අපේ ගෙදරට මම කිව්වේ “රතු ගෙදර” කියලා. ඒ ගෙදර බිත්ති රතු පාට නිසා නෙවෙයි. අපේ ගෙදර මිනිස්සුන්ට තිබුණු පුදුම රතු පිස්සුව නිසා.
අපි කෑවේ රතු හාලේ බත්. උදේට රතු ඉඳිආප්ප. රතු කවුපි, රතු දඹල, රතු බිත්තර. පාන් ගෙනාවත් පරළු පාන්. රොටියක් හැදුවත් ඒකට කුරක්කන් පිටි අහුරක් හරි දාලා පාට කරගෙන, “මේක සුදු පිටි නෙවෙයි” කියලා හිත හදාගත්තා.
කවුරුහරි ගෙදරට සුදු බිත්තර ගෙනාවොත් අම්මා ඒවා දිහා බැලුවේ කුකුළා බිත්තර දාලා වගේ සැකයෙන්.
අපේ තාත්තා ගෙදර ළඟ තිබුණු කඩ හය හතක්ම පහුකරගෙන, රක්ෂිතය අයිනේ තිබුණු රංග ෆාම් එකට ගියා රතු බිත්තර ගන්න. වෙන කඩවල රතු බිත්තර තිබුණත් තාත්තාට ඒවා රතු මදි.
“රංගයාගේ බිත්තරේ කහමදේත් පාටයි,” තාත්තා හැමදාම කිව්වා.
"ඔයා දැක්කද රංගයගේ බිත්තරේ " බයිසිකලයක් ගන්න සල්ලි ඉල්ලලා ඉල්ලලා දෙන්නේ නැතුව ඉන්න තාත්ත එක්ක මට කොහොමත් පොඩි ඇරියස් එකක තිබ්බා
"මොකක්ද තෝ කිව්වේ ..." තාත්ත එලියන එනකොට මම පාරට පැනලා දුවලා ඉවරයි, ආයේ ගෙදර යන්නේ හවසනේ
*******
දවසක් උදේ අම්මා බිත්තර දහයක් කුස්සියේ මේසය උඩ තියාගෙන හිටියා. ඔම්ලට් එකක් හදන්න බිත්තරයක් ගන්න ගිය මට ඒ අතර තිබුණු අමුතු එකක් පෙනුණා.
ඒක අනෙක් බිත්තරවලට වඩා ටිකක් පොඩියි. හැබැයි දිගටියි. එක පැත්තක් මඳක් උල්. අනෙක් බිත්තර ලා දුඹුරු පාට වෙද්දී මේක තද ගඩොල් රතු පාටට හුරුයි. කටුව උඩ යන්තමින් වගේ කළු තිත් කීපයකුත් තිබුණා.
මම ඒක අතට ගත්තා.
සාමාන්‍ය බිත්තරයකට වඩා ටිකක් බරයි වගේ. හෙලෙව්වාම ඇතුළේ මොකක් හරි දෙයක් හෙමින් පැත්ත මාරුකරනවා වගේත් දැනුණා.
“අම්මේ, මේක කිකිළි බිත්තරයක්ද?”
“නෑ අස්ප බිත්තරයක් , ඕක කඩන්නේ නැතුව මෙතනින් තියල යන දේවාලෙක පල "
"මේක මට ඕන . ."
"ඕක දීලා පල , දැන් බිත්තරයක් හතළිහක් , " අම්ම පස්සෙන් එනකොට මම කාමරේට පැනලා දොරත් වහගෙන ඉවරයි
*******
මම පැන්සලක් අරගෙන බිත්තරයේ පැත්තක සමාන්තර ඉරි දෙකක් ඇන්දා. ඊට පස්සේ ෆොටෝ එකක් අරගෙන මීම් එකක් හැදුවා.
“රක්ෂිතය අයිනෙන් පිටසක්වල බිත්තරයක් හමුවෙයි. තම්බා කෑමට පෙර නාසා ආයතනයේ උපදෙස් බලාපොරොත්තු වෙමි.”
ඒක ෆේස්බුක් දැම්මා. ඊටපස්සේ ඉතිනි සුපුරුදු පරිදි ඇන්දේ හාන්සිවෙලා බුකියේ උඩ පහල යමින් එමින් හ්හිටියේ අම්ම කන්න කතා කරනකන්
පැයක්වත් ගියේ නැහැ. මැසෙන්ජර් එකෙන් කෝල් එකක් ආවා.
