දෙවෙනි කොටස - පවන්
“ඔයා කොහොමද පවන්ව දන්නේ?”
රාජීව්ගේ ප්‍රශ්නයට සංසලා පිළිතුරු දුන්නේ නැත.
ඇය මේසය මත වූ දුරකථනය ආපසු තමා වෙත ඇදගත්තාය. තිරය මත සිටි පාසල් සිසුවාගේ රූපය නිවී යන තෙක්ම ඒ දෙස බලා සිටි ඇය, අගුළු බොත්තම තද කර දුරකථනය මේසය මත මුහුණ යටට හරවා තැබුවාය.
“ඔයාට එයාව මතකයි නේද?”
“ඔව්. ඒත් ඔයා කොහොමද පවන්ව —”
“මොනවද මතක?”
රාජීව් ඇයට පිළිතුරු දීමට පෙර මතකයේ බොහෝ ඈතට ගියේය.
*******
වසර විසි දෙකකට පෙර එක් වැසි උදෑසනක, කොළඹ ප්‍රධාන පාසලක හයවැනි ශ්‍රේණියේ පන්ති කාමරයක දොර අසල පිරිමි ළමයෙක් සිටගෙන සිටියේය.
ඔහුගේ සුදු කමිසය අලුත් එකක් වුවත් ප්‍රමාණයට වඩා විශාලය. නිල් පැහැති කොට කලිසමේ ඉණ දෙපසින් මව අතින් මසා කුඩා කර තිබිණි. දුඹුරු පැහැති සපත්තු යුගලයේ ඉදිරිපස දිලිසුණේ අලුත් නිසා නොව, කොළඹ එන්නට පෙරදා රාත්‍රියේ පියා ඒවා නැවත නැවතත් පොලිෂ් කර තිබූ නිසාය.
“මේ පවන් සත්සර,” පන්තිභාර ගුරුවරයා කීවේය. “පහේ ශිෂ්‍යත්වයෙන් අපේ පාසලට ඇවිත් තියෙන්නේ. අද ඉඳලා මේ පන්තියේ. කවුරුහරි ඔය පිටිපස්සේ හිස් desk එක පෙන්නන්න.”
කිහිපදෙනෙක් ඔහු දෙස හැරී බැලූහ. තවත් කීපදෙනෙක් යටින් සිනාසුණහ. පවන් පොත් දෙකක් පපුවට තද කරගෙන පන්තියේ අන්තිම පේළියට ගියේය.
ඔහු පැමිණ තිබුණේ මහනුවර දිස්ත්‍රික්කයේ කඳු අතර සැඟවුණු කුඩා ගමකිනි. ඔහුගේ පියා සිරිපාල ස්ථිර රැකියාවක් නැතිව ලැබෙන දවසක කුලී වැඩක් කළේය. මව කුසුමලතා නිවෙස්වලට ඇඳුම් මසා දුන් අතර, ඇතැම් කාලවල තේ දලු නෙළීමටද ගියාය. ඔවුන්ගේ කුඩා නිවසේ විදුලිය තිබුණද, පවන් ශිෂ්‍යත්වයට පාඩම් කළ බොහෝ රාත්‍රීවල විදුලිය විසන්ධි වී තිබිණි. එවිට ඔහු පාඩම් කළේ භූමිතෙල් පහනකිනි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ දවසේ සිරිපාල මුළු ගමටම රසකැවිලි බෙදා තිබුණේ ණයට ගත් මුදලකිනි.
“අපේ කොල්ලා කවදාහරි ලොකු මහත්තයෙක් වෙයි,” ඔහු සෑම කෙනෙකුටම කීවේය.
කොළඹ පාසලට ඇතුළත් වීමට හැකිවීම ඔවුන්ට සිහිනයක් වුවත් එම සිහිනයේ වියදම ඔවුන් සිතා තිබුණාට වඩා වැඩි විය. නේවාසිකාගාර ගාස්තු, පොත්පත්, ක්‍රීඩා ඇඳුම් සහ වාරයකට කිහිපවරක් කොළඹ පැමිණීම සඳහා ගමන් වියදම් සොයාගැනීමට කුසුමලතාට තම කනේ තිබූ කුඩා රන් කරාබු යුගලයද උකස් කිරීමට සිදු විය.
