනවා.

      @අටම් & චන්දන ඔව් බන්ස්ලා මම ඇඳපු එකක් තමයි

      Delete
  6. මට නං මේකෙ කියන්න වරදක් නෑ බං.. මට රහයි වෙනද තරම්ම

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා සමියෝ.....අඩුපාඩුත් නැත්තේම නෑ ඉතිං

      Delete
  7. හබියගෙ නම රාමනායක කියලා වෙනස් කරන්න.
    බොස් ට රවීන්ද්‍ර කියලා නම දාන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇයි කකා එහෙම එකක් හිතුනේ.... මමත් හිතලා බලන්නං .

      Delete
    2. හබීට රසික කියලා දාන්න පොර කොහොමත් කොලු කාරයා....

      Delete
    3. රාමා, රාවණා කතාවට අදාලව....

      Delete
    4. @ඇනෝ (Anonymous August 28, 2013 at 9:43 AM)
      උඹ කොහොමෙයි බං ඇනෝ එක දන්නේ............?

      Delete
    5. @ තිසර
      මමත් නිකමට හිතුවා එත් එකටමදයි කියාලා හරියටම දැනගන්නයි ඇහුවේ.

      Delete
  8. මේ වගේ සිදුවීම් අද සමාජයේ බහුලව දකින්න තිබෙන දේවල්.වෙනද වගේම මේ ලිපියත් සිත්වලට කාවදින ලෙස ලිවීම හරිම අපුරුයි.

    ReplyDelete
    Replies
    1. සමාජයේ අපි කවුරුත් කතාවෙන්න අකමැතියි මේවා ගැන මොකද අපි හෙන සුචරිතවාදියෝනේ, එත් මෙහෙම දේවල් වෙනවා කෙන්ජයියේ.

      Delete
  9. හැමෝම කියලා තියෙනව වගේ මේක බහුලයිද.... ඒක නිසා එච්චර අවුලක් නෑ කියලා පැත්තකට වෙන්න පුලුවන්ද...

    මම හිතන්නේ නෑ.. මේක ඇවිල්ලා ප්‍රශ්නෙ එක පැත්තක් විතරයි.. ඒ උනාට වැඩිය තදට වදින්නේ මේක තමයි... ඒකයි ඉවාන් තෝරගත්ත පැත්ත බහුලයි කියලා පේන්නෙ... තදට වදින ප්‍රස්තුතයක් විදියට මේක සාර්ථකයි...

    ඒ උනත් මෙතන කීයක් කියලා ප්‍රශ්න තියෙනවද කියලා කල්පනා කරල බැලුවොත් මේක ඇතුලෙම මේ කතාව තව තුන් හතර පැත්තකට යවන්න පුළුවන්.. මෙන්න ගෑණියෙක්ගේ පැත්තෙන් ඒ ටික...

    උසස් අධ්‍යාපනය කියන එකේ අපේ රටේ උඩින් පේන්න තියෙන කාන්තා සහභාගීත්වය කියන බොරුවේ ඇතලෙ තත්වෙ... කොච්චර දක්ෂ ගෑණියෙක්ව උනත් ගෙදර නවත්තගෙන නාස්ති කරලා දාන්න පිරිමියෙක්ට දමලා ගහන්න පුළුවන් හේතු කොච්චර තියෙනවද... දරුවො බලාගන්න ඕනෙ.. ගෑණු පාරෙ යන්න ගියාම කරදරයි.. ගෑණිගෙන් හම්බුකරගෙන කන්න කැමති නෑ... නැන්දම්මලා බලාගන්න ඕනෙ... මට ඕනෙ මං ගෙදරට එනකොට දොරකොඩට වෙලා බලං ඉන්න ගෑණියෙක්ව... මට කඩෙන් කන්න බෑ කියල දන්නවනේ... ඔය වගේ...

    නැන්දම්මා ප්‍රශ්නෙ... මේකත් අපේ රටේ තියෙන මේ “ අන්තිම කාලේ අපිව බලාගන්න දරුවෙක් මල්ලෙක් හදාගන්න ඕනෙ..” කියන හැඟීමෙන් පටන් ගන්න දෙයක්... අඩු ගානේ අවුරැදු 35-40ක් උනාමවත් ස්වාධීන වෙන්න දරුවෙක්ට ඉඩක් නැති රටක මේ ප්‍රශ්නෙ දැනෙනවා වැඩියි..

    දරුවො කතන්දරේ... මේකත් සමාජීය ලෙඩක් තමයි..

    අනිත් එක තමන්ගේ ගෑණි තමන්ට ලියලා දුන්න බඩුවක් විදියට සලකන මානසිකත්වය.. මේක හදන්නෙ ඉස්කෝලෙන්වත් කැම්පස් එකෙන්වත් නෙවෙයි.. ගෙදරින්මයි...

    ඔන්න මට හිතිච්ච දේ...

    ReplyDelete
    Replies
    1. හිරුට හිතිච්ච දේ හරියටම හරි, එක ගැන තමයි මමත් මෙතනින් සාකච්චා කරන්නේ, තවමත් අපේ කාන්තාව ජීවත් වෙන්නේ , කාන්තාව තියන්න හදන්නේ වැඩවසම් සමාජෙමයි.

      Delete
  10. මමත් කවදාවත් රාම කුමාරයව අගේ කරපු කෙනෙක් නෙමේ. එයත් වැටෙන්නේ ඔය නිවටයන්ගේ ගොඩට. රාවණා තමා සීතාට නියම විදියට ආදරේ කරලා තියෙන්නේ...:)

    ලංකාවේ ගෑනුන්ගේ ඔය තත්වය නැති කරන්ට පුලුවන් අපේ ආදරණීය පිරිමින්ටම පමණයි.:D

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි , මම පුංචි කාලේ ඉඳන්ම රාමායණය කියෙව්වේ වෙනස් කෝනෙකින්, මමත් ඒ කාලේ ඇහුවේ රාමා ඔච්චර සීතාට ආදරේනම් මොකටද ගිනිගොඩට පනින්න කිව්වේ කියලා. අනික ඉන්දියාවේ ඉඳන් සීතාව උස්සගෙන ගිය රාවණාට ඉතුරු ටික කරන එකත් මහා වැඩක්ද? එත් එහෙම නොකළේ ආදරේ නිසා. (රාමායණය ප්‍රබන්ධයක්ද සැබෑවක්ද යන කාරණයන වෙනම සලකා බැලිය යුත්තක්)

      Delete
    2. රාමායණය සම්බන්ධයෙන් මගේ හැඟීමත් ඕකම තමයි.

