Thursday, December 26, 2013

ආදරයේ අග්‍රඵලය

all pics from google

"ලොකු අම්මී ....ලොකු අම්මී ....දොර අරින්නකෝ හලෝ.... "

ලොකු නංගීගේ දියණියගේ හඬින් මා අවදි විය... අඃ හත හමාරත් පහුවෙලා .......නිවාඩු දවසනේ ..

"මොකද බට්ටි ..."

"දොර අරින්නකෝ...ඉතින් ......

මා දොර විවර කල සැනින් ..මගේ බෙල්ල බදාගත් කුඩා දැරිවිය ......"උම්මා ..හැපී බර්ත් ඩේ ලොකු අම්මී ...මේක ඔයාට .....මමයි හැදුවේ...ඉක්මනට ලැස්ති වෙන්න ,අම්මා එනවා කිව්වා ලොකු අම්මිව පහලට එක්කන යන්න කිරිබත් කපන්න ..."
කියා නැවත දිව ගියාය...තරප්පු පෙල දිගේ ය පහලට දිව යන හඬ මට තවමත් ඇසෙ .....'

මගේ සිත අතීතයට දිව ගියේ නිරායාසයෙනි.

*******

"නදී ...නදී......නදී.... මේ බලනවකො හලෝ.....මොකද මේ...."

සුමේධ මගේ ඇඟේ ඇතිල්ලෙමින් ...වැලමිටෙන් මට කිහිප වාරයක් ඇන්නේ මම කතා බහක් නැතිව සිටි නිසාම විය යුතුය. කතා කලයුතු වුවත් ..ඔහුගේ ප්‍රමාදයෙන් මගේ සිත ඒ වනවිට හොඳටම රිදී තිබුණි..

"නිකං ඉන්න සුමේධ........" මම හැඬුම් අතරින්ම පැවසුවෙමි.

"නිකන් ඉන්න ...මෙතන .........කමක් නැද්ද....?"

ඒ වදනට නම් මට සිනායන්නට ආවත් පෙර පැවති නුරුස්නා හැගීමෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවීය.

"ඔයාට හැදේම විහිළු.....බලන්න මම කොච්චර වෙලාද කියලා ඇවිත් .දැන් පැයකටත් වැඩියි....මිනිස්සු බලබල යනවා .....එහෙන් රස්තියාදු කාරයෝ වටේ කැරකෙනවා........මොකක්ද අනේ......තව ටිකක් වෙලා ගියානම් මං යනවා යන්න ..."

"ඔයා කීයටවත් මං එනකං යන්නේ නෑ කියලා මං දන්නවනේ පැටියෝ...."

"එක තමයි වැරැද්ද...? ඇත්තටම ඔයාට මගේ ගැන ඔයිට වඩා ටිකක වගකීමෙන් හිතන්න බැරිද සුමේධ..?"

"ඔන්න ඔන්න ඔන්න කෙල්ල සීරියස් වෙන්න හදනවා........මෙන්න මෙහාට එන්න ....."

"ඊයි ...මොකද අනේ වෙලා තියෙන්නේ ...මිනිස්සුත් බලාගෙන පිස්සුද ඔයාට ...."සුමේධ මාව තුරුළු කරන් මගේ කම්මුල මතට හාදුවක් දෙන්නට උත්සාහ කලෙන්...මට සියුම් ලැජ්ජාවක් ඇතිවිය ......."අඳුනන අයත් ඉන්නවාද මන්දා...?"

"ඉතින් අපි කාටවත් පෙන්නේ නැති තැනකට යමු........"

"කොහෙටද...

"අනේ අදනම් බා කියන්න එපා නදී , නිලන්ත මධු එක්ක ඇවිත් ඇති....නර්මදා බීච් හොටෙල් එකට ..."

"හොටෙල් එකට ....අනේ සුමේධ "

"අදට ඔන්න ඔහේ ගිහින් එමු.....අනේ යමු නදී...නැත්තන් අදත් අරුන් මාව බයිට් එකට ගනියි.

"අනේ සුමේධ ...අපි පාක් එකට සුමේධ යමු ?"

"පාක් එකට ...?"

"ඔව් ..ඇයි ......?"

"ඒ කියන්නේ ඔයාට බෑ ....හරි ......යමුකෝ ..."

******

"මොකද සුමේධ බුම්මගෙන ඉන්නේ .....හරිනම් මමයි කතා නොකර ඉන්න ඕනේ ..."

"ඉතින් කතා නොකර ඉන්නවා මට මොකද ......."

"සුමේධ........"............................. මාගේ අත ගසා දැමූ ඔහු බංකුවේ එහා කෙලවරදෙසට තල්ලුවිය.

" මොකක්ද සුමේධ ....පොඩ්ඩක් ලඟට එන්නකෝ......මොකද මේ බුම්මගෙන ....මම ඔයාට බැන්නේ නෑනේ පරක්කුවුනා කියලා"

එවර ඔහූ කට කොනකට නගාගත් අවඥාසහගත සිනාවක් සහිත බැල්මක් සමගින් මාදෙස බැලීය ...

"මෙතන ලඟට වෙලා ඉන්න බෑ ..ඔයා අඳුරන අය ඇතිනේ......අනික මිනිස්සුත් දකිනවනේ....හඃ .."

"ඉතිං අපි වැරදි දෙයක් කරන්නේ නෑනේ සුමේධ...."

"අනේ මේ නදී ...දැන් හිටියා ඇතිනම් යමු යන්න....'

"අයි අනේ මොකක්ද ඔයා කියන්නේ....දැන් මොකක්ද මං කරපුවරැද්ද?"

"වැරැද්ද...? මෙතන හිතේ හැටියට කතා කරන්න පුලුවන්ද නදී.... මිනිස්සු බලාගෙන.....අනික ඔයාට තමයි මම කොහේ හරි යන්න එන්න කිව්වම බැරි...."
ගිය බදාදා ට්‍රිප් එක යන කිව්වමත් බෑ... පෝය දවසේ සුමිතුයි නිශායි සුමිත්ලගේ ගෙදර ගිය දවසේ ආවෙත් නෑ ....."

"අනේ එහෙම ගෙදරින් එන්න දෙන්නේ නෑනේ සුමේධ ..."

"එහෙනම් නිශා ආවේ...මධු ආවේ .... ගෙදරට හැමවෙලේම ඇත්ත කියන්න ඕන නෑ නදී....'

"මටනම් බෑ සුමේධ ගෙදරට බොරු කියන්න ..අනික එදා වෙච්ච දේ ගැන නිශා දැන් ගොඩක් පසු තැවෙනවා ...."

"ඒ මොකටද......? කොහොමත් එයාලා මැරී කරන්න නේ ඉන්නේ... අනික  ආදරේ කියන්නේ ඔය ඔක්කොටම තමයි.......නැතුව මේ පාක් එකට වෙලා කුණු කුණු ගාන එකට විතරක් නෙවෙයි..."

මගේ ඇස් දෙකෙන් පලවූ විමතිය සුමේධ පැහැදිලිවම දැක ගන්නට ඇත.........

"සුමේධ ...........ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ආදරයක්ද...?"

"ඒ වගේ කියන්නේ මොකක්ද ...? ආදරේ කිව්වම ඒකට අරක් හොඳයි මේක නරකයි කියලා නෑ .....අපි දෙන්නා කවදා හරි මැරි කරන්න හිතාගෙනනේ ඉන්නේ..................?"

"ඉතිං ඒ ලස්සන දවසට ඉතුරු කරගන්නොන දේවල් ගන්න දැන්ම හදිසිවෙන්න ඕන නෑ නේද...?"

"ඔයාට කොච්චරවත් මාව විශ්වාස නෑ එකනේ හේතුව කෙලින්ම කියන්නකෝ ...අනේ මේ යමු යන්න "

"සුමේධ...."

"ඔයාට බැරිනම් ඉන්න මම යනවා ..."