පවන් ඒ සියල්ල දැන සිටියේය. ඒ නිසා ඔහු කිසිවක් ඉල්ලා සිටියේ නැත.
පන්තියේ අනෙක් ළමයින් සතුව තිබූ මිල අධික පෑන්, ක්‍රිකට් පිති සහ අලුත් සපත්තු දෙස ඔහු බැලුවේ ආශාව සඟවාගෙනය. ඔවුන් සති අන්තයේ ගිය හෝටල් සහ විදේශ සංචාර ගැන කතා කරන විට ඔහු නිහඬව අසා සිටියේය. තමා ගැන අසනු ලැබුවොත් කෙටි පිළිතුරක් දී කතාව වෙනත් පැත්තකට හැරවූවේය.
පවන් අන් අය සමඟ එක්වීමට උත්සාහ නොකළේ නැත. එහෙත් ඔහුගේ මෘදු කටහඬ, ඇවිදින ආකාරය සහ ක්‍රිකට්වලට වඩා සංගීත කාමරයේ රැඳී සිටීමට තිබූ කැමැත්ත ඉතා ඉක්මනින් අනෙක් ළමයින්ගේ විහිළුවක් බවට පත්විය.
“ගමෙන් අලුත් කැල්ලක් ඇවිල්ලා,” එක් ළමයෙක් දිනක් කෑගැසුවේය.
පවන් ඒ වචන නෑසුණු ලෙස ඉදිරියට ගියේය. එහෙත් ඔහුගේ කන් දෙකම රතු වී තිබිණි.
“ඒයි, අඩෝ උඹ බඩුවක්ද බං .”
පසුපසින් ආ සිනහ හඬ අතරින් වෙනත් කටහඬක් ඇසුණේය.
“උඹලට වෙන වැඩක් නැද්ද?”
පවන් ආපසු හැරුණේය. ඔහුට වඩා උස, හොඳින් මැද තිබූ නිල ඇඳුමකින් සැරසුණු ළමයෙක් අනෙක් අය ඉදිරියේ සිටගෙන සිටියේය.
“අපි විහිළුවක් කළේ, රාජීව්.”
“එයා හිනා වුණේ නැත්නම් ඒක විහිළුවක් නෙවෙයි.”
එදා පවන් සහ රාජීව් අතර ආරම්භ වූයේ පවන්ගේ ජීවිතයේ වැදගත්ම මිත්රත්වයයි.
*******
රාජීව් ගජනායකට පාසලේ අලුත් මිතුරන් අවශ්‍ය නොවීය. ඔහු වටා නිතරම පිරිසක් සිටියහ. පියාගේ නම, නිවසේ වාහන සහ උපන් දින සාද පැවැත්වූ හෝටල් නිසා ඔහු සමඟ සිටීමට කැමති ළමයින්ගේ අඩුවක් නොතිබිණි.
එහෙත් පවන් අනෙක් අයට වඩා වෙනස් විය. රාජීව්ගේ නිවස පළමු වරට දුටු විට ඔහු එහි විශාලත්වය ගැන කතා නොකළේය. අර්වින් ගජනායක ඔහුගෙන් පාසල ගැන ඇසූ විට බියෙන් හිස පහත් කරගත්තේ නැත. සාලයේ තිබූ මිල අධික භාණ්ඩවලට වඩා කෙළවරක තබා තිබූ පැරණි පියානෝව ඔහුගේ අවධානයට ලක් විය.
“ගහන්න පුළුවන්ද?” රාජීව් ඇසුවේය.
“ටිකක්.”
“අපේ ඉස්කෝලේ පියානෝ එක ගහනවා මම දැකලා නැහැනේ.”
“කාගෙන්වත් අහන්නේ නැතුව ගහන්න බයයි.”
රාජීව් පියානෝවේ පියන විවෘත කළේය.
“මේක කාගෙන්වත් අහන්න ඕන නැහැ. ගහන්න.”
පවන් මුලින් එක් ස්වරයක් පමණක් වාදනය කළේය. පසුව තවත් ස්වරයක් ඊට එක් විය. මිනිත්තු කිහිපයක් ගතවන විට සාලය පුරා පැතිර ගියේ ඔහු ගමේ පන්සලේ ගුවන්විදුලියෙන් අසා මතක තබාගත් පැරණි ගීතයක තනුවකි.