      Delete
    3. මම හිතන්නේ රම්මයනයේ ඇත්ත ඒකයි, ඕක ලංකාවේ කෙනෙක් ලිව්වා නම් මේ විදිහ හරියන්න තිබ්බා.

      Delete
    4. භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයා ලියපු ශ්‍රී රාවණ්ණා පුවත පොත කියවල තියෙනවද. ඒක රාවණගෙ දෘෂ්ඨියෙන් ලියල තියෙන්නෙ. (භද්‍රජි මහත්මයාගෙ පොත් කොහොමටත් අමුතු රසයක් තියෙන ඒවා) ඒත් මේ කතාවෙ රාවණා චරිතය ඉදිරිපත්කරපු ආකාරය සමහරුන්ට බෝරිං වෙන්නත් පුළුවන්. මතක හැටියට පොතේ පසු සටහනක් තිබුනා ඔහුට මුනගැහුනු අද්භූත පුද්ගලයෙක් ගැනත්, ඹහු ඉඟිකරන්නෙ ඒ රාවණාගෙ අවතාරය කියල.

      Delete
    5. ඔව් බං එක මම කියෙව්වා, අපි ප්‍රමෝට් කරන්න ඕන ඉන්දියාවේ "රාමායණය" නෙවෙයි , ලංකාවේ "රාවණායනය"

      Delete
  11. උඹේ ගැලපීම නං අපුරුයි ඉවාන්. නියමයි. කෙහෛාමත් ආයි පාරක් කියවන්න ඕන උඹ ටච් කරන විදිය ගැන මම කැමතියි

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා දේශකයාණෙනි, ආයෙත් කියවලා බලලා අඩුපාඩු ඇතොත් කියන්න.

      Delete
  12. තමන්ගේ ගැනිව නොදුන්නත් උසස්විමක් හරි වෙත වරපුසාද බලාපොරෙත්තුවෙන් හරි ඔයවගේ සිද්දින් ගොඞක් අායතනවල සිදුවෙනවා. අනේ මන්ද බං

    ReplyDelete
    Replies
    1. ඔව් බං, එත් මිනිස්සු ඒ තරම් නිවට වෙන්න ඕන නෑ මං හිතන්නේ,

      Delete
    2. මම සමිභන්දවෙලා ඉන්න කර්මාන්තය උබ දන්නවානේ. ඡයවර්දනලා අනන්තයි අපුමනයි ඒ අතර සිතලාත් ඉන්නවා දුක හිතෙනම කථාව එයාලාට හිමිවෙන්නෙ ගොඩක්දුරට කමිබුල් පාර. (මම ගැන වරදවා හිතන්න එපා)

      Delete
    3. වරදවා හිතන්නේ නෑ බං , ඕක තමයි යතාර්ථය,

      Delete
  13. නියම කතාව ඉවාන්....සුපිරියි...

    මනිරත්නම්ගේ රාවනන් චිත්‍රපටිය එක පාරටම ඔළුවට ආවා.

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං... උඹලාගේ සහයෝගය ඉතාම වටිනවා.

      Delete
  14. මචං මේ සිදුවීම් ටික ගලපලා තියන හැටියටයි අවසානයටයි මම කැමතියි. නමුත් කික් එකක් එන්නේ නෑ කියෙව්වට. මට හිතෙන්නේ ඒ උඹ ඔනෙවට වඩා ඒවා පැහැදිලි කරනන් උත්සාහ දරන නිසා කියලා.

    දැන් අර ප්‍රමෝෂන් එක ගැන සීන් එකේදි, "ඔයත් මට උදව් කරන්න ඕනේ" කියන තැන වෙනකොට මොකද්ද වෙන්න යන්නේ කියලා ඉඟියක් අපිට දෙනවා. එහෙම නැතුව... තමන්ට වෙච්ච දේ සීතා දුවලා ගිහින් සැමියාට කියන වෙලාවෙදි "උඹ මගේ ප්‍රමෝෂන් එක කෑවා" කියන එක සීතට විතරක් නෙමෙයි කියවන්නාටත් කම්මුල් පාරක් විදිහට වැදෙන්න අරින්න තිබ්බා, ඒ මුල් ඉඟි කිරීම් තිබ්බෙ නැත්නම්...

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං ,කික් එකක් නෑ කියපු කතාව ටිකක දුක හිතෙන කතාවක් වුනත් ඒ කියපු අඩු පාඩු ටික පුලුවන් හොඳම විදිහට හදාගන්න බලන්නම්.හැබැයි උඹ අර කියපු ඉඟිය නම් මම හිතලම දීපු එකක්. එක දීපු එකෙන් රසයට බාධාවක් වෙයි කියලා එවෙලේ නම් හිතුනේ නෑ,

      Delete
    2. මචං ඔය කික් එක වැඩ කරන්නේ මෙහෙමනේ... උඹේ කලින් කතා කියවලා එහෙම, අපි පොඩි එක්ස්පෙක්ටේෂන් එකක් හදාගන්නවනේ... ආං ඒ ලෙවල් එකට අද කතාව නෑ කියන එකයි. අනික කෙටියෙන් කොමෙන්ට් දාන්න ගියාම දේවල් අමුවට ලියවෙනවා.