කතා කළේ රටම දන්නා සත්තු ගැන වීඩියෝ කරන මනුස්සයෙක්. සත්ව සංරක්ෂණ සංවිධාන ගණනාවක හිටපු, නිතරම රූපවාහිනී වැඩසටහන්වල පෙනෙන ප්‍රසිද්ධ චරිතයක්.
“ඔය බිත්තරේ තවම තියෙනවද?”
“තියෙනවා.”
“උයලා නැහැ නේද?”
“නෑ.”
“හොලවන්න එපා. සෝදන්නත් එපා.”
මට හිනා ගියා.
“ඇයි? ඇතුළේ පිටසක්වලයෙක් ඉන්නවද?”
මිනිහා හිනා වුණේ නැහැ.
“මට බිත්තරේ දෙන්න. මම අදම එන්නම්.”
“ඇයි ඔයාලගේ පැත්තේ බිත්තර හිඟද ”
“නැහැ. ඕක මට පොඩි වැඩකට ඕන, මම ඕකට රුපියල් ලක්ෂයක් දෙන්නම්.”
" අහ් ..." මම තත්පර කීපයක් කතා නැතිව හිටියා.
ඒ දවස්වල බිත්තරයක මිල රුපියල් දෙක තුනකින් ඉහළ ගියත් ෆේස්බුක් එකේ මිනිස්සු ආණ්ඩුවට බණිනවා. මේ මිනිහා එක බිත්තරයකට ලක්ෂයක් දෙන්න හදනවා.
“මොකක්ද මේකේ එච්චර වටින්නේ,” මම ඇහුවා .
පොඩ්ඩක් මුට්ටිය දාලා බලන්නත් එක්ක "මට ලක්ස දෙකක් ඕන මම කිව්වා "
අතට ආපු පල්ලමට පයින් ගහන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි., ඕක ලක්ෂේටම දීලා දානක කියල හිත හදාගෙන හිටියේ .
"හරි එකහමාරක් දෙන්නම් ප්ලීස් , පොර අඬන්න වගේ ,
හ්ම්ම් . ..ඕක තිබ්බත් මමම කන එකනේ එතකොට බඩටයි උදේට ටොයිලට් එකටයි
"හා කවදද එන්නේ "
"තව ටිකකින් එනවා"
මම කාමරෙන් එලියට ගියේ ඔලුව කෙලින් තියාගෙන , තාත්ත පත්තරේ බලනවා ,
"මට බයිසිකලේ ගන්න ඔයාලගේ සල්ලි එපා" . තාත්තා ඔලුව උස්සලා බලලා "කොහොමත් දෙන්නේ නෑ තමා" , කියලා පත්තරේ ගස්සලා ආපහු බලන්න පටන්ගත්තා .
හවස් වෙද්දී මිනිහා ආවා. තනියම නෙවෙයි. තවත් දෙන්නෙක් එක්ක. බිත්තරය අතට ගත්තෙත් අත්වැසුම් දාලා. කුඩා විදුලි පන්දමක් ඒකට අල්ලලා ටික වෙලාවක් බැලුවා.
“මේක කොහෙන්ද ලැබුණේ?”
“රංග ෆාම් එකෙන්.”
“එයාට කොහෙන්ද ලැබුණේ?”
“කිකිළියෙක් දාන්න ඇති නැතුව උගේ ගෑණි බිත්තර දානවා කියලයැ ” කොහොමත් හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ඩයල් එකක් වෙන අපේ තාත්ත පැනලා කිව්වා
මිනිහා මගේ දිහා බැලුවා. ඒ බැල්මේ හිනා තිබුණේ නැහැ.
බිත්තරය පුළුන් දාපු පොඩි පෙට්ටියක තැබූ ඔහු රුපියල් ලක්ෂ එකහමාරක් මගේ අතට දුන්නා.
“තව පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?”
“මොකක්ද?”
“ෆේස්බුක් පෝස්ට් එක අයින් කරන්න. ෆෝන් එකේ තියෙන ඔරිජිනල් ෆොටෝ එකත් ඩිලීට් කරන්න"
ලක්ෂ එකහමාර මගේ අතේ තිබුණා. බිත්තරය ඒ වනවිටත් ඌ ගෙනාපු පෙට්ටිය ඇතුළේ.
