Tuesday, July 30, 2013

වයස හරිද?.... තාම නැද්ද?



ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහක වූ ජූලි මස විසි නමවන දින..........

හරි නෑ හරි නෑ.......

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සීය පනස් හයක් වූ ඇසල මස විසි නවවන දින ................................

ඉලව්ව නෙවෙයි බොලව් මම බ්ලොග් ලියන්න පටන් අරන් ඔන්න හරියටම අවුරුද්දයි. ඔන්න කිව්වා දන්න හිංගලෙන්.

ඉතිං මම ඉස් ඉස්සෙල්ලම  ලිව්වා මෙන්න මෙහෙම

http://iwanpaulooshaa.blogspot.com/2012/07/v-behaviorurldefaultvmlo.html


 ඉවාන් පවුලූශා
කියලා ඔන්න ලියන්නේ මම

මේකට  හා හාපුරා කියල කොමෙන්ටුවක් දැම්මේ අපේ ආදරණීය සුමිත් අයියා.......(සුමිත් නිරිඇල්ල කියලා කිව්වම මම හිතාගෙන හිටියේ හෙන වයසක ඩයල් එකක් කියලා.. එදා අවුරුදු උත්සවේදී දැක්කම මෙන්න බොල නළුවා වගේ කොල්ලෙක්)

මම බ්ලොගක් ලියන්න හිතාගෙන් හිටියේ නෑ කවදාවත්, ඇත්තට කියනවානං බ්ලොග් එකක් කියන්නේ මොකක්ද කියලාවත් මං දෑනන් හිටියේ නෑ ඔන්න.  ඉඳලා හිටලා ගොස්සිප් සයිට්ස් බලනවාට වඩා දෙයක් අන්තර් ජංජාලෙන් කොළෙත් නෑ.(අරවා බැලුවේ නැත්තේ නෑ)

දවසක් මම ඔහේ ගූගලේ පීර පීරා අරමුණක් නැතුව ඉබාගාතේ යනකොට අර හොට් ඩෝග් බනිස් ගෙඩියක් මැදට බල්ලෙක් තියපු ෆොටෝ එකක් තියෙනවා දැක්ක මොන හුට්ටප්පරයක්දමේ කියලා ඔබලා බැලුවා ඒක ගියේ මේන් මෙතන්ට
http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම 

 බලනකොට ඒක හුට්ටප්පරයක් නෙවේ අටම්පහුරක්. ඉතිං මං මේක ඔක්කොම කියෙව්වා. වැඩේ ටිකක් නැගලා ගියා , 
ඊලඟට බලද්දී කොමෙන්ට් කොරන්න තැනකුත් තියෙනවා. 
ඇනෝ, පැනෝ, ඇන්න පැනෝ මොකක්වත් මම දැනගෙන හිටියේ නෑ. 
හොයලා හොයලා කොමෙන්ට් කරා අටමගේ පොස්ට් එකකට . 
මතක් වුනේ නමක් දාන්න ඕන කියලා... දැම්ම ඉවාන් පව්ලූශා කියලා හැබැයි ප්‍රොෆයිල් එකක් හැදුවේ නෑ. ටික දවසක් යනකොට මෙන්න අටමා මොකක්ද කරලා ,ප්‍රොෆයිල් එකක් නැතුව කොමෙන්ට් බෑ, 
ඊට පස්සේ හැදුවා ප්‍රොෆයිල් එකක්.
මෙහෙම යනකොට බ්ලොගක් අටවාගන්න ඕනේ කියලා හිතිලා තමයි මේක කොරේ........ මුලින්ම කලේ අතන මෙතන තිබ්බ ඒවා උපුටාගෙන දාපු ඒක තමයි. මගේම කියලා ලියපු පොස්ටුවක් දැම්මේ ටික දවසක් ගිහිං
ඔකේ කොමෙන්ටුවක් දැම්ම අටමා. "මචන් මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් " කියලා මොකක්ද බොල වෝර්ඩ් වෙරිෆිකේෂන් කියන්නේ, ඔන්න දැන් අටමා දෙනවා උපදෙස් ෆලෝ කරන ගැජට් ඒක දාහන් ,අරක දාහන් මේක දාහන් කියකියා. මම මෙලෝ හසරක් දන්නේ නෑ.  
දැම්මා මේලක් අටමට . ඔන්න ඌ එව්වා ෆෝන් නම්බර් එක. දැන් එදා රෑ තිස්සේ ෆෝන් එක කනේ ගහගෙන මම අටමා කියන ඒවා කර කර බ්ලොගේ මේ තත්වෙට ගෙනාවා.
 ඊට පස්සෙත් අටමා කියපු අරවා මේවා කරකර මේකේ එක එක ඒවා හැදුවා. මේකා කියපි "දාපන් මචං සින්ඩි වලට" කියලා ,ඉතින් ඒවාට ඇප්ලයි කරා, මාතලන්ගේ සින්ඩියේ විතරයි කියපු ගමන් එල්ල ගත්තේ.අනික් ඒවාට ඇප්ලයි කරලා කරලා අනේ මන්දා ......
දැන්නම් කීපයකම අප්ඩේට් වෙනවා.
ඊට පස්සේ ගියා සයිබර් බක්මහ උළෙලට , ඒ වෙනකොට මම කාවට දන්නේ නෑ. මං ගියේම කට්ටිය බලාගන්න. අටමාව දැක්කේ එදා, කතාකරලා තිබුනට අපරාදේ කියන්න බෑ අර ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියෙන හපුටු මූණ නෙවෙයි ටිකක් ප්‍රියමනාප මූණක් ඌට තියෙන්නේ.(මල පනීද දන්නේ නෑ..)
එදා  නලින් අයියා, වෙනී අයියා, සුමිත් අයියා, (වචනයක් වත් කතා නොකලට) ප්‍රසන්න අයියා, මාරයා, දුකා, නාඩියා (කන්නාඩි දෙක නැත්තං මේකා හුළගේ ගහගෙන යනවා), අඩවි රජා, මොඩන් පේට්‍රියට්, සෑම්, සුදීක ඇතුළු තව බොහෝදෙනෙක් දැක ගත්තා.
තව නොදැකපු ය බොහොමයි, එදා ඇවිත් හිටියත් මට ගොඩ දෙනෙක් මග අරුනා, මොකද ලඟට ගිහින් කතා කරන්න තරම් ගටක් නොතිබ්බ නිසා, මොකද මුන් හැමෝම හොඳට දන්නා අඳුරන විදිහට එකිනෙකා එක්ක කතා කරකර හිටපු හැටියට මට හිතුනේ මම විතරද අලුතෙන් ආවේ කියලා.කොහොම වුනත් මගේ මේ බ්ලොග් එකට ගොඩ දෙනෙක් ආවේ මාතලන්ගේ සින්ඩිය නිසා,

ඉතින්  අදට අවුරුද්දයි, අතහිත දුන් හැමෝටමත් , කියවන්න ආපු හැමෝටමත්, කොමෙන්ටු දාපු හැමෝටමත්, අඩුපාඩු පෙන්වාදුන්න හැමෝටමත්, තාක්ෂණික දෝෂ වලට උපදෙස් දුන්නු හැමෝටමත්, බොහොම පිං.

මම
ඉවාන් පවුලූශා

Friday, July 26, 2013

මඤඤන් භාවය


...........................රෙදි නැන්දයි , අපේ අම්මයි ............................
...........................හිනා කටයි , මල් දෝතයි..............................  
...................නෑදෑයෝ සනුහරේම.......................
..........................මනමාලිගේ වරුණේ කියයි...........................

..................පුතේ උඹේ මනමාලී......සිරියාවී ...සීදේවී.............
...................යාදෙවී...පිංදේවී....කිරිපැණියෙන් උතුරාවී.............
..................වාසනාව වාසනාව....................
.................අපේ කොල්ලගේ වාසනාව..................

.....................රෙදි නැන්දට තෑගී ගොඩයි..................
....................රෙදි නැන්දත් ගුණේ වනයි..................
....................පුංචි මහත්තයා පතාන .................
.................සසර පුරා ආපු කෙනෙක්.................

...............පිරිසිදු කම හරි අගේට ............
.................හරි තදේට ......රෙද්දේ මැදට............
...................මැකුනෙත් නෑ හේදුවාට...............
....................සුපිරිසිදුයි මොනවද කැට...............

...................මොකක්ද බොල මේ වෙන්නේ..............
.................කොහොමද ඒ වගේ වෙන්නේ ...........
...............ඔය මොකක්ද එක නැතිවෙන්නේ.........
......................කලකට පෙර මගෙන්මනේ...................

................කොහොම වුනත් මනමාලිව..............
..............බේරාගත්තු දේව බැල්ම..............
.................මොකක්ද කියලා බලන්න................
................ආසයි කෝ මට කියන්න..............

.............කිරි අප්පට බල්ලෝ පැනපි...........
..................ඉස්කෝලේ උත්සවේට.................
...............අරං ආපු ජපන් කොඩිය.............
...............රෙදි නැන්දගේ බාල්දියේ...........



Thursday, July 18, 2013

කවි පොත

"චිත්‍ර සර්ගෙ කෙටිකථා පොත ලියලා ඉවරයිලුනේ    "

"කව්ද ලොකු සර් කිව්වේ......"

"අරුන්දතී මිස් ඔය හැමෝටම කියන්නේ .....චිත්‍ර සර් ගැන අපි නොදන්නා කොච්චර දේවල් දන්නවද අරුන්දතී මිස්.."

ලොකු සර් ඒ ටික කිව්වේ සේපාල දිහා කන්නාඩිය අස්සෙන් අමුතුවිදිහට බලන ගමන්. ඒ බැල්මේ අවඥාසහගත ගතියයි , අවලං ගතියයි දෙකම මිශ්‍ර වෙලා තියෙනවා කියලා සේපාලට හිතුනා.

සේපාල චිත්‍ර උගන්නන ඉස්කෝලෙම ගෘහ විද්‍යාව උගන්නපු අරුන්දතී මිස්ගෙ මහත්තයා පලාලි කෑම්ප් එකට කොටිගපු වෙලාවේ අතුරුදහන් වුනාම, රණවිරු බිරිඳකගේ වීරත්වය ගැන දේශනා කරපු ලොකු සර්, ඒ සිද්ධියෙන් මාසයක් යන්නත් කලින් අරුන්දතීව කාර්යාලේදීම ඉඹින්න ගිහින් කුඩමිටි පාර කාපු හැටිත්, කවුරු නැතත් ඔයාට මම ඉන්නවා කියලා ලොකු සර් තමුන්ට අයුතු යෝජනාවක් කරපු හැටි අරුන්දතී අඬ අඬා තමුන් ගුරු විවේකාගාරයේදී කියපු හැටිත්, එවෙලේ එතෙන්ට අහම්බෙන් ආපු කා.කා.ස. පියසේන එවෙලේ ගුරුවිවෙකාගාරයේ කවුරුත් නොහිටපු එක ගැන අතන මෙතන නොහොබිනා කතා කියපු හැටිත් , ඒ සිද්ධිය දැනගත්ත ලොකුසර් එදා ඉඳං තමුන්ට හින්ට් පාස් කරන්න පටන්ගත්ත හැටිත්  දම්වැලක පුරුක් එකටෙක ඇමිනිලා තියෙනවා වගේ එකදිගට සේපාලගේ හිතේ මැවී පෙන්න වුනා.