      සිරාවට මේ සිදුවීම් පෙලෙහි අවස්ථා සම්බන්ධය නියමයි. නමුත් මචං මේ එක සිදුවීමක්වත් අපි මීට කලි අහලා දැකලා නැති එවා නෙමෙයිනේ. ඒ නිසා අර කික් එක ගන්න උඹ මොනවාහරි කරන්න ඕනේ... "දැන් මචං සීතා රණේ ගෙ අම්මට "ඔව් ඉතිං ඒ පින එයාට නෑ තමයි" කියන තැන ඔය කික් එක ටිකක් තියනවා. අම්මගෙම වචන ටිකෙන්, ආපහු ගහපු විදිහට... ඇත්තටම එතනින් එහාට ඔය කතාව වෙනස් ගමනකනේ යන්නේ... අර කලින් සිද්ධි ටික ඒකට එච්චර අදාල නැහැනේ... එහෙම බැලුවහම කතා දෙකක් වගෙත් පේනවා... කොහොම වෙතත් ඒ අවසානය මම කලින් කිව්ව විදිහට අපිට කලින් අඟවන්නේ නැතුව හිටියා නම් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ... ඒ වගේම මේ සිදුවීම් දෙක යා වෙන ක්‍රමයක් තිබ්බා නම් තව හොඳයි.

      මචං මේක කෙටි කතාවක් නිසා, කතා කරන මාතෘකාවට වඩා කෙටි කතාවක් විදිහට මේක මට දැනෙන්නේ කොහොමද කියන එක ගැනයි මම ලියන්නේ. හිතෙන දේ ලියනවා මිසක්, කෙටි කතා ගැන මට ඇති මහ ලොකු දැනීමක් එහෙම නෑ හරී...

      Delete
    3. //"කෙටි කතා ගැන මට ඇති මහ ලොකු දැනීමක් එහෙම නෑ හරී"// මචං ඒ කතාව වැරදියි උඹට හිතෙන හැටි තමයි උඹේ දැනීම. ඒ දැනීමෙන් කරන විචාරය තමයි වටින්නේ ,මොකද දන්න එවුන් කියන්නේ කොහොමත් තමන්ගේ එක ඇර අනිත් ඒවා අන්තිමයි කියලා විචාරේ කරන එවුන්. එක උඹට හොඳට පැහැදිලි වෙයි ලංකාදීපේ විමංසා අතිරේකේ නවක කෙටිකතා වල විග්‍රහය දෙන කට්ටිය දිහා බැලුවම ,
      කොහොමත් හදවතින් කරන විචාරෙයි, මං පොර විචාර කලාවයි දෙකක්. උඹ මේ විචාරේ කරන්නේ හදවතින්, අවශ්‍ය වෙන්නේ ඒකයි. මම උඹේ විචාර වලට කැමති ඒකයි.
      මං මේ කරන දේට උඹලාගේ ඔය සහයෝගය ඉතාම වටිනවා. ඉදිරියටත් ඒක එහෙමම ලැබෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.

      Delete
  15. ආර්තික වටිනාකම් වලට ආත්මයයි අරවයි මෙවයි ඔක්කොම පාවාදිපු සමාජයක් මෙක.මෙවගෙම තව සිදුවිමක් තමයි මාතලන්ගෙ කවිවල තිබුනෙ.හොද කතාවක්.මට කඩවර ටෙලිනට්ටිය මතක් උනා.සමානද මන්ද

    ReplyDelete
    Replies
    1. කඩවර ටෙලියත් මේ වගේ කතාවක් තිබුනා ,ආර්ථික වටිනාකම් වලට මනුස්සකම් යටවෙලා ගොඩක් කල් දමිත්.

      Delete
  16. අපි ටිකක් ලොකු වෙනකන් අපේ හිතේ තියෙන්නෙ රාමා හරි කියන එක ඒකට හේතුව කතාව ලියල තියෙන්නෙම රාම කුමාරයට පක්ෂව... කොහොමත් මේක තමයි තිත්ත ඇත්ත...
    මම ඉස්සෙල්ල බදින්න හිටිය කොල්ලෙක්, මගෙන් ඇහුවම මම ගෙදරින් අහන්න කියලා මුල ඉදන්ම ගෙදර දැනගෙන හිටිය සම්බන්ධයක්... ඒත් ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක විහිළුවක් කලා කියලා මට ගැහුවා... ඒ මිනිහගේ තිබුනේ සම්පූර්ණ අමුතු මානසිකත්වයක්... මම එයාගේ අම්ම වගේ වෙන්න ඕනි කියලා... එයාගේ අම්මා මිනිහෙක් තියා ගෑනියෙක් එක්කවත් කතා කරන්නේ නෑ... ගහපු දවසට පහුවදාම ගෙදරට කියලා සම්බන්දේ නැවැත්තුවා... ඉල්ලන ඕනි දෙයක් අරන් දෙන්න සල්ලි තියන මිනිහෙක්. ඒත් ගෑනිට ආදරේ කරන්නවත් බලාගන්නවත් දන්නෙ නෑ... ඔන්න ඔහොම තමයි දැන් වැඩිපුර පිරිමි...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන මෙහෙම කියනවට , ඒ යකාවනම් බැන්දේ නැතිඑක ඔයාගේ ජීවිතේ මාරකෙකින් ගැලවුනා වගේ තමයි. ඉතින් මිනිහට බෝනික්කෙක් අරගෙන ගෙදර තියාගන්න කිව්වනම් හරි. ඔයාගේ වාසනාවට බඳින්න කලින් ඒ ගැන දැනගන්න ලැබුනා, එහෙම නැතුව බැඳලා අමාරුවේ වැටුන කී දෙනෙක් නම් ඉන්නවද.

      Delete
  17. රාම රාවනා කථාව ගත්තත් රාවණා තමයි නියම වීරයා.. තමන්ගේ අබුව ගිනි ගොඩකට ඇදලා දාපු රාමගෙයි උබේ කතාවේ රණතුන්ගගෙයි වැඩි වෙනසක් නැහැ.. උසස් තනතුරු ගන්න ඔයිටත් වඩා බලුවැඩ කරන මිනිස්සු ඉන්නවා බ..
    වෙනදා වගේම ආසාවෙන් කිවෙව්වා..
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. අද කාලේ වරදාන වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවාදෙන එක මිනිස්සුන්ට මහා දෙයක් නෙවෙයි.

      Delete
  18. කතාවේ කුතුහලය මාරයි. මටනම් ගොඩක් රසවත් කතාවක්.