******* 

එදයින් පසු නැවත සුමේධ මාවෙත් නොආවා පමණක් නොව මාගේ ඇමතුමකට පිළිතුරු දීමට තරම් වත් කාරුණික නොවූයේ මට සියල්ල එපා කරවමිනි.....දිවි තොර කරගැනීමට සිතා උඩු මහලෙන් බිමට පන්න මා නොමැරී බේරීමට තරම් අවාසනාවන්ත වූයේ මන්දැයි මට නොතේරේ...අද වනවිට මා සියල්ලන්ටම බරක් වෙමින් රෝද පුටුවකට වී සිටීමට සිදුවූයේ මන්ද....

මා ප්‍රිය කල ගීයක හඬ ඈතින් මෙන් ඇසෙයි ....













Wednesday, December 25, 2013

පික්පොකැට්


"විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද?  "

"ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .

වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,

"මං යනෝ..."

*******

"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "

එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......

"සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..........

ඒ ගමන් දැම්ම සිංදුවක් ,කොහොමත් උඹලට නොකිව්වට පාරට  බැස්ස වෙලේ ඉඳන් මල අතේ අරන් තමයි අපි යන්නේ...අවුරුදු ගානක් තිස්ස්සේ බස් එකට නැග්ග හෝල්ට් එක ළඟ අලුතෙන් දාපු ලොතරැයි කූඩුවේ  මේ කන්කරච්චලේට හුරුවෙන්නනම් මට කොහොමත් බැරිවුනා ...

"උදේ පාන්දර හිනාවෙලා එන්න මහත්තයා එන්න නෝනා ,කෝටි තුනක් ඇදුනෝත් හැමදාම හිනාවෙලා තමයි....එන්න එන්න අද අදිනවා අද අදිනවා...."

මූ ඒ ගමන මටද කියන්නේ ,කිව්වත් වගේ ඇදුනොත් එහෙම ගොඩම නේද...? ටිකට් එකක් ගමුද ...? එක්කෝ ඕන නෑ.... ඕව ඇදෙන්වනම් බැරියැ.... ...

"බස් සුමිත් ගේ සින්දු නැති බස් එකකට ගොඩවෙන්න ලැබේවා කියා හිතාගෙන මම ආපහු පාර දිහා බැලුවා ...."

*******

"නැග්ග අය ටිකට් ගන්න ....." කොන්දොස්තර කොළුවා කියනකොට මට හැමදාම වගේ අදත් හිනායන්න ආවා ...

සල්ලි දීලා ටිකට් එක අතට ගත්ත මම සෙනග අස්සෙන් තෙරපීගෙන ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙන්න උත්සාහ කලේ පුරුද්දට වගේ, නැත්තම් බහින්න ගියාම හතරවටෙම ඉන්න එවුන්ගේ ගෙරවිලි පිප්පිලි බලන්න එපැයි. හැමදාමත් සාඩින් පැක්කරලා වගේ තියෙන බස් එකේ  මේ ගමන දිනචරියාවේ අංගයක්.

"මොන ඉස්සරහට යෑමක්ද ..? කිටිකිටියේ හිරවුණු මිනිස්සු ගෑනු අතරේ මගේ ගමන නිකම්ම නැවතුනා...

" නිකමට වගේ පිටිපස්සේ පර්ස් එක තිබ්බ සාක්කුවට මගේ අත යැව්නා...

"හත්දෙයියනේ......"  මගේ කන්දෙකෙන් පටන් ගත්ත ගින්දර පිටවීම ඇඟ පුරාම පැතිරෙන්න තප්පරයක්වත් ගියේ නෑ... බඩ පපුව පිච්චිලා ගියේ ....ඊයේ පෙරේදා කාපුවත් එක්කමයි.....

"පර්ස් එක නෑ....." කරන කියන දේ හිතන්නත් කලින් මගේ ඇස් දෙකටම කඳුළු පිරුණා.....

*******

" ඉස්සරනම් රුපියල් පනස් දාහක් ගෙනියන්න බෑග් එකක් ඕන ... එකට දැන්...පන්දාහේ කොළ දහයයි , මේ බලන්න විනීතා.. පර්ස් එකේ දැම්මට දැනෙන්නේවත් නෑ...."

"අනේ මේ පර්ස් එකේ දාගෙන ගිහින් ඕක නැති කරගන්නේ නැතුව ආරක්ෂා ඇතුව අරන් යන්න අනේ .....මල්ලිගෙන් වැඳලා වගේ සල්ලිටික ඉල්ල ගත්තේ ...නැත්තං අපරාදේ පරම්පරාගානක් තිබ්බ රත්තරන් බඩුටික නිකං සින්නවෙලා යනවා "

"නෑ විනීතා පර්ස් එකේ තමයි දාගෙන යන්න ඕන එතකොට කවුරුවත් සැක හිතන්නේ නෑ. මොකද මේ පඩි දවසුත් නෙවෙයි නේ.....මේ කාලේ කාගේවත් පර්ස් වල සල්ලි නෑ කියලා පොකට් කාරයෝ දන්නවා .."
අපි ඕනවට වඩා පරිස්සම වෙන්න් ගියොත් තමයි පොකට් කාරයොත් සැක හිතන්නේ ...නෝමල් විදිහට හිටියම ඉවරයි "

"ඕන එකක් ..සල්ලි ටික පරිස්සම් කරන් ගිහින් මගේ බඩුටික බේරගෙන එන්න..."

රෑ තිස්සේ වෙච්ච කතාබහ මගේ මතකෙට ආවේ ක්ෂණයෙන් ......දැන් මම විනීතට මොකද කියන්නේ දෙයියනේ...කොහොමඩ් මේ ණය ගෙවන්නේ ..බඩුටික බේරාගන්නේ......

*******

"මොකක්ද මිනිහෝ වෙලාතියෙන්නේ ....තියෙන වලත්තකම ......තොපේ ගෑනු දෙන්නේ නෑ කියලා අපේ පුකවල් පලිද ......"

මගේ ඉස්සරහම වගේ හිටපු කොට සායක් ඇඳගත්ත වෙස්මූණ වගේ මූණ පුරාම ලාටු උලාගත්ත ගෑනියෙක් කාටද මහා හයියෙන් බනිනවා ඇහිලා මම ආයෙත් පියවි ලෝකෙට වැටුනා.....

"මහත්තයා මේ මොකද තොට ඇම්මද ...? හැඩි දැඩි රස්තියාදු කාර පෙනුමක් තියෙන බෙල්ලේ පච්චයක් ගහපු මිනිහෙක් මගේ ෂර්ට් කොලට් එකෙන් අල්ලගත්තම තමයි මට තේරුනේ මේ බනින්නේ මටයි කියලා ...

"අනේ මං මුකුත් කරේ නෑ......"

'මුකුත් කරේ නෑ ...? මමත් බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් උඹ ඇඹරි ඇඹරි ඉන්නවා ..පරයා දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න ......" ඉහලට ගත්ත ඒ මිනිහගේ අත මගේ මූණ හරහා පත්වුණේ මට හිතන්න වෙලාවක් තියන්නේ වත් නැතුව ..

තරු විසිවෙන්නාවගේ දැනුණු මට ටික වෙලාවක් යනකන් කතා කරගන්න බැරුව හිටියේ .....

"හොඳ වැඩේ හම්පඩයට ...අනේ තැනක් යූ මල්ලි....මෙහෙම එවුන් එල්ලන්න ඕන ...ඒ ගමන අර ගෑණු මනුස්සයාගේ කටහඬ ආයෙත් ඇහෙද්දී ...

"ඇයි  ඇයි මොකද මොකද...කියාගෙන් කොන්ද්දෝස්තර මල්ලි එතනෙට ආවේ...

අනේ මං කාටවත් මුකුත් කරේ නෑ ...මගේ ...මගේ  පර්ස් එකට ගහලා ..."  මට ඇඬුම අතරින්ම කියවුනා....

"බස් එකම විනාඩියකට නිශ්ශබ්ද වුනාවගේ මට දැනුනා ...

"ඒක වැටිලද බලන්න මම හැරෙනේකොට මේ මිස්ගේ ඇඟේ වැදුනද දන්නේ නෑ ..අනේ මගේ පර්ස් එක ..."

මට ගහපු මනුස්සයා හිමින්ම ලිස්සලා වෙන පැත්තකට යනවා මට පෙනුනා....

"මහත්තයා කොහෙන්ද නැග්ගේ ..? සල්ලි ගොඩක් තිබ්බද ...?"