කොහොමත් විශ්‍රාම යන්න ඔන්‍න‍ මෙන්න කියලා හිටපු ලොකු සර් ගැන සේපාලගේ හිතේ ඒතරම් හොඳ ප්‍රතිරූපයක් තිබුනෙම නෑ.

"ඒවයින් මට වැඩක් නෑ සේපාල සර්, දැන් පොත දොරට වඩින උත්සවයක් එහෙම ගන්න අදහසක් නැද්ද?

තමුන්ගේ ලේඛන කලාවට උපහාසයක්‌ මිස උපහාරයක්‌ කවදාවත් නොකරපු ලොකුසර් මේ මොකාටද එන්න හදන්නේ කියලා සේපාලට හිතාගන්න බැරිවුනා.

"එහෙම අදහසක් නෑ සර්..... හෙමීට පබ්ලිෂර් කෙනෙක් අල්ලලා ,පිටපත් පන්සීයක්‌ විතර එලියට දානවා , හම්බෙන සීයෙට දහයෙන් ලොකු වැඩක් කරන්න අමාරුයි සර්."

"එහෙම නෙවෙයි සේපාල අපි මේක ටිකක් ලොකුවට කරමු. ඇමතිතුමාව ගෙන්නලා,හොඳ උත්සවයක් එහෙම තියලා .....................'

"අපෝ සර් ඇමතිලානම් එපා....."සේපාල කිව්වා නෙවෙයි කියවුනා.

ලොකුසර්ගේ මුණ වෙනස් වුනත් අමාරුවෙන් ඒක නොපෙන්වාම ලොකුසර් අයෙත් කතා කළා.

"ඒ මොකද සේපාල..."

"නෑ සර්.... මතකනේ එක සැරයක්  සාහිත්‍ය උත්සවයකට අර වංශනාථ ඇමතිතුමාව ගෙන්නලා මහල්ලා සහ මුහුද කතාව ලිව්වේ ගී ද මෝපසාං කිව්වේ... ඔය උදවියට ඉතිං මේවගේ දේවල් හොයලලා බලන්න වෙලාවක් නෑනේ සර්... දවසකට කීයක්‌ කියලා වැඩද ඉතිං.

සේපාල ඒ වචන ටික අමාරුවෙන් හදලා කිව්වේ ලොකුසර් ගෙ දේශපාලන සම්බන්ධකම් හොඳින් දන්නා නිසායි හෙට අනිද්දා ගෙදර යන මනුස්සයාව මොකට තරහ කරගන්නවද කියලා හිතුන නිසයි කියන සිතුවිලි දෙකම එක සැරේ හිතට ආපු හන්දා.

"හැබෑටම ඒ පොත් ලිව්වේ කවුද චිත්‍ර සර්.....?"

අනේ අම්මපා මෙහෙමත් ගුරුවරු, නොදන්න එකත් අරුමයක් නෑ ඉතිං ඇමතිලාට පින් සිද්ද වෙන්නම විදුහල්පති ශ්‍රේණියට ආවා මිසක් මොන සුදුසුකමක් කියලද?

" ආ .... මේ  ඒක ලිව්වේ අර්නස්ට් හෙමිංවේ කියන ලේඛකයනේ සර්......."

 කා.කා.ස. පියසේන එලියට ගිහින් බෙල් එක ගැහුවේ ඔය අතරේ.

"මං එන්නං සර් එකොළහේ පන්තියට චිත්‍ර...................."

සේපාල ඒ ටික කියනකොටම කාර්යාලයට කෙලින්ම පේන එකොළහේ පන්තියෙන් අරුන්දතී මිස් එලියට බහිනවා ලොකු සර්ටයි සේපාලටයි දෙන්නටම පෙනුනා.

"හා හා හොඳයි...ඔහෙලටනං  ඉතිං හෙමිංවේ නෙවෙයි හයිවේනේ......."

ලොකු සර් ඒ ටික කියමින් අරුන්දතී මිස් යන දිහාව බලපු හැටියට සේපාලට චික් කියලා හිතුනා.      "නාකිවිසේ ගෙටත් උසේ කියන්නේ නිකං යැයි"

..................................................................................................................................................................


"අන්න චිත්‍ර සර්ට ලොකුසර් එන්න කිව්වා......"දුවගෙන ආපු එකොළහේ පන්තියේ ශිෂ්‍යනායක සමීර හති දම දමා කිව්වේ සේපාල ගුරු විවේකාගාරයේ වාඩිවෙන්න හදනකොටමයි, ඒ වෙනකොටත් උණුවතුර බෝතලෙන්
කෝප්පෙට දාල අරුන්දතී මිස් දීපු තේ එක සේපාලගෙ අතේ. තේ උගුරක්‌ බීලම යනවා කියලා හිතාගෙන බිව්වත් තේ එකේ රස්නෙට කටයි දිවයි පිච්චුනු සේපාලට කඳුළු ආව.
.......................................................

"ආ............ ලේකම් මහත්තයා මේ තමයි සේපාල සර්... අපේ චිත්‍ර සර්.....
සේපාල සර් මේ අපේ ඇමතිතුමාගේ සහකාර ලේකම් දිසාසේකර මහත්තයයා......."

මූනේ ලේ කඳුලක් නැති පොන්ටින් කට් එක තියාගත්තු අවුරුදු හතලිහක විතර ටයි පොලු කාරයෙක් සේපාල  දිහා නොබලාම  "දැන් ඔය පොත මොකක්ද?  "

"කෙටි කතා පොතක් ලේකම්තුමා...." අම්මටසිරි ලොකු තැන පැනලා දෙනවා.


"සේපාල මම ඇමතිතුමා එක්ක කිව්වා සේපාලගේ පොත ගැන .....ඇමතිතුමා වුනත් බොහොම කැමතියි අංකුර කලාකරුවොන්ට අත දෙන්න, මොකද ඇමතිතුමා සාහිත්‍යකාමියනේ.......නැද්ද ලේකම් තුමා"

"හ්ම්ම් හ්ම්ම්"

සාහිත්‍යකාමියා ආච්චිගේ රෙද්ද ....සාහිත්‍යකාමියා නෙවෙයි කාන්තා ලෝලියා  සේපාලට එහෙම හිතුනත් එහෙම කිව්වේ නෑ.

"ඒ ගමන  ඇමතිතුමා කිව්වා ලේකම් තුමා එක්ක සියල්ල කතා කරගන්න කියලා, එහෙනම් ලේකම් තුමා අපි දිනේ දැනුම් දෙන්නම්, කතා කරගත්තු විදිහට වැඩටික කරමු."

'"හ්ම්ම් මම ගිහින් එන්නම් ලොකුසර් එහෙනම්.....එන්නම් මිස්ටර් සේපාල"

"හොඳමයි සර්..." නොද්දකින් ඒ ගමන් උඹ මෙවුන්ටත් සර් කියනවද? සේපාලගේ හිත කෑගැහුවා වගේ සේපාලට ඇහුනා.

"සේපාල ...අපි හිතුවේ පොත දොරට වැඩීම ටිකක් උත්සවාකාරයෙන් ගන්න. ඇමතිතුමා නගරාධිපතිතුමාට කතා කරලා නගරසාලාව බුක් කරලා දෙන්නම් කිව්වා. හොඳට උත්සවේ ගනිමු."

"සර් ..ඒත් මේ...."

"ඕවට සල්ලි නේද? සේපාල මමත් හෙට අනිද්දා පැන්ෂන් යන්න ඉන්න මිනිහා. මගෙනුයි කියලා මේ රටට සේවයක් වෙන්න එපැයි. ඒ ඔක්කොම මම බලාගන්නම්. සේපාල එදාට වෙලාවට ආවාම විතරක් ඇති. සේපාල පොත් ටිකක් ලැස්ති කරගන්න එදාට අරධිතයන්ට පිළිගන්වන්න." කියද්දීම මෙසේ උඩ තිබුණු ලොකුසර්ගේ මොබයිල් එක රිං වුනා..................."ආ ඇමතිතුමා .......ඔව් ඇමති තුමා........"

ලොකුසර් දෙකට තුනට නැවි නැවී කතා කරන හැටි බල බලා සේපාල කාර්යාලයෙන් එලියට බැස්සේ, සිද්ධ  වුනේ මොකක්ද කියලා තාමත් හරියට හිතාගන්න බැරුව වගේ.

'යකෝ පොත මගේ ...මුන් ඔක්කොම තීරණේ කරලත් ඉවරයි. මොකක්ද ලොක්කට මෙච්චර තියෙන කැක්කුම.
අරුන්දතී මිසුයි සේපාලයි මේ ගැන ගොඩක් වෙලා කතා කලේ ඇත්තටම මේ විපරියාසේ හිතාගන්න බැරුව.

"කමක් නෑ සේපාල ඔයාගේ පොතට ලොකු ප්‍රසිද්ධියක් වත් ලැබෙයිනේ මොක නැතත් ඒ මදෑ......" අන්තිමට අරුන්දතී කියපු ඒ කතාවට එකඟ වෙනවා ඇර විකල්පයක් සේපාලටත් හිතාගන්න බැරිවුනා.

.................................................................................................................................................................
ඊළඟ සතියෙම ඉස්කෝලේ මාතෘකාව වුනේ පොත දොරට වැඩීම, සේපාලටත් නොදැනුවත්වම සේපාලට ටිකක් විතර ආඩම්බර ගතියක් මැවුනා. යන යන තැන හැමෝම මගේ දිහා බලනවා නේද කියලා හිතෙනකොට සේපාලට ලොකු සර් ගැන කවදාවත් නොතිබුණු ලෙන්ගතුකමක් දැනෙන්න ගත්තා. වෙනදා සේපාලව ගණන් නොගත්තු ටීචර්ලා සර්ලා දැන් සේපාල හොයාගෙන් ඇවිත් ගුඩ් මෝනිං කියන්න හිනාවෙන්න ගත්තම සේපාලට සියුම් ආඩම්බරයක් දැනුනා.

................................................................................................................................................................
ඉස්කෝලේ ළමයිනුයි ස්ටාෆ් එකයි ගෙනියන්න ඇමතිතුමා බස් දෙකක් ඉස්කොලෙටම එවලාතිබුනා, ඉස්කෝලේ සර් කෙනෙක් ගෙ පොතක් දොරට වඩින වැඩක් නිසා කලාපේ ඉස්කෝල හැම එකකම ගුරුවරු ඔක්කොටම ප්‍රවාහන් පහසුකම් දීලා උත්සවේට ගේනවා කියලා ලොකුසර් කිව්වම සේපාලට පුදුම ආත්ම අභිමානයක් දැනුනා. හරියට තමුන්ට බුකර් සම්මානේ ලැබුනා වගේ හැගීමක් තමයි සේපාලට ඇතිවුනේ.