    ReplyDelete
  19. අනිත් කතා වගේම සුපිරියට පෙලගස්වාලා තියෙනවා ඉවාන්.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අයිලාස් ...අඩු පාඩුවක් තියේනම් කියන්න හොඳේ..?

      Delete
  20. Replies
    1. නෑ බං මිනිස් ආත්මය ලැබූ වෙන මොක්කුද වගයක්.

      Delete
  21. හොඳ නිර්මාණයක්! එක හුස්මට කියෙව්වා!

    උබ මේ බ්ලොග් අවකාශේ ඉන්න ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙක්!
    ඒක නිසා උබේ ඊළඟ නිර්මාණවලට දායක කරගන්න මෙන්න මගෙන් අදහස් ටිකක්!

    1.එකම සංකල්පයේ කතන්දර එක පිට ලියන්න එපා.
    උබේ කලින් කතන්දරේ ඉස්කෝලේට ළමයව දාගැනීම පිණිස අකමැත්තෙන්;මේකෙ ප්‍රමෝශන් එකක් උදෙසා සැමියා.

    2.සංකේත භාවිතය
    මේ ලොක්කට හොඳ මිනිහෙක් නෙවේ."ජයවර්ධන" කියන එකට වඩා "වනසිංහ" වගේ ඌට ගැළපෙන සංකේතාත්මක නමක් දාපන්.[සංකේත කියන්නේ සාහිත්‍ය උපක්‍රමයක්]

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ මචං ඔය දෙවැනි කරුණ ගැන එච්චර හිත කරදර කරගන්න ඕන නැහැ කියල. අර කාටුන් විකට කතාවල එහෙමත් ඔය පුද්ගලයගෙ චරිත විකාශයට අනුව නම යොදනවනේ, එතනදි නම් හාස්‍ය රසයක් ලැබෙන්නෙ. අනික ඒක ඉතාම ප්‍රාථමික උපක්‍රමයක් මට හිතෙන හැටියට, කෙටි කතාවකට නවකතාවකට ගැලපෙන්නෙ නැහැ. කතාවකින් පාඨකයා තුළ ඇති කරන ප්‍රබල හැඟීමට, කම්පනයට ඒ වගේ නමකින් හානි වෙනවා කියල මට හිතෙනවා. සැබෑ ලෝකයෙදි ඒ මිනිස්සු කරන දේවල්වලට අනුව නොගැලපෙන නම් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද. (අර සන්ෆ්ලවර්ස්ල උපහාසාත්මක සිංදුවකුත් කිව්වෙ ‘පින් මාළුවගේ කුසල්හාමි මාළු බානවා‘ කියල)

      සංකේත කියන්නේ සාහිත්‍ය උපක්‍රමයක්, අනිවා මේකට නම් එකඟයි. ඒක හුඟක් මාධ්‍යවලදි භාවිත කරන්න පුළුවන්.

      Delete
    2. @දුලා පලවෙනි කාරණය පිලිගතිමි.
      දෙවනිකාරණය ගැන මමත් DDT ඉන්නා මතයේම තමයි හිටියේ.එත් එය සලකා බැලිය යුතු කාරණයක්.මොකද මාධ්‍ය හා සාහිත්‍ය කියන්නේ සැබෑ ලෝකය නොවෙන නිසා උඹ කියන කාරණය ගැන හිතන්න වෙනවා. ස්තුතියි
      මචෝ.

      @DDT
      මටත් මතක් වුනේ ඔය සිංදුව , ඒත් දුලා කියන එක ගැනත් ඉදිරියට හිතන්න වෙනවා මම හිතන්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සාහිත්‍යය කියන්නේ පුළුල් ක්ෂේත්‍රයක්.ඒකෙන් අපි දන්නේ අල්ප මාත්‍රයක ප්‍රමාණයක් විතරයි.කතන්දරයකට ලස්සන දෙබස් ටිකක් දාල පෙළ ගැස්සුව පමණින් එය සාහිත්‍ය නිර්මාණයක් වෙන්නේ නැහැ.නමුත් ප්‍රගීත් ඔබත්,වැව් ඉස්මත්තත් සෑහෙන දුරකට සාර්ථකයි.ඒ ඔබ දැන හෝ නොදැන සාහිත්‍ය අංග භාවිතා කළ නිසයි.ඒ අතරින් ඔබෙන් ගිලිහී ගිය සාහිත්‍ය අංගයක් වන සංකේත වත්මනෙහි දෙස්විදෙස් කතුවරු බොහොමයක් භාවිත කරනවා.[ඔබ මේක නොදැන සිටීම පුදුමයට කරුණක්]

      නවකතා කෙටිකතා වලට මෙය වලංගු නොවන බව සඳහන් කරමින් DDT පල කර තිබෙන කරුණ සම්පූර්ණයෙන් වැරදියි.මහාචාර්ය ඒවී සුරවීර මහතාගේ ගොදුරු ලොබ කෙටිකතා සංග්‍රහය සම්මාන පිට සම්මාන දිනුවා.එහි ඇතුළත් "අපටත් දවසක ඉර පායාදෝ" කෙටිකතාව සංකේත භාවිතය හොඳින්ම දක්වා ඇති කෘතියක්.කියවා බලන්න.එහි චරිත වල නම් වලින් පමණක් නොවේ තව බොහෝ දෙයින් සංකේත ඉදිරිපත් කර තිබෙනවා.ගුරුවරියගේ පිවිතුරු බව නිරූපණයට "පද්මා මිස්" යන නමත්,අනෙකුත් චරිත වලට ඊට ගැලපෙන නමුත් යොදා තිබෙනවා.මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාත් මේ උපක්‍රමය යොදාගෙන තිබෙනවා.

      චරිතයට ගැලපෙන නමක් යෙදූ පමණින් එය සංකේතයක් වන්නේ නැහැ.එනම් ඔය කියා ඇති ආකාරයට කෑකෝ පප්පා යන්නවත්,කුසල්හාමිත් සංකේත නොවේ.