කාර්යාල කාමරයේ සිටි අර්වින් පිටතට පැමිණ දොර අසල නතර වී අසා සිටියේය.
“කොහෙන්ද ඉගෙනගත්තේ පුතා?” ඔහු ඇසුවේ ගීතය අවසන් වූ පසුවය.
“හරියට ඉගෙනගෙන නැහැ, සර්. අහගෙන තමයි.”
“මියුසික් ක්ලාස් යන්නේ නැද්ද?”
පවන් හිස සැලුවේය.
“යවන්න සල්ලි නැතුව ඇති,” රාජීව් කිසිදු පැකිළීමකින් තොරව කීවේය.
පවන් බිම බලාගත්තේය. අර්වින් තම පුතා දෙස තියුණු බැල්මක් හෙළුවේය.
“හැම ඇත්තක්ම කියන්න ඕන විදිහක් තියෙනවා, රාජීව්.”
එදිනෙන් පසුව අර්වින් පාසලේ සංගීත ගුරුවරයෙකු මාර්ගයෙන් පවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු කළේය. එය දානයක් ලෙස නොපෙනෙන්නට, තම සමාගමේ අධ්‍යාපන ආධාර වැඩසටහනක් හරහා වියදම් ගෙවීය.
පවන්ට පියානෝව පමණක් නොව ගිටාරය, වයලීනය සහ තබ්ලාවද ඉතා ඉක්මනින් හුරු විය. පාසලේ සංගීත ප්‍රසංගයකදී ඔහු ගීයක් ගැයූ පළමු රාත්‍රියේ, සිසුන් සහ දෙමාපියන්ගෙන් පිරුණු ශාලාව තත්පර කිහිපයක් නිහඬව සිට පසුව එක්වරම අත්පොළසන් හඬින් පිරී ගියේය.
වේදිකාවේ සිටි පවන් පළමුව සොයා බැලුවේ රාජීව් සිටින තැනයි.
අනෙක් සියලු දෙනාට වඩා උස් හඬින් අත්පොළසන් දුන්නේ ඔහුය.
ඔවුන් වයසින් වැඩෙත්ම දෙදෙනාගේ ලෝක වෙනස් විය.
රාජීව් පාසලේ ජනප්‍රිය සිසුවෙකු විය. ක්‍රිකට් තරග, සාද සහ මිතුරු කණ්ඩායම් අතර ඔහුගේ දින ගෙවිණි. පවන්ගේ වැඩි කාලයක් සංගීත කාමරයේ සහ පුස්තකාලයේ ගෙවුණේය. එහෙත් සෑම සතියකම අවම වශයෙන් එක් සන්ධ්‍යාවක් ඔවුහු දෙදෙනා එක්ව ගත කළහ.
රාජීව්ට එය දිගු මිත්‍රත්වයක් පමණක් විය.
පවන්ට එය එසේ නොවීය.
රාජීව් අසල සිටින විට තමා අන් සියලු දෙනාට වඩා ආරක්ෂිත බව පවන්ට දැනිණි.
පාසලේ අවසන් වසර දෙකේදී රාජීව්ගේ මිතුරන්ට පවන් සමඟ ඔහුගේ සමීපත්වය නොරිස්සුම් විය.
“උඹ තවමත් අරූව හැම තැනම අරගෙන යනවද?” ඔවුහු ඇසූහ. “ඌ ඉන්න විදිහ දැක්කම අපිටත් එක්ක ලැජ්ජයි.”
රාජීව් ඔවුන් සමඟ එකඟ වූයේ නැත. එහෙත් පෙර මෙන් ඔවුන්ට විරුද්ධවද කතා නොකළේය. සමහර සාදවලට පවන්ට ආරාධනා නොකළේ ඒවාට ඔහු කැමති නොවන බව තමාටම කියාගනිමිනි. පාසල් පිටියේදී මිතුරන් අතර සිටින විට පවන් පැමිණියහොත් කතාව කෙටි කළේය.
පවන් ඒ වෙනස දැන සිටියද කිසිවක් ඇසුවේ නැත.