පොතේ පිටපත් එකසිය පනහක් ත්‍රීවීල් එකකට දාගත්තු සේපාල නගර සාලාව පැත්තට යනකොටම අහුවෙච්ච ට්‍රැෆික් තදබදේ නිසා හිටියේ නොඉවසිල්ලෙන්,

කාලකන්නි යක්කු මෙච්චර කල් ගිහිල්ලා ප්‍රින්ට් පන්සීය ඉවර කරගන්න බැරිවුනානේ, ඒක තියාගත්තා අන්තිම මොහොත වෙනකං    "තදබද වෙච්ච වාහන අස්සේ හිරවෙලා ඉන්න අතරේ සේපාලට කේන්තියෙන්  එහෙම හිතුනේ මූනේ කුරුලෑවක්‌ මිරිකන ගමන් ,චිරිස් ගාල කුරුලෑව කැඩෙනවත් එක්කම විසිවෙච්ච ලේ බින්දු දෙකතුන ඉක්මනට පිටිඅල්ලෙන් පිහිදගත්තේ ත්‍රීවීල් එකේ කන්නාඩියෙන් මූණ බලන ගමන්.

"ශික් නවය වෙන්න කලින් යාගන්න බැරිවෙයිද දන්නේ නෑ."

"මල්ලි කොහෙන් හරි දාලා ඉක්මනට යමු...මට හදිස්සියි,...."

"හදිසි වුනාට උඩින් යන්නැයි මහත්තයා.......දැන් ළඟනේ පොඩ්ඩක් ඉවසලා ඉමු..."

 වෙලාව බලන්න අත දිහා බලනකොට තමයි සේපාල දැක්කේ හදිසියට ඔරලෝසුව බැඳගෙනත් නැතිබව. අපරාදේ මේ උත්සවේටම බඳින්න කියලා අරුන්දතී ගෙනත් දීපු ඔරලෝසුව. දැන් තරහ වෙයිද දන්නේ නෑ.

කොහොම  හරි සේපාල නගර සාලාවට යනකොට විනාඩි හතළිස්පහක් විතර පරක්කුයි.... ශික් මේක මනමාලයා නැති මගුල් ගෙයක් වෙලාද දන්නේ නෑ. සේපාල පොත් බෑග් එකත් කරේ ගහගෙන නගර සාලාව දිහාට දුවගෙන් ගියේ නොඉවසිල්ලෙන්,

සේපාල්ගේ හිතට අමුත්තක් දැනුනේ ඇමති තුමාගේ පක්ෂේ පාටින් මුළු නගර සාලාවම සරසලා තිබුන නිසයි,
"තැන වැරදුනාවත්ද?" ඒත් එක්කම ඇමතිතුමා ලොකුසර් එක්ක හිනා වේගෙන ඉන්න කටවුට් එකක් ඇතුල් වෙන දොර ලඟම තියෙනවා දක්කම් සේපාල්ගේ හිතේ සැකය ටිකක් දුරුවුනා..ඒත් මොකක්දෝ අමුත්තක් හිතට දැනුනා, ඒ මොකක්ද කියන්න සේපාලට තේරුනේ නෑ.

"ඕයි ...ඕයි  කොහෙද දුවන්නේ , මොනවද ඔය" . හයේ හතරේ ඇමති ආරක්ෂකයෙක් සේපාලව බෑග් එකෙන් අල්ලලා ඇදලා ගත්ත විදිහට සේපාල කැරකිලා ගියා.
"කොහෙද තමුසේ ගාල කඩාගෙන වගේ දුවන්නේ, මොනාද ඕකේ"

"මේක මගේ උත්සවේ... මගේ පොත දොරට වඩිනවා අද..ඒකට තමයි ඇමතිතුමාත් ඇවිත් ඉන්නේ"

සේපාල ඒක කියනකොට එම්.එස්.ඩී. කාරයාගේ මුනේ තිබ්බ හිනාව දැක්ක සේපාලට මිනිහගේ හොම්බට අනින්න හිතුනා. එතකොටම එතනින් සාලාව ඇතුලට යන්න ආපු පොන්ටින් කට් කාරයා සේපාලව දැක්ක.

"ඈ  හලෝ .. තමුසේ දැන්ද එන්නේ.... කෝ පොත් ටික."

"මේ තියෙන්නේ සර්......." හොඳ වෙලාවට මේ යකාඅවේ නැත්තම් මගේ උත්සවේට මටම යන්න බැරිවෙනවා..

"අයි.පී. ජයසේකර ...මේ පොත් බෑග් එක ස්ටේජ් එක පිටිපස්සේ ඉන්න ඩබ්ලිව්.පී.සී. ඉනෝකාට දෙන්න , ඉක්මනට පාර්සල් කරලා අර ලේබල් ටික ගහන්න කියන්න. කෝ තමුසේ එනවා... මොකක්ද නම කිව්වේ.

"සේපාල සර් "

"සේපාල සර්?'

"නැහැ සර්... මගේ නම සේපාල"

"ආ ඒක මිසක්....එනවා. ඔය දෙවැනි පේලියේ තුන්වෙනි පුටුවේ වාඩිවෙනවා....." කියාගෙන ලේකම් රැව්ලා ස්ටේජ් එකට නැග්ගා.

"දෙවැනි පේලියේ...? යකෝ මගේ උත්සවේ මම දෙවනි පේලියේද?"..... තුෂ්නිම්භූත වුනු සේපාල පියවි ලෝකෙට ආවේ මහා හයියෙන් වැදුණු අත්පුඩි සද්දෙට..

ඇමති තුමාගේ කතාව......ආ... ලොකුසර් ස්ටේජ් එක උඩ.... මොකක්ද මේ වෙන්නේ.

"ආදරණීය අම්මේ තාත්තේ....අද ඔබ හැමටම විශේෂ දවසක්. කන්නංගර මහා විද්‍යාලයේ විදුහල්පති තුමා , ලබන මාසේ විශ්‍රාම ගියාට පස්සේ එතුමා ඔබ සැම වෙනුවෙන් ,නැවත සේවයට එන්න ලෑස්තියි, මෙච්චර කල් එතුමා ඔබතුමන්ලාගේ දරුවන්ගේ දෑස් පෑදුවා, මින් පස්සේ එතුමා ඔබ සැමට අත හිත දෙනවා. අපේ පක්ෂෙට ආණ්ඩු පක්ෂෙන් ලැබෙන කෝටාවෙන් මෙදාපාර පලාත්සභාවට ඉල්ලන්නේ අපේ විජේතුංග විදුහල්පතිතුමා..............................කන් බිහිරි කරවන අත්පුඩි සද්දෙන් පස්සේ ඇමතිතුමා අයෙත් කතා කළා...

අද එතුමා අපිත් එක්ක මේ ගමන ආරම්භ කරන්නේම සමාජ සේවා දෙකකින්,
ඒ මොකක්ද.....? එතුමාගේ වියදමින් මිලට ගත්තු ආධුනික ලේඛකයෙකුගේ  කවි පොත් දහය බැගින් ඔබ තමුන්නාන්සේලාගේ විදුහල් වල පුස්තකාලවලට පිරිනමමින්. මෙයින් ඔබගෙ පාසලේ පුස්තකාලයට පොත් ලැබෙනවා වගේම  ආධුනික ලේඛකයෙකුට ආර්ථික ශක්තියක්ද ලැබෙනවා ..............................................................................................................................

 ස්ටේජ් එකේ හිනා වෙවී ඉන්න ලොකු සරුයි , යටිගිරියෙන් බෙරිහන් දෙන ඇමැතිතුමයි සේපාලට බොඳ වෙවී පෙන්න ගත්තා,.........................සේපාලට පෙනුනේ මුළු ලෝකෙම වේගෙන් තමන් වටේ කැරකෙනවා වගේ............

ආධුනික ලේඛකයා.....? කවිපොත්.......?


දඩස්......

අන්න  අන්න මනුස්සයෙක් කලන්තේ දාලා වැටුනා....කියලා කවුදෝ කියනව හීනෙන් වගේ සේපාලට ඇහුනා...... වැටිලා ඉද්දි තමන්ට පෙනුණු තමුන්ගේ වම් අතේ ඔරලෝසුව බැඳලා නෑ නේද කියලාත් ඒ ඔරලෝසුව මේ උත්සවේට බැඳගෙන එන්න කියලා අරුන්දතී දීපු එක නේද කියලා සේපාලට අයෙත් පාරක් සිහිවුනේ කවුදෝ තමුන්ව උස්සලා ගද්දි........................

Tuesday, July 9, 2013

සිංහබා.............!



.......ගල් ලෙන බිඳලා ....
........ලෙන් දොර ඇරලා ......
..........සිංහ බා ...සිංහ බා.......

" නවත්තනවා විරාජ්.............."

"ඇයි අප්පච්චි......"

"හැයි ..හැයි ... ගාන්නේ ..........., මනුස්සයෝ හැගීමක් , නැතුව ඔහේ කියන්නං වාලේ වචන ටික කියවන්න උඹලා  ඕන නෑ. උඹට මම කියන විදිහට කරන්න බැරි නම් පලයන් යන්න.............වාඩි වෙයන් ....

හා....හා.... හැමෝම , හැමෝම ආපහු හඬ අභ්‍යාස ....හ්ම්....හ්ම්......"

" ළමයිනේ
පුහුණු කරන ලද රංගන ශිල්පියා හා ශිල්පිනිය සහ නුපුහුණු නළුවා , නිළිය අතර අහසට පොළව තරම් පරතරයක් තියෙනවා.
  රංගනය හදාරනවා වෙනුවට ජිම් එකකට ගිහින් මස් පිඩු හදා ගැනීමයි ,මොඞ්ලින් ක්ලාස් එකකට ගිහින් කැට්වෝක්  ඉගෙන ගැනීමයි නළුවෙක්,  නිළියක් වෙන්ට සුදුසුකමක් කියලා හිතන්ට එපා..

මේක හුස්ම ඉහළ පහළ යන කි‍්‍රයාවලිය එසේත් නැතිනම් ආශ්වාස ප‍්‍රශ්වාස කි‍්‍රයාවලියේ සිට අපගේ යටීපතුලට දැනෙන මහ පොළවේ ස්පර්ශය හදුනාගැනිම දක්වාත් ,ස්වභාවධර්මයේ කි‍්‍රයාකාරිත්වයන් වන අව්ව ,වැස්ස,සුළග,ගහක, කොළක, මලක සුවඳ දක්වාද,සමස්ත සමාජයේ ස්පන්දනය හඳුනාගැනිම දක්වාද,දුක,සිනාව,කඳුළ,කේන්තිය, කරුණාව වැනි අභිනයන් දක්වාද ප‍්‍රායෝගික කරුණුත්,විෂය කරුණුත් හදාරමීන් දිර්ඝ කාලයක් ඒ වෙනුවෙන් කැපවෙමීන් කල යුතූ මහානුභාවසම්පන්න වෘත්තියක්."

 හැමදාම වගේ නාට්‍ය පුහුනුවෙන් පස්සේ අප්පච්චිගේ දේශනේ අදත් අඩුවක් නැතුව කෙරුනා. දැන් අපි හැමෝටම ඔය ටික කට පාඩම්,

"මචං සිංහ බාහුවා උඹ හැමදාම සිංහ සීවලී ඇරලවන්න යන්න ඕනේ නෑ නේ ගෙදර එක්කන් ගියානම් ඉවරනේ"
"ඔව් මචං උඹලා අප්පොච්චා සෙනූවම සිංහ සීවලී කලේ උඹලගේ අලුත් පරම්පරාව දකින්නද කවුද දන්නේ,..."
" ඔව් මචං නැත්තම් මේච්චර හැන්සම් මාව සිංහබාහු කරන්න තිබුනනේ....හඃ හඃ හඃ හා ....."