මම පොර දිහා බලාගෙන හිටියා
"හරි තව දහදාහක් දෙන්නම්".
මම ෆේස්බුක් පෝස්ට් එක මැකුවා. ෆෝන් එකේ තිබුණු පින්තූරයත් මැකුවා. ඔහු බලාගෙන සිටියදීම “Recently Deleted” ෆෝල්ඩර් එකෙනුත් ඒක අයින් කළා.
ඊට පස්සේ මැන්ස් මට අතට අත දීලා පිටත්වුණා.
“බිත්තරයකට ලක්ෂ එකහමාරක් දුන්නා නම් ඕක ඇතුළේ රත්තරන් ඇති,” අම්මා කිව්වා.
තාත්තා මොකුත් කිව්වේ නැහැ. මිනිහා බිත්තරය අරගෙන ගිය පැත්ත දිහා බලාගෙන හිටියා විතරයි.
******
මට ෆුල් හැපී , කොච්චර බෑ කිව්වත් තාත්තා ඉතුරු ගාණ දුන්නා , මම බයිසිකලේ ගෙනාව , එක පිහිදාන එකයි හෝදන එකයි ඇරෙන්න ඒ දවස්වල මට වෙන වැඩක් තිබ්බේ නෑ . ඔහොම කාලය අහමින් ගියා , මට රස්ස්වකුත් සෙට් වුනා .
ඊට මාස තුනකට විතර පස්සේ දවසක් මං වැඩට ගිහින් ඇවිත් රෑ අපි කෑම කමින් TV බලමින් හිටියා. ප්රවෘත්ති ඉවරවෙලා විශේෂ වැඩසටහනක් පටන්ගත්තා.
තිරයේ හිටියේ අර මනුස්සයා.
මෑන්ස් ඉසරහ වීදුරු ආවරණයක් ඇතුළේ සිහින්, කළු සහ තද රතු පැහැති සර්ප පැටවෙක් දඟර ගැහිලා හිටියා. උගේ ඔළුව දෙපැත්තේ තිබුණු රන් පාට කුඩා ලප දෙක විදුලි ආලෝකයට දිලිසුණා.
“මුලින්ම අපට කියන්න,” නිවේදකයා ඇහුවා. “මේ මොන වර්ගයේ සතෙක්ද?”
“මේ සර්පයාට කියන්නේ Amazonian Crimson Bush Viper කියලා. විද්‍යාත්මක නම Lachesis rubro-ovata. ඇමසන් වැසි වනාන්තර මධ්‍යයේ අඳුරු ප්‍රදේශවල ජීවත් වන විෂ සහිත සර්පයෙක්. මේ සතුන් වඳවී යාමට ආසන්නයි කියලා කියන්න බැහැ. නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශවලට ළඟාවීම අමාරු නිසා මිනිසුන්ට හමුවෙන්නේ බොහොම කලාතුරකින්.”
“එහෙනම් මේ සතා මෙතරම් විශේෂ වෙන්නේ ඇයි?”
සත්ත්වවේදියා වීදුරු පෙට්ටිය දෙස බැලුවා.
“මේ පිරිමි සතෙක්. ඒක තමයි වැදගත්ම කාරණය. මේ විශේෂයේ පිරිමි කලලවලින් බහුතරයක් බිත්තරය ඇතුළතදීම විනාශ වෙනවා. ඒකට නිශ්චිත හේතුව තවම සොයාගෙන නැහැ. දැනට තියෙන වාර්තා අනුව බිහිවන පැටවුන් දහසකට හෝ දෙදහසකට පිරිමි සතෙක් ලැබෙන්නේ එක් වතාවක් පමණයි.”
“ලෝකයේ වෙනත් පර්යේෂණාගාරවල පිරිමි සතුන් නැද්ද?”
“නැහැ. දැනට පර්යේෂණාගාර කිහිපයක මේ විශේෂයේ සතුන් විසි ගණනක් ඉන්නවා. ඔවුන් සියලුදෙනාම ගැහැනු සතුන්. මීට කලින් ඇමසන් වනාන්තරයේදී හමුවුණු පිරිමි සතුන් දෙදෙනෙකුගෙන් විෂ සාම්පල ලබාගෙන තිබුණත්, ජීවමාන පිරිමි සතෙක් පර්යේෂණාගාරයක රඳවාගෙන අධ්‍යයනය කිරීමට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.”