*******
උසස් පෙළ විෂය ධාරාව තෝරාගන්නා විට පවන්ට අවශ්‍ය වූයේ කලා විෂයන් හැදෑරීමටය. සංගීත ගුරුවරයාද එය නිර්දේශ කළේය. එහෙත් රාජීව් වාණිජ විෂය ධාරාව තෝරාගෙන තිබිණි.
“කොමස් කරපන්,” රාජීව් කීවේය. “ඊට පස්සේ අපි දෙන්නම බිස්නස් ඩිග්‍රී එකක් කරමු. තාත්තගේ කොම්පැණි එකේ උඹටත් ජොබ් එකක් හදාගන්න පුළුවන්.”
එකම වාක්‍යයක “අපි දෙන්නම” යන වචන පවන්ගේ තීරණය වෙනස් කිරීමට ප්‍රමාණවත් විය.
පවන් වාණිජ විෂයන් තෝරාගත්තේය.
එය පවන්ගේ ජීවිතයේ මුල්ම විශාල වැරැද්ද විය.
රාජීව් පළමු වරම උසස් පෙළ සමත් විය. ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර බ්‍රිතාන්‍යයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඔහුගේ අයදුම්පත් යවා තිබිණි.
පවන් විෂයන් තුනෙන් දෙකක් අසමත් විය.
ප්‍රතිඵල පත්‍රය ගෙදර ගෙන ගිය දවසේ සිරිපාල බොහෝ වේලාවක් කිසිවක් කීවේ නැත. කුසුමලතා පුතාට නොපෙනෙන්නට කුස්සියට ගොස් හැඬුවාය.
“තව පාරක් කරමු,” අවසානයේ පියා කීවේය. “ඔච්චර දුර ආපු එකේ මෙතැනින් නවතින්න බැහැ.”
දෙවැනි වරද පවන් වාණිජ විෂයන්ම කළේය. ඒ රාජීව් විදේශගත වීමට පෙර ඔහුට දුන් පොරොන්දුවක් නිසාය.
“මේ පාර උඹට පුළුවන්,” රාජීව් කීවේ ගුවන් තොටුපළට යෑමට පෙරදාය. “පාස් වෙලා ඩිග්‍රී එක පටන්ගනින්. මම ආපහු එනකොට අපි මොනවාහරි කරමු.”
රාජීව්ට එය මිතුරෙකු දිරිමත් කිරීමට කියූ සාමාන්‍ය වචන කිහිපයක් විය. පවන් ඒවා තම අනාගතය ලෙස විශ්වාස කළේය.
දෙවැනි වරත් ඔහු අසමත් විය.
ඒ වනවිට ගමේ බොහෝ දෙනා ශිෂ්‍යත්වයෙන් කොළඹ ගිය “දක්ෂ ළමයා” ගැන කතා කිරීම නවතා තිබිණි. සමහරු සිරිපාලට ඇසෙන ලෙසම කීවේ කොළඹ ලොකු පාසල්වලට ගිය පමණින් හැමෝම මහත්වරුන් නොවන බවය.
පවන් සති ගණනක් සංගීත භාණ්ඩයකට අත තැබුවේ නැත. දිනක් ඔහුගේ පැරණි සංගීත ගුරුවරයා ගමටම පැමිණියේය.
“පවන්, ඔයා ෆේල් වුණේ ඉගෙනගන්න බැරි නිසා නෙවෙයි,” ඔහු කීවේය. “ඔයාගේ නොවන ජීවිතයක් ජීවත් වෙන්න උත්සාහ කරන නිසා.”
එම වචන පවන් තුළ දිගු කලක් වසා තිබූ දොරක් විවෘත කළේය.
තුන්වැනි වර ඔහු කලා විෂය ධාරාව තෝරාගත්තේය. සංගීතය, සිංහල සහ දේශපාලන විද්‍යාව හැදෑරීය. උදෑසන පියා සමඟ කුලී වැඩට ගොස් සවස පාඩම් කළේය. සති අන්තයේ කුඩා ළමයින්ට ගිටාර් සහ ගායනය උගන්වා ලැබුණු මුදලින් පන්ති ගාස්තු ගෙවීය.
ප්‍රතිඵල නිකුත් වූ දවසේ ඔහු දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල අතර සිටියේය.