      කෙසේ වෙතත් DDTගේ කමෙන්ටුව දැකීමෙන් වත්මනෙහි පාඨකයන් තුල තිබෙන අල්ප වූ සාහිත්‍ය දැනුම අවබෝධය ගැන කලකීරීමක් ඇතිවිය.

      Delete
    5. නැහැ දුලා, උඹ මම අදහස් කළ දේ තේරුම් අරගෙන නැහැ. මම කිව්වෙ මට හිතෙන හැටියට චරිතයකට නමක් යෙදීමෙදි එතරම් වදවීම අනවශ්‍යයි කියන එක. උදාහරණයක් විදියට ලේඛකයෙක් හිතාමතා චරිතයකට සක්විති කියල නමක් යෙදූ පමණින්ම ඒ නම හා බැඳුනු සිදුවීම් දන්න පාඨකයෙක්ට මේ චරිතෙ කොයි වගේද කියල පහසුවෙන් හඳුනගන්න පුළුවන්. නැත්නම් ඒ නම යොදල බොහොම ගුණයහපත් චරිතයක් ඉදිරිපත්කරන්නත් පුළුවන්. ලේඛකයා එසේ කිරීම උචිතයි හෝ අනුචිතයි කීම පිස්සුවක්නේ. එහෙම නැත්නම් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න නමේ අර්ථයට වැඩ තියෙන චරිතයක් ඉදිරිපත්කරන්නත් පුළුවන්. නව නවකතාවකදි හරි කෙටි කතාවකදි හරි මූ වලත්තයෙක් කියල උගේ නම විසින් කලින්ම චරිතය පාවා දුන්නම සිද්ධි පෙළගැහෙනකොටම සිදුවෙනදේ පාඨකයාට වැටහෙනව, එයින් කතාව කියවීමෙන් එහි එන සිදුවීම්වලින් පාඨකයාට ඇති වෙන විඳීමට වක්‍රව බලපෑමක් ඇතිවෙනව කියල මට හිතුනා. දැන් ඔය තිසරත් හෙන්රි අයියත් කියල තියෙන්නෙ සිදුවීම් කලින්ම හෙලි වීමෙන් ඇතිවෙන තත්ත්වය. මෙතන ගැටළුව ඇති උනේ මම සරලව මගේ අදහස කිව්වම උඹ ඒක විච්ඡේදනය කරල මතුපිටින් පෙනෙන අහසට වෙනත් අර්ථනිරූපණ දෙන්න යාම.

      නමුත් ලේඛකයින් බොහෝ විට අත්හදාබැලීම් කරනවා. හැම විටම එසේ කිරීම අවශ්‍ය නැතුවා වගේම නොකර සිටීමත් අවශ්‍ය නැහැ, ඒක ලේඛකයාගෙ අදහස අනුව අවශ්‍යතාවය අනුව යොදා ගත හැකියි, නමුත් ඒ ගැන ඕනවට වඩා හිතකරදර කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එකයි මගේ අදහස වුනේ. ඔබ සඳහන් කරන මහාචාර්යවරු දෙදෙනාට අමතරව පහුගියකාලෙ සම්මානයට පාත්‍ර වුනු හා එසේ ඇගයීමට ලක් නොවුනු බොහෝ නව කතා කෙටිකතාවල එවැනි නම් ඇති චරිත සොයා ගත හැකිවේවි.

      මම ඉවාන් ලියපු කතාවක් කියවපු පළමු අවස්ථාව මේක. කලින් ලියපුව කියවීමේ අවස්ථාවක් තවම ලැබුනෙ නෑ. ඔහු කලින් ලියල තියෙන්නෙ මොනවද කියල මට වැටහීමක් නැති නිසාම දුලා කියන, ඔහුගෙන් ගිලිහී ගිය දේවල් මොනවද කියල මම දන්නෙ නෑ. එනිසයි මම කිව්වෙ වැඩිය බරට හිතන්නෙ නැතුව ලියන් යන්න කියල.

      සංකේත භාවිතය ගැන ගැටළුවක් නෑ, මා එය කලිනුත් සඳහන් කළා. එය තමන්ට අවශ්‍ය පරිදි උචිත අයුරින් යෙදීම ලේඛකයාගෙ දක්‍ෂතාවය. හොඳ කියවීමක් තිබෙන අයෙක්ට ලිවීම පහසුයි, ඒ වගේම ඔහු ඉක්මනින්ම අවශ්‍ය දේවල් ග්‍රහණය කරගන්නවා.

      //කෙසේ වෙතත් DDTගේ කමෙන්ටුව දැකීමෙන් වත්මනෙහි පාඨකයන් තුල තිබෙන අල්ප වූ සාහිත්‍ය දැනුම අවබෝධය ගැන කලකීරීමක් ඇතිවිය.//

      මම බං සිංහල භාෂාව සාහිත්‍ය උගතෙක්ය කියල කොහෙදිවත් සඳහන් කරල නෑ. අඩුතරමෙ මම සිංහල විෂයක් විදියට ඉගෙනගෙන තියෙන්නෙත් ඕලෙවල්වලට විතරයි. ඒ වෙලාවෙ නම් මම ඒක කළයුතු ඉහළම විදියට කරගත්තා. පාඨකයො හැමෝම දුලා හිතන විදියට සාහිත්‍ය උගතුන් වියයුතුයි කියල හිතන එක හෝ අනිවාර්යෙන් එසේ විය යුතුය කියල හිතන එක හෝ මහ පොළොවෙ පයගහල ඉන්න කෙනෙක්ගෙ අදහසක් කියල මට හිතෙන්නෙ නෑ. එහෙම උනොත් බ්ලොග් එකක උනත් මෙහෙම කතාවක් කියවල කමෙන්ට් එකක් දමන්න දුලා වගේ උගතුන් කිහිප දෙනෙක් ඇරෙන්න කෙනෙක් නැති වෙන්නත් පුළුවන්. මම නම් බ්ලොග් එකක කමෙන්ට් එකක් දමද්දි මම අහපු දැකපු විඳපු අත්දැකීමෙන් මට හිතෙන දේ ලියන්නෙ, තවත් කෙනෙක් එයාට හිතෙනදේ, බ්ලොග්කරුවා ඔහුගෙ අදහස කමෙන්ට් කරනවා එච්චරයි. එහි කිසිවෙක් මත බලෙන් පැටවීමක් නැහැ.