" කොට්ටාවෙන් .... පනස්දාහක් තිබ්බා ....."

මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබ්බ බස් එකෙක් සූ සූ සද්දයක් ඇතිවෙනවා වගේම
"පිස්සු යකෙක් පනස් දාහක් පර්ස් එකේ දාගෙන යන්නේ "
"දැන් ඉතින් ඕක හොයලා හමාරයි....""

"කොට්ටාවෙන් ....? මහත්තයා කොට්ටාවට පස්සේ කවුරුවත් බැස්සේ නෑ ...

"කවද්ද ඕයි තමුසෙලාගේ මේ ඉලව්වෙන්  මිනිහෙක් බැස්සේ ...මේකට පටවනවා විතරනේ බෑමක් නෑ ...ඒකනේ මෙහෙම වෙන්නේ ...අතපය හතර හොයාගන්නත් බෑ ....."  
ඒ අස්සේ තව කවුදෝ කෙනෙක් සියලු තරහා පිටකරා ...

එහෙනම් පර්ස් එක ගත්ත එකා ඇතුලේමයි ඇත්තේ ....ධර්මේ අයියා අල්ලමු පොලිසියට ...."

"ශික්..."  "අපෝ " "අදත් ඉවරයි දවසම"

*******

"ඕක ගත්ත එකා විසි කරන්න ඇති එලියට වැඩේ ලීක් වුනාට පස්සේ ..."

"ඔව් උන්ගේ එවුන් හැමතැනම ඉන්නවනේ ...."

"පව් "

"අදත් ඉතින් ෂෝට් ලීව් ...ඕවා කිව්වට පිළිගන්නෙත් නෑ අනේ ඔෆිස් එකෙන් හැමදාම පරක්කුවෙන එවුන් ඔයවගේ ඒවමනේ කියන්නේ ..."
 මිනිස්සු නොයෙක් කතා කියමින් පොලිසියෙන් පිටවුනේ කේන්තියෙන වගේ, වැඩි දෙනෙක් මගේ දිහාට හෙළුවේ තෝ අපේ දවසම කෑවා කියන්නාවගේ ..

"කරන්න දෙයක් නෑ මහත්තයා හැම කෙනෙක්ම චෙක් කලානේ ..."

"කමක් නෑ රාලහාමි බොහොම ස්තුතියි....."

මූණේ පැත්තක් රිදෙනවා ඉවසගන්න බැරුව .......

ගෙදර ආපු මට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පෙනුනේ ඉස්තෝප්පුවේ පරණ පත්තර ගොඩක් තෝරන විනීතා ..දෙයියනේ මම දැන් මේ ගෑනිට මොනවද කියන්නේ ..මට ඊයේ රෑ තිස්සෙම කිව්වේ  රත්තරන් බඩුටික බේරගන්න එක ගැන ...

"ආ ඔයා ආපහු ආවද ......කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ ....ඔයා පර්ස් එක මල් වාස් එක උඩ තියලා ගියේ ඇයි ...? අමතකවෙලාද?

"ඈ පර්ස් එක මල් වාස් එක උඩ ...?"

"ඔව් ඇයි ..? ...දෙයියනේ මොකද මේ මූණට වුනේ ...?






Tuesday, December 10, 2013

ගවයා ..?


මේ ලංකා සී නිව්ස් එකේ පළවුණු පුවතක් ,මේ ගැන මට නම් හිතුනේ මෙහෙමයි.


Tuesday, December 3, 2013

පිලිස්තීනුවා


"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා..............."

කව්ද මේ .....අලුත් ෆෝන් එකට සිම් එක දාපු ගමන්ම .........

මගේ හීනයක් වගේ තිබ්බ "ඇපල් 5S" ෆෝන් එක ගත්තට පස්සේ එන පලවෙනි ඇමතුමේ තිරයේ දිස්වෙන අංකය දිහා බලාගෙන මම කල්පනා කලා. 

දන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එක ඉසිසේල්ලාම ගන්න හොඳ නෑ. කවුද දන්නේ ලෙඩක්ද කියලා , පලවෙනි කෝල් එක එන්න ඕනේ සුබ ආරංචියක්.........

1 missed call from 07XXXXXXXX  කියලා තිරයේ සටහන් වුනාට පස්සේ මම ආයෙත් පත්තරේ බලන්න හදන්කොටයි දැක්කේ දිල් මගේ දිහා බලන් ඉන්නවා 

"මොකද දිල්" මගේ ප්‍රයිවට් සෙකට්‍රි, නම ඩිල්ශානි එත් මම හැමවෙලාවෙම කිව්වේ දිල් කියලා 

"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක ......, 5S එකකට කවුද සර් සිංහල සෝන්ගස් දාන්නේ ......"

"ඇයි මොකද වෙන්නේ....?"

"මොකද වෙන්නේ කියන්නේ අනේ ......හරිම ගොඩේනේ .....දාන්නකො හොඳ එන්ග්ලිෂ් සෝන්ග් එකක් .."
"ඉන්න මම ඩවුන්ලෝඩ් කරපු හොඳ එන්ග්ලිෂ් සෝන්ග්ස් ටිකක් තියෙනවා සර්ට දෙන්නං"

ඔලුව වනපු මම ආයෙත් පත්තරේ බල බල හිටපු ලිපිය දිහාට ඇස් යොමු කළා ...
"ගමේ බයියෙක් වුනු රන්බණ්ඩා සෙනවිරත්න ....."......පිස්සු,    ගමේ බයියෙක් කිව්වනං මිනිහව ඔය තරම් පිළිගනියිද රටේ මිනිස්සු.....එත් ඉතිං ආටිස්ට්ලට නම් ගමේ පොරක් කිව්වම හෙන මාකට් එකකුත් හැදෙනවනේ ....පත්තර විකුණගන්න මොනාහරි ලියන්නත් එපැයි .

මට ආයෙත් මගේ අලුත්ම ඇපල් ෆෝන් එක දිහා බැලුනේ නිකම්ම........අනේ අනේ යකෝ බස් එක අල්ලන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් දුවලා බස් එකේ එල්ලිලා ඉස්කෝලේ ගිය උඹ දැන් පාවිච්චි කරන්නේ ඇපල් ෆෝන් ආ ......


*******

"ඒයි මෙහෙ වරෙන් .....තෝ කොහෙද..."

"බදුල්ලේ ...."

"අම්මට හුඩු .....එයි මචන් මෙන්න මූ බදුල්ලේ කියන්නේ "

"ආ ඇත්තද .....පොඩ්ඩක් හිටපන් බලන්න ....." 

"මොකක්ද ඉස්කෝලේ..."

"බදුල්ල සෙන්ට්‍රල්"

"අප්පට බොල සෙන්ට්‍රල්  .....මීට පස්සේ කියපිය බදුලු මැදි මහා විදුහල කියලා ...හරිද ඇයි තොට සිංහල කතා කරන්න ලජ්ජද ....?"

"හා අයියේ..නෑ අයියේ ..."

"අයියේ ....යකෝ කියපිය ජෙෂ්ට උතුමා කියලා .....ගලවනවා කලිසම ඔලුවෙන් .....මොකද අඬන්නේ තෝ ගෑනියෙක්ද ...?

"බදුල්ලේ කොහෙද....?"

"ක ..ක ... කන්දකැටියේ ........!"

""කන්ද කැටියේ.........? කන්ද කැටිය කොහොමද උලමෝ බදුල්ලේ වුනේ ....ඒයි මේ බලපන් මෙයා බදුල්ලේ කන්ද කැටියේලු .....තෝ දන්නවද බෝල කන්ද කැටියට බදුල්ලේ ඉඳන් කිලෝමීටර් තිස් හතරක් තියෙනවා කියලා ....."

පරයෝ .....කොහේ ගියත් තමුන්ගේ ජාතකේ කියන්න ලජ්ජා වෙන්න එපා. තොපි වගේ එවුන් තමා අම්ම තාත්තාත් එක්ක අමතක කරලා ලංකාවේ සල්ලි වලින් ඉගෙනගෙන රට රටවල් වලට පැනලා කඹුරන්නේ ...'