“මේ සර්පයාගේ විෂත් ඉතා වටිනා බව කියනවා.”
“ඔව්. මේ සර්පයාගේ විෂයේ Rubrovasin-7 කියන ප්‍රෝටීනයක් තියෙනවා. රුධිර නාලයක් අවහිර කරන කැටියක්, අවට පටකවලට විශාල හානියක් නොකර බිඳ දැමීමේ හැකියාව ඒ ප්‍රෝටීනයට තියෙනවා. ඒ නිසා මොළයේ රුධිර කැටි සහ ඇතැම් හෘද රෝග සඳහා නව ඖෂධයක් නිපදවීමට එය පර්යේෂණ මට්ටමින් භාවිත කරනවා.”
“ඒ ප්‍රෝටීනය මේ සර්පයාගෙන් පමණද ලැබෙන්නේ?”
“ඊට සමාන ප්‍රෝටීන තවත් සර්ප විෂ වර්ග කිහිපයක තියෙනවා. නමුත් Rubrovasin-7 වැඩිම සාන්ද්‍රණයෙන් තියෙන්නේ මේ විශේෂයේ. විශේෂයෙන්ම පිරිමි සතුන්ගේ විෂයේ එහි සාන්ද්‍රණය ගැහැනු සතුන්ගේ විෂයට වඩා හතර ගුණයක් පමණ වැඩියි.”
“එහි වටිනාකම කොපමණද?”
“අමු විෂ මිලිලීටරයකට මිලක් කියන එක නිවැරදි නැහැ. විෂයෙන් ප්‍රෝටීනය වෙන්කරලා, පර්යේෂණ සඳහා අවශ්‍ය පිරිසිදු මට්ටමට ගෙනා පසුව තමයි එහි සැබෑ වටිනාකම ඇතිවෙන්නේ. පිරිසිදු Rubrovasin-7 මිලිග්රෑමයක් ඇමරිකානු ඩොලර් හතළිස්දහසකට වඩා මිල වෙනවා.”
නිවේදකයා ඊළඟ ප්රශ්නය ඇහුවා.
“එතකොට මේ පැටවාගේ වටිනාකම කොපමණ වෙයිද?”
“සතාගේ වටිනාකම විෂ ප්‍රමාණයෙන් ගණන් කරන්න බැහැ. අනාගතයේදී මේ පිරිමි සතාගේ ජාන භාවිත කරලා පර්යේෂණාගාරවල සිටින ගැහැනු සතුන් අභිජනනය කරන්න පුළුවන්. දැනටමත් රටවල් කිහිපයක පර්යේෂණ ආයතන ඒ සඳහා අපෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ නිසා මේ සතාගේ විෂයටත් වඩා වටින්නේ උගේ අභිජනන හැකියාව. මේ විශේෂයේ ගැහැනු සතුන්ට පිරිමි සතෙකු නොමැතිව අසංසේචිත ප්‍රජනනයෙන් පැටවුන් බිහිකිරීමේ හැකියාව තියෙනවා. එසේ බිහිවන පැටවුන් සියල්ලම පාහේ ගැහැනු සතුන්. පිරිමි පැටවෙකු ඇති කරන වර්ණදේහ සංයෝගය හටගන්නේ ඉතාම කලාතුරකින්.”
“මෙතරම් වටිනා සොයාගැනීමක් ඔබට කරන්න ලැබුණේ කොහොමද?”
සත්ත්වවේදියා මඳක් සිනාසුණා.
“ඒක ඇත්තටම අහම්බයක්. මම බස්නාහිර පළාතේ තෙත් කලාපීය රක්ෂිතයක ක්ෂේත්‍ර නිරීක්ෂණයක යෙදී සිටියදී, දිරායමින් තිබුණු කොළ තට්ටුවක් යටින් මේ බිත්තරය දැක්කා. මුලින්ම මටත් හිතුණේ කුරුල්ලෙකුගේ බිත්තරයක් කියලා. නමුත් එහි දිගටි හැඩය, තද රතු පැහැය සහ කටුවේ තිබුණු සියුම් කළු තිත් දැක්කාම ඒක සාමාන්‍ය බිත්තරයක් නොවන බව මට තේරුණා. ”
“ඔබට එය හමුවුණු රක්ෂිතය මොකක්ද කියලා කියන්න පුළුවන්ද?”