එම වසරේ පැවති සමස්ත ලංකා සංගීත තරගයකින්ද ජයගත් ඔහුට, ගුරුවරුන්ගේ නිර්දේශ මත ලක්නව්හි භාත්කාන්ඩේ සංගීත විශ්වවිද්‍යාලයහි හින්දුස්ථානී සංගීතය හැදෑරීමේ අවස්ථාවක් ලැබිණි. අධ්‍යයන ගාස්තුවෙන් කොටසක් ආවරණය වූවත් ගුවන් ගමන්, නවාතැන් සහ ජීවන වියදම් දැරීමට ඔහුගේ පවුලට කිසිසේත් හැකියාවක් නොතිබිණි.
පවන් ඒ ගැන රාජීව්ට ඊමේල් එකක් යැවීය.
පිළිතුර ලැබුණේ රාජීව්ගෙන් නොව අර්වින් ගජනායකගේ කාර්යාලයෙනි.
අර්වින් ඔහුට කොළඹට පැමිණෙන ලෙස දන්වා තිබිණි.
“ඔයාට දක්ෂකම තියෙනවා කියලා මම දැනගත්තේ අද ඊයේ නෙවෙයි,” අර්වින් කීවේ පවන් ඉදිරියේ ලිපිගොනුවක් තබමිනි. “රාජීව් මට විස්තරේ කිව්වා. අපේ අධ්‍යාපන අරමුදලෙන් ඉතිරි වියදම් ටික ගෙවන්න පුළුවන්.”
පවන්ගේ දෑස් කඳුළින් පිරුණේය.
“සර්ට මම කොහොමද මේක—”
“මට ගෙවන්න ඕන නැහැ. කවදාහරි ඔයාට පුළුවන් වුණොත් තවත් ළමයෙකුට උදව් කරන්න.”
පවන් ඉන්දියාවට පිටත්ව ගිය දවසේ සිරිපාල මුල්වරට තම පුතා වැලඳගෙන හැඬුවේය. කුසුමලතා ගුවන් තොටුපළේ වීදුරු දොරෙන් ඔහු නොපෙනී යන තෙක්ම අත වැනුවාය.
රාජීව් පැමිණ සිටියේ නැත. ඔහු එංගලන්තයේ සිට සුබ පැතුම් පණිවුඩයක් එවා තිබිණි.
Proud of you, machan. This is your real chance. Don’t waste it..
*******
ඉන්දියාවට ගිය මුල් මාස කිහිපයේ පවන්ගෙන් රාජීව්ට ඊමේල් සහ කෙටි පණිවුඩ ලැබිණි. එහෙත් කාලයත් සමඟ ඒවා අතර පරතරය වැඩි විය. අවසානයේ ඔහුගේ දුරකථන අංකය ක්‍රියාවිරහිත වූ අතර, රාජීව් යැවූ ඊමේල්වලටද පිළිතුරු නොලැබිණි. එතැන් සිට පවන් ගැන කිසිදු තොරතුරක් නොවීය.
“පවන්ට මොකද වුණේ?”
රාජීව්ගේ හඬින් සංසලා නැවත කෝපි හලට පැමිණියාය.
ඇය දුරකථනය නැවත අතට ගත්තාය. මෙවර විවෘත කළේ එක් ඡායාරූපයක් නොව, එකිනෙකට අමුණා සකස් කළ ඡායාරූප පෙළකි.
පළමුව තිබුණේ රාජීව් දැන් දුටු පාසල් ඡායාරූපයයි. දෙවැන්නෙහි පවන් තරමක් වැඩිමහල්ය. ඊළඟ ඡායාරූපවලදී කොණ්ඩය දිගු වී තිබිණි. මුහුණේ රේඛා කෙමෙන් මෘදු වී ගියේය. එක් ඡායාරූපයක නාසය මත ප්ලාස්ටර් පටියක් තිබිණි. තවත් එකක ඇය රෝහල් ඇඳක් මත සිට සිනාසීමට උත්සාහ කළාය.
අවසාන ඡායාරූපයේ සිටියේ ඔහු ඉදිරියේ වාඩි වී සිටින සංසලා ඇල්ලේපොළය.