රැවුලා එදා කියපු ටික මට ආපහු මතක්වුනේ ෆේස්බුක් එකේ ආපු රැවුලගේ රික්වෙස්ට් එක කන්ෆර්ම්  කරනකොට ...."රවින්ද්‍ර දෙනිපිටිය , සිඩ්නි ,ඕස්ට්‍රේලියා . ඒ ටික කියවනකොට නම් මට පොඩි හිනාවකුත් ගියා . කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .

*******
අර missed call එක ආයෙමත්
"මොකාද මේ"
ඒ නොම්මරේම ආපහු කෝල් එකක් ගත්ත මං " හෙලෝ හූස් පීකිං දෙයා ..අයි හැඩ් ත්‍රී මිස් කෝල්ස් ෆ්‍රොම් දිස් නම්බර්"
"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. නැත්තං තව ටික දවසකින් එන්න වෙන්නේ තාත්තගේ මළගමට තමයි."
 කියපු මල්ලි ලයින් එක කට් කළා

"වයි රමිත ....ඔහ් සොරි සර්.."

"නෝ මයි dad ඉස් නොට් වෙල් ...නීඩ් ටු සී හිම් සූන් "

"එහෙනම් ඔයා හෙට ගිහින් එන්න වැඩි වැඩක් නැති දවස්ක්නේ මතක් ඇතුව හවස අර සිනමන් එකේ තියෙන කොක්ටේල් එකට එන්න ."

"කීයටද ?"

"හතට"

*******

වාහනේ තනියම ඩ්‍රයිව් කරගෙන යනකොට මට ගෙදර දැන් කොහොම ඇතිද කියලා හිතෙන්න වුනා. ඇඳුම් බෑග් එකත් එල්ලගෙන පයින් ගිය මම අද අලුත්ම වාහනෙකින් ගෙදර යනවා. කොල්ලෝ කුරුට්ටෝ වාහනේ පස්සේ දුවගෙන ඇවිත් මේක හූරයිද දන්නේ නෑ.

ජීවිතයක් වෙනස් වෙච්ච හැටි.

"උඹේ ජීවිතේ වෙනස් කරන්න මම දාපු දහිරියට උඹ නියම වටිනාකම දුන්න පුතේ "
අප්පච්චි එහෙම කිව්වේ මම කැම්පස් තේරුනා කියලා දැනගත්තු දවසේ . ඇත්තටම කැම්පස් ගමනෙන් මගේ ජීවිතේ කවුරුවත් නොහිතපු විදිහට වෙනස් වුනා.ශානිකා මට හම්බ වුනේ ඒ කැම්පස් ගමනෙන්...

ශානිකාගේ තාත්තා , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්......සල්ලි තිබ්බට සතුට නෑ කියන කියමන සනාත කරන්න වගේ ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා. මේකතාව ෆැකල්ටිය පුරාම පැතිරුනේ ලැව් ගින්නක් වගේ. ෆැකල්ටියේ හැම ඉයර් එකේම වගේ එවුන් ශානිකා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

එදා තමයි මම ශානිකාගේ සියලු විස්තර දැනගත්තේ , ලස්සන කෙල්ලෙක් වෙච්ච ශානිකාගේ වටේ කැරකිච්ච එවුන් සුටුස් ගාලා වාෂ්ප වෙලා ගියේ ඒ සිද්ධියෙන් පස්සේ, 

නමුත් මේ සිද්ධියෙන් පස්සේ මට ශානිකා ගැන තිබ්බ උනන්දුව වැඩිවුනා.......
ශානිකා ...ශානිකා.....දැන් කවුරුවත් උඹට ට්‍රයි කරන්න එන්නේ නෑ....ශානිකාව මතක්වෙන හැම මොහොතකම මගේ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා වගේ මට දැනෙන්න ගත්තා , එත් ඒ ආදරය නෙවෙයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා.

ශානිකාට මේ වෙච්ච ඇබැද්දිය මගේ වාසනාවට වෙච්ච දෙයක් හැටියටයි මම දැක්කේ...මේ සිද්ධියෙන් පස්සේ ශානිකා කැම්පස් එන එක අඩුවුනා ..ටික ටික අඩුවුණ ගමන සම්පූර්ණයෙන්ම නවතින තැනට වැඩ සිද්ධ වුනා.....ඒත් මම හැම සති අන්තයකම ශානිකාව බලන්න එයාලගේ ගෙදරට ගියා.
 මම එන එක ගැන මුලින්ම එයාගේ තාත්තයි අම්මයි ගොඩක් සතුටුවුණා...ශානිකා ආපහු කැම්පස් යවන්න එයාගේ අම්මලාට ලොකු උවමනාවක් තිබ්බත් මට ඒ වුවමනවතිබ්බේ නෑ, ඒ විශාල මන්දිරෙන් එලියට බහින හැම වෙලාවකම මට පෙනුනේ එකම හීනයයි.

*****

ෆයිනල් එග්සෑම් ඉවර වුනු දවසට පහුවදා උදේම මම නැගිට්ටේ මගේ අරමුණට යන පලවෙනි පියවර තියන්න ...

"ගුඩ් මෝනිං පුතා.."

"ගුඩ් මෝනිං අංකල්"

"අද උදේම ....?"

"ඔව් අංකල් .....

ඒ දෙබසින් පස්සේ තමයිමගේ ජීවන පෙරලිය ආරම්භ වුනේ......

උදේ ආහාරයෙන් පස්සේ කතාව ඇදිලා යන අතරේ .....

"අංකල්....."

"ඔව් පුතා "

"ඇත්තටම අංකල් මම ආවේ වැද්ගත් කාරණයකට, අදින් අපේ කැම්පස් ලයිෆ් එකත් ඉවරයිනේ"

"මොකක්ද?.....කියලා ඇහුවත්  මම කියන්න යන කාරණේ දැනටමත් තෙරුම්ගත්ත් බවක් ඒ ඇස දෙකේ තිබුනා

"මම කැමතියි ශානිකාව කසාද බඳින්න ..."

ඒක ඇහුවම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන මම හිතලාම තිබුනේ නෑ.

අංකල් ඇස්දෙක පියාගෙන කවිච්චියට හේත්තුවුනා.......

හද්දා පිටිසර ගමක ලියිට් එළියක් දැකලා නැති. හැතැප්ම ගණන් පයින් යන බඹ හත අටක් ගැඹුර ළිං වලින් වතුර ඇදලා බීපු ...... මේ ඉහල සමාජයේ අහුකොන් වල එල්ලෙන්න හිතන්නවත් බැරි මන් වගේ කොලුගටයෙකුගෙන් මෙහෙම යෝජනාවක් එන්න තරම් තමන් අසරණ වුනාද කියලා ඒ ලක්ෂපති ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති.

කඳුළු පුරවාගත්ත ඇස දෙක ඇරලා මගේ දිහා බලපු අංකල්....

"මට මේකට කමතිවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ පුතා" කියලා එතනින් නැගිටලා ගියා......
එත් ශානිකාගේ අම්ම එතනම නැවතුනා
"අපි බලාපොරොත්තු වෙච්ච ලස්සන ලෝකය අපේ දුවට ගොඩ නගන්න බැරි බව අපි දැනගෙන හිටියා පුතා "

"එත් අපි නැති කාලෙක මේ දරුවට කෑම ටිකක් දෙන්න හරි කෙනෙක් ඉන්න ඕන කියලා අපි දන්නවා පුතා . අපි පුතාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ කෙල්ලට අඩුවක් පාඩුවක් කරන්නේ නැතුව කන්න බොන්න අඳින්න ටික දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ ." එහෙම කියපු අම්මත් අතින් කට තද කරන් කාමරේට දිව්වා.

මට පුදුම සතුටක් දැනුනේ...

එතැන් ඉඳන් අවුරුදු හතක් යනකොට ඒ හැම ව්‍යාපාරයක්ම දුවන්න පටන් ගත්තේ මට ඕන විදිහට ....ශානිකාගේ තාත්තගේ අභාවයත් එක්කම මම ඒ සියල්ලේ තනි අයිති කාරයා වුනා....තාත්තා සියලු දේ ශානිකාගේ නමට ලියලා තිබුනත් ශානිකාගේ මානසික තත්වය මත සියලු දේ පාලනය කිරීමේ බලය මට හිමි වුනේ නිතැතින්ම....ශානිකාගේ අම්මයි ශානිකයි එයාලගෙම ගෙදර කාමරේක කොටුවෙද්දී ,එයාලගෙම ගේ ඇතුලේ එයාල මගෙන් යැපෙන්නෝ බවට පත්වෙද්දී ශානිකාගේ අම්මා ඒ සේරම විඳගෙන ඉන්න හැටි මටම පුදුමයි.