      Delete
    6. දුලා ..........
      කිසිසේත්ම උඹ කියපු කාරණය මම බැහැර කළා නෙවෙයි, සංකේත භාවිතය ගැන නොදැන සිටියාටත් වඩා එය මේ තරම් බලපෑමක් කතාවට කරාවි කියන අදහස මාතුල තිබුනේ නෑ, අනෙක් කාරණය මා ආධුනික මට්ටමේ පුද්ගලයෙක් නිසාවෙන් මෙවැනි වැරදි අඩුපාඩු එමටයි . ඔබ සැමගේ කොමෙන්ටු වලින් ලැබෙන සහයෝගයතුලින් ඒ දේවල් මග හරාවාගෙන ගමනක් යාමට දරන උත්සාහයක් පමණයි.
      චරිතයට ගැලපෙන නමත් සංකේත භාවිතයත් කියන දෙකෙහි වෙනස වටහා ගනීම කලයුත්තක් බව මාගේත් පිළිගැනීමයි.
      DDT ත් ඔබ මතුකළ කරුණු බැහැර කළා කියා මා හිතන්නේ නෑ.

      Delete
    7. DDT & දුලා
      මම හිතන්නේ ඇත්තෙන්ම බ්ලොග් තුලින් සිදුවිය යුතු මෙහෙවර මෙයයි. මෙවන් වූ බුද්ධිමය සංවාදයක් ගොඩනැගීම තුලින් අප සිටින තැනින් බොහෝ ඉදිරියට පැමිණිය හැකි බව මට සිතේ.

      Delete
    8. සමාවන්න ඉවාන්, මේ කමෙන්ටුව පළ කිරීම පිළිබඳව. නිරපරාදෙ පහර කෑමෙන් ඇතිවන හැඟීම ඔබට වටහාගත හැකිව ඇති. යම් කරුණක් අරඹයා මත ගැටුම් ඇතිවීම, වාද විවාද කිරීම එකක්, (එය මට හොඳට හුරුයි) පහරදීම තවෙකක්.


      ඔව් ඉවාන්, චරිතයකට ගැලපෙන නමක් යෙදීම පිළිබඳ කිසිඳු ගැටළුවක් මටත් නැහැ. සත්‍ය වශයෙන්ම එය එසේ විය යුතුයි. නොඑසේ උවහොත් පාඨකයාට අදාල චරිතය පිලිබඳ විශ්වාසයක් නැතිව යනව. එහෙම කිව්වෙ ‘ලොක්ක හොඳ මිනිහෙක් නොවන නිසා - වනසිංහ, ගුරුවරියගේ පිවිතුරු බව නිරූපණයට - පද්මා මිස්‘ වගේ නමක් යෙදිය යුතුයි කියන අදහසින් ම නම් නෙවි, උදාහරණයක් ලෙස නිකන් පරණතාලෙ මිනිහෙක්ගෙ චරිතයකට උචිත නමක් යොදා ගත්තෙ නැති උනොත් ඒ චරිතය අසාර්ථක විශ්වසනීයත්වයෙන් තොර එකක් විමේ වැඩි සම්භාවිතාවක් පවතිනව. දුලා මුලින් අදහස්කළ ආකාරයේ නම් තැබීම ගැන නවකාතාවකදි හෝ කෙටි කතාවකදි හෝ වැඩිදුර සිතිය යුතු නැති බව විතරයි මම අදහස් කළේ, නමුත් මම එය නොකළ යුතුයි කියලවත් හෙළාදැක්කෙවත් නෑ. උඹත් මගේ මතයෙ සිටියත් දුලාගෙ අදහසත් සලකා බැලිය යුතුයි කියන තැන හිටියා. ඉතිං ඊළඟ දවසෙ උඹ එහෙම කළත් මම මේ කමෙන්ට් ටික එතනට කොපි පේස්ට් කරගන්න දඟලන්නෙ නෑ, තියන දෙයක් කියවල ඒ අවස්ථාවෙදි ඇතිවන අදහස කියනව මිස. කොහොමටත් යම් කතාවක් ගොඩනැංවීමෙදි ලේඛකයට පරිකල්පන ශක්තියක් තිබිය යුතුයි. අපට බොහෝ විට හමුවෙනව අසාර්ථක චරිත ගොඩනගන කතාකරුවන්, එවැනි චරිතයකට මොන නම තිබුනත් වැඩක් නැහැ. මා සිතන අයුරු ප්‍රබන්ධය සැබෑ ලෝකයට ඔබ්බෙන් තිබෙන්නක් උවත් එහිදී අපට හමුවන්නෙ සැබෑ ලෝකයෙන් ප්‍රක්ෂේපණය කළ චරිත. මේව හැමදේම නිරපේක්‍ෂ සත්‍යයන් නෙවිනේ බං, භාෂාව සාහිත්‍යය පිළිබඳව (මෙන්ම වෙනත් ඕනෑම විෂයක් පිළිබඳව) උගත් ආචාර්ය මහාචාර්යවරු අතරත් තම විෂය ක්‍ෂේත්‍රයට අදාල කරුණු ගැන විවිධ මතිමතාන්තර තිබෙනව. කෙනෙක් එකඟ වන දේ ගැන තවත් කෙනෙක් එකඟ වන්නෙ නැහැ, නොඑසේ නම් ඒ ගැන වැඩි තැකීමක් කරන්නෙ නැහැ. එහෙව් එකේ අපි මොන බල්ලොද බං.