රාජීව් තිරය දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණෙන් හැඟීම් එකින් එක මාරු විය—අවිශ්වාසය, හඳුනාගැනීම, බිය සහ කිසිවකුට නොපෙන්වීමට ඔහු උත්සාහ කළ තවත් යමක්.
“මට තේරෙන්නේ නැහැ,” ඔහු අවසානයේ කීවේය.
“තේරුම්ගන්න අමාරු දෙයක් නැහැ, රාජීව්.”
“ඔයා කියන්නේ…”
සංසලා ඔහුගේ දෑස් දෙස සෘජුව බැලුවාය.
“ඔව් රාජීව්ප, පවන් අතුරුදන් වුණේ නැහැ. පවන් කියන නමින් ජීවත් වෙන එක නතර කළා විතරයි.”
රාජීව් දුරකථනය මේසය මත තැබුවේ උණුසුම් දෙයක් අතහැර දමන්නාක් මෙනි.
“ඇයි මට කලින් කිව්වේ නැත්තේ?”
“මොන වෙලාවේද කියන්න තිබුණේ? ඔයා මාව මුලින්ම දැකපු දවසේද? අපි මුලින්ම එකට කෑමකට ගිය දවසේද? නැත්නම් මුළු රටම අපි දෙන්නා ගැන කතා කරන්න පටන්ගත්ත දවසේද?”
“අඩුම ගානේ අපි අතර මේක පටන්ගන්න කලින්—”
“මම බය වුණා.”
එම වචන දෙකෙන් රාජීව් නිහඬ විය.
“ඉස්කෝලේ කාලේ ඉඳලාම මම ඔයාට ආදරය කළා,” ඇය කීවාය. “ඒත් මගේ ජීවිතය මෙහෙම වෙනස් කරගන්න මම තීරණය කළේ ඔයා නිසා නෙවෙයි. ඒක මට ජීවත් වෙන්න අවශ්‍ය වුණු විදිහ. ඔයාව ආපහු හමුවෙයි කියලා හිතාගෙනවත් මම ලංකාවට ආවේ නැහැ. ඒත් හමුවුණාට පස්සේ… පරණ හැම දෙයක්ම ආපහු මතක් වුණා.”
රාජීව් කවුළුවෙන් පිටත බැලුවේය.
“ඔයාට මාව පිළිගන්න බැරි නම් මට ඒක තේරුම්ගන්න පුළුවන්,” සංසලා කීවාය. “ඒත් මම ඔයාට බොරුවක් කියාගෙන තවදුරටත් ඉන්න කැමති නැහැ.”
“මට ටිකක් හිතන්න ඕන.”
“හිතන්න.”
“මේ ෆොටෝස් විතරද තියෙන්නේ?”
සංසලා ඔහු දෙස බැලුවාය.
“ඇයි එහෙම අහන්නේ?”
“නැහැ… මම අහන්නේ මේ හැම දෙයක්ම සේෆ්ද කියලා. වෙන කාටවත් හම්බවෙන්න පුළුවන්ද?”
එම ප්රශ්නය ඇසුවේ තමාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන මිනිසා බව සංසලා විශ්වාස කළාය.
“මෙඩිකල් රෙකෝඩ්ස් ටිකත් වෙනම ෆෝල්ඩර් එකක තියෙනවා. ඒවා කාටවත් ඇක්සස් නැහැ.”
රාජීව් හිස සැලුවේය.
“මට මේ හැම දෙයක්ම හරියට තේරුම්ගන්න ඕන,” රාජීව් කීවේය. “ඔයා කැමති නම් විතරක්… මේ වෙනකම් වුණු දේවල් මට පෙන්නන්න පුළුවන්ද?”
සංසලා මඳක් පැකිළුණාය. එහෙත් තමා ගැන තවත් කිසිවක් ඔහුගෙන් සඟවා තැබීමට ඇයට අවශ්‍ය නොවීය. ඇය දුරකථනය අතට ගෙන ගොනුව විවෘත කළාය. වෛද්‍ය උපදේශන වාර්තා, හෝමෝන ප්‍රතිකාර පිළිබඳ ලේඛන, සැත්කම්වලින් පසු නිකුත් කළ වාර්තා සහ පරණ හා අලුත් හැඳුනුම් ලේඛන කිහිපයක් එහි තිබිණි.