******

පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්...

මේ ගමනට එන්න කිව්වට දිල් අකමැති වුනේ

"අපෝ ඔයාලගේ මමියි ඩඩියි මාව දකින්න කැමතිවෙන එකක් නෑ " ලොකු දෙයක් හදිසියෙවත් එන්න ලාස්තිවුනානම් මං හද්ද අමාරුවේ.

මීගහකිව්ලෙන් කන්දකැටිය පාරට හැරෙව්වේ "ලෙක්සස් එකක් යන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ" කියලා මටම කියාගන්න ගමන්...එත් පුදුමෙකට වගේ ලේන් දෙකට හදපු කාපට් පාරේ අලුත්ම වාහන කීපයක්ම යනවා දැක්කම මට නොරිස්සුමක් ආවේ ඇයිද කියන එක මටම ප්‍රශ්නයක්. ඉඳහිට පහුවෙන ගමේ මිනිස්සු, කොල්ලෝ කුරුට්ටෝ වාහනේ දිහා නොබලා "අපිට ඕවා ලොකු නෑ" කියන්නා වගේ යන එක ගැන මට ඇතිවුනේ ඇත්තෙන්ම කේන්තියක්.

ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද?

කොච්චර ගමට ආගන්තුක වුනත් අලුත් වෙලා වෙනස් වෙලා තියෙන ගමේ අනික් ගෙවල් අතරේ කිසිම වෙනසකට ලක් නොවුණු අපේ ගෙදර අඳුනගන්න මට නම් අමාරුවක් වුනේ නෑ.

*******

ගෙදරට හැරෙන දෙවැට ළඟ වාහනේ ටිකක් නවත්ත ගත්ත මම කල්පනාකරේ ගෙදර මිනිස්සුත් එක්ක කතාව පටන් ගන්නේ කොහොමද කියලා.
"වැඩිවෙලා ඉන්න බෑ වැඩ ගොඩගැහිලා කියලා "ඉක්මනට යන්න ඕන , ස්ටියරින් වීල් එකට අත තියෙනකොට ආයෙත් මතක් වුනේ බිස්කට් පෙට්ටියක් වත් ගෙනාවේ නෑ නේද කියලා...

"මෙන්න මයේ පුතාලට බූන්දි ගෙනාවා ....අපි ලොකු වෙනකම්ම් මල්ලිටයි මටයි බූන්දි අරන් එන එක තාත්තා කරපු දෙයක්...."

"උඹලයි තාත්තා උඹට හරි ආදරෙයි පුතේ .....උඹ පුංචි කාලේ දවසක් උඹව බඩ උඩ තියන් හුරතල් කරනකොට උඹ හුලිජ්ජ් කොලේ නැතයි ඒ මනුස්සයාගේ කටටම ...අනේ ඒ මනුස්සයා උඹ හුජ්ජ කොරලා ඉවර වෙනකම්ම කට අල්ලන් හිටියා හෙලෙව්වොත් දරුවට අමාරුවක් වෙයි කියලා"  අම්ම දවසක් මට කියපු ඒ කතාව මේ වෙලාවේම මතක් වුනේ ඇයි.?

"හරි ඉතින් දැන් ආපහු ගිහින් මොනවත් අරන් එන්න බෑනේ...අනික මෙච්චර වැඩ තියෙද්දී මම ආව එකම මදැයි .." කොහොම හරි සිතුවිලි සාධාරණීකරණය කරගත්ත මම ගේ දිහාවට වාහනේ හැරෙව්වා. මිදුලේ වාහනේ නවත්තනකොටම එලියට ඇවිත් බලපු මල්ලි මාව අඳුන ගත්තා .... වාහනෙන් බැහැපු මාව නොදැක්ක ගානට කමිසේ බොත්තම් පියවමින් මාව පහුකරගෙන ගියේ  "අම්මේ මං රන්ජිලයි දිහා යනවා " කියාගෙන .
"ඉරිසියාකාරයා "

"කවුද පොඩි පුතේ ආවේ " කියාගෙන පොල් අඩලයකුත් අතේ තියාගෙන ගෙයින් එලියට ආපු අම්මගේ අරුණු කට වහගන්න අම්මට සෑහෙන වෙලාවක් ගත වුනා...
 අන්තිමට අමාරුවෙන් කීප සරයක් උත්සාහ කරලා "ලොකුපුතේ " කියපු අම්මගේ ඇස දෙකෙන් කඳුළු කඩාවැටෙන්න ගත්තේ දුන්හිඳ ඇල්ලෙන් වගේ....

අම්මට වඳින්න ඕනේ කියලා හිත කිව්වට එකට මගේ කොන්ද නැමුණේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. මුළු පරිසරය පුරාම මට අමුතුම ආගන්තුක බවක් දැනෙන ගත්තේ ඒ අතරේදී. වාහනේ බොනට් එකට වැටුන අව්ව මගේ ඇස් දෙකට වැදිලා ඇස් නිලංකාර වෙන්න ගත්තා.

මම ගෙට ඇතුල්වුනේ උළුවස්සේ වදියි කියලා බයට වගේ ඔලුව නවාගෙන. ඒ යනකොට තාත්තා බිම වාඩිවෙලා සෙල්ලං කරත්තයක් ලණුවකින අදිනවා..

"තාත්තේ.."

"ඇයි ...කරත්තේනම් දෙනෙන් නෑ රජෝ....දැන් අපේ ලොක්කා ඉස්කෝලේ ඇරලා එනවත් ඇති. ලොකු කොල්ලා හරිම ආසයි මං හදන කරත්ත වල‍ට. ඌ ඉගෙන ගන්න රුසියා ,මේ සැරෙත් පන්තියේ පළවෙනියා වුනාම ඌට කරත්තයක් හදලා දෙන්න මම පොරොන්දු වෙලා තියෙන්නේ."

මට අම්මා දිහා බැලුනේ ඉබේම. අම්මගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා.
"පහුගිය කාලෙම තාත්තා උඹ ගෙදර එයි කියලා බලන් හිටියා මයේ පුතේ...උඹ එනකම් කියලා බලන් ඉඳලා ,කල්පනා කරලම දැන් තාත්තගේ සිහිය හොඳ නෑ පුතේ .....උඹට මේවයේ වසන්ට බෑ කියලා මට තේරෙනවා පුතේ ...උඹ නාවා කියලා අපේ අමනාපයක් නෑ මයේ පුතේ." මේ ටික කියන්න අම්මට සෑහෙන වෙලාවක් ගතවුනා, වචනයක් වචනයක් ගානේ උගුරේ හිරවුනා ...එත් මගේ ඇහෙන් කඳුලක් ආවේ නෑ..මට කිසිම හැගීමක් දැනුනේ නෑ....

මට මගේ අලුත් 5S ෆෝන් එක දිහා බැලුනේ ඉබේටම .... 1 unread message -- "darling don't forget ,the cocktail is on 7-00 o'colck -Dil "

"වැඩ ගොඩක් දාලා ආවේ අම්මේ මං යන්නොන"

Monday, November 25, 2013

මං ආයේ ලියන්නේ නෑ


මං ලිව්වා සමාජ සාරධර්ම ගැන
උන් මට හිනා වුනා ...
ඒ මොනවද කියලා ඇහුවා

මං ලිව්වා චේ ගැන, කස්ත්‍රෝ ගැන, මාටිං ලූතර් ගැන
ඒ මොක්කුද කියලා ඇහුවා .
උන් මට හිනාවුනා....

මං ලිව්වා හිට්ලර්, මුසෝලිනී ,ඉඩි අමීන් ගැන
කවුරුවත් කියෙව්වේ වත් නෑ ,
දැක්කේ නෑ වගේ හිටියා ..