හැමදාමත් නාට්ටිය ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා මං සෙනුරිව ගෙදර ඇරලවන්න යනකොට අනිත් උන් සෙට් එක අපිව බයිට් එකට ගන්න එක පුරුද්දට ගිහිල්ලා.

"අනේ පලයන් බං යන්න .... ඉතින් උඹලා ගිහින් ඇරලපන්කෝ ....."

" අනේ මේ එරංග එයාලට ඕන දෙයක් කරගන්න දෙන්නකෝ.... අපිට මොකෝ මොනා කලාම"

දිලිනි  ටිකක් නෝක්කාඩු ස්වරූපෙන් කියනවා මට ඇහුනත් නොඇහුනා වගේ ඉන්න මම උත්සාහ කලේ කතාව දුරදිග ගියොත් සෙනුරි හිතරිද්දගනී කියලා බයෙන්.
දිලිනි  මං ගැන ලොකු උනන්දුවක් දක්වන බව මට හොඳටම දැනිලා තිබුනත් මම එක නොදන්නවා වගේ ඉන්න උත්සාහ කළා.

"ඔව් ඉතින් අපේ පොත්ත රතු නෑනේ"
,මම දිලිනිව ගණන් නොගෙන ඉන්න හදනබව දැන දැනම දිලිනි කොයිවෙලාවෙත් මගෙත් එක්ක එල්ලෙන්නම හදනවා.

"විරාජ් ඔයා හිතන තරම් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් සෙනුරිලාට නෑ, සෙනුරිගේ තාත්තා ,ඇඅම්මවයි සෙනුරිවයි දාලා සෙනුරි පොඩි කාලෙම ගිහින් තියෙන්නේ ඔය සෙනුරි එයාගේ නෙවෙයි කියලානේ, "

සෙනුරි ආපු නැති දවසක "අනේ විරාජ් මාව ගෙදරට ගිහින් අරලවන්නකෝ " කියලා බලෙන්ම පස්සෙන් වැටුණු දිලිනි කියපු කතාවක් මට එක පාරටම ඇහෙනවා වගේ දැනුනා.

 අපේ ගෙදර ලඟම හිටියත් කවදාවත් සෙනුරිවත් එයාගේ අම්මවත් අපේ ගෙදරට සිංහල අවුරුදු දවසටවත් ඇවිත් නෑ නේද කියලා මට මතක වුනා.
  හැබැයි ඒකට නම් හේතුව අපේ තාත්තාගේ ඔලුවේ තාම තියෙන වලව් මහන්තත්තේ........අවුරුදු ගානක් ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉඳලත්, ජීවිත කාලෙන් බාගයක්ම කලාව, නාට්‍ය පස්සේ දුවලත් ඒ වලව් මහන්තත්තේ අඩු නොවුනේ මොකද කියන එකනම් මටත් ප්‍රෙහෙලිකාවක්.

" විරාජ් , මම යනවා එහෙනම් ගුඩ් නයිට්" සෙනුරිගේ  සද්දෙට මම කල්පනා ලෝකෙන් මොහොතකට මිදුනා.

"ඕකේ සෙනු ගුඩ් නයිට් " .... ශික් දන්නෙම නැතුව ගේ ළඟටම ඇවිත්, අද හරියට කතා කරන්නත් බැරිවුනා කෙල්ලට.

හුටා ..!  අප්පච්චි ගෙදර ඇවිත්....සාලේ හාන්සි පුටුවේ දිග ඇදිලා හිටපු අප්පච්චි කන්නාඩි කුට්ටමට යටින් මගේ දිහා බලනවා මං හොරැහින් දැක්කා ...

" මොකද පරක්කු"

කෙලියා තාප්පෙට ...දැන් දීපන්කො උත්තර....."මේ ..... අප්පච්චි...මං...."

"ඔය මුර වැඩේ වහාම නැවත්තුවොත් හොඳයි විරාජ් ...........නොගැලපෙන වැඩ කරන්න එපා "

මම අප්පච්චි කියපු දේ අහගෙන ඔලුව බිමට හරවාගෙන හෙමීට එතනින් ගියේ වැඩි කතාවට යන්න ඕන නෑ කියලා හිතලයි.

..............................................................................................................................................................

 "................එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මනමේ, සිංහ බාහු නාට්‍ය කරනකොට.......මොකද සෙනුරි .....
අප්පච්චි හැමදාම වගේ නාට්‍ය ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් සුපුරුදු දේශනය තියනකොට සෙනුරි එක පාරම නැගිට්ට නිසා හැමෝගෙම අවධානය ඒ පැත්තට ගියා....

" සර් අම්ම ඇවිල්ලා..."

 ඒ පැත්ත හැරුණු අප්පච්චි තප්පර කීපයක් සෙනුරිලාගේ අම්ම දිහා බලාගෙන ඉඳලා ආපහු හැරිලා කතාව පටන් ගන්නකොටම සෙනුරිත් දුවගෙන ඇවිත් වාඩි වුනා. සෙනුරිගේ අම්ම නිකමට වත් අප්පච්චි දිහා බැලුවේ නෑ. මිනිස්සු මොකට ඔයතරම් වලව්කාරකම් වලට බය බයාදු වෙනවද කියලා මටනම් තේරෙන්නේ නෑ, අපේ අප්පච්චිලාගේ ලොකුකම් වලට බයවෙන්න එයාලා අපෙන් කාලා ඉන්නවයි.


...............................................................................................................................................................
කාලය  අපි හිතනවට වඩා ගොඩක් වේගෙන් ගලාගෙන යනවා, නාට්ටිය පළාතේ
ඉස්කෝල හැම එකකම ඉතාම සාර්ථකව වේදිකාගත වුනේ, මාවයි සෙනුරිවයි වෙන් කරන්න නොහැකි තරම් ලංකරමින්.
සිංහ බාහු-සිංහ සීවලී සැබෑ ජීවිතේදී පවුල් පන්සල් වෙලා කරන කියන දේවල් ගැන අපි හීන මැව්වේ ඇත්තටම ආත්ම ගානක ඉඳං පතාගෙන ආපු දෙන්නෙක් වගේ.
හැමදාම නාට්ටිය පෙන්නලා ඉවරවුනාම සෙනුරිව ගෙදර ඇරලවන්න යන මම සමහර දවස්වල ආපහු යන්නේ සෙනුරිලාගේ අම්ම දෙතුන් සැරයක්ම සෙනුට අඬගහලා ,බනින්න පටන් ගත්තාම.

"විරාජ් ඔයා කැමති ඉස්සෙල්ලම දුවෙකුටද පුතෙකුටද......"

"ම්...ම්....ම්... ඔයා?"

"ඉස්සෙල්ල ඔයා කියන්නකෝ......"

"මම කැ..ම....ති......මෙන්න මේ වගේ නහයක් තියෙන චූටි කෙල්ලෙකුට...'

"ඌයියා........මම නම් ආස ඔයා වගේ කොලු පැට්ටේකුට...................................."

"සෙනු ...."

"ම්....ම්... '

"මම අද අප්පච්චිට ඔයා ගැන කියනවා..........."

"අනේ ...සර් මොනවා කියයිද විරාජ් ..සර් කැමතිවෙයිද විරාජ් ..?

"අකමැතිවෙන්න හේතුවක් තියේ නම් ඒ ඔයාලා දුප්පත් එක විතරනේ සෙනු..... හෙට අනිද්දා ඔයාට ටීචින් හම්බවුනාම අකමැතිවෙන්න මට නම් හේතුවක් පෙන්නේ නෑ... අනික ඔය ටිකක් නපුරු පාටට පෙනුනට අපේ අප්පච්චි ඔය පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි සෙනු.."

.................................................................................................................................................................

"මොනවා ..... උඹ හොඳ හිතින් ඔය අදහස අත ඇරගනින්..... ඔන්න මම නරක මිනිහයි කියන්න එපා....."

"මොකක්ද අප්පච්චි සෙනුගේ වැරැද්ද , ඒ කෙල්ල ලස්සන නැද්ද? කුලේ අඩුවක්ද? වැදගත් රස්සාවකට හෙට අනිද්දා යන්නේ..."

"බල්ලට දාපන් උලව් රස්සාව.., පුතේ මම ඒකිවත් මරලා උඹවත් මරලා මාත් මැරෙනවා.....මාව මිනීමරුවෙක් කරන්නද යකෝ හදන්නේ...? තෝ මේ සෙල්ලම් කරන්නේ මගේ ජීවිතෙත් එක්ක කියලා තෝ නිකමට වත හිතුවද?  තෝ මට මේ දැන් පොරොන්දු වෙන්න ඕන මේක මෙතනම නවත්තනවා කියලා.....පර බල්ලා....."

"....අප්පච්චි......අප්පච්චි.....මොකද මේ අප්පච්චි..?

අප්පච්චි  වියරු වැටිලා වගේ සිහියක් පතක් නැතුව මේ කෑගහන විදිහට මම බය වුනා....මම වැඩියම බය වුනේ අපප්ච්චි පපුවත් අල්ලාගෙන බිමට වැටුනම.

"අප්පච්චි...අපප්ච්චි....."

.................................................................................................................................................................

ඉස්පිරිතාලෙට ඇතුල් කරපු අප්පච්චිට සාමාන්‍ය තරමට සුවයක් ලැබෙන්න දවස් තුන හතරක්ම ගියා.....

 දවස් හතරකට පස්සේ අප්පච්චි මගේ මූණ බලලා කෙලින් කතා කරපු දවස එදා..

"පුතේ ..මගේ පුතේ... මට සමාවෙලා ඔය සම්බන්දෙ නවත්තලා දාපන් මගේ පුතේ"

"අප්පච්චි දැන් ඕවා කතා කරන වෙලාවක් නෙවෙයිනේ ...ඉස්සෙල්ල අප්පච්චි සනීපවෙලා ඉන්නකෝ..."

"නැහැ පුතේ අයෙ කවදාවත් මේ අප්පච්චි සනීප වෙන්නේ නෑ........මං හැමදාටම් හිතින් ලෙඩවෙලා....මගේ පුතා මට සමාවෙලා මේ සම්බන්ධෙ නවත්තලා දාන්න....මගේ ජීවිතේට මම ඉල්ලා න එකම ඉල්ලීම එච්චරයි මගේ පුතේ...."

කවදාවත්  නැතුව අප්පච්චි මගේ ඉස්සරහ අත්දෙක එකතුකරලා මගෙන් ඉල්ලපු ඒ බයාදු ස්වරූපය මගේ ජීවිතේටම අමතක නොවේවි...

"හොඳයි අප්පච්චි මම අප්පච්චිගේ ඉල්ලීම ඉෂ්ට කරන්නම්, හැබැයි මම දැනගන්න ඕන අපප්ච්චි මෙච්චර අකමැති වෙන්න හේතුව...."