“නැහැ. ඒ ස්ථානය හෙළි කිරීම සුදුසු නැහැ. මේ බිත්තරය එතැනට පැමිණියේ කොහොමද කියලා අපි තවම දන්නේ නැහැ. සමහරවිට මේ විශේෂයේ තවත් සතුන් එම ප්‍රදේශයේ සිටින්න පුළුවන්. ස්ථානය ප්‍රසිද්ධ කළොත් සතුන් අල්ලන්න එන අය සහ බිත්තර එකතු කරන අය නිසා විශාල හානියක් වෙන්න ඉඩ තියෙනවා.”
නිවේදකයා ගෞරවයෙන් හිස වැනුවා.
“අප දන්නා බොහෝ සර්ප බිත්තර සුදු හෝ ලා පැහැතියි. ඒවායේ කටුවත් සාමාන්‍යයෙන් මෘදුයි. මේ බිත්තරයේ තද රතු පැහැයට සහ ඝන කටුවට විශේෂ හේතුවක් තියෙනවද?”
“ඔව්. ඇමසන් වැසි වනාන්තරයේ බිම තියෙන තෙත්, දිරාගිය කොළ සහ යකඩ බහුල රතු පස අතර බිත්තරය සඟවා තැබීමට ඇතිවුණු අනුවර්තනයක් කියලා තමයි සැලකෙන්නේ. ඒවගේම බිත්තරය කුඩා කිකිළි බිත්තරයක ප්‍රමාණයට ආසන්න වුණත් කට්ට ඊට වඩා ඝනකමයි, තරමක් ඝන කටුව තෙත් කොළ තට්ටුව තුළ ඇති දිලීර, අධික තෙතමනය සහ බිත්තරය මත ඇතිවන පීඩනයෙන් කලලය ආරක්ෂා කරන අනුවර්තනයක් , එහි දිගටි හැඩය සහ කළු තිත් මේ විශේෂයටම ආවේණිකයි.”
ඔහු කතා කරමින් සිටියදී පිටුපස තිබුණු විශාල තිරය මත පැරණි ඡායාරූපයක් දිස්වුණා.
"අපි තුන් දෙනාට මුහුණට මුහුණ බැලුනේ ඒ වෙලාවේ , මේච්චර වෙලා මේ වැඩසටහන බැලුවේ ගෙදරට ආපු මනුස්සය ඉන්න නිසා මිසක් උනන්දුවෙන් නෙවේ. "මගුලයි ... මට කියවුනා , තාත්තයි අම්මයිත් කන එක නවත්තල උනන්දුවෙන් බලන්න ගත්තා.
ඒ රතු බිත්තරය සුදු පැහැති පුළුන් තට්ටුවක් මත තබා තිබුණා. ඡායාරූපය ගෙන තිබුණේ එය රැක්කවීමට පෙර බව තිරයේ යටින් සඳහන් වුණා.
කැමරාව ඡායාරූපයට ළංවුණා.
බිත්තරයේ පැත්තක මම පැන්සලෙන් ඇඳපු ඉරි දෙක යන්තමින් පෙනුණා.
“මේ පැන්සල් සලකුණු මොනවාද?” නිවේදකයා ඇහුවා.
“සර්ප බිත්තරයක් පෙරළීමෙන් ඇතුළත කලලයට හානි වෙන්න පුළුවන්,” සත්ත්වවේදියා කිව්වා. “ඒ නිසා බිත්තරය හමුවුණු අවස්ථාවේ තිබුණු උඩ පැත්ත හඳුනාගන්න මම පැන්සලෙන් සලකුණු දෙකක් දැම්මා. රැක්කවීමේ මුළු කාලය පුරාම ඒ සලකුණු උඩට සිටින විදිහට තමයි බිත්තරය තැබුවේ.”
මගේ අතේ තිබුණු බත් කට පිඟානට වැටුණා.
මගේ විහිළුවට ඇඳපු ඉරි දෙකත් දැන් ඔහුගේ විද්‍යාත්මක ක්රමයේ කොටසක් වෙලා.
“අම්මේ…”
“මං දැක්කා,” අම්මා කිව්වා.
“කෝ උඹ ළඟ තිබුණු ෆොටෝ එක?”