මට එපා වුනා ..

ඊට පස්සේ

මං ලිව්වා සාහිත්‍යය ගැන
උන් හිනාවුනා
සාහිත්‍යය කන්නද කියලා ඇහුවා ...

මං ලිව්වා ඉහිහාසය ගැන
උන් හිනාවුනා...
මහාවංශය ලියන්නේ අපිට ඕන හැටියට ..උන් කිව්වා

මං ලිව්වා යුද්ධයේ සැබෑ විරුවෝ ගැන
උන් මට ඔරවන්න පටන් ගත්තා ...
ඇඟිල්ලේ තරමට ඉදිමියන් උන් මට කිව්වා ...

මං හැදුවා ජනතාව දැනුවත් කරන්න...
උන් හැමදාම රැවටෙන හැටි උන්ටම කියලා දෙන්න ...
උන් මාව හංවඩු ගැහුවා අධිරාජ්‍යවාදී බලල අතක් ....

මං ලිව්වා වංචාව ගැන ,දුෂණය , නාස්තිය ගැන ..
උන් මාව හොයන් ආවා...
කැඩුවා මගේ අතපය...

මං ලිව්වා ජනතාව පෙළගස්සන්න ...
අවදි කරන්න නිදි බරිත මනස .....
ආවා ශ්වේත වර්ණ දඬු මොනරයක් ....
අවසාන නිවේදනය ........එකඟවුනා ගිවිසුමකට
ලැබුනා කොම්පියුටරයක්, වාහනයක් ,ගෙයක්...
ආවා මං නැවතත්, කිසිදා නැවත දකිනට නොලැබේයයි සිතු මේ බිමටම

එතැන් පටන් ලිව්වා මං
එකතුවුණු හැටි අජේ දෙව්ගනුයි කාජලුයි ....
වෙන්වුණු හැටි ඇන්ජලීනා ජොලි බ්‍රැඩ් පීට්ගෙන් ...
නිරුවත් වුනු හැටි ලේඩි ගාගා ප්‍රසිද්ධියේ ...
අහා ....දශක ගණනක් නොතිබූ රැල්ල මාවෙතට
සම්මාන ලැබුවා මා ..ලෙසින් ජනතාවගේ කළා කරුවා ..යුගයේ මාධ්‍යව්දියා ....

ලැබූ ගම්වර බෝමයි .....
මදිවට උපදේශක පට්ටම රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන්....
මොනවයින්ද අඩු මට ......
කිම්ද ඇති පල අවදි කරවන්නට යාමෙන් මෝහනය වූ ජනයා

ඉතින් මින් මනත, උන් කියන දේ නැවත ලියනවා ඇර
කවදාවත්
මං ආයේ "ලියන්නේ" නෑ .....................!



Tuesday, October 29, 2013

සිකුරිටියාගේ රාත්‍රිය


තිගැස්සී ඇහැරුනෙමි ...
හොරෙක් ඇවිත්ද....? මොනවා ගෙනගොස් ඇත්දැයි නොදනිමි....
හපොයි ...මේ මාසේ පඩිය .....එකෙනුත් බාගයක් දැන් මේ නැතිවුණු කෙහෙල්මලට කපාගනියි.

හොඳම යාළුවා අද ආවේ නැද්ද ....?
කොහේ එන්නද .....පත්තු කරපු මදුරුකොයිලයේ සැර වැඩිය.....!
ආදරණීය මදුරු යාළුවා ....ඔබ නොහිටින්නට කවදාවත් පඩියක් ඉතිරි නොවනු ඇත....

අක්කර ගානක් වැඩබිමක් තනියම මුර කරන එක ලේසි වැඩක්ද....?

රෑ එලි වෙනකං ඇවිද ඇවිද පැයෙන් පැයට අස්සන් ගහන්ටම හතරකොනේ පොත් හතරකි ....
ඒකටනම් මක්වෙනවද ................
ඇහැරිච්ච වෙලාවට පොත් ඔක්කොම එකතුකරන් ඇවිත් එකසැරේ අස්සන කොරන එකනේ ...
එහෙම කොරලා ආපහු එල්ලනකොට පොත් ටික මාරුවෙලා .......හුටා 
එක බේරාගන්නට විසිටින් ඔෆිසරයාට රුපියල්ම දෙසීයක් දෙන්නට විය...
යුනිෆෝම්, කැප්, සපත්තු සහ බැජ් එකට කපා ඇත මේ මාසෙත් තවත් දෙදාහක්......!

දැන් ඇවිත් හොරෙක් .....
මේ මාසේ ගෙදර ගෙනියන්ට වෙන්නේත් ගෙනාපු කුට්ටමම විතරය....
ඩියුටිය එක දිගට අනූ හයක් පැයම ....

අල්ලා ගන්ට ඕනේ හොරාව ...........
හෙට උදේට වීරයෙක් ...මං එතකොට ...
ලොක්කා තැන්කු කියයි කට පුරාම.........
නොදකින්... එතකොට තමයි හිතෙන්නේ හොරාට දෙන්න තියෙන ඔක්කොම....

ඒ අල්ල පනල්ලේ මගේ ගෙට හොරු පැන ඇත...
හොරා ගන්නට නොව හොරා කන්නට.....
මොනවා කොරන්ටද මාස දෙකකට දවසක් විතරක් ගෙදර යනකොට ....
මං නොදෙන දේ කන්ට එපැයි මගේ ගෑනිත් කොහෙන් හරි  

ඒත් අදනම් අල්ල ගන්නවා බෙල්ල මුලින්...
මෙන්න බොලේ හොරා ඇඟේ ගෑවෙනවා ......හිටු තොට 
හරිම සිනිදුයි නොව හොරාගේ අතපය ....
හත් ඉලව්වයි ඉන්නේ ගෙදර ඇඳේ නොවේද ...?
මාස දෙකකට සැරයක් හරියට නිදාගන්ට තියෙන එකම දවස .....
එකත් නැතිකොරන්ටද හදන්නේ මේ ගෑණි ....
පල යන්ට අහකට ....

Friday, October 25, 2013

ප්‍රේමය නම්


"කම් ඉන් සර්....."

"තැනක් යූ ..."

"ඉට් සීම්ස් දැට් යූ කේම් ෆෝ ද ෆස්ට් ටයිම් අ ප්ලේස් ලයික් දිස් .....ආ... ඒනිවේ .....මිස්ටර් සුරේෂ් කෝල්ඩ් ඇන්ඩ් ටෝල්ඩ්මී  දැට් යූ විල් කම් "

"නිර්මාණී ආයුර්වේද සුව අසපුව .......විචිත්‍රවත් ඩිජිටල් නාමපුවරුව සිනාසෙමින් නගරය දෙස බලා හිඳියි. මා සමග ඉංග්‍රීසි භාෂාවෙන් ව්‍යක්තව කතාකල උඩරට ඔසරිය හැඳි සුන්දර යුවතිය දෙස බලාසිටිත්දී මට සිහිවුනේ සුරේෂ් සහ මා අතර ඇතිවූ සංවාදයේ වචනපෙලයි.

"මචං හැමදාම උදේ ඔෆිස් යනවා බං. මාර ලස්සනයි. හරිම අහිංසක මූණක් තියෙන්නේ, වැදගත් පාටයි."

"කොහෙද වැඩකරන්නේ ...?"

"අර ස්පා එක තියෙන බිල්ඩින් එක දිහාට තමයි යන්නේ "

"එතන වෙන ඔෆිස් නෑ, ඔතන වැඩකරන එකක් නම් මචෝ උඹ ඔය කියන විදිහේ කුල කාන්තාවක් වෙන්න බෑ"

"ඇයි ....."

"ඇයි කියන්නේ මැට්ටෝ ඒක බඩුපොට් එකක්නේ ..."

"එතන ....? වෙන්න බෑ ඒක අයුර්වෙදික් ස්පා එකක්නේ ..."

"ස්පා......හැක හැක් හැක් හූ .....ස්පා....බම්බුව ස්පා........අද හවස උඹම ගිහින් බලපන් බොරුනම් මම අපොයින්ට්මන්ට් එකක් අරන් දෙන්නං .........සමහර විට උඹේ ඔය ප්‍රේම සුරන්ගනාවිම අල්ලාගෙන උඹට සර්විස් එකක් දාගත්තහැකි."