උඩ බලාගත්තු අපප්ච්චි ඒ ඉරියව්වෙන් කොච්චර වෙලාවක් හිටියද කියලා මට මතක නෑ.....මගේ ජීවිතේ මම ගෙවපු දීර්ඝතම විනාඩි කීපය ඒක වෙන්න ඇති. ඒත් ඒක කවදාවත් ගෙවිලා ඉවර නොවූනානම් හොඳයි කියලා මට හිතුනේ ඒ වචන ටික ඇහුණාම.....ඇත්තටම ඒක හීනයක්ද?

" සිංහබාහුයි සිංහසීවලියි කසාද බැන්දට හැබෑ ලෝකෙදි අයියලා නංගිලා කසාද බඳින සිරිතක් නෑ මගේ පුතේ........................................"

Wednesday, July 3, 2013

මේක සිරා කේස් එකක්................!

ඇමති පුතෙක් යකා නටල
රණවිරුවගෙ ඔලුව පලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඩී.අයි.ජි.ගෙ පොඩි ලේලිට
ඇමති  පුතෙක් පුක පෙන්නලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

රගර් මැච් එකේ රෙෆ්රිට
රජ පැටියෙක් හොඳට නෙලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඇමති පුතෙක් හොඳට බීලා
ප්ලේන් එකේ දොරක් ඇරලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

....පාසලේ පහසුකම් ගාස්තු ගෙවාගත නොහැකි වූ දැරියක් අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම කර හසුවේ,....................පුවතක්......


අන්න  අන්න අල්ලපියව්,
හිරේ දමව් , දඩත් ගහව්
මේක සිරා කේස් එකක්
සරීර ඇප ලස්ස දෙකයි - මුදල් ඇපේ පනස්දහයි .

අවිහිංසක ඇමති දරුවෝ නොදන්නා කම හින්ද කරපු ,
අර  පොඩි පොඩි වැඩ වගේද

මේක සිරා කේස් එකක්................!

Saturday, June 22, 2013

අපරාධය සහ.....?



              "මචං උඹ දන්නවද පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා" සුරංජිත් පත්තරේ අතට අරගෙන ඇඳේ ඇලවෙන්න කලින් පුරුද්දට වගේ කොට්ටේ, ඇඳ විට්ටමේ ගහන ගමන් විසල්ගෙන් ඇහුවා.

" ම්හු " සුරංජිත් දිහා නිකමටවත් නොබලපු විසල් තමන්ගේ අතේ තිබුණු ෆොටෝ එක දිහා බලාගෙනම කිව්වේ , කියපු දේ ඇහුනෙත් නැති ගානට.

සුරංජිත් වගේම විසල් වැඩකලෙත් ලංකාවේ ප්‍රමුඛතම සිසිල් බීම ආයතනයක, අලෙවි නියෝජිතයන් වුනු මේ දෙන්නා බෝඩින් වෙලා හිටියෙත් එකටමයි. උදේ හත වෙද්දී බෝඩිම ළඟටම එන ඩිලිවරි වෑන් දෙකට නගින දෙන්නා හවස පහමාර වෙනකොට ආපහු බෝඩිම ලඟින්ම බැහැගන්නවා.

"ඒයි විසලා , ඒයි.... ඒයි  අඩෝ .....මොනවද බං බලන්නේ"

"ආ....... වෙන මොනවද මල්ලී, ඉඳා බලපන්"

"ෂඃ පට්ට පාර, කවුද බං මේ"

"වෙන කවුද අඅඅඅඅඅ......"

"අලුත්ම කෑල්ල ...........?"

"නැතුව නැතුව"

"ෂිහ් මරු බං , කොහෙන්ද සෙට් වුනේ, කොහෙද වැඩ කරන්නේ....?"

"කොහෙවත් වැඩ කරන්නේ නෑ, ................... ගර්ල්ස් කොලේජ් එකේ තාම ඕ ලෙවල් කරන්නේ"

"යකෝ බලු වැඩ කරන්න එපා බං "

"ඇයි"

"අඩෝ තෝ හරි වෙලාවට බැන්ද නම් උඹට ඔය වයසේ ළමයිනුත් ඉන්න ඕන"

"පල පල ඉරිසියා කාරයා , තිස් හතරත් වයසක් ද බං, අනික මේ උන්ට කැහිල්ල හැදෙන කාලෙනේ, ඉතින් කොහෙන් හරි හොඳට කෑම තමයි ඕනේ , තාම හරියට සැපක් ගත්තේ නෑ, මොකද කියන්නේ උඹටත් ඒකිගේ යාලුවෙක් සෙට් කරලා දෙන්නද? කොහෙද තෝ ඉන්න හැටි විතරක් හැට පැනලා හොට බිම ඇනිලා වගේනේ "

"අනේ මට එපා, මේ මචං මොකක්දෝ පෙර පිනකට උඹට ලස්සන පෙනුමක් නම් ලැබිලා තියෙනවා තමයි ඒත් ඔයවගේ වැඩ මම නම් අනුමත කරන්නේ නෑ මචං, උඹ දැන් ඔය වගේ කෙල්ලෝ කීයක්‌ නම් අමාරුවේ දාලා ඇද්ද?"

"බම්බුවක් අමාරුවේ දැම්මා , උන්ට තියෙන ඇම්මට මං පලිද? අපි ඉල්ලුමට සැපයුම දුන්නා විතරයි මල්ලි,"
"නිකං තියෙන කොකෝ අපි කෑවම මොකෝ"
" ඒක නෙවෙයි මොකක්ද උඹ අර පත්තරේ ගැන කිව්වේ"

"හරි හරි ඔහොම පලයන්කෝ , කොට්ටෝරුවත් ගියාලු ඔහොම කෙහෙල් ගහක් හම්බ වෙනකන්"
"මම ඇහුවේ පත්තරේ පලවෙනි පිටුවේ නිව්ස් එකක් වෙනස් කලොත් ඊලගට වෙනස් කරන්න ඕන පිටුව මොකක්ද කියලා"

"ම්හ් .........දන්නේ නෑ , මොකක්ද?

" හයවෙනි පිටුව"

"ඒ මොකද? "

" ඇයි බං පලවෙනි පිටුවේ හැම නිව්ස් එකක්ම අන්තිමට තියෙන්නේ "....හයවෙනි පිටුවට....." කියලා."

"හඃ හඃ හා ... සිරාවටම"

.....................................................................................


 "විසල් අයියේ ..."

"ම් ........."

"ඇත්තටම ඔයා ඒ කම්පැණි එකේ මොනාද කරන්නේ, මොකක්ද ඔයාගේ පෝස්ට් එක '

"ම්හ්...........මම මේ ........... ඇසිස්ටන් මැනේජර්.....මේ ....සේල්ස්  සෙක්ෂන් එකේ."

"ඇත්තද "

"ඔයාට බොරු කියනවද සුදූ මං , ඒක නෙවෙයි දිලූ .... ඔයාගේ තාත්තාගේ බිස්නස් එක මොකක්ද?

"අනේ ඒ ගැන කතා කරන්න එපා විසල් අයියේ ..........මට එපාවෙලා ," දිලුක්ෂි එහෙම කියනකොට විසල් ටිකක් විතර ගැස්සුනා, කුඩු බිස්නස් කාරයෙක්වත්ද?

" අනේ සොරි මගේ සුදූ ...... මම ඔයාව රිද්දවන්න ඇහුවා නෙවෙයි පැටියෝ. ඕකේ, ඕකේ  ඔයා අකමැතිනම් අපි කතා නොකර ඉමු ඒ ගැන."

"නෑ විසල් අයියේ , එයා කරන්නේ ස්පෙයා පාට්ස් ගෙන්නන එක, අම්මත් එයත් එක්කම දවසම බිස්නස්, මට කතා කරන්නවත් ගෙදර කවුරුත් නෑ, රෑ වෙලා එනවා  දිලූ කෑවද කියලා අහනවා , නිදාගන්නවා අයෙත් උදේම යනවා,"වැටකෙයියා  පඳුර මුල දෙන්නා ඉඳගෙන ඉන්න සිමෙන්ති බංකුව නියපොත්තෙන් හූරන ගමන් දිලුක්ෂි දිගටම කතා කළා.
"වීකෙන්ඩ් වලවත් ගෙදර නෑ, අර සර්වන්ට්ලත් එක්ක මම තනියම ගෙදර, ඔයා දන්නවද ගිය සිංහල අවුරුද්දටත් අම්මයි තාත්තයි ජපන් ගියා, දෙන්න ගියෙත් වෙනවෙනම, ඒත් බිස්නස් වැඩකට , මම ආච්චිලාගේ ගෙදර "
"ඇත්තටම විසල් අයියේ මට එපාවෙලා ඉන්නේ"
"අහම්බෙන් වගේ ඔයාව හම්බවුනේ නැත්තම් ,මට පිස්සු හැදිලා , ඔයා කවදාවත් මාව තනිකරන්නේ නෑ නේද විසල් අයියේ" මුහුද දිහා බලාගෙන ඒ ටික කියනකොට දිලුගේ මූනේ තිබුනේ හරිම දුකක්.

"පිස්සුද සුදූ, ඔන්න බලන්න ඔයාගේ වයස හරි ගිය ගමන් මම ඔයාව බඳිනවා, එතකොට ඔයාට කිසිම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ,"

දිලුක්ෂි තව ටිකක් විසල්ගේ උණුසුමට ගුලිවුනා, විසලුත් දිලුක්ෂිව තව ටිකක් ලං කර ගත්තේ හරිම නොඉවසිල්ලෙන්,

"දිලූ ..."

"ම් ....."දිලුක්ෂි තාමත් ඇස්දෙක පියාගත්ත ගමන්මයි

"අපි කොහෙට හරි යමුද"

"කොහෙද "          දිලූ ඇහුවේ මොහොතකටවත් ඇස් දෙක අරින්නේ නැතුව. හරියට ඇස් දෙක ඇරියොත් විසල් නැතිවෙයි කියලා බයෙන් වගේ.

"මේ ළඟ තියෙනවා මගේ යාලුවෙක්ගෙ බෝඩිමක් . එහෙ කවුරුවත් නෑ අපිට නිදහසේ ඉන්න පුළුවන්,"

"මොනවා.... අනේ මට බෑ අයියේ" එක සැරේම විසලවා අතඇරපු දිලුක්ෂි  හයියෙන් කිව්වා ,

විසල් වට පිට බැලුවේ ඒ කෑගහපු සද්දේ කාටවත් ඇහුනද කියලා බලන්න වගේ.