      කෙසේවතුදු මාගේ අල්පතර වූ සාහිත්‍ය දැනුම, අවබෝධය හා රසවින්දනය ගැන දුලාට කණගාටු සිතෙන අයුරින් කටයුතු කිරීම පිළිබඳ මටත් කණගාටු නොවී සිටිය නොහැක. දුලා, රටේ ලෝකෙ කණගාටු විය යුතු කරුණු අපමණ තිබියදි මමත් ඔබට වදයක්වීම ගැන කමා වුව මැන. ඔබ විසින් නිතරම කමෙන්ටු මගින් ඔබේ අඩවියට පැමිණෙන මෙන් විවෘත ආරාධනයන් කළත් මෙතෙක් මා හට ඒ සඳහා අවස්ථාවක් නොලැබීම පිලිබඳව දැන් මම බෙහෙවින් පසුතැවෙමි. ඉහළ භාෂා සාහිත්‍යාවබෝධයක් මෙන්ම උසස් රසවින්දනයක් ඇති ඔබේ මාහැඟි නිර්මාණ (රසවිඳීමේ හැකියාවක් නොමැතිවුවත්) දැක බලාගැනීමටවත් එම අඩවියට පැමිණීමටත් අදහස් කොටගතිමි. ස්තූතියි ඔබට.

      Delete
    9. කෙසේ වෙතත් දුලාගේ කමෙන්ටුව දැකීමෙන් වත්මනෙහි පාඨකයන් තුල තිබෙන අල්ප වූ සාහිත්‍ය දැනුම අවබෝධය ගැන කලකීරීමක් ඇතිවිය.

      සාහිත්‍ය කියන දේ නිදහසේ ගලාගෙන ගියාම ඇති දුලා. අරක මෙහෙම කරන්න මේක මෙහෙම කරන්න කිව්වම නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ගම් පෙරළියත් පෙරලුණේ නිදහසේ ගලාගෙන ගිය නිසා. ඔහේ වගේ කෙනෙක් උන්නනම් ඒකටත් අඩයක් තියෙනවා ..!


      Delete
  22. ඉවාන් මම දන්න දෙමළ මනුස්සයෙක් ඉන්නවා බාලා කියලා.සල්ලි බාගේත් හොඳට තියෙනවා.ඉංග්‍රීසි දැණුම බොහොම අඩුයි.සිංහල දන්නෙම නැහැ.අවුරුදු දොලහක් යනකම් බබාලා නැහැ.දන්න කියන හැම ප්‍රථිකර්මයක්ම ලක්ෂ ගනන් වියදම් කරලා කරා.අන්තිමේදි මෙහෙදීIVF TREATMENT එකකින් පස්සේ පුතෙක් ලැබුනා.ඊට අවුරුද්දකට පස්සේ මෑන් මට ඇවිත් කියනවා"අයියේ 12 years **cking **cking no children.Too much money finished.Now suddenly coming"පස්සේ තේරුනේ වයිෆ් ආපහු ප්‍රෙග්නන්ට් වෙලා බව.ඒක කියපු හැටි තමයි ඒ.

    ReplyDelete
    Replies
    1. හුටා යකෝ ඒ කියන්නේ මං කියපු එකත් එහෙම එකක්ද.....?

      Delete
  23. මම මේ කතාව උඹ ලියලා තියෙන විදියටයි කැමති. කතාව නම් අප්පිරියයි. මේ වගේ එවුන් ඉන්නවානම් තමයි නමුත් නමුත් මම බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රතිශතය උඹලා කියන තරම් විශාල නැතුව ඇති කියලා. අර තිසර කිව්වා වගේ අර වාක්‍යයට පස්සේ වෙන්නේ මොකක්ද කියලා අපිට තේරෙනවා. වෙන්නේ කොහොමද කියන එක විතරයි කියවලා දැනගන්න ඉතුරු වෙන්නේ. දොර ලොක් කරන්න එපා කියලා කිව්වේ ඇයි කියලත් තේරෙනවා, නමුත් අරූගේ ගෑණි වෙච්ච සීතාට ඒක නොතේරුනු එක ගැන විමතියක් ඇති වෙනවා.

    නමුත් උඹ අපිට ඉන්න හොඳ කෙටිකතා රචකයෙක්. මේ දේවල් කියන්නේ උඹව හොඳම කෙටිකතා රචකයෙක් බවට පත් වෙනවා දකින්න තියෙන උවමනාව නිසාමයි/

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ඩූඩ් , තිසර කිව්ව දේ ඇත්ත, එත් මම ඒ ඉඟි දුන්නේ හිතලමයි එත් එක මෙහෙම රසයට බාධාවක් කියලා මට හිතුනෙම නෑ, එක මගේ අඩුපාඩුවක්. උඹලා මේ දෙන සහයෝගය මට මාර ගටක්. ඒ අඩු පාඩු ටික හදාගන්න උපරිම උත්සාහ දරන්නම්.

      Delete
  24. වක්‍රාකාරව රාමායනයට පහරක් නේද... එල කිරි ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙම අදහසකුත් කියාගන්න ඕන වෙලා තිබුනා.....තැන්කු වේවා ඈ

      Delete
  25. රාමායනය කියන්නේ රාම කියන දුෂකයා හොඳ කරන්න ලියපු පට්ට පල් බොරුවක්... ඇත්තටම සීතාට ආදරේ කලේ රාවණා තමයි. ඒ ආදරේ කොතරම් ද කිව්වොත් සීතාට අතක්වත් තිබ්බේ නෑ රාවණා. හොඳින් රැක ගත්තා. විශ්වාසයෙන් තොර රාම කියන එකා සීතාට ගින්නට පනින්න කිව්වා. හැබැයි ලිව්වේ රාවණාගේ කුණු තියන විදියට අරුගේ රෙදි අපුල්ල ලා..

    ඇත්තටම කෙටි කතාව හරිම රසවත්. මගේ බොක්ක කූල් වෙලා ගියා අර මිනිහා ගැනීට බලහත්කාරකමක් කරයි කියලා. දරුවෝ නැත්නම් හදා ගන්න තිබ්බා නෙව. ඕනේ තරම් ලංකාවේ දෙමාපියෝ නැති උන් ඉන්නේ. ඒ නැන්දා අම්මා ගැනියක් කියලා අමතක උනාද මන්දා..
    ඒ අතින් බලද්දී මයේ අම්මා දාහෙන් සම්පතයි.
    හැමදාම කියන්නේ..