“මැකුවා.”
“එතකොට අර මොකේද එකේ එකේ දාපු එක?”
“ෆේස්බුක්...............? ඒකත් මැකුවා.”
*******
තිරයේ සත්ත්වවේදියාට විදේශීය විද්‍යාඥයන් අතට අත දෙන දර්ශන පෙන්නුවා. රටට කීර්තියක් ගෙනා සොයාගැනීමක් කළ විශිෂ්ට සත්ත්වවේදියා ලෙස ඔහුට සම්මානයක් පිරිනමන බවත් නිවේදකයා කිව්වා.
තාත්තා කිසිවක් නොකියා TV එක දිහා බලාගෙන හිටියා.
“ඌ හොයාගත්තා වගේ කියන හැටි , ඕක හම්බවුනේ අපේ කුස්සියෙන්නේ
තාත්තා හෙමින් මගේ පැත්තට හැරුණා.
“දැන් ඒක ඔප්පු කරන්න උඹ ළඟ මොනවද තියෙන්නේ?”
මට උත්තරයක් තිබුණේ නැහැ.
තාත්තා නැවතත් TV එක දිහා බැලුවා.
“ඒකනේ මං හැමදාම කියන්නේ රංගයාගේ බිත්තර වගේ බිත්තර කොහෙවත් නැහැ කියලා,” තාත්තා කිව්වා.
මට ජනේලයෙන් මිදුලේ නවත්තලා තිබුණු බයිසිකලේ දිහා බැලුණා.
ඒ වෙලාවේ ඒක මට වෙනදා තරම් ලස්සනට පෙනුණේ නැහැ.

මරු කතාව . කවුරු හරි එච්චර ගානක් බිත්තරෙකට දෙන කොට ඔයිට වැඩිය හොයන්න එපැයි හේ හේ
ReplyDeleteඊට වඩා ලොකුයිනේ බයිසිකලයක් ගන්න එක
Deleteරහ වෑහෙනවා කතාවෙ මල් පහට
ReplyDeleteකොහොමද යකෝ මේ plots එන්නේ හිතට
ලියලා මෙවැන්නක් ඩිංගක් දියුණුකොට
විකිණිය හැකි නෙවෙද චිත්තරපටයකට
නිමල් අයියා චිත්‍රපටියක් ගැහුවොත් දෙනවා
Deleteඋපහාසය මුසුව ආ ප්‍රබන්ධයක් උනත් ඉන් මතුකරන යථාර්තය අගෙයි.
ReplyDeleteස්තුතියි
Deleteබොලාට ලක්ෂ එකහමාරක් දෙනවැයි කිවුවම රංගයගෙ නෙමෙයි බොගේ ඇටේ උනත් විකුණයි හොයන්නෙ බලන්නෙ නැතුව.
ReplyDeleteමේ ඉන්නේ ඒ බිත්තරෙන් ආපු ණයා
Deleteකොහෙන් එන අදහස් ද මේවා ! ඔහොම ඒවා හිතෙන්න සර්ප බිත්තරම කන්න වෙනවා මම හිතන්නේ .. එල කතාවක්
ReplyDeleteතැන්කු වේවා පැතුම්
Deleteඅහක යන னයි බිත්තර බඩ අස්සට දාගන්න එපා හේරත් මහත්තයො.
DeleteAmazonian Crimson Bush Viperව රූණකන්දට එව්වෙ Amazon එකෙන්ද?
ReplyDelete(ඉස්සර Amazonඑකේ වැඩ කරපු එකෙක් කිව්වෙ එහෙමයි )
හිතුනොත් ආයේ ඇමසන් එකටම යනවා , මේ කතා අහන්න බෑ
DeleteSupiriyta mawalaa thiyenawaa.patta.
ReplyDeleteතැන්කු ඇනෝ
Deleteකිකිලි බිත්තර ලෙස විස නයි බිත්තර විකුණූ රංග නැමැත්තෙක් අත් අඩංගුවේ.
ReplyDelete-පුවතක්-
බිත්තර මිලට ගැනීමට ගොස් නයි බිත්තර විමසූ , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි දැලේ
Deleteදෙවෙනි ඉනිම ලිව්ව සමන් එදිරිමුණි බොලාගෙ නෑදැයොද 😁😂😂
ReplyDelete