"ශ් ශ් ශ් කෑගහන්න එපා දිලූ "
"අනේ නෑ දිලූ ...... එහෙම දේකට නෙවෙයි ...ඔයාගේ හිත හැදෙනකන් කතා කරන්න තැනකුයි මට ඕන කලේ , මෙතෙන පෙන්නේ නැද්ද හැම එකාම කන්න වගේ අපි දිහා බලනවා, මේක ඔයාටමනේ හොඳ නැත්තේ, වැරදිලාවත් ඔයාගේ තාත්තා අඳුරන කෙනෙක් හිටියනම් එහෙම , විනාසයිනේ, මට මොනවා වුනත් ඔයාට අවැඩක් වෙන්න දෙන්න බෑනේ රත්තරං" විසල් කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

" අනේ අයියේ......ඉහි ඉහි ඉහි .........හ්හ්..." ඒ පාර දිලූ විසල්ගේ මූණ අතගගා අඬන්න පටන් ගත්තා

"අනේ .....ඇයි දිලූ අඬන්නේ ? ඇයි ඇයි මේ"

"අනේ  නෑ අයියේ... ඔයා මගේ ගැන හිතලා , මගේ හොඳට කියපුදේටත් මම ඔයාව සැක කළා , මට සමාවෙන්න විසල් අයියේ..මගේ අම්ම තාත්තාවත් මං ගැන මෙච්චර හිතන්නේ නෑ විසල් අයියේ , එයාලත් මේ වගේ  මං ගැන හිතනවානම් ......................"

.................................................................................................................................................

" මචං විසාලා මේ බලපන් "
"පළාත්සභා මන්ත්‍රී ගුරුවරිය දනගස්වයි...... වයඹ පළාත්සභා මන්ත්‍රී වරයෙක් තම දුවට විනය හේතු මත දඬුවම් කලබව කියන ගුරුවරියක් පාසලේදීම දණගස්වා........................................... හයවන පිටුවට " ..................කෝ බං හයවෙනි පිටුව .....අඩෝ ඕක දියන් බං  පත්තර කෑල්ල බඩ උඩ තියාගෙන මනෝ ගහන්නේ නැතුව. "
"මොකද මේ......"

"මචං අර කෑල්ල"

"මොන"

"ඇයි බං මං අර ෆොටෝඑක පෙන්නුවේ"

"ඉතිං"

"ඒකි ගානට හරවගත්තා, දැන් ඉතිං කොහේ හරි ඉක්මනට ඇදලා වැඩේ ඉවරයක්‌ කරන්න ඕන,"

"අනේ මේ උඹ මගෙත් එක්ක මීටපස්සේ ඕවා කතා කරන්න එපා හරිද?" කේන්ති ගිය සුරංජිත් වේගෙන් අනිත් පැත්ත හැරෙද්දී ඇඳ චිරි චිරිස් ගෑවා

"හා හා ඇඳ ඇඳ, කැඩෙයි ඕක .........ඕකනේ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා"

"අනේ පල"

.................................................................................................................................


ක්රාස් ............

ත්‍රීවීල් රථයේ බ්රේක් පාරට "සිසිල ගෙස්ට්" මිදුලේ නිදාගෙන හිටපු බලු තඩියා ඔලුව උස්සලා කම්මැලි බැල්මක් දාලා ආපහු නිදාගත්තේ, මට ඕවා හොඳට පුරුදුයි කියන්නා වගේ,

ත්‍රීවීල් එකෙන් බැහැපු විසලුයි, දිලුක්ෂියි ගෙස්ට් හවුස් එක ඇතුලට යනකොට දිලුක්ෂි තදින්ම විසල්ගේ අත අල්ලාගෙන හිටියේ ඇත්තෙන්ම එයාට මේක නුහුරුම අත්දැකීමක් වුනු නිසා, ඒත් කියාගන්න බැරි මොකක්දෝ හැගීමක් හිතපුරා සක්මන් කරන වගත්, ඇඟ පුරාම හිරිගඩු පිපෙන්නා වගේ දැනෙන නිසා කාටවත් ඒ වෙනස දැනුනද බලන්න දිලුක්ෂි හොරෙන්ම වටපිට බැලුවා.

ගෙස්ට් හවුස් එකේ කවුන්ටරේ හිටපු වයසක තට්ටයා දිලුක්ෂි දිහාවේ කෑදර බැල්මක දාලා ,විසල් දිහාවට ඇහැක් ඉඟිමරනවා වගේ දිලුක්ෂි දැක්කත් ,ඒක එච්චර සැක කරන්න තරම් දෙයක් කියලා දිලුක්ෂිට ඒ වෙලාවේ හිතුනේ නැත්තේ , මේ ඉන්න මිනිස්සුන්ගෙන් වහං වෙලා ,විසල්ගේ පපුවේ ඔලුව තියාගෙන තමුන්ගේ හැම දුකක්ම තනිකමක්ම කියලා විසල්ගේ ආදර බර වචන වලින් හිත සනසාගන්න තියෙන වුවමනාව නිසා.

"එක්දාස් එකසිය පනහයි සර් , ත්‍රීවීල් එකටත් එකසිය පනහක් දෙන්න ඕනෙනේ සර්, සර්ට ඉතිං සිස්ටම් එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ, කවුන්ටරේ හිටපු තට්ටයා, එහෙම කියද්දී විසල් ඉක්මනට දිලුක්ෂි දිහා බැලුවේ ඒ ටික දිලුක්ෂිට ඇහුනද බලන්න වගේ,
" කට කට...."

"සොරි සර් .... අයිඩෙන්ටි දෙක දෙනවද සර් "

"ආ .............."

" අමන්දා දිලුක්ෂි සමරනායක ....උපන් දිනේ....සර් මිස්ට දහ අටට.............."

"හරි හරි තමුසේ කටවහගෙන මේක තියාගන්න්වකෝ, මොනා හරි අවුලක් වුනොත් මම බලාගන්නම්"
විසල් දීපු අමතර රුපියල් පන්සීය නිසා තට්ටයගේ කට එකපාරටම වැහුනා.

"ඇයි විසල් අයියේ "

"නෑ මේ මිනිහා අහනවා රෑටත් ඉන්නවද කියලා "

'ඉතිං'

"ඉතිං මම කිව්වා ඔයා ඉන්නම ඕනේ කිව්වොත් ඉන්නවා කියලා"

"චික්.... හිතේ ඇති ... නෝටියා.........."

දිලූ විසල්ගේ අත කෙනිත්තුවේ බොරු තරහක් මූනට මවාගෙන.

කාමරේ දොර ඇරගත්තු විසල් , දිලූව කාමරේ ඇතුලට ඇදගත්තා ,

කාමරේ ඇතුලේ තිබුණු අපිරිසිදු අඳුරු පෙනුමයි, අමිහිරි ගඳයි දිලුගේ මූන අකුලවන්න සමත් වුනා. නහය අකුලාගෙන දිලූ විසල් දිහා බැලුවේ නොරිස්සුමෙන් වගේ,

ඒත් ඒ ගැන තැකීමක් නොකරපු විසල් ඇඳේ වාඩිවෙලා දිලූව  තමුන්ගේ ළඟට ඇදලා ගත්තේ නොඉවසිල්ලෙන් ,

"අනේ ....අනේ....අයියේ............."
ඒත් දිලුට කතා කරන්න විසල් ඉඩ දුන්නේ නෑ, විසල්ගේ රැවුල් කොට මූන පුරා ඇනෙනකොට ,දිලූගේ හිත ආයෙමත් අර නුහුරු හැගීමෙන් පිරෙන්නට වුනා, ඇඟපුරා අයෙමත් හිරිගඩු පිපෙන්න පටන්ගත්තා, මේකට විරුද්ධවෙන්න ඕන වුනත් මේ මිහිර එපා කියන්න තරම් ශක්තියක් දිලුට තිබුනේ නෑ, කීප සැරයක්ම විසල්ව තල්ලු කරන්න උත්සාහ කරත් හැඩිදැඩි , පළපුරුදු විසල්ට අවනත වෙලා, ඒ කවදාවත් නොවිඳපු මිහිර වීඳිනවා  හැරෙන්න වෙන කරන්න යමක් දිලූට හිතා ගන්න බැරි වුනා. ඒ අතරේ සීලිමේ එල්ලිලා තියෙන විදුලි පංකාව බොඳ වෙවී වේගෙන් කැරකෙනවා දිලූ දැක්කා.

........................................................................................................

"මචං විසල් මම අද දවසම උඹට කෝල් කරන්න ට්‍රයි කරනවා ෆෝන් එක ඕෆ්නේ මචං "

" ආ මචං ඒ නම්බර් එක මම වෙනස් කළා , උඹට කියන්න බැරිවුනා, මෙන්න අලුත් එක , ඔන්න සේව් කරගනිං මම මිස්කෝල් එකක් ගහන්නම්."

"මොකද හදිසියේම නම්බර් එක වෙනස් කරේ"

"අරකිගෙන් මල වදේ බං"

"කාගෙන්ද බං"

"අර ඉස්කෝලේ කෑල්ලගෙන්"

"කවුද, අර උඹ පහුගිය ටිකේම අතන මෙතන මාස ගානක් චාටර් කරපු බඩුවද, දිලුක්ෂි ?"

"හ්ම්..... ඒකිට ප්‍රශ්නයක්ලු , හම්බ වෙන්න ඕනෙලු, අරකයි මේකයි දන්නේ නැද්ද?"

'ඉතිං උඹ හිතන්නේ සිම් එක විසි කරාම ඕන වුනොත් උන්ට උඹව හොයා ගන්න බෑ කියලද?"

"බෑ තමයි , ඒ සිම් එක මගේ නෙවෙයි, අපේ ඩිලිවරියේ වැඩකරපු ජෙගනාදන්ගේ නමට තියෙන්නේ, ඌ ගියමාසේ ඉතාලි යනකොට මම උගෙන් ගත්ත එකක්, ඇඩ්රස් තියෙන්නේ හැටන් එකක් "

"උඹ එල්ලුම් ගස් යවන්න ඕන එකෙක් බං, ඉතිං දැන් මොකද කරන්නේ ?"

"ඉතිං දැන් ඒක ඇති බං, මොකද මම ඕකුන්ව බඳින්නද ? පව්ඩර් බබාලා"

"ඒ වුනාට උඹ පහුගිය ටිකේ වහ වැටිලා හිටියේ "

"අතිරහ වුනත් හැමදාම කනකොට එපාවෙනවනේ මචං, ඒක වගේද මේක ..ඉඳා බලහං"

"අප්පට සිරි කවුද බං මේ"

"හොඳයිද, හෙන ගේමක් දීලා සෙට් කර ගත්තේ , ප්‍රයිවට් බෑන්ක් එකක ,ලඟදි ආපු කෑල්ලක්"

" හ්ම් හ්ම් ... හොඳා හොඳා, කරන කලට පව් මීරිය මීසේ කියලා විතරක් මතක තියාගනින් මචෝ .කෝ පත්තරේ"

"දන්නෑ මම තාම බැලුවේ නෑ."

.............. පත්තරේ අතට ගත්තු සුරංජිත් ඇඳේ විට්ටමට හේත්තු වෙලා පත්තරේ කියවන්න ගත්තේ ඒක පුරුද්දට වගේ හැමදාම කරන නිසා. චික් චික් ගැන සද්දෙට ඇඳේ ඉඳන්ම උඩබලපු සුරංජිත් දැක්කේ හරියටම තමුන්ගේ මූණ කෙලිම බාල්කෙ ඉන්න තඩි හූනෙක්, සූනන් ඇඟ වැටීමේ පලාපල කියලා ලිතේ තියෙනවා මතක් වුනත් පලාපලේ මොකක් වුනත් මේකා ඇඟට හුලිජ්ජ පාරක් වත් දායිදෝ කියන සැකේට සුරංජිත් ඇඳේ අනිත් පැත්තට ඔලුව දාගෙන ආපහු පත්තරේ කියවන්න පටන් ගත්තා.