ඇය දුරකථනය ඔහු අතට දුන්නාය.
“මම වොෂ් රූම් එකට ගිහින් එන්නම්.”
රාජීව් කිසිවක් නොකියා තිරය දෙස බලා සිටියේය.
සංසලා මේසයෙන් නැඟී ගියාය.
ඇය නොපෙනී ගිය පසු ඔහු වටපිට බැලුවේය. කෝපි හලේ සේවකයා වෙනත් පාරිභෝගිකයෙකු සමඟ කතා කරමින් සිටියේය.
රාජීව් තම දුරකථනය පිටතට ගත්තේය.
ඔහු ගොනු කිහිපයක් තෝරා තම දුරකථනයට යවාගත්තේය. අනතුරුව ඒවා යැවූ බවට වූ සලකුණු මකා දමා, සංසලා තබා ගිය ආකාරයටම වාර්තාව නැවත තිරය මත විවෘත කළේය.
සංසලා ආපසු පැමිණෙන විට ඔහු දුරකථනය මේසය මත තබා තිබිණි.
“මට ඔයාව දාලා යන්න ඕන නැහැ,” ඔහු ඇගේ අත අල්ලාගෙන කීවේය. “හැබැයි මේක තේරුම්ගන්න මට පොඩි කාලයක් දෙන්න.”
සංසලාගේ දෑස් තෙත් විය.
“ඔයා එහෙම කිව්වම ඇති.”
එදින රාත්‍රියේ ඇය නිදාගත්තේ වසර ගණනාවක් තනිව රැකගත් සත්‍යය අවසානයේ ආදරය කළ මිනිසාට කියා නිමකළ සැහැල්ලුවෙනි.
මධ්‍යම රාත්‍රියට මිනිත්තු කිහිපයක් තිබියදී රාජීව්ගේ දුරකථනයෙන් ගොනු හතක් තවත් අංකයකට යැවිණි.
ඒ සමඟ කෙටි පණිවුඩයක්ද තිබිණි.
මේවා දැන් පබ්ලිෂ් කරන්න එපා. මම කියන වෙලාවට විතරක් දාන්න.

හ්ම්.....එක පතේ කාගෙන ඉඳලා ඇරියා කියලයි හිතෙන්නෙ. ඔහොම දේවල් ඒ හැටි විරල නෑ මේ සමාජයේ.
ReplyDeleteකතාව හොඳයි ඒත් සුන්දර කතාවක් නම් නෙමෙයි. අර ඇල්ලෙන් පහලට තල්ලු කරපු කැටගරියෙ.☹️
අවසන් වෙනන්තුරු ඉවසන්න අයියා 😁
Deletemata hithenne sansala kiyanne pawan kiyalayi.
ReplyDeleteඔබ හරි
Deleteඅම්මට සිරි යකෝ . මාර කතාවක් නේ. හිතුවෙම නැහැ
ReplyDeleteඅන්න ඒකනෙ කියන්නෙ උස විතරක් බලන්න එපා කියලා
Deletehttps://www.theguardian.com/global-development/2025/oct/10/torture-blackmail-extortion-the-dangers-of-queer-online-dating-in-ghana
ReplyDeleteකොහෙන්ද අප්පා මේවා හොයාගන්නෙ 😃
Deleteඉවාන්ගේ කතා අපිව කරකවලා අත අරිනවා. නියමයි .
ReplyDeleteස්තූතියි අනුරුද්ධ
Deleteපපුව කඩන් වැටුණා වගෙ දැනිණි මට
ReplyDeleteපව් සංසලා- නරියෙක් විශ්වාස කොට
රහස හෙළි කළත් එහි වන්දිය ඇයට
ගෙවන්නට නොවේවා- අවසානයට!
නිමලයියාගේ පැතුම් සපල වේවා
Deleteමිනිසාමයි ලොව දෙවියන් වන්නේ..
ReplyDeleteමිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
කියල කවුද කියල තියෙන්නෙ පුක කහනවටැයි.
හැබැයි මට ශුවර් මේ කො.කා. ල බලන් ඉන්න දේ සිද්ද වෙන එකක් නෑ කියල. හැක්..
පුක© = කුණුහරුපයක් නොවේ. කතන්දරකාරයා.
Delete