    ".. පුතේ... උඹ කාටවත් ලව් කරන්න එපා. ඉන්න ඔක්කොම උරච්ක්ක මාල... උඹට කවදාහරි බන්දන්නේ දුප්පත් අහිංසක කෙල්ලක්. ඒ කෙල්ලට හැමදේම නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ කෙල්ලට මුකුත්ම නැති වෙන්න පුළුවන්. ඒක තමයි එකම සුදුසුකම...."

    ආයේ පස්සේ මගෙන් අහනවා...

    ".. උඹට අනාථ මඩමක කෙල්ලක් හොඳයි නේද.."

    මම මොනා කියන්න ද ? පොඩි කාලේ ඉඳන් මගේ අනාගත කසාදෙ තීන්දු වෙන්නේ ඔහොම. රණතුංග ගැන දුකයි ඒ වගේ අම්මෙක් නැති එකට. අනික ඌට තමන්ගේ සීතාගේ පතිවතට වඩා ප්‍රමෝෂන් එක ලොකු උණා නෙව. සීතාට ඊට පස්සේ මොකද දන්නේ නැහැ උනේ.. දමලා ගහල ගෙදර ගිහිං දික්කසාදේ ඉල්ලුවනම් හරි... තිරිසන් රණයා... නොදකින්...


    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මචෝ එහෙම තේරුම් ගන්න අම්මලා බොහොම අඩුයි. හුඟක් ය බලන්නේ තමන්ගේ පුතාට රාජ කුමාරියක් බන්දලා දෙන්න.ඒ අතින් උඹ වාසනාවන්තයි. අමාරුම දේ හබයක් නැති නැන්දා ලේලි සම්බන්ධයක් පවත්වා ගැනීම.

      Delete
    2. මගේ අම්මා ස්තරම්..

      Delete
  26. මචෝ මේ කතාව උඹ කලින් ලියාපු "මැස්සෝ මැරේ පිස්සු හැදේ" එක වාගේ බං ටිකක් විතර.

    හැබයි ඉතිං මේකේ ඉන්න රණතුංග වාගේ නපුංසක පිරිමිත් නැතුව නෙමෙයි මේ සමාජ ක්‍රමයේ..
    (නපුංසක කිවේ ළමයි නැති නිසා නෙමේ ඌ කරපු වැඩේ නිසායි)

    ReplyDelete
    Replies
    1. මචං ඕක සුලබ සිද්ධියක් නොවුනට ඔහොම දේවල වෙනවා, මිනිස්සු වරදාන පස්සේ යනකොට ඇස අන්ධ වෙනවා.

      Delete
  27. කතවට හොඳ තේමාවක් අරං තියෙනව. අපූරුවට ලියන් ගිහින් අන්තිම වෙනකොට කම්මැලිකමක් ගහලා අන්තිමටික එක්ස්ප්‍රස් ගියා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හිතෙනවද ..? හැබැයි අන්තිම ටික ටිකක වේගේ වැඩියෙන් ගියාවාගේ තමා, මුල ටික ඇදුනා වැඩිද මන්ද ?

      Delete
  28. මට නම් කිසිම වරදක් නැහැ ඉවෝන්.. ඔයා ලියලා තියෙන අකුරක් ගානේ මම රස වින්දා.. ආයේ අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියන්න යන්නේ නැහැ මම .. නිර්මාණයක් රස විඳින්න නොදන්නා බක පඬියොත් ඉන්නා බව දැක්කා මේකට ලැබුණු කමෙන්ට් දැක්කම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් අගය කිරීම ගැන .... ඇත්තටම සමහර වෙලාවට කියවන ය හිතලා තියෙන තරම දුර මම හිතලා නැතුව ඇති ලියනකොට, ඒ වගේම සමහර අය සමහර දේවල් පෙන්වා දෙන්කොට එහෙම වුනාම හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. හැමෝම නොවුනත් සමහර අය කිසිම දෙක හොඳක් නොදකින අයත් ඉන්නවා. මද්‍යස්ථ සිතින් විචාරය කරන අයත් ඉන්නවා.

      Delete
    2. ඔව් ඉවාන් මටත් කියන්න තියෙන්නේ ඔය ටික ගොඩක් හොදට තියෙනවා

      Delete
  29. අපූරුයි..කතා මදිවට මේ ළමයට චිත්‍ර අඳින්නත් පුළුවන්නේ...

    වෙනදා වගේම මේ කතාවේ අරමුණ වෙනස්...
    සමාජයේ හැමදාම පවතින අරගලයක් තමයි ..මේ අපි දකින්නෙත්...

    ReplyDelete
    Replies
    1. චිත්‍ර ටිකක් විතර පුළුවන්. සමාජයේ කොයිතරම් දේවල් තියෙනවද අක්කේ අපිට කතා කරන්න

      Delete
  30. ඇත්තමයි අර මිනිහා ගැන එන තරහ මට. සීතාට තිබ්බෙ අර ඉගිල්ලෙන මාලුවෝ එකේ කෙල්ල ආමි කොල්ලට කරපු විදියට ඕකාව කපල දාන්න. හ්ම්ම්හ්.....

    ලේ පයින්ට් එකක් විතර පිච්චුනා පවුලූශෝ! සුපිරි කතාව.!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ බස්සිට කේන්ති ගියාම හරිම දරුණුයි නොවැ. හැබැයි එක වැරදිත් නෑ

      Delete
  31. තමන්ගෙ බිරිඳ වෙනුවෙන් පෙනී ඉන්න බැරි හීනමානය තියන දුර්වල මිනිස්සුන්ට. අනික මේ වගේ එවුංට අහවල් එකෙන් ප්‍රසිද්ධියේ එල්ලල තියන එක වගේ පොඩි දඬුවමක් දුන්නට කාරි නෑ 🙂

    ReplyDelete

  32. شحن عفش من الدمام لمصر شحن عفش من الدمام لمصر
    ارخص نقل عفش بالمدينة المنورة ارخص نقل عفش بالمدينة المنورة
    شراء اثاث مستعمل بالدمام شراء اثاث مستعمل بالدمام
    شراء اثاث مستعمل بالاحساء شراء اثاث مستعمل بالاحساء
    شحن عفش من المدينة لمصر شحن عفش من المدينة لمصر

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]