" ඒයි ඒයි ......විසලයෝ විසලයෝ ..මෙහෙ වරෙන්කො"

"මොකද බං"

" මේ බලපන් "

"මොකක්ද?"

"මේ පලවෙනි පිටුවෙම"

 පත්තරේ අතට ගත්ත විසල් ටික වෙලාවක් සුරංජිත් පෙන්නපු නිව්ස් එක දිහා බලාගෙන හිටියා,
"පිස්සු කෙල්ලෝ "  කියපූ විසල් පත්තරේ ඇඳට  විසිකරලා තුවාය කරට දාගෙන කිසිම හැගීමක්  නැතුව නාන කාමරේ දිහාවට යනවා සුරංජිත් පුදුමයෙන් බලාගෙන හිටියා.

//" පාසල් ශිෂ්‍යාව නිවසේ සඳළුතලයෙන් බිමට පනී.......................... ප්‍රසිද්ධ බාලිකා විදුහලක එකොළොස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අමන්දා දිලුක්ෂි සමරනායක (16) ශිෂ්‍යාව තම නිවසේ තුන්වන මහලේ සඳළුතලයෙන් බිමට පැනසියදිවි හානිකරගෙන ඇත. පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ මිය යන විට ඇය තුන් මස් ගැබිනියක්.............................හයවන පිටුවට."//

Wednesday, June 12, 2013

වැටහීම


" සර් , ඉතුරු සල්ලි "

"තමුසේ තියාගන්නවා "

" පිස්සු හැදෙයි, මැස්සො මැරෙයි............."

හැමදාම බෝඩින් වෙලා ඉන්න ගෙදරින් කෑම ගෙන මම  ඉඳලා හිටලා ඉස්සරහා හෝටලෙන් කෑම එකක්ගත්තම ඉතුරු වෙන රුපියල් විස්ස හරි තිහ හරි ජිනසේනගේ අතට දුන්නම මිනිහා හැමදාම කියන කතාව අදත් කිව්වා.

"හඃ හඃ පිස්සු හැදෙයි මැස්සො මැරෙයි " මම ඒ වචන ටික දෙතුන් පාරක්  කිව්වේ ඇත්තටම අමුතු රසයක් ඒ වචන ටිකේ ඒ වෙලාවේ දැනුනු නිසා.

"ජයන්ත සර් .... ජයන්ත සර්....  ජයන්ත සර්..........."  කාලා මේසෙටම ඔලුව තියාගෙන පොඩි ඇලට් එකක් දාගෙන් හිටපු මම ජිනසේනගේ හඬින් උඩ ගිහින් ඇහැරුනා, මට එක සැරේම බැලුනේ ඔෆිස් බිත්තියේ දොරට උඩින් ගහලා තියෙන කළු ගැහිච්ච බිත්ති ඔරලෝසුව දිහා,
ශික් අම්මපා ලන්ච් ටයිම් ඉවර වෙන්න තව විනාඩි හතරක් තියෙනවා

"මොකද ජිනයෝ බෙරිහන් දෙන්නේ " ආපු කේන්තියට මේකව කන්න හිතෙනවා අම්මපා

"අන්න සී.ඊ.ඕ මහත්තයා කතා කරනවා. "

" හුටා ඒ මොකද බං"

" මං ඉතිං එකනම් ඇහුවේ නෑ සර්, මොකටද නිකං අපරාදේ ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තාට බැනුම් අස්සන්නේ සී.ඊ.ඕ කාරයාගෙන් ...නැහැ මේ සී.ඊ.ඕ මහත්තයගෙන් " වචනේ වැරදිච්ච ජිනසේන මගේ දිහාට බයාදු බැල්මක දාලා එතනින් සුටුස්‌ ගාලා මාරු වුනා.

"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි " මට ඉබේටම කියවුනා, ශික් මොන ජරා වචනයක්ද මේ ඉලව්ව පුරුද්දට යයිද මන්දා, ඒත් එක අමතක කරන්න හදනකොට එක ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා. සී.ඊ.ඕ ගේ කාමරේ ලඟට යනකම්ම මට ඒක කියවෙන්න එනවා
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි,පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි......................" "

" සර්"

" ආ.... මිස්ට ජයන්ත ........ මොකක්ද මිස්ට ජයන්ත හැමදාම මොකක් හරි මිස්ටේක් එකක්නේ , ඔයාලගේ කොලිෆිකේෂන් ස්ර්ටිෆිකෙට් වල විතරයිනේ තියෙන්නේ, මතක තියාගන්න එකම වැඩේ දෙපාර දෙපාර කරන්න මේක ආණ්ඩුවේ කන්තෝරුවක් නෙවෙයි හරිද,
මෙන්න මේක කරෙක්ට් කරලා ගේන්න ....
එව්රි තින්ග් අයි හෑව් මාක්ඩ්  ඉන් රෙඩ් කලර් , ශුඩ් බී කරෙක්ටඩ්"

"ඕකේ සර්  "

සී.ඊ.ඕ කාරයා මේසෙට විසිකරපු ෆයිල් එක මම අහුලගත්තේ , ෂෙවානි මිස්ගෙ කින්ඩි හිනාව දිහා හොරෙන් බලන ගමන්, පට්ට පඳුරාවියෝ එනවා මෙතන විරිත්තන්න, හිතන් ඉන්නේ සී.ඊ.ඕ කාරයට ඇල්ලුවම හෙන කෑල්ල කියලා. ඕ ලෙවල් පාස් නෑ . දන්නේ එක එකාට කපන්නයි, ලොක්කොන්ට රෙද්ද උස්සන්නයි විතරයි.

මම දොර වහගෙන එලියට එනකොට මට ඇහුනා දෙන්නා මොනවද කතාවෙනවා, මම යන්නේ නැතුව කන්දීගෙන හිටියේ ඒ මොකක්ද කියලා අහගන්න.

" දැට් ඉස් වෙරි තෘ වට් මිනිස්ටර් එස්.බී. සෙඩ් "

" මොකක්ද සර් "

"ඇයි කිව්වේ අර  බාහිර උපාධි කාරයෝ නම් මහා කාලකන්නි ටිකක් කියලා"

"එක්සෑක්ලි "

" අපේ චෙයාමන්ටත් පිස්සුනේ.. හාල්පාරුවෝ වැඩට ගන්නවා අපි එපැයි දුක විඳින්න"

 අනේ යකෝ ...... මට ඉබේටම දොරේ ගහලා තියෙන බෝඩ් එක දිහා බැලුනා, චීෆ් එක්සෙකටිවේ ඔෆිස හඃ

පිස්සු හැදෙයි මැස්සො මැරෙයි.

නොදකින් මේක ආයෙත් කියවුනානේ, ජිනදාසයා මරන්න ඕන.

"මොකද ජයේ ...." අප්පට බොල විනීතා සීන් එක බලන් ඉඳලද? දැන් ඉඳලා වැඩක් නෑ, විනීතා කියන්නේ මේ කොම්පැනියට මගෙත් එක්කම ආපු අනිත් ගෑනු ළමයා, එයත් බාහිර උපාධිම තමයි,  මගේ සෙක්ෂන් එකේම තමයි වැඩ කලේ.
 කොම්පැනියට ආපු දවසේ ඉඳලා මම විනීතා ඉදිරියේ ඕනෑවටත් වඩා විනීත වෙන්න හැදුවා වගේ කියලා මට හිතෙනවා,

"මොකද ලොක්කා බැන්නද?"

"හ්ම්"

" ඕවා ගණන් ගන්න එපා ජයේ, අපි මේකට පොෂ් මදි ඒත් අමාරුවෙන් හම්බ වුනු රස්සාව දාලා ගිහින් ගෙදර තියෙන දාහක් ප්‍රශ්න විසඳන්නේ කොහොමද? "


මම විනීතාගේ මූණ දිහා බැලුවා, පව් කෙල්ල සිවිලිම දිහා බලාගෙන ඇස්දෙකේ කඳුළු පුරවාගෙන

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "

"විනීතා.. විනීතා ... මොකද මේ" විනීතා අන්තිම ටික කියපු හැටියට මට පුදුමත් හිතුනා, එයා ඒක කිව්වේ කේන්තියෙන් වගේ. පව් කෙල්ලට තියෙන ස්ට්‍රෙස්  එකට හිතට අමාරු ඇති.

මං බස් එකට නගින්න හෝල්ට් එකේ ඉන්නකම් මගේ හිතේ හොල්මන් කලේ විනීතා, ඇත්තටම විනීතාගේ ඇඳුම ගත්තත්, කොන්ඩේ ගත්තත්, ඇවිදින විදිහ ගත්තත්,  මට නම්  ඔෆිස් එකේ වෙන එක කෙල්ලෙක් වත් එච්චර හැඩට පෙන්නේ නෑ,

ඒකට ෂෙවානි කොයි වෙලෙත් සී.ඊ.ඕ නාකියගේ කාමරේට වෙලා , මූ ෂෙවානිව අදින විදිහට ඒකි කවදාහරි කසාදයක් බඳින්නේ කොහොමද? අනේ උන් බඳින කසාද?
"පිස්සු හැදෙයි මැස්සෝ මැරෙයි ...."ශික් ඒක හයියෙන් කියවුනාද මන්දා, බස් හෝල්ට් එකේ හිටපු එවුන් ඔක්කොම මගේ දිහා හැරිලා බැලුවා , වස නෝන්ඩිය .

අද නම් දවසම විනීතා මතක නොවෙන තප්පරයක් නෑ, විනීතා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන ""ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා " කියාපු හැටි මට මැවිලා පේන්න වුනා. ඇත්තටම මට බැනපු එකට විනීතා ඇඩුවේ මොකද?

ඒ කියන්නේ විනීතාගේ හිතෙත් මගේ ගැන ආදරයක් තියෙනවා, මම අහන්න බයේ හිටියේ අපරාදේ,

"ජයේ බලන්නකෝ අනේ පොඩි පුතා වැටෙයි, අන්න අයියත් එක්ක රැල්ල පාගනවා හපනා වගේ",
"අනේ ජයේ බලන්න පොඩි පුතාගේ පැම්පස් ටික කාර් එකේද කියලා,"

"නෑ මං ගෙනාව ,මෙතන බලන්න, .."
අපි දෙන්නා මුහුදු වෙරල අයිනට වෙලා පුතාල දෙන්න සෙල්ලම් කරන දිහා බලාගෙන හිටියා, විනීතාගේ  දගකාර කෙහෙරැලි මගේ මුහුණේ පැටලුනේ විනීතා මගේ වම් උරයට වාරුවෙලා මගේ මූණ දිහා බලාගෙන් ඉද්දි, මම හෙමින් හෙමින් ඇය දෙසට පහත් වුනේ ඒ සුන්දර දෙතොල් වල පහස ලබන අටියෙනි....