*******

"සර්....සර්.....එක්ස්කියුස්මී සර්....."

ඔසරිය හැඳි සුන්දර යුවතියගේ කටහඬින් මා යලිත් පියවි ලොවට පැමිණියෙමි.

"සර්.....දැන්නම් අපි ළඟ මේ හයදෙනා විතරයි ඉන්නේ අනිත් අය එන්ගේජ්ඩ් ........"

මා අත ලැමිනේට් කල පින්තූර කිහිපයක් තබමින් ඇය නැවත දොඩමළු වූවාය......පින්තූර දෙස බලාසිටින මට අඳුරු කල සුවිසල් වීදුරු තුලින් මහපාර දිස්වෙයි පාරේ ගමන් කරන සියල්ලන්ම මා දෙස බලමින් මට සමච්චලයට සිනාසෙනු මට පෙනෙයි.

"වට් ඩු යූ තින්ක් සර්..."

ඔව් මේ ඇය නොවේද...? සුරේෂ් කීවේ සැබෑවක්ද ....

"මෙන්න මෙයා ...........මේ ඉන්නේ ...."

"ඕකේ  සර්............... වෙයිට් අ මිනිට් සර්....කියමින් නැවත කිරිගරුඬ පාට කවුන්ටරය දෙසට ඇදුනු යුවතිය ....රිසීවරය කනේ තබාගෙන අංක කීපයක් ඔබා ....      "නිශූ ...අ කස්ටම ෆෝ යූ " කියා නැවත මාදෙසට හැරුණි......
"සර්.....ප්ලීස් ගෝ ටු රූම් නම්බ සෙවන් ...."

"පේමන්ට්ස්.....?"

" දැට් හෑස් ඔල්රෙඩි ඩන් බයි මිස්ට සුරේෂ් සර්.......යූ හෑව් වන් අව සර්....."

"තෑන්ක් යූ"

"වෙල්කම් සර්"

"ඉදිරිපස ඇති රෙදි කඩයේ පිල මත සිටි බැල්ලියගේ ඇඟට නගින්නට උත්සාහ කල බලු පැටියා, දෙතුන් වරක් උත්සාහ කර අමාරුවෙන් නොවැටී බැල්ලියගේ පිටමත පාද තබාගෙන වටපිට බලන විටම කඩය තුල සිට පැමිණි කොලු ගැටයෙක් උන් දෙසට බේසමක තිබූ වතුර විසිකරනු ද උන් දෙදෙනා දෙපැත්තට දුවන අයුරුද කාමර අංක හත දෙසට ඇවිදගෙන යන මට අඳුරු පැහැ වීදුරුව තුලින් දිස්වන්නට විය.

 ******

" එන්න සර්...."
දනිස්සෙන් අඟල් හතරක් පමණ ඉහලට වන්නට රතු පැහැ අත්  නැති ඇඟටම ඇලුණු ගවුමක් ඇඳගෙන සිටි රූබර යුවතිය පෑ සිනහව මා කුල්මත් කිරීමට සමත් විය.

ඔව් මේ ඇයම තමා ......සුරේෂ් මහා හඬින් මට සිනාසෙනු මසිතේ ක්ෂණයකින මැවී පෙනී නැතිවී ගියේය.

මා උදේ දුටු කාර්යාලීය යුවතිය උදෑසන දුටු අඩි උස පාවහන් යුගලයෙන් නිදහස් වූ ,රතු නිය ආලේපන ගැලවූ නිරුවත් දෙපා යුග මනබඳනා සුළුය.

"සර් ...වොෂ් එකක් අරන් එන්න..... සර්...සර්...සර්....."

ඇයගේ මුහුණ දෙස මා බලා සිටියා වැඩියිවත්ද?
  එක අතකින් මා දෙසට සුදුපහ තුවායක් දිගුකරගෙන සිටි ඇය පාදයක ආධාරයෙන් විවර කල ලාච්චුවේ තිබූ උපත්පාලන කොපු පැකට්ටුවක් අතට ගනිමින් සිටින්නීය .

"එපා ..."

" එපා ........? එපා කියලා බෑ සර්.......වොෂ් එකක්නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා . අනික  අනිවාර්යයෙන් කොන්ඩම් දාන්නත් ඕන .........."

ඇය මෙසේ කියන්නේ කෙතරම් පහසුවෙන්ද ..?ඇත්තටම මට දැනෙන අපහසුතාවයෙන් බිඳක්වත් යට නොදනේන්නේද?

*******

"මට ...මට .....මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" කතා කරන්න.............මාත් එක්ක............? මොනාද? ............."ඇය පුදුමයට පත්වූ සෙයකි.

මම ඇඳ මතින් වාඩිවුණේ තවත් හිටගෙන හිටියානම මා බිම අද වැටේවි කියන බියෙනි.

"මෙහෙන් වාඩි වෙන්නකෝ..........."

"මොකටද ........සර් ........මං හම්බ කරගෙන් කන එක නවත්තන්නද හදන්නේ ....අනේ ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න සර්...."

"ඇත්තටම මට ඕනේ ඔයත් එක්ක කතා කරන්න ..."

"මොනා කතාකරන්නද.....? කතාකර කර ඉන්න පැයකට අටදාහක් ගෙවන්න සර්ට පිස්සුද....."

"අටදාහක්.............?

"ඔව් ඇයි ඊට වඩා ගෙව්වද....."

"ඔව්....නෑ ...නෑ ....අටදාහ තමා...."

"ඔයාගේ නම මොකක්ද.....?"

"මගේ නමෙන් සර්ට වැඩක් නෑනේ ...සර් පත්තරෙන්ද .....ඔයාලා ඕව පත්තරවලට ලියලා සහතික ගනියි....විස්තර දුන්න කියලා අපිව මරයි මෙතන ,ආවනම් ආව වැඩේ කරගෙන් යන්න සර්  පව් නොදී...."

"මම පත්තරෙන් නෙවෙයි, පොඩ්ඩක් මම කියන දේ අහන්න "

"මොනා අහන්න ද..........ඔන්න ඕක ගලවලා වොෂ් එකක් දාගෙන එන්න , නැත්තං මෙතන තටමලා තටමලා අන්තිම මොහොතේ කුලප්පුව හැදෙනවා .....ඊ ලඟට අනිත් එකා දොරට ගහයි ....ඇයි යකෝ අපිත් මිනිස්සු නේද...මල වදේ....."

"මම ඔයාව හැමදාම උදේට දකිනවා ...ඔයා උදේට හරිම ලස්සනයි ...ඒත් අයි ඔයා මේ වගේ දෙයක් තෝරාගත්තේ ......ඇත්තටම මට ඔයා ගැන ආදරයක්..."

"මේ මහත්තයා ඔය බයිලා අහලා ඇතිවෙලා තියෙන්නේ .......ඔය හදන්නේ මෙතන සල්ලි නොදී මගදී අල්ලං කෙලින්න ...එව්වා සුම්මා මහත්තයෝ......බම්බුවේ ආදරේ...."

"නෑ දෙයියනේ....මම ඇත්තටම ඔයාට....."

"මම දැන් සැරයක් කිව්වා , තමුසෙලා මෙතන බයිලා ගහලා අන්තිමට කම්ප්ලේනුත් කරලා අපේ ගානෙනුත් ගානක් කපලා මාරු වෙන්නේ ......ඉක්මනට එනවා ඔය **ර ටික ගියාම ඕක හරියයි....."

" නෑ මට එහෙම දයක් ඕන නම් මම ඔයාව හොයාගෙන මෙතනට එන්නේ නෑ...."

"එහෙම දේකට මෙතනට එන්නේ නෑ.....?  .එතකොට එහෙම දේවල් වලට තමුසේ පන්සලටද යන්නේ මහත්තයා ......එහෙම නැත්තං මෙතෙන්ට ආවේ මල් පූජා කරන්නද?

"ඔයා නොදන්නවාට ඔයා පූජා කරන්න තරම් මලක් තමයි මට ......"

"තමුසෙට පිස්සුද .......මිනිහෝ.....මම දැන් බෙල් එක ගැහුවොත් තමුසෙව බල්ලෙක් වගේ එලියට ඇදලා දායි...........එක කරගන්නද ඕනේ........."

"තමුසෙලා කම්ප්ලේන් කලොත් මමයි අමාරුවේ වැටෙන්නේ ....එකයි මෙච්චර වෙලා හරි තමුසෙට කිව්වේ.......නැත්තම් මෙලහකටත් මතක් හිටින පාඩමක් උගන්නලා....එනවා මෙතන ලව් කරන්න.........මහත්තයා ඔය වැදගත් කම පෙන්නනවා ඕන තැනදී......වේසියෙක් ලඟට ආවනම් ඒක කොරගෙන යනවා මනස්ගාත නොකර .......

"කෑ ගහන්න එපා .....මට ඕනේ ඔයාව මේ අපායෙන් ගොඩගන්න ...."

"හාහ් ...ඇත්තද ....ගොඩ අරන් වෙන අපායකට දාන්නද...? "

"නෑ මට පුළුවන් ඔයාව බාරගන්න ..."

"ඈ බොල මාව බාර අරං මටයි මගේ ගෙදර මිනිස්සුන්ටයි උඹ කන්න දෙන්නේ උඹේ අහවල් එකද ...? මං මෙතන දවසකට රුපියල් දහදාහකට වඩා හොයනවා ...තමුසෙට එහෙම සල්ලි දෙන්න පුලුවන්ද දවසකට මට...? ආ......කතා කරනවා .......

දොර අරගත් ඈ කේන්තියෙන් පුපුරමින් කාමරයෙන් පිටවන්නට වූවාය ....
"මෙහෙම එවුන් දෙන්නෙක් ආවොත් මාසෙක වැඩ ඉවරයි.......කාලකන්ණි ...මුළු මූඩ් එකම කෑවා" ......ඇය කෑගසන හඬ ඈතින් ඇසෙන්නට වත්ම මට දැනුනේ බියකි........
ඉක්මනින් කාමරයෙන් එලියට පැමිණි මා .....වේගයෙන් අඩි තබමින් මෙතනින් එලියට යන්නට හදන විට ඔසරිය හැඳි යුවතිය............

"තැනක් යූ සර්......කම් අගේන් සර්.."

ඇය දෙසවත් නොබැලූ මා පාරට ආවේ කෙසේදැයි මටත් මතක් නැත........රෙදිකඩය අසල සිටින බැල්ලියගේ පිට උඩ තවත් බල්ලෙකු නගින්නට උත්සාහ කරයි.......ඌ ලොම් හැලිච්ච නාකි බල්ලෙකි.......


Wednesday, October 16, 2013

(සයිබර්) හොරු සමග හෙළුවෙන්


සයිලන්ට් සහන් ටිකදවසකට කලින් පළකරපු අකුණු සන්නායකයක් සාදාගන්නා ආකාරය කියන පොස්ට් එකේදී කියා තිබුනා ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත හැකිව තිබූ සමහර නිර්මාණ නිකම්ම එළිදක්වා ඇති වග . නමුත් එහි පාඨකයන් වූ අප බොහෝ දෙනෙක් කියාසිටියේ එවන් නිර්මානයක් නම්
අනිවාර්යයෙන් එහි පේටන්ට් බලපත්‍රය ඔහු විසින් ලබා ගත යුතු බවයි. නැත්තම් කොහේ හෝ සිටින අපතයෙක් ,නිකමෙක් එහි බලපත්‍රය ලබාගැනීමට පසුබට නොවන නිසා.

මොකද ලංකාව කියන්නේ බුද්ධිමය දේපල කොල්ලකෑමටම උපන් මාර පොරවල් සෙට් එකක්ම සිටින රටක් නිසා. මේ බව හොඳට පැහැදිලි වෙනවා රිඟින් ටෝන් මගින් අතරමැදි පුද්ගලයන් කෝටිපතියන් වනහැටි දැක්කම නිර්මාණයට සම්බන්ධ පිරිස් හිඟන්නන් බවට පත්වෙද්දී ,

කතෘ අයිතිය සුරැකීම කියන කාරණය කෙරෙහි අපේ රටේ තාමත් ඇත්තේ ඉතාමත් අඩු අවධානයක්.

ප්‍රදීප් ගුණරත්න ගැන මම හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ ...මොකද ඒ සහෝදරයා ගැන නොදන්න කෙනෙක් බ්ලොග් ලෝකේ ඉන්න විදිහක් නැති නිසා , කාලෙන් කාලෙට බොහොම අපූරු, විස්තරාත්මක, වැදගත් සෞඛ්‍ය පිලිබඳ  විවිධ අකාරයේ පොස්ටු ප්‍රදීප්ගේ පිටුවේ වැටුනා.

ඔහුගේ අරක්කු කියන මේ පොස්ටුව කාටත් මතක ඇති . අද මම දැක්කා ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම උස්සලා මෙන්න මෙතන දාලා . මේක දාලා තියෙන්නේ රූ (your cyber world ) කියන පිටුවේ

ඒ පිටුවේ පහලින් මෙන්න මෙහෙම කතාවකුත් ලියලා තියෙනවා


අලුතෙන් පටන් ගත්ත රූ .lk වෙබ් සයිට් එක අන්තර්ජාලයේ ලොකු වෙනසක් ඇති කරපු සයිට් එකක් .
අනිත් අය ලිංගිකත්වය පෙන්නලා මාර්කට් වෙද්දී අපි හැමදාම අපේ අයට දුන්නේ වැදගත් දෙයක් .
ඒක නිසයි අපි වේගයෙන්ම ඉදිරියට ඇදෙන්නේ ..

ඔයාටත් පුළුවන් අපිත් එක්ක , ඒ කියන්නේ රූ පවුලත් එක්ක එකතු වෙන්න .
මේක forum සයිට් එකක් නිසා ගොඩක් අය දන්නේ නැහැ මේකේ තියන වැදගත් කම ..
මෙතනින් අපිත් එක්ක එකතු වෙන්න ..
ජිවිතයට අලුත්ම අත්දැකීමක් එකතු කර ගන්න ..



ඉතින් රූ වැදගත් දෙයක් දෙන්න ඔයාලා උත්සාහ කරනකොට ඔබවෙත ලැබෙන හැම පොස්ටුවක්ම තොරතුරකම නියම අයිතිකරුවන් ගැන සොයා බැලීම ඔබේ යුතුකමක් බවයි මා හිතන්නේ 

මෙම රූ.lk පිටුව කරවන අය තමන් වෙත ලැබෙන පොස්ටු වල සුජාත භාවය තහවුරු කරගෙන පබ්ලිෂ් කරනවානම් හොඳ බවයි මගේ හැගීම . 

මේක දාලා තියෙන්නේ SASIKI කියලා නමකින් ඔහුගේ (ඇයගේ) ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ චේගුවේරා මං දන්නා චේගුවේරා කියන්නේ හොරෙක් නෙවෙයි , ඔහු අනුන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසුනා පමණයි. අනුන්ගේ දේවලට තමන්ගේ ලේබලය ගහගත්ත කෙනෙක් නෙවෙයි. 

එසේම sasiki කියන නිර්මාණ හොරාට කියන්න තිබෙන්නේ යමක් උපුටා ගැනීම හා උපුටා ගෙන පලකිරීම වරදක් නෙවෙයි, හැබැයි නියමාකාර අවසරයකින් පසු. ඒ වගේම ගත්තේ මෙතැනින් කියලා සඳහන් කිරීමත් යුතුකමක් .

ඉතින් අනුන්ගේ පොස්ටුවක් තමුන්ගේ වගේ පලකරන් එවුන් ඉන්න රටේ සහන් වගේ මනුස්සයෙක් හොයාගන්න වටිනා නිර්මාණයකට පේටන්ට්එක වෙන එකෙක් ගන්නේ නැතිවෙයි කියලා කියන්න පුලුවන්ද? 

මීට කලින් අටමගේ පොස්ටුවකුත් ඔය වගේ උස්සලා වෙන තැනක දාලා තිබුනා එදා ඒ උස්සපු එකාට අටමා කියපු කතාව ඉතාම උචිතයි 

"යකෝ ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කෑවනම් "