"පාදුක්ක....... පාදුක්ක.. ඔට්ටාව..හෝමා.... පාදුක්කේ .......... බස් එකේ කොන්දාගේ කෑ ගැහිල්ලට උඩ ගිය මම කෑගැහිල්ල ඉවරවෙන්නත් කලින්ම බස් එක ඇතුලට පැන ගත්තා. අපිට හැබෑ ලෝකේ ලඟාකරගන්න බැරි දේවල් කල්පනා ලෝකෙදි ලබාගන්නවත් මුන් දෙන්නේ නැති හැටි අම්මපා .
ඇත්තටම එහෙම වෙන දවස තව කොච්චර දුරයිද?

බස් එකට නැග්ගත් විනීතා.....
 හම්මේ බස් එකේ සෙට් එක දැම්මේ නැතැයි කන පැලෙන්න,

....හිච්චි නගේ බාලේ පෙම ඩිශ්ශි ඩිඩිං.......
....ලපටි සිතින් මට මතකයි ඩිශ්ශි ඩිඩිං.......

....හිතට හොරා මල් පිපුනා ඩිශ්ශි ඩිඩිං.........
....අද මොකදෝ මං දුටුවම ඩිශ්ශි ඩිඩිං.........

මේ  ගායකයා සින්දුව කිව්වේ කම්මලකද මන්දා....

බස්  එකෙන් බැහැලා ටිකදුරක් එනකොටත් කන්දෙක ඇතුලේ කොත්තු ගහනවා වගේ. අම්මපා ඔක්ටෝ පෑඩ් කියන මගුල හොයා ගත්ත එකා අල්ලලා ගහන්න ඕන දඬුකඳේ.

බෝඩිමට ඇතුල්වෙනකොට බෝඩිමේ අයියා මූණ නරක් කරගෙන දොර ළඟ 
" මල්ලි උදේ ඉඳන්ම කාමරේ ඇතුලේ රේඩියෝ එක වැඩනේ, දොරත් ලොක් කරලා, ඕෆ් කරන්න විදිහකුත් නෑ, ඔයාලා ලයිට් බිලට සල්ලි දෙන්නෙත් නෑනේ, දැන් බිලුත් වැඩියි,"
මේකා කියව කියව පස්සෙන් එනවා, කාමරේ දොර ඇරපු මම ඇතුලට ගිහින් දඩස් ගාලා දොරවහලා දැම්මා.

"ඔව් ඉතිං කියනකොට බොහොම අමාරුයි, කොරන්න හොඳයි, බෝඩින් පීස්‌ වත් වෙලාවට දෙනවනම් තව කොහෙද" තවත් මොනවද කියකිය මිනිහා ඈතට යනවා මම අහගෙන් උන්නේ ඇඳුම පිටින්ම ඇඳේ වැටිලා.
හුටා යකෝ රේඩියෝ එක විතරක් නෙවෙයි ෆෑන් එකත් දාලානේ ගිහින් තියෙන්නේ, දැක්කනම් මාව මරාගෙන කයි.

" පිස්සු හැදෙයි මැස්සො මැරෙයි"මේ කෙහෙල් මල් වාක්කිය නොකියවෙන වෙලාවක් නෑනේ අම්මපා.

පෙනුනු සුව දසුන් දස අත මිලිනවී ගියා.....
දකිනු රිසිනවී හිතකට දෙවනවද ඔයා.....
යහන මත වදී හිරු දෙවි දෑස පිය පියා  ...
ඔබ  තාම නෑ දයාවියේ මට ආදරෙයි කියා.

 රේඩියෝ එකේ ඒ සින්දුව යද්දී මට ආයෙත් විනීතව මතක වුනා, ඇත්තටම විනීතා ඔයත් මටතාම ආදරෙයි කිව්වේ නෑනේ, ඔයා මට ආදරෙයි නේද? ඒක නේද ඔයාගේ ඇස්වලට කඳුළු ආවේ මට ලොක්ක බනිද්දි.


 මාව ඇහැරුනේ ෆෝන් එක රිං වෙනවා ඇහිලා. අම්මට සිරි තාම ඔෆිස් ඇඳුම පිටින් ..ඒ මදිවට රේඩියෝ එකයි ,ෆෑන් එකයි තාම දාලා. අප්පට බොල සුදාරයා ,
" හලෝ මචං "
"උඹලටත් අපිව මතක වෙලා ඈ"

"මේ ජයා උඹ මොකක්ද කරන්නේ හෙට "

"මොනා කරන්නද බං, ගෙදර යනවා ලෝන්ග් වීකෙන්ඩ් නේ"

"මේ පොඩි ගමනක් තියෙනවා යමුද"

"කොහෙද"

"හුන්නස් ෆෝල්ස් "

"ඒක ෆයිව් ස්ටාර් හොටෙල් එකක් නේද මේ නුවර පැත්තේ"

" ඔව් යමුද"

"තොට පිස්සුද උලමෝ ඕවගේ යන්න සල්ලි කොහේද බොල , නයිටකටම රුපියල් විසිදාස් ගානක්ලු  මාස එකහමාරක විතර පඩිය."

"උඹට කවුද සල්ලි දෙන්න කිව්වේ"

" ඉතිං  උඹට කොහෙන්ද එච්චර සල්ලි"

" නෑ මචං මට පොඩි පිනා චාන්ස් එකක් වැදුනා, අම්මයි අප්පච්චියි දඹදිව ගිය ට්‍රැවල් ඒජන්සියේ ඒ ටිකට් වලට ඇදපු දිනුමක්, අපේ අම්මටයි අප්පච්චිටයි ඇදිලා, එයාලා ඕවයේ යන්නේ නෑ, මම ඒක ඉල්ලගත්තා, දෙන්නෙකුට නයිට් දෙකක්, හෙට උදේ දහය වෙද්දී මම උඹලගේ බෝඩිම ළඟ ලැස්ති වෙලා හිටු."

එහෙම කියපු සුදාරයා ෆෝන් එක කට් කලේ මම එනවදවත් අහන්නේ නැතුව.

පඩි හම්බවෙලා නැතුව ගෙදර ගිහින් වැඩකුත් නෑනේ, යනවා සුදාරයා එක්ක, නැත්තන් අපි කවදා යන්නද ඕවයේ,
 ................හුන්නස් ෆෝල්ස් ........... "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ශික් හෙටවත් ඕක නොකියා ඉන්න ඕන ,ඇත්තටම මේ ජිනසේනයා කරපු මගුලක්.

" සුදාරයෝ ඉතිං උඹට ජීවන්ති එක්ක යන්න තිබුනනේ, අපි මේ කොල්ලෝ දෙන්නෙක් ගියාම දකින එවුන් වෙන මුකුත් හිතයිද දන්නේ නෑ,"

" ඉතිං උඹට බැරි නම් බැහැපන්, ජීවන්තිත් එක්ක ඔරොප්පුවටමයි මම මේක යන්නේ, ඒකි බෑ කිව්වනේ බඳින්න කලින් එහෙම ගමන් යන්න තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වුනත්,"

" අන්න කෙල්ලෝ , විනීතත් එයාගේ ආත්ම ගවුරවේ ගැන හිතන්නේ ඔහොමයි, එහෙම තමයි කෙල්ලෝ ඉන්න ඕන "

" ඈ කව්ද බං විනීතා, උඹ හොරෙන්ම ගේමට බැහැලා නේ"

"අනේ නෑ බං තාම එහෙම එකක් නෑ, දන්නැද්ද ඉතිං ලාවට ලාවට."

"ජීවන්තිට බම්බු ගහගන්න කියලා මට වෙන බඩුවක් උස්සන් යන්න තිබුනා , ඒත් පස්සේ මට ඒකි ගැන දුක හිතුනා බං, එකයි උඹට කතා කරේ"

...................................................................................................................................................................

"අම්මට සිරි සුදාරයෝ මේක සාගරයක්නේ'

"ඔව් බං  කාමර දෙසිය ගානක්ලු"

...........................................................................

"කාලෙකට පස්සේ ෆුල් රිලැක්ස් එකේ ගෙවිච්ච වීකෙන්ඩ් එකක්, තැන්ක්ස් මචං"
 "බුරිය  උල්වෙලා යකෝ කාලම. ඒ මදිවට තාම වෙරිවගේ. මචං උඹට ඩ්‍රයිව් කරන්න ෂුවර් නේද?"

 "ජයන්ත මේ..... උඹට ෂුවර් නැත්තම් බස් එකේ වරෙන් "

'හරි බං හරි විහිළුවක් කලේ"

" ඒයි සුදා "

"ඇයි"

"අපේ සී.ඊ.ඕ කාරයාගේ කාර් එක"

"කෝ"

"අර තියෙන්නේ උඹේ එකට දෙකක් මෙහායින් අයිනේම"

"ඉතිං උන්ට මෙහෙ එන්න තහනංද?

"නෑ බං උගේ වයිෆ් ඉන්නේ ඔස්ට්‍රලියාවේ , ෂුවර් එකටම මූ ෂෙවානිව උස්සලා, නාකි මනමාලයා"

"කව්ද ෂෙවානි "

"සී.ඊ.ඕ ගේ සෙකට්‍රි"

"ඕව මොනාද බං සෙකට්‍රිලා ඉන්නේ ඉතිං ඕවට තමයි"

"අන්න බුවා එනවා"

"අර කෑල්ලද ෂෙවානි."

"වෙන්න ඕන කොහෙද අඳුරගන්න බෑ ජර්සි තඩියක් ඇඳලා තොප්පියකුත් දාලනේ"

"අන්න මිනිහා උඹව දැකලා ගැස්සුනා"

" මිස්ටර් ජයන්ත ,"

"ස් ..ස්...සස්... සස් ...සස් ....සර්"

"පොඩි ෆන් එකක් ගන්න අවා ජයන්ත, මේවා කාටවත් කියන්න ඕන නෑ ඉතිං,  මං ජයන්තගේ ඉන්ක්රිමන්ට් එකටත් චෙයාමන් එක්ක කතා කරලා තියෙන්නේ, මම මේ සතියෙම ඒක කරලා දෙන්නම්කො........................

තව මොන මොනවද මිනිහා කිවත් මට කිසිදෙයක් ඇහුනෙවත් මතක හිටියේවත් නෑ...

දෙයියනේ මම මේ දකින්නේ හීනයක්ද .............විනීතා ඔයා.
දෙයියනේ  විනීතා ..............

විනීතා අත් දෙක පටලවාගෙන් කිසිම හැගීමක් නැති දෑසින් අහස දිහා බලාගෙන ඉන්නවා හරියට මාව අඳුනන්නේ නෑ වගේ.

"ඉතිං මෙතන මොනවා සිද්ධ වුනත් ගෙවල් වල ඉන්න එවුන් ගැන හිතලා ඉවසන්න වෙනවා  ...ඔව් ඉවසන්න වෙනවා "විනීතා ගේ කටහඬයි . "පිස්සු හැදෙයි මැස්සො මැරෙයි" ජිනසේනගේ කටහඬයි එකට මිශ්‍ර වෙලා මගේ කන්දෙක ඇතුලේ දෝංකාර දෙන්න පටන්ගත්තා.

Monday, June 10, 2013

කාලගුණේ

ඉල්ලමි සමාව ජාතියෙන් ...........
කිව්වාට කුණාටුවට මහසෙන් ...............
නොව මියදුනාට
සියගණන් .................................